Showing posts with label Wasaba. Show all posts
Showing posts with label Wasaba. Show all posts

Thursday, July 6, 2017

අම්බස්තල ශිලාචේතියේ බුමුතුරුණු එලීමට අගිවඩමණ වැවේ ආදායම පිදූ මපරුමක මහරජ

 අනුරාධපුර දිස්ත්‍රික්කයේ හබරණ වැව නමින් වර්තමානයේ හැඳින්වෙන වැවේ වැව් බැම්මේ එක් කෙලවරක උතුරු-දකුණු දිසා ඔස්සේ විහිදෙන ගල් තලාවක් මත නටබුන් වූ පැරණි දාගැබක් දැකිය හැක. සක්කා ගල් වලින් තනන ලද හතරැස් වේදිකාවක් මත එය තනා ඇති බව 1972 ප්‍රකාශිත පැරණි ස්මාරක නාමාවලියේ සඳහන් වන මුත් මේ වනවිට එවන් වේදිකාවක් දැකිය නොහැක. දාගැබ ඉදිකිරිමට නම් සක්කා ගල් උපයෝගි කරගෙන ඇති බව පෙනේ. මේ ස්ථානයේ සිට මද දුරකින් මහනුවර යුගයට අයත් ටැම්පිට විහාරයක්ද ඇති බැවින් මෙම දාගැබද එම යුගයේ කල ඉදිකිරීමක් විමට ඉඩ නැතිවා නොවේ. කෙසේ නමුත් ඒ ආසන්නයේම පාහේ දාගැබේ සිට මදක් දකුණු දෙසට වන්නට ඇති විශාල වතුර රැඳෙන ගල් වලක් ආසන්නයේ පශ්චාත් බ්‍රාහ්මි අක්ෂර වලින් කොටා ඇති ගිරි ලිපිය අනුරාධපුර යුගය දක්වා මෙම ස්ථානයේ ඉතිහාසය විහිදි ඇති බවට සාධක සපයයි.
නටබුන් වූ දාගැබ අසලට පෙනෙන හබරණ වැව
 ශ්‍රී ලංකාවේ පැරණි දේ සම්බන්ධ අධ්‍යයන පටන් ගත් මුල් කාලයේම පාහේ මෙම ගිරි ලිපිය බ්‍රිතාන්‍යය විද්වතුන්ගේ අවධානයට ලක්වූවේ එය මහනුවර-ත්‍රිකුණාමලය මහා මාර්ගයේ ප්‍රධාන මංසන්දියක් වන හබරණට නුදුරින්, පැරණි තානායමට ආසන්නව පිහිටි බැවිනි. ක්‍රි.ව. 1883 දී මෙරට සෙල්ලිපි සම්බන්ධව ගවේෂණාත්මක කෘතියක් කල එඩ්වඩ් මුලර් මහතා පවසන්නේ මෙම ලිපිය මෙරට පැරණි සෙල්ලිපි අතරින් ඉතාම හොඳ මට්ටමේ තිබූ ලිපිය බවය. එසේම එය යුරෝපීය විද්වතුන් හට දැනගන්නට ලැබුනු මෙරට සෙල්ලිපි අතරින් පලමුවැන්න බවය. ඒ ජේම්ස් ප්‍රින්සෙප් නැමැති පුරාවිද්‍යා ගවේශකයා විසින් එහි පිටපතක් රාජකීය ආසියාතික සමිතියේ සඟරාවේ පළකිරීම හේතුවෙනි (ප්‍රින්සෙප් යනු බ්‍රාහ්මී අක්ෂර පළමු වරට කියවා තේරුම් කල තැනැත්තාය.)
ගිරි ලිපිය
ගිරි ලිපිය
මුජිතගම නකරහි (මුදිතගමු නුවර) අමාත්‍යයා වූ වෙසයගේ පුත් වූ අගයට අයත් වූ අගිවඩමන වවි සහ අතිවවි (ඇත් වැව) නම් වූ වැව් ගම් සහ අතට වවියෙන් (අතළෙ වැව) සහ නගරයෙහි වසන ගලවකගේ අවිතක නම් කෙතෙනුත් ධාන්‍ය වලින් ගෙවිය යුතු බද්ද ගණනය කිරීමක් මෙම ලිපියේ මුලින්ම සිදු කෙරේ. පෙරදී ගෙවමින් තිබූ බද්දත් නැවත ගණනය කිරීම් වලින් වැඩිවූ බද්දත් පිළිවෙලින් කරිස 2000 සහ 41 ලෙස දැක්වේ. ඉන්පසු මපරුමක මහරජ නම් වූ රජ කෙනෙකුන් විසින් ඉහත ගණනය කල බදු වලින් බොජියපති කොටස (බෝජකයාගේ එනම් භුක්ති විඳින්නගේ කොටස හෙවත් අය බද්ද) සේනගේ පුත් වූ අබලයට සහ හමුදා නායකයෙකු වූ ආරක්ෂක නකයගේ මුණුබුරු වූ වෙසමණයට දෙන ලෙස නියම කර, ඒ සඳහා ඔවුන් මුදල් ගෙවිය යුතු බව පවසයි. එම මුදල් සහ කුල අමණ ලෙස හැඳින්වූ ජල බද්ද එහි බොජියපති කොටස අඩු කර චේතියගිරි සංඝාරාමයේ, අම්බස්තලයේ ශිලාචේතියේ ඔහු විසින් පිළිසකර කල චේතියඝරයට තෙල් සහ වෙනත් පූජා භාණ්ඩ සැපයීමට, එහි බුමුතුරුණු ඇතිරීමට සහ ඉතිරිය භික්ෂුන්ට දානය පිරිනැමීමට යොදවන ලෙස පවසයි. ස්වස්තික ලකුණක් යෙදීම මගින් මෙම රාජකීය ප්‍රදානය අවසන් වු පසු අමාත්‍ය වසභගේ පුත් වූ නකය ඔහුට අයත් බොජියපති බද්ද (ධාන්‍ය මගින් කරිස 1000 වූ) එම ස්ථූපයටම පූජා කල බව පැවසේ. ලිපිය අවසාන වන්නේ හය වන අවුරුද්දේ මජිමදින නම් මාසයේ පුරපස දෙසතියෙ හතරවන දින ලෙස ලිපිය සටහන් කල දිනය සඳහන් කිරීමෙනි. මෙහි එන මජිමදින මාසය යනු සිංහල මාස ක්‍රමයට අනුව මැදින් ලෙස වර්තමානයේ හැඳින්වෙන පෙබරවාරි - මාර්තු අතර කාලයයි. හයවන අවුරුද්ද ලෙස හැඳින්වූවේ ඉහත සඳහන් මපරුමක මහරජුගේ හයවන රාජ්‍යත්ව වර්ෂය විය හැක.
ගිරි ලිපිය
මපරුමක මහ රජ
මපරුමක මහරජ යන විරුදයෙන් ඉහත ලිපියේ හැඳින්වෙන්නේ කනිෂ්ඨ තිස්ස රජු (ක්‍රි.ව. 167 - 186) ලෙස පරණවිතාන මහතා හඳුනාගනී. මෙම ගිරි ලිපියේ සඳහන් වන ලෙසට චේතියගිරෙහි ඇති අම්බස්තල ශිලාචේතියේ චේතියඝරය මෙම රජු විසින් තනවා හෝ පිළිසකර කරවා ඇත. මහාවංශය සඳහන් කරනුයේ කණිෂ්ඨ තිස්ස රජුගේ ආගමික ඉදිකිරීම් අතර අම්බස්තලයේ චේතියඝරයද වූ බවය. එසේම තම්මැන්නාව සෙල් ලිපියේ මපුරමක මලි තිස මහරජ ලෙස හැඳින්වෙන රජු එම සෙල්ලිපිය පිහිටුවා ඇත්තේ මෙම ලිපියට වසරකට පසුවය. මලිතිස යනු කණිෂ්ඨ තිස්ස යන්න සමග සාකල්‍යයෙන්ම සැසදේ. ඒ අනුව එම හඳුනාගැනීම සනාථ වේ.
නටබුන් වූ දාගැබ

අගිවඩමණ වවිය
වසභ රජු (ක්‍රි.ව. 67 - 111) විසින් ඉදිකල වැව් අතර අග්ගිවඩ්ඪමානක නම් වූ වැවක් පිළිබඳ සඳහනක් මහාවංශයේ දැක්වේ. පෙළ බසින් එසේ හැඳින්වෙන එම වැව පූජාවලියේ හෙළ බසින් අස්වඩුන්නා වැව (ඇතැම් පිටපත් වල අක්වඩුන්නා වැව) ලෙස හඳුන්වා ඇත. ඉහත ගිරි ලිපියේ අගිවඩමණ ලෙස පැවසෙන්නේ ඉහත වසභ රජු තැනවූ අග්ගිවඩ්ඪමානක වැව වීමට බෙහෙවින්ම ඉඩ ඇත. C.W. නිකොලස් විසින් වචන වල සමානත්වය සලකා වර්තමානයේ හබරණ වැවට මදක් දකුණින් සැතපුමක් පමණ දුරුන් ඇති හිරිවඩුන්න වැව පැරණි  අගිවඩමණ වැව ලෙස හඳුනාගන්නා මුත් පරණවිතාන මහතාගේ මතය වන්නේ ගිරි ලිපියේ 'මේ අගිවඩමන වවි" ලෙස සඳහන් වන බැවින් ලිපිය පිහිටුවා ඇති ගල් තලාව ආසන්නයේම ඇති වර්තමානයේ හබරණ වැව ලෙස හැඳින්වෙන වැව පැරණි අගිවඩමණ වැව බවයි.
හබරණ වැව
අම්බස්තලයේ ශිලාචේතිය
වර්තමානයේ අම්බස්තල දාගැබ ලෙසින් හැඳින්වෙන මිහින්තලයේ ඇති කුඩා ස්ථූපය මෙම ලිපියේ සඳහන් වන අම්බස්තලයේ ශිලාචේතිය ලෙස හඳුනාගත හැක. එයට කණිෂ්ඨතිස්ස රජු ඉදිකල බව ඉහත ගිරි ලිපියේ දැක්වෙන චේතියඝරය දැවයෙන් සෑදූවක් වන්නට ඇති බවය පරණවිතාන මහතාගේ අදහස. මක් නිසාද යත් වර්තමානයේ මෙම ස්ථූපය වටා ඇති ශිලා කණු ඊට පසු කාලීන ඉදිකිරීමක (චේතියඝරයක) කොටස් බවට එම කණු පිරිනැමූ බවට සඳහන් 8 වන ශතවර්ෂයට අයත් ඒවායෙහි ඇති ලිපි මගින් එලිදරව් වන බැවිනි.

මූලාශ්‍ර
  • Muller E., 1883, Ancient Inscriptions in Ceylon.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Archaeological survey of Ceylon, Inscription of Ceylon Volume II, Part II, Late Brahmi Inscriptions, Paranavitana S., 2001
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • සිංහල සෙල්ලිපි වදන් අකාරාදිය, සිරිමල් රණවැල්ල, 2004

Wednesday, November 16, 2016

රජරට අප්‍රකට පැරණි පුදබිම් 2 - වක්වූ නැහැයක් වූ තිස්ස කරවූ කාඩිගල මංගලාරාමය.

අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්ක මායිම් වන කලා ඔය හරස් කර බැඳි රාජාංගන ජලාශය සමීපයේ වර්තමානයේ කාඩිගල ලෙසින් හැඳින්වෙන කුඩා කඳු ගැටයක් මත  මාර්ගය ආසන්නයේ සිට පර්වතය මුදුනට නැගීමට ගලේ කපන ලද පියගැටපෙලක් දිස්වේ. ගල් පඩි 400 ක පමණ ප්‍රමාණයක් නැග කඳු මුදුනට පැමිණි කල නිධන් කොල්ලකරුවන් විසින් විනාශ කරන ලද තරමක විශාල ස්ථූපයක නටබුන් දැකිය හැක. පර්වතය පාමුල සහ අතරමගද කුඩා ස්ථූප හෝ වෙනත් ගොඩනැගිලි වූ බවට සාධක ඇතිමුත් ඒවා බෙහෙවින්ම විනාශ කර දමා ඇත. 
මේ ස්ථානය පිළිබඳව මෑත යුගයේ මුල්ම සඳහනක් හමුවන්නේ එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ H.C.P. බෙල් මහතා විසින් වර්ෂ 1895 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන වාර්තාවේ තැබූ සටහනකය. විලච්චි කොරලයේ සීමාව ආසන්නයේ කලා ඔයේ වම් ඉවුරේ කාඩිගල නම් වූ ගල් පර්වතයේ මුදුනට නැගීමට තිබූ දිගු පඩිපෙල ආරම්භ වන ස්ථානයේ 'ගාමිණි අභය' කරවූ ශිලා ලේඛනයක් ගැන මෙන්ම නටබුන් වූ දාගැබක් සහ එවකට ගඩොල් ගොඩක් බවට පත්ව තිබූ  කලකට ඉහතදී විහාරයක්ව තිබූ ලෙනක දැකිය හැකි වූ බුද්ධ සහ විෂ්ණු ශිලා ප්‍රතිමා දෙකක් ගැනද ඔහු විස්තර කරයි. කඳු මුදුනේ තිබූ දෙවෙනි දාගැබ කිසිවෙකු විසින් හෝ විනාශ නොකර තිබූ අතර එහි ශිලාමය කොත එය තිබිය යුතු ස්ථානයේම තිබූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මේ සමග පලවන රූපයේ දැක්වෙන්නේ බෙල් සඳහන් කල ස්ථූපයේ වර්තමාන ස්වරූපයයි. කොත තිබූ ස්ථානයේ අඩි ගනනාවක් පහලට හෑරූ වල අනිත් රූපයෙන් දැක්වේ. පැරණි ආගමික ස්ථාන වල අගනා වස්තුව ඇතැයි යන මිත්‍යාවෙන් පෙලනු ලැබූ අමනයන් විසින් එම අගනා ජාතික උරුමය සදහටම වනසා දමා ඇත.  මිට අමතරව විහාර ගෙයක් තිබූ බවට බෙල් සඳහන් කරන පර්වතය පාමුල වූ ගල් ලෙනේ මේ වන විට දේවාලයක් පිහිටුවා ඇත.

H.C.P. බෙල් සඳහන් කරන ශිලා ලිපිය පසු කලක නිවැරදිව කියැවූ සෙනරත් පරණවිතාන මහතා එය වහබ රජුගේ පුත් වූ තිස රජ විසින් සිය මව් වූ ජිත දේවියට පිං පිණිස යමක් කරවූ බව සදහන් වන ලිපියක් බව පවසයි. ලිපියෙන් ඔහු විසින් කරවූ දෙය පැහැදිලිව ඉදිරිපත් නොවන මුත් එය පිහිටවූ ස්ථානය සහ එහි වර්තමානයේ දැකිය හැකි නටබුන් අනුව එය මේ ස්ථානයේ තිබූ ආරාමය බව පැහැදිලිය. ශිලා ලිපියේ දැක්වෙන වහබ රජු වසබ රජු (ක්‍රි.ව. 65-109) බවත් තිස ලෙසින් හැඳින්වෙන ඔහුගේ පුතු වංකනාසික තිස්ස (වක් වූ නහයක් ඇති තිස්ස ) ලෙසින් මහාවංශ කතෘ නම් තැබූ රජු (ක්‍රි.ව. 109-112) ලෙසත් පහසුවෙන් හඳුනාගත හැක. මේ හඳුනාගැනීම තවදුරටත් තහවුරු වන්නේ මහාවංශයේ වංකනාසික තිස්ස රජු ගැන සදහන් වන විස්තරයේ දැක්වෙන වෙනත් සදහනකිනි. මහාවංශ කතෘ වංකනාසික තිස්සගේ තුන් අවුරුදු පාලන කාලය පිළිබඳ වූ කෙටි විස්තරයේ ඇතුලත් කරන එකම වැදගත් කටයුත්ත නම් ඔහු විසින් ගෝණ නදී තීරයේ කල මහාමංගල නම් වූ විහාරයයි. 
රාජාංගනය ජලාශය සහ කාඩිගල පර්වතය
 වංශ කතා වල එන ගෝණ නදිය යනු වර්තමානයේ කලා ඔය ලෙසින් හැඳින්වෙන නදිය බව හඳුනාගෙන ඇත. ඒ අනුව කලා ඔය හරස් කර මෑත කාලයේ තැනවූ රාජාංගන ජලාශය ඉවුරේ වූ මෙම ස්ථානයේ එවකට වූ විහාරය වංකනාසික තිස්ස රජු කරවූ මහාමංගල වෙහෙර බව පැහැදිලිය. (දීපවංශයද වසබ රජුගේ පුත් තිස්ස විසින් මංගල නම් වූ ආරාමයක් කල බව පවසන මුත් එය පිහිටි ස්ථානය ගැන කිසිවක් සඳහන් නොකරයි.)
පර්වතය මුදුනේ ඇති කටාරම් කෙටූ ලෙනක්
මහාවංශයේ සඳහන් වන ලෙසට වසබ රජු තම අගමෙහෙසිය ලෙස පත් කරගත්තේ ඔහුට රජය ගැනීමට උපකාරී වූ පොත්ථා නමින් හැඳින්වූ  සිය මාමාගේ බිරිඳය. මෙම ශිලා ලේඛනයේ සඳහන් වන වසබ රජුගේ පුත් තිසගේ මව වන ජිත දේවිය යන්න සමග නම් එය නොගැලපේ. ඇතැම් විට වසබ රජුට වඩා බෙහෙවින් වැඩි වයසින් යුත් පොත්ථා අභාවයට පත් වූ පසු අභිෂේක කල අගමෙහෙසිය ජිත දේවිය විය හැක.

ආශ්‍රිත පෙර ලිපි
මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • The Deepavamsa, Hermann Oldenberg, 1879
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Inscriptions of Ceylon Vol II, Part I. Late Brahmi Inscriptions, Containing rock and other inscriptions from the reign of Kutakanna Abhaya (41 B.C. - 19 B.C.) to Bhathiya II (140-164 A.D). Senarat Paranavitana, 1983
  • ජාතික උරුමය පණගන්වන ගලේ කෙටූ අකුරු - 1, එල්ලාවල මේධානන්ද හිමි, 2016
  • අනුරාධපුර යුගය, අමරදාස ලියනගමගේ සහ රණවීර ගුණවර්ධන,1965
  • Bell H.C.P., 1904, Archaeological Survey of Ceylon, North Central, Sabaragamuwa, Central And North - Western Provinces, Annual Report 1895.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.