Showing posts with label Dimbula. Show all posts
Showing posts with label Dimbula. Show all posts

Saturday, May 30, 2020

රාවණා නොසිටි රාවණාගොඩ, ඩොයිලිට ඔත්තු සපයා ගම්වර ලත් නියඳවත්තේ සට්ටම්ඹි සහ එදා කොත්මලේ රට

කොත්මලේ රට
නැගෙනහිරෙන් හේවාහැට රටින් දකුණින් ඌව දිසාවෙන්, බටහිරෙන් උඩ බුලත්ගමින් (Link 1 >>,  Link 2 >> )  සහ උතුරින් උඩපලාතින් (Link 3 >>, Link 4 >>) සීමා වූ කොත්මලේ රට පැරණි සිංහලේ පලාත් වලට අයත් ප්‍රදේශ බෙදීමකි. මහනුවර යුගයේ සිට බ්‍රිතාන්‍යයන් කෝපි සහ තේ වගා ආරම්භ කල යුගය වනතෙක්ම කොත්මලේ  රටට අයත් භූමියෙන් විශාල ප්‍රදේශයක් කඳුකර වනාන්තර වලින් වැසී පැවතිණි. මේ සමග පෙන්වා ඇති සිතියමින්ද පැහැදිලි වන ලෙසට පැරණි සිංහල ජනාවාස පැවතියේ මහවැලි ගඟේ අතු ගංගාවක් වන කොත්මලේ ඔය සහ එම කොත්මලේ ඔයේ අතු ගංගා වන පැන්න ඔය, පූඩලු ඔය හෙවත් පුන්ඩළු ඔය, රම්බොඩ ඔය නිම්න වලට අයත් පහත් බිම් අවට පමණි. අද මේ ප්‍රදේශ සහ ඒවායේ තිබූ ගම් වැඩි ප්‍රමාණයක් විශේෂයෙන් වී වගා කල වෙල් යායවල් අඩු වැඩි වශයෙන් කොත්මලේ ඔය ජලාශයට යටවී ඇත.

දුටුගැමුණු කුමාරයා පියා සමග විරසක වී සැඟවී සිටි ප්‍රදේශය ලෙස මේ ප්‍රදේශයේ ජනයා විශ්වාස කරන කොත්මලේ රටේ ඔහු හා සම්බන්ධ ස්ථාන, ජනප්‍රවාද ආදිය බහුලව හමුවේ. කොටගේපිටිය ගමේ විසූ ඌරුපැලැල්ලේ ගමරාලගේ දියණිය සමග දුටුගැමුණු කුමාරයා විසූ බවට මෙහි පැරණි ගැමියන් විශ්වාස කල බව ලෝරිද සඳහන් කර ඇත. රයිතලාව හෙවත් රජතලාව ලෙසින් හැඳින්වෙන වෙල් යාය එතුමා අස්වැද්දුවේලු. මේ ආදි නොයෙකුත් ජනප්‍රවාද හුදෙක් අපේ පැරැන්නඟේ නිර්මාණශීලී කතන්දර වශයෙන් විනා කිසියම් හෝ ඓතිහාසික වටිනාකමක් තිබෙන ලෙස සැලකිය නොහැක. ඇතැම්විට එම කතා වල මූලය ඓතිහාසික සංසිද්ධියකින් ප්‍රභවය වූවා විය හැකි වුවද, පසුකාලීනව ඒ වටා නොයෙකුත් අභව්‍ය සිද්ධීන් සහ එකතු කිරීම් ගොනුවී ඇති බව විචාරශීලීව විමසා බැලූ විට පෙනේ. මහනුවර රාජධානි සමයේදී මෙන්ම ඉන්පසු කලක් යන තෙක්ම රටේ මහත්මයා කෙනෙකු යටතේ පාලනය වූ කොත්මලේ රට මෑත යුගයේ ( 19 සියවසේ අවසාන භාගයට පෙර) ප්‍රධාන වශයෙන් මාස්වෙල ප්‍රදේශයේ විසූ වෙලගෙදර පරම්පරාවට අයත් පුද්ගලයන් අතර පැවතී ඇත. රම්බොඩ ඔය, පූඩළු ඔය හෙවත් පුන්ඩලු ඔය, සහ දිඹුල සහ කොත්මලේ ඔයේ ඉහල නිම්න වල පැතිර තිබූ උඩපොනේ කෝරළය සහ එම සියළු ජලධාරා එක්වී සෑදෙන කොත්මලේ ඔයේ පහල ජලධාරා ප්‍රදේශයේ වූ පල්ලෙපොනේ කෝරළය ලෙසින් කොත්මලේ රට ප්‍රධාන කෝරළ දෙකකට බෙදේ. ආරච්චි වසම් 14 ක් සහ දුරයා ප්‍රධානීන් යටතේ පාලනය වූ ප්‍රදේශ 4 ක් යටතේ මෙම කෝරළ දෙකට අයත් ප්‍රදේශයේ ගම් 43 තිබූ බව ලෝරි පවසයි. එම ගම් වල වූ බහුතර ජනයා හීන කුල ලෙස සැලකූ කුල වලට අයත් සිංහලයන් බව පැවසේ.
යතුරුගැසූ ලියැද්ද විහාරයේ ඇති දේව රූපයක් 
කොත්මලේ රටේ ඉන්පසු කාලයට අයත් ජනප්‍රවාද ගෙතී ඇති ප්‍රධාන චරිතයක් වන්නේ හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියයි. පෙර පරිදිම ඇතැම් සිදුවිය නොහැකි අද්භූත සිද්දීන් ඈ වටාද ගෙතී ඇති මුත් ඇය ඓතිහාසික චරිතයක් විය හැක. අද වනවිට වයිරසයක් බවට පත්වී ඇති 'රාවණා ආගම' අදහන්නන්ට සතුටුවිය හැකි කාරණයක් වන්නේ 19 වන සියවස අවසාන භාගය වනවිටත් රාවණා නම සහිත ගමක් කොත්මලේ රටේ තිබීම විය හැකි වුවත් මෙම ලිපිපෙල සඳහා මූලිකවම පාදක වන ලෝරිගේ ගැසටියර් වෙලුම් දෙකේ සඳහන් එවකට මධ්‍යම පළාත (Central Province) ලෙසින් හැඳින්වූ මහනුවර රාජධානියට අයත්ව තිබූ විශාල ප්‍රදේශයක විසිර තිබූ ගම් අතරින් එවන් රාවණා නම සහිත එකම ගම මෙම ගම බව සඳහන් කල යුතුය. පොළොන්නරු යුගයෙන් පසුව සිදුවූ දකුණු ඉන්දීය සංක්‍රමණ සමග මෙරටට පැමිණි ජනයා අතර වූ රාමායන,මහාභාරත ආදී ඉන්දීය වීර කාව්‍යය වල වූ ඇතැම් දේ මෙරට සමාජය තුලටද ක්‍රමයෙන් අවශෝෂණය වූ අතර පහත රට මුහුදු බඩ ප්‍රදේශ තුල මෙන්ම රට ඇතුලත සමහර ප්‍රදේශ කරාද ඔවුන් පැතිරුණ බවට සාධක පවතී. ඔවුන් අලුතින් ඇතිකල ගම් වලට ඔවුන් ඇදහූ දේවකතා වල සඳහන් චරිත වල නම් ඈදීම ස්වභාවික සංසිද්ධියක් වන බැවින් මෙම ගමේ සිටි ජනයා එවකට විශ්වාස කල පරිද්දෙන් රාවණා මෙම ගමේ කලක් පදිංචි වී සිටි ලෙසට වූ පසුකාලීනව ඇතිවන ජනප්‍රවාදය පිළිගැනීම රාවණා ආගම පතුරන තක්කඩින්ට සහ ඔවුන් අදහන ඔලමොට්ටලයන්ටම පමණක් පිළිගැනීමට හැකි දෙයක් විනා අන්යමක් නොවේ. මෙම විශ්වාස පසුකාලීනව තවත් ශක්තිමත් වීමට තේ සහ කෝපි වතු සඳහා ඉංග්‍රීසීන් විසින් දකුණු ඉන්දීය සංක්‍රමණිකයන් ගෙන ඒමද ඉවහල් විය. කොත්මලේ රට තුලම හමුවන සීතාඑළිය පැහැදිලිවම මහඑළිය, හාවාඑළිය, නුවරඑළිය වැනිම වූ පැරණි සීතඑළිය (එනම් සීතල තැනිතලා බිම) යන්නෙහි නම එම ප්‍රදේශ වලට සංක්‍රමණය වූ දකුණු ඉන්දීය කම්කරුවන් අතර ව්‍යවහාරයේදී සිදුවූ විකෘති වීමකි. මේ බව එහි වූ සීතා කෝවිල දකුණු ඉන්දීය ද්‍රවිඩ නමක් සහිත කාන්තාවක විසින් ෆොර්බ්ස් එහි යනවිට පවත්වාගෙන ගිය බව පැවසෙන පහත විස්තර වන තොරතුරු වලින්ද සනාථ වේ. එයට ඔවුන් අතර වූ රාමායන ජනකතා අනුබලයක් වූ මුත් 'එළිය' හෙවත් 'තැනිතලාව' සමග විශේෂණයක් එකතු වී සෑදුණ ඉහත අනෙකුත් තැනිතලා ප්‍රදේශ මෙන්ම සීතඑළියද මහනුවර රාජධානි සමයේ පතන් බිමක් වූ තැනිතලා ප්‍රදේශයකි. එම පතන් බිම් හරහා ඌව වැනි ප්‍රදේශ වලට යොමුවූ පැරණි වනගත මාර්ග විනා ඓතිහාසික යුගයේ ජනාවාස තිබූ බවට සාධක නොමැත. මේ පිළිබඳව තත්කාලීන තොරතුරු ජෝන් ඩේවි ඉදිරිපත් කරන අතර ඒ පිළිබඳව පෙර ලිපියකින් අප විමසා බැලුවෙමු. එම ලිපිය කියවීමට Link >>
යතුරුගැසූලියැද්ද විහාරයේ ඇති බිතුසිතුවමක් 
මීට පෙර ලිපි වලින් විස්තර වූ ප්‍රදේශ සමග සසදා බැලීමේදී පෙනෙන තවත් වැදගත් කරුණක් වන්නේ කොත්මලේ රට ප්‍රදේශයේ විවිධ කුල වලට අයත් උඩරට සිංහල ජනයාට අමතරව පහත රටින් පැමිණි පහත රට සිංහලයන්, මුස්ලිම් ජනයා මෙන්ම ද්‍රවිඩයන්ද පදිංචි වී සිටීමය (මැදකන්ද  ගම තුල කාපිරි ජනයාද සිටි බව පැවසේ). වතු වගාවට සේවා සැපයීම සඳහා පහත රට සිංහලයන් මෙන්ම ද්‍රවිඩයන්ද පැමිණි බව සිතිය හැකි අතර මුස්ලිම් වරු මහනුවර රාජධානි යුගයේ සිටම සිටි බවට විවිධ සාධක ඉදිරිපත් කල හැකිය. (ඒ පිළිබඳව ඇතැම් තොරතුරු පෙර ලිපියෙන්ද ඉදිරිපත් විය. Link >>) මෙම ගම් වල වූ දමිල ජනයා වතු වගාව සඳහා රැගෙන ආ දකුණු ඉන්දීය දෙමළ ජනයා විය හැකි වුවද ඒ පිළිබඳව පැහැදිලි තොරතුරු ලෝරිගේ සටහන් වලින් හමු නොවේ. නමුත් ඔවුන් පදිංචිව සිටි බව එහි සඳහන් වන සෑම ගමක්ම පාහේ  එවකට තිබූ තේ වතු ආශ්‍රීතව වූ බැවින් ඒ පිළිබඳව සැක පල කල යුතු බවක් නොපෙනේ. නායක්කර්වරු සමග පැමිණි කිසිවෙකු මේ වන විට උඩරට ප්‍රදේශ වල නොසිටි අතර (උඩරට ගිවිසුමට අනුව ඔවුන් සියල්ල ඉන්දීයාවට පිටුවහල් කෙරේ.) ඊට පෙර කලින් කල මෙරටට සංක්‍රමණය වූ දකුණු ඉන්දීය දෙමළ භාෂා කතා කල ජනයා කුල ක්‍රමය යටතේ මෙරට තුල වූ සිංහල බෞද්ධ සංස්කෘතිය තුලට මේ වන විට සාර්ථකව අවශෝෂණය වී තිබිණ. නමුත් ඔවුන් රැගෙන ආ දේව ඇදහිලි ආදිය සිංහල බෞද්ධ ජන සමාජය තුල සිංහල බෞද්ධ දෙවිවරු ලෙසින් නැවත බෞතිස්ම ලැබූහ (පැරණි දේව ඇදහිලි ගැන මෙන්ම අලුතින් එකතු වූ දෙවිවරුන් පිළිබඳවද විවිධ තොරතුරු මෙම ලිපියේ ඉදිරියට ඉදිරිපත් වේ.). අඹතලාව ආදී ගම් වල චෙට්ටි හෙවත් හෙට්ටීන්ද (ඉන්දීය සම්භවයක් සහිත වෙළදාමේ යෙදුන ජන කොටසක්) සිට ඇති අතර ලෝරිගේ තොරතුරු වලින් පැහැදිලි වන ආකාරයට උඩරට සිංහලයන්ට අයත් ඉඩම් චෙට්ටීන්ට මෙන්ම පහත රට සිංහලයන්ට සහ මුස්ලිම්වරුන්ට ක්‍රමයෙන් ණය ගෙවාගැනීමට නොහැකි වීම නිසා සින්න වීම සහ ඔවුන් ඒවා මිලදී ගැනීම ආදී විවිධ ආකාරයෙන් අත්පත් වෙමින් තිබී ඇත.
මෙම සිතියමේ නිල් පැහැයෙන් කොත්මලේ රටට අයත් පල්ලෙපොනේ කෝරලයේ පැරණි ගම්ද, දම් පැහැයෙන් උඩපොනේ කෝරළයට අයත් පැරණි ගම්ද දක්වා ඇත. රතු පැහැයෙන් දැක්වෙන්නේ වතු ආර්ථිකයත් සමග පෙර කැලෑ තිබූ ප්‍රදේශ එලි වී අලුතින් ඇතිවූ නගර සහ කඩමණ්ඩි කිහිපයකි. 
පල්ලේපොනේ කෝරළය
  • වටද්දර -ගොවි සහ නවන්දන කුල ජනයා, පහත රට සිංහලයන් මෙන්ම දමිල ජනයාද වාසය කල ගමකි. වටද්දර ආරච්චි වසමටම අයත් ගමක් වන කළුගලපතන ප්‍රදේශයේ රොඩී ජනයාද සිට ඇත. පිරිමි පාසලක් මෙන්ම පිරිවෙනක්ද තිබී ඇති අතර වටද්දර විහාරය ලෝරි තොරතුරු ඉදිරිපත් කරන කාලයේදී ගම්වැසියන් විසින් ඉදිකල විහාරයක් ලෙස පැවසේ. කෙහෙල්ගමුවේ දෙවියන් උදෙසා වූ කෙහෙල්ගමුව දේවාලය මෙම ගම් වසමට අයත් දෝවිට ගමේ පිහිටා තිබී ඇත. අංගම්මන වලව්වට අයත්ව තිබූ මේ ගමේ තිබූ ඉඩම් පහත රට පුද්ගලයෙකුට විකුනා ඇති බව ලෝරි සඳහන් කරයි. වෙළඳගොඩ සහ  පොල්වතුරේගම්මැද්ද මෙම ගම තුල පිහිටි කුඩා ගම් ලෙස හඳුන්වා ඇත.  පුසුල්පිටිය විහාරයට සේවා සපයන ජනයාද මෙම ගමේ ජීවත් වී ඇත. 
  • බෙරවතලාව/බොරවාගම - වටද්දර ආරච්චි වසමට අයත් බෙරවා කුලයේ සිංහලයන් සහ මුස්ලිම් ජනවර්ගය වාසය කල ගම්මානයකි.
  • කුරන්පිටිය - වටද්දර ආරච්චි වසමයට අයත් ගමකි.
  • දෝවිට - කෙහෙල්ගමුවේ (කතරගම) දේවාලයට සේවා සැපයූ ජනයා විසූ ගමකි.
  • වෙලගමතැන්න - වටද්දර ආරච්චි වසමට අයත් නවන්දන සහ ගොවි කුල ජනයා විසූ ගම්මානයකි.
කොත්මලේ ඔය නිම්නයේ මාවෙල - රජපීල්ල ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය
  • මොරපේ - ගොවි, රදා, නවන්දන, බෙරවා (එක පවුලක්) කුල වලට අයත් උඩ රට සිංහලයන්, පහත රට සිංහලයන් මෙන්ම දෙමළ සහ මුස්ලිම් ජනයාද විසූ ගමකි. ලෝරි පරිවර්තනය කර ඉදිරිපත් කරන මෙම ගමේ සිටි පුද්ගලයකුට අයත් ඉඩම් හුවමාරුවක් සම්බන්ධ ලියවිල්ලක සඳහන් වන වගන්තියක් මෙම යුගයේ සිටි ජනයාගේ දේව ඇදහිලි සම්බන්ධ තොරතුරු හෙලි කරයි. වර්ෂ 1803 ට අයත් එම ලියවිල්ලේ සඳහන් වන්නේ එම ඉඩම් හුවමාරුව කිහිරැලි, උපුල්වන්, සමන්බොක්සැල්, විභීෂණ, කන්ද කුමාර, පත්තිනි යන දෙවිවරුන් ආරක්ෂා කල යුතු බවය. කිහිරැලි සහ උපුල්වන් දෙවිවරුන් දෙදෙනෙකු ලෙසින් සැලකීමද, සමන් දෙවියන් සමන්බොක්සැල් ලෙසින් හැඳින්වීමද, කතරගම දෙවියන් කන්ද කුමාර ලෙසින් හැඳින්වීමද මෙහිදී අවධානය යොමු කල යුතුය. මොරපේ කතරගම දේවාලය මෙම ගම තුල පිහිටා තිබෙන අතර, නටබුන්ව ගොස් තිබූ මොරපේ විහාරය 1877 දී නැවත ඉදිකර ඇත.
  • බෝරුවගම - බෙරවා සහ ගොවි කුල වලට අයත් උඩ රට සිංහලයන්, පහත රට සිංහලයන් මෙන්ම දමිල ජන වර්ගයද විසූ මොරපේ වසමට අයත් ගමකි.
  • කොටගේපිටිය - මොරපේ වසමට අයත් ගමකි. මොරපේ කතරගම දේවාලයට සේවා සිදු කල ජනයා මෙම ගම තුල සිට ඇත.
  • රන්නන්තලාව - මොරපේ වසමට අයත් ගොවිකුල උඩරට සිංහලයන් මෙන්ම පහත රට සිංහලයන්ද විසූ ගමකි. මොරපේ කතරගම දේවාලයට සේවා සැපයූ ජනයා මෙම ගම තුල සිට ඇත.
  • මයිප්පොල - ගොවි කුල සිංහලයන් සහ දමිල ජන වර්ගයට අයත් ජනයා විසූ මොරපේ ගම තුල වූ කුඩා ගමකි.
කොත්මලේ ඔය නිම්නයේ මාවෙල - රජපීල්ල ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයේ හෙල්මළු  ක්‍රමයට සැකසු කුඹුරු. ඈතින් දිස්වන්නේ දැන් කොත්මලේ ඔය ජලාශය බවට පත්වී ඇති කොත්මලේ ඔයයි
  • නවන්ගම - ප්‍රධාන වශයෙන් නවන්දන කුලයේ ජනයාද, පහත රට සිංහලයන්, දමිලයන් මෙන්ම මුස්ලිම් ජනයාද විසූ ගමකි.
  • දෙහින්තලාව - නවන්දන කුලයේ ජනයා, පහත රට සිංහලයන් සහ මුස්ලිම් ජනයා විසූ නවන්ගම ගම තුල වූ කුඩා ගමකි.
  • පුසුල්පිටිය - මැදගොඩ රදලගම්මැද්ද ලෙසින්ද හඳුන්වා ඇත. නවන්ගම ආරච්චි වසමට අයත්ය. නවනන්දන හා ගොවි කුල ජනයා, පහත රට සිංහලයන් මෙන්ම මුස්ලිම් ජනයාද විසූ කලකට පෙර හමුදා කඳවුරක්ද තිබී අතහැර දැමූ (1833 වන විටත්) ගමකි. පැරණි විහාරයක් වන පුසුල්පිටිය විහාරය මෙම ගම තුල කොත්මලේ ඔය ඉවුරේ පිහිටා ඇත. පුසුල්පිටිය  ගම තුල මෙන්ම කහටදෙණිය, කලපිටිය සහ මාවෙල ගම් තුලද පුසුල්පිටිය විහාරයට සේවා සැපයූ එම විහාරයට අයත් ඉඩම් වල පදිංචි වී සිටි ජනයා සිට ඇත. විහාරයේ ඉතිහාසය පිළිබඳව තොරතුරු ඇතුලත් එවකට එම විහාරයේ නායක හිමියන් සතුව තිබූ දීර්ඝ සන්නසක් ලෝරි පරිවර්තනය කර ඉදිරිපත් කර ඇත.
  • විහාරේගම නවන්ගම ගම තුල වූ කුඩා ගමකි.
  • කිරිවානාගොඩ -  මැද්දේගොඩ බඩල්ගම්මැද්ද (නවන්දන කුලයේ ජනයා වාසය කර ඇත), නවන්ගම සහ පුසුල්පිටිය ගම් අයත් වන ආරච්චි වසමටම අයත් ගමකි. මෙම සියළු ගම් නවන්දන කුලයේ ප්‍රධානියෙකු යටතේ පාලනය වී ඇත.
කොත්මලේ ඔය නිම්නයේ රජපීල්ල ලෙසින් හැඳින්වෙන ස්ථානය
  • හරංගල
  • දොරුවදෙණිය හරංගල ආරච්චි වසමට අයත් ගමකි.
  • ලප්පානෙගම හෙවත් ලත්පානේගම - පහත රට සිංහලයන් වාසය කල හරංගල  ගම තුල වූ කුඩා ගමකි.
  • කඩදොර - 1848 පමණ සෑදූ ලෙස සඳහන් කඩදොර විහාරය සහ එවකට නටබුන්ව තිබූ වීරමුන්ඩ දේවාලයක් මෙම ගම තුල තිබී ඇත.
  • නුගවෙල කඩදොර ආරච්චි වසමට අයත් ගොවි කුලයේ සිංහල ජනයා සහ දෙමළ ජනයා වාසය කල ගමකි.
  • වැලිමඩ - කඩදොර ආරච්චි වසමට අයත් ගොවි, නවන්දන සහ පහත රට සිංහල ජනයා විසූ ගම්මානයකි.
  • උඩ ගම්මැද්ද - ගොවි සහ වහුම්පුර කුල වල ජනයා විසූ කඩදොර ගම තුල පිහිටි කුඩා ගමකි. මෙම ගමේ පිහිටි උඩුගබ්බාලේ කෝවිල ඉතා පැරණි පූජනීය ස්ථානයක් ලෙස ලෝරි හඳුන්වයි.
  • පල්ලේ ගම්මැද්ද - කඩදොර ගම තුල පිහිටි කුඩා ගමකි. මුස්ලිම්වරු මෙන්ම නවන්දන සහ රදා කුල වල සිංහල ජනයා සිට ඇත. 
කොත්මලේ ඔය ජලාශය
  • පොල්වතුර - හපුගස්තලාවේ වසමට අයත් ගමකි. මුස්ලිම් පල්ලියක් සහ පාසලක්ද තිබූ මෙම ගමේ වාසය කර ඇත්තේ මුස්ලිම් ජන වර්ගයට අයත් ජනයාය.
  • මැදගහවතුර - හපුගස්තලාව ගම තුල වූ කුඩා ගමකි.
  • හපුගස්තලාව - මුස්ලිම් පල්ලියක් සහ පාසලක්ද තිබූ මුස්ලිම් ගම්මානයකි.
  • මාවෙල - දුරයා කෙනෙකු යටතේ පාලනය වූ මහනුවර යුගයේ ගබඩාගමකි. දුරා කුලයේ ජනයා සහ පහත රට සිංහලයන් වාසය කර ඇති අතර, ජනප්‍රවාද වලට අනුව දුටුගැමුණු රජතුමා මේ ගමේ දොඩමිටියාව, දියසමිතිය සහ යතුරුගහලියැද්ද යන වෙල් යායවල් අස්වද්දා කොටගේපිටිය යන ගමේ වාසය කර ඇත.  මාවෙල මුලින් නිලමක්කාරයන් වාසය කර ඇති මුත් ඔවුන් රජුට සේවය කිරීම ප්‍රතික්ශේප කිරීම හේතුවෙන් කිර්ති ශ්‍රී (රාජසිංහ) රජු ගම කුල හීන ජනයා හට දී ඇත. නමුත් 1815 මැයි මස ඉංග්‍රීසි ආණ්ඩුව මාවෙල ගම නියදවත්තේ සට්ටම්ඹි නම් ප්‍රදානියෙකු හට ලබාදී ඇත්තේ ඔහු විසින් ජෝන් ඩොයිලි හට සිංහලේ රාජධානිය පිළිබඳව ඔත්තු ලබාදීමෙන් කල සේවය වෙනුවෙන්ය. මෙහි තිබූ තෙල්ලබ්බේ විහාරය අර්ධ වශයෙන් නටබුන් වී තිබී ඇති අතර කිර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යුගයේදී එය ඉදිකල බව පැවසේ. එසේම වර්ෂ 1833 දී පමණ ගම්වාසීන් විසින් ඉදි කල පේරගහයට පන්සල නම් තවත් විහාරයක්ද මෙහි තිබී ඇත. එසේම හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය කලක් හිටි බව පැවසෙන හුණුබත් හාල් බෑමේ ගල්ලෙන ලෙස හැඳින්වූ ගල් ලෙනක් සහ දුටුගැමුණු රජු සෑදූ බව පැවසෙන නාගහ පිහිල්ල, රණමුනේ පිහිල්ල සහ අඹගහ පිහිල්ල නම් වූ පීලී 3 ක්ද මාවෙල ගමේ තිබූ බව පැවසේ.
  • කහටදෙණිය - හීන කුල ජනයා විසූ දුරයා කෙනෙකු යටතේ පාලනය වූ මාවෙල ආරච්චි වසමට අයත් ගමකි. මොරපිටිය දේවාලයට සහ පුසුල්පිටිය විහාරයට අයත් ඉඩම් වල පදිංචි වී සිට, එම ආයතන වලට සේවා සැපයූ ජනයා ජීවත් වී ඇත.
  • පන්නගම්මැද්ද - දුරා කුලයට අයත් ජනයා විසූ මාවෙල ගම තුල පිහිටි කුඩා ගමකි. තෙල්ලඹේ විහාරය නම් පැරණි විහාරයක් ගම තුල තිබී ඇත.
  • තම්මිටිය - මාවෙල වසමට අයත් දුරා සහ නවන්දන කුල වලට අයත් ජනයා විසූ ගමකි. මොරපේ කතරගම දේවාලයට අයත් ඉඩම් මෙම ගම තුල තිබී ඇත.
කොත්මලේ ඔය ජලාශය
  • තිස්පනේ අළුවෙල ගම්මැද්ද, කොඩිකාර ගම්මැද්ද, මැදගම්මැද්ද සහ උඩ ගම්මැද්ද ලෙසින් මෙම ගම කොටස් හතරකින් යුක්ත විය. ගොවි කුලයේ ජනයා, රදා කුලයේ ජනයා, මුස්ලිම් ජනයා මෙන්ම පහත රට සිංහලයන්ද වාසය කර ඇත. වර්ෂ 1868 පමණ ඉදි කල තිස්පොනේ විහාරය ඒ වනවිටද හොඳ තත්වයෙන් තිබී ඇත. තවද එම වර්ෂයේම සෑදූ බව පැවසෙන කුමාර දෙයියන්නේ කෝවිල නම් කෝවිලක්ද මෙහි තිබී ඇත. 
යතුරුගැසූලියැද්ද විහාරයේ විහාරගෙට පිවිසෙන ස්ථානයේ ඇති මකර තොරණ
  • මාස්වෙල - දුටුගැමුණු රජු දිය නෑ ස්ථානයක් ලෙස ජනප්‍රවාදයේ එන නාගහපිහිල්ල පල්ලේගම්මැද්ද ප්‍රදේශයේ පිහිටා ඇත. එතුමා අස්වැද්දු රයිතලාව නම් වූ කුඹුරු යායක්ද, වෙළගෙදර වලව්වද මෙම ගම තුල පිහිටා ඇත. මාස්වෙල පිහිටි යතුරුගැහූලියැද්ද විහාරය වර්ෂ 1843 දී පමණ වෙළගෙදර වලව්වේ අරමුදලේ කංකානම් නිලමේ විසින් ඉදි කර ඇත (දුටුගැමුණු රජු විසින් වී හුලං කිරීමට යොදාගත් කුල්ල (යතුර) විසි කල කමත තිබූ ස්ථානය යන ජනප්‍රවාදය හේතුවෙන් එම නම ලැබී ඇත.) මොරපේ කතරගම දේවාලයට  සේවා සපයන එම දේවාලයට අයත් ඉඩම් වගා කරන ජනයා මාස්වෙල ගම තුල සිට ඇත.
යතුරුගැසූලියැද්ද විහාරය - පැරණි විහාර ගෙය
උඩපොනේ කෝරළය
  • මැදකුඹුර - ගොවි, නවන්දන, බෙරවා, බඩහැල්, පදු කුල වලට අයත් උඩරට සිංහලයන්, පහත රට සිංහලයන් මෙන්ම මුස්ලිම් ජනයාද විසූ ගමකි.  ගල් ඔරුවේ වැව ලෙසින් හැඳින්වූ අතහැර දමා තිබූ වැවක් මැද්දේකුඹුර වතු යායේ තිබී ඇත. මෙම ගම තුල පිහිටි මාළිගා පැලැස්ස නම් ස්ථානයේ මහනුවර රාජධානියේ රජකෙනෙකු විසූ බවට ජනප්‍රවාද ගත තොරතුරු පවතී. ගම්වැසියන් විසින් ඉදිකල පැරණි විහාරයක්ද ඇත. දුණුකේදෙණිය සහ කරගහපතන-යාලේතැන්න මැදකුඹුර ගම තුල වූ කුඩා ගම් ලෙස සඳහන් වේ.
  • කඩදොරපිටිය මැදකුඹුර ආරච්චි වසමට අයත් ගමකි. ලෝරිගේ යුගයේ පමණ සෑදු පන්සලක් සහ කළුගහ උල්ලේ කෝවිල නම් කෝවිලක්ද මෙම ගම තුල තිබී ඇත.
  • පුණ්ඩළු ඔය - මැදකුඹුර වසමට අයත් දෙමළ, මුස්ලිම්, පහත රට සිංහලයන් සහ නවන්දන කුලයේ ජනයා වාසය කල ගමකි. 19 වන සියවස අවසාන කාලය වන විට තැපැල් කාර්යාලයක්,  පොලිස් ස්ථානයක්, මුස්ලිම් පල්ලියක්, පිරිවෙනක් සහ කඩ මණ්ඩියක්ද මෙහි තිබී ඇත. පුණ්ඩළු ඔය තේ දිස්ත්‍රික්කයට අයත් වූ තේ වතු 16 ක නම් ලෝරි ඉදිරිපත් කර ඇත.
  • හාල්පොල - ප්‍රධාන වශයෙන් පදු කුලයට අයත් ජනයා වාසය කල මැදකුඹුර වසමට අයත් ගම්මානයකි. පුණ්ඩලු ඔය හරහා හාල්වැල්තොට නම් වු තොටුපොලක්ද ඇත. ගබ්බෙල සහ මාඋස්සාව මෙම ගම තුල වූ කුඩා ගම්ය.
 තේ වතු වලින් සියළුම කඳු මුදුන් වසා ගත් ආගරපතන ප්‍රදේශය
  • දිඹුල - උඩගම සහ මෑතගම ලෙසින් කොටස් දෙකකි. උඩගම පිහිටි මැදබාගේ විහාරය පැරණි පන්සලකි. ඉංග්‍රීසීන් පැමිනීමෙන් පසුවද එනම් 1815 න් පසු වෙනත් විහාරයක් එහි ඉදි කර ඇත. උඩගම කොටසට රාවණාගොඩ, උඩගම, පල්ලේ ගම්මැද්ද, උඩගම්මැද්ද, විජේබාහුකන්ද සහ දිඹුල හෙවත් ඩෙවොන් කඩමණ්ඩිය (Bazaar) අයත්ය. මෑතගම කොටසේ පිහිටි මාකඳුර ඇල 1884 දී ප්‍රතිශංස්කරණය කිරීම අරඹා ඇත. මෑතගම, හින්නාරන්ගොල්ල, කටාරන්දෙණිය, කොස්හින්න, මල්දෙණිය, පල්ලේ ගම්මැද්ද සහ උඩ ගම්මැද්ද මෑතගම කොටසට අයත් ගම්ය. දිඹුල, ලිඳුල, අග්‍රාපතන, සහ කොටගල දිස්ත්‍රික්කද (Tea Districts එනම් තේ වැවූ ප්‍රදේශ) දිඹුල වසමට අයත්වේ.  එම තේ වතු දිස්ත්‍රික්ක වලට අයත් එවකට තිබූ තේ වතු 142 ක පමණ නම් ලෝරි ඉදිරිපත් කර ඇත. දැනට ඩයගම ලෙසින් හඳුන්වන  පෙදෙස එවකට දියගම වූ බව කඩ (Shops) තිබූ ස්ථාන අතර දියගම නම් වූ ස්ථානයක් පිළිබඳවද ලෝරි කරන සඳහනින් පැහැදිලි වේ. දියගම නමින් තේ වත්තක්ද තිබී ඇත. ලිඳුල රෝහලක් සහ දිඹුල සහ අග්‍රාපතන ප්‍රදේශ වල බෙහෙත්හල් (Dispensaries) තිබූ බවත්, කොටගල සහ ලිඳුල පල්ලි සහ, කොටගල, ලිඳුල, Middleton සහ St. George යන ස්ථාන වල පාසැල් තිබූ බවත් සඳහන් වේ. කොටගල, තලවකැලේ, සහ වටගොඩ දුම්රිය ස්ථාන තිබී ඇත.
ආගර ඔය හෙවත් අග්‍රා ඔය ලිඳුල ප්‍රදේශයේදී (ලිඳුල-ආගරපතන-ඩයගම B252 මාර්ගයේ සිට )
  • උඩගම (දිඹුල)- ගොවි කුලේ සිංහල ජනයා සහ පහත රට සිංහලයන් ජීවත් වූ ගමකි. ගම තුල වූ පට්ටිහෙල විහාරය ගම්මුන් විසින්කර ඇත. කළුබණ්ඩාර දෙවියන්නේ කෝවිල නම් වූ කෝවිලක් සහ අතහැර දැමූ ගුණමත් වැව නම් වැවක්ද තිබී ඇත. එඩරු තෙල් වැව සහ සූරිය වැව නම් වැව් දෙකක් ගැනද විස්තර ඇත. ඒවාද අතහැර දමා තිබී ඇති අතර සූරියවැව අසල සෙල් ලිපියක් ගැනද කියැවේ. සියළුම උස් බිම් වල තේ වගා කර තිබී ඇත. විජේපාහුකන්ද (විජේබාහුකන්ද?) මෙම ගම තුල වූ කුඩා ගමකි.
  • කලපිටිය - නුගතොට, හේදුණුවැව, සහ මැදගොඩ රටේ ගම්මැද්ද (මැද්දේගොඩ රටේ ගම්මැද්ද හෙවත් පත්තිනි ගම්මැද්ද ලෙසින්ද හඳුන්වා ඇත) යන ගම් අයත් වන වසමටම අයත් ගමකි. මෙම ගමේ පිහිටි මැද්දේගොඩ පත්තිනි දේවාලය 1886 දී ගිනි තබා ඇත. දඩුදඹුල්දෙණිය වැව නම් වූ අතහැර දමා තිබූ වැවක්ද තිබී ඇත. කලපිටිය ගම තුලම වූ පලදොර ඇල්ල නම් වූ කුඩා ගමක් ගැනද සඳහන් වේ.
  • මැද්දේගොඩ රටේ ගම්මැද්ද (පත්තිනි ගම්මැද්ද) - ගොවි කුලයට  අයත් ජනයා වාසය කර ඇත. ඒවාට යාතිකා කල විට ගව රෝග සුව කිරීමේ හැකියාව ඇති බව පැවසෙන දොළහ දෙවියන්ට අයත් ආයුධ (Weapons of the twelve gods) ඇති  කෝවිලක් රන්හාමි නැමැත්තෙක් මෙම ගමේ ඉදිකල බව Le Mesurier පවසයි. (දොළහ දෙවියන් ලෝරි පවසන ලෙසට පහත ආකාරයෙන් විය. වැදියකු දෙවියෝ, වලියකු දෙවියෝ, කොහොඹ දෙවියෝ, වීරමුණ්ඩ දෙවියෝ, වන්නියේ බණ්ඩාර දෙවියෝ, අලුත් දෙවියෝ, කීර්ති බණ්ඩාර දෙවියෝ, මැණික් බණ්ඩාර දෙවියෝ, දේවතා බණ්ඩාර දෙවියෝ, මංගර දෙවියෝ, කුමාර දෙවියෝ සහ ඉරුගල් බණ්ඩාර දෙවියෝ .)
  • Church Holbrook - Agarapatana
  • පල්ලේ ගම්මැද්ද, උඩගම්මැද්ද, පොකුණුවත්ත සහ තැඹිලිගම හෙවත් මරක්කල ගමද කලපිටිය ගම තුල වූ කුඩා ගම්ය.  නමින්ම හැඟෙන පරිදි තැඹිලිගම මුස්ලිම් ජනයා විසූ ගමක් වන අතර, වර්ෂ 1885 දී එම ගමේ නයින්කෙලිනතොට සිට දිඹුල දක්වා වැටී ඇති කුඩා පාරට ලන්ව මුස්ලිම් පල්ලියක් ඉදිකර ඇත. 1887 දී දුරා කුලයට අයත් පුද්ගලයන් 12 ක් පමණ සිටි යමනුන්නේ ගම නම් වූ ගමක්ද කලපිටිය ආරච්චි වසමට අයත් ගමක් ලෙස තිබී ඇත.
  • කුඹල්ඔළුව - දුරයා කෙනෙකු යටතේ වූ  දුරා කුලයට අයත් හීන කුල ජනයා විසූ ගමකි. රෝමානු කතෝලික පල්ලියක් මෙන්ම මුස්ලිම් පල්ලියක්ද තිබී ඇත.  රන්තිලකගේ ඩින්ගාව දුරයා සහ ඔහුගේ බිරිඳ මේ ගම තුල තිබූ බෝකොටුවේ විහාරය ප්‍රතිශංස්කරණය කර බෝකොටුවේ අත්ථදස්සී තෙරුන්නාන්සේට වර්ෂ 1883 මැයි 21 දින පූජා කර විහාරයට (සහ රටේ සිව් දෙසින් එහි පැමිනෙන භික්ෂුන්ට) ඉඩම්ද පිරිනමා ඇත.
  • මැදකන්ද - කුඹල් ඔළුව ගම තුල වූ කුඩා ගමකි. පහත රට සිංහලයන්, කාපිරි ජනයා මෙන්ම දමිල ජනයාද වාසය කල ගමකි. රෝමානු කතෝලික දේවස්ථානයක්ද මෙම ගම තුල තිබී ඇති අතර මේ ගම අසලම කුඹල්ඔළුව-එගොඩ වෙල  ගම තිබී ඇත. Le Mesurier පවසන ලෙසට පන්නදුරයෝ නම් දුරා කුලයේ උප කුලයකට අයත් මෙම ගම් වල විසූ ජනයාට පැවරුන රාජකාරිය වූයේ හකුරු,  හම්බ-හාල්, කහ, ඉඟුරු, බුලත්, පැණි සහ පොලු මස් (එනම් දඩ මස්) රජ වාසලට සැපයීමයි. මෙහි සඳහන් හම්බ හාල් බොහෝවිට හම්බන් නැමැති ඔරු වලින් විදේශ වල සිට ආ හාල් විය හැක. මුස්ලිම් ජනයා එම ව්‍යාපාර වල නිරතව සිට ඇත. හම්බ යන යෙදිම ඔවුන්ට අපහාස කිරීමේ අදහසින් වුවද ව්‍යවහාරයට එන්නේ එම හේතුව නිසා බව සැලකේ. දඩ මස් සඳහා පොලු මස් යන නම යෙදීම එම සතුන් දඩයම් කල ආකාරය පිළිබඳව ඉගියක් සපයයි. එය බල්ලන් සහ මිනිසුන් යොදා සතුන් කොටු කර පොලු වරින් පහරදීම විය හැක. මේ ආකාරයේන් හාවුන්, මීමින්නන්, ඉත්තෑවන් ආදී කුඩා ක්ෂීරපායීන් මෙන්ම විශාල මුව විශේෂ සහ ගෝනුන්ද දඩයම් කලා විය හැක. 
ආගරපතන ප්‍රදේශයේ වතු වල වැඩ කරන දකුණු ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනයා පදිංචි නිවාස
  • ඕතලාව - ගොවි කුලයට අයත් ජනයා විසූ ගමකි. එම නමින්ම යුත් ආරච්චි වසමට ඕතලාව, අඹතලාව, හඳපාන්ගම, ගන්කේවල,සංගිලිපාලම සහ කොස්ගොල්ල ගම් අයත්ය. පන්නල් ඔය (පැන්න ඔය) ගොවිතැන් කටයුතු කිරීම උදෙසා යොමු කල ගජබා රජුගේ (?) නුවර ලෙස ජනප්‍රවාදයේ එන දීඝ මහනුවර නම් නටබුන් වූ පැරණි නුවරක්  මෙම ගම තුල තිබූ බව පැවසේ. වර්ෂ 1843 දී ගම්වැසියන් විසින් ඇල්වත්තේ විහාරය ඉදි කර ඇත. නමුත් එය ලෝරි සඳහන් කරන යුගය වන විට අතහැර දමා තිබී ඇති අතර පන්සල පමණක් (ආවාස ගෙය) තිබී ඇත.
  • සංගිලිපාලම - ඕතලාව ගම තුල වූ කුඩා ගමකි. කඩ කිහිපයක්, බදු අයකරන ස්ථානයක් (Toll-station) සහ රම්බොඩ - පුසුල්පිටිය කුඩා පාරේ (Minor Road) වූ කොස්ගොල්ල තොටුපොල මෙම ගම තුල තිබී ඇත.
  • ගන්කේවල - ගොවිකුල ජනයා විසූ ගමකි.
  • අඹතලාව - ගොවි සහ රදා කුල වලට අයත් උඩරට සිංහලයන්, පහත රට සිංහලයන් මෙන්ම මුස්ලිම් ජනයා සහ චෙට්ටීන්ද විසූ ගමකි. ලෝරි පවසන ලෙසට පුසුල්පිටිය විහාරයේ ඇති මෙරටින් හමුවූ විශාලම ඇත් දල යුවල එම විහාරයට පූජා කර ඇත්තේ මෙම ගමේ විසූ අගලවත්තේ සට්ටම්ඹි විසිනි. පහත රට සිංහලයන්, මුස්ලිම් මිනිසුන් සහ චෙට්ටීන් මේ ගමේ බොහෝ ඉඩම් එම යුගය වන විට ඔවුන්ට ණය වූ උඩරට සිංහලයන්ගෙන් ලබාගෙන තිබූ බව පැවසේ.
  • හඳපාන්ගම - මැද්දේගොඩ පත්තිනි දේවාලය දේවාලයට සේවා සපයන ජනයා මෙම ගම තුල සිට ඇත.
Church of St. Margaret, Kotagala
  • පනන්ගම්මන - දුරා කුලයේ ජනයා වාසය කල ගමකි. වර්ෂ 1843 දී මුණසිංගෙදර කිරා විසින් ඉදිකල පුවක්මල්පිදුගොඩ විහාරය මෙම ගම තුල තිබී ඇත. තවද කතිරා (?) නම් හින්දු දෙවියන් උදෙසා එම යුගයේම ඉදිකල හින්දු දේවාලයක්ද පනන්ගම්මන ගම තුල තිබී ඇත. දුරයා කෙනෙකු යටතේ වූ ගම් වසමක් වන පනන්ගම්මන ගම් වසමට නවන්දන සහ දුරා කුල වල ජනයා වාසය කල දෙළුන්තලාමඩද අයත්ය. කරගස්තලාව සහ කටුකිතුල එම ගම් වසමටම අයත් අයත් කුඩා ගම් දෙකකි.
  • තවලන්තැන්න - පනන්ගම්මන ගම තුල පිහිටි කුඩා ගමකි. පහත රට සිංහලයන් සහ දමිලයන් වාසය කර ඇත. දෝන ක්‍රිස්ටියානා පෙරේරා හාමිනේ නම් තැනැත්තියක විසින් 1863 දී පමණ ඉදි කල රෝමානු කතෝලික දේවස්ථානයක් මෙන්ම හින්දු කෝවිලක්ද තිබී ඇත. 1870 දී මියගිය වෙලගෙදර රටේ මහත්මයාට අයත් වලව්වක්ද මෙහි තිබූ බව පැවසේ. මෙම ගමේ ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටි රජයට අයත් ඉඩම් කැබැලි උදෙසා පහත රට සිංහලයන් අතර නඩු හබ තිබූ බව ලෝරි පවසයි.
තලවකැලේ ප්‍රදේශයේ තේ වත්තක පිහිටි කුඩා ජලාශයක්
  •  රම්බොඩ - ගොවි කුලයට අයත් සිංහලයන්, පහත රට සිංහලයන් මෙන්ම මුස්ලිම් සහ දමිල ජනයාද වාසය කල ගම්මානයකි. තානායමක්, මුස්ලිම් පල්ලියක්, තැපැල් කාර්යාලයක්, පොලීසියක්, බදු අයකරන ස්ථානයක්, පිරිවෙනක් මෙන්ම මුස්ලිම් පාසැලක්ද පිහිටි කුඩා නගරයක් බවට 19 සියවසේ අවසාන භාගය වන විට රම්බොඩ පරිවර්තනය වී ඇත.  මල්හෑව , අඹහෙල , පලාගොල්ල ,  ගැරඩි ඇල්ල, කොණ්ඩගල, ලබුගොල්ල  සහ කුඩා ඔයද රම්බොඩ වසම තුල පිහිටා තිබූ ගම්ය. රම්බොඩ තේ දිස්ත්‍රික්කයට අයත් එවකට තිබූ තේ වතු 22 ක් ලෝරි නම් වශයෙන් සඳහන් කරයි.
  • මල්හෑව - රම්බොඩ වසමට අයත් ගොවි කුලයට අයත් සිංහල ජනයා සහ දමිල ජනයා විසූ ගමකි. දළදා කරඩුවේ විහාරය නම් වූ විහාරයක් මෙම ගම තුල තිබී ඇත. එම විහාරය වසර කිහිපයකට පෙර අර්ධ වශයෙන් ගිනිගත් බව ලෝරි පවසයි. රම්බොඩ වත්තේ ගලක් මත පිහිටි මල්හෑව කෝවිල දොළහ දෙවියන් උදෙසා ඉදිකර ඇති අතර, මිනිසුන්ගේ මෙන්ම ගවයන්ගේද ලෙඩ රෝග සුව කිරීමේ බලයක් ඇති ස්ථානයක් බව පෑවසේ. සර්පයකුගේ මෙන්වූ රුවක් සහ දොළහ දෙවියන්ට අයත් ලෙස පැවසෙන ආයුධ කෝවිල තුල තිබී ඇත.
  • ලබුගොල්ල - රම්බොඩ ගම තුල පිහිටි ගොවි කුලයේ සිංහල ජනයා, පහත රට සිංහලයන් මෙන්ම මුස්ලිම් සහ දමිල ජනයාද වාසය කල ගමකි. ලබුගොල්ලකැලේ රම්බොඩට ඉහලින් වූ විශාල ප්‍රදේශයක් පුරා පැතිරුන රජයට අයත් කැලෑවෙන් කොටසක් ලෙස සඳහන් වේ. ලබුකැලේ වත්ත මෙම ප්‍රදේශයේ පිහිටා  ඇත.
  • ගැරඩි ඇල්ල - රම්බොඩ වසමට අයත් ගමකි. නුවරඑළිය මාර්ගයේ හමුවන කඩමණ්ඩියකි.
  • අඹහෙල - රම්බොඩ ගම තුල පිහිටි කූඩා ගමකි.
  • පලාගොල්ල -  ගොවි කුලයට අයත් සිංහල ජනයා, මෙන්ම මුස්ලිම් සහ දමිල ජනයාද වාසය කල රම්බොඩ වසමට අයත් ගම්මානයකි, රෝමානු කතෝලික දේවස්ථානයක් සහ කඩ මණ්ඩියක්ද තිබී ඇත.
 St. Clair දිය ඇල්ල නිර්මාණය කරමින් ගලා බසින කොත්මලේ ඔය
  • කිරින්දේවෙල - නියංගන්දොර ආරච්චි වසමට අයත් ගමකි.
  • ලිඳුල - කඩ මණ්ඩියක්, පොලිස් ස්ථානයක්, පල්ලියක්, රෝහලක් සහ පාසැලක්ද තිබූ කුඩා නගරයකි.
  • නානු ඔය - නුවරඑළියට ආසන්නම දුම්රිය නැවතුම්පොල වූ නානු ඔය දක්වා නාවලපිටියේ සිට දුම්රිය ධාවනය 1885 මැයි 20 වන දින ආරම්භ විය. 19 සියවසේ අවසාන භාගය වනවිට රජයේ පාසලක්,  තැපැල් සහ ටෙලෙග්‍රාප් කාර්යාලයක්, තානායමක් සහ කඩ මණ්ඩියකින් යුක්ත විය.
  • සීතාඑළිය - 1871 වසරේ මෙන්ම 1881 වසරේද පුද්ගලයන් 40 පමණක් විසූ ගමකි. ෆොර්බ්ස් පවසන ආකාරයට (1840සාමි උම්මා නම් වූ වයසක ස්ත්‍රියක් මෙහි සීතා දේවිය උදෙසා කෝවිලක් ඉදිකර ඇත.
  • තලවකැලේ - තලවකැලේ කඩමණ්ඩියේ 1891 වසරේ ජනගහණය පුද්ගලයන් 446 කි.
  • වටගොඩ - 1891 දී පුද්ගලයන් 115 සිටි ගමකි.
  • වලපතන - 1881 වසරේදී පුද්ගලයන් 20 ක් පමණක් සිටි ගමකි.
මූලාශ්‍ර
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898
  • Eleven years in Ceylon, Major Forbes, 1840

Saturday, June 2, 2018

ජෝන් ඩේවි සමග රුවන්වැල්ලෙන් නුවරඑළිය පතනට...

බදුල්ලේ සිට මහනුවරට තිබූ පැරණි මාර්ගයක් පිළිබඳව වූ පෙර ලිපියකදි ජෝන් ඩේවි පිළිබඳව සහ මැක්ඩොනල්ඩ් බලකොටුවේ සිට මහනුවර දක්වා ඔහු ගමන් කල මාර්ගය පිළිබඳව විස්තර ඉදිරිපත් කලෙමි. එම ලිපිය කියවීමට>> Mcdonald සිට මතුරටට, ඩේවි ගිය මග ඔස්සේ..
එහිදි ඩේවි මැක්ඩොනල්ඩ් බලකොටුවට කතරගම දෙස සිට සහ කොත්මලේ දෙස සිට අවස්ථා දෙකකදි පැමිණි බව සඳහන් විය. මේ ලිපිය ඔහු කොත්මලේ දෙස සිට මැක්ඩොනලඩ් බලකොටුවට පැමිණි මාර්ගය පිළිබඳවයි.

1819 අගෝස්තු 29 වන දින කොළඹින් පිටත් වන ඩේවි රුවන්වැල්ල (Ruwenwelle) දක්වා ආණ්ඩුකාර බ්‍රවුන්රිජ් සහ එම ආර්යාව සමග ගමන් කල අතර එම මාර්ගය පැරණි කොළඹ-මහනුවර මාර්ගයම වේ. තවද ඩේවි මෙම කොටසේදී එම මාර්ගය පිළිබඳව විස්තර ඉදිරිපත් නොකර රුවන්වැල්ලේ සිට මැක්ඩොනල්ඩ් කොටුව දක්වා ඔහුගේ ගමන් මග පිළිබඳව පමණක් තොරතුරු ඉදිරිපත් කරන බැවින් සහ පැරණි කොළඹ-මහනුවර මාර්ගය පිළිබඳව ඉදිරියේදි වෙනම ලිපියකින් කරුණු ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වන බැවින් අපද ඔහු අනුගමනය කරමින් රුවන්වැල්ලේ සිට ඉදිරියට මාර්ගය ගැන පමණක් විමසා බලමු.

අගෝස්තු 23 වන දින රුවන්වැල්ලෙන් පිටත් වන ඩේවි එම දිනය තුල සැතපුම් 10 ක පමණ දුර ගමන් කර පහල බුළත්ගම (Lower Boulatgamme) පලාතට අයත් ගනේපල්ලට (Ganepali) ලඟා වේ. එම මාර්ගය මද වශයෙන් කඳු සහිත දුෂ්කර මාර්ගයක් බවත්, එහි වගා කල ප්‍රදේශ එතරම් හමු නොවූ බවත්, රැවන්වැල්ල අසල ප්‍රදේශයෙ හැරුන විට ජනයා පදිංචි වි සිටි ස්ථාන ඉතාමත් අඩු බවත් ඩේවි පවසයි. මාර්ගයේ බොහෝ දුරක් ඝනව වැඩුන බඩවැටි සහ වනාන්තරය පමණක් වරින් වර හමු වූ අතර, අලි ඇතුන් බහුල වනාන්තරයේ ප්‍රධාන වශයෙන් වේවැල් විශේෂයක් බහුලව දක්නට ලැබුන බවත් ඔහු වැඩිදුරටත්  විස්තර කරයි.

කෙසේ නමුත් ඔහුට අලි සිටි බවට සලකුණු විනා එකදු අලියෙක්වත් හමු වී නොමැත. මෙහිදි මාර්ගයේ ගමන් කරන විට වල් අලි උවදුරින් බේරිම උදෙසා යොදා තිබූ සරල එහෙත් ඵලදායි උපක්‍රමයක් ඩේවි විස්තර කරයි. එනම් පටු අඩි පාරක් වූ මාර්ගයේ හරහට පොළවේ සිට අඩි 5 පමණ උසින්  තැනින් තැන කණුවක් හෝ දෙකක් බැඳ තැබීමයි. මිනිසුන් හෝ සතුන් තනාගත් මාර්ග වල පමනක් යා හැකි තරමට ඝන වූ මේ වනයේ එවන් පටු අඩි පාරක හරහට ඇති එවැනි කපොල්ලක් යටින් මිනිසෙකුට පහසුවෙන් පැන ගත හැකි මුත්, ඔහුව හඹා එන අලියෙකුට එය ලේසි පහසු කාර්යයක් නොවේ.

එම ගමන් මගේදී ඩේවි හට කුඩා දිය පාරවල් විශාල ගනනාවක් හමුවන මුත් ඒ අතරින් ගංවතුර කාලයේදී එගොඩ විය නොහැකි තරම් තරමක විශාල ඔය වල් දෙකක් ගැන ඩේවි විශේෂයෙන් සඳහන් කරයි. රැවන්වැල්ලේ සිට සැතපුම් හතරක් පමණ ගිය විට හමුවන වේ ඔය (Wahoya) සහ එතැන් සිට තවත් සැතපුම් දෙකක් පමණ දුරකදී හමුවන එක්හිඔය (Hicke oya) යන එම ඔය වල් දෙකම කැළණි ගඟේ (Kalany ganga) අතු ගංගා බව ඩේවි නිවැරදිව පවසයි. ඒ අතරින් තරමින් විශාල වේ ඔය ඔහු එක් වරක් පමණක් තරණය කල මුත් කරදරකාරී වූ එක්හීඔය අවම වශයෙන් දහසය වතාවක්වත් තරණය කිරීමට ඔහුට සිදුවූ අතර, ඇතැම් අවස්ථා වලදි මාර්ගය එහි පත්ල හරහාද ගමන් කල බව ඩේවි විස්තර කරයි. වේ ඔය තොටුපලේ සිට සැතපුමක් පමණ දුරකදි එහි වම් ඉවුර ඔස්සේ මාර්ගය මද දුරක් වැටි තිබූ බව පවසන ඩේවි Baliakudah ella ලෙසින් ඒ අසලදි එම ගඟ හැඳින්වූ මුත් එය වේ ඔයම විය හැකියැයි පවසයි.
සිතියම 1 - රුවන්වැල්ලේ සිට ගනේපල්ලට මාර්ගය (විශාලනය කිරීමට පින්තූරය මත ක්ලික් කරන්න )
රුවන්වැල්ලේ සිට ගනේපල්ලට මාර්ගය හඳුනාගැනීම
රුවන්වැල්ල මෙන්ම ගනේපල්ලද අද දක්වා එම නම් වලින්ම හඳුනාගත හැකි ස්ථාන වේ. එම මාර්ගයේ හමුවන වේ ඔය මෙන්ම හික්කේ ඔය ලෙසින් ඩේවි හඳුන්වන එක් හී ඔයද පැරණි අඟලේ සිතියම් වල ඒ ආකාරයෙන් ලකුණු කර ඇත. ඩේවි පවසන ලෙසට මේ ස්ථාන දෙක අතර මුළු දුර සැතපුම් 10 කි. වර්තමාන මාර්ග ඔස්සේද රුවන්වැල්ලේ සිට ගනේපල්ල දක්වා දුර අඩු වැඩි වශයෙන් සැතපුම් 10 කි. පැරණි මාර්ග බොහෝවිට ගංගා නිම්න ඔස්සේ විහිදී තිබූ බවට වන උපකල්පනය ඔස්සේ ගත් කල අඩු වැඩි වශයෙන් වර්තමාන මාර්ගය වැටී තිබෙන අයුරින් රුවන්වැල්ලේ සිට කරවනැල්ල හරහා යටියන්තොටට පැමිණ යටියන්තොටින් වේ ඔය තරණය කරන මාර්ගයම පැරණි මාර්ගය වීමට බොහෝ දුරට ඉඩ ඇත. වේ ඔය එතර විමෙන් අනතුරුව මාර්ගය එහි වම් ඉවුරු ඔස්සේ මද දුරක් වැටී තිබුන බව ඩේවි පවසන බැවින් එතැන් සිට මාර්ගය වර්තමාන A7 මාර්ගයට සමාන්තරව නොයා පරුස්සැල්ල දෙසට ගොස් ඉන්පසු නවට දෙසට යොමුව විහිදුන බව පෙනේ (සිතියම 1 බලන්න). ඩේවි සඳහන් කරන Baliakudah ella හඳුනාගත නොහැක. අනතුරුව නවට අසලදී එක් හී ඔයෙන් එතෙර වී මාර්ගය බොහෝදුරට ඔය ඔස්සේ විහිදී තිබුන බව පැහැදිලි වන්නේ ඩේවි සඳහන් කරන ලෙසට එය අවම වශයෙන් 16 වතාවක්වත් එක් හී ඔය හරහා යාමට නම් එලෙස යා යුතු බැවිනි (සිතියම 2 බලන්න). එම ස්ථානයේ සිට ගනේපල්ලට ඇති කෙටිම ගමන් මගද එයයි. රුවන්වැල්ලේ සිට වේ ඔයට ඩේවි පවසන සැතපුම් 4 ඉහත අනුමාණ කල මාර්ගය ඔස්සේද ආසන්න වශයෙන් සමාන වන අතර, එතැන් සිට එක් හී ඔයට ඇති සැතපුම් 2 දුරද නිවැරදිය. වේ ඔය තොටුපලේ සිට සැතපුමක දුරකින් මාර්ගය එහි ඉවුර ඔස්සේ වැටි තිබූ බවට වන සඳහනද මේ මාර්ගයේ පැහැදිලිවම සලකුණු වේ.
සිතියම 2 - වේ ඔය දෙසින් පැමිණ එක් හී ඔයෙන් එතෙර වූ ස්ථානයේ සිට ගනේපැල්ල දක්වා එක් හී ඔය ඔස්සේ වැටී තිබෙන්නට ඇති මාර්ගය.
වල් අලි ගහණ ඩේවි සඳහන් කරන ඉහත වනාන්තර සියල්ලම පාහේ පසු කලක ඩේවිගේ රටේ ඇත්තන් ප්‍රධාන වශයෙන් රබර් වගාව සඳහාත්, තේ වගාව සඳහා සුළු වශයෙනුත් හෙලි කර ඇත.

ගනේපල්ල
පළමු දින රාත්‍රිය ඩේවි ගත කරන්නේ වනාන්තර වැස්ම සහිත අඩි දෙතුන් දාහක් පමණ උසට විහිදුනු කඳු සහිත නිම්නයක තිබූ ගනේපල්ල අම්බලමේය. එහි වහලය දින කිහිපයකට පෙර වල් අලි විසින් ගලවා දමා තිබී ඇත. ගනේපල්ල ගම මිනිසුන් 20 කට නොවැඩි ප්‍රමාණයක් ඒ වන විට වාසය කල එක්හීඔයෙන් වටවූ වෙල් යායක කෙලවර නිවාස තනා තිබූ කුඩා ගමකි.
කඳු වලින් වටවූ ගනේපැල්ල ගම (මෙම කඳු වල වනාන්තර වෙනුවට අද ඇත්තේ රබර් වගාවන්ය)
දෙවෙනි දින තුල ඩේවි ඉහළ බුලත්ගම (Upper Boulatgamme) පළාතට අයත් අඹගමුව (Ambigammue) දක්වා ගමන් කරයි. එම ගමනේදී ඔහුට දැනගන්නට ලැබුන පරිදි ඔහු ගව් 2.5 (ඩේවි පවසන ලෙසට සැතපුම් 10 පමණ දුරක්) ගමන් කර ඇත. එහෙත් ඔහු සිතන පරිදි එම දුර එයට වඩා වැඩි විය යුතුය. ගනේපල්ලේ සිට සැතපුම් 2 පමණ දුරකදි ඔහු බිබිලි ඔය (Bibile Oya) තරණය කරයි. එතැන් සිට තවත් සැතපුමක් ගිය තැන ගිරන්කිත්තෙ ඔයෙන්ද (Gerankitty oya) එතර වි සැතපුම් 4ක පමණ දුරක් ගෙවා කිතුල්ගලට (Kitoolgulle) පැමිණේ. එම ගමන් මග මුල් කොටසේදී කඳු සහිත වනාන්තර පෙදෙසක් හරහාද, ඇතැම් අවස්ථා වලදි කැළණි ගඟ ඉවුර ආසන්නයෙන්ද ගමන් කර ඇත.
කිතුල්ගල තානායම අසලදී කැළණි ගඟ
ඩේවි උදෑසන ආහාරය සඳහා කිතුල්ගල ඒ වන විට අතහැර දමා තිබූ මුරපලක නවතින අතර එහි 1818 උඩරට කැරැල්ල අවධියේ ඉංග්‍රිසි හමුදාවේ සෙබලුන් රැදී සිට ඇත. එය වගා කල තැනිතලා බිමක පිහිටා තිබූ බවත්, එම ස්ථානයේ සිට සැතපුම් 2ක දුරකදි කැළණි ගඟ යාත්‍රා කල හැකි ආකාරයේ වූ බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි. කිතුල්ගල සිට මාර්ගය අතිශයෙන්ම දුෂ්කර කඳුකර මාර්ගයක් නමුත් දර්ශනීය පෙදෙසක් හරහා වැටී තිබූ බව ඩේවි පවසයි. එම දර්ශනය මෙන්ම කඳුකර සීත සුළං නිසා වනාන්තරය හරහා වැටි තිබූ සෙවණ සහිත මාර්ගය  ගමන් වෙහෙස දුරු කල බව ඔහු විස්තර කරයි. එක් පසකින් පහලින් පිහිටි කඳු වලින් වටවූ අඹගමුවේ වගා කල හරිත වර්ණ කුඹුරු යාය දිස්වන අතර අනෙක් පස වලාකුලින් වැසුන ශ්‍රිපාද කන්ද (Adam's Peak) සහ කේතු ආකාර කඳු මුදුන් වලින් සමන්විත එම කඳු වැටිය දිස්විය. එමෙන්ම මහවැලි ගඟට (Mahawelle river) සැතපුම් දෙකකටත් වඩා අඩු දුරක් තිබියදි, කෙහෙල්ගොමු ගඟ (Kalugammua ganga) සමග එක්වී අවසානයේ කැළැණි ගඟ බවට පත්වන මස්කෙළිය ඔයේ (Maskelli ganga) හඬ ඇසෙන, එය දකින මානයෙන් මාර්ගය වැටි තිබිණ.
ගනේපල්ලේ සිට කිතුල්ගල දක්වා මාර්ගය
ගනේපල්ලේ සිට අඹගමුව දක්වා මාර්ගය හඳුනාගැනීම
මාර්ගයේ මේ කොටසේදි ඩේවි සඳහන් කරන බිබිල ඔය, ගිරන්කිත්තේ ඔය, කිතුල්ගල, කෙහෙල්ගොමු ගඟ, මස්කෙලි ඔය මෙන්ම අඹගමුවද පැහැදිලිව හඳුනාගත හැක. ගනේපල්ලේ සිට මාර්ගය නැවතත් වර්තමාන A7 මාර්ගය දෙසට ගොස් එතැන් සිට ඒ ඔස්සේ විහිදී තිබූ බව ඩේවිගේ විස්තරය සහ ඔහු ඉදිරිපත් කරන ගනේපල්ලේ සිට බිබිලි ඔයට, එතැන් සිට  වර්තමාන කිතුල්ගල තානායම අසලින් කැළණි ගඟට වැටෙන ගිරන්කිත්තේ ඔයට සහ කිතුල්ගලට ඇති දුරවල් අඩු වැඩි වශයෙන් වර්තමාන A7 මාර්ගය ඔස්සේ ඇති දුරවල් වලට සමාන වීමෙන් වටහා ගත හැක. කෙසේ නමුත් ඩේවි සඳහන් කරන මුරපොල  පිහිටා තිබූ ස්ථානය මේ වන විට පැහැදිලි නැත.

කිතුල්ගල සිට අඹගමුවට මාර්ගයද බොහෝ දුරට වර්තමාන A7 මාර්ගය ඔස්සේ හෝ එයට සමාන්තරව තිබෙන්නට ඇති බව පෙනේ. ඩේවි පවසන අඹගමුව පෙදෙසේ කුඹුරු යාය වල් එක් පසකත් ශ්‍රි පාද කඳු වැටිය අනෙත් පසත් දිස්වන්නට ඇත්තේ ගිනිගත්හේන අසලදි වීමට ඉඩ ඇති බව පහත සිතියමේ දැක්වෙන භූ විෂමතාවය දෙස බැලූ විට පෙනේ.
කිතුල්ගල සිට අඹගමුවට මාර්ගය
ඩේවි පවසන ලෙසට කෙහෙල්ගමු ඔය සහ මස්කෙලි ඔය එක්වී සෑදෙන කැළණි ගඟ සහ මහවැලි ගඟ එකිනෙකට ආසන්නයෙන් පිහිටා ඇති අයුරු. ඔහු පවසන ලෙසට මාර්ගයේ මහවැලි ගඟට සැතපුම් 2 කටත් වඩා අඩු දුරක් තිබියදීත් මස්කෙලි ඔයේ හඬ ඇසේ
අඹගමුව 
සතර දෙසින්ම කඳු වලින් වටවූ අඹගමුව ගම්මානයට ඒ වන විට කැරැල්ල සමයේ වනයේ සැඟවි සිටි ගම්මු නැවතත් පැමිණ සිටි අතර, ඉංග්‍රිසින් විසින් විනාශ කල ඔවුන්ගේ පැරණි ගේදොර වෙනුවට වාසය කිරීම සඳහා කුඩා මඩු සාදා ගෙන සිටි බව ඩේවි හෙළි කරයි. ඉංග්‍රිසීන්ගේ මුරපොල ඒ වන විට අතහැර දමා තිබූ හෙයින් එය ගොවිපොලක් බවට පත්කරගෙන තිබී ඇත. පැරණි ගෙයක් හැර එහි තිබූ සොල්දාදුවන්ගේ නිවාස සියල්ල බිමට සමතලා වි තිබිණ. මේ ඉසව්වේදී එහි ආරම්භක කඳු මතින් පැනනැගි අලුතම පාහේ වූ මහවැලි ගඟ පැරණි මුරපොල අසලින් දනක් පමණ වතුර ඇතිව ගලා ගියේය.
සිතියම 3
පස්බාගේ
පසු දින එම මහවැලි ගඟ Kawataroo Oya සමග එක්වන ස්ථානයෙන් එතෙර වී ඩේවි සැතපුම් 8 ක් දුරින් වූ පස්බාගේ (Passbage) දක්වා ගමන් කරයි. ගඟ ගලා යන දෙසටම ඒ අසලින් වැටි තිබූ මාර්ගය වගා කර තිබූ විවෘත නිම්නය ඔස්සේ වැටි තිබිණ. කැරැල්ල සමයේ මෙහිද ගඟේ සිට මීටර් 50 පමණ ඉහල කඳු මුදුනක මහවැලි ගඟ සහ කොත්මලේ ඔය (Kotmale ganga) එක්වන ස්ථානයේ මුරපොලක් තිබී ඇත. මාස 12 කට පමණ පෙර ඩේවි රැයක් ගත කල එම ස්ථානයේ කිසිදු සලකුණක් ඒ වන විට ඉතිරි වී තිබී නැත. කැරැල්ල සමයේ සැඟව සිටි ඒ අසල පිහිටි ඉඩම් වල වගා කල ගම්මුන් ඒ වන විටත් නැවත පැමිණ සිට නැත. කිසිදු ගොඩනැගිල්ලක් නොතිබුන හෙයින් ඩේවි එදින විවෘත භූමියේ රැය ගත කරයි.
සිතියම 4 
අඹගමුවේ සිට පස්බාගේ දක්වා මාර්ගය හඳුනාගැනීම
ඩේවි අඹගමුවේ සිට මහවැලි ගඟට Kawataroo Oya නම් වූ ඔයක් එක්වන තැනකින් එතෙර වූ බව පවසයි. සිතියම් වල එම නම සොයාගත නොහැකි වුවද අඹගමුවේදි මහවැලි ගඟට එහි වම් ඉවුර දෙසින් එකතු වන ඔය, ඩේවි සඳහන් කරන ඔය බවට පහසුවෙන් හඳුනාගත හැක (සිතියම 3). තුන්වන දින ඩේවි අඹගමුවේ සිට සැතපුම් 8 ක දුරක් ගොස් ඊට පසු දින කොත්මලේ ඔය මහවැලි ගඟට එක්වන ස්ථානයෙන්  ඔරුවක ආධාරයෙන් එගොඩ වූ බව සහ මාර්ගය ගඟ ගලා යන දෙසටම ඒ අසලින් වැටී තිබූ බව පවසයි. මේ සියළු තොරතුරු වර්තමානයේ අඹගමුවේ සිට නාවලපිටිය හරහා කොත්මලේ ඔය, මහවැලි ගඟ හා එකතු වන පල්ලේගම ලෙසින් මේ වන විට හඳුන්වන ස්ථානයට නිම්නය ඔස්සේ ගමන් කරන B319 සහ ඉන්පසු AB13 යන මාර්ග වලට මැනවින් ගැලපේ. පස්බාගේ ලෙසින් ඩේවි හඳුන්වන කොත්මලේ ඔය මහවැලියට එකතු වන ස්ථානයට එම නම වර්තමානයේ ව්‍යවහාර වන බවක් නොපෙනේ. අද පස්බාගේ කෝරලය යනු මහනුවර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයකි. නාවලපිටිය මෙන්ම ඉහත සඳහන් කල පල්ලේගමද අයත් වනුයේ එම ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයටය. ඩේවි සඳහන් කරන කොත්මලේ ඔය මහවැලි ගඟට එක්වන ස්ථානයේ ගඟේ සිට මීටර 50 උස කඳු මුදුනක පිහිටා තිබූ  මුරපොල තිබූ කන්දද හඳුනාගැනීම එතරම් අපහසු නැත (සිතියම 4 බලන්න.)
අඹගමුවේ සිට පස්බාගේ දක්වා ගමන් මාර්ගය
පසුදින උදෑසනම ගමන් අරඹන ඩේවි ඔරුවක ආධාරයෙන් මහවැලි ගඟ තරණය කර  මගපෙන්වන්නෙකු නොමැතිවම පුසුල්පිටිය (Pouhalpittye) දක්වා ගමන් කරයි. කොත්මලේ ප්‍රදේශයේ ඉංග්‍රිසි මුරපොල පුසුල්පිටියේ තිබී ඇත. එම මුළු දුර සැතපුම් 7 පමණ වන බව ඩේවි පවසයි. ගඟ තරණය කල ස්ථානයේ සිට සැතපුම් 3 පමණ එක දිගට තිබූ නැග්මත් සමග සැලකිය යුතු උසකට ලගා වුන බවත්, එම ගමනේදි බොහෝ කුඩා දොළ පාරවල් තරණය කරමින් අතහැර දමා තිබූ කුඹුරු ඉඩම් විශාල ප්‍රමාණයක් පසු කරමින් ගමන් මග යෙදී තිබූ බවත් ඩේවි පවසයි. තවද කැරැල්ල සමයේ අතහැර දමන ලද නටබුන් වූ ගම්මාන කිහිපයක්ද ඔහුට මේ කොටසේදී හමුවී ඇත. එතැන් සිට බෙහෙවින් බෑවුම් සහිත මාර්ගයක කොත්මලේ ඔය නිම්නයට බැස නැවතත් මද දුරක් ඉහලට නැග පුසුල්පිටිය දක්වා ඔහු පැමිණේ. කඳු වටා වැටි තිබූ එම මාර්ගයේ ගම්මාන දෙක තුනක් පමණක් සහිත බාගෙට වගා කල කුඹුරු ඉඩම් කැරැල්ලේ දරුණු සලකුණු පෙන්වන බව ඩේවි පවසයි.

පස්බාගේ සිට පුසුල්පිටිය දක්වා ගමන් මග හඳුනාගැනීම
ඩේවිගේ විස්තරයට අනුව ඔහු මහවැලි ගඟින් එතර වී කොත්මලේ ඔයේ වම් ඉවුර ඔස්සේ ගමන් කල බව පැහැදිලි වේ. සැතපුම් 3 පමණ එක දිගට තිබූ නැග්ම හපුගස්තලාව කඳු මුදුනට විය යුතුය. ඉන් අනතුරුව එවැනිම ශ්‍රිඝ්‍ර බැස්මක් ඔස්සේ ඔහු කොත්මලේ ඔය නිම්නයට බැස ගමන් කරයි. පුසුල්පිටිය මුරපොල තිබූ ස්ථානයට ලඟා වීම සඳහා අනතුරුව ඔහු නැවතත් මද දුරක් ඉහලට ගමන් කරයි. අද වන විට පුසුල්පිටිය ගම්මානයේ කොටසක් මෙන්ම කොත්මලේ ඔය නිම්නයේ තිබූ බොහෝ කුඹුරු ඉඩම්, ගම්මාන කොත්මලේ ජලාශයට යටවී ඇත. ජලාශය සෑදිමට පෙර පැරණි අඟලේ සිතියම් වල පෙන්වන අඩි පාරවල් සහ ඩේවිගේ ගමන් විස්තරය අනුව අනුමාණ කල මාර්ගයක් පහත සිතියම් වල දක්වා ඇත.
සිතියම 5 - නිල්පාටින් පැරණි අඟලේ සිතියම් වල ලකුණු කර තිබූ අඩි පාරවල් දක්වා ඇත. දම්පාටින් දක්වා ඇත්තේ වෙනත් මාර්ගයන්ය. (විශාලනය කිරීමට පින්තූරය මත ක්ලික් කරන්න )

සිතියම 6 - පස්බාගේ සිට පුසුල්පිටිය දක්වා අනුමාණ කරන මාර්ගය  (විශාලනය කිරීමට පින්තූරය මත ක්ලික් කරන්න )

කොත්මලේ ඔය නිම්නයේ හෙල්මළු ක්‍රමයට වගා කල කුඹුරු 
පුසුල්පිටිය
ඩේවි එදින ගඟේ වම් ඉවුරේ කඳු මුදුනක වූ පුසුල්පිටිය මුරපොලේ රැය ගත කරයි. එම ස්ථානයට දක්නට ලබුනු චමත්කාර ජනක දර්ශනය පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන ඩේවි එහි සිට දකින්නට ලැබුණ තිස්පනේ (Tispane) ගම පිළිබඳවද පවසයි (සිතියම 5 බලන්න)
කොත්මලේ ඔය නිම්නයේ හෙල්මළු ක්‍රමයට වගා කල කුඹුරු ඈතින් දිස්වන්නේ කොත්මලේ ඔය ජලාශයයි
පසුදින උදෑසන ඩේවි ඒ වන තෙක් කිසිදු යුරෝපිය ජාතිකයකු ගමන් නොකල මාර්ගයක් ඔස්සේ ඌව (Ouva) දෙසට ගමන් අරඹයි. නිම්නය ඔස්සේ ඉහලට ගමන් කරන හෙතෙම එයට හරියටම සෘජුකෝනාකාරව පිහිටි වෙනත් නිම්නයකට පිවිසේ. ඒ සශ්‍රික කුඩා දිඹුල (Dimbola) පලාත  බව ඔහු පවසයි. එය පුසුල්පිටිය මුරපොලේ සිට සැතපුම් 2 පමණ දුරකින් පිහිටා ඇත. සැතපුම් 2-3 පමණ එක දිගට දිස්වන පුළුල්, ගැඹුරු මුළු නිම්නයේ දෙපස සැලකිය යුතු උසක් දක්වා හෙල්මළු ක්‍රමයට වගා කර තිබී ඇත. අතරින් පතර පළතුරු ගස් වලින් සුසැදි ගම්මුන්ගේ නිවාසද, කුඹුරු ඉඩම් වනසතුන්ගෙන් ආරක්ෂා කරගැනීම උදෙසා තනා තිබූ පැල්ද දක්නට ලැබිණ. කඳු මුදුන් වන වැස්මෙන් වැසී තිබි ඇත. ගම්වැසියන්ගේ අමුතු හොඳකමක් නිසා නොව එහි ඇති දුරස්ථ හුදකලා බව නිසා කැරැල්ල සමයේ මෙම ගම එහි විපාක වලින් බේරුන බව ඩේවි පවසයි.
 කොත්මලේ ඔය ජලාශය
සැතපුම් තුනක් පමණ දුරක් පුසුල්පිටිය කොටුවේ සිට ගමන් කල පසු ඩේවි Haleltotte නම් ස්ථානයකදි කිතුල් කඳකින් සෑදූ ඔරුවක ආධාරයෙන් කොත්මලේ ඔය තරණය කරයි. එම ඉසව්වේදි කොත්මලේ ඔය පටු වුවත් ගැඹුරු බැවින් බැස යා නොහැක. මේ ප්‍රදේශයේ ජනයා වෙසෙන වගාවන් සිදු කරන ප්‍රදේශය එම ස්ථානයේ සිට අවසාන වන බවත්, අනතුරුව උදෑසන 6 සිට හවස 4 පමණ වන තෙක් වනාන්තරය මැදින් ගමන් කල කොටස එතරම් ආකර්ෂනීය නොවන දුෂ්කර වූවක් බවත් ඩේවි සඳහන් කරයි.  සවස 1 ට පමණ ඔහු මද වෙලාවක් පුන්ඩලු ඔය ඇල්ල (Poondool Oya falls) ඉහල ගිමන් නිවයි. එම ස්ථානයේදී ගමන් මග එම ඇල්ල සෑදෙන තරමක විශාල දිය පහර හරහා වැටී තිබිණ. එම දිය පහර දිය ඇල්ල හරහා ගොස් කොත්මලේ ඔයට දිඹුලට මදක් පහලින් එකතු වේ.  මේ වන විට ඔහු සැතපුම් 7 පමණ එදින තුල ගමන් කර ඇති බව මගපෙන්වන්නා ඔහුට පවසයි. එතනින් පසුව මාර්ගය එලෙසින්ම දුෂ්කර මුත් තරමක වියලි ගතියකින් යුත් පෙදෙසක් හරහා වැටී තිබිණ. එදින රාත්‍රිය ඔහු උණපත්පැලැස්ස (Unapatpalasse) ලෙසින් ගම්මුන් හැඳින්වූ වනාන්තරය මැද තරමක විවෘත ස්ථානයක ගත කරයි.
සිතියම 7
පුසුල්පිටියේ සිට උණපත්පැලැස්ස දක්වා මාර්ගය හඳුනාගැනීම
කොත්මලේ ඔය නිම්නයේ තිබූ පුසුල්පිටිය මුරපොලේ සිට ඉහලට ගමන් කර සෘජුකෝණාශ්‍රාකාර දිඹුල නිම්නයට අවතිර්ණ වූ බව ඩේවි පවසයි. මේ වන විට කොත්මලේ ජලාශයට යටවී ඇති ඕතලාව ලෙස හැඳින්වෙන ස්ථානයේදි කොත්මලේ ඔය ආසන්න වශයෙන් සෘජුකෝණාශ්‍රාකාර ලෙස දකුණු දිශාවේ සිට පැමිණ බටහිර දෙසට ගමන් කරයි. ඩේවි සඳහන් කරන දිඹුල නිම්නය කොත්මලේ ඔයේම ඉහල ප්‍රදේශයයි. අද වන විට එම සෘජුකෝණාශ්‍රාකාර හැඩය එලෙසම තිබෙමින් කොත්මලේ ජලාශය මගින් එම නිම්න දෙකේම එහි පහල ප්‍රදේශ ජලයෙන් යටකරමින් ජල තලය පුළුල් වී ඇත (සිතියම 7). හලෙල් තොට (Haleltotte) වැනි නමකින් ඩේවි හඳුන්වන කොත්මලේ ඔය හරහා වැටී තිබූ තොටුපල හඳුනාගත නොහැකි මුත් එය පුණ්ඩලු ඔය කොත්මලේ ඔයට එක්වන ස්ථානයට ආසන්නව තිබෙන්නට ඇති බව සිතිය හැක්කේ, එතැන් සිට ඩේවිගේ ගමන් මග පුණ්ඩලු ඔය නිම්නය ඔස්සේ වැටී තිබූ හෙයිනි. වර්තමාන B148 මාර්ගයේ කොත්මලේ ඔය හරහා වැටී ඇති පාලමට මදක් පහලින් එය තිබෙන්නට ඇත. එම ප්‍රදේශයට යොමුවූ කරත්ත පාරක් පැරණි සිතියම් වල ලකුණු කර ඇත. එම තොටමුණ දක්වා ගමන් මාර්ගය අනුමාන වශයෙන් සිතියම 8 දක්වා ඇත. එතැන් සිට උණපත්පැලැස්ස දක්වා වනාන්තරය මැදින් තිබූ මාර්ගයේ ඩේවි සඳහන් කරන එකම වැදගත් ස්ථානය පුණ්ඩලු ඔය ඇල්ල සාදන දිය පහර හරහා එය ගමන් කල බව කරන සඳහන පමණි. අද මේ සියළු වනාන්තර ඩේවිලාගේ පසුකාලීනයන් තේ වගාව සඳහා හෙලි කර ඇත. පුණ්ඩලු ඔය ඇල්ල හෙවත් ඩන්සීනන් ඇල්ල ලෙසින් හඳුන්වන ඇල්ල හරහා තේ වතු මැදින් වැටී ඇති වර්තමාන මාර්ගය බොහෝ දුරට පැරණි මාර්ගයට අනුකූල බව පෙනේ (සිතියම 8) උණපත්පැලැස්ස හඳුනාගත නොහැකි මුත් පැලැස්ස යන්නෙන් කුඩා වන ලැහැබ් (ඝන වනාන්තර නොවේ) හඳුන්වන බැවින් ඒ ආකාරයේ වනාන්තර තිබෙන්නට ඉඩ තිබූ ස්ථානයක් ඉහත සිතියමේ (සිතියම 8) එලෙසින් ලකුණු කර ඇත. පුණ්ඩලු ඔය ඇල්ලේ සිට පැය 4 ක පමණ දුරක් ඔහු එම ස්ථානයට ලඟාවීම සඳහා ගත කර ඇත.
සිතියම 8 පුසුල්පිටියේ සිට උණපත්පැලැස්ස දක්වා මාර්ගය
පසුදින පෙරවරු 6 ට ගමන් අරඹන ඩේවි සවස 5 පමණ වනතුරු ගමන් කරන්නේ පෙර දින මෙන් ඒකාකාරි නොවූ මුත් එලෙසින්ම දුෂ්කර මගකය. ගමනේ පළමු වරට මාරත්මල් (Rhododendron) ගස් සහිත කුරු වනාන්තර ඔහුට එතැන් සිට හමුවේ.  ඉතාමත්ම පිරිසිදු ජලය සහිත දිය පාරවල් කිහිපයක්ද ගමන් මග හරහා වැටී තිබිණ. මග පෙන්වන්නන් පැවසූ පරිදි එම මගේ ඉහලම ස්ථානය වන දැඩි බෑවුමක් සහිත කන්දක් අසලට පැමිණි පසු (සිතියම 9 - X ලෙස සලකුණු කර ඇති ස්ථානය විය යුතුය) ඔවුන්ට මාර්ගය අයිනේ සම්පූර්ණයෙන්ම පාහේ ඇටසැකිල්ල දක්වා කුණු වූ මිනිසෙකුගේ මළසිරුරක් හමුවේ. එකල ඇතිවූ සාගතය නිසා ඌව රටේ සිට කොත්මලේ දෙසට බොහෝ මිනිසුන් පැමිණි බවත්, ඔවුන්ගෙන් කෙනෙකු නිරාහාරව මෙසේ මැරී වැටෙන්නට ඇති බවත් ඩේවි සඳහන් කරන මුත්, එම සාගතයට හේතුව කැරැල්ල මර්ධනය උදෙසා රටවැසියන්ගේ වගාවන් විනාශ කරමින් ඉංග්‍රීසීන් අනුගමනය කල කෲර ක්‍රියාදාමය බව පවසා නොසිටින්නට ඔහු ප්‍රවේශම් වේ. අද අප හට මානව හිමිකම් ගැන ටියුෂන් දෙන්නේ ඩේවිලාගේ රටේ එවැනි කෲර කම් කල පරපුරේ දරු මුනුබුරු පරම්පරාවය.
කුරු වනාන්තර මැදින් වැටුන නුවර එළිය පතන දක්වා එදා තිබූ මාර්ගයද එදා මේ ආකාරයෙන් දිස්වන්නට ඇත (තොටුපල කන්ද ගමන් මග )
ඉහත විස්තර කල කන්ද තරණය කිරීමේදී මාර්ගය විවෘත, වට පිට භූමි දර්ශණය මැනවින් දැකිය හැකි පෙදෙසක් හරහා වැටී තිබූ බව ඩේවි පවසයි. එහි එක් ස්ථානයකදි කොත්මලේ නිම්නයද දර්ශනය වේ (සිතියම 9 - X ලෙසින් ලකුණු කර ඇති ස්ථානයේ සිට ඉදිරියට යාමේදී). එම කන්ද බැස එහි අනිත් පස අක්කර කිහිපයක් පුරා විහිදුන, අඩු වැඩි වශයෙන් වලයාකාර කිකිලියමාන (Kicklemane) නම් විවෘත භූමියකට පෙරවරු 10 ට පමණ ඩේවි ඇතුළු පිරිස ලඟා වේ. එම ස්ථානය කොත්මලේ රට සහ ඌව රට අතර සීමාව වන අතර ඉන් අනතුරුව මාර්ගය නැවතත් වනාන්තරය තුලට යොමුවේ. අලි ඇතුන් සහිත එම වනාන්තරයේ ක්‍රමයෙන් පහලට යොමු වූ මාර්ගයක අවසානයේ ඔවුන් නුවරඑළිය පතන (Neuraellyia-pattan) ලෙසින් මග පෙන්වන්නන් ඔහුට හඳුන්වාදෙන සුවිශාල පතන් බිමකට ලඟාවේ. තැනින් තැන ඇති මාරත් මල් ගස් සහිත එම පතන කිසිදු මිනිස් වාසයක් නොමැති සම්පූර්ණයෙන්ම පාහේ වන සතුන්ට වෙන්වූ ප්‍රදේශයක් ලෙස ඩේවි විස්තර කරයි. පතන පුරා වැටී තිබූ අලි වසුරු අනුව මෙම ස්ථානයේ රටේ අන් කවර ප්‍රදේශයකටත් වඩා අලි ඇතුන් ප්‍රමාණයක් සිටින බවට ඔහු අනුමාණ කරයි.
සිතියම 9 - පුණ්ඩලු ඔය ඇල්ලේ සිට කිකිළියමාන දක්වා පැරණි මාර්ගයද මෙහි දැක්වෙන වර්තමාන මාර්ග වලට අනුකූල ලෙස වැටී තිබෙන්නට ඇත.
උණපත්පැලැස්සේ සිට නුවරඑළිය පතන දක්වා මාර්ගය හඳුනාගැනීම
මාර්ගයේ මෙම කොටසද එදා වනාන්තරයෙන් වැසී තිබුන මුත් අද වන විට තේ වගා බිම් ඔස්සේ වැටුන එම මාවතේ වනාන්තර ඉතිරි වී ඇත්තේ ග්‍රේට් වෙස්ටර්න් සහ කිකිළියමාන රක්ෂිතය මැදින් වැටී ඇති සුළු කොටසක පමණි. නුවරඑළිය පතන අද මුළු මනින්ම පාහේ නුවරඑළිය නගරය සහ තදාශ්‍රිත ප්‍රදේශය බවට පත්වී ඇත. කිකිළියමාන ලෙසින් ඩේවි හැඳුන්වූ අඩු වැඩි වශයෙන් වලයාකාර එළි මහන් පෙදෙස මේ වන විට තේ වතු සහ එම තේ වතු වල සේවය කරන උඩරට දෙමළ ජනයාගේ නිවාස පේලි වලින් සමන්විත වූ ස්වභාවික පතන් බිමක් නොවන භූමියකි (සිතියම 11) නුවරඑළිය පතනේ පමණක් නොව මුළුමහත් කඳුකරයේ සහ පහත රට තෙත් කලාපයේ සිටි සියළුම අලි ඇතුන් ඩේවිලාගේ රටේ ඇත්තන්ගේ එකල ජනප්‍රිය Sport එකක් වූ Elephant Shooting Excursions නිසා සදහටම වඳවී ගොස්ය.
සිතියම 10 - කිකිළියමාන සිට නුවරඑළිය පතනට මාර්ගය

සිතියම 11 (විශාලනය කිරීමට පින්තූරය මත ක්ලික් කරන්න )

වනාන්තරයෙන් වටවූ විවෘත භූමියක් වූ නුවරඑළිය පතනද එදා මේ ආකාරයෙන් දිස්වන්නට ඇත. (තොටුපල කන්දේ සිට දිස්වන මහඑළිය පතනේ [Horton plains] කොටසක් )
සැතපුම් 2-3 පමණ විහිදුණු පතන හරහා ගොස් ඩේවි නැවතත් කොත්මලේ ඔය අසලට පැමිණේ. එහි ආරම්භක පෙදෙසේ වූ කොත්මලේ ඔය දනක් පමණ වතුර සහිත කුඩා දියපහරක් විය. ගල් කුලක් මතින් දිය ඇල්ලක් සාදමින් ගලා බස්නා එය ඇසට පේන මානය දක්වා දකුණු දෙසට ගලා බසී. ඉන්පසු එයට නුදුරින් එවැනිම උසකින් ගලා බැස කොත්මලේ ඔය දෙසටම ගලා බසිනා කුඩා දිය පහරක් (සිතියම 12 - 1 සහ 2 ලෙසින් සලකුණු කර ඇති දිය පාරවල් විය යුතුය. ඒවා ග්‍රේගරි වැවට ඉහලින් පිදුරුතලාගල දෙසින් පැමිණ නානු ඔයට එක්වේ.) තරණය කරමින් ඩේවි මධ්‍යහ්නය වන විට නැවතත් පතන කෙලවරින් වනාන්තරයට ඇතුළු වේ. මගපෙන්වන්නන්ගෙන් ඩේවි අසා දැනගත් පරිදි මෙම පතන සියලු කල්හීම සම්පූර්ණයෙන්ම ජනාවාසයෙන් තොර වූ අතර, වියලි කාලයේදී යකඩ සෑදීම සඳහා පැමිණෙන කොත්මලේ ප්‍රදේශයේ කම්මල් කරුවන්, මැණික් ගැරීම සඳහා පැමිණෙන පුද්ගලයන් සහ කලාතුරකින් ඒ හරහා ගමන් කරන මගියන් හැරුන විට වෙනත් කිසිවෙකු මෙහි පැමිණෙන්නේ නැත.
සිතියම 12 - 1 සහ 2 ලෙසින් සලකුණු කර ඇති දිය පාරවල් ග්‍රේගරි වැවට ඉහලින් පිදුරුතලාගල දෙසින් පැමිණ නානු ඔයට එක්වේ.
එතැන් පටන් මාර්ගය වල් අලි ගැවසෙන වනාන්තරය මැදින් එහි බොහෝ දුරක් වැටි තිබිණ. එම වනාන්තරය හරහා ගමන් මග පල්ලම් බැසීමක් විය. එහි අවසානයේ එතරම් විශාල ප්‍රදේශයක් පුර පැතිරී නොතිබූ විවෘත පෙදෙසක් හමු වූ අතර ඒ හරහා තරමක ඔයක් වූ Hawelle Oya ඌව දෙසට ගලා බසී. එතැන් සිට යලිදු වනාන්තරය තුලින් වූ මාර්ගය ඔස්සේ ගොස් ඩේවි ඇතුළු පිරිස නැවතත් ඔය හරහා ගොස් (සිතියම 14 - A ලෙස ලකුණු කර ඇති ස්ථානය විය හැක.) සවස 3 පමණ වන විට, වනාන්තරය අවසාන වී නමුණුකුල කන්ද (Namina-cooli-kandy) ඇතුළු ඉහල ඌව ප්‍රදේශය දර්ශනීය ලෙසින් පෙනෙන කඳු මුදුනක් වෙතට ලගාවේ (සිතියම 14 - B ලෙස ලකුණු කර ඇති ස්ථානය විය හැක.)
සිතියම 13 - අඟලේ සිතියම් වල වනාන්තරය මැදින් ලකුණු කර තිබූ අඩි පාර කළු පාටින් පෙන්වා ඇත
එම කන්ද බැස යාමේදී ඩේවිට කැරැල්ල සමයේ තම ගම් බිම් අතහැර පැමිණි ජනයා තාවකාලිකව සැඟවී සිටීම සඳහා ඉදිකර තිබූ මේ වන විට නටබුන් වී ඇති කුඩා මඩු අතරින් පතර දැකගන්නට හැකිවේ. මාර්ගය එක් ස්ථානයකදී  Dugulle Oya කදිම දියඇල්ලක් ලෙසින් වැටෙන ස්ථානයක් අසලින්ද ඔහු ගමන් කරයි (සිතියම 14 - බොමුර ඇල්ල ලෙසින් ලකුණු කර ඇති ස්ථානයට පහලින්). සවස 5 පමණ වන විට එම කඳු පාමුල පිහිටි ජනයා වසන පෙදෙසකට ලගා වීමට ඩේවිට හැකිවේ. පේරවැල්ල (Perowelle) ලෙසින් හැඳින්වූ එම ස්ථානයේ ඩේවි එදින රැය ගත කරයි.
සිතියම 14 - හාවා එළියේ සිට පේරවැල්ලට
පසු දින උදෑසන ඩේවි එතැන් සිට සැතපුම් 4 පමණ දුරුන් පිහිටි මැක්ඩොනල්ඩ් බලකොටුව දක්වා පිටත් වේ. ඔහු ඉදිරිපත් කරන විස්තරයට අනුව එම මග කුඹුරු ඉඩම් සහිත ජනයා පදිංචි වී සිටි ගම්මාන මැදින් වැටී තිබූ බව පෙනේ.

නුවර එළිය පතනේ සිට මැක්ඩොනල්ඩ් කොටුව දක්වා මාර්ගය
නුවරඑළිය පතන ඔස්සේ සැතපුම් 2-3 පමණ ගමන් කර ඩේවි කොත්මලේ ඔයේ ආරම්භක ප්‍රදේශයට ලඟා වූ බව පවසයි. ඩේවි මේ විස්තර කරන්නේ නානු ඔය ලෙසින් හැඳින්වෙන කොත්මලේ ඔයට තළවකැලේදී එක්වන එහි ශාඛාවයි. නුවරඑළිය පතනේදී එයට එක්වන දියපාරවල් ඉහත සිතියම 12 දක්වා ඇත. ඩේවි පවසන අයුරින්ම කොත්මලේ ඔය (නානු ඔය) පතන ඔස්සේ දකුණු දෙසට විහිදේ.  ඩේවිගේ ගමන් මග හාවා එළිය ඔස්සේ විහිදුනු බව පෙනේ. ඔහු Hawelle Oya ලෙසින් හඳුන්වන්නේද හාවා එළිය ඔය විය හැකිය. ඒත් ඒ නමින් ඔයක් අද සොයාගත නොහැක. ඩේවි සඳහන් කරන විවෘත ප්‍රදේශයක් හරහා ගලා ගිය ඔය, හාවා එළිය හරහා ගලන සිතියම් වල බෝමුර ඇල්ල ඔය ලෙසින් හඳුන්වා තිබෙන උමා ඔයේ ඉහල ජලධාරා ප්‍රදේශයයි. පැරණි අඟලේ සිතියම් වල ලකුණු කර ඇති අඩි පාරක් මෙම හාවා එළිය ප්‍රදේශයේ සිට බෝමුර ඇල්ල ඔයේ දකුණු ඉවුරට ආසන්නයෙන් වනාන්තරය තුලින් ගොස් එක් ස්ථානයකදි බෝමුර ඇල්ල ඔය හරහා ගොස් පේරවැල්ල ලෙසින් දැනට ව්‍යවහාර වන පෙදෙසකට ලඟාවේ. ඩේවි සඳහන් කරන Perowelle මේ පේරවැල්ලයි. අතරමගදි ඔහු Dugulle ඔය දිය ඇල්ලක් ලෙසින් වැටෙන තැනකින්ද ගිය බව පවසයි. ඩේවි මෙහිදි දැනට බෝමුර ඇල්ල ඔය ලෙස හඳුන්වන ඔය අවස්ථා කිහිපයකදි විවිධ නම් වලින් හඳුනාගන්නා බව පෙනේ. ඔහු සඳහන් කරන දිය ඇල්ල බෝමුර ඇල්ල විය යුතුය. එම දිය ඇල්ල පැරණි අඟලේ සිතියම් වල හඳුන්වා ඇත්තේ පේරවැල්ල ඇල්ල ලෙසිනි.

 පේරවැල්ලේ සිට මැක්ඩොනල්ඩ් කොටුව දක්වා පහත සිතියමේ අඩි පාරවල් ලෙස ලකුණු කර ඇති කිසියම් මගක් ඔස්සේ පැරණි මාර්ගය වැටී තිබෙන්නට ඇත. ඩේවි පවසන ලෙසට එම ප්‍රදේශයේ කුඹුරු ඉඩම් සහ නිවාස බහුලව පැවතුන හෙයින් මාර්ග කිහිපයකක් එකලද තිබෙන්නට ඉඩ ඇත.
සිතියම 15 - පේරවැල්ලේ සිට මැක්ඩොනල්ඩ් කොටුව දක්වා මාර්ගය
මූලාශ්‍ර
  • An Account of the Interior of Ceylon and of its Inhabitants with Travels in that Island, John Davy, 1821