Showing posts with label Hambegamuwa. Show all posts
Showing posts with label Hambegamuwa. Show all posts

Sunday, January 13, 2019

මව් ආරේ එල්ලංගා, ඌරුසිටා වැවේ සොරොව්ව සහ මහාගාමයේ පැරණි සිංහල වාරි තාක්ෂණය

මෑතක් වනතුරුම මෙරට නූතන වාරිකර්මාන්ත පිළිබඳ බටහිර විද්‍යාත්මක දෘෂ්ඨි කෝණයෙන් විමර්ශනය කර, සැලසුම් සම්පාදනය කල වාරි විශේෂඥයන් පවා වැවක් සැලකුවේ ජලය රැස්කර තබාගන්නා ටැන්කියක් ලෙසිනි. එක් එක් වැව් වෙන වෙනම ගෙන ඔවුන් සැලසුම් සැදුවේ එම අනවබෝධය පෙරදැරි කරගෙනය. ඔවුන්ගේ අරමුණ වූවේ වැව් වල පැරණි බැමි හැකි තරම් උස් කර වැඩි වතුර ප්‍රමාණයක් රැස් කරගැනීම කෙරෙහිය. එක් වැවක හෝ ජලාශයක සිට වෙනත් ජලාශයකට ජලය ගෙන යන ඇල මාර්ග කොන්ක්‍රිට් කලේ එම ගමනේදී ඔවුන් සිතන ලෙසට "පොළොවට කාන්දු වී අපතේ යන ජල සම්පත" හැකිතාක් අවම කරගැනීමටය. එහෙත් "වියලි කලාපය" ලෙස අද හැඳින්වෙන අපගේ පැරණි සිංහල බෞද්ධ සභ්‍යත්වය පැතිර තිබූ රජරට සහ රුහුණු රටේ තැනිතලා බිම් වල පැතිර ඇති වැව් එසේ හුදකලාව පිහිටි වැව් නොවන බවත්, ඒවා එකිනෙකට මනාව බද්ධ වූ එකක් අනික මත යැපෙන එක් පද්ධතියක් බවත් පසුගිය දශක කිහිපයේ වැව් පිළිබඳව අධ්‍යනය කල විද්වතුන් පෙන්වා දී ඇත. 

එල්ලංගාව
 කුඩා නිම්නයක ඉහලින්ම පිහිටි වැවක සිට වෙල් යායකටත්, වෙල් යායෙන් නැවතත් වැවකටත් ආදී වශයෙන් සිදුවන ජලාපවහනය වන රටාවට "කැස්කේඩ්" (Cascade) යන නම මුල් වරට මහාචාර්ය C.M. මද්දුම බණ්ඩාර මහතා 1985 දී පමණ යෝජනා කල මුත්, පසු කාලීනව (වසර 2000 දී පමණ) එවන් පද්ධතියක් උදෙසා එල්ලංගාව යන නම ගැමියන් අතරම භාවිතා වන බව ආචාර්ය M.U.A. තෙන්නකෝන් මහතා විසින් පෙන්වා දී ඇත. වැවකින් වැවකට වතුර ගලායන ආකාරයට එල්ලංගාවක් එහි තුන් පැත්තකින්ම කඳු රැහැන් හෝ හින්න මගින් වටවී ඇති අතර එහි යටාවතේ මායිම ඔයක් හෝ විශාල ජලාශයක් වේ (සිතියම 1 බලන්න). එල්ලංගාවක උසම මුදුනතේ සිට යටාවතේ විශාල ජලාශය හෝ ඔය දක්වා දිවෙන ඇලමාර්ගය බොහෝවිට වසරේ වැසි සහිත මාස කිහිපය තුල පමණක් දිය රඳන තාවකාලික ඇල මාර්ගයකි. 
සිතියම 1 - නූතන සහ පුරාතන ජලය රැස්කර තබාගැනීමේ තාක්ෂණික ක්‍රම වල වෙනස මෙම සිතියමින් මනාව පැහැදිලි වේ. වම් පස ඇති විශාල උඩවලවේ ජලාශය නූතන නිර්මාණයක් වන අතර කුඩා වැව් සිය ගණනක ජලය ගබඩා කර තබා පහල පිහිටි විශාල වැවක් අනුක්‍රමිකව අවශ්‍ය විට පුරවා ගැනීම පුරාතන ශිල්පීය උපක්‍රමය විය

සිතියම 2 - සිතියම 1 න් ආවරණය වන කලාපය මෙම සිතියමින් පෙන්වා ඇත.
කුළු වැව්/උල්පත් වැව්
මෙවන් එල්ලංගා පද්ධති වල දැකිය හැකි වැව් වර්ගයකි කුළු වැව්. "කුළු" යන වචනයෙන් කැලෑ යන අදහස ගත හැකි බැවින් (උදා: කුළු හරක් එනම් කැලෑගත වූ හරක් ) කුළු වැව් යන්නෙහි අර්ථය "කැලෑ වැව්" ලෙසද ගනු ලැබේ. එල්ලංගා පද්ධති වල බොහෝවිට වේගවත්ව දිය පාරවල් ගලා යන උස් ප්‍රදේශ වල එනම් එල්ලංගා පද්ධති වල උඩාවතේ දැකිය හැකි මෙම වැව් වල සොරොව් නොමැත. වේගයෙන් ගලා එන දියපාරවල් හරස් කර පස් බැම්මක් බැඳීමෙන් ඉදි කරන මෙම කුඩා වැව් වර්ෂාවත් සමග ජලයෙන් පිරී එහි බැම්මේ එක් තැනක ගල් යොදා සවි ගැන්වූ පැන්නුමකින් ගලා ගොස් එම ඔයටම එක් වන්නේ ජල පහරේ ගලා ආ රොන් මඩ ආදිය කුළු වැව තුල රඳවා තබා ගනිමිනි. මේ නිසා එම රොන්මඩ සහිත ජලය එකවර ගලා ගොස් පහල පිහිටි විශාල වැව් තුල තැන්පත් වීම වලකී. එයට අමතරව සුළු ප්‍රමණයෙන් වුවද ජලය තැන්පත් කර තබා ගැනීම හේතුවෙන් වැව් ඉහත්තාවේ භූගත ජල මට්ටම වැඩිවේ. කැලෑව තුල වූ කුළු වැව් වල මෙම භූගත ජල මට්ටම ඉහල දැමීමේ කාර්යය හේතුවෙන් ඒ අවට ශාක ප්‍රජාවට පමණක් නොව වන සතුන්ටද එය බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ. තවද එම භූගත ජලය එක්වර මහා වැව් වෙත ගලා නොගොස් මහවැසි අවසන් වුවද පොළොව තුලින් කාන්දු වීමෙන් උල්පත් ජලය ලෙස මහවැව පෝෂණය කරයි (මේ හේතූන් නිසා කුළු වැව් උල්පත් වැව් ලෙසින්ද හැඳින්වේ). රොන්මඩ සහ පාංශු කොටස් රඳවා තබා ගැනීම කුල්ලකින් කරන කාර්යය මෙන් වන නිසා කුළු වැව් එනම් ලැබූ බවටද පැවසේ. කුළු වැවේ තැන්පත් වන රොන්මඩ ඉවත් කිරීම මහ වැවක වසර ගණනාවක් පුරා එකතු වූ පසු ඒවා ඉවත් කිරීම තරම් අපහසු නොවන බව අපේ පැරණි සිංහලයන් තේරුම් ගත් මුත් පසුකාලීනව එම ඇතැම් කුළු වැව් වලට සොරොව් යොදා කුඩා කුඹුරු ප්‍රදේශ අස්වැද්දීමට යොදා ගැනීම හේතුවෙන් කුළු වැවේ කාර්යය ඉටු නොවී පහල පිහිටි මහවැව් රොන්මඩින් පිරී ගොස් එහි ධාරිතාවයන් අඩුවී ඇත.
මහගම වැව 
බිසෝවැව් 
විශාල කුළු වැව් ආකාරයේ වැව් ඇතැම් විට බිසෝවැව් ලෙසද හඳුන්වා ඇත. මේවා එක්තරා දුරකට ජලය ගබඩාකර තබාගෙන අවශ්‍ය විට වරින් වර පහල පිහිටි මහ වැව වෙත මුදා හැරීම උදෙසා තනා තිබී ඇත. ඒ සඳහා එම වැව් වල බිසෝකොටු සාදා තිබී ඇති අතර ඒ මගින් ජලය අවශ්‍ය විට ප්‍රධාන වැව දෙසට ජලය ගලා යන ඔයට මුදා හරී. 

එල්ලංගා පද්ධති, කුළු වැව්, සහ බිසෝ වැව් පිළිබඳව මෙම කෙටි හැඳින්වීම අපගේ ප්‍රස්තුතය උදෙසා පූර්විකාවක් ලෙස ඉදිරිපත් කල අතර මෙම ලිපියේ අවධානය මූලික වශයෙන් අප මෙයට පෙර ලිපියකින් තොරතුරු ඉදිරිපත් කල පණ්ඩිකුලම නොහොත් මහගම වැව නොහොත් ඌරුසිටා වැව මූලික කරගත් එල්ලංගා පද්ධති සහ එහි අගනා නාග රූපයක කැටයමක්ද සහිත පැරණි සොරොව්ව පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම උදෙසා යොමු වේ (පෙර ලිපිය කියවීමට Link>>).
රූපය  1 - මහගම  වැවේ සිට එන ජලය බිසෝකොටුවට ඇතුළු වන ස්ථානය
වලවේ ගඟේ ඉහළ නිම්නයේ කෝන්ගල බින්තැන්නේ සිට ගලා බසින මා ආර හෙවත් මව් ආර ලෙසින් හැඳින්වෙන ඔයෙහි (වර්තමානයේ මව් ආර ලෙස හැඳින්වුවද මා ආර ලෙසින්ද එය හඳුන්වා ඇති බව පෙනේ. කෙසේ නමුත් "ප්‍රධාන ඔය" යන අර්ථයෙන් එම නම් දෙකම එයට මනාව ගැලපේ.) එහි ඉහළම ඇති හම්බේගමුව වැවේ සිට මහගම වැව දක්වා සෘජු දුර සැතපුම් 15 ක් පමණ වන මුළු ප්‍රදේශය පුරා ඇති මව් ආරේ අතු ඉති වල බඳවා ඇති ලොකු කුඩා වැව් ප්‍රමාණය 440 පමණ වේ. එම වැව් සියල්ල වර්ග සැතපුම් 142 ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇත. මෙම වැව් බොහොමයක් කුළු වැව් හෙවත් "වැටි වැව්" ලෙස උදුල බණ්ඩාර අවුසදහාමි මහතා හඳුන්වා ඇත.  (සිතියම 1 බලන්න)
රූපය 2 - බිසෝකොටුවෙන් ජලය පිටවන විවර දෙක
මෙම ප්‍රදේශයේ R.L. බ්‍රොහියර් ඉදිරිපත් කරන පැරණි අඟලේ සිතියම් වල දක්වා ඇති වැව් වල ප්‍රමාණයන් සලකා බැලූවිට එම මතය නිවැරදි ලෙස පෙනේ. මක්නිසාද යත් මහගම වැව හැරුණ විට එතරම් විශාල නොවූවත් තරමක හෝ විශාල වැව් ලෙස එම සියළු වැව් අතර ඇත්තේ නිම්නයේ ඉහළින්ම පිහිටි හම්බේගමුව වැව සහ එයට පහල ප්‍රදේශයේ හම්බේගමුව වැව සහ මහගම වැව අතර හමුවන ගල්මුණ වැව පමණක් වන නිසාය. එම මහගම වැවෙන් පහලට වුවත් එතරම් විශාල වැවක් වලවේ ගඟෙහි මුවදොර දක්වාම හමු නොවේ.මහානාගකුල පැරණි අගනුවර ආසන්නයේ පිහිටි පැරණි රිදීගම වැව වුවද අද විශාල කර ඇති රිදීගම ජලාශයට මේ වන විය යටවී ඇති කුඩා වැවකි. 

පසු කාලීන ප්‍රතිසංස්කරණ වලින් මෙම පද්ධතිය බොහෝ දුරට උඩු යටිකුරු වී ඇති බව පැවසීම අසත්‍යයක් නොවේ. හම්බේගමුව වැව, ගල්මුණ වැව (මේ වැව අද වන විට මව් ආර ජලාශයට යටවී ඇත.) වැනි වැව් ප්‍රතිසංස්කරණය වී මෙම ලිපියේ මුලින් අප කතා කල ආකාරයේ හුදකලා වැව් බවට පත්වී ඇති අතර, සෙසු ඇතැම් කුඩා කුළු වැව් තිබූ තැන් වල අද ඒවා දක්නට නොමැත. කිරි ඉබ්බන් වැව වැනි විශාල ජලාශද එම නිම්නයට අලුතින් එක්වී ඇති බව පෙනේ. කෙසේ නමුත් එම පැරණි තොරතුරු විමසා බැලූ විට නිගමනය කල හැක්කේ වසරේ මාස කිහිපයක් පමණ ඊසාන දිග මෝසමෙන් වර්ෂාව ලබන මෙම නිම්නයේ ඉහත සියළු වැටි වැව් තැනීමේ අරමුණ එම ජලය හැකිතාක් ඉහත විස්තර කර ඇති පරිදි රැස්කර තබාගෙන පහලින් පිහිටි ප්‍රධාන වැව වූ මහගම වැව හෙවත් පළමුවන දප්පුල රජු (ක්‍රි.ව. 659) ඉදි කල, මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1153-1186) ප්‍රතිසංස්කරණය කල පාඩික්කුලම වැව (පෙර ලිපිය කියවීමට Link>>) පෝෂණය කිරීම බවය. මව් ආරේ එල්ලංගා පද්ධති වල රැස් කරන එම ජලයට අමතරව වලවේ ගඟේ තෙන්කැටිය අමුණ ලෙසින් හඳුන්වන අමුණක් මගින් ඇල මාර්ගයක් ඔස්සේ රැගෙන එන අමතර ජලයද මහගම වැව වෙත යොමු කර ඇත (සිතියම 1 බලන්න).

තෙන්කැටිය අමුණ සහ මහගම වැව අතර කෙලින් දුර සැතපුම් 6 ක් වුවද එම පැරණි ඇල මාර්ගය සැතපුම් 14 ක වක් වෙමින් යන ඇලක් ලෙසට තනා ඇත්තේ එය (වර්තමානයේ අප සිතන ලෙසට) කොන්ක්‍රිට් දමා වලවේ ගඟේ වතුර මහගම වැව වෙත ගෙන එන කානුවක් නොවන බැවිනි. එම සැතපුම් 14 පුරාම විශාල ප්‍රදේශයක ගොවිතැන් කටයුතු උදෙසා එම ඇලේ ජලය භාවිතයට ගන්නට ඇති අතර, ඒ මගින් වසරේ වැඩි මාස ගණනක් සාපේක්ෂව වියලි එම  භූමි භාගයේ භූගත ජල මට්ටම ඉහල දමා මිනිසාට,සතුන්ට සහ ශාක ප්‍රජාවට ජල අවශ්‍යතාවය සැපිරීමද අරමුණු කර ගන්නට ඇත. තවද එවන් වක් වෙමින් සෙමින් ගමන් කරන ඇල මාර්ගයක් මගින් කෙලින් කැපූ වේගයෙන් ගලායන ඇලක මෙන් නොව රොන්මඩ ආදිය ගසාගෙන විත් මහ වැවේ තැන්පත්වීම වැලකී ඒවා ඇලමාර්ගයේ වක්වූ ස්ථාන වල තැන්පත්වේ. කෙත් වලට ජලය ලබාගැනීමේදි එම රොන්මඩ පොහොර බවට පත්වී එම ගොවිබිම් සරුසාර  කරයි
රූපය 3 -  රූපය 2 දැක්වෙන බිසෝකොටුවේ සිට එන ජලය ඇල මාර්ග දෙකක් ඔස්සේ නාග රූපය සහිත සොරොව්ව දක්වා යොමු කිරීම
ඌරුසිටා වැවේ සොරොව්ව
ඉහත විස්තර කල පූජාවලියේ පාඩික්කුලම ලෙසින් හැඳින්වූ වැව පන්ඩික්කුලම් වැව ලෙසින් මෑතක් වන තුරුම හඳුන්වා ඇති බව බ්‍රොහියර් විසින් සිය ලක්දිව පුරාතන වාරිමාර්ග පිළිබඳව වූ ග්‍රන්ථයේ උපුටා දක්වන වැල්ලවාය කොට්ඨාසයේ ප්‍රධානියා වූ දඹවින්නේ රටේ මහත්තයා විසින් 1866 ඉදිරිපත් කල වාර්තාවකද එම නමින් එය හැඳින්වීමෙන් තහවුරු වේ. මහගම ගම්මානය තුල පිහිටි හෙයින් මහගම වැව ලෙසින්ද හැඳින්වෙන එම වැව මෑත භාගයේ වඩාත් ප්‍රචලිත වී ඇත්තේ ඌරු සිටා වැව ලෙසිනි. මෙම ලිපියේ ආරම්භයේදී දක්වා ඇති සියුම් නාග රූපයක් සහිත කැටයම එම වැවේ සොරොව්වේ එක් පසක ඇති අතර එහි අනෙක් පසද එවන් නාග රුවක් එවකට තිබූ බව ඉහත සඳහන් කල වාර්තාවේ සඳහන් කර තිබේ. පසු කාලීනව එයට කුමක් සිදුවීදැයි පැහැදිලි නැත. 
මහගම වැවේ සොරොව්ව - ඉහත රූපය 3 දැක්වෙන ඇලමාර්ග දෙක ඔස්සේ එන ජලය මෙම සොරොව්වේ විවර දෙකින් එලියට නිකුත්වේ
වර්ෂ 1888 සැප්තැම්බර් 9 දාතම සහිත හම්බන්තොට සහකාර ආණ්ඩුවේ ඒජන්ත ධූරය දැරූ මියුරේ මහතාගේ (Mr. Murray) වාර්තාවකට අනුව ඒ වන විටද සැතපුම් තුන් කාලක් පමණ දිග වූ එම වැවේ බැම්ම (කෙසේ නමුත් එම දුර මුළු බැම්මෙන් කොටසක් විය හැකි බවත් ඩික්සන් මහතාගේ (Mr, Dickson) පැරණි වාර්තාවකට අනුව සම්පූර්ණ බැම්ම සැතපුම් 13 දිග බව පවසා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි) එක් ස්ථානයකින් කැඩී ගොස් ඒ හරහා මව් ආර ගලාගිය බවත් පන්ඩිකුලම් සහ මහගම යන නම් දෙකම එම වැවට එවකටද භාවිතා වූ බවත් පවසයි. එක් ඇල මාර්ගයකින් වැවේ සිට එන ජලය එයට ඇතුළු වී ඇල මාර්ග දෙකකට බෙදී ඉන් පිටවන ශෛලමය බිසෝකොටුව සම්බන්ධවද ඔහු විස්තර ඉදිරිපත් කරයි. ගල් පුවරු කිහිපයක් එහෙ මෙහෙ වී තිබූ මුත් එයට වැඩි හානියක් සිදුව නොතිබූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මහගම වැවේ සොරොව්වෙන් පිටවන ජලය  සැතපුම් 9 පමණ දිගු පැරණි ඇල මාර්ගයක් ඔස්සේ අලිඔළු ආර දක්වාම ගෙනගිය බවට හඳුනාගෙන ඇති අතර ඉන් ඔබ්බට එහි මාර්ගය හඳුනාගෙන නොමැති වුවත් ජනප්‍රවාදයේ සඳහන් වන ලෙසට හම්බන්තොට දෙසටම එම ඇල මාර්ගය තිබි ඇත. 

ඌරුසිටා වැව සොරොව්වේ වීඩියෝ දර්ශන >>


මූලාශ්‍ර
  • වැව, උදුල බණ්ඩාර අව්සදහාමි, 2015
  • පුරාණ ශ්‍රි ලංකාවේ වාරි කර්මාන්තය, ආචාර්ය චන්දන රෝහණ විතානාච්චි, 2017
  • ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001
  • වියළි කලාපීය පරිසරානුගත සංවර්ධනයක් සඳහා එල්ලංගාව, ආචාර්ය එම්.යූ. ඒ. තෙන්නකෝන්, 2005
  • එල්ලංගානුගත වැව්වලට ප්‍රවේශයක්, ආචාර්ය එම්.යූ. ඒ. තෙන්නකෝන්, 2012
  • Small Tanks in Sri Lanka, Evolution, Present Status and Issuse, C.R Panabokke, R, Sakthivadivel and Asoka Dias Weerasinghe, 2002
  • අපේ වැවෙන් පැන් දෝතක්, සිංහල වැව පිළිබඳ ශාස්ත්‍රීය විමර්ශනය, කේ. එම්. අයි. ස්වර්ණසිංහ
  • Journal of the Sri Lanka Branch of the Royal Asiatic Society, Major Ancient Irrigation Works of Sri Lanka, New Series Volume XXII Special Number, by A.Denis .N. Fernando, 1980
  • Ancient Irrigation Works in Ceylon, R.L. Brohier, 1934


Wednesday, January 2, 2019

වලා හොය වම් ඉවුරේ මාගම සහ දාපුලු රජු කරවූ පාඩික්කුලම වෙහෙර

 මහගම වැව හෙවත් පන්ඩික්කුලම හෙවත් ඌරුසිටා වැව 
අප රට තුල රට අභ්‍යන්තරයේ සිට ඉන්දියන් සාගරයට ගලාබසින 103 පමණ වූ ගංගාවන් අතරින් වළවේ ගඟ සැලකිය යුතු ජල සම්පතක් සාපෙක්ෂව වියලි භූමි භාගයක් ඔස්සේ මහ සයුර කරා ගෙන යන ගංගාවක් ලෙස හඳුනාගෙන ඇත. පැරණි අඟලේ සිතියමක් ගෙන බැලුවහොත් වළවේ ගංගා ද්‍රෝණියේ, විශේෂයෙන්ම එහි වම් ඉවුරේ, මෙයට පෙර ලිපියකින් අප විස්තර ඉදිරිපත් කල කල්තොට මොහොරට (Link>>) පහලින් වූ ප්‍රදේශයේ, දැකිය හැකි විශාල ප්‍රමාණයක් වූ ලොකු, කුඩා වැව් අපේ පැරන්නන් මෙම ජල සම්පත රැස්කර තබා ගනිමින් සරුසාර ප්‍රදේශයක් බවට එම තැනිතලා භූමිය පරිවර්තනය කිරීමට ගත් වෙහෙස මැනවින් පෙන්වා දේ. එදා වන නදිය, වලා හොය ආදි නම් වලින් හැඳින්වූ වළවේ ගඟේ ජලයෙන් පෝෂණය වූ රුහුණේ පැරණි සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය පිළිබඳව අදටත් සාධක සපයන්නේ එම වාරිමාර්ග පද්ධති සහ ඒ අතර වූ බෞද්ධ වෙහෙර විහාර නටබුන් වේ. මෙම ලිපිය ප්‍රධාන වශයෙන් තවමත් පුරාවිද්‍යාඥයන්ගේ අවධානය එතරම් යොමු නොවූ එවන් පැරණි විහාරයක නටබුන් පිළිබඳව සහ රුහුණේ ඉතිහාසය පිළිබඳව විමසා බැලූ කිසිවකුගේ (අප දන්න පමණින්) අවධානය එතරම් යොමු නොවූ මහගමක් හෙවත් මාගමක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා වෙන් වේ.
ස්තූපයට දකුණින් පිහිටි ගල්කණු සහිත ගොඩනැගිල්ලක අවශේෂ
පාඩික්කුලම වෙහෙර/පණ්ඩු වැව පිළිබඳව වංශකතා තොරතුරු
පළමුවන පරාක්‍රමබාහු රජු  (ක්‍රි.ව. 1153-1186) රෝහණයේ (රුහුණු රටේ) සිදු කල නොයෙකුත් කර්මාන්ත පිළිබඳව වූ විස්තරයේදී ඔහු විසින් ප්‍රතිසංස්කරණය කල බිඳිගිය සඟසතු වැව් කිහිපයක නම්ද මහාවංශයේ හමුවේ. එහි උරුවෙල වැව, පණ්ඩු වැව සහ කොළම්බ වැව ආදි වැව් දාසයක් (ඇතැම් සංස්කරණ වල 216) ගැන කියවේ.(ගෛගර්ගේ මහාවංශ සංස්කරණයේ පණ්ඩු සහ කොළම්බ වැව් දෙකක් ලෙස නොව පණ්ඩුකොළම්බ නම් වූ එක් වැවක් ලෙස ගෙන ඇත.) තවද පරාක්‍රමබාහු රජු එම රුහුණු රටෙහිම දිරාගිය අමුණු 18 ක්ද, විනාශ වූ කුඩා වැව් 205 ක්ද බැන්දවීය. පූජාවලියේ සඳහන් වන ලෙසට දාපුලු නම් රජු (පළමුවන දප්පුල - ක්‍රි.ව. 659) රුහුණින් අවුදින් අනුරාධපුර නුවර හිඳ නැවත රුහුණෙහි ...සම්බෙගමු, පාඩික්කුලම, කසගලු... ආදී එකුන් විස්සක් පමණ රජමහා විහාර කරවා තුන් අවුරුදු තුන් මසක් රජය කෙළේය. මේ අදහසම අඩු වැඩි වශයෙන් ඉදිරිපත් කරන රාජාවලිය පවසන්නේ දාපුලු රජ රුහුණින් ගොඩනැගී අනුරාධපුර නුවරට ගොස් ...නැවත රුහුණට ගොස් රූණු වෙහෙර කරවා....මාගම පසික්කලම, කසාගුළුව...යන වෙහෙර කරවා ලෙසිනි. (රාජාවලි ඇතැම් පිටපත් වල මෙම වෙහෙර පඩික්කුලම, පාඩික්කුලම ආදි වශයෙන්ද සටහන් වී ඇත.)
තවමත් විදිමත් කැනීමක් සිදු නොවූ ගරාවැටුන දාගැබ
මව් ආරේ පැරණි ස්ථානය (1963)
මව් ආරේ පැරණි ස්ථානය ලෙසින් හඳුන්වා 1963-64 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ පාලන වාර්තාවේ වළවේ නිම්නයේ හමුවන නටබුන් ස්ථානයක් පිළිබඳව විස්තරයක් අපට හමුවේ. එහි සඳහන් වන ලෙසට වළවේ ගඟේ විශාලම ශාඛාවක් වන මව් ආරේ වම් ඉවුරේ මහගම වැව අසල අඩි 200 පමණ වට ප්‍රමාණය ඇති, අඩි 15 පමණ උස, ගරා වැටුණ දාගැබක් ඇත. එහි මුදුනේ තිබී කුහර 25 සහිත යන්ත්‍ර ගලක් මෙන්ම දාගැබ් මළුවෙන් බුදු පිළිමයක වැලමිටක කොටසක් සහ බ්‍රාහ්මි අක්ෂර කොටා ඇති ගඩොල් කැබලි ආදිය හමු වී ඇත. දාගැබට දකුණින් යාර 100 පමණ දුරින් එක් පසක 4 බැගින් ගල් කණු 16 ක ගොඩනැගිල්ලක අවශේෂ හමුවේ ( එහි ඒ වන විට පොළව මට්ටමේ සිට අඩි 3 පමණ උස ගල් කණු 7 පෙර තිබූ ලෙසින්ම තිබී ඇත.). එයට නුදුරින් බුදු පිළිමයක පාදමක්ද තිබී ඇති අතර. දාගැබ වටා අක්කර 20 ක පමණ ප්‍රදේශයේ ගල් කණු, ගඩොල්, ගල් කණු කැබලි, ගඩොල් බැමි ආදිය දක්නට ලැබී ඇත. නැවතත් 1964-65 සඳහා වූ පාලන වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය වසරේ එම ස්ථානයට යන විට කැලයෙන් වැසී තිබීම නිසා නොදුටු විශාල පොකුණක්ද හමුවූ බවය.
බොහෝ දුරට බුදු පිළිමය සහ බෝධිසත්ව පිළිමය තබා තිබූ පාදම් 

මහගම පැරණි ස්ථානය(1972)
1972 වර්ෂයේ නිකුත් කල පැරණි ස්මාරක නාමාවලියේ මහගම පැරණි ස්ථානය ලෙසින් හඳුන්වා ජරාවාස වූ දාගැබක් සහ වෙනත් ගොඩනැගිලි 3 ක අවශේෂ මෙහි ඇති බවටත්, එහි විශාල ප්‍රදේශයක පැරණි ගඩොල් බැමි වල අවශේෂයන් සහ ගල් කුළුණු කෑලි දක්නට හැකි බවටත් තොරතුරු ඉදිරිපත් කර ඇත.

මහගම මහානාග රජමහ විහාරය(1993)
 ඉන්පසු නැවතත් 1993 වසරේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ පාලන වාර්තාවේ මෙම නටබුන් ස්ථානය පිළිබඳව විස්තර හමුවේ. ඒ වන විට මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ මහගම මහානාග රජමහ විහාරය ලෙසිනි. 70 දශකයෙන් පසු කාලයේදි නැවතත් මෙම ස්ථානය භික්ෂූන් වසන විහාරයක් බවට පත් වී ඇත. විශ්කම්භය මීටර 20 පමණ වූ සහ මීටර 10 පමණ උස වූ නිධන් හොරුන් විසින් වැනසූ දාගැබ පිළිබඳව මෙන්ම එයට බටහිරට වන්නට හමුවූ හුණුගල් බෝධිසත්ව පිළිමයක දනහිසට ඉහලින් වූ කවන්ධ කොටසක් පිළිබඳවද, දාගැබට මීටර 80 පමණ දකුණින් වූ ගොඩනැගිල්ලක නටබුන් මෙන්ම, ඒ අසල වූ බොහෝ දුරට බුදු පිළිමයක යටකොටස විය හැකි කොටසක් පිළිබඳවද එම වාර්තාවේ විස්තර ඉදිරිපත් කර ඇත. නූතන විහාරයේ බණ මඩුවට මීටර 40 පමණ දකුණින් ගල් කණු 10 ක පමණ කොටස් හමුවන මීටර 4X4 විශාල වූ පාදමක් සහිත ගොඩනැගිල්ල පිළිබඳවද එහි විස්තර වේ. එම ගොඩනැගිල්ලට අමතරව තවත් ගොඩනැගිලි 12 ක අවශේෂ මෙම පරිශ්‍රයේ හමුවන බවත් එම ඇතැම් ගොඩනැගිලි වටා නටබුන් වූ බිත්ති කොටස්ද දැකිය හැකි බවත් 1993 වාර්තාවේ තවදුරටත් සඳහන් වේ. අක්කර 50 ක පමණ ප්‍රදේශයක් පුරා මෙම ගොඩනැගිලි විසිර ඇති බැවින් පුරාණ කාලයේ අතිශයෙන්ම සශ්‍රික වූ  විහාරයක් මෙහි තිබී ඇති බවට එහි අවසාන වශයෙන් සඳහන් වේ.
බෝධිසත්ව පිළිමයේ සහ හිටි බුදු පිළිමයේ කවන්ධ කොටස්
රුහුණේ අගනුවර ලෙස වංශකතා වල සඳහන් වන මාගම හෙවත් මහ ගම ( පාලියෙන් මහාගාම) වර්තමාන තිස්සමහාරාම ප්‍රදේශය තුල පිහිටි බව පොදුවේ පිළිගන්නා මතයයයි. එහෙත් මුල් කාලීන මාගම පිහිටි ස්ථානය පිළිබඳව විවිධ මත පවතින බව අප පෙර ලිපියකින්ද අවධානය යොමු කල අතර (>>Linkමහානාගකුල(රම්බා වෙහෙර) සහ උදුන්දොර (ගලබැද්ද) වැනි ස්ථාන වලද ඇතැම් යුග වලදී අගනුවරවල් පැවති බවට වංශ කතා මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක ඇත. එසේම තවමත් හඳුනා නොගත් නම් සහිත ස්ථාන වල ඇතැම් යුග වලදී විවිධ රජවරුන් සහ ප්‍රාදේශිය උප රජවරුන් සිය පාලන මධ්‍යස්ථාන පවත්වාගෙන ඇති බවට වංශ කතා තොරතුරු ඇත. තවද එකම යුගයකදී වුවද මහා ගාම ලෙසින් ස්ථාන එකකට වඩා පැවතිය හැකි බව අවිවාදිතය. මක් නිසාද යත් එහි වචානාර්ථයෙන්ම හැඟෙන පරිදි කිසියම් ප්‍රදේශයක වැඩි ජන ඝනත්වයක් පැවතීම, ප්‍රධාන වාරිමාර්ග පද්ධති සහ විහාර ආදිය ඉදිවී තිබීම ආදී කරුණු අනුව නිතැතින්ම එම ප්‍රදේශය 'මහා ගමක්' වන නිසාය.
වර්තමාන විහාරයේ බුදු පිළිමයක් තැබීමට උපයෝගි කරගෙන ඇති පැරණි ස්තූපයේ විය හැකි කැටයම් ගල් 
ඉහත පෙන්වා දුන් අන්දමට දාපුලු නම් රජු ඉදි කල බවට පූජාවලියේ දැක්වෙන වෙහෙර විහාර  ලේඛනයේ පාඩික්කුලම යන වෙහෙරට පෙර දැක්වෙන්නේ සම්බෙගමු වෙහෙර වන අතර ඉන්පසු දැක්වෙන්නේ කසගලු (රාජාවලියේ මෙය කසාගුළුව ලෙසින් දක්වා ඇත.) යන වෙහෙරය. හම්බේගමුව ලෙසින් හැඳින්වෙන වැවක් සහ ඒ අසල නටබුන් වෙහෙරක් වලවේ නිම්නයේම ඉහත මහගම වැවට ඉහලින් හමුවන අතර කසාගල ලෙසින් අදටද හැඳින්වෙන පැරණි වෙහෙරක නටබුන් මහගමට දකුණින් රන්න-වීරකැටිය පාරේ දැකිය හැක. (එම ස්ථානයේ තිබී හමුවූ දෙවන සියවසට අයත් සෙල්ලිපියකට අනුව එහි පැරණි නම කචාගලයි.) <පහත සිතියම බලන්න.>


ස්තූපය අසල තිබූ මල් ආසනයක් විය හැක
 තවද මෙම වලවේ නිම්නයේ පුරාණ වාරිමාර්ග පද්ධති පිළිබඳව R.L. බ්‍රොහියර් මහතා  ඉදිරිපත් කරන තොරතුරු වල මහගම වැව හැඳින්වෙන්නේ පන්ඩික්කුලම් යන නමිනි. මෙම සියළු සාධක එක්ව ගත් කල දාපුළු රජු කරවූ පාඩික්කුලම විහාරය එම නමින්ම මෑතක් වන තුරු හැඳින්වූ දැනට මහාගම වැව නොහොත් ඌරුසිටා වැව ලෙසින් හැඳින්වෙන වැව අසල අප ඉහත තොරතුරු ඉදිරිපත් කල පෞරාණික ස්ථානය බවට හඳුනාගැනීම බොහෝදුරට නිවැරදි බව පෙනේ. තවද වලවේ නිම්නයේ පැරණි වාරිමාර්ග පද්ධති අතරින් විශාලම වාරි කර්මාන්තය ලෙස පන්ඩික්කුලම දැක්විය හැකිය (බ්‍රොහියර් ඉදිරිපත් කරන තොරතුරු සහ පැරණි අඟලේ සිතියම් වලට අනුව. අද වන විට නව ජලාශ ඉදිවීම සහ පැරණි කුඩා වැව් විශාල කර නැවත ඉදිකිරිම නිසා මෙම තත්වය වෙනස් වී ඇත. මහගම වැවේ වාරි තාක්ෂණය සහ වලවේ ගඟේ අනිකුත් එල්ලංගා වැව් පද්ධති පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.). ඒ අනුව එය පිහිටි ග්‍රාමය මහගම ලෙසින් එවකට හඳුන්වා තිබීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිවැරදි වේ. පළමුවන පරාක්‍රමබාහු රජු ප්‍රතිසංස්කරණය කරවූ පණ්ඩු (හෝ පණ්ඩුකොළම්බ ) වැවද එම පන්ඩික්කුලම  වැව විය හැකි බවට C.W. නිකොලස් මහතා අනුමාන කරයි.
වර්තමාන විහාරයේ බුදු පිළිමයක් තැබීමට උපයෝගි කරගෙන ඇති පැරණි ස්තූපයේ විය හැකි කැටයම් ගල් 
මෙහිදි අපගේ අවධානය යොමුවන තවත් වැදගත් කරුණක් වන්නේ පූජාවලියේ 'පාඩික්කුලම වෙහෙර' යනුවෙන් පමණක් හඳුන්වන විහාරය රාජාවලිය දක්වන්නේ "මාගම පසික්කලම/පාඩික්කුලම" ලෙසින් වීමය. පැරණි පාඩික්කුලම විහාරය දැනටද මහගම ලෙසින් හඳුන්වන ගමෙහි පිහිටි නටබුන් ස්ථානය ලෙස අපගේ හඳුනාගැනීම නිවැරදි නම් මෙහි මාගම යනුවෙන් හඳුන්වන්නේ තිස්සමහාරාමයේ පිහිටි ප්‍රකට මාගම නොව මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික් මායිමේ මොණරාගල දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති අපගේ ලිපියට ප්‍රස්තුත වන මාගම හෙවත් මහගම බව පැහැදිලිය. මහාවංශයේ පටන් රාජාවලිය දක්වා වංශ කතා වල දැක්වෙන මාගම යනුවෙන් සඳහන් වන සියළු ස්ථාන පොදු පිළිගැනීම වන තිස්සමහාරාමයට අදාල කරගැනීම කොතරම් නිවැරදිදැයි නැවත සලකා බැලිය යුතු බව මේ අනුව අපට හැඟේ.
මූලාශ්‍ර
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1997
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Administration Report of the Archaeological Commissioner for the Financial Year 1963-64, 1965
  • Administration Report of the Archaeological Commissioner for the Financial Year 1964-65, 1967
  • Administration Report of the Director-General of Archaeology for the Year 1993, Deraniyagala S.U.
  • Water For People And Nature, Arumugam Commemoration Volume, Sri Lanka Water Heritage, History of Water Conservation Volume 2, Bhadra Kamaladasa & Mendis D.L.O. Ministry of Irrigation And Water Management, 2003
  • වැව, උදුල බණ්ඩාර අව්සදහාමි, 2015
  • Journal of the Sri Lanka Branch of the Royal Asiatic Society, Major Ancient Irrigation Works of Sri Lanka, New Series Volume XXII Special Number, by A.Denis .N. Fernando, 1980
  • Hundred Years of The Irrigation Department, Centenary Commemoration Volume, 1900-2000, Dharmasena et.al. 2000
  • The national Atlas of Sri Lanka, Survey Department, 2007