Thursday, October 8, 2015

දන්තුරේදි වසර 421 කට පෙර සිදුවූ මහා යුධ අපරාදය

"විමලදහම්සූර්‍ය රජු ඒ ප්‍රතිකානුන් අල්ලා ඇස් කණ කර පස්දෙනෙකුට එකෙකුගෙන් එක ඇසක් තිබා අත්වැල් අල්ලාගෙන කොළඹට එව්වාය."

රූපය- බලන කොටුව

 හරියටම අදින් වසර 421 කට පෙර කන්ද උඩරට ආක්‍රමණය වැරදී පසු බසින ප්‍රතිකාල් හමුදා වල සිට, සිංහල හමුදාවන්ට යටත් වූවන්ට අත් වූ ඉරණම රාජාවලි කතෘ ගෙනහැර දැක්වූවේ එසේය. එනම් පස් දෙනෙකුගෙන් එකෙකුට පමනක් එක් ඇසක් තබා අන් සිවු දෙනාගේ ඇස් දෙකම උගුල්ලා අත්වැල් අල්ලාගෙන කොළඹ එන්ට සැලැස්වූ බවය.

පෘතුගීසි ජාතික ක්වෙරෝස් (Fernao de Queyroz) පියතුමන්ට අනුව 800 ක පමණ පෘතුගීසි ජාතිකයන්ද ජයවීර බණඩාර යටතේ ලැස්කිරිඥ්ඥා* භටයන් 15000 පමනද ( නමුත් මුලු හමුදාව 20000 වූ බව ඔහු අන් තැනක පවසයි); එකල පෘතුගීසි සොල්දාදුවෙකුව සිට පසුව ලංකාවේ පෘතුගීසීන්ට අත්වූ ඉරණම ගැන The Historic Tragedy of the island of Ceilao නමින් පොතක් ලියූ රිබෙයිරෝට (Captain Joao Ribeiro) අනුව පෘතුගීසි සෙබලුන් 1200 ක් හා ලැස්කිරිඥ්ඥා භටයන් 20000 ක්ද මෙහිදී උඩරට රාජධානිය වටලෑමට එක් වී ඇත. උඩරට රාජ උරුමය තිබූ, කතෝලික දහම වැලඳගෙන දෝන කැතරිනා නමින් බෞතිස්ම ලැබූ පෘතුගීසීන් ඇසුරේ හැදී වැඩුන කුසුමාසන දේවියද කැටිව; කලින් ගෝවේ පෘතුගීසින් ඇසුරේ සිට ඔවුන්ට පිටුපා නැවතත් බෞද්ධයකු වී විමලධර්මසූරිය නමින් රජවූ කොනප්පු බන්ඩාරගෙ (Don Joao) රාජධානිය වූ කන්ද උඩරට යටත් කරගැනීමට සිය සේනා මෙහෙයවූ කැප්ටන් ජෙනරාල් පේද්‍රෝ ලෝපස් ද සූසා (Pedro Lopes de Souza) ඇතුලු පෘතුගීසින්ට දන්තුරේදී මේ ආකාරයෙන් පලමු වරට ආසියානු රටකින් අමතක නොවන පාඩමක් ඉගෙනගැනීමට හැකිවූවේ 1594 ඔක්තෝබර් 9 වැනිදා අලුයම වනවිටය (පසුබසින පෘතුගීසිට පහරදීම 8 වෙනිදා හිමිදිරියේ පටන් සිදුවිය). එනම් අදින් හරියටම වසර 421 කට පෙරය. මෙහිදී යටත් වූ පෘතුගීසීන් 93 හා පලාගිය ලැස්කිරිඥ්ඥා භටයන් හැර අන් සියල්ලන් සිංහල හමුදා අතින් සමූලඝාතනයකට ලක්වූහ. පෘතුගීසීන් විසින් උඩරට සිහසුනේ හිඳවීමට ගෙනා එවකට දොලොස් හැවිරිදි වියේ සිටි කුසුමාසන දේවියවිමලධර්මසූරිය රජුට හිමිවූ අතර ඔහු ඇයව සිය අගබිසෝ තනතුරට පත් කරගත්හ.

රජු ඇතුලු උඩරට වැසියන් සටනකින් තොරවම පලායාමෙන් පසු විජයග්‍රාහිව නගරය අල්ලගෙන සිටි පරංගින්ට පසුබසින්නට සිදුවූවේ විමලධර්මසූරිය රජු උපක්‍රමිකව ලැස්කිරිඥ්ඥා හමුදාවේ නායක ජයවීර බණ්ඩාරව පෘතුගීසින් අතින්ම ඝාතනය වීමට සැලැස්වූ පසුවය. එම සිදුවීමෙන් පසු පරංගින් අතහැර ලැස්කිරිඥ්ඥා භටයන් පලායාමත් සමග තනිවූ පරංගි හමුදා මහනුවර සිට බලන කොටුව දක්වා පසුබැසීමේදි දින 10 ක් පුරා හරි හමන් ආහාරයක් නැතිව නිරාහාරව වෙහෙසි සිටින අවස්ථාවේ දන්තුරේදි මෙම පරාජයට ඔවුන් ලක්විය. යටත් වූවන්ට සිදුවූ දේ සම්බන්ධයෙන් අදහස් දක්වන ක්වේරෝස් පියතුමන් ඔවුන්ගේ නාසා කපා දමා එවූ බව සඳහන් කරයි (They cut off the noses of many and even of the General). මේ යුගය ගැන ලියූ පසු කාලීන ලන්දේසි ලේඛකයෙකු වන බල්දියස් (Phillip Baldaeus)  අනුව නාසා පමනක් නොව ඔවුන්ගේ කන් හා ලිංගේන්ද්‍රියන්ද (They sent back with their ears, noses and privy parts cut off, in revenge of the ravishment committed upon their wives and daughters) කපා දමා එවා ඇත.

විවිධ මූලාශ්‍ර වල යටත්වූවන්ගේ ඉරණම එක් එක් ආකාර වලින් දක්වා ඇති නමුත් කුමක් නමුත් දරුණු යුධ අපරාදයක් මෙහිදි සිදුවී ඇති බව නම් පැහැදිලිය. සුදු කොඩි රැගෙන යටත් වූ අවිහිංසක පරංගින්ගේ මානව හිමිකම් මෙයින් අහිමි වී ඇත. වසර 421 කට පසුව හෝ ඒ සම්බන්ධයෙන් පෘතුගීසි - සිරි ලාංකික දෙමුහුම් අධිකරණයක් (Hybrid Court) කැඳවා නඩු අසා වරද කරුවන් ලොවට හෙලි කල යුතු නොවේද? අනිත් අතට අවිහිංසාව මත පදනම් වූ ආගමක් අදහන බෞද්ධයන්ට මෙවැනි දෑ කල හැකිද? ඔවුන් සතුරන්ට මෙත් වඩමින් නවගුණ වැල අතට ගතු යුතු නොවේද? පෘතුගීසීන්ගේ මානව හිමිකම් පිළිබද සොයා බැලීමට විදේශ ආධාර ලබන NGO එවකට නොතිබීමෙන් කෙතරම් අසාධාරණයක් ඔවුන්ට සිදුවී ඇත්ද? අඩු තරමේ විමලධර්මසූරියගෙන් පසුව බලය ලබාගෙන ඒ පිළිබඳ උනන්දු විමට එනම් පෘතුගාලය සමග එකතු වී දේශීය හෝ අන්තර්ජාතික පරීක්ෂණයක් කිරීමට හරි හමන් විපක්ෂයක්වත් එවකට නොතිබූ අයුරුය.

* Lascorin - ආක්‍රමණික යුරෝපිය හමුදාවල සේවය කල දේශිය සෙබලුන් හැඳින්වීමට ඔවුන් යෙදූ නම. මේ අවස්ථාවේදී නම් පෘතුගීසින් යටතේ වූ මුහුදු බඩ ප්‍රදේශවල විසූ සිංහලයන්.
මූලාශ්‍ර

  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976
  • The Temporal and Spiritual Conquest of Ceylon - Fernao de Queyros, Translated by S.G. Perera, 1930
  • The History of Ceylon from the Earliest Times to 1600 A.D. As Related by Joao de Barros and Diogo do Couto, Translated and Edited by Donald Ferguson, 1909
  • The Historic Tragedy of the island of Ceilao, Captain Joao Ribeiro, Translated from the portuguese by P.E. Pieris, 1909
  • Ceylon the Portuguese Era , Paul E. Pieris, Vol 1 & 2, 1913
  • Kandy Fights the Portuguese - A Military History of  Kandyan Resistance - C, Gaston Perera, 2007 (එහි සිංහල පරිවර්තනය - කන්ද උඩරටින් නැගුණු පෘතුගීසි විරෝධය, පරිවර්තනය ධනේෂ් විසුම්පෙරුම, 2015)
  • Portuguese Rule in Ceylon 1594-1612, Tikiri Abeyasinghe, 1966
  • A Description of the Great and Most Famous Isle of Ceylon, Baldaeus Phillip, 1672

4 comments:

  1. මානව හිමිකම් ගැන ජාත්‍යන්තර සම්මුතියක් ඇති වුනේ මයෙ හිතේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවුනාටත් පස්සෙ. (මට හරියටම ඒ ගැන නිශ්චිතව කියන්න දැනුමක් නෑ. මගෙ විශ්වාසය ඒක එහෙම බවයි.) ඒ සම්මුතියට එකඟතාවය පළ කර ඇති රටවලට තමයි ඒ ගැන බලපෑමක් කරන්නත් පුළුවන්. ඒ වෙනතුරු ඉතින් යුධ අපරාධ ගැන අවසන් ඡේද දෙකතුනේ කියවෙන විදිහෙ පියවරක් ගන්න හැකියාවක් නෑ නේද?

    ReplyDelete