Sunday, January 8, 2017

රුහුණේ පැරණි පුදබිම් 4 - යුද පිටියක ඉදිකල පබ්බත විහාරය - යුදඟනා පිටියේ චූලාංගණී වෙහෙර

1815 මහා පාවාදීමෙන් වසර 200 කට පසු සිංහල ජාතිය නැවතත් එවන් පාවාදීමකට සිය කැමැත්තෙන්ම ලක්වී අදට වසර දෙකක් ගත වී ඇත. එම 2015 පාවාදීමට සිය අමන කම නිසාම හවුල් වූ ඇතමුන්ට අද වන විට යමක් වැටහී ඇතිමුත් තමුන් රට පාවා දුන්නේ මේ රටට කෙල හලන අල්ලපු රටේ සහ ඈත එපිට ඒරොප්පේ හොටබරින්ට බව ඔවුන්ගෙන් ඇතමෙකුට තබා, පාවා දීමට හවුල් නොවූ ලක්ෂ 58 න් බහුතරයකට වුවද වැටහී ඇත්ද යන්න සැක සහිතය. මෙරට ඉතිහාසයේ බොහෝ වර පර සතුරු උවදුරු වලට මෙරට ලක්වූවෙත් එම පර සතුරු උවදුරු වලින් මිදීමට බොහෝ කල් ගතවුවේත් මෙරට පාලකයන් පර සතුරු උවදුර වටහා නොගෙන නැතහොත් එය දෙවෙනියට තබා දිගින් දිගටම ඔවුනොවුන් අතර කුලල් කා ගැනීම් වලින් කල් යැවූ නිසාය. අදද එහි වෙනසක් නැත. (සිහසුන බේරාගැනීමට පරයන් සමග නිදි වදින උන්ට මෙය අදාල නැත්තේ ඔවුන් ද්‍රෝහින් ලෙස ඉතිහාස ගත වී ඇති බැවිනි) 
පිළිමගෙය
 අවජාතක පරපුරේ අඳබාලයන් නොවන මෙරට බොහෝ දෙනෙක් ශ්‍රේෂ්ඨ නරපතියෙක් ලෙස සලකන දුටුගැමුණු රජතුමා වුවද මෙම දුර්වලතාවයෙන් නොපෙලුනා නොවේ. එපමනක් නොව ඔහු රාජ්‍ය උදෙසා සටන් වැඳුනේ සිය සොහොයුරා සමග වීමද විශේෂිතය. ඔවුන් දෙදෙනා සටන් වැදුන යුද පිටිය මහාවංශයේ සඳහන් වන්නේ චූලාංගනීපිට්ඨි හෙවත් චූලාංගනී පිටිය ලෙසින්ය.  පසුකලක ලියවුන සිංහල ථූපවංශය මෙන්ම රාජාවලියද මෙම ස්ථානය යුදඟනා පිටිය ලෙස හඳුන්වයි. වර්තමානයේ යුදඟනා වෙහෙර ලෙස හඳුන්වන ස්ථූපය පිහිටි භූමිය මෙම ස්ථානය ලෙස විශ්වාස කෙරේ. යුදඟනා පිටිය හඳුනාගැනීම සහ යුදඟනා වෙහෙරේ විස්තර සඳහා කියවන්න.  >>  රුහුණේ පැරණි පුදබිම් 1 - යුදඟනා ස්තූපය, පැරකුම් රජු ඉදිකල රත්නාවලි චේතියද?
ස්තූපය
 මෙම යුදඟනා ස්ථූපයට නුදුරින් පිහිටි කුඩා ස්ථූපයක්, පිළිම ගෙයක් සහ වෙනත් නටබුන් ගොඩනැගිලි වලින් සමන්විත ස්ථානයක් චූලාංගනී වෙහෙර ලෙසින් වර්තමානයේ හඳුන්වන නමුත් කිනම් කලක පටන් එම ස්ථානය එසේ හැඳින්වෙන්නේද යන්න අවිනිශ්චිතය. 1992 බුත්තල පැවති ගම් උදාව සැනකෙලිය සහ වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව එම ස්ථානය කැනීම් කර සංරක්ෂණය කල බවට 1992,1993 සහ 1994 වසර වල පුරාවිද්‍යා පාලන වාර්තා විමසා බැලීමේදි පෙනියයි. චූලාංගනී දාගැබ සංකිර්ණය ලෙසින් එම පාලන වාර්තා වල ස්ථානය පිළිබඳව සඳහන් වෙයි.
 ප්‍රාකාරයකින් වටවුන සෘජුකෝනාශ්‍රාකාර පෙදෙසක් තුල පිහිටි කුඩා දාගැබ සහ නිදන් සොයන අමනයන් විසින් කිසියම් කලක හිස කඳින් වෙන් කර කකුල් කඩා දමා ඇති බුදු පිළිම තුනක පමණ අවශේෂ වලින් පිලිම ගෙයක් ලෙස හඳුනාගත හැකි ගොඩනැගිල්ලට අමතරව වෙනත් ගොඩනැගිලි තුනක පමණ නටබුන් මෙහි දක්නට ඇත. එම අනෙකුත් ගොඩනැගිලි උපෝසථඝරය, සභා ශාලාව සහ බෝධිඝරය ලෙස හඳුනාගත හැකි නම් පබ්බත විහාර ලෙසින් වර්තමානයේ විද්වතුන් විසින් හඳුනාගන්නා සංඝාරාමයක් මෙහි තිබූ බවට පිළිගත හැක.
 පබ්බත විහාර වල වාස්තු විද්‍යාත්මක සැලැස්ම මූලික වශයෙන් කොටස් දෙකකින් යුක්තය. එනම් ඉහත විස්තර කල ස්තූපය, බෝධිඝරය,පිළිමගෙය, උපෝස්ථඝරය සහ ඇතැම් අවස්ථා වල සභා ගොඩනැගිල්ලකින්ද සමන්විත ප්‍රාකාරයකින් සහ ඇතැම් විට දිය අගලකින්ද වටවූ ප්‍රධාන මළුව සහ එයට පිටතින් පිහිටි ප්‍රධාන නොවන මළුවයි. එම ප්‍රධාන නොවන මළුවේ භික්ෂුන්ගේ වාසය සඳහා ඉදිකල කුටි, සහ උන්වහන්සේලාගේ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය භෝජනශාලා, ජන්ථාඝර, කැසිකිලි,වැසිකිලි, සහ අනෙකුත් එවන් ගොඩනැගිලි දක්නට හැකිය. මෙම ස්ථානයේද ප්‍රධාන මලුවට පිටතින් වෙනත් ගොඩනැගිලි තිබූ බවට තැනින් තැන දැකිය හැකි මෙතෙක් කැනීම් කර තහවුරු නොකල ගල් කණු විසිරුණු ස්ථාන වලින් පෙනී යයි.
විනාශ කල බුදු පිළිම කොටස්

 මූලාශ්‍ර

  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • සිංහල ථූපවංසය හා ගැටපද විවරණය, මහාචාර්ය සුචරිත ගම්ලත් සංස්කරණය, 1994
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • Sinhalese Monastic Architecture, The Viharas of Anuradhapura, Senake Bandaranayake, 2009
  • Administration Report of the Director-General of Archaeology for the year 1992, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1993, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1994, S.U. Deraniyagala
ආශ්‍රිත පෙර ලිපි

No comments:

Post a Comment