Sunday, November 4, 2018

ජනනාථමංගලම්හි විෂ්ණු දේවාල - 1

පොළොන්නරුව පැරණි නගරයට එහි උතුරු දිශාවෙන් පිවිසෙන දොරටුව අසලම වම් පසින් පිහිටි කළු ගල් කුට්ටි වලින් සාදා තිබූ විෂ්ණු දේවාලයක නටබුන් පිළිබඳව බරෝස් (S.M. Burrows1885-86 වසර වල කැනීමක් සිදු කර විස්තර ඉදිරිපත් කරයි. එම කැනීමේදී ඔහුට එම නටබුන් ගොඩනැගිල්ලේ ගර්භ ගෘහය (Inner Shrine) ලෙසින් හඳුනාගන්නා කොටසේ තිබී කදිම කළු ගලින් නෙලූ වීෂ්ණු දේව ප්‍රතිමාවක් හමුවේ. එම ප්‍රතිමාවට අමතරව එම පරිශ්‍රයේ තිබී තවත් ශෛලමය පිලිරූ කිහිපයක්, සිංහ රූප සහිත බිත්ති හිසක් (Large bold frieze of Lions) සහ සෙල් ලිපි කොටස් දෙකක් හමුවේ. ගොඩනැගිල්ල අසලින් හමුවන තවත් සෙල් ලිපියක කොටසක් ඔහු පවසන පරිදි 'දළදා මාළිගාව' අසල තිබෙන නිශ්ශංකමල්ල රජුගේ සෙල් ලිපියේම පිටපතකි. (මෙහි දළදා මාළිගාව ලෙසින් එවකට වැරදියට හැඳින්වූ අංක 1 ශිව දේවාලය අදහස් කෙරේ. එම ශිව දේවාලය පිළිබඳව කියවීමට >> Link )
තවද කැඩී බිඳි ගිය ගනේෂ හෙවත් පිල්ලෙයාර් ප්‍රතිමාවක්, මොණරා සමග සිටින කතරගම දේව ප්‍රතිමාවක් ( එයද කැඩී බිඳි ගොස් තිබී ඇත.) ඊශ්වර පිළිරුවක් සහ තවත් හඳුනාගත නොහැකි කැඩුණු ප්‍රතිමාවක්ද එම නටබුන් ගොඩනැගිල්ල අසල ස්ථාන වලින් බරෝස් ට හමුවේ. ඉන් වසර 22 කට පසු වර්ෂ 1908 දී එම ස්ථානයට යන H.C.P. බෙල් හට වන ගහනයට සහ සෝදාගෙන යන පස් වලට යටවීමෙන් වැසී තිබූ දේවාලයේ නටබුන් මතු කර ගැනීමට නැවතත් කැනීමක් කිරීමට සිදුවේ. ගොඩනැගිල්ලේ පදනම සඳහා බොහෝවිට ආසන්නයේම පිහිටි කිසියම් බෞද්ධ විහාරයකින් ගෙනා බවට සිතිය හැකි සිංහ රූප පෙලක් සහිත බොරදම සහිත ශෛලමය කැටයම් කණු හැටදාගේ ලෙසින් හඳුන්වන ස්ථානයේ දැකිය හැකි එවන් කැටයම් සහිත ගල් කුළුනු වලට සමාන බවද ඔහු සඳහන් කරයි. (ඉහත බරොස්ද විස්තර කරන්නේ මෙම ගල් කැටයම් විය හැක. දැනට ඒවා එම ස්ථානයේ දැකිය නොහැක.)
බරෝස් විස්තර කල අඩි 3 අඟල් 8 ක් වූ හිටි විෂ්ණු ප්‍රතිමාව පද්මාසනය මත බරෝස් වසර 22 කට පෙර සිටුවා තැබූ ආකාරයෙන්ම බෙල්ට හමුවන අතර අත් සතරක් සහිත එම ප්‍රතිමාවේ ඉහලට එසවුනු වම් සහ දකුණු අත් වල පිලිවෙලින් සංඛය සහ චක්‍රය දරන අතර පහලට යොමු වූ වම් අතේ පොළොවට බරවූ මුගුරක් දැකිය හැක. අනෙක් දකුණු අතින් අභය මුද්‍රාව විදහා පායි. මෙම ප්‍රතිමාව දැනට මෙම ස්ථානය නොමැති අතර එය පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ඒ වෙනුවට එහි අනුරුවක් දේවාලය තුල තැන්පත් කර ඇත.
දේවාල ගොඩනැගිල්ලට පිටතින් තිබී බරෝස් විස්තර කල සෙල් ලිපි කොටස්ද බෙල්ට හමුවන අතර ඔහුද එය මාලිගා කොටුවේ (Citadel) උතුරු දොරටුව අසල ඇති (අංක 1 ශිව දේවාලය පිහිටා ඇත්තේද මේ ආසන්නයේය ) සෙල් ලිපියේ මෙන්ම නගරයට ඊසාන දෙසින් ඇතුලුවන දොරටුව අසල අංක 2 ශිව දේවාලය ආසන්නයේ දැකිය හැකි සෙල්ලිපියේද පිටපතක් ලෙස හඳුනාගනී.
මෙම විෂ්ණු රූපය දැනට නටබුන් කෞතුකාගරය තුල තැන්පත් කර ඇති මුල් පිලිමයේ අනුරුවක් පමණි
පොළොන්නරු යුගය දක්වාම විෂ්ණු ඇදහිල්ල මෙරට තුල තිබූ බවට සාධක හමු නොවේ. එහෙත් ක්‍රි.ව. 1017 සිට 1070 පමණ දක්වා චෝල ආධිපත්‍යයට මෙරට නතුවීමත් සමග (චෝල ආධිපත්‍යට සිංහලද්වීපය නතු වීම පිළිබඳව වැඩිදුර විස්තර සඳහා >> Linkශෛව මෙන්ම විෂ්ණු භක්තිකයන්ද මෙරටට පැමිණ වාසය කර ඇති බව පොළොන්නරුව පැරණි නගරයේ හමුවන එම හින්දු ආගමේ දෙවිවරු දෙදෙනාට නිසැකවම අයත් කල හැකි දේවාල වලින් පැහැදිලි වේ. පොළොන්නරුව නටබුන් නගරයේ ප්‍රාකාරයෙන් වටවූ කොටසේ මෙන්ම ඉන් පිටතද දැනට එවන් විෂ්ණු දේවාල 5 ක් පමණ හඳුනාගෙන ඇති අතර මෙම දේවාලය අංක 2 විෂ්ණු දේවාලය ලෙසින් බෙල් හඳුන්වයි.
දේවාලය තුල තිබී හමුවූ විෂ්ණු පිළිමය සහ මයුරාසනාරූඩ කතරගම දෙවියන්ගේ ප්‍රතිමාවක් ලෙස බරෝස් හඳුනාගන්න පිළිමය.
මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon North-Central And Central Provinces, Annual Report 1908, H.C.P. Bell, 1913
  • Heritage of Rajarata, Chandra Wikramagamage, 2004
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007

10 comments:

  1. පොලොන්නරුවෙ කතරගම ඇදහීම ව්‍යාප්තවෙලා තිබුනද?

    කතරගම යනු හින්දු දේව මණ්ඩලයේ ස්කන්ධ, මුරුගන්, කාර්තික්‍ය ආදී නම්වලින් හැඳින්වුන දෙවියන්මද?
    ඒත් ඔහුට ලංකාවේ ජීවිත ඉතිහාසයකුත් තියනවා. ඉන්දියාවෙන් මෙහි පැමිණි ඔහු මෙහි ජනතාව පෙලූ ප්‍රාදේශීය නායකයෙක් පරදා ජීවත් වුන එක. ඒක හින්දු කොටසට සම්බන්ධ වෙන්නේ කොහොමද?

    හූෂණ දන්නව ඇති ස්කන්ධ යනු ඇලෙක්සැන්ඩර් වේරියේශන් එකක් කියන මතය . මොකද හිතන්නෙ?
    Alexander = Sikander/Iskandar (both derived from Alexander and fairly well known names in Pakistan and neighbouring regions)= Skanda (?)

    ReplyDelete
    Replies
    1. ඒ කියනනේ ස්කන්ධ ලංකා වර්ෂන් එක, ස්කන්ධව ප්‍රෙමා්ට් කරන්න භක්තියන් හදපු කතාවක් වෙන්න බැයිද?

      Delete
    2. අර කැටයම් කණූ වලට මොකද උනේ?

      Delete
    3. පොළොන්නරු යුගයට පෙර සිටත් කඳ කුමරු/ස්කන්ධ කුමාර යන දෙවියන් පිළිබඳව සඳහන් අවස්ථා මහාවංශයේ හමුවෙනවා. දෙවන කාශ්‍යප රජුගේ කාලයේ සිදුවීමක් විස්තර කිරීමේදී ඒ බව සඳහන් වෙනවා. පොළොන්නරු යුගයෙන් පසුවත් 14 වන සියවසේ රචිත නිකාය සංග්‍රහයේ ස්කන්ද කුමාර සතරවරම් දෙවිවරුන්ගෙන් කෙනෙක් ලෙස හඳුන්වනවා. එක් මතයකට අනුව මහාඝෝෂ/මහසෙන් ලෙස හැඳින්වුනු දේශිය දෙවි කෙනෙකු පසුව භාරතීය ස්කන්ධ කුමාර/මුරුගන්/කන්දසාමි නම් දෙවියා බවට පත්වී තිබෙනවා. ඔබ පවසන ඇලෙක්සැන්ඩර් මතය තව එකක්. මට නම් මේ එකක්වත් අවසාන නිගමනයක් ලෙස ගත නොහැකි ලෙසට සියලු දේ පැටලී ඇති බවක් පමණයි පෙනෙන්නේ. බුදු හිමියන් වගේ නෙමේ දේව ඇදහිලි අපේ රට තුලදී නිතර වෙනස් වෙනවා. අලුත් දෙවිවරු බිහිවෙනවා, පරණ දෙවිවරු අලුත් දෙවිවරුන්ගෙන් අතික්‍රමණය වෙනවා, බල සම්පන්න ප්‍රදේශිය නායකයන් පමණක් නොව රජවරු පවා මියගිය පසු දේවත්වයට පත් වෙනවා. සර්ව බලධාරී එක් දෙවි කෙනෙක් වෙනුවට තිස්තුන් කෝටියක් දෙවිවරු අදහන සිංහල සංස්කෘතිය තුල එය විය හැක්කක්.

      Delete
    4. @දේශක එම කැටයම් කණු පිළිබඳව යමක් මට සොයාගත හැකි උනේ නැහැ. බෙල් වාර්තා වල දැක්වෙන එකල ගත් ඡායාරූප වලත් කණු කිහිපයක් දැකිය හැකියි. ඒවායේ කැටයම් තිබෙනවාද යන්න පැහැදිලි නැහැ

      Delete
  2. මේ කාලයට අයත් දකුණු ඉන්දියානු කෝවිල් එක්ක බලපුවම පොලොන්නරුවෙ ඉතාම සරළ ආකාරයේ කෝවිල් ඇතිවෙන්න හේතුව මොකද්ද๬

    ReplyDelete
    Replies
    1. අනුග්‍රහය දැක්වීම සඳහා එතරම් විශාල බැතිමතුන් සංඛ්‍යාවක් නොසිටීම විය හැකියි නේද? චෝල ආක්‍රමණික සේනාව සහ ඔවුන්ගෙන් පැවත එන්නන් මූලිකවත් ඇතැම්විට ඉන්පසුව සුළු වශයෙන් වුවද සිදුවූ දකුණු ඉන්දීය සංක්‍රමණිකයන් ප්‍රධාන වශයෙන් ඒවායේ දායකයන් වන්නට ඇති. මෙරට ස්වදේශිකයන් කොතරම් දුරට මේ නව ආගම් වලට අනුගත වූවාද යන්න පැහැදිලි නැහැ. හැබැයි ඇතැම් බෞද්ධ සිද්ධස්ථාන වලට චෝල ප්‍රභූන්ගේ අනුග්‍රහය ලැබූ බවට වු සාධක තියෙනවා. එපමණක් නොව චෝලයන් නික්ම ගිය පසුව සිංහල බෞද්ධ පාලකයන් මෙම හින්දු දේවාල වලට නුග්‍රය දැක්වීමත් සිදු වෙලා තියෙනවා (http://trisinhala.blogspot.com/2015/11/3.html)

      Delete
  3. ඉතා මනරම් - වඩයි රුචිකම් - දැනුම් තේරුම් - හැමට ඇති නම්!

    ReplyDelete