Sunday, July 15, 2018

කුරුඳු පුරාණය සහ ලංසි පැපොල්ගේ ඉතිහාසය

කලකට පෙර පරාක්‍රමබාහු රජු පස්යොදුන් රටේ පහත් බිම් වල පස් පුරවා ඒවායේ වී වගා කල බව සොයා ගත් "ආසියාවේ මහා මෝලය" සහිත "ලංසි පැපොල් ඉතිහාසඥයා" සිය නවතම සොයාගැනීම සමගින් නැවතත් කරලියට පැමිණ ඇත. ඔහුගේ නවතම සොයාගැනීම වී ඇත්තේ පරාක්‍රමබාහු රජු මායා ප්‍රදේශය පාලනය කරන සමයේ "විදේශ විනිමය" උපයාගැනීම උදෙසා කළුතර දිස්ත්‍රික්කයේ ඉඩම් වල කුරුඳු වැවූ බවය. වසර පහකින් එහි අස්වැන්න නෙලා උපයාගත් විදේශ විනිමයෙන් හෙතෙම පරාක්‍රම සමුද්‍රයද ඉදි කර ඇත. වෙනත් "බයියන්" මෙන් එම සොයාගැනීම කෙරෙහි ඊර්ෂ්‍යා කරමින් පරාක්‍රම සමුද්‍රය හෑරිම සඳහා එක් බැකෝ යන්ත්‍රයක් ගෙන්වීමට කුරුඳු කිලෝ කීයක් අපනයන කලේද ආදී මෝඩ ප්‍රශ්න අසා එතුමාගේ අගනා සොයාගැනීම හෑල්ලු නොකර මෙරට කුරුඳු අපනයනයේ සහ වගා කිරීමේ ඉතිහාසය සැකවින් විමසා බැලීමට මේ ලිපිය තුලින් උත්සාහ කරමි.
Cinnamon is peeled on the island of Ceylon, උපුටාගැනීම -  Baldaeus P., 1672, 

ක්‍රි.ව. 1200-1293 අතර කාලයේ රචිත ලෙස සැලකෙන බුත්සරණ හිමාලය වනය වර්ණනා කිරීමේදී විවිධ ගන්ධයන් නිකුත් කරන ශාක පිළිබඳව වූ වර්ග කිරීමකදී සුඹුළු වලින් (සිවිය/පිට පොත්ත/Outer integument) සුවඳ විහිදුවන 'ලමඟ' ආදී ගස් එහි තිබූ බව පවසයි. 'ලමඟ  ගස' පිළිබඳව කාව්‍යශේඛරය (ක්‍රි.ව. 1449 ), සද්ධර්ම රත්නාවලිය (ක්‍රි.ව. 1220-1293), යෝගරත්නාකරය (16 වන ශතවර්ෂය), පූජාවලිය (ක්‍රි.ව. 1266), පඤ්චිකාප්‍රදීපය(ක්‍රි.ව. 1457)  වැනි පැරණි ගද්‍ය/පද්‍ය ග්‍රන්ථ කිහිපයකම සඳහන් වන අතර එම ග්‍රන්ථ සංස්කරණය කල ඇතැම් වියතුන් 'ලමඟ' යනු කරාබු නැටි ලෙස සැලකුවද නම්රුවන්මල හෙවත් රුවන්මල් නිඝණ්ඩුව (ක්‍රි.ව. 1420 ට පසුව) නම් පැරණි කෝෂ ග්‍රන්ථයට අනුව 'ලමඟ' නම් 'කුරුඳු ගස' වේ  (කරාබු නැටි ගස/Syzygium aromaticum දේශිය ශාකයන් නොවන අතර මොලුක්කාස් දිවයිනෙන් ඉංග්‍රිසීන් පැමිණෙන විටත් මෙරටට හඳුන්වා දී තිබූ ශාකයකි.) . ජාතක ගාථා සන්නය (ක්‍රි.ව. 1153-1225) නම් පැරණි සන්‍යය ග්‍රන්ථයේද කුරුඳු ගස ගැන සඳහන් වේ. 'කුරුඳු තෙල්' යන වදන ක්‍රි.ව. 1293-1303 අතර කාලයේ රචිත ලෙස සැලකෙන ථූපවංසයේ හමු වේ. මේ සියලුම මූලාශ්‍ර 13 වන ශතවර්ෂයේ හෝ ඉන්පසු රචිත ග්‍රන්ථ වන අතර කුරුඳු වැවීම, අපනයනය කිරීම හෝ කුළු බඩු ලෙස හෝ ඖෂධ ලෙස භාවිතා කිරීම පිළිබඳව විස්තර එයට පෙර රචිත කිසියම් හෝ සාහිත්‍ය මූලාශ්‍රයක හමු නොවේ. පැරණි වංශ කතා වලද කුරුඳු පිළිබඳව විස්තර කිසිවක් සොයා ගත නොහැක.

වෙළඳ භෝගයක් ලෙසට වර්තමානයේ රටවල් කිහිපයකම වගා කරන මුත් Cinnamomum verum ලෙසින් උද්භීද විද්‍යාත්මකව හඳුන්වන කුරුඳු ශාකය මෙරට නිරිත දිග තෙත් කලාපයේ පහත රට වනාන්තර වල පමණක් හමු වන ශාකයකි. එම Cinnamomum ගණයට(Genus) අයත් ශාක විශේෂ(Species) 8 පමණ ශ්‍රී ලංකාවේ වනාන්තර වල හමු වන අතර දකුණු, නැගෙනහිර සහ අග්නිදිග ආසියානු රටවල සිට ඔස්ට්‍රේලියාව දක්වා විහිදුණු කලාපයේ වනාන්තර වල විශේෂ 250 පමණ මේ වන විට හඳුනාගෙන ඇත. එම බොහෝ ශාක වල සුවඳැති පොත්තක් ඇති මුත් ලොව පුරා කුළු බඩුවක් ලෙස භාවිතා වන Cinnamomum verum ශාකය මෙරටට ආවේනික වෙනත් කිසිදු රටක වනාන්තර වල හමු නොවන ගසකි.

ඉහත අප සඳහන් කල අයුරින් මෙරට පැරණි මූලාශ්‍ර වල කුරුඳු ශාකය පිළිබඳව විස්තර හමු නොවන මුත් වෙනත් විදේශීය මූලාශ්‍ර කිහිපයකම මෙරටින් අපනයනය කල කුරුඳු පිළිබඳව තොරතුරු සඳහන් වේ. එසේම කිසියම් හෝ විදේශීය රටකින් කුරුඳු පිළිබඳව පැරණි මූලාශ්‍රයක තොරතුරු හමු වන්නේ නම් එම කුරුඳු අනිවාර්යයෙන්ම මෙරටින් අපනයනය කල ඒවා විය යුත්තේ ඉහත සඳහන් කල ලෙසින් නියම කුරුඳු ගස හමුවන්නේ මෙරට වනාන්තර වල පමණක් වන බැවිනි.

මෙරට කුරුඳු පිළිබඳව හමුවන පැරණිම මූලාශ්‍රය වන්නේ ක්‍රි. ව. 10 වන ශතවර්ෂයේ බුෂූර්ග් ඉබ්න් ෂරියාර් (Buzurg Ibn Shariyar) විසින් රචිත අජා ඉබ් අල් හින්ද් (Aja ib al Hind) හෙවත් 'ඉන්දියාවේ අසිරිය' නම් කෘතියේය. යුදෙව් වෙළෙන්දන් විසින් 12 වන ශත වර්ෂයේ කයිරෝ නුවර තබා ඇති සටහන් වලද කුරුඳු වල මූලාශ්‍රය මෙරට බව සඳහන් වේ. එසේම මිෂනාරි කටයුතු උදෙසා 13 වන සියවසේ පෙරදිග රටවවල සැරිසැරූ මොන්ටිකෝවිනෝහි ජෝන් පියතුමාගේ (John of Montecorvino) ලිපියකද මෙරට කුරුඳු පිළිබඳව සඳහන් වේ. ඉබ්න් බතුතාගේ (Ibn Batuta) මෙරට සංචාරය ( ක්‍රි.ව. 1344) පිළිබඳව ඔහු තබන සටහන් අතර ඉන්දියාවේ මලබාර් සහ කොරමන්ඩල් ප්‍රදේශ වල සිට පැමිණි පුද්ගලයන් මෙරට රජුට ත්‍යාග ලෙසට රෙදි පිළි ආදී දේ ලබා දී කුරුඳු රැගෙන ගිය බව පවසයි. බතූතාගේ විස්තරයේ සඳහන් වන ලෙසට Batthalah ලෙසින් ඔහු හඳුන්වන නගරයේ (පුත්තලම ලෙසින් ඇතැම් වියතුන් හඳුනාගන්නා මුත් ඒ පිළිබඳව නිශ්චිත මතයක් නොමැත.) වෙරල තීරය මුළු මනින්ම පාහේ කුරුඳු 'කෝටු' කඳු ලෙසට ගොඩ ගසා තිබී ඇති අතර, ඒවා 'ජල ප්‍රවාහය' නිසා ගසා ගෙන ආ ඒවා ලෙස ඔහු පවසයි [All the neighboring shore was covered with trunks of cinnamon trees, torn up by the torrents ] (ජල ප්‍රවාහය නිසා ගොඩ ගැසූ කුරුඳු කඳන් ලෙසින් බතුතා පවසන දේ එලෙසින්ම පිළිගත නොහැකි මුත් මේ වන විටද කුරුඳු වනාන්තර වලින් එකතු කලා විනා වගා නොකල බව එම විස්තරයෙන්ද පැහැදිලි වේ. )
උපුටාගැනීම, Cave W. , 1910
විවිධ හේතුන් නිසා රජරට ශිෂ්ඨාචාරයේ සිදුවූ පරිහානියත් සමග මෙරට අගනුවර නිරිත දිග තෙත් කලාපය දෙසට පසු බසින්නට විය. ඒ සමගම එම ප්‍රදේශයේ නොයිදුල් වනාන්තර ක්‍රමයෙන් හේන් වගාව නිසා ද්විතියක වනාන්තර සහ ලඳු කැලෑ බවට පත්වන්නට ඇත. මෙම නව පරිසර පද්ධතීන් තුල මෙතෙක් වනාන්තර වල පමණක් වැඩුන කුරුඳු ගස් බහුලව පැතිර ගියා විය හැක. මෙතෙක් සුළු වශයෙන් හුවමාරු වූ කුරුඳු 15-16 ශතවර්ෂ වන විට ක්‍රමයෙන් මෙරට ප්‍රධාන වෙළඳ භාණ්ඩයක් බවට පත්විණි. අනාදිමත් කාලයක පටන් මෙරට වෙළදාමේ යෙදුන අරාබි ජාතිකයන් මෙරටින් ලබාගත් කුරුඳු මිසරයට සහ කොන්ස්තන්තිනෝපලය හරහා ඉතාලි සහ මධ්‍යධරණි වාණිජ නගරවලට ගෙන ගොස් ඇත.

1505 පමණ කාලයේ සිට මෙරට තුල ක්‍රියාත්මක වූ පෘතූගීසි බලපෑමත් සමග අරාබි වෙළෙඳුන් අත තිබූ කුරුඳු අපනයනය කිරීමේ ඒකාධිකාරය ප්‍රතිකාලුන් විවිධ ක්‍රම මගින් ඔවුන් වෙත ලබා ගත්හ. මෙතැන් පටන් මෙරට තුල දේශපාලන ඉතිහාසය කුරුඳු අපනයන වෙළදාමේ ඉතිහාසය සමග අඩු වැඩි වශයෙන් සමපාත වීමක් සිදුවේ [එබැවින් ලිපිය දීර්ඝ වන බැවින් මෙතැන් සිට ඉදිරිපත් කෙරෙනුයේ සංක්ෂිප්ත ඉතාමත් වැදගත් සිදුවීම් පිළිබඳව තොරතුරු බිඳක් පමණි.] එහෙත් ප්‍රතිකාල් වරුන් පලවා හැර ලන්දේසින් මෙරට මුහුදු බඩ ප්‍රදේශ අත් කරගන්නා තෙක් කිසිදු පෘතූගීසි හෝ සිංහල මූලාශ්‍රයක මෙරට තුල කුරුඳු වගා කර අපනයනය කල බවට කිසිදු තොරතුරක් හමු නොවේ. ඒ වෙනුවට සිදු වූවේ මුලදී ප්‍රධාන වශයෙන් සලාගම කුලයට අයත් ජනයා සහ පසුව සලාගම නොවන කරාව, පදු සහ හුණු වැනි කුල වලට අයත් ජනයාද සුළු වශයෙන් යොදවා කැලෑවලින් කුරුඳු එකතු කිරීමය.
උපුටාගැනීම, Cave W. , 1910
1658 දී පෘතුගීසීන් මෙරටින් සම්පූර්ණයෙන් පළවා හැර ඔවුන් සතුව තිබූ ඇතැම් ප්‍රදේශ නතු කරගත් ලන්දේසීන් කුරුඳු වෙළදාමද සම්පූර්ණයෙන්ම පාහේ ඔවුන් අතට පත් කරගත්හ. කුරුඳු පැල විනාශ කිරීම., අනවසරයෙන් කුරුඳු කැපීම, පෞද්ගලික වෙළදාම සහ ප්‍රවාහනය ලන්දේසීන් ඔවුන්ගේ බලාධිකාරය පැවති ප්‍රදේශ වලදී ඕනෑම පුද්ගලයෙකුට මරණිය දණ්ඩනය ලැබිය හැකි වරදක් බවට පත් කර එය ක්‍රියාත්මකද කරවීය. එපමනක් නොව කුරුඳු තැලීමේ යෙදී සිටි පුද්ගලයන් නියමිත කුරුඳු ප්‍රමාණය නොසැපයී නම් ඔවුන්ට දරුණු දඩුවම් පමුණුවනු ලැබීය.

උඩරට රජුට අයත් ප්‍රදේශ වල වැවුනු කුරුඳු ගස් කැපීමට අවසර ගැනීම උදෙසා ලන්දේසීන් වාර්ෂිකව උඩරට රජතුමා හමුවීමට වටිනා තෑගි භෝග රැගත් දූතයන් යැවිය යුතුය. එමෙන්ම උඩරට ප්‍රධාන රදළයන්ට සහ කුරුඳු වැවෙන පළාත් වල දිසාවේ වරුන්ටද පුද පඩුරු ලබා දිය යුතුය. එපමණක් නොව රජු සමග ආරවුල් ඇති කරගත් සමයන්හී පහතරට ලන්දේසි ප්‍රදේශ වල සිට කුරුඳු තලන්නන්ට උඩරට ප්‍රදේශ වලට ඇතුළු වීමට ඉඩ නොලැබේ. මෙවන් බාධක නිසා ලන්දේසීන් කුරුඳු  වගා කිරීම කෙරේ අවධානය යොමු කිරිමට පටන් ගනී. මෙතෙක් කල් මෙරට ජනතාව අතර ජනප්‍රිය මතයක්ව පැවති කුරුඳු කැලෑ වල ඉබේ වැවීමට ඉඩහරිනවා විනා වගා කල නොහැකි ශාකයක්ය යන මතය බිඳ හෙලා මෙරට මුල් වරට කුරුඳු වතු ඇති කරන්නේ ඉමාන් ෆල්ක් [Iman Willem Falck] (ක්‍රි.ව. 1765-1785) නම් වූ ලන්දේසී ආණ්ඩුකාරවරයාය (ලන්සි පැපොල් තුමාගේ 'පරාක්‍රමබාහු' ඇතැම් විට මොහු විය හැකිය. අප දන්නා මහා පරාක්‍රමබාහුට වඩා ඉමාන් ෆල්ක් ඔහුට හැම අතින්ම සමීපය. 2005 දී පෘතුගීසීන් පැමිණ වසර 500 ගිය කල පෘතුගීසී රටේ නායකකාරකාදීන් ගෙන්වා එම අවස්ථාව උත්සවාකාරයෙන් සමරන්නට 'ලන්සි පැපොල්' දත කට මැදගෙන සිටි සැටිද අපට මෙහිදී මතක් වේ.)

පළමු පර්යේෂණාත්මක කුරුඳු වගාව ඉමාන් ෆ්ල්ක් ආන්ඩුකාරවරයාගේ සමයේදී ආරම්භ වන්නේද අද කොළඹ නගරය තුල පිහිටි මරදාන ප්‍රදේශයේ විනා ලංසි පැපොල් තුමාගේ කළුතර දිස්ත්‍රික්කයේ නොවේ. ඒ වර්ෂ 1769 දීය. ඉක්බිති දැදුරු ඔයේ සිට වළවේ ගඟ දක්වා ලන්දේසීන්ට යටත් ප්‍රදේශ වල මුලාදෑනීන්ට තම බල ප්‍රදේශ වල කුරුඳු වැවිය හැකි බිම් වල කුරුඳු වවන ලෙසට ඔවුන් නියෝග නිකුත් කලහ. මෙලෙස ආරම්භ වූ කුරුඳු වගාව 1796 දී ලන්දේසීන් සතු මුහුදු බඩ ප්‍රදේශ ඉංග්‍රීසින් අතට පත් කරගත් පසුද කෝපි වගාව මෙරට ප්‍රධාන අපනයන භෝගය බවට පත්වන තෙක්ම ප්‍රධාන වැවිලි භෝගයක් ලෙසට පැවතුණි.

මූලාශ්‍ර
  • A History of Sri Lanka, K.M. de Silva, 2005.
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • History of Sri Lanka, W.I. Siriweera, 2012
  • Tropical Planting and Gardening with Special Reference to Ceylon, H.F. Macmillan, 1910
  • ශ්‍රී ලාංකේය ඉතිහාසය වෙළුම 1,2,3 සහ 4, සංස්කාරක ආචාර්යW.M.K. විජේතුංග, 2012
  • Ibn Batuta in The Maldives and Ceylon, Albert Gray, 1883
  • සිංහල ථූපවංසය හා ගැටපද විවරණය, මහාචාර්ය සුචරිත ගම්ලත් සංස්කරණය, 1994
  • A Revissed Handbook to The Flora of Ceylon, Dassanayake et.al., Volume IX, 1995
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය ප්‍රථම භාගය සහ ද්වීතීය භාගය- වැලිවිටියේ සෝරත හිමි, 1999
  • සිරිසඟබෝ පැරකුම්බා නිරිඳුන් කළ නමෘවන්මල හෙවත් රුවන්මල් නිඥ්ඩුව, ආනන්ද අබේසිරිවර්ධන, 2004
  • සද්ධර්ම රත්නාවලිය, කිරිඇල්ලේ ඥාණවිමල සංස්කරණය, 2004
  • Sri Lanka The Geographical Vision, Enviroment, Land and Settlement in Classical Sinhala Literature, V. Vitharana, 1999
  • කාව්‍යශේඛරය,සුචරිත ගම්ලත්, වේගිරියේ කීරාල, 2006
  • අමෘතාවහ නම් බුද්ධචරිතය, බුත්සරණ, ලබුගම ලංකානන්ද සංස්කරණය, බු.ව. 2497
  • Pearls, Spices and Green Gold An Illustrated History of Biodiversity Exploration in Sri Lanka, Rohan Pethiyagoda, 2007
  • Ceylon and Its Capabilities, An Account of Its Natural Resources, Indigenous productions and commercial facilities, J.W. Bennett, 1843
  • A Description of the Great and Most Famous Isle of Ceylon, Baldaeus Phillip, 1672
  • Illustrations and Views of Dutch Ceylon, 1602-1796, R.K. de Silva & W.G,M, Beumer, 1988
  • The Ceylon Government Railway, Henry W, Cave, 1910

13 comments:

  1. මෙතරම් මූලාශ්‍ර පදනම්ව වක්කඩේ ඇරිය වගේ කියවන්නෙක් දැක්කමයි. බොහොම අගෙයි.

    ReplyDelete
  2. //ඒ වෙනුවට සිදු වූවේ මුලදී ප්‍රධාන වශයෙන් සලාගම කුලයට අයත් ජනයා//

    ලන්කාවේ වනාන්තරවලින් කුරුඳු අස්වැන්න ලබා ගැනීම හා අපනයනයට පිලියෙල කිරීමේ ඉතිහාසය ලංකාවේ සලාගම ඉතිහාසයට වඩා පැරණි වගේ පේනව නේද? සලාගම පැමිණීම/ස්ථාපිත වීමට පෙර කුරුඳු කර්මාන්තය කවුරු කරන්න ඇද්ද?
    ඈත ඉතිහාසයේ දේශීය කුරුඳු පරිභෝජනය මොනවගේ තියෙන්න ඇද්ද?

    Bushana, your writing gets flavoured with political satire quite frequently here. Reminds me of medieval European cooks flavouring almost all gourmet dishes with cinnamon ! You know very well that I enjoy your writing for its superb historical research/analysis and I personally prefer to keep history as a pure objective science, but in this particular post I enjoyed anticipating at which point the next political quip would come too ! :-D. I love satire in all its forms, especially, with witty deadpan language.

    ReplyDelete
  3. ප්‍රා ජේ ද සදහන් කරන යමක් නැවතත් ඉස්මතු කරන්නට කැමතියි. එනම් සලාගම කුලය හා කුරුදු අතර සම්බන්දය. සලාගම වංශිකයන් ලංකාවට සාපේක්ශකව පසුව පැමිනියේ නම් ඊට පෙර කුරුදු ආශ්‍රිත කටයුතු කලේ කවුරුන්ද යන්නයි. ලාංකික කුල දූරාවලියේ එවැන්නක් හමුවන්නේ නෑ.

    ReplyDelete
  4. Pra & කට්ටකාඩුවේ ලොකු මල්ලි

    සායම් සේදීම කරනු පිණිස විශාල වූ දික් ශාලා සාදා ඇති ගම් වල වසන හෙයින්ද සොළී රටින් පැමිණි හෙයින්ද සාලාගමයෝ යයි නම් ලද බැව් 15 වන ශතවර්ෂයේ පමණ ලියන ලද බව අනුමාණ කරන ජනවංශ නම් වූ පැරණි ග්‍රන්ථයක සලාගම කුලය ගැන සඳහන් වේ. ඔවුන් එකල රෙදි විවීම කර්මාන්තයක් ලෙස කල බව තමාඑහි සඳහන් වන්නේ. ඉන්පසුව ඉතිහාසයේ කිසියම් හෝ අවදියක දැනට දැනගැනීමට නොහැකි කිසියම් හෝ හේතුවක් නිසවෙන් ඔවුන් කුරුඳු කර්මාන්තය කෙරෙහි යොමු වී ඇති බව පෙනේ. කෙසේ නමුත් 15 ශතවර්ෂයෙන් පසුව තමා කුරුඳු මෙරට් ප්‍රධාන අපනයන භෝගයක් බවට ක්‍රමයෙන් පත් වන්නේ. එයට් අපෙර කාලය පිළිබඳව තොරතුරු නොමැති බැවින් කුමන ජන කණ්ඩායමක් එම කාලයේ කුරුඳු කර්මාන්තයේ නියැලුනාද යන්න අප දන්නේ නැහැ. බතුතා කියන ලෙසට කැලෑවලින් එකතු කල කුරුඳු කෝටු වලට අරාබි වෙළෙදුන් වෙනත් භාණ්ඩ මෙරට වැසියන්ට දී ඒවා රැගෙන යන්නට ඇති.

    Pra එම කාලයට පෙර මෙරට කුරුඳු පරිබෝජනය ගැනත් තොරතුරු සොයාගන්නට නැහැ. කෙටියෙන් කියනවා නම් එම කාලයට පෙර මෙරට කුරුඳු කර්මාන්තය ප්‍රධාන කර්මාන්තයක් ලෙසට තිබුණ බවට සාක්කි නැහැ. නොතිබුනා වන්නට තම වැඩි ඉඩක් තියෙන්නේ. විදේශ වල පවා කුරුඳු වලට ලොකු ඉල්ලුමක් තිබ්බා වන්න බැහැ. රාජකීයයන් අතර පමණයි එය භාවිතා වන්නට ඇත්තේ.

    ReplyDelete
  5. අගෙයි... මේ ලිපියෙන් මගේ තිබුන මිත්‍යා සිතුවිල්ලක් වෙනස් වුනා.. මම හිතන් හිටියේ කුරුඳුත් විදේශිකයන් විසින් තේ, රබර්, කෝපි වගේ මෙරටට හඳුන්වා දුන්නු බෝගයක් කියලා...

    ReplyDelete
  6. සලාගම කුලය තුල උප කුල දෙකක් තියෙනවා `කුරුදුකාර` සහ `හේවාපන්නෙ ` යන නමින්

    ReplyDelete
  7. අපූරු ගවේෂණාත්මක සංචාරයක යෙදෙන්නට ඉඩක් හදා දුන්නා වගෙයි!

    ReplyDelete
  8. කුරුඳු තැලීමට නව තාක්ෂණයෙන් යුතු පේටන්ට් බලපත්‍ර සහිත මැෂින් එකක් පිලිබඳ 2018-11-18 වැනි ඉරිදා රාත්‍රී 9.00 ට ITN රුපවාහිනියේ "ඇත් පවුරෙන්" දැනගන්න පුළුවන්.

    ReplyDelete
  9. Highly appreciate your commendable effort to share with us stories of Sri Lanka’s grandeur in yesteryear!

    ReplyDelete
  10. Like Lakshaman Thilakaratne above, I was also stunned by the list of references. While reading the article I was thinking where did all this information come from? A lot of time and instinct is needed to find the small bits of information and link it together ...and then I saw the list!!! Well done!!

    ReplyDelete