Showing posts with label Tamil Inscriptions. Show all posts
Showing posts with label Tamil Inscriptions. Show all posts

Monday, November 30, 2015

සිංහලේ දෙමළ සෙල්ලිපි 3 - 'විජයරාජ චතුර්වේදීමංඟලම්' හි 'විජයරාජ ඊස්වරම්' තැනූ පළවෙනි විජයබාහු

වසර 77 ක සොලි පාලනයෙන් (993-1070) සිංහලේ මුදවාගත් විජයබාහු (1055-1110) රජු ගැන S. පරණවිතාන සහ C.W. නිකොලස් සංක්ෂිප්ත ලංකා ඉතිහාසයක් කෘතියේ මෙසේ පවසයි.

 "..රණකාමිත්වය අතින් මේ රජු ඉක්මවා යන වෙනත් එක  ද සිංහල රජෙකුවත් නැත්තේය. 'විජයබාහු කෙනෙකු නොවී නම් අද ලංකාවේ සිංහලයන් නොසිටින්නට ඉඩ තිබිණැ' යි පැවැසීම අත්ශයෝක්තියක් විය හැකිය. එහෙත් සිංහලයන්ට ස්වාධීනත්වය ලබාදීමේ පුරෝගාමියාත්, සිංහල ජාතිය ගොඩනැගුවන් අතර ප්‍රමුඛයාත් ඔහු බව නම් නිසැකය."

වර්ෂ 1933 දී පරණවිතාන මහතා කන්තලේ ප්‍රදේශයේ පාලම්මෝට්ටයි නම් ස්ථානයක පැරණි ශිව කෝවිලක නටබුන් අතරින් දෙමළ සහ ග්‍රන්ථ අක්ෂර වලින් රචිත පුවරු ලිපියක් සොයාගනී. පාදමට සහ කණු වලට පමණක් ගල් යොදාගනිමින් ගඩොල් වලින් කර තිබූ එම කෝවිල ඒ වන විට ගරාවැටී කැලයට යට වී තිබී ඇත.

දෙමළ භාෂාවෙන් කල එම ලිපියේ අරමුණ කන්තලායි හි හෙවත් විජයරාජ චතුර්වේදීමංඟලම් හි පිහිටි තෙන් කයිලාසම්  (දකුණු කයිලාසම්) හෙවත් විජයරාජ් ඊස්වරම් හි වැඩවසන ශිව දෙවියන්ට කල පූජාවක් පිළිබදව සටහන් කර තැබීමය. නැසී ගිය සිය සැමියා වන කාරාම්බචෙට්ටු යජ්ඤියක්‍රමවිට්ටන් බ්‍රාහ්මණයා වෙනුවෙන් ඔහුගේ බිරිය වන නාගායිච්චානී විසින් මෙම පූජාව සිරි සංඝබෝධි වර්මන් හෙවත් ශ්‍රී විජයබාහු දේවර් රජුගේ (එනම් පළමුවැනි විජයබාහු රජුගේ ) 42 වන රාජ්‍ය වර්ෂයේදී සිදු කර ඇත.

මෙම ලිපියට අනුව වර්තමානයේදි කන්තලේ යනුවෙන් හැදින්වෙන පූජාවලියට අනුව දෙවෙනි අක්බෝ (604-614) රජු ගඟතලා වැව කරවූ, එසේම නිශ්ශංකමල්ල රජු ඔහුගේ පොළොන්නරුව රන්කොත් වෙහෙර ටැම් ලිපියට අනුව සියලු මසුන්ට අභයදානය පිරිනැමූ ගඟතලා වැව පිහිටි, මෙම ලිපියෙහි කන්තලායි යනුවෙන් හැඳින්වෙන පුරවරය එකල හැඳින්වූ තවත් නමක් වන්නේ විජයරාජ චතුර්වේදීමංඟලම් වේ. **

දකුණු ඉන්දීය දෙමළ සෙල්ලිපි වල නිතර හමුවන චතුර්වේදිමංඟලම් යනු බ්‍රාහ්මණයන් සිටින ගම් හඳුන්වන වචනයකි. ඒ අනුව බොහෝ විට 11 වන සියවසේ චෝල පාලනයට රජරට නතු වූ කාලයේ සිටම මෙම ප්‍රදේශයේ බ්‍රාහ්මණ ගමක් තිබුනා විය හැක. විජයබාහු රජුගේ කාලයේද එයට රජුගේ අනුග්‍රහය සහ ආශිර්වාදය ලැබුන හෙයින් එකල එය විජයරාජ චතුර්වෙදීමංඟලම් යනුවෙන් හැදින්වූවා විය හැක. එය අඛන්ඩව තවත් වසර 100 පමණ තිබූ බවට නිශ්ශංකමල්ල රජු කන්තලේ ගල් ආසන ලිපියේ එම ප්‍රදේශය චතුර්වේද බ්‍රාහ්මණපුර ලෙස හැඳින්වීමෙන් පැහැදිලි වේ (නිශ්ශංකමල්ල රජුගේ කන්තලේ ගල් ආසන සෙල් ලිපියට අනුව ඔහු චතුර්වේද බ්‍රාහ්මණපුරයේ පාර්වති නම් වූ දන් ශාලාව කරවන ලදී). එහි පිහිටි ශිව දෙවොල විජයරාජ ඊස්වරම් යනුවෙන් හැඳින්වීමෙන් බොහෝවිට එය විජයබාහු රජු ඉදිකල හෝ ඔහුගේ අනුග්‍රහය ලැබූ ස්ථානයක් බවට අනුමාණ කල හැක.

සොලී බලමුළු වලින් සිංහලයන් මුදාගත් සිංහල බෞද්ධ පාලකයකු සොලී දේශපාලන බලය මැඩපැවැත්වූ පසුවද මෙරට හැරදා නොගිය හින්දු ආගම අදහන ද්‍රවිඩ බ්‍රාහ්මණයන්ට අනුහ්‍රහය දැක්වූ අයුරු කෙතරම් කදිමද? ලොව වෙන යම් හෝ ජාතියක ආගමක දේශපාලන නායකයෙකුගෙන් තම සතුරාට එවන් අනුග්‍රහයක් ලැබි ඇත්ද?

සම්බන්ධිත පෙර ලිපි
මූලාශ්‍ර
        ** නිකාය සංග්‍රහයේ සඳහන් වන පරිදි දඹදෙනියේ රජ කම් කල දෙවැනි පරාක්‍රමබාහු රජු ගංතළා ඇතුලු තවත් තැන් කිහිපයක කඳවුරු බැඳ සිටි දෙමළ, මළල, ජාවකාදි වූ  සතුරු වියවුල් සන්සිඳවූහ.

  • * A Concise History of Ceylon, C.W. Nicholas & S. Paranavitana 1961 - සිංහල පරිවර්තනය - > සංක්ෂිප්ත ලංකා ඉතිහාසයක්, පරිවර්තන සංස්කාරක ඇස්. බී හෙට්ටිආරච්චි, 2005
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume IV, Edited by S.Paranavitana, 1934-1941
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume IV, Edited & Translated by D.M.de. Z. Wickramasinge, 1912-1927
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය 1997

Wednesday, October 28, 2015

සිංහලේ දෙමළ සෙල්ලිපි 2 - දෙමළ ටැම් ලිපි මත ඉදිවූ බුදුමුත්තෑව විහාරය

 කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ආසන්නයේ බුදුමුත්තෑව නම් ගමෙහි පිහිටි මහනුවර යුගයේ ඉදිකල ටැම්පිට විහාරයක, වෙනත් පැරණි නටබුන් ගොඩනැගිල්ලකින් රැගෙන ආ බවට විශ්වාස කල හැකි දෙමළ සෙල්ලිපි දෙකක් සහිත ගල් ටැම් දෙකක් හමුවේ.  දෙමළ සහ ග්‍රන්ථ අක්ෂර වලින් ලියා ඇති මෙම සෙල්ලිපි දෙකට අමතරව තවත් දෙමළ පුවරු ලිපියක් මෙම ස්ථානයේ ඇති මුත් එය කියවීමට නොහැකි තරමටම ගෙවී ගොස් ඇත.  එඩ්වඩ් මුලර් (Dr. Edward Muller) මහතා සිය Ancient Inscriptions in Ceylon ග්‍රන්ථයේ 1883 දී මුල්වරට මේ ලිපි තුන පිළිබදව සදහන් කරන මුත් එම ලිපි වල අන්තර්ගතය ඔහුට තේරුම් ගැනීමට හැකි වී නැත. පලමුවරට ඒවා සම්පූර්ණයෙන් කියවා පලකරන්නේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා විසින් 1933 පලකල Epigraphia Zeylanica තුන්වන වෙලුමෙහිය.

බුදුමුත්තෑව ටැම්පිට විහාරය
 මින් එක් ලිපියක් පිහිටුවා ඇත්තේ අභය සිලාමේඝ ජයබාහු (ලිපියේ දැක්වෙන ලෙසට අභය සලාමේඝ ශ්‍රී ජයබාහු දේවාර්) රජුගේ 8 වෙනි රාජ්‍ය වර්ෂයේදී බව එහි සදහන් වේ. මේ නමින් පොළොන්නරුව අගනුවර කරගනිමින් රාජ්‍යය විචාලේ චෝල යටත්විජිත පාලනයෙන් සිංහලේ මුදාගත් පළමුවෙනි විජයබාහු රජුගේ සහෝදරයකු සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ පළමුවෙනි ජයබාහු ලෙස පරණවිතාන මහතා හඳුනාගනී. ඒ අනුව යමින් සෙල්ලිපිය පිහිටවූ වර්ෂය ක්‍රි.ව. 1122 ලෙස සැලකිය හැකි බව ඔහු නිගමනය කරයි.

ලිපියේ අන්තර්ගතයේ දැක්වෙන ලෙසට වීරබාහුදේවාර් ගේ නිලධාරින් විසින් කම්මල් කරුවන් හට (Blacksmiths) රජකයන් (Washermen) විසින් පෙර සිරිත් ලෙස කල යුතු රාජකාරී ඒ අයුරින් ඉටුකල යුතු බවට පැණවූ නියෝගය ගැන සදහන් කරමින් මෙම ලිපිය පිහිටුවා ඇත්තේ මක්කලිංගම් කනවඩි නම් පුද්ගලයෙකි. කුම්මාරචේන නම්බනන් හෙවත් විජයබරනන් ඇතුළු තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගේම නම්  සාක්කිකරුවන් වශයෙන් මෙහි සදහන් වන මුත් සිංහල පුද්ගල නම් සහ ස්ථාන නාම දෙමළ ඌරුවකින් සදහන් කරන්නට යෑම හේතුවෙන් ඒවා පැහැදිලිව වර්තමානයේ සිංහල හෝ දෙමළ උගතුන්ට හඳුනාගත නොහැකි වී ඇති බව පරණවිතාන මහතා සදහන් කරයි. රජකයන් විසින් කම්මල්කාර කුලයේ පුද්ගලයන්ට සැපයිය යුතු පාවඩ රෙදි, කොටසලු සහ මෘතදේහ වල මුහුණු වැසීමට ගන්නා සලු ලබාදීමෙන් වැලකී සිටි අවස්ථාවේ පෙර සිරිත එසේ නොවන බවත් එම දේවල් ඔවුන්ට ලබාදීම රජකයන්ගේ රාජකාරීයක් බවත් සදහන් කරමින් මෙම නියෝගය පනවා ඇත.

කියවිය නොහැකි ලෙස විනාශ වූ පුවරු ලිපිය
 වර්තමානයේ බිත්තියකට අල්ලා ඇති අයුරු
මෙහි සදහන් වන් වීරබාහු (වීරබාහුදේවාර්) යනු මෙම ප්‍රදේශය අයත්වන දක්ෂිණ දේශය මේ කාලයේ පාලනය කල මහා පරාක්‍රමබාහු රජතුමාගේ පියානන් වන මානාභරණ හැදින්වූ තවත් නමක් බව මහාවංශයේ පැහැදිලිව සදහන් කර ඇත. තවද මෙම ලිපියේ සදහන් වන කරුණු තහවුරු කරමින් මහාවංශයේ එන සදහනකින්ද ගම්‍ය වනුයේ මානාභරණ (වීරබාහු ) ඇතුළු මෙම අරාජීක යුගයේ රටේ විවිධ ප්‍රදේශ පාලනය කල රජවරුන් සිව්දෙනාම පැරණි කුල සිරිත් වලට  ගරු නොකල බවය.  (....අපරික්ෂාකාරී බැවින් උසස් කුලවතුන් පිරිහෙලුහ. හීන වූ ස්වාභිමත ජනයන් මහත් තන්හී තැබූහ.- මහාවංශය 61 වැනි පරිච්චේදය)
සෙල්ලිපි සහිත කුළුණු ටැම්පිට විහාරයට
 යොදාගෙන ඇති අයුරු

වසර 40 ක පමණ දිගු චෝල යටත් විජිතවාදී පාලනයකින් මිදී දශක කිහිපයකට පසුත් චෝල සම්භවයක් සහිත ද්‍රවිඩ පුද්ගලයන් මෙරට වයඹ දිග ප්‍රදේශයේ රැදී සිටිය බවත්, ඇතැම් විට ඔවුන් ප්‍රාදේශියව යම් පරිපාලන බලතල සහිත ප්‍රභූන් ලෙස සමාජයේ ඉහල තලයේ වැජඹුන බවත්, ඔවුන් පෙර සිට පැවැති කුල සිරිත් පවා ද්‍රවිඩ නොවන මානාභරණ වැනි පාලකයන් හරහා වෙනස් කිරීමට තරම් බලයක් ඇතිව සිටි බවත් (මහාවංශයේ එන සදහන විශ්වාස කරන්නේ නම්) මෙම ලිපියෙන් පැහැදිලි වේ. කෙසේ නමුත් පසුකාලීනව මෙම නියෝගය සදහන් සෙල්ලිපිය මත එම ප්‍රදේශයේ ජනතාව විසින්ම ටැම්පිට විහාරයක් තැනවීමෙන් සංකේතාත්මකව පිලිබිඹු වන්නේ එම ද්‍රවිඩයන් කාලයත් සමග සිංහල ජනවර්ගය තුලට අවශෝෂණය වී සිංහල බෞද්ධ සංස්කෘතිය වැලද ගත් බව නොවේද?

බුදුමුත්තෑව ටැම්පිට විහාරයේ ඇති දකුණු ඉන්දීය චෝල රජෙකු වන කුලෝත්තුංගගේ දියණිය විසින් පිහිටවූ දෙමළ සෙල්ලිපිය පිලිබඳ විස්තර සමග නැවත හමුවෙමු.

මූලාශ්‍ර

  • Ancient Inscriptions in Ceylon collected and published for the government by Dr. Edward Muller, 1883
  • Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume III, 1933
  • මහාවංශය (සිංහල සංස්කරණය )
සම්බන්ධිත පෙර ලිපි


Thursday, October 15, 2015

සිංහලේ දෙමළ සෙල්ලිපි 1 - මුන්නේස්වරමට ගම්වර පිදූ 6 වැනි පැරකුම්බා

6 වැනි පැරකුම්බා යනු අවසාන වරට සිංහලේ එක්සේසත් කල රජු ලෙස සැලකේ. කෝට්ටේ හෙවත් ශ්‍රි ජයවර්ධනපුර රාජධානිය කරගනිමින් රාජ්‍යය විචාල එතුමන් ද්‍රවිඩයකු වන සපුමල් කුමරු හෙවත් සෙම්බගප් පෙරුමාල් යවා ආර්ය චක්‍රවර්තිගෙන් යාපාපටුන මුදාගත් බව කෝකිල, සැළලිහිනි සංදේශ වැනි සමකාලීන සාහිත්‍ය මූලාශ්‍ර කිහිපයකින් මෙන්ම රාජාවලිය වැනි ඉතිහාස ග්‍රන්ථ වලින්ද හෙලිවේ.

කිනම් කලක ආරම්භ වී දැයි නිශ්චිතවම කීමට පිලිගත හැකි සාධක නොමැති මුත් කෝට්ටේ යුගය වන විට මුන්නේස්වරම  දේවාලය තිබූ බවට ක්‍රි.ව. 1441 - 1446 කාලයේ ලියවුන කෝකිල සංදේශයේ එන මෙම කවියෙන්ද පසක් වේ.

පැල දිඟු වෙනුර සරහන කොතබු මිණ ලෙසින්
දළ රිවි බිඹු බබළත වෙසෙස සහ රසින්
දළ සඳ පිහිටි මුන්නේ සරම දැක තොසින්
ලෙළ තුඟු තුරෙක වැද සැතපෙන්න සිතුලෙසින්

මෙහි 'දළ සඳ' ලෙසින් හැදින්වෙන්නේ මෙහෙසුරු හෙවත් ඊස්වර දෙවියන් බැවින්, මුන්නේස්වරම යනු ඊස්වර දෙවියන් වෙනුවෙන් වූ දෙවොලක් බව පෙනේ. එසේම 'මුනි' සහ 'ඊස්වරම්' යන වචන එකතු වීමෙන් මුන්නේස්වරම යන්න සෑදී ඇති බවද සැලකිය හැක. මේ කාලය වන විට සලාවත් තොට (හලාවත) ජනාකීර්ණ වරායක්ව පැවති බැවින් ඒ ආසන්නයේ පිහිටි මෙම දෙවොලද මෙම නැව් තොටින් වෙළදාම සඳහා පැමිනි ශිව දෙවියන් අදහන දකුනු ඉන්දීය හින්දු භක්තික දෙමළ වෙළෙදුන්ගේ ජනප්‍රිය පූජනීය ස්ථානයක් වූවා විය හැක. එසේම මෙම සියවස් වල විවිධ දකුනු ඉන්දිය ජන කණ්ඩායම් වරින් වර මෙරටට සංක්‍රමණය වීම් සිදුවූ බවට සාධක ඇති බැවින් මෙරට බටහිර වෙරලේ පදිංචි වූ එම ජන වර්ග වල පුදපෙත් කටයුතු වෙනුවෙන් මුන්නේස්වරම ඉදිවූවාද  විය හැක. (මෙම ජන කණ්ඩායම් කුල ක්‍රමය යටතේ සිංහල ජාතිය තුලට අවශෝසනය වූ අතර පසු කාලීනව ඔවුන් හින්දු ආගම අතහැර කතෝලික සහ බෞද්ධ ආගම් වැලඳ ගත්හ. ඒ පිළිබඳව සවිස්තරාත්මකව පසුව සලකා බලමු ) තවද හලාවත කේන්ද්‍රගත කරගෙන සිදුවූ මුතු සහ වාලම්පූරි සෙවිම සදහා කිමිදීමේ කටයුතු වෙනුවෙන් දකුණු ඉන්දියාවෙන් මෙරටට වසරේ එම කිමිදීම් සිදුවන කාල වලදී පැමිණි දකුණු ඉන්දීය ද්‍රවිඩ ජනයාගෙන් නිතර වැඳුම් පිදුම් ලැබූ පුද බිමක් ලෙසටද ඇතැම් විට මුන්නේස්වරම පවතින්නට ඇත.

දේවාලයේ පාදමේ දැකිය හැකි සෙල්ලිපිය 
 අපගේ ප්‍රස්තුතය වන මෙම දේවාලයේ පිහිටි දෙමළ සහ ග්‍රන්ථ අක්ෂර උපයෝගි කරගනිමින් දෙමළ සහ සංස්කෘත මිශ්‍ර භාෂාවකින් ලියා ඇති සෙල් ලිපිය පිහිටුවා ඇත්තේ යාපා පටුන (වර්තමාන යාපනය ) අල්ලා ගෙන සිටි ඇතමුන් ද්‍රවිඩ රජෙකැයි පවසන ආර්ය චක්‍රවර්ති හෝ වෙනත් ද්‍රවිඩ සම්භවයක් ඇති රජ කෙනෙකු නොව කෝට්ටේ රජකම් කල සිංහල බෞද්ධ පාලකයකු වන හයවැනි පරාක්‍රමබාහු රජතුමාය. ආචාර්ය S. පත්මනාදන් මහතාට අනුව මෙම ලිපියෙන් කියවෙන ලෙසට පරාක්‍රමබාහු රජු ඔහුගේ 38 වන රාජ්‍ය වර්ෂයේදි මුන්නේස්වරම් දේවාලයේ ප්‍රධාන පූජක වරුන් කැඳවා දේවාලයේ කටයුතු කෙලෙසදැයි විමසා, පෙර එම පූජකයන්ට අයත්ව තිබූ මුන්නේස්වරම් ප්‍රදේශයේ ඉඩම් දේවාල බිම් ලෙස පවරාදී ඇත. තවද පූජක වරුන්ට ඉල්ලුප්ප දෙනියේ (Illuppa deni) අමුණු* 22 ක්ද, ප්‍රධාන පූජකයන්ට කෝට්ටයිපිට්ටි (Kottaipitti) හි අමුණු 30 සහ ටිට්ටක්කටයි (Tittakkatai) හි අමුණු 8 ක්ද පූජා කිරීමක් ලෙස දී ඇත. එසේම දිනපතා දවසට තුන්වරක් බත්, වෑංජන, බුලත් සහ සුවද වර්ගද, ප්‍රධාන පූජකයන්ට මාසිකව පනම් 30 බැගින් සහ අනෙකුත් පූජකවරුන්ට පනම් 11 බැගින්ද ඉර හඳ පවතින තුරා බදු රහිතව දීමනා දෙන ලෙසටද ඔහු  එයින් අණ කර ඇත. මෙම අණ කඩකරන්නන්ට දරුණු පස් මහ අපරාධ කරන්නන් රැස්කරන පව් ලැබෙන බවත් එහි අවසානයේ සටහන් කර ඇත.

සෙල්ලිපියේ කොටසක්
කෝට්ටේ යුගය අවසානය දක්වාම මෙම අණ ක්‍රියාත්මකව තිබී ඇත. පසු කාලීන පාලකයකු වන 9 වන පරාක්‍රමබාහු රජතුමාද 16 වන ශතවර්ෂයේ මුල් භාගයේ තඹ සන්නසක් මගින් තවත් ඉඩම් පවරාදීමක් මෙම දේවාලයට සිදු කර ඇත. එසේනම් එම අණ කඩකලෝ කවරහුද?

ප්‍රතිසංස්කරණය වූ මුන්නේස්වරම් දේවාලය
කෝට්ටේ රාජධානියේ සිංහල රාජ්‍ය බලය කෙමෙන් වියැකෙමින් යද්දී නැවතත් 'ශිෂ්ඨ සම්පන්න සුදු හම ඇති යුරෝපීයන්ගේ' ආගමික සහජීවනය සහ 'සිංහල බෞද්ධ ම්ලේච්චයන්' වන අපගේ ආගමික සහජීවනයේ වෙනස මැනවින් පසක් කරමින් දියෝගෝ ද මේලෝ (Diogo de Mello) යටතේ පෘතිගීසි බල සෙන් 1578 දී මෙම දේවාලය බිමට සමතලා කර න ලදි. පසුව මුන්නේස්වරම් පත්තුවේ දේවාලයට අයත් ගම් 62 ක් ජේසු නිකායේ (Jesuits) පූජකයන් 1606 දී ආරම්භ කල සාන්ත පාවුලු (St. Paul) දේවස්ථානයට පවරා දෙන ලදී.

17 වන ශතවර්ෂයේදී නැවතත් උඩරට සිංහල රාජධානියේ බලයට මෙම ප්‍රදේශය නතුවීමෙන් අනතුරුව, 18 වන ශතවර්ෂයේදී මුන්නේස්වරම නැවතත් ප්‍රතිසංස්කරණය වන්නේ රට පුරා විනාස වී තිබූ බෞද්ධ පුදබිම් අති විසාල ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණයට ලක් කල සිංහල බෞද්ධ සංස්කෘතිය වැලඳ ගත් දකුණු ඉන්දීය නායක්කර් රජ කෙනෙකු වන කීර්ති ශ්‍රී රාජසිංහ නරපතියන්ගේ අතිනි. ඉන්දියාවෙන් ගෙන්වූ ශිල්පීන් ලවා 1753 දී එහි වැඩ අවසන් කල බව පැවසේ.

* අමුණු - වී අමුනක් වගා කල හැකි වපසරියක් ඇති ඉඩමක්. මෙහි ප්‍රමාණය ප්‍රදේශය අනුව වෙනස් වේ.

මූලාශ්‍ර
  • The Munnesvaram Tamil Inscription of Parakramabahu VI, Pathmanathan, S. Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume XVIII, 1974.
  • කෝකිල සංදේශය 
  • සැළලිහිණි සංදේශය
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1997
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999
  • The Temporal and Spiritual Conquest of Ceylon - Fernao de Queyros, Translated by S.G. Perera, 1930
  • Ceylon the Portuguese Era , Paul E. Pieris, Vol 1 & 2, 1913