Showing posts with label Amban ganga. Show all posts
Showing posts with label Amban ganga. Show all posts

Thursday, November 22, 2018

වනමැද පිහිටි බුදුරුවක් සොයා අත්තරගල්ලෑවට

ජුනි 2 වැනි දින නාලන්ද සිට සියළු ගමන්බඩු කරත්තයකට පටවා ගෙන සැතපුම් 4 ක දුරින් වූ නාඋල දක්වා පිටත්වූවෙමි. නාඋල සිට ඇලහැරට යාමට පෙර ගමන් මළු වලින් අඩක් නාඋල ආරක්ෂා සහිත ස්ථානයක තැබූවේ ගමන වඩාත් පහසු කරගැනීම උදෙසාය.  නාඋල සිට ඇලහැර දක්වා මාර්ගය අධික බෑවුම් ඇති කඳු පල්ලම් වලින් යුක්ත දුෂ්කර මාර්ගයක් විය. දවස නිමා වන විට අපට යා හැකි වූවේ නාඋල සිට සැතපුම් 6 ක දුරින් වූ කෝන්ගහවෙල දක්වා පමණි. පසුදින උදෑසනම ගමන් අරඹා මධ්‍යහ්නය වන විට කෝන්ගහවෙල සිට සැතපුම් 8 ක් දුරින් වූ ඇලහැරට ලගාවීමට හැකිවිය. එතැන් සිට නිසි කරත්ත පාරක් නොවූ හෙයින් අත්තරගල්ලෑව දක්වා යාමට සිදුවූවේ පා ගමනිනි. ඇලහැර සිට සැතපුම් භාගයක පමණ දුරකදී අඹන් ගඟින් එතෙර වී පස්වරුව වන විට අත්තරගල්ලෑවට ලඟාවීමට හැකිවිය.
සංරක්ෂණය කර ඇති ස්ථූපය- බුදුරුවයාය
අත්තරගල්ලෑව බොහෝවිට වඳුරු මස් බුදිමින් දිවිගෙවන වෑරුණු පෙනුමින් යුත් ප්‍රාණීන් වෙසෙන පැල්පත් 5 ක් පමණක් වූ ගම්මානයකි. ඔවුන් රටේ විවිධ ප්‍රදේශ වලින් කුඹුරු කිරීම සඳහා පැමිණි පුද්ගලයන් වූහ. ඇත්තවශයෙන්ම වර්තමානයේ මුළු ගම්මානයේම විසුවේ පවුල් 3 පමණි. ඔවුන් විසින්ම සෑදු අමුණක් මගින් අඹන් ගඟේ වතුර හරවා කුඹුරු වලට ජලය සපයාගෙන තිබුණි. එහි වෙනත් කිසිදු වගාවක් නොතිබුණි. අවුරුදු 50 කට හෝ මදක් වැඩි කලකට පෙර අත්තරගල්ලෑව මුස්ලිම් මිනිසුන් විසූ සරුසාර ගමක්ව තිබූ බව පැවසේ. වසංගත රෝග උවදුරක් හේතුවෙන් බොහෝ මිනිසුන් මියගිය හෙයින් ඔවුන් ගම අතහැර ගිය පසු එය පාළු ගමක් බවට පත්වී ඇත. ඔවුන් විසූ ප්‍රදේශය දැනට වර්තමාන ගම්වාසීන් විසින් පිළගම්මන ලෙසින් හඳුන්වයි. අපට මග පෙන්වූ මගපෙන්වන්නා ගමේ ආරච්චිලගේ නිවසේ මිදුල මා සහ මා සමග ගිය කුලීකරුවන් හට නවාතැන් ගැනීම සදහා සූදානම් කරන ලදී. රාත්‍රියේ හිටිගමන් කඩාහැලෙන්නට වූ වර්ෂාව හේතුවෙන් අවදි වූ අපට නිවසේ අගුව විනා අන් පිලිසරණක් නොවූයෙන් පහන් වන යාමයේ වර්ෂාව නවතින තුරුම එහි සිටීමට සිදු විය.
සංරක්ෂණය කර ඇති ස්ථූපය- බුදුරුවයාය
පසුදින බුදුරුව පිහිටි ඉසව්ව පිළිබඳව දැනුවත්, කැති ගත් මිනිසුන් දෙදෙනෙකු සමග ගමන් ඇරඹූ අප කෙත් යායක් පසු කර අඹන් ගඟේ දකුණු පස දිගේ ගමන් කලෙමු. කැලෑව තුලින් රිංගා අඹන් ගඟ ඉවුරට පැමිණි පසු නාමල් කුමාර ඇල්ල ලෙසින් හැඳින්වූ ගල්පර සහිත අඩු වතුර ප්‍රමාණයක් සහිත ස්ථානයකින් ගඟ තරණය කර අනෙත් ඉවුරට ලගා වූවෙමු. ගඟ මැද අඩි 3 පමණ පලල් දොරුවක් විය. වතුර අඩු කාලයේදී ගඟ ගලා ගියේ එම දොරුව තුලිනි. එහි ගැඹුර මැන බැලූ මා හට අප පා තබා සිටි ගල් මත සිට අඩි 36 පමණ එම ස්ථානය ගැඹුරු බව පසක් විය. ගල් පරය මත විශාල රවුම් සහ සතරැස් සිදුරු කපා තිබූ හෙයින් එහි අතීතයේ අනෙක් ඉවුරේ වූ මලුවෙයාය දක්වා යාමට පාළමක් තනා තිබූ බව පැහැදිලි වේ. නුදුරෙන් වූ මලුවෙයාය ලෙසින් හැඳින්වූ ස්ථානයේ වනාන්තරයට යාබදව මනා ශෛලමය පොකුණක් විය. එය නශ්ඨාවශේෂ බෙහෙවින් ඇති සුවිසල් ස්ථානයක් බව පැහැදිලිය. එහෙත් එහි නටබුන් පිරිස්සීමට වැඩි කාලයක් මිඩංගු නොකර වනාන්තරය මැදින් වූ අපැහැදිලි අඩි පාර ඔස්සේ බුදුරුව පිහිටි ස්ථානය දක්වා ගමන් කල අපට මිනිසෙකුගේ උසට වැවී තිබූ නෙළු ශාක අතරේ කිහිප වතාවක්ම මග වැරදී එහෙ මෙහෙ යාමට සිදු විය.
බුදුරුවයාය සැතපෙන පිළිමය
පෙරවරු 10 පමණ වන විට අපට බුදුරුව පිහිටි ස්ථානයට ලගාවීමට හැකිවිය. මුළු ප්‍රදේශයම පාහේ නෙළු ශාක වැවී තිබූ අතර වීර, දලුක් වැනි විශාල ගස්ද විය. වන ලැහැබ කපා දමා බුදුරුව මතුකරගත් මුත් එහි චිත්‍රයක් සටහන් කරගනීමට විනා ඡායාරූපයක් ගැනීමට නොහැකි වූවේ ඉදිරිපස වැවී තිබූ විශාල ගස් හේතුවෙනි. මෙම බුදුරුව පොළොන්නරුවේ ගල්විහාර පිළිමයට බෙහෙවින් සමාන මුත් එහි නිමාව පොළොන්නරු පිළිමයේ තරම් උසස් නොවේ. තවද එහි මුහුණ, දකුණු අත සහ පපුව උදරය දක්වා ගිණි තැබීම හේතුවෙන් ගැලවී වැටී ඇත. බුදු රුවට යාර කිහිපයක් බටහිරෙන් දාගැබක්ද ඇති අතර නිදන් සොයන්නන් විසින් එය බිඳ දමා විශාල හානියක් සිදුකර ඇත. බුදු රුවට හානි කල පුද්ගලයන්ම බොහෝවිට එම විනාශයද සිදු කරන්නට ඇත.
බුදුරුවයාය සැතපෙන පිළිමය - උපුටා ගැනීම >1911-1912 පුරාවිද්‍යා පාලන වාර්තාවෙන් 
පසුදින නැවතත අප නැවතී සිටි වාඩියේ සිට අමතරව එක්කරගත් කැති ගත් මිනිසුන්ද යොදවා බුදුරුව අසලට ලඟාවීමට කෙටි මගක් පාදා ගත්තෙමු. හීරටි ඔය ඔස්සේ යන විට සෙල් ලිපියක් කොටා තිබූ ඵලකයක් හමු වූ මුත් එහි අකුරු කියවීමට නොහැකි තරමට බෙහෙවින් ගෙවී තිබුණි. පස්වරු තුන පමණ දක්වා වෙහෙස වී බුදු රුව සහ දාගැබ කැලෑව තුලින් මතු කරගත් අතර මිණුම් සහ චිත්‍ර සටහන් වලට අමතරව බුදුරුවේ ඡායාරූප 6 ක් සහ දාගැබේ ඡායාරූප 3ක් ද ගැනීමට හැකිවිය.
සංරක්ෂණය කර ඇති ස්ථූපය- බුදුරුවයාය
1911-1912 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්ගේ පාලන වාර්තාවේ H.C.P. බෙල් මහතා පෙරේරා මහතා (Mr. Perera) ලෙසින් හඳුන්වන නිළධාරියෙක් 1912 වර්ෂයේ  දැනට බුදුරුවයාය ලෙසින් හැඳින්වෙන ස්ථානයට ලගාවූ ආකාරය සහ එම ස්ථානය පිළිබඳව ඔහු ඉදිරිපත් කරන වාර්තාවේ අනුවාදයක් අප ඉහතින් ඉදිරිපත් කලෙමු. පිහිටි ගලේ මතු කරගත් එම සැතපෙන පිළිමය අඩි 38 ක පමණ දිගකින් යුක්තය. ඉහත විස්තර කර ඇති පරිදිම එහි මුහුණ, දකුණු අත සහ පපුව ඒ වනවිටත් ගලින් නෙළු බුදුරුවක ඇතුලත නිධන් ඇතැයි සිතූ අමනයෙකුගේ පාපතර ක්‍රියාවන් හේතුවෙන් විනාශ වී තිබී ඇත. අසල පිහිටි ස්ථූපයේද අඩි 12ක් පමණ පළලට හෑරූ වලක් එහි පාදම දක්වාම කැන තිබූ බවට ඉහත පුරාවිද්‍යා කොමසාරිස් වරයාගේ වාර්තාවේ සඳහන් කර ඇත. මෑතක් වනතුරුම වන ප්‍රවාහයට යටවී තිබූ එම ස්ථූපය 2009 වසරේදී කැනීමක් සිදුකර සංරක්ෂණය කර ඇත.
නාමල් කුමාර ඇල්ල ලෙසින් ඉහත විස්තරයේ දැක්වෙන ස්ථානයේ ඉදිකර ඇති නූතන පාළම
ඉහත විස්තරයේ විස්තර වන නාඋල සිට අත්තරගල්ලෑවට වැටී ඇති දුෂ්කර මාර්ගය මේ වන විට කාපට් ඇතිරූ මාර්ගයක් වන අතර එම නිළධාරියා දින තුනක් තිස්සේ ගමන් කල දුර පැයකටත් අඩු කාලයකදී යාමට වර්තමාන සංචාරකයන්ට හැකිවී ඇත. පැරණි මාර්ගයේ කොටසක් මොරගහකන්ද ජලාශය යටවූ මුත් ජලාශයට උතුරු දෙසින් අලුතින් මාර්ගයක් ඒ වෙනුවට ඉදිකර ඇත. නාමල් කුමාර ඇල්ල ලෙසින් හැඳින්වූ ස්ථානයේ බොහෝවිට පැරණි පාලම ඉදිකර තිබූ ස්ථානය ආසන්නයේම නවීන පාලමක් ඉදිවී ඇත. මලුවෙයාය ලෙසින් හැඳින්වෙන ස්ථානයේ නටබුන් සහ අඹන් ගඟ දෑලේ එක් පසකින් වස්ගමුව වනෝද්‍යානය තුල සහ අනික් පස ගම්මානය තුල හමුවන වෙනත් නටබුන් පිළිබඳව වෙනම ලිපියකින් විමසා බැලිය යුතුය.
නාමල් කුමාර ඇල්ල අසල දොරුව (Gorge) ලෙසින් ඉහත විස්තරයේ දැක්වෙන ස්ථානය (?)
අවසාන වශයෙන් ඉහත පරිවර්තනය කර ඉදිරිපත් කල අත්තරගල්ලෑව ගම්මානයේ (Hatara-Gallewa ලෙසින් හඳුන්වන) විසූ ගැමි පවුල් 3 පිළිබඳව පෙරේරා මහතාගේ පහත සඳහන අද සාපේක්ෂව උසස් දිවිපෙවෙතක් ගත කරන බකමූණ, ඇලහැර, අත්තරගල්ලෑව ආදි ප්‍රදේශ වල ජනතාවට කොතරම් අදාලද යන්න ඔබම විමසා බලන්න.

"It is a village with five huts, occupied by haggardly looking creatures, mostly living on monkey flesh..."

D.S. සේනානායක මහතාගේ පටන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දක්වා මෙරට පාලනය කල ජනනායකයන්ගේ ගොවි ජනපද ව්‍යාපාර එම ප්‍රදේශ වල ජනයාගේ ජීවන තත්වය ඉහල නැංවීමට සිදු කල මෙහෙය, 1948 න් පසු මෙරට ජනනායකයන් සිදු කලේ කුමක්දැයි අසමින් ඉතිහාසය නොදන්නා අඳබාල පරපුර කඩේ අරිමින් සමාජවාදී විප්ලවය "විජාතික කොළ අලින්ගේ" පස්ස පැත්තෙන් එලියට ගන්නට මේ දිනවල වලිකන "රතු අලින්ගේ" නිරුවත හෙළි කරනවා නොවේද?

මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon Annual Report 1911=1912, H.C.P. Bell
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972

Sunday, September 3, 2017

කාලිංග නුවරින් නික්මුනු අචිරවතී සහ ගෝමතී

බොහෝ කල් දුර්භික්ෂය නසන්නා වූ මහාවාලුකාගංගාවෙන් බටහිර දෙසට ගියා වූ අචිරවතී නම් වූ ඇල මාර්ගයක්ද, එම ස්ථානයෙන්ම නැගෙනහිර දෙසට ගියා වූ ගෝමතී නම් වූ ඇල මාර්ගයක්ද මහා පරාක්‍රමබාහු රජතුමන් විසින් කරවූ ඇල මාර්ග පිළිබඳව වන මහාවංශ විස්තරයේ හමුවේ (මහලු පරාක්‍රමබාහු රජතුමන් අචිරවතී ඇල බිඳවූ බව පූජාවලියේද සඳහන් වේ.). එසේම උතුරු දෙසට අභිමුඛව නික්මුනා වූ මලාපහරණී නම් වූ ඇල මාර්ගයක් සහ අචිරවතියෙන්ම නැගෙනහිරට අභිමුඛව නික්මුනා වූ සතරුද්ධ, නිබ්භින්ද, ධවලා සහ සිදා නම් වූ ඇල මාර්ග 4 ක් පිළිබඳවද එහි සඳහන් වේ. මහාවාලුකා ගංගා ලෙසින් මෙහි දැක්වෙන්නේ අවිවාදිතවම මහවැලි නදිය වේ.එහි එකම තැනකින් ගඟේ වම් සහ දකුණු ඉවුරෙන් බටහිරට සහ නැගෙනහිර දෙසට ඇලවල් සාදා තිබුන බවට සලකුණු හමුවන්නේ කාලිංග නුවර ලෙසින් වර්තමානයේ හඳුන්වන ස්ථානයේ පමණි.

කාලිංග නුවර
ඉහල කඳුකරයේ සිට බැස එන මහවැලි ගඟ ගල් පර සහිත සිය ගමන් මග නිමා කර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "මහා වැලි" නදියක් වීම අරඹන්නේ මෙම ස්ථානයෙනි. දූපතේ ඇති පැරණි ශිලාමය නටබුන් හේතුවෙන් නුවර ලෙසින් ජනවහරේ හැඳින්වුවද එම ස්ථානයේ දක්නට ඇත්තේ පැරණි සංඝාරාමයක නටබුන් ලෙස හඳුනාගෙන ඇත. මෙම ස්ථානයට මදක් උතුරට වන්නට ඇති දාස්තොට ලෙස හැඳින්වෙන මහවැලි ගඟේ තොටමුණ (ඒ නමින්ම වූ වැවක්ද තොටමුණට මදක් උතුරට වන්නට හමුවේ.) සහස්සතිත්ථ ලෙසින් මහාවංශයේ අවස්ථා දෙකකදීම හමුවන ස්ථානය ලෙස හඳුනාගෙන ඇත. දඹදෙණියේ විසු දෙවෙනි පරාක්‍රමබාහු සමයේ පැරණි පුලත්ථිනගරය (පොළොන්නරුව) පිළිසකර කර, මහාවාලිකාගංගාවේ සහස්සතිත්ථ නම් වූ ස්ථානයේ උපසම්පදා කර්මයක් කල බව සඳහන් වේ. එසේම දඹදෙනි යුගයේදීම නැවතත් සිව්වන විජයබාහු රජු සමයේද වාලිකා නදියේ සහස්ස තොටමුණේ එවන් උපසම්පදා කර්මයක් සිදු කල බව මහාවංශයේ විස්තර වේ.
යක්කුරේ ගමේ සරුසාර වෙල් යායවල්. ඈතින් දිස්වන්නේ දිඹුලාගල පර්වතයයි
මෙම කාලිංග දූපතට ඉහලින් මහවැලි ගඟේ ස්වභාවික ගල් ගොඩවල් සහිත ස්ථානයක කපන ලද ටොන් දෙක තුනක් පමණ බර විය හැකි ගල් කුට්ටි යොදාගෙන සෑදු අමුණක් මගින් ගඟේ ජලය නැගෙනහිරට සහ බටහිරට යොමු වූ ඇල මාර්ග දෙකක් වෙතට යොමු කෙරේ. 

ගෝමතී ඇල
මහවැලි ගඟේ දකුණු ඉවුරෙන් නැගෙනහිර දෙසට යොමු වන මෙම ඇල දිඹුලාගල පර්වතය දක්වා සැතපුම් 21 දුරට හඳුනාගෙන ඇත. දිඹුලාගල සහ කාලිංග දූපත අතර කෙලින් දුර සැතපුම් 11 පමණ වේ. එම දුර මෙන් දෙගුණයක පමණ දුරක් ඇල ගමන් කරන්නේ එය සමොච්ච රේඛාවක් දිගේ වංගු ගසමින් ගමන් කරන නිසාය. ගෝමතී ඇලේ ඇල කණ්ඩිය එතරම් උස් නොවේ. එය බොහෝවිට අඩි 8 ට වඩා අඩු බව බ්‍රොහියර් පවසයි. ඇලේ පළල ඇතැම් ස්ථාන වලදි අඩි 70 පමණ වේ. අමුණේ සිට සැතපුම් 4.5 ක් පමණ දුර ගිය පසු එය යක්කුරේ වැව අසලින් ගමන් කරයි. වර්තමානය වන විට අතහැර දැමූ වැවක් වන යක්කුරේ වැව පෙර කල ගෝමති ඇලෙන් ජලය ලබන්නට ඇත. ගෝමතී ඇලේ 9 වන සහ 14 වෙනි සැතපුම් අතර එය ස්වභාවික විල්ලුවක් වන බැඳවිලේ දකුණු මායිමෙන් ගමන් කරන අතර, එය කිහිප තැනකින්ම විල්ලුව හා සම්බන්ධ වේ. එහි 18 වන සැතපුම අසලදී ඇල හොරිවිල ගමේ පිහිටි වැව හරහා ගොස් දිඹුලාගල දෙසට යොමුවේ (සිතියම 1).  මෙම ඇල තවත් සැතපුම් 22 ඈතින් තිබෙන වෙරුගල් ආරුව දක්වා තිබුන බවට වන ජනප්‍රවාදය සැක කිරීමට හේතුවක් නොමැති බව බ්‍රෝහියර් පවසයි. 
සිතියම 1
අචිරවතී ඇල
කාලිංග අමුණේ වම් ඉවුරින් පටන් ගන්නා ඇලට කාලිංග ඇල යයි ව්‍යවහාර වන මුත් එය පැරණි අචිරවතී ඇල විය හැකි බව ඉහත විස්තර කර ඇත. මෙම ඇල කාලිංග අමුණේ සිට පිටකින්ද ඇල හරහා යන තෙක් සැතපුම් 3/4 පමණ හඳුනාගෙන ඇත. ඉන්පසු මද දුරක් යනතෙක් එහි සලකුණු වර්තමානයේ හඳුනාගත නොහැක. නැවතත් එය හමුවන්නේ අමුණේ සිට සැතපුම් 2.5 පමණ ගිය පසුවය. එතැන් සිට සැතපුම් 7.5 පමණ දුරට එහි නටබුන් හමුවේ. එය අවසන් වන්නේ අඹන් ගඟේ විලක් වන නබුදගස් කොතලියෙනි (සිතියම 1). කිසියම් ක්‍රමයකින් (බොහෝ විට අඹන් ගඟ හරහා බැඳි බැම්මක් ආධාරයෙන්) අචිරවති ඇල අඹන් ගඟ හරහා ගිය බවට විශ්වාස කරන මුත් එවැනි කිසිදු කර්මාන්තයක සලකුණු මේ වන විට ඉතිරි වී නොමැත. නමුත් ගල් කොතලිය ලෙසින් හැඳිවෙන අඹන් ගඟේ සිට එයට මදක් උතුරින් පිහිටි කෝදුරුවාව වැව හරහා යන ජල මාර්ගයක් හරහා සැතපුම් කිහිපයක් උතුරට ගිය විට පැරණි ඇලක බැමි සැතපුම් ගණනාවක් උතුරු දිගට ගිරිතලේ සහ මින්නේරිය ප්‍රදේශයේ වෙල් මැද්දෙන් වැටී ඇත. මේ නිසා අඹන් ගඟ හරහා යන කාලිංග යෝද ඇල එම ගල් කොතලිය හරහා  මෙම පැරණි ඇලට සම්බන්ධ කර තිබුනා විය හැකියැයි අනුමාණ කල හැක (සිතියම 2). මෙම ඇල වර්තමානයේ මින්නේරිය ඔය හරහාද ගොස් කවුඩුල්ල ප්‍රදේශය දක්වාම සිතියම් ගත කර ඇත. ඇතැම් විට ජනප්‍රවාදයේ පැවසෙන ලෙසින් එය ඉන් ඔබ්බටද යොමුව තිබුණා විය හැක. 
සිතියම 2
අචිරවතී ඇලේ ප්‍රයෝජනය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති එක් මතයක් වන්නේ එය කාලිංග අමුණෙන් හරවන මහවැලි ගඟේ ජලය සහ ඇතැම් විට අඹන් ගඟේ ජලයද සාපේක්ෂව ජල හිඟ ප්‍රදේශයක් වන කවුඩුල්ල දෙසට ගෙන ගිය බවය. එසේම එහි පිහිටීම අනුව ඇලට බටහිර දෙසින් පිහිටි ගිරිතලේ, මින්නේරිය මෙන්ම පරාක්‍රම සමුද්‍රය සහ වෙනත් ලොකු කුඩා වැව් මගින් අස්වැද්දූ කුඹුරු වලින් පිටාර ගලන අමතර ජල ප්‍රමාණය (වෙල් පහු වතුර) නැවතත් නැගෙනහිරෙන් පිහිටි මහවැලි නදියට එක්වීමට ඉඩ නොදී, පහල පිහිටි කුඹුරු වලට යොමු කර ඇත. උදුල බණ්ඩාර අවුසදහාමි මහතාට අනුව 'කාලිංග' ලෙසින් අද වෙනස් වී ඇත්තේද සිංහල වචනයක් වන 'කලිගුල' යන්නයි. එහි අදහස නම් පිටාර ගලන අමතර ජල ප්‍රමාණයක් රැකගැනීමයි. ඒ සඳහාය වෙලේ ජල බස්නාවට ලම්භකව බොහෝ දුරට සමෝච්ච රේඛාවක් ඔස්සේ ඇල තනා ඇත්තේ. එසේම ඇලේ විශාලත්වය අනුව මෙය ජල යාත්‍රා ගෙන යාම සඳහාද උපයෝගි කරගත්තා විය හැක. 
වැව් කණ්ඩිය කැඩි ගොස් අතහැර දමා ඇති යක්කුරේ වැව
අද වන විට මෙම ඇල මාර්ග දෙකම භාවිතයේ නොමැති අතර මහවැලි ව්‍යාපාරයට එහි ඇතැම් කොටස් හසුවී විනාශ විය. ඇල මාර්ගයේ ඇතැම් ස්ථාන වල ගොඩනැගිලි ඉදිවී ඇත, නැතහොත් කුඹුරු ඉදිකර ඇත. 

මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001
  • වැව, උදුල බණ්ඩාර අව්සදහාමි, 2015
  • Ancient Irrigation Works in Ceylon, Part One, R.L. Brohier, 1934
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • මහවැලිය සහ ඓතිහාසික පොළොන්නරුව, ජයසිංහ බාලසූරිය,2007
  • The Polonnaruva Period, A Special issue of The Ceylon Historical Journal, Edited by S.D. Saparamadu
  • Journal of the Sri Lanka Branch of the Royal Asiatic Society, Major Ancient Irrigation Works of Sri Lanka, New Series Volume XXII Special Number, by A.Denis .N. Fernando, 1980

Thursday, August 10, 2017

අඹන් - කළු මිටියාවත් බද පුරාණ වාරිමාර්ග පද්ධතිය සහ ජනාවාස පැතිරීම - 3

දූරදර්ශ්‍රී දේශපාලන නායකත්වය විසින් 2007 වසරේදී ආරම්භ කර ක්‍රමයෙන් ඉදිකෙරෙමින් පැවැති මොරගහකන්ද කළු ගඟ ව්‍යාපාරයට අයත් මොරගහකන්ද ජලාශයේ ජලය මේ වන විට දැඩි නියගයෙන් පෙලෙන පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලට අයත් වැව් වලට මුදාහැරෙමින් පවතී. > Link එම මොරගහකන්ද ජලාශයට ජල මූලාශ්‍ර වන අඹන් සහ කළු ගංගා ද්‍රෝණි ආශ්‍රිත පුරාණ ජනාවාස පැතිරිම් සහ වාරිමාර්ග පද්ධතිය පිළිබඳව විස්තර විමසා බැලෙන ලිපි දෙකක් මීට ඉහතදි ඉදිරිපත් කලෙමු. මේ එම ලිපි පෙලේ තුන්වැන්නයි. පෙර ලිපියකින් අප විමසා බැලූ අඹන් ගඟ දෑලේ වූ අම්බවන සහ එයට උතුරින් වූ සූර -අම්බවන යන රටවල් වලට උතුරු සහ නැගෙනහිර දෙසින් වූ ජනපද සහ ආළිසාර යන ප්‍රදේශ හෙවත් රටවල් පිළිබඳව මෙම ලිපියෙන් සාකච්චා වේ. 

පෙර ලිපි - 

ආළිසාර රට
ආළිසාර යන නම මහාවංශයේ පලමුවෙන්ම හමුවනුයේ වසභ රජු (ක්‍රි.ව. 67 -111) විසින් තිස්සවඩ්ඪමානකයෙහි මුචේල විහාරය කරවා ආළිසාර ඇලේ දිය භාගය එම විහාරයට පිදූ බව පැවසෙන අවස්ථාවේදීය.  ඉන්පසු තුන් සිංහලය සොළි බලයෙන් මුදාගෙන රට එක්සේසත් කල මහා විජයබාහු රජතුමා (ක්‍රි.ව. 1055-1110) සම්පූර්ණ ආළිසාර රටම සංඝයාගේ දන් වැටුප් පිණිස එහි වාසි වූ ප්‍රධානින්ද සමග පිදූ බව පැවසෙන අවස්ථාවේදී "ආළිසාර රට්ඨ" යන්න පළමු වරට වංශ කතාවේ  හමුවේ.

පරාක්‍රමබාහු කුමාරයගේ ලංකාධිනාථ සෙනෙවියා දෙවන ගජබාහු (ක්‍රි.ව. 1111 -1132) රජුගේ සේනාව සමග සිදු කල සංග්‍රාමයේදී විජයබාහු රජු සංඝයාට පිදූ මේ බිම ලේ හලන යුද පිටියක් වූ බව මහාවංශයේ පරාක්‍රමබාහු කුමාරය සහ ගජබාහු රජු අතර සිදු වු සිවිල් යුද්ධය හා සම්බන්ධව එන විස්තරයෙන් පැහැදිලි වේ. මින් පෙර ලිපියකදි අප කතා කල සූර-අම්බවන ප්‍රදේශයේ සිට සේනා යවා යාබද ජනපද රට යටත් කරගැනීමෙන් පසු එහි කඳවුරු බැඳගත් පරාක්‍රමබාහුගේ සේනාව මැඩීමට ගජබාහු රජු සේනාව යැවූ මුත් පරාක්‍රමබාහුගේ සෙනෙවියා ඔවුන් පරදා බොහෝ විට ජනපද රටටම අයත්ව තිබෙන්නට ඇතැයි සිතිය හැකි යගාල්ල නම් පෙදෙසද යටත් කරගනී. මේ අවස්ථාවේ ගජබාහු රජු ආළිසාර රටට සේනාව යවා පරාක්‍රමබාහුගේ සේනාවට දරුණු පහර එල්ල කරයි. එහෙත් ඔවුන් පරදා ඉදිරියට ගමන් කරන ලංකාධිනාථගේ සේනා තලාත්තල නම් ප්‍රදේශයද යටත් කරගනී. ඉන්පසු ඔහු තලාත්තල බලකොටුවෙන් නික්ම ගඟ අසල පිහිටි ආළිගාම නම් බලකොටුවේ කඳවුරු බැඳගනී. කොඩ්රිංටන් මහතාගේ හඳුනාගැනීම අනුව තලාත්තල යනු වර්තමානයේ ඇලහැරට නිරිත දෙසින් ඇලහැර-නාඋල මාර්ගයේ හමුවන තලගොඩ වන අතර, ආළිගාම යන්න එයට මදක් බටහිර දෙසට වන්නට අඹන් ගඟේ දකුණු ඉවුරේ පිහිටි එලගමුව වේ. 
ආළිසාර රටට අයත්ව තිබූ වර්තමානයේ හඳුනාගත හැකි ස්ථාන
ආළිසාර දෙසින් ඇරඹුනු පරාක්‍රමබාහුගේ සටන් පෙරමුණ වෙනත් ප්‍රදේශ වල සටන් ඇවිලීමත් සමග මද කලකට නතර වූ බව පෙනේ. ඉන්පසු ආළිසාර පෙදෙස යටත් කරගැනීම උදෙසා පරාක්‍රමබාහු කුමරා මායාගෙහ නම් සෙනවියා යොදවයි. ඔහු කලලහල්ලික පෙදෙසේ සිට සටන් අරඹා නන්දාමූලකගාම පෙදෙසේ තිබූ බලකොටුව යටත් කරගැනීමෙන් පසු ආළිසාර දෙසට සේනාව මෙහෙයවා කද්දුරගාම බලකොටුව යටත් කරගැනීමෙන් පසු කිරාටි කොටුවද සිය පාලනයට ගනී. ගජබාහුගේ සේනාව මෙම පෙරමුණේ විලාන නම් ස්ථානයේ වූ බලකොටුවක සිටි බවත් පරාක්‍රමබාහු කුමරා ගෙවල් බිඳින හොරුන් දෙතුන් සියයක් යොදවා එම බලකොටුවට රාත්‍රී කාලයේ රහසේ ඇතුළු වි එය යටත් කරගත් බවත් පැවසේ. ඉක්බිති මට්ටිකාවාපී, උද්දකුරම්ගාම සහ අධෝකුරම්ගාම යන ස්ථාන වල තිබූ බලකොටු සහ අවසානයේ නාසින්න ගමෙහි වූ බලකොටුව යටත් කරගැනීමත් සමග ආළිසාර රටේ සම්පූර්ණ බලය පරාක්‍රමබාහු කුමරා යටතට පත්විය.

මෙම ස්ථාන අතුරින් මට්ටිකවාපි යනු එලගමුවට දකුණින් පිහිටි කිරිමැටිය ලෙසත් ආළිසාර රටට පහරදීම සඳහා සේනා මෙහෙයවූ කලලහල්ලික පෙදෙස බොහෝ විට වර්තමානයේ කුරුණෑගල- දඹුල්ල මාර්ගයට සැතපුම් 5 පමණ උතුරින් පිහිටි මඩහපොල පෙදෙස විය හැකි බවත් C.W. නිකලස් මහතා පවසයි. කිරාටි යන නම වර්තමානයේ ඇලහැරට උතුරින් ගලා යන හිරටි ඔය සහ හිරටි ඔය ඇලහැර - බකමූණ මාර්ගය හරහා යන ස්ථානයට දකුණින් පැරණි අඟලේ සිතියම් වල ලකුණු කර ඇති හිරටිය යන්නෙහි ශේෂව පවති.  එසේම පෙළ බසින් ආළිසාර රට්ඨ ලෙස එදා හැඳින්වූ විශාල ප්‍රදේශයේ නම අද ඇලහැර ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයට පමණක් සීමා වී තවමත් පවතී.

ජනපද රට
ජනපද රට පිළිබඳව සඳහනක් පළමුව වංශ කතාවේ හමුවන්නේ තුන්වන මොග්ගල්ලාන (ක්‍රි.ව. 614 -619) රාජ්‍ය කාලයේය. රජු කිසියම් හේතුවක් නිසා මලය දේශයේ රජු හා උරණ වි ඔහුගේ අත් පා කපා දැමූ විට ඔහු පුත් අසිග්‍රාහක තෙමේ රුහුණට පලා ගොස් එහි බලය අල්ලාගෙන බල සෙන් සමග පැමිණ ජනපද රටද අල්ලාගත් බවත් ඉන්පසු දොහලපබ්බතයට පැමිණ එහි කඳවුරු බැඳ ගත් බවත් පැවසේ. උණ රෝගය වැලදීමෙන් රජුගේ සේනාව දුර්වල වීමත් සමග සටන් මෙහෙයවූ අසිග්‍රාහක, පැරද පලායන රජු ඇතුළු පිරිස සිහගිරි අසලදී මරා සිලාමේඝවන්න (ක්‍රි.ව. 619 - 628) නමින් රජවිය. මේ විස්තරයට අනුව ජනපද රට රුහුණු රට සහ සිහගිරි (සීගිරිය) අතර පෙදෙසක විය යුතු බව පෙනේ. එසේම දොහලපබ්බතයද බොහෝ දුරට ජනපද රට තුලම තිබූ යුදමය වශයෙන් වැදගත් පර්වත පෙදෙසක් වූවා විය හැක.

පරාක්‍රමබාහු කුමරු සිය පිය රජුට අයත් දක්ෂිණ දේශයේ සිට ගජබා රජුට අයත් රජරට පෙදෙසට පැමිණි අවස්ථාවක් පිළිබඳව එන විස්තරයකදී නැවතත් ජනපද රට පිළිබඳව සඳහනක් වංශ කතාවේ හමුවේ. දක්ෂිණ දේශය හා රජරට සීමාව පසුකර කුමරා ගජබාහු රජුට අයත් ජනපද නම් පෙදෙසට පැමිණ කෙලි සෙල්ලම් කරමින් විශේෂයෙන් එම ජනපද රටට ආවේනික ක්‍රිඩා කරමින් දින කිහිපයක් විසූ බව එම විස්තරයේ පැවසේ. ගජබා රජුගේ බල ප්‍රදේශයේ සිට පෙරලා දක්ෂිණ දේශයට යාමට පෙරද පරාක්‍රමබාහු කුමරා ඔහු සමග පැමිණි මිනිසුන්ට ජනපද නම් ප්‍රදේශයේදි හමුවන ලෙස නියෝග කරවා ඔවුන් පළමුකොට යවා තමුන් ආපසු යන බව ගජබා රජුට දැන්වීම සඳහා ගජබා රජු කරා ගිය බව වංශ කතාව පවසයි. ඉක්බිති තනිවම පෙරළා එන පරාක්‍රමබාහු කුමරා ජනපද රටට කලින් පැමිණ සිටි සිය සෙනග මංගලබේගමදි පළමුවරට දුටු බව එහි සඳහන් වේ. ඉන්පසු සිය පිරිස සමග කුමරා දඩ කෙළි ආදී නොයෙකුත් ක්‍රීඩා කරමින් කිහිප දවසක් එම ප්‍රදේශයේ වෙසේ.
ජනපද රටට අයත්ව තිබූ වර්තමානයේ හඳුනාගත හැකි ස්ථාන
නැවත වරක් ජනපද රට පිළිබඳව සඳහන් වනුයේ ගජබා රජුගේ ප්‍රදේශය ආක්‍රමණය කර ඔහු හා යුද වදින පරාක්‍රමබාහු කුමරාගේ සටන් පිළිබඳව මහාවංශයේ එන දීර්ඝ විස්තරයේදිය. එහි සුර-අම්බවන රටේ සිටි පරාක්‍රමබාහුගේ සේනාව ජනපද රටට ගොස් එහි සිටි ගජබාහුගේ පිරිස් මරා දැමූ බව එක් අවස්ථාවකදි සඳහන් වන අතර, ලංකානාථ නම් සෙනෙවියා ජනපද රටෙහි සටන් සඳහා යවා ජනපද රට යටත් කරගත් බව පසුව සඳහන් වේ.

ඇලහැරට උතුරින් පුවක්ගහ-උල්පත සහ කෝඳුරුවාව අතර පිහිටා ඇති මකුල්-ඇබේ නම් ප්‍රදේශය ඉහත සඳහන් මංගලබේගම විය හැකි බව කොඩ්රිංටන් මහතා පවසයි (කෙසේ වුවද මකුල්ඇබේ ලෙසින් හැඳින්වෙන ගමක් මේ වන විට මෙම ප්‍රදේශයේ පවතීද යන්න අවිනිශ්චිතය. පැරණි අඟලේ සිතියම් වල හෝ මෙට්‍රික් සිතියම් වල එවන් ස්ථානයක් දැකිය නොහැකි අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාසයට අයත් ගමක් ලෙස එවැන්නක් සොයාගත නොහැක. ). පරණවිතාන මහතාට අනුව සීගිරි ගීයක එන මාගලම්බ් යන ග්‍රාන නාමය මහාවංශයේ මංගලබේගම  ලෙස හැඳින්වෙන ස්ථානයවේ. පොළොන්නරුව පෙදෙසේ සිට එන පරාක්‍රමබාහු කුමරාට එම පෙදෙසේදි ජනපද රටේ සිටි සිය පිරිවර මුලින්ම දුටු බව සඳහන් වන බැවින් මංගලබේගම ජනපද රටේ නැගෙනහිර සීමාව වූවා විය හැක. එසේම අප මීට ඉහතදි හඳුනාගත් සූර-අම්බවන රටට යාබදව එයට උතුරු දෙසින් ජනපද රට වූ බව පෙනේ.

ජනපද, ආළිසාර සහ අම්බවන රට වලට අයත්ව තිබූ  ප්‍රදේශ 


පැරණි රජ දරුවන් අඹන් ගඟේ ජලය මින්නෙරිය, කවුඩුල්ල හරහා කන්තලේ වැවට ගෙන ගිය ආකාරය ඉදිරි ලිපියකින් විමසා බලමු.

මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Archaeological survey of Ceylon Sigiri Graffiti, S. paranavitana Vol 1 & Vol.
  • Notes on Ceylon Topography in the Twelfth Century, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXIX, No 75, 1922
  • Notes on Ceylon Topography in the Twelfth Century II, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXX, No 78, 1925
  • LIFe Location Code Navigator

Wednesday, May 3, 2017

අඹන් - කළු මිටියාවත් බද පුරාණ වාරිමාර්ග පද්ධතිය සහ ජනාවාස පැතිරීම - 2

අඹන් ගඟ නිම්නයට දිස්වන දුම්බර කඳුකරය (Knuckles Range)
දෙවන ගජබාහු රජු සිය බල පරාක්‍රමය විහිදවූ පිහිටි රට තුල පරාක්‍රමබාහු කුමරු සිදු කල චරපුරුෂ මෙහෙයුම් සම්බන්ධ මහාවංශ විස්තරයේ රණඹුර නම් ගමින් නික්ම ඔහු පැමිණි බව පවසන්නේ කීරවාපි නම් වූ ගම පසු කර අම්බවන රට්ඨ හෙවත් අම්බවන ප්‍රදේශයටය. (මෙහි එන රණඹුර ගම සහ ආශ්‍රිත වෙනත් ස්ථාන හඳුනාගැනීම සම්බන්ධ විස්තර මෙම ලිපි පෙළේ පළමුවන ලිපියෙන් ඉදිරිපත් කර ඇත. බලන්න. අඹන් - කළු මිටියාවත් බද පුරාණ වාරිමාර්ග පද්ධතිය සහ ජනාවාස පැතිරීම - 1) එහි සිටි සතුරු බලමුළු පලවාහැර ගම ගිනි ලෑමෙන් පසුව ඔහු නවගිරිස නම් ග්‍රාමයට පැමිණේ. මහාවංශයේ මෙයට පෙර අවස්ථාවකදි තුන්වන කාශ්‍යප රජුගේ සාසනික සේවාවන් පිළිබඳව එන විස්තරයකදි හෙතෙම අම්බවන නම් වූ ආරාමය කරවා එයට ගම් පුද කල බව පවසයි.
මොරගහකන්ද ජලාශයට යටවෙමින් පවතින පැරණි අම්බවන රට
 සිය පියා වූ කිත්සිරිමේඝ රජු මිය යෑමෙන් පසුව දක්ෂිණ දේශයේ පාලකයා වන පරාක්‍රමබාහු කුමරා තම බල ප්‍රදේශයේ සීමාවන් රකින සෙනෙවියන් ගෙන්වා ඔවුන්ට බල පිරිස් සහ ආයුධ දීම සම්බන්ධ විස්තරයකදීද නැවතත් අම්බවන නම් වු රටෙහි සිටි සෙනෙවියාද කැඳවූ බව වංශ කතාවේ සඳහන් වේ. එසේම දෙවන ගජබාහු රජු සමග කල සටන් වලදී පරාක්‍රමබාහුගේ සේනා සූර-අම්බවන රටින් නික්ම ඉදිරියට ගොස් ජනපද රටෙහි සිටි සතුරන් නැසූ බව පැවසේ. මෙසේ පරාක්‍රමබාහු සහ ගජබාහු අතර භූමිය උදෙසා දරුණු සටන් ඇවිලෙද්දී ජනපද රටට යවන පරාක්‍රමබාහුගේ ලංකානාථ සෙනෙවියා අම්බවන රටට ඇතුල් වී බුබ්බුල ග්‍රමයේදී බොහෝ සතුරන් නසයි. මේ අනුව පැහැදිලි වන්නේ පෙර දී සඳහන් කල පරිදි පරාක්‍රමබාහුගේ සේනා සූර-අම්බවන රටෙහි සිට ජනපද රටට මුලින් ඇතුලු වූ නමුත් පසුව පසු බෑමක් සිදුවූ බවය. නැවත වතාවක් පරාක්‍රමබාහුගේ අම්බවනයේ සිටි මායාගෙහා නම් වූ නායකයෙක් ගැන සඳහනක් මහාවංශයේ හැත්තෑවන පරිච්ඡේදයේ එයි.
පැරණි ස්ථාන දැක්වෙන සිතියම
වර්තමාන මහනුවර - යාපනය මහාමාර්ගයෙන් නැගෙනහිර දෙසට වන්නට අඹන් ගඟ දෑලේ විහිදුනු අඹන නම් වූ ප්‍රදේශයක් ඇත. නාඋල - ඇලහැර මාර්ගයෙන් නාඋල සිට කිලෝමීටර 7 ක පමණ දුරින් දකුණට හැරී කිලෝමීටර් 3.6 පමණ ගිය පසු මෙම ප්‍රදේශයට ලඟා විය හැක. මෙට්‍රික් සිතියම් වල මෙම ප්‍රදේශය අඹව ගම ලෙසද සලකුණු කර ඇත. පුරාණ අම්බවන රට්ඨ යන්න මෙම අඹන යන ග්‍රාම නාමයේ ශේෂව ඇති බව පෙනේ. එසේම අඹන් ගඟටද එම නාමය අම්බවන රට්ඨ යන්නෙන් ලැබි ඇතිවා විය හැකි බව ගයිගර්, කොඩ්රිංටන්, නිකොලස් සහ පරණවිතාන යන වියතුන්ගේ අදහසයි. ඒ අනුව නාලන්ද පෙදෙසේ සිට ඇලහැර දක්වා අඹන් ගඟ දෑලේ වූ ප්‍රදේශය පුරාණ අම්බවන රට්ඨ විය හැකි බව  C.W. නිකොලස් මහතා නිගමනය කරයි. ගයිගර් සඳහන් කරන්නේ එහි උතුරු ප්‍රදේශය හෝ අම්බවන රටට උතුරින් පිහිටි ප්‍රදේශය සූර- අම්බවන රට බවය. අම්බවන රටට අයත් කීරවාපි ගම වර්තමාන කිරිගම සහ කිරිඔරුව ගම් විය හැකි බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි (මෙම ප්‍රදේශය නාලන්ද සිට බටහිර දෙසට වන්නට වර්තමාන නාලන්ද ජලාශය අසල පිහිටා ඇත.) එසේම වර්තමානයේ යටවත්ත අසල පිහිටි නැව්ගල නම්වූ කඳු ප්‍රදේශය  පුරාණ නවගිරිස ලෙසත්, නාඋල සිට උතුරු දෙසට වන්නට මැණික්දෙන අසල පිහිටි පිහිටි වර්තමාන බිබිල (බොබැල්ල?) ප්‍රදේශය බුබ්බුල ලෙසත් පිළිවෙලින් C.W. නිකොලස් සහ H.W. කොඩ්රිංටන් මහතුන් හඳුනාගනී.

ජනපද රට සහ අලිසාර රට හඳුනාගැනීම පිළිබඳව - අඹන් - කළු මිටියාවත් බද පුරාණ වාරිමාර්ග පද්ධතිය සහ ජනාවාස පැතිරීම - 3

මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • The national Atlas of Sri Lanka, Survey Department, 2007
  • Notes on Ceylon Topography in the Twelfth Century, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXIX, No 75, 1922
  • Notes on Ceylon Topography in the Twelfth Century II, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXX, No 78, 1925

Thursday, April 20, 2017

අඹන් - කළු මිටියාවත් බද පුරාණ වාරිමාර්ග පද්ධතිය සහ ජනාවාස පැතිරීම - 1

ජලය පිරෙමින් පවතින මොරගහකන්ද ජලාශය
මොරගහකන්ද ජලාශයේ වේලි ඉදිකිරීම නිමාවීමත් සමග එය ක්‍රමයෙන් ජලයෙන් පිරෙමින් පවතී. අඹන් ගඟ දෑලේ පැරණි ගම් ප්‍රදේශ ක්‍රමයෙන් ජලයෙන් යටවෙමින් පවතී. ඒවායේ පදිංචි වි සිටි ජනතාව සිය ගම් බිම් වලට සමුදී අළුතින් ඉදිවන ජනාවාස වල පදිංචි වීම සඳහා යමින් සිටී. ඉදිරියේදී කළු ගඟ ජලාශය ඉදිවීමත් සමගම කළු ගඟ අවට ජනාවාස වලටද එම ඉරණමම අත්වනු ඇත. එවන් තත්වයක් යටතේ අඹන් සහ කළු ගංගා මිටියාවත් ආශ්‍රිත පැරණි ජනාවාස සහ වාරිමාර්ග පද්ධතිය පිලිබඳව විමසා බැලීමක් සඳහා කරන උත්සාහයකි මෙම ලිපි පෙළ.
මොරගහකන්ද ජලාශය හේතුවෙන් යටවෙමින් පවතින පැරණි නාඋල-ඇළහැර මාර්ගය (ඡායාරූපය - සුජීවා ගුණසේන)
මොරගහකන්ද-කළු ගඟ ව්‍යාපෘතිය
අඹන් ගඟේ පැරණි ඇළහැර අමුණට කිලෝ මිටර් දෙකක් පමණ ඉහළින් බඳින ප්‍රධාන වේල්ලක් සහ තවත් සැදලි වේලි දෙකක් මඟින් වර්ග කිලෝමිටර් 29.5 පුරා පැතිරුණු ඝන මීටර් 521,000,000 ක ජල ධාරිතාවයකින් යුතු මොරගහකන්ද ජලාශය සහ පල්ලෙගම නගරයට කිලෝ මීටර් 4 පමණ උතුරින් කළු ගඟ හරස් කර බඳින ප්‍රධාන වේල්ලක් සහ තවත් සැදලි වේලි දෙකක් මගින් වර්ග කිලෝමිටර 8.4 ක ප්‍රදේශයක් පුරා පැතිරුණු ඝන මීටර් 144, 000, 000 ක ජල ධාරිතාවකින් යුතු කළු ගඟ ජලාශය යන ජලාශ දෙකින් සහ කළු ගඟ සහ මොරගහකන්ද ජලාශ සම්බන්ධ කරන දිගින් කිලෝ මීටර් 9 ක් පමණ වන ඇල මාර්ගයකින් (ඉන් කිලෝ මීටර් 7.85 උමං මාර්ගයක් ලෙස ඉදිවේ ) 'මොරගහකන්ද-කළු ගඟ ව්‍යාපෘතිය' සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය මගින් අනුරාධපුර, පොළොන්නරු, මාතලේ සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල පානීය සහ කෘෂිකාර්මික ජල අවශ්‍යතා සපුරාලීමට අමතරව කුඩා විදුලි බලාගාරයක් මගින් මෙගා වොට් 35 ක පමණ බලයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමටද නියමිතය.
අඹන් ගඟ මිටියාවතේ මොරගහකන්ද ජලාශයට යටවීමට නියමිත නිවාස  (ඡායාරූපය - සුජීවා ගුණසේන)
මහවැලි මහ සැලැස්මේ අවසාන ජලාශය ලෙස 1970 දශකයේ පටන්ම වරින් වර ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ශක්‍යතා අධ්‍යන වාර්තා සකසමින්, නැවත අතහැර දමමින් කල්ගත වූ මෙම යෝජනා ක්‍රමය ඉදීවීම ප්‍රායෝගික යථාර්තයක් බවට පත්වූවේ 2007 වසරේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදීය. මෑතකාලේදී මේ වන විට මේ රටේ ජනතාවට නිතර අසන්නට ලැබෙන "මට කරන්න දුන්නේ නැහැ" යන සුපුරුදු අදෝනාව සමග එහි අයිතිය නතු කර ගැනීමට දඟලන 'වැඩබැරි සේනලා' පහලවී ඇති මුත් 2007 වසරේ සිට එහි ඉදිකිරීම් කටයුතු ක්‍රමිකව සිදුවෙමින් පැවතුණි ("මේ වන විට මොරගහකන්ද ජලාශයට අයත් බොහෝ වැඩකටයුතු අවසන් කරලයි තියෙන්නේ." ව්‍යාපෘතියේ නේවාසික ඉංජිනේරු  ඒ. කේ. ඩී. තෙන්නකෝන් මහතා විදුසර පුවත්පතට මෙසේ පවසන්නේ 2012 මාර්තු මාසයේය - කියවන්න විදුසර 2012 මාර්තු). කුලියට ලියන ලියන අප්පුලා නම් කියන්නේ 2015 ජනවාරි 8 'මෝඩයාගේ විප්ලවයෙන්' පසු සියල්ල පටන් ගත් බව කියලා හිටංය. කෙසේ නමුත් 'හොරාගේ' කාලයේ සිට කෙරෙමින් පැවැති අනෙකුත් සංවර්ධන යෝජනා ක්‍රම වලට එම 'ආප්ප විප්ලවයෙන්' පසු අත් වූ ඉරණම මොරගහකන්ද-කළු ගඟ ව්‍යාපෘතියට අත් නොවීම නම් සතුටු විය හැකි කාරණයකි.
කළු ගඟ මිටියාවතේ රඹුක්ඔළුව ග්‍රාමයේ ජන ජිවිතය - 2012 වසරේදි ගත් ඡායාරූපක්
කෙසේ නමුත් අප මෙම ලිපිය මගින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ අඹන් සහ කළු යන මහවැලි ගඟේ අතු ගංගා නිම්න වල පුරාණ කාලයේ ඉදිවූ අදටත් ක්‍රියාත්මක තත්වයේ පවතින හෝ නටබුන් වී ඇති වාරිමාර්ග පද්ධතිය පිළිබඳවය. එයට ප්‍රථම වංශ කතා මූලාශ්‍ර වල එන මෙම ප්‍රදේශයට අයත් ලෙස හඳුනාගත හැකි ස්ථාන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වන්නේ ගංගා මිටියාවත් අශ්‍රය කරගනිමින් ඇතිවී එම නිම්න ඔස්සේම පැතිරුණු ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය වර්තමානයේ අපි අඹන් සහ කළු ගංගා ලෙස හඳුන්වන මහවැලි ගඟේ අතු ගංගා ඔස්සේද සරුසාර ලෙස විහිදි ගිය ආකාරය හඳුනාගැනීම සඳහා එය උපකාරි වන බැවිනි.
කළු ගඟ මිටියාවතේ රඹුක්ඔළුව ග්‍රාමයේ ජන ජිවිතය - 2012 වසරේදි ගත් ඡායාරූපක්
බෝගම්බර - ලග්ගල - රණමුරේගම
පරාක්‍රමබාහු කුමාරාගේ තරුණ අවදියේ දෙවන ගජබාහුට අයත් රජරට රාජධානියේ සිදු කල චරපුරුෂ මෙහෙයුම් (පරණවිතාන මහතා මහාවංශයේ එන මේ හා සම්බන්ධ දීර්ඝ විස්තරය හඳුන්වන්නේ වංශ කතා කරුවා පරාක්‍රමබාහුගේ වීරත්වය සහ දේශපාලන සූරත්වය විදහා පෑමට අතිශයොක්තියෙන් කියන ලද දේවල් හෝ/සහ සත්‍යයෙන් තොර දේවල් ලෙසය) සම්බන්ධ විස්තරයේදී  ඔහු බෝධිගාමවර සිට ලංකාපබ්බත ප්‍රදේශයට අයත් රණඹුර නම් ගමට පැමිණි බව පවසයි. නැවතත් රජරට පෙදෙසේ පාලකයා වූ දෙවන ගජබාහු සහ පරාක්‍රමබාහු අතර සිදුවූ සටන් සම්බන්ධ විස්තරයේදී පරාක්‍රමබාහු විසින් බෝධිගාමවරයට යවා සිටි සටන් නායකයින් එතැන් සිට ලංකාගිරි පෙදෙසට ගොස් එහි සිටි සතුරන් වැනසූ බව සඳහන් කරයි.
කළු ගඟ මිටියාවතේ රඹුක්ඔළුව ග්‍රාමයේ ජන ජිවිතය - 2012 වසරේදි ගත් ඡායාරූපක්
කොඩ්රිංටන් මහතා මෙහි එන බෝධිගාමවර යන්න වර්තමානයේ මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ආසන්නයේ පිහිටි බෝගම්බර නම් වු ගමෙහි නාමය ශේෂ වී ඇති වර්තමාන පල්ලෙසිය පත්තුව ප්‍රදේශය ලෙස හඳුනාගනී (බෝධිගාමවර රට්ඨ ලෙසින් මහාවංශය පරාක්‍රමබාහු යුගය පිළිබඳ එන වෙනත් විස්තරයකදීද මෙම ප්‍රදේශය පිළිබඳ සඳහන් කරයි ). එක්තරා සිගිරි ගීයක බොයිගම් ලෙස හැඳින්වෙන්නේද මෙම ප්‍රදේශය විය හැක. ගයිගර් හඳුනාගන්න පරිදි ලංකාපබ්බත දේශ ලෙස සඳහන් වන්නේ වර්තමාන ලග්ගල උඩසිය පත්තුව ප්‍රදේශයයි. ඒ අනුව එහි පිහිටි රණඹුර ගම පහසුවෙන්ම වර්තමානය දක්වාම රණමුරේ ගම ලෙස නම ශේෂව පවතින පල්ලේගම සිට සැතපුම් 5 පමණ දකුණින් නකල්ස් රක්ෂිතය මායිමේ පිහිටි ප්‍රදේශය බව කොඩ්රිංටන් හඳුනාගනී.
කළු ගඟ මිටියාවතේ රඹුක්ඔළුව ග්‍රාමයේ ජන ජිවිතය - 2012 වසරේදි ගත් ඡායාරූපක්
කළු ගඟ ඉහල  ජලධාරා ප්‍රදේශයේ ජනාවාස
රණමුරේ ගම පිහිටියේ නකල්ස් කඳු පන්තියට අයත් කළුපහන කන්දෙන් ඇරඹෙන කළු ගඟේ දකුණු ඉවුර දෙසින් කළුපහන කඳු පාමුලය. එය කළු ගඟ නිම්නයට නැගෙනහිර දෙසින් නාරංගමු ඔය නිම්නයේ පිහිටා ඇත (කළුපහන කන්දේ දෙපස එම නිම්න දෙක පිහිටා ඇත.) නාරංගමු ඔය ඇතුලු එම ප්‍රදේශයේ ඇති ලොකු කුඩා අතු ගංගා සියල්ල අවසානයේ කළු ගඟ පෝෂණය කරමින් පහලට ගලයි. රණමුරේ ගම, වල්පොලමුල්ල, ඇටංවල, රඹුක් ඔළුව, ගඟහේන්වල, මහලකොටුව, ඉමදූව, නාරංගොමුව, පල්ලේගම වැනි කළු ගඟේ ඉහල ජලධාරා ප්‍රදේශයේ පිහිටි බොහෝ පැරණි ගම්මාන වලින් ඇතැම් ඒවා අඩු වැඩි වශයෙන් කළු ගඟ ජලාශයේ බලපෑමට යටත් වන අතර මින් පල්ලෙගම නගරයෙන් සැලකිය යුතු කොටසක් කළු ගඟ ජලාශයට යටවීමට නියමිතය.
කළු ගඟ ජලාශයේ සිතියමක් - moragahakandakalugangaproject.blogspot.com වෙබ් අඩවියෙනි

මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Archaeological survey of Ceylon Sigiri Graffiti, S. paranavitana Vol 1.