Sunday, June 12, 2016

ලොරොන්සෝ ද අල්මේදාගේ ටොන් 20 ගල්කුළ ගල් කලේ කවුද?

ස්වභාවික ආපදාවක් පවා නිසි ලෙස කළමනාකරණය කරගත නොහැකි වැඩ බැරි සේනලාගේ සහ කිසිදු වික්‍රමයක් පෑ නොහැකි සිංහලාගේ යමපාලනය අභිරහස් අන්දමින් මෙරට තිබූ ප්‍රධානම 'බර අවි ගබඩාව' විය හැකි ශාලාව අවි ගබඩාවද ගම් පිටින් අනාථ කරමින් විනාස වී යන තැනට කටයුතු සැලැස්වීය. අවම වශයෙන් දිවිබේරාගැනීමට දිව ගිය ගම්වැසියන්ගේ ගෙවල් වල තිබූ වටිනා දේ සොර සතුරන්ගෙන් බේරාගැනීමට වත් අවශ්‍ය කරන ආරක්ෂාව දීමට ආන්ඩුව නොහොත් පාණ්ඩුව අසමත් විය. ඔවුන්ගේ ජීවිත යලි නගාසිටුවීමට නිසි ක්‍රියාමාර්ගයක් වත් ගත නොහැකි මේ වැඩබැරි පාණ්ඩුවට එරෙහිව මේ ලියන මොහොතේද ගම් වැසියන් හයිලෙවල් පාර අවහිර කරමින් විරෝධතාවයේය. සතියට එක බැගින් බදු නම් වැසියන්ගේ හිස මත කඩා වැටෙන්නේ මැති ඇමැතියන්ගේ කෝටි ගනන් වටිනා වාහන ගෙන්වීමට අවශ්‍ය මුදල් සොයාගැනීමටය. මෙවන් තත්වයක් යටතේ ජනතාවට භූගත බංකර් සහ රත්තරන් කඩු පෙන්වා ඔවුන් ගොනාට ඇන්දවීමට සිතූ වැඩ බැරි සේනලා කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේ දොරටුව ජනතාවට ඇර දුන්නේ එය නරඹා පාන් සංවේගය (පහන් නොවේ) ඇති කරගනිල්ලා කියා විය හැකිය.

ලද අවසරයෙන් එයට රිංගූ පුවත්පතක රිපෝර්ටර් කෙනෙක් අලුත්ම සොයාගැනීමක් කර ඇත. ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ,ඩුබායි හෝටල, රත්තරන් කුට්ටි, හෙලිකොප්ටර් පෝලිමට එක්වන නවතම සොයාගැනීම නම් ලොරොන්සෝ ද අල්මේදාගේ ටොන් 20 බර ගලය. මේ කියන්න හදන්නේ ඔවුන් අමතන අයුරින් හොරෙක් වූ 'මරා' ලොරොන්සෝ ද අල්මේදාගේ ටොන් 20 බර ගලද 'ගල්' කර ඇති බවද? (ජනපති මැඳුරෙන් ටොන් 20ක් බර ඓතිහාසික වස්තුවක් අතුරුදන්
වරාය අධිකාරියේ කෞතුකාගාරය පිටුපස තබා තිබියදි වර්ෂ 2006 අගෝස්තු මසදී ගත් ඡායාරූපයක්

1506 දෙසැම්බර් 27 වනදා ඉන්දියාවේ කපිතාන් ජේනරාල්වරයා වූ දොන් ප්‍රන්සිස්කූ ද අල්මේදා පෘතුගාලයේ දොන් මනුවෙල් අධිරාජයා වෙත මෙසේ ලියා යවයි. "ලොරොන්සෝද අල්මේදා [එනම් දොන් ප්‍රන්සිස්කූ ද අල්මේදාගේ පුත්] සියිලන් [එනම් සිංහලේ] සොයාගත්තේය. කැනනෝර්හි මෙන් කොටුවකට සුදුසු හොඳ තුඩුවක් සහිත විශිෂ්ට වරායක් එහි ඇත. සියිලන්, මලක්කාවට යන මාර්ගයේ කොරමැන්ඩලයේ සිට ලීග 70 ක තරම් ආසන්නයේ පිහිටා ඇති නිසා මම එහි කොටුවක් ගොඩනැගීමට කැමැතිය. කුරුසය සහ රාජ ලාංජනය සහිත පද්‍රම් කුළුණක් [Padraos] සියිලන්හි පිහිටුවීය. කුරුඳු ගෙන ඒමට සන්තෝ ස්ප්‍රිතෝ නැව සැප්තැම්බර් මාසයේ සියිලනයට පිටත් විය. මසක් ඇතුළත මම කොටුව ගොඩනගන්නට බලාපොරොත්තු වෙමි."

ලොරොන්සෝද අල්මේදා කොචින් සිට මාලදිවයිනට යාත්‍රා කරන අතරතුරේදී කුණාටුවකට අසුවීමෙන් සිංහලේ වෙරලට ගසා ආ පුවත බොහෝ දෙනා අසා ඇති කතාවකි. එය සිදුවූවේ 1505 ද නැතහොත් 1506 සැප්තැම්බර් මාසයේද යන්න පිළිබඳ ඉතිහාසඥයන් අතර විවාදයක් ඇත. කෙසේ වුවද 1505 මාර්තු 5 වනදා දොන් මනුවල් අධිරාජයා දොන් ප්‍රන්සිස්කු ද අල්මේදා ඉන්දියාවේ කපිතාන් ජනරාල්වරයා ලෙස පත් කර යවද්දී ඔහුට නියෝග කරන්නේ. 'සියිලන්, පේරු, මලක්කා හා වෙනත් ප්‍රදේශ සොයාගැනීමට දක්ෂ නැවියකු යවන ලෙසත් එසේ සොයාගන්නා ස්ථාන වල කුරුසිය සහිතව පෘතුගීසි රාජ ලාංඥ්ඡනය පිහිටුවන ලෙසත්ය.

ඉහත ගල් කුලේ කොටා ඇති පෘතුගීසි රාජ්‍ය ලාංඥ්ඡනය
මේ කියනා ගොර්ඩන් උද්‍යානයේ තිබී අතුරුදහන් වී ඇති ගල්කුළ ලොරොන්සෝද අල්මේදා සියිලන්හි පිහිටවූ කුරුසය සහ රාජ ලාංජනය සහිත පද්‍රම් කුළුණද? වර්ෂ 1898 සැප්තැම්බර් මාසයේ ඉංග්‍රීසීන් විසින් මෙම ගල් කුළ සොයාගැනීම සහ එය ඉහත කී ලොරොන්සෝ ද අල්මේදා පිහිටවූ පද්‍රම් කුළුණ ලෙස ඉදිරිපත් වූ මත පිළිබඳ වෙනම ලිපියකින් කරුණු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමින් මේ අවස්තාවේ අපට කීමට ඇත්තේ ඉහත කී ගොර්ඩන් උද්‍යානයේ වූ ගල් කුල අවම වශයෙන් 2006 මැයි මස සිට එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයක පිහිටුවා තිබූ බවය. ඒ පිළිබඳව කරුණු සෙවීමට ඉතිහාස පොත් පෙරලිය යුතු නැත. මේ පුවත ලියූ ලේඛකයා රිපොර්ටර් කෙනෙක් නොවී පුවත්පත්කලාවේදියෙක් වූවා නම් ඔහු මෙරට පලවන සිංහල, ඉංග්‍රීසි පුවත්පත් වල පළවන ලිපි සහ පුවත් පිළිබඳ අවධියෙන් සිටිය යුතුය. අවම වශයෙන් තමා ලියන්නට යන දේ පිළිබඳ අන්තර්ජාලයේ සෙවුමක් කලා නම් ඔහුට සොනාලි සමරසිංහ විසින් 2006 මැයි 21 වනදා Sunday Leader පුවත්පතට ලිවූ මේ ලිපිය මග හැරෙන්නට ඉඩක් නොමැත. (History in dustbin as Mahinda looks for hooniyam)

Sunday Leader පුවත්පතේ මේ පිළිබඳව පළවීමෙන් පසුව හෝ බලධාරීන් විසින් කලින් තිරණය කර තිබූ පරිදි හෝ ඉන්පසු එය වරාය අධිකාරියේ කෞතුකාගාරය පිටුපස ආරක්ෂිත වැටක්ද සහිතව තබා තිබියදි වර්ෂ 2006 අගෝස්තු මසදී මා විසින් ගත් ඡායාරූප මේ සමග පලවේ. ඉක්බිති වර්ෂ 2010 දී එම ස්ථානයට ගිය මා මිත්‍ර ධනේශ් විසුම්පෙරුම සහ ප්‍රසාද් ෆොන්සේකා යන මහතුන්  දෙපල එය ඉහත කී ස්ථානයෙන් වරාය පරිශ්‍රය ඇතුලත පිහිටි කාර්යාලයක් අසලට රැගෙන ගොස් තිබූ බව නිරීක්ෂණය කරඇත(https://web.facebook.com/groups/361624587278358/1015073175266826/?notif_t=like_tagged&notif_id=1465665958228429). එය මේ දක්වාම එම ස්ථානයේ තිබෙනවා විය හැක. කෙසේ නමුත් මෙය ආරක්ෂා කර ගත යුතු ස්මාරකයක් බැවින් නැවත ගෝඩන් උද්‍යානයට නොව ජාතික කෞතුකාගාරයට රැගෙන යායුතු බව අපගේ අදහසයි (ජනාධිපති මන්දිරය පිහිටා තිබෙන ගෝර්ඩන් උද්‍යානයේ තිබූ වික්ටොරියා රැජිනගේ ප්‍රතිමාවද මේ වන විට ජාතික කෞතුකාගාරයේ ආරක්ෂා සහිතව පිහිටුවා ඇත.)

මූලාශ්‍ර
  • පරංගියා ගාලුගියා මැන්දිස් රෝහණදීර, 1999
  • Gerard A. Josheph, 1899, Antiquarian discovery relating to the Portuguese in Ceylon, Journal of the Royal Asiatic Society, Ceylon Branch, Volume XVI, Part 50.
  • Donald Ferguson, 1907, The discovery of Ceylon by the Portuguese in 1506, Journal of the Royal Asiatic Society, Ceylon Branch, Volume XIX, Part 59

4 comments:

  1. Replies
    1. Special thank goes to you for finding me some valuable references on the subject. I might use them extensively in the next part of this story.

      Delete
  2. පුරාවස්තු යනු රටක ජාතියක අමිල සම්පත් වුනත් අන්ධයින් අතට පාලන බලය ගියාම ඒවා විහිළු බවට පත්වෙනවා. මෙවැනි ලිපි ඇස් පෑදීමට හේතු වේවි ස්තුතියි

    ReplyDelete
  3. මේ පැහැදිළි විස්තරයට ස්තුතියි...

    ReplyDelete