පුෂ්පදේව නම් වූ තෙරුන් විසින් ක්‍රි.ව. 1344 ට ආසන්න ඊට පසු කාලයක කරවූ මුල් ග්‍රන්ථයට, 16 වන සියවසේ අග භාගයේ පමණ වෙනත් ලේඛකයෙකු හෝ කිහිප දෙනෙකු නැවත එකතු කල කොටස් වලින්ද සමන්විත කුරුණෑගල විස්තරය නම් වූ පැරණි ග්‍රන්ථයක ඇතැම් පිටපත් වල හමුවන යාපහු නුවර විස්තරය නොහොත් යාපා නුවර විස්තරය නම් වූ කොටසට අනුව යාපහු නුවර කර්මාන්ත පරාක්‍රමබාහු නම් වූ රජ කෙනෙකු කරවන්නට යෙදුනේ ඒ අයුරිනි.
එම යාපහු නුවර විස්තරයට අනුව තෙළෙස් වෙනි ශත වර්ෂයේ දී කළිඟු රටින් ලක්දිව පැමිණි මාඝ නම් වූ කෲර රජුගේ පීඩා නිසා අනුරාධපුරය අතහැර ගිය රජ දරුවන්ගෙන් කෙනෙකු වන පරාක්‍රමබාහු නැමැති රජු එම නුවර කරවූ බව පැවසෙතත් වඩා විශ්වාසනීය සහ පැරණි මූලාශ්‍රයක් වන මහාවංශයට අනුව එය එලෙසම පිලිගත හැකිද යන්න ගැටළුවකි. ඒ පිළිබඳ විමසීම පසුවට කල් තබා වර්තමානයේ යාපහුව රාජධානියේ ශේෂව ඇති නටබුන් කෙතරම් දුරට මෙම යාපහු නුවර විස්තරයේ සඳහන් වන කරුණු වලට අදාලද යන්න සොයා බලමු.
නුවර නිර්මාණයට පැමිණි එම පිරිස පිළිබඳ වැඩිදුරටත් විස්තර කරන යාපහු නුවර විස්තරය "....ඉන් පෙළක් ගල් කනු කපති පෙළක් ගල් අදිති පෙළක් ගල් පේකඩ නෙලති. පෙළක් ඇත් රූප නෙලති පෙළක් සිංහ රූප නෙලති පෙළක් ව්‍යාඝ්‍ර රූප නෙලති පෙලක් මනුෂ්‍ය රූප නෙලති පෙළක් හංස රූප නෙලති පෙළක් පක්ෂි රූප නෙලති. පෙළක් දේව රූප නෙලති පෙළක් නාග රූප නෙලති පෙළක් කෝලක්කාර රූප නෙලති පෙළක් බහිරව රූප නෙලති පෙළක් ගල් දොර නෙලති පෙළක් ගල් උළුවහු හා ගල් පඩි නෙලති...."
ගල් පේකඩ, ගල් කනු, ඇත් රූප, සිංහ රූප, මනුෂ්‍ය රූප, නාග රූප, කෝලක්කාර රූප, බහිරව රූප, ගල් උළුවහු හා ගල් පඩි |
ඉහත කොටස් උපුටා ගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයට අයත් පුස්කොළ පිටපතකිනි. කුරුණෑගල විස්තරය ඇතැම් පිටපත් වල එන යාපා නුවර විස්තරයන්ට අනුව ඒ පරක්කන්බාහු රජු පවසා ඇත්තේ " මේ නුවර ගල්වලින් වැඩ නිම කරව.." කියාය. එසේම එම නුවර උදය කාලයේ එක් පාටකට පෙනෙන බවත් සවස් කාලයේ වෙනත් පාටකට පෙනෙන බවත් එහි ගල් වැඩ විනා සෙසු වැඩක් නැති බවත් ඒවායේ වැඩිදුරටත් සඳහන් වේ. බොහෝ විට 16 ශතවර්ෂයේ පමණ රචිත මෙම යාපා නුවර විස්තරයන් කෙතරම් දුරට සත්‍යයද යන්න යාපහුවේ ඉතිරිව ඇති නටබුන් දෙස් දෙයි. ඉහත විවිධ පාට ගැන කියන සඳහනද අතිශයෝක්තියක් නොවන බව වර්තමානයේ පවා ඇතැම් ගල් කැටයම් වල දක්නට ලැබෙන රක්ත වර්ණාලේප ශේෂයන් මගින් පැහැදිලි වේ.
මාලිගා, කුළු ගෙවල්, දළදා මන්දිර, දාගැබ්, පවුරු, බෝ මළු |
- කුරුණෑගල විස්තරය, ශාස්ත්‍රීය සංස්කරණය සහ විමර්ශනය, රංගන කුරුවිට, 2015
- අසිරිමත් යාපහුව, මහාචාර්ය සෙනරත් දිසානායක, 2011
දඹදෙණි යුගයේ සිට ගම්පොළ යුලය දක්වා වූ කාලඡේදය තුළ සාමාන්‍ය ජන ජීවිතය හා සමාජය ගැන මා කරන අධ්‍යයනයක දී මූලාශ්‍ර කර ගත හැකි පොත් මොනවාදැයි කරුණාකර කියන්න පුළුවන් ද?
ReplyDeleteප්‍රදාන වශයෙන් එම යුගයන් වල ලියැවුණු සිංහල ගද්‍ය සහ පද්‍ය සාහිත්‍ය මූලාශ්‍ර උපයෝගි කරගන්න පුලුවන්. ඒම මූලාශ්‍ර මොනවාද කියන එක ආචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල මහතාගේ සිංහල සාහිත්‍ය වංශය පොතෙන් ලබාගන්න පුලුවන්. එම යුගයන්හි පිහිටුවා ඇටි සෙල්ලිපි වලිනුත් යමක් ගන්න පුලුවන් ඒවා මොනවද කියලා Inscription of Ceylon Volume 7 පොතෙන් බලාගන්න පුලුවන්
Delete