සීගිරිය වනාහි දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙක් දිනපතා සංචාරය කරන මෙරට වැඩිම සංචාරක ආකර්ශනයක් සහිත ස්ථානයකි. එමෙන්ම මෑත කාලයේදී ප්‍රධාන වශයෙන් සමාජ මාධ්‍යය සහ පුවත්පත් වැනි අනෙකුත් මාධ්‍යය හරහා ජනප්‍රිය වූ ප්‍රබන්ධිත ඉතිහාස කතා බොහෝමයකට පාදක වූ ස්ථානයකි. එවන් කිසියම්ම හෝ පදනමක් නොමැති 'කතන්දර' කොතරම් ජනගත වී ඇත්ද යත් ඒවාට විරුද්ධ වන්නන් දේශද්‍රෝහීන් ලෙස සලකන තරමටම අනුවන ජනයා නිවැරදි වචනයෙන්ම කියනවා නම් 'අන්දවා' ඇත. කෙටි ක්‍රම වලින් සමාජයේ ජනප්‍රිය වීමට වලිකන මානසික රෝගීන් කිහිපදෙනෙක් සහ ඕනෑම කුණු ගොඩක් කුණුම ඉල්ලන බහුතර මෙරට ජනයාට පෙන්වා සිය YouTube Channels ජනප්‍රිය කරවාගෙන ආදායමක් උපයාගන්නට තනන කපටීන් මෙවැනි මත සමාජගත කිරීමට දායකත්වයක් දක්වයි. සීගිරියේ තිබී බෙල් මෙරටින් ගෙන ගිය නිධානය, සීගිරියේ සිංහ පාදය ගුරුලු පාදයකි (මේ පිළිබඳව ලිපි 2 ක් මෙයට පෙර මෙහි පලවිය Link>> සහ Link2>> ), සීගිරිය රාවණාගේ බලකොටුවකි, සීගිරියේ තිබූ සෝපානය සහ අනෙකුත් දෑ ඉරිසියාවෙන් පෙලුන බෙල් කොන්ක්‍රීට් දමා වැසූ ආකාරය මින් කිහිපයකි.
නයිපෙන ගුහාව |
මෙවන් මිත්‍යා මත වලට සමාජයේ වැඩි ඉඩක් ලැබීමට එක් හේතුවක් වන්නේ දේශිය, විදේශීය පුරාවිද්‍යාඥයන් සියවසකටත් අධික කාලයක් පුරා සීගිරිය ආශ්‍රීතව සිදු කල ගවේෂණ ඇසුරින් සොයාගත් බොහෝ කරුණු මෙරට බහුතර ජනතාව අතරට නොයෑම ලෙස සැලකිය හැක. එක් අතකින් එවන් බොහෝ කරුණු ඉංග්‍රීසි භාෂාවෙන් පලවී තිබීම සහ එම පොත පත පවා පහසුවෙන් සොයාගැනීමට නොහැකි වීම මෙයට එක් හේතුවකි. සීගිරි යන බොහෝ පිරිස් එතරම් අවධානයක් යොමු නොකරන (හැකි ඉක්මනින් සිංහ පාදය සහ බිතුසිතුවම් නරඹා, සීගිරි ගල මුදුනට නැග එදිනම පිදුරංගලටත් ගොස් සෙල්පි ගසා FB දැමීම බහුතරයකගේ එකම අපේක්ෂාව වේ.) එමනිසා බොහෝදෙනෙකුගේ අවධානයට ලක් නොවන සීගිරියේ ජල උද්‍යානයේ සහ පර්වත උද්‍යානයේ දැකිය හැකි වෙනත් වැදගත් නටබුන් ස්ථාන පිළිබඳව මෙම ලිපියෙන් සහ ඉදිරියට වරින් වර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන වෙනත් ලිපි වලින් අවධානය යොමු කෙරේ. සීගිරියේ පබ්බත විහාරය පිළිබඳව මෙයට පෙර තොරතුරු ඉදිරිපත් කර ඇත Link1>> සහ Link2>>.
සීගිරිය පර්වතය මතට දිස්වන පර්වත උද්‍යානයේ කොටසක් |
පර්වත උද්‍යානය (Boulder Garden)
සීගිරියේ බටහිර පිවිසුමෙන් ඇතුලුවී ජල උද්‍යාන පසු කරගෙන යාමේදී සීගිරිය ප්‍රධාන පර්වතයට පහලින් හමුවන ස්වභාවිකව පිහිටි කුඩා පර්වත කොටස් ඒ ආකාරයටම තිබියදී, ඇතැම් විට ඒවා අවම වෙනස් කම් වලට ලක් කරමින් පුරාණ යුගයේ ඉදිකල මනරම් උයනක් වර්තමානයේ පර්වත උද්‍යානය ලෙසින් හඳුන්වා ඇත. බොහෝ වූ කටාරම් කෙටූ ඇතැම් විට බ්‍රාහ්මී සෙල්ලිපි සහිත ලෙන්, කුඩා දාගැබ්, ගල් ආසන, මාලක, පඩි පේලි වැනි බොහෝ දේ මෙම කොටසේ දැකිය හැක. මේ බොහෝමයක් කාශ්‍යප යුගයට පෙර හා පසු මෙහි පැවැති සංඝාරාමයට අයත් අංග ලෙස හඳුනාගත හැකි මුත් ඒවා රාජකීය උද්‍යානයේ නටබුන් ලෙසද මත ඉදිරිපත් වී ඇත. මෙම ලිපියෙන් එම පර්වත උද්‍යානයේ හමුවන ස්ථාන කිහිපයක් පිළිබඳව අවධානය යොමුවේ.
නයිපෙන ගුහාව |
නයිපෙනයක හැඩයෙන් යුක්ත හෙයින් ජනවහරේ නයිපෙන ගුහාව ලෙස හැඳින්වෙන මෙම ගුහාව පබ්බත විහාරයට ඉහලින් පිහිටා ඇත. ක්‍රි.පූ. දෙවන සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂරයෙන් කොටා ඇති සෙල් ලිපියක් මෙහි කටාරමට පහලින් දැකිය හැක. පරුම[ක] නගුලිය ලෙනෙ ලෙසින් එන එහි අදහස නම් පරුමක නගුලිය ගේ ලෙන යන්නය. පරුමක යනු රාජ්‍යයේ කිසියම් තනතුරක් දැරූ ප්‍රධානීන්ය (Chieftains). නයිපෙන ගුහාවේ කටාරමට යටින් සුදු පිරියම් කර 'වියන් චිත්‍ර' ඇඳ තිබී ඇති බව දැනටද අතරින් පතර තරමක් ඉතිරිවී ඇති චිත්‍ර කොටස් වලින් පැහැදිලි වේ. අඩු වැඩි වශයෙන් ඒවා මහනුවර යුගයේ හා ඉන්පසු යුග වලද බෞද්ධ විහාර වල පිළිම ගෙවල් වල දැකිය හැකි වියන් චිත්‍ර වලට යම් සමානත්වයක් දක්වයි.
මහනුවර යුගයේ චිත්‍ර ශිල්පීන් යොදාගත් කතුරු මල සහ තිරිංගිතල වැනි හැඩතල වලට මෙම චිත්‍ර වල සබදතාවයක් දැකිය හැක. විවිධ ජ්‍යාමිතික හැඩ තල හා පලා වැල් අතර කිසියම් පක්ෂියෙකුගේ රුවක්ද හඳුනාගත හැක. සේනක බණ්ඩාරනායක මහතා සීගිරියේ දැකිය හැකි පැරණිම චිත්‍ර අතරට නයිපෙන ගුහාවේ වියන් චිත්‍රද ඇතුලත් කරන අතර මෙම චිත්‍ර සීගිරියේ ප්‍රකට කාන්තා රූප වල ශෛලියට සමානත්වයක් දක්වන බව පවසයි. ක්‍රි.ව. පස්වන සියවස හෝ හයවන සියවසේ මුල් අවධියට මෙම චිත්‍ර අයත් වන බවට ඔහු අනුමාණ කරයි.
මෙම ලෙනේ බිම ගඩොල් අල්ලා ඒ මත හුණු ආලේප කර තිබූ බවට කැනීම් සිදු කිරීමේදී හමුවූ එවන් කොටසකින් හඳුනාගැනීමට හැකි විය. වර්තමානයේ එවන් ගඩොල් සම්පූර්ණ ගුහා භූමිය තුලම දැකිය හැකි මුත් හුණු ආලේපනය දැකිය නොහැක. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සිදු කල සංරක්ෂණ කටයුතු වලදී සම්පූර්ණ ගුහා භූමිය තුලම අලුතින් ගඩොල් ඇල්ලීම සිදුකර ඇත. තවද මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සේනක බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් මෙම නයිපෙන ගුහාව ඉදිරිපස සිදු කල කැනීම වලදී අස්ථි කොටස් විශාල ප්‍රමාණයක් හමුවී ඇති අතර ඒ අනුව එම කොටසේ පැරණි සුසාන භූමියක් තිබී ඇති බවට අනුමාණ කෙරේ.
පබ්බත විහාර පිළිම ගේ සෙල්ලිපිය
පෙර ලිපියකින් විස්තර ඉදිරිපත් කල පබ්බත විහාරයට අයත් පසු කාලීනව පිළිම ගෙයක් බවට පරිවර්තනය කර ඇති ගුහාවේද ක්‍රි. පූ. 2-3 සියවස් වලට කාල නිර්නය කල හැකි අක්ෂර වලින් රචිත සෙල්ලිපියක් එහි කටාරමට පහලින් දැකිය හැක. පරුමක තිරි පුත අබිජිය ලෙනෙ ලෙසින් එන එහි අර්ථය පරුමක තිරිගේ පුත් වූ අබිජිත් ගේ ලෙන ලෙසින් පරණවිතාන මහතා අර්ථ නිරූපනය කරයි. පොදුවේ මෙවන් සෙල්ලිපි වලින් එම ලෙන් ඒවායේ පෙර අයිතිය පැවති පුද්ගලයන් විසින් ඔවුන් බුදු දහම වැලඳ ගැනීමත් සමග ඒවා භික්ෂු වාසස්ථාන උදෙසා පිරිනැමූ බවට පැවසෙන බව විද්වත් මතයයි. බ්‍රාහ්මී අක්ෂර හෝඩිය මිහිඳු හිමියන් බුදු දහම රැගෙන ඒමත් සමග මෙරටට හඳුන්වා දුන් බවට වූ පොදු පිලිගැනීමත් සමග එම මතය බැඳී පවතී. එවන් ඇතැම් ලෙන් ලිපි වල එහි අයිතිකරුවන් විසින් ඒවා සංඝයාට පිරිනැමූ බව පැවසෙන මුත් (උදා: බෝගොඩ ලිපි) මෙවැනි සමහර ලිපි වල එලෙස සඳහන් නොවීම අප දන්නා තරමින් කිසිවෙකුගේ අවධානය ලක් වී ඇති බව නොපෙනේ. මේවා සරලව ඔවුන්ගේ අයිතිය කියාපෑමක් පමණක් විය නොහැකිද?
කුඩා ස්තූපයක නටබුන් සහ ලෙන්
නයිපෙන ගුහාවේ සිට ඉහලට නැගීමේදී පර්වත දෙකක් අතර වූ කුඩා මලුවක විනාශ වී ගිය කුඩා දාගැබක සංරක්ෂණය කර ඇති කොටසක් හමුවේ. කැටයම් රහිත සඳකඩපහනක් සහ එක් මුරගලක කැඩී ගිය පහල කොටසක් මෙහි දැකිය හැක. එම කුඩා ස්තූපයට දකුණු පසින් වූ දෙපසින් පර්වත කොටස් දෙකක් එක් වීමෙන් ස්වභාවිකව නිර්මිත වූ ලෙන කටාරම් කොටා බිම නයිපෙන ගුහාවේ ලෙසින්ම ගඩොල් අතුරා සකසා තිබී ඇත. ගුහාව තුලින් ගොස් සීගිරි පර්වතය දෙසට යාමට පඩි පේලියක් තනා ඇත. මෙම දාගැබ මෙන්ම කටාරම් කෙටූ ලෙන්ද සීගිරියේ පැවති පබ්බත විහාරයට පැහැදිලිවම අයත්විය යුතුය. මක් නිසාද යත් අප පෙර ලිපියෙන් විස්තර කල පබ්බත විහාරයේ කොටස් එහි පූජනීය චතුරශ්‍රයට අයත් දේ වන අතර. පූජනීය චතුරශ්‍රයට පිටතින් පබ්බත විහාර වල පිහිටන භික්ෂු ආවාස කුටි සීගිරිය පබ්බත විහාරයේදි ඒ අවට හමුවන ලෙන් වලින් සමන්විත විය යුතුය (පබ්බත විහාර වල ගෘහනිර්මාණ ශිල්පී ලක්ෂණ පිළිබඳව වූ පෙර ලිපිය කියවීමට Link>> ) සිගිරිය පර්වතය අවට විශේෂයෙන්ම පර්වත උද්‍යානයට අයත් කොටසේ ලොකු කුඩා ලෙන් 30 ක් පමණ හමුවන අතර අවම වශයෙන් ඉන් 5 ක වහලයේ කටාරමට පහලින් මැකී යමින් පවතින චිත්‍ර කොටස් දැකිය හැක. තවද ඒවායින් බොහෝමයක සුදු පිරියම් කර තිබූ සාධක අතරින් පතර ඉතිරි වී ඇති බදාම කොටස් වලින් පැහැදිලි වේ. ඒවායෙහිද පෙර චිත්‍ර ඇඳ තිබූ බවට දැනටද දිස්වන වර්ණක කොටස් දෙස් දෙයි.
පර්වත උද්‍යානයේ කෙටි වීඩියෝව නැරඹීමට Link>>
පර්වත උද්‍යානයේ මෙවන් වෙනත් බොහෝ දෑ පිළිබඳව ඉදිරි ලිපි වලින් තොරතුරු විමසා බලමු.
මූලාශ්‍ර
- Sigiriya, Senake Bandaranayaka, City, Palace and Royal Gardens, 1999
- Sigiriya, R.H. De Silva, 1976
- Archaeological Guide to Sigiriya, Raja de Silva, 2004
- සීගිරිය, එහි සුප්‍රකට සිතුවම්, රජ උයන හා අනෙකුත් නගරාංග. මහාචාර්ය සෙනරත් දිසානායක, 2011
- Further studies in the settlement archaeoligy of the Sigiriya-Dambulla region, Senake Bandaranayaka & Mats Mogren et.all, 1994
- The Rock And Wall Paintings of Sri Lanka, Senake Bandaranayake, 2006
- Men And Monuments D.T. Devendra A Centennial Tribute, Leelananda Prematilele at. all, 2001
- Digging Into The Past, Raja de Silva, 2005
- Sigiriya Paintings , Raja de Silva, 2009
- සීගිරිය, කාශ්‍යපගේ සෞන්දර්ය ප්‍රනාමය, සිරි ගුනසිංහ, 2010
- Paranavitana S., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions
- Sigiriya Project, 3rd Progress Report Excavation at Sigiriya (January - June 1983), Senaka bandaranayake, 1989
- සීගිරිය ව්‍යාපෘතිය, සීගිරියේ සිව්වන පුරාවිද්‍යාත්මක කැණීම් (1983 ජූලි-දෙසැම්බර්) සේනක බණ්ඩාරනායක, 1993
- Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela. 2016
- Magnificent Sigiriya, Prof. Senarath Dissanayaka, 2013
- Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1911-12
- Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1896
- Archaeological Survey of Ceylon Annual Report , H.C.P. Bell, 1897
රාවණාවාදීන් නිසා විකෘති වෙන ලාංකීය ඉතිහාසය ගැන බැලුවාම දැඩි දුකක් දැනෙනවා...
ReplyDeleteසීගිරි ආලකමන්දාව රාවණ රජුගේය කියලා හිතන්නට මාත් හරිම කැමතියි. ඒත් ඒක එහෙම නෙවෙයි කියන එකයි දැනට මගේ බුද්ධිය කියන්නේ. මෙතෙක් මා කියවා ඇති, දැනගෙන ඇති දේවල් අනුව.
ReplyDeleteභූෂණ, ඔයාගේ මේ ලිපිය කියවද්දී සීගිරි ගිය ඕනෙම කෙනෙකුට ආයෙම එහි යන්නට හිතෙනවා. ෆොටෝස් දකිද්දී. ඒ තරමටම ඒවා සජීවීයි! ඉරිසියා හිතෙන තරම්....
එක දවසකින්, එක වතාවකින් නම් මෙච්චර හරියක් කරගන්න බැහැ නේද? සීගිරියේ පහළ ජල උද්‍යාන හරිය බලන්නම වරුවක් යනවා මට නම්!
මෙහි තියෙන ඡායාරූප ගත්තොත් ඒවා අරන් තියෙන්නේ දවස් දෙකකදි (වීඩියෝව වෙනමම දවසක). ඒ දවස් දෙකම වලාකුළු සහිත අහසක් (overcast sky) තිබ්බේ. එහෙම උනාම පොටෝ වල ඉර එලිය ගස් අතරින් ඇවිල්ලා තැන් තැන් වල දකින අලෝක ලප (Light patches) එන්නේ නැහැ. ඒවා ආවම ඡායාරූපයේ අපිට අවශ්‍ය දේවල් පැහැදිලිව දිස් වෙන එක වෙන්නේ නැහැ. ඇහැට හිරිහැරකාරී සෞම්‍ය නොවන ගතියක් තමා තියෙන්නේ. ගස් සහිත ස්ථාන වල තිබෙන නටබුන් ස්ථාන වල ඡායාරූප ගැනීමේදී මම හැකිතාක් එවන් කාලගුණ තත්වයන් තියෙන දවස් තමා යොදාගන්නේ. එහෙම නැත්නම් ඉර වලාකුළු වලින් වැහෙන වෙලාවක් එනකන් ඉන්නවා එම ස්ථානයේ. ඔබ කිව්වා වගේ මේවා එක දවසින් කරන්න අමාරුයි තමා.
ReplyDelete"ශගශ දිනෙ" කොටස නැති කටාරම් ලිපිවලින් ඒ ඒ පුද්ගලයන්ගේ අයිතිය පමණක් හැඟවෙන බව මගෙත් අදහස. සමහරවිට මිහිඳු හිමියන් සමඟ නොව ඊට පෙර පටන් අක්ෂර මාලාව මෙහි තිබුණා විය හැකි නේද? එතකොට, උදාහරණයක් විදිහට "පරුමක නගහ ලෙනෙ" කියා කොටා තිබෙන කටාරමේ, පසුකාලයක ආපහු "ශගශ දිනෙ" කියා කොටා සඟගත කළා විය නොහැකිද? අශෝක ලිපිවල තියෙන සමහර අකුරු (උදා: ඊ අකුර) ලංකාවේ කොටා තිබෙන්නේ වෙනත් ස්වරූපවලින්. මිහිඳු හිමි අක්ෂර මාලාව ගෙනාවානම් ඒ වගේ වෙනස්කම් වෙන්න බෑනේද?
ReplyDeleteඩ්‍රැකී ඔය සම්බන්දව මගෙත් අදහස අඩු වැඩි වශයෙන් ඕකම තමා. මිහිදු හිමියන් සමග අක්ෂර හෝඩිය ලැබුනා කියලා පූර්ව නිගමනය කර හැම දෙයක්ම පැහැදිලි කරන්න යන විට ඔය විදිහට හිතන්නේ නැහැ හුඟ දෙනෙක්. අනුරාධපුර ඇතුලු නුවර කැනීම් වලදි ශිරාන් දැරණියගල මහතා සොයා ගත් වලං කැබැල්ලක් කාල නිර්ණය කර තිබෙන්නේ ක්‍රි.පූ 5-6 සියවස් වලට. ඇතැමුන් එය පිළිගන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් මිහිඳු හිමියන් පැමිණීමට පෙර මෙරට අක්ෂර භාවිතා වූ බවඨ මහාවංශයම සාධක සපයනවා. කැලණිතිස්ස කතාවේ බිසවට එවපු ලියුමක් ගැන එන සඳහන එක් උදාහරනයක්
ReplyDeleteඅර වළං කැබැල්ලෙ පැහැදිලිව තියෙනව "බිය අනුරද" කියලා. සිරාන් දැරණියගල මහතා ඒ්ක ගැන කියන විදිහට, විජයගේ පැමිණීමටත් පෙර සිට ඒම ස්ථානය අනුරාධ නමින් හැඳින්වුණු බව අනුමාන කෙරෙනවා.
Deleteඅර ලියුමෙ විත්තිය මට කල්පනා වුණේ නෑ. ඒක්කෝ මහානාම හාමුදුරුවන්‌ගෙ කාලෙ තල්පතේ ලිවීම ප්‍රචලිතවූ නිසා, නැත්නම් කැළණිතිස්ස රජුගේ කාලයේ ඇත්තටම තල්පතේ ලිවීම පැවතුණ නිසා ඒ් ගැන මහාවංශයෙ සඳහන් වෙන්න ඇති.
ඩ්‍රැකී. මගේ කොමන්ටුවේ මම පොඩි අඩුපාඩුවක් කරලා තියෙනවා. මම ඒකේ කියලා නැහැ අර වලන් කැබැල්ලේ අකුරු තියෙනවා කියලා. කොහොම උනත් ඔබේ කොමන්ටුවෙන් ඒක ටිකක් ගොඩ යනවා. :) එම කැනීම් වලින් බ්‍රාහ්මි සහ බ්‍රාහ්මි නොවන සලකුණු තියෙන වලං කැබැලි බොහොමයක් හම්බෙනවා. සම්පූර්ණ වචන හැටියට පත (එනම් පාත්‍රය), දෙවය, අනුරධ කියන වලං කැබැලි හමු වෙලා තියෙනවා. එම අකුරු වලින් එම භාජන වල අයිති කරුවන්ගෙ ඒවාට අයිතිය පැවසෙන බව තමා අනුමාණ කරන්නේ. මෙහි අනුරධ යන්නත් නගර නමට වඩා පුද්ගල නමක් කියලා තමා හිතන්නේ. බිය අනුරද කියලා එකක් ගැන නම් මම දැනුවත් නැහැ. මේ ගැන විස්තර තියෙනවා Ancient Ceylon No 2 එකේ. කාමලිකා පීරිස් මහත්මියගේ මේ ලිපියෙත් සැකෙවින් ඒ ගැන කියවෙනවා http://archives.dailynews.lk/2009/07/16/fea24.asp
Deleteගොඩක් වටිනව ඔබේ අධ්‍යනය.පුරාවිද්‍යව ආසම විෂයක්..කොච්චර හෙව්වත් ඉවරයක් කරන්න බැහැ..ආසයි.
ReplyDeleteලිපිය ගොඩක් වටිනවා
ReplyDelete