Tuesday, August 15, 2017

අඹන් ගඟේ දියවර මින්නේරිය වැවට ගෙනගිය පුරාණ යෝධ ඇල

මින්නේරිය වැව
මින්නේරිය වැව සහ ඇලහැර ඇල පිළිබඳව එන වංශ කතා විස්තර
පෙර ලිපියකදීද >> Link අප පැවසූ පරිදි ආළිසාර ඇල පිළිබඳව වූ මුල්ම සඳහන වංශ කතාවේ අපට හමුවන්නේ වසභ රජතුමාගේ (ක්‍රි.ව. 67-111) කාලයේදීය. එතුමන් විසින් ආළිසාර දිය භාගය එනම් එම (ඇලෙන් අයකරගන්නා) ජල බද්ද ඔහු විසින් කරවූ තිස්සවඩ්ඪමානකයේ මුචේලි විහාරයට  පිදූ බව ඉන් කියවෙයි. එහෙත් එම පාඨයෙන් ආළිසාර ඇල කරවූවේ වසභ රජු ලෙස නොපැවසෙන බැවින් ඇතැම් විට ඊටත් පෙර කලක සිටම එම ඇල තිබුනා විය හැක. එසේම මෙහිදි සැලකිල්ලට ගත යුතු තවත් කරුණක් වනුයේ මෙහිදී "ආළිසාරෙ උදකභාග" (ආළිසාරෙදකභාගං) කියනු විනා "ආළිසාර ඇලෙහි උදකභාග" (උදකභාග = දිය භාගය) කියා කෙලින්ම පවසන්නේ නැති බවය. මේ නිසා ඇතැම් විට ආළිසාර රටේ පිහිටි වෙනත් වැවක හෝ වැව් වල දිය භාගය මෙයින් හැඳින්වූවා විය නොහැකිද යන පැනයද ඇතමෙකුට මෙහිදී නැගිය හැක.

කෙසේ නමුත් පසු කාලීන සිංහල ග්‍රන්ථයක් වූ පූජාවලියේ සඳහන් වනුයේ මහසෙන් රජු (ක්‍රි.ව. 274 - 301) විසින් මිනිහිරි වැව බඳවා, කරාගඟැ මිනිහිරි වැවට දිය යන ලෙසට අමුනු බඳවා, දෙවියන් පෑ සලකුණෙන් තලවතු ඇළ බිඳුවා දියවර සපයා විසි දහසක් කුඹුරු කරවූ බවය. මෙම වාරිමාර්ග ඉදිකිරීම සඳහා ඔහු යකුන් ලවාද වැඩ ගත් බව එහි සඳහන් වේ. මෙහි මිනිහිරි වැව ලෙසින් හැඳින්වෙනුයේ වර්තමානයේ මින්නේරිය වැව ලෙස හඳුනාගන්නා වැව වන අතර (මහාවංශයේ මහසෙන් රජු කරවූ වැව් සොළොසට මණිහීර නම් වැවක්ද ඇතුලත් වන බැවින් මින්නේරි වැව මහසෙන් රජු කරවූ බවට පූජාවලියේ එන මෙම සඳහන මහාවංශයේ එන තොරතුරු සමගද එකග වේ.) කරාගඟ ලෙසින් හැඳින්වෙන ගඟ මහාවංශයේ වෙනත් අවස්ථා වලදී කාරගංගා ලෙසින් හැඳින්වෙන ගඟ වේ. මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153 - 1186) පරාක්‍රමසාගරයට ජලය ගෙනයෑම සඳහා කාරගංගාවේ සිට ගොඩවාරි ඇල කැපූ බව මහාවංශයේ දැක්වේ. වර්තමානයේ අප පරාක්‍රම සමුද්‍රය ලෙස හඳුනාගන්නා වැවට අඹන් ගඟේ සිට ජලය ගෙන එන එහි ප්‍රධාන ජල ප්‍රභවය වන අංගමැඬිල්ල ඇල ගොඩවාරි ඇල ලෙස හඳුනාගතහොත් කාරගඟ යනු අඹන් ගඟ ලෙස ගත හැක. එසේම අඹන් ගඟේ ඇලහැර දියහැරවුමේ සිට මින්නේරිය වැව දක්වා පැරණි යෝධ ඇලෙන් ජලය ගෙන යන බැවින් එම හඳුනාගැනීම පූජාවලියේ එන සඳහන සමගද මනාව ගැලපේ.  තවද ලග්ගල කඳු පෙදෙසේ සිට පැමිණ අඹන් ගඟට නාමල් කුමාර ඇල්ල නම් ප්‍රදේශයේදී එකතු වන එහි ප්‍රධාන අතු ගංගාව වන කළු ගඟේ පැරණි කාර/කර යන ශබ්දය තවමත් ශේෂ වී ඇති බටට මත පළවී ඇත.
ඇලහැර ඇල ඔරුබැඳිසියඹලාව අසලදී
ඇලහැර දිය හැරවුමේ සිට සැතපුම් 20 පමණ දුරකට දිය ගෙන ගිය පසු දියබෙදුම ලෙසින් හැඳින්වෙන ස්ථානයේදී ඇල කොටස් තුනකට බෙදේ. මින් ඇලවල් දෙකක් තලාවතුර ලෙසින් වර්තමානයේ හැඳින්වෙන ස්වභාවික ඔයක නිම්නය දෙපසින් මින්නේරිය වැව දක්වා ගමන් කරයි. පූජාවලියේ සඳහන් වන තලවතු ඇළ යන ඇලහැර යෝධ ඇලට එවකට ව්‍යවහාර වූ නම මෙම ස්වභාවික ඔයේ අදටද ශේෂ වී ඇති බව පෙනේ. සොළි ආක්‍රමණ වලින් පසුව මහා විජයබාහු රජතුමා (ක්‍රි.ව. 1055 - 1110) බිඳුනු තිලාවත්තුක ඇල බඳවා මිනිහිර වැව දිය පිරවූ බව මහාවංශයේ සඳහන් වන බැවින් එම නම අවම වශයෙන් පොළොන්නරු යුගය ආරම්භයේ සිටවත් ඇලහැර ඇලට ව්‍යවහාර වූ බව පෙනේ.

මින්නේරිය වැව සහ ඇලහැර ඇලේ වාරි තාක්ෂණය
මින්නේරිය වැව පිහිටා තිබෙන්නේ ඊසාන දිග මෝසමෙන් වැසි ලැබෙන වියලි කලාපය ලෙස හඳුන්වන දේශගුණික කලාපයේය. නුවරගල කඳු පන්තියෙන් ඇරඹෙන කිරි ඔය සහ වැවට වයඹ දෙසින් වූ කඳු මතින් ඇදී එන බටු ඔයේ ජලය එම කලාපය තුලින් වැව පෝෂණය කරන මුත් එම දියවර වසර පුරා වැව ජලයෙන් පුරවා තැබීමට අපොහොසත්ය. විශේෂයෙන්ම යල් කන්නය වන විට ගොවිතැන සඳහා අවැසි ජලය සැපයීමට නම් වෙනත් ජල ප්‍රභවයක් ගැන සලකා බැලීමට සිදුවේ. මේ අවශ්‍යතාව වටහා ගත් පැරණ්නන් ඒ සඳහා කදිම පිළියමක් යෙදූහ. එනම් නිරිත දිග මෝසමෙන් වැසි ලැබෙන දුම්බර කඳුවැටියේ ජල පෝෂක ප්‍රදේශ හරහා ගලා එන අඹන් ගඟේ ජලය සැතපුම් 25 ක පමණ ඇල මාර්ගයක් හරහා වියලි කලාපයේ පිහිටි මින්නේරිය වැව කරා රැගෙන ඒමයි. වැව යනු ජලය රැස් කරන ටැංකියක් ලෙස හෝ ඇල යනු එක් තැනකින් වෙනත් තැනකට ජලය ගෙන යන කානුවක් ලෙස නොසිතූ ඔවුන් ඇලහැර සිට මින්නේරිය දක්වා කඳු වැටි දෙකකට මැදිව පිහිටි සම බිම සරුසාර කෙත් යායක් බවට පත් කලේ එම මුලු දුර පුරාම කෙත් බිම් සඳහා ඇලහැර ඇල මගින් දියවර සැපයීමෙනි.
ඇලහැර ඇල ඇලහැර නගරයට දකුණින් පිහිටි දිය හැරවුමේ සිට මින්නේරිය සහ ගිරිතලේ වැව් දක්වා - ඊතල වලින් ලකුණු කර ඇත්තේ ඇල ගමන් කරන මාර්ගයයි
එසේම ඇලහැර ඇලේ වම් ඉවුර දෙසින් පිහිටි කෝඳුරුවාව කඳු පංතියේ සිට ඇදී එන කෝන්ගැට ඔය, හීරටි ඔය, බකමූණන්ගේ ඇල,කෝට්ටපිටිය ඔය, අත්තනකඩවල ඔය වැනි ජල මූලාශ්‍ර මගින් රැගෙන එන අමතර ජලයෙන් ඇලහැර ඇල තව දුරටත් පෝෂණය වේ. එම ඔයවල් ඇල හා එක්වන ස්ථාන වල ශක්තිමත් ගල් අත්තිවාරම් සහ ගල් බැමි දමා වේගයෙන් ගලා එන එම ජලපහරවල් වලින් ඇලේ බැමි වලට වන හානිය වලකා ඇත.එසේම විශාල ජලස්කන්ධයක් ඇතුළු වන ස්ථාන වල වතුර උතුරා යෑම පිණිස අඩි 50 පමණ පළල් වූ ගල්වානවල් සාදා තිබී ඇත. කුඹුරු වලට වතුර ගැනීම සඳහ සෑදූ සොරොව්ද ගලින්ම නිර්මිතය.
දියබෙදුමේ සිට පැරණි ඇල මාර්ග තිබූ ආකාරය
ඇලහැර දියහැරවුමේ සිට සැතපුම් 20 පමණ ගිය පසු ඇල කොටස් තුනකට බෙදේ මින් ඇලවල් දෙකක් අප ඉහත පැවසූ පරිදි තලාවතුර ඔය නිම්නය දෙපසින් මින්නේරිය වැව දෙසට ගමන් කරයි. තුන්වැනි ඇල ජලය ගිරිතලේ වැව* දක්වා ගෙන යෑම උදෙසා ඉදි කර ඇත (ඇලහැර දිය හැරවුමේ සිට ගිරිතලේ වැව දක්වා ඇලේ දිග සැතපුම් 27 පමණ වේ.) එය මද දුරක් ගොස් ගිරිතලේ වැවට ගලා බසින ස්වභාවික ඔයක් වන නාහින්න ඔයට වැටේ. එම ඔයේ ජලය ගිරිතලේ වැවට ඇතුළු වීමට පෙර නාහින්න වැව නමින් හැඳින්වෙන කුඩා වැවකට වැටේ. දෙපසින් වූ කඳුවැටි දෙකක් යා කර තැනූ බැම්මක් මගින් සාදා ඇති මෙම වැවේ ජලයෙන් අස්වැද්දිය හැකි කුඹුරු ප්‍රමාණයක් එම වැව සහ ගිරිතලේ වැව අතර ප්‍රදේශයේ නොමැති බැවින් බ්‍රොහියර් මහතා මෙය ගිරිතලේ වැව සෑදීමට ප්‍රථම තිබී පසුව අත්හැර දැමූ වැවක් ලෙස හෝ නොමැති නම් ගිරිතලේ වැවට ජලය රැස්කිරීමට ඉදි කල වැවක් වන්නට ඇති බව පවසයි. එහෙත් උදුල බණ්ඩාර අව්සදහාමි මහතා එය කුළු වැවක් ලෙස හඳුනාගනී. මහ වැවට රොන්මඩ එක් රැස් වීම වැලකීම එහි කාර්යභාරයයි. එම අදහස නිවැරදි ලෙස සැලකිය හැක්කේ තලාවතුර ඔය දෙපසින් මින්නේරිය වැව දක්වා යන ඇල මාර්ග දෙකද ඉහකුළු වැව සහ කටකුළු (කටුකැලි) වැව යන කුළු වැව් දෙකක් හරහා ගොස් මින්නේරිය වැවට ඇතුළු වන බැවිනි. එහෙත් වර්තමානයේදී සිදුවන්නේ දියබෙදුමේ සිට ඇලහැර ඇලෙන් ගෙන එන ජලය තලාවතූර ඔය හරහා කෙලින්ම මින්නේරිය වැවට ඇතුළු කිරීමය. ප්‍රතිඵලය දිනෙන් දින මින්නේරිය වැව රොන්මඩින් පිරීයාමය. එදා වාරි ශිල්පීන් දැන සිටි සරල කරුණ වර්තමාන බටහිර විද්‍යා දැනුමින් උකහා නොගත් අනුකාරකයන්ගේ ශිල්ප දැක්වීම එබඳුය. විශාල වැවක රොන්මඩ ඉවත් කිරීමට වඩා කුළු වැව් වල එකතු වන රොන්මඩ ඉවත් කිරීම පහසු බව පැරණි සිංහලයන් තේරුම් ගත්තද අද අපට එය නොතේරේ.
බටහිර දෙසින් කෝඳුරුවාව කඳු වැටියට සහ නැගෙනහිරෙන් සුදු කන්ද කඳු වැටියට අතර පිහිටි ඇලහැර ඇලෙන් පෝෂණය වන ප්‍රදේශය

ගිරිතලේ වැව
මහාවංශයට අනුව දෙවන අග්ගබෝධි (ක්‍රි.ව. 604 - 614) රජු ගිරිතටා වැව ඉදි කරන ලදී. කුඩා අග්බෝ ලෙසින් එම රජු හඳුන්වන පූජාවලිය එම වැව ගිරිතළා ලෙස හඳුන්වයි. මහා පරාක්‍රමබාහු රජු පිළිසකර කරවූ වැව් අතර  ගිරිතලාක නම් වැවක්ද මහාවංශය සඳහන් කරයි. මේ සියලු නම් වලින් හැඳින්වෙන්නේ ගිරිතලේ වැව බව පහසුවෙන් හඳුනාගත හැක.

ඔරුබැඳි සියඹලාව
බිම ඇද වැටී ඇති ඔරුබැඳිසියඹලාව  - 2008 වසරේදි ගත් ඡායාරූප
ඇලහැර ඇල ඔරු මගින් ප්‍රවාහන කටයුතු සඳහාද යොදාගත් බවටද ජනප්‍රවාද ඇත. ඔරුබැඳි සියඹලාව නම් වූ විශාල සියඹලා ගසක් ඇලහැර නගරයට මදක් උතුරින් ඇලහැර ඇල අසල ඇති අතර එහි යාත්‍රා ගැටගැසීම නිසා ලකුණු වූ කඹ පාරවල් යැයි පැවසෙන ලකුණු දක්නට තිබී ඇත ( මේ සියඹලා ගස මේ වන විට ඇද වැටී ඇති අතර එහි කඳේ එම ලකුණු තවමත් දැකිය හැක.)
යාත්‍රා ගැටගැසීම නිසා ලකුණු වූ කඹ පාරවල් යැයි පැවසෙන ලකුණු - 2008 වසරේදි ගත් ඡායාරූප
මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • මහාවංශය, ප්‍රථම භාගය, මොග්ගල්ලාන සංස්කරණය, සිංහල අනුවාදය - අරුණ තලගල
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • Ancient Irrigation Works in Ceylon, Part One, R.L. Brohier, 1934
  • වැව, උදුල බණ්ඩාර අව්සදහාමි, 2015
  • ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001
  • සිංහල විශ්වකෝෂය, තුන්වැනි කාණ්ඩය

Thursday, August 10, 2017

අඹන් - කළු මිටියාවත් බද පුරාණ වාරිමාර්ග පද්ධතිය සහ ජනාවාස පැතිරීම - 3

දූරදර්ශ්‍රී දේශපාලන නායකත්වය විසින් 2007 වසරේදී ආරම්භ කර ක්‍රමයෙන් ඉදිකෙරෙමින් පැවැති මොරගහකන්ද කළු ගඟ ව්‍යාපාරයට අයත් මොරගහකන්ද ජලාශයේ ජලය මේ වන විට දැඩි නියගයෙන් පෙලෙන පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලට අයත් වැව් වලට මුදාහැරෙමින් පවතී. > Link එම මොරගහකන්ද ජලාශයට ජල මූලාශ්‍ර වන අඹන් සහ කළු ගංගා ද්‍රෝණි ආශ්‍රිත පුරාණ ජනාවාස පැතිරිම් සහ වාරිමාර්ග පද්ධතිය පිළිබඳව විස්තර විමසා බැලෙන ලිපි දෙකක් මීට ඉහතදි ඉදිරිපත් කලෙමු. මේ එම ලිපි පෙලේ තුන්වැන්නයි. පෙර ලිපියකින් අප විමසා බැලූ අඹන් ගඟ දෑලේ වූ අම්බවන සහ එයට උතුරින් වූ සූර -අම්බවන යන රටවල් වලට උතුරු සහ නැගෙනහිර දෙසින් වූ ජනපද සහ ආළිසාර යන ප්‍රදේශ හෙවත් රටවල් පිළිබඳව මෙම ලිපියෙන් සාකච්චා වේ. 

පෙර ලිපි - 

ආළිසාර රට
ආළිසාර යන නම මහාවංශයේ පලමුවෙන්ම හමුවනුයේ වසභ රජු (ක්‍රි.ව. 67 -111) විසින් තිස්සවඩ්ඪමානකයෙහි මුචේල විහාරය කරවා ආළිසාර ඇලේ දිය භාගය එම විහාරයට පිදූ බව පැවසෙන අවස්ථාවේදීය.  ඉන්පසු තුන් සිංහලය සොළි බලයෙන් මුදාගෙන රට එක්සේසත් කල මහා විජයබාහු රජතුමා (ක්‍රි.ව. 1055-1110) සම්පූර්ණ ආළිසාර රටම සංඝයාගේ දන් වැටුප් පිණිස එහි වාසි වූ ප්‍රධානින්ද සමග පිදූ බව පැවසෙන අවස්ථාවේදී "ආළිසාර රට්ඨ" යන්න පළමු වරට වංශ කතාවේ  හමුවේ.

පරාක්‍රමබාහු කුමාරයගේ ලංකාධිනාථ සෙනෙවියා දෙවන ගජබාහු (ක්‍රි.ව. 1111 -1132) රජුගේ සේනාව සමග සිදු කල සංග්‍රාමයේදී විජයබාහු රජු සංඝයාට පිදූ මේ බිම ලේ හලන යුද පිටියක් වූ බව මහාවංශයේ පරාක්‍රමබාහු කුමාරය සහ ගජබාහු රජු අතර සිදු වු සිවිල් යුද්ධය හා සම්බන්ධව එන විස්තරයෙන් පැහැදිලි වේ. මින් පෙර ලිපියකදි අප කතා කල සූර-අම්බවන ප්‍රදේශයේ සිට සේනා යවා යාබද ජනපද රට යටත් කරගැනීමෙන් පසු එහි කඳවුරු බැඳගත් පරාක්‍රමබාහුගේ සේනාව මැඩීමට ගජබාහු රජු සේනාව යැවූ මුත් පරාක්‍රමබාහුගේ සෙනෙවියා ඔවුන් පරදා බොහෝ විට ජනපද රටටම අයත්ව තිබෙන්නට ඇතැයි සිතිය හැකි යගාල්ල නම් පෙදෙසද යටත් කරගනී. මේ අවස්ථාවේ ගජබාහු රජු ආළිසාර රටට සේනාව යවා පරාක්‍රමබාහුගේ සේනාවට දරුණු පහර එල්ල කරයි. එහෙත් ඔවුන් පරදා ඉදිරියට ගමන් කරන ලංකාධිනාථගේ සේනා තලාත්තල නම් ප්‍රදේශයද යටත් කරගනී. ඉන්පසු ඔහු තලාත්තල බලකොටුවෙන් නික්ම ගඟ අසල පිහිටි ආළිගාම නම් බලකොටුවේ කඳවුරු බැඳගනී. කොඩ්රිංටන් මහතාගේ හඳුනාගැනීම අනුව තලාත්තල යනු වර්තමානයේ ඇලහැරට නිරිත දෙසින් ඇලහැර-නාඋල මාර්ගයේ හමුවන තලගොඩ වන අතර, ආළිගාම යන්න එයට මදක් බටහිර දෙසට වන්නට අඹන් ගඟේ දකුණු ඉවුරේ පිහිටි එලගමුව වේ. 
ආළිසාර රටට අයත්ව තිබූ වර්තමානයේ හඳුනාගත හැකි ස්ථාන
ආළිසාර දෙසින් ඇරඹුනු පරාක්‍රමබාහුගේ සටන් පෙරමුණ වෙනත් ප්‍රදේශ වල සටන් ඇවිලීමත් සමග මද කලකට නතර වූ බව පෙනේ. ඉන්පසු ආළිසාර පෙදෙස යටත් කරගැනීම උදෙසා පරාක්‍රමබාහු කුමරා මායාගෙහ නම් සෙනවියා යොදවයි. ඔහු කලලහල්ලික පෙදෙසේ සිට සටන් අරඹා නන්දාමූලකගාම පෙදෙසේ තිබූ බලකොටුව යටත් කරගැනීමෙන් පසු ආළිසාර දෙසට සේනාව මෙහෙයවා කද්දුරගාම බලකොටුව යටත් කරගැනීමෙන් පසු කිරාටි කොටුවද සිය පාලනයට ගනී. ගජබාහුගේ සේනාව මෙම පෙරමුණේ විලාන නම් ස්ථානයේ වූ බලකොටුවක සිටි බවත් පරාක්‍රමබාහු කුමරා ගෙවල් බිඳින හොරුන් දෙතුන් සියයක් යොදවා එම බලකොටුවට රාත්‍රී කාලයේ රහසේ ඇතුළු වි එය යටත් කරගත් බවත් පැවසේ. ඉක්බිති මට්ටිකාවාපී, උද්දකුරම්ගාම සහ අධෝකුරම්ගාම යන ස්ථාන වල තිබූ බලකොටු සහ අවසානයේ නාසින්න ගමෙහි වූ බලකොටුව යටත් කරගැනීමත් සමග ආළිසාර රටේ සම්පූර්ණ බලය පරාක්‍රමබාහු කුමරා යටතට පත්විය.

මෙම ස්ථාන අතුරින් මට්ටිකවාපි යනු එලගමුවට දකුණින් පිහිටි කිරිමැටිය ලෙසත් ආළිසාර රටට පහරදීම සඳහා සේනා මෙහෙයවූ කලලහල්ලික පෙදෙස බොහෝ විට වර්තමානයේ කුරුණෑගල- දඹුල්ල මාර්ගයට සැතපුම් 5 පමණ උතුරින් පිහිටි මඩහපොල පෙදෙස විය හැකි බවත් C.W. නිකලස් මහතා පවසයි. කිරාටි යන නම වර්තමානයේ ඇලහැරට උතුරින් ගලා යන හිරටි ඔය සහ හිරටි ඔය ඇලහැර - බකමූණ මාර්ගය හරහා යන ස්ථානයට දකුණින් පැරණි අඟලේ සිතියම් වල ලකුණු කර ඇති හිරටිය යන්නෙහි ශේෂව පවති.  එසේම පෙළ බසින් ආළිසාර රට්ඨ ලෙස එදා හැඳින්වූ විශාල ප්‍රදේශයේ නම අද ඇලහැර ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයට පමණක් සීමා වී තවමත් පවතී.

ජනපද රට
ජනපද රට පිළිබඳව සඳහනක් පළමුව වංශ කතාවේ හමුවන්නේ තුන්වන මොග්ගල්ලාන (ක්‍රි.ව. 614 -619) රාජ්‍ය කාලයේය. රජු කිසියම් හේතුවක් නිසා මලය දේශයේ රජු හා උරණ වි ඔහුගේ අත් පා කපා දැමූ විට ඔහු පුත් අසිග්‍රාහක තෙමේ රුහුණට පලා ගොස් එහි බලය අල්ලාගෙන බල සෙන් සමග පැමිණ ජනපද රටද අල්ලාගත් බවත් ඉන්පසු දොහලපබ්බතයට පැමිණ එහි කඳවුරු බැඳ ගත් බවත් පැවසේ. උණ රෝගය වැලදීමෙන් රජුගේ සේනාව දුර්වල වීමත් සමග සටන් මෙහෙයවූ අසිග්‍රාහක, පැරද පලායන රජු ඇතුළු පිරිස සිහගිරි අසලදී මරා සිලාමේඝවන්න (ක්‍රි.ව. 619 - 628) නමින් රජවිය. මේ විස්තරයට අනුව ජනපද රට රුහුණු රට සහ සිහගිරි (සීගිරිය) අතර පෙදෙසක විය යුතු බව පෙනේ. එසේම දොහලපබ්බතයද බොහෝ දුරට ජනපද රට තුලම තිබූ යුදමය වශයෙන් වැදගත් පර්වත පෙදෙසක් වූවා විය හැක.

පරාක්‍රමබාහු කුමරු සිය පිය රජුට අයත් දක්ෂිණ දේශයේ සිට ගජබා රජුට අයත් රජරට පෙදෙසට පැමිණි අවස්ථාවක් පිළිබඳව එන විස්තරයකදී නැවතත් ජනපද රට පිළිබඳව සඳහනක් වංශ කතාවේ හමුවේ. දක්ෂිණ දේශය හා රජරට සීමාව පසුකර කුමරා ගජබාහු රජුට අයත් ජනපද නම් පෙදෙසට පැමිණ කෙලි සෙල්ලම් කරමින් විශේෂයෙන් එම ජනපද රටට ආවේනික ක්‍රිඩා කරමින් දින කිහිපයක් විසූ බව එම විස්තරයේ පැවසේ. ගජබා රජුගේ බල ප්‍රදේශයේ සිට පෙරලා දක්ෂිණ දේශයට යාමට පෙරද පරාක්‍රමබාහු කුමරා ඔහු සමග පැමිණි මිනිසුන්ට ජනපද නම් ප්‍රදේශයේදි හමුවන ලෙස නියෝග කරවා ඔවුන් පළමුකොට යවා තමුන් ආපසු යන බව ගජබා රජුට දැන්වීම සඳහා ගජබා රජු කරා ගිය බව වංශ කතාව පවසයි. ඉක්බිති තනිවම පෙරළා එන පරාක්‍රමබාහු කුමරා ජනපද රටට කලින් පැමිණ සිටි සිය සෙනග මංගලබේගමදි පළමුවරට දුටු බව එහි සඳහන් වේ. ඉන්පසු සිය පිරිස සමග කුමරා දඩ කෙළි ආදී නොයෙකුත් ක්‍රීඩා කරමින් කිහිප දවසක් එම ප්‍රදේශයේ වෙසේ.
ජනපද රටට අයත්ව තිබූ වර්තමානයේ හඳුනාගත හැකි ස්ථාන
නැවත වරක් ජනපද රට පිළිබඳව සඳහන් වනුයේ ගජබා රජුගේ ප්‍රදේශය ආක්‍රමණය කර ඔහු හා යුද වදින පරාක්‍රමබාහු කුමරාගේ සටන් පිළිබඳව මහාවංශයේ එන දීර්ඝ විස්තරයේදිය. එහි සුර-අම්බවන රටේ සිටි පරාක්‍රමබාහුගේ සේනාව ජනපද රටට ගොස් එහි සිටි ගජබාහුගේ පිරිස් මරා දැමූ බව එක් අවස්ථාවකදි සඳහන් වන අතර, ලංකානාථ නම් සෙනෙවියා ජනපද රටෙහි සටන් සඳහා යවා ජනපද රට යටත් කරගත් බව පසුව සඳහන් වේ.

ඇලහැරට උතුරින් පුවක්ගහ-උල්පත සහ කෝඳුරුවාව අතර පිහිටා ඇති මකුල්-ඇබේ නම් ප්‍රදේශය ඉහත සඳහන් මංගලබේගම විය හැකි බව කොඩ්රිංටන් මහතා පවසයි (කෙසේ වුවද මකුල්ඇබේ ලෙසින් හැඳින්වෙන ගමක් මේ වන විට මෙම ප්‍රදේශයේ පවතීද යන්න අවිනිශ්චිතය. පැරණි අඟලේ සිතියම් වල හෝ මෙට්‍රික් සිතියම් වල එවන් ස්ථානයක් දැකිය නොහැකි අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාසයට අයත් ගමක් ලෙස එවැන්නක් සොයාගත නොහැක. ). පරණවිතාන මහතාට අනුව සීගිරි ගීයක එන මාගලම්බ් යන ග්‍රාන නාමය මහාවංශයේ මංගලබේගම  ලෙස හැඳින්වෙන ස්ථානයවේ. පොළොන්නරුව පෙදෙසේ සිට එන පරාක්‍රමබාහු කුමරාට එම පෙදෙසේදි ජනපද රටේ සිටි සිය පිරිවර මුලින්ම දුටු බව සඳහන් වන බැවින් මංගලබේගම ජනපද රටේ නැගෙනහිර සීමාව වූවා විය හැක. එසේම අප මීට ඉහතදි හඳුනාගත් සූර-අම්බවන රටට යාබදව එයට උතුරු දෙසින් ජනපද රට වූ බව පෙනේ.

ජනපද, ආළිසාර සහ අම්බවන රට වලට අයත්ව තිබූ  ප්‍රදේශ 


පැරණි රජ දරුවන් අඹන් ගඟේ ජලය මින්නෙරිය, කවුඩුල්ල හරහා කන්තලේ වැවට ගෙන ගිය ආකාරය ඉදිරි ලිපියකින් විමසා බලමු.

මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Archaeological survey of Ceylon Sigiri Graffiti, S. paranavitana Vol 1 & Vol.
  • Notes on Ceylon Topography in the Twelfth Century, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXIX, No 75, 1922
  • Notes on Ceylon Topography in the Twelfth Century II, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXX, No 78, 1925
  • LIFe Location Code Navigator

Saturday, August 5, 2017

වඩා උස සෑය - ජේතවනය, නැහැ ගෝඨාගේ සඳ හිරු සෑය?

වර්ගවාදී කොටි ත්‍රස්තවාදය පරදවා ලබාගත් යුද ජයග්‍රහනයත් සමගම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසක් පරිදි ඉදිකිරිම ඇරඹූ සඳ හිරු සෑය සම්බන්ධයෙන් විශේෂයෙන්ම එහි උස සහ එය වර්තමානයේ පවතින අනිකුත් පැරණි ස්තූප වලට වඩා උසකින් යුතුව (අඩි - 257) ඉදිකිරිම සම්බන්ධව නොයෙකුත් කතා පසුගිය සමයේ අසන්නට ලැබුණි. වර්තමානය වන විට ඉදිකිරිම් නවතා ඇති මුත් ජාතික ධනය මංකොල්ල කෑම සහ ජාතික සම්පත් විකුණාගෙන එදා වේල ගෙවිමට වඩා අන් කිසිවක් නොකරන ජඩපාලකයන් සඳ හිරු සෑය වරින් වර බයිට් එකට ගෙන කතා කිරීම අද දක්වාම සිදුවේ. බටලන්ද වධකාගාරයේ දසවද දී අමු අමුවේ මරා දැමූ තරුණයන් දැවූ ටයර් සෑ විනා අන් සෑයන් ගැන නොදන්න එකෙකු වරක් පැවසුවේ රුවන්වැලි සෑයට වඩා උසට ජේතවනය සෑදීමට මහසෙන් රජු උත්සාහ කල අවස්ථාවේ ඔහුගේ මහා ඇමැති එයට එරෙහිව කැරලි ගැසූ බවත්, ලන්දේසින් සහ ඉංග්‍රිසින්ද රුවන්වැලිසෑයට වඩා උස පල්ලියක්වත් නොසැදූ බවත්ය. පස්දුන් කෝරලයට නම සැදුන හැටි පැවසීමේ සිටම ඔහුගේ ඉතිහාස දැනුම මැනවින් ප්‍රකට කර ඇති නිසා ඉහත ප්‍රකාශයේ පැවසෙන පට්ටපල් බොරු සියල්ලටම පිළිතුරු දීම මෙම ලිපියේ අරමුණ නොවුනත් ඔහු කියනා ලෙසට මහසෙන් රජුට හෝ වළගම්බා රජුට ස්තූප සෑදීමේදි ඒවා කොට කර සාදන ලෙසට කැරලි ගසා ඉල්ලීම් ඉදිරිපත් කල පුද්ගලයන් සිටි බවක් අප නම් කිසිදු පැරණි මූලාශ්‍රයක අසා නැති බව පමණක් පවසා අපගේ ප්‍රස්තුතයට පිවිසෙමු. මෙරට ඉදිකළ උසම ස්තූපය කුමක්ද?
රුවන්වැලිසෑය  ස්තූපය ඡායාරූපය - Images of Ceylon
රුවන්වැලිසෑය
මහාවංශයේ මහාතූපය ලෙසින්ද වර්තමාන ව්‍යවහාරයේ රුවන්වැලිසෑය නමින්ද හැඳින්වෙන පැරණි මහාවිහාර සීමාවේ ඇති ස්තූපය පිළිබඳව මුල්ම සඳහන මහාවංශයේ හමුවන්නේ මිහිඳු මහා රහතන් වහන්සේ විසින් මහා විහාරයේ නොයෙකුත් ගොඩනැගිලි සහ වෙනත් පූජනීය ස්ථාන තිබිය යුතු තැන් පිළිබඳව දේවානම්පියතිස්ස රජුට විස්තර කර දෙමින් මහාවිහාරයේ සීමා සලකුණු කරන විස්තරයේදීය. සිව් බුදුවරුන් පැමිණි ස්ථානයක් ලෙසින් එක්තරා ස්ථානයක් හඳුන්වන මිහිඳු හිමියන් එම ස්ථානයේ අනාගතයේ හේමමාලි නම් වූ ස්තූපයක් බුදුන්ගේ ශාරිරික ධාතු නිදන් කර දුට්ඨගාමණී නම් රජෙකු විසින් එක්සිය විසි රියන් උසට ඉදිකෙරෙණු ඇති බව පවසයි. ඒ අනුව පසු කලක එය ඉදිකිරීම ආරම්භ කර සැලකිය යුතු ප්‍රමාණයක වැඩ නිමවූ  දුටුගැමුණු රජතුමා සහ ඔහුගේ මරණින් පසු එහි වැඩ අවසන් කල ඔහු මලනුවන් වූ සද්ධාතිස්ස රජතුමන් රියන් 120 (අඩි 180) උසට මහා ස්තූපය ඉදි කල බව අනුමාණ කල හැක. ඉන්පසු එලඹෙන සියවස් වලදි බොහෝ රජවරුන් මහාතූපයට විවිධ අංග එකතු කිරීම සහ අලුත්වැඩියාවන් සිදු කල බව වංශකතාවේ සඳහන් වන මුත් එහි උස පිළිබඳව සටහනක් නැවත හමුවන්නේ මහා පරාක්‍රමබාහු සමයේදීය. එතුමන් විසින් දමිලයන් විසින් විනාශ කල අනුරාධපුරයේ පූජනීය ස්ථාන නැවත ඉදි කල බව සඳහන් කිරීමේදි රත්නවාලුකා ස්තූපය එහි මුල් උස වූ රියන් 120 (අඩි 180) උසට තැනවූ බව පැවසේ. ඉන්පසුවද වරින් වර විවිධ රජවරුන් රුවන්වැලි සෑය පිළිබඳව අවධානය යොමු කල මුත් පුරාණ අනුරාධපුර නගරය අතහැර දැමීම නිසා  රුවන්වැලිසෑය ඇතුළු අනුරාධපුරයේ සියලු  වෙහෙර විහාර ක්‍රමයෙන් වල් බිහිවි ජරාවාස විය.

රුවන්වැලි සෑය පිළිබඳව වර්ෂ 1859 දී එමර්සන් ටෙනන්ට් මහතා ඉදිරිපත් කරන විස්තරයේ ඔහු පවසනුවේ ඒ වන විට එහි උස අඩි 150 කට වඩා අඩු වූ බවය. ඔහුම පවසන පරිදි 1830 දී එහි උස අඩි 189 විය. වැස්සට සේදීයෑම නිසා මේ උස අඩු වීම සිදුවන්නට ඇත. ජේම්ස් ස්මිදර් මහතා 1894 දි එහි ගර්භයේ උස බිම සිට මුදුන දක්වා අඩි 162 අඟල් 8 ලෙස දක්වයි. අඩි 16 උස වූ පේසා වලලු 3 ද සමගින් එහි මුළු උස අඩි 178 අඟල් 8 ලෙසවූ බවය ඔහු පවසන්නේ. රුවන්වලිසෑය ඒ වනවිට ප්‍රතිසංස්කරණය වෙමින් පැවති අතර එහි කොත් කැරල්ලද (මෙම කොත වර්ෂ 1853 දී එහි තැන්පත් කර ඇත.) සමගින් සම්පූර්න උස අඩි 198 අඟල් 4 වූ බව ඒ මහතා සඳහන් කරයි.

වර්ෂ 1872 දී නාරංවිට සුමනසාර හිමියන් විසින් රුවන්වලිසෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කල අතර චෛත්‍යය අඩි 340 උසට ගොඩනැංවිමටත් එහි අඩි 24 ක කොත්කැරල්ලක් තැන්පත් කිරීමටත් සැලසුම් කර තිබුණි. වර්තමානයේ සලපතල මලුවේ සිට රුවන්වැලි සෑයේ උස මීටර් 103.1 ලෙස දැක්වේ (අඩි 338 පමණ). කොත්කැරල්ල සහ චූඩා මාණික්‍යය මීටර් 7.6 උස වේ (අඩි 25 පමණ).
අභයගිරිය ස්තූපය - ඡායාරූපය - Images of Ceylon
අභයගිරිය ස්තූපය
වට්ටගාමිණී අභය රජු විසින් ගිරි නම් නිගණ්ඨාරාමය විනාශ කර එහි පිරිවෙන් දොළසකින් යුත් විහාරයක් කරවූ බව (ස්තූපයක් ගැන එහි විශේෂයෙන් සඳහන් නොවේ) මහාවංශයේ සඳහන් වේ. ඉන්පසු ගජබාහුක ගාමිණි රජු අභයුත්තර මහාස්තූපය විශාල කොට කරවා එහි දොරටු සතරෙහි ආදිමුඛ (වාහල්කඩ) කරවූ බව  එහිම පැවසේ. අභයගිරි ස්තූපය වට්ටගාමිණි අභය රජු කල බවට එන ප්‍රකට මතය මේ අනුව විවාදයට බඳුන් වන මුත්  ඒ පිළිබඳව සාකච්චා කිරීම මෙම ලිපියේ අරමුණ නොවන බැවින් ඒ ගැන විමසීම පසුවට තබමු. කෙසේ නමුත් මේ කිසිදු අවස්ථාවක එහි මුල් උස පිළිබඳව සදහන් නොවේ. ඒ පිළිබඳව පලමුවරට සඳහන් වනුයේ ෆාහියන් හිමියන්ගේ වාර්තාවෙහිය. ඒ හිමියන් පවසන පරිදි "නගරයෙන් උතුරෙහි වූ සිරිපා සටහනක් මත අඩි 400 උස මහා ස්තූපයක් ගොඩ නගා තිබේ. එම ස්තූපයේ එක් පසක අභයගිරි නම් සංඝාරාමය වෙයි."

ෆාහියන් හිමියන් චං නමැති පුරාණ චීන මිනුම් ඒකකයෙන් දක්වන එම උස චං 1 ක් මීටර් 3.333 ලෙස ගෙන අඩි 400 ලෙස ගනනය කර ඇති මුත් එම ඒකකය පිළිබඳව ඇති වෙනත් මතයකට අනුව චං 1 ක් මීටර් 2.3 පමණ වේ. ඒ අනුව ගතහොත් ස්තූපයේ උස අඩි 276 පමණ වූ ලෙස ගැනිය හැක. මෙයින් දෙවැනි මතය වඩා විශ්වාසනීය බව හැඟෙන්නේ දමිල ආක්‍රමන මගින් විනාශ වූ පසු අනෙකුත් මහා ස්තූපයන් දෙක සමගම අභයගිරිය ස්තූපයද නැවත ගොඩනගන මහා පරාක්‍රමබාහු රජතුමා එය රියන් 160 (අඩි 240) උසට සෑදු බව පවසන බැවිනි.

වල්බිහිවීමෙන් පසුව ඉංග්‍රිසි පාලන සමයේදී (එනම් 1894 වසරේදී) මෙහි මිණුම් ලබාගත් ජෙම්ස් ස්මිදර් සල පතල මළුවේ සිට කොත් කැරැල්ලේ ඉහලම කොන දක්වා ස්තූපයේ උස අඩි 245 ලෙස වූ බව වාර්තා කර ඇත. ඔහුට පෙර වර්ෂ 1859 දී පල කල සිය ග්‍රන්ථයේ අභයගිරි ස්තූපයේ උස දක්වන එමර්සන් ටෙනන්ට් එය අඩි 249 උස වූ බව පවසයි. මෑත කාලයේ අභයගිරි ව්‍යාපෘතිය මගින් ප්‍රතිසංස්කරණ කටයුතු පටන් ගැනීමට පෙර ලබාගත් මිණුම් වලට අනුව ස්තූපයේ ලම්භක උස මීටර් 72.6 ලෙස දක්වා ඇත (අඩි 238 පමණ).
ජේතවන ස්තූපය
ජේතවන ස්තූපය
මහසෙන් රජු විසින් මහා විහාර සීමාවේ තිබූ ජෝතිවන නම් උයනෙහි ජේතවන විහාරය ඉදි කල බව මහාවංශය පවසයි. ජේතවන විහාරය විනා ස්තූපය මහසෙන් රජතුමා විසින් ඉදිකල බවට විශේෂයෙන් එහි පැවසෙන්නේ නැති බැවින් ඉහත අභයගිරිය ස්තූපයේ අයුරින්ම ජේතවන ස්තූපය මුලින්ම ඉදිකල රජු පිළිබඳව විවිධ මත පවතී. කෙසේ නමුත් ඉහත මහා ස්තූප දෙක මෙන්ම ජේතවන ස්තූපයද මහා පරාක්‍රමබාහු රජතුමා විසින් දමිලයන් සිදුකල විනාසයන්ගෙන් පසුව නැවත රියන් 140 (අඩි 210) උසට ඉදි කල බව මහාවංශයේ සඳහන් වේ.

එමර්සන් ටෙනන්ට් ජේතවන ස්තූපයේ උස 1859 දී අඩි 244 ක් වූ බවත් ජේම්ස් ස්මිදර් 1894 දී එහි උස අඩි 232 ලෙස වූ බවත් වාර්තා කර ඇත.  ප්‍රතිසංස්කරණයට පෙර නටබුන් වි තිබූ ස්තූපයේ උස අඩි 231 ලෙස මෑත කාලීන මැනුම් මගින් වාර්තා වී ඇත.

මේ සියලු තොරතුරු අනුව එක් එක් කාලයේදි මෙරට උසින් වැඩිම ස්තූප 3 අතුරින් උසම ස්තූපය මෙලෙස පහත වගුවේ ආකාරයට ඉදිරිපත් කල හැක. කොළ පාටින් සලකුණු කර ඇත්තේ එම කාලයේ උසින් වැඩිම ස්තූපයයි. ඒකකය අඩි වලිනි.


ආරම්භක උස
පරාක්‍රමබාහු
ටෙනන්ට්(1859)
ස්මිදර්
(1894)
අද
රුවන්වැලිය
180
180
150 (1830 දී - 189)
178 8’
338
අභයගිරිය
276 හෝ 400 (ෆාහියන්ට අනුව)
240
249
245
238
ජේතවනය
 විස්තර නොමැත
210
244
232
231

මේ අනුව කිසිම කලෙක ජේතවන ස්තූපය මෙරට උසම ස්තූපය ලෙස තිබී ඇති බවට සාධක නොමැති අතර එකම කාලයකදි ස්තූප තුනේම උස ඉදිරිපත් කරන මහා පරාක්‍රමබාහු සමයේදීද අභයගිරිය මෙරට උසින් වැඩිම ස්තූපය ලෙස තිබී ඇත. අද වන විට මෙරට උසම ස්තූපය ලෙස සැලකිය හැක්කේ රුවන්වැලි සෑය වන අතර එය උසින් වැඩිම ස්තූපය වනුයේ 19 වන සියවසේ සිදුකල ප්‍රතිසංස්කරණයත් සමගිනි. වර්තමානය වන විට නැවත ප්‍රතිසංස්කරණය වෙමින් පවතින් ජේතවනය සහ අභයගිරිය ස්තූප ප්‍රතිසංස්කරණ අවසානයේ කොතරම් උසක් ගනීද යන්න ඉදිරියේදි දැක ගත හැකි වනු ඇත. කෙසේ නමුත් අඩි 257 උසින් යුතුව ඉදිකිරිමට අපේක්ෂිත වූ සඳ හිරු සෑය ඉදි කරන්නට ඉදිරියේදි හැකි වුවද එවිටද රුවන්වැලි සෑය එයට වඩා උසින් වැජඹෙනු ඇත.

ඇඩොල්ෆ් හිට්ලර් පැවසුවායැයි පවසන පහත කියමන මෙරටට කෙතරම් ගැලපේද?  ( ඒ සම්බන්ධ වැඩි විස්තර සඳහා - Link )

- Make the lie big, make it simple, keep saying it, and eventually they will believe it.-

මූලාශ්‍ර
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Ceylon An Account of the island  Physical, Historical and Topographical with  notices of its natural, antiquities and productions, Sir James Emerson Tennent, 1859
  • Heritage of Rajarata, Major Natural, Cultural and Historic Sites, Chandra Wikramagamage, 2004
  • අනුරාධපුර අටමස්ථානය, උක්කු බණ්ඩා කරුණානන්ද, 2007
  • අනුරපුර මහා විහාරය, මහාචාර්ය ටී. ජී. කුලතුංග, 2001
  • පුරාණ අභයගිරි විහාරය, මහාචාර්ය ටී. ජී. කුලතුංග, 2014
  • පුරාණ අනුරාධපුරය, අනුරාධ සෙනෙවිරත්න, 1995
  • මහාවංශය, ප්‍රථම භාගය, මොග්ගල්ලාන සංස්කරණය, සිංහල අනුවාදය - අරුණ තලගල
  • On the Ancient Coins and Measures of Ceylon. T.W. Rhys DAvids, 1877
  • Architectural Remains, Anuradhapura, Sri Lanka, James G. Smither, Revised and Edited by Chandra Wikramagamage, 1993
  • බෞද්ධ රාජධානි පිළිබඳ තොරතුරු නම් වූ ෆාහියන්ගේ දේශාටන වාර්තාව - මහාචාර්ය විමල් ජී බලගල්ලේ, 1999
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Memoirs of the Archaeological Survey of Ceylon, Volume V. The Stupa in Ceylon, S. by Paranavitana, 1946