Showing posts with label Sagiriya. Show all posts
Showing posts with label Sagiriya. Show all posts

Sunday, November 3, 2019

තොටදනවු මන්ද්නාවන් සෑගිරියෙන් ගෙනා නිශ්ශංකමල්ල රජුගේ පුලස්තිපුර ගල්පොත

පෙර ලිපියකින් මෙරට විශාලම අකුරින් රචිත දිගම සෙල්ලිපිය ගැන විස්තර ඉදිරිපත් කල අතර (Link>>) මෙම ලිපිය මගින් අපගේ අවධානය යොමුවන්නේ මෙරට හමුවන 'යෝධ සෙල්ලිපිය' ලෙස සැලකිය හැකි සෙල්ලිපියටයි. අකුරු 4300 කට අධික ප්‍රමාණයකින් පේලි 72 කට, ඔප මට්ටම් කල විශාල ගල් කුට්ටියක මතු පිට ලියා ඇති මෙම ලිපිය පොළොන්නරුවේ දළදා මළුව ලෙසින් හැඳින්වෙන පූජනීය චතුරශ්‍රයේ පිහිටා ඇත. (තෝනිගල සෙල්ලිපි වල අකුරු ප්‍රමාණය මීට වඩා අඩුමුත් ඒවා දික් අතට තනි පේලියක් ලෙස ලියා ඇති හෙයින් එය විශාල පරාසයක් පුරා විසිරුනු දිගම සෙල් ලිපිය ලෙස සැලකේ.) අප මෙම ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වන 'ගල්පොත' ලෙසින් ජනවහරේ හැඳින්වෙන ලිපිය අකුරු ප්‍රමාණය අතින් ඉදිරියෙන් සිටින මුත් කුඩා අකුරින් පේලි ලෙස ලියා ඇති බැවින් සාපේක්ෂව අඩු ඉඩක් උපයෝගි කරගෙන ඇත (එහෙත් මෙම ගල් කුට්ටියේ මුළු දිග අඩි 26 අඟල් 10 පමණද පළල අඩි 4 අඟල් 7 පමණද වේ.) සෙල්ලිපිය පිහිටවූ රජු සිරිසඟබො කාලිඟ පරාක්‍රමබාහු වීරරාජ නිශ්ශංකමල්ල අප්‍රතිමල්ල මහාරජපාවහන්සේ ලෙස ලිපියෙහි හැඳින්වෙන මෙරට වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් පිහිටවූ රජු ලෙස සැලකිය හැකි (දැනට මෙම රජුගේ ලෙස හඳුනාගෙන කියවා පලකර ඇති මුළු සෙල්ලිපි ප්‍රමාණය 64 කි.) නිශ්ශංකමල්ල රජු ලෙස හඳුනාගත හැක.
ලිපිය පිහිටුවීම උදෙසා මෙම විශාල ගල් කුට්ටිය මෙම ස්ථානයට රැගෙන ආ පෙදෙස සහ ගෙනා පුද්ගලයන් ගැනද මෙම ලිපියේ පසු සටහනක් ලෙස එහි දකුණු අන්තයේ සිරස් කොටසේ දක්වා ඇත. ඒ අනුව 'ශ්‍රී කාලිඟ චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ ඇති කළ නිශ්ශංක භටයන්' ලවා 'අධිකාර තොටදනවු (මන්ද්)නාවන් සෑගිරියෙන්' එම 'ශිලාලේඛ ගල' ගෙන්වා ඇත. මෙහි සඳහන් සෑගිරිය මිහින්තලය ලෙස හඳුනාගත හැක. මිහින්තලයේ සිට මෙම ස්ථානයට සැතපුම් 80 ක පමණ දුරක් ඇති අතර, සාපේක්ෂව තැනිතලා මෙම බිමේ මෙවන් ගල් කුට්ටියක් මෙතරම් දුරක් රැගෙන ඒම එතරම් අපහසු නොවුනත් පොළොන්නරුවට එතරම් දුර නොවන මෙවන් ගල් කුට්ටි ලබාගත හැකි ස්ථාන තිබියදී එවන් දුරක සිට රැගෙන ඒමේ අවශ්‍යතාවය කුමක්ද යන පැනය මෙහිදී මතුවේ. අවසන් නිගමනයක් ලෙස නොවුනත් මේ පිළිබඳව මියූලර් පවසන මතයද මෙහිදී වැදගත් වේ. ඔහු පවසන්නේ එම ස්ථානය සෑගිරිය නොව පොළොන්නරුවට සැතපුම් 15 ක පමණ දුරින් පිහිටි සීගිරිය විය හැකි බවයි. ලිපිය කෙටූ ගල්වඩුවා එයට වැඩි අගයක් දීම උදෙසා එය බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවාදරයට පත්වූ ස්ථානයක් වන මිහින්තලය ලෙසට වෙනස් කරන්නට ඇති බවය ඔහුගේ අදහස. රජු විසින් පිහිටුවන සෙල්ලිපියක අන්තර්ගතය ගල්වඩුවාට වෙනස් කල හැකිද යන පැනය මෙහිදී මතුවන මුත් Z. වික්‍රමසිංහ මහතා එම මතය තවත් ශක්තිමත් කිරීම  උදෙසා ඉදිරිපත් කරන අදහස්ද මෙහිදී දැක්වීම ප්‍රයෝජනවත් වේ. ඔහු පවසන්නේ ලිපියෙහි 'ස' අකුරට උඩින් 'සී' ලෙස ලියා මකා ඇති සලකුණු ඇති බවත් අනතුරුව එය 'සෑ' ලෙස සටහන් කර ඇති බවත්ය. තවද නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපය අසලින් සොයාගත් රජුගේ 'ගල් ආසන ලිපියක' එම ගල එඩෙරගල්ලෙන් ගෙනා ලෙස සටහන් කර තිබීමයි. එම එඩෙරගල්ල වර්තමාන එඬේරුගල ගම්මානය ලෙසින් හඳුනාගත හැකි බැවින් සීගිරියේ සිට සැතපුම් 5 ක පමණ දිරින් පිහිටි එවකට සීගිරි ප්‍රදේශයටම අයත් වූ එම පෙදෙසින්ම මෙම ගලද ගෙනෙන්ට ඇති බවය එතුමා වැඩිදුරටත් සඳහන් කරනුයේ.
අප විසින් මෙයට පෙරද ඉදිරිපත් කල නිශ්ශංකමල්ල රජුගේ වෙනත් සෙල්ලිපි වල (Link1>>, Link2>>) එන තොරතුරුම අඩු වැඩි වශයෙන් මෙම සෙල්ලිපියේද හමුවන අතර ඔහුගේ ඇදහිය නොහැකි ඇතැම් වීරක්‍රියා වැනි දේ හැර වෙනත් වැදගත් තොරතුරු කිහිපයක් මෙසේ සම්පිණ්ඩනය කල හැක. (ඉහත ලිපිවලද සඳහන් ඇතැම් තොරතුරු මෙහිදී නැවතත් ඉදිරිපත් කර නැත.)
  • ඔකාවස් රජපරපුරෙහි කාලිංග චක්‍රවර්ති කුලෙන් පැවතෙන විජය රජු ලක්දිව ගොඩබැස වසර 1700 ගියතැන, නිශ්ශංකමල්ල රජු දඹදිව කලිඟු රට සිංහපුරයෙහි ඉපිද, 'පරපුරෙන් ඔහුට හිමි ලක්දිව' රජ කරනු මැනවැයි 'ලක්දිව කුලජෙටු මහරජු' ආරාධනා කල හෙයින් මෙරටට පැමිණ 'ඈපාහිමියා' තනතුරද හොබවා රජ පිළිවෙලින් අභිෂේක ලැබ ඔටුණු පැලඳ මෙරට රාජ්‍යත්වයට පත් වූ බව. 
  • පෙර සිටි සමහර රජවරුන්ගේ අදමිටු ක්‍රියාවන් හේතුවෙන් සිය ධනය සහ පාරම්පරික වරප්‍රසාද අහිමි වූ ලක්දිව බහුජනයා අතරින් සමහරකුගේ වරප්‍රසාද නිශ්ශංකමල්ල රජු නැවත පිහිටවූ බව (FCID වැනි නීතිවිරෝධී පොලිසී මගින් මෙකල සිදුකරන ආකාරයේ දේශපාලන පළිගැනීම් එකලද සිදුව ඇති බව පෙනේ.)
  • පස් වසරකට අයබදු අත්හිටවූ බව සහ පෙර රජවරුන් කෙත්වතු වලින් අය කල අමතර බදු අත්හිටවන ලෙසට නීති පැණවූ බව, කුඹුරුවල පලදාව අනුව වර්ග තුනකට බෙදා ඒවායින් ගත යුතු බදු ප්‍රමාණද මෙහි දක්වා ඇත. තවද දුකෙන් කරන සෙහෙන් කටුසර අය මුළුමනින්ම නැවතූ බවද (එනම් හේන් ගොවිතැනින් බදු අය නොකල බව) මෙම සෙල්ල්පියේ වැඩිදුරටත් සඳහන් වේ. 
  • තුන් රජයෙහිම අබලන් වූ මහවැව්, ඇළ, අමුණු බඳවා 'පිසම්බුරු වතද' (ජල බද්ද) අහෝසි කල බව.
  • නොයෙක් ජනපද වල 'ධර්මාධිකරණ' පිහිට වූ බව.
 පසු සටහන සහිත දකුණු අන්තයේ සිරස් කොටස
  • යුවරජ තැන්පත් ඔහුගේ පුතනුවන් වූ වීරබාහු මහපාණන් හටද, කලිඟු පුරයෙන් රාජ කන්‍යාවක් ගෙන්වූ බව සහ ඔහුගේ බිසෝවරුන් දෙදෙනා සහ පුතණුවන්ද, දුව වූ සබ්බාඟ සුන්දරීන්වහන්සේද  (සර්වාංග සුන්දරී) එක්ව වසරකට පස් වතාවක් තුලාභාර දන් දුන් බව. මෙ පිළිබඳව වැඩි විස්තර සඳහා Link>>
  • හෙතෙම පුලස්තිපුර නම් කාලිඟකපුරයෙහි (එනම් පොළොන්නරුවේ)  වැඩවසමින් චරපුරුෂයෙන් මාර්ගයෙන් නිතර සිය රට මෙන්ම වෙනත් රට වලද තොරතුරු දකින මුත් ලක්දිව තොරතුරු සිය ඇස් දෙකින්ම දකිනු රිසියෙන් සිව්රඟ සෙනග පිරිවරා (රෑට රෑට වෙස්වලාගෙන තනියම අපේ ගෙවල් වලට පැමිණ අපි සතුටින්දැයි බලන බූරු පුතානෝ මෙන් නොව) ත්‍රීසිංහළයෙහි ගම්, නියම්ගම්, රාජධානි, ජලදුර්ග, ගිරිදුර්ග, වනදුර්ග ආදියෙහි සැරිසැරූ බව.
  • තුන් රජයෙහි මියුගුණු මහවෙර, (ම)හගම [දෙවුනුවර?] කැ(ලැ)ණි ආදී වූ ඔහු සැරිසැරූ වෙහෙර වල නව කර්මාන්ත කරවා, දම්බුලුලෙණැ හොත්, හුන් සහ හිටි පිළිම වල රන් ආලේප කරවා, අනුරාධපුරයෙහි රුවන්මැලිමහසෑවහන්සේට සතිස්ලක්ෂයක් ධන වියදම් කර පූජා කරවා, එහි 'ගල් දාගැබක්' කරවා, එම සෑම තැනකම ශිලාලේඛනද කරවූ බව.
ඇත් රූ දෙකක් දෙපසින් ජලය හිස මතට වක්කරන සෙල්ලිපියෙහි දකුණු අන්තයේ සිරස් කොටසේ පිහිටි ලක්ෂ්මි රූපය
  • මෙම ලිපියෙහි නිශ්ශංකමල්ල රජුගේ දඹදිව සිදු කල ආක්‍රමණ ගැන කියවෙන කොටස අතිශයොක්තියෙන් පිරී ඇති මුත් ඔහු පාණ්ඩ්‍ය (පාඩි), සොළී ආදී රාජ්‍යය වලින් රාජ කන්‍යාවියන් හා හස්ති, අශ්ව ආදී පඬුරු ලද බවත්, කණ්ණට, නෙල්ලූරු, ගෞඩ, කලිඟ, ති[ලිඟ], ගු[ජ්ජර] ආදී නොයෙක් දේශයන් වල රජවරුන් සමග මිත්‍ර සම්බන්ධතා පැවැත්වූ බවත් ලෙස පැවසෙන තොරතුරු සත්‍යය විය හැක. තවද හෙතෙම රාමෙශ්වරයෙහිද තුලාභාර දන් දුන් බව කියවේ. එසේම එහි ජයස්තම්භයක් පිහිටුවා, නිශ්ශංකේශ්වර නම් දෙවොලක්ද ඉදි කල බව වැඩිදුරටත් සඳහන් වේ (මෙම තොරතුරු වල විශ්වාසනීයත්වය රාමේශ්වරමින් හමුවන රජුගේ ගල් ආසන ලිපියෙන් තහවුරු වේ.) මෙම 'දඹදිව ආක්‍රමණය' සඳහා ඔහු සමග ගිය සෙනෙවියා ල(ග්) විජයසිඟු සෙනෙවි තාවුරුනාවන් ලෙස ලිපියේ දක්වා ඇත.
  • නිශ්ශංකමල්ල රජු විසින් ඉදිකල වෙහෙර විහාර ලෙස දළදාගෙය, වටගෙය, නිශ්ශංකලතාමඩපය, මහවෙහෙර දාගැබ හා සමාන වන උපකාර චෛත්‍යයද මෙහි සඳහන් වේ. එසේම රජගෙට උතුරු දෙසින් අසූ අත් (රියන්) රුවන්මැලි දාගැබද කරවූ බව සඳහන් වේ. එසේම ඒවායෙහි දොරටු, පවුරු සහ සංඝාරාමද හෙතෙම ඉදිකරවීය. 
උතුරු අන්තයේ සිරස් කොටස
  • රජදරුවන් මනුෂ්‍යරූපයෙන් සිටියද ඔවුන් නරදේවතාවන් ලෙසින් හඳුන්වන ලිපියේ අවසාන කොටසේ රජු කෙරෙහි ජනයාගේ පක්ෂපාතීත්වය වැඩීම උදෙසා දිර්ඝ 'අවවාද' සහිත වාක්‍යය කිහිපයක් අතුලත් වේ. රජුගෙන් පසුව රාජ්‍යත්වයට ඈපා, මහපා දූර දරන ඔහුගේ පුතුන්ද, ඔවුන් නොමැති නම් බිසෝවරුන්ද පත් කරගත යුතු වේ. බිසෝවරුන්ද නොමැති වුවහොත් මහරජ පය ලූ වහන්මාත්‍රයකදු (පාවහන්) රජ තැන්හී තබා රාජ්‍යය රැකගත යුතුය. අබෞද්ධ චෝඩ, පාණ්ඩ්‍යය ආදී රජුන් ලක්දිව රජතැන්හි නොපිහිටවිය යුතුය. විජයරාජ කුමාරයාගේ පටන් ලක්දිව හිමි කාලිඟ වංශයෙහි රජදරුවන් පමණක් රාජ්‍යත්වයට පත්විය යුතුය ආදී කරුණු ඒවායෙහි ඇතුලත් වේ. 
ගඩොල් පීඨිකාවක් මත පිහිටුවා ඇති ගල්පොත සෙල්ලිපිය එය වටා සිටුවා ඇති කුළුණු 10 ක් මත ඉදිකර තිබී ඇති වහලයකින්ද ආවරනය වී තිබී ඇත.
නිශ්ශංකමල්ල යුගයේ රජෙකු පත්කරගැනීමේදී සැලකිය යුතු යැයි ඔහු ඉදිරිපත් කරන සමහර තත්වයන් වර්තමානයට අදාල නොවූවත් රාජ්‍යත්වයට පත්කරගත යුත්තේ ඒ සඳහා හැකියාවක් සහිත පුද්ගලයන් විය යුතුය යන්න නම් පසුගිය වසර 5 ක පමණ කාලය තුලදී මෙරට වැසියන් ඕනෑවටත් වඩා හොඳින් වටහාගන්නට ඇත. ග්‍රාමසේවක මහතෙකු වෙනුවට අ.පො.ස. සා. පෙලද අසමත් විකටයකු පත්කරගෙන ඉදිරි වසර පහ තුල රට මීටත් වඩා දරුණු අගාධයකට ගෙනියනවාද, නැතහොත් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් ඕනෑවටත් වඩා හොඳින් පෙන්වා ඇති වැඩකල හැකි මිනිසෙකු සමග සෞභාග්‍යමත් යුගයකට පියවර නගනවාද යන්න තව දෙසතියකින් මෙරට චන්දදායකයන් තිරණය කරනු ඇත.

මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 6 , G.S. Ranawella, 2007
  • Ancient Inscriptions in Ceylon, Edward Muller, 1883

Wednesday, August 31, 2016

නැගෙනහිර බොදු උරුමය 1 - මිහිඳු හිමි භෂ්මාවශේෂ පිහිටුවා රජගල ඉදිකල ස්තූපය


ඊණියා යහපාලන සංහිඳියාවත් සමග සැගවී සිටි අහු මුළු වලින් කල එලි බට කොටි අවතාර මේ වන විට නැවතත් වේගයෙන් සිය ඊලාම් දේශයේ සිහිනය සැබෑ කරගැනීමේ අරමුණ දෙසට පියවර තබමින් සිටී. අද ද්‍රවිඩ බෙඳුම්වාදීන් උතුරු නැගෙනහිර දෙපළාතේ පදිංචි සිංහලයන් සිය ගම් බිම් වලින් පලවා හරින අතර ( වවුනියාව කොක්එලිය ගම්මානයේ සිංහලයන් පන්නා දමයි – උතුරෙන් පිටවෙන්නැයි හිටපු මහ කොටියෙකුගෙන් තර්ජණ ), ඔවුන්ගේ ආගමික ස්ථාන පවා කඩා බිඳ දමමින් (ඉවැන්ජලික ඊළාම් කල්ලියක්, කිලිනොච්චියේ බුද්ධ ප්‍රතිමාවක් විනාශ කරයි), නුදුරේදීම ගෙන එන නව ව්‍යවස්ථාව මගින් ලැබෙන ෆෙඩරල් නොහොත් වෙනම රාජ්‍යයේ භූමිය ඔවුන්ගේ ආගම් නොවන වෙනත් ආගමික පුද බිම් වලින් තොර භූමියක් කරමින් සිටි. ආප්ප විප්ලවයේ බල මහිමය කොටියට නැගිටින යුගය එහි උපරිමයෙන්ම උදා කර දී ඇත. මහවැලි ගඟින් මෙපිට අද නැගෙනහිර පළාත ලෙස සුදු අධිරාජ්‍යවාදීන් සරල රේඛා මගින් වෙන් කල භූමිය එදා රෝහන රාජ්‍යයට අයත් භූමියෙම කොටසකි. ඒ බවට එම බිමේ සතර දික් භාගයේ විසිරී ඇති නටබුන් වූ බෞද්ධ විහාර ආරාම සහ සෙල්ලිපි සාධක මගින් තහවුරු වී ඇත. විරෝධාර ත්‍රිවිධ හමුදා සහ එඩිතර දේශපාලන නායකත්වය එක්ව ත්‍රස්ථවාදි බෙදුම්වාදි බලවේග වලින් එම බිම මුදා ගැනීමෙන් අනතුරුව සිදු කල පුරා විද්‍යාත්මක ගවේෂණ මගින් ඒ පිළිබඳ සාධක තව දුරටත් එලි වෙමින් පැවතුණි.
ස්තූපය දෙසට පිහිටි ගලෙහි කෙටූ ගල් පඩි

අද නිවට රාජ්‍ය පාලකයන් රජ කරන යුගයක බුදු පිළිම තහනම් වී ඇත්තේ එවන් පිං බිමකය. උතුරු සහ නැගෙනහිර දෙපලාතේ නටබුන් වූ බෞද්ධ විහාරාරාම පිළිබඳ ලියවෙන ලිපි පෙලක ඇරඹුම නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ වැව්ගම් පත්තුවේ රජගල හෙවත් රාස්සගල යනුවෙන් වර්තමානයේ ව්‍යවහාර වන මේ වන විට නැවතත් සංරක්ෂණ කටයුතු සිදුකෙරෙමින් පවතින ස්ථානයෙන් පටන් ගනිමු. ස්ථානයේ පෞරාණික බවට වූ සාධක ගැන විමසීම පසුවට තබා එහි පිහිටා ඇති කැටගල් ස්තූපයක් සහ ඒ අසල ඇති පර්වතයේ කොටා ඇති සෙල් ලිපියක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණයි.

මහින්ද සහ ඉට්ඨිය තෙරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කල ස්තූපය
"යෙ ඉම දීප පටමය ඉදිය අගතන ඉඩික - තෙර - මහිද තෙරහ තුබෙ" ලෙසින් බ්‍රාහ්මි අක්ෂර වලින් ගල් පර්වතය මත ස්තූපය දිසාවේ සිට පහලට කොටා ඇති එම ලිපියේ අදහස නම් "මේ දිවයිනට පළමුවෙන් සෘද්ධියෙන් ආ ඉඩික තෙරුන්ගේද මහින්ද තෙරුන්ගේද ථූපයයි" යන්නය.මෙහි සඳහන් ඉදිය යන වචනය විග්‍රහ කරන පරණවිතාන මහතා එය සෘද්ධියෙන් පැමිණි යන අරුත මෙන්ම යහපත උදෙසා පැමිණි ලෙසද ගත හැකි බව පවසයි. කෙසේ නමුත් කිසිදු සැකයක් නොමැතිවම මෙහි සඳහන් වන තෙරුන්වහන්සේලා අන් කවරෙකුවත් නොව අරහත් මහින්ද සහ ඉට්ඨිය නම් තෙරුන්වහන්සේලා බව ඒ මහතා අවධාරණය කරයි.

බ්‍රාහ්මි අක්ෂර වලින් ලියැවුන සෙල් ලිපිය
මහාවංශයේ විසිවන පරිච්ඡේදයේ සදහන් වන පරිදි උත්තිය රජුන්ගේ රාජාභිෂේකයෙන් අටවන වර්ෂයේ වප් මසදී සැටවස් පිරුණු මහින්ද මහ තෙරණුවන් පිරිනිවන් පෑ සේක. එහි වැඩි දුරටත් සඳහන් වන්නේ උත්තිය රජ තෙමේ ඒ හිමියන්ගේ දේහය සුවඳ දර සෑයක තබ්බවා අන්තිම සත්කාර කිරීමෙන් පසු  ධාතුන් ගෙන්වා සෑගිරි (වර්තමාන මිහින්තලය ) වෙහෙරේ සහ සියලු විහාරයන්හිද  සෑ බඳවා ලූ බවය. අක්ෂර රටාව අනුව දෙවන ශතවර්ෂයේ මුල් භාගයට අයත් මෙම ලිපිය ඒ අනුව මහින්ද තෙරණුවන්ගේ ආදාහනයෙන් වසර කිහිපයකට පසු පිහිටවුවක් බවට නිගමනය කල හැකි බව පරණවිතාන මහතා වැඩිදුරටත් පවසයි. මහින්ද හිමියන් වෙනුවෙන් සෑදු ස්තූපයේ ඉට්ඨිය තෙරුණ්ගේද ධාතු තැන්පත් කිරීමට හේතුව ඒ හිමියන් වර්තමාන රජගල පිහිටි ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරණයේ යෙදීම විය හැකි බවට එතුමන් අනුමාන කරයි.

අද නැවතත් ඊලම්වාදින් බඩපිනුම් ගසන්නේ එදා මෙරටට බෞද්ධ ධර්මය හඳුන්වාදුන් මහින්ද හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කල ඉදිකල ස්තූපයක්ද පිහිටි එවන් බිමකය. නිවට පාලකයන් පත් කර ගත් අනුවණ සිංහල බෞද්ධයන්ට මේ පුද බිම් වලට යෑමට මේ යන ලෙසට නම් තව නොබෝ කලකින්ම සම්බන්ධන් හෝ විග්නේෂ්වරම්ගෙන් අවසර ගැනීමටද සිදුවනු ඇත.

මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • පාචීන් පස්ස -උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය,  එල්ලාවල මේධානන්ද ස්ථවිර., 
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Paranavitana S., 1970, Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol 1, Early Brahmi Inscriptions.
  • සිංහල ශිලාලේඛන සංග්‍රහය, නන්දසේන මුදියන්සේ,2000

Saturday, May 21, 2016

ෆාහියන් හිමි නොවැඩි පාහිංගල "පාහියන් ලෙන"

කළුතර දිස්ත්‍රික්කයේ පස්යොදුන් කෝරළයේ යටගම්පිටිය නම් ග්‍රාමයේ පිහිටා ඇති මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ පැරණි අඟලේ සිතියම් වල මෙන්ම වර්තමාන මෙට්‍රික් සිතියම් වලද  "පාහිංගල" ලෙස හැදින්වෙන නමුත් වර්තමානයේ පොදු ව්‍යවහාරයේ මෙන්ම ශ්‍රාස්ත්‍රීය ලිපි ලේඛන වලද "පාහියන් ලෙන" ලෙස හැදින්වෙන විශාල ලෙන පිලිබද බොහෝ දෙනා අසා ඇත. එසේම එම ලෙන හා නිබදවම කියවෙන ප්‍රකට නමක් වනුයේ ක්‍රි.ව. 411 දී පමණ මෙරටට වැඩි චීන හිමිනමක් වන ෆාහියන් හිමියන්ය.



ඒ හිමියන් මෙම පාහියන් ලෙනේ වැඩ සිටි බවට නැතහොත් අනුරාධපුරයේ සිට බුදුන්ගේ සිරිපතුල වන්දනාමාන කිරීමට සමනල කන්දට වැඩි ගමනේදි විවේක සුවයෙන් මද කලක් එහි කල් ගෙවූ බව වැනි විවිධ ජනප්‍රිය කතා මේ ලෙන හා ෆාහියන් හිමියන් වටා ගෙතී ඇත.  වර්තමානය වන විට මෙරට "ජනප්‍රිය ඉතිහාසයේ" පරම සත්‍යයන් බවට පත්වී ඇති මේ කතා කොතරම් දුරට පිලිගත හැකිද? මේ ඒ පිළිබඳ ඓතිහාසික දත්ත ඇසුරින් කෙරෙන විවරණයකි.

මේ ෆාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවේ සිරිපතුල ගැන සදහන් වන කොටසයි. "චණ්ඩ නාගයන් බුදුසමයට හැරවීම සදහා බුදුන් වහන්සේ වරක් මෙරටට වැඩම කළ සේක.  ඒ ගමනේදී උන් වහන්සේ සෘද්ධි බලයෙන් රටේ අගනුවරට උත්තර දිශාභාගයෙහි එක් සිරිපා සටහනක්ද, එහි සිට යොදුන් 15 ක් ඈත කන්දක් මුදුනෙහි තවත් සිරිපා සටහනක්ද පිහිටවූහ. "

මෙහි සදහන් වන කඳු මුදුනක පිහිටවූ සිරිපතුල වර්තමානයේ අප දන්නා සමනල කන්ද මුදුනේ ඇති සිරිපා සටහනමද යන්න නිශ්චිතවම හදුනාගැනීමට මේ කරුණු ප්‍රමාණවත් නොවේ. කෙසේ නමුත් අනික් සිරිපා සටහන පිහිටි තැන පිළිබඳව උන් වහන්සේ ඉන්පසු මෙසේ පවසයි. "නගරයෙන් උතුරෙහි පිහිටි සිරිපා සටහන මත අඩි 400ක් උස්වූ මහා ස්තූපයක් ගොඩ නගා තිබේ රනින් සහ රිදියෙන් කැටයම් කොට ඇති එහි නොයෙක් වර්ගයේ මැණික් ඔබ්බවා ඇත. මේ ස්තූපයේ එක් පසක අභයගිරි නම් සංඝාරාමය වෙයි."

ඒ අනුව අභයගිරි දාගැබ නිමවා ඇත්තේ බුදුන්වහන්සේගේ සිරිපා සටහනක් මත බව හෝ අවම වශයෙන් එවකට එසේ විශ්වාස කල බව මේ අනුව අපට නිගමනය කල හැක. නමුත් ඒ හිමියන්ගේ මේ වාර්තාවේ කිසි තැනක උන්වහන්සේ කඳු මුදුනේ පිහිටා තිබූ අනෙක් සිරිපා සටහන වන්දනාමාන කිරීමට වැඩි බව නම් සදහන් වන්නේ නැත.

කරුණු රහිතව 'ඒ වුනාට මෙහෙම වෙන්න පුලුවන්' වැනි අනුමාණ ඉතිහාසයේ සිදුවූ සිදුවීම් ගැන හැදෑරීමේදි යොදා ගන්නා පිළිගත් ක්‍රමය නොවන බැවින් ෆාහියන් හිමියන් වර්තමානයේ අප දන්නා සමනල කන්ද මුදුනේ පිහිටුවා ඇති සිරිපතුල වැදීමට වැඩියාය යන්න ඒ අනුව අපට පිළිගත නොහැක. උන්වහන්සේ සිරිපා වැඩියා හෝ නොවූවා ඒ ගිය ගමනේදී වර්තමානයේ පාහියන් ලෙන ලෙස හදුන්වන ලෙනේ වැඩ සිටි බවත් එම නිසා එම ලෙන මේ දක්වා පාහියන් ලෙන ලෙස හදුන්වනවාය යන්නත් මේ නිසා විශ්වාස කල හැකි මට්ටමේ නොමැත.  ඒ කාලයේ සිට වර්තමානය දක්වා පැවතෙන ජනප්‍රවාදයක ෆාහියන් වැනි මෙරට වැසියන්ට නුහුරු නමක් ඒ අයුරින්ම පැවත ඒම කෙසේවත් සිදුවිය නොහැක. අවම වශයෙන් මෙරට වංශ කතාවන්ටත් විෂය නොවූ ෆාහියන් හිමියන්ගේ මෙරට සංචාරය ගැන එවන් මතකයක් වසර දහස් ගණනාවක් පුරා මෙරට පොදු ජනයා අතර පැවත ඒම සිදුවිය නොහැක.

ෆාහියන් හිමියන් මෙරටට පැමිනෙන්නේ කිසියම් නිශ්චිත අරමුණක් පෙරදැරිවය. උන් වහන්සේ එවකට චීනයේ සොයාගැනීමට නොහැකිවූ විනය පිළිබඳ ග්‍රන්ථ සොයාගැනීමේ අරමුණින් මෙරටට පැමිනේ. වසර දෙකක් වැනි කාලයක් උන්වහන්සේ මෙරට වැඩ සිටි බව ඒ හිමියන්ගේ වාර්තාවේ සදහන් වේ. අවසානයේ උන්වහන්සේ සිය රට වඩින්නේ මහීශාසක විනය පිටකයේ පිටපතක් සහ දිර්ඝගම, සංයුක්තාගම හා සංයුක්ත සංචය පිටක යන ග්‍රන්ථද රැගෙනය. එම කාලය තුල උන්වහන්සේ වැඩ සිටියේ අභයගිරි සංඝාරාමයේ බවට එම වාර්තාව කියවීමේදි පැහැදිලි වේ. ඒ බව එහි කෙලින්ම නොපවසන මුත් ඒ හිමියන් එහි වැඩ වෙසෙන විට සිදුවූ සිදුවීම්  පිළිබද විස්තර වලින් සහ වෙනත් පූජනීය ස්ථාන ගැන පැවසීමේදි අභයගිරියේ සිට දුර පැවසීම වැනිදේ වලින් ඒ බව වටහා ගත හැක (උදා: මිහින්තලය ලෙස හඳුනාගත හැකි "කන්ද මත චෛත්‍යය" එනම් සෑගිරියට අභයගිරිය සංඝාරාමයේ සිට ලී 40 ක දුරක් ඇති බව. මෙහි 'ලී' යනු චීන දුර මනින ඒකකයකි).

අනෙක් අතට ෆාහියන් හිමියන්ගේ වාර්තාවට අනුව මෙන්ම මෙරට සිංහල හා පාළි වංශ කතා වලට අනුවද එවකට මෙරට ආගමික කෙන්ද්‍රස්ථාන වූවේ අනුරාධපුර අගනගරයේ පිහිටි අභයගිරි, මහාවිහාර සහ සෑගිරි (වර්තමාන මිහින්තලේ ) යන විහාරයන්ය. එනිසා උන්වහන්සේගේ උවමනාව ඉටු කරගැනීමට නම් එම අගනුවර වසනු වීනා ඒ යුගයේ වන දුර්ග ගිරි දුර්ග වලින් ගහන ජනශූන්‍ය නොවූවේ නම් සාපේක්ෂව අඩු ජනතාවක් විසූ තෙත් කලාපයේ පිහිටි හුදකලා ලෙනක විසීම කිසිසේත්ම ප්‍රායෝගික නොවේ.

එසේ නම් මෙම ලෙන පාහියන් ලෙන වූවේ කෙසේද? මතු දිනක ඒ පිළිබද සලකා බලමු.

මූලාශ්‍ර

  • බෞද්ධ රාජධානි පිළිබඳ තොරතුරු නම් වූ ෆාහියන්ගේ දේශාටන වාර්තාව - මහාචාර්ය විමල් ජී බලගල්ලේ, 1999
  • A history of the Cultural Relations Between Sri Lanka and China, An Aspect of the Silk Route, S.G.M. Weerasinghe, 1995
  • History of Ceylon Volume 1 Part 1, Paranavitana S, 1959
  • පාහින්ගල පුරාණය, පූජ්‍ය ගෝනහේනේ ජෝතිපාල නාහිමි, 1989