Thursday, June 8, 2017

දියතිලකපුර හරහා මතුරට සිට සිරිවද්දන පුරවරට...

මග සලකුණ නම් වූ පැරණි පුස්කොල පොතක එන කවි අනුසාරයෙන් බදුල්ලේ සිට මහනුවර දක්වා වූ පැරණි මාර්ගයක් පිළිබඳව වන මෙම ලිපිය එම ලිපි පෙලේ සිව්වන සහ අවසාන ලිපියයි. පෙර ලිපි සඳහා
සැඩ නල එකත් මැඩගෙන මෙර සිඳු දෙරණ
රකින කග පලහ ගෙන ඉදිරියට පැන
නොමින විකුම් යුතු සෙබලුන් මුර කරන
ගමන යෙහෙකි සකි මතුරට කඩවතින

ඉහත කවියේ කියවෙන ලෙසට මග සලකුණ ලිවූ කාලයේ මතුරට සෙබලුන් මුර කරන කඩවතක් තිබී ඇත. පසු කාලයේ ඩේවි මතුරටින් යනවිට එහි තිබී ඇත්තේ ඉංග්‍රිසි යුද භටයන් සිටින බල කොටුවකි. ඉංග්‍රිසින් මෙම මාර්ගයේ උපාය මාර්ගික වැදගත්කමින් යුත් ස්ථාන වල බලකොටු ඉදි කිරීමට ප්‍රථමයෙන් සිංහල රජවරුද එම ස්ථාන වල ඇති වැදගත්කම වටහාගෙන සෙබලුන් රැඳවූ බව පෙනේ (සසදන්න දොඩම්වතුකපල්ල පසුකල විට හමුවන කඩවත සහ පසු කලක එහි පාමුල ඉදි කල මැක්ඩොනල්ඩ් කොටුව සමග)
මතුරට සිට පදියපැලැල්ලට හෙල ඔස්සේ ඇති මාර්ගය
ඩේවිගේ විස්තරයට අනුව මතුරට(Maturatta) කොටුව කුඩා කඳු ගැටයක් මත, මුහුදු මට්ටමේ සිට අඩි 2700 පමණ උසින්  සහ පහල නිම්නයේ සිට අඩි 1000 පමණ ඉහලින් පිහිටා ඇත. කොටුවේ සිට සැතපුම් 2 පමණ දුරින් කන්දක පැත්තකින් (Side of the Mountain) තිබූ වෙඩි ලුනු ගුහාවක් (Nitre Cave) පිළිබඳවද ඩේවි විස්තර කරයි.
මතුරට සිට පදියපැලැල්ලට හෙල ඔස්සේ  ඇති මාර්ගය
මතුරට සිට දියතිලක පුරට
මග සලකුණ විස්තරයට අනුව මතුරට කඩවතින් පසු බෙලිහුල් ඔය සිරි නරඹා පදියපැලැල්ලෙන් ළඳුන් බලා යා ගන්නා ලෙස පවසයි. ඉන්පසු හමුවන කොස්රුප්ප පසු කර ගිය පසු හමුවන මැටිවල අම්බලමේ ඉඳ, එතනින් නික්ම වලුගන්හින්න පසු කර රිකිල්ලගස්කඩින් ගොස් මාදන්වල විහාරය වැඳ මග සලකුණ මගියා පිවිසෙන්නේ දියතිලක පුරයටය.
පදියපැලැල්ලේ සිට රිකිල්ලගස්කඩට මාර්ගය වර්තමාන මාර්ගය ඔස්සේම මෙසේ යොමු වී තිබුණා විය හැක
මෙම ස්ථාන නාම වලින් බෙලිහුල් ඔය, පදියපැලැල්ල, රිකිල්ලගස්කඩමාදන්වල විහාරය (මාදන්වල  රජමහා විහාරය ලෙසින්) සහ දියතිලකපුර (වර්තමාන හඟුරන්කෙත) වැඩි අපහසුවක් නැතිව හඳුනාගත හැක. ඒ අනුව පැරණි මාර්ගය මෙම සිතියම් වල දැක්වෙන ආකාරයෙන් තිබුණා විය හැක.
ඩේවි ඒදණ්ඩක් (Singalese Bridge) මතින් බෙලිහුල් ඔයෙන් එතෙර වූ ස්ථානය විය හැකි ස්ථානයේ (පදියපැලැල්ලේ ) අද ඉදිකර ඇති පාලම - Google Street View ඇසුරින්
මතුරට සිට මහනුවරට (Kandy) සැතපුම් 26 ඇති බවද, එම කොටස එතරම් සිත්ගන්නා කොටසක් නොවන බවද, මාර්ගය අධික ලෙස කඳු සහිත දුෂ්කර මාර්ගයක් බවද, එහි සැලකිය යුතු කොටසක වගාවන් ඇති නමුදු වැඩි කොටසක් ඒ වන විටත් නොඋස් වනාන්තර වලින් යුක්තව තිබූ බවද ඩේවි පවසයි. එම මගෙහි දිය කඳුරු කිහිපයකින්ම එගොඩ විය යුතු නමුත් මතුරට නිම්නය හරහා පහලට බසින බෙලිහුල් ඔය (Bilhool Oya) සහ හඟුරන්කෙත (Hangranketty) අසලින් ගලන මහා ඔය (Maha Oya) ඒ අතරින් විශේෂයෙන් සඳහන් කල යුතු බව ඔහු පවසයි. ඒ එම ඔයවල් දෙකම සැලකිය යුතු මට්ටමේ ජල ප්‍රවාහයන්(Both are considerable torrents) වන බැවිනි.මෙයින් මුල් එක එනම් බෙලිහුල් ඔය කලාතුරකින් බැස යා හැකි මට්ටමේ (Fordable) එකක් වන බැවින් ඒ හරහා යා යුත්තේ දිය පහරට අඩි 20 ක් හෝ 30 පමණ උඩින් ඔයෙහි ඉවුරු දෙක හරහා ගසක කඳක් දමා සදා තිබූ සිංහල පාලමක් (Singalese Bridge) මතින් යන බියකරු ගමනකින් බව හෙතෙම සඳහන් කරයි. මහ ඔය ඔහු එහි යන අවස්ථාවට ආසන්න කාලයේ වට වැසි නිසා ඉදිමුණු බවක් තිබුනද එහි ගල් සහිත පත්ල හරහා ඩේවි එතරම් අපහසුවකින් තොරව ඇවිද යයි.

මාදන්වල විහාරය මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇති ස්ථානය
රිකිල්ලගස්කඩ සිට මාදන්වල විහාරය හරහා දියතිලකපුරට (හඟුරන්කෙත) මාර්ගය වර්තමාන මාර්ගය ඔස්සේම වූවා විය හැක.
දියතිලක පුර
මග සලකුණේ දියතිලක පුර වර්ණනාව යටතේ දකුණු දෙසින් පෙනෙන පුල්වන් දෙව් රද විමන (එනම් උපුල්වන් දේවාලය) නමැද ඉන්පසු මාර්ගයේ දකුණු දෙසින් පෙනෙන දියතලා කන්ද නරඹා උඩ වීදියට යාගන්නා ලෙසත්, දකුණේ ඇති කොත්මලේ වහල් කඩ දැක, වම් පස ඇති අන්කෙළිහින්නේ බෝ තුර බලා යාගන්නා ලෙසත් පවසයි. මෙම ස්ථාන අතරින් අද වන විට උපුල්වන් දෙව් විමන ලෙසින් හැඳින්වූ වර්තමාන විෂ්ණු දේවාලය පහසුවෙන් හඳුනාගත හැක. අප මෙම ලිපි පෙලේ මුල් ලිපියේ කතරගම දෙවියන් ලෙස වෙනස් වූ මහසෙන් දෙවියන් ගැන පැවසූ පරිද්දෙන්ම මග සලකුණ ලියවෙන කාලය වන විටද සිංහල බෞද්ධ දේව ඇදහිල්ලක් වූ උපුල්වන් දෙවියන් දකුණු ඉන්දියාවෙන් පැමිණි විෂ්ණු දෙවියන්ගෙන් අතික්‍රමනය වී නොතිබුණු බවට මග සලකුණ සාක්කි දරයි.
විෂ්ණු දේවාලය සහ පත්තිනි දේවාලය. මෙහි ඇති පොත්ගුල් විහාරය සෑදීම සඳහා පැරණි රජ මාලිගයේ නටබුන් යොදාගෙන ඇත.

දියතලා කන්ද සහ පල්ලේ මළුව වැව. පල්ලේ මළුව වැවට දකුණෙන් රජ මාළිගය පිහිටා තිබී ඇත. (සෙනරත් දිසානායක මහතා පල්ලේ මළුව වැව ලෙස ලකුණු කර ඇති ස්ථානයේ Google Maps අනුව ඇත්තේ ඉහල මළුව වැව ලෙස සඳහන් වන වැවකි )
හඟුරන්කෙත පැරණි නගරයේ නටබුන් වී තිබූ රජ මාලිගාව සහ ඒ සමග වූ විහාරය ගැන ඩේවි මෙසේ පවසයි. "1815 දී අප මෙම ප්‍රදේශ වලට ඇතුළු වනවිටද මාළිගාව සහ විහාරය හොඳ තත්වයේ තිබුණි. එහෙත් මේ වන විට නටබුන් වී ඇති  මාළිගය එය තිබූ තැන සොයාගත නොහැකි මට්ටමටම පත් වී ඇත [පල්ලේමළුව නම් වූ වැවට යාබදව පැරණි රජ මාළිගය පිහිටා තිබූ බව සෙනරත් දිසානායක මහතා සාධක සහිතව පෙන්වා දී තිබේ.] වසර දෙක තුනකින් විහාරයද පොළවටම සමතලා වනු ඇත. පත්තිනි දේවාලයද මේ වනවිට නටබුන් වී ඇති අතර මහා විෂ්ණු දේවාලය නටබුන් වෙමින් පවතී. එහි සියළුම කාමර හිස්වී තිබූ අතර, දොරවල් කඩා බිඳ දමා තිබුණි. ගොඩනැගිල්ලේ වැඩි වශයෙන් වහලය නොමැති තත්වයකි ඇත්තේ. මාළිගය විනාශ කිරිමේ වගකීම ස්වදේශිකයන් විසින්ම භාරගත යුතුය. එය කොල්ලකෑමෙන් පසු ඔවුන් එයට ගිනි තැබූහ. විහාරය නම් විනාශ කලේ අපේ හමුදාවය. කැරැල්ල කාලයේ ඔවුන් ඒ තුල විසූ අතර එක් වරකට වඩා මෙහි විශාල වශයෙන් එකතු වූ සතුරන් හට පහර දීම් සිදුවුනි." (එහෙත් අද වන විට පත්තිනි දේවාලය සහ විෂ්ණු දේවාලය නැවත පිලිසකර කර ප්‍රකට පූජනීය ස්ථාන ලෙසින් පවතී.)

දියතිලක පුර සිට බෝලාපේට
මග සලකුණට අනුව දියතිලක පුර සිට මාර්ගය යොමුවන්නේ රත්මැටිය හරහා ඩේවි ඉහත සඳහන් කරන මහ ඔයෙන් එතෙර වී (මග සලකුණේ එම ඔය සඳහන් වන්නේ මා ඔය ලෙසිනි.) මිලලේ, දෙගල්කඩ කඩවත, මීරුප්පේ, මාරස්සන වෙහෙර හරහා බෝලාපේ ට ලඟා වීමෙනි. හඟුරන්කෙත සිට මා ඔය දක්වා වර්තමානයේ මාර්ග 3ක් යොමුවී ඇත (ඉහත සිතියම බලන්න) මින් කුමන මාර්ගයක් පැරණි මාර්ගය වූවාද යන්න නිශ්චිතව පැවසිය නොහැක. පැරණි විහාරයක් වන අරත්තන විහාරය මේ මාර්ග අතුරින් B413 මාර්ගයේ යනවිට හමුවන බැවින් ඇතැම් විට පැරණි මාර්ගය එය විය හැක (එහෙත් එම විහාරය මග සලකුණේ විස්තර නොවන බැවින් ඉඳුරාම එසේ පැවසීම නිවරදි නොවිය හැක.) මා ඔයෙන් එගොඩ වූ තොටමුණ බොහෝ දුරට වර්තමාන පාළම පවතින ස්ථානය විය හැක
මා ඔය සහ වර්තමාන මාර්ගය ඔය හරහා යන පාළම - Google Street View ඇසුරින්

මා ඔයෙන් එගොඩ වූ පසු මගියාට බිම බටු සුරඟන වන් අඟනන් සිටින මිලලේ පසු කර දෙගල්කඩ කඩවත හරහා මීරුප්පේ සෙවනේ මදක් ගිමන් හැර මාරස්සන වෙහෙර තොසින් වැඳ බෝලාපේ නුදුරින් යා ගන්නා ලෙසට මග සලකුණ කවියා පවසයි. මෙයින් මාරස්සන නමින් හැඳින්වෙන මං සන්දියක් අද දක්වාම පවතින මුත් මෙට්‍රික් සිතියම් වල මී රුප්පේ ලෙසින් ලකුණු කර ඇති ස්ථානය ඇත්තේ එම මං සන්දියට මදක් උතුරිනි. එම නිසා මාරස්සන වෙහෙර එයටත් උතුරු දෙසින් තිබුණා විය හැක. ඒ අනුව පැරණි මාර්ගය මේ ආකාරයෙන් තිබූ ලෙසට පෙන්වා දිය හැක (පහත සිතියම බලන්න). මාරස්සන දක්වා වූ වෙනත් ස්ථාන හඳුනාගත නොහැකි මුත් දෙගල්කඩ කඩවත පහත සිතියමේ දක්වා ඇති කඳු දෙක මැඳින් මාර්ගය වැටී ඇති ස්ථානය විය හැක.
මග සලකුණ විස්තරයේ දැක්වෙන මීරුප්ප වර්තමාන මාරස්සන මංසන්දියට දකුණෙන් වූ ස්ථානයක තිබූ වෙනත් මීරුප්පයක් වී මාර්ගය ඉහත සිතියමේ දෙගල්කඩ කඩවත ලකුණු කර ඇති ස්ථානයේ සිට පහලට යොමු වී ඇති මාර්ගය හරහා වර්තමාන මාරස්සන මං සන්දිය හරහා තිබුණා වීමටද ඉඩ ඇත.

මාරස්සනදී ඩේවි රාත්‍රිය ගත කිරීමට නැවතේ. එම ස්ථානය මහනුවර සිට සැතපුම් 10 පමණ දුර්න් වූ බව ඔහු සඳහන් කරයි. එහි තිබූ කදිම විහාරය සුදු පැහැති බිත්තියකින් වටවී තිබූ බවත් එය විශිෂ්ට දෙයක් ලෙසත් ඩේවි සඳහන් කරයි (Its neat vihare, enclosed by a white wall, is a conspicuous object). ඒ වන විට එහි බෙන්ගාලි සිපයි ඒකකයක් (Detachment of Bengal Sepoys) නැවතී සිටි බවත් ඔවුන් එහි තිබූ බුදු පිළිමය (Figure of the Boodhoo) ඔවුන්ගේ මහා දෙවියා (Maha Deo) ලෙස සලකා එයට වැඳුම් පිඳුම් කල බවත් ඩේවි වැඩිදුරටත් සඳහන් කරයි. මේ මාරස්සන වෙහෙර අද දක්වාම පවතින්නේද යන්න ගැන නිශ්චිතව කීමට අපට  සාධක කිසිවක් හමු නොවිනි.

බෝලාපේ සිට සිරිවද්දනපුරය
මාරස්සන වෙහෙරින් පසු බෝලාපේ නුදුරෙන් ගොස් කිවුල් ළිඳේ පාළම නැඟ තළාවතු ඔයෙන් යාගන්නා ලෙසත්, ඉන්පසු රදා ගැහූ පාණ පසු කර අන්පිටියේ බණ මඩුවේ නොරදා, සිහිල් පැන් කඳුර දැක, මී ගොන් අරඹ වෙලට ගොස් වමෙහි පෙනෙන පල්ලේවාහල අටුව දැක, අංගම් පොර අරින සෙබලුන් සිටින අංගම් මැඩිල්ලෙන් ගොස්, පරගහ මුල මළුව බලා දළදාගේ පිහිල්ලට බැස පැන් නාන ලෙසත් මග සලකුණ කවියා මගියාට පවසයි.
මාරස්සන සිට තළාතු ඔය දක්වා ගමන් මග
වර්තමාන වික්ටොරියා ජලාශය අද්දර බෝලාපේ නම් ස්ථානයක් මෙට්‍රික් සිතියම් වල ලකුණු කර ඇත. මාරස්සන සිට එම ස්ථානය හරහා තළාතු ඔය දක්වා යන විට කිවුල්ලිඳ නම් වූ බස් නවත්වන ස්ථානයක් Google Map වල දැකිය හැක. එම ස්ථානයට පෙර වර්තමානයේ වික්ටෝරියා ජලාශයට වැටෙන (ජලාශය සෑදීමට පෙර මහවැලි ගඟට එකතු වූ) කුඩා දිය පාරක් දැකිය හැකි අතර, ඉහත කිවුල් ළිඳේ පාළම මෙම ස්ථානයේ තිබුනා විය හැක. කෙසේ නමුත් මෙට්‍රික් සිතියම් වල කිවුල් ළිඳ ලකුණු කර ඇත්තේ තවදුරටත් තළාතු ඔය දෙසට වන අතර එම ස්ථානයේද කුඩා දිය කඳුරක් හරහා වර්තමාන පාර වැටී ඇත. එබැවින් කිවුල් ළිඳේ පාළම එම දිය කඳුර හරහා තිබූවක් වූවාද විය හැක.  තළාතු ඔයෙන් එතෙර වූ පසු හමුවන අන්පිටිය අම්පිටිය ලෙසින් අද දක්වාම පැවත එන ප්‍රදේශයයි.

තළාතුඔය සිට මහනුවර දක්වා අම්පිටිය හරහා යන මාර්ගය
සෙන්කඩගලපුර තුල දළදා ගේ පිහිල්ලෙන් පැන් නාගත් පසු, ගල් පඩි පෙළින් මහ මළුවට නැගගන්නා ලෙසත්, ඉන්පසු නාත සුර විමන, වම් පසින් ඇති යකරුහල ( යකඩ කරුවන්ගේ ශාලාව හෙවත් කම්මලක්) දකුණෙන් පෙනෙන මහවාසල් දොර ආදිය දැකගන්නා ලෙසත් සිරිවද්දනපුරය පිළිබඳ නගර වර්ණනාවකින් පසු දළදා මාළිගයට පිවිසෙන ලෙසත් පවසා මග සලකුණ සිය ගමන් විස්තරය නිම කරයි. මේ අතුරින් නාථ දේවාලය (නාත සුර විමන), මහා වාසල සහ දළදා මාළිගය පිහිටි ස්ථාන පහසුවෙන් හඳුනාගත හැක.
මූලාශ්‍ර
  • මග සලකුණ (බදුල්ලේ සිට මහනුවර දක්වා මාර්ග විස්තරයකි) - දේව ධර්මාචාර්ය අතිගරු එඩ්මන්ඩ් පීරිස්, 2009
  • The Maga Salakuna, Rev Dr. Edmund Pieris, 1947  Journal of the Royal Asiatic Society, Ceylon Branch, Volume XXXVII, No 104.
  • An Account of the Interior of Ceylon and of its Inhabitants with Travels in that Island, John Davy, 1821
  • Kandy Past and Present, Nihal Karunaratna, 1999
  • Kandy, Anuradha Seneviratna,1983
  • Heritage of Kandurata, Dr. H.A.P. Abeyawardana, 2004
  • දියතිලක නුවර, පැරණි ස්මාරක සහ ස්ථාන, සෙනරත් බණ්ඩාර දිසානායක, 1997

5 comments:

  1. ඔබේ වටිනා ලිපි කීපයක්ම මග හැරී ගිහින් බව දැන ගත්තේ මේ දැන් අගනා තොරතුරු සමුදායක් විශ්වාසනීයත්වයෙන් ඉහල ඓතිහාසික විස්තරයට තුති කුසුම්

    ReplyDelete
  2. දැනටත් හඟුරන්කෙත රිකිල්ලගස්කඩ වලපනේ පාර හරි ලස්සන ප්‍රදේශ හරහා වැටී තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ප්‍රා, යමුද හයික් එකක් මේ පාර දිගේ?

      Delete
    2. ඉස්සෙල්ලා ඊ මේල් එකක් එවන්නකො බලන්න

      Delete