Wednesday, January 18, 2017

මායා රටේ නටබුන් 1 > පරාක්‍රමපුරයේ රජ මාළිගය - පඬුවස්නුවර

 "මෙබඳු දේශයෙහි වැස්සෙන් හටගත් ජලය මදකුත් ලෝකෝපකාරයෙන් වෙන්ව කිසි කලකත් මුහුදට නො යේවා" යැයි පවසමින් ඇල වේලි, වැව්, අමුණු ඉදිකරමින් මෙරට කෙත් බිම් සරුසාර කිරීමට කැප වූ පාලකයන් පෙර කල සිටි මුත් අද මෙරට ජනයාගේ ඔලමොට්ටල කමට පිංසිදු වන්නට ජනතා මනාපයෙන් සිහසුන් අරා වැජඹෙන ජඩපාලකයන් නම් කලකට පෙර පැවසුවේ මෙරට සහල් අතිරික්තයක් ඇති බවය . එලෙස පවසා නොනැවතුන ඔවුන් කුඹුරු බිම් ගොඩ කරමින් වී වගාව වනසා දමා, පොහොර සහනාධාර ආදිය කපා දමා ගොවියා හිඟන්නෙක් කර, රට දුර්භීක්ෂයක් අබිමුඛයේ පවතින බව වැටහුන විට දැන් අපට පවසනුයේ තෙපි සාගින්නට ක්‍රෝටන් කොළ සහ කොස් කොළ කෑමට සූදානම් විය යුතු බවය.
සිංහාසනය තැබූ බවට විශ්වාස කරන මණ්ඩපය
අහසින් වැටෙන එකම දිය බිඳක්වත් මිනිසාගේ ප්‍රයෝජනට නොගෙන මුහුදට යෑමට ඉඩ නොදිය යුතු යැයි වර්තමානයේ විකෘති කර දේශපාලුවන්ගේ සිට ජඩමාධ්‍යවේදීන් දක්වා පුනරුච්චාරණය කරනුයේ මහා පරාක්‍රමබාහු රජතුමන් කල බවට මහාවංශයේ එන එම පාඨයයි. 'ලෝකෝපකාරය' යනු හුදෙක් මිනිසාගේ බඩ කට පිනවීම පමණක් නොව ගස් වැල් සතා සිව්පාවාගේ පටන් මිනිසා දක්වා සොබාදහමට අයත් වන සොබාදහමේම කොටස් කරුවන් වන සත්ව වර්ගයාගේ හිත සුව පිණිස කරනු ලබන වැඩකටයුතුයි. වැවක් තැනීමෙන් ඵල ප්‍රයෝජන ලබනුයේ මිනිසා පමණක් නොවන බව අද පවා වියලි කලාපයේ විසිරී ඇති වැව් සහ ඒ අශ්‍රිත පරිසරයේ ජෛව විවිධත්වය විමසා බැලීමෙන් වටහා ගත හැක.
 එවන් ශ්‍රේෂඨ නරපතුයෙක් වූ මහා පරාක්‍රමබාහු රජතුමන් දක්ඛිණ දේශයෙහි හෙවත්  මායා රටෙහි පාලකයාව සිටි වකවානුවේ පෙර ඉතා කුඩා වූ පණ්ඩවාපි හෙවත් පඬු වැවේ බැමි උස් කර බඳවා විශාල වැවක් බවට සංවර්ධනය කර එයට පරාක්‍රමසමුද්‍ර යැයි නම් තැබූ බව මහාවංශයේ සඳහන් වේ. එසේම එහි මැද වූ දූපතෙහි කෛලාශ පර්වතය බඳු වූ මහා දාගැබක් කර වූ බව සහ එහිම තුන් මහල් රජ මැදුරක්ද කරවූ බව එහි වැඩි දුරටත් සඳහන් වේ.
ඇතුලත බිත්තියේ ඉතිරි වී තිබෙන රත් පැහැ කපරාරුව
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වර්තමානයේ පඬුවස්නුවර ලෙස හැඳින්වෙන පෙදෙසේ නුවරකැලේ නොහොත් අගලකැලේ නමින් හැඳින්වුන දිය අගලකින් සහ ප්‍රාකාරයකින් වටවූ නටබුන් ස්ථානයක් 1934 දී මුල් වරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයට යොමුවී හෙළිපෙහෙලි කර ආරක්ෂාව උදෙසා මුරකරුවෙක්ද පත් කරන ලදී. ඉන්පසු 1947 දක්වාම වරින් වර කැලෑ කපා භූමිය හෙළිකරමින් පවත්වාගෙන ගියද මෙම ස්ථානයේ මුල් වරට කැණීමක් ආරම්භ වන්නේ 1947 වසරේදීය. මෙම කැණිම මගින් මතු කරගත් නිශ්ශංකමල්ල රජතුමාගේ සෙල්ලිපියක් මගින් මෙම මාළිගය එතුමාගේ කාලය වන විටද නිම කර තිබූ බව පැහැදිලි වන්නේ ඔහු එම සෙල්ලිපිය කෙටූ ආසනය මත නෘත්‍යගීතවාද්‍යාදි නොයෙක් ක්‍රීඩා බලා වැඩහුන් බව එහි පැවසෙන බැවිනි. නමුත් එයින් එම ස්ථානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබේ.
එයට අමතරව මෙම කැණීමේදී  සිංහාසනය තැබූ බවට විශ්වාස කල හැකි මණ්ඩපයක් සහ බිමට සිමෙන්ති දැමූ කැසිකිලියක් සහ එහි අපද්‍රව‍ය ගල් පිහිල්ලක මාර්ගයෙන් වටකුරු වලකට යාමට සැකසූ ආකාරයක්ද මතු කර ගැනීමට හැකිවිය. එම වල ගඩොලින් බැඳ ඇඹුම්මැටි වලලු බස්සා ශක්තිමත් කර තිබුණි. රජ මාළිගයේ බිත්ති පිටතින් සුදු පැහැයෙන් සහ ඇතුළතින් රතු පැහැයෙන් කපරාරු කර තිබී ඇති බවට සාධක මෙන්ම මාළිගයේ මහල් කිහිපයක් තිබූ බවට සාධකද හමුවිය. වහල උළු සෙවිලි කර තිබූ අතර දැව දඩු පිරිද්දීමට යොදා ගත් යකඩ ඇණද විශාල ප්‍රමාණයක් හමුවී ඇත. මින් ඇතැම් ඇණ අඩි 2 පමණ දිගින්ද යුක්ත වී ඇත.
කැසිකිලිය
මෙම ස්ථානය හඳුනාගැනීම පිළිබඳ තර්කාණුකූල සහ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරන සෙනරත් පරණවිතාන මහතා පරාක්‍රමබාහු කුමරා දක්ඛිණ දේශයේ පාලකයාව සිටි කාලයේ පරාක්‍රමපුරයේ ඉදි කල මාළිගය මෙය විය හැකි බවට නිගමනය කරයි. එම කාලයේ ඔහුගේ රාජධානිය පිහිටි නගරය පිළිබඳව ඉහත සඳහන් සටහනට වැඩි යමක් වංශ කතා වලින් හෙළි නොවන අතර නිශ්ශංකමල්ල රජතුමාගේ සෙල් ලිපියේ නිහඩ තාවයට හේතුවද සිය පුරෝගාමියාගේ නිර්මාණයකට සුපුරුදු පරිදි මෙහිදී තම නම යොදාගනීම එතරම් ප්‍රඥාගෝචර දෙයක් නොවන බවට හැඟීගිය නිසා විය හැකි බව පරණවිතාන මහතා සැක කරයි
කැසිකිලියේ අපවිත්‍ර ජලය එක් වීමට තැනූ කවාකාර වල
ඉහල මහල් බොහෝවිට ලී දඩු යොදා නිමවූ මෙම මාළිගය වැඩිම වුවහොත් සියවසකට වඩා වැඩි කාලයක් පවතින්නට නොහැකි වන්නට ඇත. මෙම ප්‍රදේශය මෑතක් වනතුරු පඬානුවර ලෙසින් හැඳින්වූ බව 1869 දී F. H. මොඩර් වාර්තා කර ඇත. කාලයත් සමග පරාක්‍රමපුරය වල්බිහි වීමත් සමග අසල පිහිටි පඬා වැවේ නමින් එලෙස නම් වෙනස් වූ මෙම ප්‍රදේශය ඉන් මෑත කාලය වන විට පඬුවස්නුවර වී එය පඬුවස්දෙව් රජුගේ මාළිගය පිහිටි බිම ලෙසට ජනප්‍රවාද ගත වි තිබුණි. එහෙත් මෙම මතු කරගත් මාළිගය 12 වන ශතවර්ෂයට අයත් බව පුරාවිද්‍යාත්මක සාධක මගින් තහවුරු වී ඇත.
පොළොන්නරුවේ පිහිටි පරාක්‍රමබාහු රජතුමාගේ මාළිගයේ භූමි සැලැස්මට බෙහෙවින්ම සමාන මෙම මාළිගය එම නිසා පරාක්‍රමබාහු කුමරා මායා රටෙහි පාලනය ගෙන ගිය සමයේ මායා රටේ උතුරු සීමාවට ආසන්නව විසූ පුරවරයේ තැනූ මාළිගය ලෙස හඳුනාගැනීම නිවැරදි විය යුතුය. මුළු රටේම අධිපතියා වීමේ සිහිනයෙන් පෙළුන එතුමන් එම කාලයේ තම එදිරිවාදියා වූ 2 වන ගජබා රජතුමාගේ රාජධානියට එනම් රජරටට ආසන්නව සිය බළ මුළු රඳවා තැබීම වඩා වාසි සහගත වීමද මෙහිදි අපගේ අවධානයට ලක්විය යුතුය.

මූලාශ්‍ර
  • පුරාවිදු පරියේසණ, සෙනරත් පරණවිතාන, 1972
  • අසිරිමත් පඬුවස්නුවර, සෙනරත් දිසානායක, 2016
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007



1 comment: