Sunday, January 1, 2017

රිටිගල පුරාණය සහ පාංශුකූලික භික්ෂූන් උදෙසා සෘද්ධියෙන් මවන ලද්දක් මෙන්වූ ආරාමය

රිටිගල කඳු 
 ධූමරක්ඛ පර්වතයෙන් නික්මුනු පණ්ඩුකාභය කුමරු සිය සේනාව සමග අරිට්ඨ පබ්බතයට පැමිණ එහි සත් වසක් යුද සූදානමින් විසූහ. ඔහුගේ මාමා වරුන් අට දෙනෙක් සේනාව සමග පැමිණ අරිට්ඨ පර්වතය වට කලහ. එහි වූ මහ සටන් අවසානයේ කුමරුගේ සේනාව සතුරු සේනා නසමින් ඔවුන්ගේ හිස් එක් ස්ථානයක ගොඩ ගැසූහ. ඔහුගේ මාමා වරුන්ගේ හිස්ද ඒ අතර විය. එම හිස් ගොඩ දුටු කුමරු එය ලබු ගොඩක් මෙන් යැයි පැවසූ හෙයින් එම ග්‍රාමය ලබුගාමක නම් විය (වර්තමානයේ  රිටිගලට වයඹ දෙසින් පිහිටි ලබුන්නොරුව නාමයෙහි අද දක්වාම ලබුගාමක යන්න  සැගව පවතී.) වංශ කතාවේ අරිට්ඨ පබ්බත යන්න පළමුවෙන්ම සඳහන් වන්නේ එලෙසය. අරිට්ඨ පබ්බතයෙන් නික්මුන පණ්ඩුකාභය කුමරු අනුරාධපුරයට  ගොස් එහි සිට මෙරට එක්සේසත් කල පළමුවන පාලකයා ලෙස වසර හැත්තෑවක් රාජ්‍ය පාලනය කලහ.
පෙත්මග
 ඉන් සියවස් දෙකකට පමණ පසු රුහුණින් නික්ම පරසතුරු උවදුරින් රජරට මුදාගැනීමට යන ගමනේදී තවත් එක් නරපතියෙක් එක් දොරටුවකින් සහ දිය අගල් තුනකින් වටවුනු මහේලනගරයට පැමිණ සිව් මසක් එහි සිට මහේල නගරයේ සිටි මහේල නම් පාලකයා උපායෙන් පැරදවීය. මේ මහේල නගරය ඉන්පෙර  කාලයක අරිට්ඨ පබ්බතය පාමුල ඉදිකල මකුලක විහාරය පිහිටි පෙදෙස විය හැකි බවට C.W. නිකලස් ඉදිරිපත් කරන මතය නිවැරදි නම් (මහේල නගර > මහේලක > මකලක > මකුලක ) දෙවෙනි වරට මෙරට එක්සේසත් කල ගැමුණු කුමරුවාද විජිතපුර සටනින් පසු අනුරාධපුරය මුදාගැනීමට යන ගමනේදි රිටිගල අසලද සටන් මෙහෙයවා ඇත. මකුලක නම් වූ විහාරය අරිට්ඨ පබ්බතය පාමුල ඉදිකරනුයේ සූරතිස්ස රජතුමා විසිනි.
තහවුරු කල පධානඝරයක්
හත්වන සියවසේදී තුන්වන ජෙට්ඨතිස්ස (ක්‍රි.ව. 632) රජතුමාද මලය රටේ සිට අරිට්ඨ පබ්බතයට පැමිණ ජනතාව ඔහු දෙසට නම්මා ගැනීමෙන් අනතුරුව සේනාව රැගෙන අගනුවර පැමිණ තුන්වන අග්ගබෝධි පලවාහැර රාජ්‍යය අල්වා ගත් බව මහාවංශයේ සදහන් වීමෙන් අරිට්ඨ පබ්බතයේ වූ උපායමාර්ගික වැදගත් කම නැවතත් සනාථ වේ.
කෙසේ නමුත් අරිට්ඨ විහාරය ඉන්පසු කාලයකදී ඉදිකිරීමේ ගෞරවය මහාවංශයඅනුව හිමිවන්නේ ලජ්ජිතිස්ස (ක්‍රි.පූ.  119-109) රජුටය. මෙය රිටිගල ඉදිකල මකුලක විහාරය නොවන වෙනත් විහාරයක් විය හැක. අරිට්ඨ විහාරය ගැන එන සඳහනින් පසු නැවතත් ඉන් වසර 900 කට පමණ පසු අරිට්ඨ පබ්බතය ගැන සඳහනක් පළමුවන සේන (ක්‍රි.ව. 833-853) රජතුමාගේ පාලන කාලයට අදාල මහාවංශ විස්තරයේ එයි. එම රජතුමන් විසින් පාංශුකූලික භික්ෂුන් සඳහා සෘද්ධියෙන් මවන ලද්දක් මෙන්වූ ආරාමයක් කරවා එයට අවශ්‍ය අනෙකුත් දෑ මෙන්ම දස්කම්කරුවන් සහ ආරාමිකයන්ද දුන් බව පැවසේ. වර්තමානයේ ශේෂව ඇති පධානඝර සහිත නටබුන් මෙම සේන රජතුමාගේ නිර්මාණයන් බවට පිළිගැනේ.

  සේන රජතුමාගේ කිවුලේකඩ අත්තානි ටැම් ලිපියේ "රිටිගල් අරම්කාරූ සලමෙවන් රජ්.." ලෙසින් එනම් රිටිගල ආරාමය ඉදිකල සලමෙවන් (සලමෙවන් යනු පළමුවන සේන රජතුමා භාවිතා කල විරුද නාමයයි ) එතුමන්ව හැඳින්වීමෙන් මෙම මහාවංශ විස්තරය සනාථ වන අතරම අරිට්ඨ පබ්බත යන්නෙහි සිංහල නාමය රිටිගල ලෙසද හඳුනාගත හැක (සීගිරි කැටපත් පවුරේ එන රිට්ගල් සිට පැමිණි බුද් (රිට්ගල් බුද්මි )විසින් ලියා තැබූ ගියකින්ද එම නාමය තවදුරටත් තහවුරු වේ.). එසේම මෙවැනි සඳහනකින් රජතුමා හැඳින්වීමෙන්ම රිටිගල ආරාමය විශාල විහාර කර්මාන්තයක් බව පැහැදිලි වේ. ඒ බව අදද ඉතිරි වී ඇති තහවුරු කල සහ නොකල අති විශාල ගොඩනැගිලි වලින් විද්‍යාමාන වේ.
ජන්තාඝරය
මූලාශ්‍ර
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Ritigala, Central Cultural Fund, 1983.
  • ඓතිහාසික අරිට්ඨ පබ්බත හෙවත් රිටිගල කන්ද, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, 2007.
  • Sigiri Graffiti, S. Paranavitana, Vol 1 & 2, 1956
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Volume III, Edited by S.Paranavitana, 1928-1933
  • අනුරාධපුර යුගය, අමරදාස ලියනගමගේ සහ රණවීර ගුණවර්ධන,1965

No comments:

Post a Comment