Friday, November 13, 2015

1956 විප්ලවය - සර් ජෝන්ගේ සහ සොලමන් ඩයස්ගේ සිංහල භාෂා හටන


දෙමළ ජාතිවාදීන් මෙන්ම විදේශීය ඩොලර් මත යැපෙන සිවිල් සමාජය නමින් තමුන්ව හඳුන්වාගන්නා ඊනියා බුද්ධිමතුන්ද සමාජගත කර තිබෙන මිත්‍යාවක් වන්නේ බණ්ඩාරනායක මහතා 1956 දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නිසා දෙමළ ජනතාවට විශාල අසාධාරණයක් වූ බවය. ඉන් නොනැවතී ඔවුන් පවසන්නේ දෙමළ තරුණයන් අවි අතර ගැනීමටද ඔවුන්ට සිදුවූ මේ අසාධාරණය හේතු වූ බවය. මෙය කොතරම් දුරට සත්‍යද? දෙමළ ජාතිවාදයේ ආරම්භය වෙනමම සලකා බැලිය යුතු මාතෘකාවක් උවත් කෙටියෙන් පැවසිය යුත්තේ අවම වශයෙන් වෙනම දෙමළ රාජ්‍යයක් උදෙසා චෙල්වනායගම් මහතා ඉලංකෙයි තමිල් අරසු කච්චි  හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂය පටන් ගන්නේ 1956 ට හත් වසරකට පෙර 1949 දී බවය.

S.W.R.D බණ්ඩාරනායක 
අනිත් කාරණය සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට පෙර රාජ්‍ය භාෂාව වූවේ දෙමළ නොව ඉංග්‍රිසී වීමය. එදා මෙන්ම අදත් පොදුවේ දෙමළ, සිංහල සාමාන්‍ය ජනතාව අතර ඉංග්‍රිසි උගත් පිරිස අතලොස්සක් විය. සිංහල සහ දෙමළ ජනතාව එක්ව වාසය කල ප්‍රදේශ වල ඔවු නොවුන් යම් තාක් දුරකට හෝ දැන සිටියේ අනෙකාගේ භාෂාව විනා එතෙක් කල් රාජ්‍ය භාෂාව වූ ඉංග්‍රිසිය නොවීය. බහුතරයක් දෙමළ ජනතාවගේ සිංහල භාෂා දැනුම සිංහල ජනතාවගේ දෙමළ භාෂා දැනුමට වඩා බෙහෙවින්ම ඉදිරියෙන් විය. දශක තුනක ත්‍රස්තවාදයෙන් උතුරු සහ යම්තාක් දුරකට නැගෙනහිර පළාත් වල මෙම ජනවර්ග දෙක එකිනෙකාගෙන් ඈත් වීමත් සමහ මෙය යම් තරමකට වෙනස් වන තෙක්ම තත්වය එසේ විය.

එසේ නම් 1956 සිදුවූවේ කුමක්ද? 1948 දී ලද නාමික නිදහසත් සමග සුදු අධිරාජ්‍යවාදීන්ගේ අතින් කිසියම් දුරකට රාජ්‍ය පාලනය හම පමණක් කලු කීකරු ගෝලබාලයන් පිරිසක් අතකට මාරු විය. 1815 සිටම අධිරාජ්‍යවාදීන් අතින් බැට කෑ පොදු ජනතාවට ඔවුන් පැතූ 'වෙනස' එනම් තම ජාතියට, ආගමට, සංස්කෘතියට පිලිගැනීමක් නැතහොත් සිංහල රජවරුන්ගෙන් ලද ආකාරයේ අනුග්‍රහයක් පේන තෙක් මානයකවත් නොවීය. මේ අතර 1956 ට යෙදුනු බුද්ධ ජයන්තිය සහ ඒ ආශ්‍රිත සංවිධාන කටයුතු වෙනුවෙන් රට පුරා පැන නැගුණ කමිටු හෝ සභා 70 ක් පමණ එකතු වීමෙන් ශ්‍රි ලංකා මහා සංඝ සභාව පිහිටවිණි. එම සංවිධාන වල ක්‍රියාකාරිත්වයත් සමග විශේෂයෙන්ම බුදු සසුන පැවති තත්වය විමර්ෂණය කිරීම සදහා පිහිටවූ බෞද්ධ කොමිසම ඉදිරිපත් කල වාර්තා වලින් බෞද්ධයන් අතර තමන් පත්ව සිටිනා තත්වය පිලිබද කනස්සල්ලක් ඇතිවි තිබුණි.

මෙම ප්‍රශ්න වලට විසදුම් පවත්නා එක්සත් ජාතික පක්ෂ (U.N.P.) රජයෙන් නොලැබෙන බවට ඔවුන් ඒ වන විටත් වටහා ගෙන තිබුනි. එනිසා ඵලදායි වෙනසක අපේක්ෂාව බහුතර සිංහල ජනතාව  පෙලිය. සුලං හමන අත වටහා ගත් එක්සත් ජාතික පක්ෂ නායකයන්ද හමන සුලං බලයෙන්ම නැවතත් බලය ලබා ගැනීමට  උපා යොදන්නට සිතූහ. නැගී එමින් පැවැති භාෂා ප්‍රශ්නය මතින් මැතිවරණයට මුහුන දෙන්නට සිතා "සිංහල පමනක් ලංකාවේ රාජ්‍ය භාෂාව  විය යුතුය එය ක්‍රියාත්මක කිරීමට වහා  කට යුතු කල යුතුය"  යන යෝජනාව පිළිගත්තේය. ඒ සමග එයට විරුද්ධව  එම පක්ෂයේ සිටි දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් හත් දෙනා ඉල්ලා අස්වූ බැවින් 1956 පෙබරවාරි මස පැවති එම පක්ෂයේ 8 වෙනි සම්මේලනයේදී යෝජනාව ඒකමතිකව සම්මත විය. ඒ සමගම නියමිත කාලයට වසරකටත් පෙර පාර්ලිමේන්තුව විසුරුවන මෙන් අගමැති අග්‍රාන්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂ නොවන රජයක් පිහිටුවීමට අදිටන් කරගත් එකිනෙකට වෙනස් මත දැරූ විපක්ෂ පක්ෂ එකමුතුවක් 1955 නොවැම්බර් සිටම බිහිවීමට උත්සහ දරමින් සිට මේ හා සමගම යතාර්ථයක් බවට පත්වූවේ මහජන  එක්සත් පෙරමුණ (M.E.P.) නමින් අපේක්ෂකයන් 41 සමගින් බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් (S.L.F.P.) , අපේක්ෂකයන් 5  සමගින් මාර්ක්ස්වාදී පිලිප් ගුණවර්ධන මහතාගේ විප්ලවවාදී ලංකා සමසමාජ පක්ෂයත්, දහනායක මහතාගේ භාෂා පෙරමුණෙන් අපේක්ෂකයන් 6 දෙනෙක් සහ ඒ. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතාගේ නායකත්වය යටතේ නිදහස් අපේක්ෂකයන් 8 දෙනෙක්ද වශයෙන් එක්සත් පෙරමුණක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වීමේනි.

සර් ජෝන් කොතලාවල
අද බොහෝ දෙනා නොදන්නා කරුණක් නම් සිංහල රාජ්‍ය භාෂාව කිරීමට එක්සත් ජාතික පක්ෂය පවා 56 මැතිවරණයේදී පොරොන්දු වූ බව සහ එය ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨයක් කරගත් බවය. මේ ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශණයේ ඒ සම්බන්ධ කොටසයි.  "අපගේ පක්ෂය....සිංහල පමනක් ලංකාවේ රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාව ඒකමතිකව පිලිගත්තේය. අපගේ ප්‍රතිපත්තියේ විශාලවූ මේ වෙනසට ඡන්දදායකයාගේ අනුමැතිය ලැබිය යුතුව තිබේ. ....අපගේ ප්‍රථම කටයුත්ත වනු ඇත්තේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමට නීති පැනවීමය."

වංක සහ අවස්ථාවාදී හදිස්සි ප්‍රතිපත්ති වෙනසක් පෙන්වූ එක්සත් ජාතික පක්ෂ ලිහිල් ප්‍රකාශය මෙන් නොව මහජන  එක්සත් පෙරමුණේ 'වැඩ සැලැස්මේ' වූ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ජනතාවට වඩා විශ්වාසවන්ත බවක් ඇතිකරලීය. එසේම එහි සදහන් වඩා වැදගත් යෝජනාවක් වූවේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමත් සමග දෙමළ ජනතාවට අසාධාරණයක් සිදු නොවීමට වග බලාගන්නා බවය. මේ එහි සදහන් ඒ හා සම්බන්ධ වූ කොටසය. "සංස්ථාපනයේ රාජාඥාවෙහි සිංහල පමනක් මෙරට රාජ්‍ය භාෂාව කිරීමට විධිවිධාන වහා සැලැස්විය යුතුය. එය කෙරූ වහාම මෙම ආඥාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය. මෙය දෙමළ වැනි සුළු ජාතීන්ගේ භාෂාවක මැඩපැවැත්වීමට හේතු නොවනු ඇත. යුක්තියට එකඟ පරිදි ඒවායේ භාවිතය නිසි ආකාරයෙන් පිලිගනු ඇත."

මැතිවරණයේ ප්‍රතිඵලය බොහෝ දෙනෙක් නොසිතූ අයුරින් එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් (ආසන 8 සහ ඡන්ද 7 39 000) එක් කරමින් මහජන එක්සත් පෙරමුණ ආසන 51 සහ ඡන්ද 10 46 000 ලබාගනිමින් නිදහසින් පසු පලමු වතාවට පාලන බලය අධිරාජ්‍ය ගැති විජාතික පංතියෙන්, ජාතික බලවේගයක් නියෝජනය කල (බණ්ඩාරනායක මහතා හෝ පිලිප් ගුණවර්ධන මහතා කෙතෙක් දුරට එම ජාතික ව්‍යාපාරයේ මතවාදය වටහාගෙන තිබුනාද යන්න වෙනම විමසා බැලිය යුතු ප්‍රශ්නයකි. ) බලවේගයක් අතට නිහඩ විප්ලවයකින් මාරු විය.

සිංහල ජාතියේ භාෂාවේ සහ බෞද්ධ ආගමේ හදිස්සියේ මතු වූ කපටි ආරක්ෂකයා වූ සර් ජෝන් කොතලාවලගේ එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කරමින් බිහිවූ S.W.R.D. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණු රජය පොරොන්දු වූ පරිදිම සිංහලය රාජ්‍ය භාෂාව කිරීමෙන් යුගයේ අවශ්‍යතාවය ඉටු කරනු ලැබීය. යම් ආකාරයකින් එක්සත් ජාතික පක්ෂය බලයට පැමිනියද අනෙකුත් කාරණා කෙසේ වෙතත් මෙම භාෂා පොරොන්දුව නම් ඉටු නොකර සිටීමට ඔවුන්ට නොහැකි වන්නට ඉඩ තිබිණි මක් නිසාද යත් එය ඒ අවස්ථාවේ අනිවාර්යෙන් කල යුතු දෙයක් බවට වූ සමාජ අපේක්ෂාව ශක්තිමත් සාධකයක් ව පැවැති හෙයිනි.

මූලාශ්‍ර

W. H. H. Wiggins, Ceylon, Dilemma of a New Nation, 1960.
 සිංහල පරිවර්තනය > 1956 යේ ලංකා මැතිවරනය. දේශපාලන නායකයන්ගේ වෙනස්වීම, W. හවර්ඩ් රිගින්ස්,  නූතන යුගය,      ශාස්ත්‍රීය ලිපි, පළවෙනි කාණ්ඩය, 1963

5 comments:

  1. වටිනා කරුනු ටිකක්.මේ ලිපි පෙල නොකඩවාම ලියමු.හැමෝටම වැදගත් වේව් මේ තොරතුරු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔව් මේ ආරම්භය පමනයි. ඉදිරියේදි තව බොහෝ දේවල් ලියවෙයි මේ හා ආදාලව.

      Delete
  2. පුළුවන්නං භූෂණ, ඔයිට සමගාමීව දෙමළ දේශපාලන පක්ෂ වල හැසිරීමත් විස්තර කරන්න, අංග සම්පූර්ණයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට. ඔව් අනිවාර්යෙන්ම කරනවා. ඉදිරියේදි පෝස්ට් කිහිපයක්ම ඊට අදාලව පලවේවි. මෙයට එක් කලේ නැත්තේ ලිපිය දිග වැඩි වෙන හින්දා

      Delete