Thursday, April 20, 2017

අඹන් - කළු මිටියාවත් බද පුරාණ වාරිමාර්ග පද්ධතිය සහ ජනාවාස පැතිරීම - 1

ජලය පිරෙමින් පවතින මොරගහකන්ද ජලාශය
මොරගහකන්ද ජලාශයේ වේලි ඉදිකිරීම නිමාවීමත් සමග එය ක්‍රමයෙන් ජලයෙන් පිරෙමින් පවතී. අඹන් ගඟ දෑලේ පැරණි ගම් ප්‍රදේශ ක්‍රමයෙන් ජලයෙන් යටවෙමින් පවතී. ඒවායේ පදිංචි වි සිටි ජනතාව සිය ගම් බිම් වලට සමුදී අළුතින් ඉදිවන ජනාවාස වල පදිංචි වීම සඳහා යමින් සිටී. ඉදිරියේදී කළු ගඟ ජලාශය ඉදිවීමත් සමගම කළු ගඟ අවට ජනාවාස වලටද එම ඉරණමම අත්වනු ඇත. එවන් තත්වයක් යටතේ අඹන් සහ කළු ගංගා මිටියාවත් ආශ්‍රිත පැරණි ජනාවාස සහ වාරිමාර්ග පද්ධතිය පිලිබඳව විමසා බැලීමක් සඳහා කරන උත්සාහයකි මෙම ලිපි පෙළ.
මොරගහකන්ද ජලාශය හේතුවෙන් යටවෙමින් පවතින පැරණි නාඋල-ඇළහැර මාර්ගය (ඡායාරූපය - සුජීවා ගුණසේන)
මොරගහකන්ද-කළු ගඟ ව්‍යාපෘතිය
අඹන් ගඟේ පැරණි ඇළහැර අමුණට කිලෝ මිටර් දෙකක් පමණ ඉහළින් බඳින ප්‍රධාන වේල්ලක් සහ තවත් සැදලි වේලි දෙකක් මඟින් වර්ග කිලෝමිටර් 29.5 පුරා පැතිරුණු ඝන මීටර් 521,000,000 ක ජල ධාරිතාවයකින් යුතු මොරගහකන්ද ජලාශය සහ පල්ලෙගම නගරයට කිලෝ මීටර් 4 පමණ උතුරින් කළු ගඟ හරස් කර බඳින ප්‍රධාන වේල්ලක් සහ තවත් සැදලි වේලි දෙකක් මගින් වර්ග කිලෝමිටර 8.4 ක ප්‍රදේශයක් පුරා පැතිරුණු ඝන මීටර් 144, 000, 000 ක ජල ධාරිතාවකින් යුතු කළු ගඟ ජලාශය යන ජලාශ දෙකින් සහ කළු ගඟ සහ මොරගහකන්ද ජලාශ සම්බන්ධ කරන දිගින් කිලෝ මීටර් 9 ක් පමණ වන ඇල මාර්ගයකින් (ඉන් කිලෝ මීටර් 7.85 උමං මාර්ගයක් ලෙස ඉදිවේ ) 'මොරගහකන්ද-කළු ගඟ ව්‍යාපෘතිය' සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය මගින් අනුරාධපුර, පොළොන්නරු, මාතලේ සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල පානීය සහ කෘෂිකාර්මික ජල අවශ්‍යතා සපුරාලීමට අමතරව කුඩා විදුලි බලාගාරයක් මගින් මෙගා වොට් 35 ක පමණ බලයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමටද නියමිතය.
අඹන් ගඟ මිටියාවතේ මොරගහකන්ද ජලාශයට යටවීමට නියමිත නිවාස  (ඡායාරූපය - සුජීවා ගුණසේන)
මහවැලි මහ සැලැස්මේ අවසාන ජලාශය ලෙස 1970 දශකයේ පටන්ම වරින් වර ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ශක්‍යතා අධ්‍යන වාර්තා සකසමින්, නැවත අතහැර දමමින් කල්ගත වූ මෙම යෝජනා ක්‍රමය ඉදීවීම ප්‍රායෝගික යථාර්තයක් බවට පත්වූවේ 2007 වසරේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදීය. මෑතකාලේදී මේ වන විට මේ රටේ ජනතාවට නිතර අසන්නට ලැබෙන "මට කරන්න දුන්නේ නැහැ" යන සුපුරුදු අදෝනාව සමග එහි අයිතිය නතු කර ගැනීමට දඟලන 'වැඩබැරි සේනලා' පහලවී ඇති මුත් 2007 වසරේ සිට එහි ඉදිකිරීම් කටයුතු ක්‍රමිකව සිදුවෙමින් පැවතුණි ("මේ වන විට මොරගහකන්ද ජලාශයට අයත් බොහෝ වැඩකටයුතු අවසන් කරලයි තියෙන්නේ." ව්‍යාපෘතියේ නේවාසික ඉංජිනේරු  ඒ. කේ. ඩී. තෙන්නකෝන් මහතා විදුසර පුවත්පතට මෙසේ පවසන්නේ 2012 මාර්තු මාසයේය - කියවන්න විදුසර 2012 මාර්තු). කුලියට ලියන ලියන අප්පුලා නම් කියන්නේ 2015 ජනවාරි 8 'මෝඩයාගේ විප්ලවයෙන්' පසු සියල්ල පටන් ගත් බව කියලා හිටංය. කෙසේ නමුත් 'හොරාගේ' කාලයේ සිට කෙරෙමින් පැවැති අනෙකුත් සංවර්ධන යෝජනා ක්‍රම වලට එම 'ආප්ප විප්ලවයෙන්' පසු අත් වූ ඉරණම මොරගහකන්ද-කළු ගඟ ව්‍යාපෘතියට අත් නොවීම නම් සතුටු විය හැකි කාරණයකි.
කළු ගඟ මිටියාවතේ රඹුක්ඔළුව ග්‍රාමයේ ජන ජිවිතය - 2012 වසරේදි ගත් ඡායාරූපක්
කෙසේ නමුත් අප මෙම ලිපිය මගින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ අඹන් සහ කළු යන මහවැලි ගඟේ අතු ගංගා නිම්න වල පුරාණ කාලයේ ඉදිවූ අදටත් ක්‍රියාත්මක තත්වයේ පවතින හෝ නටබුන් වී ඇති වාරිමාර්ග පද්ධතිය පිළිබඳවය. එයට ප්‍රථම වංශ කතා මූලාශ්‍ර වල එන මෙම ප්‍රදේශයට අයත් ලෙස හඳුනාගත හැකි ස්ථාන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වන්නේ ගංගා මිටියාවත් අශ්‍රය කරගනිමින් ඇතිවී එම නිම්න ඔස්සේම පැතිරුණු ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය වර්තමානයේ අපි අඹන් සහ කළු ගංගා ලෙස හඳුන්වන මහවැලි ගඟේ අතු ගංගා ඔස්සේද සරුසාර ලෙස විහිදි ගිය ආකාරය හඳුනාගැනීම සඳහා එය උපකාරි වන බැවිනි.
කළු ගඟ මිටියාවතේ රඹුක්ඔළුව ග්‍රාමයේ ජන ජිවිතය - 2012 වසරේදි ගත් ඡායාරූපක්
බෝගම්බර - ලග්ගල - රණමුරේගම
පරාක්‍රමබාහු කුමාරාගේ තරුණ අවදියේ දෙවන ගජබාහුට අයත් රජරට රාජධානියේ සිදු කල චරපුරුෂ මෙහෙයුම් (පරණවිතාන මහතා මහාවංශයේ එන මේ හා සම්බන්ධ දීර්ඝ විස්තරය හඳුන්වන්නේ වංශ කතා කරුවා පරාක්‍රමබාහුගේ වීරත්වය සහ දේශපාලන සූරත්වය විදහා පෑමට අතිශයොක්තියෙන් කියන ලද දේවල් හෝ/සහ සත්‍යයෙන් තොර දේවල් ලෙසය) සම්බන්ධ විස්තරයේදී  ඔහු බෝධිගාමවර සිට ලංකාපබ්බත ප්‍රදේශයට අයත් රණඹුර නම් ගමට පැමිණි බව පවසයි. නැවතත් රජරට පෙදෙසේ පාලකයා වූ දෙවන ගජබාහු සහ පරාක්‍රමබාහු අතර සිදුවූ සටන් සම්බන්ධ විස්තරයේදී පරාක්‍රමබාහු විසින් බෝධිගාමවරයට යවා සිටි සටන් නායකයින් එතැන් සිට ලංකාගිරි පෙදෙසට ගොස් එහි සිටි සතුරන් වැනසූ බව සඳහන් කරයි.
කළු ගඟ මිටියාවතේ රඹුක්ඔළුව ග්‍රාමයේ ජන ජිවිතය - 2012 වසරේදි ගත් ඡායාරූපක්
කොඩ්රිංටන් මහතා මෙහි එන බෝධිගාමවර යන්න වර්තමානයේ මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ආසන්නයේ පිහිටි බෝගම්බර නම් වු ගමෙහි නාමය ශේෂ වී ඇති වර්තමාන පල්ලෙසිය පත්තුව ප්‍රදේශය ලෙස හඳුනාගනී (බෝධිගාමවර රට්ඨ ලෙසින් මහාවංශය පරාක්‍රමබාහු යුගය පිළිබඳ එන වෙනත් විස්තරයකදීද මෙම ප්‍රදේශය පිළිබඳ සඳහන් කරයි ). එක්තරා සිගිරි ගීයක බොයිගම් ලෙස හැඳින්වෙන්නේද මෙම ප්‍රදේශය විය හැක. ගයිගර් හඳුනාගන්න පරිදි ලංකාපබ්බත දේශ ලෙස සඳහන් වන්නේ වර්තමාන ලග්ගල උඩසිය පත්තුව ප්‍රදේශයයි. ඒ අනුව එහි පිහිටි රණඹුර ගම පහසුවෙන්ම වර්තමානය දක්වාම රණමුරේ ගම ලෙස නම ශේෂව පවතින පල්ලේගම සිට සැතපුම් 5 පමණ දකුණින් නකල්ස් රක්ෂිතය මායිමේ පිහිටි ප්‍රදේශය බව කොඩ්රිංටන් හඳුනාගනී.
කළු ගඟ මිටියාවතේ රඹුක්ඔළුව ග්‍රාමයේ ජන ජිවිතය - 2012 වසරේදි ගත් ඡායාරූපක්
කළු ගඟ ඉහල  ජලධාරා ප්‍රදේශයේ ජනාවාස
රණමුරේ ගම පිහිටියේ නකල්ස් කඳු පන්තියට අයත් කළුපහන කන්දෙන් ඇරඹෙන කළු ගඟේ දකුණු ඉවුර දෙසින් කළුපහන කඳු පාමුලය. එය කළු ගඟ නිම්නයට නැගෙනහිර දෙසින් නාරංගමු ඔය නිම්නයේ පිහිටා ඇත (කළුපහන කන්දේ දෙපස එම නිම්න දෙක පිහිටා ඇත.) නාරංගමු ඔය ඇතුලු එම ප්‍රදේශයේ ඇති ලොකු කුඩා අතු ගංගා සියල්ල අවසානයේ කළු ගඟ පෝෂණය කරමින් පහලට ගලයි. රණමුරේ ගම, වල්පොලමුල්ල, ඇටංවල, රඹුක් ඔළුව, ගඟහේන්වල, මහලකොටුව, ඉමදූව, නාරංගොමුව, පල්ලේගම වැනි කළු ගඟේ ඉහල ජලධාරා ප්‍රදේශයේ පිහිටි බොහෝ පැරණි ගම්මාන වලින් ඇතැම් ඒවා අඩු වැඩි වශයෙන් කළු ගඟ ජලාශයේ බලපෑමට යටත් වන අතර මින් පල්ලෙගම නගරයෙන් සැලකිය යුතු කොටසක් කළු ගඟ ජලාශයට යටවීමට නියමිතය.
කළු ගඟ ජලාශයේ සිතියමක් - moragahakandakalugangaproject.blogspot.com වෙබ් අඩවියෙනි

මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Archaeological survey of Ceylon Sigiri Graffiti, S. paranavitana Vol 1.

No comments:

Post a Comment