Sunday, July 8, 2018

දෙවියන් සතු පටීධාතුව පැහැරගත් මහසෙන් රජු ජේතවන දාගැබ ඉදි කල සැටි

"මහසෙන් රජ....දෙනානක මහසෑය බඳවා ධාතු නැත්තෙන් ආකාශය බැලීය. ඔහු වෙහෙස වූ නිසා එකෙණෙහි දෙවියෝ අප බුදුන් බැඳි පටීධාතුව ගෙන එල්ලුවාහ. පටීධාතුව ගන්ඩ රජ අත දික් කරපු විට දෙවියෝ මදක් ඔසවාපුවාහ. රජ නැවත ඊට වඩා අත දික් කළ විට නැවතත් දෙවියෝ අත ඔසවාපුවාහ. එසේ රජ අත දික් කළ සේ දෙවියෝ අත උඩ ගත්තාහ. එරජ කිපී කගය [කඩුව] අතට ගෙන අසූරියනක් අහසට පැන නැගී පටී දාතුව පළුවක් කපා ගත. අඩපළුව දෙවියෝ දෙව්ලොවට ගෙන ගියාහ. එරජ කපා ගත් පටී ධාතුව ගෙන දාගොබ පිහිටුවා එක්සියසතළිස් රියනක් දාගොබ බඳවා මහා පූජා කර සූවිසි අවුරුද්දක් රාජ්ජය කර දෙවිලොව ගියාහ."

මහසෙන් රජු (ක්‍රි.ව. 276-303) ජේතවන දාගැබ බඳවා එහි තැන්පත් කිරීමට ධාතු නොතිබූ හෙයින් දෙවියන්ගෙන් බුදුන් වහන්සේගේ පටී ධාතුව ලබාගත් ආකාරය රාජාවලි කතුවරයා නාට්‍යාකාරයෙන් විස්තර කරන්නේ එලෙසිනි. එම විස්තරයට අනුව දෙවියෝ පටී ධාතුව අහසේ සිට පහලට එල්වාගෙන සිටියේ රජුට අත දිගු කර ගත හැකි දුරකිනි. එහෙත් රජු එය ගැනීමට තැත් කිරීමේදි දෙවියන් රජුව විහිළුවකට ගනිමින් එය තව ටිකක් උඩට ගෙන ඇත. මෙයින් කිපුණු රජු උඩ පැන කඩුවෙන් එහි කොටසක් කපාගෙන ජේතවන දාගැබේ තැන්පත් කර ඇත.
උතුරු ආයකය හෙවත් වාහල්කඩ
පසු කාලීන වංශ කතාවක් වන රාජාවලිය එසේ පවසතත් මහාවංශයේ සඳහන් වන්නේ "දක්ඛිණ විහාරවාසී, කුහක වූ කපටි සිත් ඇති, පාප මිත්‍ර වූ, අසංවර වූ තිස්ස තෙරුන් [නිකාය සංග්‍රහයට අනුව කොහොන්තිස්ස තෙරණුවන්] කෙරෙහි පැහැදුණු රජු මහාවිහාරසීමාවෙහි ජෝති නම් උයනෙහි සංඝයා විසින් වළකනු ලබද්දීම ජේතවන විහාරය.." කරවූ බව [ජේතවන විහාරය විනා දාගැබ නොවේ.] සහ මහසෙන් රජුට පසුව රජ වූ ඔහු පුත් සිරිමේඝවණ්ණ  (ක්‍රි.ව 303-331)  "පියා විසින් ජෝතිවනයෙහි කරවූ විහාරයෙහි නොනිමි කර්මාන්ත සියල්ල" නිම කරවූ බවත්ය.

මේ සම්බන්ධ විස්තරාත්මකව කරුණු හමුවන්නේ මහාවංශයට ලියන ලද ටීකාව ලෙස සැලකෙන වංසත්ථප්පකාසිනී යෙනි. එහි "සාගලික භික්ෂුන්ගේ ජේතවන විහාරයේ" උපත දක්වමින් මහසෙන් රජු විසින් මහාවිහාර සීමාව ඇතුළත එක් පියසෙක් හී ජේතවන විහාරය කරවූ බව පවසයි. එනම් "ආවාසය පමණක් කරවී" යන අර්ථය බව ටීකාව වැඩිදුරටත් විස්තර කරයි. ඉන්පසු රජු මහාවිහාරවාසී භික්ෂූන් හමුවී එහි සියළු භික්ෂූන් කැඳවා පවසා සිටින්නේ මහාවිහාරයට අයත් සීමාව ඇතුළත ඔහු ජෝතිවන නම් උයන්හී ජේතවන විහාරය කරවූ බවත්, එහි සීමාවන් බඳවනු සඳහා, මහාවිහාරවාසී භික්ෂූන් ඔවුන් විසින්ම ඔවුන්ගේ සීමා උගුළුවන ලෙසත්ය. ඉක්බිති මහාවිහාර භික්ෂූන් රජුට එම විහාරයේ ඉතිහාසය සහ එහි ඇති වැදගත්කම පහදා දී එම අදහස ප්‍රතික්ෂේප කර ඔවුන් හෝ රජු එහි සීමා උගුළු වීම සුදුසු නොවන බව පවසා සිටිති. ඉන්පසු රජු එම අදහස අත්හල බව පවසා පිටව යයි. එහෙත් "අන්‍යනිකායික භික්ෂුන් විසින් මෙහෙයවන රජු" නැවත නැවතත් එම අදහස ඉදිරිපත් කරතැයි බියවි ඇතැම් මහාවිහාරික භික්ෂූන් මහාවිහාරයෙන් බැහැරව අන් තැනක යන අතර ඇතැම් සිල්වත් භික්ෂූන් බැහැර නොගොස් විහාර සීමාව ඇතූලතම තැනින් තැන වසන් වී සැඟවුන බව වංසත්ථප්පකාසිනිය විස්තර කරයි. "අන්‍ය නිකායික භික්ෂූන්" නො උගුළුවන ලද සීමාව උගුළුවන ලදැයි සිතූ බවත් නමුත් එය අසත්‍ය බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.
දකුණු දොරටුව
මහාවංශයේ දෙවැනි කොටස තුල (චූලවංශය ලෙසද හැඳින්වේ.) සිරිමේඝවණ්ණ රජුගේ සමය පිළිබඳ විස්තරයේදී මහාවිහාර භික්ෂූන් එම රජුට පවසා සිටින්නේ ඔහුගේ පියා සීමාව උගුළුවන්නට උත්සහ කල මුත් භික්ෂූන් සත් දෙනෙකු මහාවිහාර සීමාව තුල බිම් ගෙයක් තුල සැඟව සිටි හෙයින් එය කිරීමට ඔහුට නොහැකි වූ බවය. ජේතවන විහාරය පිරිනැමූ තිස්ස තෙරණුවන් උදෙසා සංඝයා චෝදනා ගොණු කර විනිශ්චයකාරක මහා අමාත්‍යයෙක් ලවා ඒවා විනිශ්චය කර රජු අකමැති වුවත් එම තෙරුන් උපැවිදි කරවූ බව මහාවංශයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙසේ හෙයින් මහාවංශය ආදී පැරණි වංශකතාවලට අනුව මහසෙන් රජු ජේතවන දාගැබ (විහාරය නොවේ) ඉදි කල බවට සාධක හමු නොවේ. වංසත්ථප්පාකාසිනිය පවසන ලෙසට නම්  ඔහු තනවා ඇත්තේ එහි ආවාසය පමණි. මහා බලවත් කරල් සොරෙක් ලෙස මහාවංශය හඳුන්වන මිත්තසේන රජු  (ක්‍රි.ව 432-433) මහා ස්තූප තුනෙහි හත්ථිපාකාරද [ඇත් පවුර], තොරණද කරවූ බවට මහාවංශයෙහි එන සඳහන අනුව රුවන්වැලිසෑය, අභයගිරිය සහ ජේතවනය මහා ස්තූප තුන ලෙස සැලකෙන බැවින්, ඒ වන විට ජේතවන ස්තූපය ඉදිවී තිබුණ බව පෙණේ. නැවත ධාතුසේන රජු  (ක්‍රි.ව 459-477) මහා ස්තූප තුනේ දිරාගිය ඡත්‍ර කරවූ බව සඳහන් වේ. එසේම ඔහු ඒවායෙහි සුධාකර්මද [හුණු ආලේපණය], ස්වර්ණමය ඡත්‍රයන්ද , වජ්‍රචුම්බටද [අකුණු සන්නායක] කරවීය. මහානාග රජුද මහාස්තූප තුනෙහි සුධාකර්මද, චුම්බටද කරවා, හත්ථිවේදය [ඇත් පවුර] සහ චිත්‍රකර්ම කරවීය. පළමුවන අග්ගබෝධි රජුද  (ක්‍රි.ව 575-608) තුන් නිකායෙහි ස්තූප වල ඡත්‍ර රනින් කරවා,  හත්, අට, නව වාරයක් වටිනා මැණික් වලින්ද පිදුවේය. තුන්වන මොග්ගල්ලාන රජුද  (ක්‍රි.ව 618-623) අලුත් වස්ත්‍රයෙන් ස්තූප තුනම වැස්සවූහ.
ආයක හෙවත් වාහල්කඩ කැටයම්
අග්ගබෝධි රජුගේ ක්‍රියාවන් ගැන එන සඳහනෙහි තුන් නිකායෙහි ස්තුප ලෙස හැඳින්වෙන බැවින් පැහැදිලිවම එමගින් සාගලික නිකායට අයත් ජේතවන ස්තූපය ගැනද සඳහන් වන බව නිගමනය කල හැක. එයට පෙර අවස්ථා වලද තුන් ස්තූපයන් ගැන පවසන්නේ එම නිකායන් තුනට අයත් ස්තූප තුන විය හැක.

මේ කිසිදු අවස්ථාවක ජේතවන ස්තූපය පිළිබඳව වෙනමම සඳහන් නොවේ. එහෙත් තවත් අවස්ථා කිහිපයකදීම ජේතවන විහාරයට අයත් පිරිවෙන් සහ ප්‍රාසාද ඉදිකිරීම් සහ අලුත්වැඩියා කිරීම් ගැන විස්තර මහාවංශයේ හමුවේ. මහාවංශයේ පළමුවරට ජේතවන ස්තූපය ලෙසින් එන සඳහනක් හමුවන්නේ පළමුවන පරාක්‍රමබාහු රජු  (ක්‍රි.ව 1153 - 1186) දමිළයන් විසින් විනාශ කිරීමෙන් අනතුරුව එක්සිය සැටරියන් උස ජේතවන ථූපය අනෙකුත් අනුරාධපුරයේ ස්තූපයන්ද සමගින් මැනවින් බන්දා හුණු පිරියම් කරවා, සෑබිම පිරිසිදු කරවා අලුත්වැඩියා කල බව පැවසීමේදිය.
ආයක හෙවත් වාහල්කඩ කැටයම්
ඉහත රාජාවලියෙහි දැක්වෙන ජේතවන ස්තූපයේ තැන්පත් කිරීම උදෙසා දෙවියන්ගෙන් බුදුන් වහන්සේගේ පටී ධාතුව ලබාගත් ආකාරය පිළිබඳව මුල්ම සඳහන හමුවන්නේ දඹදෙනි යුගයේ මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන් විචින් රචනා කල පූජාවලියේය. එහිම මහසෙන් රජු දෙනානක නම් මහසෑය බැඳවූ බව මුල් වරට ඓතිහාසික ලේඛනයක එන සඳහන හමුවේ.

කෝට්ටේ යුගයේ රචිත පැරකුම්බා සිරිත පටී ධාතුව දෙවියන්ගෙන් ලබාගැනීමේ කතාව තවත් වැඩිදියුණු කරමින් රජු එක් අතකින් රහමෙර ගෙන පටී ධාතුව නොලැබුනහොත් එය බොන බව පවසමින් දෙවියන් හට තර්ජනය කල විට දෙවියන් පෙනී සිට පටී ධාතුව පෙර ලෙසින්ම රජු වෙහෙසවා ලබා දුන් බව පවසයි.

තෙදින් මහසෙන් නැමැති මහසෙන් රජෙක් දෙනා වෙහෙර'නුරපුර
රියන් සතලිස් තුරා සියයක් කරවමින් මහසැයක් මනහර
බුදුන් ගුණ සලකා පටීදා සුරපුරෙන් බසිවයි ඉටන් කැර
ඉදින් නොවැඩිය රහ බොමැයි රහවිත අතින් ගෙනැ සිටිත එමෙවර

වඩා ගෙනැ උන් සුරිඳු නුබගබ ලඹ පටීදා ඒ නරනිඳු දැක
දමා රාවිත සුවඳ සිලිලෙන් දෙවැ තමා සුබ ලකුණු අත් දෙක
එදා අල්වත අසූරියනක් පමණ දුරුකැරැ නැගී සහසක
යොදා උකුළේ තුබූ සිරියැදැ ගෙනැ කැපී පැහැ ඉන් අඩක් එක
වැලි මළුවේ සිට සලපතල මළුවට පිවිසෙන පියගැට පෙල
පස්වන මහින්ද රජුගේ  (ක්‍රි.ව. 982-1029) කාලයේදී මෙරට ආක්‍රමණය කළ සොළී හමුදාව පැහැර ගත් රාජ කකුධ භාණ්ඩ අතර "කැපූ පටී ධාතුවද" වූ බව මහාවංශයේ එන සඳහන මෙහිදී සැලකිල්ලට ගතහොත් ඉහත ජනප්‍රවාද ගත තොරතුරු හෝ දඹදෙනි යුගයේදී පූජාවලිය ලියූ හිමියන්ට හමුවූ වෙනත් මුලාශ්‍රයක් අශ්‍රයෙන් ඒ හිමියන් පළමු වරට ඉදිරිපත් කරන පටී ධාතුව ලබාගැනීම පිළිබඳව වූ කතාවේ යම් සත්‍යතාවයක් තිබිය හැකි බව පෙනේ. ඒ වන විට මහාවිහාරයට අයත් විහාර වල පමණක් තිබූ බුදුන් වහන්සේගේ ධාතුන් රජුට ලබාගැනීමට නොහැකි වූ කල ඔහු රාජ කකුධ භාණ්ඩ අතර රජුට අයත්ව තිබූ බුදුන් වහන්සේගේ පටී ධාතුවෙන් කොටසක් කපා ජේතවන දාගැබේ තැන්පත් කල බව සිතිය හැක. රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබූ එහි අනික් කොටස ඒ අනුව මහාවංශයේ සඳහන් පරිදි අනුරාධපුර යුගය අවසන් කල සොළී ආක්‍රමනයේදී සතුරන් අතට පත්විය. එහෙත් එම පටී ධාතුව කිනම් කලක මෙරටට ලැබිණිද යන්න පිළිබඳව කිසිදු මූලාශ්‍රයක තොරතුරු හමු නොවේ.

මහාවංශය කරුණු දක්වන ලෙසට මහසෙන් රජු ජේතවන ස්තූපය ඉදි නොකල බවට අප පිළිගන්නේ නම් (මහසෙන් රජු සමග මහාවිහාරික භික්ෂූන්ගේ අමනාපයක් තිබූ හෙයින් ඔහු කල ඇතැම් ඉදිකිරීම වල ගෞරවය ඔහුට නොදී සිටීමට මහාවිහාරවාසී මහාවංශ කතු හිමියන් ක්‍රියා කලා විය හැකිය යන තර්කයද මෙහිදි බැහැර කල නොහැක.) මහා ස්තූප තුනක් පිළිබඳව මුල්ම සඳහන මිත්තසේන රජුගේ කාලයේදී හමුවන හෙයින් මහසෙන් රජුගේ පටන් මිත්තසේන රජු රාජ්‍යත්වයට පත්වීම දක්වා වසර 129 ක පමණ කාලය අතර තුර කිසියම් රජ කෙනෙකු හෝ කිහිප දෙනෙකුගේ රාජ්‍ය පාලන කාලයන් තුල ජේතවන දාගැබ තැනවූ බව අනුමාණ කල හැක. එසේ නොමැති නම් මහාවිහාර සීමාව තුල ජේතවන විහාරය මහසෙන් රජු ඉදිකරන අවධිය වන විටත් (ජේතවන විහාරය එම දාගැබ නොවේ) පැරණි දාගැබක් එම සීමාව තුල තිබුණා වුවද විය හැක. ජේතවන දාගැබ මිහිදු හිමියන් ආදාහනය කල ස්ථානයේ මහසෙන් රජු ඉදි කල බවට ආචාර්ය හේම රත්නායක මහතා ඉදිරිපත් කරන මතය මෙන්ම එම ස්තූපය මිහිඳු මහ හිමියන් ආදාහනය කල ස්ථානයේ ඒ හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරමින් උත්තිය රජතුමන්  ඉදි කල ස්තූපය බවට මහාචාර්ය චන්ද්‍ර වික්‍රමගමගේ මහතා ඉදිරිපත් කරන මතයද මෙහිදි සැලකිල්ලට ලක් කල යුතුය. ඒ මහතා සඳහන් කරන පරිදි පසු කාලීනව එය විවිධ රජවරුන්ගේ අවධීන්හී විශාලනය වන්නටද ඇත. එම මතයන් පිළිබඳව වැඩිදුර තොරතුරු මතු ලිපියකින් විමසා බලමු.
බටහිර දොරටුව
මූලාශ්‍ර
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • වංසථප්පකාසිනිය, මහාවංශ ටීකාව, අකුරටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක සිංහල අනුවාදය, 2001
  • නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය , 1997
  • Heritage of Rajarata, Chandra Wikramagamage, 2004
  • අපේ සංස්කෘතික උරුමය, ද්විතීය කාණ්ඩය, 1998
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • පැරකුම්බා සිරිත, පොදු සංස්කරණය - මහාචාර්ය රෝහිණි පරනවිතාන, 1997
  • ජේතවන ස්තූපයේ වාස්තුවිද්‍යා මූලිකාංග සහ ඉදිකිරීමේ තාක්ෂණික ක්‍රම, ආචාර්ය දනන්ජය ගමලත්, 2016
  • Architectural Remains, Anuradhapura, Sri Lanka, James G. Smither, Revised and Edited by Chandra Wikramagamage, 1993
  • පුරාණ අනුරාධපුරය, අනුරාධ සෙනෙවිරත්න, 1995
  • අනුරාධපුර යුගය, අමරදාස ලියනගමගේ සහ රණවීර ගුණවර්ධන,1965

4 comments:

  1. ඔබේ අනගි ලිපියට ස්තූතියි. ඊලග කොටස පලකරන තුරු බලා ඉන්නවා. මහසෙන් රජු ජේතවන දාගැබ නොසෑදුවේ නම් ඉන් අනතුරුව පැමිනි සිරි මෙඝවන්න,උපතිස්ස, බුද්ධදාස, මහානාම වැනි දීර්ඝ කාලයක් රජකල රජ කෙනෙක් එය සෑදුවා විය හැකියි. එහෙත් මහාවංශය එවැන්නක් කියන්නේ නෑ නේද? අනික් අතට පෙර තිබූ දාගැබක් විශේෂයෙන් ජේතවන දාගැබ වැනි විශාල දා ගැබක් සාගලික නිකායිකයන්ට පවරා දුන්නා නම් ඒ ගැන මහාවංශය දෝශාරෝපනයක් නොකරන්නේ ඇයි? පටී දාතුව රාජ කකුද භාන්ඩ අතරට ලැබීම ගැන වාර්තා වන්නේද?

    ReplyDelete
    Replies
    1. නැහැ එවන් කිසිවෙකු ජේතවන දාගැබ සෑදූ බවට මහාවංශයේ සඳහන් වන්නේ නැහැ. පෙර තිබූ දාගැබ ඇතැම් විට කුඩා එකක් වන්නට පුළුවන්. එහෙත් කුඩා දාගැබක් වුවත් ඔබගේ තර්කය මාත් පිළිගන්නවා මක් නිසාද යත් එවන් දාගැබක් තිබුනා නම් එය මිහිඳු හිමියන් ආදාහනය කල ස්ථානයේ ඉදි කල දාගැබ. එවැන්නක් ප්‍රතිවිරුද්ධ නිකායකට පවරා දීමට මහාවිහාරිකයන් ඉඩ දෙයි කියලා සිතන්න බැහැ. අනෙක් අතට එවැන්නක් සිදු වුනා නම් එය මහාවංශයේ සටහන් නොකර සිටින්න හේතුවක් නැහැ. මහාවිහාරයේ ගොඩනැගිලි මහසෙන් රජු විසින් සංඝතිස්ස භික්ෂුව සමග එක්වී විනාශ කර ඒවායේ කොටස් අභයගිරිය විහාරයේ ගොඩනැගිලි ඉදි කිරීමට ගෙන ගිය බව පැවසෙනවා. නව වසරක් මහාවිහාරිකයන් එය අතහැර දමා රුහුණට සහ මලය රටට පලාගිය බවද පැවසෙනවා. මේ සිදුවීම් වන්නේ ජේතවනය ඉදි කිරීමට පෙර. එවැනි දේ මහාවංශයේ සටහන් කලා නම් ස්තූපයක් විශේෂයෙන්ම මිහිඳු හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කල ස්තූපයක් පවරා ගැනීම සඟවන්නට හේතුවක් තිබෙන්නට බැහැ.

      පටි ධාතුව ලැබුන ආකාරයක් ගැන සඳහන් වන්නේ නැHඇ.

      Delete
  2. ස්තූතියි ඔබේ පිලිතුරට. මිහිදු හිමියන්ගේ දාතු නිදන් කල දාගැබක් නොතියෙන්න හේතුවක් නෑ. නමුත් කෝ ඒ දාගැබ? එවැන්නක් මිහින්තලේ තිබෙනවාද? ඔබ ඒ ගැන කියවෙන පර්‍යෙශන පිලිබඳ දන්නේද?

    ReplyDelete
    Replies
    1. රජගල පිළිබඳව පෙර ලිපියක සාධක සහිතව එවැනි ස්තූපයක් ඇති බව පෙන්වා දුන්නා (http://trisinhala.blogspot.com/2016/08/1.html). මිහින්තලෙත් එක් ස්තූපයක මිහිදු හිමියන්ගේ භෂ්මාවශේෂ තිබෙනවා.

      Delete