Thursday, December 13, 2018

කල්තොට මොහොර ආශ්‍රිත පුරාණ ආරාම සංකිර්ණය - කුරගල පාමුල ගල්ටැම්යාය

මහඑළිය තැන්නේ (Horton Plains) කිරිගල්පොත්ත අවට දිය කඳුරු වලින් සිය ගමන අරඹන බෙලිහුල්ඔය ඉහල කඳුකරයේ කඳු පංති අතරින් ගලාවිත්, මහඑළිය තැන්නෙන්ම ඇරඹී වෙනත් නිම්නයක් ඔස්සේ ගලා එන කිරිකැටිඔය හා සමනලවැව ජලාශයට මදක් ඉහල ප්‍රදේශයකදී එක්වී, සමනලවැව ජලාශයට එකතු වේ. (කිරිකැටි ඔය අද හිරිකටු ඔය නම් අර්ථයක් නොමැති නමක් සහිත ඔයක් බවට ජනව්‍යවහාරයට එක්වී ඇතත් පැරණි සිතියම් වල එය දැක්වෙන්නේ එහි සුන්දරත්වයට මැනවින් ගැලපෙන කිරිකැටි ඔය ලෙසිනි ). සමනලවැව ජලාශයේ සිට නැවතත් සිය ගමන අරඹන වලවේ ගඟ රමණීය දූවිලි ඇල්ල සදමින් පහල අඩතැන්නට (Coastal Peneplain) පිවිසෙන්නේ කල්තොට මොහොරේ (Kaltota Escarpment) ඊශාන දෙසින් වූ අන්තයෙනි.
දූවිලි ඇල්ල
මහඑළිය තැන්නේ සිටම මෙම ගංගා නිම්නය ඔස්සේ ප්‍රාග් ඓතිහාසික මානව ක්‍රියාකාරකම් සිදුවූ බවට සාධක හමුවන මුත් පුරාතන සහ මධ්‍යතන යුග වල ඉදිකිරීම් මෙම නිම්නයේ ප්‍රධාන වශයෙන් හමුවන්නේ මෙම කල්තොට මොහොර ප්‍රදේශය අවට සිට ගංගා ද්‍රෝණිය ඔස්සේ පහලට විහිදුනු ප්‍රදේශය ආශ්‍රිතවය. ප්‍රාග් ඓතිහාසික මානව ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරුද මෙම මොහොර අවට බෙල්ලන්බැඳි පැලැස්ස, උඩුපියන්ගල්ගේ, කුරගල ඇතුළු ස්ථාන කිහිපයකින්ම සොයාගෙන ඇත.

ගල්ටැම්යාය
පසුගිය කාලයේ බෙහෙවින්ම කතා බහට ලක්වූ කුරගල ආසන්නයේම එහි පාමුල තංජන්තැන්න ලෙසින් හැඳින්වෙන ග්‍රාමයේ පිහිටා ඇති මෙම ස්ථානය දැනට අක්කර දෙකක පමණ වූ පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයකින් සීමාවූ කොටසක පමණක් ඉතිරි වූ නටබුන් ගොඩනැගිලි කිහිපයකින් යුක්ත වේ. ප්‍රාකාරයකින් වටවූ මළුවක් තුල පබ්බත විහාර සම්ප්‍රදාය සිහිගන්වමින් එහි සිව් කොනේ සහ මධ්‍යයෙහි පිහිටි ගල් කණු කොරවක්ගල්, කැටයම් රහිත සඳකඩපහණ වැනි ගොඩනැගිලි අවශේෂ සහිත ප්‍රදේශයක් සහ එම මළුවේ බටහිර දිශාවට වන්නට එහි ප්‍රධාන පිවිසුම ලෙස සැලකිය හැකි පිවිසුමට වම් පසින් වූ කුඩා ප්‍රමාණයේ ස්තූපයක් මෙහි දැනට දක්නට ලැබේ. ස්තූපයට පිවිසීමට පඩිපෙලවල් දෙකක් එහි නිරිත සහ වයඹ දිශාවන් වලින් දැකිය හැකි අතර දැනට සංරක්ෂණය කර ඇති මෙම ස්තූපයේ පාදමේ විශ්කම්භය මීටර 8 පමණ වේ. ගොඩනැගිලි පිහිටි මළුවට පිවිසීමට එහි සිව් දිශාවෙන්ම දොරටු වූ බවට සාධක හමුවී ඇත.
පබ්බත විහාරයේ ප්‍රධාන මළුවේ එක් පිවිසුමක්
ගල් කණු විශාල වශයෙන් හමුවන බැවින් ගල්ටැම්යාය/ගල්ටැන්යාය ලෙසින් ප්‍රදේශවාසීන් මෙම ස්ථානය හඳුන්වයි. එසේම මෙහි තිබූ එවන් ගල් කණු මනා ආරක්ෂාවක් නොමැති පසුබිමක් යටතේ කලක් මුළුල්ලේ ප්‍රදේශවාසීන් විසින් සිය අවශ්‍යතාවයන් උදෙසා රැගෙන ගොස් ඇති බව පෙනේ. ඉහත විස්තර කල ගොඩනැගිලි අවශේෂ වලට අමතරව ප්‍රධාන මළුවෙන් එපිටද නොයෙකුත් ගොඩනැගිලි තිබී ඇති බවට දැනටද ස්තූපයට එපිටින් බටහිර දෙසට වන්නට දැකිය හැකි විනාශ වූ එවන් ගොඩනැගිලි දෙකක ගල් කණු නශ්ඨාවශේෂ වලින් පැහැදිලි වේ. මෙම ප්‍රධාන මළුවට දකුණු සහ නිරිත දිගට වන්නට තවත් ගොඩනැගිලි කිහිපයක අවශේෂ ඇති බවද, ඒවා ප්‍රදේශයේ ජනතාව විසින් අත්පත් කර ගත් ඉඩම් වල විනාශ වෙමින් තිබෙන බවද සබරගමු වංශකථාව ග්‍රන්ථයට මෙම ස්ථානය පිළිබඳව ලිපියක් සපයන දයානන්ද බිනරගම මහතා සඳහන් කරයි. තවද 1951 වර්ෂයේදී මෙම ඉඩම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගන්නා විට අක්කර 5 ක භූමි භාගයක් එයට අයත් වූ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ස්තූපය
දැනට වෙනත් ස්ථානයක තබා තිබෙන යන්ත්‍ර ගලක් මෙම මළුවේ ගොඩනැගිලි අවශේෂ සහිත එක් ස්ථානයක තිබී හමුවී ඇත. එය තිබූ ස්ථානය අඩි 10 පමණ ගැඹුරට නිදන් හොරුන් විසින් විනාශ කර තිබී ඇත. මෙවන් යන්ත්‍ර ගල් බොහෝවිට බුදු පිළිම වල පාදමට යටින් හමුවන බැවින් මෙම ස්ථානයේ පිළිම ගෙයක් සහ එහි බුදු පිළිමයක් තිබෙන්නට ඇත. එහෙත් දැනට බුදු පිළිමයක් හෝ එවැන්නක අවශේෂ හෝ මෙහි දක්නට නොමැත. එම ස්ථානයේම බුදු පිළිමය තැන්පත් කර තිබෙන්නට ඇතැයි සිතිය හැකි ශෛලමය ආසනයක්ද දැකිය හැක. 
ප්‍රධාන මළුව තුල වූ නටබුන් ගොඩනැගිල්ලක්
කූරගල සහ බුදුගල
කූරගල ලෙසින් හැඳින්වෙන ස්ථානයේ උස් කඳු මුදුන් දෙකක් (උපරිම උස මුහුදු මට්ටමේ සිට මීටර 360 පමණ.) සහ ඒ අතර ඇති කපොල්ලක් අවට පිහිටා ඇති ස්වභාවික ගුහා 10 පමණ ඇති අතර ඒවායින් බොහෝමයක් කටාරම් කොටා ඇත. එම ගුහා බුදු සමය මෙරටට හඳුන්වාදුන් මුල් අවධියේම භික්ෂූන්ගේ වාසස්ථාන ලෙසට පරිවර්තනය කර ඇති බවට එම ඇතැම් ගුහා වල මුල් බ්‍රාහ්මී අකුරු වලින් කොටා ඇති සෙල්ලිපි මගින් පැහැදිලි වේ. ගල්ටැම්යාය පිහිටා ඇත්තේ මෙම කූරගල ගුහා පිහිටි ප්‍රදේශයට ආසන්නව වයඹ දිශාවට වන්නට වන අතර අනුරාධපුර යුගයට අයත් විය හැකි පධානඝර සංකීර්ණයක් වන බුදුගල මෙම කඳු මුදුන් පාමුල ඊසාන දෙසට වන්නට තැනි බිමේ පිහිටා ඇත (ඉහත සිතියම බලන්න). මෙම ස්ථාන තුනම එක්ව ගත් කල ඒවා එකම පැරණි බෞද්ධ ආරාමයක දැනට ශේෂ වී ඇති නටබුන් බව හඳුනාගැනීම නිවැරදි බව පෙනේ. ඒ අනුව ක්‍රි. පූ යුග වල සිටම ඇතැම් විට අනුරාධපුර යුගයේ අවසානය දක්වාම හෝ පොළොන්නරු යුගය දක්වාම පැවති විශාල ප්‍රදේශයක් පුරා පැතිරුන බෞද්ධ ආරාම සංකීර්ණයක් මෙම කල්තොට මොහොර ප්‍රදේශයේ කූරගල ආශ්‍රිතව තිබූ බවට පැහැදිලි වේ.
ප්‍රධාන මළුව තුලට වයඹ දෙසින් වූ පිවිසුම
මෙයින් ගල්ටැම්යාය නටබුන් එම ආරාම සංකීර්නයේ පබ්බත විහාරය (පබ්බත විහාර පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා කියවන්න >> Link) ලෙසට හඳුනාගත හැක. පසුකාලීනව මෑත යුගයේ සිදුවූ ජනාවාසකරණයත් සමග ඒ අවට තිබූ සෙසු බොහෝ නටබුන් දැනට විනාශ වී ඇති මුත් පබ්බත විහාරයේ දැනට ඉතිරිව ඇති ප්‍රධාන මළුව අවට භික්ෂූන්ගේ වාසස්ථාන උදෙසා ඉදිවූ කුටි තිබෙන්නට ඇත. ඇතැම්විට ඒවා කල් නොපවත්නා අමුද්‍රව්‍ය භාවිතයෙන් ඉදි කර තිබුනා වුවද විය හැක. තවද කුරගල අවට හමුවන ගුහා භාවනානුයෝගී භික්ෂූන්ගේ ප්‍රයෝජනය උදෙසා මුල් යුගයේ පටන් අඛණ්ඩව භාවිතා වන්නටද ඇත. පැරණි රුහුණේ පොළොන්නරු යුගය වන විට වන නදිය ලෙසින් හැඳින්වුන වළවේ ගඟේ ඉහල නිම්නයේ පිහිටා තිබූ මෙම ආරාම සංකීර්ණයේ පැරණි නම හෝ ඒ පිළිබඳව වූ වංශ කතා විස්තර කිසිවක් හමු නොවේ.
ස්තූපය
මූලාශ්‍ර
  • සබරගමු වංශකථාව 1 වෙළුම, 2003
  • සබරගමු වංශකථාව 2 වෙළුම, 2003
  • කූරගල ගවේෂණය 2014 - අදියර 1, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මතක සටහන් 2015-3, මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිස
  • Administration Report of the Director -General of Archaeology for the year 1993
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972

Sunday, December 2, 2018

පැරණි මාගම රාජධානිය පිහිටියේ ඇලහැරද?

දේවානම්පියතිස්ස රජුගේ දෙවන සහෝදරයා උපරජු මහානාග නම් විය. හේ දිනක් වැවක් කරමින් උන් තැනක සිටින විට දේවානම්පියතිස්ස රජුගේ දේවිය උපරජු වෙත අඹ යැව්වේ ඉන් උඩින්ම වූ අඹ ගෙඩියට විෂ යොදා උපරජු මරණ අටියෙනි. මහානාග රජු මැරීමට ඇයට උවමනා වූවේ දේවානම්පියතිස්ස රජුගෙන් පසුව සිය එකම පුත් කුමරාට බලය ලබාගැනීමේ පරමාර්ථයෙන් බව වංශ කතාව අපට පවසයි. මෙකල සම්ප්‍රදාය වූවේ රජුගෙන් පසු ඉන්පසුව සිටින රජුගේ වැඩිමහල් සොහොයුරාට බලය හුවමාරු වන "සහෝදර සමාගමේම" බලය රදවාගැනීමේ සම්ප්‍රදායකි ("සහෝදර සමාගම" වෙනුවට "සමනල් සමාගම" තෝරාගත් වර්තමාන සිංහලයන් වසර තුනකුත් මාස ගණනක්ම මදි නොකියන්න ඉල්ලාගෙන කෑම අතීතය නොදැනීමේ වරදක් විය නොහැකිද?) රජුගේ වැඩිමහල් පුතුට බලය හිමිවන්නේ සියළුම සහෝදරයන් ජීවතුන් අතර නැති විටකදී පමණි. දේවානම්පියතිස්ස රජුට තවත් සහෝදරවරු සිටි බැවින් මහාවංශය පවසන පරිදි උපරජුව මරා දැමීමට රජුගේ දේවියට හේතුවූ කරුණ එලෙසින්ම පිළිගැනීමට මදක් අපහසුය. කෙසේ නමුත් මහානාග උපරජු සමග එම දේවියගේ පුතුද වැව සාදන ස්ථානයට ගොස් සිටි බැවින්  සැබවින්ම සිදුවූවේ එම කුමරු විෂ යෙදු අඹ ගෙඩිය අනුභව කර මරණයට පත්වීමය. මින් බියපත්වූ මහානාග යුවරජු සිය දේවිය, ධනය සහ බල සෙනග ගෙන රුහුණ බලාගොස් එහි අධිපතිව මාගම (මහාගාම) සිට රාජ්‍යය කල බව පැවසේ.
ඇලහැර අමුණේ සිට අඹන් ගගේ ජලය ගිරිතලා, මින්නේරි සහ ගඟතලා (කන්තලේ) වැව් කරා ගෙනයන ඇලහැර යෝධ ඇල. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා Link>>
ඉන්පසුවත් වංශ කතාවේ බොහෝවර සඳහන් වන, පැරණි රුහුණු රටේ පිහිටි මාගම හෙවත් පාළියෙන් මහාගාම ලෙසින් හැඳින්වුන "මහ ගම", අද තිස්සමහාරාමය ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය කෙන්ද්‍රකරගනිමින් පැවත තිබූ බව පොදු පිළිගැනීමයි. පසුකාලීනව මාගම රාජධානිය පිහිටියේ තිස්සමහාරාමයේ බව අවිවාදිතව සියළුම ඉතිහාසාඥයන් සහ පුරාවිද්‍යාඥයන් පාහේ පිළිගන්නා මුත් මුල් යුගයේ මහානාග රජු සිය රාජධානිය පිහිටවූ, ඉන්පසු දුටුගැමුණු රජු සිරිලක එක්සේසත් කරන තෙක් පැවති "මහා ගම" නොහොත් මාගම වූ රුහුණේ අගනුවර පිහිටියේ තිස්සමහාරාමයේ නොවන බවට අවම වශයෙන් විද්වතුන් දෙපලක් සාධක සහිතව කරුණු දක්වයි. ඒ අතරින් පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් රුහුණේ නැගෙනහිර ප්‍රදේශයේ කුඹුක්කන් ඔයට උතුරෙන් වූ ප්‍රදේශයේ දැනටද මාගම ලෙසින් නාම ශේෂ වූ ගම්මානයක් පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව මුල් මහාගාමය පිහිටි බවට කරුණු ඉදිරිපත්කරන අතර, මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා වර්තමාන ඇලහැර ප්‍රදේශය ආශ්‍රිතව එය පිහිටි බවට තර්ක කරයි. මේ ලිපිය සිය මතය තහවුරු කිරිම උදෙසා රණවැල්ල මහතා ඉදිරිපත් කරන කරුණු දැක්වීම් වලින් කිහිපයක් කෙරෙහි පමණක් අවධානය යොමුකිරීම උදෙසා යොමුවන අතර පැරණි මාගම රාජධානිය පිහිටියේ ඇලහැරද එසේ නොවේනම් තිස්සමහාරාමයේද යන්න පිළිබඳව අවසාන නිගමනයක් සිදු කිරීමට මෙහිදි අදහස් නොකරමි.
යෝධ ඇල අද්දර පිහිටා ඇති කිසියම් පැරණි පූජනිය ස්ථානයක තහවුරු කල නටබුන්

මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා ඉදිරිපත් කරන එක් සාධකයක් වන්නේ දුටුගැමුණු රජු රජරට බලය අත්පත් කරගැනීම උදෙසා එළාර සමග සටන් වැදීමට, මාගමින් නික්මීමට පෙර මලයෙහි සිට මෙහි (එනම් අනුරාධපුරයට) එන මාර්ගය පිරිසිදු කල බවට මහාවංශයේ එන සඳහනයි. ඒ අනුව ඒ මහතා තර්ක කරන්නේ මාගම පිහිටියේ මලය දේශයේ බවය. මුල් කාලයේදී මලය දේශයද රෝහණ රටට අයත්ව තිබෙන්නට ඇති බවය එතුමාගේ අදහස වනුයේ (මලය දේශයේ සීමා මායිම් පිළිබඳව වූ පෙර ලිපිය කියවීමට >.Link). මේ අදහසම පාළි මහාබෝධි වංශයේද සඳහන් වේ. පසු කාලීනව කුරුණෑගල යුගයේදී ලියැවුණු සිංහල මහාබෝධිවංශයේ මිහිඳු මා හිමියන් විසින් දේවානම්පියතිස්ස රජුට පවසන අනාවැකියක් ලෙසින් එය සඳහන් වන්නේ මෙලෙසිනි. " .....ඒ රජ තෙමේ [දුට්ඨගාමිණී අභය හෙවත් දුටුගැමුණු]......මහා යෝධ වූ කඬොලැතා පිටට නැගී , මලය දේශයෙන් අවුත් එළාර නම් දෙමළ රජ්ජුරුවන් හා යුද්ධ කොට..."  

කෙසේ නමුත් පැරණි රෝහණයේ මලය ග්‍රාමය නමින් ග්‍රාමයක් වූ බවත් ඉහත මහාවංශ පාඨය එම මලය ග්‍රාමය පිළිබඳව විය හැකි බවත් මා මෙයට පෙර අවස්ථාවකදී කරුණු දැක්වූවෙමි (මෙම ලිපීයේ මලය රට සහ මලය ග්‍රාමය කොටස බලන්න >> Link ). ඒ අනුව සිරිමල් රණවැල්ල මහතාගේ අදහස පිළිබඳව යම් සැකයක් මතු වන බව අප සඳහන් කලමුත් පාළි මහාබෝධිවංශය සහ එය අනුසාරයෙන් ලියැවුණු සිංහල බෝධිවංශය සිරිමල් රණවැල්ල මහතාගේ මතයට රුකුලක් ලබා දේ.
අඹන් ගඟට අසල කුමාර ඇල්ල ප්‍රදේශයේ සංරක්ෂිත පැරණි ජන්තාඝරයක්
පාළි රසවාහිනියේ එන දුටුගැමුණු රජුගේ මහානේල නම් යෝධයාගේ කතාවේ පැවසෙන්නේ ඔහු මහගමින් නික්ම උදෑසන දීඝවාපී (දිගාමඩුල්ල ලෙසින් පාළි රසවාහිනියේ සිංහල අනුවාදය වූ සද්ධර්මාලංකාරයේ එයි.) හරහා ගොස් ගංගා නම් නදිය අසල වඩමන්තොට (වඩ්ඪමානක තීර්ථය) නම් ස්ථානයකදී (සද්ධර්මාලංකාරයට අනුව මහවැලි ගඟ වඩමන් නම් තොට) දැහැටි කා මුව සුද්ධ කොටගෙන, ගෙනගිය බත් අනුභව කර, මහාපාලී නම් දන්හල සංඝයාවහන්සේ දහවල් දන් වලදන්නට පෙර අනුරාධපුරයට ගිය බවයි.  

සහස්සවත්ථුප්කරණයේ එන වේළුසුමන කතාවට අනුව විහාරමහා දේවියගේ කුසේ ගැමුණු කුමරු පිළිසිඳගත් විට ඇයට ඇති වූ දොළ සන්සිඳුවීම උදෙසා උදෑසන ආහාර ගන්නා වෙලාවේ මාගමින් පිටත් වූ වේළුසුමන යෝධයා පා ගමනින් ගොස් දීඝවාපියේදී උදේ ආහාරය ගෙන, හිරු අවරට යත්ම වඩමන්තොටට (වඩ්ඪමානක තීර්ථය) ලඟා වී, පසුව හවස් වරුවේම අනුරාධපුරයට පැමිණි බව පැවසේ.
අඹන් ගඟට අසල කුමාර ඇල්ල ප්‍රදේශයේ සංරක්ෂිත පැරණි බෝධිඝරයක්
මේ කරුණු අනුව මාගම අනුරාධපුරයට එතරම් දුරින් නොපිහිටි බවත් එය කිසිසේත්ම එක් දිනකින් හෝ වරුවකින් පා ගමනින් යා නොහැකි තිස්සමහාරාමය නොවන බවටත් තර්ක කල හැකි බව සිරිමල් රණවැල්ල මහතා පවසයි. කෙසේ වුවත් යෝධයන්ගේ වීර ක්‍රියා අතිශයෝක්තියෙන් වර්ණනා කිරීම උදෙසා රචිත කතා ලෙස ඉහත සිදුවීම් දෙකම එකවර බැහැර කල නොහැක්කේ පපංචසූදනී නම් අටුවා ග්‍රන්ථයේ එන පහත කතාවෙන්ද මාගම අනුරාධපුරයට එතරම් දුරින් නොපිහිටි බවට තහවුරු වන බැවිනි. 

දීඝභාණක අභය නම් වූ තෙර නමක් අරියවංස ප්‍රතිපදාව වදාළ අවස්ථාවේ මාගම සියළු ජනතෙම එය ඇසීමට පැමිණි බවත්, එහෙයින් තෙරුන් වහන්සේට මහත් සත්කාර උපන් බවත් මෙය ඉවසිය නොහුණු එක්තරා මහතෙර කෙනෙක් දේශනාව අවසානයේ දෙදෙනා වහන්සේම තම තමන්ගේ විහාර වලට යාමේදී,  දීඝභානක අභය තෙර සමග ගව්වක් පමණ දුර යනතුරා, එම දීඝභාණක අභයතෙරුන්ට ආක්‍රෝෂ  කළ බවත් පැවසේ. මාගම සිට එම තෙරුන් වහන්සේලා පා ගමනින්ම ගව්වක් දුර වැඩ, එතැන් සිට ඔවුනොවුන්ගේ විහාර වලට වෙනම මගකින් ගිය බැව් එම කතාවෙන් පැහැදිලි වේ. සිරිමල් රණවැල්ල මහතා පවසන්නේ දීඝභාණක අභය තෙරුන් වැඩ සිටියේ චේතියපබ්බත විහාරයේ බවත් (එනම් වර්තමාන මිහින්තලයේ) එබැවින් මාගම සිට එක රැයින්ම ඒ හිමියන් සිය විහාරයට වැඩම කල බව පෙනෙන හෙයින් මාගම මිහින්තලයට එතරම් දුර නොවූ ස්ථානයක තිබිය යුතු බවත්ය. කෙසේ නමුත් පපංචසූදනියේ සිංහල පරිවර්තනයේ  ඉහත කතාව ඇතුලත් කොටසේ දීඝභාණක අභය හිමියන් ඒ තෙරණුවන්ගේ විහාරයට වැඩි බව විනා විශේෂයෙන් චෙතියපබ්බතයට වැඩම කල බව සඳහන් නොවේ. ඒ හිමියන් චෙතියපබ්බතයේ වැඩ සිටි බවට සඳහන් වන්නේ අත්ථසාලිනී නම් වූ වෙනත් අටුවා ග්‍රන්ථයක එන වෙනත් කතාවක් ඉදිරිපත් කිරීමේදීය. එසේම අරියවංශ දේශනාවට මාගම ජනයා පැමිණි බව විනා එය මාගමදී දේශනා කල බව පපංචසූදනී සිංහල පරිවර්තනයේ පැහැදිලිව සඳහන් නොවේ.
ටොලමිගේ ලංකා සිතියම
ක්‍රි.ව. දෙවැනි ශතවර්ෂයට අයත් ටොලමිගේ (Ptolemy) තැප්‍රොබේන් (Taprobane) ලෙසින් හැඳින්වෙන  ලංකා සිතියමේ Maagrammon ලෙසින් අනුරාධපුරයට (Anourogrammon) ගිණිකොන දෙසින් සැතපුම් 35-40 පමණ දුරකින් මාගම සලකුණු කර තිබීමද මාගම අනුරාධපුරයට එතරම් දුර නොවන ස්ථානයක තිබූ බවට තවත් එක් සාධකයක් ලෙස සිරිමල් රණවැල්ල මහතා දක්වයි.

වජ්‍රබෝධී නම් භාරත භික්ෂූන්වහන්සේ නමකගේ මෙරට සිදු කල චාරිකාවක චීන බසින් ඇති වාර්තාවකට අනුව ක්‍රි.ව. 718 දී කාංචිපුර (Kien-tchi) සිට මෙරටට පැමිණි ඒ හිමියන් අනුරාධපුර අභයගිරි විහාරයේ (Abhaya-raja-vihara) සිට ගිණිකොන දෙසින් ලංකා පර්වතයේ (Lanka-Parvata) පිහිටි සිරිපා සටහනක් වන්දනා කිරීමට යාමේදී රෝහණයේ (Lou-ho-no) පාලකයා හමු වූ බවත්, ඔහුට මහායානය දේශනා කල බවත් සඳහන් වේ. ලංකා පර්වතය අනුරාධපුරයට ගිණිකොන දෙසින් ඇලහැරට දකුණින් පිහිටි ලකේගල ලෙස හඳුනාගතහොත් වර්තමාන ඇලහැර ප්‍රදේශය පැරණි රෝහණයේ පාලකයා විසූ අගනුවර වන මාගම ලෙස පහසුවෙන් හඳුනාගත හැකි බව පෙනේ. එහෙත් ලකේගල මුදුනේ සිරිපතුලක් මේ වන විට දැකිය නොහැක. 
ලකේගල
තවද මාගම රාජධානිය ආරම්භ කල මහානාග යුවරජු පිළිබඳව ලලාට ධාතුවංශයේ එන සඳහනකට අනුව එකල මහාදේව තෙරුන් දඹදිව කොසඹෑ නුවර ඝෝසිතාරමයේ ගන්ධකුටියේ තැන්පත් කොට තිබූ බුදුන්ගේ ලලාට ධාතුව ලක්දිවට ගෙනවිත් ලක්දිව හත්ථොට්ඨ නම් ජනපදයට රැගෙන විත් ඇත. මහාකාල නම් කෙළඹි පුත්‍රයාගේ මග පෙන්වීම මත මහානාග යුවරජ හත්ථොට්ඨ ජනපදයට ගොස් එම ලලාට ධාතුන්වහන්සේ මාගමට රැගෙන විත් ඇත. මහානාග යුවරජු හත්තොට්ඨ ජනපදයේ ලලාටධාතුව ඇති බව දැනගන්නේ 'අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ධාතුන් වහන්සේ ගෙන ආ කෙනෙකුන්ට බොහෝ සැපත් දෙමි' යැයි නුවර [එනම් මහාගාමය තුල] බෙර ලැවූ කල්හි, හත්තොට්ඨ ජනපදයේ විසූ මහාකාල කෙළඹි පුත්‍රයාට එය දැන ගැනීමට හැකිවීමෙනි. මේ අනුව හත්තොට්ඨ ජනපදය මාගමට ආසන්නව තිබිය යුතු බවට උපකල්පනය කල හැක. ලග්ගල සහ ඇලහැර අතර දැනටද හත්තොට ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය පුරාණ හත්තොට්ඨ ජනපදය ලෙස හඳුනාගන්නා බැවින් මාගම ඇලහැරට ආසන්නව වූ බවට වන ඉහත මතයට එයද තවත් එක් සාධකයක් ලෙස ගත හැකිවේ.
ටොලමිගේ සිතියමේ මාගම ලකුණු කර ඇත්තේ Ganges ලෙසින් හැඳින්වෙන ගඟක වම් ඉවුරේය. 10 වන ශතවර්ෂයට අයත් පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය අසලින් සොයාගත් ටැම් ලිපියක අඹන් ගඟ හඳුන්වා ඇත්තේ මහා ගංගා ලෙසිනි. ඒ අනුව අනුරාධපුර යුගයේ මහා ගංගා ලෙසින් හඳුන්වා ඇත්තේ අඹන් ගඟ ලෙස පවසන සිරිමල් රණවැල්ල මහතා අඹන් ගඟේ වම් ඉවුරේ වර්තමාන ඇලහැර ප්‍රදේශයේ පැරණි මාගම තිබිය යුතු බවට නිගමනය කරයි. අනුරාධපුර අවසාන භාගයට හෝ පොළොන්නරු යුගයට අයත් විය හැකි  අත්තරගල්ලෑව, ඔරුබැඳි සියඹලාව, මළුවේ යාය යන ස්ථාන වල ඇති නටබුන්ද, තවමත් මතු කර නොගත් ඇලහැර අසල වනාන්තරයේ ඇති පැරණි නගරයක නශ්ඨාවශේෂද එම පැරණි මාගම නගරයේ පසුකාලීන නටබුන් විය හැකි බවය ඒ මහතාගේ අදහස.
ඇලහැර අවට අඹන් ගඟ දෑලේ නටබුන් ස්ථාන කිහිපයක්
මූලාශ්‍ර
  • රෝහණ රාජ්‍යයේ ඉතිහාසය, මහාචාර්ය සිරිමල් රණවැල්ල, 2003
  • Memoirs of the Archaeological Survey of Ceylon, Vlume XI, History of the Kindom of Rohana (From the Earliest times to 1500 A.C. )
  • Chino-Sinhalese relations in the early and middle ages (Translated from M. Sylvain Levi's Article in the Journal Asiatique) Journal of Ceylon Branch of Royal Asiatic Society. Vol XXIV No 68, 1915-16
  • පපඤච සූදනී නම් වූ මජ්ජිමනිකායට්ඨකථා 1 (සිංහල පරිවර්තනය) රාජකීය පණ්ඩිත ආඳාවල දේවසිරි මහා ස්ථවිරර 2008
  • සිංහල ධාතුවංශය (සේරුවාවිල තිස්ස මහා විහාරවංශය ) M.W. විමල් විජේරත්න සංස්කරණය, 2012
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Early History of the Buddhism in Ceylon, E.W. Adikaram, 2009
  • සහස්සවත්ථුප්පකරණය,  සංස්කාරක වෑගම පියරතන හිමි, 1999
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, නව සංස්කරණය මාගධී පෙළ ස්සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • විල්ගම්මුළ මාහිමියන්ගේ සිංහල බෝධිවංසය, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ දර්ශනපති ඊ. ඒ. වික්‍රමසිංහ සංස්කරණය, 1996
  • මාගම රාජධානිය, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, 
  • සද්ධර්මාලංකාරය
  • අත්ථසාලිනී නම් වූ ධම්මසංගණිප්පකරණට්ඨ කථා (සිංහල පරිවර්තනය ) සෝමරත්න ගම්ලත් වෙලගෙදර, 2008

Thursday, November 22, 2018

වනමැද පිහිටි බුදුරුවක් සොයා අත්තරගල්ලෑවට

ජුනි 2 වැනි දින නාලන්ද සිට සියළු ගමන්බඩු කරත්තයකට පටවා ගෙන සැතපුම් 4 ක දුරින් වූ නාඋල දක්වා පිටත්වූවෙමි. නාඋල සිට ඇලහැරට යාමට පෙර ගමන් මළු වලින් අඩක් නාඋල ආරක්ෂා සහිත ස්ථානයක තැබූවේ ගමන වඩාත් පහසු කරගැනීම උදෙසාය.  නාඋල සිට ඇලහැර දක්වා මාර්ගය අධික බෑවුම් ඇති කඳු පල්ලම් වලින් යුක්ත දුෂ්කර මාර්ගයක් විය. දවස නිමා වන විට අපට යා හැකි වූවේ නාඋල සිට සැතපුම් 6 ක දුරින් වූ කෝන්ගහවෙල දක්වා පමණි. පසුදින උදෑසනම ගමන් අරඹා මධ්‍යහ්නය වන විට කෝන්ගහවෙල සිට සැතපුම් 8 ක් දුරින් වූ ඇලහැරට ලගාවීමට හැකිවිය. එතැන් සිට නිසි කරත්ත පාරක් නොවූ හෙයින් අත්තරගල්ලෑව දක්වා යාමට සිදුවූවේ පා ගමනිනි. ඇලහැර සිට සැතපුම් භාගයක පමණ දුරකදී අඹන් ගඟින් එතෙර වී පස්වරුව වන විට අත්තරගල්ලෑවට ලඟාවීමට හැකිවිය.
සංරක්ෂණය කර ඇති ස්ථූපය- බුදුරුවයාය
අත්තරගල්ලෑව බොහෝවිට වඳුරු මස් බුදිමින් දිවිගෙවන වෑරුණු පෙනුමින් යුත් ප්‍රාණීන් වෙසෙන පැල්පත් 5 ක් පමණක් වූ ගම්මානයකි. ඔවුන් රටේ විවිධ ප්‍රදේශ වලින් කුඹුරු කිරීම සඳහා පැමිණි පුද්ගලයන් වූහ. ඇත්තවශයෙන්ම වර්තමානයේ මුළු ගම්මානයේම විසුවේ පවුල් 3 පමණි. ඔවුන් විසින්ම සෑදු අමුණක් මගින් අඹන් ගඟේ වතුර හරවා කුඹුරු වලට ජලය සපයාගෙන තිබුණි. එහි වෙනත් කිසිදු වගාවක් නොතිබුණි. අවුරුදු 50 කට හෝ මදක් වැඩි කලකට පෙර අත්තරගල්ලෑව මුස්ලිම් මිනිසුන් විසූ සරුසාර ගමක්ව තිබූ බව පැවසේ. වසංගත රෝග උවදුරක් හේතුවෙන් බොහෝ මිනිසුන් මියගිය හෙයින් ඔවුන් ගම අතහැර ගිය පසු එය පාළු ගමක් බවට පත්වී ඇත. ඔවුන් විසූ ප්‍රදේශය දැනට වර්තමාන ගම්වාසීන් විසින් පිළගම්මන ලෙසින් හඳුන්වයි. අපට මග පෙන්වූ මගපෙන්වන්නා ගමේ ආරච්චිලගේ නිවසේ මිදුල මා සහ මා සමග ගිය කුලීකරුවන් හට නවාතැන් ගැනීම සදහා සූදානම් කරන ලදී. රාත්‍රියේ හිටිගමන් කඩාහැලෙන්නට වූ වර්ෂාව හේතුවෙන් අවදි වූ අපට නිවසේ අගුව විනා අන් පිලිසරණක් නොවූයෙන් පහන් වන යාමයේ වර්ෂාව නවතින තුරුම එහි සිටීමට සිදු විය.
සංරක්ෂණය කර ඇති ස්ථූපය- බුදුරුවයාය
පසුදින බුදුරුව පිහිටි ඉසව්ව පිළිබඳව දැනුවත්, කැති ගත් මිනිසුන් දෙදෙනෙකු සමග ගමන් ඇරඹූ අප කෙත් යායක් පසු කර අඹන් ගඟේ දකුණු පස දිගේ ගමන් කලෙමු. කැලෑව තුලින් රිංගා අඹන් ගඟ ඉවුරට පැමිණි පසු නාමල් කුමාර ඇල්ල ලෙසින් හැඳින්වූ ගල්පර සහිත අඩු වතුර ප්‍රමාණයක් සහිත ස්ථානයකින් ගඟ තරණය කර අනෙත් ඉවුරට ලගා වූවෙමු. ගඟ මැද අඩි 3 පමණ පලල් දොරුවක් විය. වතුර අඩු කාලයේදී ගඟ ගලා ගියේ එම දොරුව තුලිනි. එහි ගැඹුර මැන බැලූ මා හට අප පා තබා සිටි ගල් මත සිට අඩි 36 පමණ එම ස්ථානය ගැඹුරු බව පසක් විය. ගල් පරය මත විශාල රවුම් සහ සතරැස් සිදුරු කපා තිබූ හෙයින් එහි අතීතයේ අනෙක් ඉවුරේ වූ මලුවෙයාය දක්වා යාමට පාළමක් තනා තිබූ බව පැහැදිලි වේ. නුදුරෙන් වූ මලුවෙයාය ලෙසින් හැඳින්වූ ස්ථානයේ වනාන්තරයට යාබදව මනා ශෛලමය පොකුණක් විය. එය නශ්ඨාවශේෂ බෙහෙවින් ඇති සුවිසල් ස්ථානයක් බව පැහැදිලිය. එහෙත් එහි නටබුන් පිරිස්සීමට වැඩි කාලයක් මිඩංගු නොකර වනාන්තරය මැදින් වූ අපැහැදිලි අඩි පාර ඔස්සේ බුදුරුව පිහිටි ස්ථානය දක්වා ගමන් කල අපට මිනිසෙකුගේ උසට වැවී තිබූ නෙළු ශාක අතරේ කිහිප වතාවක්ම මග වැරදී එහෙ මෙහෙ යාමට සිදු විය.
බුදුරුවයාය සැතපෙන පිළිමය
පෙරවරු 10 පමණ වන විට අපට බුදුරුව පිහිටි ස්ථානයට ලගාවීමට හැකිවිය. මුළු ප්‍රදේශයම පාහේ නෙළු ශාක වැවී තිබූ අතර වීර, දලුක් වැනි විශාල ගස්ද විය. වන ලැහැබ කපා දමා බුදුරුව මතුකරගත් මුත් එහි චිත්‍රයක් සටහන් කරගනීමට විනා ඡායාරූපයක් ගැනීමට නොහැකි වූවේ ඉදිරිපස වැවී තිබූ විශාල ගස් හේතුවෙනි. මෙම බුදුරුව පොළොන්නරුවේ ගල්විහාර පිළිමයට බෙහෙවින් සමාන මුත් එහි නිමාව පොළොන්නරු පිළිමයේ තරම් උසස් නොවේ. තවද එහි මුහුණ, දකුණු අත සහ පපුව උදරය දක්වා ගිණි තැබීම හේතුවෙන් ගැලවී වැටී ඇත. බුදු රුවට යාර කිහිපයක් බටහිරෙන් දාගැබක්ද ඇති අතර නිදන් සොයන්නන් විසින් එය බිඳ දමා විශාල හානියක් සිදුකර ඇත. බුදු රුවට හානි කල පුද්ගලයන්ම බොහෝවිට එම විනාශයද සිදු කරන්නට ඇත.
බුදුරුවයාය සැතපෙන පිළිමය - උපුටා ගැනීම >1911-1912 පුරාවිද්‍යා පාලන වාර්තාවෙන් 
පසුදින නැවතත අප නැවතී සිටි වාඩියේ සිට අමතරව එක්කරගත් කැති ගත් මිනිසුන්ද යොදවා බුදුරුව අසලට ලඟාවීමට කෙටි මගක් පාදා ගත්තෙමු. හීරටි ඔය ඔස්සේ යන විට සෙල් ලිපියක් කොටා තිබූ ඵලකයක් හමු වූ මුත් එහි අකුරු කියවීමට නොහැකි තරමට බෙහෙවින් ගෙවී තිබුණි. පස්වරු තුන පමණ දක්වා වෙහෙස වී බුදු රුව සහ දාගැබ කැලෑව තුලින් මතු කරගත් අතර මිණුම් සහ චිත්‍ර සටහන් වලට අමතරව බුදුරුවේ ඡායාරූප 6 ක් සහ දාගැබේ ඡායාරූප 3ක් ද ගැනීමට හැකිවිය.
සංරක්ෂණය කර ඇති ස්ථූපය- බුදුරුවයාය
1911-1912 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්ගේ පාලන වාර්තාවේ H.C.P. බෙල් මහතා පෙරේරා මහතා (Mr. Perera) ලෙසින් හඳුන්වන නිළධාරියෙක් 1912 වර්ෂයේ  දැනට බුදුරුවයාය ලෙසින් හැඳින්වෙන ස්ථානයට ලගාවූ ආකාරය සහ එම ස්ථානය පිළිබඳව ඔහු ඉදිරිපත් කරන වාර්තාවේ අනුවාදයක් අප ඉහතින් ඉදිරිපත් කලෙමු. පිහිටි ගලේ මතු කරගත් එම සැතපෙන පිළිමය අඩි 38 ක පමණ දිගකින් යුක්තය. ඉහත විස්තර කර ඇති පරිදිම එහි මුහුණ, දකුණු අත සහ පපුව ඒ වනවිටත් ගලින් නෙළු බුදුරුවක ඇතුලත නිධන් ඇතැයි සිතූ අමනයෙකුගේ පාපතර ක්‍රියාවන් හේතුවෙන් විනාශ වී තිබී ඇත. අසල පිහිටි ස්ථූපයේද අඩි 12ක් පමණ පළලට හෑරූ වලක් එහි පාදම දක්වාම කැන තිබූ බවට ඉහත පුරාවිද්‍යා කොමසාරිස් වරයාගේ වාර්තාවේ සඳහන් කර ඇත. මෑතක් වනතුරුම වන ප්‍රවාහයට යටවී තිබූ එම ස්ථූපය 2009 වසරේදී කැනීමක් සිදුකර සංරක්ෂණය කර ඇත.
නාමල් කුමාර ඇල්ල ලෙසින් ඉහත විස්තරයේ දැක්වෙන ස්ථානයේ ඉදිකර ඇති නූතන පාළම
ඉහත විස්තරයේ විස්තර වන නාඋල සිට අත්තරගල්ලෑවට වැටී ඇති දුෂ්කර මාර්ගය මේ වන විට කාපට් ඇතිරූ මාර්ගයක් වන අතර එම නිළධාරියා දින තුනක් තිස්සේ ගමන් කල දුර පැයකටත් අඩු කාලයකදී යාමට වර්තමාන සංචාරකයන්ට හැකිවී ඇත. පැරණි මාර්ගයේ කොටසක් මොරගහකන්ද ජලාශය යටවූ මුත් ජලාශයට උතුරු දෙසින් අලුතින් මාර්ගයක් ඒ වෙනුවට ඉදිකර ඇත. නාමල් කුමාර ඇල්ල ලෙසින් හැඳින්වූ ස්ථානයේ බොහෝවිට පැරණි පාලම ඉදිකර තිබූ ස්ථානය ආසන්නයේම නවීන පාලමක් ඉදිවී ඇත. මලුවෙයාය ලෙසින් හැඳින්වෙන ස්ථානයේ නටබුන් සහ අඹන් ගඟ දෑලේ එක් පසකින් වස්ගමුව වනෝද්‍යානය තුල සහ අනික් පස ගම්මානය තුල හමුවන වෙනත් නටබුන් පිළිබඳව වෙනම ලිපියකින් විමසා බැලිය යුතුය.
නාමල් කුමාර ඇල්ල අසල දොරුව (Gorge) ලෙසින් ඉහත විස්තරයේ දැක්වෙන ස්ථානය (?)
අවසාන වශයෙන් ඉහත පරිවර්තනය කර ඉදිරිපත් කල අත්තරගල්ලෑව ගම්මානයේ (Hatara-Gallewa ලෙසින් හඳුන්වන) විසූ ගැමි පවුල් 3 පිළිබඳව පෙරේරා මහතාගේ පහත සඳහන අද සාපේක්ෂව උසස් දිවිපෙවෙතක් ගත කරන බකමූණ, ඇලහැර, අත්තරගල්ලෑව ආදි ප්‍රදේශ වල ජනතාවට කොතරම් අදාලද යන්න ඔබම විමසා බලන්න.

"It is a village with five huts, occupied by haggardly looking creatures, mostly living on monkey flesh..."

D.S. සේනානායක මහතාගේ පටන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දක්වා මෙරට පාලනය කල ජනනායකයන්ගේ ගොවි ජනපද ව්‍යාපාර එම ප්‍රදේශ වල ජනයාගේ ජීවන තත්වය ඉහල නැංවීමට සිදු කල මෙහෙය, 1948 න් පසු මෙරට ජනනායකයන් සිදු කලේ කුමක්දැයි අසමින් ඉතිහාසය නොදන්නා අඳබාල පරපුර කඩේ අරිමින් සමාජවාදී විප්ලවය "විජාතික කොළ අලින්ගේ" පස්ස පැත්තෙන් එලියට ගන්නට මේ දිනවල වලිකන "රතු අලින්ගේ" නිරුවත හෙළි කරනවා නොවේද?

මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon Annual Report 1911=1912, H.C.P. Bell
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972

Sunday, November 4, 2018

ජනනාථමංගලම්හි විෂ්ණු දේවාල - 1

පොළොන්නරුව පැරණි නගරයට එහි උතුරු දිශාවෙන් පිවිසෙන දොරටුව අසලම වම් පසින් පිහිටි කළු ගල් කුට්ටි වලින් සාදා තිබූ විෂ්ණු දේවාලයක නටබුන් පිළිබඳව බරෝස් (S.M. Burrows1885-86 වසර වල කැනීමක් සිදු කර විස්තර ඉදිරිපත් කරයි. එම කැනීමේදී ඔහුට එම නටබුන් ගොඩනැගිල්ලේ ගර්භ ගෘහය (Inner Shrine) ලෙසින් හඳුනාගන්නා කොටසේ තිබී කදිම කළු ගලින් නෙලූ වීෂ්ණු දේව ප්‍රතිමාවක් හමුවේ. එම ප්‍රතිමාවට අමතරව එම පරිශ්‍රයේ තිබී තවත් ශෛලමය පිලිරූ කිහිපයක්, සිංහ රූප සහිත බිත්ති හිසක් (Large bold frieze of Lions) සහ සෙල් ලිපි කොටස් දෙකක් හමුවේ. ගොඩනැගිල්ල අසලින් හමුවන තවත් සෙල් ලිපියක කොටසක් ඔහු පවසන පරිදි 'දළදා මාළිගාව' අසල තිබෙන නිශ්ශංකමල්ල රජුගේ සෙල් ලිපියේම පිටපතකි. (මෙහි දළදා මාළිගාව ලෙසින් එවකට වැරදියට හැඳින්වූ අංක 1 ශිව දේවාලය අදහස් කෙරේ. එම ශිව දේවාලය පිළිබඳව කියවීමට >> Link )
තවද කැඩී බිඳි ගිය ගනේෂ හෙවත් පිල්ලෙයාර් ප්‍රතිමාවක්, මොණරා සමග සිටින කතරගම දේව ප්‍රතිමාවක් ( එයද කැඩී බිඳි ගොස් තිබී ඇත.) ඊශ්වර පිළිරුවක් සහ තවත් හඳුනාගත නොහැකි කැඩුණු ප්‍රතිමාවක්ද එම නටබුන් ගොඩනැගිල්ල අසල ස්ථාන වලින් බරෝස් ට හමුවේ. ඉන් වසර 22 කට පසු වර්ෂ 1908 දී එම ස්ථානයට යන H.C.P. බෙල් හට වන ගහනයට සහ සෝදාගෙන යන පස් වලට යටවීමෙන් වැසී තිබූ දේවාලයේ නටබුන් මතු කර ගැනීමට නැවතත් කැනීමක් කිරීමට සිදුවේ. ගොඩනැගිල්ලේ පදනම සඳහා බොහෝවිට ආසන්නයේම පිහිටි කිසියම් බෞද්ධ විහාරයකින් ගෙනා බවට සිතිය හැකි සිංහ රූප පෙලක් සහිත බොරදම සහිත ශෛලමය කැටයම් කණු හැටදාගේ ලෙසින් හඳුන්වන ස්ථානයේ දැකිය හැකි එවන් කැටයම් සහිත ගල් කුළුනු වලට සමාන බවද ඔහු සඳහන් කරයි. (ඉහත බරොස්ද විස්තර කරන්නේ මෙම ගල් කැටයම් විය හැක. දැනට ඒවා එම ස්ථානයේ දැකිය නොහැක.)
බරෝස් විස්තර කල අඩි 3 අඟල් 8 ක් වූ හිටි විෂ්ණු ප්‍රතිමාව පද්මාසනය මත බරෝස් වසර 22 කට පෙර සිටුවා තැබූ ආකාරයෙන්ම බෙල්ට හමුවන අතර අත් සතරක් සහිත එම ප්‍රතිමාවේ ඉහලට එසවුනු වම් සහ දකුණු අත් වල පිලිවෙලින් සංඛය සහ චක්‍රය දරන අතර පහලට යොමු වූ වම් අතේ පොළොවට බරවූ මුගුරක් දැකිය හැක. අනෙක් දකුණු අතින් අභය මුද්‍රාව විදහා පායි. මෙම ප්‍රතිමාව දැනට මෙම ස්ථානය නොමැති අතර එය පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ඒ වෙනුවට එහි අනුරුවක් දේවාලය තුල තැන්පත් කර ඇත.
දේවාල ගොඩනැගිල්ලට පිටතින් තිබී බරෝස් විස්තර කල සෙල් ලිපි කොටස්ද බෙල්ට හමුවන අතර ඔහුද එය මාලිගා කොටුවේ (Citadel) උතුරු දොරටුව අසල ඇති (අංක 1 ශිව දේවාලය පිහිටා ඇත්තේද මේ ආසන්නයේය ) සෙල් ලිපියේ මෙන්ම නගරයට ඊසාන දෙසින් ඇතුලුවන දොරටුව අසල අංක 2 ශිව දේවාලය ආසන්නයේ දැකිය හැකි සෙල්ලිපියේද පිටපතක් ලෙස හඳුනාගනී.
මෙම විෂ්ණු රූපය දැනට නටබුන් කෞතුකාගරය තුල තැන්පත් කර ඇති මුල් පිලිමයේ අනුරුවක් පමණි
පොළොන්නරු යුගය දක්වාම විෂ්ණු ඇදහිල්ල මෙරට තුල තිබූ බවට සාධක හමු නොවේ. එහෙත් ක්‍රි.ව. 1017 සිට 1070 පමණ දක්වා චෝල ආධිපත්‍යයට මෙරට නතුවීමත් සමග (චෝල ආධිපත්‍යට සිංහලද්වීපය නතු වීම පිළිබඳව වැඩිදුර විස්තර සඳහා >> Linkශෛව මෙන්ම විෂ්ණු භක්තිකයන්ද මෙරටට පැමිණ වාසය කර ඇති බව පොළොන්නරුව පැරණි නගරයේ හමුවන එම හින්දු ආගමේ දෙවිවරු දෙදෙනාට නිසැකවම අයත් කල හැකි දේවාල වලින් පැහැදිලි වේ. පොළොන්නරුව නටබුන් නගරයේ ප්‍රාකාරයෙන් වටවූ කොටසේ මෙන්ම ඉන් පිටතද දැනට එවන් විෂ්ණු දේවාල 5 ක් පමණ හඳුනාගෙන ඇති අතර මෙම දේවාලය අංක 2 විෂ්ණු දේවාලය ලෙසින් බෙල් හඳුන්වයි.
දේවාලය තුල තිබී හමුවූ විෂ්ණු පිළිමය සහ මයුරාසනාරූඩ කතරගම දෙවියන්ගේ ප්‍රතිමාවක් ලෙස බරෝස් හඳුනාගන්න පිළිමය.
මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon North-Central And Central Provinces, Annual Report 1908, H.C.P. Bell, 1913
  • Heritage of Rajarata, Chandra Wikramagamage, 2004
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007

Sunday, October 28, 2018

සීගිරිය සොයා ෆෝර්බ්ස් ගිය ගමන සහ තවත් කතා

"අපි පොළොන්නරුවේ සිට මින්නේරිය සහ පෙයික්කුලම් හරහා එන ගමනේදී මෙතුවක් කල් යුරෝපීයයන් විසින් නොදුටු සීගිරි නම් වූ පැරණි අගනුවර නටබුන් සොයාගැනීම උදෙසා පෙයික්කුලම් (Paecolom) හීදී මාර්ගයෙන් දකුණු දිසාවට යොමු උනෙමු. පෙයික්කුලම් සිට කණ්ඩියක් මතින් කොටසක් සහ ඉතිරිය විශාල වැවක වැව් පිටිය මතින් වැටී තිබූ අපගේ ගමන් මගේ සැතපුම් සතරක් පමණ ගිය විට, උදෑසන මීදුම ක්ෂණිකව පහව ගිය මොහොතක, එහි නිශ්චල මතුපිටින් අවට පිහිටි විශාල වනස්පතීන් සමග මුඩු බෑවුම් පැති සහිත සහ මුදුන වන වදුලින් යුතු වූ සීගිරි ගලේ ප්‍රතිබිම්බය දර්ශණය වන ජල තලාවක අද්දර අප සිටින බව වටහා ගතිමු. ..."
සංරක්ෂිත ජල උද්‍යානයේ පොකුණක දිස්වන සීගිරි ගලේ ප්‍රතිබිම්බය
මෙතුවක් කල් අසා තිබු මුත් කිසිදු ඉංග්‍රිසි ජාතිකයෙකු දෑසින් දැක නොතිබූ සීගිරිය නටබුන් නගරය අසලට වර්ෂ 1831 දී මුලින්ම ලගා වූ ඉංග්‍රිසි ජාතිකයා වූ මේජර් ෆොර්බ්ස් බොහෝවිට සීගිරි වැව අසලදී වැව් තලය මතින් එහි ප්‍රතිබිම්බය දිස් වූ අයුරු සිය සිංහලේ එකොළොස් වසරක් (Eleven Years in Ceylon) නම් වූ චාරිකා විස්තර ඇතුලත් ග්‍රන්ථයේ විස්තර කරන්නේ එලෙසිනි. පොළොන්නරුවේ සිට මින්නේරිය හරහා පෙයික්කුලම් දක්වා ෆෝර්බ්ස් ගමන් කල මාර්ගයේ ජෝන් පයිබස් නම් ඉංග්‍රිසී ජාතිකයා වර්ෂ 1762 දී සිංහලේ රජු හමුවීමට පැමිණි ගමනේ විස්තර මෙයට පෙර ලිපි කිහිපයකින් ඉදිරිපත් කලෙමි. (එම ලිපි කියවීමට >>> 1 2 3 ) ඒ ගමනේදී හබරණ අසලදී පයිබස් වලිඹෙහෙල (Friar's Hoodකඳු මුදුන ලෙස වරදවා වටහා ගන්නට ඇත්තේ සීගිරිය විය හැකි යැයි අනුමාන කල හැක. ඒ අනුව සීගිරිය පර්වතය හබරණ ආදී අවට පිහිටි ඇතැම් උස් ස්ථාන වලදී පැහැදිලිව දිස්වන මුත් ෆෝර්බ්ස් එය අසලටම පැමිණ නැවත සොයාගන්නා තෙක්ම මෙරට සිටි ඉංග්‍රිසි ජාතිකයන් වලිඹෙහෙල ලෙසින් වරදවා හඳුනා ගෙන සිටියාදැයි තව දුරටත් සොයා බැලිය යුතුය.
පොළොන්නරුවේ සිට පෙයික්කුලම් වැව දක්වා මාර්ගය මෙහි කොළ පාටින් දක්වා ඇත. එතැන් සිට ෆොර්බ්ස් ගමන් කරන අඩක් කණ්ඩියක් මතින් වැටී තිබූ සහ ඉතිරිය වැව් පිටියක් තුලින් වූ මාර්ගය මේ සිතියමට අනුව හඳුනාගැනීම දුෂ්කර නොවේ. පැරණි සීගිරිය වැව වර්තමානයට වඩා විශාල ප්‍රදේශයක් පුරා පතිර තිබූ බව හඳුනාගෙන ඇති අතර (මෙම පැරණි අඟලේ සිතියමේ එය මැනවින් දැක ගත හැක) ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු වෙනත් අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි 
වැඩි දුරටත් තමන් දුටු දෙය විස්තර කරන ෆෝබ්ස් මෙලෙස පවසයි. "අප නැවතුන ස්ථානයේ සිට මා හට පර්වතය පාමුල ගස් අතරින් මතු වී පෙනෙන  යෝධ ගල් බැමි දැකගන්නට ලැබුනි. ඒ අනුව මෙය අප සොයන ස්ථානය බවට මැනවින් පසක් විය. "
සීගිරිය පිට දියගලට ඔබ්බෙන් දිස්වන ගල් බැමි එහි බටහිර දොරටුව අසලදී
සීගිරි යන්නෙහි තේරුම පිළිබඳව ෆොර්බ්ස් පවසන වැදගත් කරුණක් පිළිබඳව මෙහිදි අවධානය යොමු කල යුතුය. ඔහු විශ්වාස කරන්නේ එහි තේරුම කඳුකර බලකොටුව (Mountain-stronghold or Hill-fort) විය යුතු බවය. උගත් ස්වදේශිකයන් සිහ (Lion) සහ ගිරි (Rock) යන්නෙන් එහි තේරුම සෑදි ඇති බව පවසන බවත්, සීගිරි බලකොටුවේ තැන් කිහිපයකම තිබෙන සිංහ පිලිරූ (Lions sculptured on the different parts of the fortress) නිසා එසේ වන බව ඔවුන් විශ්වාස කරන මුත් එය කොතරම් මනඃකල්පිත සහ මෝඩ මතයක්ද යන්න තමන්ට මෙම ගමනේදී කිසිදු සිංහ රූපයක් හමු නොවීමෙන් සනාථ වන බවත් පවසයි. මෙරට එකම සිංහ රූපයක්වත් හමු නොවන ස්වල්පයක් වන ස්ථාන අතරින් මෙයද එකක් වන බවත් ෆොර්බ්ස් වැඩිදුරටත් සඳහන් කරයි. මේ වන විට සීගිරියේ ඉතිරිව තිබූ සිංහ පාද පස් වලින් යටවී තිබූ අතර පසු කලක එය සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ තවත් ඉංග්‍රිසි ජාතිකයකු වූ H.C.P. බෙල්ටය. 1909 දී පිදුරංගල සිට ගෙන ඇති මේ සමග ලිපියේ මුලින් පලවන ඡායාරූපය බෙල්ගේ වාර්තාවකින් උපුටා ගැනිනි. එහි සිංහ පාදය මතු කරගෙන ඇත.)
පර්වතය පාමුල දකුණු දෙසින් ඇති ගල් බැමි
ෆෝර්බ්ස්ගේ විස්තරයේ දැක්වෙන ලෙසට ඔහු ගැලරිය (Gallery) ලෙසින් හඳුන්වන කැටපත් පවුර සහිත ප්‍රාකාරයට මෙපිටින් පර්වතය දෙසට ඇති කොටසේද මද දුරක් ගිය බව පෙනේ. අධික රශ්මිය සමග ඇතිවූ විඩාව හේතුවෙන් ඔහු අතරමග නවතින මුත් ඔහුගේ මිතුරන් දෙදෙනෙක් එහි සැලකිය යුතු දුරක් ගිය බව පෙනේ (ඔහු කැප්ටන් H සහ B මහතා ලෙසින් ඔවුන්ව හඳුන්වයි.) ඒ වන විට යාර 100 පමණ දුරට එම ගැලරියේ ප්‍රාකාරය විනාශ නොවී ඉතිරි වී තිබී ඇත.) එහි එක් තැනකදි පර්වතය මුදුනේ සිට දැඩි වර්ෂාව සහිත කාල වලදී දිය ඇල්ලක් (Cascade) ලෙසට ජලය ගලා එන බවත් දැනට නැගීමට අපහසු පර්වතය මුදුනේ වැවක් ඇති බවට ස්වදේශිකයන්ගේ ජනශ්‍රිතයේ එන සඳහන ඒ අනුව සත්‍ය විය හැකි බවත් ෆොර්බ්ස් පවසයි.  
පර්වතයේ දකුණු දෙසින් බැලූ විට පෙනෙන කැටපත් පවුරේ ඉතිරි වී ඇති කොටස 
වර්ෂ 1833 දීද ෆොර්බ්ස් නැවතත් සීගිරියට පැමිණෙන අතර පර්වතය වටා එහි ඊසාණ දෙසින් සම බිමේ සහ නැගෙනහිර දෙසින් උන්නත මළුවක (Elevated terrace) පිහිටි ලෙසට ඔහු මුල් සංචාරයේදී හඳුනාගන්නා රාජකීය ගොඩනැගිලි වලට අමතරව පර්වතයට උතුරු දෙසින් 'මාලිගාවට' ඔබ්බෙන් පැරණි සීගිරිය නගරයේ නටබුන් ඇති බවට දැනගන්නට ලැබුණ බව පවසයි. එම කොටසේ ප්‍රාකාර සහ අගල් වල නටබුන් ඔහුට හමුවේ. එහි (එනම් පර්වතයට උතුරු දෙසින්) ඉහලම මළුවට පිවිසි විට පර්වතය මුදුනට යෑමට කුඩා පඩි ඇති බවට ඔහුට අසන්නට ලැබේ. එහෙත් කිසිවෙකුට එහි මුදුනට නැගීම උත්සාහ කර බැලීමටවත් නොහැකි තරමින් ඒවා විනාශ වී ඇතැයිද ෆොර්බ්ස් ඔහුට දැනගැනීමට ලැබුනු ලෙසට පවසයි. ප්‍රදේශවාසීන් ඔහුට පැවසූ පරිදි සීගිරිය පර්වතය අවට වලසුන් සහ කොටියන් බහුල අතර ඒ බවට සලකුණුද ඔහුට දැකගන්නට ලැබී ඇත. තවද ඉහත සඳහන් කල B මහතා ගැලරියේ කඩා වැටුන කොටසක් තුලට දණ ගාගෙන යාමේදීද එහි සිටි කොටියෙකු පහලට පැන වනාන්තරය තුලට සැඟව ගොස් ඇත.
කැටපත් පවුර
දෙවන වර සීගිරියට ගිය අවස්ථාවේ ෆොර්බ්ස් හට  ගැලරියට ඉහලින් පිටතට නෙරා ගිය පර්වත කොටසේ ලගාවිය හැකි කොටසේ වැඩි ප්‍රමාණයක් දීප්තිමත් වර්ණයන්ගෙන් පින්තාරු කර තිබූ බවට ලකුණු දැකගන්නට ලැබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ වැහි වතුර ඇතුළු නොවන කොටස් වල එම චිත්‍ර වල කොටස් තවමත් තිබෙන්නට හැකි බවයි ( සීගිරියේ කාන්තා රූප මේ වන විට සොයා ගෙන නොතිබුනි.)

19 වන සියවසේ තුන්වන දශකයේ නැවතත් සීගිරිය නූතන ගවේෂකයන්ට එසේ හමුවන තුරු 5 වන සියවසේ සිටි කාශ්‍යප රජුගෙන් (ක්‍රි.ව. 473-491) පසුව වංශ කතා වල පවා සීගිරිය සම්බන්ධයෙන් හමුවන්නේ ඉතාම සුළු තොරතුරු ප්‍රමාණයක් පමණි. කාශ්‍යප රජුගෙන් පසු එහි සංඝාරාමයක් ඇතිවීම පිළිබඳව මෙයට පෙර ලිපියකින් විස්තර කලෙමි (>>Link). ඉන් අනතුරුව සීගිරිය ගැන සඳහනක් හමුවන්නේ දෙවන සංඝතිස්ස රජුගේ (ක්‍රි.ව. 614) පාලන කාලයේදීය. ඒ රජුට විරුද්ධව කැරලි ගසා බලය ලබාගන්නා රුහුණේ විසූ මොග්ගල්ලාන ඉන්පසුව සංඝතිස්ස රජු, ඔහුගේ පුතණුවන් සහ ඇමතිවරයෙකු සීගිරියට (සීහගිරිං) ගෙන ගොස් හිස් ගසා දැමූ සිදුවීම විස්තර කිරීමේදීය. (මෙම සිදුවීම මෙයට පෙර මලය රට සම්බන්ධයෙන් වූ ලිපියක විස්තරාත්මකව ඉදිරිපත් කලෙමි >> Link) දෛවයේ සරදමක් මෙන් තුන්වන මොග්ගල්ලාන රජුද (ක්‍රි.ව. 614 - 619) මලය රජුගේ පුත් අසිග්ගාහක සමග යුධ වැද රජුගේ සේනාව අතිශයින් දුබලව බිඳී පලාගිය කල්හි පැරදී හුදකලාව සීගිරිය අසලින් යන විටකදී අසිග්ගාහක සහ සේනාව පැමිණ මරා දමයි. 
කැටපත් පවුර සහ ගැලරිය ලෙසින් ෆොර්බ්ස් හඳුන්වන කොටස
සීගිරියට සැතපුම් 6 පමණ වයඹ දෙසින් වියඋල්පත ලෙසින් වර්තමානයේ හැඳින්වෙන ප්‍රදේශයකින් සොයාගත් අත්තාණි පිරිනැමීමක් සම්බන්ධ වූ දෙවන සේන රජුගේ (ක්‍රි.ව. 853 - 887) සමයට අයත් ලෙස හඳුනාගෙන ඇති ටැම් ලියයක එහි සිරිසංබොය් මපුර්මකා ලෙසින් හැඳින්වෙන දෙවන සේන රජු සහ මහපා විසින් සිහිගිරි බිමැ පිහිටි සාගුණා පන්හලැ (මෙය වර්තමානයේ විහාරස්ථාන හැඳින්වීම යොදාගන්නා පන්සල යන වචනයේ මුල් ස්වරූපයයි ) ට මුක්තීන් පිදීමක් පිළිබඳව සඳහන් වේ. (මුක්තීන් පිදීම පිළිබඳව කියවීමට >>Linkසීගිරිය පර්වතය පිහිටි මෙම ප්‍රදේශය සිහිගිරි බිම් ලෙසින් එවකට හැඳින්වුන බව ඒ අනුව පැහැදිලි වේ. 
සිහිගිරි බිම්
තම්මැන්න'නුරපුර සීගිරි විජිත පුර
කපුගල් පොළොන්නරු බද පිහිටි පුර වර
පසනූදහස් සිවුලක්සය ගම් පවර
සෑදුණි නොයෙක් කෙත් වත් උයනින් සාර

16 වන ශතවර්ෂයේ රචිත ලෙස සැලකෙන මන්දාරම් පුර පුවත නම් වූ කාව්‍යයයේ පැදි තුනකම එලෙසින් සීගිරි, සීගිරිය  යන ලෙසින් ග්‍රාම නාමයක් ලෙසින් සීගිරිය යන වදන හමුවේ. 

මූලාශ්‍ර
  • Sigiriya, R.H. de Silva, 1976
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • මන්දාරම් පුර පුවත, ලබුගම ලංකානන්ද මාහිමිපාණන් වහන්සේගේ සංස්කරණය, 1996
  • Eleven years in Ceylon, Major Forbes, 1840
  • Archaeological Survey of Ceylon North-Central, Central Provinces And Western Provinces Annual Report 1909, H.C.P. Bell
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume V, Part I Sirimal. Ranawella, 2001
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume IV, Edited by S.Paranavitana, 1934-1941

Saturday, October 20, 2018

කාශ්‍යප හිමි වැඩ සිටි ගුරුළු පර්වතය H.C.P. බෙල් සීගිරිය කලාද?

මෙරට නමට සිංහලයන් වන බහුතරය සිංහලයන්ගේ ප්‍රෞඩ ඉතිහාසය බොහෝ දුරට විශ්වාසවන්ත ලෙසින් (අපක්ෂපාති ලෙස නොවේ. අපක්ෂපාති ලෙස ඉතිහාසය සටහන් කරන්නන් ලොව නැත.) ග්‍රන්ථාරූඩ කර ඇති  මහාවංසය කියවා නැත. පාසලේ ඉතිහාසය එහෙන් මෙහෙන් උගන්වන කාලයක සිය මූලික අධ්‍යාපනය ලද පරපුරකට අයත් නම් ඔවුන් ලද ඉතිහාස දැනුම එපමණය. ඉතිහාසය, සාහිත්‍යය කන්නදැයි විමසූ පාලකයන් සිටි අවධියක පාසැල් ගියේ නම් ඒ ටිකද නැත. එවන් ජාතියක් උඹලාගේ ඉතිහාසය මෙන්න මේකයි කියා ඕනෑම ප්‍රබන්ධ කතාවකින් මුලා කරලිය හැක. බුදු හිමි ලංකාවේ සිටි බවත්, සීගිරිය යනු කාශ්‍යප තෙරණුවන් වැඩසිටි කුක්කුට පර්වතය බවත් එහි දැනට පා යුගලක නටබුන් ඇත්තේ කුක්කුට හෙවත් ගුරුලාගේ මිසක (ඇත්ත වශයෙන්ම කුක්කුට යනුද කුකුළා මිසක ගුරුලා නොවේ.) සිංහයකුගේ නොවන බවටත් ආදි වශයෙන් "කතාන්දර" ගොතා එවන් සාතිශය බහුතරයකට ඇඟේ මයිල් කෙලින් වෙන ආකාරයේ අත්භූත ඉතිහාසයක් මවා පෙන්වීම අතිශයෙන්ම සරලය. එමගින් එම "කතාන්දර පප්පලාට" පොරවල් විය හැක. අවශ්‍ය නම් පොතක් දෙකක් පලකර ආර්ථික ප්‍රතිලාභද අත්කර ගත හැක.

සීගිරියේ එහි උතුරු දිශාවෙන් සිංහයෙකුගේ රූපයක් සහිතව ගල මතු පිටට නැගීමට හිණි පෙලක්  තිබූ බවට මහාවංශයෙහි සහ සීගිරි කුරුටු ගී වල කියැවෙන බව මෙයට පෙර පළ කල ලිපියෙන් කරුණු දැක්වූවෙමි. Link>>  එහෙත් සීගිරිය පිළිබඳව වන ඉහත යාන් හෑල්ල ලියූ පුද්ගලයන් සහ පසුව එය ඔසවාගෙන යන අන්ද භක්තිකයන් මතු කරන මේ පිළිබඳව වන ප්‍රධාන සහ එකම කරුණ (Fact) වනුයේ සීගිරියේ දැනට දක්නට ලැබෙන ආකාරයට සිංහ පාදයේ "ප්‍රමුඛව" ඇඟිලි තුනක් පමණක් පිහිටා තිබීමය. එම යාන් හෑල්ලේ ඉතිරි සියල්ලම පොදු ව්‍යවහාරයේ භාවිතා වන ලෙසට නම් "අතේ රෝල්" මිසක අන් යමක් නොවේ.
යාපහුවේ සිංහ රූපය
Panthera leo sinhaleyus
ඓතිහාසික යුගය තුල සිංහයන් මෙරට ස්වභාවික වනාන්තර තුල ජීවත්ව සිටි බවට කිසිදු සාධකයක් හමු වී නැත. එමෙන්ම අශ්වයන් මෙරටට ගෙන්වූ ආකාරයට අසල්වැසි භාරතීය පෙදෙසකින් හෝ වෙනත් එවැනි විදේශ රටකින් සිංහයන් මෙරටට ගෙන ආ බවටද කිසිදු වංශ කතා හෝ සෙල් ලිපි සාධකයක්ද හමු නොවේ. Panthera leo sinhaleyus ලෙසින් නාමකරනය කර ඇති සිංහ විශේෂයක් මෙරට සිටි බවට හමු වී ඇති එකම සාධකය රත්නපුරයේ මැණික් පතලකින් හමු වූ සිංහයෙකුට අයත් බවට P.E.P. දැරණියගල මහතා විසින් හඳුනාගෙන ඇති සිංහ දත පමණි. කුරුවිට ප්‍රදේශයේ පොළව මතු පිට සිට අඩි 19 යටින් ඉල්ලම් පසට උඩින් 1936 වසරේදී හමු වූ මෙම දත ඉල්ලම් පස් සමග මිශ්‍ර වී තිබීම නිසා කාල නිර්ණය කල නොහැකි මුත් Pleistocene යුගයට අයත් බවට අනුමාණ කෙරේ. ( P.E.P. දැරණියගල මහතා කුරුවිට ප්‍රදේශයේම මැණික් පතලකින් අඩි 20 යටින් මෙම සිංහ වීශේෂයටම අයත් තවත් දතක් 1947 වර්ෂයේදී හමුවූ බව පවසා ඇති මුත් කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි මහතා පවසන්නේ මෙම විශේෂය මෙරට සිටි බවට ඇති එකම සාධකය දැනට බ්‍රිතාන්‍යයේ ස්වහාව විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ඉහත දත පමණක් බවය.)

මේ අනුව මෙරට සිංහ මූර්ති කැටයම් කල ශිල්පීන් දේශිය පුද්ගලයන් නම් ඔවුනට ජීවමාන සිංහයෙකුගේ හැඩරුව දැක ගැනීමට තිබූ හැකියාව අල්ප බව පෙනේ.
පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ දැකිය හැකි සිංහ රූපය
තාත්වික නොවන රජරට සිංහයන්
තවද මෙහිදී පැවසිය යුතු තවත් එක් වැදගත් කරුණක් වනුයේ පුරාණ සහ මධ්‍යතන යුගයට අයත් මෙරට හමුවන සියළුම සිංහ රූප කැටයම් සහ මූර්ති තාත්වික ශෛලයකින් නෙලා නොමැති බවය. සිංහයා ට අමතරව බහුලව හමුවන අනෙක් සිව්පා (ක්ෂීරපායී) සතුන් තිදෙනා වන අශ්වයා, ගවයා සහ අලියා සමග සංසන්දනය කිරීමේදී මෙය කැපී පෙනෙන වෙනසක් වන්නේ බොහෝ විට එම සතුන් සිංහයා මෙන් ශෛලිගතව නොව තාත්වික ශෛලියකින් නෙළා තිබීමය. එම ලක්ෂණය මෙරටට පමණක් නොව අසල්වැසි ඉන්දියාවේ සිට චීනය දක්වා රටවල් වල හමුවන පැරණි සිංහ මූර්ති සහ කැටයම් වලටද බොහෝ දුරට අදාල වේ. මේ සමග පළවන යාපහුවේ සහ පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ හමුවන ගලින් කල සිංහ රූප දෙස බැලීමෙන් එම සිංහ රූප ජීවමාන සිංහයකුගේ විලාශය නොදක්වන බව වටහා ගත හැක (එහෙත් එම සිංහ රූප වල ප්‍රමාණයන් [Proportions] බොහෝ දුරට නිවැරදිව නෙළා ඇති බවද මෙහිදි සඳහන් කල යුතුය.)

ශෛලිගත සිංහ රූපයක පා වල ඇඟිලි ප්‍රමාණයන් ආදිය නිවැරදි විය යුතු නැති බවට අමුතුවෙන් පැවසිය යුතු නොවේ.
නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ ඇති සිංහයාගේ පාද
පොළොන්නරුවේ සහ යාපහුවේ සිංහයන්ගේ ඇඟිලි ගණන
වෙනත් පැරණි සිංහ රූප වල සිංහයාගේ ඉදිරි පාදයේ ඇති ඇඟිලි පිළිබඳව විමසා බැලූ විට පෙනී යන්නේ පොළොන්නරුවේ නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ තිබෙන සිංහයාගේ ඉදිරි පාදයේ ප්‍රමුඛව දැකිය හැක්කේද ඇඟිලි 3 ක් පමණක් වන බවය. මේ සමග ඇති රූපයේ දක්වා ඇති ලෙසට එම සිංහ රූපයේ වම් පාදයේ ඇඟිලි තුනක් පමණක් දැකිය හැකි අතර දකුණු පාදයේ ඉදිරිපසට වන්නට දක්නට ඇත්තේද ඇඟිලි තුනක් පමණි. එහෙත් තරමක් පසු පසට වන්නට තවත් ඇඟිල්ලක් පැහැදිලිව එම දකුණු පාදයේ පමණක් දැකිය හැක (කාලයත් සමග සැලකිය යුතු මට්ටමින් විඛාදනය වී ඇති මෙම පාද එහි මුල් ස්වරූපයෙන් අද දැකිය නොහැක. වම් පාදයේ අමතර ඇඟිල්ල තිබූ කොටස මේ වන විට ගැලවී ගොස් ඇතිවා විය හැක.)

යාපහුවේ සිංහයාගේද පාද එහි මුල් ස්වරූපයට වඩා බෙහෙවින් ගෙවී ගිය ලෙසින් අද දැකිය හැකි මුත් ඇඟිලි හතරක් තිබූ බව විමසිල්ලෙන් බැලූ විට දැක ගත හැක. යාපහුවේ සිංහ රූපයේ ඇඟිලි වල නියපොතු සීගිරියේ සහ පොළොන්නරුව නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයේ සිංහයාගේ මෙන් ඉදිරියට නෙරා ගොස් නොමැති අයුරුන් නෙළා ඇත (සිංහයන්ගේ නිය පූසන්ගේ මෙන් ඇඟිලි අතර සැඟවී ඇති බවත්, එහෙයින් සීගිරියේ පාද සිංහයකුගේ නොව පක්ෂියෙකුගේ බවටත් තර්ක කරන රාවණ බ්‍රෝ ලාගෙන් මෙහිදී ඇසිය යුත්තේ එතකොට පොළොන්නරුවේ සිංහයා පක්ෂියෙක්ද කියාය.)
සීගිරිය දකුණු සිංහ පාදය - වම් කෙලවරේ ඇති පස්වන ඇඟිල්ල බලන්න
ඇත්ත වශයෙන්ම සිංහයෙකුගේ ඉදිරි පාදයේ ඇඟිලි 5 ක් ඇති අතර පසුපස පාද වල ඇත්තේ ඇඟිලි 4 ක් පමණි Link>>. ඉදිරි පාදයේ එක් ඇඟිල්ලක් අනෙක් ඇඟිලි හතර සමග පොළොවට ස්පර්ශ නොවී පාර්ශවිකව මදක් ඉහලින් පිහිටා ඇත (Dewclaw බල්ලෙකුගේ පාද වලද මේ ලක්ෂණය දැකිය හැක.) බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවන මුත් සීගිරියේ සිංහ පාදයේද මෙම 5 වන ඇඟිල්ල දැකිය හැක (මේ සමග පළවන ඡායාරූප බලන්න.) ඒ අනුව මෙහිදී ඉදිරිපස ඇඟිලි තුනක් පමණක් දැනට දැකිය හැක්කේ ඇයිද යන පැණය නැවතත් මතුවේ.
පස්වන ඇඟිල්ල
ඇතැම්විට මුල් නිර්මාණයේ ඇඟිලි තුනක් සහ පාර්ශ්වික ඇඟිල්ල පමණක් තිබුනා වන්නට ඉඩ ඇත. එහෙත් පහත දක්වා ඇති ඡායාරූප දෙස වුවද විමසිල්ලෙන් බැලූ විට පෙනී යන්නේ සිව්වන ඇඟිල්ලක් නෙලීමට අවශ්‍ය ඉඩකඩ එම පාද වල දැනටද දැකිය හැකි බවයි. එසේම ඇතුලට වල ගැසුනු කොටසක් සීගිරියේ සිංහ පාද වල (වම් සහ දකුණු පාද) පිටත පැත්තේ දැකිය හැක.  දකුණු පාදයේ ඉදිරි ඇඟිලි සහ 5 වන ඇඟිල්ල අතර පිටතට නෙරා ගිය ගඩොල් කොටසක්ද දැකිය හැකි බවද මෙහිදි පෙන්වා දිය හැක.ඒ අනුව ඇතැම් විට එම ඇඟිල්ල මුලදී තිබී පසු කලක විනාශ වූවා විය හැක.
සීගිරිය වම් සිංහ පාදය - දකුණු කෙලවරේ ඇති පස්වන ඇඟිල්ල බලන්න
සිංහයා පක්ෂියෙකු කලේ කවුද?
යාන් හෑලි ලියන රාවණ බ්‍රෝලාගේ බයිලා වල කියැවෙන අන්දමට නම් 1890 ඉතා අපහසුවෙන් සිංහ පාදය අසලට නැගගත් H.C.P. බෙල් එය දැක තුෂ්ණිම්භූත වී ඇත. ඇත්ත කතාව නම් එම සිංහ පාද කැනීම් මගින් H.C.P. බෙල් මහතා මතු කර ගන්නේ 1908 දී බවය. එතෙක් එම සිංහ පාද සහ පියගැටපෙල එහි ඉහලින් පිහිටා තිබූ සිංහයාගේ ඉතිරි කොටස සහ වෙනත් ගොඩනැගිලි ආදියේ කඩා වැටීමත් සමග එක්වූ සුන්බුන් වලින් සම්පූර්ණයෙන්ම වැසී ඒවා මත ශාක වැවී තිබී ඇත. දැනට සිංහ පාදය තිබෙන ස්ථානය සහ ඒ අවට තනිකර පස් ගොඩැල්ලක් ලෙසට විනා සිංහ පාදයක් ලෙස දිස්වී නැත.

 අද සිංහ පාදයේ දක්නට ඇති කපරාරුව සහ එයින් පැහැදිලිව මතු කර ඇති නිය පසු කාලීන සංරක්ෂණ ක්‍රියාදාමයන්හි ප්‍රතිඵල විනා ඒවායේ මුල් ස්වරූපය නොවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125 වන සංවත්සරය වෙනුවෙන් එම දෙපාර්තමේන්තුව මගින් පළකල ඔවුන් සතුව ඇති පැරණි ඡායාරූප එකතුවේ දැක්වෙන ඡායාරූපයකින්ද පැහැදිලි වේ. (නීතිමය හේතුන් මත එම ඡායාරූපය මෙහි පළකල නොහැකි බව සලකන්න.) දකුණු පාදයේ පියගැටපෙල දෙසට වන්නට පිහිටි නිය කොටසේ සුළු පෙදෙසක කපරාරුව හැරෙන්නට එම ඡායාරූපයට අනුව සිංහ පාදයේ ඉතිරි කොටස් වල දැකිය හැක්කේ මතුවී පෙනෙන ගඩොල් කොටස් පමණි. ඒ අනුව ඒ වන විට විනාශවී තිබූ සිව්වන පාදයේ කොටස් කැනීමේදී ඉවත් වී සංරක්ෂණ කාර්යයේදී අවධානයෙන් ගිලිහුනා වීමටද ඉඩ ඇත. දැනට දක්නට ඇති පසු කාලීනව එකතු කල කපරාරුව සහ එයින් මතු කල ඇඟිලි 3 (සහ 5 වන ඇඟිල්ල) සහිත සිංහ පාදයේ හැඩයට යටවී සදහටම වැලලී ගොස් ඇතුවා විය හැක. තවදුරටත් පැරණි ඡායාරූප සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් සහ සංරක්ෂණ වාර්තා (ඒවා විනාශ නොවී තවමත් දෙපාර්තමේන්තුව සතුව කොහේ හෝ ඇත්නම්) විමසා බැලීමෙන් ඒ පිළිබඳව යමක් පැවසිය හැක. කෙසේ නමුත් සීගිරියේ දැකිය හැක්කේ සිංහයකුගේ පාද බවට නිගමනය කිරීමට නම් මේ කිසිවක් බාධාවක් නොවේ.
සීගිරි පර්වතයේ නැගෙනහිර දිශාවෙන් ගත් මෙම ඡායාරූපයට ඉදිරියෙන් සිංහ රූපයක මුහුණක් මවා ගත් විට කොතරම් අපූරුවට ලැග සිටින සිංහයකු නිර්මාණය වේදැයි සිතා බලන්න.
ඇතැම්විට බෙල් හෝ බෙල්ට පසුව මෙහි සංරක්ෂණ කාර්යයන් සිදු කල පුරාවිද්‍යාඥයන් අතින් එම සිව්වන ඇඟිල්ලේ තරමක් හෝ ඉතිරිව තිබූ කොටස් විනාශ වී ගියේ නම් හෝ කපරාරුව නිසා එම කොටස් සැඟවී ගියේ නම් සිංහයකු සිටි සීගිරිය, "ඇඟිලි තුනේ ගුරුලෙකු" කිරීමේ වගකීම ඔවුන් බාරගත යුතුය.(රාවණ බ්‍රෝලා මෙරට කීර්තිමත් පුරාවිද්‍යාඥයින්ට සහ ඉතිහාසඥයන්ට චෝදනා කරන ලෙසින් එසේ සිදු වූවා නම් එය ඔවුන් හිතාමතා කල දෙයක් නොව අතපසු වීමක් බවද මෙහිදී සඳහන් කල යුතුය. සංරක්ෂණ සහ කැනීම් ක්‍රියාදාමයන්හිදී එවැනි දේ සිදුවීම වැලැක්විය නොහැකි අතර අවම කරගැනීම පමණක් සිදු කල හැක.)

මූලාශ්‍ර
  • Sigiriya, City palace gardens monasteries paintings, Senaka Bandaranayake, 2013
  • Archaeological Guide to Sigiriya, Raja de Silva, 2004
  • Sigiriya, R.H. de Silva, 1976
  • උරුමයක අරුණ එදා අද, 2015
  • The Pleistocene of Ceylon, P.E.P. Deraniyagala, 1958
  • අනුරාධපුර ජෛවවිවිධත්වය සහ වර්තමාන ජෛවවිවිධත්වය, කැලුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි, ගාමිණී අධිකාරි, 2014
  • Srinimal Lakdusinghe Felicitation Volume, Gunawardhana et.al., 2010

Monday, October 15, 2018

සීගිරියේ කිසිවෙකු නුදුටු අලුත්ම පුදුමය - ගුරුළු පාදය

මේ වන විට තරමක් යටපත් වී ඇතත් මෑත කාලයේදී මෙරට සමාජ මාධ්‍ය සහ ඇතැම් "බෝතල් පත්තරකාරයන්ගේ ජනමාධ්‍ය" වලින්ද සැලකිය යුතු ප්‍රචාරයක් ලද පට්ටපල් අතේරෝලක් ගැන කතා කිරීම මෙම ලිපියේ අරමුණයි. අන්තර්ජාලයේ පහසුවෙන් සිංහල අකුරු ලිවීමේ හැකියාව ලැබීමත් සමග මේ රටේ සිටින ඕනෑම උන්මන්තකයෙකුට තමුන්ට හිතෙන ඕනෑම කුණුහරුපයක් ලියා ඒවාට සැලකිය යුතු ප්‍රචාරයක්ද ලබාගැනීමේ ඉඩකඩ මැනවින් විවර වී ඇත. ඒවා පසු පස යන අන්ධ අනුගාමිකයන් පිරිසක්ද ඊටත් වඩා පහසුවෙන් ඇති කරගැනීමටද එමගින් අවස්ථාව ලැබේ. මෙරට ඉතිහාසය නොදන්නා ජාතියක් ජම්මයක්, සභ්‍යත්වයක් නොමැති, පිදුරංගලට නැග සීගිරි අප්සරාවන්ට තමුන් නපුංසක බව පෙන්වා, මුහුණු පොතේ රටට පස්ස පෙන්නන අවජාතකයන් බිහිවන්නේ එවන් වටපිටාවකය. අනෙක් අතට "පොලවෙන් උපන් පඹයෙකු" ඉදිරියට දමාගෙන "බටලන්දේ බැංකු හොරෙකු" සහ "චෞර රැජිනක්" නැවත රජ කරවන්නට බටහිර සහ අසල්වැසි රටක තානාපති කාර්යාල බුද්ධි මෙහෙයුම් මගින් කඩේ යැවිය හැකි "කුර වංශයේ" ලක්ෂ 62 ක්ම සිටින රටක මෙවැනි අතේරෝල් බ්ලොග් කාරයන්ට, රාවණ බ්‍රදස්ලාට සහ මීවනපලානේලාට බුදුන් පමණක් නොව අවැසි නම් ජේසුතුමාවද ලංකාවේ අලුතින් ඉපැද්දවිය හැකිය. කෙසේ නමුත් අපගේ මෙම ලිපියේ ප්‍රස්තුතය සීගිරියේ සිංහයාය.
සිංහ පාදය

සීගිරියේ සිංහ පාදය අසලට ගොස් බැලූ විට එක්වරම ප්‍රමුඛව දිස්වන්නේ සිංහයාගේ එක් පාදයක ඇඟිලි තුනක් පමණි. මෙම කාරණය දුටු එක්තරා "රාවණා බ්ලොගෙකුට" අපූරුම අදහසක් ඇති වී ඇත. එතැන් සිට ඔහූ එය පදනම් කරගෙන අමුතුම කතාවක් ගොතාගෙන යයි. එම සම්පූර්ණ කතාවේ සාරාංශයක් හෝ මෙහි ඉදිරිපත් නොකරන්නේ එමගින් හෝ ඔවුන්ගේ මනස්ගාත අදහස් වලට ප්‍රචාරයක් නොදිය යුතු බැවිනි. අනෙක් අතට එම අදහස් ඕනෑවාටත් වඩා මේ රටේ ඉවක් බවක් නොමැතිව ජනප්‍රිය වන ඕනෑම කුණුගොඩක් වැලඳගන්නා අවිචාරවත් පරපුර අතරට ගොස් ඇත. කෙසේ නමුත් එම ඇඟිලි තුන සහ එහි ඇති උල් හැඩයෙන් යුතු නියපොතු නිසා කතන්දරය ගොතන්නේ සීගිරියේ සිට ඇත්තේ සිංහයකු නොව පක්ෂියෙකු නැතහොත් ගුරුලෙකු බවය. කතාව තවත් රසවත් කිරීමට සුද්දෙකුද දුෂ්ඨයකු කල යුතුය. එවිට මෙරට රැල්ලට යන "ජාති ආල පොරවල්ගේ" බොක්කටම කතාව ගිලා බසී. ඒ සඳහා මෙතැනදී දුෂ්ඨයා වන්නේ H.C.P. බෙල් ය. (රැල්ලට යන ජාති ආල පොරවල් ගැන මම මෙයට පෙර ලියූ සිංහලේ ලිපියේ Link>> මතු කල සැකය මේ වන විට සාධක සහිතව ඔප්පු වී ඇත. මේ වන විට හෙළිවන තොරතුරු අනුව "සිංහ - ලේ" ලෙසින් රැල්ලක් නිර්මාණය කල ප්‍රධාන චරිත සියල්ලම පොලිස් ඔත්තු කරුවන්ය. පාලකයන්ගේ දේශද්‍රොහී ගමනට එරෙහිව සැබෑ ජාතික විමුක්ති අරගලයක් බිහිවීම වැලැක්වීම හෝ එවන් සැබෑ අරගල වලට නිසි ප්‍රචාරය නොලැබීමට සැලැස්වීම සඳහා මෙවන් පුහු වීර චරිත මවන "ඩෑන් ලා සහ චෑන් ලා" වැනි ඊණියා දේශප්‍රේමින් කපටි පාලකයන්ට අවැසිය.  කිසියම් පැහැදිලි නැති හේතු සාධක මත ඔවුන් අතර මේ වන විට අරගලයක් මතු වී ඇත [හෝ අපට එසේ පෙන්වයි].  ඒ ඔස්සේ මේ කරුණු හෙලිවෙමින් පවතින බව පෙනේ. )

පෙර ලිපියකින්ද Link>> උපුටා දැක්වූ පරිදි සීගිරියේ සිංහයෙකු පිළිබඳව මුල්ම සඳහන හමු වන්නේ අපගේ ප්‍රධානම ඓතිහාසික මූලාශ්‍රය වන මහාවංශයෙනි. එය නැවතත් උපුටා දක්වමි.

":ඉක්බිති ඒ පාපී වූ කස්සප නමැති රජු....බියවී සීගිරියට ගියේය. මිනිසුන් විසින් අපහසුවෙන් නැගිය යුතු එය හාත්පසින් පිරිසිදු කරවා, ප්‍රාකාරයකින් වට කොට ඉණිමං සහිත ගෙවල් සිංහයකුගේ ආකාරයෙන් කරවීය. එහෙයින් සීගිරි (සීහගිරිං) නම් විය. 


කැටපත් පවුර
කාශ්‍යප රජුගෙන් පසුව හෝ එම ස්ථානයේ පැවති බවට ඇතැම් වියතුන් අනුමාන කරන මහායාන සංඝාරාමයේ පරිහාණි කාලයෙන් අනතුරුව සීගිරිය නැරඹීමට පැමිණි තත් කාලීන නරඹන්නන් තබා ගිය සීගිරි ගී වලින් හෙලිවන තොරතුරු එහි සිංහ රුවක් තිබූ බවට අනතුරුව හමුවන ප්‍රබලම සාධක වේ. මේ එම ගී සහ ඒවායේ අර්ථයයි.

1) අවුද් මුළු වෙ ගිරිහී යන වි අප මුළු විසිරි
    සිහිඳුන් සෙය හැඟැ අප සිහි වන්නට් සිහිගිරි

මෙහි පැමිණ මිනිසුන් එක්වී ගල මත ඒකරාශී වේ. සිංහ රජු මෙය වටහාගෙන මෙහි සිටින්නේ, අපට එම ඒකරාශී වීමෙන් වෙන්වී ඈතට යෑමට මෙනි. එසේම සිහිගිරි ය අපගේ මතකයට කාවැද්දීමටය. 

යුගය - 9 වන සියවසේ අවසාන භාගයේ හෝ 10 වන සියවසේ මුල් කාලය.

2) නැගී ඇති බලනට බැලිමි සිහිමියන් සිහිගිරි
    මනදොළ පුරය් ඇති බලනරිසි නොවෙ බෙයන්ද් රන්වන්

එහි ඇත්තේ කුමක්දැයි බැලීමට සිහිගිරි නැග්ගෙමි. සිංහ රාජයන් දැකීමෙන් මාගේ මනදොළ පිරිගියේය. ගුහාවේ සිටින රන්වන් ලියන් දැකීමට ආසාවක් නොවේ. 

යුගය - 9 වන සියවස

3) සීරජු යසස සිරී තුබූ මුළුලොව් පැතිරී
   නිලුපුල් ඇසුන් අසිරී බැලුමො සිහිගිරී

අපි සිහිගිරියේ ඔහුගේ යසස සහ විභූතිය මුළු ලොව පැතිරවූ සිංහ රජුද,  නිල් උපුල් වන් ඇස් ඇති අප්සරාවන්ගේ අසිරියද දුටිමු.

යුගය - 8 වන සියවස

4) දිගැස් ගිරිහිසැ හිඳි ඇවිද් මෙ ගල බැලුමො
බලමනා තක් ඇවිද් බැලුමො සි සිහිගිරී

මේ ගලට පැමිණ එහි මුදුනේ සිටින දිගැසියන් බැලුවෙමු. අප මෙහි පැමිණ සිහිගිරියේ සිංහයා බැලුවෙමු. ඒ සියල්ල බැලීමට වටිනවාය. 

යුගය - 9 වන සියවස

5) අතින් මල් ගත් කලූ මෙ දුට පවහි සිරෙ වෙයි
සිහිමියන් තමන් දුට නොවන්නෙ යි සිහි තමහට

අතින් මල් ගත් මේ අප්සරාව දුටු කල යමෙකු ගල මත සිර වේ. සිංහ රජු දුටුවද සිංහයා මතකයේ නොරැඳේ. 

යුගය - 8 - 9 සියවස්.
කැටපත් පවුරේ ගීයක්
මෙම සීගිරි ගී වලට අනුව අවම වශයෙන් 9 සියවස හෝ ඇතැම් විට 10 වන සියවසේ මුල් කාලය දක්වාම සිංහයෙකුගේ විශාල රූපයක් සීගිරියේ තිබී ඇත. මෙම ගී වලට අමතරව තවත් සීගිරි ගී කිහිපයකම මෙහි තිබූ සිංහ රූපයක් පිළිබඳව වර්ණනා දැක්වෙන මුත් පක්ෂියෙකු හෝ ගුරුලෙකුගේ රුවක් පිළිබඳව එකදු සඳහනක් වත් මේ දක්වා කියවා ඇති කිසිදු සීගිරි ගීයකින් හමු නොවේ. 

සීගිරියේ දක්නට ලැබෙන්නේ සිංහ පාද යුගලයක් බව ස්ඵූට කිරීමට මේ සාධක ඉහටත් උඩින් ප්‍රමාණවත් නමුත් එහි සිංහයාගේ ඇඟිලි තුනක් පමණක් දක්නට ලැබෙන්නේ ඇයිද යන්න පිළිබඳවද යමක් පැවසිය යුතුය. ලිපිය දිග වැඩිවන බවින් ඒ පිළිබඳව පසුව අවධානය යොමු කරමු. 

මූලාශ්‍ර
  • Sigiri Graffiti, S. Paranavitana, Vol 1 & 2, 1956
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Sigiriya, City palace gardens monastries paintings, Senaka Bandaranayake, 2013