Monday, April 9, 2018

බලන්නට් ගැහිනින් සිහිගිරි බැලු නියම්ජෙට් නා සගය් වැසි බුද්ගමුවෙහෙරැ - මැණික්දෙන පබ්බත විහාරය

"ත්‍රිකුණාමලයේ සිට ආපසු එන ගමනේ දඹුල්ලේ (Dambool) සිට සැතපුම් 8 ක් පමණ වනාන්තරය තුල, ඇඳගල(?) කපොල්ල (Andagalla Pass)  හරහා නාලන්දට (Nalande) යොමු වූ පැරණි බෑවුම් මාර්ගය සහ ලෙනදොර(Lenadorra) කන්ද වටා යන නව මාර්ගය අතර එහි නටබුන් දැකිය හැකි, මැණික් දෙන නුවර (Menik Denna Nuwara) නම් වූ පැරණි නගරයක් පිළිබඳව මට දැනගන්නට ලැබුණි. මැණික් දෙන නුවර වැව් දෙකක අවශේෂ, දාගැබක නටබුන්, ගල් කණු විශාල ගනනකින් සැදි විහාරයක් සහ ගල් ඇඳක් (එහි එක් අන්තයක් ගලක් මත තිබූ අතර අනික් අන්තය කණු මත තබා තිබුණි) ඇත. තවද මෙහි ඇති ගල් පඩි, ගෙවල් වල පාදම් ආදිය එහි එක්තරා සමයක කිසියම් වැදගත් ස්ථානයක් තිබූ බවට දෙස් දෙයි."
ලෙනදොර (වම් පස) සහ මැණික්දෙනිය (දකුණු පස) කඳු මුදුන්
ක්‍රි.ව. 1833 ත්‍රිකුණාමලයේ සිට නාලන්දට පැමිනෙමින් සිටි මේජර් ෆෝබ්ස් ඉදිරිපත් කරන ඉහත විස්තරයේ තව දුරටත් ඔහු පවසන්නේ එම නටබුන් වලට පසු පසින් නිකුල (Nikwoolaනැතහොත් Heereedewatai (හීරිදේවතායි) කන්ද ඇති බවත්, එහි මුදුනේ පිහිටි සම බිමේ වලන් කැබැලි සහ සාමාන්‍යයෙන් කැලෑ වල දැකිය නොහැකි පළතුරු ගස් තිබූ බවත්, එම නිසා සතුරු උවදුරු සහිත කාල වලදී සැඟවී සිටීමට එය කදිම ස්ථානයක් වූ බවත්ය. එසේම එහි ඇති ඕනෑම නියග කාලයකදි වුවද ජලය රඳන පොකුණ නිසා එවන් පලායන්නන්ට එය ආකර්ශනීය ස්වභාවික බලකොටුවක් වූ බවය. නිකුල යන නම පැරණි අඟලේ සිතියම් වල මෙම කන්දේ එක් මුදුනක් සඳහා යොදා ඇති නමුත් හීරිදේවතායි යන නමින් මෙම කඳු අද හැඳින්වෙන බවක් නොපෙනේ. එහි අනිත් මුදුන් අද හැඳින්වෙන්නේ ලෙනදොර සහ මැණික්දෙනිය ලෙසින්ය [සිතියම බලන්න]
සිතියම 1
ෆෝබ්ස් පවසන්නේ ජනවහරේ කියැවෙන පරිදි මැණික් දෙනි නුවර, සිරිසඟබෝ රජතුමාගේ මාළිගාව පිහිටි ස්ථානය බවය. නමුත් සිව්වන සියවසේ මුල් අවධියේ බුදුන්ගේ දන්ත ධාතුව රැගෙන පැමිණි ශ්‍රි දන්ත කුමරා එම නුවර වැඩි දියුණු කර ඇත. බොහෝවිට ඔහුට මග පෙන්වන්නට පැමිණි ප්‍රදේශවාසීන්ගෙන් ෆෝබ්ස් අසා දැනගත් මෙම තොරතුරු වල පැහැදිලිවම මෙවන් ස්ථාන තමන් අසා ඇති පෙර සිටි සුප්‍රකට චරිත කිරිපයකට පමණක් ආදේශ කර කතා ගෙතීමට ස්වභාවිකවම පෙළඹෙන වැඩි දැනුමක් නොමැති ගැමියන්ගේ නිර්මාණාත්මක ප්‍රබන්ද වලට වඩා වැඩි යමක් නොමැත.

මෙරට සෙල්ලිපි ගවේශනයේ පුරෝගාමියෙකු වන එඩ්වඩ් මියුලර් ද (Edward Muller) වර්ෂ 1833 දී පවසන්නේ ලෙනදොර තානායමේ සිට සැතපුම් 3 පමණ දුරින් මාළිගාවක නටබුන් හමුවන බවත් එයට ඇතුලු වන ස්ථානයේ ඇති සෙල්ලිපියේ පේලි හතරක් පමණක් ඉතිරි වී ඇති බවත්, එහි මුලුන්ගමු වෙහෙර යන වචන දැකිය හැකි බවත්, එය මහාවංශයේ මූලානගාමය ලෙසින් හැඳින්වෙන නමට සමාන බවත්ය. ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙහි වනාන්තරය පුරා විශාල වශයෙන් නටබුන් හමුවන බවත් කණු 24 ක් සහිත විහාරයක නටබුන්ද ඒ අතර ඇති බවත්ය.
පබ්බත විහාරයේ ඇතුලත මළුවට පිවිසීමට ඇති දොරටුව අසල ඇති ටැම් ලිපිය
කෙසේ නමුත් මෙම ස්ථානය පිළිබඳව විධිමත් ගවේශනයකට මුල පුරන්නේ H.C.P. බෙල් ප්‍රථම පුරා විද්‍යා කොමසාරිස්වරයාය. ඒ 1907 වසරේදීය. 1908 වසර සඳහා වූ පුරාවිද්‍යා ගවේශන පිළිබඳව වූ වාර්ෂික වාර්තාවේ ඔහු මෙම නටබුන් ස්ථානය බෞද්ධ සංඝාරාමයක් ලෙස නිවැරදිව හඳුනා ගනී. මෙම පරිශ්‍රයේ තිබී සෙල් ලිපි 3 ක් බෙල් කියවා ඇති අතර එක් ලිපියක බුද්ගම් වෙහෙර යන නම සඳහන් බව සහ අ(ම්බ)මු ප්‍රදේශයේ පිහිටි එම වෙහෙරට කොබෝයටලියේ සෙන් (සේන) නමැත්තෙක් මහදෙණ-පුළු-උම්බර් නම් වූ කුඹුරු ඉඩම් පිරිනැමූ බව එම ලිපියෙන් කියවෙන බව බෙල් සඳහන් කරයි. බෙහෙවින් ගෙවී ගිය අනිත් සෙල් ලිපියෙහි අබා සලමෙවන් නම් රජෙකුගේ 8 වන රාජ වර්ෂය යන සඳහන පමණක් කියවිය හැකි බවය බෙල් පවසන්නේ. පුවරු ලිපි වූ එම සෙල් ලිපි දෙකම ඔහු  10 වන සියවසට කාල නිර්ණය කරයි.
පබ්බත විහාරයේ ඇතුලත මළුවට පිවිසීමට ඇති දොරටුව 
මෙම සෙල්ලිපි අතරින් 2 ක් පමණක් මේ වන විට දැක ගත හැකි අතර ඒවා ඇත්තේ ඉහත මි‍යුලර් සඳහන් කරන උතුරු දෙසින් වූ දොරටුව අසල සහ පිටත මළුවේ දාන ශාලාව ලෙසින් හඳුනාගන්නා ගොඩනැගිල්ල අසල බව සහ එම ලිපි දෙකම ටැම් ලිපි බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කරයි. එහෙත් මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා මැණික්දෙන පුරාවිද්‍යා භූමියේ තිබී කියවා පළ කල සෙල් ලිපි පහක් ඇති අතර ඉන් එක් ලිපියක් ටැම් ලිපියක් වන අතර අනෙක්වා පුවරු ලිපි වේ.(කෙසේ නමුත් ඒ සමග පළ කර ඇති ඡායාරූප වල එක් පුවරු ලිපියක් ගිරි ලිපියක් (Rock Inscription) ලෙස දක්වා ඇත.). ඉන් ලිපි දෙකක් හඳුනානොගත් අබා සලමෙවන් නම් විරුදය ලත් රජ වරුන්ගේ රාජ්‍ය කාලයන්හිදි පිහිටුවා ඇති අතර ටැම් ලිපිය අබා සලමෙවන්  නම් රජෙකුගේ පළමුවන රාජ්‍ය වර්ෂයේදී ලිපියේ කියවිය හැකි කොටසේ නම සඳහන් නොවන විහාරයකට සිදු කල අත්තාණි පිදීමකි. අනික් පුවරු ලිපියෙන් අබා සලමෙවන් නම් වූ රජෙකුගේ නව වන රාජ්‍ය වර්ෂයේ බුද්ගමු වෙහෙරට සලාක ආහාර පූජාවට සහ එහි පිළිම ගෙයට ආහාර පූජාවට රත්‍රං තැන්පත් කිරිමක් පිළිබඳව කියැවේ. එතුමා කියවූ තවත් පුවරු ලිපියකට අනුව බුද්ගමු වෙහෙරේ පස් කැමියන් (Five Officials) හට එහි පොලියෙන් භික්ෂුන් උදෙසා ආහාර පිරිනැමීමට ලැබුන රත්‍රං පිළිබඳව පැවසේ.
ස්තූපය
ඉහත බෙල් සඳහන් කරන කොබොයතෙළෙහි සෙන් නමැත්තෙකුගේ නම කියැවෙන ලිපියද රණවැල්ල මහතා කියවා ඇත. එම ලිපිය සම්පූර්නයෙන් කියවන එතුමා 'අම්බිමු' යන වචනය බිරිය ලෙස අර්ථ දක්වා එම ලිපියෙහි පැවසෙන්නේ එම කොබොයතෙළෙහි සෙන් නමැත්තාගේ බිරිඳ මහදෙණ පස් පෑලක් වූ කුඹුරු මිලදී ගෙන බුද්ගමු වෙහෙරේ ලහබත් පූජාව සඳහා සිදු කල එම කුඹුරු ඉඩම් පිරිනැමීම බව පවසයි. (මෙහි සඳහන් මහදෙණ යන්න පසු කාලීනව මහදෙණ>මහාදෙණිය>මැණික්දෙනිය ලෙසින් වෙනස් වූ ලෙස අනුමාණ කල හැක.) එතුමා ඉදිරිපත් කරන තවත් පුවරු ලිපියකින් ඉහත වෙනත් ලිපියක දැක්වුන අයුරින්ම  බුද්ගමු වෙහෙරේ පස් කැමියන් හට එහි පොලියෙන් භික්ෂුන්ට දන් පිරිනැමීමට ලත් රත්‍රං පිළිබඳව කියැවේ. ඉහත සියලු ලිපි රණවැල්ල මහතා 9-10 සියවස් වලට අයත් බව පවසයි.
සභා ගොඩනැගිල්ල
ප්‍රධාන දොරටුව අසල ඇති සෙල්ලිපියේ ඇති බවට මියුලර් සඳහන් කරන මුලුන්ගමු වෙහෙර යන්න බොහෝවිට බුද්ගමු වෙහෙර යන්න වැරදියට කියවීමක් විය හැක. රණවැල්ල මහතා කියවූ ලිපි 5 න් කිසිවක එවන් වදනක් හමු නොවේ. එසේම මහාවංශයේ පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1153-1186) සහ සුගලා දේවිය අතර රුහුණු රටේ සිදු වූ සංග්‍රාමයන් පිළිබඳව වූ විස්තරයේදි හමුවන මූලානගාමය පැහැදිලිවම ගුත්තසාලමණ්ඩල ලෙසින් මහාවංශයේ හැඳින්වෙන වර්තමාන බුත්තල අවට ප්‍රදේශයේ ගමක් ලෙස හඳුනාගෙන ඇත. C.W. නිකලස් මහතා ඒ සමග කියවෙන ඇතැම් ගම් හඳුනාගන්නේ වර්තමාන වැල්ලවාය අවට පෙදෙසින්ය. එම නිසා මූලානගාම යන්න කිසිසේත්ම වර්තමාන මැණික්දෙන විය නොහැක. නමුත් මියුලර් සහ බෙල් උපුටා දක්වමින් මැණික්දෙන ගැන රචිත ඇතැම් ලේඛන වල 11-12 ශතවර්ෂ වලදී බුද්ගමු වෙහෙරට මුලුන්ගමු වෙහෙර ලෙසින් ව්‍යවහාර වූ බව සඳහන් කර ඇත.
උපෝසථඝරය
දෙවැනි සේන රජතුමා (ක්‍රි.ව. 853-887) බුද්ධගාම විහාරයට භෝගගාම (Maintenance Villages) සපයා එය වැඩිදියුණු කල බව මහාවංශයේ එන සඳහන බුද්ධගාම යන්න වංශ කතාවේ මුල් වරට හමුවන අවස්ථාවයි. රජරට අරක්ගත් චෝළයන් මඩිනු පිණිස සටන් මෙහෙයවූ පළමුවැනි විජයබාහු (ක්‍රි.ව. 1055-1110) ලෙස පසුව රට එකසේසත් කල කිත්ති කුමරා දක්ඛිණපස්සයට යැවූ ඇමැතිවරු මුහුන්නරුගම (හෙට්ටිපොල අසල නුවරකැලේ), බදලත්ථල (බතලගොඩ), වාපිනගර (කුරුණෑගල අසල වෙනරු), බුද්ධගාම (මැණික්දෙණ), තිලගුල්ල (තලගල්ලේ ඇල), මහාගල්ල (මාගල්ල/නිකවැරටිය), මණ්ඩගල්ල (පොල්පිතිගම අසල මහමඩගල) හා අනුරාධපුර බලකොටු යටත් කරගනිමින් මහාතිත්ථයට (මන්නාරම) පැමිණි බව පැවසේ.

පරාක්‍රමබාහු කුමරා දෙවන ගජබාහුට (ක්‍රි.ව. 1132-1153) අයත් රජරට තොරතුරු සෙවීම සඳහා දක්ඛිණ දේශයේ සිට නික්මුණු චරපුරුෂ ක්‍රියාන්විතය අතරමගදි, දක්ඛිණ දේශයේ ප්‍රත්‍යන්ත බලකොටුවක් වූ බදලත්ථලි (බතලගොඩ) ගමේ සිට සිය මාමා වන දක්ඛිණ දේශයේ පාලකයා වූ කිත්සිරිමේඝ වෙනුවෙන් එහි ආරක්ෂාව සැපයූ සංඛ සෙනවියා මරා සිරියාල (කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගන්තිහේ කෝරලයේ හිරියාල්ගම නම් වූ  ගමක් ඉංග්‍රිසි පාලන කාලයේද තිබී ඇත. අද හිරියාල යනු වඩා විශාල ප්‍රදේශයක් වන පත්තුවකට යෙදෙන නමක් ලෙසට ශේෂව පවතී) හරහා පලා ගොස් වසන්නේ සිරිදෙවි කන්ද අසල වූ බුද්ධගාමයෙහිය. ඉහත ෆෝබ්ස්ගේ විස්තරයේ පැවසෙන හීරිදේවතායි (Heereedewatai) ලෙස මැණික්දෙන අසල කඳු හැඳින්වූ නම මෙම සිරිදේවි යන නම ඒ වන විටත් කිසියම් වූ ඌරුවකින් ජනයා අතර මෙම කඳු පන්තියට ව්‍යවහාර වූ බවට සාක්ෂ්‍ය සපයයි.
බෝධිඝරය
නැවත පරාක්‍රමබාහු කුමරු දක්ඛිණ දේශයේ පාලකයා ලෙස සිටිමින් එහි සිදු කල සංවර්ධන කටයුතු පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමේදි හෙතෙම බුද්ධගාම ඇළ ඉදි කල බව මහාවංශයේ පැවසෙයි. තවද එතුමා මුළු ලංකාවම එක්සත් කිරීම සඳහා බල සෙනග සූදානම් කිරීමේදීද බුද්ධගාම රට්ඨ නමින් වූ ප්‍රදේශයක පාලකයා වූ ඇමතියා  හටද දහස් ගණන් භටයන් සහ ආයුධ දුන් බව වංශ කතාව පවසයි. එහි බුද්ධගාම රට්ඨ යන්න සමගම කියැවෙන්නේ අම්බවන සහ බෝධිගාමවර යන රටවල් පිළිබඳවය. මෙයට පෙර ලිපියකින් අප ඉදිරිපත් කල පරිදි එම ප්‍රදේශ මැණික්දෙනට දකුණින් ඒ ආසන්නව පිහිටන ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත. Link>>

පළමුවන පරාක්‍රමබාහු, දෙවන ගජබාහු සහ රුහුණේ පාලකයා වූ මානාභරණ අතර ඇතිවූ සිවිල් යුද්ධය අතරතුරෙහිද, බුද්ධගාම යන්න කිහිපවරක්ම මහාවංශයේ කියැවේ. මේ අනුව මෙහි උපායමාර්ගික අතින් වැදගත් වූ බලකොටුවක් තිබූ බවද පැහැදිලිවේ. ෆෝබ්ස් සඳහන් කරන මැණික්දෙන කඳු මුදුනේ වූ සාධක එම බලකොටුවේ පිහිටීම පිළිබඳව යම් අදහසක් ලබාදෙන නමුත් එය පිහිටි නිශ්චිත ස්ථානය කීමට නොහැකිය.
ඇතුළු මළුව වටා ඇති ප්‍රාකාරය
කෙසේ නමුත් මැණික්දෙන පුරාවිද්‍යා භූමියේ වර්තමානයේ දැකිය හැකි නටබුන් පබ්බත විහාරයක ගොඩනැගිලි ලෙස හඳුනාගෙන ඇත. මැණික්දෙන පබ්බත විහාරය සහ පබ්බත විහාර පිළිබඳව වූ විස්තරාත්මක ලිපියක් ඉදිරියේදි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමින් සිගිරි බැලීමට පැමිණි පිළිවෙලින් 9 වන සියවසේ මුල් භාගයේ සහ 8 වන සියවසේ සිටි බුද්ගමු වැසියන් දෙදෙනෙකු විසින් ලියා ගිය පහත ගී දෙකින් අප මෙම ලිපිය අවසන් කරමු.

ස්වස්ති බුද්ගමුවෙහෙරැ නියම්ජෙට් නා සගය්මි ලීමි
බලන්නට් ගැහිනින් බැලුමො සිහිගිරි
පිරි මනජොළ කතුන් ම යත් ත ළ ජොලන්නට් හුන්

(ස්වස්ති ! බුද්ගමු වෙහෙර ප්‍රධාන පරිපාලකයා (නියම් ජෙට්) නා සාගය් වන මම ලියුවෙමි, කාන්තාවන් බැලීමට සිහිගිරි බැලුවෙමු, එහි සිටින අගනන් බැලීමෙන් මාගේ මනදොළ පිරීගියේය, කෙදිනද ඔබ හදගිනි දල්වන්නේ? )

ස්වස්ති බුද්ගමියෙ වැසි කිතග්බොයි ගී
සිරිහව් කත මෙ දුට් සැදැ යහපත් වන්නෙ යි
පරවිටියෙ සිහිනෙ දුට් යහපත් දිටි සෙය් මෙ වෙයි

(ස්වස්ති! බුද්ගම වසන කිතග්බොයි ගේ ගීයයි
සිරි දේවිය වන් වූ  මේ අප්සරාව දුටු කල යමෙකු සතුටු වේ. ඇය නැති කල ඇයව සිහිනෙන් දුටු කල ඇයව සැබැහින් දුටු සේ සිතා යමෙකු සතුටු වේ.)
පිළිමගෙය
මූලාශ්‍ර
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • Notes on Ceylon Topography in the Twelfth Century, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXIX, No 75, 1922
  • Notes on Ceylon Topography in the Twelfth Century II, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXX, No 78, 1925
  • Sigiri Graffiti, S. Paranavitana, Vol 1 & 2, 1956
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Eleven years in Ceylon, Major Forbes, 1840
  • Archaeological Survey of Ceylon North-Central And Central Provinces, Annual Report 1908, H.C.P. Bell, 1913
  • Ancient Inscriptions in Ceylon, Edward Muller, 1883
  • ශ්‍රි ලංකාවේ පැරණි බෞද්ධ සංඝාරාම, ප්‍රිශාන්ත ගුණවර්ධන, 2010
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume V, Part III Sirimal. Ranawella, 2005
  • Sigiriya & Beyond To Dambulla, Habarana, Kekirawa, Galewela, Neranjana Gunetilleke et. al.2016

13 comments:

  1. පැරණි සිංහල කියවීම හා තේරුම් ගැන සියල්ලන්ම වාගේ එක් මතයකට ඇවිල්ලාද? එහෙම නැත්නම් විරුද්ධ මත තියනවද?

    ReplyDelete
    Replies
    1. ඔබ අදහස් කලේ ස්ථාන හඳුනාගැනීම පිළිබඳව නම් වෙනත් මත තිබෙනවා. එහෙත් පොදුවේ පිළිගැනෙන ප්‍රබල සාධක සහිත හඳුනාගැනීම්ද නැතුවා නොවේ. ඇතැම් ඒ සම්බන්ධ විරුද්ධ මත සඳහා ඇති සාක්කි එතරම් ප්‍රබල නැහැ. නමුත් ප්‍රබල වූ මතයට වඩා පිළිගත හැකි ද්විතියක මත තියෙන අවස්ථාත් තියෙනවා. පැරණි සිංහල සෙල්ලිපි සහ වෙනත් එවැනි දෑ (උදා: සීගිරි කුරුටු ගී ) වල එන වචන වල අර්ථකතන සම්බන්ධයෙන්ද විවිධ මත තියෙනවා. බොහෝ දෙනා එකඟ වන මතය උනත් හරිම නොවෙන්න පුළුවන්. ඒ වගේ දේවල සම්බන්ධව විවාද සැමදා තියෙවී. කාල තරණය යථාර්තයක් නොවන තාක් කල් :)

      Delete
    2. මං ඇහුවෙ භාෂාව (වචනවල තේරුම, නම් හඳුනා ගැනීම, ව්‍යාකරණ ආදිය ) ගැන. ස්තුතියි

      Delete
    3. එම යුගයන්හිම හෝ ඒ ආසන්න කාල වල මුල් ග්‍රන්ථයට ලියවුනු අටුවා, ටීකා ටිප්පනි වැනි ග්‍රන්ථ වල මුල් ග්‍රන්ථයේ පදයෙන් පදය විස්තර කරලා තියෙනවා. උදාරහනයක් වශයෙන් මහාවංශයේ මුල් කොටසට ලියවුනු වන්සත්තප්පකාශිනිය ගන්න පුළුවන්. ඊට් ආමතරව වචන සහ ඒවායේ තේරුම් ඇති කෝෂ ග්‍රනථ තියෙනවා, නාමමාලා වැනි. ඒවා හරියට වර්තමාන ශබ්දකෝෂ වගේ. ව්‍යාකරන සම්බන්ධයෙන් නම් සිදත් සඟරාව වැනි ග්‍රන්ථ තියෙනවා. මේවායින් බොහෝ දේවල් පැහැදිලි කරගත හැකියි. නමුත් ඒවායේ හමු නොවන වචන වල තේරුම් බොහෝවිට දැනට අප දන්නා වෙනත් මේ කලාපයේ භාවිතා වූ භාෂාවන්ගේ (පාලි, සංස්කෘත, දෙමළ, ...) එන වචන වලින් ආ ලෙස අනුමාන කරනවා. ඒ සඳහා එවන් භාෂා කිහිපයක් පිළිබඳවම හොඳ දැනුමක් ඇති උගතුන් අවශ්‍යයයි. පරණවිතාන මහතා වැනි. එහෙත් දැන් එවන් පුද්ගලයන් ඉන්නවාද කියන එක නම් ප්‍රශ්නයක්

      Delete
    4. දැන් ඉන්නෙ ආචාර්ය සූරිය ගුණසේකර වගේ කට්ටිය. පරණවිතාන මහත්තය ක‍ැලේ.

      Delete
    5. මිරැන්ඩෝ ඔබේසේකර මහත්තයටත් පිටසක්වල බාසා වුනත් පුලුවන් ඇති (රාවණා පිටසක්වලට ගියා නම්).

      Delete
    6. එතුමා කොහොමත් ඒ වගේ භාෂාවකින් කතා කරන කවුරු හරි එතුමට කියන දේවල් තමා "බෝතල් පත්තරකාරයෝ" හරහා අපිට කියන්නේ

      Delete
  2. Is this related with the travelogue of John pybus? Is this the second part?

    ReplyDelete
    Replies
    1. No Shenal. This is not related to the Pybus's travelogue. I will write the second part of it soon.

      Delete
  3. පබ්බතාරාමය සම්බන්ධ ලිපිය ඉක්මනින් ම පල කරන්න මම පබ්බතාරාම සම්බන්ද ව තොරතුරු සෙව්වද කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වුණා

    ReplyDelete
    Replies
    1. මේ ලිපියෙන් ඒ සම්බන්ධව විස්තර ඉදිරිපත් කලා - http://trisinhala.blogspot.com/2018/04/blog-post_21.html

      Delete