Showing posts with label Gannoruwa. Show all posts
Showing posts with label Gannoruwa. Show all posts

Tuesday, April 17, 2018

පයිබස්ගේ ගමන් විස්තරය 3 - මහතලා රටින් කන්ද උඩ රටට

ජෝන් පයිබස් නම් ඉංග්‍රිසි පෙරදිග ඉන්දීය සමාගමේ නිලධාරියෙක් ඇතුළු පිරිසක් වර්ෂ 1762 දී කන්ද උඩරට රාජධානියේ පාලකයා වූ කීර්ති ශ්‍රි රාජසිංහ හමුවීමට යෙදුන දූත ගමනක විස්තර, වීශේෂයෙන්ම ඔහුගේ ගමන් මග පිළිබඳව විස්තර මෙයට පෙර ලිපි දෙකකින් විමසා බැලුවෙමු. මේ එම ලිපි පෙලේ අවසාන කොටසයි. පෙර ලිපි කියවීමට>> 
ගෝනවල සිට නාඋල දක්වා පයිබස් ගමන් කල මාර්ගයේ හමු වන ගම්මානයක දර්ශනයක්
එදින පස්වරු 12.30 ට පමණ පයිබස් පොල් ආර් (Pollar) ලෙසින් මගපෙන්වන්නන් ඔහුට හඳුන්වා දුන් මින්නේරි වැවට වැටෙන ගංගාවක අතුගංගාවක් හරහා ගොස් සවස 3 පමණ වනතුරු ඝන වනාන්තරය මැදින් වැටුන ගල් සහිත මාර්ගයක ගමන් කල බව පවසයි.දෙමළ භාෂාවෙන් පැල් ආර් ලෙස හඳුන්වන්නේ කිරි ඔය ලෙස හඳුනාගත හැක. මේ ප්‍රදේශය හරහා ගලා ගොස් මින්නේරිය වැවට වැටෙන්නේ කිරි ඔය පමණි. සවස 3.30 පමණ වන විට පයිබස් ඇතුළු පිරිස සිංහලයන් Negavatowany ලෙසත් මලබාර්වරු (ද්‍රවිඩ ජාතිකයන්) Nawtchytolum ලෙසත් හඳුන්වන බව පයිබස් පවසන චෝලියාර්වරු (මුස්ලිම් ජාතිකයන්) වාසය කරන ගම්මානයකට පැමිණේ. එම ගම්මානයේ නිවාස 7-8 පමණ තිබී ඇත. මේ ගම්මානය නිකවටවන ලෙස හඳුනාගත හැක. ඒ අනුව පෙයික්කුලම් වැවේ සිට පයිබස් ආ ගමන් මග මෙලෙසින් සලකුණු කල හැක.
සිතියම 1 - පෙයික්කුලම් සිට නිකවටවන දක්වා අඟලේ සිතියම්  වල දැක්වෙන පැරණි මාර්ගය රතු පාටින් දක්වා ඇත.
පෙයික්කුලම් වැව අසලින් බටහිර දෙසට ගොස් මකරයාවල සහ පොල්අත්තාව හරහා වැටී  ඇති එම පැරණි මාර්ගය අඟලේ සිතියම් වල පැහැදිලිව ලකුණු කර ඇත. මකරයාවල අසලදී එම මාර්ගය පයිබස් පවසන පරිදි කිරි ඔයේ ශාඛාවක් හරහාද වැටි ඇත. පෙයික්කුලම් වැව සහ එහි සිට වැටී ඇති මාර්ගය අද සීගිරිය අභයභූමියට අයත් ඝන වනාන්තරය තුල පිහිටා ඇත. කෙසේ නමුත් අඩි පාරක් ලෙස පෙයික්කුලම් වැව දෙසින් එන මාර්ගය සිගිරිය සිට වෑවල වැව දෙසට යන ගුරු පාරේ ගිය විට පොල්අත්තාව අසලදී හමුවේ (Google Street View ඡායාරූපය බලන්න). පොල්අත්තාව සිට නිකවටවන දෙසට වූ මාර්ගය පැරණි සිතියමට අනුව මද දුරක් වර්තමානයේ පොල්අත්තාවේ සිට වෑවල වැව දෙසට ඇති ගුරු පාරේ ගොස් මේ වන විට කිසියම් වන වගාවක් ලෙස සංවර්ධනය වූ ඉඩමක් හරහා යන බව පෙනේ. නිකවටන ගම අසලදි එම මාර්ගය වැටී තිබූ ප්‍රදේශය මේ වන විට කුඹුරු ඉඩම් වලට ඉඩදී අතුරුදහන් වී ඇත. පොල්අත්තාවේ සිට නිකවටන ගමට ඇති වර්තමාන මාවත ඇලහැර ඇල ලෙස Google Map වල දැක්වෙන ඇල මාර්ගයකට සමාන්තරව තනා ඇති නව මාවතකි. .
සීගිරිය-වෑවල වැව ගුරු පාරේ සිට පෙයික්කුලම් වැව දක්වා වැටී ඇති මාර්ගය (Google Street View)

පෙයික්කුලම් වැව සහ එහි සිට සීගිරිය-වෑවල ගුරු පාරට වැටී ඇති පැරණි මාවත

පෙයිකුලම් සිට නිකවටවන දක්වා පොල්අත්තාව හරහා පැරණි මාවත කළු පාටින්ද වර්තමාන මාවත් නිල් පාටින්ද සලකුණු කර ඇත.
මැයි 13 වන දින පස්වරු 2 ට නිකවටවනින් පිටත් වන පයිබස් පස්වරු 3.30 පමණ වන තුරු වනාන්තරය මැදින් ඇති මාර්ගයක ගමන් කර නැවත දෙපසින් සහ ඉදිරියෙන් කඳු වලින් වටවූ විවෘත භූමියකට පැමිණේ. එම කුඩා විවෘත භූමිය අවසානයේ නැවතත් වනාන්තරයට ඇතුළු වී ප.ව. 3.45 ට පමණ ප්‍රධාන පාරින් කුඩා අතු පාරක් ඔස්සේ ගොස් යාර 50-60 පමණ දුරකදී ඔහු වෙනුවෙන් පොල් අතු වලින් තැනූ මඩුවක එදින රැය ගත කරයි. පයිබස් පවසන පරිදි Gonargy නමින් හැඳින්වූ එම ප්‍රදේශයේ වෙනත් වාසස්ථානයක් ඇති බවට කිසිදු සලකුණක් තිබී නොමැත. පසුදිනද එම ස්ථානයේම නැවතී සිටින පයිබස් නැවත ගමන් අරඹන්නේ මැයි 15 වන දිනය.
සිතියම 2
Gonargy ලෙසින් පයිබස් සඳහන් කරන ස්ථානය ගෝනවල ලෙස හඳුනාගත හැක. ඒ අනුව නිකවටවන සිට ගෝනවලට වැටි ඇති පැරණි අඟලේ සිතියම් වල දැක්වෙන මාර්ග දෙකක් ඉහත සිතියම 2 සලකුණු කර ඇත. මේ වන විට වනාන්තරය එලි වී ඇතිමුත් පයිබස් සඳහන් කරන දෙපසින් සහ ඉදිරිපසින් කඳු වලින් වටවූ භූ දර්ශනය විවෘත භූමියකදී මෙම මාවත් දෙකෙහිම යනවිට දැකීමේ හැකියාව ඇත. කෙසේ නමුත් පැරණි මාවත එම මාවත් දෙකටම වඩා තව දුරටත් නැගෙනහිර දෙසට බරව ගෝනවල දෙසට යොමුවී තිබෙන්නට ඇත (සිතියම 3 බලන්න) ජනාවාස වීමත් සමග මෙම ප්‍රදේශයේ මේ වන විට දැකිය හැකි මංමාවත් (පැරණි අඟලේ සිතියම් වල දැක්වෙන මාවත් පවා) පැරණි මාර්ග ලෙස හඳුනාගැනීමට යෑම එතරම් නිවැරදි නොවිය හැක. කෙසේ වෙතත් පයිබස් ගෝනවල ගමට නොගිය බව ඔහුගේ විස්තරයෙන් පෙනෙන බැවින් බොහෝවිට ඉහත දුඹුරු පාටින් සලකුණු කර ඇති මාර්ගයේ ගෝනවලට ආසන්න කිසියම් තැනක ඔහු නවාතැන් ගත් බව අනුමාණ කල හැකිය. එසේම ගමනේ මේ කොටසේදී දිය පාරක් හරහා ගිය බවක් ඔහුගේ විස්තරයේ නොමැති බැවින් එම නිගමනය වඩාත් තහවුරු වේ.
සිතියම 3
ගෝනවල සිට ගමන් මග කඳුකර මගක් වූ බව පයිබස් පවසයි. Wurmavaley (වල්ගම් වැව?)  නම් වූ ගමකට අයත් කුඹුරු යායක් අතරමගදි හමුවේ. එම ගම ඔවුන් ගමන් කල මාර්ගයේම පසෙක කැලය තුල වූ බැවින් ඔහුට දැකගැනීමට හැකි වී නැත. සවස 1.30 ට සහ නැවතත් 2 ට පමණ දිය පාරවල් හරහා ගිය බවත්, ඒවා කඳූ මුදුන් වලින් පටන් ගන්නා බවත් පවසන පයිබස් නැවතත් පස්වරු 3.30 ට පමණ ගල් වලින් සැකසූ බැම්මක් මගින් ජලය රඳවා තැබූ ස්ථානයක වූ දිය කඳුරක් මතින්ද ගමන් කල බව පවසයි. එම ස්ථානයේ වූ අඩි 12 පමණ උස ගල් කණු හතරක් මත සෙවිලි කල වහලයක් ඇතිව ඉදි කල අම්බලමක් පිළිබඳව විස්තර කරමින් පයිබස් පවසන්නේ එවන් ආකාරයේ ගොඩනැගිල්ලක් ඔහු මේ ගමනේදී දුටුවේ පළමුවරට බවය.
ගෝනවල සිට නාඋලට පැරණි මාර්ගය
ගෝනවල පෙදෙසේ සිට වර්තමාන මහනුවර-යාපනය A9 මාර්ගයේ නාඋලට වැටෙන මාර්ගයක් පැරණි අඟලේ සිතියම් වල සලකුණු කර ඇත. 1822 දී Schneider නම් වු ඉංග්‍රිසි මිනින්දෝරුවා පිළියෙල කල සිතියමකද එම මාර්ගය තිබී ඇත. මින්නේරිය වැවේ සිට පෙයික්කුලම් වැව-මකරයාවල-නිකවටවන-ගෝනවල-ඇරෑවුල-කලෝගහඇල වැව- වල්ගම් වැව-නයාකුඹුර-කරවිලහේන හරහා එම මාර්ගය නාඋලට තිබී ඇත. පයිබස් ගමන් කරන මාර්ගයද බොහෝ දුරට මෙම මාර්ගයම බව ඉහත ලිපි වලින්ද පෙන්වා දුන් ස්ථාන නාම සහ මෙම ග්‍රාම නාම ලේඛනය සසදා බැලීමේදි වැටහි යනු ඇත.
නිකවටවන සිට නාඋල දක්වා උපකල්පිත පැරණි මාර්ගය
මේ මාර්ගය ස්ථාන දෙකකදී දඹුළු ඔයේ ශාඛාවන් දෙකක් හරහා යන බැවින් පයිබස් පවසන පැය භාගයක කාලාන්තරයක් තුල ඔහු තරණය කල දිය පාරවල් දෙක ඒවා වීමට පුළුවන. එසේම ඔහු සඳහන් කරන අමුණද දඹුළු ඔයේ කිසියම් ස්ථානයක වූ අමුණක් විය හැක.
ඉහත විස්තර වූ ගෝනවල-නාඋල පැරණි මාර්ගයේ වම් පසින් පිහිටි කඳු පංතිය
නැවත මාර්ගයේ ගිණිකොණ දෙසින් හමුවූ කුඹුරු, නාඋල (Navelly) නම් ගමකට අයත් නමුත් ඒ ගම ඔහුට සිය ගමන් මගේ හමු නොවූ බව පයිබස් පවසයි. වේගයෙන් ගලන ජලය සහිත නාලන්ද ඔය (Nawlundy) නම් වූ ඔයක් හරහා අනතුරුව පයිබස් ගමන් කරයි. එහි දෙපස වූ ගල් වලට අනුව කිසියම් ආකාරයක පාලමක් එහි තිබී ඇති බව ඔහු අනුමාණ කරයි. එතැන් සිට සැතපුම් 1.5 පමණ ගිය විට කඩවත(Cravetty) නම් ගම හමුවේ. එම ගම ගෙවල් සියයකට වඩා ඇති ජනාකිර්න වූ ගමක් ලෙසය පයිබස් හඳුන්වන්නේ.

පස්වරු 5.45 ට පමණ එම ස්ථානයට පැමිණි බවත් එහි කිසියම් ආකාරයක මුර පොලක් වැනි තැනක් හරහා ගිය බවත්, එහි එක් පසක මඩ වලින් තැනූ බිත්තියක්ද අනිත් පස කුඩා ගෙවල් 2-3 ක්ද තිබූ බවත්, කෙසේ එම ස්ථානයට පැමිණියාදැයි කිව නොහැකි කාලතුවක්කුවක්ද (Iron 3-Pounder) එහි වූ බවත් බොහෝවිට එය පෘතුගීසීන් තෑගි කල එකක් විය හැකි බවත් ඔහු පවසයි. එහි සිටි පුද්ගලයන් පයිබස්ට පවසන්නේ එවන් කාලතුවක්කු තවත් 2 එහි තිබූ බවත් ඒවා ඕලන්දයන් හා සටන් කිරීම පිනිස රැගෙන ගිය බවත්ය.

පයිබස්ගේ ගමන් විස්තරය සංස්කරණය කල රේවන් හාර්ට් මහතාට මෙම කඩවත තිබූ ප්‍රදේශයේ වැසියන් (එම ප්‍රදේශය දැනටද කොටගොඩැල්ල [නිවැරදි වචනය කොටුගොඩැල්ල විය යුතුයි] ලෙසින් හඳුන් වන බව රේවන් හාර්ට් පවසයි.) පවසා ඇත්තේ එම කාලතුවක්කුව මාතලේ උද්‍යානයේ දැනට ඇති බවයි. මාතලේ V.T. නානායක්කාර උද්‍යානයේ ඇති කාලතුවක්කුවේ දැනට එය තබා ඇති සිමෙන්ති පාදමේ 'Nalanda 1762' ලෙස කොටා ඇති මුත් (මේ සමග ඇති ඡායාරූපය බලන්න.) එය ඉහත කී නාලන්ද කොටුවේ තිබී ගෙන ආ කාලතුවක්කුවමදැයි තව දුරටත් විමසා බැලිය යුතුය. 1762 යන වර්ෂය ගැන සැලකීමේදී පෙනී යන්නේ පයිබස්ගේ 1762 වාර්තාව පදනම් කරගෙන එම වර්ෂය කාලතුවක්කුවට ආදේශ කර ඇති බවය.
මාතලේ V.T. නානායක්කාර උද්‍යානයේ ඇති කාලතුවක්කුව. මෙය නාලන්ද කොටුව තිබූ ස්ථානයේ සිට ගෙන ආ බව පැවසේ.
මේ කොටසේදී පයිබස්ගේ ගමන් මග වර්තමාන මහනුවර - යාපනය A9 මාර්ගය ඔස්සේ වැටී ඇති බව පෙනේ. නාලන්ද ඔය පසු කල විට ඔහුට හමුවන්නේ එම මාර්ගයේ පැමිණ කන්ද උඩරටට ඇතුළු වන/පිටවෙන පුද්ගලයන් පිළිබඳව තොරතුරු රැස් කිරීම උදෙසා තිබූ කඩවත බව පැහැදිලිය. එහෙයින්ම එම ප්‍රදේශයේ පිහිටි ගම්මානයද කඩවත යන නමින් හැඳින්වී ඇත. පහත රූපයේ කඳු පිහිටීම අනුව එම ස්ථානයේ ඇති උපායමාර්ගික වැදගත්කම අවබෝධ කරගත හැක.
මැයි 16 වන දින පයිබස්ගේ ගමන යෙදී තිබූ කඩවත සිට ඉදිරියට යන කඳුකර මාර්ගය දෙපස තිබූ ගම් ඔහුට දැකගැනීමට නොහැකි වුවත් එම පෙදෙස් සැලකිය යුතු ලෙසින් ජනාකීර්න බව ඔහුගේ ගමන බැලීමට මග දෙපස එක් රැස් වූ පුද්ගලයන් ප්‍රමාණය ගැන සැලකීමෙන් වටහාගත හැකි බව පයිබස් පවසයි. සවස 4 පමණ වන විට ඔහු කුඹුරු යායක් අසලින් ගලාගිය Pallahput (පලාපත්වල) නම් වූ ගඟක අතු ගංගාවක් පසු කරයි. එම අතු ගංගාව හරහා වහලය සහිත ලී වලින් සෑදු පාලමක් වූ බව පයිබස් සටහන් කර තබයි. නැවත සවස 5 පමණ වන විට Punnamo (පන්නගම) නම් ගමක් පසු කරයි. සවස 5.30 පමණ වන විට නිම්නයක තිබූ කිසියම් වන්දනාමාන කරන ස්ථානයක් අසලින් යෑමේදි ඔහුට දෝලාවෙන් බැස යන ලෙස දැනුම්දුන් බවත් ඔහු කිසි විරෝධයක් නොදක්වා එයට එකඟ වූ බවත් පයිබස් පවසයි. නමුත් එහි විශාල ගස් කිහිපයක් සහ ඒවා යට තබා තිබූ ගල් කැබැලි කිහිපයක් විනා ඔහු බලාපොරොත්තු වූ අන්දමේ කදිම පැගෝඩාවක් (දාගැබක්) හෝ වෙනත් එවැනි ගොඩනැගිල්ලක් දක්නට නොමැති වීමෙන් පයිබස් විශ්මයට පත්වේ. පස්වරු 5.45 ට පමණ ඔවුන් එදින ඔවුන්ගේ නවාතැන වූ Oulang Gamee (හුලංගමුව) වෙත ලගාවේ. හුලංගමුව යනු ජනාකීර්න  කදිම විශාල ගම්මානයක් බව පයිබස් පවසයි.
ඉහත හඳුනාගැනීම අනුව තවදුරටත් පයිබස් ගමන් කරන්නේ වර්තමාන A9 මාර්ගය ඔස්සේ එවකට තිබූ මාවතක බව පැහැදිලි වනු ඇත. පන්නගම සහ හුලංගමුව වර්තමාන මාතලේ නගරයට බටහිර දෙසින් වූ ප්‍රදේශ වේ. මාතලේ නොහොත් මහතලා ලෙසින් එවකට හැඳින්වූයේ රටක් හෙවත් විශාල ප්‍රදේශයක් විනා නගරයක් නොවේ. වර්තමාන මාතලේ නගරය පසු කාලයකදි ඉදි වී ඇත.
මැයි 17 වන දින පෙ.ව. 10.20 ට හුලංගමුවෙන් පිටත් වන පයිබස් සැතපුමක පමණ දුරකදි සරුසාර කුඹුරු යායක් පසු කර, Pulang Gamee නම් වූ ගඟක ශාඛාවක්ද පසු කරයි. පැහැදිලිවම Pulang Gamee යනු හුලංගමු යන නම ඇති ඔයක් විය යුතුය. එම ඔය හරහා කැටයම් කපා තිබූ ලී පාලමක් තිබී ඇත. පෙර මෙන්ම වැසියන්ගේ නිවාස මග දෙපස වූ ගස් වලට මුවා වී සැඟවී තිබුනද මෙම ප්‍රදේශයද බෙහෙවින් ජනාකීර්න බව ඔහුගේ ගමන බැලීමට මග දෙපස රැස්වූ ජනතාව දෙස බැලූ විට වටහා ගත හැකි බව පයිබස් පවසයි. කඳුකර මගක් වූ බැවින් මෙම ගමනේදී බොහෝවිට පයිබස්ට දෝලාවෙන් බැස පා ගමනින් යෑමට සිදුවී ඇත. අතරමගදී ඔහුට පාරේ නැගෙනහිර දෙසින් සැතපුම් 10 පමණ ඈත තිබෙන සුන්දර දියඇල්ලක් දැකගැනීමට හැකිවේ. මධ්‍යහ්න 12 පමණ වන විට ගමනේ බෑවුම් අධිකම කන්ද තරණය කල බවත් ඇවිදිනවාට වඩා එය දණගාගෙන යාමක් වූ බවත් පයිබස් පවසයි. කෙසේ නමුත් 12.30 පමණ වන විට එහි මුදුනට ලගාවීමට ඔහුට හැකිවේ. එම කඳු මුදුනින් මහතලා දිස්ත්‍රික්කය (Mathili District) සහ හාරිස්පත්තු දිස්ත්‍රික්කය (Hawseput District) වෙන්වන බව ඔහුට දැනගැනීමට හැකිවේ. ප.ව. 3.45 ට පමණ ඔහු එදින ගමනාන්තය කරා ලඟාවේ. එහි ඔහු වෙනුවෙන් 200 දෙනෙකුට වුවද නවාතැන් ගැනීමට හැකි පරිදි ඔහුට සහ ඔහුගේ සේවකයන්ට සිටීමට සහ ගමන් මළු තැබීම සඳහා වෙන වෙනම කාමර සහිත ගොඩනැගිල්ලක් තාවකාලිකව තනා තිබී ඇත. එම නිවස ඔහු වෙනුවෙන් සෑදීම සඳහා මහනුවර සිට රජු එවා තිබූ නිලධාරියාද ඔහුට එහිදී හමුවේ. ඔහු එදින නවාතැන් ගත් එම ස්ථානය Canvetty ලෙසින් හැඳින්වුන බව පයිබස් පවසයි.
මැයි 18 වන දින පෙ.ව. 11.40 ට ගමන් අරඹන පයිබස් හට එතැන් සිට යෑමට සිදුවූ මාර්ගය බෙහෙවින්ම කඳු පල්ලම් සහිත බවත්, දෝලාවෙන් යාම බෙහෙවින්ම දුෂ්කර වූ බවත් ඔහු සිය ගමන් විස්තරයේ සටහන් කර ඇත. මෙම මග බොහෝ කඳු මුදුන් වල වන ආවරණය ඉවත් කර ඇති බවත්, ඒවා  හරකුන්ට කෑම සඳහා අවශ්‍ය තණකොල වලින් වැසී ඇති බවත් හෙතෙම සඳහන් කරයි (මෙම ප්‍රදේශයේ ඇති පතන් බිම් පිළිබඳ පයිබස් මෙහිදි අදහස් කරන බව පෙනේ.). එසේම නිම්න භූමි සරුසාර ලෙස වගා කර ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. සවස 2 පමණ වන විට ඔහු ගං ඉවුර අසලට ලඟාවේ. එහිදි ශාක වැස්ම නැවතත් ගනව වැවී ඇති බවත්, එතැන් සිට තව දුරටත් ගමන් කර අවසානයේ ප.ව. 3 පමණ වන විට බෙහෙවින් බෑවුම සහ  ගල් සහිත කන්දක් (Steep Stoney Hill) තරණය කල විට එහි අනික් පස ජෙනරාල් (දිසාවේ වරයෙකු) ඔහු හමුවීම සඳහා පැමිණ තිබූ බවත් පයිබස් සඳහන් කරයි. ඉක්බිති ඔහුව ගඟේ සිට යාර 100 ක පමණ දුරින් ගන්නොරුවේ (Gunnoor) වූ ඔහුට රජු හමුවීම සඳහා අවසර ලැබෙන තෙක් සිටීමට වෙන් කර තිබූ නිවස වෙත රැගෙන යයි.

පයිබස් ඉහත විස්තර කරන තොරතුරු අනුව හුලංගමුවේ සිට ඔහුගේ ගමන් මග වැටී තිබූ වෙල් යාය මාතලේ නගරයට දකුණින් සහ නිරිත දෙසින් අදද දැකිය හැකි වෙල් යාය විය යුතුය. හුලංගමු ඔය ලෙසින් ඔහු හඳුන්වන්නේ මේ ප්‍රදේශය හරහා ගලා බසින සුදු ගඟේ ශාඛාව වේ. ඉන්පසු ඔහු අපහසුවෙන් තරණය කරන දුර්ගය බලකඩුව දුර්ගයයි. ඉන්පසු ගං ඉවුර අසලට පැමිණි බව පවසන්නේ කටුගස්තොට අසලදි මහවැලි ගඟ අසලට පැමිණීමයි. අතර මගදී ඔහු වෙනුවෙන් ඉදි කල විශාල නිවස පිහිටි Canvetty හඳුනාගත නොහැක. කහවත්ත ලෙසින් රේවන් හාර්ට් මහතා එය කියවන මුත් ඔහුම පවසන පරිදි එවන් ගමක් අද පවතින්නේ මාතලේ-මහනුවර මාර්ගයට බටහිරට වන්නට පිහිටි වෙනත් මාර්ගයකය. කටුගස්තොට සිට ගන්නෝරුව දක්වා යාමේදී පයිබස් හට හමුවන බෙහෙවින් බෑවුම් සහිත ගල් සහිත කන්ද හල්ඔලුව කන්ද විය හැක.

මූලාශ්‍ර
  • The Pybus Embassy to kandy, 1762, Transcribed with notes by R. Raven-Hart, Editor, P.E.P. Deraniyagala, Reprinted 2001

Sunday, March 18, 2018

පයිබස්ගේ ගමන් විස්තරය 1 - මුතූර් සිට පංගුරාණට

වර්ෂ 1762 දී මදුරාසියේ සිට ඉංග්‍රීසි පෙරදිග ඉන්දීය සමාගමේ (English East India Company) නිලධාරින් පිරිසක් කන්ද උඩරට  කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ රාජ සභාවට දූත ගමනක යෙදුනේ රජු සමග ගිවිසුමකට එකඟවීම සඳහා සාකච්චා කිරීමටය. එම දූත පිරිසේ නායකත්වය මදුරාසි කවුන්සිලයේ සාමාජිකයෙකු වූ (A member of the Madras Councilජෝන් පයිබස් (John Pybus) හට හිමිවූ අතර ඔහු 1762 මැයි මස 5 වන දින ත්‍රිකුණාමලය වරායේ සිට ගමන් අරඹා, දින 13 ක දුෂ්කර ගමනකින් පසු ගන්නෝරුවට ලඟා වේ. ඒ වන විට මෙරට මුහුදු බඩ ඇතැම් ප්‍රදේශ ලන්දේසීන්ගේ පාලනය යටතේ පැවතුන අතර ලන්දේසින් මෙරටින් පලවා හැරීමට ඉංග්‍රීසින්ගේ මිත්‍රත්වය හරහා යුද ආධාර ලබාගැනීම රජුගේ අරමුණ වුවද, ලන්දේසීන් සමග යුද නොවදින තීරණයක සිටි ඉංග්‍රීසින් එම ඉල්ලීමට ඒ වන විට එකඟ විය හැකි තත්වයක සිටියේ නැත. කෙසේ නමුත් පයිබස්ගෙ දුත ගමන සඳහා ඇරැයුම ඉදිරිපත් වන්නේ මෙරට සිට මදුරාසියට ගිය රජුගේ නියෝජිතන් මගින් වන අතර පයිබස්ගේ දූත ගමන රාජ්‍යතාන්ත්‍රික මිත්‍ර ගිවිසුමකට එලඹීමට වඩා මෙරට තොරතුරු එකතු කර ගැනීම සඳහා වූ ඔත්තු සේවා ගමනක් කර ගැනීම පෙරදිග ඉන්දීය සමාගමේ අරමුණ වූ බව පෙනේ.

කෙසේ නමුත් පයිබස් මෙරටදී ඔහුගේ ක්‍රියාකාරකම්, ඔහු දුටු දේ මෙන්ම ත්‍රිකුණාමලයේ සිට ගන්නෝරුව දක්වා සිය ගමන් විස්තරය සටහන් කර තැබූ අතර එහි සඳහන් වන දෑ එම යුගයේ මෙරට සමාජ ආර්ථික තත්වයන්, රාජ සභාවේ සිරිත් විරිත් මෙන්ම ත්‍රිකුණාමලයේ සිට මහනුවර දක්වා වූ ගමන් මාර්ගය පිළිබඳවද වූ අගනා තොරතුරු එකතුවක් ලෙස සැලකිය හැක. මෙම ලිපි පෙලින් ත්‍රිකුණාමලයේ සිට ගන්නෝරුව දක්වා වූ ඔහුගේ ගමන් විස්තරයේ අඩංගු වැදගත් කරුණු ඉදිරිපත් කිරීම සහ ඒ මගින් එම පුරාණ මාර්ගය නැවත මතු කර ගැනීමට උත්සාහ කරණු ලැබේ.

මැයි 5 දින උදෑසන 3 ට සිය නැවෙන් පිටත් වන පයිබස් පෙරවරු 5.15 ට පමණ කොට්ටියාර් ගඟේ (Cottiar River) මෝයේ සිට සැතපුමක් පමණ ඇතුලතින් වූ මුතූර් (Moodoore) ගම්මානයට පැමිණේ. ඔහු සඳහන් කරන පරිදි මෙම ගමද අයත් වන මුළු ප්‍රදේශයම කොට්ටියාර් ලෙස හැඳින්වෙන අතර එහි මුලෑදෑනින් තුන් දෙනෙකුට (Head Men) අයත් ගම් 64 ඇති අතර ඔවුන් මහනුවර (Candia) වසන සිය ප්‍රධානියා (General) වෙනුවෙන් එම ගම් පාලනය කරයි. ගම් වැසියන් චෝලියාර් සහ මලබාර් (Choliars & Malabars) වරු වූ බව පයිබස් වැඩිදුරටත් සඳහන් කරයි (චෝලියාර් සහ මලබාර්වරු ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට Link>>). ඉංග්‍රිසීන් එනවිට නැගෙනහිර පළාතේද තිබුනායැයි දෙමළ ජාතිවාදීන් පවසන ඊණියා දෙමළ රාජ්‍යය මිත්‍යාවක් බව පයිබස්ගෙ ගමන් විස්තරයෙන්ද පැහැදිලි වන්නේ General who resides at Candia ලෙස පයිබස් හඳුන්වන කොඩ්ඩියාර් පත්තුව පාලනය කල දිසාවේ වරයා මහනුවර සිටි රජු යටතේ ඔහු වෙනුවෙන් සේවය කල බව එමගින්ද පැහැදිලි වන හෙයිනි. (කඩයිම් පොත් වල කොටසර රට ලෙසත් මහාවංශයේ අවස්ථා කිහිපයකදීම කොට්ටිවාල/කොට්ටසාර ජනපදය ලෙස හැඳින්වෙන්නේත් මෙම ප්‍රදේශය ලෙස හඳුනාගෙන ඇත.)
සිතියම 1
පෙරවරු 6 පසුවී විනාඩි 40 ට ඔහුට මග පෙන්වීමට පැමිණ සිටි බලයලත් පුද්ගලයා (Vackeel) සමගින් ගමන් අරඹන පයිබස් කැලෑබද පාරක් හරහා ගමන් කර පෙරවරු 8.30 ට පමණ පෙරියවෙල්ලී (Perriavelly) නම් වූ කුඩා ගම්මානයට පැමිණෙන්නේ ඔහු පවසන පරිදි සැතපුම් 7 ක ගමනකින් පසුවය. මෙය දැනට මුතූර් සිට සැතපුම් 4.5 පමණ දුරින් ඇති පෙරියවේලි (Periaveli) ප්‍රදේශය ලෙස හඳුනාගත හැක. (සිතියම 1 සහ 2 බලන්න) . එතැන් සිට සැතපුම් තුන්කාලක් පමණ ගිය තැන Malledeve නම් වූ ගම්මානයක් හරහා යන පයිබස් Malledeve සිට සැතපුම් 4 ක දුරින් වූ Meangamo ගම්මානය පසු කර පෙරවරු 11 ට Clevetty නම් වූ ගම්මානයට පැමිණේ. Malledeve ලෙස හැඳින්වෙන ගම්මානය වර්තමානයේ මල්ලිකායිතිව් (Mallikaitivu) ලෙසද, Meangamo, මෙන්කාමම් (Menkamam) ලෙසද Clevetty  කිලිවෙඩ්ඩි (Kiliveddi) ලෙසද හඳුනාගත හැක. කෙසේ නමුත් පයිබස් සඳහන් කරන දුර ප්‍රමාණයන් වල යම් යම් වෙනස් කම් ඇත. මල්ලිකයිතිව් ගම්මානයට ඔහු සඳහන් කරන දුර නිවැරදි මුත් මෙන්කාමම් සහ කිලිවෙඩ්ඩි පිළිවෙලින් සැතපුම් 2 (මල්ලිකයිතිව් සිට) සහ සැතපුම් 1 (මෙන්කාමම් සිට) දුරින් පිහිටා ඇත. 
මෙම ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී ගම්වැසියන් විසින් ඔහුට බත්, කුකුලන් සහ වෙනත් දෑ සැපයූ අතර එය රජුගේ නියමයෙන් ඔහු හමුවීම සඳහා පැමිණෙන වැදගත් පුද්ගලයන්ට ඉටු කල යුතු රාජකාරියක් බවත් ඔහුගේ මුළු ගමන පුරාම එය එසේ සිදුවනු ඇති බවත් ඔහුට දැනගැනීමට හැකිවූ බවත් පයිබස් සඳහන් කරයි. සුදු තිර රෙදි වලින් සැරසූ කුඩා මලබාර් නිවසක එදින පයිබස් රැය ගත කරන අතර එසේ තිර රෙදි එලීම වැදගත් ප්‍රභූ පුද්ගලයන්ට ගෞරවයක් ලෙස මේ රටේ ඉටු කරන බවත් ඔහු පවසයි. 
සිතියම 2
පසු දින උදෑසන 5 ට පමණ ඔහුගේ පල්ලැක්කිය ඔසවාගෙන යෑමට යෙදවූ අලුත් පිරිස සමග ගමන් අරඹන පයිබස් කිලිවෙඩ්ඩි සිට සැතපුමක් පමණ ගොස් කැලෑව තුලට ඇතුළු වන අතර පෙරවරු 10.30 ට පමණ කොට්ටියාර් දිස්ත්‍රික්කයේ මායිම වන මහවැලි ගඟ (Mavalay Ganga River) අසලට පැමිණෙන තෙක්ම අතහැර දැමූ Temmungalay නම් වු එක් කුඩා ගම්මානයක් මිස වෙනත් කිසිදු ජනාවාසයක් නොදුටු බව පවසයි. (මෙම ගම්මානය අද වනවිට හඳුනාගත නොහැක.) දහවල් 12 වනතුරු ඔහුගේ ගමන් මළු ආදිය ඔසවාගෙන යෑමට ගඟෙන් එතෙර පලාතෙන් යොදවා සිටි මිනිසුන් එනතෙක් බලා සිටින පයිබස් හට එම ප්‍රදේශයේ මුලෑදෑනින්ගේ පණිවුඩකරුවෙන් පැමිණ පවසා සිටින්නේ ඔවුන්ට අවශ්‍ය කරන මිනිසුන් එකතු කරගැනීමට නොහැකි වූ බැවින් කොට්ටියාර් පලාතේ මිනිසුන්ටම ඔහුව ගඟින් එගොඩ කර ගෙන එන ලෙසය. එයට එකඟ වන ඔවුන් ඔහුව සොන්ගාවැලි (Songa Valley) දක්වා රැගෙන යයි. එය වර්තමානයේ සුංගාවිල ලෙස හැඳින්වෙන ප්‍රදේශය ලෙස පහසුවෙන් හඳුනාගත හැක. 
කන්දකාඩු අසලදී මහවැලි ගඟ
ගඟෙන් එගොඩ වූ තැන් සිට සැතපුම් 2.5 ක දුරින් එම ගම වූ බව පයිබස් පවසයි. (පයිබස් මහවැලි ගඟ තරණය කල ස්ථානය බොහෝදුරට කන්දකාඩු තොටුපොල විය හැකි බවය ඔහුගේ ගමන් විස්තරය සංස්කරණය කර පල කල රේවන් හාර්ට් (R. Raven-Hart) අනුමාණ කරන්නේ). සුංගාවිල ගමේ ගෙවල් පහ හයකට වඩා නොවූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි. Tommangany (තමණ්කඩුවලෙස හැඳින්වූ සුංගාවිල ගමද අයත් වන මෙම ප්‍රදේශයේ සිංහල ජනයා (Chingalese) විසූ බවත් එහි ගම්මාන 60 ක් වූ බවත් ඔහුට දැනගන්නට ලැබී ඇත.
සුංගාවිල-සෝමාවතී මාර්ගය 2008
පසුදින (මැයි 7) පෙරවරු 11.45 ට සුංගාවිලෙන් ගමන් අරඹන පයිබස් පෙරදින පැමිණි මාර්ගයේම සැතපුමක් පමණ ආපසු ගමන් කර ඔහුගේ ගමනාන්තය යෙදී ඇති දිශාවට වැටී ඇති මාර්ගයට අවතීර්ණ වී, කැලෑව මැදින් සැතපුම් 3.5 ක් පමණ ගමන් කර මාර්ගයේ දකුණු පසින් වූ අඩම්බන් (Adambun) නම් වූ කුඩා ගම්මානයක් පසු කරයි. එම ගමේ ගෙවල් 4-5 කට වඩා නොවූ බවය ඔහුගේ අදහස. මෙය අඩම්පන් කුලම් (Adampan Kulam) ලෙස වර්තමානයේ හැඳින්වෙන ගම්මානය ලෙස හඳුනාගත හැක. එතැන් සිට සැතපුම් 6-7 පමණ නැවතත් කැලෑව මැදින් මාර්ගය වැටී තිබූ බවත් ඉන්පසු වගා නොකල විශාල තැනිතලා බිම් හරහා වැටි තිබූ මාර්ගයක අවසානයේ පස්වරු 5 ට පමණ Ridduvily (හඳුනාගත නොහැක.) නම් වූ සරුසාර කුඹුරු යායක් සහිත ගෙවල් 6-7 පමණ වූ  ගම්මානයක් පසු කල බවත්, එතැන් සිට මාර්ගයේ දෙපසට වෙනත් ගම්මාන වලට යන පාරවල් දැකිය හැකි වූ බවත් පයිබස් සඳහන් කරයි. හිරු බැස යන වේලාව වන විට ඔහු චෝලියාර්වරු (Choliars) වෙසෙන පන්ගරනෙයි(Pangaraney)  නම් වු ගම්මානයකට ලඟාවේ. පන්ගුරාණ(Pangurana) ලෙසින් වර්තමානයේ හැඳින්වෙන ගම්මාන දෙකක්ම මෙම ප්‍රදේශයේ හමුවන මුත් ඒ ආශ්‍රයෙන් පැරණි මාවත හඳුනාගැනීම තරමක් දුෂ්කරය. පයිබස් සඳහන් කරන Pangaraney මෙම එක් ගමක් විය හැක.
සිතියම 3
කෙසේ නමුත් පයිබස් වැඩිදුරටත් සඳහන් කරන්නේ නිවාස 10 ක් පමණ වූ මෙම Pangaraney ගම්මානය අසලින් Cowdaly ගඟේ ශාඛාවක් ගලා ගිය බවය. අප ඉහත සඳහන් කල එක් පංගුරාණ ගමක් අසලින් වර්තමානයේ කහඹිලියා ඔය ලෙසින් හැඳින්වෙන කවුඩුලු ඔයේ ශාඛාවක් ගලා යන බැවින් සහ පයිබස් සඳහන් කරන Cowdaly නිසැකවම කවුඩුලු ඔය ලෙස හඳුනාගත හැකි බැවින්, ඔහු සඳහන් කරන Pangaraney, සුංගාවිලට උතුරු දෙසින් සැතපුම් 3 පමණ දුරින් වූ පංගුරාන ලෙස හඳුනාගත හැක. එහෙත්මෙම දිනය තුල පයිබස් ගමන් කල මුළු දුර සැතපුම් 21 ලෙස සඳහන් වෙන හෙයින්. සහ අඩම්පන්කුලම් නම් ප්‍රදේශයක් පසු කල බව පවසන හෙයින් සිතියම 2 දැක්වෙන ලෙසින් ඔහු පාර වැරදී දිගු දුරක් වෙනත් දෙසකට ගිය බවක් හැඟි යයි. 
පංගුරාණ ගම සහ ඒ අසලින් ගලා යන කවුඩුලු ඔයේ අතු ගංගාව- කහඹිලියා ඔය
Pangaraney ගමෙහි එදින රැය ගත කරන පයිබස් හට දැනගන්නට ලැබෙන පරිදි එම ගමේ සිට මඩකලපුවට (Battacola) දවසේ උදෑසනම නික්මෙන පුද්ගලයෙකුට පසු දින හවස් වන විට එහි ලඟා විය හැක. සුංගාවිලෙන් පැමිණි පුද්ගලයන් ආපසු ගොස් ඇති බැවින් ඔහුගේ පල්ලැක්කිය සහ ගමන් මළු ඔසවාගෙන යෑමට යෙදවූ වෙනත් පුද්ගලයන් පැමිනෙන තෙක් පයිබස් පසු දිනද (මැයි 8) එම ගමෙහිම නැවතී සිටි. පංගුරාණ ගමෙහි සිට පයිබස් ගිය ගමන් මග අප ඉදිරි ලිපියකින් විමසා බලමු.

මූලාශ්‍ර
  • The Pybus Embassy to kandy, 1762, Transcribed with notes by R. Raven-Hart, Editor, P.E.p> Deraniyagala, Reprinted 2001
  • කඩඉම්පොත් විමර්ශනය, H. A. P. අභයවර්ධන, 1996.