බදුල්ල නගරය |
හියු නෙවිල් මහතා විසින් එකතු කල පුස්කොළ පොත් එකතුවේ තිබූ පත් ඉරු 17 කින් සහ කවි 203 කින් යුතු පුස්කොළ පොතක් දේව ධර්මාචාර්ය එඩ්මන්ඩ් පීරිස් හලාවත රදගුරුතුමන් විසින් වර්ෂ 1936 දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තිබී සොයාගෙන 'මග සලකුණ' ලෙසින් සංස්කරණය කර පළ කර ඇත. එහි කර්තෘ හෝ ලිවූ කාලය පිළිබඳව කිසිම සඳහනක් නොමැති මුත් එහි විස්තර වන බදුලු පුරවරයේ, දියතිලක පුරයේ සහ සෙන්කඩගල පිළිබඳව විස්තර ඇසුරින් සහ එම පුරයන් පරසතුරු ආක්‍රමණ වලින් විනාශ වූ සහ අතහැරදැමූ කාලයන් පිළිබඳව විශ්ලේශනය කරමින් එඩ්මන්ඩ් පීරිස් පියතුමා මෙම කාව්‍යය වර්ෂ 1612 ත් 1629 ත් අතර රචිත වූ ලෙස අනුමාන කරයි.
බදුල්ල - 1821 දී ජෝන් ඩේවි දුටු සැටි |
අපගේ උත්සාහය මෙට්‍රික් සිතියම් සහ Google Earth ඇසුරින් මෙම මාර්ගය මතු කරගැනීම වන අතර ඒ සඳහා එඩ්මන්ඩ් පිරිස් පියතුමන් රාජකීය ආසියාතික සංගමයේ සඟරාවට සැපයූ ලිපියක් සහ ඔහුගේ මග සලකුණ සංස්කරණයත්, එම මාර්ගයේ වර්ෂ 1819 දී ගමන් කල ජෝන් ඩේවි මහතාගේ මාර්ග විස්තරයත් ඉවහල් කර ගනිමු.
බදුලු පුරවරය තුන් පසෙකින්ම වටවී ඇත්තේ බදුලු ඔයෙනි |
තඹර කර කුලග උතුමන් හට පවර
නොහැර ඉසුරු විඳිනට සිතසෙ අවසර
පතර දෙරණ බට සුරසෙන් සහ එවර
අමරපුර අසිරිසිරි වර බදුලු පුර
මහසෙන් දෙව් මැදුර සහ මුතියංගණ රජමහා විහාරය |
කුමාරසිංහ සිංහාසනය පිළිබඳව Herbert White විසින් 1893 දී පළකල Manual of the Province of Uva උපුටා දක්වමින් එඩ්මන්ඩ් පීරිස් පියතුමා සඳහනක් ඉදිරිපත් කරයි. ඒ අනුව 'සිංහාසනය' හෙවත් 'රාජාසනය' නමින් හැඳින්වෙන කුඩා ගොඩනැගිල්ලක් කතරගම දේවාලය අසල පහළ වීදියේ පිහිටා තිබී ඇති අතර, එය ඒ වන විට දේවාලයේම කොටසක් ලෙස තිබී ඇත. මෙහි සඳහන් වන කුමාරසිංහ යනු පළමුවන විමලධර්මසූරිය රජුගේ (ක්‍රි.ව. 1591- 1604) සහ දෝන කතරිනා ලෙස හැඳින්වූ කුසුමාසන දේවියගේ පුත්‍රයාය. හෙතෙම කුමාරසිංහ අස්ථාන ලෙසින් ප්‍රකටය. එම දෝන කතරිනා බිසව පසුව විමලධර්මසූරිය රජුගේ අභාවයෙන් පසු ඔහුගේ සහෝදරයා වූ සෙනරත් රජු (ක්‍රි.ව. 1604 - 1635) හා විවාහ වන අතර ඔවුන් දෙපලට ලැබූ පුත් කුමරුවා හට සෙනරත් රජුගේ අභාවයෙන් පසු රජකම හිමි විය. හේ දෙවන රාජසිංහ (ක්‍රි.ව.. 1635 - 1687) නමින් ප්‍රකට රජතුමාය. එම දෙවන රාජසිංහ රජු විසින් කුමාරසිංහ අස්ථාන වස දී මරා දැමූ බව පැවසේ. සෙනරත් රජුගේ පාලන කාලයේදී බදුලු පුරවරය අයත් වන ඌව රට පාලනය භාර කෙරුනේ කුමාරසිංහ අස්ථාන හටය. එමර්සන් ටෙනන්ට් සඳහන් කරන පරිදි බදුලු පුරවරයේ ඌවේ කුමාරයාගේ වාසල පිහිටි තැන පසුකාලීනව බ්‍රිතාන්‍යයන් විසින් බලකොටුවක් ඉදිකර ඇත.
ස්වභාවික ගිරි දුර්ග සහ ජල දුර්ග මගින් ආරක්ෂිත බදුලු පුරවරය. |
මග සලකුණෙහි දැක්වෙන ගමන් විස්තරයේ ස්ථාන දැක්වෙන පිළිවෙල අනුව මාර්ගය වැටී ඇත්තේ දකුණු දෙස පිහිටි මුතියංගණ විහාරයේ සිට උතුරු දෙසට බව පෙනී යයි. මේ එම ස්ථාන දැක්වෙන පිළිවෙලයි. මුතියංගණය > පල්ලේ වීදීය > සිංහාසනය > මහසෙන් දෙව් රද විමන > පවුරු වලින් වටවූ උයන > පල්ලේ වාහල අටුව > හඳගල වීදිය > හඳගල > නයිකඳ පිහිල්ල > මාලිගා උයන.
බදුල්ල - 1859 දී එමර්සන් ටෙනන්ට් දුටු සැටි |
බදුලු පුරවරයෙන් නික්මෙන මගියාට ඉන්පසු හමුවන්නේ මැදවෙල නම් ස්ථානයකි එය පසු කර ගිය විට අලුත්වෙල නම් වූ ස්ථානයක් හමුවේ. බදුල්ල නගරයට උතුරු දෙසින් අලුත්වෙල ලෙසින් වූ ප්‍රදේශයක් මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇත (සිතියම බලන්න). මාර්ගය වැටී ඇත්තේ උතුරු දෙසට බැවින් මෙම ස්ථානය මග සලකුණේ සඳහන් වන ස්ථානය වීමට බොහෝ සෙයින් ඉඩ ඇත.
අලුත්වෙල |
වර්තමානයෙ මෙම ස්ථානයේ කුඩා වෙලක් ඉතිරි වී ඇති අතර පෙර කල එම ප්‍රදේශය පුරාම තිබූ වෙල් යායක් නාගරිකරණය සමග කෙමෙන් ගොඩවී ඇති බව පෙනේ. මැදවෙල ලෙසින් හැඳින්වූ ප්‍රදේශය මෙම ප්‍රදේශයට නැගෙනහිර දෙසින් බදුල්ල නගරය ආසන්නව දැකිය හැකි වෙල් වීමට ඉඩ ඇත. අලුත්වෙලින් පසු වර්තමානය වන විට නාමය ශේෂ වී ඇති ස්ථානයකට මග සලකුණේ දැක්වෙන මාර්ග විස්තරයේ හමුවන්නේ කැටවල ප්‍රදේශයයි.
දිට නිල පුල වට අඳුනැඳ දුලා දළපිට තිල කෙක ළ තනහස පිලා තුල
කට නිල ලිය සෙ රුසිරෙන් නෙතු ලොලා කල
කැටවල සිටින ළඳ අඟනන් බලා පල > කියා කවියා පවසයි.
කැටවල ප්‍රදේශයට වර්තමානයේදී බදුල්ලේ සිට වැටී ඇති මාර්ගය විහිදෙන්නේ බදුලු ඔයේ වම් ඉවුර ඔස්සේ වැටී ඇති A5 මාර්ගය ඔස්සේ හාළිඇල දක්වා ගොස් එතැන් සිට බදුලු ඔයට උතුරු දෙසින් එක්වන කුඩා දොළක වම් ඉවුර ඔස්සේ උතුරු දෙසට ගමන් කිරීමෙනි.බොහෝවිට පැරණි මාර්ගයත් මෙයම වීමට වැඩි ඉඩක් ඇත. මක් නිසාද යත් නැතහොත් කැටවල දෙසට යාමට සිදුවන්නේ කඳු පන්ති කිහිපයක් තරණය කල යුතු දුෂ්කර මාර්ගයක් ඔස්සේ බැවිනි. එසේම මෙරට පැරණි මාර්ග බොහෝවිට ගංගා නිම්න වල ඉවුරු ඔස්සේ වැටී තිබූ බැවින් අපගේ උපකල්පනය නිවැරදි වීමට වැඩි ඉඩක් පවතී. තවද ඉංග්‍රීසි පාලන කාලයේ මෙරට මාර්ග ඉදිවීමේදි ඒවා බොහෝවිට ඒ වන විටත් අඩි පාරවල් ලෙස පැවති පැරණි මාර්ග ඔස්සේම කරත්ත පාරවල් ලෙස පුලුල් වි ක්‍රමයෙන් අද පවතින මහාමාර්ග දක්වා වෙනස් වූ බවට දිවයිනේ වෙනත් ස්ථාන වලින් සාධක හමුවේ. එය මෙම ප්‍රදේශයටද පොදු වූවා විය හැක. අඩු දුෂ්කරතාවයකින් යා හැකි තවත් මාර්ගයක් සිතියමේ කොල පාටින් දක්වා ඇත. බදුල්ල නගරයට බටහිර දෙසින් වූ කඳු පන්තියේ අනිත් පස ඔස්සේ ගොස් වර්තමාන හාළිඇල - කැටවල මාර්ගයට එක්වෙන මෙම මාර්ගයද පැරණි මාර්ගය වීමට ඉඩ නැතිවා නොවේ. එහෙත් පෙර කී මාර්ගයේ මෙන් ජල පහසුව නොමැතිවීම මෙය භාවිතයට යොමුවීමේ අඩු සම්භාවිතාවක් දක්වයි.
බදුල්ලේ සිට කැටවලට මාර්ගය රතු පාටින් දක්වා ඇත. කොළ පාටින් දක්වා ඇති මාර්ගයද පැරණි මාර්ගයක් වීමට ඉඩ ඇත. |
කැටවල සිට සෙන්කඩගල පුර දක්වා මාර්ගය පිළිබඳව විස්තර ඉදිරි ලිපියකින් විමසා බලමු.
මූලාශ්‍ර
- මග සලකුණ (බදුල්ලේ සිට මහනුවර දක්වා මාර්ග විස්තරයකි ) - දේව ධර්මාචාර්ය අතිගරු එඩ්මන්ඩ් පීරිස්, 2009
- Ceylon, An Account of the island Physical, Historical and Topographical with notices of its natural history, antiquities and productions Vol 1 and 2 , Sir James Emerson Tennent, 1859
- The Maga Salakuna, Rev Dr. Edmund Pieris, 1947 Journal of the Royal Asiatic Society, Ceylon Branch, Volume XXXVII, No 104.
- An Account of the Interior of Ceylon and of its Inhabitants with Travels in that Island, John Davy, 1821
අළුගොල්ලේ බැවුල - අළුගොල්ල, කොහොල්විලේ කඳුර - කොහොවිලකඳුර, කහටගහරුප්පේ - කහටරුප්ප යන විදියට විකාශනය වෙලා තාමත් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතිනවා..
ReplyDeleteඔබ මේ යන විදියට නම් මට හිතෙන්නෙ කැටවලින් පහළට බැහැලා, ගලඋඩ - කන්දකැටිය මාර්ගයේ ගිහින් රන්දෙනිගල හරහා මහවැලි ගඟ ඔස්සේ (මෙයින් කොටසක් දැන් මහනුවර-මහියංගන රජමාවත) මහනුවරට ළඟා වෙයි කියලයි.. බලන් ඉමු..
බෙහෙවින්ම ස්තූතියි වටිනා අදහස් දැක්වීමට. ඇත්ත වශයෙන්ම මෙම් ලිපිය පල කල පසු බදුල්ලට උතුරු දෙසින් වූ අලුගොල්ල මාර්ගයක් පිළිබඳව වල අහම්බෙන් Google Map වල දැක ඒ ඔස්සේ යාමේදී අලුගොල්ල සහ ඒ අසලම වූ කොහොවිල කඳුර දැක ගන්නට ලැබුනි. කහටරුප්පේ පිහිටි තැන නම් තව දුරටත් සෙවිය යුතුයි (ඔබට එම ඉසව්ව පිළිබඳව වැඩි විස්තර ඉදිරිපත් කල හැකි නම් මැනවි ) . කෙසේ නමුත් මෙම ස්ථාන කිසිවක් මෙට්‍රික් සිතියම් වල දක්නට ලැබෙන්නේ නැහැ. මේ අනුව මෙම මාර්ගය මා උප්කල්පනය කල පරිදි හාලිඇල ඔස්සේ යන්නේ නැහැ. අලුත්වෙල සිට තව දුරටත් උතුරු දිසාවට ගමන් කර ඉන්පසු දකුණු දිසාවට යොමු වී කැටවල දක්වා එන බවයි පේන්නේ. අදාල නිවැරදි කිරීම ඉදිරි ලිපියකින් කරන්නම්.කැටවල සිට මාර්ගය පිළිබඳව නම් ඔබගේ අනුමානය වැරදියි. කැටවල සිට බොගෝඩ හරහා තවත් හඳුනාගත හැකි ස්ථාන කිහිපයක් පසු කර එය මතුරට දෙසට යනවා ඉන්පසු පදියපැලැල්ල - හඟුරන්කෙත ඔස්සේ අම්පිටිය දෙසින් තමා මහනුවරට පිවිසෙන්නේ.
ReplyDeleteකහටරුප්පට යන්ට නම් බදුල්ල - පස්සර පාරේ ගිහින් දෙකේ කණුවෙන් හැරිලා කැන්දගොල්ල හරහා යන්ට ඕනේ..
Deleteඔවු. ඔබ කියන්නා වගේ මෙට්‍රික් සිතියම් වල නොපෙන්වන පැරැණි පාරවල් මේ ආශ්‍රිතව තියෙනවා.. අපි පොඩි කාලේ - ඒ කියන්නෙ අසූව දශකයේ මැද-අග භාගය වෙනකං - මේවා බොහොමයක් තේ වතු මැදින් වැටුනු පුංචි පටු ගුරු පාරවල්/ අඩි පාරවල්.. දැන් මේ පාරවල් ලොකු වෙලා, තාර වැටිලා, සමහර පාරවල බස් පවා යනවා..
ඔව් ඔබ කියන කහටරුප්ප මට හමු උනා. එය තිබෙන්නේ බදුල්ලට ඊසාන දෙසින්, ඒ දෙසට ගියහොත් අපගේ ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් දිසාවකට යොමු වන්නේ. ඒ නිසා මේ මග සලකුණේ දැක්වෙන කහටරුප්ප විය නොහැකියි. අලුගොල්ලේ සිට කැටවල දක්වා වූ මාර්ගය ඔබ කියන ඔය තේ වතු මැදින් වැටී ඇති කුඩා අඩි පාරවල් හරහා ගියා විය හැකියි. දැනට අලුගොල්ලේ සිට කැටවලට ලගා වීමට ඇති කන්දේගෙදර හරහා යන මාර්ගය පැරණි මාර්ගය විය නොහැකියි. ඒ පිළිබඳව මම ඉදිරි ලිපියේදි කරුණු දක්වන්නම්. ප්‍රදේශය පිළිබඳව වූ ඔබගේ දැණුම ඇසුරින් අප දැනුවත් කිරීම සම්බන්ධයෙන් නැවතත් බෙහෙවින්ම ස්තූතියි!
Deleteමම මේ ගැන අපේ අම්මාගෙන් ඇහුවා.. එයාගෙ ගම කන්දෙගෙදර.. අම්මා කියන විදියට නම් අළුගොල්ලෙ සිට කැටවලට යන්ට පාරක් තියෙනවා, කන්දෙගෙදරට නොයා.. ඒ කියන්නෙ අළුගොල්ල - කන්දෙගෙදර පාරේ ගිහින් මගින් හැරෙන්ට ඕන.. මේ කැටවල පාර පටන්ගත්තෙ පිංඅරාවෙන් (මේ කියන්නෙ බදුල්ලෙ ඉඳන් රෝහල පහුකරන් බණ්ඩාරවෙල පාරෙ උඩට ඇවිල්ලා අළුගොල්ල පාරට හැරෙන හන්දිය ආශ්‍රිත ප්‍රදේශය) කියලා තමා කිවුවෙ.. මේ පාර බොහොම මෑත කාලයක් වෙනකංම භාවිත වුනා කියලත් කියනවා.. මේ ගැන මම තව ටිකක් අහලා හොයලා බලන්නම්..
Deleteඔව් සිතියම් සහ Google Earth ඇසුරින් මා අනුමාණ කරන මාර්ගයත් කන්දෙගෙදර පාරේ ගිහින් මගින් හැරෙනවා. නුදුරේදීම මම ඒ පිළිබඳව විස්තර පල කරන්නම්.
Deleteඔය පිං අරාවෙන් පටං ගන්න මාර්ගයේ කතාව හරි..නමුත් මේ මඟ සළකුණ පොතේ තියන හැටියට නම් මාර්ගය වැටෙන්නෙ අලුගොල්ලට ගිහිල්ල එතන ඉඳල කැටවලට කියල තමයි මට හිතෙන්නෙ..භූෂණ සහෝදරයා ඒක නිවැරදිව පෙන්වල දීල තියනව..ඒත් මේ කොහොවිලකඳුර තියෙන්නෙ ඊට පහලින්..මට ඒක හරියටම පැහැදිලි කරන්න අමාරුයි..මම කොහොවිලකඳුර ඉස්කෝලෙ අවුරුදු නමයකට ආසන්න කාලයක් වැඩ කරා..!
Deleteඩේවි ගේ චිත්‍රයේ වම් පස ඉදිරියේ තියන ගොඩනැගිලි සැකිල්ල හෝ ඊට පසුව පොල්ගස් දෙකක් තියන ස්ථානය දැන් උසාවිය තියන තැන වෙන්න පුලුවන්ද?
ReplyDeleteඒක නම් හරියටම කියන්ට අමාරුයි ප්‍රා.. බදුල්ලෙ තියෙන පැරැණි ගොඩනැගිලි බහුතරය 19 වන සියවසේ මැද භාගයේ ඉඳන් ක්‍රමයෙන් ගොඩනැගුනු ඒවා, උදා: ශු. මාර්ක් පල්ලිය, ඌව කොලේජ් එක (මගේ පරණ ඉස්කෝලෙ) 1860 ගනන්වල හැදුන ඒවා.. අනික ඔය චිත්‍රය මොන කෝණයෙන් ඇන්දා දැයි නොදැන අපට අදහසක් ගන්ට අමාරුයි..
Deleteඩේවිගේ චිත්‍රයේම සඳහන් වන පරිදි මෙහි දකුණු පසින් දිස්වන්නේ නමුණුකුල කඳු ශිඛරයයි. ඒ අනුව මෙම රූපය ඇඳ ඇත්තේ වර්තමාන බදුල්ල-හාලිඇල මාර්ගය දෙසින් සිට බවයි පේන්නේ. ඈතින් පොල් ගස් කිහිපයක් ඇති ආසන්නයේම පිහිටි කුඩා කඳු ගැටය ඒ අනුව අද අන්දෙනිය ලෙස හඳුන්වන ප්‍රදේශය විය හැක. බදුලු ඔය එහි පාමුලින් ගලා යනවා. ගොඩනැගිල්ල සැකිල්ල තිබෙන ප්‍රදේශය වර්තමාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පිහිටි ප්‍රදේශය ලෙස හඳුනාගන්න පුලුවන්. අද උසාවිය තිබෙන්නෙ පින්තූරයේ දකුණු පස වැටකින් වට කොට ඇති ප්‍රදේශයේ විය හැකියි. අද බදුලු නගරය තව දුරටත් දකුණු පසට වන්නට පින්තූරට ඇතුලත් නොවූ කොටසේ තිබෙන්න ඕනේ. කුඩා කඳු ගැටය මත ඇති ගොඩනැගිල්ල සැලකිය යුතු මට්ටමේ එකක් බවයි පේන්නේ එය හඳුනාගත හැකි නම් මේ සම්බන්ධ වඩා සාධාරණ නිගමනයකට එන්න පුලුවන්.
ReplyDeleteමට හිතුනේ වැටකින් වට කර ඇති පහත් බිම උසාවියට පාරෙන් අනිත් පැත්තෙ ඇති පාර්ක් එක වෙන්න ඇති කියලා.
ReplyDeleteඅර ගොඩනැගිලි සැකිල්ල පල්ලියක් වෙන්න පුලුවන්ද? ඒත් ඇන්ග්ලිකන් පල්ලිය තියෙන්නෙ උස්බිමක නෙමෙයිනෙ.
පාරවල්, දියපාරවල් විතරක් නෙමෙයි උස් හා පහත් බිමුත් අවු 196ක දී වෙනස් වෙන නිසා කියන්න බෑනෙ මොනවත් හරියට
මගේ ඉහත උපකල්පනය නිවැරදි නම් ඇංග්ලිකන් පල්ලිය (St. mark Church) තිබිය යුත්තේ අර කුඩා කඳු ගැටයට පසුබිම් වන්න. හැබයි මම හිතන්නේ මේ පල්ලිය හැදෙන්නේ මිට පසු කාලයකදි ( ඒ පිළිබඳව තව දුරටත් සොයා බැලිය යුතුයි )
Deleteමෙන්න මේ ඡායාරූපයයි උඩ තියෙන එකයි සංසන්දනය කරලා බලන්ට ප්‍රා.. අපට පොඩි අදහසක් ගන්ට පුළුවන් වෙයි..
Deletehttps://amazinguva.files.wordpress.com/2016/02/img0100.jpg
වම්පස පොල්ගස් දෙකක් තියෙන තැන දැන් උසාවිය ඇති තැන යැයි උපකල්පනය කලොත් වැටකින් වටකරලා තියෙන කොටස ඔබ කියන්නා වගේ විල්ස් පාර්ක් එක විය හැකියි.. එතකොට ඒ පොල්ගස් හා ගොඩනැගිලිවලට ටිකක් එහායින් දකුණු පසට වෙන්නට ඇති දිග ගොඩනැගිල්ල දැන් කච්චේරිය තියෙන ස්ථානය වෙන්ට ඕන (මෙතැන තරමක උස් බිමක් වගේ නේද පෙන්නලා තියෙන්නෙ?).
එහෙම බැලුවොත් ඔය ඉදිරියෙන්ම වම් පැත්තේ තියෙන ගොඩනැගිලි සැකිල්ල දැන් රෝහල තියෙන බිම වෙන්ට ඕන..
උස ගොඩැල්ල මත ඩේවිගේ චිත්‍රයේ පේන්නේ පැරණි කොටුව වෙන්න බැරිද?. එසේ නම් එය ස්වභාවික ගොඩැල්ලක් හෝ පස් පුරවා ඉහලට මතු කල බැම්මක් ද විය හැකියි. මා ඉහත සඳහන් කර ඇති අයුරින් පැරණි රජ වාසල තිබූ තැන කොටුව ඉදි කල බව ටෙනන්ට් පවසනවා. කොටුව තිබූ තැන පිළිබඳව යම් හෝඩුවාවක් සොයා ගත හැකි නම් අපට යම් අදහසක් ගත හැකියි. බදුල්ල නගරය තුල දැනට මෙම රූපයේ දැක්වෙන තරම් උස බිමක් නැහ නේද (නමුණුකුල කඳු මුදුන සමග සසදන්න)? ඒ නිසයි මා මෙය ස්වභාවික කඳු ගැටයක් වන අන්දෙනිය ලෙස උපකල්පනය කලේ.
Deleteපැරැණි ඕලන්ද කොටුව තියෙන්නෙ වෙළේකඩේ.. ඒ කියන්නෙ පොලීසිය හා රෝහල අතර.. හැබැයි ඒක ඔහොම උස් බිමක/ ගොඩැල්ලක හදාපු එකක් නෙවෙයි..
Deleteඔබ කියන අන්දමින්ම මේ වගේ උස්බිමක් දැනට බදුල්ල නගරය තුළ දකින්නට බැහැ.. අන්දෙණිය විය හැකි නමුත් අන්දෙණිය තියෙන්නෙ බදුලු ඔයෙන් එපිට..
කුඩා කඳු ගැටය මත ඇති ගොඩනැගිල්ල තමයි පැරණි රජ මාළිගය..බදුල්ල කියන්නෙ හතර වටෙන්ම කඳුවලින් වට වෙච්ච තැනක් නෙ..මැද කිසිම උස් බිමක් නෑ..තියන එකම උස් බිම තිබ්බ ස්ථානයේ මාළිගාව පිහිටල තිබ්බ කියලනෙ ඩේවි කියන්නෙ..උසාවිය ඇතුළු අනෙක් ගොඩනැගිලි හැම එකක්ම වාගෙ පිදුරු සෙවිලි කරපු ඒව කියල හර්බට් වයිට් සඳහන් කරල තිබ්බා වගේ මතකයකුත් තියනව..මේ උස්බිම අදටත් බදුල්ලෙ තියනව..දිසාපතිවරයාගේ කාර්යාල සංකීර්ණය පිහිටල තියෙන්නෙ එතන තමයි..!
Deleteසිත්ගන්නා සුළු විස්තරයක්, ස්තුතියි භූෂණ...
ReplyDeleteඔය ප්‍රදේශය ගැන මෙලෝ හසරක් නොදන්න නිසා අදහස් ප්‍රකාශ කරන්න විදිහක් නැහැ...
ඇත්තම කියනවා නම් බදුල්ල සහ මහනුවර හැර මෙම මාර්ගයේ හමුවන කිසිම තැනකට මමත් මේ වන තෙක් ගිහින් නැහැ (බෝගොඩ පාලම සහ රජමහා වෙහෙර හැර ) ඉදිරියේදි හැකි වුවහොත් මෙම මාර්ගයේ ගමන් කර මීට වඩා විස්තර ඇතිව මෙම ලිපි පෙල යාවත්කාලීන කරනන් බලාපොරොත්තු වෙනවා.
Deleteකීර්තිබණ්ඩාර පුර සිට පදියපැලැල්ල දක්වා පහල බදුලු පාර කියා ඔයට සමාන්තර ව වැටුණු අඩි පාරක් තිබුණා (2005 දී මම ඒ අඩිපාරේ ටික දුරක් ගියා ) , කීර්තිබණ්ඩාර පුර දී මය්යියන්ගනයට සහ බදුල්ලට කියා පාර දෙකට බෙදුනාලු. ඉස්සර හේවාහැට අවට මිනිස්සු වාර්ෂිකව මයියන්ගනේ පයින් ගියා දඹුලුත් ගිහින් තලගොයිත් මරගෙන එන වර්ගයේ (වන්දනා + වෙළඳ) චාරිකාවක්, වෙලන්දමට ගෙනිච්චේ මොනවද දන්නේ නැතත් මයියන්ගනෙන් ලුණු, කරවල සහ රෙදි ගෙන බව කියනවා, බදුලු - බණ්ඩාරවෙළ මිනිස්සුත් වාර්ෂිකව මය්යන්ගනේ ගිහින් තියනවා ඉහළ කී දේවල් ගෙන්න.
ReplyDeleteඔබ කියන 'ඔය' පදියපැලැල්ල නගරය හරහා ගොස් රන්දෙනිගල ජලාශයට එක්වන බෙලිහුල් ඔය විය යුතුයි. පදියපැලැල්ලේ සිට බදුල්ල දක්වා පාර නම් මම මේ කතා කරන පැරණි පාරම වෙන්න ඕනේ. මොකද මේ පාර පදියපැලැල්ල හරහා යනවා. පදියපැලැල්ලේ සිට මහනුවර දක්වා පාර නම් කීර්ති බණ්ඩාරපුර දිහාවට එන්නේ නැහැ. එය යන්නේ රිකිල්ලගස්කඩ සහ හඟුරන්කෙත දිසාවට. කීර්තිබණ්ඩාරපුර සිට රන්ටැඹේ, ලොග්ගලොය හරහා යන වර්තමාන පාර හෝ එයට ආසන්නව පැරණි පාර තියෙන්න ඇති. ජලාශ සැදීම නිසා යටවූ ප්‍රදේශ හරහා එහි ඇතැම් කොටස් වැටී තිබෙන්නට පුළුවන්
Deleteබෙලිහුල් ඔය තමා, මද්යම පළාතේ සිට ඌව ට යන අයට කීර්තිබණ්ඩාර පුර දේවාලය ට පුද පුජා පැවැත් වීම අනිවාර්ය වුනාලු, එතන රෑ නවත්න්ගන්නා කදවුරුබිමක්ලු.මතුරට අයගේ නෑදෑයෝ ඉන්නේ තෙරිපැහ / නිල්දන්ඩාහින්න පැත්තේ , ඒ නිසා පරණ පාර රන්ටඹේ හරහා ගිය වෙන්න බෑ, වලපනේට පහලින් ඇවිත් උමා ඔයේ ඉහළන් බෝගොඩ පැත්තට මරුවෙන්නති.
DeleteVery sorry, my Sinhala Unicode is not working properly hence writing in English...Bushana the book Naga Salakunu Osse pa gamanin has been published by soorya in 2018. It's a expanded version of the irida divaina articles by Kasuri, tissa and chandrasiri. It has sketch maps of the route.
ReplyDeleteJust in case you have not come across this yet.
Excellent work by you as always.
Lakdasun-NG
It is fairly ok. Eventhough articles in this blog are written in Sinhalese, comments are accepted of either Sinhala or English. :) Yes I have heard that they have published it. But yet to purchase a copy. Anyway thanks for the info.
DeleteSorry, my earlier comment was meant to be for the second article on the Maga Salakunu route.
ReplyDelete