Monday, August 8, 2016

රට බඩු ගමට ගෙනා කොළඹ දුවපු යකඩ යකා


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී මෙරට මහා මාර්ග පද්ධතියේ අති විශාල සංවර්ධනයක් වූ බව කුහක කමින් තොර ඔහුගේ විරුද්ධවාදීන් වුවද පිළිගන්නා සත්‍යයකි. එහෙත් පාරවල් කන්නදැයි අසමින් වෙනසක් පතා රටට ජාතියට මෙන්ම තමන්ටද විනාශයක් ලගාකර දුන් රැල්ලට ගසන් ගිය එදා එසේ කිවූ 'ආප්ප විප්ලවවාදීගෙන්' සමහරක්ද අද පවසන්නේ මුන්ට බෝක්කුවක් වත් හදාගන්න බැරිබවය. ඒ අතර රාජපක්ෂ මහතා අවසන් කරතිබූ ඇතැම් ව්‍යාපෘති වල මුල් ගල් ගලවා තමුන්ගේ සංකල්ප ලෙස ගල් හිටුවා ඒවා විවෘත කිරීමට නම් ජඩපාලකයන්ට කිසිදු හිරිකිතයක් නැති බව මොරගහකන්ද, සීතාවක උද්භීද උද්‍යානය, බැද්දගාන ජෛව විවිධත්ව උද්‍යානය වැනි ව්‍යාපෘති කිහිපයකින්ම පසක් විය. සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් පසු මෙරට මහාමාර්ග පද්ධතියේ සිදුවූ විශාලම සංවර්ධනය එලෙස ඇනහිට ඇති මොහොතක මේ ලිපියේ අරමුණ මහාමාර්ග සහ දුම් රිය මාර්ග පද්ධතියේ ඉතිහාසයට වඩා එහි අනිටු  ඵලයක් ගැන විමසීම සඳහාය.

ඔවුන් ඒ සඳහා පෙලඹවූ අරමුණ කුමක් වුවද මෙරට මාර්ග හා දුම්රිය මාර්ග පද්ධතියේ ආරම්භය සහ ඉන් වැඩි ප්‍රමාණයක් ඉදි කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ටය. වර්ෂ 1820 දී එඩ්වඩ් බාර්න්ස් ආණ්ඩුකාරවරයාගේ සමයේදී ඉදිකිරීම් ආරම්භ වී 1821 දී පමණ වන විට ගමනාගමනය සඳහා විවෘත වූ කොළඹ - මහනුවර මාරගයෙන් ආරම්භ වී රට පුරා විශේෂයෙන් මුලදී කෝපි සහ පසුව තේ වගාව සිදුකෙරුනු ප්‍රදේශ ඉලක්ක කරගනිමින් පැතිරුණු මාර්ග පද්ධතිය 19 වන සියවස අවසාන වනවිට සැතපුම් 3589 දක්වා පැතිරී තිබුණි. 1948 දී නාමික නිදහස ලබන අවධිය වන විට මෙරට මුළු මහාමාර්ග සැතපුම් 30000 පමණ ඉදිකර තිබුණි.

1863 දී කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීම ආරම්භ කරන ලදුව එහි මුල් අදියර වූ කොළඹ  සිට අඹේපුස්ස දක්වා වූ කොටස මගී සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා 1865 ඔක්තෝබර් 2  වැනිදා විවෘත කරන ලදී. සැතපුම් 74 1\2 දික් වූ මහනුවර දක්වා වූ මුළු මාර්ගය විවෘත කරන ලද්දේ 1867 අගෝස්තු 1 වෙනි දිනය. එතැන් පටන් ක්‍රමයෙන් වැඩිදියුණු වූ මෙරට දුම් රිය මාර්ග පද්ධතිය 1928 වන විට මුළු දුර සැතපුම් 951 පමණ වූ නමුත් පාඩු ලබන බැවින් උඩුපුස්සැල්ලාව මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක් වසා දැමූ බැවින් 1948 වන විට මෙරට දුම් රිය සැතපුම් ප්‍රමාණය 898 දක්වා අඩු වී තිබුණි.

මෙසේ ඉදිවූ මහාමාර්ග සහ දුම් රිය මාර්ග පද්ධතිය නිසා මෙරට ජනජීවිතය ඉහල මට්ටමකට ඔසවා තැබුනද ඒ ආශ්‍රිතව සිදුවූ ඇතැම් පසුබෑම්ද නැතිවා නොවේ. මේ ලිපියේ අරමුණ එවන් එක් ප්‍රතිඵලයක් පිළිබඳව අවධානය යොමු කිරීමය. මහා බ්‍රිතාන්‍යයයේ යන්ත්‍රානුසාරයෙන් අඩු පිරිවැයකින් නිපදවන විවිධ භාණ්ඩ මාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතියේ දියුණුවත් සමග රට අභ්‍යන්තරයේ ගම් දනව් දක්වා පහසුවෙන් ලගාවීමත් සමග මෙරට දේශීය කර්මාන්ත සම්පූර්ණයෙන්ම වාගේ ඇන හිටියේය. මේ ඒ පිළිබඳව ආතර් ගෝර්ඩන් ආණ්ඩුකාරවරයා උදම් ඇනූ ආකාරයයි.

"අප විසින් පෙරදිගදි සිදු කල කටයුතු වලින් කුමක් සාර්ථක හෝ අසාර්ථක වුවද අප එක් දෙයක් අවම වශයෙන් ඉටුකරගෙන ඇත. එනම් දේශිය රුචිකත්වයන් සහ කලාවන් සම්පූර්ණයෙන්ම පාහේ සහ දේශිය කර්මාන්ත බොහෝ දුරකට නෂ්ඨ කරදැමීමය (Extinction of native taste and native art and to a great a very great extent, native manufacture). කළු සහ රතු කොටු සහිත ''Mac Gregor tartan" නම් ලොම් සළු ආනයනය දේශිය රෙදි සහ මස්ලින් නිෂ්පාදයට වඩා ලාභදායකය. දැන් සාමාන්‍ය ජනයා දේශිය කම්බායට වඩා මෙම දිග සළු වලින් සැරසීමට පටන් ගෙන ඇත.  "

දේශිය කර්මාන්ත විනාශ කර දමා පිට රට දේ අගය කරමින් දේශිය ධනය පිටරට පටවමින් එදා ඇරඹුන ඒ ගමන අද දක්වත් අප එලෙසින්ම යමින් සිටිමු. අවශ්‍ය දේ මෙන්ම අනවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක්ද, මෙරට නිපදවිය හැකි මෙන්ම දැනටත් බාධක මැද නිපදවමින් පවතින දේද අප විදේශයන්ගෙන් මෙරටට ආනයනය කරමු. ඇතැම් විට ගුණාත්මක බවින් අඩු නිෂ්පාදන පවා අප වැඩි මුදලකට පිටරටින්ම ගෙන්වා යැපෙන අවස්ථාද නැත්තේ නොවේ. මේ වසර අවසාන වීමට පෙර කවුරු විරුද්ධ වුවත් අත්සන් කරනවා යැයි ජඩපාලකයන් පවසන ඉන්දු - ලංකා භාණ්ඩ හා සේව ගිවිසුමද (ETCA) බලාත්මක වූ පසු මේ තත්වය තවත් දරුණු වනු ඇත. ඉන්දියාවෙන්ම ඇහිද ගත්  හින්දි තණුවකට ලක්ෂ්මි බායි ගායිකාව දශක කිහිපයකට පෙර ගැයූ මේ ගීය එබැවින් අද මෙන්ම හෙටටත් අදාල සර්වකාලීන ගීයක්ම වනු ඇත.

  • මේ ලිපිය සඳහා අවශ්‍ය තොරතුරු මහාචාර්ය ඉන්ද්‍රාණී මුණසිංහ මහත්මියගේ 2015 වසරේදී පළවූ Socio - Economics of Colonial Contribution to Railways in Sri Lanka (1845-1905) නම් පොතින්  සහ එතුමිය විසින් ගුණසේන සමාගම මගින් වර්ෂ 2012 දී පළකල ශ්‍රි ලාංකේය ඉතිහාසය - පස්වෙනි වෙළුමට සැපයූ "වතු ආර්ථිකය සහ ඒ හා සම්බන්ධ අනිකුත් ආර්ථික වර්ධනයන්" නම් වූ ලිපියෙන් උපුටා ගැණුනි.
  • කොළඹ - මහනුවර දුම්රිය මාර්ගයේ ඡායාරූප http://www.imagesofceylon.com/ වෙබ් අඩවියෙනි


1 comment:

  1. මහාචාර්ය ඉන්ද්‍රාණි මුණසිංහ විසින් නිෂ්පාදනය කරන ලද දැනුමෙන් බිඳක් පළකිරීම වෙනුවෙන් බ්ලොග් පාඨකයෙක් ලෙස කෘතඥතාව පළකරමි.

    ReplyDelete