Sunday, June 26, 2016

කුෂ්ටරාජගල පිළිමය කුෂ්ට රෝගී රජෙකුගේද?

දකුණු පළාතේ වැලිගම අග්‍රබෝධි විහාරයට ආසන්නව කළු ගලක ඇතුලට හෑරූ විවරයක් තුල නෙලා ඇති මීටර් 3.83 පමණ උස පිළිමයක් සාමාන‍ය ව්‍යවහාරයේ කුෂ්ටරාජගල පිළිමය යනුවෙන් හැඳින්වේ.ජනප්‍රවාදයට අනුව කුෂ්ට රෝගයකින් පෙළුන  කුමාරයකු (ඇතැම් තන්හි ඔහු දේශිය රජ කුමරුවෙකු ලෙස පැවසෙන අතර භාරතීය හෝ වෙනත් විදේශීය රජ කුමරුවෙකු ලෙස පැවසෙන ජනප්‍රවාදද ඇතැම් මූලාශ්‍ර වල හමුවේ) විසින් තමුන්ව නිරූපණය කරමින් ඉදිකල මෙය සෑදීමට හේතු වූවේ දරුණු කුෂ්ට රෝගයකින් පෙළුන මෙම රජ කුමාරයා අග්‍රබෝධි විහාරයට තම කුෂ්ට රෝගය හොඳ වීමට ඉටුකල භාරයක් ඔප්පු කිරීමක් ලෙස පැවසේ. එසේම ඔහු මෙම ස්ථානයේ එක දිගට මාස තුනක් තැඹිලි පමණක් ආහාරයට ගනිමින් ගත කල නිසා එය හොඳ වූ බවද එම ජනප්‍රවාද වල කියවේ. කෙසේ නමුත් මෙම පිළිමය නෙලා ඇති ගලේ ස්වාභාවිකව තැනින් තැන තිබෙන ලා පැහැති පැල්ලම් නිසා මෙම ජනප්‍රවාද බිහිවන්නට ඇති බව මහාචාර්ය නන්දසේන මුදියන්සේ පවසයි.

මේ පිළිබඳ අධ්‍යනය කල විද්වතුන් මෙම පිළිමයෙන් නිරූපණය වන්නේ රජෙකු හෝ රජ කුමරුවෙකුය යන මතය බැහැර කරන  අතර එය මහායාන බෝධිසත්ව පිළිමයක් බව අවිවාදිතව පිලිගනී. එහෙත් ඒ කුමන බෝධිසත්වයෙකුගේද යන්න පිළිබඳව නම් ඔවුන් අතර එක් මතයක් නොමැත.

මේ පිළිබඳව 1925 දී පමණ අදහසක් දක්වන ආචාර්ය A. නෙල් (A.Nell) ට අනුව මෙයින් නිරූපණය වන්නේ සිංහනාද අවලෝකිතේස්වර බෝධිසත්වයන්ය. දේශීය ජනප්‍රවාදය හා මනාව ගැලපීමක් දක්වමින් සිංහනාද අවලෝකිතේස්වර සියළු රෝග විශේෂයෙන් කුෂ්ට රෝග නිවාරණය සම්බන්ධයෙන් ප්‍රචලිත බෝධිසත්වයෙකු වශයෙන්  මහායාන ධර්මය පැතුරුනු රටවල වන්දනා මාන කරයි. එසේම වෙනත් ජනප්‍රවාදයකට අනුව මේ පිළිමයෙන් නිරූපනය වන බව පවසන්නේ නාථ දෙවියන්ය. නාථ යනු පැහැදිලිවම අවලෝකිතිස්වරනාථ යන්නන් බිඳී ආවක් බව විද්වත් මතයයි.

මෙම පිළිමයේ හිස් පළඳනාවේ ධ්‍යානි බුඳු පිළිම 4ක් පෙනෙන්නට ඇති අතර හිස පසු පසින් තවත් පිළිමයක් ඇති ලෙස සාමාන්‍යයෙන් විශ්වාස කෙරේ. දකුණතින් ව්‍යාක්යාන මුද්‍රව සහ වමතින් කටක හස්ත මුද්‍රව දරන ලෙස හඳුනාගන්නා මහාචාර්ය නන්දසේන මුදියන්සේද මෙය සිංහනාද අවලෝකිතේස්වර ලෙස හඳුනා ගනී. ධ්‍යානි බුද්ධ රූප සමාධි ඉරියව්වෙන් ඇති බැවින් ඒවායින් අමිතාභ ධ්‍යානි බුදුවරයාව නිරූපිත ලෙස හෙතෙම හඳුනා ගනී (Mahayana monuments in Ceylon, 1967). අමිතාභ යනු මහායාන සංකල්ප වලට අනුව ධ්‍යානි බුදුවරයන්ගේ ආදිතමයාය. එසේම බෝධිසත්ව අවලෝකිතේස්වරගේ ආධ්‍යාත්මික ගුරුවරයාය. මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ද මුල් කාලයේ මෙය අවලෝකිතේස්වර  පිළිමයක් ලෙස හඳුනාගනී. (History of Ceylon Vol 1 Part 1, 1959)

පරණවිතාන අභිනන්දන ලිපි එකතුවට ලිපියක් සපයමින් මහාචාර්ය වැන් ලෝහ්ව්සන් (J.E. van Lohuizen-De Leeuw) 1965 දී මෙය සමන්ත්‍රභද්‍රගේ බවට මතයක් ඉදිරිපත් කරයි. වැලිගම පිලිමයෙහි දකුණු අතෙහි විතර්ක මුද්‍රාව නිරූපණය වන බව පවසන ඇය එහි මැණිකක් නිරූපණය කර ඇති බව H.W. කේව් (H.W.Cave) 1908 දී  පමණ ගත් ඡායාරූප වල පැහැදිලිව පෙනෙන බැවින් සහ විතර්ක මුද්‍රාව පෙන්වන එකම ආදි  බුදුවරයා සමන්ත්‍රභද්‍ර බැවින් කුෂ්ටරාජගල පිළිමය සමන්ත්‍රභද්‍රගේ ධර්මකාය වේශය බව නිශ්චිතවම පවසයි. (සමන් දෙවි ලෙසින් වර්තමානයේ වන්දනාමාන කරන්නේ සමන්ත්‍රභද්‍ර බව පරණවිතාන මහතා මීට පෙර මතයක් ඉදිරිපත් කර තිබුණි.) පරණවිතාන මහතාද පසු කාලයේ මෙය සමන්ත්‍රභද්‍රගේ විය හැකි බව පිලිගනී. මෑත කාලයේ මහාචාර්ය P.L.ප්‍රේමතිලක මහතාද මඤ්ජුශ්‍රී චිත්‍රකර්මශාස්ත්‍ර නම් වාස්තු විද්‍යා ග්‍රන්ථයේ එන ශ්ලෝකයක් අනුසාරයෙන් මෙය අෂ්ටමහා බෝධිසත්වයන්ගෙන් කෙනෙකු වන සමන්ත්‍රභද්‍ර නිරූපිත පිළිමයක් බව පවසයි.

මේ පිළිබඳව වෙනස් මතයක් ඉදිරිපත් කරන මහාචාර්ය දොහානියන් (D.K. Dohanian) සාමාන්‍යයෙන් සිය හිස් පළඳනාව වටා ධ්‍යානි බුදු රූ පහක් දරන්නේ සිංහනාද අවලෝකිතෙශ්වර නොව මඤ්ජුශ්‍රී බෝධිසත්වයන් බව පවසයි. ඔහුගේ එක් අතක චින් මුද්‍රාව සහ අනික් අතේ නිල් මහනෙල් මලක් දරයි. ඉතාම මෑත කාලයේ මේ සියලු මත පිළිබඳ සමාලෝචනයක් කරන මහාචාර්ය චන්ද්‍ර වික්‍රමගමගේ මහතා ප්‍රේමතිලක මහතා කලින් සදහන් කල ශ්ලෝකයෙන් විස්තර වෙන්නේ සමන්ත්‍රභද්‍ර නොව මඤ්ජුශ්‍රී බව එහි පැරණි පුස්කොළ පොතක් අනුසාරයෙන් ගෙනහැර පායි. එම ශ්ලෝක වලට අනුව ධ්‍යානි බුදු රූ පහ සහ චින් මුද්‍රාව හෙවත් චිහ්න මුද්‍රාව දරන්නේ මඤ්ජුශ්‍රී බෝධිසත්වයන්ය. එසේම විතර්ක මුද්‍රාවට ඉතාමත් සමාන චින් මුද්‍රාව අර්ධ උන්නතව නෙලා ඇති කුෂ්ටරාජගල පිළිමයේ දැක්වීම අපහසුය. එහෙයින් ඒ මහතාට අනුව දොහානියන් පෙර ඉදිරිපත් කල මතය එනම් මෙයින් නිරූපණය වන්නේ පංචවීර කුමාර මඤ්ජුශ්‍රී යන මතය නිවැරදිය.

පිළිමයේ ශෛලිය අනුව මෙය ගුප්ත සම්ප්‍රදායයේ  ලක්ෂණ පෙන්නුම් කරන බවත් එනයින් මෙය 7- 8 ශතවර්ෂ වල ඉදිලක එකක් ලෙස සැලකිය හැකි බවත් මහාචාර්ය නන්දසේන මුදියන්සේ පවසයි.

මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Raven-Hart, R. 1964, Ceylon History in Stone.
  • Mudiyansea N., 1967 Mahayana Monuments in Ceylon.
  • Brohier R.L., 1965 Seeing Ceylon
  • චන්ද්‍රා වික්‍රමගමගේ, 2006, ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිමා කලාව
  • Paranavitana Felicitation Volume, 1965
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.
  • Abeyawardana H.A.P., 2001, Heritage of Ruhuna
  • Handbook for the Ceylon Traveler, 1983


2 comments:

  1. ඉතා වටිනා තවත් ලිපියක්

    ReplyDelete