Thursday, July 20, 2017

රිහෑ බිම්හි බුදත්පව් වෙහෙරට මුක්තීන් පිදූ දෙවැනි සේන සහ පිං කැට හූරන සොරි සේනලා


පඬුවස්නුවර පුරාවිද්‍යා රක්ෂිතය තුල පිහිටා ඇති මහනුවර සම්ප්‍රදායට අයත් ටැම්පිට විහාරය ඇතුළු අනිකුත් මෑත කාලීන පූජනීය ගොඩනැගිලි පිහිටි මලුවට ප්‍රවේශ වන ස්ථානයේ සහ ඒ අවට පිහිටි ටැම් ලිපි කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරීම කාලීන යැයි හැඟුනේ ජනතාව මත උපරිමයෙන් බදු ගසා සාමාන්‍ය මිනිසාගේ පටන් ඉහල ධනපතියා දක්වා සියල්ලක්ම ඉහේ ඉදන් හූරන් කන මංකොල්ලකරුවන් පිරිසක් මෑතක සිට සිය චෞර දෑත් මෙතෙක් කල් නිදහසින් පසු කිසිම රජයක් අත නොතැබූ සාංඝික දේපල කරාද යොමු කර ඇති මොහොතකදීය.  විහාර පිරිවෙන් ආදියට පෙර රජ වරුන් පිරිනැමූ මුක්තීන් පිළිබඳව එම ලිපි වල සඳහන් වන දෑ වර්තමානයේ 'රට කොරවන' පාලකයන්ගේ බෞද්ධ විරෝදී ක්‍රියා පිළිවෙල සමග සසදා බැලීම වර්තමාන සොර මුල බලයට ගෙනා අමනයන්ට කෙසේ වෙතත් මෙරට චිරාත් කාලයක් පුරා පැවැති සිංහල බෞද්ධ සම්ප්‍රදාය ගරු කරන සුලුතරයකට හෝ වැදගත් වේ යැයි සිතමි. දඹුල්ල පන්සලේ පිං කැට වලට අත තැබීමට ගොස් තාවකාලිකව හෝ ඇනගත් මේ සොර මුල ඉන්පසු මහවැලි මහ සෑය වැනි සඟ සතු කල ස්ථාන පවා පවරාගෙන එහි පිං කැට වලින් වැඩි ආදායම් උපදවන ආකාරය ගැන  වහසි බස් දොඩන්නට පටන්ගත්තේ වෙහෙර විහාර යනු පිං කැට තබා ධනය එකතු කරන ස්ථාන ලෙස සිතා විය හැකි බව සිය පියාගේ රැස් වලින් බබලන මෝඩ පුතෙකුගේ මෑතකදි සිදු කල පාරම්බෑමකින්ද පැහැදිලි විය. වාර්තා වන ආකාරයට යෝජිත නව බදු පනත මගින් සියලු පුණ්‍යායතන සඳහා ඒවායේ ආදායමින් 14% ක බද්දක්ද අයකිරීමටද නියමිතය.
පඬුවස්නුවර පිහිටි මෙවැනි පබ්බත විහාර වර්ගයේ විහාර නටබුන් ඇතැම් විට මෙම සෙල්ලිපි වල සඳහන් ස්ථාන විය හැක.
පඬුවස්නුවර රජමහා විහාරය අවට වර්තමානයේ සිටුවා ඇති මුත් මෙම ලිපියේදි සාකච්චා වන ටැම් ලිපි මෙම ස්ථානයට අසල පිහිටි කිසියම් තැනකින් ගෙනා බවට විශ්වාස කල හැක. කෙසේ වුවද එම ස්ථානය හෝ ස්ථාන වර්තමාන පඬුවස්නුවර නටබුන් පවතින ප්‍රදේශයට බොහෝ දුරක වූවා විය නොහැක. ඒ අනුව මෙම ලිපි කිහිපයකම රිහෑ බිම් නම් ප්‍රදේශයක පිහිටි විවිධ ගම් සහ විහාර පිරිවෙන් ආදිය පිළිබඳව සඳහන් වන බැවින් වර්තමානයේ පඬුවස්නුවර නමින් හැඳින්වෙන ප්‍රදේශයට මෙම ලිපි පිහිටවූ කාලයේ (9-10 සියවස් වල) භාවිතා වූ නම රිහෑ බිම් ලෙස අනුමාන කල හැක.

2 වන සේන  රජුගේ රාජ්‍ය කාලය

සිරිසඟබෝ මපුර්මුකා රජුගේ 6 වන රාජ්‍ය වර්ෂයේ පිහිටුවා ඇති මෙම ටැම් ලිපිය මගින් බුදත්පවු වෙහෙරට කිසියම් මුක්තීන් (Immunities) කිහිපයක් පිරිනමා එහි අත්තානි කණුවක් පිහිටවූ බව පවසයි. ලිපියේ කොටසක් කියවිය නොහැකි ලෙස ගෙවී ගොස් ඇති බැවින් එම මුක්තීන් මොනවාදැයි හඳුනාගත නොහැක. සිරිසඟබෝ මපුර්මුකා ලෙසින් ලිපියේ දැක්වෙන රජු අක්ෂර වල හැඩයෙන් සහ භාෂා විලාශයෙන් 2 වන සේන (ක්‍රි.ව. 853-857) රජු ලෙස හඳුනාගත හැක. ටැම් ලිපියේ භික්ෂුවකගේ වටාපතක්, නයෙකුගේ රූප සටහනක් ස්වස්තිකයක් සහ මල් සහිත පුන්කලසක් ද කොටා ඇත. වර්තමානයේ පඬුවස්නුවර රජමහා විහාරයේ බටහිර ප්‍රවේශය අසල දැකිය හැකි මෙම ටැම් ලිපිය එම ස්ථානයට අසල පිහිටි කිසියම් තැනක සිට රැගෙන විත් ඇති බව පෙනේ. එහි මුල් ස්ථානය අවිනිශ්චිතය. ලිපියේ සඳහන් වන බුදත්පව් වෙහෙර පිළිබඳව විස්තර කිසිදු පැරණි ලිඛිත මූලාශ්‍රයක හමු නොවේ.

2 වන උදය රජුගේ රාජ්‍ය කාලය

වෙනත් කිසියම් ස්ථානයක තිබි ගෙනවුත් වර්තමානයේ පඬුවස්නුවර රජමහා විහාරයේ බටහිර ප්‍රවේශය අසල පිහිටුවා ඇති මෙම ටැම් ලිපිය එහි මුදුනේ පිහිටි පුන් කලසද සමගින් අඩි 7 පමණ උස වේ. එක් පසක ඉර, අඩ සඳ, නයෙකු සහ භික්ෂුවකගේ වටාපත කොටා ඇති මෙම ලිපිය එහි අක්ෂර සහ භාෂා විලාශය අනුව 9 වන ශතවර්ෂයේ අවසාන භාගයට අයත් වේ. අභා සලමෙවන් නම් රජෙකුගේ 5 වන රාජ්‍ය වර්ෂයේ කස්බල් (කාශ්‍යප) මහපාණන් වහන්සේ නම් වූ මහපා වරයෙකු විසින් ගළ්ගම් නම් වූ පිරිවෙනකට අයත් එම පිරිවෙන පිහිටි රිහෑ බිම් නම් ප්‍රදේශය තුල පිහිටි තෙර ඇතුළ නම් වූ ග්‍රාමයට පිරිනැමූ මුක්තීන් කිහිපයක් පිළිබඳව සඳහන් කර එය පිහිටුවා ඇත. එසේම ගළ්ගම් පිරිවෙන පිහිටි රිහෑ බිම නම් වූ පළාතේ පිහිටි තෙර ඇතුළ වෙහෙරට අයත් වෙනත් ගම් දහයක් සඳහාද මෙම නියෝගය අදාල කර ඇත (එම ගම් නම් විරගණා, සිනබලා ගම, පහළ පනගල, වැල්පලුගොඩ, ගළ්ගම, සුපොරලියා හි අම්ගමුදොර, දොර්ගම, සම්පත් ගම, පර්ල, හා රියන්දලපව් වේ.) එම ගම් වලට පිරිනැමූ මුක්තීන් වනුයේ - මෙම ගම් වලට අයත් කරත්ත සහ මීමුන්ද අලින්ද නොමිලේ සේවයට නොගත යුතුය, එසේම විවිධ බදු අයකරන නිලධාරීන්ද, වෙනත් රාජ්‍ය නිලධාරීන්ද එම ගමට නොපැමිනිය යුතුය. ගම් සීමාවේන් ඇතුළත බෙර නොගැසිය යුතු අතර, දෝලා සහ වියන් රැගත් පුද්ගලයින්ද ඇතුලු නොවිය යුතුය. එපමනක් නොව මිනීමැරුම් වැනි අපරාද කර මෙම ප්‍රදේශයට පලා එන පුද්ගලයන් ප්‍රදේශයට ඇතුලු වී අල්ලා ගැනීමේ හැකියාවද රාජ පුරුෂයන් හට නැති අතර ඔවුන් එම ගම් සීමාවෙන් පිටතට පිටුවහල් කල පසු පමණක් අත් අඩංගුවට ගැනීම කල හැක.

 මෙහි සඳහන් අභා සලමෙවන් විරුදය ලත් රජු වංශ කතා වල දෙවැනි උදය (ක්‍රි.ව. 887-898) ලෙස හැඳින්වෙන රජු ලෙස පහසුවෙන් හඳුනාගත හැක්කේ එම රජුට කස්සප නම් වූ මහපා කෙනෙක් සිටි බැවිනි (හෙතෙම දෙවෙනි උදය රජුගෙන් පසුව සිව් වන කාශ්‍යප (ක්‍රි.ව. 898-914) ලෙස රජ විය)

මෙම තොරතුරුම සඳහන් වන වෙනත් ටැම් ලිපියක් පඬුවස්නුවර රජ මාලිගය ආසන්නයෙන්ද හමුවී ඇත. ඉහත ලිපියේම පිටපතක් වන එහි ඉහත සඳහන් පුද්ගලයන්ට අමතරව දුණු ගත් හේවායින්ටද එම ගම් වලට ඇතුලු වීම තහනම් කර ඇත.

පඬුවස්නුවර රජමහා විහාරයේ බටහිර පිවිසුම අසල පියගැටපෙල දෙපස ඇති ටැම් ලිපි
4 වන කාශ්‍යප රජුගේ රාජ්‍ය කාලය

10 වන ශත වර්ෂයේ මුල් අර්ධ කාලයට අයත් කල හැකි අක්ෂර වලින් ලියා ඇති මෙම ටැම් ලිපියද වර්තමානයේ පඬුවස්නුවර රජමහා විහාරය අසල ඇති මුත් පෙර ලිපි මෙන්ම වෙනත් ස්ථානයක සිට ගෙනා බව පෙනේ. ගල් ටැඹේ එක් පසක ඉර, හඳ, වටාපත, කපුටෙකුගේ රූපයක් සහ බල්ලෙකුගේ රූපයක් දක්වා ඇත. සිරිගඟබෝ විරුදය ලත් රජෙකුගේ 8 වන රාජ්‍ය වර්ෂයේ කස්බල් (කස්සප) නම් වූ ඔහුගේ මහපා වරයා විසින් පිහිටුවා ඇති මෙම ටැම් ලිපිය මගින්ද දෙනා වෙහෙරට අයත් (එනම් අනුරාධපුරයේ ජේතවන විහාරය ) රිහෑ බිම් පෙදෙසේ පිහිටි සිරිසගබෝ පිරිවෙනට (මෙය සිව් වන අග්ගබෝධි (ක්‍රි.ව. 667-683) රජුගේ සේනාපති වූ පොත්තසාට විසින් රජුගේ නමින් කරවූ බවට මහාවංශයේ සඳහන් වන සිරිසඟබෝ පිරිවෙන විය හැක) පිරිනැමූ මුක්තීන් කිහිපයක් පිළිබඳව විස්තර වේ. එම මුක්තීන්ද  අඩු වැඩි වශයෙන් ඉහත ලිපි වල සඳන් වන මුක්තීන්ම වේ. ටැම් ලිපිය පිහිටවූ කාලයේ සිටි සිරිගඟබෝ විරුදය ලත් රජු සිව් වන කාශ්‍යප (ක්‍රි.ව. 898-914) ලෙසින් වංශ කතා වල එන රජු ලෙස හඳුනාගත හැක. ඔහුට කාශ්‍යප නම් ලත් මහපා වරයෙකු සිටි අතර ඔහු පසුව පස් වන කාශ්‍යප (ක්‍රි.ව. 914-923) ලෙසින් රජ කමට පත් විය.
5 වන කාශ්‍යප රජුගේ රාජ්‍ය කාලය

වර්තමානයේ පඬුවස්නුවර රජමහා විහාරයේ බෝමලුවට පිවිසෙන පියගැටපෙල පාමුල සිටුවා ඇති ටැම් ලිපියද ඉහත ටැම් ලිපි ලෙසින්ම වෙනත් ස්ථානයක සිට රැගෙන ආ ගල් ටැඹක් විය යුතුය. ගල් ටැඹේ එක් පසක වටාපත, අඩ සඳ, පෙට්ටියක්, නයෙක්, කපුටෙක් සහ සුනඛයෙක් කොටා ඇති මෙම ටැම් ලිපිය 10 වන සියවසේ භාවිතා වූ අක්ෂර වලින් සිරිසඟබෝ නම් රජෙකුගේ පුත් වූ  දෙබිසෙවැ දා අභාසලමෙවන්  මපුර්මකා නම් රජුගේ (සිරිමල් රණවැල්ල මහතා මෙම රජු 5 වන කාශ්‍යප (ක්‍රි.ව. 914-923) ලෙසින් හඳුනාගනී. ) සත් වන රාජ්‍ය වර්ෂයේදි පිහිටුවා ඇත. එම රජුගේ මල් වු දාපුළු මහපා විසින් දකුණු පස කපිගමු බිම්හි සතලෑපණැ සුරිතේ පිහිටි දිඹුළෑ හි දෙපෑලක් තරම් වූ ඉඩම් සහ රජු විසින් අඹතලා පියන්ගලු වෙහෙරට අඹතලා දිඹුළා හි පිරිනැමූ ඉඩම් අඹතලා හි මාගිරි පිරිවෙනෙහි භික්ෂූන්ට පවරා එම ආදායමින් අභාගිරි වෙහෙරේ (අනුරාධපුරයේ අභයගිරි විහාරය) මහා සෙල් පිළිමය දෙපස පිහිටි මැණික් එබ්බවූ පහන් දල්වා එම පිළිමය ආලෝකමත් කල යුතු බවද, එම අභයගිරි වෙහෙරටම මසක් පාසා සලාක ආහාර සහ තෙල් ලබා දිය යුතු බවද පවසයි. පෙර ලිපි වල පරිදිම ඉන්පසු එම ඉඩම් අයත් ගම් වලට ලබාදුන් මුක්තීන් පිළිබඳව විස්තර වේ. 
පඬුවස්නුවර රජමහා විහාරයේ බටහිර පිවිසුම අසල පියගැටපෙල දෙපස ඇති ටැම් ලිපි
අඹතලා ලෙසින් මෙහි හැඳින්වෙන පෙදෙස මිහින්තලය ප්‍රදේශය ලෙස හඳුනාගත හැක. එසේම මෙම ටැම් ලිපිය ඉහත විස්තර වූ අනිත් ටැම් ලිපි වල සඳහන් රිහෑ බිම් පෙදෙස නොවන ප්‍රදේශයක සිට වර්තමාන ස්ථානයට රැගෙන ආ බව පැහැදිලි වන්නේ කපිගමු බිම් නම් වූ වෙනත් ප්‍රදේශයක් පිළිබඳව එහි සඳහන් වන බැවිනි.

4 වන දප්පුල රජුගේ රාජ්‍ය කාලය

පඬුවස්නුවර රජමහා විහාරයේ පුස්තකාලය අසල වර්තමානයේ සිටුවා ඇති මෙම ටැම් ලිපියද ඉහත ගල් ටැම් ලෙසින්ම වෙනත් ස්ථානයක සිට මෙහි ගෙනා බව සිතිය හැක. 10 වන ශත වර්ෂයේ මුල් භාගයට අයත් අක්ෂර වලින් ලියා ඇති මෙම ලිපිය අභා සලමෙවන් නම් විරුදය සහිත රජෙකුගේ දසවන රාජ්‍ය වර්ෂයේ උදා (උදය) නම් වූ මහපා විසින් පිහිටුවා ඇත්තේ රිහෑ බිම්හි පිහිටි (අනුරාධපුරයේ ) මහාවිහාරයට අයත් සලමෙයිවන් රජ් කපුගම් නම් වූ පිරිවෙනකට අයත් වූ කොණාතු දෙපයලෙහි වූ කොණාතු ඇඹුල්ගොඩ පිහිටි දළදාගම සහ යව යන ගම් වලට ඉහත ටැම් ලිපි වල විස්තර වන ආකාරයේම වූ මුක්තීන් පිරිනැමීමටය. ලිපියේ සඳහන් අභා සලමෙවන් රජු උදය නමින් මහපා කෙනෙකු සිටි සිව් වන දප්පුල (ක්‍රි.ව. 924-935) රජු ලෙස හඳුනාගත හැක. මෙම ටැම් ලිපියේද අඩ සඳ, නාග රූපයක්, කාක රූපයක්, ඉර, බල්ලෙකුගේ රුවක් සහ වටාපතක් දක්නට ඇත. අනිත් ලිපිවල මෙන් නොව මෙම රූප පැති හතරේම අකුරු ලියූ පේලි වලට ඉහලින් හෝ පහලින් ඉඩ ඇති පරිදි කොටා ඇත.

විහාර පිරිවෙන් වල නඩත්තුවට ගම් බිම් පිරිනමා ඒවායින් රජුට එන ආදායම නැතිකරගත් එවැනි පාලකයින් සිටියේ එදාය. පොදුවේ අත්තානි ලිපි ලෙස හැඳින්වෙන මෙම ලිපි වල නිරූපිත වටාපත මගින් එය සඟ සතු කල බව කියවෙන අතර බලු කපුටු රූප මගින් එම නියෝග කඩකලවුන් මතු ආත්මයන්හි බලු කපුටන්ව ඉපදෙන බව මතක් කරදේ. එසේම ඉර හඳ සලකුණු මගින් එම නියෝගයන් ඉර හඳ පවතින තුරා වලංගු වන බව පවසා සිටි. ඒ අනුව වර්තමානයේ සඟ සතු දේ කොල්ලකන චෞර රජවරු මරණින් පසු බල්ලන් සහ කපුටන් වනවාදැයි අපි නොදනිමු. එහෙත් ඔවුන්ගේ එම ක්‍රියාකාරකම් බලු කපුටු වැනි තිරිසන් සතුන් වුවද නොකරන ආකාරයේ තුප්පැහි වැඩ බව නම් නොකියාම බැරිය.

පඬුවස්නුවර පිළිබඳ පෙර ලිපි
මූලාශ්‍ර
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part II, Ranawella, G.S. 2004
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume V, Part I, Ranawella, G.S. 2001
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

No comments:

Post a Comment