පුද්ගලයන් තිදෙනෙකු එකිනෙකා සමග මෛථුනයේ යෙදෙන ආකාරය දැක්වෙන කැටයම |
කුමාරදාස රජු මෙරට පාලනය කරන කාලයෙහි දඹදිව දක්ෂිණ මධුරායෙහි විසූ ශ්‍රි හර්ෂ නම් රජ කෙනෙකුන් කල, සම්මිත්තිය නිකාය වාසී වූ භික්ෂුවක් රාත්‍රි කාලයෙහි නිල් වස්ත්‍රයක් පෙරව වෛශ්‍යා වාසයකට ගොස් එහි ලැග, පහන් වූ යාමයේ නැවත විහාරයට යන කල ඔහුගේ ශිෂ්‍යයෝ එය දැක " මේ වේශය යහපත්දැයි?" විචාල බවත්, එවිට තමා ගත් වේශය බොහෝ දෙනා දුටු හෙයින් එය වර්ණනා කර එහි අනුහස් පැවසූ බවත්, ඔහුගේ වචන පිලිගත් අනෙකුත් භික්ෂුන්ද නිල් රෙදි පෙරවි බැවින් එය නීලපට දර්ශණය ලෙස ප්‍රචලිත වූ බවත් නිකාය සංග්‍රහයේ සඳහන් වේ. ඔවුන් නීලපට දර්ශණ නම් වූ ග්‍රන්ථයක් කල බවත් වෛශ්‍යාංගනාවන් ඇසුර, සුරා පානය, සහ කාමදේවයා ඇදහීම තුන් රත්නය ලෙස සැලකු බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ. කෙසේ නමුදු ශ්‍රි හර්ෂ රජු මේ බව සැලවී, මේ වනාහී ධර්මයක් නොව ශාසන භේදයක් බව වටහා ගෙන ඔවුන් ගෙන්වා ඔවුන්ගේ පොත් පත්ද සමගින් ප්‍රාසාදයකට ඇතුළු කර අග්නි පූජා කල බව නිකාය සංග්‍රහය පවසයි. කෙසේ නමුත් ඉන්පසු ඉතිරි වූ අනුගාමිකයන් මුල් නොසිදුනු ව්‍යාධියක් මෙන් පැතිර ගිය බවත් ලක්දිව පවා පැතිරුණු බවත් නිකාය සංග්‍රහය අවසානයේ සඳහන් කරයි. නීල සධන යනු තාන්ත්‍රික ඇදහීම් වලට ව්‍යවහාර වූ නමක් බවත් නීලපට දර්ශණය ලෙස වංශ කතාව දක්වන්නේ එම ඇදහිල්ල විය හැකි බවත් සෙනරත් පරණවිතාන, නන්දසේන මුදියන්සේ වැනි වියතුන්ගේ අදහසයි.
නාලන්ද ගෙඩිගේ |
තන්ත්‍රයානය
හින්දු තාන්ත්‍රික ඇදහීම් මහායාන බෞද්ධ දර්ශණය තුලට අවශෝෂණය වීමත් සමග නොයෙකුත් හින්දු දෙවියන් සහ දේවතාවියන්ට අනුකූල බෞද්ධ දෙවිවරු ඇතිවිය. ඔවුන් ධ්‍යානී බුදුවරු ලෙස වර්ග කෙරුණි. මෙම ඇදහීම් තාන්ත්‍රික බෞද්ධ ඇදහීම් ලෙස පොදුවේ හැඳින්වේ. නීලපට දර්ශණය ලෙස නිකාය සංග්‍රහයේ සඳහන් වන විස්තරය පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය මොරටුවේ සාසනරතන හිමියන් 'සම්මත' නම් ආචාර්යයන් විසින් පිහිටුවන ලද බැවින් 'සම්මිතිය' නම් වූ නිකාය, නීලපට දර්ශණය ලෙස නිකාය සංග්‍රහය කතුවරයා විසින් හඳුන්වා ඇති බව පෙන්වා දෙයි. නීලපට දර්ශණය යනුවෙන් හැඳින්වෙන ග්‍රන්ථය ඔවුන්ගේ ධර්ම ග්‍රන්ථයක් විය හැකි බවත් නිකාය සංග්‍රහය කතුවරයා දක්වන සිද්ධිය කොතරම් දුරට සත්‍යක්ද යන්න සෙවිය යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි. එම ග්‍රන්ථයේ එන ලෙස නිකාය සංග්‍රහය දක්වන 'වෛශ්‍යාරත්නං සුරාරත්නං...' යන පද්‍යයෙන් දැක්වෙන්නේ එම වචන වලින් සාමාන්‍ය ව්‍යවහාරයේ දැක්වෙන දේ නොව වෙනත් ගුප්ත දාර්ශණික ඉගැන්වීම් විය හැකි බවය උන්වහන්සේගේ අදහස.
හිටි බුදු පිළිමයක්- නාලන්ද ගෙඩිගේ |
නාලන්ද ගෙඩිගේ
මාතලේ දිස්ත්‍රික්කයේ බෝවතැන්න ජලාශය ආසන්නයේ තිබෙන නාලන්ද ගෙඩිගේ ලෙස ජන ව්‍යවහාරයේ හැඳින්වෙන පල්ලව සම්ප්‍රදායට අයත් ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත පිළිම ගෘහයේ පාදමේ ඇති එක් සුවිශේෂ කැටයමක් වැදගත් වන්නේ මෙරට පැරණි බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පීන් අතින් නිර්මාණය වූ අනිකුත් ස්ථාන වල ඇති කැටයම් සමග සැසදීමේදි මෙහි විෂය අසාමාන්‍ය එකක් වීම නිසාය. පුද්ගලයන් තිදෙනෙකු අතර සිදුවන ශෘංගාරාත්මක මෛථුන සම්බන්ධතාවයක් එයට වස්තු විෂය වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය නන්දසේන මුදියන්සේ පවසන්නේ ශෛලිය අතින් නාලන්ද ගෙඩිගෙය 8 වන ශත වර්ෂයට පමණ අයත් විය හැකි බවත්, එයින් එම කාලයේ පැවති තාන්ත්‍රික බෞද්ධ ඇදහීම් වල නරකම ආකෘතියක්(Worst form) පිළිබිඹු වන බවත්ය. අභයගිරි පරිශ්‍රයෙන් සොයාගත් ධාරණී ගල් වලද සඳහන් වන රති පූජාවන් ඉහත ගල් කැටයමින් නිරූපණය වනවා විය හැකි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි. මෙම ස්ථානයේ කණුවක දක්නට තිබූ මෙවන් තවත් කැටයමක් පිළිබඳ 1910-11 වර්ෂ සඳහා වූ H.C,P. බෙල් මහතාගේ පුරාවිද්‍යා ගවේෂණ වාර්තාවේ සඳහන් වන මුත් එය මේ වන විට සොයාගැනිමට නොහැක. මේ නිසා මේ ස්ථානය තාන්ත්‍රික බෞද්ධ ඇදහීම් සිදු කල ස්ථානයක් ලෙස හඳුනාගත හැක. මෙයට ආසන්නව ස්ථූපයක් දක්නට ඇති අතර විහාර ගෙය තුල හිටි බුදු පිළිම සහ වෙනත් මූර්ති කිහිපයක අවශේෂද දක්නට ඇත. ස්ථානය පුරා විවිධ ආකාරයේ ශෛලමය නිර්මාණ වල නටබුන් විසිරි පවති.
නාලන්ද ගෙඩිගේ |
- ලක්දිව මහායාන අදහස්, මහාචාර්ය පණ්ඩිත මොරටුවේ සාසනරතන ස්ථවිර, 1952
- Mahayana Monuments in Ceylon, Nandasena Mudiyanse, 1967
- History of Ceylon, Voume 1, Part 1, 1959
- නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය , 1997
- ලංකාවේ මහායානවාදය, සෙනරත් පරණවිතාන, පුරාණ යුගය, ශාස්ත්‍රිය ලිපි, පළවෙනි කාණ්ඩය, 1962
ලංකාවේ ඔය වගේ තැන් තියෙනවා කියල මීට කලින් අහල තිබුනේ නැහැ...
ReplyDeleteස්තුතියි විස්තරයට...
අපූරු ලිපියක්, කියැවීමට ලැබීම ගැන සතුටුයි.
ReplyDeletethreesome .... god. It had been those days too
ReplyDelete