Saturday, July 25, 2020

කුරුණෑගල රාජධානියේ බුවනෙකබාහුලා, බුවනෙකබාහුගේ මුස්ලිම් බිසව සහ බුවනෙක බාර් පුතානෝලා

කාලිංග මාඝ ආක්‍රමණයත් සමග අනුරාධපුරය සහ පොළොන්නරුව පදනම් කරගනිමින් සියවස් ගණනාවක් පුරා පැවතුන සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය සහ එහි අගනුවර ක්‍රමයෙන් දිවයිනේ වයඹ දිසාව දක්වා පසු බැසීමක් මෙරට ඉතිහාසය පිළිබඳව හැදෑරීමේදි පෙනි යයි. 13 වන සියවසේ ආරම්භ වූ මේ ක්‍රියාදාමයට පොරොතුව මෙම ප්‍රදේශ වල ජනයා නොසිටි බවක් මින් ගම්‍ය නොවේ. එලෙසම රජරට ප්‍රදේශ වල සිටි සියලුම පොදු ජනයා එම ප්‍රදේශ වලට මෙම යුගයේ සංක්‍රමණය වූ බවක්ද අපට පැවසිය නොහැක. ආක්‍රමණික විදේශ පාලනයක් යටතේද ඔවුන් බොහෝ දෙනෙක්, ඇතැම් විට රාජ්‍ය තන්ත්‍රයට සම්බන්ධ සිංහල ප්‍රභූ පැලැන්තිය පවා එම ප්‍රදේශ තුල මාඝ (ක්‍රි,ව, 1215-1236යටතේ තව දුරටත් රැදී සිටින්නට ඇත. එසේම මෙම යුගයට පෙර සිටම වර්තමාන කුරුණෑගල, පුත්තලම, මාතලේ, මහනුවර, කොළඹ, කළුතර, කෑගල්ල, ගම්පහ වැනි දිස්ත්‍රික්ක වල ජනතාව විසූ බවට මේ ප්‍රදේශ වල හමුවන එම පෙර යුග වලට අයත් සෙල්ලිපි, වාරිමාර්ග පද්ධති සහ වංශ කතා තොරතුරු දෙස් දෙයි. නමුත් විවිධ හේතූන් නිසා ජනඝනත්වය සාපේක්ෂව වියලි තැනිතලා භූමියක් වූ රජරට සහ රුහුණු රට වලට වඩා එවකට මායා රට නැතහොත් දක්ෂිණ දේශය සහ මධ්‍යම කඳුකරයේ ඉහල කඳු නිම්න අයත් වූ මලය රට ලෙසින් හැඳින්වූ ප්‍රදේශයේ ඉහල අගයක් නොගත් බව සිතිය හැක.

මෙම යුගයේ වර්තමාන යාපහුව හෙවත් මහාවංශයේ සඳහන් වන ලෙසට සුබ පබ්බතය මත්තෙහි ආලකමන්දාව වන් නගරයක් ඉදිකර සුභ නම් සෙන්පතියෙක් මාඝගේ බල ප්‍රදේශය ආසන්නයේම සිට ඔහුට එදිරිව එම ප්‍රදේශයේ සිටි ජනයාට රැකවරණය සැපයීහ. එසේම විජයබාහු නමින් වූ රජ කෙනෙක් පොළොන්නරුවෙන් පසු අගනුවර ලෙස ජම්බුදෝණි හෙවත් දඹදෙණිය පදනම් කරගනිමින් කුඩා කුඩා වන්නි රජවරුන්ගේ ප්‍රදේශ යටත්කරගනිමින් සිය අණසක මාඝට යටත් නොවූ ප්‍රදේශ දක්වා විහිදුවමින් සිටියහ. හෙතෙම අප රාජාවලියේ තුන්වන විජයබාහු (ක්‍රි,ව, 1232-1236) ලෙසින් හඳුනාගැනේ. ඔහු විසින් ආරම්භ කල දඹදෙණි යුගය ලෙසින් හැඳින්වෙන යුගයේ  දේශපාලන සිදුවීම් සම්බන්ධව විමසා බැලීමට මෙහිදී අදහස් නොකරන මුත් අපගේ ප්‍රස්තුතයට අදාල කුරුණෑගල යුගයට මෙහි අදාලත්වය වනුයේ එම යුගයට අයත් රජවරුන්ද එම දඹදෙණි රජ පරපුරේම දිගුවක් හෙවත් ඔවුන්ගෙන්ම පැවත එන්නන් බැවිනි.

දඹදෙණි රජ පරපුරේ වැඩි කාලයක් යාපහුවේ සිට රාජ්‍යය විචාල  පළමුවන බුවනෙකබාහු රජුගේ (ක්‍රි,ව, 1272-1284) පුත්‍රයා මුල් වරට හස්තිසේලපුර සිය රාජධානිය පිහිටුවා ගත් බව මහාවංශයේ සඳහන් වේ. ඔහුද බුවනෙකබාහු නම් වූ හෙයින් මෙරට රාජාවලියේ හෙතෙම දෙවෙනි බුවනෙකබාහු (ක්‍රි,ව, 1293-1302) ලෙසින් හැඳින්වේ. ඇතැම් මහාවංශ පිටපත් වල එන ලෙසට හෙතෙම ඔහුට පෙර දඹදෙණි යුගයේම පොළොන්නරුව අගනගරය ලෙස තබාගෙන රජ වූ තුන්වන පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි,ව, 1287-1293) යුවරජ ලෙස කටයුතු කර ඇත. මීට පෙර ආර්ය චක්‍රවර්තීන් (අරියසක්විති) විසින් මෙරට ආක්‍රමණය කර පඬි රටට ගෙනගොස් තිබූ දළදාව එම තුන්වන පරාක්‍රමබාහු රජ මහාවංශ කතුවරයා කියන ලෙසට කිසියම් උපායකින් මෙරටට ගෙනවිත් පොළොන්නරුවේ දළදා මැදුරේ තැන්පත් කර තිබී ඇත. ඇතැම් ඉතිහාඥයන් අනුමාණ කරන පරිදි 3 පරාක්‍රමබාහු රජු පඬි රජුගේ (මාරවර්මන් කුලශේඛර) යටත් රජෙකු ලෙස මෙරට පාලනය කල බවක් වංශ කතාවේ එන එම තොරතුරු විමසා බලනවිට පෙනේ. 3 පරාක්‍රමබාහු රජ සහ ඔහුගේ යුව රජ වූ බුවනෙකබාහු රජ අතර කිසියම් ගැටීමක් තිබූ බවද මේ යුගයට ආසන්න කාලයකදී එනම් ක්‍රි.ව. 1325 දී රචිත දළදා සිරිතේ සඳහන් වන ශ්‍රී නිවාසබාහු අද්වීතීය භුවනෙකබාහු නම් රාජෝත්තමයන් (එනම් දෙවන බුවනෙකබාහු) සිය සේනාව සමග පොළොන්නරුවට ගොස්, තම බලය පෙන්වා දළදාව තම නුවරට ගෙනා බව සඳහන් කිරීමෙන් පැහැදිලි වේ. ඉහත උපකල්පනය නිවැරදි නම් මෙහිදි 2 බුවනෙකබාහු රජු හට මෙරට නිරිත දිග ප්‍රදේශයේ විසූ ජනයාගේ සහය ඒ වනවිට ජනහීන වෙමින් පැවති රජරට ප්‍රදේශ වල සිටි, එසේම පාණ්ඩ්‍ය දේශයේ රජුගේ යටත් රජෙකු බවට පත්වූ (එය එසේ වී නම්) 3 පරාක්‍රමබාහු රජුට වඩා තිබෙන්නට ඇත. ඉහත සඳහන් කල මහාවංශ ඇතැම් පිටපත් වල පමණක් හමුවන බව පැවසෙන ගාථාවේ වැඩිදුරටත් සඳහන් වන 3 පරාක්‍රමබාහු රජු කරණවෑමියකු ලවා සිය යුවරජුගේ එනම් බුවනෙකබාහු රජුගේ ඇස් ගලවාදැමීමට නියෝග දුන් බව වන සඳහනද මේ අදහස තවත් ශක්තිමත් කිරීමට ඉවහල් වේ. වංශ කතාව එයට වඩා දෙයක් මේ පිළිබඳව සඳහන් නොකරන බැවින් එම උත්සාහය ව්‍යවර්ථ වී බුවනෙකබාහු රජු කුරුණෑගලට පැනගොස් නැවත පොළොන්නරුව ආක්‍රමණය කර දළදාව රැගෙන සිය නුවරට ගොස් තුන්සිංහලේම රජු ලෙසට ඔහුගේ පදවිය ශක්තිමත් කරගත්තා විය හැකි බවට අපට සිතිය හැක.
සිංහල බෝධි වංශයේ දෙවන බුවනෙකබාහු රජ 'සකල ලංකාරාජ්‍යස්ථාපනාචාර්ය' ලෙසින් හඳුන්වන්නේ මේ අකාරයෙන් නැවතත් මෙරට එක්සේසත් කල හෙයින් විය හැක. මෙම අවස්ථාවේ බුවනෙකබාහු රජු සිය මස්සිනා වූ (දෙවන බුවනෙකබාහු රජුගේ පියා වන පළමුවන බුවනෙකබාහු සහ තුන්වන පරාක්‍රමබාහුගේ පියා වන සිව්වන විජයබාහු (ක්‍රි,ව, 1270-1272) සොහොයුරන් වන අතර  ඔවුන්ගේ පියා දඹදෙණි රජ පරපුරේ සමාරම්භකයා වන තුන්වන විජයබාහුගේ පුත් වූ දෙවන පරාක්‍රමබාහු (ක්‍රි,ව, 1236-1270) වේ.) තුන්වන පරාක්‍රමබාහු රජු මැරූ බවක් මේ කිසිදු මූලාශ්‍රයක සඳහන් නොවන හෙයින් ඔහු ඇතැම්විට පොළොන්නරුවේ සිට ප්‍රාදේශීය රජෙකු ලෙස ගරා වැටී තිබූ වැව් අමුණු පිලිසකර කරමින්, නැවතත් පැරණි ශ්‍රී විභූතිය රජරටට ගෙන ඒමට අවසන් එහෙත් අසාර්ථක උත්සාහයක් දරන්නට ඇත. එහෙත් හස්තිසේලපුර හෙවත් වර්තමාන කුරුණෑගල කෙන්ද්‍රකරගනිමින් සිංහල බෞද්ධ ශිෂ්ඨාචරය දිවයිනේ නිරිත දිග තහවුරු කිරීමේ බුවනෙකබාහු රජුගේ උත්සාහය වඩා සාර්ථක වෙමින් තිබිණ. දෙවන බුවනෙකබාහු රජු සිය අගනගරය ලෙස කුරුණෑගල තෝරාගත්බව මහාවංශයට අමතරව අස්ගිරි තල්පත, සුළු රාජාවලිය සහ සුළු පූජාවලිය වැනි වෙනත් මූලාශ්‍ර වලද සඳහන් වන මුත් 1395/96 ට පසු කල රචිත ලෙස හඳුනාගන්නා නිකාය සංග්‍රහය සහ 16 වන සියවසේ කෘතියක් වන රාජරත්නාකරය පවසන්නේ  ඔහු යාපහුවේ සිට රාජ්‍යය විචාල බවය (Gunasinghe, P.A.T., 1987). මෙයට පෙර පළමුවන බුවනෙකබාහු රජ යාපහුව අගනගරය ලෙස තෝරාගත් මුත් ඉන්පසුව පැවති දේශපාලන කැලැඹීම් සහිත කාල සීමාවේදී වියලි කලාපයේ වූ යාපහුව ප්‍රදේශයේ ජලසම්පාදන ව්‍යාපෘති මේ වන විට නැවතත් අබලන් වී පවතින්නට ඇත. එයට සාපේක්ෂව අහස් දියෙන් හා සාමාන්‍ය ජනයාට නඩත්තු කල හැකි මට්ටමේ වූ කුඩා වැව් මගින් වගා කල වර්තමාන කුරුණෑගල සහ එයට ආසන්න කෑගල්ල දිස්ත්‍රික්ක වල කෙත් වතු ගම්බිම් ආශ්‍රිතව මේ වන විට ජනගහණය සංකේන්ද්‍රණය වීම හේතුවෙන් යාපහුවට වඩා කුරුණෑගල එම ජනතාව පදනම් කරගත් නව ජනපද වලට වඩා සුදුසු අගනුවර වන්නට ඇති බව සිතිය හැක. එහෙත් මේ යුගයේ වූ යාපහුව සහ දඹදෙණිය වැනි අගනුවරවල් සම්පූර්ණයෙන් අතහැර දැමූ බවක් එයින් අපට නිගමනය කල නොහැක. ද්විතීයක අගනුවරවල් ලෙසින් ඒවාද ඒ වනවිටත් පැවතෙන්නට ඇති අතර ඉහත මූලාශ්‍ර වල එන සඳහන් වලට එම හේතුව පදනම් වන්නට ඇති බව සිතිය හැක. අනෙක් අතට මහාවංශයේ මෙම කොටස රචනා කල කාලය එම මූලාශ්‍ර වලට වඩා මෙම සිදුවීම් සිදු වූ කාල සීමාවට ආසන්න බැවින් එහි විශ්වාසනීයත්වය වැඩිවේ (කුරුණෑගල රාජාවලිය සම්බන්ධ මෙම ලිපියේ බොහෝ තොරතුරු එම යුගය පිළිබඳව සිය ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණාත්මක ග්‍රන්ථයක් කල P.A.T. ගුණසිංහ මහතාගේ කෘතිය ආශ්‍රයෙන් වන අතර නිකාය සංග්‍රහය සහ රාජරත්නාකරයේ එන බව එතුමා පවසන බුවනෙකබාහු රජුගේ අගනුවර යාපහු නුවර වූ බව පැවසෙන සඳහනද මෙහිදී සාකච්චා වනුයේ ඒ බව ඔහු භාවිතා කල එම  ග්‍රන්ථ පිටපත් වලවූ බවට පැවසෙන හෙයිනි. එහෙත් මේ ලිපිය සඳහා අප පරිශීලනය කල රාජරත්නාකර මුද්‍රිත පිටපත් දෙකකම ඒවායේ ශ්‍රී නිවාසි අද්විතීය බාහු ද්විතීය භුවනෙකබාහු නම් වත්හිමි භුවනෙකබාහු ලෙසින් හැඳින්වෙන දෙවන භුවනෙකබාහු රජුගේ අගනුවර ගැන සඳහන් නොවේ. එසේම නිකාය සංග්‍රහයේ යාපහු නුවර නිවාසි ලෙසින් මූලිකවම සඳහන් වන්නේ පළමුවන භුවනෙකබාහු රජ (මහා භුවනෙකබාහු ලෙසින්) පිළිබඳව පමණි. ඉන්පසු පොළොන්නරුව අගනුවර කරගත් 3 පරාක්‍රමබාහු සහ මෙම දෙවන භුවනෙකබාහු (වත්හිමි භුවනෙකබාහු ලෙසින්) රජ පිළිබඳව නාමයන් පමණක් සඳහන් කර හස්තිශෛලපුර(එනම් කුරුණෑගල)  නිවාසී ලෙසින් දෙවන භුවනෙකබාහුගෙන් පසු කුරුණෑගල රජ වූ පණ්ඩිත පරක්‍රමබාහු පිළිබඳව සඳහන් වේ.)

කෙසේ නමුත් සියළුම මූලාශ්‍ර වල නිශ්චිතවම සඳහන් වන්නේ දෙවන භුවනෙකබාහුගෙන් පසු ඔහු පුත් සිව්වන පරාක්‍රමබාහු රජ (ක්‍රි,ව, 1302-1326) කුරුණෑගල අගනුවර ලෙස තබාගනිමින් රාජ්‍යත්වයට පත්වූ බවයි. දළදාසිරිත නම් වූ සිංහල ග්‍රන්ථයක්ද හෙතෙම සිය නුවණින් කල බව පවසන මහාවංශය මෙම යුගයේ අන් රජවරුනට වඩා දීර්ඝ විස්තරයක් සිව්වන පරාක්‍රමබාහු රජු පිළිබඳව ඉදිරිපත් කරයි. පාලි භාෂාවෙන් රචිත ග්‍රන්ථ සිංහලට පරිවර්තනය කිරීම කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්වූ මෙතුමාගේ පාලන කාලයේදී පන්සිය පනස් ජාතකය සිංහලට පරිවර්තනය වීමද සිදුවිය. එම රජු විසින් සිදු කල කාර්යයන් සම්බන්ධව මහාවංශ විස්තරයේ එන ස්ථාන සියල්ලම පාහේ දැනට ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල, මහනුවර වැනි දිස්ත්‍රික්ක වල පිහිටි ලෙස හඳුනාගත හැක. වර්තමාන අනුරාධපුර, පොළොන්නරු දිස්ත්‍රික්ක හෝ කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරට වන්නට පිහිටි ප්‍රදේශ පිළිබඳව මෙම රජතුමාගේ ක්‍රියාකාරකම් නොමැතිවීම සම්බන්ධව සිය අවධානය යොමු කරන P.A.T. ගුණසිංහ මහතා එමගින් ඔහුගේ බල ප්‍රදේශය දෙවන භුවනෙකබාහු යුගයට වඩා ක්‍රමයෙන් අඩුවීමක් පිළිබිඹු කරන බවට අනුමාණ කරයි.

සිව්වන පරාක්‍රමබාහු රජු බෝදා නම් වූ මහාදිපාදවරයෙක් විසින් ඝාතනය කල බවට 18 වන සියවසට අයත් තඹ සන්නසක් වූ  මැදවල සන්නසෙහි සඳහන් වේ. වංශ කතාව ඔහුගේ ඇවෑමෙන් වන්නි භුවනෙකබාහු සහ ඔහුගෙන් පසු මහත් බලවත් විජයබාහු රජු එනම් සවුළු විජයබාහු හෙවත් පස්වන විජයබාහු (ක්‍රි,ව, 1335-1341) කුරුණෑගල රජ වූ බව විනා වැඩි යමක් පවසන්නේ නැත. විජයබාහු රජුගෙන් පසු සිව්වන බුවනෙකබාහු (ක්‍රි,ව, 1341-1351) රාජධානිය ගම්පොලට රැගෙන ගිය බව මහාවංශය පවසයි.

සිව්වන පරාක්‍රමබාහු සමගින් දඹදෙණි රජ පරපුර අවසන් වන අතර ඔහුට පසුව රාජ්‍යත්වයට පත්වූ වන්නි බුවනෙකබාහු පිළිබඳව පැහැදිලි තොරතුරු කිසිදු මූලාශ්‍රයකින් හමු නොවේ. නමුත් ඔහු අනුරාධපුර ප්‍රදේශයේ සිටි වන්නි රජෙකු විය හැකි බවත්, සිව්වන පරාක්‍රමබාහුව ඝාතනය  කරන බෝදා මහදිපාදවරයාද ඔහුම විය හැකි බවත් P.A.T. ගුණසිංහ මහතා තවත් තොරතුරු පාදක කරගනිමින් තර්ක කරයි.

වන්නි බුවනෙකබාහුගේ මුස්ලිම් බිසව සහ වස්තුහිමි කුමාරයා
වංශ කතාව නිහඩ අවස්ථා වලදී එම අඩුව ජනප්‍රවාදයෙන් පිරවෙන අවස්ථා අපට බොහෝවිට හමුවේ. බොහෝ වෙනස් ආකාරයේ ජනප්‍රවාද කිහිපයක්ම වන්නි බුවනෙකබාහු රජු වටා ගෙතී ඇත. එම සියල්ලෙහි ඇතුලත් වන මූලික කරුණු කිහිපයක් මෙසේ පෙලගැස්විය හැක. මෑතකදී කුරුණෑගල බුවනෙකගේ බාර් එක සම්බන්ධ සිදුවීමේදී අගමැතිතුමන් විසින් සිදු කල ප්‍රකාශයක්ද මෙරට 'බුවනෙක බාර්' බුකී අපත කැල දේශපාලන මඩ ව්‍යාපාරයට යොදා ගන්නා ආකාරය අපට දැකිය හැකි විය. අගමැතිතුමා ප්‍රකාශ කලේ බුවෙනෙකබාහු රජුට බිසෝවරුන් 5 ක්ද කොහෙද සිටිය බවත් ඉන් එක් බිසවක මුස්ලිම් වූ බවත් පමණි. අපතයන් එය ඔවුන්ට ඕනෑ අයුරින් අර්ථකතනය කල අතර එම බුවනෙක බාර් පුතානෝලාට අනුව එය බුවනෙකබාහු රජුට අපහාස කිරීමක් මෙන්ම මුස්ලිම් බිසව ගැන කීම ජාතිවාදි ප්‍රකාශයක්ද විය. තවදුරටත් මේ බුවනෙකබාර් ලාට අනුව එය අර කෙහෙල්මල් රාජ සභාව යැයි කියන ගණිකා මඩම කැඩීම සාදාරණීකරනය කිරීමක්ද විය (පුරාවිද්‍යා කොමසාරිස්තුමා මෙය පැරණි බුවනෙකබාහු රාජ සභාව බවට පැවසෙන කතාව ජනප්‍රවාදයක් පමණක් බව පවසන මුත් මොඩර්ගේ විස්තරයේ මෙම කඩාදැමූ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් විස්තර ඇති බව පවසන්නේ කිසිසේත්ම එය කියවා බලා විය නොහැක. මක් නිසාද යත් එම මොඩර්ගේ විස්තරයේ එන ගොඩනැගිලි දෙකම මෙම ස්ථානයේ නොව එයට ඈතින් පිහිටි වර්තමාන ආණ්ඩුකාර කාර්යාලය සහ බ්‍රිතාන්‍ය යුගයේ කච්චෙරිය බව පැහැදිලිව සඳහන් කර ඇති බැවිනි. වැඩි විස්තර සඳහා පෙර ලිපිය කියවන්න.Link >> .මේ සම්බන්ධ මොඩර්ගේ ලිපි දෙකෙහිම මූලාශ්‍ර පහත දී ඇත.)  එහෙත් මුන් නොදන්නා කාරණය නම් වන්නි බුවනෙකබාහු රජුට ජනප්‍රවාදයට අනුව බිසෝවරු 5 ක් නොව හැට හතරක්ම සිටි බවත්, එයින් එක් බිසවක් මුස්ලිම් වූ බවත්ය (ජනප්‍රවාදයට අනුව ඇය අස්වැද්දුම ලෙසින් හැඳිවෙන වර්තමානයේද මුස්ලිම් ජනයා වෙසෙන ගම්මානයේ සිටි අයෙකි). මේ ඊණියා ජාතිවාදීන්ට එය ප්‍රශ්නයක් වුවද සියවස් ගණනාවක් මෙරට සිංහල ජනයා සමග සබදතා පැවත්වූ මුස්ලිම් ජන වර්ගයට අයත් බිසවක් ඇත්තටම වන්නි බුවනෙකබාහු රජුට සිටියේ නම් එය අපට නම් ගැටලුවක්ද නොවේ. රජුට බිසෝවරු 64 නොව 500 සිටියද එයද එකල පැවැති සම්ප්‍රධාය දන්නා අපට විමතියට කරුණක්ද නොවේ. කෙසේ නමුත් ජනප්‍රවාදය දිව යන්නේ මෙසේය. එම මුස්ලිම් බිසවට රජුට දාව වස්තුහිමි නම් පුත්‍රයෙකු සිටියහ. එසේම රජුගේ ප්‍රධාන බිසවට පරාක්‍රමබාහු නම් පුත්‍රයෙකුද සිටියහ. වන්නි බුවනෙකබාහු රජුගෙන් පසුව එම වස්තුහිමි කුමාරයා රාජ්‍යය පැහැරගන්නා මුත් ඇමැතිවරුන් ඔහුව උපායකින් කන්දක් උඩට ගෙනගොස් පහලට තල්ලු කර මරා දමා ඒ වානවිට සැඟවී සිටි රාජ්‍යට නියම හිමිකරුවා වන පරාක්‍රමබාහු කුමරාට රජ කම ලබා දේ. ඉතාම සැකවින් එම ජනප්‍රවාදය එසේය. මේ වස්තුහිමි රජු මැරෑ ගල ඇතුගල ලෙස ඇතැම් ජනප්‍රවාද වල සඳහන් වන අතර ඇතැම් මූලාශ්‍ර වලට අනුව වෙනත් ස්ථානද සඳහන් වේ. කුරුණෑගල විස්තරයේ සඳහන් වනුයේ ඉන්පසු එම පරාක්‍රමබාහු කුමාරයා පණ්ඩිත පරාක්‍රමබාහු නමින් කුරුණෑගල අතහැර දඹදෙණිය සිය රාජධානිය බවට පත් කරගත් බවයි. කුරුණෑගල කච්චේරිය අසල වූ මුස්ලිම් පූජකයන් විසින් සේවා සපයන සොහොන් ගලක් සහිත දේවාලයක අදටත් එය වස්තුහිමි රජුගේ සොහොන ලෙසින් පූජා පවත්වන බව පැවසේ (දැනට ගලේ බණ්ඩාර දේවාලය ලෙසින් හැඳින්වෙන්නේ එම දේවාලය වන අතර මොඩර් පවසන්නේ ඇතුගලින් තල්ලු කල වස්තුහිමි කුමාරයාගේ සිරුර පතිත වී ඇත්තේ එම ස්ථානයට බව ජනප්‍රවාදයේ පැවසෙන බවය.)

මේ පරාක්‍රමබාහු කුමාරයා හඳුනාගැනීමට උත්සාහයක් දරණ P.A.T. ගුණසිංහ මහතා ඔහු දැදිගම රාජධානියේ සිටි බවට මූලාශ්‍ර කිහිපයකින්ම තොරතුරු හමුවන පරාක්‍රමබාහු රජු විය හැකි බවත්, මෙම ගැටුම් හමුවේ පස්වන විජයබාහු රජු කුරුණෑගල අගනගරය අල්ලා ගන්නට ඇති බවත්, එහෙයින් පරාක්‍රමබාහු රජු මුලින් දඹදෙණියටත් පසුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දඹදෙණි රාජධානියේ ද්විතීයක අග නගරයක් වූ දැදිගමටත් පසුබසින්නට ඇති බවටත් අනුමාණ කරයි. ඉහත පස්වන විජයබාහු රජු දඹදෙණි රජ පෙලපතට සම්බන්ධ කුමරෙකු විය හැකි බවට ගුණසිංහ මහතා තවදුරටත් පවසයි. ඔහු පවසන්නේ හෙතෙම එම රජ පෙලපතේ තුන්වන හෝ හතරවන පරාක්‍රමබාහු රජුගේ පුතෙකු විය හැකි බවය. වන්නි බුවනෙකබාහු රජු කුරුණෑගල රාජ්‍යය පැහැරගත් අවස්ථාවේ  5 විජයබාහු රජුද එම රාජ්‍යයට පෙර අයිතිව තිබූ කිසියම් කොටසක් (බොහෝවිට වර්තමාන කොළඹ දිස්ත්‍රික්කයද අයත් වන එහි  දකුණු ප්‍රදේශය) වන්නි බුවනෙකබාහු රජුට අයත්වීමට නොදී පාලනය කරන්නට ඇති බවත්, වන්නි බුවනෙකබාහු රජුගේ මරණින් පසු ඔහුට අයත්ව තිබූ කුරුණෑගල පාදක කරගත් උතුරු ප්‍රදේශයද නැවත ලබාගන්නට ඇති බවත්ය ඔහු සැක කරන්නේ. මෙම අනුමාණය නිවැරදි නම් වන්නි බුවනෙකබාහු රජු පෙර ඔහුට අයත්ව තිබූ වර්තමාන කුරුණෑගල පළාතේ යාපහුව ආදී උතුරු ප්‍රදේශය මෙන්ම උතුරු-මැද පළාතේ සැලකිය යුතු ප්‍රදේශයකද සිය ආධිපත්‍යය පතුරුවන්නට ඇත. තවද ඉහත දැක්වූ පරිදි සිව්වන පරාක්‍රමබාහු රජුගේ පාලන කාලයේ කුරුණෑගලට උතුරින් වූ ප්‍රදේශයේ ඔහුගේ කටයුතු සීමා වන්නට ඇත්තේ ක්‍රමයෙන් වැඩිවෙමින් පැවති මෙම වන්නි පාලකයාගේ ක්‍රියාකාරකම් නිසා වන්නට ඇත. පස්වන විජයබාහු රජු ක්‍රි.ව. 1329/30 කාලයේ මිය ගිය පසු තවදුරටත් දඹදෙණි රජ පරපුරේ කිසිවෙකු නොසිටි බැවින් දැදිගම පරාක්‍රමබාහු රජු වර්තමාන බස්නාහිර, දකුණු, මධ්‍යම සහ කෑගල්ල දිස්ත්‍රික්ක වලට අයත් සියළුම ප්‍රදේශ අයත්කරගත් බවටත් එතුමා වැඩිදුරටත් පවසයි.
පස්වන විජයබාහුගේ මරණින් මතු කාලයේ වෙනත් බුවනෙකබාහු නම් රජෙකු විසින් කුරුණෑගල අවට ප්‍රදේශයේ නිකුත්කල සන්නස් හමුවන බැවින් කිසියම් ප්‍රාදේශීය පාලකයෙකු කුරුණෑගල කේන්ද්‍රකරගනිමින් දැදිගම පරාක්‍රමබාහු රජුගේ බලයට නතු නොවූ ප්‍රදේශ වල සිය අණසක පැතිරවූ බවද පෙනී යයි. ක්‍රි.ව. 1344 මෙරටට පැමිණි ඉබ්න් බතූතාගේ ගමන් විස්තරයේ එන Kunarkar හි සිටි ඉස්ලාම් ආගම අදහන්නන් හට හිතවත් Al Kunar රජු මේ බුවනෙකබාහු ලෙසින් හඳුනාගැනීමට උත්සාහ කරන P.A.T. ගුණසිංහ මහතා ඔහු වන්නි බුවනෙකබාහු රජුට සිය මුස්ලිම් බිසවට දාව උපන් කුමරාගෙන් පැවත එන්නෙකු වීමේ හැකියාව තහවුරු කිරීමේ උත්සහයක් ගනී. ඉබ්න් බතූතා Kunarkar ලෙසින් හඳුනාගන්නා නගරය කුරුණෑගල වීමට හැකියාවක් ඇති මුත් Al Kunar රජු බුවනෙකබාහු ලෙසින් හඳුනාගැනීමට ඔහු සිදුකරන අනුමාණ පිළිගැනීම තරමක් අසීරුය.

* මෙහි පළවන සියළු සිතුවම් F.H. මොඩර් ගේ The Animal-shaped rocks of Kurunegala ලිපියෙන් උපුටා ගත් කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි විවිධ ස්ථාන වල දර්ශන වේ,

මූලාශ්‍ර
  • Gunasinghe, P.A.T., 1987, The Political History of Yapahuva - Kurunagala and Gampala
  • කුරුණෑගල විස්තරය, ශාස්ත්‍රීය සංස්කරණය සහ විමර්ශනය, රංගන කුරුවිට, 2015
  • Modder F., Kurunegala Vistaraya; with notes on Kurunegala, Ancient and modern, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Volume 13 Part 44 , 1893
  • Modder F.H., The Animal-shaped rocks of Kurunegala, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Volume 11 Part 40 , 1890
  • අස්ගිරි තල්පත, සංස්කාරක: මැන්දිස් රෝහණදීර, 1997
  • රාජරත්නාකරය, කරුණාදාස රූපසිංහ සංස්කරණය,1995
  • Rajaratnakaraya (The Gem Mine of Kings), Classical Sinhala Text Translated into English by Kusuma Karunaratne, 2009
  • නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය , 1997
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • University of Ceylon, History of Ceylon Volume I Part II, 1960
  • දළදා සිරිත, වී. ඩී . එස්. ගුණවර්ධන සංස්කරණය
  • විල්ගම්මුළ මාහිමියන්ගේ සිංහල බෝධිවංසය, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ දර්ශනපති ඊ. ඒ. වික්‍රමසිංහ සංස්කරණය, 1996
  • Ibn Batuta in The Maldives and Ceylon, Albert Gray, 1883

7 comments:

  1. සමකාලීන ඉන්දියානු ඉතිහාසයෙන් මේ යුගයේ අපේ රාජාවලිය පිලිබද ගැටලු විසදා ගැන්මට උපකාරයක් ලබා ගත නොහැකිද?

    ReplyDelete
    Replies
    1. පුළුවන් දකුණු ඉන්දීය සෙල්ලිපි ආදියෙන් යම් යම් තොරතුරු ගන්න පුළුවන්. මම ඒවා ගැන දීර්ඝ විස්තර ලිව්වේ නැහැ. ඒත් මේකේ තියෙන සමහර අනුමාණ වලට P.A.T. ගුණසිංහ සහ සෙනරත් පරණවිතාන වැනි ඉතිහාසාඥයන් එලඹිලා තියෙන්නේ ඒවා පදනම් කරගෙන.

      Delete
  2. මේ තියෙන්නේ සේරම විස්තර මහා පදරංග ජාතකේ වගේ....
    භූෂණ මහත්තයෝ. අරගෙන තියෙන වෙහෙසට ගොඩක් ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. පදරංග ජාතකේ වගේ නම් තමයි විස්තර ගොඩක් කෙටි ලිපියකට ගන්න ගිහිල්ල.:) ඒත් ටිකක් වෙලාව අරන් හෙමින් සැරේ කියෙව්වොත් පැහැදිලි ඇති කියලා හිතනවා.

      Delete
  3. //කුරුණෑගල කච්චේරිය අසල වූ මුස්ලිම් පූජකයන් විසින් සේවා සපයන සොහොන් ගලක් සහිත දේවාලයක අදටත් එය වස්තුහිමි රජුගේ සොහොන ලෙසින් පූජා පවත්වන බව පැවසේ (දැනට ගලේ බණ්ඩාර දේවාලය ලෙසින් හැඳින්වෙන්නේ එම දේවාලය වන අතර මොඩර් පවසන්නේ ඇතුගලින් තල්ලු කල වස්තුහිමි කුමාරයාගේ සිරුර පතිත වී ඇත්තේ එම ස්ථානයට බව ජනප්‍රවාදයේ පැවසෙන බවය.)//

    කච්චේරිය දෙසට ඉම්පීරියල් සිනමාව ලඟින් යන පාර අසල ඇති වත්හිමි  දේවාලය වත්හිමි කුමරු සොහොන් කල ස්ථානය බවත්,  ඇත්කඳ විහාරයට මදක් දකුණින් ඇතුගල පහලින්ම පිහිටා ඇති අනික් දේවාලය කුමරු වැටීඇති තැනත් බව අසා ඇත. පිහිටීම අනුව එය වඩාත් ප්‍රායෝගිකය

    ReplyDelete
  4. කුරුණෑගල, දඹදෙණිය හා යාපහුව රාජධානිවලට සමාන්තරව රුහුණේ තිබුන රාජධානිය මොකක්ද?
    නැගෙනහිර ඒකාලයේ මොන රාජධානියකට අයිතිවද තිබුනේ?

    ReplyDelete
    Replies
    1. වැදගත් ප්‍රශ්නයක්!. එත් ඒකට දිය හැකි පිළිතුර නම් අසම්පූර්ණ එකක්. එකක් පරාක්‍රමබාහු රජුගේ රුහුණේ කල සටන් නිසා එහි සිටි ප්‍රභූ පංතිය බොහෝදුරට නැති උනා. මේ ලිපියේ මම ඒ ගැන ටිකක් ලියලා තියෙනවා (http://trisinhala.blogspot.com/2017/02/blog-post_12.html) ඒක හින්දා එහෙම ජන නායකයන් එම ප්‍රදෙශ වල සිටියද කියන එකත් ගැටලුවක්. ඒත් යම් යම් සාදක හමුවෙනවා. ලාහුගල සෙල්ලිපිය එවැන්නක්. අනික් අතට මෙම යුග වලට පසු එලැඹෙන කෝට්ටේ යුගයේ අවසානයත් සමග උඩරට ඇතිවන රාජධානියට තමා ඌව, වෙල්ලස්ස, කොට්ටියාර් (ඒ කියන්නේ වර්තමාන නැගෙනහිර පළාත ) වැනි ප්‍රදේශ අයත් වන්නේ. කෝට්ටේට වඩා කඳුකරයට එම ප්‍රදේශ ආසන්න වීම ඊට හේතු වන්නට ඇති. ඒ කියන්නේ මේ කතා කරන යුගයේ උනත් ඒ ප්‍රදේශ වල ප්‍රදේශීය පාලකයන් ඉද තිබෙනවා . අනෙක් අතට මහාවංශයම කියනවා මාඝ සිටි කාලයේ ගෝවින්ද හෙල ප්‍රදේශයේ සහ මිණිපේ සිටි සෙන්පතියන් දෙපලක් ගැන. ඔවුන් මාඝගෙන් බේරි පැනගත් රදලවරු විය හැකියි. අවම වශයෙන් මිණිපේ ප්‍රදෙශයේ සිටි භාම නැමැත්තා මහා පරාක්‍රමබාහු රජුගේ සෙන්පතියෙක් ලෙස හඳුනාගන්නවා. කොහොම උනත් මේ සම්බන්දව වැඩිදුරටත් විමසා බලා වෙනම ලිපියක් ලියන්න පුළුවන් කියලා හිතෙනවා.

      Delete