Showing posts with label Manabarana. Show all posts
Showing posts with label Manabarana. Show all posts

Sunday, March 19, 2023

භික්ෂූන් මැදිහත්වී ඇති කල ලොව ප්‍රථම සාම ගිවිසුම සංගමුවෙන් හමුවේ !

* හෙඩිමට කලබොල නොවී ලිපිය කියවන්න. හම්බ වෙලා දැන් ගොඩක් කල්.....

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංගමුව ග්‍රාමයේ මැද්දේකැටිය වැව ආසන්නයේ පිහිටි එතරම් උස් නොවූ ගල් පර්වතයක පො.ව. පූර්ව යුගයේ සිටම පැවති බෞද්ධ ආරාමයක නටබුන් දැකිය හැක. එම පර්වතයේ නැගෙනහිර බෑවුමේ එහි පැරණි ප්‍රවේශය විය හැකි සියයකට අධික ගල් පඩි ප්‍රමාණයක් ගල මතුපිට මතු කර ඇති අතර, එම පඩි පෙල නැග ඉහලට පැමිණි කල පිහිටි ගලේ කොටස් මනාව ඉවත් කර මතු කර ඇති සමතලා සෘජුකෝණාශ්‍රාකාර කොටසක  පේලි 18 ක සෙල්ලිපියක් දැක ගත හැක. 1931 වර්ෂයේදී සෙනරත් පරණවිතාණ මහතා මෙම සෙල්ලිපිය සහ මෙම ස්ථානයේ ඇති වෙනත් සෙල්ලිපි කිහිපයක් පිටපත් කර පසුව එපිග්‍රැපියා සෙලනිකා සිව්වන වෙලුමේ මෙම ගිරි ලිපියේ පරිවර්තනයක්ද සහිතව විස්තරයක් ඉදිරිපත් කරයි. 12 වන ශතවර්ෂයේ භාවිතා වූ සිංහල අකුරින් ලියා ඇති එම ලිපියේ මුල් කොටස එම යුගයේ බෙහෙවින් භාවිතා වූ සංස්කෘත තත්සම බහුල සිංහල භාෂාවෙන් රචනා කර ඇති අතර ලිපියේ අවසානයේ වසන්තතිලකා විරිතෙන් පද බැඳි සංස්කෘත ශ්ලෝකයක් කොටා ඇත. එම ශ්ලෝකයේ තුන්වන පේලිය සම්පූර්ණයෙන් සහ සිව්වන පේලියේ කොටසක් කියැවිය නොහැකි ලෙසටම මැකී ගොස් ඇත.

ලිපියේ අන්තර්ගතය අනුව එය පිහිටුවන්නේ දෙසූරුබඩු වූ ගජබා[හු] සහ [ප]රාක්‍රමබාහු නම් වූ ශ්‍රී මහාසම්මත පරම්පරාවෙන් නොපිරිහී ආ සත්‍යධන වූ දෙදෙනෙකි. එනම් දෙමස්සිනාලා වූ අඛණ්ඩව මහාසම්මත පරම්පරාවෙන් පැවත එන සත්‍යය ධනය ලෙස සලකන්නා වූ දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා එකඟ වූ සන්ධානය එනම් ගිවිසුම පිළිබඳව එහි අනෙක් වාක්‍යය වලින් විස්තර ඉදිරිපත් වේ. ඒ අනුව ඔවුනොවුන්ගේ ජීවිතාන්තය දක්වා එකිනෙකා සමග යුද නොවදින බවට පළමු වාක්‍යයෙන් සපත කරයි. ඇතැම් අකුරු මැකී ඇති මුත් දෙවන වාක්‍යයෙන් කියැවෙන්නේ දෙදෙනාගෙන් කෙනෙකුන් පළමුව ආයාම වුවහොත් (මියගියහොත්) ඔහු සතු දේ අනෙකාට අත්පත් වන බවය යන්න වටහා ගත හැක. තුන්වන වාක්‍යයෙන් කුමක් අදහස් කලේද යන්න පැහැදිලි නොවන තරමටම එහි කොටස් මැකී ගොස් ඇති මුත් සිව්වන වාක්‍යයෙන් කියවෙන්නේ ඔවුන් අතුරින් එක්කෙනෙකු හට සතුරු වූ යම් රජදරු කෙනෙකු වේ නම් ඔහු ඔවුන් දෙදෙනාගේම සතුරන් ලෙස සලකන බවය. මෙම එකඟතාවය කඩ කිරීම තුනුරුවනේ ආඥාව කඩ කිරීමක් ලෙස සලකන බවටත් එසේ කලහොත් ඔවුන් නරකාදියෙන් කිසිදා මුක්ත නොවනු ඇති බවටත් අවසානයේ සඳහන් වේ. සංස්කෘත ශ්ලෝකයේ කියවිය හැකි කොටසින් මෙම අකුරු ඉර හඳ පවතින තුරා ලොවෙහි ආරක්ෂා වන ලෙසට වූ ප්‍රාර්ථනයක් සහ අනෙකාගේ හිතසුව පිණිස වූ ඔවුන් දෙදෙනාගේ සංධානය ඇල්මෙන් හාත්පස පැතිරේවා වැනි අදහසක් ගම්‍ය වන බව පෙනේ. 

පළමුවන විජයබාහු රජුගෙන් පසු පළමුවන පරාක්‍රමබාහු දක්වා සිංහලද්වීපයේ ඉතිහාසය සැකවින්

ඒ වූ කලී දීර්ඝ චෝල පාලනයකින් පසු චෝලයන් පලවාහැර සිංහලද්වීපය එක්සේසත් කල පළමුවන විජයබාහුගෙන් (පො.ව. 1055-1110) පසු උදාවූ නැවතත් රට සිංහල පාලකයන් කිහිප දෙනෙකු අතර බෙදී ගිය එමෙන්ම ඔවුනොවුන් අතර නිතර සිවිල් යුද්ධ ඇතිවූ අරාජික කාලයකි. දෙවන ගජබාහු (පො.ව. 1132-1153) රජරට පාලනය කල අතර සිය මාමා වූ කිත්සිරිමේඝගෙන් පසු දක්ඛිණ දේශයේ පාලනය පරාක්‍රමබාහු කුමාරයා හට හිමිව තිබිණ. මානාභරණ රුහුණු රටේ පාලකයා වූවේය. මුලු දිවයිනේම බලය තමා නතු කරගැනීමේ අරමුණෙන් යුතුව පරාක්‍රමබාහු කුමාරයා පළමුව රජරට පාලකයා වූ ගජබාහු හට අයත්ව තිබූ ගිරිදුර්ග, වනදුර්ග, ජලදුර්ග බහුල මලය රට යුධ ගැටුම් සහ විවිධ උපක්‍රම මගින් ගජබාහු යටතේ එහි සිටි ප්‍රාදේශීය පාලකයන් තමා වෙත නම්මා ගැනීම ආදියෙන් අත්පත් කරගෙන රජරට සෙසු ප්‍රදේශ කරාද සිය සේනා මෙහෙයවමින් සිටියහ.  ගජබාහුගේ අගනුවර වූ පොළොන්නරුව ආසන්නයටම ආළිසාර රට අල්ලාගනිමින් පරාක්‍රමබාහු කුමරු පැමිණි අවස්ථාව වන විට රුහුණේ පාලකයා වූ මානාභරණ පරාක්‍රමබාහු කුමරුට එරෙහිව ගජබාහු රජු සමග එක්වී ගජබාහුගේ සේනා සමග පරාක්‍රමබාහු ගේ සේනාවන්ට එරෙහිව සටන් වදී. එහෙත් සටනේ ජයග්‍රහණය පරාක්‍රමබාහු හට හිමිවන ලකුණු පෙනීමත් සමගම මානාභරණ ගජබාහු සමග වූ එකඟතාවයන් කඩකර පරාක්‍රමබාහු සමග සන්ධානයකට මුල පුරයි. පොළොන්නරුව නගරය යටත් කරගන්නා පරාක්‍රමබාහුගේ සේනාවන් ගජබාහු ජීවග්‍රහයෙන් අල්ලාගෙන ඔහුව සිය මාළිගය තුලම සිරකර තබයි. මේ වන විට පරාක්‍රමබාහු කුමාරයා නගරයට පිටතින් බොහෝවිට වර්තමාන නාලන්ද ප්‍රදේශයේ සිටි අතර ගජබාහු හට රෙදිපිළි ආභරණ ආදී තෑගි යවා ඔහුට හොඳින් සලකන ලෙසට සිය සේනාධිපතීන් හට නියම කරයි. එහෙත් ජයග්‍රහණයෙන් උදම් වී සිටි පරාක්‍රමබාහුගේ සෙබලුන් නගරයේ කොල්ලකෑම් ආදිය සිදුකරමින් සිදු කල ක්‍රියාවන් හේතුවෙන් නගරවැසියන්, ඇමතිවරුන් ආදිය එක්වී ඒ වනවිට සොරබොර සිටි මානාභරණ හට පැමිණ රජරට පාලනය භාරගන්නා ලෙසට පණිවිඩ යැවීය. මානභරණගේ සේනාවන් සහ පරාක්‍රමබාහුගේ සේනාවන් අතර සිදුවූ ගැටුම් වලින් මානාභරණ ජයගන්නා අතර පරාක්‍රමබාහුගේ සේනාවන් නගරය අතහැර පලායයි. නැවත නගරය යථා තත්වයට ගෙන ඒමෙන් දින කිහිපයකට පසුව මානාභරණ ගජබාහුගේ සියලු සාමන්තයන් මරා ගජබාහු රජුද නැවතත් සිරගෙයි දමයි. ඔහුගේ අරමුණ වූවේ රහසිගතව විෂ ශරීර ගත කර ගජබාහු රජුද මරා මුළු රජරටේම පාලනය සියතට ගැනීම වූ බව වංශ කතාව පවසයි. මේ බව වටහාගත් ගජබාහු රජු තමාව මුදවාගන්නා ලෙස පරාක්‍රමබාහු කුමරා හට පණිවිඩ යවයි. වහාම ක්‍රියාත්මක වන පරාක්‍රමබාහු නැවතත් සේනාවන් යවා නගරය වටලා මානාභරණ පලවා හැර නගරය මුදා ගනී. ගජබාහු කොට්ඨසාර ( ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් ප්‍රදේශයේ පිහිටි වර්තමාන  කොට්ටියාර් පෙදෙස) ප්‍රදේශයට පලායන අතර එකවර නගරයට ඇතුළු නොවන පරාක්‍රමබාහු ගිරිතටාක (වර්තමාන ගිරිතලේ) ප්‍රදේශයේ කඳවුරු බැඳගනී. නැවතත් ගජබාහුගේ දේවාධිකාරි ප්‍රමුඛ ඇමතිවරු පරාක්‍රමබාහුගේ සේනාවන් සමග ගැටුම් ඇතිකරගැනීම හේතුවෙන් පරාක්‍රමබාහුගේ පිරිස් ගජබාහු රැඳි සිටි කොට්ඨසාර පෙදෙස වැටලීමට පටන් ගත්හ. ස්ථාන කිහිපයකදීම සිය සේනාවන් පසු බැසීමත් සමග සිය අවසාන ගැලවීම පිණිස ගජබාහු භික්ෂු සංඝයා වෙත මෙයට මැදිහත් වන ලෙස ආයාචනා කල බව මහාවංශය සඳහන් කරයි. මහාවංසය අපට පවසන පරිදි ගිරිතලේ පෙදෙසට ගොස් පරාක්‍රමබාහු හමුවන භික්ෂුන් වහන්සේ ඔහුට පවසන්නේ " ඒ රජුගේ පුතාද, සොහොයුරෝද එපමණක් නොව ඔහුද මහළු බැවින් මාරමුඛයේ සිටිති. රාජ්‍ය සාධනය ලෝකශාසන අභිවෘද්ධිය පිණිස හේතුවන්නේය. ඔබගේ ප්‍රතිඥාවද නොබෝ කලකින්ම සමෘද්ධ නොවන්නේය. එබැවින් භික්ෂු සංඝයාගේ වචනය ගරු කරන ඔබ යුද්ධය අතහැර සිය රටට යා යුතු" බවය. වංශ කතාව වැඩිදුරටත් පවසන්නේ සංඝයාගේ වචනය අසා දුකසේ ලබාගත් රාජ්‍යය ගජබාහු රජුට දී පරාක්‍රමබාහු කුමරා සිය රටට ගිය බවය. ගජබාහු රජු ගංගාතටාක නම් ස්ථානයට පැමිණ (වර්තමාන කන්තලේ ) සිය අවසන් කාලය එහි ගත කරන අතර මානාභරණ නැවත ගජබාහු සමග සමගි වීමට පඬුරු යැවූ මුත් එයට එකඟ නොවන රජු මහාවංශයේ සඳහන් වන පරිදි මණ්ඩලගිරි විහාරයට පැමිණ "මගේ රජරට පරාක්‍රමබාහු රජුට දෙනලදී " යැයි ගලක මතුපිට ලියවා දෙවිසි වසක් සිට රෝගයකින් පෙළී මියයයි.

නැවතත් මේ ලිපියේ මුඛ්‍ය අරමුණ වන සෙල්ලිපිය කෙරෙහි අවධානය යොමු කලහොත් ඉහත ඓතිහාසික තොරතුරු අනුව එම ලිපියේ නම් සඳහන් ගජබාහු සහ පරාක්‍රමබාහු හඳුනාගැනීම එතරම් අපහසු නොවේ. ලිපියේ අකුරුද දෙවන ගජබාහු සහ පළමුවන පරාක්‍රමබාහු සිටි යුගයට අයත් වෙනත් සෙල්ලිපි වල අක්ෂර සමග මැනවින් ගැලපේ. එපමණක් නොව වංශ කතා තොරතුරු වලට අනුව ගජබාහු සහ පරාක්‍රමබාහු නම් වූ රජවරුන් දෙදෙනෙකු එකම කාලයක ජීවත්ව සිට ඇත්තේද එක් සමයකදී පමණි. එපමණක් නොව මෙම සෙල්ලිපියේ සඳහන් වන පරිද්දෙන්ම පරාක්‍රමබාහු සහ ගජබාහු දෙමස්සිනාලා වේ. පරාක්‍රමබාහු කුමරා මුල් කාලයේ පොළොන්නරුවේ පිහිටි ගජබාහුගේ මාළිගයේ ඔත්තු බලමින් ඔහුගේ රාජ සභාවේ සහ වෙනත් ස්ථාන වල සිටින නිලධාරීන් සහ ඇමතිවරුන් සමග සම්බන්ධතා ගොඩනගාගනිමින් රජුගේ අනුග්‍රහය ඇතිව කාලය ගත කල අතර, එම කාලයේදී රුහුණෙහි සිටි සිය මවට හසුන් යවා සිය නැගණිය වූ භද්දවතී කුමරිය ගෙන්වා ගජබාහු රජුට එම කුමරිය පාවාදී රජුට තමාගේ විශ්වාසය ඇති බව පෙන්වූ බව මහාවංශය සඳහන් කරයි. සෙල්ලිපියේ සඳහන් කරුණු සහ ගජබාහු රජු මණ්ඩලගිරි විහාරයේ ගලක් මතුපිය ලියූ ලෙස මහාවංශයේ සඳහන් පාඨය එකම නොවූවත් සෙල්ලිපියේ දෙවන පාඨයෙන් අන් ආකාරයකින් කියැවෙන්නේ ගජබාහුගෙන් පසුව පරාක්‍රමබාහු හට ගජබාහු හට අයත්ව තිබූ රජරට හිමිවන බව විනා අන් යමක් නොවන බව පැහැදිලිය. එසේම සෙල්ලිපියේ සිව්වන පාඨයෙන් ඔවුන් අතරින් එක්කෙනෙකුගේ සතුරු වූ යම් රජදරු කෙනෙක් අනෙකාගේද සතුරෙකු ලෙසට සලකන බවට වූ සඳහනින් අදහස් කලේ රුහුණේ පාලකයා වූ මානාභරණ බවද වටහා ගැනීම එතරම් අපහසු නොවේ. වංශ කතාව අනුව ගජබාහු රජු මිය යන තෙක්ම එම එකඟතාවය කඩ නොකල බවද පැහැදිලි වේ.

සෙල් ලිපිය කොටා ඇති ගල මතට දිස් වන මැද්දේකැටිය වැව

කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍ර ආදිය මැනවින් හදාරා සිටි පරාක්‍රමබාහු කුමරා මෙම එකඟතාවය මගින් උපක්‍රමිකව සම්ප්‍රදායට අනුව ඔහුට හිමි නොවූ රජරට රාජ්‍යයට ගජබාහු රජු හරහා ඔහුගේ අයිතිය ඇති කරගත් බව මේ පිළිබඳව විමසා බැලීමේදී පෙනී යන බව සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි. මක් නිසාද යත් ඒ වන විටත් ගජබාහු රජු හට මහින්ද සහ අනිකංග නම් සොහොයුරන් දෙදෙනෙකු සිටි අතර පරාක්‍රමබාහු කුමරුට වඩා රජරට රාජ්‍යයට වැඩි අයිතියක් ඔවුනට හිමිවේ. වංශ කතාව කුමක් පැවසුවත් සෙල්ලිපියේ අන්තර්ගතය අනුව එහි මුලින්ම නම සඳහන් වන්නේ ගජබාහු රජුගේ නම වන අතර එමගින් ඔහුගේ ප්‍රධානත්වය පරාක්‍රමබාහු කුමරාද පිළිගෙන ඇති බව විද්‍යාමාන වේ. කෙසේ නමුත් මෙම සෙල්ලිපිය පිහිටි ප්‍රදේශය එවකට පරාක්‍රමබාහු රජුට අයත් දක්ඛිණ දේශයේ බල ප්‍රදේශයේ වූ අතර වර්තමාන සංගමු විහාරය එම යුගයේ හැඳින්වූවේ මණ්ඩලගිරි විහාරය ලෙසින්ද නැතහොත් වෙනත් නමකින්ද යන්න පිළිබඳව සාධක හමුනොවේ. මහාවංශයේ සඳහන් මණ්ඩලගිරි විහාරය වර්තමාන මැදිරිගිරිය විහාරය ලෙස සලකන සෙනරත් පරණවිතාන මහතා මහාවංශයේ සඳහන් ලිපිය වර්තමාන මැදිරිගිරිය විහාරයෙන් මෙතෙක් හමු නොවීම පැහැදිලි කරන්නේ වනගහනයෙන් වැසුණ විශාල ප්‍රදේශයක පැතිරුණ නටබුන් සහිත එම පරිශ්‍රයෙන් එය ඇතැම්විට ඉදිරි කාලයේදී හමුවිය හැකි බවය. එතුමා සංගමු විහාර ලිපිය එම ලිපියේ පිටපතක් ලෙස සලකන අතර පරාක්‍රමබාහු සහ ගජබාහු අතර එකඟතාවයක් ඇති කරගැනීමට මුල්වූ භික්ෂුන් එවකට වර්තමානයේ මැදිරිගිරිය සහ සංගමුව යන නම් වලින් හැඳින්වෙන විහාර දෙකේම සිටින්නට ඇති බවත් එහෙයින් එම තැන් දෙකෙහිම ලිපි පිහිටුවන්නට ඇති බවත් පවසයි. කෙසේ නමුත් මණ්ඩලගිරි නමින් විහාර එකකට වඩා එම යුගයේ තිබෙන්නට නොහැකිද යන පැනය මෙහිදී මතුවේ. වර්තමාන සංගමුව විහාරයද යුග කිහිපයකදීම වැදගත් ස්ථානයක් ගත් විහාරයක් බවට සාධක බොහෝමයක් දැනටත් ඉතිරි වී තිබේ (සංගමු විහාරයේ අනෙකුත් නටබුන් පිළිබඳව විස්තරාත්මක ලිපිය >> )

කෙසේ නමුත් ගජබාහු රජුගෙන් පසු ඔහුගේ ඇමතියන් මෙම එකඟතාවය කඩ කර රුහුණේ පාලකයා වූ මානාභරණ හට පැමිණ රජරට පාලනය භාරගන්නා ලෙසට පණිවිඩ යවන අතර එය නැවතත් පරාක්‍රමබාහු සහ මානාභරණගේ හමුදාවන් අතර දීර්ඝ කාලීන යුද්ධයකට මුල පිරීමක් බවට පත්වේ. එහි අවසානය රුහුණේ ප්‍රභූ පන්තිය සදාකාලිකව විනාශ කර දැමීමෙන් නැතහොත් බෙලහීන කර දැමීමෙන් සහ පරාක්‍රමබාහු රටේම පාලකයා වීමෙන් අවසන් වේ. බලය මුල් කරගත් දේශපාලනයේදී මොන ගිවිසුමත් නිකන්ම නිකන් ලියැවිල්ලක් පමණක්ය යන්න එදා මෙදා පමණක් නොව මතුදාටත් අදාල පරම සත්‍යයක් නොවේද?

මෙම සෙල්ලිපිය සහ සංගමුව රජමහා විහාරයේ වෙනත් නටබුන් දැක්වෙන වීඩියෝව >> 

මූලාශ්‍ර

  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume IV (1934 - 1941), Edited by S. Paranavitana, 1943
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 6, G.S. Ranawella, 2007

Sunday, February 12, 2017

උදුන්දොර සුගලා දේවිය සොයා ගලබැද්දට....

සොළී බලසෙන් මැඩ ලක්දිව එක්සේසත් කල මහා විජයබාහු (ක්‍රි.ව. 1055-1110) රජතුමාගේ මරණින් පසු ඔහුගේ නැගණිය වූ මිත්‍රා, සිය පුතුන් තිදෙනා, අනෙකුත් රදළයන් සහ අෂ්ට විහාර වාසී භික්ෂුන් සමග එක්වි රුහුණේ වසන්නාවූ විජයබාහු රජුගේ පුත් වූ වික්‍රමබාහු ඈපාණන්ට රජු මල බව නොදන්වා, යුව රජ වූ ජයබාහු (ක්‍රි.ව. 1110-1111) හට රාජ්‍ය පවරා, උපරාජ පදවියට මිත්‍රා දේවියගේ පුත් වූ මාණාබරණ පත් කලහ. ඉක්බිති මාණාබරණ සිය සොහොයුරන් දෙදෙනා හා ජයබාහු රජු සමග සියලු සේනා ගෙන වික්‍රමබාහු හා සමග යුද වැදීම සදහා පුලත්ථි නගරයෙන් (පොළොන්නරුවෙන්) නික්මුණහ. වික්‍රමබාහු ඈපාණන්ද පියා මල බව සැලවී මහානාගහුල සිට සිය සේනාවද සමග ඔවුන් හා සටන් වැදීමට පුලත්ථි නගරය කරා එන අතරේ ගුත්තහාලා මඩුල්ලේ පණසබුක්ක නම් ගම්හී ඔවුනොවුන් හා යුද වැදුනහ. මෙහිදි එම සටනින් පැරද පලා යන මාණාබරණ හා ජයබාහුගේ ගේ සේනාව සමග වික්‍රමබාහු සටන් වැදුන ස්ථාන ලෙස මහාවංශය පිළිවෙලින් ආදිපාද ජම්බු, කටගාම, කාලවාපි, උද්ධානද්වාර සහ අවසානයේ පණ්කවෙලක යන තැන් සඳහන් කරයි.
කැසිකිලි ගලක්- ගලබැද්ද පොකුණ
මෙහි සඳහන් වන ගුත්තහාල මණ්ඩල යන්න වර්තමාන බුත්තල අවට ප්‍රදේශය ලෙස හඳුනා ගෙන ඇත (ගුත්තහාල >ගුත්තල>බුත්තල). පෙළ බසින් පණා යනු කොස් ලෙස ගත් කල පණසබුක්ක හා පණ්කවෙලක ලෙස මෙහි සඳහන් වන්නේ මොණරාගලට දකුනින් පිහිටි කොස්ගොඩ විය හැකි බව C.W. නිකලස් අදහස් කරයි (එහෙත් එකම පෙදෙසකට එකම අවස්තාවේ නම් දෙකක් ව්‍යවහාර වන්නේ මන්ද යන ප්‍රශ්නය මෙහිදී පැන නැගේ.). ආදිපාද ජම්බු ප්‍රදේශය වර්තමානයේ මොණරාගලට උතුරින් පිහිටි දඹගල්ල විය හැක (පා: ජම්බු = සිං: දඹ). මෙහි සඳහන් කාලවාපි යනු අනුරාධපුර ආසන්නයේ ඇති කලා වැව නොව වෙනත් අවස්ථා කිහිපයකදීමත් රුහුණේ  කාලවල්ලිමණ්ඩප, කාලවල්ලික මණ්ඩප ලෙසින් හැඳින්වෙන බුත්තලට ආසන්නව පැවති වෙනත් පෙදෙසක් ලෙස මත ඉදිරිපත් වී ඇත (මහා පරාක්‍රමබාහු රජු රුහුණේ කාලවල්ලි වැව පිලිසකර කල බව පැවසේ. එසේම පූජාවලියට අනුව කාවන්තිස්ස රජතුමන් රුහුණේ කළු මුහුදු විහාරය ඉදි කර ඇත.) මේ හඳුනාගැනීම් නිවැරදි නම් උද්ධානද්වාර නමින් හැඳින්වෙන පෙදෙසද මොණරාගල අවටම විය යුතු බව පෙනේ.
කාන්තා රූපයක් - ගලබැද්ද පොකුණ
සටනින් ජයගන්නා වික්‍රමබාහු (ක්‍රි.ව. 1111-1132) පුලත්ථි නගරයට ගොස් එහි සිට රජරට බලය පිහිටුවා ගන්නා අතරතුරෙහිදි මාණාබරණ ඇතුලු 'සහෝදර සමාගම' දක්ඛිණ දේශයේ සහ රෝහණයේ බලය අල්ලාගනී. ඉන්පසු එක් සොහොයුරෙකු වූ කිත්සිරිමේඝ හට ද්වාදසසහස්සක පෙදෙස (දොළොස්දහස් රට) බාර කරන අතර ඔහු එහි මහානාගහුල (වර්තමාන අම්බලන්තොට රම්බා විහාරය පිහිටි පෙදෙස මහානාගහුල ලෙස හඳුනාගෙන ඇත.) නගරයේ සිට පාලනය මෙහෙයවයි. අනෙක් සොයුරා වන සිරිවල්ලභ හට අට්තසහස්ස පෙදෙස (අටදහස් රට) සිටින ලෙසට පවසන අතර ඔහු පෙර සඳහන් කල උද්ධානද්වාර ග්‍රාමය රාජකීය නගරය බවට පත්කර ගනිමින් එහි සිට එම පෙදෙස පාලනය කරයි. දක්ඛිණ දේශය බලා යන මාණාබරණ එහි පුණ්ඛගාමයේ (මේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි දැදිගම ලෙස පරණවිතාන මහතා හඳුනාගනී) සිට විරබාහු යන නමින් එම පෙදෙසේ බලය පතුරුවයි. මිත්‍රා දේවිය සහ ජයබාහු කිත්සිරිමේඝ සමග මහානාගහුලම නවතී.
මෙම පාලකයන් සිව් දෙනාගේ පාලන කාලය තුල උසස් කුලවතුන් පිරිහෙලූ බවත්, හීන වූ ස්වාභිමානී ජනයන් මහත් තන්හී තැබූ බවත්, බුදුසස්න පිරිහෙලූ බවත්, උතුම් කුලවත් මිනිසුන්ගේ කිසිදු දොසක් නැතිව වුවද ඔවුන්ගේ ධනය බලහත්කාරයෙන් ගත් බවත්, අධික බදු පණවමින් ජනයා උක් යන්ත්‍රයක ලූ උක්දඬු සේ මිරිකූ බවත් වංශ කතාව පවසයි.[එම තත්වය කොතරම්  දුරට අදටත් ගැලපේද?] යුව රජ කමට සුදුසුකම් ලත් වික්‍රමබාහු වෙනුවට පැත්තක සිටි මාණාබරණ යුව රජු කර ඔහු යටතේ රූකඩ පාලකයෙක් ලෙස සිටීමට කැමැති වූ ජයබාහුගේ සහ පාණ්ඩ්‍ය රජ කුමරුවෙකුගේ බිසව වූ මිත්‍රා දේවියගේ කුමන්ත්‍රණය එසේ අවසාන වන්නේ මහා විජයබාහු රජු එක්සත් කල දේශය නැවතත් කැබැලි වලට කැඩී, පාලකයන් ජනයා පෙලමින් ඔවුනොවුන් හා සමගද කුලල්කාගන්නා අන්දමින්ය.
පාර්ලිමේන්තුවේ බහුතරය සහිත අගමැති සිටියදී සදාකාලික පරාජිතයෙක් අගමැති කර ඔහු යටතේ රූකඩයක් වී ඇති පාලකයෙක් වර්තමානයේද සිටි. මිත්‍රා බිසව ලෙසින්ම ඔහුට උපදෙස් දීමට චෞර රැජිනක්ද පසු පසින් සිටී.නායක මට්ටමේ චීවරදාරීන්ද ඔවුන් පසු පස සිට දැන් 'අතන මෙතන රතන' වන අතර එකෙකු අපා ගත විය. වසර 30 කට පසු ශ්‍රේෂ්ඨ නායකයෙක් නැවත එක්සත් කල දේශය නැවතත් බෙදා වෙන් කරලීමේ ඉමට පැමිණ ඇත. ඉතිහාසය නැවත නැවතත් එලෙසින්ම සිදුවනවාද? කෙසේ නමුත් අපගේ අවධානය මෙහිදී ප්‍රධාන වශයෙන් යොමු වන්නේ ඉහත කී උද්ධානද්වාර රාජධානිය පිහිටි පෙදෙස හඳුනාගැනීම සඳහා වන හෙයින් වංශ කතා වල ඒ හා සම්බන්ධ පසු කාලීන වාර්තා වෙත යොමු වෙමු.
රජමාලිගයේ නටබුන් වලට නුදුරින් ඇති තහවුරු නොකල ගොඩනැගිල්ලක් 
මෙසේ බෙදී වෙන් වූ ලක්දිව නැවත එක්සේසත් කිරීම සිදුවන්නේ දක්ඛිණ දේශයේ පාලකයා වූ මාණාබරණ ගේ පුත් වූ පරාක්‍රමබාහු කුමරා වෙතින්ය. වංශ කතාවට අනුව දක්ඛිණ දේශයේ පාලකයා වූ මානාබරණගේ මරණින් පසු දොළොස්දහස් රටේ සිටි කිත්සිරිමේඝ දක්ඛිණ දේශයේ පාලකයා වන අතර, අටදහස් රටේ උද්ධානද්වාර නගරයේ සිටි සිරිවල්ලභ අටදහස් සහ දොළොස්දහස් යන දෙරටම ඇතුලත් මුලු රෝහයේම බලය ඔහුට නතු කර ගෙන සිය අගනුවර ලෙස මහානාගහුල තෝරාගනී. සිරිවල්ලභගේ මරණින් පසු ඔහුගේ පුත් මාණාබරණ 2 (ඉහත මාණාබරණ හා පටලැවීම වැලක්වීමට මෙතැන් සිට ඔහු මාණාබරණ 2 ලෙස දක්වමු) අතට රුහුණේ පාලනය මාරු වෙයි. [මෙහිදී මහා නදී, වන නදී ආදී නම් වලින් මහාවංශයේ හැඳින්වෙන වර්තමාන වලවේ ගඟෙන් නැගෙනහිර පෙදෙස පහල ඌව පෙදෙසද ඇතුලත්ව අටදහස් රට ලෙසත් (එනම් ගම් 8000 වූ රට) වලවේ ගඟින් බටහිර ගම් 12000 කින් යුක්ත වූ පෙදෙස දොළොස්දහස් රට ලෙසත් එහි අගනුවර මහානාගහුල හෙවත් මානාවුළු පුරවරය බවත් හඳුනාගෙන ඇත.]
කිත්සිරිමේඝගේ මරණින් පසු දක්ඛිණ දේශයේ පාලනය බාර ගන්නා පරාක්‍රමබාහු කුමරු, වික්‍රමබාහුගේ මරණින් පසු රජරට පාලකයා වන ඔහු පුත් ගජබාහු (ක්‍රි.ව. 1132-1153) හා රුහුණේ පාලකය වූ මාණාබරණ 2 එකිනෙකාගේ ප්‍රදේශ අල්වාගැනීම සඳහා ඔවුනොවුන් අතර වූ දීර්ඝ හා වෙහෙසකර  සටන් පෙලකින් පසුව ගජබාහුගේ ස්වභාවික ව සිදුවූ මරණින් අනතුරුව පරාක්‍රමබාහු කුමරා අවසානයේ  රජරටද ඔහුගේ අනසක යටතට පත් කරගනී. ගජබාහු හා පරාක්‍රමබාහු අතර සංඝයා මැදිහත් වීමෙන් මණ්ඩලිගිරි විහාරයේ (වර්තමාන මැදිරිගිරිය) ඇති කරගත් ගිවිසුමට අනුව ගජබාහුගෙන් පසු රජරට සිහසුන පරාක්‍රමබාහුට (ක්‍රි.ව. 1153-1186) අයත් විය යුතු වූ මුත් මේ කාලය වන විට රාජ්‍යයේ සංකේතය බවට පත්ව තිබූ දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුව හිමිව තිබූ රුහුණේ මාණාබරණ 2 සහ පරාක්‍රමබාහු අතර නැවතත් සිවිල් යුද්ධයක් ඇති වන අතර ඉන් පැරදි රුහුණට පලා යන මාණාබරණ 2 එහිදි මිය යෑමෙන් පසු දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුව ලබාගැනීම උදෙසා නැවතත් මාණාබරණගේ මව වූ සුගලා දේවිය සහ පරාක්‍රමබාහු අතර රුහුණේ සටන් ඇවිලේ.
වතුර ඇතුළුවීමට ඇති නල මාර්ග - ගලබැද්ද පොකුණ
ඒ සඳහා පරාක්‍රමබාහු රජුගේ රක්ඛ නම් වූ සෙනෙවියා පොළොන්නරුවෙන් නික්ම බරබ්බල (වර්තමාන මයියංගණය අසල විය හැක.) කණ්ඨකවන, අම්බලල, සැවැ යන බලකොටු යටත් කරගනිමින් ගොස්  දිවාචන්දන්තාබාට නම් වූ වනගත නිම්නයේ වූ බලකොටුව අසලට පැමිණි කල්හි දෙපිරිස  අතර දරුණු සටන් ඇති විය. මෙම ගමන් මාර්ගය වර්තමාන මයියංගණය -ඌරණිය-බිබිල මාර්ගය ඔස්සේ වැටි තිබෙන්නට ඇතැයි කොඩ්රිංටන්  මහතා අනුමාන කරන අතර වර්තමානයේ හෑපොල ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය ඉහත කී දරුණු සටන් සිදුවූ වන දුර්ග සහිත නිම්නය ලෙස හඳුනාගනී. මෙහිදී රක්ඛගේ සහයට භූත නම් වූ සෙනෙවියාද බල පිරිස් සමග එක්වන අතර එම ස්ථානය යටත් කර ගැනීමෙන් පසු ඔවුන් කිම්සුඛවත්තුක, වටරක්ඛතලි, දාථාවඩ්ධන යන බලකොටු යටත් කරගනිමින් ගොස් සහෝදර නම් ගම්හි (බිබිල අසල ලෙස සැලකේ) මහා යුධ කොට එතැන් සිට සතුරු බල මුලු මගින් පැත්තකින් එල්ල වන ප්‍රහාර  (Flank attacks) වැලැකීමට රක්ඛ සෙනෙවි තෙමේ ලෝකගල්ල (වර්තමාන ලොග්ගල් ඔය නිම්නය) ඔස්සේ ගොස් නැවතත් සේනා දෙක එක්වී මජ්ජිමගාම ( බිබිල-මොණරාගල මාර්ගයේ ඇති මැදගම ) සහ කණ්ඨකද්වාරවාත (දඹගල්ල අසල කටුපැලැල්ල ) යන බලකොටු යටත් කරගනිමින් ගොස් සුගලා දේවී විසූ උද්ධානද්වාරය වෙත ලගාවේ.
ගලබැද්ද පොකුණ ඉදිරිපසට පෙනෙන කඳු වැටිය
සුගලා දේවිය දළදා සහ පාත්‍ර ධාතු රැගෙන උරුවෙලා  (වර්තමාන ඇතිමලේ ) පෙදෙසට පලා යන අතර ඉක්බිති දීඝවාපි පෙදෙසේ ඇතිවන ගැටුම් නැවතත් උද්ධානද්වාර දක්වා පැතිරී එහි දරුණු සටන් ඇතිවේ. වංශ කතාව විස්තර සහිතව දීර්ඝ ලෙස විස්තර කරන මින් පසු ඇතිවූ සටන් වලදි දළදා සහ පාත්‍ර ධාතු පරාක්‍රමබාහු රජු ලබා ගන්නා අතර අවසානයේ සුගලා දේවියද ජීවග්‍රහයෙන් අල්වා ගනී. රුහුණේ සුගලා දේවිය සමග සටන් වැදුනු නායකයන් සමූලඝාතනය වන අතර වනගාම හිදී සිදුවූ අවසන් සටනින් පැරද නැවතත් උද්ධානද්වාර සහ නිග්‍රෝධ-මාරගල්ල වෙත පලා එන ඇතැම් සෙනෙවියන්ද මරා දමා හෝ අල්වාගෙන රුහුණේ ප්‍රභූ පරපුර නැවත නැගී නොසිටින ලෙසට විනාශ කර දමනු ලබයි. [මෙහි සඳහන් වන නිග්‍රෝධ-මාරගල්ල  මොණරාගල කඳු වැටියේ මරගල ලෙස කොඩ්රිංටන් හඳුනා ගනී.]
ගොඩනැගිල්ලක ගඩොළු පාදමක්
පාළි මූලාශ්‍ර වල උද්ධානද්වාර ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය පිළිබඳ හෝඩුවාවක් කුරුණෑගල යුගයේ  රචනා කල දළදා පූජාවලියෙන් ලැබේ. රුහුණු උඳුන්දොර අමරගිරි පර්වත සමීපයේ සුරක්ෂිත කර තිබූ දළදා, පාත්‍ර ධාතුන් මහළු පරාක්‍රමබාහු රජතුමන් චතුරාංගනී සේනාව යවා පොළොන්නරු පුරවරයට ගෙන්වා ගත් බව එහි සඳහන් වේ. මොණරාගල ලෙස වර්තමානයේ හැඳින්වෙන කන්ද පෙර කල අමරගිරි ලෙස හැඳින්වූ බවට බිබිලේ රටේ මහත්තයා විසින් තහවුරු කල බවත්, ඒ අනුව උදුන්දොර යනු වර්තමානයේ මොණරාගල පාමුල ගලබැද්ද ලෙස හඳුන්වන නටබුන් වූ මාලිගයක් සහ පොකුණක් සහිත ප්‍රදේශය බවත් කොඩ්රිංටන් හඳුනාගනී. තවමත් කැනීම් කර සංරක්ෂණය කර නොමැති මෙහි මාලිගයේ සැලැස්ම පොළොන්නරුව සහ පඬුවස්නුවර ඇති පොළොන්නරු යුගයේ රජ මාලිගා වල සැලැස්මට සමාන වන මුත් ප්‍රමාණයෙන් ඒවාට වඩා කුඩාය. මාලිගයේ නටබුන් වලට නුදුරින් ඇති 'කෙල්ලන්ගේ වල' නමින් හැඳින්වෙන සංරක්ෂණය කර ඇති පොකුණ පොළොන්නරු යුගයේ ගෘහනිර්මාණ ලක්ෂණ වලින් යුක්ත වේ.
සුගලා දේවිය සොයා රක්ඛ සෙනෙවියා ගිය මාර්ගය ඔස්සේ අසූව දශකයේ වන මන් පෙත් ඔස්සේ දුෂ්කර ගමනක යෙදී සිය අත්දැකීම් විචිත්‍ර ලෙස ඉදිරිපත් කල ලාලා ආදිත්‍ය මහතා සිය කෘතියේ තම රාජධානිය අත්පත් කරගැනීමට ලග ලග එන රක්ඛ හා භූත සෙනවියන් ප්‍රමුඛ සේනාව හමුවේ උදුන්දොර මාලිගයේ සිටි සුගලා දේවියගේ මුවට නැන්වූ මෙම පැදියෙන් මෙය අවසන් කරමු.

"I have swayed troublous councils,
                                        I am wise in terrible things;
Father and son and grandson,
                                        I have known the hearts of the Kings.
Shall I give thee my sleepless wisdom,
                                       or the gift all wisdom above?
Ay, we be women together-
                                      I give thee thy people's love."

බලසම්පන්න තරුණ පරාක්‍රමබහු සමග රුහුණු රටේ උරුමය උදෙසා අභීත සටනක් ගෙන ගිය සුගලා දේවියත් සමග රුහුණු ප්‍රභූ පරපුර හමාර වේ. එහෙත් එහි වන්දි ගෙවන්න්නට සිදුවන්නේද අනාගත රජරට ප්‍රභූ පරපුරටමය. පෙර කල අනුරාධපුර රාජධානී සමයේ මෙන් පර සතුරු උවදුරු හමුවේ නැවතත් සිංහල ජාතියේ ස්වාධීනත්වය නගා සිටුවීමට රුහුණෙන් මතු වී සටන් කිරීමට නායකත්වයක් ඉතිරි වී නොතිබුණි. ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයක අභිමානයද එයට සමගාමීව කෙමෙන් වියැකී ගොස් පසු කාලයකදි බටහිර ආක්‍රමණිකයන්ට නතු විය.

මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • දළදා පූජාවලිය
  • Search For Sugala, Lala Adithiya, 1980

Wednesday, October 28, 2015

සිංහලේ දෙමළ සෙල්ලිපි 2 - දෙමළ ටැම් ලිපි මත ඉදිවූ බුදුමුත්තෑව විහාරය

 කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ආසන්නයේ බුදුමුත්තෑව නම් ගමෙහි පිහිටි මහනුවර යුගයේ ඉදිකල ටැම්පිට විහාරයක, වෙනත් පැරණි නටබුන් ගොඩනැගිල්ලකින් රැගෙන ආ බවට විශ්වාස කල හැකි දෙමළ සෙල්ලිපි දෙකක් සහිත ගල් ටැම් දෙකක් හමුවේ.  දෙමළ සහ ග්‍රන්ථ අක්ෂර වලින් ලියා ඇති මෙම සෙල්ලිපි දෙකට අමතරව තවත් දෙමළ පුවරු ලිපියක් මෙම ස්ථානයේ ඇති මුත් එය කියවීමට නොහැකි තරමටම ගෙවී ගොස් ඇත.  එඩ්වඩ් මුලර් (Dr. Edward Muller) මහතා සිය Ancient Inscriptions in Ceylon ග්‍රන්ථයේ 1883 දී මුල්වරට මේ ලිපි තුන පිළිබදව සදහන් කරන මුත් එම ලිපි වල අන්තර්ගතය ඔහුට තේරුම් ගැනීමට හැකි වී නැත. පලමුවරට ඒවා සම්පූර්ණයෙන් කියවා පලකරන්නේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා විසින් 1933 පලකල Epigraphia Zeylanica තුන්වන වෙලුමෙහිය.

බුදුමුත්තෑව ටැම්පිට විහාරය
 මින් එක් ලිපියක් පිහිටුවා ඇත්තේ අභය සිලාමේඝ ජයබාහු (ලිපියේ දැක්වෙන ලෙසට අභය සලාමේඝ ශ්‍රී ජයබාහු දේවාර්) රජුගේ 8 වෙනි රාජ්‍ය වර්ෂයේදී බව එහි සදහන් වේ. මේ නමින් පොළොන්නරුව අගනුවර කරගනිමින් රාජ්‍යය විචාලේ චෝල යටත්විජිත පාලනයෙන් සිංහලේ මුදාගත් පළමුවෙනි විජයබාහු රජුගේ සහෝදරයකු සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ පළමුවෙනි ජයබාහු ලෙස පරණවිතාන මහතා හඳුනාගනී. ඒ අනුව යමින් සෙල්ලිපිය පිහිටවූ වර්ෂය ක්‍රි.ව. 1122 ලෙස සැලකිය හැකි බව ඔහු නිගමනය කරයි.

ලිපියේ අන්තර්ගතයේ දැක්වෙන ලෙසට වීරබාහුදේවාර් ගේ නිලධාරින් විසින් කම්මල් කරුවන් හට (Blacksmiths) රජකයන් (Washermen) විසින් පෙර සිරිත් ලෙස කල යුතු රාජකාරී ඒ අයුරින් ඉටුකල යුතු බවට පැණවූ නියෝගය ගැන සදහන් කරමින් මෙම ලිපිය පිහිටුවා ඇත්තේ මක්කලිංගම් කනවඩි නම් පුද්ගලයෙකි. කුම්මාරචේන නම්බනන් හෙවත් විජයබරනන් ඇතුළු තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගේම නම්  සාක්කිකරුවන් වශයෙන් මෙහි සදහන් වන මුත් සිංහල පුද්ගල නම් සහ ස්ථාන නාම දෙමළ ඌරුවකින් සදහන් කරන්නට යෑම හේතුවෙන් ඒවා පැහැදිලිව වර්තමානයේ සිංහල හෝ දෙමළ උගතුන්ට හඳුනාගත නොහැකි වී ඇති බව පරණවිතාන මහතා සදහන් කරයි. රජකයන් විසින් කම්මල්කාර කුලයේ පුද්ගලයන්ට සැපයිය යුතු පාවඩ රෙදි, කොටසලු සහ මෘතදේහ වල මුහුණු වැසීමට ගන්නා සලු ලබාදීමෙන් වැලකී සිටි අවස්ථාවේ පෙර සිරිත එසේ නොවන බවත් එම දේවල් ඔවුන්ට ලබාදීම රජකයන්ගේ රාජකාරීයක් බවත් සදහන් කරමින් මෙම නියෝගය පනවා ඇත.

කියවිය නොහැකි ලෙස විනාශ වූ පුවරු ලිපිය
 වර්තමානයේ බිත්තියකට අල්ලා ඇති අයුරු
මෙහි සදහන් වන් වීරබාහු (වීරබාහුදේවාර්) යනු මෙම ප්‍රදේශය අයත්වන දක්ෂිණ දේශය මේ කාලයේ පාලනය කල මහා පරාක්‍රමබාහු රජතුමාගේ පියානන් වන මානාභරණ හැදින්වූ තවත් නමක් බව මහාවංශයේ පැහැදිලිව සදහන් කර ඇත. තවද මෙම ලිපියේ සදහන් වන කරුණු තහවුරු කරමින් මහාවංශයේ එන සදහනකින්ද ගම්‍ය වනුයේ මානාභරණ (වීරබාහු ) ඇතුළු මෙම අරාජීක යුගයේ රටේ විවිධ ප්‍රදේශ පාලනය කල රජවරුන් සිව්දෙනාම පැරණි කුල සිරිත් වලට  ගරු නොකල බවය.  (....අපරික්ෂාකාරී බැවින් උසස් කුලවතුන් පිරිහෙලුහ. හීන වූ ස්වාභිමත ජනයන් මහත් තන්හී තැබූහ.- මහාවංශය 61 වැනි පරිච්චේදය)
සෙල්ලිපි සහිත කුළුණු ටැම්පිට විහාරයට
 යොදාගෙන ඇති අයුරු

වසර 40 ක පමණ දිගු චෝල යටත් විජිතවාදී පාලනයකින් මිදී දශක කිහිපයකට පසුත් චෝල සම්භවයක් සහිත ද්‍රවිඩ පුද්ගලයන් මෙරට වයඹ දිග ප්‍රදේශයේ රැදී සිටිය බවත්, ඇතැම් විට ඔවුන් ප්‍රාදේශියව යම් පරිපාලන බලතල සහිත ප්‍රභූන් ලෙස සමාජයේ ඉහල තලයේ වැජඹුන බවත්, ඔවුන් පෙර සිට පැවැති කුල සිරිත් පවා ද්‍රවිඩ නොවන මානාභරණ වැනි පාලකයන් හරහා වෙනස් කිරීමට තරම් බලයක් ඇතිව සිටි බවත් (මහාවංශයේ එන සදහන විශ්වාස කරන්නේ නම්) මෙම ලිපියෙන් පැහැදිලි වේ. කෙසේ නමුත් පසුකාලීනව මෙම නියෝගය සදහන් සෙල්ලිපිය මත එම ප්‍රදේශයේ ජනතාව විසින්ම ටැම්පිට විහාරයක් තැනවීමෙන් සංකේතාත්මකව පිලිබිඹු වන්නේ එම ද්‍රවිඩයන් කාලයත් සමග සිංහල ජනවර්ගය තුලට අවශෝෂණය වී සිංහල බෞද්ධ සංස්කෘතිය වැලද ගත් බව නොවේද?

බුදුමුත්තෑව ටැම්පිට විහාරයේ ඇති දකුණු ඉන්දීය චෝල රජෙකු වන කුලෝත්තුංගගේ දියණිය විසින් පිහිටවූ දෙමළ සෙල්ලිපිය පිලිබඳ විස්තර සමග නැවත හමුවෙමු.

මූලාශ්‍ර

  • Ancient Inscriptions in Ceylon collected and published for the government by Dr. Edward Muller, 1883
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume III, 1933
  • මහාවංශය (සිංහල සංස්කරණය )
සම්බන්ධිත පෙර ලිපි