Showing posts with label Kala Oya. Show all posts
Showing posts with label Kala Oya. Show all posts

Friday, June 21, 2024

දඹකොල පටුනේ සිට ශ්‍රී මහා බෝධිය වැඩමවූ "බෝධි මාර්ගයේ" හමුවන පැරණි ගල් පාලම්


අනුරාධපුර පූජනීය නගරයේ නටබුන් ස්ථාන පිහිටි කලාපයට උතුරින් එකිනෙකට සැතපුම් භාගයක් පමණ දුරින් පිහිටි පැරණි ගල් පාලම් දෙකක නටබුන් දැකගත හැක. හල්පන් ඇල/ හාල්පාණු ඇල/ හාල්පාන් ඇල ලෙසින් වර්තමාන ව්‍යවහාරයේ හැඳින්වෙන ඇලක් හරහා මින් එක පාලමක් තිබූ බවට සලකුණු ඉතිරි වී ඇති අතර, ප්‍රමාණයෙන් විශාල අනික් පාලම මල්වතු ඔය හෙවත් පැරණි කදම්භ නදිය හරහා ඉදිකර තිබී ඇත. මෙම පැරණි ගල් පාලම් දෙක එකල ඉදිකර තිබුනේ අනුරාධපුර අගනගරයේ සිට උතුරේ ජම්බුකෝලපට්ඨන වරාය තෙක් තිබූ ප්‍රධාන මාර්ගයේ බවට සාධක හමුවී ඇත. මේ ලිපිය  එම ගල් පාලම් දෙකේ සහ මෙකල ව්‍යවහාරය අනුව නම් ඒ මතින් දිව ගිය Northern Highway එකේ මුල් අදියර පිළිබඳ කතාවයි.
 
සිය මාමාවරුන් සමග වූ යුද්ධය දිනූ පණ්ඩුකාභය කුමරු අනුරාධ නම් වූ මුත්තණුවන් විසූ තැනට පැමිණියේය. මුත්තණුවන් ඔහු විසූ රජගෙය කුමරුට දී හෙතෙම වෙනත් තැනක නිවසක් තනාගෙන එහි වාසය සඳහා ගියේය. පණ්ඩුකාභය කුමරු නිමිති දන්නවුන් සහ වාස්තු විද්‍යාඥයන්ගෙන් විමසා එම ගමෙහි උතුම් නගරයක් ඉදිකළේය. අනුරාධවරුනට වාසස්ථාන වූ හෙයින්ද , අනුර නැකතින් පිහිටවූ හෙයින්ද එම නගරය අනුරාධපුර නම් විය. පණ්ඩුකාභය කුමරා අනුරාධපුර නම් වූ නගරය නිර්මාණය කිරීම පිළිබඳව මහාවංශය දක්වන එම විස්තරයේදී පෙර ඔහුට උපකාරකර යක්ෂ යෝනියෙහි උපන් දාසිය නගරයෙහි 'දකුණු දොරටුවේ' වාසය කරවූ බව පවසයි. එසේම හෙතෙම 'ද්වාර ගම් සතරක්' කරවූ බවද නගරයෙහි 'බටහිර දොරටුව' පෙදෙසෙහි මහා සුසානය, වධකස්ථානය, පච්ඡිමරාජිනි දෙවොල, වෙස්සවණ නුගරුක, ව්‍යාධදේව තල්ගස, යෝණ සභාග වස්තුව සහ මහේජඝරය පිහිටවූ බවද එහි තව දුරටත් සඳහන් වේ.  මේ අනුව නගරයේ දකුණු සහ බටහිර දෙසින් දොරටු පිහිටි බව පැවසෙන හෙයින් සහ ද්වාර ගම් සතරක් පිළිබඳව සඳහන් වන හෙයින් බොහෝදුරට එලෙසින්ම උතුරු සහ නැගෙනහිර දිශාවලද දොරටු තිබෙන්නට ඇති බවත්, එලෙසම නගරය වටා ප්‍රාකාරයක්ද තිබෙන්නට ඇති බවටත් අනුමාණ කල හැකිය.  

පණ්ඩුකාභය යුගයෙන් සියවස් කිහිපයකට පසුව මහාවංශයේ ලියැවෙන මෙම විස්තරය මගින් ඇතැම් විට මහානාම හිමියන් විසින් මහාවංශය ලියූ එම කාලයේ  අනුරාධපුර නගරයේ තිබූ භූමි දර්ශය පණ්ඩුකාභය යුගයට අදාල කෙරුවා වුවද වියහැකි මුත්, වෙනත් ඓතිහාසික වාර්තා සහ පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් හෙලිවී ඇති කරුණු අනුව පණ්ඩුකාභය යුගයෙන් පසුව හෝ අනුරාධපුර නගරය නිර්මාණය කර තිබූ ආකාරය පිළිබඳව එම විස්තරයේ සඳහන් ඇතැම් තොරතුරු වල සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව සැකයක් නොමැත.

මහාවංශයේම පසු අවස්ථාවක වසභ රජු විසින් අතුළත නොපෙනෙන ලෙස නගර ප්‍රාකාරය  උස් කරවූ බව සහ සිව් දොරටුවේ ගෝපුර ඉදි කල බව පැවසේ. පොදු වර්ෂ පූර්ව හත්වන සියවසේ පමණ ලියවුන ලෙස සැලකෙන මානසර නම් වූ භාරතීය වාස්තු විද්‍යාත්මක ග්‍රන්ථයක සඳහන් වන්නේ නගරයක උතුරු, දකුණු , නැගෙනහිර සහ බටහිර යන සිව් කොනේ නගරද්වාර තිබිය යුතු බව සහ ඒවා නගරයෙන් පිටත පිහිටි ද්වාර ගම් වලට සම්බන්ධව තිබිය යුතු බවය. 

පුරාවිද්‍යාඥයින් විසින් H.C.P.  බෙල්ගේ යුගයේ පටන්ම සිදුකල ගවේෂණ සහ කැනීම් මගින් පුරාණ අනුරාධපුර නගරයේ ඇතුළු නුවර සීමාවන්, එහි තිබූ මෙම නගර දොරටු මෙන්ම එම දොරටු අතර නගරය තුල තිබූ සහ එයින් පිටත වෙනත් ප්‍රදේශ දක්වා, ප්‍රධාන වශයෙන් වෙරළබඩ පිහිටි වරායන් දක්වා විහිදී ගිය මාර්ග පද්ධතිය පිළිබඳව බොහෝ කරුණු සොයාගෙන ඇත.

ඒ අනුව 1960 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුරාධපුර ඇතුළු නුවර දකුණු දොරටුවේ සිදු කල කැනීම් මගින් පැරණි මාර්ගයක සලකුණු හඳුනාගෙන ඇත. එම මාර්ගය අඩි 57 පලලට ඉදිකර තිබී ඇති අතර එය නගර ප්‍රාකාරයට සෘජුකෝණාශ්‍රාකාරව ඉදිකර තිබී ඇත. එසේම දොරටුවේ මධ්‍යයට වන්නට එය දෙකට බෙදෙන ආකාරයට ඉදිකර තිබූ මුර කුටියක් විය හැකි ගොඩනැගිල්ලක ශිලා පාදම සහ එහි ගඩොල් ඉදිකිරීමෙහි අවශේෂද මෙහිදි හඳුනාගෙන ඇත.  එය අඩි 24 X 16 ප්‍රමාණයේ ඉදිකිරීමකි. 

මෙම ගූගල් සිතියමේ පැරණි අනුරාධපුර ඇතුළු නුවර (Citadel) සීමාවන් පැහැදිලිව හඳුනාගත හැක. මෙහි සුදු පාට ඉරි වලින් සලකුණු කර ඇත්තේ පෙර කල දිය අගල තිබූ ප්‍රදේශයයි. එම දිය අගලේ බොහෝ කොටස් මේ වන විට කුඹුරු බවට පත්වී ඇත. ඇතුළු නුවර සීමාව තුල වූ භූමි ප්‍රදේශ වලින් බොහොමයක් වර්තමානයේ පුද්ගලික දේපල බවට පත්වී පොදු ජනයාගේ වාසස්ථාන බවට පත්වී ඇති මුත්, විජයබාහු මාළිගය ලෙස හැඳින්වෙන පොළොන්නරු යුගයේ ඉදි කල රජ මාළිගයේ කොටසක්, දළදා මාළිගාව, මහාපාලි දාන ශාලව සහ එහි බත් ඔරුව වැනි පැරණි ගොඩනැගිලි කිහිපයක නටබුන් ආරක්ෂිත ස්ථාන ලෙසින් වෙන් කර ඇත. (විශාලනය කිරීමට රූපය මත ක්ලික් කරන්න.)

මහා බෝධිය සංඝමිත්තා තෙරණිය විසින් මෙරටට වැඩම කිරීමේදී දේවානම්පියතිස්ස රජු නගරයේ උතුරු දොරටුව සිට දඹකොළ පටුන (ජම්බුකොලං මහාපථං) දක්වා මග සරසවා මහමග රිදීපටක පැහැ ගත් වැලි විසිරවූ බව මහාවංශයේ සඳහන් වේ. තවද එහිම මහාබෝධිය උතුරු දොරටුවෙන් නගරයට වඩම්මවා, නගරය මැදින් රැගෙන විත් දකුණු දොරටුවෙන් නික්ම...ලෙසින් සඳහන් වන හෙයින් දඹකොළ පටුනේ සිට නගරයට මාර්ගයක් වූ බවත්, නගරයේ උතුරු සහ දකුණු දිසා වල දොරටු වූ බවත්, එම දොරටු දෙක අතරද මාර්ගයක් තිබූ බවත් පැහැදිලිවේ. සිංහල මහාබෝධි වංසයේ මෙය විස්තර වන්නේ නුවර උතුරු දොරටුවේ සිට දඹුලු තොට දක්වා මඟ ලෙසිනි. එසේම නුවරට උතුරු දොරින්  බෝධීන් වහන්සේ ඇතුළට ගෙනවුත්,.... නුවර මධ්‍යයෙන් මඟුල් මහා වීථියෙන් ගෙන ඇර දකුණු දොරින් පිටත් කොට මහමෙවුනා උයනට පමුණුවා ලෙසිනි. ඒ අනුවඇතුළු නුවර උතුරු සහ දකුණු දොරටු අතර වූ වීදීය මගුල් මහා වීථිය ලෙස හැඳින්වූ බව පෙනේ.

මල්වතු ඔය සහ ඒ හරහා වැටී ඇති පැරණි ගල් පාලමේ කොටසක්

ඔහු විසින් හඳුනාගත් සේල චේතියේ සිට මල්වතු ඔය දක්වා වූ පුරාණ මාර්ගයක් පිළිබඳව H.C.P. බෙල් 1891 වර්ෂය සඳහා වූ සිය වාර්තාවේ කරුණු ඉදිරිපත් කරයි. ඔහුට අනුව නව රෝහල සඳහා වෙන් කල භූමිය පසුපසින් ගොස් එම පුරාණ මාර්ගය පොල් වත්තක් තුලට ඇතුළු වේ.ඉන්පසු ගල් ඔරුව සහ වෙනත් නටබුන් අද්දරින් බටහිරට යොමුව කැලෑව තුලින් බසවක්කුලම ඔයෙන් දැනට නටබුන් ඉතිරි වී ඇති දියමංකඩක් (Causeway) ඔස්සේ එතෙර වී කුට්ටම් පොකුණට මදක් බටහිරෙන් එම මාර්ගය පිටත වට රවුම් මාවතට සම්බන්ධ වේ. ඉන්පසු විහාරාරාම දෙක වෙන් කරමින්  ලඳු කැලෑව තුලින් ගොස් විශාල රම්බා පොකුණ අසල ඇති චත්‍රරස්‍රාකාර නටබුන් වෙත ලඟා වේ. ඉන්පසු ඊසාන සහ උතුරු දෙසට යොමුවෙමින් "වලව්ව" ලෙසින් හැඳිවෙන ස්ථානය පසු කරමින් මාර්ගය, අතහැරදමා ඇති එලපත්වැව හෝ එහි කුඹුරු වලට ලඟාවේ. ඉන්පසු තව දුරටත් වනාන්තර තුලට ඇතුළු වී "යෝධ ඇල" හරහා ඇති පුරාණ ගල් පාලම හමුවන තෙක් වනාන්තරය තුලින් ගමන් කරයි. එම ගල් පාලමින් එගොඩ වූ පසු මල්වතු ඔය හරහා ඉදිකර තිබූ විශාල ගල් පාලම දක්වා දුර සැතපුම් භාගයක් පමණ වේ.

මල්වතු ඔය හරහා ඉදිකර තිබූ පුරාණ ගල් පාලමේ නටබුන් දැක්වෙන වීඩියෝව >>

මෙම විස්තරයේ සඳහන් භූගෝලිය ස්ථාන සහ ලක්ෂණ බොහෝමයක් මේ වන විට වෙනස් වී ඇතත් ඒ අතරින් ස්ථාන කිහිපයක් අදටද පැහැදිලිව හඳුනාගත හැක. කුට්ටම් පොකුණ සහ මල්වතු ඔය හරහා වූ විශාල ගල් පාලම මෙන්ම එයට සැතපුම් භාගයක් පමණ මෙපිටින් වූ බෙල් සඳහන් කරන යෝධ ඇල හරහා වූ පුරාණ ගල් පාලම කිසිදු සැකයකින් තොරව හඳුනාගත හැක. බෙල් යෝධ ඇල ලෙසින් හඳුන්වන පුරාණ ගල් පාලම සහිත ඇල මාර්ගය අද වන විට හැඳින්වෙන්නේ යෝධ ඇල ලෙසින් නොව හල්පන් ඇල/හාල්පන් ඇල/හාල්පාන් ඇල/හාල්පාණු ඇල ලෙසින්ය. 

බෙල් යෝධ ඇල හරහා වැටී තිබූ ගල් පාලම ලෙසින් හඳුන්වන වර්තමානයේ හල්පන් ඇල ලෙසින් හඳුන්වන ඇල හරහා වැටී ඇති ගල් පාලමේ වීඩියෝ දර්ශන >>



මල්වතු ඔය හරහා වැටී තිබූ ගල් පාලමේ නටබුන්

එසේම බෙල් සඳහන් කරන ගල් ඔරුව සහ වෙනත් නටබුන් අනුරාධපුර ඇතුළු නුවර ලෙස හඳුනාගෙන ඇති කොටසේ ඇති මහාපාලි දාන ශාලාවේ ඇති ගල් ඔරුව සහ ඒ අවට ඇති මහාපාලි දාන ශාලාවේ සහ අනෙකුත් ඇතුළුනුවර ගොඩනැගිලි නටබුන් බව පැහැදිලිය. රුවන්වැලි සෑයෙන් නැගෙනහිරට වන්නට ඇති කුඩා දාගැබ අදටත් සේල චේතිය/ශිලා චේතිය නොහොත් කුජ්ජතිස්ස ස්තූපය ලෙසින් හඳුන්වන බැවින් පුරාණ මාර්ගය ආරම්භ වන ස්ථානය ලෙසින් බෙල් හඳුන්වන ස්ථානයද වැඩි අපහසුවකින් තොරව හඳුනාගත හැක. එවකට අතහැරදමා තිබූ එලපත්වැව අද සක්‍රිය වැවක් බවට නැවත පත්වී එයින් පෝෂණයවූ කුඹුරු වලට අවශ්‍ය ජලය සපයයි. කුට්ටම් පොකුණට උතුරින් කපාරාමූල විහාරයේ නටබුන් ලෙස හඳුනාගෙන ඇති ගොඩනැගිලි සහ ඒ අසල තිබෙන පොකුණ මෙහි බෙල් විසින් විශාල රම්බා පොකුණ සහ අසල ඇති චත්‍රරස්‍රාකාර නටබුන් ලෙස හඳුන්වන ස්ථාන විය යුතුය.

ඉහත රම්බා පොකුණ ලෙසින් බෙල් හඳුන්වන පොකුණ විය හැකි තවමත් සංරක්ෂණය කර නොමැති පොකුණේ වීඩියෝ දර්ශන >>

 මෙලෙස හඳුනාගත් ස්ථාන සිතියමක සලකුණු කල විට පහත පරිදි වේ.

A - කුජ්ජතිස්ස ස්තූපය, B - මහාපාලි දානශාලාව සහ බත් ඔරුව (සුදු පාටින් සලකුණු කර ඇත්තේ පැරණි අනුරාධපුර ඇතුල් නුවර සීමාව වේ.), C - කුට්ටම් පොකුණ, D - කපාරාමූල විහාරයේ නටබුන්, F -  රම්බා පොකුණ ලෙස හඳුන්වන පොකුණ විය හැකි නටබුන් පොකුණ, G - ඇලපත් වැව, H - හල්පන් ඇල (යෝධ ඇල) හරහා වැටී ඇති ගල් පාලම,  I - මල්වතු ඔය හරහා තිබෙන ගල් පාලම  


මල්වතු ඔය හරහා වැටී තිබූ ගල් පාලමේ නටබුන්

ජය ගඟ, එයින් පෝෂණය වන අනුරාධපුර අගනගරයේ වැව් සහ නගරය තුල ජලවහන රටාව

දීර්ඝ ලෙස වෙනත් ලිපියකින් කරුණු ඉදිරිපත් කල යුතු මාතෘකාවක් වුවද ජය ගඟ එසේ නැතහොත් කලා -තිසා යෝධ ඇල පද්ධතිය පිළිබඳව කෙටි හැඳින්විමක් නොමැතිව මෙම ලිපියට අදාල කරුණු නිරවුල්ව ඉදිරිපත් කිරීමට අපහසු බැවින් ඉතාමත්ම කෙටියෙන් වුවද ඒ පිළිබඳවද විස්තර ප්‍රථමයෙන් විමසා බැලිය යුතු වේ. 

හල්පන් ඇල (යෝධ ඇල) හරහා වැටී තිබූ ගල් පාලමේ නටබුන්

මාතලේ කඳු පන්තියේ උතුරු විහිදුමේ කඳු වලින් ඇරඹෙන දිය කඳුරු වලින් පෝෂණය වන දඹුළු ඔය සහ මිරිස්ගෝනියා ඔය (ඇරෑවුල සහ කළුන්දාව ඔය මගින් පෝෂණය වන කණ්ඩලම වැවේ ජලය එක් වන්නේ මිරිස්ගෝනියා ඔයට වේ.) එක් වීමෙන් ඇරඹෙන දුණුමඩල ඔයේ ජලය ලබන කලා වැව සහ මොරගොල්ල ඔය, හැවැන් ඇල්ල ඔය සහ රණව ඇල මගින් පෝෂණය වන බළලු වැව, එක් වැවක් ලෙසට එක්කිරීමෙන්  කලා ඔය නිම්නයේ ඉදි කල කලා - බළලු වැවට එකතු වන ජලය, එහි සිට පටන් ගන්නා යෝධ ඇලක් ඔස්සේ එකල අගනගරය වූ අනුරාධපුරයේ නාගරික වැව් පද්ධතියට එකතු කිරීම එක් අරමුණක් ලෙස සලකා පැරණි සිංහල වාරි ඉංජිනේරුවන් විසින් මෙම ජය ගඟ ලෙසින් හැඳින්වෙන යෝධ ඇල මාර්ග පද්ධතිය ඉදිකර ඇත. 

කලා වැවේ ජලය ගෙන එයින් නික්මෙන ජයගඟ හෙවත් යෝධ ඇල, කලා ඔය නිම්නයේ සිට මල්වතු ඔය නිම්නයට පිවිස කෙලින් දුර සැතපුම් 30 ක් වනමුත් වංගු ගසමින් සිය මාර්ගයේ පිහිටි ලොකු කුඩා වැව් රාශියකට ජලය සපයමින් සැතපුම් 54.5 පමණ දුරක් ගොස් අනුරාධපුර නගරයේ මල්වතු ඔයෙහි වම් ඉවුරේ පිහිටි තිසා වැවට ඇතුළු වේ. එයට පෙර කලා වැවේ සිට සැතපුම් 26 ක් පමණ ගිය විටදී එයින් නික්මෙන තවත් ශාඛා ඇලක් මගින් නාච්චාදූව වැවටද ජය ගඟ ජලය සපයයි. නාච්චාදූව වැව ඉදිකර ඇත්තේ රිටිගල කඳු පන්තියේ සිට ඇරඹෙන මල්වතු ඔය හරස් කරමිනි. නාච්චාදූව වැවේ සිට නික්මෙන තවත් යෝධ ඇලක් මගින් අනුරාධපුර නගරයෙන් නැගෙනහිර දෙසට වන්නට මල්වතු ඔයේ දකුණු ඉවුරේ පිහිටි නුවර වැවට ජලය සපයයි. 

(මෙහිදී යෝධ ඇල නැතහොත් ජයගඟ ලෙසින් මෙහි විස්තර වන්නේ පැරණි යෝධ ඇල විනා මහවැලි ව්‍යාපාරය විසින් එම පැරණි යෝධ ඇල ජල/පරිසර පද්ධතිය විනාශ කර දමා අළුතින් ඉදි කල වාරි ඇල ගැන නොවන බව මෙහිදී අවදාරනය කල යුතුවේ.)

සිතියමේ වම්පස පහලින් දම්පාටින් දැක්වෙන්නේ ඉහත විස්තර කල කලා වැව නිම්නයේ සිට ජලය ගෙන එන ජයගඟ මල්වතුඔය නිම්නයේ පිහිටි (සිතියමේ රතු පාටින් ලකුණු කර ඇත්තේ මල්වතු ඔයයි ) තිසා වැවට ඇතුළු වන ආකාරයයි. ඉන්පසු එයින් නික්මෙන අතිරික්ත ජලය  නිල්පාටින් දැක්වෙන ඇල මාර්ගය ඔස්සේ බසවක්කුලම හෙවත් අභය වැවට සිය දියවර මුදාහරී. සිතියමේ කොල පාටින් දැක්වෙන කුඹුරු මෙම වැව් වල ජලයෙන් පෝෂණය වන අතර එම කුඹුරු දැක්වෙන ප්‍රදේශයේ නිල් පාටින් සලකුණු කර ඇති ඇල මාර්ග ඔස්සේ නැවතත් එම අතිරික්ත ජලය දම්පාටින් දැක්වෙන ජයගඟේ දිගුව හෙවත් උතුරු ඇල මාර්ගය හෙවත් යෝධ ඇලට එක්වේ. සිතියමේ සුදු පාටින් ලකුණු කර ඇත්තේ පැරණි අනුරාධපුර ඇතුළු නුවර (Citadel) ප්‍රදේශය වන අතර එහි රතු පාට කොටුවකින් ලකුණු කර ඇති ස්ථානයෙන් එනම් කුජ්ජතිස්ස ස්තූපය අසලින් ආරම්භ වන මෙම ලිපියේ විස්තර වන පැරණි උතුරු මාර්ගය කහ පාටින් පෙන්වා ඇත. A - හල්පන් ඇල ගල් පාලම, B - මල්වතු ඔය ගල් පාලම, F - එලපත් වැව, E - කුට්ටම් පොකුණ, D - මහාපාලි දානශාලව සහ බත් ඔරුව  (විශාලනය කිරීමට රූපය මත ක්ලික් කරන්න.)

පැරණි අඟලේ සිතියම් වල දැක්වෙන විස්තර උපයෝගී කරගනිමින් පිළියෙල කල මේ සමග දැක්වෙන සිතියමේ පෙන්වා ඇති පරිදි ජය ගඟේ ජලය ලබන තිසා වැවේ සිට බසවක්කුලම එනම් පුරාණ අභය වැවට ගෙන යන ජලය ඉන්පසු එම වැව් දෙකින් සහ බුලංකුලම වැවෙන් වගා කෙරෙන කුඹුරු පෝෂණය කර ඒවායින් පිටවන අතිරික්තය ලෙසින් එම කුඹුරු අතර විහිදී ඇති ලොකු කුඩා ඇල මාර්ග වලට එක් වේ. (පැරැන්නන් විසින් වෙල් පහු වතුර ලෙසින් හැඳින්වූවේ මෙසේ කුඹුරු වලට අවශ්‍ය ජලය සපයා එයින් නික්මෙන අතිරික්ත ජලයටය.) එම ඇල මාර්ග වලින් එකතු කර ගන්නා ජලය අවසානයේ උතුරු ඇළ මාර්ගය ලෙසින් හැඳින්වෙන අනුරාධපුර නගරයට උතුරින් පිහිටි මල්වතු ඔයේ වම් ඉවුර ඔස්සේ ගලා යන තවත් පැරණි යෝධ ඇලකට එකතුවේ. ඉන්පසු අනුරාධපුර නගරයෙන් වයඹ දෙසට (තන්තිරිමලේ දෙසට) ගමන් ගන්නා එම පැරණි යෝධ ඇලද පැරණි අඟලේ සිතියම් වල සැලකිය යුතු දුරක් යනතෙක් ලකුණු කර ඇති අතර එහි ගමනාන්තය දැනට සොයාගත නොහැකි බව බ්‍රොහියර් පවසයි. බෙල් විසින් ඉහත බසවක්කුලම ඇල ලෙසින් හඳුන්වා ඇත්තේ පැරණි අනුරාධපුර ඇතුළු නුවරට මදක් උතුරින් කුට්ටම් පොකුණ ආසන්නයේදී ඉහත සිතියමේ කහපාටින් දැක්වෙන මාර්ගය හරහා යන ඇල මාර්ගය විය යුතුය. එහි ජලය පැරණි යෝධ ඇලට නැතහොත් වර්තමාන හල්පන් ඇලට එකතු වේ.

මෙම සිතියමේ හල්පන් ඇල ලා නිල්පාටින් දක්වා ඇති අතර තද නිල්පාටින් මල්වතු ඔය ලකුණු කර තිබේ. හල්පන් ඇල මල්වතු ඔයේ ඉහත A ලෙසින් ලකුණු කර ඇති ස්ථානයේ ඉදිකර ඇති අමුණකින් ආරම්භ වන අතර ඒ මතින් වැටී තිබූ පැරණි ගල් පාලම සිතියමේ B ලෙසින් ලකුණු කර ඇත. C - මල්වතු ඔය හරහා තිබෙන ගල් පාලම (විශාලනය කිරීමට රූපය මත ක්ලික් කරන්න.)

හල්පන් ඇල/හාල්පාණු ඇල/හාල්පාන් ඇල

හල්පන් ඇල (යෝධ ඇල) සහ එය හරහා වැටී තිබූ පැරණි ගල් පාලමේ නටබුන්

බෙල් විස්තර කරන ලෙසට මෙම පැරණි මාර්ගයේ අනුරාධපුර නගරයේ සිට යනවිට හමුවන පළමුවන ගල් පාලම වැටී ඇත්තේ යෝධ ඇල මත්තෙන්ය. පැරණි අඟලේ සිතියම් වලද යෝධ ඇල ලෙසින් හඳුන්වන එම ඇල සහ පැරණි මාවතේ කොටසක් පැහැදිලිව හඳුනාගත හැක. එම ගල් පාලමේ සිට මල්වතු ඔය හරහා වැටී තිබෙන අනික් විශාල ගල් පාලම වෙත බෙල් දක්වන දුරද සැතපුම් භාගයක් පමණ වේ. එහෙත් අද මෙම ගල් පාලම වැටී ඇති ඇල මාර්ගය හඳුන්වන්නේ හල්පන් ඇල/හාල්පාණු ඇල/හාල්පාන් ඇල යන නම් වලිනි. පැරණි යෝධ ඇලේ මතකය ජන ව්‍යවහාරයෙන් වියකී ගොස් මෙම නව නාමය කිනම් කලක භාවිතයට පැමිණියේදැයි පැහැදිලි නැත. එහෙත් අද Google සිතියම් වල සහ භූමියේ හඳුනාගත හැකි හල්පන් ඇල, මල්වතු ඔයේ නගරයට දකුණින් පිහිටි ස්ථානයකදී අමුණක් බැඳ හරවා ගන්නා ජලය මෑත කාලීන වාරි ඇළක් මගින් පැරණි යෝධ ඇලට කිසියම් කාලයකදී සම්බන්ධ කිරීමෙන් ඉදිකල එකක් බව පැහැදිලිය. ඉහත සිතියමේ A ලෙසින් ලකුණු කර ඇති ස්ථානයේදී මල්වතු ඔය හරහා ඉදි කල කොන්ක්‍රීට් අමුණකින් බොහෝවිට කලින් මල්වතු ඔයට ජලය බැස ගිය ස්වභාවික ඇළ මාර්ගයකට (එම පැරණි ඇළ මාර්ගය ඉහත පැරණි අඟලේ සිතියමේ හඳුනාගත හැක) හරවා ගන්නා ජලය, ඇල මාර්ගයේ ප්‍රතිවිරුද්ධ අතට ගමන් කරවා, එයට උතුරින්ද ඉහත සිතියමේ දක්වා ඇති පරිදි ඒ වන විටත් පැවති ඇතැම් ස්වභාවික හෝ පෙර කල කුඹුරු අතර ජල වහනය උදෙසා ඉදි කල ඇල මාර්ගද උපයෝගි කරගනිමින්, බොහෝවිට ඒවා අළුතින් ඉදි කල වාරි ඇලවල් මගින් සම්බන්ධ කර, අවසානයේ පැරණි යෝධ ඇලේ ගමන් මාර්ගයටම යොමු කල බවක් දිස්වේ. මල්වතු ඔයේ වම් ඉවුරේ අනුරාධපුර නගරයට නැගෙනහිර දෙසින් පිහිටි කුඹුරු වලට අවශ්‍ය ජලය සැපයීම එහි අරමුණ බව පෙනේ. කෙසේ නමුත් පැරණි ගල් පාලමට මෙපිටින් ඉහත සිතියමේ දම්පාටින් සලකුණු කර ඇති පැරණි යෝධ ඇලට මෙයින් බලපෑමක් වූ බවක් නොපෙනේ. හල්පන් ඇලේ ගල් පාලම අද තිබෙන්නේද එම යෝධ ඇල හරහා වන අතර එහි නම පමණක් හල්පන් ඇල ලෙසට වෙනස් වී ඇත. 

හල්පන් ඇල (යෝධ ඇල) හරහා වැටී තිබූ ගල් පාලමේ නටබුන්

වංශ කතාවට අනුව ශ්‍රි මහා බෝධිය රැගෙන ආ මාවත හෙයින් රෝලන්ඩ් සිල්වා මහතා බෝධි මාර්ගය ලෙසින් හඳුන්වන අනුරාධපුර උතුරු දොරටුවෙන් නික්මී හල්පන් ඇල (පැරණි යෝධ ඇල) සහ මල්වතු ඔය මතින් වූ ගල් පාලම් වලින් එතෙර වී ජම්බුකෝලපට්ඨනය හෙවත් දඹකොල පටුන දක්වා තිබූ පැරණි උතුරු මාර්ගය පිළිබඳව රෝලන්ඩ් සිල්වා මහතා මෙන්ම P. විදානපතිරණ මහත්මියද පර්යේෂණ සිදු කර ඇත. H.C.P. බෙල්ගේ කාලය වනවිටත් සලකුණු ඉතිරි වී තිබූ එම මාර්ගයේ සහ එයටම සම්බන්ධ වන අනුරාධපුර ඇතුළු නුවර හරහා උතුරු - දකුණු දිශා ඔස්සේ වැටී තිබූ මගුල් මහා වීථිය මෙන්ම එම වීථියට නගරයේ දකුණු ද්වාරය හරහා සම්බන්ධ වූ දකුණු දොරටුවෙන් නික්මී අනුරාධපුර නගරයේ දකුණු දිශාවට යොමු වූ මාර්ගයක කුජ්ජතිස්ස ස්තූපය (සේල චේතිය) දක්වා ඉතිරි වූ කොටසක් පිළිබඳවද බෙල් විස්තර ඉදිරිපත් කර ඇත. ඒ ඔස්සේ ඉහත පර්යේෂකයන් විසින් හඳුනාගත් මාර්ගය ඔවුන් විසින් සිතියම් වල ලකුණු කර ඇති අතර මෙම ලිපියේ කරුණු එම විස්තර අනුව ඉදිරිපත් කර ඇත. P. විදානපතිරණ මහත්මිය විසින් මල්වතු ඔය ගල් පාලමෙන් ඔබ්බටද එම බෝධි මාර්ගයේ ඇතැම් ස්ථාන හඳුනාගෙන තිබෙන මුත් එම කරුණු මෙම ලිපියේ සන්දර්භයට අදාල නොවන හෙයින් මෙහිදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවෙමි.

බෙල් ඉහත විස්තර කරන රම්බා පොකුණ විය හැකි තවමත් සංරක්ෂණය කර නොමැති කපාරාමූල විහාර නටබුන් අසල තිබෙන පොකුණ

කපාරාමූල විහාරයේ සංරක්ෂිත කොටසක්

මූලාශ්‍ර

  • මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Reflections on a heritage, Historical Scholarship on Premodern Sri Lanka, 2000
  • වංසත්ථප්පකාසිනිය, මහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994
  • Settlement Patterns of the Malvatu Oya and Kala Oya Basins, A Study in the Historical, Geography of Sri Lanka, P. Vidanapatirana, 2010
  • Ancient Irrigation Works in Ceylon, Part Two, R.L. Brohier, 1935
  • ලක්දිව පුරාතන වාරිමාර්ග, ආර්. එල්. බ්‍රෝහියර්, පරිවර්තනය එල්. පියසේන, 2001
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • මාර්ග පුරාණය, පී විදානපතිරණ, 2016
  • ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජල කළමනාකරණය, භූගෝලිය පසුබිම සහ සුරක්ෂිතතාව, පී විදානපතිරණ, 2022
  • Archaeological survey of Ceylon, North Central Provinces, Annual Report, 1891, Bell, H.C.P. 1904
  • විල්ගම්මුළ මාහිමියන්ගේ සිංහල බෝධිවංසය, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ දර්ශනපති ඊ. ඒ. වික්‍රමසිංහ සංස්කරණය, 1996
  • Jetavanaramaya Project Anuradhapura, first Archaeological Excavation an Research Report ( January - June 1982 ), Hema Ratnayake, 1984
  • 2009 වර්ෂය සඳහා පුරාවිද්‍යාඅධ්‍යක්ෂ ජනරාල්ගේ පාලන වාර්තාව සෙනරත් බණ්ඩාර දිසානායක, 2024
  • The Road Network: Within the city of Anuradhapura and the suburbs by P. Vidanapatirana IN Roalnd Silva Felicitation Volume, Nandana Chutiwongs & Nimal de Silva, 2008
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007 

Sunday, August 25, 2019

පාර දිගේ - මන්නාරම සිට විල්පත්තු මැදින් පුත්තලමට

තලෙයිමන්නාරම සිට මැදවච්චිය දක්වා දිවෙන A14 මාර්ගයෙන් තල්අඩි පසුකර මද දුරක් ගියවිට දකුණු අතට යොමු වූ B403 මාර්ගය වන්කාලෙයි කුරුළු අභයභූමිය (මන්නාරමට දකුණින් පිහිටි වන්කාලෙයි තෙත් බිම සංචාරක සහ දේශීය පක්ෂි විශේෂ රැසකට වාස භූමිය වන බැවින් කුරුළු අභයභූමියක් ලෙස නම් කර ඇත.) හරහා වන්කාලෙයි ධීවර ගම්මානය මැදින් නානත්තාන් මංසන්ධිය දක්වා වැටී ඇත.  නානත්තාන් සිට අරුවි ආරු (මල්වතු ඔයෙහි පහල කොටස මේ ප්‍රදේශයේදී අරුවි ආරු ලෙසින් හැඳින්වේ) මතින් තනා ඇති පාලම හරහා B403 මාර්ගය අරිප්පු,  සිලාවතුරෙයි, කොන්ඩච්චි හරහා මරිච්චුකඩ්ඩි වෙත ගොස් අවසන් වේ. මාර්ගයේ එම කොටසේදී අරිප්පු කොටුව සහ ඩොරික් බංගලාව හමුවේ (ඩොරික් බංගලාව පිළිබඳව වීඩියෝව නැරඹීමට Link>>

කොන්ඩච්චි සිට මරිච්චුකඩ්ඩි දක්වා කොටසේ මාර්ගයේ වම් පස මෑතක් වන තුරුම කල් ආරු වන රක්ෂිතයට ( B403 මාර්ගයේ හමුවන කල්ආරු නම් වූ ඔය දෙපසින් එම රක්ෂිතය නැගෙනහිර දෙසට රට ඇතුලට විහිදේ) අයත්ව තිබූ මුත් ඊලාම් ත්‍රස්තවාදී ගැටළුව අවසන් වීමත් සමග අවතැන් වූ ජනයා නැවත පදිංචි කිරීමට මුවාවී වනාන්තරය එලි කරමින් මූලික වශයෙන් ඉස්ලාම් ජානපදිකයන් පදිංචි කිරීමේ ව්‍යාපාරයක් රිශාද් බදූර්දීන් අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක විය. දේශපාලනිකව සහ පාරිසරිකව ලාංකීය සමාජයේ උණුසුම් පුවත් මැවූ එම අර්බුදය මේ වන තුරුද සාර්ථක ලෙසින් අවසන් වී නැත. ඒ පිළිබඳව වැඩි විස්තර සඳහා Link>>

පැරණි ගම්මානයක් වන මරිච්චුකඩ්ඩි සිට මෝදරගම් ආරුව මතින් තනා ඇති පාලමින් එතෙර වූ පසු  පුත්තලම දක්වා වූ මාර්ගය විල්පත්තු ජාතික වනෝද්‍යානය  හරහා වැටී ඇත.. මරිච්චුකඩ්ඩි සිට එළුවන්කුලම, වනාතවිල්ලු හරහා පුත්තලම දක්වා ගමන් කල හැකි එම මාර්ගය B379 ලෙසින් නම් කර ඇත. මාර්ගයේ විල්පත්තු ජාතික වනෝද්‍යානය ඇතුලත කොටසේදී අතහැර දැමූ ගමක් සහ වෙල් යායක් සහිත පොම්පරිප්පුව හමුවේ. පොම්පරිප්පුව සම්බන්ධව වැඩිදුර විස්තර සඳහා  Link>>

විල්පත්තු වන උද්‍යානයේ දකුණු පස සීමාව වන කලාඔය හරහා මාර්ගය වැටී ඇත්තේ සපත්තු පාලමක් මතින් වන අතර කලාඔයේ වතුර මට්ටම ඉහල ගිය විට එම මාර්ගය වාහන ගමනාගමනය සඳහා සුදුසු නොවේ. තවද අධික වැසි සහිත සමයන්හීදී මෝදරගම් ආරු සිට කලාඔය දක්වා වූ බොරළු මාර්ගය ලිස්සන සුළු බැවින් 4WD වාහන නොවන අනෙකුත් වාහන ගමන්කිරීම අවදානම් සහගතය.

මල්විල පුරාවිද්‍යා භූමිය මෙම මාර්ගයේ පුත්තලමට පෙර  හමුවන කරදිපුවල් ප්‍රදේශයේදී නැරඹිය හැක. මල්විල පිළිබඳව වැඩි විස්තර සඳහා Link>>

Sunday, January 27, 2019

පැරණි මහවැලිගම නොහොත් උරුවේල පටුන් ගම සහ කෝකිලයා දුටු පොන්පරප්පුව

එළුවන්කුලම වැව (සිතියමේ අංක 4 ස්ථානය)
විජය පුරාවෘත්තයේ කියැවෙන ලෙසට විජය සමග පැමිණි ඇමතියෙක් උරුවේල නම් වූ ගමක් ඉදි කල බව මහාවංශයේ දැක්වේ. පණ්ඩුවාසුදේව රජු සිය මෙහෙසිය ලෙස අභිෂේක කල භද්දකච්චානා දේවියගේ ලංකාවට පැමිණි සොයුරන් සය දෙනා අතර වූ උරුවේල නම් අයෙක් විසූ තැන එනම් වූ බව මහාවංශයේ පසුව එන ගාථාවකද සඳහන් වේ. මහාථූපය ඉදි කිරීම උදෙසා දුටුගැමුණු රජුට අනුරාධපුරයෙන් බටහිර දෙස පස්යොදුන් පමණ තැන උරුවේල පටුනෙහි (උරුවෙලපට්ටනෙ) මුහුදු වෙරළෙහි මුහුදු රළපහරින් ගොඩගසන ලද පබළු සමග නෙල්ලි ගෙඩි තරම් වූ මුතු පහල වූ බවද එහිම පසුව සඳහන් වේ. සුභ රජු (ක්‍රි.ව. 60-70) උරුවේල අසල වල්ලි විහාරය කල බව උරුවේල නම් වූ නගරය හෝ ගම සම්බන්ධයෙන් මහාවංශයේ එන අවසාන සඳහනයි.
B379 මාර්ගයේ සපත්තු පාලම මතින් ගලා යන කලා ඔය (සිතියමේ අංක 3 ලෙසින් ලකුණු කර ඇති ස්ථානය)
මහාවංශයේ ටීකාව වූ වංසත්ථප්පකාසිනීය දඹදිව වූ 'උරුවෙලායං' ගැන අර්ථ දැක්වීමේදි 'උරු' යනු වැලි බවත් 'වෙලා' යනු 'සීමා' බවත්, ඒ අනුව උරුවෙලා යන්නට 'මහාවැලිතලායෙහි' යන නිරුක්තිය දිය හැකි බවත් පැහැදිලි කරයි. කසයන් දේවියගේ (භද්දකච්චායනා දේවිය) සොහොයුරුන් දස දෙනෙකු ගැන පවසන පූජාවලිය ඔවුන් අතරින් උරුවෙල නම් ශාක්‍යයන් විසූ තැන් මහවැලිගම් නම් වූ බව පවසන බැවින්, ඉහත අර්ථ නිරූපනයටද අනුව උරුවේලා ලෙසින් පෙල බසින් හැඳින්වූ ග්‍රාමය මහවැලිගම ලෙසින් හෙළ බසින් හැඳින්වූ බව පැහැදිලිය. උරුවෙල් නම් ශාක්‍ය කුමාරයා විසූ තැන විල්බා නම් නුවර වූ බව පසු කාලීන වංශ කතාවක් වන රාජාවලිය සඳහන් කරයි. ඒ අනුව විල්බා යන නමද පසු කාලීනව මහවැලිගමට ව්‍යවහාර වූවා විය හැක.
පැරණි වැව් ආශ්‍රයෙන් වගා කල කුඹුරු තිබූ ප්‍රදේශ හරහා යන B379 මාර්ගය (සිතියමේ අංක 2 ලෙසින් ලකුණු කර ඇති ස්ථානය )
වලි වෙහෙර නටබුන් 
විල්පත්තු වනෝද්‍යානය තුලින් වැටී ඇති පුත්තලම - මන්නාරම මාර්ගයේ (* පාදක සටහන බලන්න) හමුවන පොම්පරිප්පු මෙගලිතික් සුසාන භූමියේ බරණි සූසාන (Urn burials) විසිරී ඇති ප්‍රදේශයේ, එම මාර්ගයට සැතපුමක් පමණ නැගෙනහිර දිශාවට වන්නට වනාන්තරයට යටවී ඇති පැරණි ස්තූපයක නටබුන් හමුවේ. සෙනරත් පරණවිතාන මහතා 1956 වර්ෂයේදී මුල් වරට මෙම ස්තූපය අවට ගවේෂණයක් සිදු කර එම නටබුන් ස්ථානය පුරාණ වලි වෙහෙර බවට එහි තිබී හමුවූ 8 වන සියවසට අයත් ශිලා ලිපියක් ආශ්‍රයෙන් සොයාගෙන ඇත. පැරණි කාසි කිහිපයක්ද මෙහි තිබී ඔහුට හමුවේ. නැවත 1977 වර්ෂයේදී මෙම ස්ථානයේ කැනීමක් සිදු කර ස්තූපයේ සලපතල මළුවේ තිබී  9 වන ශතවර්ෂයට අයත් විවිධ ප්‍රදානයන් සිදු කල සෙල් ලිපි කිහිපයක් මෙන්ම, ස්තූපයේ සිව් කොනේ ගඩොලින් කල කුටි තුල ශෛලමය ආසන මත තබා තිබූ හුණුගලින් නිර්මිත හිඳි බුදු පිළිම හතරක්ද මතු කරගැනීමට ශරත් වත්තල මහතාගේ අධීක්ෂණයෙන් කැනීම් සිදු කල පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ට හැකිවේ. ස්තූපයේ අවධි දෙකකදී ඉදිකිරීම් කර ඇති බවටද සාධක මෙහිදී හමු වී ඇත.
පැරණි වැව් ආශ්‍රයෙන් වගා කල කුඹුරු තිබූ ප්‍රදේශ (සිතියමේ අංක 2 ලෙසින් ලකුණු කර ඇති ස්ථානය
එම කැනීම් සහ සංරක්ෂණ කටයුතු 1979 වර්ෂය වන විටත් සිදුවෙමින් තිබී ඇති අතර එම ස්ථානයට ලඟාවීම සඳහා පුත්තලම් - මන්නාරම මාර්ගයේ සිට කැලය මැදින් සැතපුම් 2.5 ක ජීප් රථ යා හැකි මාර්ගයක්ද කපා ඇත. කෙසේ නමුත් දෙමළ ජාතිවාදීන්ගේ ත්‍රස්තවාදී ප්‍රශ්නය සමගින් එම කටයුතු ඉදිරියට යාම සිදු නොවන්නට ඇති අතර අද වන විට එම ප්‍රදේශය නැවතත් වන ප්‍රවාහය විසින් වසාගෙන ඇතිවා වන්නට පුළුවන.

උරුවේලා නුවර හඳුනාගැනීම
අනුරාධපුරයට යොදුන් 5 ක් එනම් සැතපුම් 40-50 පමණ බටහිර දෙසින් උරුවේලා පටුන තිබූ ලෙස මහාවංශයේ එන සඳහන සහ ඉහත පොම්පරිප්පු අසල හමුවන වලි වෙහෙර සුභ රජු උරුවේල අසල ඉදි කල වල්ලි වෙහෙර ලෙසින් හඳුනාගැනීම නිවැරදි ලෙස ගතහොත් පහසුවෙන්ම පැරණි උරුවේලා ග්‍රාමය හෝ පටුන් ගම හෝ නගරය කලා ඔය මුවදොර එහි දකුණු ඉවුරෙන් උතුරු දෙසට පිහිටි ප්‍රදේශය ලෙස හඳුනාගත හැක. සාපේක්ෂව වැව් දුලබ මෙම කලාපයේ කලා ඔය නිම්නයේ සරුසාර දියළු පස (Alluvial Soil) ආශ්‍රිතව ලොකු කුඩා වැව් පද්ධතියක්ම දැකිය හැකි වීමද එම හඳුනාගැනීම නිවැරදි බවට තවත් සාධකයකි (සිතියම 1). ඓතිහාසික යුගයට පෙර සිටම මෙම ප්‍රදේශය ජනාවාස වී තිබූ බවට ක්‍රි.පූ. 500-100  පමණ යුගයට අයත් විය හැකි යැයි විශ්වාස කරන බරණි සොහොන් 8000-10000 අතර ප්‍රමාණයක් මෙම සමතලා බිමේ විසිර තිබීමෙන්ද තහවුරු වේ.
සිතියම 1 - කලා ඔය මුවදොර අවට පැරණි වැව් වල පිහිටීම, වලි වෙහෙර සහ පොම්පරිප්පු, ඉහත ඡායාරූප ගත් ස්ථාන මෙහි ඡායාරූපයේ අදාල අංකයත් සමග සලකුණු කර ඇත 
උරුවේලා සිට අනුරාධපුරයට වැටී තිබූ මාර්ගය කරෙයිතිව්, පෙරියවිල්ලු හරහා විරඳගොඩ ඔස්සේ වැටි තිබූ බවට හඳුනාගෙන ඇති අතර එම මාර්ගයේ නටබුන් මුහුදු බඩ ගම්මානයක් වන පෙරියවිල්ලු පෙදෙසේදී දැකිය හැකි බව මෙරට පැරණි මාර්ග පද්ධතිය පිළිබඳව ගවේෂණය කරන P. විදානපතිරණ මහත්මිය පවසයි. එම මාර්ගයේ පිහිටීම අනුව උරුවේල වරාය කලා ඔයේ වම් ඉවුරේ එහි  මුවදොර අසල තිබෙන්නට ඇති බව එතුමිය අනුමාණ කරයි. දැනට එහි කිසිදු සාධකයක් පොළාව මතුපිට දැකගත නොහැක.

දෙව් සිරිසර දිසි වන රන් පරප්පුව
කොව් ලඟනක සමගව වැස සරප්පුව
එ ව් මිරස බිඳ මී අඹ තරප්පුව
සව් සැපතින් යුතු දකු පොන් පරප්පුව
පොම්පරිප්පු ආර හරහා වැටී ඇති B379  මාර්ගය ( සිතියමේ අංක 1 ස්ථානය)
කෝට්ටේ යුගයට අයත් ක්‍රි.ව. 1440 - 1446 අතර කාලයේ රචිත ලෙස සැලකෙන කෝකිල සන්දේශය හෙවත් කොවුල් අස්නේ එන ඉහත පද්‍යයෙන් විස්තර වන ප්‍රදේශය කෝකිලයාගේ ගමන් මග අනුව ඉහත විස්තර වූ මහවැලි ගම හෙවත් උරුවේල ප්‍රදේශය ලෙස හඳුනාගත හැක. සැම සම්පත්තියකින්ම යුක්ත වූ පොන්පරප්පුව යන ගම දැක ගන්නා ලෙසට කවියා එමගින් කෝකිලයාට පවසයි.

1834 වර්ෂයේ සයිමන් කාසි චිට්ටි මුදලියර් වරයාගේ Ceylon Gazetteer හි පොම්පරිප්පු පිළිබඳව විස්තරයක් හමුවේ. එතුමා පවසන ලෙසට පොම්පරිප්පු යන්නෙහි අදහස Golden plains හෙවත් රන්වන් තලාව වේ. එම ප්‍රදේශයේ සරුසාර පස එම නම භාවිතා වීමට හේතු වන්නට ඇති බවය ඔහුගේ අදහස. පොම්පරිප්පු ලෙසින් හැඳින්වූ කුඩා ගම්මානයට පමණක් නොව නැගෙනහිරින් නුවරකලාවියෙන් , සහ දෙමළ පත්තුවෙන්ද, උතුරින් මෝදරගම් ඔයෙන්ද (Moderegam river) බස්නාහිරින් කල්පිටිය බොක්කෙන්ද (Gulf of Calpentyn) වටවූ විශාල පළාතටද එම නම ව්‍යවහාර වූ බව ඔහු පවසයි. එම ප්‍රදේශයේ පුද්ගලයන් 498 වාසය කර ඇති අතර ගම්මාන 35 ක ඔවුන් ජීවත් වී ඇත. ශක වර්ෂ 1469 (ක්‍රි.ව. 1547)  මුක්කුවා ප්‍රධානියෙක් වන නවරත්න වන්නියා වෙතට මෙම ප්‍රදේශය සීතාවක රජවාසලින් නිකුත් කල තඹ සන්නසකින් පවරා තිබූ නමුත් ඔහුගේ මරණින් පසුව එය වෙනත් පුද්ගලයන් අතට පත්වූ බවත් ඔහු පවසයි. 1822 කැප්ටන් Gualterus Schneider ගේ සිතියමේ එම පළාත සලකුණු කර ඇත්තේ මේ අයුරිනි.
සිතියම 2 - 1822 දී කැප්ටන් Gualterus Schneider සකස් කල සිතියමක පොම්පරිප්පු දිස්ත්‍රික්කය ලකුණු කර ඇති අයුරු. එම සිතියමේ සලකුණු කර ඇති කරෙයිතිව් සහ පොම්පරිප්පු මෙන්ම පැරණි මාර්ගද (දුඹුරු පාටින්) මතු කර ඇත.
 පොම්පරිප්පු නම් වූ ගම පුත්තලමේ සිට සැතපුම් 31 දුරින් විශාල තැනිතලාවක පිහිටා තිබූ බවත් එහි ගල් වලින් තනා තිබූ තානායමක්ද (Rest house built of stone) ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. 1881 ජන සංගණනයට අනුව පොම්පරිප්පු ග්‍රාමයේ නිවාස 7 ක පුද්ගලයන් 22 සිට ඇති අතර 1891 එය නිවාස 3 ක පුද්ගලයන් 11 දක්වා පහත වැටී ඇත. 1901 වන විට තිබී ඇත්තේ එක් නිවසක් පමණි. පුද්ගලයන් 5 කි. ඔවුන් ද්‍රවිඩ ජනවර්ගයට අයත් ක්‍රිස්තියානි ආගම අදහන 4 ක් සහ එක් හින්දු බැතිමතෙක් වූ බව පැවසේ. පොම්පරිප්පු පත්තුවේම මුළු ජනගහණය 1901 වන විට පුද්ගලයන් 53 වී තිබූ අතර නිවාස තිබී ඇත්තේ 5 පමණි. එයින් 6 ක් පහත රට සිංහල වූ අතර 47 ද්‍රවිඩ විය. ඉන් බහුතරය හින්දු ආගම ඇදහූවන් වූ අතර (34) සෙස්ස ක්‍රිස්තියානි (14) සහ බෞද්ධ (5) විය.
පොම්පරිප්පු ආර  ( සිතියමේ අංක 1 ස්ථානය)
මේ වන විට මෙම සියළු ප්‍රදේශ විල්පත්තු වනෝද්‍යානය තුල පිහිටා ඇති හෙයින් පූර්ව ඓතිහාසික යුගයේ සිටම මානව ජනාවාස පැවති උරුවේල හෙවත් මහවැලිගම නොහොත් පසුව පොම්පරිප්පු (හෝ කෝකිල සන්දේශයේ දැක්වෙන ලෙසට පොන්පරප්පුව ) පෙදෙස අද වන විට එවන් මානව ක්‍රියාකාරකම් නීත්‍යානුකූලව තහනම්, වන සතුන් උදෙසා වෙන්වූ කලාපයක් බවට පත් වී ඇත. අනාගතයේ කිසියම් දිනක නැවත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ මෙම ප්‍රදේශය තුල සිදු කලහොත් වන ප්‍රවාහය විසින් වසා ගත් බොහෝ තොරතුරු සොයා ගත හැකි වනු ඇත.

* ඇත්ත වශයෙන්ම මෙම මාර්ගයේ මුල් කොටස B379 ලෙසින් හැඳින්වෙන පුත්තලම - මරිච්චුකඩ්ඩි මාර්ගයයි. එතැන් සිට වන්කාලෙයි දක්වා B403 මාර්ගය ඔස්සේ මන්නාරම දෙසට ලගාවිය හැක. වන්කාලෙයිදි B403 මාර්ගය තලෙයිමන්නාරම දක්වා යන මැදවච්චිය සිට එන A14 මාර්ගයට එක්වේ.

මූලාශ්‍ර
  • Settlement Patterns of the Malvatu Oya and Kala Oya Basins, A Study in the Historical, Geography of Sri Lanka, P. Vidanapatirana, 2010
  • මාර්ග පුරාණය, පී විදානපතිරණ, 2016
  • Ceylon Gazetteer, Simon Casie Chitty, Modliar, 1834
  • Ancient Irrigation Works in Ceylon, R.L. Brohier, 1934
  • Wilpattu, Villus and Beyond, Compiled by Vimukthi Weeratunga, 2009
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Administration Report of the Commissioner of Archaeology for the Year 1979, de Silva R.H. & Karunaratne W.S.
  • Administration Report of the Commissioner of Archaeology for the Years 1970-1977, de Silva R.H.
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • වංසත්ථප්පකාසිනිය, මහාවංශ ටීකාව - සිංහල අනුවාදය, අකුරැටියේ අමරවංශ නාහිමි සහ හේමචන්ද්‍ර දිසානායක , 1994
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • සිංහල අනුවාද සහිත දීපවංස, පොහොද්දරමුල්ලේ ඤාණානන්ද මහාස්ථවිර, 1927
  • Gazetteer of the Puttalam District of the North-Western Province of Ceylon, Frank Modder, F.R.G.S., 1908
  • මහාවංස 1 වෙළුම, මහානාම අනුවාදයේ  මොග්ගල්ලාන සංස්කරණය මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012

Sunday, January 7, 2018

කලාඔය නිම්නයේ "අලුතින් සොයාගත්" පැරණි දාගැබ - නවාගල

ගෙවෙමින් පවතින්නේ අන්ත ජාතීවාදින්ගේ මනදොළ සපුරන පාලකයන් රජවී සිටින, වසර දහස් ගනනක සිංහල බෞද්ධ සභ්‍යත්වය වලපල්ලට දක්කන අධම යුගයකි. පුරාවිද්‍යා බලධාරීන් බලාසිටියදී සාම්පූර්හි සුදකුඩා දාගැබ ඩෝසර් කිරීමට තරම් දෙමළ ජාතිවාදීන් ඔවුන්ට කප්පම් දෙන පාලකයන්ගේ බලය අතට ගෙන ඇත. මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් නැගුන විරෝධය නිසා එම දාගැබ ඩෝසර් කල පුද්ගලයන්ට මේ වන විට නීතිය ක්‍රියාත්මක වෙමින් පැවතුනද, ඩෝසර් කල දාගැබෙහි ඓතිහාසික සාධක සහිතව නැවතත් එය තිබූ ආකාරයෙන් ගොඩනැගිය නොහැක. සීගිරි කැටපත් පවුර කුරුටු ගා හසුවූ දෙමළ තරුණියට ලැබුන අයුරින්ම ඊණියා සහජීවනය වෙනුවෙන් ජඩපාලනය යටතේ වරප්‍රසාද ලත් සුළු ජාතිකයන් වන බැවින් ජනාධිපති සමාව වුවද ඉදිරියේදි වැරදිකරුවන් වුවහොත් විනාශ කල දාගැබ අසල කෝවිලේ භාරකාරිත්වයටද ලැබීමට ඉඩ ඇත. ඩෝසරය පැදවූ සිංහල ජාතිකයන්ට නම් නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක වනු ඇත. කෙසේ වුවත් මෙම ලිපියෙන් අප ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ එවන් ඉරණමක් අත් නොවී මේ වන විට නැවතත් බෞද්ධ බැදිමතුන්ගේ වන්දනාමානයට ලක්විමට තරම් වාසනාව ලද කලා ඔය නිම්නයේ පිහිටි පැරණි දාගැබක නූතන ඉතිහාසයයි.

වෙල්යායකින් වටවූ නවාගල ස්ථූපය 2005 වසරේදී දිස්වූ ආකාරය
ප්‍රධාන වශයෙන් පැරණි  අඟලේ සිතියම් වල දැක්වෙන තොරතුරු උපයෝගි කරගනිමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන පිළිබඳව සොයමින් සිටි අප කිහිප දෙනෙකු හට 2005 වසරේදි කටියාව යාය 1 ගම්මානයේ වෙල් යායකින් වටවූ මීටර් 15 පමණ උස ස්ථූප ගොඩැල්ලක් දක්නට ලැබුනි. නාවාගල පුරාණ රජමහා විහාරය නමින් හැඳින්වෙන විසිවන සියවසේ ආරම්භ කරන ලද විහාරයක්ද එම ස්ථානයේ තිබූ අතර විහාර භූමිය පුරා පාදම් ගල්, සිංහ සහ ඇත් රූප වල විනාශ වූ කොටස්, ගල් කණුවක තිබූ ගෙවිගිය සෙල්ලිපියක්, විනාශ කල හිටි පිළිමයක කොටස් කිහිපයක්, නාග රුවක් සහිත මුරගලක් සහ වෙනත් මුරගලක කොටස්, පැරණි ගඩොල් මෙන්ම විහාරයේ නායක හිමියන් විසින් විහාර භූමියේ තිබූ සොයාගත් මැටි සහ අගස්ති පබළු ආදිය අපට දක්නට ලැබුනි. එම තොරතුරු ප්‍රදේශයේ එවැනි වෙනත් ස්ථාන කිහිපයක්ද සමගින් 2006 වසරේ ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය මහින් පලකල "ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා" ලිපි සංග්‍රහයේ දෙවන වෙළුමට ධනේෂ් විසුම්පෙරුම සහ පිරිස විසින් "එප්පාවල ප්‍රදේශයේ අප්‍රකට පුරාවිද්‍යාත්මක ස්ථාන" ලෙසින් ඉදිරිපත් කල ලිපියෙන් ප්‍රකාශයට පත්කර ඇත.
නවාගල ස්ථූපය කැනීමට පෙර සහ පසු
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන වාර්තා වල මේ ස්ථානය ගැන සඳහනක් මුල් වරට 1960 වසරේදි දක්නට ලැබෙන අතර පැරණි දාගැබේ මළුව දක්වාම වී වගාව පැතිර තිබූ බවත්, වගා කටයුතු සහ වෙනත් ඉදිකිරීම් නිසා මෙහි තිබූ වෙනත් නටබුන් විනාශ වී ගොස් ඇති බවත් පිළිවෙලින් 1960 සහ 1968 වසර වල පලවූ එම වාර්තාවන්හි දැක්වේ. මේ ආශ්‍රිත ප්‍රදේශයේ වෙනත් ස්ථාන කිහිපයක් සම්බන්ධයෙන්ම 1895 වසරේ පුරාවිද්‍යා පාලන වාර්තාවේ තොරතුරු ඉදිරිපත් කරන H.C.P. බෙල් මහතාට මෙම ස්ථානය හමුනොවූ බව එම වාර්තාවෙහි ඒ ගැන සඳහන් නොවීමෙන් පැහැදිලි වේ. නවාගල පැරණි ස්ථානය ලෙසින් සංස්කෘතික අමාත්‍යාංශය මගින් 1972 වසරේ ප්‍රකාශිත පැරණි ස්ථාන නාමාවලියේ මෙම ස්ථානය ගැන සඳහන්වේ. එම ස්ථානයේ ජරාවාස වූ පැරණි දාගැබක් ඇති බව එහි සඳහන්වේ.
ස්ථානයේ විසිර තිබූ මුරගල් (1,2), කැටයම් කල පාදම් ගල්(3),අගස්ති සහ මැටි පබළු(4) සිංහ රූපයක අවශේෂ(5), සහ කැනීමෙන් සොයාගත් කැටයම් කල ගඩොලක්(7) සහ ධාතු තැන්පත් කරතිබූ ගල් කරඬු (6)
මෙවන් තොරතුරු මේ ස්ථානය සම්බන්ධයෙන් පළවි තිබූ මුත් 2009 වසරේ ජූලි මස ලංකාදීප පුවත්පතට පුවත් වාර්තාවක් සපයන එක්තරා "රිපෝටර්වරයෙකු" පවසා තිබුනේ එප්පාවල ප්‍රදේශයේ පැරණි විශාල දාගැබක් අලුතින් සොයාගෙන ඇතිබවය. එසේම එහි වැඩිදුරටත් සඳහන් වූවේ අප කිසි දිනක අසා නැති අමුතුම කතාන්දරයකි. පුරාවිද්‍යාව හා සම්බන්ධ උගත් මහාචාර්යතුමෙකු පැවසූ බව පවසමින් එම "අතේරෝල් බෝතල් පත්තරකරුවා" (ගොට්ට ඇල්ලීමේ සහ අනුන්ගේ ඡායාරූප උගේ වගේ පලකිරීමේ දක්ෂයෙකු වූ මොහු දැනට රටේ ඉහලම පුද්ගලයෙකුගේ උපදේශකයෙකි ) පවසා තිබුනේ මෙම ස්ථූපය උඩට නැගගත්විට අනුරාධපුරයේ පිහිටි මහා ස්ථූප පවා දිස්වන බවත්, පෙරකල අනුරාධපුරයට යාමට නොහැකිවූ මෙම ප්‍රදේශයේ ජනයා මෙම ස්ථූපය මුදුනේ සිට ඒවා වන්දනා කල බවත්ය (සිනානොවන්න ඔහු අද ඔහු වැනිම කප්පරක් බොරු පවසා ජනතාව මුලා කල චේතිය රජකුගේ උපදේශකයෙකි.)
වම - පසුකාලීනව විශාල කල දාගැබේ ගඩොල් ගැලවූ විට දිස්වන මුල් කාලීන ස්ථූපයේ ගඩොල් බැම්ම, දකුණ - මතුකරගනිමින් පවතින පේසාවලලු සහ ස්ථූප පාදම
පසු කලක මෙම දාගැබ කැනීම් කර සංරක්ෂණය කල අතර කැනීමෙන් පසු ගත් ඡායාරූප කිහිපයක් මේ සමග පලවේ. අන්තර්ජාලයේ පලවී ඇති තොරතුරු අනුව අද වන විට එය නැවතත් බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමානයට ලක්වන ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කර ඇත. Link >> කෙසේ නමුත් එම ස්ථානය ආශ්‍රීතව ගොඩනැගී ඇති "නූතන ජනප්‍රවාද" කොතරම් දුරට නිවැරදිදැයි අප නොදනිමු. අප දන්නා තරමින් කැනීම් වාර්තා පලවී නොමැති මුත් ස්ථානයේ ඉතිහාසය සම්බන්ධව ගඩොල් විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් කාල නිර්ණය  ක්‍රි.ව. 200 ත් 900 ත් අතර කාලයට අයත් වේ.  එසේම මේ සමග පළකර ඇති ඡායාරූප වලද දිස්වන ආකාරයට කලින් ඉදිකර තිබූ ස්ථූපයක් තරමක් විශාල කරමින් කිසියම් කාලයකදි මෙම ස්ථූපය නැවත ඉදිකර ඇති බව සොයාගෙන ඇත.
කැනීමෙන් මතුකරගත් පැරණි ගඩොල් මල් ආසනයක්(1), ස්ථූප පාදමේ පැරණි හුණු කපාරාරුව ඉතිරි වී ඇති ආකාරය (2), ස්ථූප පාදම (3), යූප ගල(4) සහ සිරිපතුල් ගලක් (5)
මූලාශ්‍ර
  • Ian K. Bailiff et. al., 2013, Luminescence dating of brick stupas: An application to the hinterland of Anuradhapura, Sri Lanka. Antiquity · March 2013.
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • විසුම්පෙරුම, ධනේෂ් සහ පිරිස, 2006, එප්පාවල ප්‍රදේශයේ අප්‍රකට පුරාවිද්‍යාත්මක ස්ථාන, ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා, වෙළුමට 2, 2006


Wednesday, November 16, 2016

රජරට අප්‍රකට පැරණි පුදබිම් 2 - වක්වූ නැහැයක් වූ තිස්ස කරවූ කාඩිගල මංගලාරාමය.

අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්ක මායිම් වන කලා ඔය හරස් කර බැඳි රාජාංගන ජලාශය සමීපයේ වර්තමානයේ කාඩිගල ලෙසින් හැඳින්වෙන කුඩා කඳු ගැටයක් මත  මාර්ගය ආසන්නයේ සිට පර්වතය මුදුනට නැගීමට ගලේ කපන ලද පියගැටපෙලක් දිස්වේ. ගල් පඩි 400 ක පමණ ප්‍රමාණයක් නැග කඳු මුදුනට පැමිණි කල නිධන් කොල්ලකරුවන් විසින් විනාශ කරන ලද තරමක විශාල ස්ථූපයක නටබුන් දැකිය හැක. පර්වතය පාමුල සහ අතරමගද කුඩා ස්ථූප හෝ වෙනත් ගොඩනැගිලි වූ බවට සාධක ඇතිමුත් ඒවා බෙහෙවින්ම විනාශ කර දමා ඇත. 
මේ ස්ථානය පිළිබඳව මෑත යුගයේ මුල්ම සඳහනක් හමුවන්නේ එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ H.C.P. බෙල් මහතා විසින් වර්ෂ 1895 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලන වාර්තාවේ තැබූ සටහනකය. විලච්චි කොරලයේ සීමාව ආසන්නයේ කලා ඔයේ වම් ඉවුරේ කාඩිගල නම් වූ ගල් පර්වතයේ මුදුනට නැගීමට තිබූ දිගු පඩිපෙල ආරම්භ වන ස්ථානයේ 'ගාමිණි අභය' කරවූ ශිලා ලේඛනයක් ගැන මෙන්ම නටබුන් වූ දාගැබක් සහ එවකට ගඩොල් ගොඩක් බවට පත්ව තිබූ  කලකට ඉහතදී විහාරයක්ව තිබූ ලෙනක දැකිය හැකි වූ බුද්ධ සහ විෂ්ණු ශිලා ප්‍රතිමා දෙකක් ගැනද ඔහු විස්තර කරයි. කඳු මුදුනේ තිබූ දෙවෙනි දාගැබ කිසිවෙකු විසින් හෝ විනාශ නොකර තිබූ අතර එහි ශිලාමය කොත එය තිබිය යුතු ස්ථානයේම තිබූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මේ සමග පලවන රූපයේ දැක්වෙන්නේ බෙල් සඳහන් කල ස්ථූපයේ වර්තමාන ස්වරූපයයි. කොත තිබූ ස්ථානයේ අඩි ගනනාවක් පහලට හෑරූ වල අනිත් රූපයෙන් දැක්වේ. පැරණි ආගමික ස්ථාන වල අගනා වස්තුව ඇතැයි යන මිත්‍යාවෙන් පෙලනු ලැබූ අමනයන් විසින් එම අගනා ජාතික උරුමය සදහටම වනසා දමා ඇත.  මිට අමතරව විහාර ගෙයක් තිබූ බවට බෙල් සඳහන් කරන පර්වතය පාමුල වූ ගල් ලෙනේ මේ වන විට දේවාලයක් පිහිටුවා ඇත.

H.C.P. බෙල් සඳහන් කරන ශිලා ලිපිය පසු කලක නිවැරදිව කියැවූ සෙනරත් පරණවිතාන මහතා එය වහබ රජුගේ පුත් වූ තිස රජ විසින් සිය මව් වූ ජිත දේවියට පිං පිණිස යමක් කරවූ බව සදහන් වන ලිපියක් බව පවසයි. ලිපියෙන් ඔහු විසින් කරවූ දෙය පැහැදිලිව ඉදිරිපත් නොවන මුත් එය පිහිටවූ ස්ථානය සහ එහි වර්තමානයේ දැකිය හැකි නටබුන් අනුව එය මේ ස්ථානයේ තිබූ ආරාමය බව පැහැදිලිය. ශිලා ලිපියේ දැක්වෙන වහබ රජු වසබ රජු (ක්‍රි.ව. 65-109) බවත් තිස ලෙසින් හැඳින්වෙන ඔහුගේ පුතු වංකනාසික තිස්ස (වක් වූ නහයක් ඇති තිස්ස ) ලෙසින් මහාවංශ කතෘ නම් තැබූ රජු (ක්‍රි.ව. 109-112) ලෙසත් පහසුවෙන් හඳුනාගත හැක. මේ හඳුනාගැනීම තවදුරටත් තහවුරු වන්නේ මහාවංශයේ වංකනාසික තිස්ස රජු ගැන සදහන් වන විස්තරයේ දැක්වෙන වෙනත් සදහනකිනි. මහාවංශ කතෘ වංකනාසික තිස්සගේ තුන් අවුරුදු පාලන කාලය පිළිබඳ වූ කෙටි විස්තරයේ ඇතුලත් කරන එකම වැදගත් කටයුත්ත නම් ඔහු විසින් ගෝණ නදී තීරයේ කල මහාමංගල නම් වූ විහාරයයි. 
රාජාංගනය ජලාශය සහ කාඩිගල පර්වතය
 වංශ කතා වල එන ගෝණ නදිය යනු වර්තමානයේ කලා ඔය ලෙසින් හැඳින්වෙන නදිය බව හඳුනාගෙන ඇත. ඒ අනුව කලා ඔය හරස් කර මෑත කාලයේ තැනවූ රාජාංගන ජලාශය ඉවුරේ වූ මෙම ස්ථානයේ එවකට වූ විහාරය වංකනාසික තිස්ස රජු කරවූ මහාමංගල වෙහෙර බව පැහැදිලිය. (දීපවංශයද වසබ රජුගේ පුත් තිස්ස විසින් මංගල නම් වූ ආරාමයක් කල බව පවසන මුත් එය පිහිටි ස්ථානය ගැන කිසිවක් සඳහන් නොකරයි.)
පර්වතය මුදුනේ ඇති කටාරම් කෙටූ ලෙනක්
මහාවංශයේ සඳහන් වන ලෙසට වසබ රජු තම අගමෙහෙසිය ලෙස පත් කරගත්තේ ඔහුට රජය ගැනීමට උපකාරී වූ පොත්ථා නමින් හැඳින්වූ  සිය මාමාගේ බිරිඳය. මෙම ශිලා ලේඛනයේ සඳහන් වන වසබ රජුගේ පුත් තිසගේ මව වන ජිත දේවිය යන්න සමග නම් එය නොගැලපේ. ඇතැම් විට වසබ රජුට වඩා බෙහෙවින් වැඩි වයසින් යුත් පොත්ථා අභාවයට පත් වූ පසු අභිෂේක කල අගමෙහෙසිය ජිත දේවිය විය හැක.

ආශ්‍රිත පෙර ලිපි
මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • The Deepavamsa, Hermann Oldenberg, 1879
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Inscriptions of Ceylon Vol II, Part I. Late Brahmi Inscriptions, Containing rock and other inscriptions from the reign of Kutakanna Abhaya (41 B.C. - 19 B.C.) to Bhathiya II (140-164 A.D). Senarat Paranavitana, 1983
  • ජාතික උරුමය පණගන්වන ගලේ කෙටූ අකුරු - 1, එල්ලාවල මේධානන්ද හිමි, 2016
  • අනුරාධපුර යුගය, අමරදාස ලියනගමගේ සහ රණවීර ගුණවර්ධන,1965
  • Bell H.C.P., 1904, Archaeological Survey of Ceylon, North Central, Sabaragamuwa, Central And North - Western Provinces, Annual Report 1895.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.