Wednesday, January 2, 2019

වලා හොය වම් ඉවුරේ මාගම සහ දාපුලු රජු කරවූ පාඩික්කුලම වෙහෙර

 මහගම වැව හෙවත් පන්ඩික්කුලම හෙවත් ඌරුසිටා වැව 
අප රට තුල රට අභ්‍යන්තරයේ සිට ඉන්දියන් සාගරයට ගලාබසින 103 පමණ වූ ගංගාවන් අතරින් වළවේ ගඟ සැලකිය යුතු ජල සම්පතක් සාපෙක්ෂව වියලි භූමි භාගයක් ඔස්සේ මහ සයුර කරා ගෙන යන ගංගාවක් ලෙස හඳුනාගෙන ඇත. පැරණි අඟලේ සිතියමක් ගෙන බැලුවහොත් වළවේ ගංගා ද්‍රෝණියේ, විශේෂයෙන්ම එහි වම් ඉවුරේ, මෙයට පෙර ලිපියකින් අප විස්තර ඉදිරිපත් කල කල්තොට මොහොරට (Link>>) පහලින් වූ ප්‍රදේශයේ, දැකිය හැකි විශාල ප්‍රමාණයක් වූ ලොකු, කුඩා වැව් අපේ පැරන්නන් මෙම ජල සම්පත රැස්කර තබා ගනිමින් සරුසාර ප්‍රදේශයක් බවට එම තැනිතලා භූමිය පරිවර්තනය කිරීමට ගත් වෙහෙස මැනවින් පෙන්වා දේ. එදා වන නදිය, වලා හොය ආදි නම් වලින් හැඳින්වූ වළවේ ගඟේ ජලයෙන් පෝෂණය වූ රුහුණේ පැරණි සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය පිළිබඳව අදටත් සාධක සපයන්නේ එම වාරිමාර්ග පද්ධති සහ ඒ අතර වූ බෞද්ධ වෙහෙර විහාර නටබුන් වේ. මෙම ලිපිය ප්‍රධාන වශයෙන් තවමත් පුරාවිද්‍යාඥයන්ගේ අවධානය එතරම් යොමු නොවූ එවන් පැරණි විහාරයක නටබුන් පිළිබඳව සහ රුහුණේ ඉතිහාසය පිළිබඳව විමසා බැලූ කිසිවකුගේ (අප දන්න පමණින්) අවධානය එතරම් යොමු නොවූ මහගමක් හෙවත් මාගමක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා වෙන් වේ.
ස්තූපයට දකුණින් පිහිටි ගල්කණු සහිත ගොඩනැගිල්ලක අවශේෂ
පාඩික්කුලම වෙහෙර/පණ්ඩු වැව පිළිබඳව වංශකතා තොරතුරු
පළමුවන පරාක්‍රමබාහු රජු  (ක්‍රි.ව. 1153-1186) රෝහණයේ (රුහුණු රටේ) සිදු කල නොයෙකුත් කර්මාන්ත පිළිබඳව වූ විස්තරයේදී ඔහු විසින් ප්‍රතිසංස්කරණය කල බිඳිගිය සඟසතු වැව් කිහිපයක නම්ද මහාවංශයේ හමුවේ. එහි උරුවෙල වැව, පණ්ඩු වැව සහ කොළම්බ වැව ආදි වැව් දාසයක් (ඇතැම් සංස්කරණ වල 216) ගැන කියවේ.(ගෛගර්ගේ මහාවංශ සංස්කරණයේ පණ්ඩු සහ කොළම්බ වැව් දෙකක් ලෙස නොව පණ්ඩුකොළම්බ නම් වූ එක් වැවක් ලෙස ගෙන ඇත.) තවද පරාක්‍රමබාහු රජු එම රුහුණු රටෙහිම දිරාගිය අමුණු 18 ක්ද, විනාශ වූ කුඩා වැව් 205 ක්ද බැන්දවීය. පූජාවලියේ සඳහන් වන ලෙසට දාපුලු නම් රජු (පළමුවන දප්පුල - ක්‍රි.ව. 659) රුහුණින් අවුදින් අනුරාධපුර නුවර හිඳ නැවත රුහුණෙහි ...සම්බෙගමු, පාඩික්කුලම, කසගලු... ආදී එකුන් විස්සක් පමණ රජමහා විහාර කරවා තුන් අවුරුදු තුන් මසක් රජය කෙළේය. මේ අදහසම අඩු වැඩි වශයෙන් ඉදිරිපත් කරන රාජාවලිය පවසන්නේ දාපුලු රජ රුහුණින් ගොඩනැගී අනුරාධපුර නුවරට ගොස් ...නැවත රුහුණට ගොස් රූණු වෙහෙර කරවා....මාගම පසික්කලම, කසාගුළුව...යන වෙහෙර කරවා ලෙසිනි. (රාජාවලි ඇතැම් පිටපත් වල මෙම වෙහෙර පඩික්කුලම, පාඩික්කුලම ආදි වශයෙන්ද සටහන් වී ඇත.)
තවමත් විදිමත් කැනීමක් සිදු නොවූ ගරාවැටුන දාගැබ
මව් ආරේ පැරණි ස්ථානය (1963)
මව් ආරේ පැරණි ස්ථානය ලෙසින් හඳුන්වා 1963-64 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ පාලන වාර්තාවේ වළවේ නිම්නයේ හමුවන නටබුන් ස්ථානයක් පිළිබඳව විස්තරයක් අපට හමුවේ. එහි සඳහන් වන ලෙසට වළවේ ගඟේ විශාලම ශාඛාවක් වන මව් ආරේ වම් ඉවුරේ මහගම වැව අසල අඩි 200 පමණ වට ප්‍රමාණය ඇති, අඩි 15 පමණ උස, ගරා වැටුණ දාගැබක් ඇත. එහි මුදුනේ තිබී කුහර 25 සහිත යන්ත්‍ර ගලක් මෙන්ම දාගැබ් මළුවෙන් බුදු පිළිමයක වැලමිටක කොටසක් සහ බ්‍රාහ්මි අක්ෂර කොටා ඇති ගඩොල් කැබලි ආදිය හමු වී ඇත. දාගැබට දකුණින් යාර 100 පමණ දුරින් එක් පසක 4 බැගින් ගල් කණු 16 ක ගොඩනැගිල්ලක අවශේෂ හමුවේ ( එහි ඒ වන විට පොළව මට්ටමේ සිට අඩි 3 පමණ උස ගල් කණු 7 පෙර තිබූ ලෙසින්ම තිබී ඇත.). එයට නුදුරින් බුදු පිළිමයක පාදමක්ද තිබී ඇති අතර. දාගැබ වටා අක්කර 20 ක පමණ ප්‍රදේශයේ ගල් කණු, ගඩොල්, ගල් කණු කැබලි, ගඩොල් බැමි ආදිය දක්නට ලැබී ඇත. නැවතත් 1964-65 සඳහා වූ පාලන වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය වසරේ එම ස්ථානයට යන විට කැලයෙන් වැසී තිබීම නිසා නොදුටු විශාල පොකුණක්ද හමුවූ බවය.
බොහෝ දුරට බුදු පිළිමය සහ බෝධිසත්ව පිළිමය තබා තිබූ පාදම් 

මහගම පැරණි ස්ථානය(1972)
1972 වර්ෂයේ නිකුත් කල පැරණි ස්මාරක නාමාවලියේ මහගම පැරණි ස්ථානය ලෙසින් හඳුන්වා ජරාවාස වූ දාගැබක් සහ වෙනත් ගොඩනැගිලි 3 ක අවශේෂ මෙහි ඇති බවටත්, එහි විශාල ප්‍රදේශයක පැරණි ගඩොල් බැමි වල අවශේෂයන් සහ ගල් කුළුණු කෑලි දක්නට හැකි බවටත් තොරතුරු ඉදිරිපත් කර ඇත.

මහගම මහානාග රජමහ විහාරය(1993)
 ඉන්පසු නැවතත් 1993 වසරේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ පාලන වාර්තාවේ මෙම නටබුන් ස්ථානය පිළිබඳව විස්තර හමුවේ. ඒ වන විට මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ මහගම මහානාග රජමහ විහාරය ලෙසිනි. 70 දශකයෙන් පසු කාලයේදි නැවතත් මෙම ස්ථානය භික්ෂූන් වසන විහාරයක් බවට පත් වී ඇත. විශ්කම්භය මීටර 20 පමණ වූ සහ මීටර 10 පමණ උස වූ නිධන් හොරුන් විසින් වැනසූ දාගැබ පිළිබඳව මෙන්ම එයට බටහිරට වන්නට හමුවූ හුණුගල් බෝධිසත්ව පිළිමයක දනහිසට ඉහලින් වූ කවන්ධ කොටසක් පිළිබඳවද, දාගැබට මීටර 80 පමණ දකුණින් වූ ගොඩනැගිල්ලක නටබුන් මෙන්ම, ඒ අසල වූ බොහෝ දුරට බුදු පිළිමයක යටකොටස විය හැකි කොටසක් පිළිබඳවද එම වාර්තාවේ විස්තර ඉදිරිපත් කර ඇත. නූතන විහාරයේ බණ මඩුවට මීටර 40 පමණ දකුණින් ගල් කණු 10 ක පමණ කොටස් හමුවන මීටර 4X4 විශාල වූ පාදමක් සහිත ගොඩනැගිල්ල පිළිබඳවද එහි විස්තර වේ. එම ගොඩනැගිල්ලට අමතරව තවත් ගොඩනැගිලි 12 ක අවශේෂ මෙම පරිශ්‍රයේ හමුවන බවත් එම ඇතැම් ගොඩනැගිලි වටා නටබුන් වූ බිත්ති කොටස්ද දැකිය හැකි බවත් 1993 වාර්තාවේ තවදුරටත් සඳහන් වේ. අක්කර 50 ක පමණ ප්‍රදේශයක් පුරා මෙම ගොඩනැගිලි විසිර ඇති බැවින් පුරාණ කාලයේ අතිශයෙන්ම සශ්‍රික වූ  විහාරයක් මෙහි තිබී ඇති බවට එහි අවසාන වශයෙන් සඳහන් වේ.
බෝධිසත්ව පිළිමයේ සහ හිටි බුදු පිළිමයේ කවන්ධ කොටස්
රුහුණේ අගනුවර ලෙස වංශකතා වල සඳහන් වන මාගම හෙවත් මහ ගම ( පාලියෙන් මහාගාම) වර්තමාන තිස්සමහාරාම ප්‍රදේශය තුල පිහිටි බව පොදුවේ පිළිගන්නා මතයයයි. එහෙත් මුල් කාලීන මාගම පිහිටි ස්ථානය පිළිබඳව විවිධ මත පවතින බව අප පෙර ලිපියකින්ද අවධානය යොමු කල අතර (>>Linkමහානාගකුල(රම්බා වෙහෙර) සහ උදුන්දොර (ගලබැද්ද) වැනි ස්ථාන වලද ඇතැම් යුග වලදී අගනුවරවල් පැවති බවට වංශ කතා මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක ඇත. එසේම තවමත් හඳුනා නොගත් නම් සහිත ස්ථාන වල ඇතැම් යුග වලදී විවිධ රජවරුන් සහ ප්‍රාදේශිය උප රජවරුන් සිය පාලන මධ්‍යස්ථාන පවත්වාගෙන ඇති බවට වංශ කතා තොරතුරු ඇත. තවද එකම යුගයකදී වුවද මහා ගාම ලෙසින් ස්ථාන එකකට වඩා පැවතිය හැකි බව අවිවාදිතය. මක් නිසාද යත් එහි වචානාර්ථයෙන්ම හැඟෙන පරිදි කිසියම් ප්‍රදේශයක වැඩි ජන ඝනත්වයක් පැවතීම, ප්‍රධාන වාරිමාර්ග පද්ධති සහ විහාර ආදිය ඉදිවී තිබීම ආදී කරුණු අනුව නිතැතින්ම එම ප්‍රදේශය 'මහා ගමක්' වන නිසාය.
වර්තමාන විහාරයේ බුදු පිළිමයක් තැබීමට උපයෝගි කරගෙන ඇති පැරණි ස්තූපයේ විය හැකි කැටයම් ගල් 
ඉහත පෙන්වා දුන් අන්දමට දාපුලු නම් රජු ඉදි කල බවට පූජාවලියේ දැක්වෙන වෙහෙර විහාර  ලේඛනයේ පාඩික්කුලම යන වෙහෙරට පෙර දැක්වෙන්නේ සම්බෙගමු වෙහෙර වන අතර ඉන්පසු දැක්වෙන්නේ කසගලු (රාජාවලියේ මෙය කසාගුළුව ලෙසින් දක්වා ඇත.) යන වෙහෙරය. හම්බේගමුව ලෙසින් හැඳින්වෙන වැවක් සහ ඒ අසල නටබුන් වෙහෙරක් වලවේ නිම්නයේම ඉහත මහගම වැවට ඉහලින් හමුවන අතර කසාගල ලෙසින් අදටද හැඳින්වෙන පැරණි වෙහෙරක නටබුන් මහගමට දකුණින් රන්න-වීරකැටිය පාරේ දැකිය හැක. (එම ස්ථානයේ තිබී හමුවූ දෙවන සියවසට අයත් සෙල්ලිපියකට අනුව එහි පැරණි නම කචාගලයි.) <පහත සිතියම බලන්න.>


ස්තූපය අසල තිබූ මල් ආසනයක් විය හැක
 තවද මෙම වලවේ නිම්නයේ පුරාණ වාරිමාර්ග පද්ධති පිළිබඳව R.L. බ්‍රොහියර් මහතා  ඉදිරිපත් කරන තොරතුරු වල මහගම වැව හැඳින්වෙන්නේ පන්ඩික්කුලම් යන නමිනි. මෙම සියළු සාධක එක්ව ගත් කල දාපුළු රජු කරවූ පාඩික්කුලම විහාරය එම නමින්ම මෑතක් වන තුරු හැඳින්වූ දැනට මහාගම වැව නොහොත් ඌරුසිටා වැව ලෙසින් හැඳින්වෙන වැව අසල අප ඉහත තොරතුරු ඉදිරිපත් කල පෞරාණික ස්ථානය බවට හඳුනාගැනීම බොහෝදුරට නිවැරදි බව පෙනේ. තවද වලවේ නිම්නයේ පැරණි වාරිමාර්ග පද්ධති අතරින් විශාලම වාරි කර්මාන්තය ලෙස පන්ඩික්කුලම දැක්විය හැකිය (බ්‍රොහියර් ඉදිරිපත් කරන තොරතුරු සහ පැරණි අඟලේ සිතියම් වලට අනුව. අද වන විට නව ජලාශ ඉදිවීම සහ පැරණි කුඩා වැව් විශාල කර නැවත ඉදිකිරිම නිසා මෙම තත්වය වෙනස් වී ඇත. මහගම වැවේ වාරි තාක්ෂණය සහ වලවේ ගඟේ අනිකුත් එල්ලංගා වැව් පද්ධති පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.). ඒ අනුව එය පිහිටි ග්‍රාමය මහගම ලෙසින් එවකට හඳුන්වා තිබීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිවැරදි වේ. පළමුවන පරාක්‍රමබාහු රජු ප්‍රතිසංස්කරණය කරවූ පණ්ඩු (හෝ පණ්ඩුකොළම්බ ) වැවද එම පන්ඩික්කුලම  වැව විය හැකි බවට C.W. නිකොලස් මහතා අනුමාන කරයි.
වර්තමාන විහාරයේ බුදු පිළිමයක් තැබීමට උපයෝගි කරගෙන ඇති පැරණි ස්තූපයේ විය හැකි කැටයම් ගල් 
මෙහිදි අපගේ අවධානය යොමුවන තවත් වැදගත් කරුණක් වන්නේ පූජාවලියේ 'පාඩික්කුලම වෙහෙර' යනුවෙන් පමණක් හඳුන්වන විහාරය රාජාවලිය දක්වන්නේ "මාගම පසික්කලම/පාඩික්කුලම" ලෙසින් වීමය. පැරණි පාඩික්කුලම විහාරය දැනටද මහගම ලෙසින් හඳුන්වන ගමෙහි පිහිටි නටබුන් ස්ථානය ලෙස අපගේ හඳුනාගැනීම නිවැරදි නම් මෙහි මාගම යනුවෙන් හඳුන්වන්නේ තිස්සමහාරාමයේ පිහිටි ප්‍රකට මාගම නොව මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික් මායිමේ මොණරාගල දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති අපගේ ලිපියට ප්‍රස්තුත වන මාගම හෙවත් මහගම බව පැහැදිලිය. මහාවංශයේ පටන් රාජාවලිය දක්වා වංශ කතා වල දැක්වෙන මාගම යනුවෙන් සඳහන් වන සියළු ස්ථාන පොදු පිළිගැනීම වන තිස්සමහාරාමයට අදාල කරගැනීම කොතරම් නිවැරදිදැයි නැවත සලකා බැලිය යුතු බව මේ අනුව අපට හැඟේ.
මූලාශ්‍ර
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1997
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Administration Report of the Archaeological Commissioner for the Financial Year 1963-64, 1965
  • Administration Report of the Archaeological Commissioner for the Financial Year 1964-65, 1967
  • Administration Report of the Director-General of Archaeology for the Year 1993, Deraniyagala S.U.
  • Water For People And Nature, Arumugam Commemoration Volume, Sri Lanka Water Heritage, History of Water Conservation Volume 2, Bhadra Kamaladasa & Mendis D.L.O. Ministry of Irrigation And Water Management, 2003
  • වැව, උදුල බණ්ඩාර අව්සදහාමි, 2015
  • Journal of the Sri Lanka Branch of the Royal Asiatic Society, Major Ancient Irrigation Works of Sri Lanka, New Series Volume XXII Special Number, by A.Denis .N. Fernando, 1980
  • Hundred Years of The Irrigation Department, Centenary Commemoration Volume, 1900-2000, Dharmasena et.al. 2000
  • The national Atlas of Sri Lanka, Survey Department, 2007

9 comments:

  1. Thank you publishing this valuable post

    ReplyDelete
  2. සඟසතු වැව් ගැන විස්තරයක් කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රා ඒ පිළිබඳව යමක් මෙයට පෙර ලියන ලද මෙම ලිපියේත් සඳහන් වෙනවා. නමුත් වැඩිදුර තොරතුරු සොයා බලා ඉදිරියේදි ලිපියක් ලියන්න උත්සහා කරන්නම් http://trisinhala.blogspot.com/2017/07/blog-post.html

      Delete
    2. මහාවංසයට අනුව භාතිකතිස්ස රජු මහාමානි වැව ඉදිකර ගවරතිස්ස විහාරයට පූජා කලා. විහාර ඒවගේ වැව්වලින් ආදායම් ලැබුවද?
      ගවරතිස්ස විහාරයේ නම පිලිබඳව (etymology) භූෂණ දන්නදේ මට කියනවනම් ස්තුතියි.

      Delete
    3. ඔව් විහාරයේ නොයෙකුත් වියදම් සඳහා (පහන් පත්තු කිරීමට තෙල් ලබාගැනීම වැනි )වැවේ ජලය ගොවි බිම් වලට ලබා දීම නිසා අය කරන බද්ද උපයෝගි කරගත් බවට වෙනත් ස්ථාන වලින් හමුවන සෙල්ලිපි වලින් සාධක හමුවෙනවා. ඉහත ලිපියේ විස්තර වන හබරණ සෙල්ලිපිය එවැන්නක්. මෙයත් එවැන්නක් විය හැකියි. නිකොලොස් මෙහි සඳහන් වන මහාමණී වැව වර්තමාන අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුලු පලාතේ හමුවන මාමිණියා වැව ලෙස හඳුනාගන්නවා. මහාවංශයේ ගවරතිස්ස විහාරය ලෙස හඳුන්වන විහාරය භාතියතිස්ස රජු කල ලෙස දීපවංශයේ හඳුන්වන වරාරාම නම් වූ විහාරය විය හැකියි. මහාමණී වැව එහි හැඳින්වෙන්නේ ගාමණි වැව ලෙසින්.

      Delete
    4. Etymology ගැන නම් මට එතරම් දැනුමක් නැහැ. එහෙත් ශබ්දකෝෂ වලට අනුව ගවර යනු සිංහල වචනයක්. එහි පාළි වදන ගවජ හෝ ගවයා බවයි පැවසෙන්නේ. ඒ අනුව පාළි මහාවංශයේ ගවරතිස්ස යනුවෙන් එන විහාරයේ ගවර අර්ථය එතරම් පැහැදිලි නැහැ. දීපවංශයේ වරා ලෙසින් හැඳින්වෙන්නේද 'ග්' අකුර පිටපත් කිරීමකදි සිදුවූ අතපසුවීමක් විය හැකියි. එලෙස ගතහොත් දීපවංශයේ එය ගවරා රාමය ලෙසින් හැඳින්වුනා විය හැකියි

      Delete
  3. මාගම රාජධානිය තිස්සමහාරාමය ප්‍රදේශය අවට පැවතියා කියලා අපි අහලා තිබ්බාට ඒක ඔප්පු කරන්න තියෙන සාධක මොනවද කියලා දන්නෙ නෑ.. මාගම තිස්සමහාරාමය අවට තිබ්බා කියන මතය ඇතිවුණේ ක

    ReplyDelete
    Replies
    1. Maduka pathum තිස්සමහාරාමය අවටද මාගම නමින් පැරණි ගමක් වූ බවට සෙල්ලිපි සාධක ආදිය හමුවෙනවා. ඒ පිළිබඳව විස්තර සහිතව ඉදිරියේදී ලිපියක් ඉදිරිපත් කරන්නම්

      Delete