Sunday, December 27, 2015

බලු කපුටන්ව ඉපදෙන්න රාජ්‍ය දේපල සොරා කන්න! - එහෙම හරියයිද?

 නිශ්ශංකමල්ල රජතුමා විසින් ශ්‍රිපාදස්ථානයේ සෙල් ලිපියක් පිහිටුවා තිබෙන බවත්, එහි කියවෙන පරිදි රාජ්‍ය දේපල සොරාකන්නන් මරණින් මතු බලු කපුටන් සේ ඉපදෙන බවත් මෑත කාලයේ මෙරට රාජ්‍ය පාලනයේ ඉහලම තනතුරක් හොබවන්නෙකු ප්‍රකාශ කලේ ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ විද්වතුන් රැසක්ද සිටි සභාවකදිය. එම ප්‍රකාශයට ඉමහත් ප්‍රචාරයක් ලැබුන මුත් එවන් සෙල්ලිපියක් ශ්‍රිපාදස්ථානයේ  තිබෙනවාදැයි කිසිවෙකු සොයා බැලුවේ නැත. මේ ඒ පිළිබඳව කෙරෙන විමසීමකි.

මෙරට රාජාවලියේ වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් කල රජතුමා බොහෝ විට පොළොන්නරු යුගයේ රට පාලනය කල කාලිංග වංශික නිශ්ශංකමල්ල රජතුමා විය හැක. ඔහු පිහිටවූ ලෙස හඳුනාගත් සෙල්ලිපි අවම වශයෙන් 87 මේ වනවිට කියවා ප්‍රකාශයට පත් කර ඇත. ඉන් භගවා ලෙන නොහොත් ඇතැමුන් දිවාගුහාව ලෙස හඳුන්වන ලෙනේ ඇති සෙල්ලිපි දෙක පමණි මෙතෙක් ශ්‍රීපාදස්ථානය ආශ්‍රිතව හමුවී ඇත්තේ. මීට අමතරව මාගම්පත්තුවේ වාඳුරුප්පේ පුවරු ලිපියේත්, ගිරුවා පත්තුවේ රම්බා විහාරයේ ඇති තවත් පුවරු ලිපියකත්, බුත්තල කටුගහ-ගල්ගේ ටැම් ලිපියේ සහ පඩුවස්නුවර ගල් ආසන ලිපියේත් එතුමා බොහෝ දුෂ්කරතා මැද සමනොල නැඟි බව පමණක් සඳහන් කරයි.

රූපය 1 - නිශ්ශංකමල්ල රජු සිරිපා පුදන ආකාරය දැක්වෙන
 භගවාලෙන ලිපිය
භගවා ලෙන ලිපිය 1 - තමන් විසින් සිරිලක එක්සේසත් කල බවත්, රන් රුවන් ආදි බොහෝ වස්තු දන්දී  හේන් කරන්නන්ගෙන් පෙර කල අය කල කැතිඅඩ බද්ද අහෝසි කල බවත්, යුධ කිරීමට ආශාවෙන් දඹදිව් ආක්‍රමණය කර පඩි රජු පලවා හැර ඔහුගෙන් රාජකීය ස්ත්‍රීන් හස්ති අශ්ව ආදි පඩුරුද පිළිගෙන, චෝල රටින් එවූ පඩුරුද පිළිගෙන, දේවකුලමේදි නන්දෙසින් ආ දිළිදුන්ට දන්දී, නිශ්ශංකේශ්වරය නම් වූ දේවාලයක්ද කරවා ආපසු සිරිලක පැමිණ, තුන් රජයේ බොහෝ තැන්හිද, කාලිංග, පාණ්ඩ්‍ය, චෝල රටවල් වලද, දන්ගෙවල් පිහිටුවා දිලිදුන්ට දන්දී, නවම් මස පුන් පොහෝ දිනක සමනල නැග, පට සලු සහ රන් රිදී හා නවරත්නයෙන් මලුව සරසා, පූජනීය ශ්‍රීපාදය නමස්කාර කර, අඹගමුව ග්‍රාමය නැවත ආගමික කටයුතු උදෙසා පිරිනමා, කිසිවෙකු විසින් එම ස්ථානයන්ට කිසිදු උවදුරක් නොකරන ලෙසට නියෝග පමුණුවා මෙම ලේඛනය පිහිටුවන ලද බවත් පමණි එහි සඳහන් වන්නේ. > රාජ්‍ය දේපල සොරාකෑමක් ගැන නැත.

රූපය 2 -  බලු කපුටු සහ ඉර හඳ ලකුණු  සහිත
ටැම් ලිපියක් - අලුත්වැව විහාරය, මැදගම
භගවා ලෙන ලිපිය 2 -  නිශ්ශංකමල්ල රජු සිරිපා වඳින ආකාරය දැක්වෙන රූපයක් (රූපය 1) සමග මෙම ලිපියේ දැක්වෙන්නේ "මේ නිශ්ශංක පරාක්‍රමබාහු පූජනීය ශ්‍රීපාදය වැද සිටින නියායයි" යන්න පමණි. > බලු කපුටු කතාද නැත.

කෙසේ නමුත් පැරණි රජ දරුවන් විසින් දිවයිනේ නන්දෙස පිහිටුවා ඇති ඇතැම් සෙල්ලිපි වලින් කිසියම් පරිත්‍යාගයක් බොහෝවිට විහාරයකට පිරිනමා එම දේවල් අයථා ලෙස පරිහරණය කරන්නන් සහ එම නියෝගය කඩ කරන්නන් මතු බලු කපුටන් ලෙස ඉපදෙන බව නම් සඳහන් කර ඇත. එවන් ඇතැම් ලිපි වල බලු කපුටන්ගේ රූප සහ එය සඟ සතු කල බව කියා පෑමට වටාපතක ලකුණ දැක්වෙන රූපද, එම නියෝගය ඉර හඳ පවතින තුරා පැවතිය යුතු බව පැවසීමට ඉර, හඳ ලකුණුද කොටා ඇත. (රූපය 2)

 මෙහි කොහේ හෝ පැටලැවීමක් නම් සිදුවී ඇති බව පෙනේ. එනිසා රාජ‍ය දේපල සොරාකන්නනි, තොපට බිය වීමට හේතුවක් නොමැත රාජ්‍ය දේපල සොරාකන්නන්ට බලු කපුටන් වන්නට සිදුවන වන වග නිශ්ශංකමල්ල රජු ශ්‍රිපාදස්ථානයේ සෙල්ලිපියක නම් කියා නැත.


මූලාශ්‍ර:
  • සපරගමු දර්ශන, රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල හිමි, 1967
  • Achaeological survey of Ceylon, Inscription of Ceylon, Volume VI, G.S. Ranawella, 2007

Monday, December 21, 2015

සිංහලේ දෙමළ සෙල්ලිපි 4 - හය වැනි පරාක්‍රමබාහුගේ Central Cafe දෙමළ සෙල්ලිපිය සහ සපුමල් කුමරුගේ නල්ලුර් කන්දසාමි කෝවිල

හුණුගලක දෙමළ අකුරු වලින් කොටා තිබූ සෙල්ලිපියක් යාපනයේ ප්‍රධාන වීදීයේ (Main Street) පිහිටි Central Cafe නම් වූ වෙළඳ සැලක දොරක් අභියස බිමට අතුරා කිසිවෙකුගේ අවධානයට ලක් නොවී වසර ගණනාවක්ම තිබුනි. එම වෙළඳ සැලට ඉදිරියෙන්ම පිහිටි පුරාවිද්‍යා කෞතුකාගාරයේ සේවකයන්ද දිනපතාම පාහේ මෙම ස්ථානයට තේ පානය සඳහා පැමිණි මුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එය වර්ෂ 1968 වනතුරුම අනාවරනය වූවේ නැත.


වර්තමාන නල්ලුර් කන්දසාමි කෝවිල
වර්ෂ 1915 දී  Yalppana Carittiram නමින් මුත්තුසාමි නම් වූ පුද්ගලයෙක් කල ග්‍රන්ථයක එන සඳහනකට අනුව පෘතුගීසීන් විසින් නල්ලුර් නගරය විනාශ කිරීමෙන් පසු එහි තිබූ ගොඩනැගිලි වල ගඩොල් සහ ගල් කනු ආදිය යාපනය කොටුව සහ නිවාස සෑදීමට උපයෝගි කරගෙන ඇති අතර යාපනයේ පැරණි නගරයේ පරංගී විදියේ (වර්තමානයේ Main Street හෙවත් ප්‍රධාන විදිය ) පිහිටි පජානානන්තර්ගේ පැරැණි නිවසේ පඩියකට යොදාගෙන ඇත්තේද අකුරු කෙටූ එවන් ගලකි. පජානානන්තර්ගේ එම නිවස අප මෙහි සඳහන් කල Central Cafe සහ වෙනත් වෙළඳ සැල් පිහිටි 18 වන ශතවර්ෂයේ අවසාන භාගයේ හෝ 19 වන ශතවර්ශයේ මුල්භාගයේ පමණ ඉදිකල බව හැඟෙන ගොඩනැගිල්ල බව මේ පිළිබඳව කරුණු සෙවූ ඉහත සඳහන් සෙල්ලිපිය පසුව පරිවර්තනය කර Epigraphia Tamilica පලමු වෙලුමේ ඉදිරිපත් කල මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල (Karthigesu Indrapala) මහතා හඳුනා ගනී.


වර්තමාන නල්ලුර් කන්දසාමි කෝවිල
කැබැලි වූ මෙම සෙල්ලිපියේ පේලි 25 පමණ ඇති මුත් ඉන් කියවිය හැකි මට්ටමේ පවතින්නේ පේලි 15 පමණි.  ලිපිය ආරම්භයේම ඇති  'ශ්‍රී' අකුර ග්‍රන්ථ අක්ෂර වලින් සහ ඉතිරි කොටස 15 වන ශතවර්ෂයේ භාවිත දෙමළ අකුරු වලින් රචිත මෙම ලිපිය කෝට්ටේ සිට තුන් සිංහලය අවසාන වරට එක්සේසත් කල 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ නයිම්මන සහ මුන්නේස්වරම් (කියවන්න සිංහලේ දෙමළ සෙල්ලිපි 1 - මුන්නේස්වරමට ගම්වර පිදූ 6 වැනි පැරකුම්බා) දෙමළ සෙල් ලිපි වලට බොහෝ දුරට සමාන කමක් දක්වයි. ලිපිය පිහිටුවීමේ අරමුණ සඳහන් කොටස ගෙවී ගොස් ඇති බැවින් කියවිය හැකි කොටසින් අනාවරනය වනුයේ එය පිහිටවූ රජතුමාගේ නම පමණි. ශ්‍රී සංඝබෝධිවර්මන් ත්‍රිභුවණ චක්‍රවර්ති  ශ්‍රී පරාක්‍රමබාහු දේවා ලෙස සඳහන් එම රජු හඳුනා ගැනීම එතරම් අපහසු නැත. 15 වන සියවසේ එම නමින් යාපනය ප්‍රදේශය හා සම්බන්ධව නම කියවෙන්නේ ඉහත සඳහන් සෙල්ලිපි දෙකෙහිද සඳහන් 6 වන පරාක්‍රමබාහු (ක්‍රි.ව.1412 - 1467) රජු පමණි.

නිල තුරඟුට නැගෙමින් රිවි දෙව් සිරි න
දුල කර සේසත් මිණිබරණ කිරණි    න
බල පිරිසෙන් සහ යාපා පටුන් ගෙ    න
බල සේනානායක සපු කුමරු එ        න

සැළළිහිණි සංදේශයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් එලෙසින් වර්ණනා කරන්නේ පරාක්‍රමබාහුගේ හදාවඩා ගත් දරුවෙකු වන සේනානායක සපුමල් කුමරු හෙවත් සෙම්බගප් පෙරුමාල්, ආර්යචක්‍රවර්ති නම් වූ යාපා පටුන ප්‍රදේශයේ බලය පැතිරවූ ප්‍රාදේශිය රජු මරා ඔහුගේ රාජධානියේ බලය අල්ලා ගෙන නැවැත පැමිණෙන අයුරුය. ඉන් පසු එම සපුමල් කුමරු යාපා පටුනේ පරාක්‍රමබාහු යටතේ පාලනය මෙහෙය වූ බව රාජාවලිය පවසයි. වර්තමානයේ නල්ලුර් වල තිබෙන කන්දසාමි කෝවිල හෙවත් කතරගම දෙවිඳුන් සඳහා පුද කල දේවාලය පිහිටුවන්නේද එම සපුමල් කුමාරයාය. ඒ බව අදටත් එම දෙවොලේ ගැයෙන කත්තියම් (Kattiyam) වල සඳහන් වේ (6 වන පරාක්‍රමබාහුට පසුව භුවනෙකභාහු ලෙසින් කෝට්ටේ රජ වන සපුමල් කුමරු එම කත්තියම් වල හැඳින්වෙන්නේ ශ්‍රී සංඝබෝධි භුවනෙකබාහු ලෙසිනි.). එසේ නම් මෙම ලිපිය එම යාපා පටුන ජයගැනීම ගැන හෝ නල්ලුර් දේවාලය පිහිටුවීම සම්බන්ධයෙන් වූ සඳහනක් විය නොහැකිද?

* 70 දශකය වන විටත් Central Cafe භූමියේ පිහිටි එම සෙල්ලිපියේ වර්තමාන ඉරණම පිළිබඳව ලිඛිත මූලාශ්‍ර වල කිසිවක් සඳහන් නොවේ.

සම්බන්ධිත පෙර ලිපි
මූලාශ්‍ර 
  • Epigraphia Tamilica, A Journal of Tamil Epigraphy Volume 1, Part 1, Edited by Karthigesu Indrapala, Jaffna Archaeological Society, 1971.
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • සැළළිහිණි සංදේශය
  • Pieris P.E., 1917, Nagadipa and Buddhist remains in Jaffna, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Volume XXVI, 70.
  • Ancient Jaffna, Mudaliyar C. Rasanayagam, 1926

Monday, December 14, 2015

නාගදීප පුරාණය - වල්ලිපුරමෙන් තහවුරු වන නාගදීප පුරාණය

 දෙමළ ත්‍රස්තවාදය යුධමය වශයෙන් විනාශ කර  දැමීමට ලැබූ අනගි අවස්ථාවක්  ලෙස බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ කර්නල් විජය විමලරත්න මහතුන්ගේ නායකත්වයෙන් 1987 දී සිදුකල වඩමාරච්චි  මෙහෙයුම සැලකිය හැකිය. එය ඉන්දියානු ව්‍යාප්තිවාදීන්ගේ බලපෑම් හමුවේ ජයග්‍රහණය පෙනි පෙනි නතර කර දැමීමට එවකට සිටි නිවට නායකත්වයට සිදුවීමෙන් දෙමළ ත්‍රස්තවාදය අතුගෑ දැමීම තවත් සිංහල, ද්‍රවිඩ සහ මුස්ලිම් දහස් ගනනකගේ ජීවිත අහිමි වීමෙන් පසු වර්ෂ 2009 දක්වාම කල් තැබුනි. නැවතත් නිවට නායකත්වයක් යටතේ අලු ගසා නැගී සිටින දෙමළ ජාතිවාදීන්ගේ නාගදීප, නයිනතිව් කිරීමේ පුරසාරම් කතා අසා සිටින්නට සිදු වී ඇති මෙම අවස්ථාවේ වර්තමාන යාපනය අර්ධද්වීපය දෙවන සියවසේ නාගදීපය ලෙසින් හැදින්වූ බවට ඇති ප්‍රබලම සාක්කිය හමුවන්නේද යාපනය දීස්ත්‍රික්කයේ එම වඩමාරච්චි කලාපයේ වල්ලිපුරම් ගමෙන් බව පෙන්වාදීම මෙම ලිපියේ අරමුණයි.
වල්ලිපුරම් රන්පත
වල්ලිපුරම් ග්‍රාමයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරි පවතින ගොඩනැගිලි පාදම්, ගඩොල්, වලං කැබැලි, පැරණි කාසි ආදි නටබුන් හමුවන ප්‍රදේශයක් ඇත. එහි පිහිටි විෂ්ණු කෝවිලට අයත් ඉඩමක තිබී වසර ගනනකට පෙර හමු වූ අමරාවති සම්ප්‍රදායේ ශෛලමය බුද්ධ ප්‍රතිමාව මෙම නටබුන් විවාදයක් නොමැතිවම පැරණි බෞද්ධ විහාරයක බව පසක් කරයි (එම ප්‍රතිමාව වර්ෂ 1906 දී හෙන්රි බ්ලේක් ආණ්ඩුකාරයා විසින් සියම් රජුට තෑගි කරයි )

මෙම  විෂ්ණු කෝවිල ප්‍රදේශයෙන් 1936 දී හෝ ඒ ආසන්න වසරකදී අකුරු කෙටූ රන් පතක් හමුවේ. පැරණි ගොඩනැගිලි පාදමක පතුලේ තිබී හමු වූ මෙම රන් පත බ්‍රාහ්මි අක්ෂර වලින් සහ දෙවැනි ශතවර්ෂයේ වෙනත් සෙල්ලිපි ආදියේ හමුවන පැරණි සිංහල භාෂාවෙන් ලියැවි ඇත.  වසභ රජුගේ රාජ්‍ය කාලයේ (ක්‍රි.ව. 67-111 ) ඉසිගිරිය ඇමතියා විසින් නකදිව පාලනය කරන අවධියේ බදකරඅතනෙ හි පියගුක තිස විසින් විහාරයක් කරවූ බව එම රන් පතින් කියවේ. (මෙම ලිපියේ වෙනත් කියවීමකට අනුව කරඅතනෙහි කල විහාරයේ නම පියගුකතිස වෙහෙර වේ. එවිට එම විහාරය ඉදි කර ඇත්තේ වසභ රජු සහ ඉසිගිරිය ඈමැතියා ලෙස ගත හැක.)

නකදිව - සිංහල 'නක' ශබ්දය පාලියට පෙරලූ විට 'නාග' වේ. ඒ අනුව සිංහලෙන් නකදිව යනු පාලියෙන් නාගදීපයයි.

බදකරඅතන - 'අතන' ශබ්දය වෙනත් සෙල්ලිපි වලද ස්ථාන නාම සමගින් හමුවේ. එවිට බදකරඅතන යනු වර්තමාන වල්ලිපුරම් ප්‍රදේශය එවකට හැඳින්වූ නාමය ලෙස ගත හැක.

පියගුකතිස - මහාවංශයේ දුටුගැමුණු රජු හා සම්බන්ධ කතාවකදි පියංඟු දිවයිනේ වැඩසිටි තිස්ස නම් තෙර නමක් ගැන සඳහන් වේ. වල්ලිපුරම් රන්පතේ සඳහන් වන පියගුක තිස යන්න විහාරයේ නම ලෙස ගතහොත් එම විහාරය ඇතැම්විට මෙම පෙර සිටි තෙරණුවන්ගේ නමින් නම් කලා විය හැක. මහනුවර යුගයේ රචිත එවකට වැඳුම් පිඳුම් කල විහාර දේවාල ලේඛනයක් අඩංගු වන නම්පොතේ සඳහන් වන පුවංඟු දිවයින අවිවාදිතවම මෙම පියංඟු දිවයින ලෙස සැලකිය හැක. එය වර්තමාන පුන්කුඩුතිව් විය හැකි බව පරණවිතාන මහතා ඇතුලු විද්වතුන්ගෙ මතයයි.

වල්ලිපුරම් රන්පතින් හෙලිවන වැදගත් කරුණු  මෙලෙස කෙටියෙන් ගෙනහැර දැක්විය හැක : -

  •  එවකට බදකරඅතන ලෙසින් හැදින්වූ වර්තමාන වල්ලිපුරම් ප්‍රදේශය පිහිටි යාපනය අර්ධද්වීපය 2 වෙනි සියවසේදී නකදිව හෙවත් නාගදීපය ලෙසින් හැඳින්වූ බව.
  • එහි ප්‍රාදේශීය පාලනය අනුරාධපුරයේ සිට තුන් සිංහලේම පාලනය කල වසභ රජුගේ ඉසිගිර නමැති ඇමැතිවරයා අතින් සිදුවූ බව.
  • එම කාලයේ නාගදීපයේ සිංහල බෞද්ධ ජනතාව විසූ බව සහ ඔවුන් බෞද්ධ වෙහෙර විහාර ඉදි කල බව.
පසුකාලිනව දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ යාපනය අර්ධද්වීපයේ සිංහල ජන වර්ගය කෙමෙන් දකුණු ඉන්දීය සංක්‍රමණික හින්දු ද්‍රාවිඩ ජනයාගෙන් ප්‍රතිස්ථාපනය වුවද සියවස් ගණනාවකට පෙර සිටි එක් පුද්ගලයෙකු කිසිදා කිසිවකුට දැකිය නොහැකි වනු ඇතැයි සිතා තම පුණ්‍ය ක්‍රියාව සටහන් කර තැන්පත් කල රන් පතකින් එම සැඟවුනු ඉතිහාසය ඉස්මතු වූ අයුරු කෙතරම් අපූරුද?

සම්බන්දිත පෙර ලිපි -   


මූලාශ්‍ර
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Edited by S. Paranavitana Volume IV, 1934-1942, 1943.
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999.
  • නම්පොත

Sunday, December 6, 2015

කන්ද උඩරට චරපුරුෂ පරංගි පූජකයා සහ පරංගියාගේ ආගමික සහජීවනය

වීදාගම නටබුන්

ට්‍රිනිඩේඩ්ගේ කෘතියේ එන 17 වන ශතවර්ෂයේ මෙරට තිබූ ප්‍රැන්සිස්කානු නිකායේ කතෝලික දේවස්ථාන පිලිබඳ විස්තරයේ, එම දේවස්ථාන පිහිටවූ ස්ථාන වල පෙර පැවැති පෘතුගීසීන් විසින් විනාශ කල බෞද්ධ වෙහෙර විහාර සහ දේවාල පිළිබඳ සඳහන් වන අවස්ථා ඇසුරින් සම්පාදිත ලිපියේ දෙවන කොටස වන මෙමගින් දකුනු වෙරල තීරයේ තවත් එවැනි ස්ථාන කිහිපයක් පිළිබඳ සලකා බලමු. පෙර ලිපිය සඳහා - 17 වන සියවසේදි ප්‍රැන්සිස්කානු නිකායට බිලිවූ බොදු පුදබිම්

දික්වැල්ල
ශාන්ත ලුසි (St. Lucy) වෙනුවෙන් වූ දික්වැල්ලේ දේවස්ථානය ඇතුලු දේවස්ථාන 3 කට භාර කරනු ලැබූ දික්වැල්ල ප්‍රදේශය (Dicvela) ඊට පෙර කපුවන්ට (Capuas, ministers of the temples) අයිතිව තිබූ බව ට්‍රිනිඩේඩ් පවසයි. බොහෝවිට ආසන්නයේ පිහිටි දෙවිනුවර උපුල්වන් දේවාලයේ කපු මහතුන් මින් අදහස් කරන්නට ඇත.

දෙවිනුවර 
දෙවිනුවර දේවාලය පෘතුගීසින් විසින් විනාශ කල අයුරු සඳහා කියවන්න - පරංගියා දෙවිනුවර ගිය හැටි
ගම් 70 කටත් වඩා ප්‍රමාණයකින් ලබන ආදායමකින් යුත්ත වූ දෙවිනුවර (Tanavare) දේවාලය බිමට සමතලා කිරීමෙන් පසු එම ස්ථානයේම විශාල සහ අලංකාර කොටස් තුනකින් යුත් දේවස්ථානයක් ඉදිකල බවත් ඒවා ගල් කනු වලින් වෙන් කර තිබූ බවත් ට්‍රිනිඩේඩ්  පවසයි (Three naves divided by stone pillars) . එම දේවස්ථානයේ 2400 කට වඩා බැතිමතුන් සිටි බවත් එම සංඛයාව දිනෙන් දිනම වැඩි වන බවත් හෙතෙම වැඩි දුරටත් පවසයි.

ගලපාත
කලුතර සිට ගඟ දිගේ ඉහලට ගිය විට හමුවන දියගමට නුදුරින් වූ ගලපාත ග්‍රාමයේ පෙර කල යක්ෂයා වන්දනා කල පන්සලක් (Formerly the devil was worshiped in a temple) පිහිටි තැන ශාන්ත ජෝන් (St. John the Baptist) වෙනුවෙන් කැපවූ දේවස්ථානයක් ඉදි කල බවත් පැරණි පන්සලේ නටබුන් ඒ වන විටද ඉතිරි වී තිබූ බවත්  ට්‍රිනිඩේඩ් සඳහන් කරයි.

වීදාගම
රයිගම් කෝරලයේ වීදාගම (Vidagama) පෙර පන්සලක් තිබූ තැනක (Where a temple once stood) Our Lady of Miracle දේවස්ථානය වර්තමානයේ ඇති බව ට්‍රිනිඩේඩ් පවසයි. එහි බැතිමතුන් 1300 පමණ ඒ වන විට සිට ඇත.
වීදාගම නටබුන්
මේ කාලය වන විට කන්ද උඩරට සිංහල රාජධානියේද (Kindom of Candia) ප්‍රැන්සිස්කානු නිකායට අයිති දේවස්ථානයක් පිහිටා තිබූ බවත් එහි සිටි පූජකයාට මිත්‍යාදෘෂ්ටික රජතුමා (Pagan King) සහයෝගය දැක්වූ බවත් එම පූජකයා කැප්ටන් ජෙනරාල්ට එහි සිදුවන වැදගත් දේවල් දැනුම්දෙන බැවින් ඔහුගේ සේවය දිවයිනට සහ පෘතුගාලයේ මහ රජතුමාට ඉතාම වැදගත් වූ බවත් (It is the duty of this father to warn the Captain General about anything of importance which may occur there and thus service of His Majesty) ට්‍රිනිඩේඩ් සිය විස්තරයේ අවසානයේදි පවසයි. කෙසේද පහත රට බෞද්ධ විහාරස්ථාන විනාශ කරමින් එම ස්ථාන වල කතොලික දේවස්ථාන ඉදි කරද්දිත් තම බල ප්‍රදේශයේ පෘතුගීසින්ට දේවස්ථානයක් ඉදි කරගැනීමට අනුබල දුන් සිංහල රජතුමාගේ සහ සිංහලයන්ගේ 'ආගමික සහජීවනය' අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින් පෘතුගීසි පූජකයා උඩරට රාජධානියේ ඔත්තු බැලූ අයුරු?  
මූලාශ්‍ර
    The Catholic Church in Sri Lanka, The Portuguese Period Volume III 1620-1658, V. Perniola s.j., 1991


Monday, November 30, 2015

සිංහලේ දෙමළ සෙල්ලිපි 3 - 'විජයරාජ චතුර්වේදීමංඟලම්' හි 'විජයරාජ ඊස්වරම්' තැනූ පළවෙනි විජයබාහු

වසර 77 ක සොලි පාලනයෙන් (993-1070) සිංහලේ මුදවාගත් විජයබාහු (1055-1110) රජු ගැන S. පරණවිතාන සහ C.W. නිකොලස් සංක්ෂිප්ත ලංකා ඉතිහාසයක් කෘතියේ මෙසේ පවසයි.

 "..රණකාමිත්වය අතින් මේ රජු ඉක්මවා යන වෙනත් එක  ද සිංහල රජෙකුවත් නැත්තේය. 'විජයබාහු කෙනෙකු නොවී නම් අද ලංකාවේ සිංහලයන් නොසිටින්නට ඉඩ තිබිණැ' යි පැවැසීම අත්ශයෝක්තියක් විය හැකිය. එහෙත් සිංහලයන්ට ස්වාධීනත්වය ලබාදීමේ පුරෝගාමියාත්, සිංහල ජාතිය ගොඩනැගුවන් අතර ප්‍රමුඛයාත් ඔහු බව නම් නිසැකය."

වර්ෂ 1933 දී පරණවිතාන මහතා කන්තලේ ප්‍රදේශයේ පාලම්මෝට්ටයි නම් ස්ථානයක පැරණි ශිව කෝවිලක නටබුන් අතරින් දෙමළ සහ ග්‍රන්ථ අක්ෂර වලින් රචිත පුවරු ලිපියක් සොයාගනී. පාදමට සහ කණු වලට පමණක් ගල් යොදාගනිමින් ගඩොල් වලින් කර තිබූ එම කෝවිල ඒ වන විට ගරාවැටී කැලයට යට වී තිබී ඇත.

දෙමළ භාෂාවෙන් කල එම ලිපියේ අරමුණ කන්තලායි හි හෙවත් විජයරාජ චතුර්වේදීමංඟලම් හි පිහිටි තෙන් කයිලාසම්  (දකුණු කයිලාසම්) හෙවත් විජයරාජ් ඊස්වරම් හි වැඩවසන ශිව දෙවියන්ට කල පූජාවක් පිළිබදව සටහන් කර තැබීමය. නැසී ගිය සිය සැමියා වන කාරාම්බචෙට්ටු යජ්ඤියක්‍රමවිට්ටන් බ්‍රාහ්මණයා වෙනුවෙන් ඔහුගේ බිරිය වන නාගායිච්චානී විසින් මෙම පූජාව සිරි සංඝබෝධි වර්මන් හෙවත් ශ්‍රී විජයබාහු දේවර් රජුගේ (එනම් පළමුවැනි විජයබාහු රජුගේ ) 42 වන රාජ්‍ය වර්ෂයේදී සිදු කර ඇත.

මෙම ලිපියට අනුව වර්තමානයේදි කන්තලේ යනුවෙන් හැදින්වෙන පූජාවලියට අනුව දෙවෙනි අක්බෝ (604-614) රජු ගඟතලා වැව කරවූ, එසේම නිශ්ශංකමල්ල රජු ඔහුගේ පොළොන්නරුව රන්කොත් වෙහෙර ටැම් ලිපියට අනුව සියලු මසුන්ට අභයදානය පිරිනැමූ ගඟතලා වැව පිහිටි, මෙම ලිපියෙහි කන්තලායි යනුවෙන් හැඳින්වෙන පුරවරය එකල හැඳින්වූ තවත් නමක් වන්නේ විජයරාජ චතුර්වේදීමංඟලම් වේ. **

දකුණු ඉන්දීය දෙමළ සෙල්ලිපි වල නිතර හමුවන චතුර්වේදිමංඟලම් යනු බ්‍රාහ්මණයන් සිටින ගම් හඳුන්වන වචනයකි. ඒ අනුව බොහෝ විට 11 වන සියවසේ චෝල පාලනයට රජරට නතු වූ කාලයේ සිටම මෙම ප්‍රදේශයේ බ්‍රාහ්මණ ගමක් තිබුනා විය හැක. විජයබාහු රජුගේ කාලයේද එයට රජුගේ අනුග්‍රහය සහ ආශිර්වාදය ලැබුන හෙයින් එකල එය විජයරාජ චතුර්වෙදීමංඟලම් යනුවෙන් හැදින්වූවා විය හැක. එය අඛන්ඩව තවත් වසර 100 පමණ තිබූ බවට නිශ්ශංකමල්ල රජු කන්තලේ ගල් ආසන ලිපියේ එම ප්‍රදේශය චතුර්වේද බ්‍රාහ්මණපුර ලෙස හැඳින්වීමෙන් පැහැදිලි වේ (නිශ්ශංකමල්ල රජුගේ කන්තලේ ගල් ආසන සෙල් ලිපියට අනුව ඔහු චතුර්වේද බ්‍රාහ්මණපුරයේ පාර්වති නම් වූ දන් ශාලාව කරවන ලදී). එහි පිහිටි ශිව දෙවොල විජයරාජ ඊස්වරම් යනුවෙන් හැඳින්වීමෙන් බොහෝවිට එය විජයබාහු රජු ඉදිකල හෝ ඔහුගේ අනුග්‍රහය ලැබූ ස්ථානයක් බවට අනුමාණ කල හැක.

සොලී බලමුළු වලින් සිංහලයන් මුදාගත් සිංහල බෞද්ධ පාලකයකු සොලී දේශපාලන බලය මැඩපැවැත්වූ පසුවද මෙරට හැරදා නොගිය හින්දු ආගම අදහන ද්‍රවිඩ බ්‍රාහ්මණයන්ට අනුහ්‍රහය දැක්වූ අයුරු කෙතරම් කදිමද? ලොව වෙන යම් හෝ ජාතියක ආගමක දේශපාලන නායකයෙකුගෙන් තම සතුරාට එවන් අනුග්‍රහයක් ලැබි ඇත්ද?

සම්බන්ධිත පෙර ලිපි
මූලාශ්‍ර
        ** නිකාය සංග්‍රහයේ සඳහන් වන පරිදි දඹදෙනියේ රජ කම් කල දෙවැනි පරාක්‍රමබාහු රජු ගංතළා ඇතුලු තවත් තැන් කිහිපයක කඳවුරු බැඳ සිටි දෙමළ, මළල, ජාවකාදි වූ  සතුරු වියවුල් සන්සිඳවූහ.

  • * A Concise History of Ceylon, C.W. Nicholas & S. Paranavitana 1961 - සිංහල පරිවර්තනය - > සංක්ෂිප්ත ලංකා ඉතිහාසයක්, පරිවර්තන සංස්කාරක ඇස්. බී හෙට්ටිආරච්චි, 2005
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume IV, Edited by S.Paranavitana, 1934-1941
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume IV, Edited & Translated by D.M.de. Z. Wickramasinge, 1912-1927
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය 1997

Friday, November 27, 2015

මැකලම් අනාවැකි

මෙම ලිපිය මින් පෙර ඉදිරිපත් කල දෙමළ ජාතිවාදයේ ආරම්භය සම්බන්ධ ලිපිය හා සම්බන්ධිතය. දෙමළ ජාතිවාදයේ ආරම්භය - සුද්දාගේ Divide & Rule Concept එක

වර්ෂ 1909 දී එවකට ක්‍රියාත්මකව පැවැති ව්‍යවස්ථාදායක සභාවට (Legislative Council) නව ප්‍රතිසංස්කරණ යෝජනා කරමින් ඉංග්‍රිසි ආණ්ඩුවට සන්දේශ(Memorials) කිහිපයක් ඉදිරිපත් වේ. අඩු වැඩි වශයෙන් එකම කරුණු සහ යෝජනා ඇතුලත් මෙම සන්දේශ ජේම්ස් පීරිස් මහතා විසින් සහකාර රාජ්‍ය ලේකම්ටද (Under Secretary of State), ස්වදේශිය ප්‍රභූන් 760 කගේ අත්සන් සහිතව H.J.C. පෙරේරා මහතා විසින් යටත් විජිතභාර ලේකම්ටද (Colonial Secretary) පුද්ගලයන් වශයෙන් ඉදිරිපත් කරන අතර පහතරට නිෂ්පාදන සංගමය (Low-Country product Association) නියෝජනය කරමින් හෙන්රි ද මෙල් සහ ජෙරල්ඩ් H. ද, සේරම්, යාපනය සංගමය (Jaffna Association) නියෝජනය කරමින් J.M. හෙන්ස්මන්, A. සභාපති සහ M.A. අරුලානන්දන්, Ceylon National Association  නියෝජනය කරමින් ආතර් අල්විස්, හලාවත සංගමය (Chilaw Association) නියෝජනය කරමින් අර්නස්ට් කොරෙයා යන මහතුන්ගේ අත්සනින් අදාල සංවිධාන වලින් ඉදිරිපත් කල සංදේශ යටත්විජිත භාර ලේකම්ට යොමු කරයි. එම සංදේශ සියල්ල එවකට ආණ්ඩුකාර H.E. මැකලම් විසින් ඒවායෙහි සදහන් යෝජනා සහ මෙම සංගම් නියෝජනය කරන පුද්ගලයන් සම්බන්ධව ඔහුගේ මතයද සමගින් යටත්විජිතභාර ලේකම් වෙත ඉදිරිපත් කරනු ලැබේ.

Mr. and Mrs. James Pieris and view of their residence, "Rippleworth"
ප්‍රධාන වශයෙන් මෙතෙක් ක්‍රියාත්මක වූ ජනවර්ග පදනමින් ආණ්ඩුකාරය විසින් ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් සාමාජිකයන් පත් කිරීම වෙනුවට ප්‍රදේශ අනුව සීමිත චන්දදායකයන්ගේ චන්දයෙන් මන්ත්‍රීන් පත් කරගන්නා ලෙසත් ව්‍යවස්ථාදායක සභාවෙන් සම්මත කරන පනත් ක්‍රියාත්මක කරන විධායක සභාවට (Executive Council) එම නිලනොලත් මන්ත්‍රීන්ගෙන් කෙනෙකු හෝ කිහිපදෙනෙකු පත් කරගන්නා ලෙසත් මෙම සංදේශ මගින් ඔවුන් ඉල්ලා සිටී.ඒවායෙහි අන්තර්ගතයේ එන ඇතැම් දේ සහ ඒ හා සම්බන්ධව මැකලම් ආණ්ඩුකාරයා දක්වන අදහස් කිහිපයක් මෙසේ ගොනු කර දක්වන්නේ එම කාලය වන විට මෙරට දේශපාලන බල අරගලය පිලිබද වටිනා කරුණු ඉන් ඉස්මතුවන බැවිනි.
  • ඉංග්‍රීසීන් විසින් මේ වන විට ඉන්දියාවට සිමිත චන්දදායකයන්ගේ චන්දයෙන් මන්ත්‍රීන් පත් කරගැනීමේ ක්‍රමය හඳුන්වාදීම මෙම සංදේශ යැවූ බොහෝ දෙනෙකුගේ කනස්සලට හේතු වූ බව පෙනි යයි. ඔවුන් සංසන්දනය කරන පරිදි එවකට මෙරට සාක්ෂරතවය පිරිමින්ගේ 1000 කට 350 සහ ගැහැනුන්ගේ 1000 කට 70 පරිදි විය. නමුත් ඉන්දියාවේ මෙම අගයන් පිලිවෙලින් 1000 කට 98 සහ 7 පරිදි විය. එසේ හෙයින් එම ක්‍රමය මෙරටට හඳුවාදීමට ඇති සුදුසුකම ඉන්දියාවට වඩා වැඩිය.
  • තම අදහස සාධාරණීකරනය කිරීමට ඔවුන් ඉදිරිපත් කරන තවත් තර්කයක් වූයේ මෙරට වැසියන් ඉංග්‍රීසින්ට අයත් අනෙකුත් යටත්විජිත වල මෙන් නොව අධිරාජ්‍යට ඉතාමත් කීකරු සහ අවනත පිරිසක් බවය. එය පෙර සිටි බොහෝ ආණ්ඩුකාරවරුන් විසින්ද පිළිගත් වග ඔවුන් සඳහන් කරයි. (Nowhere in the whole British Empire are there more loyal and devoted subjects of his Majesty than in Ceylon....) [කෙසේද පරගැති බව එහි උපරිමයෙන් පෙන්වන ආකාරය]
  • දෙමළ ජාතිකයන්ගෙන් සමන්විත යාපනය සංගමය පවා ජනවර්ග පදනමින් මන්ත්‍රීන් පත්කිරීම වෙනුවට පලාත් සහ ප්‍රධාන නගර පදනමින් මැතිවරණයක් මගින් ඔවුන් තේරීම කල යුතු බව පැවැසීම මෙහිදි වැදගත්ය. එසේම එම සංගමය මෙන්ම අනෙකුත් සංවිධානද මෙම නව ක්‍රමය නිසා "සුලු ජාතික නියෝජනයේ අඩුවීමක් සිදුවන්නේ යැයි ඉංග්‍රිසි ආණ්ඩුව සිතන්නේ නම්" ආණ්ඩුකාරය විසින් ඒ සදහා නියෝජිතයෙකු හෝ දෙතුන් දෙනෙකු පත් කිරීම කල යුතු බව පැවසීමද ඒ වන විටත් අධිරාජ්‍යවාදීන් කොතෙක් උත්සාහ කලද පොදුවේ දෙමළ සහ සිංහල ප්‍රභූන් සැලකිය යුතු මට්ටමින් අධිරාජ්‍යවාදීන්ගේ බෙදා වෙන් කර පාලන උපක්‍රමයට හසු නොවී සිටි බවට දෙස් දෙයි.
  • චන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමි විය යුතු පුද්ගලයන් තෝරාගත යුතු ආකාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔවුන් පවසන්නේ අවුරුදු 21 ට වැඩි නගරයක නම් රුපියල් 1000 ට නොඅඩු නිශ්චල දේපල සහිත හෝ රුපියල් 300 ක වටිනාකම සහිත වාර්ෂික ආදායමක් උපයන හෝ ගමක නම් රුපියල් 150 ක වාර්ෂික ආදායමක් සහිත, නැතහොත් රුපියල් 150 ක විශ්‍රාම වැටුපක් ලබන, දේශිය භාෂා දෙකින් එකක් හෝ ඉංග්‍රිසි භාෂාව ලිවීමට හා කියවීමට හැකි පිරිමින්ට එම අයිතිය ලබා දිය යුතු බවය.
  • චන්දය ඉල්ලීමට සුදුසු පුද්ගලයන් විය යුත්තේ ඔවුනට අනුව අවුරුදු 21 ට වැඩි මනා ඉංග්‍රිසී අධ්‍යාපනයක් සහිත රජයේ රැකියාවක් නොකරන, කිසියම් හෝ අපරාධයකට වැරදිකරුවෙකු නොවූ පිරිමි වේ.
මැකලම් ආණ්ඩුකාරවරයාගේ අදහස් වල සදහන් වන දෑ
  • මැකලම් ආණ්ඩුකාරයාට අනුව මෙම සංදේශ ඉදිරිපත් කරන කිසිවෙකු මෙරට ජනතාව නියෝජනය කරන්නන් නොවේ. ඔවුන් බටහිර අධ්‍යාපනයක් විනා කිසිදු පෙරදිග දැනුමක් ඇත්තන් නොවන අතර ඔවුන්ට මෙරට ජනතාව නියෝජනයට කිසිදු සුදුසුකමක් නොමැත. ඔවුන් බ්‍රිතාන්‍ය සාරධර්ම වලට අනුමත වූ මෙරට යුරෝපිය පරිපාලනයේ නිෂ්පාදිත වේ. [අදටත් නිවර්තන රටක ටයි කෝට් පොරවන් ආණඩු 'කොරන' එම පරපුරේම පසුකාලීනයන් සම්බන්ධයෙන් මැකලම් ආණ්ඩුකාරයාගේ මෙම නිගමනය කොතරම් අදාලද?]
  • තවදුරටත් මැකලම් ආණ්ඩුකාරවරයා චන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් පවසන්නේ එමගින් තම පැවැත්ම වෙනුවෙන් ස්ව ප්‍රචාරණය(Self advertisement) සහ කැලඹීම් උපයෝගී කරගන්නා වෘත්තිමය දේශපාලකයන් පිරිසක් මෙරට බිහිවෙනු ඇති බවය. ඔවුන්ගේ චන්ද ව්‍යාපාර රටේ අඥාන බහුතරය අතර කලබල සහ ප්‍රචන්ඩත්වය පතුරවනු ඇති බව සහ එමගින් කොලණියේ ප්‍රගමණය අඩාල කරනු ඇති බවය. [මැකලම් එදා කිව් අනාවැකි අදටත් සත්‍ය නොවේද?]
  • කෙසේ නමුත් ඔහු යෝජනා කරන්නේ මෙම උගත් ලාංකිකයන් පිරිස නියෝජනය කිරීමට අලුතින් නිල නොලත් මන්ත්‍රීවරයෙකු පත් කිරීම කල යුතු බවය. එසේම මෙතෙක් Chamber of Commerce සහ Planters's Association යන ආයතන වලින් පුද්ගලයන් ඉදිරිපත් කල ආකාරයට බර්ගර් ජන වර්ගයාද ඔවුන්ගේ සංවිධානයක් පිහිටුවා ගතහොත් ඔවුන් වෙනුවෙන් නියෝජිතයකු ඉදිරිපත් කිරීමේ අයිතිය ඔවුන්ට ලබා දීමටද  කාලය එලඹ ඇති බව හෙතෙම වැඩිදුරටත් යෝජනා කරයි. ඔහු ඉදිරිපත් කරන තවත් එක් වැදගත් යෝජනාවක් වනුයේ පහත රට සිංහලයන් අතර කුල අතර විවිධත්වය වැඩිවන බැවින් ඒ සදහා තවත් එක් නියෝජිතයෙක් එක් කල යුතු බවය. [කෙසේද Divide & Rule සංකල්පයේ යොදාගැනීම]
මැකලම්ගේ යෝජනා වලට ප්‍රතිචාර දක්වන යටත්විජිත ලේකම්වරයා පවසන්නේ ජනවර්ග පදනමින් නියෝජිතයන් තේරීම දිගටම පවත්වා ගත යුතු බවය. ( I consider therefore that the principle of racial representation should be maintained)

ඡායාරූප උපුටා ගැනීම Twentieth Century Impression of Ceylon - Arnold Wright, 1907

මූලාශ්‍ර
  • The Hand-Book of the Ceylon National Congress 1919-1928, S.W.R.D. Bandaranaike, 1928


Monday, November 23, 2015

දෙමළ ජාතිවාදයේ ආරම්භය - සුද්දාගේ Divide & Rule Concept එක

Left - A Kandyan Girl, Right - High caste Tamil girl (1907)

දෙමළ ජාතිවාදයේ මිලිටරිමය සංරචකය 2009 මැයි මස නන්දිකඩාල් කලපුවෙන් පරාජය ලැබුවත් එහි දේශපාලන සංරචකය අද වන විට වෙන කවරදාකටත් වඩා ජයග්‍රහණ අත්පත් කරගනිමින් රටේ නිල ප්‍රධාන විපක්ෂය දක්වාම පැමිණ ඇත. සිදුවීම් සිදුවන ආකාරය සැලකීමේදී ඔවුන් නුදුරේදීම ඔවුන්ගේ ඊලාම් පිපාසය සංසිදුවා ගැනීම අනිවාර්යයක් වනු ඇත. මෙවන් තත්වයක් යටතේ දෙමළ ජාතිවාදයේ ඉතිහාසය විමසා බැලෙන ලිපි පෙලක ඇරඹුමයි මේ.

මෙරට පළමු ව්‍යවස්ථාදායක සභාව (Legislative Council) පිහිටුවන ලද්දේ වර්ෂ 1833 දීය. ආණ්ඩුකාරවරයාට යටත්විජිතය පාලනයේදී අවශ්‍ය වන පණත් සම්මත කිරීමේදි ඒ පිළිබදව අදහස් ලබාදීම වැනි සීමිත නිදහසක් තිබූ මෙම ව්‍යවස්ථාදායක සභාව නිලලත් මන්ත්‍රීවරු 10 දෙනෙකු (Official members) සහ නිල නොලත් මන්ත්‍රීවරු 6 දෙනෙකුගෙන් (Unofficial members) සමන්විත විය. නිලලත් මන්ත්‍රීවරු 10 දෙනාගෙන් 6 දෙනෙකු විධායක සභාවේ (Executive Council) සාමාජිකයන් වු  අතර ආණ්ඩුකාරයා පත්කරනු ලබන බස්නාහිර සහ උඩරට පලාත් වල අණ්ඩුවේ ඒජන්තවරුන් දෙදෙනා ඇතුලු රජයේ නිලධාරීන්ගෙන් සෙසු සිව් දෙනා සමන්විත විය. නිලනොලත් මන්ත්‍රීවරුන් පත් කිරීම ආණ්ඩුකාරයා විසින් සිදු කරනු ලැබූ අතර එහි සංයුතිය මේ ආකාරයෙන් මුලදී සිදු කරන ලදී.

යුරෝපීය ජාතිකයන් වෙනුවෙන් මන්ත්‍රීවරු   3
සිංහලයන් වෙනුවෙන් මන්ත්‍රීවරු                 1
දෙමළ ජාතිකයන් වෙනුවෙන් මන්ත්‍රීවරු       1
බර්ගර් ජාතිකයන් වෙනුවෙන් මන්ත්‍රීවරු       1

මින් යුරෝපීය ජාතිකයන් තිදෙනාගෙන් එක් අයෙක් වාණිජ ප්‍රජාව නියෝජනය කිරීමට Chamber of Commerce ආයතනයෙන් සහ අනෙකා වැවිලිකරුවන් නියෝජනය කිරීමට Planter's Association යන ආයතන වලින් යෝජනා කරන නියෝජිතයන්ගෙන් සමන්විත වූ අතර තෙවෙනි යුරෝපීය ජාතිකයා පොදුවේ සියළුම යුරෝපීය ජාතිකයන් නියෝජනය කලේය. සිංහල, දෙමළ සහ බර්ගර් ජන වර්ග නියෝජනය සඳහා නියෝජිතයන් ආණ්ඩුකාරවරයා විසින් තෝරාගනු ලබයි.

1889 දී මෙයට උඩරට සිංහලයන් නියෝජනය කිරීම සඳහා එක් මන්ත්‍රීවරයෙකු සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කිරීමට තවත් එක් මන්ත්‍රීවරයෙකුද එක් කිරීමෙන් ජනවර්ග අනුව බෙදා පාලනය කිරීම තවත් ශක්තිමත් කරනු ලැබුහ.

රටේ ජනගහණය  1,167,700 පමණ වූ 1833 දී ආරම්භ කල මෙම ජන වර්ග පදනමින් බෙදා වෙන් කර පාලනය කිරීම 1907 වන විට 3,998,064 වූ මුලු ජනගහණය අතර ජනවර්ග පදනමින් බෙදී ගියේ මේ ආකාරයටය. පිළිවෙලින් එක් එක් ජනවර්ග වල මුලු ජනගහණය එම ජනවර්ගය රටේ මුලු ජනගහණයෙන් ප්‍රතිශතයක් ලෙස කොතරම්ද යන්න සහ ඔවුන් නියෝජනය කිරීමට ව්‍යස්ථාදායක සභාවේ සිටි නියෝජිතයන් ගණන දැක්වේ.

යුරෝපීය ජාතිකයන්                    - (6500)  >  (0.16%)  >  3
උඩරට සහ පහතරට සිංහලයන්*    - (2,551,000)  >  (64%)  > 2
දෙමළ ජාතිකයන්                        - (1,127,000)  >  (28%)  > 1
බර්ගර් ජාතිකයන්                        - (24,789)  >  (0.6%)  >  1
මුස්ලිම් ජාතිකයන්                       - (250,000) >  (6%)  > 1

*1906 සිදු කල සංගනණයට අනුව පහතරට සිංහලයන් 1,458,320 සහ උඩරට සිංහලයන් 872,487 මෙරට විසූහ

විවිධ ජනවර්ග සිටින රටක් යටත් කරගෙන පාලනය කිරීමේදි එම ජනවර්ග එක් ජාතියක් ලෙස එක් වුවහොත් එය ආක්‍රමණිකයට උවදුරක් වීම වැලැක්වීමට යොදාගන්නා උපක්‍රමයක් වන බෙදා වෙන් කර  පාලනය කිරීමේ මෙම උපාය සුදු අධිරාජ්‍යවාදීන් 1833 සිට යොදාගත් ආකාරය මෙයින් පැහැදිලි වේ. එය කෙතෙක් දුර ගියාද යත් සිංහල ජනවර්ගය පවා උඩරට සහ පහතරට ලෙසින් නැවතත් බෙදීමටකට ලක් කිරීම මෙහිදි දැක ගත හැක (එම කාලය වන විට ඔවුන් අතර පැහැදිලි සංස්කෘතිකමය සහ සමාජීය වෙනස් කම් තිබූ බවද මෙහිදි අප අමතක නොකල යුතුය ). ශ්‍රි ලාංකීය ජාතිය එක් ජාතියක් ලෙස එක් නොවී විවිධ ජනවර්ග පදනමින් බෙදී යාමේ ආරම්භය මෙය වේ. යම් ආකාරයකින් මෙරට එවකට ශක්තිමත් පදනමක් තිබූ කුල පදනමින් සිංහල සහ දෙමළ ජනවර්ග නැවතත් බෙදා ඒ ඒ කණ්ඩායම් නියෝජනය කිරීමට වෙන වෙන නියෝජිතයන් පත් කලා නම් හෝ බෞද්ධ, කතෝලික වැනි ආගම් අදහන ජනතාව නියෝජනයට නියෝජිතයන් වෙන වෙනම පත් කලා නම් හෝ මෙම ප්‍රශ්ණය මෙයටත් වඩා මේ වන විට ඒ ඒ පදනම් යටතේද ඔඩු දුවා තිබෙන්නට බොහෝ දුරට ඉඩ තිබුණි. එහෙත් නොයෙකුත් අවස්ථා වලදි එවන් උපක්‍රම පවා වෙනත් ආකාර වලින් ඉංග්‍රීසින් යොදා ගත්තද ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් පත් කරන මට්ටමට යොදානොගැනීම ජාතියේ වාසනාවකි.

පසුකාලීනව දෙමළ සිංහල ජනවර්ග මේ බෙදා වෙන් කර පාලනය කිරීමට විරුද්ධ වූ ආකාරය සහ ඊටත් පසු දෙමළ ජනවර්ගය එම ක්‍රමය අගය කරමින් එය ඉදිරියට ගෙන යාමට ඉංග්‍රීසීන්ට බලපෑම් කල ආකාරය සහ අවසානයේ දෙමළ ජාතිවාදීන්ගේ අසාධාරණ ඉල්ලිම් වන වෙනම රාජ්‍යය සහ වෙනම ජාතියක් ලෙස ඔවුන් පිලිගැනීම දක්වා එය වර්ධනය වූ ආකාරය ඉදිරියේදී විමසා බලමු.

ඡායාරූප උපුටා ගැනීම Twentieth Century Impression of Ceylon - Arnold Wright, 1907

මූලාශ්‍ර
  • Twentieth Century Impression of Ceylon, Arnold Wright, 1907
  • The Hand-Book of the Ceylon National Congress 1919-1928, S.W.R.D. Bandaranaike, 1928
  • University of Ceylon - History of Ceylon Volume III
  • ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා, නලින් ද සිල්වා, 1995



Wednesday, November 18, 2015

නාගදීප පුරාණය - සම්බිලිතුරෙයි වූ මහ බෝ වැඩි දඹුලු තොට

මේ හා සම්බන්දිත පෙර ලිපිය මෙතනින් කියවන්න.  නාගදීප පුරාණය - නයිනතිව්නං නාගදීපං?


සම්බිලිතුරෙයි වෙරළ
දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 252-212) කල වෙහෙර විහාර පිළිබද පැවසීමේදි මහාවංශ කතු හිමියන් "...නාග දිවයින දඹකොළ වෙහෙරද, එම පටන්හි තිස්ස මහා විහාරයද, පාචීනාරාමයද යන මේ කර්මාන්තයන්...දෙවන පෑතිස් රජ තෙමේ පළමු වෙනි හවුරුදුයෙහිම කරවී" යනුවෙන් පවසයි. එසේම පෙර සදහන් කල භාතියතිස්ස රජුට පසු රජ පැමිණි ඔහු මලනුවන් වූ කණිටුතිස් රජු (ක්‍රි.ව. 167-186) නාගදීප විහාරයේ ප්‍රතිසංස්කරණ කල බවද සදහන්ය. ඉන්පසු ක්‍රි.ව. 209 සිට 231 දක්වා රාජ්‍යය විචාල වෝහාරිකතිස්ස රජුද නාගදිවයින තිස්ස නම් විහාරය ඇතුලු දිවයින පුරා වෙහෙර සයක ප්‍රාකාර කල බව මහාවංශයේ සදහන් වේ. මහල්ලනාග රජුගේ සය අවුරුදු පාලන කාලය තුල (ක්‍රි.ව. 136-143) කල සත් විහාර අතර නාගදීපයේ සාලිපබ්බත වෙහෙරද සදහන්ය (සුමංගල-බටුවන්තුඩාව සංස්කරණයේ මෙය ඇල්ගිරිය විහාරය ලෙස දැක්වේ)


දඹකොල පටුන - වර්තමාන චෛත්‍යය
මෙහි සදහන් වෙන දඹකොල පටුන හෙවත් ජම්බුකෝලපට්ඨන පිළිබඳ වංශ කතාවේ එන වෙනත් සදහන් කිරීම් විමසා බැලීමෙන් නාගදීපය පිහිටි ප්‍රදේශය පිළිබද කිසියම් අදහසක් ලබාගත හැක. ධර්මාශෝක රජු හමුවීමට ගිය දේවානම්පියතිස්ස රජුගේ ධූත පිරිස ඒ සදහා පිටත්වුවේ  සහ නැවත පැමිණියේ දඹකොල පටුනටය. එසේම ශ්‍රී මහා බෝධිය රැගෙන සංඝමිත්තා තෙරණිය පැමිණෙන්නේද දඹකොල පටුනටය. ඒ සම්බන්ධ විස්තරයේදී මහාවංශයේ එන සදහන මෙහිදි සලකා බැලීම වැදගත්ය."...නුවර උතුරු දොරින් දඹකොළ පටුන් මහ මග දක්වා සියලු මාර්ගය අලංකෘත කරවා..." මේ අනුව නුවර උතුරු දොරටුවෙන් නික්මී දඹකොළ පටුනට යන මඟ විහිදි ඇති බව පෙනේ. ඒ නයින් දඹකොළ පටුන පිහිටියේ අනුරාධපුරයට උතුරු දෙසින් බවට ඉඟියක් ලැබේ. කොඩ්රිංටන් මේ අනුව පුරාණ දඹකොල පටුන යනු වර්තමානයේ කන්කසන්තුරෙයි අසල පිහිටි සම්බිලිතුරෙයි ලෙස හඳුනාගනී.

 දඹකොල පටුනේ සමුද්‍රපන්නශාලා යනුවෙන් පසුව ශාලාවක් සෑදු බව සහ එම මහාබෝධිය නැවින් ගොඩ නැඟී පිහිටි තන්හි එක් අෂ්ඨ ඵල බෝධියක්ද පිහිටවූ බව මහාවංශයේ වැඩිදුරටත් සදහන් වෙයි. කුරුණෑගල යුගයේ 4 වන පැරකුම්බා රජු කල (ක්‍රි.ව. 1325-1333) විල්ගම්මුල මාහිමියන් රචනා කල සිංහල බෝධිවංසයට අනුව පාලියෙන් ජම්බුකෝලපට්ටන යනුවෙන් හැදින්වුන මෙම ස්ථානයේ එවකට භාවිතා වූ සිංහල නම වනුයේ දඹුලු තොටය. අෂ්ඨඵල බෝ පිහිටුවීම විස්තර කරමින් සිංහල බෝධිවංසය මෙසේ පවසයි. "එයින් එක් බෝ පැළයක් සමුද්‍රතීරයෙහි සිට එන ගමනේ මහා බෝධීන් වහන්සේ පිහිටි තැන දඹුලු තොට රෝපණය කෙළේය".  හීනටිකුඹුරේ සුමංගල හිමියන් රාජාධිරාජසිංහ රජුගේ හත්වන වර්ෂයේ එනම් ක්‍රි.ව. 1787 ලියන ලද සුළු බෝධිවංසය  එම ස්ථානය හඳුන්වන්නේ දඹකොලපටුන්න ලෙසය.මීට අමතරව 11 වන සියවසේ විජයබාරජු (ක්‍රි.ව. 1055-1110) ප්‍රතිසංස්කරණය කල වෙහෙර විහාර අතර දඹකොළ වෙහෙරද ඇතුලත්ය


මහ බෝ වැඩි ලෙස සැලකෙන දඹකොල පටුන 
ඒ අනුව නාගදීපයද අනුරාධපුරයට උතුරු දෙසින් පිහිටි ප්‍රදේශයක් ලෙස ගිණිය හැක. එසේම දඹකොළ පටුන යනු වර්තමාන සම්බිලිතුරෙයි ලෙස පිලිගන්නේ නම් නාගදීප යනු වර්තමාන යාපන අර්ධද්වීපය විනා නයිනතිව් ලෙසින්ද හැඳින්වෙන කුඩා දූපත නොවන බව වටහා ගත හැක.

වල්ලිපුරම් රන්පතින් තහවුරු වන නාගදීප ඉතිහාසය මී ලගට සලකා බලමු.

මූලාශ්‍ර
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, Ph.D, 1912.
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • හීනටිකුඹුරේ සුමංගල හිමියන් ලියූ සුළුබෝධිවංසය, සංස්කරය - ආචාර්ය සෝමපාල ජයවර්ධන, 1991
  • විල්ගම්මුළ මාහිමියන්ගේ සිංහල බෝධිවංසය, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ දර්ශනපති ඊ. ඒ. වික්‍රමසිංහ සංස්කරණය, 1996

Monday, November 16, 2015

නාගදීප පුරාණය - නයිනතිව්නං නාගදීපං?


වර්තමාන නාගදීප විහාරය
2015 ජනවාරි 8 සිදුවූ ඊනියා "යුග පෙරලියත්" සමග ලැබුනු නිදහස සමගින් යලිත් අවදි වී සිටින ඊලාම්වාදීන් හට නාගදීපය නමින් අද හැඳින්වෙන කුඩා දූපත නයිනතිව් කිරීමට හදිසි රුදාවක් පහල වී ඇත.  කලක පටන්ම එම ප්‍රදේශයේ දෙමළ ජනතාව එම දූපත නයිනතිව්  ලෙස හඳුන්වන මුත් දකුනේ සිංහලයන්ට අදටත් එය නාගදීපය විනා නයිනතිව් නොවේ. කාලයත් සමග විවිධ ප්‍රදේශ වල නම් වෙනස් වීම ස්වභාවිකය. ඇතැම් විට ඉදිරි කාලයේදි දකුනේ සිංහලයන්ටද එය නයිනතිව් ම විය හැක. එසේ සිදුවන ස්වභාවික වෙනස්වීමට පටහැනිව කෘතිමව නම් වෙනස් කිරීමට යෑමෙන් පෙනීයන්නේ ඊලාම්වාදීන්ගේ සැමදා නොසන්සිදෙන ජාතිවාදී, වර්ගවාදී උවමනාවන් විනා අන් යමක් නොවේ. අප මෙහිදි සිදු කිරීමට යන්නේ නාගදීපය යන නමින් අතීතයේ හැඳින්වූ ප්‍රදේශය පිලිබදව පිලිගත හැකි සාධක අනුසාරයෙන් විවරණයක යෙදීමටය.

පැරණිම වංශ කතාව ලෙස සැලකෙන දීපවංශයේ (4 වැනි සියවස*) නග්ගදීප යනුවෙන් හැඳින්වෙන දූපතක් ගැන කියවෙන්නේ විජය ඇතුලු පිරිස පිටිවහල් කිරීමේදීය. සීහපුරයේ වැසියන්ට විජය සිදු කල කෲර කම් ඉවසා සිටිය නොහැකිව ජනයා ප්‍රකෝපවී රජුට පැමිණිලි කල කල්හී රජු එම පිරිසේ විජය ඇතුලු පිරිමින් එක් නැවකටද, ගැහැණුන් තවත් නැවකටද, කුඩා ලමයින් තුන්වෙනි නැවකටද පටවා රටින් පිටුවහල් කරයි. මින් ලමයින් සිටි නැව මුහුදේ ගසාගෙන ගොස් නවතින දූපත ඉන්පසුව නග්ගදීප (Naggadipa) නමින් පතල වූ බව එම වෘතාන්තයේ පැවසෙයි. 5 වන සියවසේ රචිත මහාවංශයේද එන මෙම සඳහන ගයිගර් සිය මහාවංශ සංස්කරණයේ 'නග්ග' යනු 'නිරුවත්' බැවින්  'නග්ගදීප' යනු 'ලමුන්ගේ දූපත' (Island of children from nagga 'naked')  යනුවෙන් අර්ථකතනය කරයි. කෙසේ නමුත් හික්කඩුවේ සුමංගල හිමියන් සහ බටුවන්තුඩාවේ පඬිතුමන්ගේ මහාවංශ සංස්කරණයේ මෙම සඳහන නොමැති අතර 'කුමරුවන් පිහිටි දිවයින මහින්ද්විපය යයි වී' යනුවෙන් සඳහනක් පමණක් ඇත. මහාවංශයේ නවතම සංස්කරණය වූ ආනන්ද ගුරුගේ මහතාගේ ඉංග්‍රීසි පරිවර්තනයේ මහාවංශයේ 6 වන පරිච්ඡේදයේ 45 වන ගාථාවේ දරුවන් පැමිණි දූපත නග්ගදීප ලෙසත් බිරියන් ගොඩ බට දිවයින මහිලාදීප ලෙසත් ඉන්පසු හැදින්වූ බව සදහන් වේ. (The island where the children landed, was known as Naggadipa and the island where the wives landed, as Mahiladipa) එසේම මහාවංශයට කල ටීකාව වන වංසත්ථප්පකාසිනියේද මෙය එලෙසින්ම සඳහන් වේ. ජනකතාවක් ඇසුරින් මෙරට වංශකතාවට ඇතුලු වූ මෙම ප්‍රබන්ධයේ විශ්වාසනීයත්වය පිළිබද ගැටලු ඇත. දීපවංශය සහ මහාවංශය ලියවෙන කාලයේ සහ ඉන් පෙර නග්ගදීපය නම් දිවයිනක් පිළිබද  වංශකතාකරුවා දැන සිටි බව මින් අදහස් වන ලෙස පමණක් පිළිගන්නේ නම් එය වර්තමාන නාගදීපයද නැතහොත් මෙරට සහ ඉන්දියාව අතර පිහිටි වෙනත් දූපතක්ද යන්නද  නිශ්චිතව කිව නොහැක.

කෙසේ නමුත් මෙයට පෙර අවස්ථාවකදී බුදුන් වහන්සේගේ දෙවැනි ලංකාගමණය විස්තර කිරීමේදී නාගදීප යනුවෙන් වූ දිවයිනක් ගැන මහාවංශයේ සදහන් වේ. මෙම විස්තරයම දීපවංශයේද එන මුත් චුලෝදර සහ මහෝදර නම් වූ නා රජවරුන් දෙදෙනා අතර ඇති වූ එම සටන සිදුවූවේ ලංකාද්වීපයේ හෙවත් තම්බපන්නියේ කියනු විනා නාගදීප හෝ වෙනත් විශේෂ ප්‍රදේශයක් පිළිබද සදහනක් දීපවංශයේ නොයේ. මහාවංශ කතෲ දක්වන පරිදි මිණිපළහක් හේතුකොට ගෙන ඇතිවූ එම යුද්ධය දැක බුදුන් වහන්සේ එය වැලැක්වීම සඳහා "...නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක" යනුවෙන් සදහන් කරන බැවින් එය මෙරට පිහිටි ප්‍රදේශයක් හෝ ආසන්න දූපත් රාජ්‍යයක් බව හැඟේ. එසේම මහෝදර නම් නාගයාගේ මයිල් වූ මණි අක්ඛිත නම් වූ කැලණියේ විසූ නා රජෙකු ගැනද එම කතාවේ සඳහන් වෙන බැවින් සහ ජේතවනය අසල කිරිපලුරුකක වැඩ හුන් සමිද්ධි සුමන නම් වූ දේවතාවෙක්ද එම රුකත් රැගෙන බුදුන් වහන්සේ සමඟ එය ඡත්‍රයක් ලෙස බුදුන් වහන්සේගේ හිසට ඉහලින් අල්ලාගෙන නාගදීපයට පැමිණි බව පවසන බැවින් සහ එම දේවතාවා පෙර ආත්මයක නාගදීපයේ මනුස්සයකු ලෙස විසූ බව පවසන හෙයින් කිසියම් අදහසක් මෙම වෘතාන්තයෙන්ද අපගේ මාතෘකාවට අදාල කරගත හැක. පෙර කතාව මෙන්ම බුදුන් වහන්සේගේ ලංකාගමණය පිළිබඳව මහාවංශයේ එන සදහන්ද අපගේ වංශකතා හැර වෙනත් මූලාශ්‍ර වලින් තහවුරු කල නොහැකි බැවින් සහ ඒවාහි සඳහන් අතිශයෝක්තියට නැගූ පුරාණෝක්තිගත (Mythical) බව හේතුවෙන් ඓතිහාසික සත්‍ය අසත්‍ය බව පිළිබඳ ගැටලු පැණනගී. කෙසේ නමුත් එම කිරිපලු රුක නාගදීපයේ පිහිටවූ ස්ථානයේ රාජායතන චෛත්‍යය පිහිටවූ බව සඳහන් වීමේන් සහ ඒ පිළිබඳව වංශ කතා වල පසු කලක නැවත කෙරෙන සදහන් ආශ්‍රයෙන් නාගදීපය පිහිටි ප්‍රදේශය පිළිබඳ යම් වැටහීමක් ලබාගත හැක.

නාගදීපය හෙවත් නයිනතිව් දූපත

පූජාවලියේ දැක්වෙන පරිදි භාතියතිස්ස රජු (ක්‍රි. ව. 143-167 "නාගදිවයින කිරිපලු ගස මුල කිරිපලු දාගෙය" කරවන ලදී. භාතියතිස්ස රජු කල වෙනත් විහාර සම්බන්ධ විස්තර දක්වන මුත් මෙම කිරිපලු දාගෙය සම්බන්ධ කිසිදු සඳහනක් මහාවංශයේ නොමැත. පූජාවලිය ලියවෙන්නේ ක්‍රි. ව. 1266 දී පමණ වන බැවින් පූජාවලියට මෙම කරුණු පැමිනියේ මහාවංශය නොවන වෙනත් මූලාශ්‍රයකින් නොවේ නම් අවම වශයෙන් එම කාලයේ එනම් 13 වන ශතවර්ෂයේ නාගදිවයින යනුවෙන් ප්‍රදේශයක් හා එහි කිරිපලු දාගෙය නම් වූ ස්ථානයක් තිබූ බවට පූජාවලි කතෲ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් දැනසිටි බවට වඩා වැඩි යමක් මෙයින් ගත නොහැක. නමුත් එම ස්ථානය මින් පෙර සදහන් වූ රාජායතන චෛත්‍යය පිහිටි ස්ථානය බව නම් විවාදයක් නොමැත. 17 වන සියවසේ අග භාගයේ පමණ රචිත රාජාවලියද පූජාවලිය අනුව යමින් "භාතියතිස්ස රජ කිරිපලු  වෙහෙර කරවා පූජා කර..." යනුවෙන් සදහන් කරයි. කෙසේ නමුත් මහාවංශයේ 41 වන පරිච්ඡේදයේ දැක්වෙන පරිදි කුඩා අක්බෝ නමින්ද හැඳින්වූ දෙවෙනි අග්ගබෝධි (ක්‍රි. ව. 597-606) රජු "නාග දිවයින රාජායතන ධාතු ගෘහයද , උණු ලොම් ගෙයද, ආමල චෛත්‍යයෙහි සැතද (කරවා) විහාරයට කැඳ දන් පිණිස තත්තග්‍රාමය දින" යනුවෙන් එන සදහනින් නාගදිවයිනේ වූ රාජායතන ධාතු ගෘහය හා අනිකුත් විහාර ආරාම ආදියේ ඉතිහාසය නිසැකවම 6 වැනි ශතවර්ෂයේ අවසානය දක්වාම ගෙන යා හැක.

මෙම සියලු දත්ත පාදක කරගනිමින් අපට පැවසිය හැක්කේ. මෙරට කිසියම් වූ ප්‍රදේශයක නාගදීපය යනුවෙන් ප්‍රදේශයක් තිබූ බව සහ එම නම අවම වශයෙන් 17 වන සියවසේ අවසානය දක්වාම ඒ ආකාරයෙන්ම පැවති බවත්, එහි රාජායතන දා ගෙය හෙවත් කිරිපලු වෙහෙර නමින් වූ වෙහෙරක් තිබූ බවත්, එම විහාරයේ ආරම්භය වංශ කතාවේ දැක්වෙන පරිදි බුද්ධ කාලයට කෙසේ වෙතත් 2-6 වන සියවස් තරම් වත් පැරණි බවත් පමණි. අනික් අතට එම ස්ථානයේ ඒ වන විටත් මිනිසුන් වැඳුම් පිඳුම් කරන පැරණි කිරිපලු ගසක් තිබෙන්නට ඇති බවත් ඒ හා සම්බන්ධ ජනප්‍රවාදය 4-5 සියවස් වල රචිත වංශ කතා තුලටත් බුදුන් මෙරටට වැඩමවීමේ කතා ආශ්‍රයෙන් ඇතුලු වෙන්නට ඇති බවත් උපකල්පනය කල හැක. නාගදීපය යනු වර්තමානයේ අප නාගදීප/නයිනතිව් නමින් හඳුන්වන දූපතද නොමැති නම් මුලු යාපන අර්ධද්වීපයද යන්න වංශ කතා සහ සෙල්ලිපි සාධක ඇසුරින් මතුවට විමසා බලමු.

මූලාශ්‍ර
  • The Dipavamsa edited by Dr. B.C. Law, The Ceylon Historical Journal, Vol VII. Nos 1-4, 1957 & 1958
  • The Dipavamsa, An Ancient Buddhist Historical Record, Hermann Oldenberg, 1879.
  • *පාලි සාහිත්‍යය, පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහා නායක ස්ථවිර, 1966 
  • *The Pali Literature of Ceylon, G.P. Malalasekera, 1928.
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, Ph.D, 1912.
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • වංසත්ථප්පකාසිනියමහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.


Friday, November 13, 2015

1956 විප්ලවය - සර් ජෝන්ගේ සහ සොලමන් ඩයස්ගේ සිංහල භාෂා හටන


දෙමළ ජාතිවාදීන් මෙන්ම විදේශීය ඩොලර් මත යැපෙන සිවිල් සමාජය නමින් තමුන්ව හඳුන්වාගන්නා ඊනියා බුද්ධිමතුන්ද සමාජගත කර තිබෙන මිත්‍යාවක් වන්නේ බණ්ඩාරනායක මහතා 1956 දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නිසා දෙමළ ජනතාවට විශාල අසාධාරණයක් වූ බවය. ඉන් නොනැවතී ඔවුන් පවසන්නේ දෙමළ තරුණයන් අවි අතර ගැනීමටද ඔවුන්ට සිදුවූ මේ අසාධාරණය හේතු වූ බවය. මෙය කොතරම් දුරට සත්‍යද? දෙමළ ජාතිවාදයේ ආරම්භය වෙනමම සලකා බැලිය යුතු මාතෘකාවක් උවත් කෙටියෙන් පැවසිය යුත්තේ අවම වශයෙන් වෙනම දෙමළ රාජ්‍යයක් උදෙසා චෙල්වනායගම් මහතා ඉලංකෙයි තමිල් අරසු කච්චි  හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂය පටන් ගන්නේ 1956 ට හත් වසරකට පෙර 1949 දී බවය.

S.W.R.D බණ්ඩාරනායක 
අනිත් කාරණය සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට පෙර රාජ්‍ය භාෂාව වූවේ දෙමළ නොව ඉංග්‍රිසී වීමය. එදා මෙන්ම අදත් පොදුවේ දෙමළ, සිංහල සාමාන්‍ය ජනතාව අතර ඉංග්‍රිසි උගත් පිරිස අතලොස්සක් විය. සිංහල සහ දෙමළ ජනතාව එක්ව වාසය කල ප්‍රදේශ වල ඔවු නොවුන් යම් තාක් දුරකට හෝ දැන සිටියේ අනෙකාගේ භාෂාව විනා එතෙක් කල් රාජ්‍ය භාෂාව වූ ඉංග්‍රිසිය නොවීය. බහුතරයක් දෙමළ ජනතාවගේ සිංහල භාෂා දැනුම සිංහල ජනතාවගේ දෙමළ භාෂා දැනුමට වඩා බෙහෙවින්ම ඉදිරියෙන් විය. දශක තුනක ත්‍රස්තවාදයෙන් උතුරු සහ යම්තාක් දුරකට නැගෙනහිර පළාත් වල මෙම ජනවර්ග දෙක එකිනෙකාගෙන් ඈත් වීමත් සමහ මෙය යම් තරමකට වෙනස් වන තෙක්ම තත්වය එසේ විය.

එසේ නම් 1956 සිදුවූවේ කුමක්ද? 1948 දී ලද නාමික නිදහසත් සමග සුදු අධිරාජ්‍යවාදීන්ගේ අතින් කිසියම් දුරකට රාජ්‍ය පාලනය හම පමණක් කලු කීකරු ගෝලබාලයන් පිරිසක් අතකට මාරු විය. 1815 සිටම අධිරාජ්‍යවාදීන් අතින් බැට කෑ පොදු ජනතාවට ඔවුන් පැතූ 'වෙනස' එනම් තම ජාතියට, ආගමට, සංස්කෘතියට පිලිගැනීමක් නැතහොත් සිංහල රජවරුන්ගෙන් ලද ආකාරයේ අනුග්‍රහයක් පේන තෙක් මානයකවත් නොවීය. මේ අතර 1956 ට යෙදුනු බුද්ධ ජයන්තිය සහ ඒ ආශ්‍රිත සංවිධාන කටයුතු වෙනුවෙන් රට පුරා පැන නැගුණ කමිටු හෝ සභා 70 ක් පමණ එකතු වීමෙන් ශ්‍රි ලංකා මහා සංඝ සභාව පිහිටවිණි. එම සංවිධාන වල ක්‍රියාකාරිත්වයත් සමග විශේෂයෙන්ම බුදු සසුන පැවති තත්වය විමර්ෂණය කිරීම සදහා පිහිටවූ බෞද්ධ කොමිසම ඉදිරිපත් කල වාර්තා වලින් බෞද්ධයන් අතර තමන් පත්ව සිටිනා තත්වය පිලිබද කනස්සල්ලක් ඇතිවි තිබුණි.

මෙම ප්‍රශ්න වලට විසදුම් පවත්නා එක්සත් ජාතික පක්ෂ (U.N.P.) රජයෙන් නොලැබෙන බවට ඔවුන් ඒ වන විටත් වටහා ගෙන තිබුනි. එනිසා ඵලදායි වෙනසක අපේක්ෂාව බහුතර සිංහල ජනතාව  පෙලිය. සුලං හමන අත වටහා ගත් එක්සත් ජාතික පක්ෂ නායකයන්ද හමන සුලං බලයෙන්ම නැවතත් බලය ලබා ගැනීමට  උපා යොදන්නට සිතූහ. නැගී එමින් පැවැති භාෂා ප්‍රශ්නය මතින් මැතිවරණයට මුහුන දෙන්නට සිතා "සිංහල පමනක් ලංකාවේ රාජ්‍ය භාෂාව  විය යුතුය එය ක්‍රියාත්මක කිරීමට වහා  කට යුතු කල යුතුය"  යන යෝජනාව පිළිගත්තේය. ඒ සමග එයට විරුද්ධව  එම පක්ෂයේ සිටි දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් හත් දෙනා ඉල්ලා අස්වූ බැවින් 1956 පෙබරවාරි මස පැවති එම පක්ෂයේ 8 වෙනි සම්මේලනයේදී යෝජනාව ඒකමතිකව සම්මත විය. ඒ සමගම නියමිත කාලයට වසරකටත් පෙර පාර්ලිමේන්තුව විසුරුවන මෙන් අගමැති අග්‍රාන්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ හෝ එක්සත් ජාතික පක්ෂ නොවන රජයක් පිහිටුවීමට අදිටන් කරගත් එකිනෙකට වෙනස් මත දැරූ විපක්ෂ පක්ෂ එකමුතුවක් 1955 නොවැම්බර් සිටම බිහිවීමට උත්සහ දරමින් සිට මේ හා සමගම යතාර්ථයක් බවට පත්වූවේ මහජන  එක්සත් පෙරමුණ (M.E.P.) නමින් අපේක්ෂකයන් 41 සමගින් බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් (S.L.F.P.) , අපේක්ෂකයන් 5  සමගින් මාර්ක්ස්වාදී පිලිප් ගුණවර්ධන මහතාගේ විප්ලවවාදී ලංකා සමසමාජ පක්ෂයත්, දහනායක මහතාගේ භාෂා පෙරමුණෙන් අපේක්ෂකයන් 6 දෙනෙක් සහ ඒ. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතාගේ නායකත්වය යටතේ නිදහස් අපේක්ෂකයන් 8 දෙනෙක්ද වශයෙන් එක්සත් පෙරමුණක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වීමේනි.

සර් ජෝන් කොතලාවල
අද බොහෝ දෙනා නොදන්නා කරුණක් නම් සිංහල රාජ්‍ය භාෂාව කිරීමට එක්සත් ජාතික පක්ෂය පවා 56 මැතිවරණයේදී පොරොන්දු වූ බව සහ එය ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨයක් කරගත් බවය. මේ ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශණයේ ඒ සම්බන්ධ කොටසයි.  "අපගේ පක්ෂය....සිංහල පමනක් ලංකාවේ රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාව ඒකමතිකව පිලිගත්තේය. අපගේ ප්‍රතිපත්තියේ විශාලවූ මේ වෙනසට ඡන්දදායකයාගේ අනුමැතිය ලැබිය යුතුව තිබේ. ....අපගේ ප්‍රථම කටයුත්ත වනු ඇත්තේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමට නීති පැනවීමය."

වංක සහ අවස්ථාවාදී හදිස්සි ප්‍රතිපත්ති වෙනසක් පෙන්වූ එක්සත් ජාතික පක්ෂ ලිහිල් ප්‍රකාශය මෙන් නොව මහජන  එක්සත් පෙරමුණේ 'වැඩ සැලැස්මේ' වූ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ජනතාවට වඩා විශ්වාසවන්ත බවක් ඇතිකරලීය. එසේම එහි සදහන් වඩා වැදගත් යෝජනාවක් වූවේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමත් සමග දෙමළ ජනතාවට අසාධාරණයක් සිදු නොවීමට වග බලාගන්නා බවය. මේ එහි සදහන් ඒ හා සම්බන්ධ වූ කොටසය. "සංස්ථාපනයේ රාජාඥාවෙහි සිංහල පමනක් මෙරට රාජ්‍ය භාෂාව කිරීමට විධිවිධාන වහා සැලැස්විය යුතුය. එය කෙරූ වහාම මෙම ආඥාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය. මෙය දෙමළ වැනි සුළු ජාතීන්ගේ භාෂාවක මැඩපැවැත්වීමට හේතු නොවනු ඇත. යුක්තියට එකඟ පරිදි ඒවායේ භාවිතය නිසි ආකාරයෙන් පිලිගනු ඇත."

මැතිවරණයේ ප්‍රතිඵලය බොහෝ දෙනෙක් නොසිතූ අයුරින් එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් (ආසන 8 සහ ඡන්ද 7 39 000) එක් කරමින් මහජන එක්සත් පෙරමුණ ආසන 51 සහ ඡන්ද 10 46 000 ලබාගනිමින් නිදහසින් පසු පලමු වතාවට පාලන බලය අධිරාජ්‍ය ගැති විජාතික පංතියෙන්, ජාතික බලවේගයක් නියෝජනය කල (බණ්ඩාරනායක මහතා හෝ පිලිප් ගුණවර්ධන මහතා කෙතෙක් දුරට එම ජාතික ව්‍යාපාරයේ මතවාදය වටහාගෙන තිබුනාද යන්න වෙනම විමසා බැලිය යුතු ප්‍රශ්නයකි. ) බලවේගයක් අතට නිහඩ විප්ලවයකින් මාරු විය.

සිංහල ජාතියේ භාෂාවේ සහ බෞද්ධ ආගමේ හදිස්සියේ මතු වූ කපටි ආරක්ෂකයා වූ සර් ජෝන් කොතලාවලගේ එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කරමින් බිහිවූ S.W.R.D. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණු රජය පොරොන්දු වූ පරිදිම සිංහලය රාජ්‍ය භාෂාව කිරීමෙන් යුගයේ අවශ්‍යතාවය ඉටු කරනු ලැබීය. යම් ආකාරයකින් එක්සත් ජාතික පක්ෂය බලයට පැමිනියද අනෙකුත් කාරණා කෙසේ වෙතත් මෙම භාෂා පොරොන්දුව නම් ඉටු නොකර සිටීමට ඔවුන්ට නොහැකි වන්නට ඉඩ තිබිණි මක් නිසාද යත් එය ඒ අවස්ථාවේ අනිවාර්යෙන් කල යුතු දෙයක් බවට වූ සමාජ අපේක්ෂාව ශක්තිමත් සාධකයක් ව පැවැති හෙයිනි.

මූලාශ්‍ර

W. H. H. Wiggins, Ceylon, Dilemma of a New Nation, 1960.
 සිංහල පරිවර්තනය > 1956 යේ ලංකා මැතිවරනය. දේශපාලන නායකයන්ගේ වෙනස්වීම, W. හවර්ඩ් රිගින්ස්,  නූතන යුගය,      ශාස්ත්‍රීය ලිපි, පළවෙනි කාණ්ඩය, 1963

Monday, November 9, 2015

සුද්දාගේ 'සාධාරණ සමාජයට' බැලමෙහෙවර කල නදෝරිස් මුත්තා

අමරපුර සද්ධම්මවංශ නිකායේ සමාරම්භක මහානායක කපුගම ධම්ම්ක්ඛන්ද හිමියන් ජෝර්ජ් නදෝරිස් ද සිල්වා සමරනායක වූ හැටි සදහා පෙර ලිපිය කියවන්න සුද්දගේ 'භික්ෂු නදෝරිස්කරණය '
මුදලිවරයෙක්

කපුගම හිමියන් කිතු සමය වැලඳ ගැනීම සිදුවන්නේ පැහැදිලිවම සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් තාන්න මාන්න සහ ඉඩ කඩම් ලබා ගැනීම සඳහා වූ ඔහුගේ දැඩි කෑදරකම නිස විනා කිතු සමය කෙරෙහි ඔහුගේ ඇතිවූ පැහැදීමක් හෝ බුදුසමය කෙරෙහි හදිස්සියේ ඇතිවූ කලකිරීමක් නිසා නොවන බව ඔහුගේ ඉදිරි ක්‍රියාමාර්ග විමසීමේදි වැටහේ.  ඔහුගේ උපැවිදි වීම සම්බන්ධයෙන් වූ තවත් මතයකට අනුව බ්‍රවුන්රිග් විසින් උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමේ සැලසුම් ක්‍රියාත්මකකරමින් සිටි මෙම අවධියේ ඒ සදහා උපකාර කරන ලෙස  කපුගම හිමියන්ගෙන් බ්‍රවුන්රිග් කල ඉල්ලීම හේතුවෙන් හෙතෙම සිවුරු හල බවටද පැවසේ.

උපැවැදි වී ටික කලකින්ම ඔහුව කුරුණෑගල පලාතේ ආන්ඩුවේ ඒජන්තවරයාගේ භාෂා පරිවර්තක ලෙස පත් කර යවයි. 1818 නිදහස් අරගලය පැනනැගීමත් සමග සත් කෝරළයේදී එම අරගලය කෲර ලෙස මැඩපැවැත්වූ මේජර් හුක් (Major Lionel Hook) සමග එක්වන නදෝරිස් එම ප්‍රදේශයේ කැරලි නායකයාව සිටි පිළිමතලව්වේ අල්ලාගැනීම උදෙසා වෙහෙසෙයි. ඔහුට එම කාර්යය ඉටුකර ගැනීමට නොහැකි වන මුත් තවත් ප්‍රධාන කැරලි නායකයන් දෙදෙනෙක් වන අරම්පොල මොහොට්ටාල සහ හේවාපොල මොහොට්ටාල උපායශීලි ලෙස යටත් කරගැනීමට හැකි වේ. යටත් වුවහොත් ජීවිතදානය දෙන බවට වූ ලිඛිත පොරොන්දුවකින් අරම්පොල මොහොට්ටාලව රවටන ඔහු එම පොරොන්දුව කඩ කරමින් 1818 නොවැම්බර් 2 වෙනි දින යුද අධිකරණ නියෝගයකින් එල්ලා මැරීම සදහා මේජර් හුක්ට ඔහුව භාරකරයි.

නදෝරිස් විසින්ම ලියා තබා ඇති එක් සටහනකට අනුව ඔහුගේ කෲර බව මැනවින් පෙන්නු එක් අවස්ථාවක් මෙසේය. අරම්පොල මොහොට්ටාල වූ කලි කිහිප අවස්ථාවකදීම අල්ලාගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කලත් යටත් කරගත නොහැකි වූ සත් කෝරලය ප්‍රදේශයේ දැඩි සටනක් දුන් ප්‍රධාන සටන් නායකයෙකි. වරක් නදෝරිස් ඇතුළු පිරිසක් ඔත්තුකරුවෙකු පෙන්නු මගකින් කුරුණෑගල සිට වෑඋඩ සිට සැතපුමක් පමණ දුරින් වූ අරම්පොල දක්වා රාත්‍රියේ ගමන් කලේ ඔහුව අල්ලාගැනීමේ අරමුණ ඇතිවය. නමුත් මගවැරදි ගොස් අතරමන් වන ඔවුන් මග සොයාගැනිමට උත්සහ කිරීමේදි නදොරිස් ලිඳකට වැටේ. ඔහුට වැටීමත් සමග පාදයේ සුළු කැක්කුමක් විනා ලොකු අනතුරක් නොවන මුත් මෙය එම ඔත්තුකරු විසින් සිදුකල ද්‍රෝහී  ක්‍රියාවක් ලෙස සලකන නදෝරිස් පසුව මග සොයාගෙන අරම්පොල මොහොට්ටාලගේ අතහැර දමා තිබූ නිවසට පැමිණි පසු ඔහුගේ ගෙලෙහි පාවාදීමට දඩුවමක් ලෙස ලියූ තල්පතක් එල්ලා ඔහුව එම නිවස අසල තිබූ සූරිය ගසක එල්ලා මරා දමයි.

කැරල්ල මර්ධනය කිරීම උදෙසා සත් කොරලේ දිසාව ලෙස මොල්ලිගොඩ නිලමේ පත් කර එවීමත් සමග ඔහුට වඩා ඉහල තනතුරක් දරන සහ කුලයෙන් ගොවි වූ ඔහු කෙරේ ඊර්ෂ්‍යා කරන නදොරිස් ඔහුව ඉංග්‍රීසින් කෙරෙහි බිඳවීමට අල්ලාගත් කැරලිකරුවන්ගේ සාක්ෂි සටහන් කිරීමේදී මොල්ලිගොඩ අල්ලස් චෝදනා සදහා පැටලවීමට කැරලිකරුවන් නොපැවසූ වැරදි සාක්ෂි පවා ඇතුලත් කල බව පැවසේ.

සුදු අධිරාජ්‍යවාදීන්ට කෙතරම් සේවය කලත් උඩරට ප්‍රදේශ වල කුරුඳු තැලීමේ රාජකාරියේ යෙදී සිටින සලාගම කුලයේ ජනයාගේ මහමුදලි ලෙස නව තනතුරක් ඇතිකර ඔහුව පත්කරනු ඇතැයි බලපොරොත්තුවෙන් සිටි නදෝරිස්ගේ එම උවමනාව ඉංග්‍රීසින් නොසලකා හැරි අතර කපටි බ්‍රවුන්රිග් වරක් පවසා සිටියේ " ඔහු මහා අපේක්ෂා සහිත සත්වයෙක් වුවත් ඔහු බලාපොරොත්තුවන මහාබද්දේ තනතුර ඔහුට කිසිදා නොලැබෙනු ඇත " කියාය (He is an ambitious creature. What he desires about Mahabadde never could be agreed to). මේජර් හුක් පවා නදෝරිස්ගේ චරිතය මැනවින් නිරීක්ෂණය කල බව ඔහු විසින් ඔහුගේ ඉහල නිලධාරියා වන ලුසිග්නන් (Lusgnan) වෙත ලියා යැවූ ලිපියක නදෝරිස් බලාපොරොත්තුව වූ මහමුදලි කම ගැන සදහන් කරමින් පවසන්නේ එය ලබාදීම නුවණට හුරු නැති පියවරක් බවය (."..Such a step would in my humble estimation be impolitic"). මෙය අනුමත කරමින් බ්‍රවුන්රිග් පවසා සිටින්නේ නදෝරිස්ගේ ක්‍රියාවන් අගය කලයුතු මුත් ඔහු අත අවදානම් විය හැකි මට්ටමේ බලයක් ඔහුට ලබා නොදිය යුතු බවය (I quite agree with Hook. George should be rewarded, but not with power which I do not think is safe in his hand.).

තම ජාතියේ ද්‍රෝහියෙක් වීමෙන් අධිරාජ්‍යවාදීන්ට කොතෙක් සේවය කලත් ඔවුන් ඔහුව අවලංගු කාසියක් කිරීමෙන් සිය තනිකඩ සැදෑසමය ගෙවීමට අලුත්කඩේ වලව්ව (Hulftdorp residence) පමණක් ලබාදුන්හ. අවිවාහකයෙකු වූ ඔහු තමන්ට බිරිඳක් සොයාගැනීමට උපකාර කරන ලෙසට හූක්ගෙන් ඉල්ලා සිටි මුත් හුක් සහ බිසට් (Rev. George Bisset) එම ඉල්ලීම ඔවුන් අතර සම්ච්චලයට ලක්කරමින් විනෝද වූහ.

1843 ඔක්තෝබර් 19 වැනි දින නදෝරිස් මියයන්නේ සිය ජාතිය පාවාදුන් තවත් එක භික්ෂු චරිතයක් ලෙස සිය නම ඉතිහාසයට එක්කිරීමෙනි. එකල මෙන්ම මෙකලද එවන් ජාතිද්‍රෝහි දේශද්‍රෝහි භික්ෂු චරිත අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යන මුත් ඔවුන් විසින් පාවාදුන් දේශය සහ ජාතිය ඔවුන්ගේ පව් වලට චිරාත් කාලයක් වන්දි ගෙවනු ඇත.

මූලාශ්‍ර

Paranavitana K.D., 1983/84, Scholar monks of the nineteenth century and the tragic transformation of the high priest ven. Kapugama Dhammakkhanda thero, Journal of the Royal Asiatic Society Sri Lanka Branch, New Series, Volume XXVIII

Pieris P.E. 1950, Sinhale and the Patriots 1815-1818. 

රූපය - Campbell J. 1843, Excursions Adventures and Field-Sports in Ceylon.

Friday, November 6, 2015

17 වන සියවසේදි ප්‍රැන්සිස්කානු නිකායට බිලිවූ බොදු පුදබිම්.

කතෝලික දහම මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමින් ලෙස සැලකිය හැක්කේ 1534 දී ප්‍රථම වරට කෝට්ටේ
රජුගේ ඇරයුමින් මෙරටට පැමිණි ප්‍රැන්සිස්කානු නිකායේ පූජකවරුන්ය. රටේ අනිකුත් ප්‍රදේශ වල බලය පතුරුවාගෙන සිටි ප්‍රාදේශිය රජුන් සමග වූ - විශේෂයෙන්ම සීතාවක රාජධානියේ මායාදුන්නේ සමග - අභ්‍යන්තර අරගල වලින් හෙම්බත් වී සිටි කෝට්ටේ පාලකයා වූ බුවනෙකබාහු මේ ඇරයුම කරන ලද්දේ හුදෙක් පෘතුගීසීන්ගේ හොඳහිත දිනාගැනීමට විනා ඔහුට කතෝලික දහම මෙරට පතුරුවාලීමට හෝ තමාට එම දහම වැලඳගැනීමට හෝ කිසිදු වුවමනාවක් නොවූ බව පෘතුගීසීන්ගේ දැඩි බලකිරීම් මධ්‍යයේ  පවා ඔහු මරණය දක්වාම බෞද්ධයකුව සිටීමෙන් පැහැදිලි වේ.* මෙරට පාලකයකු ලෙස පලමුවරට කතෝලිකයකු වන්නේ දොන් ජුවන් ධර්මපාල නමින් ප්‍රකටව සිටි ඔහුගේ මුණුබුරාය.

තමන් අදහන දහම විනා අන් කිසිදු ආගමක් නොතැකූ පෘතුගීසින් තමන්ගේ අණසක පතුරුවාලිය හැකි පෙදෙසේ වූ එවන් අනිකුත් ආගමික මධ්‍යස්ථාන විනාශ කරමින් නොනැවතී එවන් ස්ථාන වල කතෝලික දෙව් මැදුරු ඉදි කිරීම සහ බෞද්ධ විහාර සහ දේවාල ගම් වල ආදායම එම පල්ලිවරට පවරා දීමද සිදු කලහ.

වර්ෂ 1631 වන විට ප්‍රැන්සිස්කානු නිකායේ පමණක් දෙව් මැදුරු 54 දිවයිනේ බටහිර වෙරල තීරයේ වූ බවට Paul da Trindade ඔහුගේ Conquista Espiritual do Oriente නම් කෘතියේ පවසයි. ඔහු එක් එක් දේවස්ථාන පිළිබදව කෙටි හැදින්වීමක්ද දෙන අතර එම දේවස්ථාන ගොඩනැගීමට පෙර එම ස්ථානයේ වූ "මිත්‍යාදෘෂ්ඨිකයන්ගේ" ආගමික ආයතන පිළිබදවද ඇතැම් විට සදහන් කරයි. මේ ඒ ඇසුරින් සම්පාදිත ලිපියකි. මේ ඇතැම් ස්ථාන වල වර්තමානයේ පවා පැරණි විහාර වල නටබුන් දැකිය හැකි අතර එම ස්ථාන වල ඡායාරූපද මේ සමග පලවේ.  උපුටාගැනීම මෙරට කතෝලික පල්ලියේ ඉතිහාසය The Catholic Church in Sri Lanka නම් වූ  අගනා ග්‍රන්ථ පෙලක් මගින් ලොවට හෙලිකල V. ෆර්නියෝලා (V. Perniola) පියතුමාගේ පෘතුගීසී යුගය සම්බන්ධ එහි දෙවන වෙලුමේ වූ ට්‍රිනිඩේඩ් ගේ කෘතියේ ඉංග්‍රිසි පරිවර්තනයේ කොටස් වලිනි.

නවගමුව 
Nagao ලෙසින් හඳුවන මල්වාන ආසන්නයේ 'ගම් නවය' යන තේරුමින් යුත් ග්‍රාමයේ තිබූ බව පවසන මෙම ස්ථානය හඳුනාගැනීම අපහසු නැත. ඒ අද දිනයේ නවගමුව පත්තිනි දේවාලය පිහිටි ස්ථානයයි. නවගමුව ගම මිත්‍යාලබ්ධික රජු විසින් එම ස්ථානයේ කලින් තිබූ විශාල ගොඩනැගිලි වලින් සමන්විත ඉතා අනර්ඝ විහාරයට පූජා කර තිබූ බවත් එම විහාරය පිහිටි ස්ථානයේ දැන් සාන්ත ජෙරම් (Glorious doctor St Jerome) උදෙසා පූජාකල දේවස්ථානය පිහිටි බවත් ට්‍රිනිඩේඩ් පවසයි. 1631 වන විට එම ගමේ ක්‍රිස්තු භක්තිකයන් 2123 සිටි බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

මාපිටිගම
කලින් සිංහලයන්ගේ ප්‍රසිද්ධ විහාරයක් පිහිටි ස්ථානයක කැලණි ගඟ ආසන්නයේම මාපිටිගම (Mapitigao) දේවස්ථානයක් පිහිටා තිබූ බව ට්‍රිනිඩේඩ් පවසයි. පැරණි විහාරයේ නටබුන් ඒ වනවිටද දක්නට තිබූ බව වැඩි දුරටත් ඔහු හෙලි කරසිටී. මේ අද මාපිටිගම ලෙසින් හැදින්වෙන ප්‍රදේශය බව Mapitigao යන්නෙහි අරුත "ගමේ විශාල කුඹුර"(The big field of the village) යනුවෙන් අර්ථ දක්වා තිබීමෙන් පැහැදිලි වේ. කලින් කැප්ටන් ජෙනරාල් ලෙස සිටි අසවේදු (Dom Hieronimo d' Azevedo) විසින් මෙම දේවස්ථානය පිහිට වූ බවත්, 1631 වන විට ගංවතුර හේතුවෙන් එය බෙහෙවින් විනාශ වි තිබූ බවත්, ඒ නිසා වඩා උස් ස්ථානයකට ගෙන යෑමට ඒ වන විට අදහස් කර තිබූ බවත් හෙතෙම පවසයි.  එම දේවස්ථානයට අනුයුක්තව බැතිමතුන් 1278 සිටි බව පැවසේ. මෙම භූමිය පිහිටි නිශ්චිත ස්ථානය හඳුනාගැනීමට හැකිවී නැත.

කැළණිය
පෙර කල කෝට්ටේ රජතුමාගේ නිවාඩු නිකේතන මාලිගාව පිහිටි ස්ථානයේ ශාන්ත බර්තලමියු දේවස්ථානය (Church of San Bartholomeu of Calane) පිහිටා ඇති බව ට්‍රිනිඩේඩ් පවසයි. රජ වාසලේ පාදම පමනක් එවකට දක්නට තිබූ බව ඔහු වැඩි දුරටත් හෙලි කර සිටී.

වත්තල
කලින් ස්වදේශිකයන්ගේ විහාරයක් පිහිටා තිබූ ස්ථානයක කොළඹ සහ මීගමුව අතර ගඟ තරනය කල පසු හමුවන කුඩා දේවස්ථානයක් ගැන ට්‍රිනිඩේඩ් සදහන් කරයි.  ශාන්ත ජේම්ස්(St james) සදහා පුද කල එය පිහිටි බව පවසන Betal යනු වර්තමාන වත්තල ප්‍රදේශයයි.  එහි ක්‍රිස්තු භක්තිකයන් 730 සිටි බව පැවසේ.

මෙවන් විනාශයන් සිදු කල පෘතුගීසින් මෙරටට පැමිණ වසර 500 ගතවූ 2005 දී එවකට පෘතුගීසි අගමැතිවරයාද කැන්දාගෙන එය සැමරීමට නැකත් බැලු දෙවන දොන් ජුවන් ධර්මපාල කෙනෙකුද 2002 වන විට මෙරට පහල වී සිටියහ.ජාතියේ වාසනාවට 2004 දී ඔහුට සියල්ලු අකුලාගෙන පල්ලම් බැසීමට සිදුවීමෙන් එම උත්සාහය ව්‍යවර්ත වී ගිය මුත් ඉන් වසර 10 කට පසු 'පරංගියා' නැවතත් මෝඩ සිංහලයන්ගේ කරපිටින්ම ජය ලබා ඇත.

දකුනු මුහුදු තීරයේ ප්‍රැන්සිස්කානු දේවස්ථාන වලට බිලීවූ බෞද්ධ පුදබිම් ගැන විස්තරත් සමග නැවත හමුවෙමු.

මූලාශ්‍ර
    
   * Historical Sketches (Ceylon Church History), Father S.G. Perera S.J., 1962
      The Catholic Church in Sri Lanka, The Portuguese Period Volume III 1620-1658, V. Perniola s.j., 1991

මේ සමග පලවන්නේ නවගමුව දේවාල පරිශ්‍රයේ වර්තමාන ගොඩනැගිලි වටා අතරින් පතර දක්නට ලැබෙන පැරණි ශෛලමය නටබුන් වල ඡායාරූප වේ.

Monday, November 2, 2015

රාවණ කතා 2 - රාවණාගේ ලංකාගමණය

රාමායනයේ එන ලංකාපුරය පිළිබඳ විස්තර සඳහා කියවන්න - රාවණ කතා 1 - රාමායනයේ එන ලංකාපුරය

පැරණි වංශකතා සාහිත්‍යයේ පලමු වරට රාමායනයේ එන චරිත පිළිබද සදහනක් හමුවන්නේ මහාවංශයේ දෙවන භාගයේ මහා පැරකුම්බා රජු පිළිබද සදහන් කිරීමේදිය. 12-13 සියවස් වලදි පමණ රචනා කරන ලද මහාවංශයේ මෙම කොටසේ පරාක්‍රමබාහු කුමරුවා කුඩා කල ඇසූ වීර කතා අතර රාමායන මහා භාරත ආදී කතාද වූ බව මෙසේ සදහන් වේ.

"....රාමායන භාරතාදී ලෞකික කථාහීත් රාවණා මැරූ ඒ රාමකුමරුහු වික්‍රමය ද......" (මහාවංශය 64 පරිච්ඡේදය)

නැවතත් මහවංශයේ 68 වන පරිච්ඡේදයේ මහා පරාක්‍රමබාහු රජු හට ඔහුගේ ඇමතියන් විසින් දැදුරු ඔය හරහා පාලමක් (මහහෙයක්)  බැදිය නොහැකි බව පැවසූ කල්හි පැරකුම්බා රජු මෙසේ පවසයි.

"ලෙව්හී උත්සාහයවත් වූ දනන් විසින් කුමක් සිදු කළ නොහැක්කේද? රාම තෙමේ සයුරෙහි ද වඳුරු සමූහයන් ලවා මහා හෙයක් බැන්ද වීය....."

නැවත වරක් මහාවංශ කතෘ පැරකුම් රජුගේ සේනාව කිසියම් ගඟක් තරණය කල අයුරු මෙසේ විස්තර කරයි. "...රාම රාවණ සංග්‍රාමයෙහි  තරණය කරණ ලද මුහුදු ඇති වඳුරන් සෙයින්..."  (මහාවංශය 75 පරිච්ඡේදය)

පරාක්‍රමබාහු රජුගේ බිසවක් වූ රූපවතී දේවිය සම්බන්ධ වර්ණනාවකදීද මහාවංශ කතෘ රාමායනයේ චරිත යොදාගනී. .."ඒ මිහිපල් මුඳුන් මල් හු සීතා දේවිය  රාමා සෙයින්  සිත් අලවන්නා වූ...."(මහාවංශය 73 පරිච්ඡේදය)

මහා පරාක්‍රමබාහු පිළිබද විස්තරයෙන් පසු නැවතත් රාමායනය මහාවංශ කතෘ හට විෂය වන්නේ දඹදෙනිය සිය රාජධානය බවට පත් කරගනිමින් රාජ්‍යය විචාල දෙවෙනි පැරකුම්බා රජ සමයේ රජුගේ බෑන වූ වීරබාහු කුමරු ආක්‍රමනික ජාවක රජෙකු වූ චන්ද්‍රභානු ගේ සේනාවේ සතුරන් නැසූ අයුරු කීමේදීය. "වීරබා මිහිපති තෙමේ යුධයට ගොස් රාම රජහු සෙයින්  බොහෝ වූ ජාවක යෝධයන් ....භස්ම කලේය" .(මහාවංශය 83 පරිච්ඡේදය)

චන්ද්‍රභානුගේ දෙවෙනි ආක්‍රමණය සිදුවන අවස්ථාවේ රාජ්‍යය විචාල 4 වන විජයබාහු සමග එක්ව එම වීරබාහුම චන්ද්‍රභානු සමග සිදු කල සටන් පිළිබද සදහන් කිරීමේදීද මෙවන් සදහනක් නැවතත් එයි." ....චන්ද්‍රභාණු මහසෙන් හාත්පසින් වටලා රාම යුද්ධය සෙයින් දරුණු වූ මහයුධ කළහ."  (මහාවංශය 88 පරිච්ඡේදය)

මේ සෑම අවස්ථාවකදීම රාමායනයේ සිදුවීම් සහ චරිත උපයෝගි කරගනුවේ කිසියම් සිදුවීමකට හෝ පුද්ගලයෙකුට එය උපමා කරගැනීමකට විනා කිසිදු තැනක රාමායනයේ එන රාවණ මෙරට විසූ බවක් හෝ රාක්ෂයන්ගේ ලංකාපුරය යනු ලංකාව හෙවත් සිහල ද්විපය ලෙස අවම වශයෙන් 12-13 සියවස් හි හෝ සැලකූ බවට හෝ සාධක නොමැත. මහාවංශයේ මුල් පරිච්ඡේද වල මෙරට සිටි යක්ෂ වංශිකයන් ගැන සදහන් වනමුත් රාමායනයේ එන රාවණගේ ලංකාපුරයේ විසූ 'රාක්ෂයන්' හා  මහාවංශයේ 'යක්ෂ වංශිකයක්' කිසිම ආකාරයකින් එක ජන කොට්ඨාශයක් ලෙස සැලකිය නොහැක.

12-13 සියවස් හිදි පලමුවරට රාමායනයේ එන සිදුවීම් පැරණි වංශකතා වල හමුවීමෙන් පැහැදිලි වන්නේ කුමක්ද? මේ කාලය වනාහි අඩ සියවසකට ආසන්න කාලයක් පුරා විහිදුනු චෝල යටත්විජිත පාලනයකින් (ක්‍රි.ව. 1029 - 1070) පසු නිදහස ලබා, දකුණු ඉන්දීය ද්‍රවිඩ බලපෑම් දැඩි ලෙස සිංහල සමාජය වෙලාගත් යුගයක් වූ බවට සාධක වංශකතා වල මෙන්ම පැරණි නටබුන් වලින්ද හමුවේ. හින්දු භක්තික ද්‍රවිඩ ජනයාගේ සංස්කෘතික, ආගමික සහ සමාජීය බලපෑම් සැලකිය යුතු මට්ටමින් සිංහල බෞද්ධ සංස්කෘතිය තුලට අවශෝෂනය වීම එවන් තත්වයක් යටතේ වැලැක්විය නොහැක. එය කෙතෙක්ද යත් මහාවිහාරික හික්ෂුන් විසින් රචනා කල මහාවංශය වැනි වංශ කතා තුලට පවා එම බලපෑම ඇතුල්වීමෙන් පෙනීයයි. එසේම පොළොන්නරු යුගයේ සිංහල රාජ වංශය සමග පාණ්ඩ්‍ය සහ චෝල වංශවතුන් අවාහ විවාහ ආදියෙන් එක්වීමෙන් මෙය තවත් වේගවත් වන්නට ඇත.

කෙසේ නමුත් මජ්ඣිම නිකාය සදහා 5 වන සියවසේ පමණ අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමියන් විසින් පාලියෙන් සම්පාදනය කල පපඤ්ච සුදනී නම් වූ අට්ඨ කතාවේ සම්ම දිට්ඨි සූත්‍ර වර්ණනාවේ පිසුනා වාචා විස්තර කිරීමේදී 'භාරත, සීතාහරණ ආදි නිරර්ථක කතා.. ' පිළිබද උදාහරණයක් එයි. බුද්ධගයා හී බ්‍රාහ්මනයෙක් ලෙස සිට සතර වේදය මැනවින් හදාරා පසුව බුදු සසුන වැලඳ ගත් එසේම දකුණු ඉන්දියාවේ කාංචි පුරයෙහි දිගු කලක් සිටි බව පැවසෙන ඒ හිමියන්ගේ ඉන්දිය සාහිත්‍යය පිළිබඳ දැනුම සිය කෘතිය තුලට මුසු කල අවස්ථාවක් ලෙස එය සැලකිය හැක.

මෙම සංස්කෘතික ආක්‍රමණය නවතාලිය යුතු බවට බෞද්ධ භික්ෂුන් මුල් කාලයේදීම පාහේ අවබෝධ කරගත් බවට ධර්මසේන හිමියන් විසින් සද්ධර්මරත්නාවලියේ (ක්‍රි.ව. 1220-1293 පමණ රචිත) රාම සීතා කතා ආදිය දෙවිලොව සම්පත් ලබාගැනීමට බාධකයක් වන බවට සදහන් කිරීමෙන් පැහැදිලි වේ. නමුත් මෙම කාලයෙන් පසු විශේෂයෙන්ම කෝට්ටේ යුගය පමණ වන විට බොහෝ සාහිත්‍ය නිර්මාණ තුල රාමායනයේ සහ මහාභාරතය වැනි වෙනත් ඉන්දිය ප්‍රබන්ධ වල ආභාෂය දක්නට ලැබේ. එසේම එය මෙරට දේව ඇදහිල්ල සහ අභිචාර විධීන්  තුලටද ඇතුලු වූ බවට සාධක හමුවේ. ඒ පිළිබද පසුව විමසා බලමු.

මූලාශ්‍ර
  • Ramayana in Sri Lanka and Lanka of the Ramayana by C.E. Godakumbura IN Journal of Royal Asiatic Society of Sri Lanka New Series, Volume 59 Part 2, 2014.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • පපඤ්ච සුදනී නම් වූ මජ්ඣිම නිකායට්ඨ කතා (සිංහල පරිවර්තනය ) ආඳාවල දේවසිරි මහ ස්ථවිර., බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2008
  • සද්ධර්මරත්නාවලිය - සංස්කරනය කිරිඇල්ලේ ඥාණවිමල ස්වාමිපාදයන් වහන්සේ
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994