Showing posts with label Sri Wikrama Rajasinghe. Show all posts
Showing posts with label Sri Wikrama Rajasinghe. Show all posts

Sunday, April 2, 2017

රජුන් හොරුන් කිරීම සහ හොරුන් රජුන් කිරීම - ශ්‍රී වික්‍රම රාජසිංහ ආදර්ශය 1

මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - මැණික්කඩවර
ජෝන් ඩොයිලිගේ දීර්ඝ කාලීන චරපුරුෂ ව්‍යාපෘතියක පරිසමාප්තිය සනිටුහන් කරමින් තුන් සිංහලේ කිරීටය වර්ෂ 1815 මාර්තු මස දෙවෙනි දින මහා බ්‍රිතාන්‍යයේ තුන්වන ජෝජ් රජතුමාගේ දෙපාමුල තැන්පත් කරවිණි. බලලෝභී සිංහල නායකයින් නොමග යවමින්, ඇහැළේපොළ  නිලමේතුමාගේ රාජ යෝග සිහිනය කුඩුපට්ටම් කරමින් ඉංග්‍රීසීන්ගේ  විශේෂයෙන්ම ඩොයිලිගේ සහ බ්‍රවුන්රිජ්ගේ සූර සහ කපටි දේශපාලන උපාය උපක්‍රම මල්ඵල දරමින් සිංහල රාජාවලියේ අවසානය ලගාවිය. මෙම ක්‍රියාදාමය තුලදී 1815 ට පෙර සහ පසු ජනතාව කෙරෙහි සහ සිංහල නායකයන් කෙරෙහි රජතුමා සම්බන්ධ ප්‍රතිරූපය සහ විශ්වාසය හීන කිරීමේ ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් විය. ඇහැළේපොළ කුමාරිහාමි ලවා ඇයගේ දරුවන්ගේ හිස් වන්ගෙඩියක දමා කෙටවීම වැනි අසත්‍ය කටකතා නිර්මාණය කර මේ දක්වාම පවතින ලෙසින් ජනතාව අතරට යැවිණි. (මේ සම්බන්ධව වැඩිදුර විස්තර වෙනම ලිපියකින් ඉදිරියේදි ඉදිරිපත් කරමු)
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - හිඳගල
බටහිර අධිරාජ්‍යවාදී බලමුළු වල පූර්ණ අනුග්‍රහය ඇතිව එංගලන්තයේ ජෝන් ඩොයිලි වෙනුවට ඉන්දියාවේ අජිත් ඩෙවොල්ගේ චරපුරුෂ ව්‍යාපෘතියක් සාර්ථක ලෙස නිමා කරමින් (කියවන්න - ඉන්දියාවේ අජිත් ඩෙවොල් රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහකළ කතාව) ඊට වසර 200 කට පසු ජනවාරි මස 8 වන දිනක මේ රට නැවතත් 1815 වැනිම වූ පාවාදීමකට ලක්විය. ඊට පෙර හා පසුද 1948 න් පසු මෙරට බිහිවූ විශිෂ්ඨ ජාතික නායකයකුගේ ප්‍රතිරූපය විනාශ කිරීමට සහ ජනතාව අතර ඔහුව අප්‍රසාදයට පත් කිරීමට සිදු කල ප්‍රචාරක මෙහෙයුම් නිමක් නැතිවා මෙන්ම ඒවායින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමටද අල්ලපු රටේ හොටබරියන්ට හැකිවිය. ඇහැළේපොළ ලෙසම රජ පුටුවට කෙල හැලූ පාංකඩයක් මේ වන විට රටවැසියන්ගේ කුණු බැනුම් අසමින් තවමත් යහතින් වැජඹේ (අවම වශයෙන් කුරුල්ලන් එලවීමටවත් හැකි නිසා පඹයාට ඔහුව සමාන කිරීමෙන් පඹයන්ට අපහාස නොකරමු.) මෙවන් තත්වයක් යටතේ එදා ශ්‍රි වික්‍රම රාජසිංහ රජු සම්බන්ධයෙන් සිදු කල මඩ ප්‍රචාරක මෙහෙයුම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වන්නේ එය වර්තමානයටද අඩු වැඩි වශයෙන් අදාල වන බැවිනි.
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - දෙගල්දොරුව
ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ කවිකාර මඩුවේ වැලිගල කවිසුන්දර නම් වූ කවියෙකු විසිය. හෙතෙම රජතුමාට ප්‍රශස්ති කීමේ සිය රාජකාරිය ඉටුකරමින් සිටි යුගයේ, වර්ෂ 1803 දී සිදුවූ ඉංග්‍රිසීන් මහනුවරදී සමූලඝාතනය වූ සටන තේමා කරගනිමින් ඉංග්‍රීසි හටන නමින් යුත් රචනයක් සිදු කරනු ලැබූහ. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත මහ නායක හිමියන්ගේ ගෝලයෙකු වූ ඔහු, වර්ෂ 1816 වන විට වර්තමානයේ මෙන් දිනන පැත්තට හොරණෑව ගහගෙන පිල් මාරු කරන සෝමරත්න දිසානායක වැනි කලාකාරයන් මෙන් ශ්‍රී වික්‍රමරාජසිංහයන් හෙලා දකිමින් යුවරජු ලෙසින් ඇහැළේපොළ අධිකාරම්තුමා අමතමින්, ඇහැළේපොළ වර්ණනාව නම් වූ කවි මාලාවක් රචනා කරන ලදි. මෙහි උපුටා දක්වන්නේ එම කවි අතරින් ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය ඝාතනය කිරීම සඳහා පබැඳි කවි කිහිපයකි.
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - හල්පේ සුදර්ශනාරාමය
වැවක් බඳිමැයි කොටු ගොඩැල්ලේ සියක් බඹයක් විතර උසටම
වැඩක් නැතිකර ගෙවතු ගහකොළ කොටා වනසා ගෙවල් සහ හැම
නොයෙක් රටවල දිසාවල මහ සෙනඟ රැස්කරවා ගමින් ගම
යමෙක් ලෙස රැක ඉඳින බැම්මට පස් අද්දවන ලෙසට කර පෙම

මෙම පැදිය සහ ඉන් පසු එන පද්‍ය මගින් කවියා ඉස්මතු කිරීමට උත්සහ කරනුයේ ප්‍රධාන වශයෙන් නගර අලංකරණය සහ ඇතැම් විට කෘෂිකාර්මික කටයුතු සඳහා එවකට කිරි මුහුද නමින් හැඳින්වූ වර්තමාන මහනුවර වැව ඉදිකිරිම නිශ්ඵල ක්‍රියාවක් බවත් ඒ සඳහා ශ්‍රි වික්‍රමරාජසිංහ රජතුමන් බලහත්කාරයෙන් ජනයා යොදා ගත් බවත්ය. සසදන්න ඊට වසර 200 කට පසු මිහිපිට අපායක්ව තිබූ කොළඹ නගරය අලංකාර නගරයක් බවට පත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කල මෙහෙවර නිශ්ඵල කටයුත්තක් ලෙසත් ඉන් බඩගින්නේ සිටින ජනතාවට කිසි පිලිසරනක් නැති බවත් කියමින් බෙරිහන් දුන් රතු සහ කොළ අලි ප්‍රචාරක මෙහෙයුම සමග.
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - වේරගොඩ වළගම්බා ගල්ලෙන් විහාරය
නාථ දේවාලය අයත් දෙය්යන්නේ වෙල ලෙසින් හැඳින්වූ කුඹුරු යායක් මෙම වැව නිසා ජලයෙන් යටවූ අතර එහි පස් බැම්ම තැනීම කවියාගේ උපහාසයට ලක්වූවේ මෙසේය.

තවත් සෙන්කඩගල නුවර තනවමැයි සිතුවක් සිතීලා
මහත් රටවැසි දනන් ගෙන්නා වීදි බිඳුමට වැදීලා
වතුත් ගහකොළ ගෙවල් දොරවල් මුලින් සිඳ බිඳ දමාලා
බිමත් බිඳිනට පටන්ගෙන තැන තැනෙහි පස්කඳු ගසාලා

උතුම් සිරිමා බෝධි සමිඳුන් උසට කළ මහ පස් ගොඩේ
නරින් සුනකුන් නැඟී පහරති දිවා රෑ නොවමින් ඉඩේ
තෙදින් පරසිදු රාම සුරඳුගේ විමන ළඟ පස් කඳු හැඩේ
දනන් යන එන පහර පහරා අසුචි බිම විය හැම විඩේ. 

ශ්‍රි මහා බෝධියේ උසට ගොඩ ගැසූ පස් ගොඩේ නරින් සහ සුනඛයන් මල පහ කරන බවත් රාම සුරිඳුගේ විමන ලෙස මෙහි හැඳින්වෙන විෂ්ණු දේවාලය අභියස ගොඩ ගැසූ පස් ගොඩේ යන එන මිනිසුන් නිතරම අසූචි දමන බැවින් එහි හැම විටම අසූචි තිබූ බවත් පැවසීමෙන් කවියාගේ නොසන්සිඳෙන වෛරය වටහා ගත හැක. ඇවිදින මන්තීරු හදන්නේ කා බී තරබාරු වූවන්ගේ තෙල් බැස්සවීම සඳහා බවත් මාගම්පුර වරාය ආසියාවේ ලොකුම පූල් එක බවත් කියමින් කෑ මොර දුන් ඉරිසියාකාර මෝඩ දේශපාලුවන් සහ ඔවුන්ගේ වහලුන් සිහියට නොනැගේද?
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - පිළිකුත්තුව
මේ තවත් එවන් කවක්

පාර තනමැයි සිතා ගැටඹේ පටන් බිම බිඳිනට වැදී
ගෝර දුක් දී රටවැසින් හට වෙහෙසමින් ඉඩමක් නොඳී
තීර නැතිවූ  උයන්වතු තනවමැයි එහි සිත වී ලැදී
වාර නොහැරම කෙටෙව්වේ පුර වටම පිට්ටනි වෙර දිදී

ගැටඹේ සිට මහනුවරට පාරක් තැනීම විවේචනය කරන වැලිගල කවිසුන්දර කවියාගේ ක්‍රියාව, කොළඹ - මාතර අධිවේගය තැනුවේ මහ හොරාට බෙලිඅත්තේ සිට ඇඹුල් තියල් නරක් වෙන්නට පෙර රජගෙදරට ගෙන ඒමට යැයි බෙරිහන් දුන් අනුර දිසානායක රතු අලියාගේ ඇස් දෙක නලලේ තබන් බිනූ පට්ටපල් කෙබර මෙන් නොවේද?  සූරිය වැව ක්‍රීඩාංගනය ගැන කියූ කතා මෙහි එන පුරය වටේම කල පිට්ටනි කතාව මෙන්ම වනවා නේද?
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - වේරගොඩ වළගම්බා ගල්ලෙන් විහාරය
සංචාරක ආකර්ශනය උදෙසා මහනුවර නගරයේ මෝටර් රථ තරඟ පැවත්වූ කල එය නාමල් බේබි කොළඹ ගණිකාවන් නුවර ගෙන්වා අනඟ රැගුම් රැගීමක් ලෙස අර්ථ දැක්වූ කුහකයන් මෙන්ම අපගේ කවියාද කුහකයෙකු බව පෙනෙන්නේ ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් පත්තිරිප්පුව ඉදි කිරීම විවේචනය කරන පහත පැදිය කියවීමේදීය. 

නිමල් මුනිඳුගේ දකුණු දළදා සමිඳු වැඩ සිටි හැම දිනේ 
දෙමල් පායට උසින් මහ පත්තිරිප්පුවක් තනමිනේ
සියල් ඇඳ පුටු තබා එහි ඉඳ ගෑනු සහ දවසරිමිනේ 
විපුල් කරගති එයින් වන වැඩ ඔහුට පරලොව ගිය තැනේ.

කවියා කියන ලෙසින් රජු ගැහැනුන් සමග එහි ඇඳ පුටු තබා දවස ගෙවා ඇත. ඔහුගේ විවේචනයට ලක්වූවේ එය දළදා මාලිගයට ඉහලින් පිහිටා තිබීමය. ගැහැනුන් සමග දවසැරියායැයි කීම පැහැදිලිවම කවියාගේ ප්‍රලාඵයකි. පත්තිරිප්පුව යනු රජුට පෙරහැර වැනි අවස්ථා නැරඹීම සඳහා උස් ව තනන කුඩා ගෘහයකි. මුලදී මෙය තාවකාලිකව එවන් අවස්ථා වලදි පමණක් තැනූ අතර ශ්‍රී වික්‍රමරාජසිංහ රජු එය දළදා මාළිගාව අසලින් ස්ථිර ගොඩනැගිල්ලක් ලෙස නිමවීය. පත්තිරිප්පුව පමණක් නොව රජ මාළිගයද තිබෙනුයේ දළදා මාළිගාවට ඉහලින් වන අතර ශ්‍රී වික්‍රමරාජසිංහට පෙර පළමුවන විමලධර්මසූරිය රජ කල පටන්ම දළදා මාළිගය සහ රජ මාළිගය එම ස්ථාන වලම තිබූ බවට සාධක ඇත. 
මහනුවර සම්ප්‍රදායෙ විහාර චිත්‍රයක් - කහඳව පුරාණ ගල්ලෙන් විහාරය
ශ්‍රී වික්‍රමරාජසිංහ රජු හොරෙකු දුෂ්ටයකු සහ මිනීමරුවෙකු කිරීම සඳහා රචිත ඇහැළේපොළ වර්ණනාවේ තවත් පද්‍යයන් පිළිබඳව සහ ඒවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව ඉදිරි ලිපියකින් වැඩිදුරටත් විමසා බලමු.
මූලාශ්‍ර
  • ඇහැළේපොළ වර්ණනාව හෙවත් වඩුග සටන - මහාචාර්ය බන්දුසේන ගුණසේකර සංස්කරණය
  • Kandy Past and Present, Nihal Karunaratna, 1999
  • Heritage of Kandurata, Dr. H.A.P. Abeyawardana, 2004
  • Kandy, Anuradha Seneviratna, 1983

Thursday, October 13, 2016

රුහුණේ පැරණි පුදබිම් 2 - කොට්ට ඉඹුල්වල පුරාණ රජමහා විහාරය.


 වර්තමාන සබරගමු පළාතට අයත් පැරණි අටකලන් කෝරළයේ කඳවෙල් පත්තුවේ කොට්ට ඉඹුල්වල පුරාණ රජමහා විහාරය පිහිටා ඇත. මෙම විහාරය ඉදිකර ඇති කටාරම් කෙටූ ගල් ලෙන බෞද්ධාගම මෙරටට හඳුන්වාදුන් මුල් යුගයේ ඉදි කල එකක් බවට විශ්වාස කෙරේ. මහාවංශයේ සඳහන් වන දෙවනපෑතිස් රජු කල අනුරාධපුර ජය ශ්‍රීමහා බෝධි රෝපන උත්සවයට චන්දනගාමයේ සිට පැමිණි ක්ෂත්‍රියන්ගේ පාලනය පැවැති ප්‍රදේශය වලවේ ගඟේ ඉහල ප්‍රදේශයේ පිහිටි හඳගිරිය නමින් දැනට හඳුන්වන ප්‍රදේශය ආශ්‍රිතව පැවැති බවට මතයක් ඉදිරිපත් කරන පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් එම ප්‍රදේශය සහ අවට විසිරී ඇති චන්දනගාමයේ පැරණි ස්ථාන අතරට මෙම විහාරයද ඇතුලත් කරයි.


කටාරමට පහලින් ඇති සිතුවම්
විහාරයට පිවිසෙන පියගැට පෙළ දෙපස ශිලා ලිපි දෙකක් ඇති මුත් එහි සඳහන් කිසිවක් කියවීමට නොහැකි තරමට මැකී ගොස් ඇත. එනමුත් ඉරි වලින් වෙන්කර ලියා ඇති බැවින් එම ලිපි කෝට්ටේ යුගයට අයත් බවට අනුමාන කල හැක. විහාරස්ථානයේ ඇති පුස්කොළ ලියවිල්ලක සඳහන් වන ආකාරයට 6 වන පරාක්‍රමබාහු රජතුමා විසින් මෙම විහාරය ප්‍රතිසංස්කරණය කර ඇති බැවින් බොහෝවිට මෙම ශිලා ලිපි එතුමන් විසින් පිහිටුවන්නට ඇත.  
මාර සෙනඟ නිරූපිත සිතුවමක්
එම ලියවිල්ලේ වැඩිදුරටත් සඳහන් වන පරිදි මෙහි සඟ පරපුර ආරම්භ වන්නේ වලගම්බා රජු කලය. මෙරට ලෙන් විහාර පිහිටි සියලුම ස්ථාන ආශ්‍රිතව පැතිරී ඇති සුලභ ජනප්‍රවාදයක් වන වලගම්බා රජතුමන් සොලී ආක්‍රමණ කාලයේ සැඟවී සිටි ස්ථානයක් ලෙසට කොට්ට ඉඹුල්වල ගැනද එහි සඳහන් වේ. මේ විහාරයේ විහාරාධිපති හිමියන්ගේද සහය ඇතිව එතුමන්  රණගුළුපොලින්(කොට්ට ඉඹුල්වල?) සේනාව රැස්කරවා හම්බේගමුවට ගොස් එහි කොටවෙහෙර වැසි තෙරණුවන්ගේද සහය ඇතිව සේනාව තර කරගනිමින් සොලීන් පලවා හැරීමෙන් පසුව, උපකාර කල මෙහි විහාරාධිපති හිමියන්ට 'අභයරාජ' නම් ගෞරව නාමයක් දුන් බව එහි සඳහන් වේ. එතැන් සිට නොකැඩී පැවතෙන මෑත භාගයේ මෙහි වැඩ විසූ තඹගමුවේ බුද්ධරක්ඛිත තෙරුන් දක්වා සිටි සඟ පරපුරු 22 පිළිබඳවද එහි විස්තර වේ.  කෙසේ නමුත් මෙහි අන්තර්ගතයේ ඇතැම් කරුණු සහ එහි ඓතිහාසිකත්වය පිළිබඳ විශ්වාස කල නොහැක.

මහනුවර සම්ප්‍රදායේ සිතුවම්

මහනුවර සම්ප්‍රදායේ සිතුවම්
 බොහෝවිට එම ලිපිය පාදක කරගනිමින් පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් පවසන්නේ මෙහි පැරණි දාගැබ පළමුවෙනි භුවනෙකබාහු රජු විසින් කරවන ලද බවය. එසේම 6 වන පැරකුම්බා රජු කරවූ පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙණ, සපරගමු සමන් වෙහෙරසමන් දේවාලය සහ මෙම විහාරය අතර සමන් වෙහෙර පිරිත් නිලය ආදී ආගමික කටයුතු පිළිබඳ සමීප සම්බන්ධතාවයක් තිබී ඇත (එම පිරිත් නිලය අදද පැවරී ඇත්තේ මෙම විහාරයටය). විහාරයේ ඇති තඹ සන්නසකට අනුව මෙහි වැඩසිටි කොට්ට ඉඹුල්වල අනෝමදස්සි තෙරුන් මෙහි පැරණි දාගැබ ප්‍රතිසංස්කරණය කරවා ප්‍රාකාරයක් බැඳ, රිදී 1285 ක වියදමින් ගනේගම අරමණපොළ විහාරයේද 13 රියන් දාගැබක් තනවා, එම විහාරයේම ප්‍රතිමා වහන්සේලා තුන් නමක වැඩ නිමවා එම පින් මහවාසලට අනුමෝදන් කරවූ බැවින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ තෙමේ සිය රාජ්‍යයත්වයෙන් දසවැන්නේ (බු.ව. 2341 එනම් ක්‍රි.ව. 1808) මෙම විහාරස්ථාන දෙකට මඩ අක්කර පහළොස් දහසක ඉඩම් පරිත්‍යාගයක් සිදු කර ඇත.

මකර තොරණ
මැකී ගිය සෙල් ලිපිය
මූලාශ්‍ර
  • සබරගමුව වංශකථාව, 2 වෙළුම
  • සපරගමුවේ පැරණි ලියවිලි, කිරිඇල්ලේ ඤාණවිමල හිමි, 1942
  • සපරගමු දර්ශන, කිරිඇල්ලේ ඤාණවිමල හිමි, 1967
  • රුහුණේ යටගියාව සහ සෙල්ලිපි, එල්ලාවල මේධානන්ද හිමි, 2013
ආශ්‍රිත පෙර ලිපි

Tuesday, September 8, 2015

ජාතික කොඩිය විකෘති නොකරනු! සිංහලේ කොඩිය තහනම් කරනු!!

පසුගිය දින වල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආධාර කරුවන් අත විවිධ අවස්ථා වලදි ලෙලදුන් අරුම පුදුම 'ජාතික කොඩියක්' මාධ්‍ය වල පුවත් මවන්නට යෙදුනි (1). එය මුල්වරට කරලියට පැමිනියේ මාර්තු 3 වන දින සිංහලේ ජාතික පෙරමුණ සහ ස්වර්ණ හංස පදනම එක්ව මහනුවර මගුල් මඩුව ඉදිරිපස ඔසවා ඇති ජාතික කොඩිය පහත හෙලා මෙම කොඩිය ඔසවන්නට උත්සහ කිරීමත් සමග ඇතිවු සිදුවීමත් සමගය (2). මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට සහය දක්වමින් පැවැත්වූ උද්ඝෝෂණ සහ රැස්විම් අතර තුර මෙම කොඩිය භාවිතය සම්බන්ධ වගකිවයුත්තන් හෙලි නොවු නමුත් එය බොහෝ අවස්ථා වලදි එම ව්‍යාපාරයේ නායකත්ව මට්ටමින් සිදු කල දෙයක් නොවන බව පෙනී ගියේය. කුමක්ද මේ අන් ජාතීන් නියෝජනය කරන ද්වි වර්ණ තීරු නොමැති කොඩිය? ඉහත සංවිධාන විසින් එය හඳුන්වා දුන්නේ 'සිංහලේ කොඩිය' ලෙසය. සැබෑ සිංහලේ කොඩිය මෙයද?

සිංහලේ කලින් කලට පාලනය කල විවිධ රජවරුන් සිංහයා සංකේතකාත්මකව රාජ්‍ය මුද්‍රා ආදියේ යොදාගත් බවට සාධක ඇති මුත් සිංහ ධජය සහ රාජ්‍යත්වය සම්බන්ධ මුල්ම සාධකය හමුවන්නේ දඹුලු  විහාරයේ දුටුගැමුණු - එළාර යුද්ධය නිරූපනය කෙරෙන ගුහා චිත්‍ර වලිනි. මෙහි දුටුගැමුණු රජතුමා අසලින් ලෙලදෙන කොඩියේ කඩුවක් අතින් ගත් සිංහයා සහ එයට උඩින් හිරු සහ සඳු චිත්‍රනය කර ඇත (රූපය බලන්න). මෙම බිතු සිතුවම් 18 වන ශතවර්ෂයේ මැද භාගයේ පමන සිතුවම් කර ඇති බැවින් බොහෝ විට මෙයින් එම යුගයේ තත්වය නිරූපනය වූවා යැයි සිතිය හැක.

විදේශීය කෞතුකාගාර වල තැන්පත් කර ඇති මෙරටින් ගෙනගිය කෞතුක වස්තු රැසක් පිළිබදව අගනා ග්‍රන්ථයක් කල කොළඹ කෞතුකාගාරයේ අධ්‍යක්ෂක වරයෙකු ලෙස සේවය කල P.H.D.H de. සිල්වා මහතාගේ A Catalogue of Antiquities And Other Cultural Objects From Sri Lanka (Ceylon) Abroad නම් ග්‍රන්ථයේ ලන්ඩන් නුවර චෙල්සියා රාජකීය රෝහලේ (Chelsea Royal Hospital) තැන්පත් කර තිබූ සිංහලේ අවසාන රජුට අයිති ධජ තුනක් පිලිබද රූප සටහන්ද සමගින් විස්තරයක් එයි. එහි සදහන් වන අයුරින්  1803 දී ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගෙන් අල්ලා ගත් මෙම ධජ ත්‍රිත්වය පෙරදිග ඉන්දියානු සමාගම(East India Company) මගින් 4 වන විලියම් රජුගේ අනුමැතිය ඇතිව ආරක්ෂාකාරිව තැබීම සදහා මෙම රාජකීය රෝහලට එවා ඇත.  වසර ගනනාවක් එම රෝහලේ එල්ලා තිබූ එම ධජ ස්වභාවික හේතුන් මත දරුනු ලෙස දිරාපත් වීම හේතුවෙන් "The King's war standard" වශයෙන් හැඳින්වූ එක් කොඩියක් 1934 දී විනාශ කර දමා ඇති අතර (එම ධජය 51 වන රෙජිමේන්තුවේ කැප්ටන් පොලොක් (Capt. William Pollock) විසින් 1803 සැප්තැම්බර් 13 වන දින අල්ලා ගත් බව සදහන් වේ. මෙහි සිංහ රූපයක් නොමැති අතර විවිධ ආයුද වල රූප සටහන් වලින් නිර්මාණය කර ඇත.) අන් කොඩි දෙක ඒ වන විට කොටස් එකතු කර මසා තිබී ඇත. 1870 දී මෙම කොඩි සමග වෙනත් දේ එල්ලා තිබූ ශාලාවේ ගත් ජායාරූපයකද වැරහැලි වූ මෙම කොඩි තුන සටහන් වී තිබුනි. P.H.D.H de. සිල්වා මහතා සිය ග්‍රන්ථයේ විස්තර සදහා යොදා ගන්නේ එම කොඩි තුන ආශ්‍රයෙන් කැප්ටන් J. ෆොර්ඩ් (J. Ford) විසින් 1841 දී සිය "The War Flags at the Chelsea Hospital" නම් පොත සඳහා පිලියෙල කල සිතුවම් වන අතර එම පොත වික්ටොරියා රැජිනට පිරිනමා මේ වන විට වින්ඩ්සර් මාලිගාවේ(Windsor Castle) තැන්පත් කර ඇත. එම මුල් පිටපතට අමතරව තවත් පිටපත් දෙකක් පසුකාලීනව පිලියෙල කර ඇති අතර ඉන් එක් පිටපතක් චෙල්සියා  රෝහල් බලධාරීන් සන්තකව තිබේ.

ඉහත ධජයන් අතුරින් සිංහලේ කොඩිය ලෙසට සැලකිය හැකි කොඩි දෙක රතු පසුබිමේ පිලිවෙලින් වමතින් කසයක් සහ කඩුවක් වැනි යමක් ගත් අඳුරු නිල් පැහැති සිංහ රූප සහිත The Secretary At - Hand Flag සහ The King's Civil Standardලෙසින් හදුන්වන කොඩි වන අතර, එම කොඩි දෙකෙහිම කොන් වල වටාපත් වල ඉහල කොටස වැනි කොත් කැරැල්ලක ස්වරූපයේ සලකුනු ඇත (වර්තමාන ජාතික කොඩියේ බෝ කොල පිහිටන අයුරින් ). කහ තීරුවක් කොඩිය වටා යයි.

මේ අනුව ඉහත සදහන් කොඩි කිසිවක් වර්තමානයේ සිංහලේ කොඩිය නමින් හැදින්වෙන කොඩිය සමග තත්වාකාරයෙන් සමාන නොවූවත් බොහෝ දුරට වර්තමාන කොඩිය මෙම කොඩි අනුසාරයේන් නිර්මිත බව පෙනි යයි . එය සිදුවූවේ කෙසේද ? සිංහලේ කොඩිය එසවීම ජාතික කොඩිය විකෘති කිරීමක්ද? එනිසා සිංහලේ කොඩිය තහනම් කල යුතුද? ඒ පිලිබදව මතුවට සාකච්චා කරමු.

(1)  Sinhale Flag Raised At UPFA Meeting : Journalist 'Detained'

        Controversy Over Flag At Demo

(2) Police Launch Investigations On Hoisting Of 'Sinhale' Flag At Dalada Maligawa


Sunday, September 6, 2015

සිංහලේ - The Last Phase


"රජු සහ මැක්ඩොවල් වසර 12 කට පෙර හමුවු මගුල් මඩුවේම 1815 මාර්තු දෙවෙනි දින හවස 4 ට සමුලුවක් මුලුගැන්විනි. බ්‍රිතාන්‍ය හමුදා මගුල් මඩුව ඉදිරියේ පෙල ගැසී සිටියහ. පලමුවෙන් තනිවම පැමිණි ඇහැලේපොල බ්‍රවුන්රිග් විසින් සාදරයෙන් පිලිගෙන ඔහුගේ දකුනත් පසින් වූ ආසනය මත හිදගන්නා ලෙස ආරාධනය කලේය. ඔහුට පසුව පැමිනි මොල්ලිගොඩ ප්‍රධාන රදලවරුන්ව ආන්ඩුකාරතුමාට සහ ඇහැලේපොලට හදුන්වාදුන්හ. ඔවුන් දෙදෙනා සිටගෙනම ඔවුන්ට ආචාර කලේ ආන්ඩුකාරතුමා පෙලෙමින් සිටි රක්තවාත රෝගය ගැනද නොසලකාය. ආචාර සමාචාර කිරීම් වලින් පසුව පෙර සූදානම් කර තිබු ගිවිසුම කියවා ඔවුන්ට තේරුම් කර දුන්හ. එහි වගන්ති වලින් රට බ්‍රිතාන්‍ය කිරීටයේ ආධිපත්‍යට නතුවූහ. එහි අඩන්ගු අනික් වගන්ති අතර සිංහලයන්ගේ ආගම සහ සම්ප්‍රදානුකූල නීති රීති සුරකින බවද සදහන් විනි. එයට රදලවරුන්ගේ අනුමැතිය ලැබුනි. ඉනික්බිති ඔවුන් මගුල් මඩුව ඉදිරියට ගොස් රැස්ව සිටි ජනතාවට එය පැහැදිලි කරන ලදී. අනතුරුව පලමු වරට බ්‍රිතාන්‍ය ධජය සෙංකඩගල පුරවරයේදී ඉහලට නැන්වුන අතර බ්‍රිතාන්‍ය කාලතුවක්කු වෙඩි මගින් තුන්වන ජෝජ් රජතුමාගෙන් ශ්‍රි වික්‍රම රාජසිංහ ප්‍රතිස්ථාපනය වූ බව නිවේදනය විනි. මේ අතර බ්‍රවුන්රිග්ගේ පුතුනුවන් කඩිනමින් තුන් හෙලේ ධජය රැගෙන එංගලන්තයට නික්මුනේ එය උපරාජ කුමරුවාගේ දෙපා මුල තැබීමටය"

පෝල් රී පිරිස් විසින් රචිත Tri Sinhala - The Last Phase 1796-1815 නම් ග්‍රන්ථයේ අවසානයේ තුන් හෙලේ අවසානය සනිටුහන් කරනු ලබන්නේ එලෙසිනි. රුහුනු, මායා, පිහිටි තුන් රටින් සුසැදි "සිංහලේ" 1815 මාර්තු 2 වෙනිදායින් අවසන් උනිද? "සිංහලේ" යනු කුමක්ද? 1815 මාර්තු වලින් හරියටම වසර 200 කට පසු නැවත අධිරජ්‍යවාදි බලයට මෙරට දරුනු ලෙස නතු වී ඇති මොහොතක "සිංහලේ" පිලිබද ආවර්ජනයක ඇරඹුම අපගේ අරමුනයි. ඉදිරියේදි විවිධ දිශානතීන් ඔස්සේ එය ඇදෙනු ඇත.  වරෙක 1815 සිට අතීතයටත් වරෙක මෑත අතීතයේ සිදුවීම් දක්වාත් අපගේ අවධානය යොමුවෙනු ඇති.  නැවත හමුවෙමු....