Sunday, February 25, 2018

ජනනාථමංගලම්හි ශිව දේවාල - "දළදා මාළිගය" නොහොත් අංක 1 ශිව දේවාලය

අනුරාධපුරය අගනගරය ලෙස තබාගනිමින් රාජ්‍යය විචාල සිංහල රාජාවලියේ  අවසාන රජු වන පස්වන මහින්ද (ක්‍රි.ව. 982-1017) මහාවංශය දක්වන පරිදි නීති මාර්ගයෙන් ඉවත් වූ, හැම ලෙසකින්ම මොළොක් වූ ජනපද වැසියෝ අයබදු පවා නොගෙවූ දුර්වල පාලකයෙකි. සේන සෙන්පතියා විසින් ගෙන එන ලද විදේශික ජනයා ගැවසුන අනුරාධපුර නගරයේ ඔහු දුක සේ දස වසරක් වාසය කලේය. සම්පත් හීන වූ ඒ රජු සිය සේනාවට වැටුප් ගෙවීමට පවා අසමත් විය. ඉන්පසු වැටුප් නොලැබූ කේරළයෝ කැරලි ගැසූ කල රජු උමගකින් නික්ම වහා රුහුණට පලා ගොස් පළමුව සීදුපබ්බත ගමෙහිද, පසුව කප්පගල්ලක නම් ගමෙහිද සිට රුහුණ පාලනය කරමින් බොහෝ කාලයක් විසූහ. රටේ විවිධ ප්‍රදේශ වල කේරලයෝද, සිංහලයෝද, කර්ණාටකයෝද කැමැති පරිදි ආධිපත්‍යය පැවත්වූහ.

ලංකාවේ වූ මේ අරාජිකත්වය පිළිබඳව විස්තර පරතෙරින් පැමිණි අශ්ව වෙළෙන්දෙක් ආපසු ගොස් චෝළ රජු හට දැන්වූහ. චෝළ රජු ඒ අසා බලසෙන් යවා පස්වන මහින්ද රජුගේ තිස් හයවන වසරේදී (ක්‍රි.ව. 1017) රජු ජීවග්‍රහයෙන් ගෙන, මෙහෙසිය සහ කොල්ලකාගත් රාජකීය කිරුල ඇතුළු සියලු වටිනා දේද සමගින් චෝළ රජු වෙත පිටත් කර යැවූහ. චෝළයන් අනුරාධපුරයේ සියළු වෙහෙර විහාර, ස්තූප බිඳ හෙලා ඒවායෙහි තිබූ වටිනා දේ රැගෙන පොළොන්නරුවේ සිට රක්ඛපාසාණකණ්ඨ නම් තැන සීමා කොට රජරට පාලනය කලහ. මහින්ද රජු දොළොස් වසරක් චෝළ දේශයෙහි වාසය කොට දිවංගත විය (ක්‍රි.ව. 1029 දී).

රටේ සම්පත් නොරටුන්ට විකුණා එදා වේල දුවන, සතුරු බළමුළු අභියස නිවටව කොන්ද නමනා හොරු රැලක් විනා, කොන්ද පණ ඇති පාලකයෙක් නොමැතිව වර්තමානයේ අප ජීවත් වන ලෙසින් වු අරාජික සමයක් මෙයට සියවස් ගනනකට පෙර දස වන සියවසේදී උදා වූ කල රට පරසතුරන් අතට පත් වී සිංහලද්වීපයේ කිරුල සියවස් භාගයක් හෝ එයට මදක් වැඩි කාලයකට (ක්‍රි.ව. 1017 - 1070 ) චෝළයන් අතට පත් වූ ආකාරය මහාවංශය විස්තර කරන්නේ එලෙසිනි.
ශිව දේවාලය අංක 1 ගර්භගෘහය - බටහිර දෙසින්
චෝළයන් යටතේ මුළු ලංකාවම ඔවුන්ගේ දැවැන්ත චෝළ අධිරාජ්‍යයේ එක් ප්‍රාන්තයක් ලෙස පාලනය විය. ඔවුන්ට ලංකාව මුම්මුඩිචෝළ මණ්ඩලම් විය. 'මුම්මුඩි චෝළ' යනු චෝළ අධිරාජයෙකු වූ පළමුවන රාජරාජගේ (ක්‍රි.ව.  985 - 1014) ප්‍රකට විරුදයකි. මුම්මුඩිචෝළ මණ්ඩලම්හි අගනුවර ජනනාථමංගලම් හෙවත් ජනනාථපුරම් ලෙස චෝළයන් නම් කල එතෙක් පුළත්ථිපුර (පොළොන්නරුව, පුලතිස්පුරය,  ඛන්ධාවාරපිට්ඨිය හෙවත් කඳවුරු නුවර Link >>) ලෙස හැඳින්වුන නගරයයි. සිංහල බලය තවමත් ඉතිරි වී තිබූ රුහුණු රටින් සහ මලය රටින් එන ප්‍රතිරෝධයට මුහුණ දීමට එය මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානයක් විය.
ශිව දේවාලය අංක 1 - දකුණු දෙසින්
චෝළ ආධිපත්‍යය මෙරටට දැඩිව බලපෑ මෙම යුගයේ හෝ ඉන්පසු කාලයේ ඉදි කල හින්දු ආගමික ස්ථාන අවම වශයෙන් 14 පමණ මෙරට පුරාවිද්‍යා ගවේෂණ කාර්යයෙහි පුරෝගාමියා වූ H.C.P. බෙල් මහතා විසිවන සියවසේ මුල් දශකයේදි  වර්තමාන පොළොන්නරුව පැරණි නටබුන් පිහිටි පෙදෙසින් සොයාගනු ලැබිය. මෑත කාලයේ ආලාහන පිරිවෙන සංකීණයේ කැනීම් වලින්ද තවත් ගඩොලින් කල දේවාලයක් හමු වි ඇත.
ගර්භගෘහය තුල ඇති ශිව ලිංගය -ශිව දේවාලය අංක 1
මේ අතුරින් පොළොන්නරුව ඇතුළු නගරට පිවිසෙන ප්‍රධාන දොරටුවට මඳක් උතුරු දෙසින් දළදා මළුවට ආසන්නව පිහිටි ශිව දේවාලය, අංක 1 ශිව දේවාලය ලෙසින් නම් කර ඇත. මේ වන විට භාවිතයේ නැතත් පොළොන්නරුවේ නටබුන් සොයා ගත් මුල් කාලයේ සිටම මෙම කළුගලින් කල ගොඩනැගිල්ල 'දළදා මාළිගාව' ලෙසින් වරදවා හඳුන්වනු ලැබිණි. මේජර් පොර්බ්ස් සහ එමර්සන් ටෙනන්ට් වැනි බ්‍රිතාන්‍ය ලේඛකයන්ද සිය සංචාරක විස්තරයන්හි මෙම ගොඩනැගිල්ල 'දළදා මාළිගය' ලෙසින් හඳුන්වා ඇත (සිත් ඇදහන්නා සුළු විස්තරයක් ඇතුලත් ඔවුන්ගේ සංචාරක සටහන් වෙනත් ලිපියක් මගින් ඉදිරියේදී ඉදිරිපත් කීරිමට බලාපොරොත්තු වෙමි.) බදාම භාවිතයකින් තොරව කළු ගල් කුට්ටි එක මත එක තබා මෙම ශිව දේවාලය ඉදිකර ඇත. එම ලක්ෂණය වෙනත් බොහෝ කළුගලින් කල පොළොන්නරු යුගයේ ගොඩනැගිලි වලද දැකිය හැක. අංක 1 ශිව දේවාලය 11 - 12 සියවස් වල ඉදි කල බවට විශ්වාස කරන අතර එය පාන්ඩ්‍යය ගෘහනිර්මාණ ශෛලයට අනුකූලව ඉදි කර ඇති බව පැවසේ.
ශිව ලිංගය, ලිංගය දෝවනය කරන ජලය පිටවීම සඳහා කලු ගලින් කල පිහිල්ල (සෝමසුත්‍ර) සහ එම ජලය එකතු වීම සඳහා පිටත ඉදි කල කලු ගලින් නිර්මිත වල 
 මෙම දේවාලයද හින්දු දේවාලයක ප්‍රධාන කොටස් වන එහි ඇතුලතින්ම පිහිටි කොටස වන කළු ගලින් සහ ගඩොලින් කල ශිඛරයකින් (හෙවත් විමානය) යුතු ගර්භගෘහයකින්, එයට ඉදිරියෙන් පිහිටි අන්තරාලයකින් සහ පිටතින්ම පිහිටි මණ්ඩපයකින් සමන්විතය. ගර්භගෘහය තුල වන්දනාමාන සඳහා පිහිටවූ ශෛලමය ශිව ලිංගයක් ඇති අතර උත්සව අවස්ථා වලදී හෝ බැතිමතුන් වන්දනා කිරීමේදී ශිව ලිංගය දෝවනය කරන ජලය පිටවීම සඳහා කලු ගලින් ඉදි කල පිහිල්ලක් (මෙය සෝමසුත්‍ර ලෙසින් හැඳින්වේ) සහ එම ජලය එකතු වීම සඳහා පිටත ඉදි කල කලු ගලින් නිර්මිත වලක්ද දැකිය හැක.
පිටත බිත්ති වල දැකිය හැකි කැටයම් සහ කුඩා කුටීර තුල තැන්පත් කර තිබි විනාශ වූ පිළිමයක යට කොටස.
 ගර්භගෘහයේ සහ අන්තරාලයේ පිටත බිත්ති වල කළු ගලින් කල කුඩා කුටිර දැකිය හැකි අතර ඒවායෙහි සෙල්මුවා දේව රූප තැන්පත් කර තිබී ඇති බව දැනටද දැකිය හැකි සුන් බුන් වූ පිළිම කොටස් වලින් පැහැදිලි වේ. එසේම ගර්භගෘහයේ බිත්ති වල කුළුනු හැඩැති කලු ගලින් නිර්මිත කැටයම් කල කොටස් දැකිය හැක. මෙම කුළුනු අතරද විවිධ රූප කැටයම් කර ඇති අතර ඒ අතර දක්නට ඇති අගස්ති සෘෂිවරයාගේයැයි පැවසෙන තවත් පුද්ගලයෙකු සමග සිටින රූප දෙකක් වැදගත් වනුයේ ඒවා පරාක්‍රමබාහුගේ යැයි ප්‍රකට පොත්ගුල් වෙහෙර අසල පිහිටි පිළිමයට බෙහෙවින්ම සමාන හෙයිනි.
කුළුණු හැඩයට කළුගලින් නිර්මිත කොටස්
මෙම ශිව දේවාලයේ 1907 වසරේ සිදු කල කැනීම අතර තුරදී හමුවු ලෝකඩ හින්දු දේවරූප රාශිය මේ වන විට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. නටරාජ පිළිමයක්, ශිව සමග පාර්වති සිටින පිලිරූ දෙකක්, පාර්වති දෙවඟනගේ පිලිරූ දෙකක්, ශෛව සාන්තුවරයෙක් වන මානික්කවාචගර්ගේ පිළිරුවක්, තවත් ශෛව සාන්තුවරයෙක් වන අප්පාර් ස්වාමිගේ පිලිරූ දෙකක් සහ සීනුවක් එම හමුවූ පුරාවස්තු අතර වේ.
පොත්ගුල් වෙහෙර අසල දැකිය හැකි පරාක්‍රමබාහුගේ යැයි ප්‍රචලිත පිළිමයට සමාන ලක්ෂණ දැකිය හැකි හින්දු සෘෂිවරයෙක් වන අගස්ති දැක්වෙන පිලිරූ
මූලාශ්‍ර
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • Archaeological Department Centenary (1890-1990) Commemorative series, Volume Three, Architecture, Editor in Chief Pandit Dr. Nandadeva Wijesekera, 1990
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Heritage of Rajarata, Chandra Wikramagamage, 2004
  • Archaeological Survey of Ceylon North-Central Northern And Central Provinces, Annual Report 1907, H.C.P. Bell, 1911
  • අසිරිමත් පොළොන්නරුව, ආචාර්ය සෙනරත් දිසානායක, 2009
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Polonnaruva, Issued by the Archaeological Commissioner, 1970
  • Sri Lanka And The Cholas, W.M.K. wijetunga, 2003
  • ශ්‍රී ලාංකේය ඉතිහාසය වෙළුම 2, සංස්කාරක ආචාර්යW.M.K. විජේතුංග, 2012
  • Bronzes From Ceylon in The Colombo Museum, By Ananda K. Coomaraswamy, D.Sc. Edited by Pearson, D.Sc., F.L.S.1914


4 comments:

  1. ෆෝබ්ස් ගේ සීගිරිය ගැන විස්තරයත් ලියන්න. ඉතා සිත් ගන්නා සුලුයි

    ReplyDelete
    Replies
    1. Pra ස්තූතියි අදහසට. ඔව් මෙවැනි ස්ථාන ගැන බ්‍රිතාන්‍ය සිවිල් සේවා නිලධාරින්ගේ විස්තර ඉතාමත්ම සිත් ඇදගන්නා සුළුයි. විශේෂයෙම එකල තත්වය දැන් එම ස්ථාන වල තත්වය සමග සසඳා බැලීමේදී.

      Delete