Thursday, July 21, 2016

හොරබොර වැවෙන් බදුලු ගිය සිරි සංඝබෝ උදා රජුගේ ටැම් ලිපිය

ඌව පළාතේ මහියංගනයේ සිට සැතපුම් 3ක් පමණ ඊශාණ දෙසින් පිහිටි හොරබොර වැව පිළිබඳව වර්ෂ 1857 දී සටහනක් තබන එවකට බදුල්ල දිශාවේ උප දිසාපති වූ ජෝන් බෙයිලි (John Bailey) එම වැව අසල වනයේ පිහිටා ඇති ගල් ටැඹක කොටා ඇති අකුරු කියවිය හැකි නම් මෙම වැව කරවූ රජතුමා පිළිබඳ දැනගත හැකි වනු ඇතැයි පවසයි. පසුව වර්ෂ 1870 දී පමණ මෙකී හොරබොර වැව ප්‍රතිශංස්කරණය කිරීමේදී මෙම ටැම් ලිපිය බදුල්ල නගරයට ගෙන ගොස් එහි කච්චේරි ගොඩනැගිල්ලට නුදුරින් නුවර - බණ්ඩාරවෙල මාර්ගයේ ස්ථාන ගත කරයි. පසුකාලීන නගර සංවර්ධන ව්‍යාපෘති නිසා වර්තමානය වන විට එය නැවතත් එම ස්ථානයෙන් ගෙනගොස් බදුල්ල මහනගර සභාව මගින් පවත්වාගෙන යනු ලබන සෙනරත් පරණවිතාන මහජන පුස්තකාල පරිශ්‍රයේ විශේෂ පීඨිකාවක් සහ වහලයක් සහිත ස්ථානයක මෑතකදී ආරක්ෂිතව පිහිටුවා ඇත. 

බදුල්ල නගර මධ්‍යයේ වසර 50 ක් පමණ කිසිදු පුරාවිදු ගවේෂකයෙකුගේ අවධානයට ලක් නොවී තිබූ මෙම ටැම් ලිපිය මුල් වරට කියවා පුරාවිද්‍යා කොමසාරිස්ගේ අවධානයට යොමු කරනුයේ එවකට බදුල්ල දිසාපති ධූරය හෙබවූ  H.W. කොඩ්‍රිංටන් (H.W. Codrington) මහතා විසින් වර්ෂ 1920 දීය. ඉන්පසු මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා දෙවරක් මද වෙනස්කම් සහිතව මෙම ලිපිය කියවා පරිවර්තනය කර පිළිවෙලින් Epigraphia Zeylanica 3 සහ 5 කලාප වල පළ කල අතර මෑත කාලයේදී මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතාද ඇතැම් සංශෝධන සහිතව Inscription of Ceylon 5 කලාපයේ 2 වැනි කොටසේ මෙම ලිපිය ප්‍රකාශයට පත් කරන ලදී. 
ගල් ටැඹේ සතර දිසාවේම අකුරු කොටා ඇති මෙම ලිපියේ පේලි 203 පමණ ප්‍රමාණයක අකුරු 2000 පමණ ඇති බැවින් පරණවිතාන මහතා මෙය ඔහුගේ දැනුමේ ආකාරට මෙරටදී හමුවූ දිගම ටැම් ලිපිය ලෙස සැලකිය හැකි බව පවසයි.

10 වන ශතවර්ෂයේ මැද භාගයට අයත් අක්ෂර වලින් ලියා ඇති මෙම ලිපිය සිරි සංඝබෝ උදා නම් රජෙකුගේ දෙවෙනි රාජ්‍ය වර්ෂයේදී එතුමා මහියංගන (මියුගුණ ) මහා විහාරයට පැමිණි අවස්ථාවේ සොරබොර නම් පෙදෙසේ හෝපිටිගමු කඩ මණ්ඩියේ වෙළෙන්දන් සහ ගම්වැසියන් කඩ මණ්ඩියේ ප්‍රධාන මුලාදෑනියාගේ සේවකයෝ "17 වැනි වර්ෂයේදී කාලයාත්‍රා කල" පෙර සිටි රජෙකුගේ කාලයේ කල නියමයන් ඉක්මවා අනියම් ක්‍රම වලට දඩ අය කරන බවද, පූර්ව චාරිත්‍ර නොවන ආකාරයෙන් පඩුරු ගත් බවද සැල කල පසු. ඒ පිළිබඳව රාජ නියමයන් දක්වා පිහිටවූ බව සඳහන් වේ.

මේ සිරි සංඝබෝ උදා රජතුමා තුන්වන උදය ලෙස පරණවිතාන මහත සිය මුල් සංස්කරණයේදී හදුනාගන්නා මුත් පසුව එය හතරවන උදය ලෙස නිවැරදි කරයි. රණවැල්ල මහතාද එම මතය හා එකඟ වෙමින් මෙය 4 වන උදය රජුගේ ටැම් ලිපියක් බව නිගමනය කරයි.

අනුරාධපුර යුගයේ පසුකාලීන අවධියේ ප්‍රාදේශිය පරිපාලනය, අධිකරණ ක්‍රියාවලිය මෙන්ම ආර්ථික සහ සාමාජීය තත්වයන් පිළිබඳ වටිනා කරුණු බොහෝමයක් හෙලිවන මෙම ටැම් ලිපියේ එන එවන් වැදගත් නියමයන් කිහිපයක් මෙසේ සම්පිණ්ඩනය කරනුයේ නීතිය අවනීතිය වී, වර්ගවාදීන් විමුක්තිකාමින් කර දේශමාමක ජාතිකවාදීන් ජාතිවාදීන් ලෙස හංවඩු ගසන,  ජනතාව උපරිමයෙන් පෙලා පාලකයන් පමනක්  සැප විඳීමට අසාධාරණ බදු දිනපතා එකින් එක පැණවෙන, යහපාලනය කුණුහරුපයක් වී ජඩපාලනයක වෙනසේ සැප විදීමට තරම් ජාතියක් අසරන කල යමපාලනයක දිවි ගෙවනා අඳුරු යුගයක පෙර රජදරුවන් ජනතාව වෙනුවෙන් කල නියෝග අතීතය අමතක කල වර්තමාන මුල් සිඳගත් පරපුරට අවැසි නම් කියවා තේරුම් ගැනීමටය.
  •  මෙම හෝපිටිගමු කඩ මණ්ඩියේ ප්‍රධාන මුලාදෑනි කෙනෙකුගේ සේවකයන් ගමට ආ කල්හී මන්ද්‍රඩින් (Counselors), වණිග් ග්‍රාමන්(Members of the mercantile guild), මහා ග්‍රාමයන් (Elders of the village) යන මොවුන් හා එකට හිඳගෙන පූර්ව සිරිත් ලෙස දඩ ගත යුතු විනා නිතිවිරෝධි දේ නොකල යුතුය. 
  • ගම් වටලාගෙන හෝ ගම් වැසියන් ගෙවල් වල සිර කරගෙන හෝ දඩ අය නොකල යුතුය.
  • ගමෙ හිඳගෙනම දඩ අයකර ගනු විනා ගම් වැසියන් ඒ ගමින් පිට තැනකට ගෙන ගොස් දඩ අය නොකල යුතුය.
  • සීමා නොකරණ ලද දඩයකට කිසිදු පුද්ගලයකු වැලැක්මේ දැමීම (Restraint) නොකල යුතුය.
  • ප්‍රමාණය නියම කල දඩයකට ස්වාමියා හිරභාරයට ගනු මිස ඔහුගේ අඹුදරුවන් වැලැක්මේ ලියයුතු නොවේ. 
  • ගමට පැමිණි රජුගේ නියෝජිතයන් රා, මස්, දීකිරි, ගිතෙල් යන දේවල් නොගත යුතුය. ඔවුන් වතු වලට පැමිණ රා ගැනිම නොකල යුතුය. නිතිවිරෝධි වෙළදාම්ද නොකල යුතුය.
  • පොහොය දිනවල සල්පිල් විවෘත කොට වෙළදාම් කළ අයගෙන් මියුගුණ විහාරයේ පහන් පූජාව සඳහා තෙල් පද්දක් (නැළියක්) ගත යුතුය.
  •  ගෝනිවල බඩු පටවාගෙන ගමට පැමිණෙන ගොනුන් අල්වා නොගතයුතුය.
  • මෙම ගම සමීපයේ සිටින බදු අයකරන්නන් සහ ගණකයන්(Accountants) විසින් ගමට අවුල් වියවුල් නොකළ යුතුය. එම නිලධාරින්ගේ සේවකයන් විසින් රා, මස්, දී, ගිතෙල් ආදිය පැහැරගැනීම නොකළ යුතුය. 
  • ආගමික සංස්ථා සඳහා දෙන ලද ඉඩම් බද්දට ගෙන ඉන් ලැබෙන ආදායම භුක්ති විදිය හැකිය. එහෙත් ඒවා තමන් සතු කර ගැනීම නීතිවිරෝධී වේ.
  • නියම ප්‍රමාණයේ ලහස්සෙන් මිස වෙනත් ලාස් වලින් මිණුම් නොකළ යුතුය.
  • ගමට ගෙන එන ලද බඩු ගමදී වික්කොත් මිස නොවිකුණා ගෙන යන කල් හී අයබදු අය නොකළ යුතුය.
  • හොරෙන් විකුණූ බඩු වලට දෙගුණයක අය බදු ගනු විනා කෝලහාල නොකළ යුතුය.
  • මුද්‍රා නොතබන ලද තරාදි පඩිවලින් කිරා විකිණීම තහනම් වේ.
  • බදු අයවිය යුතු බඩු අනියම් ස්ථාන වල හිඳ විකිණීම තහනම් වේ.
  • බඩු නොවිකුණන තැන් වල ඒවායෙහි බර මැනීම තහනම් වේ. එසේම බඩු නොවිකුණන පුද්ගලයන් බඩු කිරීමද තහනම් වේ.
  • කළු බෝංචි කිරීමේදී ඉහිරී බිම වැටෙන කළු බෝංචි රඳවා නොගතයුතුය.
  • බුලත් සහ පුවක් විකිණීමේදී ඒවා මණ්ඩපයන්හී තබා විකිණිය යුතුය.
  • නිකාය දෙකට අයත් කැලෑවල දර නොකැපිය යුතුය. ඒවායේ සේවයේ නියුතු සේවකයන්ටද කරදර නොකළ යුතුය.
  • නිලචාරිකා වල යෙදෙන නිලධාරීන් විසින් මෙම ගමෙහි කාර්ය නියුක්ත අටදෙනාගේ ගෙවල් වල නවාතැන් නොගත යුතුය. රජු හෝ ආධිපාදයන් පැමිණි කල්හි පෙර සිරිත් පරිදි පඩුරු දිය යුතුය. 
  • ගම්ප්‍රධානියෙකු කඩ වීදීයට ආ විට පෙර සිරිත් පරිදි දෙනු ලබන පඩුරු 25 වෙනුවට පඩුරු 500 අය කරන බවට සැල කර සිටි බැවින් පෙර සිරිත් පරිදි පඩුරු 25 පමනක් ගත යුතු බවට ප්‍රකාශ කරනු ලැබේ.
  • මෙම ගමේ මිනී මරා පැන යාමට තැත් කලහොත් ඔහු අල්වා නවතා ගත යුතුය.
  • ද්‍රවිඩයන්ට මෙහි නවාතැන් නොදිය යුතුය.
  • ගම්වැසියන් අතර ආරවුලක් හටගත හොත් ඒවා රාජකීය නිලධාරීන්ගේ සේවය ලබාගෙන විසදා ගත යුතුය. රාජකීය නිලධාරීන්ට හසු නොවූ ගම්වැසියෙකු වී නම් ඔහු ලහස්ස සහ ගොල දඩු නොදී ගමින් පිටුවහල් කල යුතුය. බදු අයකරන ස්ථානයෙන් ඔහුට කෑමද නොදිය යුතුය. 
බදුල්ල සෙනරත් පරණවිතාන මහජන පුස්තකාල
මූලාශ්‍ර
  • සිංහල ශිලාලේඛන සංග්‍රහය, නන්දසේන මුදියන්සේ,2000
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume III, 1928-1933, 1989
  • Archaeological survey of Ceylon Inscriptions of Ceylon Vol V, Part II, G.S. Ranawella, 2004


1 comment:

  1. තවත් වටිනා ලිපියක් ස්තුතියි

    ReplyDelete