|
අඹන් ගඟ නිම්නයට දිස්වන දුම්බර කඳුකරය (Knuckles Range) |
දෙවන ගජබාහු රජු සිය බල පරාක්‍රමය විහිදවූ පිහිටි රට තුල
පරාක්‍රමබාහු කුමරු සිදු කල චරපුරුෂ මෙහෙයුම් සම්බන්ධ මහාවංශ විස්තරයේ
රණඹුර නම් ගමින් නික්ම ඔහු පැමිණි බව පවසන්නේ
කීරවාපි නම් වූ ගම පසු කර
අම්බවන රට්ඨ හෙවත්
අම්බවන ප්‍රදේශයටය. (මෙහි එන
රණඹුර ගම සහ ආශ්‍රිත වෙනත් ස්ථාන හඳුනාගැනීම සම්බන්ධ විස්තර මෙම ලිපි පෙළේ පළමුවන ලිපියෙන් ඉදිරිපත් කර ඇත. බලන්න.
අඹන් - කළු මිටියාවත් බද පුරාණ වාරිමාර්ග පද්ධතිය සහ ජනාවාස පැතිරීම - 1) එහි සිටි සතුරු බලමුළු පලවාහැර ගම ගිනි ලෑමෙන් පසුව ඔහු
නවගිරිස නම් ග්‍රාමයට පැමිණේ. මහාවංශයේ මෙයට පෙර අවස්ථාවකදි
තුන්වන කාශ්‍යප රජුගේ සාසනික සේවාවන් පිළිබඳව එන විස්තරයකදි හෙතෙම
අම්බවන නම් වූ ආරාමය කරවා එයට ගම් පුද කල බව පවසයි.
|
මොරගහකන්ද ජලාශයට යටවෙමින් පවතින පැරණි අම්බවන රට |
සිය පියා වූ
කිත්සිරිමේඝ රජු මිය යෑමෙන් පසුව
දක්ෂිණ දේශයේ පාලකයා වන
පරාක්‍රමබාහු කුමරා තම බල ප්‍රදේශයේ සීමාවන් රකින සෙනෙවියන් ගෙන්වා ඔවුන්ට බල පිරිස් සහ ආයුධ දීම සම්බන්ධ විස්තරයකදීද නැවතත්
අම්බවන නම් වු රටෙහි සිටි සෙනෙවියාද කැඳවූ බව වංශ කතාවේ සඳහන් වේ. එසේම
දෙවන ගජබාහු රජු සමග කල සටන් වලදී
පරාක්‍රමබාහුගේ සේනා
සූර-අම්බවන රටින් නික්ම ඉදිරියට ගොස්
ජනපද රටෙහි සිටි සතුරන් නැසූ බව පැවසේ. මෙසේ
පරාක්‍රමබාහු සහ
ගජබාහු අතර භූමිය උදෙසා දරුණු සටන් ඇවිලෙද්දී
ජනපද රටට යවන
පරාක්‍රමබාහුගේ ලංකානාථ සෙනෙවියා
අම්බවන රටට ඇතුල් වී
බුබ්බුල ග්‍රමයේදී බොහෝ සතුරන් නසයි. මේ අනුව පැහැදිලි වන්නේ පෙර දී සඳහන් කල පරිදි
පරාක්‍රමබාහුගේ සේනා
සූර-අම්බවන රටෙහි සිට
ජනපද රටට මුලින් ඇතුලු වූ නමුත් පසුව පසු බෑමක් සිදුවූ බවය. නැවත වතාවක් පරාක්‍රමබාහුගේ
අම්බවනයේ සිටි
මායාගෙහා නම් වූ නායකයෙක් ගැන සඳහනක් මහාවංශයේ හැත්තෑවන පරිච්ඡේදයේ එයි.
|
පැරණි ස්ථාන දැක්වෙන සිතියම |
වර්තමාන
මහනුවර - යාපනය මහාමාර්ගයෙන් නැගෙනහිර දෙසට වන්නට
අඹන් ගඟ දෑලේ විහිදුනු
අඹන නම් වූ ප්‍රදේශයක් ඇත.
නාඋල - ඇලහැර මාර්ගයෙන්
නාඋල සිට කිලෝමීටර 7 ක පමණ දුරින් දකුණට හැරී කිලෝමීටර් 3.6 පමණ ගිය පසු මෙම ප්‍රදේශයට ලඟා විය හැක. මෙට්‍රික් සිතියම් වල මෙම ප්‍රදේශය
අඹව ගම ලෙසද සලකුණු කර ඇත. පුරාණ
අම්බවන රට්ඨ යන්න මෙම
අඹන යන ග්‍රාම නාමයේ ශේෂව ඇති බව පෙනේ. එසේම
අඹන් ගඟටද එම නාමය
අම්බවන රට්ඨ යන්නෙන් ලැබි ඇතිවා විය හැකි බව
ගයිගර්, කොඩ්රිංටන්, නිකොලස් සහ
පරණවිතාන යන වියතුන්ගේ අදහසයි. ඒ අනුව
නාලන්ද පෙදෙසේ සිට
ඇලහැර දක්වා
අඹන් ගඟ දෑලේ වූ ප්‍රදේශය පුරාණ
අම්බවන රට්ඨ විය හැකි බව C.W.
නිකොලස් මහතා නිගමනය කරයි.
ගයිගර් සඳහන් කරන්නේ එහි උතුරු ප්‍රදේශය හෝ
අම්බවන රටට උතුරින් පිහිටි ප්‍රදේශය
සූර- අම්බවන රට බවය.
අම්බවන රටට අයත්
කීරවාපි ගම වර්තමාන
කිරිගම සහ
කිරිඔරුව ගම් විය හැකි බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි (මෙම ප්‍රදේශය
නාලන්ද සිට බටහිර දෙසට වන්නට වර්තමාන
නාලන්ද ජලාශය අසල පිහිටා ඇත.) එසේම වර්තමානයේ
යටවත්ත අසල පිහිටි
නැව්ගල නම්වූ කඳු ප්‍රදේශය පුරාණ
නවගිරිස ලෙසත්,
නාඋල සිට උතුරු දෙසට වන්නට
මැණික්දෙන අසල පිහිටි පිහිටි වර්තමාන
බිබිල (බොබැල්ල?) ප්‍රදේශය
බුබ්බුල ලෙසත් පිළිවෙලින් C.W.
නිකොලස් සහ H.W.
කොඩ්රිංටන් මහතුන් හඳුනාගනී.
ජනපද රට සහ
අලිසාර රට හඳුනාගැනීම පිළිබඳව -
අඹන් - කළු මිටියාවත් බද පුරාණ වාරිමාර්ග පද්ධතිය සහ ජනාවාස පැතිරීම - 3
මූලාශ්‍ර
- Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
- Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
- University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
- මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
- The national Atlas of Sri Lanka, Survey Department, 2007
- Notes on Ceylon Topography in the Twelfth Century, H.W. Codrington, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXIX, No 75, 1922
- Notes on Ceylon Topography in the Twelfth Century II, H.W. Codrington, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXX, No 78, 1925
ස්තූතියි ...
ReplyDeleteGood informative read, I must go and see this area.
ReplyDelete