ජෝන් පයිබස් නම්වු ඉංග්‍රිසි ජාතිකයෙකු වර්ෂ 1762 දී කන්ද උඩරට
කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ රාජ සභාවට යෙදුන දූත ගමනක විස්තර මෙයට පෙර ලිපියකින් ඉදිරිපත් කලෙමි. එම ලිපියෙන් ඔහු
ත්‍රිකුණාමලයේ සිට
පංගුරාණ නම් වූ
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ස්ථානයක් දක්වා පැමිණීමේදි ඉදිරිපත් කල ඇතැම් විස්තර සම්පිණ්ඩනයක් ඉදිරිපත් කිරීමට මෙන්ම ඔහු ගමන් ගත් මාර්ගය හඳුනාගැනීමට වෑයමක්ද දැරුවෙමි. මේ ලිපිය එතැන් සිට පැරණි
මහතලා රට දක්වා ඔහුගේ ගමන් මග පිළිබඳවය. පෙර ලිපිය කියවීමට
>> LInk
|
වර්තමානයේ මින්නේරිය වන උද්‍යානය ට අයත් පයිබස්ගේ ගමන් මග වැටී තිබූ මින්නේරිය වැවේ වැව් පිටිය |
මැයි 9 වන දින පෙරවරු 7.30 ට
පංගුරාණ ගමින් පිටත්වන
පයිබස් සැතපුම් හතරක් පමණ වන වනගත මගක් ඔස්සේ ගමන් කර ඉහත විස්තර වූ
කවුඩුල්ල ඔයේ ශාඛාව හරහා ගොස් එම ගමේ සීමාවෙන් නික්මේ. ඉන්පසු ඔහුට ඒ වන විට වසර කිහිපයකින්ම වගා කර නොතිබූ වෙල් යායක් හමුවේ. වෙල් යාය අවසානයේ නැවතත්
කවුඩුලු ඔයේ ශාඛාවක් හරහා ගොස් තවත් සැතපුමකින් පමණ නිවාස 20 කින් පමණ සැදි
Nottombay නම් වූ ගම්මානයක් හමුවේ. නමුත් ඒ වන විට එම ගම අතහැර දමා තිබී ඇත. එහි සිටි මිනිසුන් තවත් සැතපුම් 2.5 පමණ කැලය තුල වූ ස්ථානයක වසන බව ඔහුට දැනගන්නට ලැබී ඇත.
Nottombay ගම මේ වන විට අඟලේ සිතියම් ආශ්‍රයෙන් සොයා ගත නොහැක. අතරමගදී
Nottombay සිට විනාඩි 45 වනාන්තරය තුලින් ගිය පසු හමු වන තැනකදී
පයිබස්ට Nungadamanah සහ
Tritolay යන ගම් වල සිට පැමිණෙන පුද්ගලයන් කිහිප දෙනෙකු හමුවේ.
Tritolay ගම මෙම ස්ථානයේ සිට සැතපුම් 14 දුරින් වූ බව
පයිබස් පවසයි.
වැඩි අපහසුවක් නොමැතිව
Tritolay ලෙස හැඳින්වෙන්නේ
ගිරිතලේ ලෙස හඳුනාගත හැක.
Nungadamanah යනු
නුගගහදමන ලෙසින් තවමත් ව්‍යවහාර වන (පැරණි අඟලේ සිතියම් වලට අනුව) ගම්මානයයි (සිතියම 1 බලන්න) ගං ඉවුරක වූ එම එම ගමෙහි චෝලියාර් වරුන්ගේ (ඉස්ලාම් භක්තිකයන්) නිවාස 10 පමණ එවකට තිබී ඇත. ඉන්පසු විවෘත භූමියක සැතපුම් හයක් පමණ ගොස් නැවතත් වනාන්තර පෙදෙසක් හරහා තවත් සැතපුම් දෙකක් පමණ ගමන් කල පසු ඒ වනවිට වගා නොකරන කුඹුරු යායක්
පයිබස්ට හමුවේ. දික් අතට සැතපුම් 1.5 පමණ වූ එම වෙල් යාය අවසානයේ නැවතත් සැතපුම් 4 පමණ දුර වනාන්තර මගක ගොස් වැවක (Lake) පිටාර ජලය ගමන් කරන ගඟක අතු ගංගාවක් තරණය කරයි.
පයිබස් පවසන අයුරින් එම වැව [
ගිරිතලේ වැව] තරමක දුරකින් ඔවුන්ට තම ගමන් මාර්ගයේදී හමුවිය යුතුය.
නුගගහදමන ගමද එම අතු ගංගාවෙන් එගොඩ වූ පසුව ඒ සමගම පාහේ හමුවන බව ඔහුගේ වාර්තාවේ දැක්වෙන විස්තර අනුව පෙනේ.
නුගගහදමන අසලින් ගමන් කරන
උල්පොත ආරු නම් වූ දියපාරක්
ගිරිතලේ වැවේ ජලයෙන් වගා කෙරෙන වෙල් වල 'වෙල්පහු ජලය' එකතු කරගනිමින් නික්මෙන
ගිරිතලා ඔයට, නුගගහදමන ගම්මානයට ගිණිකොන දෙසින් එකතු වේ. එතැන්සිට එම ඔය වර්තමානයේ හැඳින්වෙන්නේ (අඟලේ සිතියම් වලට අනුව)
මින්නේරි ඔය නමිනි. ඒ අනුව
පයිබස් පවසන පරිදි ඔහු තරණය කරන්නේ
ගිරිතලා වැවෙන් පිටවන ජලය ගලා යන ගඟේ අතු ගංගාවක් හරහාය යන ප්‍රකාශය නිවැරදි බව ඉහත සිතියමෙන් පැහැදිලි වේ. එහෙත් අද වන විට මෙම
උල්පොත ආරු සහ
මින්නේරි ඔය යන නම් වෙනුවට
හතමුණ ඔය යන නම ව්‍යවහාර වන බව Google Map අනුව පෙනි යයි.
ගිරිතලා ඔය නමද අභාවයට ගොස් ඇතිවා විය හැක. එම ගඟ තරණය කල ස්ථානයේ ගඟේ දිය ඇල්ලක් ඇති බව
පයිබස්ගේ විස්තරයෙන් පැහැදිලි වේ.
ඉන්පසු නැවතත් වනාන්තර සහ කුඹුරු යායවල් හමුවන මාර්ගයක ගමන් කරන හෙතෙම
Villowanay නම් දැනට හඳුනාගැනීමට නොහැකි ගම්මානයක් පසු කර (එම ගමෙහිද ඒ වන විට කිසිවකු සිට නැත.)
ගිරිතලේ (Tritolay) දෙසට ගමන් කරයි. ගඟ තරණය කිරීමෙන් පසු මුළු ගමන් මගම එක දිගට වූ නැග්මක් බව
පයිබස් පවසයි. ගඟ තරණය කර සැතපුම් 4 පමණ ගිය පසු ඔහු තවත් සැතපුම් 4 පමණ ඈතින් තිබෙන කන්දක් දැක ඇත. එය ඔහු මේ ගමන් මාර්ගයේ කන්දක් දුටු පළමු අවස්ථාවයි. නැවතත් බොරළු පතුලක් ඇති කදිම ජල පාරක් හරහා ගොස් සැතපුම් භාගයක් පමණ ඉහලට නැග ඉන්පසු දැඩි බෑවුම් සහිත කන්දේ ඉතිරි කොටස තරණය කර කඳු ගැටයේ මුදුනට පැමිණි විට අනෙක් පස පහලින් ඇති
පයිබස් සිතන ලෙසට 'ස්වභාවික ජලාශයක්' වූ
ගිරිතලේ වැව ඔහුට දැක ගැනීමට හැකිවේ. මෙම කන්දේ ගල් කිරිගරුඩ සේ සුදු පාට බව ඔහු පවසයි. මේ සමග ඇති Google Earth ඡායාරූපයෙන්ද පැහැදිලි වන ලෙසට
ගිරිතලේ වැවත් නුගගහදමන ගමත් අතර හමු වන කඳු වැටියේ ඉහල කොටස සුදු පාටින් දිස්වන ගල් වලින් සැදී ඇත. මේ හේතුව නිසාම මෙම කඳු වැටිය හැඳින්වෙන්නේ
සුදු කන්ද ලෙසිනි. එම කන්ද බැස (අද ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් කිහිපයක් ඉදිවී ඇත්තේ
ගිරිතලේ වෑකන්ද සහ
සුදු කන්ද ගිරිතලේ දෙසට බෑවුම් වන මෙම ප්‍රදේශයේය.) වැව අද්දරින් යෙදී තිබූ මාර්ගයක සැතපුම් 1.5 පමණ ගොස්
පයිබස් එදින නවාතැන් ගන්නේ වැවේ නිරිත දෙසින් පිහිටි
ගිරිතලේ ගම්මානයෙහිය.
|
ගිරිතලේ වැව |
මැයි 10 වන දින පස්වරු 4.30 ට
ගිරිතලේ ගම්මානයෙන් ගමන් අරඹන
පයිබස් ගිරිතලේ වැව පසු කර
Paduputtah නම් වූ මින්නේරි
වැවේ (
Minary Tank) ඊසාන කොනෙහි වූ ගම්මානයකට පැමිණේ. එතැන් සිට නැවතත්
මින්නේරි වැවේ ඉවුර දිගේ යන ඔහුට සැතපුම් 20-30 පමණ ඈතින්
Fryar's Hood ලෙස ඔහු හඳුන්වන කන්දක් දක්නට ලැබේ.
Friar's Hood ලෙසින් ඉංග්‍රිසින් හැඳින්වූවේ
අම්පාර දිස්ත්‍රික්කයේ
බක්කිඇල්ල ප්‍රදේශයේ ඇති
වලිඹෙහෙල කඳු මුදුනයි.
මින්නේරිය වැව අසලට එම කඳු මුදුන දර්ශනය වීමේ හැකියාවක් නොමැත. එබැවින් නිසැක ලෙසම ඔහු එලෙසින් හඳුන්වන්නේ සැතපුම් 12 පමණ දකුණින් පිහිටි
සීගිරිය පර්වතයයි. (මේ සමග ඇති
හබරන ප්‍රදේශයට
සිගිරිය පර්වතය දිස්වන ආකාරය දැක්වෙන ඡායාරූපය බලන්න) තව දුරටත්
මින්නේරි වැවේ ඉවුර දිගේ ගමන් කරන
පයිබස් හට
Vistugallo නම් වූ
මින්නේරි වැව අයිනේ වූ වෙනත් ගමක්ද හමුවේ. චෝලියාර්වරු වාසය කල නිවාස 6-7 පමණ තිබූ එම ගම්මානයට එදින පස්වරු 6.15 ට පමණ පැමිණි බව ඔහු පවසයි.
මින්නේරි වැව වටා වූ මේ ගම්මාන කිසිවක් මේ වන විට හඳුනාගත නොහැක.
|
හබරන ප්‍රදේශයට සිගිරිය පර්වතය දිස්වන ආකාරය |
මැයි 11 දිනද එම ගම්මානයේම නැවතී සිට මැයි 12 වන දින පෙ.ව. 7.45ට ගමන් අරඹන
පයිබස් සැතපුම් භාගයක් පමණ ගොස් කැලෑව තුලට ඇතුළු වී ගම්මානයේ සිට සැතපුම් 1.75 ක දුරකදි
මින්නේරිය වැවෙන් ජලය එන කුඩා ගංගාවක් ලෙස ඔහු හඳුන්වන දිය පාරක් හරහා ගොස්, එතැන් සිට මද දුරකින් හමු වන වෙල් යායක් අසලදි තවත් එවැනිම
මින්නේරිය වැවේ සිට ජලය එන ස්ථානයක් පසු කරයි. නැවතත් පෙ.ව. 8.45 ට පමණ
මින්නේරිය වැවේ ශාඛාවක් ඔහුට හමුවේ. එහි ජලය බොහෝ ප්‍රදේශයක් පුරා පැතිර තිබූ බව
පයිබස් පවසයි. මේ වන විට ඔහු ගමන් ගන්නා මාර්ගය කඳු මුදුන් පසු කරමින් යන මාර්ගයක් වූ බවද ඔහු සිය වාර්තාවේ සඳහන් කරයි. පෙ.ව. 9.30 පමණ
මින්නේරිය වැවේ තවත් ශාඛාවක් ඔහුට හමුවේ. එයද පසු කරමින් ගොස් පෙ.ව. 10.30 ට පමණ
මාතලේ දිස්ත්‍රික්කයට (Mateli District) පිවිසෙන
පයිබස් ප.ව. 12.30 ට කඳු අතර වූ කුඩා වැවක් අසල නවතී. මගපෙන්වන්නන් ඔහුට පැවසූ පරිදි එම වැව සහ
මින්නේරි වැව එකිනෙකට සම්බන්ධිතය.
|
වන අලින්ට ක්ෂේම භූමියක් වූ මින්නේරිය වැව |
මින්නේරියේ සිට
පයිබස් ආ මාර්ගය ඉහත විස්තර අනුව අනුමාණ වශයෙන් පහත සිතියමේ ලකුණු කර ඇති ආකාරයෙන් වූවා විය හැක. ඔහු සඳහන් කරන
මින්නේරිය වැවෙන් ජලය ගෙන යන එකිනෙකට ආසන්නව වූ ඇල මාර්ග දෙක (සිතියමේ 1 සහ 2 ලෙස සලකුණු කර ඇත.) මෙන්ම බොහෝ ප්‍රදේශයක් පුරා පැතිර තිබූ
මින්නේරිය වැවේ ශාඛාව ලෙස ඔහු හඳුන්වන ස්ථානයද (මෙය
බටු ඔය මින්නේරිය වැවට වැටෙන ස්ථාන විය හැක. [(අංක 3)]) එලෙස හඳුනා ගත හැක. වර්තමාන
මින්නේරිය-හබරන මාර්ගයට සමාන්තරව බොහෝ විට
මින්නේරිය වැවට දැනට වඩා ආසන්නව පැරණි මාර්ගයද තිබූ ආකාරයක් ඒ අනුව අපට දිස්වේ. ඉදිරියේදි හඳුනාගත හැකි වෙනත් ස්ථාන හා සසඳා බැලීමේදි වර්තමාන මාර්ගය වැටි ඇති අයුරින්
හබරණ දෙසට නොයා තවදුරටත්
මින්නේරිය වැවට සමාන්තරව එයට බටහිර දෙසින්
පයිබස් ගිය මාර්ගය දකුණු දෙසට ගමන් කල බව උපකල්පනය කල හැක. එසේම පැරණි සිතියම් වල එවැනි මාර්ගයක්ද කඩින් කඩ ලකුණු කර ඇත. ඒ අනුව
පයිබස් සඳහන් කරන ඔහු පසු කරන
මින්නේරිය වැවේ අනික් ශාඛාව
බටුඔය කන්ද සහ
මින්නේරිය කන්ද අතර වූ කපොල්ල තුලින්
මින්නේරිය වැවට ගලා බසින
තල්කොටේ ඔය, ඊරිගේ ඔය, කිරි ඔය ඇතුළු ඔයවල් කිහිපයක් එකතු වී සෑදෙන දොළපාර විය හැක. (සිතියමේ අංක 4)
|
උපකල්පිත පැරණි මාර්ගය - රතු පාටින් දැක්වෙන්නේ පැරණි අඟලේ සිතියම් වල සලකුණු කර ඇති මාර්ග වන අතර කොළ පාටින් උපකල්පිත මාර්ග දක්වා තිබේ |
මාතලේ කඩඉම්පොතේ සඳහන් පැරණි
මහතලේ රටට වර්තමාන
මාතලේ දිස්ත්‍රික්කයේ
ලග්ගල හැර ඉතිරි කොටස සහ ඇතැම්විට
මහනුවර සහ
පොළොන්නරුව දිසා වලින් කොටසක්ද අයත්වි තිබෙන්නට ඇති බව කඩඉම්පොත් විමර්ශනය කෘතියේ H.A.P. අභයවර්ධන මහතා සඳහන් කරයි. ඒ අනුව
පයිබස් මාතලේ රටට පිවිසි ස්ථානය අඩු වැඩි වශයෙන් ඉහත අප සලකුණු කල මාර්ගය වර්තමාන
මාතලේ දිසාවට යොමුවන ස්ථානය ලෙස අනුමාණ කල හැක.
පයිබස් මදක් නැවතී සිටි කඳු අතර වූ කුඩා වැව වර්තමානයේ
පෙයික්කුලම් ලෙස හැඳින්වෙන වැව විය හැක.
පයිබස්ට මග පෙන්වන්නන් පැවසූ පරිදි එය
කිරි ඔය හරහා
මින්නේරිය වැව සමග සම්බන්ධ වේ.
|
පේක්කුලම් වැව දක්වා උපකල්පිත මාර්ගය. නිල්පාටින් දක්වා ඇත්තේ වර්තමාන මාතලේ දිස්ත්‍රික් මායිමයි. |
මින්නේරියේ සිට නිම්න භූමි ඔස්සේ විහිදුන එම උපකල්පිත මාර්ගය පහත සිතියමින් තව දුරටත් පැහැදිලිව පෙන්වා දිය හැක. එතැන් සිට කන්ද උඩ රට දක්වා පයිබස්ගේ ගමන් විස්තරය අපි ඉදිරියේදි විමසා බලමු.
මූලාශ්‍ර
- The Pybus Embassy to kandy, 1762, Transcribed with notes by R. Raven-Hart, Editor, P.E.P. Deraniyagala, Reprinted 2001
- කඩඉම්පොත් විමර්ශනය, H. A. P. අභයවර්ධන, 1996.
- වැව, උදුල බණ්ඩාර අව්සදහාමි, 2015
- Ancient Irrigation Works in Ceylon, Part One, R.L. Brohier, 1934
අපි වෙනුවෙන් මේක ඉක්මණටම පල කෙරැවට බොහොම ස්තූතියි!
ReplyDelete(Y) :)
Delete