Sunday, April 1, 2018

දුටුගැමුණුගේ ආදාහන මලුවේ ඉදි කල එළාරගේ සොහොන - දක්ඛිණ ස්තූපය

අනුරාධපුර පැරණි නගරයේ ශ්‍රි මහා බෝධියේ සිට ඉසුරුමුණිය ලෙසින් හැඳින්වෙන විහාරයට යන මාර්ගයේ දිනපතා මේ මග ගමන් කරන දහස් ගනන් බැතිමතුන්ගේ සහ සංචාරකයන්ගේ අවධානයට එතරම් බඳුන් නොවන ස්තූපයක් දැකිය හැක. මෙයට වසර ගණනාවකට පෙර නම් එය ප්‍රදේශවාසීන් අතර ප්‍රචලිතව තිබුනේ එළාර සොහොන ලෙසය. එහෙත් අද වන විට දක්ඛිණ ස්තූපය ලෙසින් එහි නාමකරණය වෙනස් වී ඇත.

1896 වසර සඳහා වූ පුරාවිද්‍යා ගවේෂණ පිළිබඳ වාර්ෂික වාර්තාවේදි H.C.P. බෙල් මහතා පලමු වරට එවකට වෘක්ෂයන්ගෙන් ආවරණය වූ කුඩා කඳු ගැටයක් ලෙසින් දිස්වූ මෙම ස්ථානය පිළිබඳව කෙටි විස්තරයක් ඉදිරිපත් කරයි. මෙය එවකටද එළාල සොහොන ලෙසින් පොදු ජනතාව හඳුනාගෙන තිබූ මුත් කනිට්ඨ තිස්ස රජු (ක්‍රි.ව. 167-186) විසින් දක්ඛිණාරාමය තුළ ඉදි කරන ලද ස්තූපය මෙය විය හැකි බවට බෙල් අනුමාණ කරන ලදී. බෙල් මහතා ස්තූපයේ නැගෙනහිර සහ උතුරු පාර්ශවයෙහි ඒ වන විටද අගල් දෙකක් කපමින් එහි කැනීමක් ආරම්භ කර තිබුණි. නැවත 1897, 1898 , 1899 සහ 1900 වසර වල පාලන වාර්තා වලද ඔහු එහි ප්‍රගතිය පිළිබඳව විස්තර ඉදිරිපත් කර ඇත. වියදම් අධික බව හේතුවෙන් 1900 වසරේදී එහි කැනීම් නවතින අතර නැවත වර්ෂ 1946 දී  මෙම ස්ථානය සම්බන්ධයෙන් අවධානය යොමු කරවන්නේ මෙරට ප්‍රථම ස්වදේශීය පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ සෙනරත් පරනවිතාන මහතාය. බෙල් විසින් කනිනු ලැබූ අගල් ඒ වන විට වන ප්‍රවාහයට හසුවී තිබූ අතර ඒවා පරණවිතාන මහතා සඳහන් කරන ආකාරයට මැයි සහ ජූනි මාස වලදි අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ පොදු වැසිකිලි බවට පත්ව තිබී ඇත. එපමණක් නොව කඳු වැටිය මුදුනත් ඒ කටයුතු උදෙසාම වෙන්වී තිබී ඇත.
උතුරු ආයකය 
1946 වසරේ පරණවිතාන මහතා ආරම්භ කල කැනීම් මුල් කාලයේ ප්‍රධාන වශයෙන් අරමුණු කර තිබුනේ එහි දකුණු සහ බටහිර ආයක (වාහල්කඩ) සොයාගැනීම උදෙසා විය. H.C.P. බෙල් විසින් සිදු කල උතුරු හා නැගෙනහිර දිශාවන්හි වූ කැනීම් මගින් එම දිශාවන්හී ආයකවල් තිබූ බවට සාධක හමුවි තිබුනි. ඒ වන විට ස්තූපයේ ඉහල කොටස කඩා වැටීම හේතුවෙන් එහි සුන්බුන් වලින් ආයක මෙන්ම දාගැබේ පහල කොටස සහ මළුවද වැසී ගොස් තිබී ඇත. නමුත් එම කැනීම් වලින් සොයාගත හැකි වූවේ එම ආයක ස්තූපයේ ඉහල කොටස් කඩාවැටීමට පොරොතුවම විනාශ කර ඇති බවය. කෙසේ නමුත් දකුණු ආයකහි බටහිර කොටසේ කැටයම් කල ගල්ටැම් දෙකක් සහ වෙනත් අවශේෂ නිදන් හොරුන්ගේ ග්‍රහණයෙන් මිදී සුන්බුන් වලට යටවී තිබී මෙම කැනීමේදී හමුවිය.
උතුරු ආයකයේ කැටයම් ගලක්. මෙහි වෛශ්‍රවණ දේව රුවක් සහ ඔහුට පහලින් කාසි අතුරන මිනිසෙකුගේ රුවක් කැටයම් කර ඇත. 
මෙම කැනීමෙන් හමුවූ වැදගත්ම සොයාගැනීම වනුයේ සියවස් ගනනාවක් ස්තූපයේ සුන්බුන් වලට යටවී සැඟවී තිබූ කළු ගල් පුවරු 17 ක බ්‍රාහ්මි අක්ෂර වලින් සටහන් කර තිබූ දීර්ඝ සෙල් ලිපියයි. දකුණු සහ උතුරු ආයක අතර සලපතල මළුවේ එම ගල් පුවරු හමු වූ අතර, කඩා වැටුන ස්ථූපයේ සුන්බුන් වලින් වැසී යාමට පෙරම සෙල් ලිපිය සටහන්  කල එම ඇතැම් ගල් පුවරු  එම ස්ථානයෙන් කිසියම් වෙනත් තැනකට රැගෙන ගොස් ඇත. ඒවා අද වන විට සොයාගත නොහැක. එම සිදුවීම බොහෝවිට මෙහි ආයක සතරේ ගල් කැටයම් රැගෙන ගිය අවස්ථාවේදීම සිදුවන්නට ඇත (ඇතැම් විට වෙනත් මෙවැනි ඉදිකිරිමක් උදෙසා උපයෝගි කරගැනීමට එම ගල් රැගෙන ගියා විය හැක).. එම නිසා අද අපට ඉතුරුව ඇත්තේ එහි මුල් කොටස සහ අග කොටස නොමැති අසම්පූර්ණ සෙල්ලිපියකි. අකුරු වල හැඩයෙන් සෙල්ලිපිය 3 වන ශතවර්ෂයට පමණ කාල නිර්නය කල හැක. රජවරුන් ඇතුළු විවිධ පුද්ගලයන් විසින් දක්ඛිණ විහාරයේ තිස්ස මහාචේතියට පූජා කරන ලද ගම් බිම් පිළිබඳ ලේඛනයක් ලෙස මෙම සෙල් ලිපිය හඳුනාගෙන ඇත. එම ලිපියේ කිහිප තැනකම දකිණිවිහර යන නම හමුවේ. මපරුමකා ලෙස විරුද නමකින් හැඳින්වෙන රජ කෙනෙකු විසින් දකිණිවිහර තිස මහ චෙත එනම් දක්ඛිණ විහාරයේ තිස්ස මහා චේතිය වෙත පිරිනැමූ කුඹුරු ආදියෙන් එන ආදායම් ආදී දෑ ගැන විස්තරයක් කියවිය හැකි කොටසින් හමුවේ. එම රජතුමාගේ නම් යනාදිය අතුරුදහන් වී ඇති මුල් ගල් පුවරු වල තිබෙන්නට ඇත. එම තිස මහා චෙතිය මපරුමකා ලෙසින් හැඳින්වෙන රජතුමාගේ පිය රජතුමන් විසින් නැවත පිළිසකර කල බවද  එහි වැඩිදුරටත් සඳහන් වේ.
උතුරු ආයකයේ කැටයම් ගලක්.
මහාවංශයේ විස්තර වන ලෙසට කනිට්ඨතිස්ස රජු (ක්‍රි.ව. 167-186) දක්ඛිණ විහාරයේ ස්තූපයට කඤ්චුකයක් (වැස්මක්) කරවීය. එසේම සෙල්ලිපිවල මපරුමකා යන විරුදයෙන් හැඳින්වෙන පළමුවන රජතුමාද එතුමාය. ඒ අනුව ගතහොත් මෙම ස්තූපය පිළිසකර කල රජු කනිට්ඨතිස්ස ලෙසත්  ඔහුට පසුව රජ වූ ඛුජ්ජනාග (ක්‍රි.ව. 186-187) හෝ ඉන් වසර දෙකකට පසු ඔහු මරා රජකම ලබාගත් ඔහුගේ බාල සොහොයුරු කුඤ්චනාග (ක්‍රි.ව. 187-189) මෙම ලිපියේ මපුරුමකා ලෙසින් හැඳින්වෙන රජු ලෙසත් හඳුනාගත හැක. එය තව දුරටත් තහවුරු වනුයේ මෙම ගල් පුවරු වල පළමුවන පුවරුවේ මැකී ගිය කොටසක කියවිය හැකි ..පුත නඛ මහ රජහ යන්නෙන් ..රජුගේ පුත් නඛ මහ රජ යන්න කියවෙන බැවිණි. එනම් නම මැකී ඇති කිසියම් රජෙකුගේ පුතු වන මහා නාග නම් රජෙකු මෙම ලිපියේ පසුව මපරුමකා ලෙසින් පමණක් හැඳින්වෙන රජු බවය. නමුත් කනිට්ඨතිස්ස රජුගේ පුතුන් දෙදෙනාගේම නම් වල නාග (නඛ) යන්න ඇති බැවින් ඉහත සඳහන් කිනම් රජෙකු මෙයින් හැඳින්විනිද යන්න නිශ්චිතවම කිව නොහැක.
දකුණු ආයකයේ කැටයම් ගල්
දක්ඛිණ වෙහෙර පිළිබඳව වූ වංශකතා තොරතුරු

වට්ටගාමණී (ක්‍රි.පූ. 89-77) නම් රජුගේ (වළගම්බා) යෝධයන් සත් දෙනාගෙන් කෙනෙකු වූ  උත්තිය නමැත්තා නගරයට දකුණු දෙසින් දක්ඛිණ නම් විහාරයක් කරවූ බව මහාවංශයේ දැක්වේ. මෙම වට්ටගාමිණි රජු සමයේම සිදුවූ මෙරට පළමු නිකාය භේදයේදී දක්ඛිණ විහාරයේ උන් භික්ෂුන් අභයගිරිකයන්ගෙන් වෙන් වූ බවද මහාවංශයේ එම පරිච්ඡේදයේම සඳහන්වේ. ආමණ්ඩගාමණී (ක්‍රි.ව. 19-29) නම් රජුගේ කාලයේදී රජු අනුරාධපුරයෙන් දකුණු දෙස මහාගාමෙණ්ඩ වැව කරවා දක්ඛිණ විහාරයට දුන්නේය.  ඉන්පසු ඉහත සඳහන් වූ පරිදි කනිට්ඨතිස්ස රජු (ක්‍රි.ව. 167-186) ඔහුගේ රාජ්‍ය කාලයේදී එම දක්ඛිණ විහාරයේ ස්තූපයට කඤ්චුකයක් කරවීය. තවද මහාමේඝවන උයනෙහි සීමාව මැඩ භක්තසාලාවක්ද (භෝජනශාලාවක්) කරවීය. එපමණක් නොව ඔහු මහාවිහාරයේ ප්‍රාකාරය පැත්තකින් ඉවත් කොට දක්ඛිණ විහාරයට මාර්ගයක්ද ඉදි කලහ.
දකුණු ආයකයේ කල්ප වෘක්ෂ කැටයම් කණුවේ දැක්වෙන රූප
වෝහාරික තිස්ස රජුද (ක්‍රි.ව. 209-231) දක්ඛිණ මූල විහාරය ඇතුළු විහාර අටක ස්තූපයන්ගේ ඡත්‍රකර්ම කරවා දක්ඛිණ විහාරය ඇතුළු තවත් විහාර හයක ප්‍රාකාරද කරවූ බව මහාවංශයේ සඳහන් වේ. දක්ඛිණ මූල සහ දක්ඛිණ විහාර යනු එකම වෙහෙරක් උදෙසා භාවිතා කල නම් දෙකක් විය හැක. ගෝඨාභය රජතුමා (ක්‍රි.ව. 249-262) දක්ඛිණ විහාරයේ උපෝසථාඝරය පිළිසකර කරවීය. නිකාය සංග්‍රහය දක්වන පරිදි ගෝඨාභය රජුගේ සතරවන වර්ෂයේදී අභයගිරිවාසීන් වෛතුල්‍ය වාදය ගත් බැවින් අභයගිරි විහාරයේ ධර්මරුචි නිකායෙන් වෙන්වූ උස්සිලියාතිස්ස නම් මහතෙර නමක් සහ තුන්සීයක පමණ භික්ෂුන් පිරිසක් දකුණුගිරි වෙහෙරට ගොස් වෙන් ව විසූහ. සාගල නම් මහතෙර කෙනෙක් ඔවුන් සමග වෙසෙමින් ආගම ව්‍යාඛාන කල හෙයින් ඔවුන් සාගලිය නම් වූහ.
දකුණු ආයකය
 පළමුවන අග්ගබෝධි රජු (ක්‍රි.ව. 571-604) දක්ඛිණ විහාරයේ මනහර ප්‍රාසාදයක් කරවීය. තුන් වන අග්ගබෝධි රජු (ක්‍රි.ව. 629-639) කල ඔහුගේ යුවරජු වූ කස්සප (ඔහු පසුව දෙවන කස්සප (ක්‍රි.ව. 650-659) ලෙසින් රාජ්‍යත්වයටද පත් වේ ) යුධ වියදම් සඳහා ථූපාරාමය ආදී ස්තූපයන් බිඳවා එහි තිබූ වස්තූන් කොල්ලකෑමේදී දක්ඛිණ විහාරයේ ස්තූපයද බිද වටිනා වස්තුව ගත්බව මහා වංශයේ සඳහන් වේ. අවසාන වරට දක්ඛිණ විහාරය පිළිබඳව හමුවන මහාවංශ විස්තරය එයයි

පසු කාලීන ඉදිකිරීම් වලින් විනාස වී නොමැති නම් දක්ඛිණ විහාරයේ ඉහත රජවරුන් ඉදි කල ගොඩනැගිලි වල නටබුන් තවමත් මෙම ස්තූපය අවට පුරා විද්‍යා රක්ෂිත භූමියේ පොළව යට සැඟවී තිබෙනවා විය හැක.

එළාරගෙ සොහොන ලෙසින් ප්‍රචලිතව තිබූ මෙම ස්තූපය සැබැවින්ම ඔහුගේ ප්‍රතිවාදියා වූ දුටුගැමුණුගේ ආදාහනය සිදු කල ස්ථානයේ ඉදි කර ඇති බව සෙනරත් පරනවිතාන මහතා මතයක් ඉදිරිපත් කර ඇත. ඔහුට ඒ සඳහා පාදක වූ සාධක එදා පටන් අද දක්වාම විද්වතුන් අතර විවාදයට බඳුන් වෙමින් පවති. පරණවිතාන මහතාගේ මතය විවේචනය කරමින් දක්ඛිණ ස්තූපය එළාර සොහොන බවට රාජා ද සිල්වා, ජේම්ස් ටී. රත්නම් වැනි වියතුන් තර්ක ඉදිරිපත් කර ඇති අතර මෑතකදි ඉෂංඛ මල්සිරි මහතා සිය 'දුටුගැමුණුගේ හෘද සාක්ෂියට පිළිතුරක්' නම් කෘතියෙන් එම බොහෝ තර්ක වල දුර්වල බව මැනවින් පෙන්වා දී ඇත. කෙසේ නමුත් දක්ඛිණ ස්තූපය ඉදි කරන්නේ දුටුගැමුණු ආදාහනය කල ස්ථානයේය යන මතයද අවිවාදිතව පිළිගැනීමට තරම් ප්‍රබල සාක්ෂ්‍ය ඉදිරිපත් වී නැති බව කිව යුතුය. මේ විවාදය සම්බන්ධ ඇතැම් තොරතුරු ඉදිරි ලිපි මගින් විමසා බලමු.

මූලාශ්‍ර
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • දුටුගැමුණුගේ හෘද සාක්ෂියට පිළිතුරක්, ඉෂංඛ මල්සිරි, 2016
  • The Tomb of Elara at Anuradhapura, අනුරාධපුරයේ එළාර සොහොන් ගැබ, ආචාර්ය ජේම්ස්. ටී රත්නම්, පරිවර්තනය සේපාල විජේසේකර, 2015
  • වංසථප්පකාසිනිය, මහාවංශ ටීකාව, අකුරටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක සිංහල අනුවාදය, 2001
  • නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය , 1997
  • Digging Into The Past, Essays of Antiquity, Raja de Silva, 2005
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • පුරාවිදු පරියේසණ, සෙනරත් පරණවිතාන, 1972
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume II, Part II, Late Brahmi Inscriptions, Paranavitana S., 2001
  • A tourist guide, Art And Architectural Remains, Anuradhapura, Sri Lanka, Chandra wikramagamage, 2012
  • Bell H.C.P., 1904, Archaeological Survey of Ceylon, North Central, Sabaragamuwa, And Central Provinces, Annual Report 1896.
  • Bell H.C.P., 1904, Archaeological Survey of Ceylon, North Central, Central And Eastern Provinces, Annual Report 1897.
  • Bell H.C.P., 1904, Archaeological Survey of Ceylon, North Central, And Central Provinces, Annual Report 1898


6 comments: