Showing posts with label Mahagama. Show all posts
Showing posts with label Mahagama. Show all posts

Wednesday, January 2, 2019

වලා හොය වම් ඉවුරේ මාගම සහ දාපුලු රජු කරවූ පාඩික්කුලම වෙහෙර

 මහගම වැව හෙවත් පන්ඩික්කුලම හෙවත් ඌරුසිටා වැව 
අප රට තුල රට අභ්‍යන්තරයේ සිට ඉන්දියන් සාගරයට ගලාබසින 103 පමණ වූ ගංගාවන් අතරින් වළවේ ගඟ සැලකිය යුතු ජල සම්පතක් සාපෙක්ෂව වියලි භූමි භාගයක් ඔස්සේ මහ සයුර කරා ගෙන යන ගංගාවක් ලෙස හඳුනාගෙන ඇත. පැරණි අඟලේ සිතියමක් ගෙන බැලුවහොත් වළවේ ගංගා ද්‍රෝණියේ, විශේෂයෙන්ම එහි වම් ඉවුරේ, මෙයට පෙර ලිපියකින් අප විස්තර ඉදිරිපත් කල කල්තොට මොහොරට (Link>>) පහලින් වූ ප්‍රදේශයේ, දැකිය හැකි විශාල ප්‍රමාණයක් වූ ලොකු, කුඩා වැව් අපේ පැරන්නන් මෙම ජල සම්පත රැස්කර තබා ගනිමින් සරුසාර ප්‍රදේශයක් බවට එම තැනිතලා භූමිය පරිවර්තනය කිරීමට ගත් වෙහෙස මැනවින් පෙන්වා දේ. එදා වන නදිය, වලා හොය ආදි නම් වලින් හැඳින්වූ වළවේ ගඟේ ජලයෙන් පෝෂණය වූ රුහුණේ පැරණි සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය පිළිබඳව අදටත් සාධක සපයන්නේ එම වාරිමාර්ග පද්ධති සහ ඒ අතර වූ බෞද්ධ වෙහෙර විහාර නටබුන් වේ. මෙම ලිපිය ප්‍රධාන වශයෙන් තවමත් පුරාවිද්‍යාඥයන්ගේ අවධානය එතරම් යොමු නොවූ එවන් පැරණි විහාරයක නටබුන් පිළිබඳව සහ රුහුණේ ඉතිහාසය පිළිබඳව විමසා බැලූ කිසිවකුගේ (අප දන්න පමණින්) අවධානය එතරම් යොමු නොවූ මහගමක් හෙවත් මාගමක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා වෙන් වේ.
ස්තූපයට දකුණින් පිහිටි ගල්කණු සහිත ගොඩනැගිල්ලක අවශේෂ
පාඩික්කුලම වෙහෙර/පණ්ඩු වැව පිළිබඳව වංශකතා තොරතුරු
පළමුවන පරාක්‍රමබාහු රජු  (ක්‍රි.ව. 1153-1186) රෝහණයේ (රුහුණු රටේ) සිදු කල නොයෙකුත් කර්මාන්ත පිළිබඳව වූ විස්තරයේදී ඔහු විසින් ප්‍රතිසංස්කරණය කල බිඳිගිය සඟසතු වැව් කිහිපයක නම්ද මහාවංශයේ හමුවේ. එහි උරුවෙල වැව, පණ්ඩු වැව සහ කොළම්බ වැව ආදි වැව් දාසයක් (ඇතැම් සංස්කරණ වල 216) ගැන කියවේ.(ගෛගර්ගේ මහාවංශ සංස්කරණයේ පණ්ඩු සහ කොළම්බ වැව් දෙකක් ලෙස නොව පණ්ඩුකොළම්බ නම් වූ එක් වැවක් ලෙස ගෙන ඇත.) තවද පරාක්‍රමබාහු රජු එම රුහුණු රටෙහිම දිරාගිය අමුණු 18 ක්ද, විනාශ වූ කුඩා වැව් 205 ක්ද බැන්දවීය. පූජාවලියේ සඳහන් වන ලෙසට දාපුලු නම් රජු (පළමුවන දප්පුල - ක්‍රි.ව. 659) රුහුණින් අවුදින් අනුරාධපුර නුවර හිඳ නැවත රුහුණෙහි ...සම්බෙගමු, පාඩික්කුලම, කසගලු... ආදී එකුන් විස්සක් පමණ රජමහා විහාර කරවා තුන් අවුරුදු තුන් මසක් රජය කෙළේය. මේ අදහසම අඩු වැඩි වශයෙන් ඉදිරිපත් කරන රාජාවලිය පවසන්නේ දාපුලු රජ රුහුණින් ගොඩනැගී අනුරාධපුර නුවරට ගොස් ...නැවත රුහුණට ගොස් රූණු වෙහෙර කරවා....මාගම පසික්කලම, කසාගුළුව...යන වෙහෙර කරවා ලෙසිනි. (රාජාවලි ඇතැම් පිටපත් වල මෙම වෙහෙර පඩික්කුලම, පාඩික්කුලම ආදි වශයෙන්ද සටහන් වී ඇත.)
තවමත් විදිමත් කැනීමක් සිදු නොවූ ගරාවැටුන දාගැබ
මව් ආරේ පැරණි ස්ථානය (1963)
මව් ආරේ පැරණි ස්ථානය ලෙසින් හඳුන්වා 1963-64 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ පාලන වාර්තාවේ වළවේ නිම්නයේ හමුවන නටබුන් ස්ථානයක් පිළිබඳව විස්තරයක් අපට හමුවේ. එහි සඳහන් වන ලෙසට වළවේ ගඟේ විශාලම ශාඛාවක් වන මව් ආරේ වම් ඉවුරේ මහගම වැව අසල අඩි 200 පමණ වට ප්‍රමාණය ඇති, අඩි 15 පමණ උස, ගරා වැටුණ දාගැබක් ඇත. එහි මුදුනේ තිබී කුහර 25 සහිත යන්ත්‍ර ගලක් මෙන්ම දාගැබ් මළුවෙන් බුදු පිළිමයක වැලමිටක කොටසක් සහ බ්‍රාහ්මි අක්ෂර කොටා ඇති ගඩොල් කැබලි ආදිය හමු වී ඇත. දාගැබට දකුණින් යාර 100 පමණ දුරින් එක් පසක 4 බැගින් ගල් කණු 16 ක ගොඩනැගිල්ලක අවශේෂ හමුවේ ( එහි ඒ වන විට පොළව මට්ටමේ සිට අඩි 3 පමණ උස ගල් කණු 7 පෙර තිබූ ලෙසින්ම තිබී ඇත.). එයට නුදුරින් බුදු පිළිමයක පාදමක්ද තිබී ඇති අතර. දාගැබ වටා අක්කර 20 ක පමණ ප්‍රදේශයේ ගල් කණු, ගඩොල්, ගල් කණු කැබලි, ගඩොල් බැමි ආදිය දක්නට ලැබී ඇත. නැවතත් 1964-65 සඳහා වූ පාලන වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය වසරේ එම ස්ථානයට යන විට කැලයෙන් වැසී තිබීම නිසා නොදුටු විශාල පොකුණක්ද හමුවූ බවය.
බොහෝ දුරට බුදු පිළිමය සහ බෝධිසත්ව පිළිමය තබා තිබූ පාදම් 

මහගම පැරණි ස්ථානය(1972)
1972 වර්ෂයේ නිකුත් කල පැරණි ස්මාරක නාමාවලියේ මහගම පැරණි ස්ථානය ලෙසින් හඳුන්වා ජරාවාස වූ දාගැබක් සහ වෙනත් ගොඩනැගිලි 3 ක අවශේෂ මෙහි ඇති බවටත්, එහි විශාල ප්‍රදේශයක පැරණි ගඩොල් බැමි වල අවශේෂයන් සහ ගල් කුළුණු කෑලි දක්නට හැකි බවටත් තොරතුරු ඉදිරිපත් කර ඇත.

මහගම මහානාග රජමහ විහාරය(1993)
 ඉන්පසු නැවතත් 1993 වසරේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ පාලන වාර්තාවේ මෙම නටබුන් ස්ථානය පිළිබඳව විස්තර හමුවේ. ඒ වන විට මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ මහගම මහානාග රජමහ විහාරය ලෙසිනි. 70 දශකයෙන් පසු කාලයේදි නැවතත් මෙම ස්ථානය භික්ෂූන් වසන විහාරයක් බවට පත් වී ඇත. විශ්කම්භය මීටර 20 පමණ වූ සහ මීටර 10 පමණ උස වූ නිධන් හොරුන් විසින් වැනසූ දාගැබ පිළිබඳව මෙන්ම එයට බටහිරට වන්නට හමුවූ හුණුගල් බෝධිසත්ව පිළිමයක දනහිසට ඉහලින් වූ කවන්ධ කොටසක් පිළිබඳවද, දාගැබට මීටර 80 පමණ දකුණින් වූ ගොඩනැගිල්ලක නටබුන් මෙන්ම, ඒ අසල වූ බොහෝ දුරට බුදු පිළිමයක යටකොටස විය හැකි කොටසක් පිළිබඳවද එම වාර්තාවේ විස්තර ඉදිරිපත් කර ඇත. නූතන විහාරයේ බණ මඩුවට මීටර 40 පමණ දකුණින් ගල් කණු 10 ක පමණ කොටස් හමුවන මීටර 4X4 විශාල වූ පාදමක් සහිත ගොඩනැගිල්ල පිළිබඳවද එහි විස්තර වේ. එම ගොඩනැගිල්ලට අමතරව තවත් ගොඩනැගිලි 12 ක අවශේෂ මෙම පරිශ්‍රයේ හමුවන බවත් එම ඇතැම් ගොඩනැගිලි වටා නටබුන් වූ බිත්ති කොටස්ද දැකිය හැකි බවත් 1993 වාර්තාවේ තවදුරටත් සඳහන් වේ. අක්කර 50 ක පමණ ප්‍රදේශයක් පුරා මෙම ගොඩනැගිලි විසිර ඇති බැවින් පුරාණ කාලයේ අතිශයෙන්ම සශ්‍රික වූ  විහාරයක් මෙහි තිබී ඇති බවට එහි අවසාන වශයෙන් සඳහන් වේ.
බෝධිසත්ව පිළිමයේ සහ හිටි බුදු පිළිමයේ කවන්ධ කොටස්
රුහුණේ අගනුවර ලෙස වංශකතා වල සඳහන් වන මාගම හෙවත් මහ ගම ( පාලියෙන් මහාගාම) වර්තමාන තිස්සමහාරාම ප්‍රදේශය තුල පිහිටි බව පොදුවේ පිළිගන්නා මතයයයි. එහෙත් මුල් කාලීන මාගම පිහිටි ස්ථානය පිළිබඳව විවිධ මත පවතින බව අප පෙර ලිපියකින්ද අවධානය යොමු කල අතර (>>Link) මහානාගකුල(රම්බා වෙහෙර) සහ උදුන්දොර (ගලබැද්ද) වැනි ස්ථාන වලද ඇතැම් යුග වලදී අගනුවරවල් පැවති බවට වංශ කතා මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක ඇත. එසේම තවමත් හඳුනා නොගත් නම් සහිත ස්ථාන වල ඇතැම් යුග වලදී විවිධ රජවරුන් සහ ප්‍රාදේශිය උප රජවරුන් සිය පාලන මධ්‍යස්ථාන පවත්වාගෙන ඇති බවට වංශ කතා තොරතුරු ඇත. තවද එකම යුගයකදී වුවද මහා ගාම ලෙසින් ස්ථාන එකකට වඩා පැවතිය හැකි බව අවිවාදිතය. මක් නිසාද යත් එහි වචානාර්ථයෙන්ම හැඟෙන පරිදි කිසියම් ප්‍රදේශයක වැඩි ජන ඝනත්වයක් පැවතීම, ප්‍රධාන වාරිමාර්ග පද්ධති සහ විහාර ආදිය ඉදිවී තිබීම ආදී කරුණු අනුව නිතැතින්ම එම ප්‍රදේශය 'මහා ගමක්' වන නිසාය.
වර්තමාන විහාරයේ බුදු පිළිමයක් තැබීමට උපයෝගි කරගෙන ඇති පැරණි ස්තූපයේ විය හැකි කැටයම් ගල් 
ඉහත පෙන්වා දුන් අන්දමට දාපුලු නම් රජු ඉදි කල බවට පූජාවලියේ දැක්වෙන වෙහෙර විහාර  ලේඛනයේ පාඩික්කුලම යන වෙහෙරට පෙර දැක්වෙන්නේ සම්බෙගමු වෙහෙර වන අතර ඉන්පසු දැක්වෙන්නේ කසගලු (රාජාවලියේ මෙය කසාගුළුව ලෙසින් දක්වා ඇත.) යන වෙහෙරය. හම්බේගමුව ලෙසින් හැඳින්වෙන වැවක් සහ ඒ අසල නටබුන් වෙහෙරක් වලවේ නිම්නයේම ඉහත මහගම වැවට ඉහලින් හමුවන අතර කසාගල ලෙසින් අදටද හැඳින්වෙන පැරණි වෙහෙරක නටබුන් මහගමට දකුණින් රන්න-වීරකැටිය පාරේ දැකිය හැක. (එම ස්ථානයේ තිබී හමුවූ දෙවන සියවසට අයත් සෙල්ලිපියකට අනුව එහි පැරණි නම කචාගලයි.) <පහත සිතියම බලන්න.>


ස්තූපය අසල තිබූ මල් ආසනයක් විය හැක
 තවද මෙම වලවේ නිම්නයේ පුරාණ වාරිමාර්ග පද්ධති පිළිබඳව R.L. බ්‍රොහියර් මහතා  ඉදිරිපත් කරන තොරතුරු වල මහගම වැව හැඳින්වෙන්නේ පන්ඩික්කුලම් යන නමිනි. මෙම සියළු සාධක එක්ව ගත් කල දාපුළු රජු කරවූ පාඩික්කුලම විහාරය එම නමින්ම මෑතක් වන තුරු හැඳින්වූ දැනට මහාගම වැව නොහොත් ඌරුසිටා වැව ලෙසින් හැඳින්වෙන වැව අසල අප ඉහත තොරතුරු ඉදිරිපත් කල පෞරාණික ස්ථානය බවට හඳුනාගැනීම බොහෝදුරට නිවැරදි බව පෙනේ. තවද වලවේ නිම්නයේ පැරණි වාරිමාර්ග පද්ධති අතරින් විශාලම වාරි කර්මාන්තය ලෙස පන්ඩික්කුලම දැක්විය හැකිය (බ්‍රොහියර් ඉදිරිපත් කරන තොරතුරු සහ පැරණි අඟලේ සිතියම් වලට අනුව. අද වන විට නව ජලාශ ඉදිවීම සහ පැරණි කුඩා වැව් විශාල කර නැවත ඉදිකිරිම නිසා මෙම තත්වය වෙනස් වී ඇත. මහගම වැවේ වාරි තාක්ෂණය සහ වලවේ ගඟේ අනිකුත් එල්ලංගා වැව් පද්ධති පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.). ඒ අනුව එය පිහිටි ග්‍රාමය මහගම ලෙසින් එවකට හඳුන්වා තිබීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිවැරදි වේ. පළමුවන පරාක්‍රමබාහු රජු ප්‍රතිසංස්කරණය කරවූ පණ්ඩු (හෝ පණ්ඩුකොළම්බ ) වැවද එම පන්ඩික්කුලම  වැව විය හැකි බවට C.W. නිකොලස් මහතා අනුමාන කරයි.
වර්තමාන විහාරයේ බුදු පිළිමයක් තැබීමට උපයෝගි කරගෙන ඇති පැරණි ස්තූපයේ විය හැකි කැටයම් ගල් 
මෙහිදි අපගේ අවධානය යොමුවන තවත් වැදගත් කරුණක් වන්නේ පූජාවලියේ 'පාඩික්කුලම වෙහෙර' යනුවෙන් පමණක් හඳුන්වන විහාරය රාජාවලිය දක්වන්නේ "මාගම පසික්කලම/පාඩික්කුලම" ලෙසින් වීමය. පැරණි පාඩික්කුලම විහාරය දැනටද මහගම ලෙසින් හඳුන්වන ගමෙහි පිහිටි නටබුන් ස්ථානය ලෙස අපගේ හඳුනාගැනීම නිවැරදි නම් මෙහි මාගම යනුවෙන් හඳුන්වන්නේ තිස්සමහාරාමයේ පිහිටි ප්‍රකට මාගම නොව මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික් මායිමේ මොණරාගල දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති අපගේ ලිපියට ප්‍රස්තුත වන මාගම හෙවත් මහගම බව පැහැදිලිය. මහාවංශයේ පටන් රාජාවලිය දක්වා වංශ කතා වල දැක්වෙන මාගම යනුවෙන් සඳහන් වන සියළු ස්ථාන පොදු පිළිගැනීම වන තිස්සමහාරාමයට අදාල කරගැනීම කොතරම් නිවැරදිදැයි නැවත සලකා බැලිය යුතු බව මේ අනුව අපට හැඟේ.
මූලාශ්‍ර
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1997
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Administration Report of the Archaeological Commissioner for the Financial Year 1963-64, 1965
  • Administration Report of the Archaeological Commissioner for the Financial Year 1964-65, 1967
  • Administration Report of the Director-General of Archaeology for the Year 1993, Deraniyagala S.U.
  • Water For People And Nature, Arumugam Commemoration Volume, Sri Lanka Water Heritage, History of Water Conservation Volume 2, Bhadra Kamaladasa & Mendis D.L.O. Ministry of Irrigation And Water Management, 2003
  • වැව, උදුල බණ්ඩාර අව්සදහාමි, 2015
  • Journal of the Sri Lanka Branch of the Royal Asiatic Society, Major Ancient Irrigation Works of Sri Lanka, New Series Volume XXII Special Number, by A.Denis .N. Fernando, 1980
  • Hundred Years of The Irrigation Department, Centenary Commemoration Volume, 1900-2000, Dharmasena et.al. 2000
  • The national Atlas of Sri Lanka, Survey Department, 2007

Sunday, December 2, 2018

පැරණි මාගම රාජධානිය පිහිටියේ ඇලහැරද?

දේවානම්පියතිස්ස රජුගේ දෙවන සහෝදරයා උපරජු මහානාග නම් විය. හේ දිනක් වැවක් කරමින් උන් තැනක සිටින විට දේවානම්පියතිස්ස රජුගේ දේවිය උපරජු වෙත අඹ යැව්වේ ඉන් උඩින්ම වූ අඹ ගෙඩියට විෂ යොදා උපරජු මරණ අටියෙනි. මහානාග රජු මැරීමට ඇයට උවමනා වූවේ දේවානම්පියතිස්ස රජුගෙන් පසුව සිය එකම පුත් කුමරාට බලය ලබාගැනීමේ පරමාර්ථයෙන් බව වංශ කතාව අපට පවසයි. මෙකල සම්ප්‍රදාය වූවේ රජුගෙන් පසු ඉන්පසුව සිටින රජුගේ වැඩිමහල් සොහොයුරාට බලය හුවමාරු වන "සහෝදර සමාගමේම" බලය රදවාගැනීමේ සම්ප්‍රදායකි ("සහෝදර සමාගම" වෙනුවට "සමනල් සමාගම" තෝරාගත් වර්තමාන සිංහලයන් වසර තුනකුත් මාස ගණනක්ම මදි නොකියන්න ඉල්ලාගෙන කෑම අතීතය නොදැනීමේ වරදක් විය නොහැකිද?) රජුගේ වැඩිමහල් පුතුට බලය හිමිවන්නේ සියළුම සහෝදරයන් ජීවතුන් අතර නැති විටකදී පමණි. දේවානම්පියතිස්ස රජුට තවත් සහෝදරවරු සිටි බැවින් මහාවංශය පවසන පරිදි උපරජුව මරා දැමීමට රජුගේ දේවියට හේතුවූ කරුණ එලෙසින්ම පිළිගැනීමට මදක් අපහසුය. කෙසේ නමුත් මහානාග උපරජු සමග එම දේවියගේ පුතුද වැව සාදන ස්ථානයට ගොස් සිටි බැවින්  සැබවින්ම සිදුවූවේ එම කුමරු විෂ යෙදු අඹ ගෙඩිය අනුභව කර මරණයට පත්වීමය. මින් බියපත්වූ මහානාග යුවරජු සිය දේවිය, ධනය සහ බල සෙනග ගෙන රුහුණ බලාගොස් එහි අධිපතිව මාගම (මහාගාම) සිට රාජ්‍යය කල බව පැවසේ.
ඇලහැර අමුණේ සිට අඹන් ගගේ ජලය ගිරිතලා, මින්නේරි සහ ගඟතලා (කන්තලේ) වැව් කරා ගෙනයන ඇලහැර යෝධ ඇල. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා Link>>
ඉන්පසුවත් වංශ කතාවේ බොහෝවර සඳහන් වන, පැරණි රුහුණු රටේ පිහිටි මාගම හෙවත් පාළියෙන් මහාගාම ලෙසින් හැඳින්වුන "මහ ගම", අද තිස්සමහාරාමය ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය කෙන්ද්‍රකරගනිමින් පැවත තිබූ බව පොදු පිළිගැනීමයි. පසුකාලීනව මාගම රාජධානිය පිහිටියේ තිස්සමහාරාමයේ බව අවිවාදිතව සියළුම ඉතිහාසාඥයන් සහ පුරාවිද්‍යාඥයන් පාහේ පිළිගන්නා මුත් මුල් යුගයේ මහානාග රජු සිය රාජධානිය පිහිටවූ, ඉන්පසු දුටුගැමුණු රජු සිරිලක එක්සේසත් කරන තෙක් පැවති "මහා ගම" නොහොත් මාගම වූ රුහුණේ අගනුවර පිහිටියේ තිස්සමහාරාමයේ නොවන බවට අවම වශයෙන් විද්වතුන් දෙපලක් සාධක සහිතව කරුණු දක්වයි. ඒ අතරින් පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් රුහුණේ නැගෙනහිර ප්‍රදේශයේ කුඹුක්කන් ඔයට උතුරෙන් වූ ප්‍රදේශයේ දැනටද මාගම ලෙසින් නාම ශේෂ වූ ගම්මානයක් පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව මුල් මහාගාමය පිහිටි බවට කරුණු ඉදිරිපත්කරන අතර, මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා වර්තමාන ඇලහැර ප්‍රදේශය ආශ්‍රිතව එය පිහිටි බවට තර්ක කරයි. මේ ලිපිය සිය මතය තහවුරු කිරිම උදෙසා රණවැල්ල මහතා ඉදිරිපත් කරන කරුණු දැක්වීම් වලින් කිහිපයක් කෙරෙහි පමණක් අවධානය යොමුකිරීම උදෙසා යොමුවන අතර පැරණි මාගම රාජධානිය පිහිටියේ ඇලහැරද එසේ නොවේනම් තිස්සමහාරාමයේද යන්න පිළිබඳව අවසාන නිගමනයක් සිදු කිරීමට මෙහිදි අදහස් නොකරමි.
යෝධ ඇල අද්දර පිහිටා ඇති කිසියම් පැරණි පූජනිය ස්ථානයක තහවුරු කල නටබුන්

මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා ඉදිරිපත් කරන එක් සාධකයක් වන්නේ දුටුගැමුණු රජු රජරට බලය අත්පත් කරගැනීම උදෙසා එළාර සමග සටන් වැදීමට, මාගමින් නික්මීමට පෙර මලයෙහි සිට මෙහි (එනම් අනුරාධපුරයට) එන මාර්ගය පිරිසිදු කල බවට මහාවංශයේ එන සඳහනයි. ඒ අනුව ඒ මහතා තර්ක කරන්නේ මාගම පිහිටියේ මලය දේශයේ බවය. මුල් කාලයේදී මලය දේශයද රෝහණ රටට අයත්ව තිබෙන්නට ඇති බවය එතුමාගේ අදහස වනුයේ (මලය දේශයේ සීමා මායිම් පිළිබඳව වූ පෙර ලිපිය කියවීමට >.Link). මේ අදහසම පාළි මහාබෝධි වංශයේද සඳහන් වේ. පසු කාලීනව කුරුණෑගල යුගයේදී ලියැවුණු සිංහල මහාබෝධිවංශයේ මිහිඳු මා හිමියන් විසින් දේවානම්පියතිස්ස රජුට පවසන අනාවැකියක් ලෙසින් එය සඳහන් වන්නේ මෙලෙසිනි. " .....ඒ රජ තෙමේ [දුට්ඨගාමිණී අභය හෙවත් දුටුගැමුණු]......මහා යෝධ වූ කඬොලැතා පිටට නැගී , මලය දේශයෙන් අවුත් එළාර නම් දෙමළ රජ්ජුරුවන් හා යුද්ධ කොට..."  

කෙසේ නමුත් පැරණි රෝහණයේ මලය ග්‍රාමය නමින් ග්‍රාමයක් වූ බවත් ඉහත මහාවංශ පාඨය එම මලය ග්‍රාමය පිළිබඳව විය හැකි බවත් මා මෙයට පෙර අවස්ථාවකදී කරුණු දැක්වූවෙමි (මෙම ලිපීයේ මලය රට සහ මලය ග්‍රාමය කොටස බලන්න >> Link ). ඒ අනුව සිරිමල් රණවැල්ල මහතාගේ අදහස පිළිබඳව යම් සැකයක් මතු වන බව අප සඳහන් කලමුත් පාළි මහාබෝධිවංශය සහ එය අනුසාරයෙන් ලියැවුණු සිංහල බෝධිවංශය සිරිමල් රණවැල්ල මහතාගේ මතයට රුකුලක් ලබා දේ.
අඹන් ගඟට අසල කුමාර ඇල්ල ප්‍රදේශයේ සංරක්ෂිත පැරණි ජන්තාඝරයක්
පාළි රසවාහිනියේ එන දුටුගැමුණු රජුගේ මහානේල නම් යෝධයාගේ කතාවේ පැවසෙන්නේ ඔහු මහගමින් නික්ම උදෑසන දීඝවාපී (දිගාමඩුල්ල ලෙසින් පාළි රසවාහිනියේ සිංහල අනුවාදය වූ සද්ධර්මාලංකාරයේ එයි.) හරහා ගොස් ගංගා නම් නදිය අසල වඩමන්තොට (වඩ්ඪමානක තීර්ථය) නම් ස්ථානයකදී (සද්ධර්මාලංකාරයට අනුව මහවැලි ගඟ වඩමන් නම් තොට) දැහැටි කා මුව සුද්ධ කොටගෙන, ගෙනගිය බත් අනුභව කර, මහාපාලී නම් දන්හල සංඝයාවහන්සේ දහවල් දන් වලදන්නට පෙර අනුරාධපුරයට ගිය බවයි.  

සහස්සවත්ථුප්කරණයේ එන වේළුසුමන කතාවට අනුව විහාරමහා දේවියගේ කුසේ ගැමුණු කුමරු පිළිසිඳගත් විට ඇයට ඇති වූ දොළ සන්සිඳුවීම උදෙසා උදෑසන ආහාර ගන්නා වෙලාවේ මාගමින් පිටත් වූ වේළුසුමන යෝධයා පා ගමනින් ගොස් දීඝවාපියේදී උදේ ආහාරය ගෙන, හිරු අවරට යත්ම වඩමන්තොටට (වඩ්ඪමානක තීර්ථය) ලඟා වී, පසුව හවස් වරුවේම අනුරාධපුරයට පැමිණි බව පැවසේ.
අඹන් ගඟට අසල කුමාර ඇල්ල ප්‍රදේශයේ සංරක්ෂිත පැරණි බෝධිඝරයක්
මේ කරුණු අනුව මාගම අනුරාධපුරයට එතරම් දුරින් නොපිහිටි බවත් එය කිසිසේත්ම එක් දිනකින් හෝ වරුවකින් පා ගමනින් යා නොහැකි තිස්සමහාරාමය නොවන බවටත් තර්ක කල හැකි බව සිරිමල් රණවැල්ල මහතා පවසයි. කෙසේ වුවත් යෝධයන්ගේ වීර ක්‍රියා අතිශයෝක්තියෙන් වර්ණනා කිරීම උදෙසා රචිත කතා ලෙස ඉහත සිදුවීම් දෙකම එකවර බැහැර කල නොහැක්කේ පපංචසූදනී නම් අටුවා ග්‍රන්ථයේ එන පහත කතාවෙන්ද මාගම අනුරාධපුරයට එතරම් දුරින් නොපිහිටි බවට තහවුරු වන බැවිනි. 

දීඝභාණක අභය නම් වූ තෙර නමක් අරියවංස ප්‍රතිපදාව වදාළ අවස්ථාවේ මාගම සියළු ජනතෙම එය ඇසීමට පැමිණි බවත්, එහෙයින් තෙරුන් වහන්සේට මහත් සත්කාර උපන් බවත් මෙය ඉවසිය නොහුණු එක්තරා මහතෙර කෙනෙක් දේශනාව අවසානයේ දෙදෙනා වහන්සේම තම තමන්ගේ විහාර වලට යාමේදී,  දීඝභානක අභය තෙර සමග ගව්වක් පමණ දුර යනතුරා, එම දීඝභාණක අභයතෙරුන්ට ආක්‍රෝෂ  කළ බවත් පැවසේ. මාගම සිට එම තෙරුන් වහන්සේලා පා ගමනින්ම ගව්වක් දුර වැඩ, එතැන් සිට ඔවුනොවුන්ගේ විහාර වලට වෙනම මගකින් ගිය බැව් එම කතාවෙන් පැහැදිලි වේ. සිරිමල් රණවැල්ල මහතා පවසන්නේ දීඝභාණක අභය තෙරුන් වැඩ සිටියේ චේතියපබ්බත විහාරයේ බවත් (එනම් වර්තමාන මිහින්තලයේ) එබැවින් මාගම සිට එක රැයින්ම ඒ හිමියන් සිය විහාරයට වැඩම කල බව පෙනෙන හෙයින් මාගම මිහින්තලයට එතරම් දුර නොවූ ස්ථානයක තිබිය යුතු බවත්ය. කෙසේ නමුත් පපංචසූදනියේ සිංහල පරිවර්තනයේ  ඉහත කතාව ඇතුලත් කොටසේ දීඝභාණක අභය හිමියන් ඒ තෙරණුවන්ගේ විහාරයට වැඩි බව විනා විශේෂයෙන් චෙතියපබ්බතයට වැඩම කල බව සඳහන් නොවේ. ඒ හිමියන් චෙතියපබ්බතයේ වැඩ සිටි බවට සඳහන් වන්නේ අත්ථසාලිනී නම් වූ වෙනත් අටුවා ග්‍රන්ථයක එන වෙනත් කතාවක් ඉදිරිපත් කිරීමේදීය. එසේම අරියවංශ දේශනාවට මාගම ජනයා පැමිණි බව විනා එය මාගමදී දේශනා කල බව පපංචසූදනී සිංහල පරිවර්තනයේ පැහැදිලිව සඳහන් නොවේ.
ටොලමිගේ ලංකා සිතියම
ක්‍රි.ව. දෙවැනි ශතවර්ෂයට අයත් ටොලමිගේ (Ptolemy) තැප්‍රොබේන් (Taprobane) ලෙසින් හැඳින්වෙන  ලංකා සිතියමේ Maagrammon ලෙසින් අනුරාධපුරයට (Anourogrammon) ගිණිකොන දෙසින් සැතපුම් 35-40 පමණ දුරකින් මාගම සලකුණු කර තිබීමද මාගම අනුරාධපුරයට එතරම් දුර නොවන ස්ථානයක තිබූ බවට තවත් එක් සාධකයක් ලෙස සිරිමල් රණවැල්ල මහතා දක්වයි.

වජ්‍රබෝධී නම් භාරත භික්ෂූන්වහන්සේ නමකගේ මෙරට සිදු කල චාරිකාවක චීන බසින් ඇති වාර්තාවකට අනුව ක්‍රි.ව. 718 දී කාංචිපුර (Kien-tchi) සිට මෙරටට පැමිණි ඒ හිමියන් අනුරාධපුර අභයගිරි විහාරයේ (Abhaya-raja-vihara) සිට ගිණිකොන දෙසින් ලංකා පර්වතයේ (Lanka-Parvata) පිහිටි සිරිපා සටහනක් වන්දනා කිරීමට යාමේදී රෝහණයේ (Lou-ho-no) පාලකයා හමු වූ බවත්, ඔහුට මහායානය දේශනා කල බවත් සඳහන් වේ. ලංකා පර්වතය අනුරාධපුරයට ගිණිකොන දෙසින් ඇලහැරට දකුණින් පිහිටි ලකේගල ලෙස හඳුනාගතහොත් වර්තමාන ඇලහැර ප්‍රදේශය පැරණි රෝහණයේ පාලකයා විසූ අගනුවර වන මාගම ලෙස පහසුවෙන් හඳුනාගත හැකි බව පෙනේ. එහෙත් ලකේගල මුදුනේ සිරිපතුලක් මේ වන විට දැකිය නොහැක. 
ලකේගල
තවද මාගම රාජධානිය ආරම්භ කල මහානාග යුවරජු පිළිබඳව ලලාට ධාතුවංශයේ එන සඳහනකට අනුව එකල මහාදේව තෙරුන් දඹදිව කොසඹෑ නුවර ඝෝසිතාරමයේ ගන්ධකුටියේ තැන්පත් කොට තිබූ බුදුන්ගේ ලලාට ධාතුව ලක්දිවට ගෙනවිත් ලක්දිව හත්ථොට්ඨ නම් ජනපදයට රැගෙන විත් ඇත. මහාකාල නම් කෙළඹි පුත්‍රයාගේ මග පෙන්වීම මත මහානාග යුවරජ හත්ථොට්ඨ ජනපදයට ගොස් එම ලලාට ධාතුන්වහන්සේ මාගමට රැගෙන විත් ඇත. මහානාග යුවරජු හත්තොට්ඨ ජනපදයේ ලලාටධාතුව ඇති බව දැනගන්නේ 'අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ධාතුන් වහන්සේ ගෙන ආ කෙනෙකුන්ට බොහෝ සැපත් දෙමි' යැයි නුවර [එනම් මහාගාමය තුල] බෙර ලැවූ කල්හි, හත්තොට්ඨ ජනපදයේ විසූ මහාකාල කෙළඹි පුත්‍රයාට එය දැන ගැනීමට හැකිවීමෙනි. මේ අනුව හත්තොට්ඨ ජනපදය මාගමට ආසන්නව තිබිය යුතු බවට උපකල්පනය කල හැක. ලග්ගල සහ ඇලහැර අතර දැනටද හත්තොට ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය පුරාණ හත්තොට්ඨ ජනපදය ලෙස හඳුනාගන්නා බැවින් මාගම ඇලහැරට ආසන්නව වූ බවට වන ඉහත මතයට එයද තවත් එක් සාධකයක් ලෙස ගත හැකිවේ.
ටොලමිගේ සිතියමේ මාගම ලකුණු කර ඇත්තේ Ganges ලෙසින් හැඳින්වෙන ගඟක වම් ඉවුරේය. 10 වන ශතවර්ෂයට අයත් පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය අසලින් සොයාගත් ටැම් ලිපියක අඹන් ගඟ හඳුන්වා ඇත්තේ මහා ගංගා ලෙසිනි. ඒ අනුව අනුරාධපුර යුගයේ මහා ගංගා ලෙසින් හඳුන්වා ඇත්තේ අඹන් ගඟ ලෙස පවසන සිරිමල් රණවැල්ල මහතා අඹන් ගඟේ වම් ඉවුරේ වර්තමාන ඇලහැර ප්‍රදේශයේ පැරණි මාගම තිබිය යුතු බවට නිගමනය කරයි. අනුරාධපුර අවසාන භාගයට හෝ පොළොන්නරු යුගයට අයත් විය හැකි  අත්තරගල්ලෑව, ඔරුබැඳි සියඹලාව, මළුවේ යාය යන ස්ථාන වල ඇති නටබුන්ද, තවමත් මතු කර නොගත් ඇලහැර අසල වනාන්තරයේ ඇති පැරණි නගරයක නශ්ඨාවශේෂද එම පැරණි මාගම නගරයේ පසුකාලීන නටබුන් විය හැකි බවය ඒ මහතාගේ අදහස.
ඇලහැර අවට අඹන් ගඟ දෑලේ නටබුන් ස්ථාන කිහිපයක්
මූලාශ්‍ර
  • රෝහණ රාජ්‍යයේ ඉතිහාසය, මහාචාර්ය සිරිමල් රණවැල්ල, 2003
  • Memoirs of the Archaeological Survey of Ceylon, Vlume XI, History of the Kindom of Rohana (From the Earliest times to 1500 A.C. )
  • Chino-Sinhalese relations in the early and middle ages (Translated from M. Sylvain Levi's Article in the Journal Asiatique) Journal of Ceylon Branch of Royal Asiatic Society. Vol XXIV No 68, 1915-16
  • පපඤච සූදනී නම් වූ මජ්ජිමනිකායට්ඨකථා 1 (සිංහල පරිවර්තනය) රාජකීය පණ්ඩිත ආඳාවල දේවසිරි මහා ස්ථවිරර 2008
  • සිංහල ධාතුවංශය (සේරුවාවිල තිස්ස මහා විහාරවංශය ) M.W. විමල් විජේරත්න සංස්කරණය, 2012
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Early History of the Buddhism in Ceylon, E.W. Adikaram, 2009
  • සහස්සවත්ථුප්පකරණය,  සංස්කාරක වෑගම පියරතන හිමි, 1999
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ මොග්ගල්ලාන සංස්කරණය, නව සංස්කරණය මාගධී පෙළ ස්සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • විල්ගම්මුළ මාහිමියන්ගේ සිංහල බෝධිවංසය, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ දර්ශනපති ඊ. ඒ. වික්‍රමසිංහ සංස්කරණය, 1996
  • මාගම රාජධානිය, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, 
  • සද්ධර්මාලංකාරය
  • අත්ථසාලිනී නම් වූ ධම්මසංගණිප්පකරණට්ඨ කථා (සිංහල පරිවර්තනය ) සෝමරත්න ගම්ලත් වෙලගෙදර, 2008