Friday, October 30, 2015

සුද්දගේ 'භික්ෂු නදෝරිස්කරණය '

Sinhalese Buddhist Priests in Kandy Ceylon
සියම් නිකායේ උපසම්පදා කර්මය ගොවි කුලයෙන් පිට වෙනත් කුල වලට ලබාදීම මහනුවර රජවාසලේ නියෝගයකින් නැවතීමත් සමග, පහත රට කරාව, දුරාව, සලාගම වැනි කුල වලින් පැවිදි බිමට එක්වූ භික්ෂූන්ට උපසම්පදාව ලබාදීමට අඹගහපිටියේ ඥාණවිමලතිස්ස මහ තෙරණුවන් දහනමවන සියවසේ උදාවත් සමග බුරුම දේශයේන් උපසම්පදාව ලබා පැමිණ, අමරපුර නිකාය අරඹයි. වැලිතර ප්‍රදේශයේ සලාගම කුලයේ මුදලිවරයෙකු වූ හල්ජෝති ඩිනේස් දි සොයිසා විජය ශ්‍රී වර්ධන ජයතිලක සහබංදු ඒ හිමියන්ට අවශ්‍ය අනුග්‍රහය මේ අවස්ථාවේ නොමදව ලබාදෙන්නේ, ඥානවිමලතිස්ස හිමියන් වැඩවිසූ වැලිතර අඹගහපිටිය විහාරයේ ප්‍රධාන දායකයා ලෙසිනි.

මේ අතර දඩල්ල ප්‍රදේශයේ විසූ මහබද්දේ මහා මුදලිවරයා වූ (සලාගම කුලයේම) දොන් ඒඩ්‍රියන් ද ආබෲ විජේසුන්දර වික්‍රමරත්න රාජපක්ෂ මුදලිවරයා වෙත දඩල්ල වාලුකාරාමයේ වැඩ විසූ කපුගම ධම්මක්ඛන්ද හිමියන් යෝජනා කරන්නේ තමන්ටද බුරුමයට ගොස් එවැනිම වූ උපසම්පදාවක් ලබා පැමිණීමට අනුග්‍රහ දක්වන මෙන්ය. සහබංදු මුදලිවරයා අමරපුර නිකාය පිහිටුවීමත් සමග ලබා තිබූ ජනප්‍රියතාවය ඔහුගේ තරඟකරුවා වූ තමන්ටද ලබාගැනීමේ අනගි අවස්ථාව අත් නොහරින මහබද්දේ මුදලිවරයාද, කපුගම ධම්මක්ඛන්ද හිමියන්ට අවශ්‍ය අනුග්‍රහය නොපැකිලිව ලබා දෙන්නේ ගිහිකල නදෝරිස් නමින් යුත්  ඒ හිමියන් ඔහුගේ දෙමව්පියන්ගෙන් ලබාගෙන මුදලිවරයාගේ පියා විසින් කුඩා කල පටන්ම  හදා වඩා ගත් කෙනෙකුද වන නිසාය.  මේ අනුව වර්ෂ 1808 දී ගාලු වරායෙන් බුරුමයට පිටත් වන ධම්මක්ඛන්ද හිමියන් 1810 නොවැම්බර් මස දී පෙරලා පැමිණ 1811 ජනවාරි මාසයේ අමරපුර සද්ධම්මවංශ නිකාය පිහිටුවයි.

මුදලිවරයාටම අයත්ව තිබූ වලව්වක් පූජා කිරීමෙන් ඉදිකල වාළුකාරාමයේ වැඩවිසූ කපුගම ධම්මක්ඛන්ද හිමියන්ගේ විහාරය වූ කලි පෙරදිග දැනුම් පද්ධති සම්බන්ධයෙන් විමසිලිමත් වූ බොහෝ උගත් සිවිල් සේවයේ සහ මිෂනාරි කටයුතු වල යෙදී සිටි ඉංග්‍රීසි ජාතිකයන් නිබදව සැරිසැරූ ස්ථානයක් බවට නිතැතින්ම පත් වූයේ ඒ හිමියන්ගේ පෘථුල දැනුම උකහාගැනීමට මෙන්ම බුරුම රජතුමන් විසින් පූජා කල මහත් ධර්ම ග්‍රන්ථ රැසකින් යුත් පොත් ගුලද පරිහරනය සදහාය.

එහි නිතර ආ ගිය ඉංග්‍රීසි ජාතියන් අතර ආන්ඩුකාර බ්‍රවුන්රිග් (Sir Robert Brownrigg) මෙන්ම අගවිනිසුරු ඇලෙක්සැන්ඩර් ජෝන්ස්ටන්(Alexander Johnston) ද විය. සිවිල් සේවයේ නිරත ඉංග්‍රීසි නිලධාරීන්ට සිංහල ඉගැන්වීමද කපුගම හිමියන් විසින් සිදු කල අතර, බුරුම රජු විසින් ඒ හිමියන්ට පිරිනැමූ 'සිරිසද්ධම්මවංශපාල' නම් ගරු නාමය සහ අමරපුර සද්ධම්මවංශ නිකායේ මහ නායක දූරය 1814 ජනවාරි 4 වැනි දින බ්‍රවුන්රිග් විසින් අනුමත කරන මුත් අඹගහපිටියේ ඥාණවිමලතිස්ස හිමියන්ගේ මහා නායක දූරය පිලිගනු ලබන්නේ ඊටත් වසර 12 කට පසු 1826 මැයි 21 වීමෙන් කපුගම හිමියන් කෙරෙහි ඉංග්‍රිසී ආන්ඩුවේ පිළිගැනීම කොතරම්ද යන්න පැහැදිලි වේ.

කපුගම හිමියන්ව බුරුමයේ සිටියදීම හඳුනාගෙන සිටි වෙස්ලියන් නිකායේ ජේම්ස් කාර්ටර් දේවගැතිතුමාද (Rev. James Carter) නිතර එහි පැමිණි අතර ඔහු හරහා ආන්ඩුකාරවරයාගේ මස්සිනා වූ තවත් වෙස්ලියන් මිෂනාරි දේවගැතිවරයෙකු වූ ජෝර්ජ් බිසට් (Rev. George Bisset) වද හඳුනාගැනීමට ඔහුට හැකිවන අතර කපුගම හිමියන් ඔහු හා නිතර ආගමික වාද විවාද වල යෙදුන බවද කියවේ.

වෙස්ලියන් මිෂනාරිවරුන්ගේ දීර්ඝකාලීන වැඩපිලිවෙල මල්පලගන්වමින් 1816 ජුනි 16 වෙනි දින කපුගම ධම්මක්ඛන්ද හිමියන් සිවුරු හරිමින් ජෝර්ජ් නදෝරිස් ද සිල්වා සමරනායක ලෙසින් කොළඹ කොටුවේ වෙස්ලියන් පල්ලියේ බෞතිස්ම ලබන්නේ බ්‍රවුන්රිග් ආන්ඩුකාරවරයා, අගවිනිසුරුවරයා සහ තවත් බොහෝ රජයේ නිලධාරීන් සහ වෙස්ලියන් නිකායේ මිෂනාරිවරුන් රැසකගේ සහභාගීත්වයෙනි.

සිවුරු හැරීමට කලකට පෙර ඔහු පවසා තිබුනේ මේ වන විට තමන්ට සිවුරු හැරීම සදහා ඇති එකම බය ඉන් පසු මිනිසුන් විසින් තමන්ව 'හීරළුවා' ලෙසින් අමතනු ලැබීම පමනක් යැයි පවසා තිබූ කපුගම ධම්ම්ක්ඛන්ද අමරපුර සද්ධම්මවංශ නිකායේ සමාරම්භක මහානායක හිමියන් ඒ අයුරුන් සිය දිවියේ එක් පරිච්චේදයක් නිමා කරමින් 'හීරළුවෙක්' විය. කතාව එතැනින් නිම නොවේ. නදෝරිස්ගේ හොදම 'වැඩ' පටන් ගනුයේ එතැන් පටන්ය.

'නදෝරිස්කරණය' වී එහෙත් තාමත් සිවුරු දරා සිටින 'සාධාරණ සමාජ' සහ 'පිවිතුරු හෙටවල්' වලට මුවා වූ වර්තමාන 'නදෝරිස්ලා' අද කරන පාවාදීම එදා ඒ නදෝරිස් කල අයුරු වෙනත් දිනක සාකච්චා කරමු.

මූලාශ්‍ර

Paranavitana K.D., 1983/84, Scholar monks of the nineteenth century and the tragic transformation of the high priest ven. Kapugama Dhammakkhanda thero, Journal of the Royal Asiatic Society Sri Lanka Branch, New Series, Volume XXVIII

රූපය - Souvenirs De Liinde, Paris, Victor Lecou, Libraire - Editeur 10, Rue Du Buuloi

Wednesday, October 28, 2015

සිංහලේ දෙමළ සෙල්ලිපි 2 - දෙමළ ටැම් ලිපි මත ඉදිවූ බුදුමුත්තෑව විහාරය

 කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ආසන්නයේ බුදුමුත්තෑව නම් ගමෙහි පිහිටි මහනුවර යුගයේ ඉදිකල ටැම්පිට විහාරයක, වෙනත් පැරණි නටබුන් ගොඩනැගිල්ලකින් රැගෙන ආ බවට විශ්වාස කල හැකි දෙමළ සෙල්ලිපි දෙකක් සහිත ගල් ටැම් දෙකක් හමුවේ.  දෙමළ සහ ග්‍රන්ථ අක්ෂර වලින් ලියා ඇති මෙම සෙල්ලිපි දෙකට අමතරව තවත් දෙමළ පුවරු ලිපියක් මෙම ස්ථානයේ ඇති මුත් එය කියවීමට නොහැකි තරමටම ගෙවී ගොස් ඇත.  එඩ්වඩ් මුලර් (Dr. Edward Muller) මහතා සිය Ancient Inscriptions in Ceylon ග්‍රන්ථයේ 1883 දී මුල්වරට මේ ලිපි තුන පිළිබදව සදහන් කරන මුත් එම ලිපි වල අන්තර්ගතය ඔහුට තේරුම් ගැනීමට හැකි වී නැත. පලමුවරට ඒවා සම්පූර්ණයෙන් කියවා පලකරන්නේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා විසින් 1933 පලකල Epigraphia Zeylanica තුන්වන වෙලුමෙහිය.

බුදුමුත්තෑව ටැම්පිට විහාරය
 මින් එක් ලිපියක් පිහිටුවා ඇත්තේ අභය සිලාමේඝ ජයබාහු (ලිපියේ දැක්වෙන ලෙසට අභය සලාමේඝ ශ්‍රී ජයබාහු දේවාර්) රජුගේ 8 වෙනි රාජ්‍ය වර්ෂයේදී බව එහි සදහන් වේ. මේ නමින් පොළොන්නරුව අගනුවර කරගනිමින් රාජ්‍යය විචාලේ චෝල යටත්විජිත පාලනයෙන් සිංහලේ මුදාගත් පළමුවෙනි විජයබාහු රජුගේ සහෝදරයකු සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ පළමුවෙනි ජයබාහු ලෙස පරණවිතාන මහතා හඳුනාගනී. ඒ අනුව යමින් සෙල්ලිපිය පිහිටවූ වර්ෂය ක්‍රි.ව. 1122 ලෙස සැලකිය හැකි බව ඔහු නිගමනය කරයි.

ලිපියේ අන්තර්ගතයේ දැක්වෙන ලෙසට වීරබාහුදේවාර් ගේ නිලධාරින් විසින් කම්මල් කරුවන් හට (Blacksmiths) රජකයන් (Washermen) විසින් පෙර සිරිත් ලෙස කල යුතු රාජකාරී ඒ අයුරින් ඉටුකල යුතු බවට පැණවූ නියෝගය ගැන සදහන් කරමින් මෙම ලිපිය පිහිටුවා ඇත්තේ මක්කලිංගම් කනවඩි නම් පුද්ගලයෙකි. කුම්මාරචේන නම්බනන් හෙවත් විජයබරනන් ඇතුළු තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගේම නම්  සාක්කිකරුවන් වශයෙන් මෙහි සදහන් වන මුත් සිංහල පුද්ගල නම් සහ ස්ථාන නාම දෙමළ ඌරුවකින් සදහන් කරන්නට යෑම හේතුවෙන් ඒවා පැහැදිලිව වර්තමානයේ සිංහල හෝ දෙමළ උගතුන්ට හඳුනාගත නොහැකි වී ඇති බව පරණවිතාන මහතා සදහන් කරයි. රජකයන් විසින් කම්මල්කාර කුලයේ පුද්ගලයන්ට සැපයිය යුතු පාවඩ රෙදි, කොටසලු සහ මෘතදේහ වල මුහුණු වැසීමට ගන්නා සලු ලබාදීමෙන් වැලකී සිටි අවස්ථාවේ පෙර සිරිත එසේ නොවන බවත් එම දේවල් ඔවුන්ට ලබාදීම රජකයන්ගේ රාජකාරීයක් බවත් සදහන් කරමින් මෙම නියෝගය පනවා ඇත.

කියවිය නොහැකි ලෙස විනාශ වූ පුවරු ලිපිය
 වර්තමානයේ බිත්තියකට අල්ලා ඇති අයුරු
මෙහි සදහන් වන් වීරබාහු (වීරබාහුදේවාර්) යනු මෙම ප්‍රදේශය අයත්වන දක්ෂිණ දේශය මේ කාලයේ පාලනය කල මහා පරාක්‍රමබාහු රජතුමාගේ පියානන් වන මානාභරණ හැදින්වූ තවත් නමක් බව මහාවංශයේ පැහැදිලිව සදහන් කර ඇත. තවද මෙම ලිපියේ සදහන් වන කරුණු තහවුරු කරමින් මහාවංශයේ එන සදහනකින්ද ගම්‍ය වනුයේ මානාභරණ (වීරබාහු ) ඇතුළු මෙම අරාජීක යුගයේ රටේ විවිධ ප්‍රදේශ පාලනය කල රජවරුන් සිව්දෙනාම පැරණි කුල සිරිත් වලට  ගරු නොකල බවය.  (....අපරික්ෂාකාරී බැවින් උසස් කුලවතුන් පිරිහෙලුහ. හීන වූ ස්වාභිමත ජනයන් මහත් තන්හී තැබූහ.- මහාවංශය 61 වැනි පරිච්චේදය)
සෙල්ලිපි සහිත කුළුණු ටැම්පිට විහාරයට
 යොදාගෙන ඇති අයුරු

වසර 40 ක පමණ දිගු චෝල යටත් විජිතවාදී පාලනයකින් මිදී දශක කිහිපයකට පසුත් චෝල සම්භවයක් සහිත ද්‍රවිඩ පුද්ගලයන් මෙරට වයඹ දිග ප්‍රදේශයේ රැදී සිටිය බවත්, ඇතැම් විට ඔවුන් ප්‍රාදේශියව යම් පරිපාලන බලතල සහිත ප්‍රභූන් ලෙස සමාජයේ ඉහල තලයේ වැජඹුන බවත්, ඔවුන් පෙර සිට පැවැති කුල සිරිත් පවා ද්‍රවිඩ නොවන මානාභරණ වැනි පාලකයන් හරහා වෙනස් කිරීමට තරම් බලයක් ඇතිව සිටි බවත් (මහාවංශයේ එන සදහන විශ්වාස කරන්නේ නම්) මෙම ලිපියෙන් පැහැදිලි වේ. කෙසේ නමුත් පසුකාලීනව මෙම නියෝගය සදහන් සෙල්ලිපිය මත එම ප්‍රදේශයේ ජනතාව විසින්ම ටැම්පිට විහාරයක් තැනවීමෙන් සංකේතාත්මකව පිලිබිඹු වන්නේ එම ද්‍රවිඩයන් කාලයත් සමග සිංහල ජනවර්ගය තුලට අවශෝෂණය වී සිංහල බෞද්ධ සංස්කෘතිය වැලද ගත් බව නොවේද?

බුදුමුත්තෑව ටැම්පිට විහාරයේ ඇති දකුණු ඉන්දීය චෝල රජෙකු වන කුලෝත්තුංගගේ දියණිය විසින් පිහිටවූ දෙමළ සෙල්ලිපිය පිලිබඳ විස්තර සමග නැවත හමුවෙමු.

මූලාශ්‍ර

  • Ancient Inscriptions in Ceylon collected and published for the government by Dr. Edward Muller, 1883
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume III, 1933
  • මහාවංශය (සිංහල සංස්කරණය )
සම්බන්ධිත පෙර ලිපි


Sunday, October 25, 2015

රාවණ කතා 1 - රාමායනයේ එන ලංකාපුරය

වාල්මිකී නම් මුනිවරයා විසින් රචිත ඉන්දියානු සංස්කෘත මිත්‍යා කාව්‍යයක් වන රාමායනය කිනම් කලක ලියවිනිදැයි යන්න විවාද සම්පන්නය. එය බුද්ධ කාලයට පෙර ලියවුන බව ඇතමුන් පවසන මුත් අවම වශයෙන් අවස්ථා දෙකකදීවත් එහි බෞද්ධයන් ගැන සදහන් වීමෙන් එය බුද්ධ කාලයට පසුව ලියවුන බව සිතිය හැක. කෙසේ නමුත් මුල් මතය දරන වියතුන් එය පැහැදිලි කරන්නේ එවන් කොටස් මුල් රාමායනයට පසුව එකතු වූ කොටස් විය හැකි බවය. විශේෂයෙන්ම රාමායනයේ අවසාන කාණ්ඩය වන උත්තරකණ්ඩය (Uttarakanda) සම්පූර්නයෙන්ම මෙසේ පසුව එකතු වූ කොටසක් බවට සාධක තිබේ. නමුත් එහි පලමු කාණ්ඩයේම එනම් අයෝධ්‍යයකණ්ඩයෙහිද (Ayodhyakanda) බෞද්ධයන් ගැන සදහනක් ඇති බැවින් ඒ මතය එතරම් සරලව බැහැර කල නොහැක. දෙවෙනි අවස්ථාව දැක්වෙන්නේ කිශ්කින්ද්යකන්ඩ (Kishkindhyakanda) යෙහිය. මෙම අවස්ථා දෙකේම අපහාසාත්මක අර්ථයෙන් බෞද්ධයන් ගැන සදහන් වේ.

රාමායනයේ එන රාවණගේ ලංකාපුරය යනු වර්තමාන ශ්‍රී ලංකාව බවත් රාවණ යනු රටවල් බොහෝ ගනනක සිය අනසක පැතිරවූ හෙළ රජෙකු බවත් පවසමින් ඔහු වටා විවිධ ඇදහිය නොහැකි එසේම කිසිදු පදනමක් නොමැති හිතළු ගොතමින් දිනෙන් දින වර්ධනය වන රාවණ ඇදහිල්ලක් (Ravana Cult) මෑතක සිට ඉස්මතු වී ඇති බවක් පෙනේ. ඇතැම් 'ආචාර්ය, මහාචාර්ය පදවි ඇතැයි' පවසන උදවිය පවා මෙම මත සමාජගත කිරීමට ප්‍රබල කාර්යභාරයක් ඉටු කරන බව පෙනේ. සිය පුවත්පත් විකුනාගැනීම සදහා ජනප්‍රිය ඉතිහාසයක් නිර්මාණයේ යෙදී සිටින පත්‍රකලාවේදීන් අතරද උනු කැවුම් මෙන් විකිණිය හැකි බැවින් මෙවන් හුදු ප්‍රබන්ධ වලට ඉහල ඉල්ලුමක් ඇත. මේ ඔවුන් විසින් සමාජගත කර ඇති එවන් ප්‍රබන්ධ කතා පිළිගත හැකි ඓතිහාසික සාධක ඇසුරින් විමසා බැලෙන ලිපි පෙලක ඇරඹුමයි.

ලංකාවේ රාවණ හා සීතා සම්බන්ධ විවිධ ග්‍රාම නාම ඇති බැවින් එවන් ස්ථාන වලට එම නම් යෙදුනේ රාවණ රජු මෙරට රජ කල යුගයේ සිට බව රාවණ ඇදැහිල්ලේ පුරෝගාමින් වන ඇතමුන් පවසති. එතැකින් නොනැනවතී ඔවුන් ඇතැම්විට එම නම් හා බැඳි ජනප්‍රවාද රාමායනයේද ඇතැයි පවසති (ඇතැම් ජනප්‍රවාද එම අදාල ගම්බිම් වල සිටින පැරන්නන් අතරේ පවා පවතින ඒවා නොවන අතර මෙම රාවණ අදහන්නන්ගේ ඔලු ගෙඩි තුලම මෑතකදි පහලවූ නිර්මාණය )

'ලංකා' සහ 'ලංකාපුරය' යන නම් විනා මෙරටට අදාල කරගත හැකි කිසිදු ග්‍රාම නාමයක් රාමායනයේ නොයේ. 'ගෝකර්ණ' යනුවෙන් එක් අවස්ථාවක සදහන් වන මුත් එය ඉන්දියානු ගෝකර්ණ ප්‍රදේශය විනා මහාවංශයේ අවස්ථා කිහිපයකදීම 'ගෝකණ්න' නමින් හැදින්වූ වර්තමාන ත්‍රිකුණාමලය* නොවන  බවට එහි සන්දර්භය තුලම විද්‍යාමාන වේ. (The descent of the Ganges in Balakanda )

රාමායනයේ 'ලංකා' හෙවත් 'ලංකාපුරය' සම්බන්ධයෙන් සදහන් වෙන කොටස් කිහිපයක් එහි ඉංග්‍රීසි පරිවර්තනයකින් සිංහලට පරිවර්තනය කර පහතින් දක්වමු.
  • "දේව පුරයක් වූ අමරාවතිය බඳු වූ ලංකා නම් මාගේ අගනුවර සයුරින් එතෙර පිහිටයි. එය දරුණු රාක්ෂයන්ගෙන් ජනාවාස වී ඇති අතර ධවල ප්‍රාකාරයකින් වටවී ඇත. නුවර ද්වාරයන් දීප්තිමත් නිල් මැණික් වලින් නිර්මිතය. එහි කාමර රත්‍රන් වලින් සාදා ඇත........." (Throwing off the Mask in Chapter XIX of Aranyakanda)
  • ".....ලංකා නම් වූ කන්දට යෙදෙන තවත් නමක් වන්නේ ත්‍රිකූට යන්නය. එහි රාක්ෂයන්ගේ නගරය පිහිටයි..." (The City of Lanka in Chapter II of Sundarakanda)
  • "...ඔහුගේ නගරය කිසියම් ආධාරකයක් නොමැතිව තරනය කල නොහැකි කඳු මුදුන් වල පිහිටා ඇත. එය දෙවියන් තැනූ භයානක කොටුවක් වැනිය. නගරය මුහුදු වෙරලේ ඉදිකර ඇත. කිසිදු ඔරුවකට එම සුවිශාල මුහුදේ දිශාව පිලිබඳ අදහසක් නොමැති හෙයින් තරණය කල නොහැක....." (Hanuman's Narration in Chapter II of Yuddhakanda)
  • "උස් කඳු මුදුනේ අලංකාර ලංකා නම් නගරය පිහිටියේය. එය යොදුන් 20 ක් දිගින් හා යොදුන් 10 ක් පලලින් යුක්තය. එහි මහා ප්‍රාකාරයන් රත්තරනින් සහ රිදියෙන් නිමවා ඇති අතර එහි උස් ද්වාරයන් චමත්කාරජනකය..." (Sugirva's Daring in Chapter XXV of Yuddhakanda)
  • "දකුණු මුහුදු වෙරලේ ත්‍රිකූට කන්ද පිහිටා ඇති අතර ඒ මත විශ්වකර්ම නම් වූ දේව ගෘහ නිර්මාණ ශිල්පියා  රාක්ෂයන් සදහා නිර්මාණය කල ලංකා නම් වූ අලංකාර නගරය පිහිටා ඇත...." (Agastya's Revocations in Chapter 1 of Uttarakanda)
අතිශයෝක්තියට නැගූ නිර්මාණශීලි කාව්‍යයක පරස්පර විරෝධී නගර වර්ණනාවක ලක්ෂණ විනා මෙරටට ගැලපිය හැකි කිසියම් හෝ දෙයක් මෙම කොටස් තුල දිස්වේද?

රාවණ මිත්‍යාවට අදාලව සදහන් වන මෙරට වෙනත් ස්ථාන එම නම් ලත් ආකාරය අපි රාවණ කතා 2 තුලින් විමසා බලමු.

මූලාශ්‍ර

The Ramayana of Valmiki, Translated into English by Makhan Lal Sen, 1970

* Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 

Wednesday, October 21, 2015

කෝපි කාලේ කෝපි වැවූ උඩරට සිංහලයන්

බ්‍රිතාන්‍ය සුදු අධිරාජ්‍යවාදීන් මෙරටට අපනයන භෝග වගාවක් ලෙස කෝපි හඳුන්වා දුන් බව බොහෝවිට පැවසෙන මතයකි. එහෙත් එය කොතරම් දුරට සත්‍යද? 19 වන ශත වර්ෂයේ මුල් භාගයේ සිටම මෙරටින් කෝපි අපනයනය කල බවට සාධක ඇති මුත් මුල් වරට මහා පරිමාණ වගාවක් ලෙස කෝපි වගාව පටන් ගනු ලබන්නේ ජෝර්ජ් බර්ඩ් (George Bird) නම් විශ්‍රාමික බ්‍රිතාන්‍ය රජයේ සේවකයෙකු විසින් 1824 දීය. මහනුවරට නුදුරින් (ගම්පොල) අක්කර 400 ක ඉඩමක් සමගින් රික්ස් ඩොලර් 40000 ක ණයක් ඔහුට ඒ සදහා රජයෙන් ලබා දේ. එහෙත් සැලකිය යුතු ලෙස මහා පරිමාණ වතු වගාවක් ලෙස කෝපි වැවීම මෙරට ආරම්භ වනුයේ 1830 දී පමන ඇතිවූ බාහිර සාධක කිහිපයක ප්‍රතිඵලයක් ලෙසය. ඒ අතරින් එම කාලයේ බ්‍රිතාන්‍යයේ සහ බටහිර යුරෝපයේ වයින් පානය අඩු වීමත් සමග ඇතිවූ ඒ වෙනුවට කෝපි සදහා වැඩි ඉල්ලුමත්, බ්‍රිතාන්‍යට මෙරටින්  කෝපි ආනයනයෙදී අයකල අසාධාරණ රේගු බදු බටහිර ඉන්දීය දූපත් වලින් ආනයනය කරන කෝපි සදහා අය කරන බදු වල අගයටම පහත හෙලීමත් ප්‍රධාන තැනක් ගනී.
දිඹුල ප්‍රදේශයේ ඉංග්‍රීසි වතු හිමියන්ට අයිති කෝපි, තේ සහ සින්කෝනා මිශ්‍ර වගාවක්.  පසුබිමින් තවමත් විනාශ නොකල කඳුකර 
වනාන්තරය දිස්වේ. උපුටා ගැනීම - Ceylon in the Jubilee Year, John Ferguson,

වර්ෂ 1800 ත් 1804 අතර කාලයේ මෙරට දේශිය ගැමි වගාකරුවන්ගේ කෝපි අපනයනයේ සාමාන්‍ය (Average peasant coffee export)  හොන්ඩර 1116  වූ අතර 1822 ත් 1825 ත් අතර කාලයේදී අපනයනය කල කෝපි වල සාමාන්‍ය අගය හොන්ඩර 10 246 ක් විය. මෙම අධික වැඩිවීමට හේතුව බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් මහා පරිමාණයෙන් කෝපි වගාවට අවතීර්ණ විමය. 1830 න් පසු මෙය සැලකිය යුතු මට්ටමකින් වැඩි වූ අතර 1865 ත් 1869 අතර කාලයේදී එය හොන්ඩර 148000 සිට 218000 දක්වා වැඩි විය.

ජෝන් ෆර්ගියුසන්ට* අනුව පෘතුගීසින් පැමිනෙන්නටත් පෙර සිටම ආරාබීන් විසින් කෝපි ගස මෙරටට
හඳුන්වා දී තිබී ඇත. එමර්සන් ටෙනන්ට්* පවසන්නේ ඕලන්දයන් විසින් 1690 දී කෝපි ගස බතාවියාවලට හඳුන්වා දුන් බැවින් එම කාලයේදීම එය මෙරටදීද වගා කරන්නට ඇති බවය. නමුත් එහි ඇට වලින් පානයක් සාදාගත හැකි බව සිංහලයන් දැන සිට නොමැත. ඔවුන් එම ගසේ දලු වෑංජන සෑදීම සදහා යොදාගෙන ඇති අතර මල් ඔවුන්ගේ බුදු මැදුරු අලංකාරයට යොදාගෙන ඇත. ජෝන් ෆර්ගියුසන් ද බොහෝවිට ටෙනන්ට් මූලාශ්‍ර කරගෙන එයම පවසයි. වැඩි දුරටත් ෆර්ගියුසන් පවසන්නේ ඕලන්දයන් විසින් 1740 දී ක්‍රමාණුකූල ලෙස කෝපි වගා කරන්නට උත්සහ කල මුත් පහත රට ප්‍රදේශ වල එය එතරම් සාර්ථක වී නොමැති බවය. ඔවුන් වසරකට හොණ්ඩර 1000 කට වඩා අපනයනය කර නොමැත.  ටෙනන්ට් පවසන පරිදි ඕලන්දවරුන් 1739 වන විට කෝපි වගාව අසාර්ථක වීම නිසා අතහැරදමන මුත් මේ වන විට සිංහලයන් සහ අරාබින් (සංක්‍රමණික මුස්ලිම් වෙළෙන්දන්) කෝපි වල ඇති අගය හඳුනාගෙන ඇති අතර ඉංග්‍රීසීන් පැමිනෙන විටත් ඔවුන් පිලිවෙලින් කෝපි වගාව සහ වෙළදාම පවත්වාගෙන ගොස් ඇත.

උඩරට සිංහලයන් පසුකාලීන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මෙන් උස් කඳුකර බිම් වල තිබූ වන වගාව වනසා කෝපි වගාව සිදු නොකල අතර ඔවුන් කෝපි ගස් වගා කලේ ඔවුන්ගේ ගෙවතු වල අනෙකුත් බෝගද සමගිනි. කිසිදු සැලකිල්ලක් නොදක්වා වැවුනු එම ගස් වල ගෙඩි හටගත් විට ඇතැම් විට මෝරන්නටද පලමුව කඩා ගමට පැමිනෙන මුස්ලිම් වෙළෙන්දන්ට මුදල් වලට හෝ භාණ්ඩ හුවමාරුවට විකුනා ඇත. කෙසේ නමුත් 1830 පමණ වන තුරුම අපනයන කෝපි වලින් වැඩි ධාරිතාවක් සපයා ඇත්තේ මෙම උඩරට වැසියන් වන අතර කෝපි වගාව එහි උපරිමයටම පැමිණි 1850 සිට 1860 අතර කාලයේදීද උඩරට ගැමියන් මුලු අපනයන ධාරිතාවයෙන් 1/5 සිට 1/4 අතර ප්‍රමාණයක සැපයුම් කරුවන්ව සිට වාර්ෂිකව පවුම් 250000 ත් 300000 ත් අතර ආදායමක් ඉන් උපයා ඇත.

මෙයින් පෙනී යන්නේ බ්‍රිතාන්‍යයන් විසින් වානිජ භෝග වගාවක් ලෙස කෝපි මෙරටට හඳුන්වාදුන්නායැයි යන පොදු පිලිගැනීම මිත්‍යාවක් බවය. ඇත්ත වශයෙන්ම සිදුවූවේ උඩරට ගැමියන්ගේ කෝපි වගාවේ සාර්ථකත්වයන් සහ වැරදීම් තුලින් ඉගෙන ගත් ඉංග්‍රීසීන් උඩරට සිංහලයන්ගේම හේන් ඉඩම්, විහාර දේවාල ගම් සහ තහංචි කැලෑ බලෙන් පවරාගෙන විනාශකාරී ලෙස ලාභය පමනක්ම ඉලක්ක කරගනිමින් අනාගතයේදී ඇතිවන (තවමත් නොවිසදී පවතින) ගැටලු රාශියකටම මේ රට ඇද දැමිමය.

මූලාශ්‍ර

Colonialism in Sri Lanka, Asoka Bandarage, 1950
Agricultural, Commercial and Financial Interests of Ceylon , Anthony Bertolacci, 1817
* -  Ceylon in the Jubilee Year, John Ferguson, 1887
   -  Ceylon An Account of the island  Physical, Historical and Topographical with  notices of its natural, antiquities and productions, Sir James Emerson Tennent, 1859

Thursday, October 15, 2015

සිංහලේ දෙමළ සෙල්ලිපි 1 - මුන්නේස්වරමට ගම්වර පිදූ 6 වැනි පැරකුම්බා

6 වැනි පැරකුම්බා යනු අවසාන වරට සිංහලේ එක්සේසත් කල රජු ලෙස සැලකේ. කෝට්ටේ හෙවත් ශ්‍රි ජයවර්ධනපුර රාජධානිය කරගනිමින් රාජ්‍යය විචාල එතුමන් ද්‍රවිඩයකු වන සපුමල් කුමරු හෙවත් සෙම්බගප් පෙරුමාල් යවා ආර්ය චක්‍රවර්තිගෙන් යාපාපටුන මුදාගත් බව කෝකිල, සැළලිහිනි සංදේශ වැනි සමකාලීන සාහිත්‍ය මූලාශ්‍ර කිහිපයකින් මෙන්ම රාජාවලිය වැනි ඉතිහාස ග්‍රන්ථ වලින්ද හෙලිවේ.

කිනම් කලක ආරම්භ වී දැයි නිශ්චිතවම කීමට පිලිගත හැකි සාධක නොමැති මුත් කෝට්ටේ යුගය වන විට මුන්නේස්වරම  දේවාලය තිබූ බවට ක්‍රි.ව. 1441 - 1446 කාලයේ ලියවුන කෝකිල සංදේශයේ එන මෙම කවියෙන්ද පසක් වේ.

පැල දිඟු වෙනුර සරහන කොතබු මිණ ලෙසින්
දළ රිවි බිඹු බබළත වෙසෙස සහ රසින්
දළ සඳ පිහිටි මුන්නේ සරම දැක තොසින්
ලෙළ තුඟු තුරෙක වැද සැතපෙන්න සිතුලෙසින්

මෙහි 'දළ සඳ' ලෙසින් හැදින්වෙන්නේ මෙහෙසුරු හෙවත් ඊස්වර දෙවියන් බැවින්, මුන්නේස්වරම යනු ඊස්වර දෙවියන් වෙනුවෙන් වූ දෙවොලක් බව පෙනේ. එසේම 'මුනි' සහ 'ඊස්වරම්' යන වචන එකතු වීමෙන් මුන්නේස්වරම යන්න සෑදී ඇති බවද සැලකිය හැක. මේ කාලය වන විට සලාවත් තොට (හලාවත) ජනාකීර්ණ වරායක්ව පැවති බැවින් ඒ ආසන්නයේ පිහිටි මෙම දෙවොලද මෙම නැව් තොටින් වෙළදාම සඳහා පැමිනි ශිව දෙවියන් අදහන දකුනු ඉන්දීය හින්දු භක්තික දෙමළ වෙළෙදුන්ගේ ජනප්‍රිය පූජනීය ස්ථානයක් වූවා විය හැක. එසේම මෙම සියවස් වල විවිධ දකුනු ඉන්දිය ජන කණ්ඩායම් වරින් වර මෙරටට සංක්‍රමණය වීම් සිදුවූ බවට සාධක ඇති බැවින් මෙරට බටහිර වෙරලේ පදිංචි වූ එම ජන වර්ග වල පුදපෙත් කටයුතු වෙනුවෙන් මුන්නේස්වරම ඉදිවූවාද  විය හැක. (මෙම ජන කණ්ඩායම් කුල ක්‍රමය යටතේ සිංහල ජාතිය තුලට අවශෝසනය වූ අතර පසු කාලීනව ඔවුන් හින්දු ආගම අතහැර කතෝලික සහ බෞද්ධ ආගම් වැලඳ ගත්හ. ඒ පිළිබඳව සවිස්තරාත්මකව පසුව සලකා බලමු ) තවද හලාවත කේන්ද්‍රගත කරගෙන සිදුවූ මුතු සහ වාලම්පූරි සෙවිම සදහා කිමිදීමේ කටයුතු වෙනුවෙන් දකුණු ඉන්දියාවෙන් මෙරටට වසරේ එම කිමිදීම් සිදුවන කාල වලදී පැමිණි දකුණු ඉන්දීය ද්‍රවිඩ ජනයාගෙන් නිතර වැඳුම් පිදුම් ලැබූ පුද බිමක් ලෙසටද ඇතැම් විට මුන්නේස්වරම පවතින්නට ඇත.

දේවාලයේ පාදමේ දැකිය හැකි සෙල්ලිපිය 
 අපගේ ප්‍රස්තුතය වන මෙම දේවාලයේ පිහිටි දෙමළ සහ ග්‍රන්ථ අක්ෂර උපයෝගි කරගනිමින් දෙමළ සහ සංස්කෘත මිශ්‍ර භාෂාවකින් ලියා ඇති සෙල් ලිපිය පිහිටුවා ඇත්තේ යාපා පටුන (වර්තමාන යාපනය ) අල්ලා ගෙන සිටි ඇතමුන් ද්‍රවිඩ රජෙකැයි පවසන ආර්ය චක්‍රවර්ති හෝ වෙනත් ද්‍රවිඩ සම්භවයක් ඇති රජ කෙනෙකු නොව කෝට්ටේ රජකම් කල සිංහල බෞද්ධ පාලකයකු වන හයවැනි පරාක්‍රමබාහු රජතුමාය. ආචාර්ය S. පත්මනාදන් මහතාට අනුව මෙම ලිපියෙන් කියවෙන ලෙසට පරාක්‍රමබාහු රජු ඔහුගේ 38 වන රාජ්‍ය වර්ෂයේදි මුන්නේස්වරම් දේවාලයේ ප්‍රධාන පූජක වරුන් කැඳවා දේවාලයේ කටයුතු කෙලෙසදැයි විමසා, පෙර එම පූජකයන්ට අයත්ව තිබූ මුන්නේස්වරම් ප්‍රදේශයේ ඉඩම් දේවාල බිම් ලෙස පවරාදී ඇත. තවද පූජක වරුන්ට ඉල්ලුප්ප දෙනියේ (Illuppa deni) අමුණු* 22 ක්ද, ප්‍රධාන පූජකයන්ට කෝට්ටයිපිට්ටි (Kottaipitti) හි අමුණු 30 සහ ටිට්ටක්කටයි (Tittakkatai) හි අමුණු 8 ක්ද පූජා කිරීමක් ලෙස දී ඇත. එසේම දිනපතා දවසට තුන්වරක් බත්, වෑංජන, බුලත් සහ සුවද වර්ගද, ප්‍රධාන පූජකයන්ට මාසිකව පනම් 30 බැගින් සහ අනෙකුත් පූජකවරුන්ට පනම් 11 බැගින්ද ඉර හඳ පවතින තුරා බදු රහිතව දීමනා දෙන ලෙසටද ඔහු  එයින් අණ කර ඇත. මෙම අණ කඩකරන්නන්ට දරුණු පස් මහ අපරාධ කරන්නන් රැස්කරන පව් ලැබෙන බවත් එහි අවසානයේ සටහන් කර ඇත.

සෙල්ලිපියේ කොටසක්
කෝට්ටේ යුගය අවසානය දක්වාම මෙම අණ ක්‍රියාත්මකව තිබී ඇත. පසු කාලීන පාලකයකු වන 9 වන පරාක්‍රමබාහු රජතුමාද 16 වන ශතවර්ෂයේ මුල් භාගයේ තඹ සන්නසක් මගින් තවත් ඉඩම් පවරාදීමක් මෙම දේවාලයට සිදු කර ඇත. එසේනම් එම අණ කඩකලෝ කවරහුද?

ප්‍රතිසංස්කරණය වූ මුන්නේස්වරම් දේවාලය
කෝට්ටේ රාජධානියේ සිංහල රාජ්‍ය බලය කෙමෙන් වියැකෙමින් යද්දී නැවතත් 'ශිෂ්ඨ සම්පන්න සුදු හම ඇති යුරෝපීයන්ගේ' ආගමික සහජීවනය සහ 'සිංහල බෞද්ධ ම්ලේච්චයන්' වන අපගේ ආගමික සහජීවනයේ වෙනස මැනවින් පසක් කරමින් දියෝගෝ ද මේලෝ (Diogo de Mello) යටතේ පෘතිගීසි බල සෙන් 1578 දී මෙම දේවාලය බිමට සමතලා කර න ලදි. පසුව මුන්නේස්වරම් පත්තුවේ දේවාලයට අයත් ගම් 62 ක් ජේසු නිකායේ (Jesuits) පූජකයන් 1606 දී ආරම්භ කල සාන්ත පාවුලු (St. Paul) දේවස්ථානයට පවරා දෙන ලදී.

17 වන ශතවර්ෂයේදී නැවතත් උඩරට සිංහල රාජධානියේ බලයට මෙම ප්‍රදේශය නතුවීමෙන් අනතුරුව, 18 වන ශතවර්ෂයේදී මුන්නේස්වරම නැවතත් ප්‍රතිසංස්කරණය වන්නේ රට පුරා විනාස වී තිබූ බෞද්ධ පුදබිම් අති විසාල ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණයට ලක් කල සිංහල බෞද්ධ සංස්කෘතිය වැලඳ ගත් දකුණු ඉන්දීය නායක්කර් රජ කෙනෙකු වන කීර්ති ශ්‍රී රාජසිංහ නරපතියන්ගේ අතිනි. ඉන්දියාවෙන් ගෙන්වූ ශිල්පීන් ලවා 1753 දී එහි වැඩ අවසන් කල බව පැවසේ.

* අමුණු - වී අමුනක් වගා කල හැකි වපසරියක් ඇති ඉඩමක්. මෙහි ප්‍රමාණය ප්‍රදේශය අනුව වෙනස් වේ.

මූලාශ්‍ර
  • The Munnesvaram Tamil Inscription of Parakramabahu VI, Pathmanathan, S. Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume XVIII, 1974.
  • කෝකිල සංදේශය 
  • සැළලිහිණි සංදේශය
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1997
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999
  • The Temporal and Spiritual Conquest of Ceylon - Fernao de Queyros, Translated by S.G. Perera, 1930
  • Ceylon the Portuguese Era , Paul E. Pieris, Vol 1 & 2, 1913

Monday, October 12, 2015

වෙඩි අරසන් කෝට්ටෙයි - ඩෙල්ෆ්ට් දූපතෙන් මතුවන ඉපැරණි බොදු උරුමය


ඩෙල්ෆ්ට් හෙවත් නෙදුන්තිව් යනුවෙන් හැදින්වෙන දූපතේ වයඹ දිශාවේ වෙරලාසන්නයේ පිහිටි නටබුන් වූ බලකොටුවක් පිළිබද පලමුවරට සදහන් වෙන්නේ Penn යන නමින් කිසියම් පුද්ගලයකු Colombo Journal පුවත්පතට 1832 දී ලියූ ලිපියකය. Fire King's Fort යනුවෙන් එය හඳුන්වන ඔහු යාර 62 ක පරිධියෙන් සහ අඩි 20 ක පමණ උසින් යුත් එහි නැගෙනහිරින් සහ බටහිරින් පිහිටා තිබූ පඩි පේලි දෙකක නටබුන් එවකට දැකිය හැකිව තිබූ බවද පවසයි. එහි බාහිරින් හුණු පිරියම් කර තිබූ බවද සදහන් කරන හෙතෙම මෙය ඔහු දැක ඇති අනෙකුත් බලකොටු වලට කිසිදු සමාන කමක් නොමැති මුත් උඩරට ප්‍රදේශවල ඇති දාගැබ් වැනි (Dagoba's in the Kandyan territory) බව පවසයි. මෙම විශාල ගොඩැල්ලට අමතරව එයට ආසන්නයේ පිහිටි වෙනත් කුඩා දාගැබ් (Temple) හතරක වෘත්තාකාර පාදම් ගැනද ඔහු සදහන් කරයි. ඒවාද හුනු පිරියම් කර තිබූ ඝාණ්ඨාකාර (Bell-shaped) හැඩැති බව ඔහු පවසන මුත් පාදම් වලින් පමණක් එහි ඝාණ්ඨාකාර හැඩය පැවසුවේ කෙසේද යන්න පැහැදිලි නැත.  

ප්‍රධාන චෛත්‍ය ගොඩැල්ල
වර්ෂ 1909 දී රාජකීය ආසියාතික සංගමයේ සඟරාවට ඩෙල්ප්ට් දිවයින සම්බන්ධයෙන් ලිපියක් සපයන J. P. ලුවිස් (J.P. Lewis), Penn යන නමින් ලියූ ඉහත ලේඛකයාගේ ලිපියේ කොටස්ද උපුටා දක්වමින් පවසන්නේ ඔහු Fire King's Fort යනුවෙන් මෙම කොටුව හඳුවන මුත් ඔහු එයින් අදහස් කරන්නට ඇත්තේ වෙඩි අරසන් එනම් Hunter King වියයුතු බවය. 1903 ඔක්තෝබර් මාසයේදී ඔහු එහි නටබුන් පිරික්සා බැලූ බවත්, දූපත්වාසින් මෙය වෙඩි අරසන් නම් වූ මුක්කුවා රජුගේ බලකොටුවක් (Vedi Arasan's Fort) බව විශ්වාස කරන බවත්, වර්තමානයේ කොරල් ගල් ගොඩක් මුත් කලකට පෙර එය සතරැස් කොටුවක්ව තිබෙන්නට ඇති බවත් පවසයි. පඩි පේලි ඇතුලු මුලින් කී ලේඛකයා සදහන් කරන කිසිවක් දැන් නොමැති බවත්, එම විස්තරයට අනුව මෙය කිසිදු ලෙසකින් පෘතිගීසි කොටුවක් විය නොහැකි බවත්, කොටුව තුල පන්සල් තිබීමෙන් පෙනී යන්නේ එය ස්වදේශිකන්ගේ බලකොටුවක් බවත් ලුවිස් වැඩිදුරටත් සදහන් කරයි.

කුඩා චෛත්‍යක නටබුන්
ඉහල - මැටි පහනක්?, පහල - පාදම් ගලක්


















ඉන්පසු 1949 ජුලි 15 වෙනි දින D.T. දේවේන්ද්‍ර මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වශයෙන් මෙම නටබුන් වල නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව රාජකීය ආසියාතික සංගමයේ 1969 කලාපයට ලිපියක් සපයමින් පවසන්නේ වෙඩි අරසන් කෝට්ටෙයි (Vedi Arasan Kottai) එවකට අඩි 8ක් උස ගොඩැල්ලක් බවත් එය ආසන්නයේ වෘත්තාකාර වෙනත් ගොඩැල්ලක්ද දුටු  බවත් ලූනු වගාවක් එය ආසන්නයට පැතිරෙමින් තිබූ බැවින් නුදුරේදිම රජයට අයත් මෙම ස්ථානය එමගින් ආක්‍රමණය විය හැකි බවත්ය. එම ගොඩැලි වල තිබූ කැටයම් කල කොරල් ගල්, මැටි උළු, ගඩොල්, පහන්, සහ සියල්ලටම වඩා වැදගත් ලෙස සැලකිය හැකි කොත් කැරැල්ලක කොටසක් මගින් මෙය අනිවාර්යෙන්ම දාගැබක නටබුන් විය යුතු බව එතුමා පවසයි. පසුව එවකට පුරාවිද්‍යා කොමසාරිස් වූ සෙනරත් පරණවිතාන මහතාද ඔහුගේ මෙම හඳුනාගැනීම තහවුරු කරයි.

මේ සමග පලවෙන්නේ එම ස්ථානයේදි අප විසින් වර්ෂ 2010 දි ගත් ඡායාරූපය. උතුරු නැගෙනහිර ඉපැරණි බොදු උරුමය මතු කරන තවමත් විද්‍යාමාන මෙවන් සාධක වල වර්තමාන ඉරනම කුමක්ද?


මූලාශ්‍ර

  • Notes & Queries - A Ruined Dagaba in Delft,  Devendra D.T., Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume XIII, 1969.
  • Notes on Delft, Lewis J.P., Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Volume XXI, 62, 1909

Thursday, October 8, 2015

දන්තුරේදි වසර 421 කට පෙර සිදුවූ මහා යුධ අපරාදය

"විමලදහම්සූර්‍ය රජු ඒ ප්‍රතිකානුන් අල්ලා ඇස් කණ කර පස්දෙනෙකුට එකෙකුගෙන් එක ඇසක් තිබා අත්වැල් අල්ලාගෙන කොළඹට එව්වාය."

රූපය- බලන කොටුව

 හරියටම අදින් වසර 421 කට පෙර කන්ද උඩරට ආක්‍රමණය වැරදී පසු බසින ප්‍රතිකාල් හමුදා වල සිට, සිංහල හමුදාවන්ට යටත් වූවන්ට අත් වූ ඉරණම රාජාවලි කතෘ ගෙනහැර දැක්වූවේ එසේය. එනම් පස් දෙනෙකුගෙන් එකෙකුට පමනක් එක් ඇසක් තබා අන් සිවු දෙනාගේ ඇස් දෙකම උගුල්ලා අත්වැල් අල්ලාගෙන කොළඹ එන්ට සැලැස්වූ බවය.

පෘතුගීසි ජාතික ක්වෙරෝස් (Fernao de Queyroz) පියතුමන්ට අනුව 800 ක පමණ පෘතුගීසි ජාතිකයන්ද ජයවීර බණඩාර යටතේ ලැස්කිරිඥ්ඥා* භටයන් 15000 පමනද ( නමුත් මුලු හමුදාව 20000 වූ බව ඔහු අන් තැනක පවසයි); එකල පෘතුගීසි සොල්දාදුවෙකුව සිට පසුව ලංකාවේ පෘතුගීසීන්ට අත්වූ ඉරණම ගැන The Historic Tragedy of the island of Ceilao නමින් පොතක් ලියූ රිබෙයිරෝට (Captain Joao Ribeiro) අනුව පෘතුගීසි සෙබලුන් 1200 ක් හා ලැස්කිරිඥ්ඥා භටයන් 20000 ක්ද මෙහිදී උඩරට රාජධානිය වටලෑමට එක් වී ඇත. උඩරට රාජ උරුමය තිබූ, කතෝලික දහම වැලඳගෙන දෝන කැතරිනා නමින් බෞතිස්ම ලැබූ පෘතුගීසීන් ඇසුරේ හැදී වැඩුන කුසුමාසන දේවියද කැටිව; කලින් ගෝවේ පෘතුගීසින් ඇසුරේ සිට ඔවුන්ට පිටුපා නැවතත් බෞද්ධයකු වී විමලධර්මසූරිය නමින් රජවූ කොනප්පු බන්ඩාරගෙ (Don Joao) රාජධානිය වූ කන්ද උඩරට යටත් කරගැනීමට සිය සේනා මෙහෙයවූ කැප්ටන් ජෙනරාල් පේද්‍රෝ ලෝපස් ද සූසා (Pedro Lopes de Souza) ඇතුලු පෘතුගීසින්ට දන්තුරේදී මේ ආකාරයෙන් පලමු වරට ආසියානු රටකින් අමතක නොවන පාඩමක් ඉගෙනගැනීමට හැකිවූවේ 1594 ඔක්තෝබර් 9 වැනිදා අලුයම වනවිටය (පසුබසින පෘතුගීසිට පහරදීම 8 වෙනිදා හිමිදිරියේ පටන් සිදුවිය). එනම් අදින් හරියටම වසර 421 කට පෙරය. මෙහිදී යටත් වූ පෘතුගීසීන් 93 හා පලාගිය ලැස්කිරිඥ්ඥා භටයන් හැර අන් සියල්ලන් සිංහල හමුදා අතින් සමූලඝාතනයකට ලක්වූහ. පෘතුගීසීන් විසින් උඩරට සිහසුනේ හිඳවීමට ගෙනා එවකට දොලොස් හැවිරිදි වියේ සිටි කුසුමාසන දේවියවිමලධර්මසූරිය රජුට හිමිවූ අතර ඔහු ඇයව සිය අගබිසෝ තනතුරට පත් කරගත්හ.

රජු ඇතුලු උඩරට වැසියන් සටනකින් තොරවම පලායාමෙන් පසු විජයග්‍රාහිව නගරය අල්ලගෙන සිටි පරංගින්ට පසුබසින්නට සිදුවූවේ විමලධර්මසූරිය රජු උපක්‍රමිකව ලැස්කිරිඥ්ඥා හමුදාවේ නායක ජයවීර බණ්ඩාරව පෘතුගීසින් අතින්ම ඝාතනය වීමට සැලැස්වූ පසුවය. එම සිදුවීමෙන් පසු පරංගින් අතහැර ලැස්කිරිඥ්ඥා භටයන් පලායාමත් සමග තනිවූ පරංගි හමුදා මහනුවර සිට බලන කොටුව දක්වා පසුබැසීමේදි දින 10 ක් පුරා හරි හමන් ආහාරයක් නැතිව නිරාහාරව වෙහෙසි සිටින අවස්ථාවේ දන්තුරේදි මෙම පරාජයට ඔවුන් ලක්විය. යටත් වූවන්ට සිදුවූ දේ සම්බන්ධයෙන් අදහස් දක්වන ක්වේරෝස් පියතුමන් ඔවුන්ගේ නාසා කපා දමා එවූ බව සඳහන් කරයි (They cut off the noses of many and even of the General). මේ යුගය ගැන ලියූ පසු කාලීන ලන්දේසි ලේඛකයෙකු වන බල්දියස් (Phillip Baldaeus)  අනුව නාසා පමනක් නොව ඔවුන්ගේ කන් හා ලිංගේන්ද්‍රියන්ද (They sent back with their ears, noses and privy parts cut off, in revenge of the ravishment committed upon their wives and daughters) කපා දමා එවා ඇත.

විවිධ මූලාශ්‍ර වල යටත්වූවන්ගේ ඉරණම එක් එක් ආකාර වලින් දක්වා ඇති නමුත් කුමක් නමුත් දරුණු යුධ අපරාදයක් මෙහිදි සිදුවී ඇති බව නම් පැහැදිලිය. සුදු කොඩි රැගෙන යටත් වූ අවිහිංසක පරංගින්ගේ මානව හිමිකම් මෙයින් අහිමි වී ඇත. වසර 421 කට පසුව හෝ ඒ සම්බන්ධයෙන් පෘතුගීසි - සිරි ලාංකික දෙමුහුම් අධිකරණයක් (Hybrid Court) කැඳවා නඩු අසා වරද කරුවන් ලොවට හෙලි කල යුතු නොවේද? අනිත් අතට අවිහිංසාව මත පදනම් වූ ආගමක් අදහන බෞද්ධයන්ට මෙවැනි දෑ කල හැකිද? ඔවුන් සතුරන්ට මෙත් වඩමින් නවගුණ වැල අතට ගතු යුතු නොවේද? පෘතුගීසීන්ගේ මානව හිමිකම් පිළිබද සොයා බැලීමට විදේශ ආධාර ලබන NGO එවකට නොතිබීමෙන් කෙතරම් අසාධාරණයක් ඔවුන්ට සිදුවී ඇත්ද? අඩු තරමේ විමලධර්මසූරියගෙන් පසුව බලය ලබාගෙන ඒ පිළිබඳ උනන්දු විමට එනම් පෘතුගාලය සමග එකතු වී දේශීය හෝ අන්තර්ජාතික පරීක්ෂණයක් කිරීමට හරි හමන් විපක්ෂයක්වත් එවකට නොතිබූ අයුරුය.

* Lascorin - ආක්‍රමණික යුරෝපිය හමුදාවල සේවය කල දේශිය සෙබලුන් හැඳින්වීමට ඔවුන් යෙදූ නම. මේ අවස්ථාවේදී නම් පෘතුගීසින් යටතේ වූ මුහුදු බඩ ප්‍රදේශවල විසූ සිංහලයන්.
මූලාශ්‍ර

  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976
  • The Temporal and Spiritual Conquest of Ceylon - Fernao de Queyros, Translated by S.G. Perera, 1930
  • The History of Ceylon from the Earliest Times to 1600 A.D. As Related by Joao de Barros and Diogo do Couto, Translated and Edited by Donald Ferguson, 1909
  • The Historic Tragedy of the island of Ceilao, Captain Joao Ribeiro, Translated from the portuguese by P.E. Pieris, 1909
  • Ceylon the Portuguese Era , Paul E. Pieris, Vol 1 & 2, 1913
  • Kandy Fights the Portuguese - A Military History of  Kandyan Resistance - C, Gaston Perera, 2007 (එහි සිංහල පරිවර්තනය - කන්ද උඩරටින් නැගුණු පෘතුගීසි විරෝධය, පරිවර්තනය ධනේෂ් විසුම්පෙරුම, 2015)
  • Portuguese Rule in Ceylon 1594-1612, Tikiri Abeyasinghe, 1966
  • A Description of the Great and Most Famous Isle of Ceylon, Baldaeus Phillip, 1672

Monday, October 5, 2015

සිංහලේ ඔටුනු නොපලන් රජු - විමලධර්ම නරේන්ද්‍රසිංහ

ඇහැලේපොල ප්‍රමුඛ සිංහල රදලවරුන් නායක්කර් වංශික රජු පාවා දී, යුරෝපීය ජාතීන් තුනකටම සියවස් තුනක් පුරා සටන් කර යටත් කරගත නොහැකිවූ උඩරට සිංහලේ බලය බන්දේසීයක තබා 1815 මහා පාවාදීමේ ගිවිසුම මගින් සටනකින් තොරවම ඉංග්‍රීසීන් අතට ලබාදුන් නමුත්, වැඩි කල් නොගොස්ම තමුන්ට වැරදුන බව වටහා ගත්හ. එහි ප්‍රථිපලය වූවේ දොරේසාමි නමින් රාජ ප්‍රතිරූපකයෙක් ඉදිරියට දමා ගනිමින් කොහුකුඹුරේ රටේරාල, බූටෑවේ රාල ඇතුළු ඌව-වෙල්ලස්සේ දේශප්‍රේමින් ඇරඹූ 1817-18 මහා අධිරාජ්‍යවිරෝදී සටනට ක්‍රමයෙන් කැප්පෙටිපොල ඇතුළු රදල වරුන්ද එක්වී එයට නායකත්වය සැපයීමය. වඩුග රජුගෙන් සිංහල රජ කෙනෙකු අතට බලය ලබාගැනීමට ඉංග්‍රිසීන්ගෙ පිහිට පැතු රදලවරු නැවතත් වඩුග රජෙකු බලයට ගෙන ඒමට කැරලි ගැසීම එක්තරා අතකින් ඉතිහාසයේ සරදමකි. කෙසේ නමුත් දොරේසාමි නමින් පෙනී සිටියේ කලින් මහණ වී සිට සිවුරු හැරි විල්බාවේ රාල නම් රාජවංශික නොවන සත් කොරලයේ සිංහල පුද්ගලයෙකු බව කල් යාමේදි වටහාගන්නා පිළිමතලාවේ සහ මඩුගල්ලේ වැනි රදල නායකයන් සටන අතහරින මුත් කැප්පෙටිපොල ඇතුළු සුලු පිරිසක් අවසානය දක්වාම සටන මෙහෙයවයි.

කැරලි නායකන් අල්ලා ගෙන හිස ගසා දැමීමෙන් සහ ඇතමුන් මුරුසි දිවයිනට පිටුවහල් කිරීමෙන් මෙම ප්‍රතිරෝධය සමනය කර ගැනීමට ඉංග්‍රීසීන් සමත් වන මුත් බොහෝ දෙනා සිතන පරිද්දෙන් 1848 දී නැවතත් ඇතිවන කැරැල්ල දක්වා කිසිදු ප්‍රතිරෝධයක් සිංහල දේශමාමක බලවේග තුලින් යටත්විජිතවාදීන් වෙත එල්ල නොවූවා නොවේ. කාලයේ වැලිතලාවෙන් යටවී ගිය එවන් සුලු පරිමාණ නැගිටීම් කිහිපයක් පිළිබදවම තොරතුරු ආචාර්ය කුමාරි ජයවර්ධන සිය පර්යේෂණ මගින් හෙලිදරව් කරයි*.

1820 ජනවාරි 6 වෙනි දින බින්තැන්න ප්‍රදේශයෙන් කුමාරස්වාමි නම් රාජ ප්‍රතිරූපකයෙක් මතුවි පවසන්නේ 1818 දී තමාව සිංහලේ රජකමට විල්බාවේ වෙනුවට පිළිමතලාවේ සහ මඩුගල්ලේ ඇතුලු සත් රටේ නායකයන් පිරිසක් ඉදිරියේ සිරිමා බෝධිය අභියසදි තෝරාගත් බවය. තමා හේවාහැට ඉපදුන සිංහලේ අවසාන රජුගේ නෑයෙකු බවත්, ශ්‍රි වික්‍රම රාජසිංහ රජු විසින් ඔහුව ඌව පලාතට පිටුවහල් කල බවත්, වෙළෙඳ සහ භික්ෂු වෙස් ගෙන ඇවිදිමින් සිටින අතරේ 1818 දී රුවන්වැල්ලේදි හසුවි කොළඹ සිරකරුවෙකු ලෙස සිටි බවත්, ඔහු වැඩිදුරටත් හෙලිකරයි. ගණේගොඩ අධිකාරම වෙත පුස්කොල පතක් යවමින් ඔහු පවසන්නේ තමා කොබ්බෑකඩුවේ නායක තෙරණුවන් හමුවන්නට බලාපොරොත්තු වන බව මොල්ලිගොඩ අධිකාරම ඇතුළු අන් අයට දන්වන ලෙසත්, බුළුවාලේ උන්නාන්සේ භාරයේ ඇති දළදාව විමලධර්ම නරේන්ද්‍රසිංහ  නමින් රජවි ඇති තමා වෙත ගෙන එන ලෙසත්ය. තවද ඔහු 1818 කැරැල්ලේ රාජ ප්‍රතිරූපකයාව සිටි විල්බාවේ හමු වූ බවත්, ඔහුට පලමුව තෙලිගු භාෂාවෙන් (නායක්කර්වරුන්ගේ භාෂාව) සහ නැවත දෙමළ භාෂාවෙන් ඇමතූ මුත් එම භාෂා ඔහුට නොතේරුන බැවින් අවසානයේ සිංහලෙන් අමතා අදහස් හුවමාරු කරගත් බවත්, තමුන් නියම රජු බව ඔහුද පිලිගත් බවත්, හෙතෙම වැඩි දුරටත් එහි සදහන් කරයි. 1818 දි මෙන් මෙවරද වැදි ජනතාව කැරැල්ලේ පෙරමුණ ගත් බවත්, ඔවුන් යම් යම් කලබල ඇති කල බවත් ආන්ඩුකාරවරයාගේ සටහන් වලින් හෙලිවේ. රාජ ප්‍රතිරූපකයා සදහන් කරන්නේ මාරකේ නමැති වැදි ගම්මානයට ඔහු පැමිණි විට 7000 ක පමණ වැද්දන් වැඳ වැටී ඔහුට රජෙකුට මෙන් ආචාර කල බවත් ඔවුන් දුනු ඊතල වලින් සන්නද්ධව ඔහුව මහවැලි ගඟින් එතෙරට ගෙන ආ බවත්ය.

එක් සතියකින් කැරැල්ල අවසන් වන්නේ එදා සිට අද (2015 ඔක්තෝබර් ජිනීවා පාවා දීම) දක්වාම නැවත නැවතත් සිදුවෙන අයුරින් සිංහලයන්ට ආවේණික පාවාදීම මෙතනදිත් නැවතත් සිදුවීමෙනි. ගණේගොඩ දිසාව විසින් මේ පිලිබද ඉංග්‍රිසීන්ට දැනුම් දීමෙන් නොනැවතී පිරිසක් සමග ගොස් 1820 ජනවාරි 12 දින රාජ ප්‍රතිරූපකයාව අල්ලා ගෙන ඉංග්‍රීසි ආන්ඩුවට භාර දෙයි. නඩු විභාගයක් අවසානයේ ඔහුට අත්හිටවූ මරණ දඩුවමක් ලබාදී මුරුසි දිවයිනට පිටුවහල් කරයි. ඉංග්‍රීසීන් මුදල්, අංගසම්පූර්ණ නිවසක් සහ ඇඳුම් පැලදුම් ලබා දීමෙන් ගණේගොඩ දිසාවගේ කැපවීම අගය කරයි (The Disava was rewarded with money, a furnished house and "a splendid new dress" ).

මේ රාජ ප්‍රතිරූපකයා සත්‍ය වශයෙන්ම නායක්කර්වරයෙකුද යන්න පැහැදිලි නොමැති මුත් ඔහු තමා එසේ වන බව හඟවන්න දරන උත්සාහයෙන් හැගෙන්නේ  ඔහු විල්බාවේ මෙන්ම සිංහල ජාතිකයකු බවය. පිට පිට අවස්ථා දෙකකදිම ඉස්මතු වූ රාජ ප්‍රතිරූපකයන් තමුන් වඩුගයන් බව හඟවන්න උත්සාහ කිරීමෙන් පැහැදිලි වන්නේ උපතින් සිංහල නොවුනත් සිංහල බෞද්ධ සංස්කෘතියේ පැවැත්ම උදෙසා මහඟු සේවයක් කල නායක්කර් රජ වරුන් කෙරෙහි ජනතාවගේ තිබූ ප්‍රසාදයද? නැතහොත් එකිනෙකා සමග කුලල්කාගන්නා සිංහල රදලයන්ට වඩා විශ්වාසයක් ජනතාවට ද්‍රවිඩ සම්භවයක් ඇති දකුණු ඉන්දීයාවෙන් පැමිණි වඩුග රජවරුන් කෙරේ පැවැති බවද?

රූපය - සිංහල හේවායකු නිරූපිත ලී කැටයමක් , ඇම්බැක්කේ දේවාලය

*Perpetual Ferment: Popular Revolts in Sri Lanka in the 18th and 19th Centuries, Kumari Jayawarena - Colombo, Social Scientists's Association, 2010

Friday, October 2, 2015

පරංගියා දෙවිනුවර ගිය හැටි


රූපය 1 - පෘතුගීසීන් විනාශ කල පැරනි දේවාලය පිහිටි ස්ථානයේම 18 වන ශතවර්ෂයේ පමණ ගොඩ නැගූ වර්තමාන උපුල්වන් දේවාලය.

"අපගේ මිනිසුන් කිසිදු ප්‍රතිරෝධයක් නැතිවම ඒ දෙසට ගමන් කලහ. විහාරයට (Temple) ලගා වීමෙන් පසුව එහි ගේට්ටු කඩා කිසිවෙකුගේ විරෝධයක් නොමැතිවම ඇතුලුවී එහි සෑම තැන්හීම සෙවූ මුත් කිසිදු මිනිසෙකු සොයාගැනීමට නොහැකි විය. සියල්ලන්ම පලගොස් ඇති බව දුටු තෝම් ද සූසා (Thome de Sousa) එය සොල්දාදුවන්ට ඔවුන්ගේ රාජකාරිය කිරීම සදහා භාරදුන්හ. ඔවුන් සිදුකල ප්‍රථම කාර්යය වූවේ සියලු පිළිම (Idols) විනාශ කිරීමය. විවිධාකාරයේ පිලිම දහසකට වඩා එහි තිබූහ. ඉන් සමහරක් මැටි පිලිම වූ අතර ඇතැම් ඒවා ලී වලින් සාදා තිබුනි. තඹ පිලිමද වූ අතර ඉන් බොහොමයක් රන් ආලේපිත ඒවාය. ඉනික්බිති ඔවුන් එම ශාපලත් (Infernal) ගොඩනැගිල්ලේ වහල, ආරුක්කු ඇතුලු සියලු දේ කැබැලි වලට බිද දැමූහ. එහි ගබඩා වල විශාල ප්‍රමාණයක් ඇත් දල, අගනා සලු, තඹ, ගම්මිරිස්, හඳුන් දර, ආභරණ, මැණික් සහ පන්සලට අයත් වෙනත් අබරණද තිබූ අතර ඔවුන් තමුන්ට රිසි දේ අරගත්හ. ඉතිරි සියල්ලු ගිනිබත් කරන ලදී. විහාරයට කල හැකි උපරිම ගැරහීම කරනු පිනිස ඉන්පසු හරකුන් කිහිප දෙනෙකුද එය තුල ඝාතනය කරන ලදී. එය ඉතාමත්ම අපිරිසිදු දෙයක් වන අතර එය පිරිසිදු කිරීම සදහා විශාල උත්සවයක් කල යුතු වේ. තවද ඔවුන් සත් මහල් ප්‍රාසාදයක් පරිද්දෙන් ලීයෙන් කල කරත්තයකටද* ගිනි තැබූහ. එය ඉතාමත්ම අලංකාර ලෙස විවිධ වර්ණයන්ගේන් ලාක්ෂා කර්මාන්ත කර තිබූ අතර බොහෝ කොටස් රත්‍රං ආලේපිත විය. ඉතාමත්ම වියදම් අධික අනර්ඝ නිර්මාණයක් වූ එම කරත්තය ප්‍රධාන පිළිමය නුවර වටා ගෙන යාමට භාවිතා කරන්නක් විය. එම පිළිමයද සම්පූර්ණයෙන් ගිනි තබා විනාශ කරන ලදී. "

  ඔහුම සදහන් කරන පරිදි "සිරීපාදයට (Adam's peak) පමණක් දෙවෙනි වන එසේම රට පුරාම පාහේ සිටින බැතිමතුන් වන්දනාමාන කරන" දෙවිනුවර උපුල්වන් දේවාලය පෘතුගීසි හමුදාවන් විසින් විනාශ කල ආකාරය පෘතුගීසි ලේඛක කූතෝ (Diogo do Coutoවිස්තර කරන්නේ එලෙසිනි. වර්තමානයේ අපට ආගමික සහජීවනය ගැන ටියුෂන් දීමට පැමිනෙන බටහිර ජාතීන් ඔවුන්ගේ 'ආගමික සහජීවනය' ක්‍රිස්තියානි ආගම නොඅදහන මිලේච්චයන් (Heathens) හට 1587දී ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්නුවේ එලෙසිනි. 

රූපය 2 සහ 3 - වර්තමාන දේවාල භූමිය පුරා විසිරි ඇති පැරණි විනාශ කල දෙවොලේ නටබුන්.





වේල් කරත්තය යනුවෙන් හැදින්වෙන රථය.


මූලාශ්‍ර
The History of Ceylon from the Earliest Times to 1600 A.D. As Related by Joao de Barros and Diogo do Couto, Translated and Edited by Donald Ferguson, 1909