Wednesday, August 23, 2017

සොළී බල බිඳි විජිතපුර බලකොටුව කදුරුවෙලින් සොයාගැනීම

විජිත පුරය
විජය රජුගේ විජිත නම් ඇමතියා විජිත නම් නගරය (විජිතං නගරං) ඉදි කල බව මහාවංශයේ මෙන්ම දීපවංශයේද සඳහන් වේ. එහෙත් එය පිහිටවූ ස්ථානයක් පිළිබඳව සඳහනක් එහි නොදැක්වේ. විජයගෙන් පසු වසරක පමණ වූ අරාජක කාලයකින් පසුව ලංකා රාජ්‍යයේ රජවූ පණ්ඩුවාසුදේව රජුගේ මෙහෙසිය වූ භද්දකච්චානාගේ සොහොයුරන් මෙරටට පැමිණ ඉදිකල ජනපද පිළිබඳව සඳහන් කිරීමේදිද මහාවංශය එම එක් සොයුරෙකු වන විජිත විසින් ඉදි කල විජිතගාම යන ජනපදයක් ගැනද සඳහන් කරයි. 'විජිත නගර' සහ 'විජිතගාම' ලෙස අවස්ථා දෙකකදි සඳහන් වන්නේ එකම පෙදෙසක්ද නැතහොත් ජනපද දෙකක්ද යන්න අපැහැදිලිය. එසේම ජනප්‍රවාද ඇසුරින් ලියැවුනු වංශ කතා වල මෙම වකවානුව සම්බන්ධව එන විස්තර ඓතිහාසික වශයෙන් එතරම් පිළිගත හැකි මට්ටමක නොමැති බැවින් ඉන්දියාවේ යම් පෙදෙසක සිට පැමිණි සංක්‍රමණිකයන් පිරිසක් විජිත නම් නායකයෙකුගේ (හෝ එම නම ඇති නායකයන් දෙදෙනෙකුගේ) ප්‍රධානත්වයෙන් විජිත නගරය  (හෝ/සහ විජිතගාම) යන ජනපදය (හෝ එම නම ඇති ජනපද 2ක් ) ඇති කල බව පමණි අපට මින් නිගමනය කල හැක්කේ.

විජිත නගරයෙහි පිහිටීම පිළිබඳව යම් හෝඩුවාවක් මහාවංශයට ලියූ වංසත්ථප්පකාසිනිය නම් වූ ටීකාවෙන් හමුවේ. විජයගෙන් පසු අරාජක සමයේ ඔහුගේ ඇමැතියන් විසින් අගනුවර උපතිස්සගාමයට ගෙනගිය බව පැවසේ. ඉන්පසු සිහපුර සිට පැමිණි පණ්ඩුවාසුදේව රජුද එහි සිටම පාලනය ගෙනගිය බව පෙනේ. ඔහුගේ මෙහෙසිය ලෙස පැමිණි භද්දකච්චානා ඇතුළු පිරිවර ගොඩබසිනුයේ ගෝණගාමක පටුන නම් තැනකටය. එම පිරිස ගෝණගාමකයේ සිට උපතිස්සගාම කරා එන ගමනේදී විජිත නගරයට පැමිණි බවට වූ සඳහනක් මහාවංශ ටීකාවේ එයි. ඒ අනුව විජිතගාමය, ගෝණගාමක පටුන සහ උපතිස්සගාම අතර වූ බව හැඟේ.

උපතිස්සගාම 
විජය සමග පැමිණි උපතිස්ස නම් පුරෝහිත විසින් අනුරාධ ගමට උතුරින් ගම්භීර නදී තීරයේ උපතිස්ස ගම නිර්මාණය කල බව මහාවංශයේ සඳහන් වේ. එහිම සඳහන් වන පරිදි කදම්බ නදී තීරයේ අනුරාධ නම් ඇමති අනුරාධ ගම ඉදිකරයි. මහාවංශයේ වෙනත් අවස්ථාවකදී පැවසෙන්නේ ගම්භීර නදිය අනුරාධපුරයට යොදුනක් පමණ උතුරින් ගලාගිය බවය.  අප දන්නා පරිදි එවකට අනුරාධගාමය වූ වර්තමාන අනුරාධපුරය අසලින් ගලා යනුයේ මල්වතු ඔයයි. ඒ අනුව කදම්බ නදී ලෙස එකල හැඳින්වූවේ මල්වතු ඔය බව පැහැදිලිය. එයට යොදුනක් (සැතපුම් 8 සිට 12 අතර දුරක්) පමණ උතුරින් ඇත්තේ මල්වතු ඔයට වැටෙන අතු ගංගාවක් වන කනදරා ඔයයි. ඒ අනුව ගම්භීර නදිය ලෙස හැඳින්වූ කනදරා ඔය නිම්නයේ කිසියම් තැනක උපතිස්සගාමය තිබූ බව පෙනේ. කනදරා ඔය මල්වතු ඔය හමුවන ස්ථානයට ආසන්නව උපතිස්සගාමය පිහිටා තිබෙන්නට ඇති බවට මතයක් ඉදිරිපත්වී ඇත (තන්තිරිමලයට කිලෝමීටර් 3-5 පමණ නැගෙනහිර දෙසට වන්නට)

ගෝණගාමක පටුන
භද්දකච්චානා ඇතුළු පිරිසට මෙරටට පැමිණීමට පෙර පැමිණි පණ්ඩුවාසුදේවගේ පිරිවර ගොඩ බසින්නේ මහාවංශයට අනුව මහ කන්දර නදියේ මුව දොරටය. එම ස්ථානය ගෝකණ්ණ තිත්ථය බව මහාවංශ ටීකාව පැහැදිලි කරයි. ගෝණගාමක පටුන සහ ගෝකණ්ණ තිත්ථය එකම ස්ථානයක් ලෙස පෙනේ. පසු අවස්ථා වලදිද වංශකතාවේ හමුවන ගෝකණ්ණ තිත්ථය වර්තමාන ත්‍රිකුණාමලය වරාය බව හඳුනාගෙන ඇත. (ඒ අනුව මහා කන්දර නදී ලෙස එවකට හැඳින්වූවේ මහවැලි ගඟ බව පෙනේ.)

එබැවින් විජිත පුරය උපතිස්ස ග්‍රාමයට සහ අනුරාධපුරයට නැගෙනහිර දෙසින් වූ පෙදෙසක් බව සිතිය හැක.
දුටුගැමුණු යුගයේ විජිත පුරය
මාගම සිට ගුත්තහාල (බුත්තල), මහියංගණය වැනි ප්‍රදේශ පසුකරමින් කුඩා බලකොටු යටත් කරගනිමින් එළාර සමග සටනට පැමිණෙන දුටුගැමුණු කුමරාගේ සේනාවට පැරදී පලායන 'ගංගා තීරයේ සියලු දමිලයන්' ඉන්පසු රැකවරණය පතා විජිත නගරයට පිවිසුනු බව මහාවංශයේ විස්තර වේ. ඉන්පසු ගඟෙන් එතෙර වන දුටුගැමුණුගේ සේනාව කඳවුරු බැඳගත් ස්ථානය ඛන්ධාවාරපිට්ඨිය නම් විය. එතැන් සිට විජිත නගරය අල්ලාගැනීම පිළිබඳව දීර්ඝ විස්තරයක් මහාවංශයේ එයි. විජිත නගරය වටා කලල්, දිය සහ මත්ස්‍යයන් පිරි ගැඹුරු අගල් තුනක් වූ බවත් එහි සිව් දෙසින් යකඩින් කල දොරටු 4 ක් වූ බවත්, උස් ප්‍රාකාරයකින් වටවී තිබූ බවත් එම විස්තරයේ පැවසේ.  විජිත නගරයේ බලකොටුව අල්ලාගැනීමෙන් පසු ගිරිලක (මේ ගිරිතලේ ප්‍රදේශය විය හැකි බවට වූ මතයක් ඉදිරිපත් වී ඇත), මහේල නගර, කාසපබ්බත ඔස්සේ අනුරාධපුරය වෙත ඔහුගේ සේනා ගමන් කරයි.

පොදුවේ පිළිගත් මතය වනුයේ වර්තමානයේ තිස්සමහාරාම ලෙසින් හැඳිවෙන පෙදෙසේ පිහිටි මාගම සිට බුත්තල, මහියංගණය හරහා මහවැලි ගඟේ දකුණු ඉවුර දිගේ දුටුගැමුණුගේ සේනාව රජරට ආක්‍රමණය සඳහා පැමිණි බවයි. ඒ අනුව ඔවුන් මහවැලි ගඟ තරණය කල පසු පිවිසිය යුත්තේ පොළොන්නරුව ලෙසින් වර්තමානයේ හැඳින්වෙන පෙදෙසටය. පොළොන්නරුව දක්වා මහවැලි ගඟේ වම් ඉවුරට ඔබ්බෙන් පිහිටි ස්වභාවික ගිරි දුර්ග වලින් පිරි පෙදෙසින් රජරට පෙදෙසට පිවිසීම පහසුවෙන් කල නොහැක (රූපය 2 ). ඒ අනුව විජිත නගරය පොළොන්නරුව ආශ්‍රිතව තිබිය යුතු බව පැහැදිලි වේ.
රූපය 2 
පොළොන්නරුව නගරය හැඳින්වීමට පසු කාලීන සිංහල ගද්‍ය කෘතියක් වන පූජාවලියේ ඇතැම් අවස්ථා වල යොදාගන්නා කඳවුරු නුවර, කඳවුරු බෑ පුර, කඳවුරු පුර යන නම් සහ ඉහත දුටුගැමුණුගේ සේනාව කඳවුරු බැඳ ගත් පාළියෙන් ඛන්ධාවාරපිට්ඨිය ලෙස හැඳින්වෙන ස්ථාන නාමය එකම තේරුමක් ගෙන දේ. එසේම මහාවංශ විස්තරයට අනුව එම ප්‍රදේශය මහවැලි ගඟෙන් එතෙර වී සැතපුම් කිහිපයක් යාමට පෙර හමුවන බව පෙනේ. පොළොන්නරුව පිහිටා ඇත්තේද මහවැලි ගඟේ සිට සැතපුම් 3 පමණ දුරකිනි. මහා පරාක්‍රමබාහු රජතුමන් විජිත නම් 'ශාඛා පුරයෙහි' වේළුවන විහාර නම් වෙහෙරක් කල බව මහාවංශය සඳහන් කරයි. එයද විජිත පුරය පොළොන්නරුවට නොදුරින් පිහිටා තිබූ බවට තවත් එක් සාධකයකි.

පොළොන්නරුව පිහිටා ඇත්තේ උපක්‍රමික වශයෙන් වැදගත් පිහිටීමකය. රුහුණු රට සහ රජරට වෙන් කරන මහවැලි ගඟ ඒ අසලින් ගලා බසී. එබැවින් මෙරට ඉතිහාසයේ වරින් වර සිදුවූ පරිදි රුහුණු රටේ සිට කැරලිකාර කණ්ඩායම් රජරට ආක්‍රමණය කිරීමේදී ඒවා මැඩපැවැත්වීමට මෙම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට රජරට රජවරුන් ක්‍රියාමාර්ග ගත්හ. එසේම දකුණු ඉන්දීය ආක්‍රමණ වලදී අනුරාධපුර නගරය ඔවුන් යටතට පත්වූ විට සිංහල රජවරුන් පළමුව පොළොන්නරුවට පසු බැස එහි සිට නැවත ප්‍රතිප්‍රහාර එල්ල කලහ. එයද නිශ්ඵල වූ විට ඔවුන් ගඟින් එතෙර රුහුණු රටට පසු බැස දිවි ගලවාගත්හ. මේ නිසා කඳවුරු නුවර යන නම පොළොන්නරුවට භාවිතා වන්නට ඇත. එවන් තත්වයක් යටතේ පොළොන්නරුවේ හෝ එයට ආසන්නව සැම කල්හිම හෝ අවම වශයෙන් අභ්‍යන්තර සහ බාහිර බලවේග වලින් රජරට රාජ්‍යයට තර්ජන එල්ලවන සමයන්හි  නඩත්තු වූ බලකොටුවක් තිබීම අනිවාර්ය අවශ්‍යතාවයකි.
රූපය 1- අඟලේ සිතියමේ සලකුණු කර ඇති බලකොටුව ඊතලයෙන් දක්වා ඇත
විජිතපුර බලකොටුව සොයාගැනීම
පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයට සහ නව නගරයට නැගෙනහිරෙන් පැරණි අඟලේ සිතියම් වල පැහැදිලිව සලකුණු කර ඇති ජලය පිරි අගල් වලින් යුත් සම සතැරස් කොටුවක් කිසිවෙකුගේ අවධානකට යොමු නොවී වසර ගණනාවක්ම තිබූණි (රූපය 1). 80 දශකයේ මේ ප්‍රදේශයේ ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප වල මෙම එක් පැත්තක් සැතපුම් භාගයක් පමණ දික්වූ සතරැස් කොටුව දුටු එවකට මහවැලි අමාත්‍යංශයේ සැලසුම් අධ්‍යක්ෂ වූ A. ඩෙනිස් N. ෆර්නැන්ඩෝ මහතා එහි ජ්‍යාමිතික හැඩතලය නිරික්ෂණය කර එය මානව ක්‍රියාකාරකම් වලින් ඇතිවූවක් බව දැක එම ප්‍රදේශයේ සිදු කල වැඩිදුර ගවේෂණ මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ Ancient Ceylon සඟරාවට The Discovery of Vijithapura of 6th Century B.C. And The Ancient Fortress in Plonnaruwa මැයෙන් ලිපියක් සැපයීහ.
විජිතපුර බලකොටුව Google Earth වල දිස්වන ආකාරය
දිය අගල් වලින් වටවූ මෙම ප්‍රදේශයේ කලකට පෙර නැගෙනහිර වෙරලේ සිට පැමිණි පුද්ගලයකු විසින් උක් වගා කර තිබූ අතර, පසුව රජයේ ගොවිපලක් එක් කොටසක ඇති කල අතර ඉතිරි කොටසේ වසර 60 කට පමණ පෙර එම ප්‍රදේශයට පැමිණි ජානපදිකයන් පදිංචි වි සිටි. මුළු භූමිය පුරාම ශිලා අවශේෂ සහ ගොඩනැගිලිවල නටබුන් හමුවන බව ප්‍රදේශයේ පැරණි පුද්ගලයන්ගෙන් ඩෙනිස් ෆර්නැන්ඩෝ මහතාට දැනගන්නට ලැබි ඇත. එබැවින් නිසැකවම මෙය විජිතපුර බලකොටුව විය යුතු බව ඒ මහතා සිය ලිපිය මගින් කරුණු ඉදිරිපත් කරයි. තවද කදුරුවෙල යන මෙම ප්‍රදේශයට වර්තමානයේ භාවිතා වන නාමය කඳවුරු වෙල යන නාමයේ වෙනස්වීමකින් ඇතිවූවක් විය හැකි බවය ඒ මහතාගේ අදහස. එය කඳවුරු නුවර යන පැරණි සිංහල නාමයෙන් නිශ්පන්න වූවක් බව නිසැකය.

*මෙම බලකොටුවේ සිදු කල කැනීම සම්බන්ධ විස්තර සඳහා ප්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ මහතා මෑතකදී www.archaeology.lk වෙබ් අඩවියට සැපයූ මෙම ලිපිය කියවන්න.>> පොළොන්නරුවේ කඳුරුවෙල බලකොටුව පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් : 2009 -10 වර්ෂවල මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ව්‍යපෘතියේ කැනීම් හා පර්යේෂණ අංශය මඟින් සිදුකළ පර්යේෂණයක ප‍්‍රතිඵල 
විජිතපුර බලකොටුව මහවැලි ගඟ, එහි අතු ගංගාවක් වන අඹන් ගඟ,පොළොන්නරුව නගරය සහ පරාක්‍රම සමුද්‍රයට ආසන්නව පිහිටා ඇති ආකාරය
මූලාශ්‍ර
  • The Discovery of Vijithapura of 6th Century B.C. And The Ancient Fortress in Plonnaruwa, A. Denis N. Fernando, Ancient Ceylon 1984, No 5
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • මහාවංශය, ප්‍රථම භාගය, මොග්ගල්ලාන සංස්කරණය, සිංහල අනුවාදය - අරුණ තලගල
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • වංසත්ථප්පකාසිනියමහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • The Dipavamsa, An Ancient Buddhist Historical Record, Hermann Oldenberg, 1879.
  • The Dipavamsa edited by Dr. B.C. Law, The Ceylon Historical Journal, Vol VII. Nos 1-4, 1957 & 1958
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • The Polonnaruwa Period, A Special Issue of The Ceylon Historical Journal, Edited by S.D. Saparamadu, 1955
  • සිංහල ථූපවංසය හා ගැටපද විවරණය, මහාචාර්ය සුචරිත ගම්ලත් සංස්කරණය, 1994
  • Settlement Patterns of the Malvatu Oya and Kala Oya Basins, A Study in the Historical, Geography of Sri Lanka, P. Vidanapatirana, 2010
  • මාර්ග පුරාණය, පී විදානපතිරණ, 2016

2 comments:

  1. සරල බසින් විස්තරාත්මකව ලියවෙන මේ ඉතිහාස ලිපි හරිම අපූරුයි! දිගටම ලියමු මල්ලි...

    ReplyDelete
    Replies
    1. බෙහෙවින්ම ස්තූතියි

      Delete