Saturday, August 1, 2020

ඉර නොබසිනවායැයි කී අධිරාජ්‍යයේ නිලමේතුමාලා කුරුනෑගල යුගයේ මෙරට ඉදි කල නගරශාලාව සොයාගනී

මෙතෙක් කල් මෙරට සංස්කෘතික උරුමයන් ලෙස පැහැදිලි සාදක සහිත ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන මුස්ලිම් සහ දමිල ජාතිවාදින් මෙන්ම දේශපාලකයන්ගේ අනුදැනුම සහිතව ව්‍යාපාරික අවස්ථා සඳහා විනාශ කරද්දි (උදාහරන වශයෙන් හිටපු ජඩපාලන ඇමතියා කලුදිය පොකුණ පරිශ්‍රයේ කටාරම් සහ සෙල්ලිපි සහිත ගල් ගුහා ඒවායේ තිබු බ්‍රාහ්මි සෙල්ලිපි  ග්ර්යින්ඩර් කර හෝටල් ව්‍යාපෘතියකට පැවරිම ආදිය සිදුවද්දි) වගේ වගක් නැතුව සිටි, මා විසින් මේ ලිපි වල අපතයන් ලෙස හදුන්වන මෙරට විජාතික දේශපාලන පක්ෂ වල වහල්ලු (එම පක්ෂ මොනවාදැයි මගේ පෙර ලිපි කියවපු අය දන්නා බැවින් මෙහිදී නැවත සදහන් නොකරමි) පසුගිය සති කිහිපයේ හදිස්සියේ ඇති වූ ජාති ආලයකින් ඔද වැදි සිටියහ. ඒ තව දින කිහිපයකින් ජනතා ඡන්දයෙන් යන එන මන් නැති ලෙසට ඉල්ලන් කැමට නියමිත ඔවුන්ගේ පක්ෂ අවසාන මොහොතේ හෝ ඉන් මුදවාගැනීමට නොහැකි නම් ජාතික කඳවුරේ ජයග්‍රහනය හෝ අවම කරගැනිමට  උපකාරි විය හැකි සිදුවිමක් කුරුණැගල ඔලමොට්ටල නගරාදිපතියා විසින් ඔවුන්ට ලබා දුන් බැවිනි. පෙර ලිපි දෙකකින්ම මා පෙන්වාදුන් පරිදි නගරාධිපතියා ඩෝසර් කල බුවනෙක හෝටලය  කිසිසේත්ම බුවනෙකබාහු කෙනෙක් තබා අවම වශයෙන් 1815 න් පෙර යුගයකටවත් අයත් නොවන ඉදිකිරිමකි. මා අනුමාන කලේ එය බ්‍රිතාන්‍යය යුගයේ ඉදිකිරිමක් වීමට ඉඩ ඇති බවය. මේ වන විට ඒ බව ඉතාමත්ම පැහැදිලි ලෙස කරුණු සහිතව හෙලි කර ඇත. ඒ පර්යේෂකයෙකු, සහොදර බ්ලොග් කරුවෙකු සහ මිතුරෙකු වන ධනේශ් විසුම්පෙරුම මහතා විසිනි. ඔහුගේ ලිපියේ නිගමනය හෝ එහි අන්තර්ගතයෙන් කිසිවක් උපුටා ගැනිමකින් තොරව එහි යොමුව පමණක් පහත දක්වමි. කියවා දැනුවත් වන්න. විජාතික අපතයන්ගේ ජාති ආලයේ ගොදුරක් වුනි නම් ඉන් මිදෙන්න. 

එම ලිපියට මෙතනින් පිවිසෙන්න  Link >>

Saturday, July 25, 2020

කුරුණෑගල රාජධානියේ බුවනෙකබාහුලා, බුවනෙකබාහුගේ මුස්ලිම් බිසව සහ බුවනෙක බාර් පුතානෝලා

කාලිංග මාඝ ආක්‍රමණයත් සමග අනුරාධපුරය සහ පොළොන්නරුව පදනම් කරගනිමින් සියවස් ගණනාවක් පුරා පැවතුන සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය සහ එහි අගනුවර ක්‍රමයෙන් දිවයිනේ වයඹ දිසාව දක්වා පසු බැසීමක් මෙරට ඉතිහාසය පිළිබඳව හැදෑරීමේදි පෙනි යයි. 13 වන සියවසේ ආරම්භ වූ මේ ක්‍රියාදාමයට පොරොතුව මෙම ප්‍රදේශ වල ජනයා නොසිටි බවක් මින් ගම්‍ය නොවේ. එලෙසම රජරට ප්‍රදේශ වල සිටි සියලුම පොදු ජනයා එම ප්‍රදේශ වලට මෙම යුගයේ සංක්‍රමණය වූ බවක්ද අපට පැවසිය නොහැක. ආක්‍රමණික විදේශ පාලනයක් යටතේද ඔවුන් බොහෝ දෙනෙක්, ඇතැම් විට රාජ්‍ය තන්ත්‍රයට සම්බන්ධ සිංහල ප්‍රභූ පැලැන්තිය පවා එම ප්‍රදේශ තුල මාඝ (ක්‍රි,ව, 1215-1236යටතේ තව දුරටත් රැදී සිටින්නට ඇත. එසේම මෙම යුගයට පෙර සිටම වර්තමාන කුරුණෑගල, පුත්තලම, මාතලේ, මහනුවර, කොළඹ, කළුතර, කෑගල්ල, ගම්පහ වැනි දිස්ත්‍රික්ක වල ජනතාව විසූ බවට මේ ප්‍රදේශ වල හමුවන එම පෙර යුග වලට අයත් සෙල්ලිපි, වාරිමාර්ග පද්ධති සහ වංශ කතා තොරතුරු දෙස් දෙයි. නමුත් විවිධ හේතූන් නිසා ජනඝනත්වය සාපේක්ෂව වියලි තැනිතලා භූමියක් වූ රජරට සහ රුහුණු රට වලට වඩා එවකට මායා රට නැතහොත් දක්ෂිණ දේශය සහ මධ්‍යම කඳුකරයේ ඉහල කඳු නිම්න අයත් වූ මලය රට ලෙසින් හැඳින්වූ ප්‍රදේශයේ ඉහල අගයක් නොගත් බව සිතිය හැක.

මෙම යුගයේ වර්තමාන යාපහුව හෙවත් මහාවංශයේ සඳහන් වන ලෙසට සුබ පබ්බතය මත්තෙහි ආලකමන්දාව වන් නගරයක් ඉදිකර සුභ නම් සෙන්පතියෙක් මාඝගේ බල ප්‍රදේශය ආසන්නයේම සිට ඔහුට එදිරිව එම ප්‍රදේශයේ සිටි ජනයාට රැකවරණය සැපයීහ. එසේම විජයබාහු නමින් වූ රජ කෙනෙක් පොළොන්නරුවෙන් පසු අගනුවර ලෙස ජම්බුදෝණි හෙවත් දඹදෙණිය පදනම් කරගනිමින් කුඩා කුඩා වන්නි රජවරුන්ගේ ප්‍රදේශ යටත්කරගනිමින් සිය අණසක මාඝට යටත් නොවූ ප්‍රදේශ දක්වා විහිදුවමින් සිටියහ. හෙතෙම අප රාජාවලියේ තුන්වන විජයබාහු (ක්‍රි,ව, 1232-1236) ලෙසින් හඳුනාගැනේ. ඔහු විසින් ආරම්භ කල දඹදෙණි යුගය ලෙසින් හැඳින්වෙන යුගයේ  දේශපාලන සිදුවීම් සම්බන්ධව විමසා බැලීමට මෙහිදී අදහස් නොකරන මුත් අපගේ ප්‍රස්තුතයට අදාල කුරුණෑගල යුගයට මෙහි අදාලත්වය වනුයේ එම යුගයට අයත් රජවරුන්ද එම දඹදෙණි රජ පරපුරේම දිගුවක් හෙවත් ඔවුන්ගෙන්ම පැවත එන්නන් බැවිනි.

දඹදෙණි රජ පරපුරේ වැඩි කාලයක් යාපහුවේ සිට රාජ්‍යය විචාල  පළමුවන බුවනෙකබාහු රජුගේ (ක්‍රි,ව, 1272-1284) පුත්‍රයා මුල් වරට හස්තිසේලපුර සිය රාජධානිය පිහිටුවා ගත් බව මහාවංශයේ සඳහන් වේ. ඔහුද බුවනෙකබාහු නම් වූ හෙයින් මෙරට රාජාවලියේ හෙතෙම දෙවෙනි බුවනෙකබාහු (ක්‍රි,ව, 1293-1302) ලෙසින් හැඳින්වේ. ඇතැම් මහාවංශ පිටපත් වල එන ලෙසට හෙතෙම ඔහුට පෙර දඹදෙණි යුගයේම පොළොන්නරුව අගනගරය ලෙස තබාගෙන රජ වූ තුන්වන පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි,ව, 1287-1293) යුවරජ ලෙස කටයුතු කර ඇත. මීට පෙර ආර්ය චක්‍රවර්තීන් (අරියසක්විති) විසින් මෙරට ආක්‍රමණය කර පඬි රටට ගෙනගොස් තිබූ දළදාව එම තුන්වන පරාක්‍රමබාහු රජ මහාවංශ කතුවරයා කියන ලෙසට කිසියම් උපායකින් මෙරටට ගෙනවිත් පොළොන්නරුවේ දළදා මැදුරේ තැන්පත් කර තිබී ඇත. ඇතැම් ඉතිහාඥයන් අනුමාණ කරන පරිදි 3 පරාක්‍රමබාහු රජු පඬි රජුගේ (මාරවර්මන් කුලශේඛර) යටත් රජෙකු ලෙස මෙරට පාලනය කල බවක් වංශ කතාවේ එන එම තොරතුරු විමසා බලනවිට පෙනේ. 3 පරාක්‍රමබාහු රජ සහ ඔහුගේ යුව රජ වූ බුවනෙකබාහු රජ අතර කිසියම් ගැටීමක් තිබූ බවද මේ යුගයට ආසන්න කාලයකදී එනම් ක්‍රි.ව. 1325 දී රචිත දළදා සිරිතේ සඳහන් වන ශ්‍රී නිවාසබාහු අද්වීතීය භුවනෙකබාහු නම් රාජෝත්තමයන් (එනම් දෙවන බුවනෙකබාහු) සිය සේනාව සමග පොළොන්නරුවට ගොස්, තම බලය පෙන්වා දළදාව තම නුවරට ගෙනා බව සඳහන් කිරීමෙන් පැහැදිලි වේ. ඉහත උපකල්පනය නිවැරදි නම් මෙහිදි 2 බුවනෙකබාහු රජු හට මෙරට නිරිත දිග ප්‍රදේශයේ විසූ ජනයාගේ සහය ඒ වනවිට ජනහීන වෙමින් පැවති රජරට ප්‍රදේශ වල සිටි, එසේම පාණ්ඩ්‍ය දේශයේ රජුගේ යටත් රජෙකු බවට පත්වූ (එය එසේ වී නම්) 3 පරාක්‍රමබාහු රජුට වඩා තිබෙන්නට ඇත. ඉහත සඳහන් කල මහාවංශ ඇතැම් පිටපත් වල පමණක් හමුවන බව පැවසෙන ගාථාවේ වැඩිදුරටත් සඳහන් වන 3 පරාක්‍රමබාහු රජු කරණවෑමියකු ලවා සිය යුවරජුගේ එනම් බුවනෙකබාහු රජුගේ ඇස් ගලවාදැමීමට නියෝග දුන් බව වන සඳහනද මේ අදහස තවත් ශක්තිමත් කිරීමට ඉවහල් වේ. වංශ කතාව එයට වඩා දෙයක් මේ පිළිබඳව සඳහන් නොකරන බැවින් එම උත්සාහය ව්‍යවර්ථ වී බුවනෙකබාහු රජු කුරුණෑගලට පැනගොස් නැවත පොළොන්නරුව ආක්‍රමණය කර දළදාව රැගෙන සිය නුවරට ගොස් තුන්සිංහලේම රජු ලෙසට ඔහුගේ පදවිය ශක්තිමත් කරගත්තා විය හැකි බවට අපට සිතිය හැක.
සිංහල බෝධි වංශයේ දෙවන බුවනෙකබාහු රජ 'සකල ලංකාරාජ්‍යස්ථාපනාචාර්ය' ලෙසින් හඳුන්වන්නේ මේ අකාරයෙන් නැවතත් මෙරට එක්සේසත් කල හෙයින් විය හැක. මෙම අවස්ථාවේ බුවනෙකබාහු රජු සිය මස්සිනා වූ (දෙවන බුවනෙකබාහු රජුගේ පියා වන පළමුවන බුවනෙකබාහු සහ තුන්වන පරාක්‍රමබාහුගේ පියා වන සිව්වන විජයබාහු (ක්‍රි,ව, 1270-1272) සොහොයුරන් වන අතර  ඔවුන්ගේ පියා දඹදෙණි රජ පරපුරේ සමාරම්භකයා වන තුන්වන විජයබාහුගේ පුත් වූ දෙවන පරාක්‍රමබාහු (ක්‍රි,ව, 1236-1270) වේ.) තුන්වන පරාක්‍රමබාහු රජු මැරූ බවක් මේ කිසිදු මූලාශ්‍රයක සඳහන් නොවන හෙයින් ඔහු ඇතැම්විට පොළොන්නරුවේ සිට ප්‍රාදේශීය රජෙකු ලෙස ගරා වැටී තිබූ වැව් අමුණු පිලිසකර කරමින්, නැවතත් පැරණි ශ්‍රී විභූතිය රජරටට ගෙන ඒමට අවසන් එහෙත් අසාර්ථක උත්සාහයක් දරන්නට ඇත. එහෙත් හස්තිසේලපුර හෙවත් වර්තමාන කුරුණෑගල කෙන්ද්‍රකරගනිමින් සිංහල බෞද්ධ ශිෂ්ඨාචරය දිවයිනේ නිරිත දිග තහවුරු කිරීමේ බුවනෙකබාහු රජුගේ උත්සාහය වඩා සාර්ථක වෙමින් තිබිණ. දෙවන බුවනෙකබාහු රජු සිය අගනගරය ලෙස කුරුණෑගල තෝරාගත්බව මහාවංශයට අමතරව අස්ගිරි තල්පත, සුළු රාජාවලිය සහ සුළු පූජාවලිය වැනි වෙනත් මූලාශ්‍ර වලද සඳහන් වන මුත් 1395/96 ට පසු කල රචිත ලෙස හඳුනාගන්නා නිකාය සංග්‍රහය සහ 16 වන සියවසේ කෘතියක් වන රාජරත්නාකරය පවසන්නේ  ඔහු යාපහුවේ සිට රාජ්‍යය විචාල බවය (Gunasinghe, P.A.T., 1987). මෙයට පෙර පළමුවන බුවනෙකබාහු රජ යාපහුව අගනගරය ලෙස තෝරාගත් මුත් ඉන්පසුව පැවති දේශපාලන කැලැඹීම් සහිත කාල සීමාවේදී වියලි කලාපයේ වූ යාපහුව ප්‍රදේශයේ ජලසම්පාදන ව්‍යාපෘති මේ වන විට නැවතත් අබලන් වී පවතින්නට ඇත. එයට සාපේක්ෂව අහස් දියෙන් හා සාමාන්‍ය ජනයාට නඩත්තු කල හැකි මට්ටමේ වූ කුඩා වැව් මගින් වගා කල වර්තමාන කුරුණෑගල සහ එයට ආසන්න කෑගල්ල දිස්ත්‍රික්ක වල කෙත් වතු ගම්බිම් ආශ්‍රිතව මේ වන විට ජනගහණය සංකේන්ද්‍රණය වීම හේතුවෙන් යාපහුවට වඩා කුරුණෑගල එම ජනතාව පදනම් කරගත් නව ජනපද වලට වඩා සුදුසු අගනුවර වන්නට ඇති බව සිතිය හැක. එහෙත් මේ යුගයේ වූ යාපහුව සහ දඹදෙණිය වැනි අගනුවරවල් සම්පූර්ණයෙන් අතහැර දැමූ බවක් එයින් අපට නිගමනය කල නොහැක. ද්විතීයක අගනුවරවල් ලෙසින් ඒවාද ඒ වනවිටත් පැවතෙන්නට ඇති අතර ඉහත මූලාශ්‍ර වල එන සඳහන් වලට එම හේතුව පදනම් වන්නට ඇති බව සිතිය හැක. අනෙක් අතට මහාවංශයේ මෙම කොටස රචනා කල කාලය එම මූලාශ්‍ර වලට වඩා මෙම සිදුවීම් සිදු වූ කාල සීමාවට ආසන්න බැවින් එහි විශ්වාසනීයත්වය වැඩිවේ (කුරුණෑගල රාජාවලිය සම්බන්ධ මෙම ලිපියේ බොහෝ තොරතුරු එම යුගය පිළිබඳව සිය ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණාත්මක ග්‍රන්ථයක් කල P.A.T. ගුණසිංහ මහතාගේ කෘතිය ආශ්‍රයෙන් වන අතර නිකාය සංග්‍රහය සහ රාජරත්නාකරයේ එන බව එතුමා පවසන බුවනෙකබාහු රජුගේ අගනුවර යාපහු නුවර වූ බව පැවසෙන සඳහනද මෙහිදී සාකච්චා වනුයේ ඒ බව ඔහු භාවිතා කල එම  ග්‍රන්ථ පිටපත් වලවූ බවට පැවසෙන හෙයිනි. එහෙත් මේ ලිපිය සඳහා අප පරිශීලනය කල රාජරත්නාකර මුද්‍රිත පිටපත් දෙකකම ඒවායේ ශ්‍රී නිවාසි අද්විතීය බාහු ද්විතීය භුවනෙකබාහු නම් වත්හිමි භුවනෙකබාහු ලෙසින් හැඳින්වෙන දෙවන භුවනෙකබාහු රජුගේ අගනුවර ගැන සඳහන් නොවේ. එසේම නිකාය සංග්‍රහයේ යාපහු නුවර නිවාසි ලෙසින් මූලිකවම සඳහන් වන්නේ පළමුවන භුවනෙකබාහු රජ (මහා භුවනෙකබාහු ලෙසින්) පිළිබඳව පමණි. ඉන්පසු පොළොන්නරුව අගනුවර කරගත් 3 පරාක්‍රමබාහු සහ මෙම දෙවන භුවනෙකබාහු (වත්හිමි භුවනෙකබාහු ලෙසින්) රජ පිළිබඳව නාමයන් පමණක් සඳහන් කර හස්තිශෛලපුර(එනම් කුරුණෑගල)  නිවාසී ලෙසින් දෙවන භුවනෙකබාහුගෙන් පසු කුරුණෑගල රජ වූ පණ්ඩිත පරක්‍රමබාහු පිළිබඳව සඳහන් වේ.)

කෙසේ නමුත් සියළුම මූලාශ්‍ර වල නිශ්චිතවම සඳහන් වන්නේ දෙවන භුවනෙකබාහුගෙන් පසු ඔහු පුත් සිව්වන පරාක්‍රමබාහු රජ (ක්‍රි,ව, 1302-1326) කුරුණෑගල අගනුවර ලෙස තබාගනිමින් රාජ්‍යත්වයට පත්වූ බවයි. දළදාසිරිත නම් වූ සිංහල ග්‍රන්ථයක්ද හෙතෙම සිය නුවණින් කල බව පවසන මහාවංශය මෙම යුගයේ අන් රජවරුනට වඩා දීර්ඝ විස්තරයක් සිව්වන පරාක්‍රමබාහු රජු පිළිබඳව ඉදිරිපත් කරයි. පාලි භාෂාවෙන් රචිත ග්‍රන්ථ සිංහලට පරිවර්තනය කිරීම කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්වූ මෙතුමාගේ පාලන කාලයේදී පන්සිය පනස් ජාතකය සිංහලට පරිවර්තනය වීමද සිදුවිය. එම රජු විසින් සිදු කල කාර්යයන් සම්බන්ධව මහාවංශ විස්තරයේ එන ස්ථාන සියල්ලම පාහේ දැනට ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල, මහනුවර වැනි දිස්ත්‍රික්ක වල පිහිටි ලෙස හඳුනාගත හැක. වර්තමාන අනුරාධපුර, පොළොන්නරු දිස්ත්‍රික්ක හෝ කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරට වන්නට පිහිටි ප්‍රදේශ පිළිබඳව මෙම රජතුමාගේ ක්‍රියාකාරකම් නොමැතිවීම සම්බන්ධව සිය අවධානය යොමු කරන P.A.T. ගුණසිංහ මහතා එමගින් ඔහුගේ බල ප්‍රදේශය දෙවන භුවනෙකබාහු යුගයට වඩා ක්‍රමයෙන් අඩුවීමක් පිළිබිඹු කරන බවට අනුමාණ කරයි.

සිව්වන පරාක්‍රමබාහු රජු බෝදා නම් වූ මහාදිපාදවරයෙක් විසින් ඝාතනය කල බවට 18 වන සියවසට අයත් තඹ සන්නසක් වූ  මැදවල සන්නසෙහි සඳහන් වේ. වංශ කතාව ඔහුගේ ඇවෑමෙන් වන්නි භුවනෙකබාහු සහ ඔහුගෙන් පසු මහත් බලවත් විජයබාහු රජු එනම් සවුළු විජයබාහු හෙවත් පස්වන විජයබාහු (ක්‍රි,ව, 1335-1341) කුරුණෑගල රජ වූ බව විනා වැඩි යමක් පවසන්නේ නැත. විජයබාහු රජුගෙන් පසු සිව්වන බුවනෙකබාහු (ක්‍රි,ව, 1341-1351) රාජධානිය ගම්පොලට රැගෙන ගිය බව මහාවංශය පවසයි.

සිව්වන පරාක්‍රමබාහු සමගින් දඹදෙණි රජ පරපුර අවසන් වන අතර ඔහුට පසුව රාජ්‍යත්වයට පත්වූ වන්නි බුවනෙකබාහු පිළිබඳව පැහැදිලි තොරතුරු කිසිදු මූලාශ්‍රයකින් හමු නොවේ. නමුත් ඔහු අනුරාධපුර ප්‍රදේශයේ සිටි වන්නි රජෙකු විය හැකි බවත්, සිව්වන පරාක්‍රමබාහුව ඝාතනය  කරන බෝදා මහදිපාදවරයාද ඔහුම විය හැකි බවත් P.A.T. ගුණසිංහ මහතා තවත් තොරතුරු පාදක කරගනිමින් තර්ක කරයි.

වන්නි බුවනෙකබාහුගේ මුස්ලිම් බිසව සහ වස්තුහිමි කුමාරයා
වංශ කතාව නිහඩ අවස්ථා වලදී එම අඩුව ජනප්‍රවාදයෙන් පිරවෙන අවස්ථා අපට බොහෝවිට හමුවේ. බොහෝ වෙනස් ආකාරයේ ජනප්‍රවාද කිහිපයක්ම වන්නි බුවනෙකබාහු රජු වටා ගෙතී ඇත. එම සියල්ලෙහි ඇතුලත් වන මූලික කරුණු කිහිපයක් මෙසේ පෙලගැස්විය හැක. මෑතකදී කුරුණෑගල බුවනෙකගේ බාර් එක සම්බන්ධ සිදුවීමේදී අගමැතිතුමන් විසින් සිදු කල ප්‍රකාශයක්ද මෙරට 'බුවනෙක බාර්' බුකී අපත කැල දේශපාලන මඩ ව්‍යාපාරයට යොදා ගන්නා ආකාරය අපට දැකිය හැකි විය. අගමැතිතුමා ප්‍රකාශ කලේ බුවෙනෙකබාහු රජුට බිසෝවරුන් 5 ක්ද කොහෙද සිටිය බවත් ඉන් එක් බිසවක මුස්ලිම් වූ බවත් පමණි. අපතයන් එය ඔවුන්ට ඕනෑ අයුරින් අර්ථකතනය කල අතර එම බුවනෙක බාර් පුතානෝලාට අනුව එය බුවනෙකබාහු රජුට අපහාස කිරීමක් මෙන්ම මුස්ලිම් බිසව ගැන කීම ජාතිවාදි ප්‍රකාශයක්ද විය. තවදුරටත් මේ බුවනෙකබාර් ලාට අනුව එය අර කෙහෙල්මල් රාජ සභාව යැයි කියන ගණිකා මඩම කැඩීම සාදාරණීකරනය කිරීමක්ද විය (පුරාවිද්‍යා කොමසාරිස්තුමා මෙය පැරණි බුවනෙකබාහු රාජ සභාව බවට පැවසෙන කතාව ජනප්‍රවාදයක් පමණක් බව පවසන මුත් මොඩර්ගේ විස්තරයේ මෙම කඩාදැමූ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් විස්තර ඇති බව පවසන්නේ කිසිසේත්ම එය කියවා බලා විය නොහැක. මක් නිසාද යත් එම මොඩර්ගේ විස්තරයේ එන ගොඩනැගිලි දෙකම මෙම ස්ථානයේ නොව එයට ඈතින් පිහිටි වර්තමාන ආණ්ඩුකාර කාර්යාලය සහ බ්‍රිතාන්‍ය යුගයේ කච්චෙරිය බව පැහැදිලිව සඳහන් කර ඇති බැවිනි. වැඩි විස්තර සඳහා පෙර ලිපිය කියවන්න.Link >> .මේ සම්බන්ධ මොඩර්ගේ ලිපි දෙකෙහිම මූලාශ්‍ර පහත දී ඇත.)  එහෙත් මුන් නොදන්නා කාරණය නම් වන්නි බුවනෙකබාහු රජුට ජනප්‍රවාදයට අනුව බිසෝවරු 5 ක් නොව හැට හතරක්ම සිටි බවත්, එයින් එක් බිසවක් මුස්ලිම් වූ බවත්ය (ජනප්‍රවාදයට අනුව ඇය අස්වැද්දුම ලෙසින් හැඳිවෙන වර්තමානයේද මුස්ලිම් ජනයා වෙසෙන ගම්මානයේ සිටි අයෙකි). මේ ඊණියා ජාතිවාදීන්ට එය ප්‍රශ්නයක් වුවද සියවස් ගණනාවක් මෙරට සිංහල ජනයා සමග සබදතා පැවත්වූ මුස්ලිම් ජන වර්ගයට අයත් බිසවක් ඇත්තටම වන්නි බුවනෙකබාහු රජුට සිටියේ නම් එය අපට නම් ගැටලුවක්ද නොවේ. රජුට බිසෝවරු 64 නොව 500 සිටියද එයද එකල පැවැති සම්ප්‍රධාය දන්නා අපට විමතියට කරුණක්ද නොවේ. කෙසේ නමුත් ජනප්‍රවාදය දිව යන්නේ මෙසේය. එම මුස්ලිම් බිසවට රජුට දාව වස්තුහිමි නම් පුත්‍රයෙකු සිටියහ. එසේම රජුගේ ප්‍රධාන බිසවට පරාක්‍රමබාහු නම් පුත්‍රයෙකුද සිටියහ. වන්නි බුවනෙකබාහු රජුගෙන් පසුව එම වස්තුහිමි කුමාරයා රාජ්‍යය පැහැරගන්නා මුත් ඇමැතිවරුන් ඔහුව උපායකින් කන්දක් උඩට ගෙනගොස් පහලට තල්ලු කර මරා දමා ඒ වානවිට සැඟවී සිටි රාජ්‍යට නියම හිමිකරුවා වන පරාක්‍රමබාහු කුමරාට රජ කම ලබා දේ. ඉතාම සැකවින් එම ජනප්‍රවාදය එසේය. මේ වස්තුහිමි රජු මැරෑ ගල ඇතුගල ලෙස ඇතැම් ජනප්‍රවාද වල සඳහන් වන අතර ඇතැම් මූලාශ්‍ර වලට අනුව වෙනත් ස්ථානද සඳහන් වේ. කුරුණෑගල විස්තරයේ සඳහන් වනුයේ ඉන්පසු එම පරාක්‍රමබාහු කුමාරයා පණ්ඩිත පරාක්‍රමබාහු නමින් කුරුණෑගල අතහැර දඹදෙණිය සිය රාජධානිය බවට පත් කරගත් බවයි. කුරුණෑගල කච්චේරිය අසල වූ මුස්ලිම් පූජකයන් විසින් සේවා සපයන සොහොන් ගලක් සහිත දේවාලයක අදටත් එය වස්තුහිමි රජුගේ සොහොන ලෙසින් පූජා පවත්වන බව පැවසේ (දැනට ගලේ බණ්ඩාර දේවාලය ලෙසින් හැඳින්වෙන්නේ එම දේවාලය වන අතර මොඩර් පවසන්නේ ඇතුගලින් තල්ලු කල වස්තුහිමි කුමාරයාගේ සිරුර පතිත වී ඇත්තේ එම ස්ථානයට බව ජනප්‍රවාදයේ පැවසෙන බවය.)

මේ පරාක්‍රමබාහු කුමාරයා හඳුනාගැනීමට උත්සාහයක් දරණ P.A.T. ගුණසිංහ මහතා ඔහු දැදිගම රාජධානියේ සිටි බවට මූලාශ්‍ර කිහිපයකින්ම තොරතුරු හමුවන පරාක්‍රමබාහු රජු විය හැකි බවත්, මෙම ගැටුම් හමුවේ පස්වන විජයබාහු රජු කුරුණෑගල අගනගරය අල්ලා ගන්නට ඇති බවත්, එහෙයින් පරාක්‍රමබාහු රජු මුලින් දඹදෙණියටත් පසුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දඹදෙණි රාජධානියේ ද්විතීයක අග නගරයක් වූ දැදිගමටත් පසුබසින්නට ඇති බවටත් අනුමාණ කරයි. ඉහත පස්වන විජයබාහු රජු දඹදෙණි රජ පෙලපතට සම්බන්ධ කුමරෙකු විය හැකි බවට ගුණසිංහ මහතා තවදුරටත් පවසයි. ඔහු පවසන්නේ හෙතෙම එම රජ පෙලපතේ තුන්වන හෝ හතරවන පරාක්‍රමබාහු රජුගේ පුතෙකු විය හැකි බවය. වන්නි බුවනෙකබාහු රජු කුරුණෑගල රාජ්‍යය පැහැරගත් අවස්ථාවේ  5 විජයබාහු රජුද එම රාජ්‍යයට පෙර අයිතිව තිබූ කිසියම් කොටසක් (බොහෝවිට වර්තමාන කොළඹ දිස්ත්‍රික්කයද අයත් වන එහි  දකුණු ප්‍රදේශය) වන්නි බුවනෙකබාහු රජුට අයත්වීමට නොදී පාලනය කරන්නට ඇති බවත්, වන්නි බුවනෙකබාහු රජුගේ මරණින් පසු ඔහුට අයත්ව තිබූ කුරුණෑගල පාදක කරගත් උතුරු ප්‍රදේශයද නැවත ලබාගන්නට ඇති බවත්ය ඔහු සැක කරන්නේ. මෙම අනුමාණය නිවැරදි නම් වන්නි බුවනෙකබාහු රජු පෙර ඔහුට අයත්ව තිබූ වර්තමාන කුරුණෑගල පළාතේ යාපහුව ආදී උතුරු ප්‍රදේශය මෙන්ම උතුරු-මැද පළාතේ සැලකිය යුතු ප්‍රදේශයකද සිය ආධිපත්‍යය පතුරුවන්නට ඇත. තවද ඉහත දැක්වූ පරිදි සිව්වන පරාක්‍රමබාහු රජුගේ පාලන කාලයේ කුරුණෑගලට උතුරින් වූ ප්‍රදේශයේ ඔහුගේ කටයුතු සීමා වන්නට ඇත්තේ ක්‍රමයෙන් වැඩිවෙමින් පැවති මෙම වන්නි පාලකයාගේ ක්‍රියාකාරකම් නිසා වන්නට ඇත. පස්වන විජයබාහු රජු ක්‍රි.ව. 1329/30 කාලයේ මිය ගිය පසු තවදුරටත් දඹදෙණි රජ පරපුරේ කිසිවෙකු නොසිටි බැවින් දැදිගම පරාක්‍රමබාහු රජු වර්තමාන බස්නාහිර, දකුණු, මධ්‍යම සහ කෑගල්ල දිස්ත්‍රික්ක වලට අයත් සියළුම ප්‍රදේශ අයත්කරගත් බවටත් එතුමා වැඩිදුරටත් පවසයි.
පස්වන විජයබාහුගේ මරණින් මතු කාලයේ වෙනත් බුවනෙකබාහු නම් රජෙකු විසින් කුරුණෑගල අවට ප්‍රදේශයේ නිකුත්කල සන්නස් හමුවන බැවින් කිසියම් ප්‍රාදේශීය පාලකයෙකු කුරුණෑගල කේන්ද්‍රකරගනිමින් දැදිගම පරාක්‍රමබාහු රජුගේ බලයට නතු නොවූ ප්‍රදේශ වල සිය අණසක පැතිරවූ බවද පෙනී යයි. ක්‍රි.ව. 1344 මෙරටට පැමිණි ඉබ්න් බතූතාගේ ගමන් විස්තරයේ එන Kunarkar හි සිටි ඉස්ලාම් ආගම අදහන්නන් හට හිතවත් Al Kunar රජු මේ බුවනෙකබාහු ලෙසින් හඳුනාගැනීමට උත්සාහ කරන P.A.T. ගුණසිංහ මහතා ඔහු වන්නි බුවනෙකබාහු රජුට සිය මුස්ලිම් බිසවට දාව උපන් කුමරාගෙන් පැවත එන්නෙකු වීමේ හැකියාව තහවුරු කිරීමේ උත්සහයක් ගනී. ඉබ්න් බතූතා Kunarkar ලෙසින් හඳුනාගන්නා නගරය කුරුණෑගල වීමට හැකියාවක් ඇති මුත් Al Kunar රජු බුවනෙකබාහු ලෙසින් හඳුනාගැනීමට ඔහු සිදුකරන අනුමාණ පිළිගැනීම තරමක් අසීරුය.

* මෙහි පළවන සියළු සිතුවම් F.H. මොඩර් ගේ The Animal-shaped rocks of Kurunegala ලිපියෙන් උපුටා ගත් කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි විවිධ ස්ථාන වල දර්ශන වේ,

මූලාශ්‍ර
  • Gunasinghe, P.A.T., 1987, The Political History of Yapahuva - Kurunagala and Gampala
  • කුරුණෑගල විස්තරය, ශාස්ත්‍රීය සංස්කරණය සහ විමර්ශනය, රංගන කුරුවිට, 2015
  • Modder F., Kurunegala Vistaraya; with notes on Kurunegala, Ancient and modern, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Volume 13 Part 44 , 1893
  • Modder F.H., The Animal-shaped rocks of Kurunegala, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Volume 11 Part 40 , 1890
  • අස්ගිරි තල්පත, සංස්කාරක: මැන්දිස් රෝහණදීර, 1997
  • රාජරත්නාකරය, කරුණාදාස රූපසිංහ සංස්කරණය,1995
  • Rajaratnakaraya (The Gem Mine of Kings), Classical Sinhala Text Translated into English by Kusuma Karunaratne, 2009
  • නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය , 1997
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • University of Ceylon, History of Ceylon Volume I Part II, 1960
  • දළදා සිරිත, වී. ඩී . එස්. ගුණවර්ධන සංස්කරණය
  • විල්ගම්මුළ මාහිමියන්ගේ සිංහල බෝධිවංසය, මහාචාර්ය සුචරිත ගම්ලත් සහ දර්ශනපති ඊ. ඒ. වික්‍රමසිංහ සංස්කරණය, 1996
  • Ibn Batuta in The Maldives and Ceylon, Albert Gray, 1883

Saturday, July 18, 2020

කුරුණෑගල රාජකීය නගරය, බුවනෙකබාහු රාජ සභාව, බුවනෙකගේ Rooms පොට් එක සහ එල්ලෙන්න වැල් සොයන විජාතික කඳවුරේ වහල්ලු

බුවනෙකබාහු රජ්ජුරුවන්ගේ රාජ සභාව කඩලලු. කුරුණෑගල නගරාධිපතිලු. ඒ වුනාට වගකියන්න ඕනේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආණ්ඩුවලු (මේවා කියන අපතයන් එතුමාට අපහාසාත්මක ලෙස යොදාගන්නා වචනය මම මෙහිදී භාවිතා නොකරමි.) එකම විසඳුම ලඟ එන චන්දෙදි මෙරට නිධන් පිළිබඳව... වැරදුනා..පුරාවස්තු පිළිබඳව හසල දැනුමක් ඇති බූරු පුතානෝට (අපහාස නොකල යුත්තන්ට අපහාස නොකල යුතු සේම අපහාස කල යුත්තන්ට අපහාස කිරීමද කල යුතුය) බලය දීමට නොහැකි නම් අඩු ගානේ එයාව ශක්තිමත් කිරීමලු, එතකොට නිධන් සේරම උඩ එනවලු..ආයෙමත් වැරදුනා පුරාවස්තු ඔක්කොම බේරෙනවලු. ඒ සඳහා ඕනේ තරම් මසුරන් පොදි බැඳලා තියෙනවලු මධ්‍යම සංස්කෘතික අරමුදලේ.  ණයට අරන් සල්ලි බෙදීම හැර වෙනත් කිසිම ආර්ථික න්‍යායක් නොදන්නා උන්නැහේ ඒක භාර ඇමැතියා කාලේ ඒකේ සල්ලි එහෙට මෙහෙට බෙදා දුන්නේ නැහැලු. එයාට දෙන්න බැරිනම් උතුර දකුණ මාරු වෙලා ඉන්න ඔරලෝසුවට දෙන්නලු. පිළිම වඳින්නේ ගෝත්‍රිකයන් කියලා එතුමාල කිව්වට තලේබාන් වැඩ කරන්නේ නැහැලු! කැඩිච්ච රාජ සභාව වෙනුවට රාජසභාවක් අයර්ලන්තෙන් හරි ඉම්පොර්ට් කරලා දෙනවලු.

ප්‍රවේශය දිග වැඩි උනාද මන්දා? ඒ උනාට ඕවා නොකියා බැරිය. මෙරට ජනතාව බුද්ධිමත් කියලා කියන්නේ ඒ ජනතාව අන්දන දේශපාලකයන්ම පමණි. ඇත්ත කතාව මෙරට සැලකිය යුතු ප්‍රමාණයක් ජනතාව විශේෂයන්ම හොඳ අධ්‍යාපනයක් සහිත රජයේ සහ පෞද්ගලික ආයතන වල රැකියා කරන මධ්‍යම පාන්තිකයන් ඔවුන් ප්‍රගුණ කල විෂයට පරිබාහිර විෂයන් සම්බන්ධ පට්ටපල් මෝඩයන්ය. මාධ්‍යය, පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යපනය මගින් ඔවුන්ගේ තර්කාණුකූලව සිතීම සහ කරුණු හරිහැටි විමසා බලා නිගමන වලට එලඹීමේ හැකියාව මොට කර නොමැති නම් නැත්තටම නැති කර ඇත. ඔවුන් කතා කල යුතු, සිතිය යුතු, වැඩ කලයුතු ආකාරය ඔවුන්ට ඔවුන් නොදැනුවත්වම කියා දෙන්නේ නැත්නම් ඔවුන්ව මෙහයවන්නේ මෙරට ප්‍රධාන විද්‍යුත් මාධ්‍යය. පසුගිය දශකයේ සිට නම් සමාජ මාධ්‍යය.

රාවණා පොරක් වී ඇත්තේ, බුදුන් ලංකාවේ ඉපදුනනායැයි විශ්වාස කරන්නේ මේ සමාජ කොට්ඨාශයේම එක් කණ්ඩායමකි. ඉතිහාසය ඔවුන්ට ඕනෑ ලෙසට කිසිම පදනමක් නොමැතිව විකෘතිකර ඔවුන්ට පොවා ඇත්තේ වෙනත්ම තක්කඩින් කොටසකි. ඔවුන් එයින් ආර්ථික ප්‍රතිලාභ සහ එම මත විශ්වාස කරන්නන් (නොමැතිනම් අදහන්නන්) අතර දේවත්වයටද පත්වී ඇත. මේ සමාජ කණ්ඩායම ඉතිහාසයට අදාලව ආසන්නතම ඇනගැනීම ඇනගෙන ඇත්තේ මේ බුවනෙකබාහු රාජ සභා කතාව සමගය. මේ වනවිට බොහෝ දෙනෙක් මේ පිළිබඳව වූ සිදුවීම පිළිබඳව අසා ඇති මුත් අවශ්‍ය වැදගත් කරුණු විමසීමට ප්‍රථම එහි අග මුල සම්බන්ධවද යම් විස්තරයක් කිරීම වැදගත්වේ යැයි සිතමි.
ප්‍රස්තුත සිද්ධියට පදනම් වී ඇත්තේ Google Street View මගින් ලබාගත් ඉහත ඡායාරූපයේ දැක්වෙන ගොඩනැගිල්ලය. එහි කොටසක් කුරුණෑගල නගරාධිපතිගේ නියමයෙන් පසුගිය දිනක කඩා දමා ඇත. බැලූ බැල්මට ඉංග්‍රීසි යුගයේ ගෘහනිර්මාණාත්මක ලක්ෂණ පෙන්වන එහි මෑතක් වනතුරු තිබී ඇත්තේ Rooms දෙන හෝටලයකි. නගාරධිපතිවරයා කියන ලෙසට නම් එය බුවනෙක හෝටලය වී ඇත්තේ එහි අයිතිකරුගේ නම බුවනෙක වන බැවිනි. මේ සමග ඇති අනිත් ඡායාරූපය දෙස බැලූ විට එම තොරතුරු සත්‍ය බව පැහැදිලි වේ. තවදුරටත් පැවසෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙහි ගවේෂණයක් (ඇතැම් මාධ්‍ය වලට අනුව කැනීමක්) නුදුරේම කිරීමට නියමිතව තිබී ඇති අතර එයට පෙර මෙම කඩා දැමීම සිදු කර ඇත. දන්නා තරමින් මේවන තෙක් ගැසට් නිවේදනයක් මගින් මෙම ස්ථානය ආරක්ෂිත ස්මාරකයක් බවට පත් කර නැත. එහෙත් එසේ නොවූවා කියා පැරණි ගොඩනැගිල්ලක් හිතුමතේ කඩා දැමීම විශේෂයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කිසියම් කටයුත්තක් කිරීමට දින යොදාගෙන තිබීයදී එය සිදුකිරීම බරපතල වරදකි. ඒ සඳහා වගකීම දැනටමත් භාරගෙන තිබෙන නගරාධිපතිවරයාට එරෙහිව නීතිමය පියවර ගත යුතුය.
කෙසේ නමුත් වැටී ඇති නරාවලෙන් ගොඩ ඒමට එල්ලෙන්න වැල් නොමැතිව තුත්තිරි ගස් වල එල්ලෙන ප්‍රතික්ශේපිත විජාතික කඳවුරේ දේශපාලන වහලුන් සහ ඔවුන්ගේ නායකයින් පවසන මෙය 13 වන සියවසට (මොවුන් 13 වන සියවසක් ගැන කතා කලත් ඇත්ත වශයෙන්ම කුරුණෑගල අගනගරය ලෙසින් වූ රාජධානිය ආරම්භ වන්නේද 14 වන සියවසෙනි) අයත් බව පැවසෙන කුණුහරුපයට නම් උත්තර දිය යුතුය (මෑතකදී ඔවුන් එල්ලී එම ගස්ද සමග කඩා වැටුණු තුත්තිරි ගස් කිහිපයක්ද මේ සමග සඳහන් නොකරම බැරිය. ඒවා නම් විශ්‍රාම ගිය ත්‍රස්ථවාදියෙකු වන නමුත් පසුව සිව්වන ඊලාම් යුද්ධයේදී එම ත්‍රස්තවාදීන්ව පැරදවීමට ඉමහත් සේවයක් කල කරුණාගේ අලිමංකඩ ප්‍රකාශය, ලෙජන්ඩ් එකක් යැයි කියන බෝර්න් එගේන් සංගා ඔහු විසින්ම සිදු කල පැමිණිල්ලක් විභාග කිරීමට CID ගෙන්වීම, අඟුලානේදී චණ්ඩි අක්කලා ටිකක් පොලීසියට ගල්ගැසීම, සාර්ථකව තමන්ටම ආවේනික ක්‍රමවේදයක් මගින් කෝවිඩ් 19 මර්ධනය කරමින් සිටින රජය වරින් වර එසේ නොකලායැයි කියමින් අලුත් රැලි එනවා කියමින් බිල්ලන් මැවීමට යෑම ආදිය දැක්විය හැක. මේ සියල්ලන්ගෙන්ම ඔවුන් අනාථ වූ මුත් තම වහලුන්ට තාවකාලික වින්දනයක් සැපයීමට නම් හැකි විය. මේ අතරට අර නිදහස් චතුරශ්‍රයේදී දිවිනසා ගත් මහතා සම්බන්ධ සිද්ධියද ඇතුලත් විය යුතුය. අපතයන්ට අනුව ඔහුව මරා ඇත්තේ රජය විසින්ය. නමුත් ඔහු අවසානය දක්වා මේ රජය වෙනුවෙන් සිය ලිපි ලිවීය. මේ ගොඩනැගිල්ල 13 සියවසට අයත් රාජසභා මණ්ඩපයක් නම් එය මෙරට අපට ඉතිරිව ඇති අගනාම ඓතිහාසික ගොඩනැගිල්ල විය යුතුය. මේ ආකාරයෙන් එම යුගයට අයත් එවන් කිසිම ගොඩනැගිල්ලක් අපට ඉතිරිව නොමැති බැවිනි. අනෙක් අතට 18 වන සියවසෙන් පසුව ඉංග්‍රීසීන් අපට හඳුන්වාදුන් ගෘහනිර්මාණාත්මක ලක්ෂණ අප 13 සියවසේ පටන්ම භාවිතා කර ඇති බවත් ඒවායේ මුල් අයිතිකරුවන් අප බවත් ලෝකයට පැවසීමට මීට වඩා අනගි අවස්ථාවක් තවත් නම් හමු නොවෙනු ඇත.

එසේ නම් මෙම ස්ථානයේ අවම වශයෙන් රාජ සභා මණ්ඩපය හෝ එම යුගයට අයත් කිසියම් ගොඩනැගිල්ලක් පෙරදී හෝ තිබී ඇත්ද? මේ ලිපිය මූලිකව එම කරුණු විමසා බැලීම උදෙසා වෙන්වේ. එම යුගයේ රජ කල රජවරුන් පිළිබඳවද මෙහිදී විමසා බැලීමට අදහස් කල මුත් ලිපිය දිගවැඩිවූ බැවින් එය වෙනත් දිනක් සඳහා කල්තැබේ. මේ අඳ බාල වහලුන් පිරිස පවසන දෙවන බුවනෙකබාහු හෙවත් වත්හිමි බුවනෙකබාහු රජු ක්‍රි.ව. 1293-1302 අතර කාලයේ කුරුණෑගල අගනගරය කරගනිමින් රාජ්‍යය විචාල බව පමණක් මෙහි සඳහන් කරන්නේ මේ කතන්දර කියන බහුතරය බුවනෙකබාහු සිටි කාලය පවා හරිහැටි නොදන්නා ඔලමොට්ටලයන් පිරිසක් බැවිනි (ඔහු කුරුණෑගල සිටම රාජ්‍ය විචාල තෙවන බුවනෙකබාහු හෙවත් වන්නි බුවනෙකබාහු නම් ඔහුගේ රාජ්‍ය කාලය හරිහැටි නොදනී)
සිතියම 1 
පුෂ්පදේව තෙරුන් නම් හිමිනමක් විසින් ක්‍රි.ව. 1344 ට ආසන්න කාලයකදී එහි මුල් ග්‍රන්ථය රචිත ලෙස හඳුනාගත හැකි කුරුණෑගල විස්තරය නම් ග්‍රන්ථයේ ක්‍රි.ව. 1293 සිට 1344 දක්වා කාලය තුල පැවති බවට අප අද හඳුනාගන්නා කුරුණෑගල රාජධානියේ ආරම්භය පිළිබඳව මෙසේ සඳහන් වේ. විජය රජු කුවෙනි නම් යක්ෂණිය පලවා හල පසු ඇය නික්ම ගොස් සත්වෙනි දින විල්බා නම් ගල් ලෙනක සිට ඇත. ඒ බැව් සක්දෙව් රජ දිවසින් දැක නුවරක් කරවමියි සිතා විල්බාවට උතුරු දිග ඇතුගලටත්, ඉබ්බාගලටත්, කුරුමිණියාගලටත් දෙමැද අහසේ වැඩ සිට මවන ලද...නුවර කුරුණෑගල නුවරයි. කුරුණෑගල විස්තරය ලියැවෙන්නේ කුරුණෑගල මෙරට උතුම්ම නගරය බව පැවසීමේ අරමුණෙනි. ඒ සඳහා එහි ආරම්භය සිංහල ජාතියේ "ලිඛිත ආරම්භය" දක්වාම ගෙන යෑමට එහි කතුවරයාට අවශ්‍යය විය. ඇත්ත වශයෙන්ම ගෞතම බුදුන්ට පෙර සිටි බුදුවරයන්ගේ කාල වලදීද මෙහි නුවරවල් වූ බව එහි සඳහන් වේ. එම මනඃකල්පිත කරුණු සහ සක් දෙවි රජු එම නුවර මැවූ ලෙසට වූ සඳහන අමතක කර බැලූ විට මෙයින් අපට ගත හැකි වැදගත්ම කරුණ නම් ඉහත සඳහන් ඇතුගල, ඉබ්බාගල සහ කුරුමිණියාගල යන ගල් පර්වත තුනට මැදිව එම නුවර මැවූ (ඉදිකල) බව එන සඳහනයි. එම ගල්පර්වත එම නම් වලින් අදද හඳුනාගත හැක (ඉහත සිතියම බලන්න)
ඉහල සිට පහලට, කුරුමිණියාගල, ඉබ්බාගල සහ ඇතුගල රවුම් කර දක්වා ඇත.
කුරුණෑගල විස්තරයේ සඳහන් වන කුවෙනිය සිටි ලෙන ලෙස හඳුනාගත හැකි අදටත් විල්බාව ලෙසින් හඳුන්වන ඉහත සිතියම 1 හි සලකුණු කර ඇති ස්ථානයේ වර්තමානයේ මහනුවර යුගයේ ඉදිකල ලෙස පැවසෙන ප්‍රතිමාගෘහ දෙකක්, පත්තිනි දේවාලයක් සහ දාගැබක් සහිත විහාරයක් තිබේ. මෙහි පිහිටි එක් ගුහාවක පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපියක්ද හමුවේ. තිශ (තිස්ස) නම් වෙළෙන්දෙකු (වණිච) විසින් එම ලෙන සංඝයාට පූජා කල බව එහි සඳහන් වේ. එහි කුවෙනිය සිටි ජනප්‍රවාදයේ සත්‍ය අසත්‍ය භාවය කෙසේ වෙතත් ක්‍රිස්තු පූර්ව යුගයේ පටන් එම ප්‍රදේශයේ ජනයා සිටි බව සහ එම ලෙන තිශ නම් වෙළෙන්දෙකුට අයත්ව තිබී සඟ සතු කල කරුණ අපට පිළිගත හැක. එයට උතුරින් කුරුණෑගල විස්තරයේ ඇතැම් අවස්ථා වල 'ත්‍රීකූටය' ලෙසින්ද හඳුන්වන ගල් පර්වත තුනක් පාමුල පුරාණ නගරය ඉදිකර තිබූ කරුණද මේ අනුව අපට පිළිගත හැක.

මෙම කුරුණෑගල විස්තරයේ සඳහන් වන ඉසව්වේම දැනට වයඹ ආණ්ඩුකාර කාර්යාලය සහ වයඹ ප්‍රධාන අමාත්‍යංශ කාර්යාලය ආදි ගොඩනැගිලි පිහිටි ප්‍රදේශය පෙර රජ මැදුර ආදි කුරුණෑගල රාජධානියට අයත් ස්ථාන පිහිටි භූමිය ලෙස පොදුවේ සැලකේ. මේ ප්‍රදේශයේ දැනටද අතරින් පතර හමුවී තිබෙන ඇතැම් නෂ්ඨාවශේෂ ආදිය එය සත්‍ය බවට දෙස් දෙයි. අදටද 'මාලිගාව' ලෙසින් හැඳින්වෙන මෙහි පිහිටි ගොඩනැගිල්ල ඉංග්‍රීසි පාලන සමයේ 1880 දී පමණ ඉංග්‍රිසී ඒජන්තවරයාගේ නිල නිවස ලෙසින් පැරණි මාළිගාව පිහිටි ස්ථානයේ ඉදිකල බව පැවසේ (රංගන කුරුවිට,  2015). සයිමන් කාසි චෙට්ටි මුදලිවරයා 1834 වර්ෂයේ පල කල Ceylon Gazetteer ග්‍රන්ථයේ ඇතුගල පිළිබඳව ඔහු ඉදිරිපත් කරන විස්තරයේ පවසන්නේ ඇතුගලේ බටහිර අන්තයේ පැරණි රජවරුන්ගේ මාළිගාව තිබූ බවයි. 1893 වර්ෂයේ රාජකීය ආසියාතික සමිතියේ සඟරාවට ලිපියක් සපයමින් F. Modder සඳහන් කරන්නේ එම ස්ථානයේ ඒ වනවිට පළාතේ රජයේ ඒජන්තවරයාගේ නිල නිවස පිහිටි බවත්, එය මාලිගාව ලෙසින් හැඳින්වූ බවත්ය. ඔහුටත් පෙර යුගයක මෙරට පිළිබඳව  බොහෝ වැදගත් තොරතුරු අන්තර්ගත කර වෙලුම් දෙකක අගනා කෘතියක් කල එමර්සන් ටෙනන්ට් 1859 වසරේදී සඳහන් කරන්නේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන සිවිල් නිලධාරියාගේ නිල නිවස පිහිටි භූමියේ පැරණි මාළිගය පිහිටි බවත්, එහි භූමිය පුරා රාජකීය ගොඩනැගිලි වල තිබූ ගල්කණු, කැටයම් ගල්, ආදියේ සුන්බුන් විසිරී තිබූ බවත්ය. ටෙනන්ට්ටත් පෙර 1821 වර්ෂයේදී මෙම ස්ථානයට ගිය ඉංග්‍රීසි ජාතිකයෙකු වන J.W. Bennett එවකට එහි කච්චේරිය තිබූ බවත්, දිස්ත්‍රික්කයේ මුල් යුගයේ සිටි ආණ්ඩුවේ ඒජන්තවරයා වන Henry Pennell ඔහුට එහි තිබූ විවිධ සතුන්ගේ කැටයම් සහිත විශාල ප්‍රමාණයේ ශෛලමය පුවරු විශාල ප්‍රමාණයක් පෙන්චූ බවත් පවසයි.. ඔහුගේ විස්තරයට අනුව එම කැටයම් අතර සිංහ, අශ්ව සහ ඇත් රූප තිබී ඇති බව පෙනේ. බෙනන්ට් මෙහිදී සඳහන් කරන වැදගත්ම කරුණ නම් හෙන්රි පෙනල් විසින් ඔහුට ඒවා කැමති නම් රැගෙන යන ලෙස පැවසූ මුත්, අධික බරකින් යුක්තවීම ඒවා රැගෙන නොයෑමට ඔහුට තිබූ එකම හේතුව වූ බවය. එම ගල් කැටයම් වලට පසුව සිදුවූ දේ මේ අනුව හිතාගත හැක.
ඇතුගල, ඉබ්බාගල සහ කුරුමිනිහාගල කුරුණෑගල වැව ඉවුරේ සිට
කෙසේ නමුත් මේ විස්තර අනුව අවම වශයෙන් 1820 පමණ සිටවත් පැරණි මාළිගය පිහිටි ස්ථානයේ ඉංග්‍රීසි රජය විසින් විවිධ ගොඩනැගිලි ඉදිකල බවත් මාළිගාවක කිසිදු ගොඩනැගිල්ලක් ඒවායේ ශෛලමය සුන්බුන් විනා එහි ඉතිරි වී නොතිබූ බවත් පැහැදිලි වේ.. කුරුණෑගල අවසාන වරට රජකල රජුගෙන් පසු මේ වන විට (1820 වන විට) වසර 500 කට නොඅඩු කාලයක් ගෙවී ගොස් තිබූ අතර එම මාලිගය සහ නුවර අතහැර දැමීමෙන් පසුව ඒවායේ තිබූ දැවමය අවශේෂ ආදියේද කිසිවක් ඉතිරි වී තිබීමට හැකියාවක් නොමැති බව මෙහිදී හැඟී යා යුතුය. (බුවනෙක හෝටලෙයේ පේකඩ සහ ලී කණු 13 වන සියවසට අයත්යැයි කියන උදවියද මේ ගැන සිතා බැලීම මෙහිදී වැදගත් බව පවසමි.) මේ කරුණු අනුව මාලිගය පිහිටි තැන නිශ්චිතව අපට පැවසිය හැකි වන අතර එය පහත සිතියමේ සලකුණු කර ඇත. එහි වර්තමානයේ ඉහත සඳහන් කල රජයේ කාර්යාල පිහිටා ඇත. ඒවා කලින් කල අලුත් වැඩියා වෙමින් පැමිණි මුත් මුල් ගොඩනැගිලි ඉංග්‍රීසි පාලන කාලයට අයත්විය යුතුය. අද ඇත්තේ එම පැරණිම ගොඩනැගිලිද නොමැති නම් ඒවා පිහිටි තැන් වල පසුව ඉදිකල ගොඩනැගිලිද යන්න වෙනම සොයා බැලිය යුතුය. එසේම ඒවා එහි මුල් ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණ රැකගනිමින් ප්‍රතිශංස්කරණයද විය යුතුය (මෙහිදී කොළඹ නගරයේ Dutch Hospital, Independent Arcade, ආදී ඇතැම් පැරණි ගොඩනැගිලි ප්‍රතිශංස්කරණය කල ආකාරය ආදර්ශයට ගත යුතුය )
ඉහත සිතියමට අනුව පැරණි රජ මාලිගය ඇතුළු පැරණි ගොඩැනැගිලි තිබී ඇත්තේ ඇතුගල පාමුලටම ආසන්න කොටසක බව පෙනේ. මෙහි කොළ පැහැති රවුමෙන් ලකුණු කර ඇති ස්ථානයේ දැනටද ආණ්ඩුකාර කාර්යාලය පිහිටා ඇති අතර මාලිගාව තිබූ බවට ඉහත සියළුම මූලාශ්‍ර වල පැවසෙන්නේ එම ස්ථානයේය. එයට මදක් දකුණට වන්නට දැනට කච්චේරිය ඇතුළු රජයේ ගොඩැනැගිලි සංකීර්ණයක් ඉදිකර ඇති අතර ඒවා මෑතකාලීන මහල් ගොඩනැගිලිය (බ්‍රිතාන්‍ය යුගයේ පැරණි කච්චේරි ගොඩනැගිල්ලද එහි තවමත් සුරැකිව ඇත.). දැන් මතභේදයට ලක්වී ඇති බුවනෙක හෝටලය පිහිටි ස්ථානය මෙම ස්ථාන වලට සාපේක්ෂව පිහිටා ඇති ආකාරය පහත සිතියමෙන් දැකගත හැක.
ඉහත ගොඩනැගිලි රවුම් කර දක්වා ඇති අතර ඒවට වම්පසින් ඇතින් බුවනෙක හෝටල් ගොඩනැගිල්ල රතු පාට සලකුණකින් දක්වා ඇත.
පැරණි නගරයේ ආරක්ෂාව උදෙසා කුරුමිණියාගලේ කෙලවරේ සිට ඇතුගලේ එම අන්තය දක්වා තිබෙන්නට ඇති ප්‍රාකාරයක් මගින් බටහිර දෙසින් එම ප්‍රාකාරය සහ ගල් පර්වත අතර කොටස වටකර මාලිගාව ඇතුළු රාජකීය ගොඩැනැගිලි සහිත ඇතුළු නුවර තිබෙන්නට ඇති බව රංගන කුරුවිට මහතා සිය ග්‍රන්ථයේ අනුමාණ කරයි. දැනට කුරුණෑගල-දඹුල්ල මාර්ගයේ කොතලාවල විද්‍යාලය ආසන්නයේ ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට පිටුපසට වන්නට ඉතිරි වී ඇති ප්‍රාකාරයක කොටසක් සහ වත්හිමි මාවතේ 'මාලිගාව' දෙසට එනවිට හමුවන ගලේබණ්ඩාර දේවාලය ආසන්නයෙන් ඇතුගල දෙසට නැගි විට හමුවන එම ප්‍රාකාරයේ කොටසක් දැනටද දැකගත හැකි බව ඒ මහතා සඳහන් කරයි. මෙවන් ප්‍රාකාරයක් පිළිබඳව කුරුණෑගල විස්තරයේද මෙසේ සඳහන් වේ. "සැතපෙන මාලිගාවේ සිට බස්නා අත (එනම් බටහිර) තිබෙන මහ ගල් තාප්පේ විසි බඹයක් හා.."..එවන් ප්‍රාකාරයක් තිබුනේ නම් මතභේදයට ලක්වී ඇති මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ එම ප්‍රාකාරයට පිටතින් බව පහත සිතියමින් හඳුනාගත හැක. රාජ සභාවක් හෝ වෙනත් එවැනි රාජකීය ගොඩැනැගිල්ලක් ඒ අනුව කිසිසේත්ම ඇතුළු නුවර ප්‍රාකාරයෙන් පිටත පිහිටිය නොහැකි බව තවදුරටත් සනාථ වේ.  (මාලිගාවෙන් නැගෙනහිර දෙසට වන්නට ඇතැම් ස්ථාන වල දැනටද දැකිය හැකි තවත් එවන් වෙනත් ප්‍රාකාර කොටස් පිළිබඳව රංගන කුරුවිට මහතා මෙන්ම F. මොඩර් ද විස්තර ඉදිරිපත් කර ඇති මුත් මෙම ලිපියේ අරමුණට ඒවා අදාල නොවන බැවින් ඒ සම්බන්ධව මෙහිදී වැඩිදුර තොරතුරු ඉදිරිපත් නොකරමි.)
දම් පැහැ කවය තුල පැරණි රජ මාලිගය ඇතුලු ගොඩනැගිලි පිහිටි ප්‍රදේශය ලකුණු කර ඇති අතර උතුරේ සිට දකුණට යොමුවන නිල් පැහැති රේඛාවෙන් ප්‍රාකාරය තිබූ ආකාරය නිරූපනය වේ.  බුවනෙක හෝටලය තවදුරටත් බටහිර දෙසට වන්නට රතු පාට තිතකින් ලකුණු කර ඇත.
එසේ නම් මෙම බුවනෙක හෝටලය කුමක්ද? එහි කිසියම් හෝ ඓතිහාසික වටිනාකමක් නොමැතිද? ඉහත ඉදිරිපත් කල කරුණු අනුව එය කිසිසේත්ම 13 සියවසට අයත් ගොඩනැගිල්ලක් නොවේ. එය අපතයන් නොවන ඕනෑම කෙනෙකුට අවබෝධ විය යුතුය. එසේම එම ගොඩනැගිල්ල ඉදිවී ඇත්තේ ඇතුළු නුවරට පිටිනි. එබැවින් අවම වශයෙන් එය රාජ සභාව වැනි රාජකීය ගොඩනැගිල්ලක් තිබූ ස්ථානයකවත් තැනූවක් නොවේ. නමුත් නගරයේ ප්‍රාකාරයෙන් පිටත එයට ඉතාම ආසන්නව පිහිටි මෙම ස්ථාන වලද කිසියම් ගොඩනැගිලි කුරුණෑගල යුගයේ ඇතැම්වීට තිබෙන්නට ඇත. පොලවෙන් උඩ තිබෙන එතරම් පැරණි නොවන මෙම ගොඩැනැගිල්ල පිහිටි භූමිය යටට කැනීම් කර බැලුවොත් එවැනි දේවල අවශේෂ හමුවිය හැක. මීටත් වඩා ඉහත සිතියම් වල ඇතුළු නුවර ලෙස සලකුණු කර ඇති ප්‍රදේශයේ කැනීම් මගින් බොහෝ දේ හමුවීමේ ඉඩකඩ ඇත. දැනටද එවන් බොහෝ ශෛලමය අවශේෂ එම භූමියේ තැන් තැන් වලින් වරින් වර හමුවී ඇති බව පැවසේ. එහෙත් එම ප්‍රදේශයේ මෑතකාලීන ඉදිකිරීම් බහුලය. ඒවා ඉදිකිරීමේදි බොහෝ වටිනා ස්ථාන වල අවශේෂ විනාශ වන්නට ඇත. උක්ත ගොඩනැගිල්ල සම්බන්ධව නම් පැවසීමට ඇත්තේ පැහැදිලිවම ඉංග්‍රීසි පාලන සමයේ 19 වන සියවසේ අවසාන කාලයෙන්  පසුව ඉදිවූවක් වන එය කිසිසේත්ම එයට පෙර යුගයකට කාලනිර්ණය කල නොහැකි බවය. ඇතැම්විට එහි පාදමට ප්‍රදේශයේ ඒ වනවිට සුලභව තිබූ ගල් පාදම් සහ වෙනත් දේ යොදාගන්නට ඇත. පෙරලුන පිට හොඳයි කියා මෙම විනාශයත් සමග ඒ පිළිබඳව කැනීම් කර තොරතුරු සොයාගත හැක. නමුත්  හැකි නම් මෙම ගොඩනැගිල්ල පෙර තිබූ ලෙසට ප්‍රතිනිර්මාණය කර මෙතෙක් යොදාගත්තා මෙන් කුරුණෑගල පෞද්ගලික උපකාරක පන්ති වලට යන බාලවයස්කාර පෙම්වතුන්ට කාමර සපයන ස්ථානයකට වඩා වැදගත් කාර්යයක් උදෙසා භාවිතා කල යුතුය. අවසාන වශයෙන් අත්තනෝමතික ලෙස මෙය විනාශය කල පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක කිරීමද අනිවාර්යයෙන් කල යුතුය. අගෝස්තු 5 කොහොමත් ඇප නැතිවෙන්න පරදින ගොන් අලි, රතු අලි සහ ඔරිජිනල් කොළ අලි මෙය විකුණාගෙන ලිප ගිණි මෙලවෙන තෙක් කකුළු නැටුම් නැටුවාට අපට නම් කම් නැත. මෙතෙක් මෙරට ජාතික සම්පත් විනාශ වෙද්දී බවුන් වැඩූ ජේතවනාරාමයට කුණු පුරවන්න කතා කල, ශ්‍රීමහා බෝධිය යට අඩියක් ගසන්න කතා කල, අන්තවාදීන් උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන විනාශ කරද්දි නෑසූ කන්ව සිටි විජාතික කඳවුරේ අපතයන් සිය ඓතිහාසික පරාජය හමුවේ හෝ ඒවා ගැන කතා කිරීමම වැදගත් නොවේද? එහෙත් ඒ සඳහා කිසිදු පදනමක් නොමැති මනස්ගාත දොඩවා මෙරට ඊනියා "උගත් බුද්ධිමත් ජනතාව" ඇන්දීමට නම් ඉඩදිය නොහැක.

මූලාශ්‍ර

  • කුරුණෑගල විස්තරය, ශාස්ත්‍රීය සංස්කරණය සහ විමර්ශනය, රංගන කුරුවිට, 2015
  • Ceylon and Its Capabilities, An Account of Its Natural Resources, Indigenous productions and commercial facilities, J.W. Bennett, 1843
  • Ceylon, An Account of the island Physical, Historical and Topographical with notices of its natural history, antiquities and productions Vol 1 and 2 , Sir James Emerson Tennent, 1859
  • පෞරාණික ස්ථානහා ස්මාරක - කුරුණෑගල දිස්ත්‍රික්කය, ර්‍.ඛ්.ශ් අනුරාධා, අජන්තා සමන් කුමාරි, 2015
  • Ceylon Gazetteer, Simon Casie Chitty, Modliar, 1834
  • Paranavitana s., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions.
  • Modder F., Kurunegala Vistaraya; with notes on Kurunegala, Ancient and modern, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Volume 13 Part 44 , 1893

Saturday, July 11, 2020

තුන් සිංහලයේ රජකම එපා කියා අස්වානේ දෙවියන් වූ සකලකලාවල්ල, පියා මැරවීමට පතසේ උල් සිටවූ කළුකුමාරයා හා උඩුගම්පොල පතහ

උඩුගම්පොල පතහ පිළිබඳව කෙටි විස්තරයක් ඒ සම්බන්ධ කෙටි වීඩියෝවක්ද සමගින් පසුගිය සතියේ පල කලෙමි.
එම ලිපිය කියවීමට Link >>
වීඩියෝව නැරඹීමට >>

මේ ලිපිය එම පතහ සහ උඩුගම්පොල රාජධානියට අයත් ලෙස සැලකිය හැකි ප්‍රදේශයේ හමුවන වෙනත් නටබුන් සහිත ස්ථාන පිළිබඳව මෙන්ම උඩුගම්පොල රාජධානිය කර වූ සකලකලාවල්ල රජු පිළිබඳව සහ එම යුගයේ වෙනත් දේශපාලන තොරතුරුද ඉදිරිපත් කිරීම සඳහා වෙන්වේ.

කෝට්ටේ රාජධානිය, ප්‍රාදේශීය උප රාජධානි සහ ඒවා අතර දේශපාලන සම්බන්ධතාවය 
සිංහල රාජාවලියේ අවසාන වරට මෙරට එක්සේසත් කල හයවන පරාක්‍රමබාහු රජතුමා (1411-1466) පුත් තනතුරේ ඇති කල කුමාරවරුන් දෙදෙනෙකි සපුමල් කුමාරයා සහ අඹුලුගල කුමාරයා. මොවුන් දෙදෙනා පසු කලක පිළිවෙලින් ශ්‍රී බුවනෙකබාහු (හයවන බුවනෙකබාහු [1469-1477]) සහ වීර පරාක්‍රමබාහු (1480-1489) ලෙසින් කෝට්ටේ අගනුවර කරගෙන මෙරට පාලනය මෙහෙයවූහ. වීර පරාක්‍රමබාහු රජු හට සිය අග බිසවට දාව ධර්මපරාක්‍රමබාහු සහ (එක දෝලියක සරණ පාවාගෙන මැණික්කඩවර සිටි)  විජයබාහු, සහ රාජසිංහ  යන පුතුන් තිදෙනෙක්ද, රයිගම් නුවර විසූ තවත් පුතෙක්ද වූහ. එම අග බිසවගේ බාල සොහොයුරියකට දාව රජුට උඩුගම්පොල විසූ සකලකලාවල්ල සහ මාදම්පේ විසූ තනියවල්ල නම් තවත් පුතුන් දෙදෙනෙකුද සිටි බව රාජාවලියේ සඳහන් වේ.

වීර පරාක්‍රමබාහුගෙන් පසු මොවුන් අතරින් ධර්මපරාක්‍රමබාහු (1489-1513) රාජ්‍යත්වයට පත්වන අතර රාජාවලියටද මූලාශ්‍ර වන අලකේශ්වර යුද්ධය පවසන ලෙසට ධර්මපරාක්‍රමබාහුගේ අනෙක් සොහොයුරන් වූ තනියවල්ල කටුපිටි මාදම්පේ නගරය ඉදිකර එහිද, සකලකලාවල්ල උඩුගම්පොල නගරය ඉදිකර එහිද, ශ්‍රී රාජසිංහ සහ විජයබාහු මැණික්කඩවර නුවර ඉදිකර එහිද, බාලම සොහොයුරා රයිගමද වාසය කර ඇත.

හයවන පරාක්‍රමබාහු තුන් සිංහලය එක්සේසත් කර මුළු දිවයිනටම සිය බලය පැතිරවූ මුත් මේ වන විට ජනගහණයෙන් බහුතරය දිවයිනේ නිරිතදිග කොටසට සංකේන්ද්‍රණය වී තිබූ බව පෙනේ. රාජධානි නිරිතදිගට ව්‍යාප්ත වීමට පෙර රජරට රාජධානිය පැවතී යුගයේ මෙන් ප්‍රදේශ අතර සන්නිවේදනය සාපේක්ෂව පහසු තැනිතලා භූගෝලිය පිහිටීමක් ඒ වන විටත් ඝන වැසි වනාන්තර වලින් වැසී තිබූ මෙම නිරිතදිග පෙදෙසේ නොතිබුනි. මධ්‍යම කඳුකරයේ සිට සාගරය දක්වා ගලායන වසර පුරා ජලයෙන් පිරී පවතින ගංගා පද්ධතිය මෙම සන්නිවේදනය සහ ගමනාගමනය තව දුරටත් අපහසු කරයි. ප්‍රදේශ අතර සම්බන්ධතා පවත්වා ගත් වනාන්තර මැදින් වැටී තිබූ අඩි පාරවල්ද වැසි කාලයත් සමග නැවත හඳුනාගැනීමට නොහැකි අයුරින් ශ්‍රීඝ්‍රයෙන් වනාන්තරයෙන් වැසී යයි (අවාරය නිමා කර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමට පෙර ශ්‍රී පාදය රත්නපුර සහ පලාබද්දල මාර්ග ඔස්සේ වන්දනා කරන්නන්ට අදද මේ තත්වය යම් තාක් දුරකට අවබෝධ කර ගත හැක.)
උඩුගම්පොල පතහ - කබොක් ගලින් කල නැගෙනහිර  බැම්ම
තවද හයවන පරාක්‍රමබාහුගෙන් පසු බලයට පැමිණි බොහෝ රජවරුන් එතරම් ශක්තිමත් රජවරු නොවූ අතර ඔවුන් රාජ්‍යත්වයට පැමිණීමට තිබූ සුදුසුකම්ද අභියෝගයට ලක් නොවූවාම නොවේ. උදාහරණයක් ලෙසට හයවන පරාක්‍රමබාහුගෙන් පසූ ජයවීර පරාක්‍රමබාහු (1466-1469) නමින් කෝට්ටේ පාලකයා වී රටේ බලය ලබාගන්නා හයවන පරාක්‍රමබාහුගේ දියණිය වූ උලකුඩය දේවියට සහ නන්නුරුතුනයාට දාව උපන් කුමරු මරා සපුමල් කුමරු ශ්‍රී බුවනෙකබාහු ලෙසින් රජවන මුත් කළුගඟේ සිට වලවේ ගඟ (වල ඔය) දක්වා කලාපයේ ප්‍රාදේශීය පාලකයන් සමග පස්යොදුන් කෝරලයේ කැකුලන්දොල ශ්‍රී වර්ධන පතිරාජයා සහ කුරගම හිමියාණන් කැරලි ගසයි. මෙම කැරැල්ල "සිංහල පෙරළී " ලෙසින් රාජාවලිය හඳුන්වයි. කැරැල්ල මැඩපැවැත්වීමට සපුමල් කුමරුට හැකිවන මුත් ඔහුට විරුද්ධ සිංහල ප්‍රභූවරු පිරිසක් සිටි බවට මෙයින් හැඟී යයි.

මෙවන් තත්වයක් යටතේ ධර්මපරාක්‍රමබාහු රජු නිරිත දිග කලාපයේම විවිධ ප්‍රදේශ වල ඔහුට විශ්වාසී සිය සොහොයුරන් රඳවා එම පලාත්වල පාලන කටයුතු ඔවුන් ලවා මෙහෙයවූ බව සිතිය හැක. එහෙත් යාපනය රාජධානියේ සිට සපුමල් කුමරු දකුණට පැමිණීමත් සමග දුරින් පිහිටි එම ප්‍රදේශය නැවතත් කෝට්ටේ පාලනයෙන් ක්‍රමයෙන් මිදෙමින් පැවතී අතර සයවන පරාක්‍රමබාහු යුගයේ සිටම කන්ද උඩරට පදනම් කරගනිමින් උපරාජධානියක් ඉදිවීමේ ලකුණු පහල වී තිබුණි. එහෙත් නිරිත දිග කලාපයට සාපේක්ෂව මෙම ප්‍රදේශ අඩු ජන ඝනත්වයක් සහිත හෙයින් පිරිස් බලය අතින් මෙන්ම ආර්ථිකමය වශයෙන්ද ශක්තිමත් කෝට්ටේ පාලකයාට අවනතව සිටීමට මෙම ප්‍රදේශ වල පාලකයන්ට සිදුවිය. එහෙත් එම ප්‍රදේශ පදනම් කරගනිමින් වරින් වර කැරලි පැණ නොනැගුනාම නොවේ.

සකලකලාවල්ල රජු 
මෙවැනි තත්වයක් යටතේය සකලකලාවල්ල කුමරා උඩුගම්පොල නුවරක් ඉදිකරන්නේ. සකලකලාවල්ල ගැන රාජාවලියේ ඉන්පසු සඳහන් වන්නේ යොන්ගොල්ලකුත් සමග හලාවතට පැමිණි කායලපට්ටනමේ කදිරායන (අලකේශ්වර යුද්ධයේ සඳහන් වන ලෙසට කායල්පට්ටනමේ අදිරාසරායන් මුදලියා) නම් යොනෙක් (මුස්ලිම් පුද්ගලයෙක්) එහි මුතු කිමිදීමටත්, බලෙන් ඇතුන් අල්ලන්නත් පටන් ගැනීමත් සමග ධර්මපරාක්‍රමබාහු රජු මහා සේනාව සමග සකලකලාවල්ල රජු පිටත් කල බවත්, ඔහු මාදම්පේට ගොස් සිය මලනුවන් වූ තනියවල්ල සමග එහි ගොස් ඔවුන් සමග සටන් වැද බොහෝ යොනුන් මරා, කදිරායන මුදලියාටත් ඇන මරා, මුතු කිමිදීමට පැමිණි බොහෝ යොන්ගොල්ලන් අල්ලගෙන ඔවුන්ගේ සම්බාන් (එනම් එම නමින් හැඳින්වූ ඔරු) ඇතුන් ලවා පොඩි කරවා අසුන් නවදෙනෙකුත් අල්වාගෙන ජයවර්ධන නුවරට පැමිණ පරාක්‍රමබාහු රජුගෙන් බොහෝ තාන්නමාන්න ලැබගෙන තම තමන්ගේ නුවරවල් වලට ගිය බවට වූ සිද්ධිය විස්තර කිරීමේදීය.
උඩුගම්පොල පතහ - කබොක් ගලින් කල දකුණු බැම්ම
මේ කාලය වනවිට කෝට්ටේ රාජ්‍යයට යටත් ප්‍රදේශීය රාජ්‍යයක් ලෙසින් පැවති උඩරට රාජ්‍යය අවම වශයෙන් අවස්ථා දෙකකදී කෝට්ටේ රාජ්‍යයෙන් මිදී ස්වාදීන වීමට උත්සාහ කල බව රාජාවලි වාර්තා වලට අනුව පැහැදීලි වේ. එහි විස්තර වන පරිදි එම රජු (සේනාසම්මත වික්‍රමබාහු [1479-1511] ) සිංහාසනයක් මත හිඳ රාජ්‍යය විචාරීම, කාසි නිකුත් කිරීම (ඔහු නමින්), කෝට්ටේ රාජ්‍යයට ගෙවිය යුතු බදු නොගෙවීම සහ අංගම්පොර සටන් වල නියලීම ආදී උප රාජධානියක රජෙකු විසින් නොකල යුතු කාර්යයන් කරමින් මුල් අවස්ථාවේ මේ උත්සාහය දරා ඇත. එහෙත් එම වෑයම මැණික්කඩවර සිටි ශ්‍රී රාජසිංහ සහ කීරවැල්ලේ රාලහාමි නම් වූ ඔහුගේ මස්සිනා එක්ව ව්‍යර්ථ කරයි. යලිදු අවස්ථාවක සතර කෝරලයේ කැරලි ඇති කරමින් උඩරට රජු එවන් උත්සාහයක් දැරූ විට එය මැඩලීම උදෙසා ධර්මපරාක්‍රමබාහු රජු පිටත් කරන්නේ සකලකලාවල්ල රජුය. යටිනුවර දක්වා ගොස් කඳවුරු ලා ගන්නා සකලකලාවල්ල රජු හමුවීමට පැමිණෙන උඩරට රජු මුතුකුඩයක්, හක්ගෙඩියක්, පලිහක් සහ සිය කර බැඳි මාලය පිරිනමා යටත් වේ. එම මාලය සකලකලාවල්ල රජු සිය පයේ බැඳ, නැවත ඒකනායක මුදලියාගේ කරේ දමා උඩරට රජුට  තරවටු කර නැවත එම උත්සාහයද මැඩලයි.

රාජාවලියට අනුව පෘතුගීසීන් මෙරටට පැමිණෙන විටද මෙරට පාලකයා වූවේ ධර්මපරාක්‍රමබාහු රජුය (රාජාවලිය පවසන පරිදි එය සිදුවී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ1522 දීය.) එම අවස්ථාවේ ධර්මපරාක්‍රමබාහු රජ සිය සොහොයුරන් සිව්දෙනා (පෙර සොහොයුරන් පස් දෙනෙකු පිළිබඳ විස්තර හමුවන මුත් මේ අවස්ථාවේ එම ගනන 4 ක් ලෙස දැක්වේ.) කැඳවා කුමක් කල යුතුදැයි සාකච්චා කර ඇත. මේ අවස්ථාවේ ඔහුගේ එක් සොහොයුරෙකු වූ චක්‍රායුධ රජ වෙස්වලාගෙන ගොස් ප්‍රතිකාලුන් පිළිබඳව විමසා බලා ඔවුන් හා යුද කිරීම නුවණට හුරු නොවන බව පවසා තෑගී භෝග හුවමාරුවක් සිදුකර ඇත. (මේ නමින් යුත් සොහොයුරෙක් ගැන පෙරදී සඳහන් නොවේ. අඩු වැඩි වශයෙන් රාජාවලි පිටපතක් ආශ්‍රයෙන්ම රචිත ලෙස හැඟෙන ඕලන්ද ජාතික වැලන්ටයින්ගේ [Francois Valentijnවිස්තරයේ මෙම කාර්යය සඳහා ගිය රජු ලෙස දක්වන්නේ උඩුගම්පොල රජතුමාය (King of Oedoegampala). ඒ අනුව චක්‍රායුධ යනු සකලකලාවල්ලගේම වෙනත් නමක් ලෙස හඳුනාගත හැක. එම අදහස තවදුරටත් ශක්තිමත් කිරීමක් පෘතුගීසි  ජාතික ක්වේරෝස් පියතුමාගේ [Fernao de Queyros] විස්තරයේ හමුවේ.  ක්වේරෝස් පියතුමාගේ වාර්තාවේ ධර්මපරාක්‍රමබාහුගෙන් පසු වැඩිමහළු චක්‍රායුධ [Chacrauade Bau] වෙනුවට බාලයා වූ විජයබාහු [Vigia-Bau] තෝරාගත් බව පවසයි. මෙය පහත විස්තර වන රාජාවලි විස්තරය හා සැසදූ විටද චක්‍රායුධ යනු සකලකලාවල්ලම බව හඳුනාගත හැක. සැ.යු. මේ අදහසට විරුද්ධ අදහසක් හැඟෙන තොරතුරක්ද ක්වේරොස් වෙනත් ස්ථානයක දක්වයි)

ධර්මපරාක්‍රමබාහු මිය ගිය පසු රාජ්‍යත්වයට පත්වන්නේ 'අලකේශ්වර යුද්ධය' පවසන ලෙසට ඒ වන විට "යුව රජු" ලෙස සිටි සකලකලාවල්ල රජු නොව බාලයා වූ මැණික්කඩවර සිටි විජයබාහු රජුය. මේ වන විට ඔහු සමග මැණික්කඩවර එක් බිසවක තබාගෙන සිටි රාජසිංහ රජු මියගොස්ය. කෙසේ නමුත් රාජාවලිය, අලකේශ්වර යුද්ධය සහ තවත් මූලාශ්‍ර කිහිපයකම දැක්වෙන්නේ ධර්මපරාක්‍රමබාහු මිය ගිය විට ප්‍රබල ඇමතියන් (මහාමන්ත්‍රීන් ) සහ සේනාව උඩුගම්පොල සිටි සකලකලාවල්ල රජු ජයවර්දන නුවරට (එනම් කෝට්ටේට) කැඳවාගෙන පැමිණි මුත් කරුණු කිහිපයක් ඇති බැවින් තුන් සිංහලයේ රජකම ඔහු ප්‍රතික්ශේප කර විජයබාහු හට රජකම පැවරූ බවය. සකලකලාවල්ල රජුගේ මව වීර පරාක්‍රමබාහු රජුගේ අග බිසව නොවීම සහ විජයබාහු රජුගේ මව ඔහුගේ අග බිසව වීම මේ සඳහා බලපා එක් හේතුවක් විය හැක. ඉක්බිති සකලකලාවල්ල රජු නැවතත් සිය රාජධානිය වන උඩුගම්පොලටම පිටත් වේ.

සිංහල මූලාශ්‍ර වල මින් පසුවත් කිහිප විටක්ම සකලකලාවල්ල රජු පිළිබඳව සඳහන් වන මුත් ඒ යම් යම් වෙනත් පුද්ගලයන් හා සකලකලාවල්ල රජු අතරවූ ඥාති සම්බන්ධතා සහ සකලකලාවල්ල රජු ජීවත්ව සිටි කාලයේ එම පුද්ගලයන්ට අදාල තොරතුරු විනා සකලකලාවල්ල රජුට කෙලින්ම අදාල වන තොරතුරු නොවේ. කෙසේ නමුත් ලිඛිත මූලාශ්‍ර නැවතූ තැනින් පදනමක් ඇතිව හෝ නැතිව ප්‍රභවය වී ජනයා අතර පරපුරෙන් පරපුරට නිරන්තරයෙන් කොටස් එකතු වෙමින්, විකෘති වෙමින් සහ කොටස් අඩු වෙමින් පැවත එන ජනශ්‍රැතිය සකලකලාවල්ල රජුගේ පුතෙකු පිළිබඳව තොරතුරු අපට පවසයි. මේ ඒ පිළිබඳවය.
උඩුගම්පොල පතහ
කළුකුමාර දෙවියෝ
සකලකලාවල්ල(භ) රජුට රජක කුලයේ බිසවකගෙන් උපන් කළුකුමාර නම් පුතෙකු වීලු. හෙතෙම කුමාර බණ්ඩාර, මැණික් සාමි, මල්මද කුමරා ආදි නම් වලින්ද හඳුන්වා ඇත. උඩුගම්පොල රාජ්‍යය තමාට දෙන ලෙස මේ කුමරා පිය රජුගෙන් ඉල්ලා ඇති මුත් ඔහු එය ප්‍රතික්ශේප කල හෙයින් කුමරා පිය රජු මැරවීම උදෙසා ඔහු නාන තොටේ උල් සිටුවා ලීය. එහෙත් එය රජුට සැලවී ඔහු අල්ලා සිරකරන ලෙස අණ කලේය (දිය මතුපිටට ආසන්නව තිබූ එම උල් වල කෙලවර කළු දෙබරුන්/බත් කූරන් වසා සිටීම නිසා රජුට එය හසුවූ බවට එක් ජනප්‍රවාදයක කියැවේ.) බියපත් වූ කලු කුමාරයා වීරා නම් වූ සිය සේවකයාද සමග සමනල අඩවියට පැන ගියේය. එහෙත් එහි ජීවත් වීම අපහසු බැවින් (මෙරට වියලි කලාපීය වනාන්තර වල මෙන් නොව මිනිසාට ජීවත් වීමට අවැසි ශාකමය ආහාර සහ දඩයම් තෙත් සහ කඳුකර කලාපයේ වනාන්තර වල සුලභ නොවේ.) කළුකුමාරයා වීරාද සමග පර්වතයකින් පැන (කුණුදිය පර්වතය ලෙසින් එක් මූලාශ්‍රයක සඳහන් වේ.) දිවි හානි කරගත්තෙලු. මියගිය කළුකුමාරයා කළුකුමාර දෙවි බවටද, වීරා වීරමුණ්ඩ දෙවි (යකු) බවටද පත්විණි.

නමින් පසිදු උඩුගම්පොල පියසා
පියන් මරන ලෙස ඇවිදින වයසා
දෙපන්සියක් උල් සදලා පතසා
කියන් වරුණ බල තෙද පෑ විලසා

ජනප්‍රවාදයට අනුව සකලකලාවල්ල රජු මෙම ගල් ආසනය මත සිට දිය නෑමට පතහට පනින ස්ථානයේ කළු කුමාරය උල් සිටුවා ඇත.
කළු කුමාර දෙවි (යකා) ලෙසින් හැඳින්වෙන දෙවිවරු කිහිප දෙනෙක්ම මෙරට ජනයා අතර පුද පූජාවට ලක්වෙන අතර ඔවුන් සඳහා ප්‍රාදේශීයව වෙනස් උත්පත්ති කතාද හමුවේ. මේ ගම්පහ උඩුගම්පොල ප්‍රදේශය ආශ්‍රීතව පැවතෙන එවන් එක් කතාවකි.

අස්වානේ දෙවියෝ
සකලකලාවල්ල රජුගේ පුත් කුමරා පමණක් නොව සකලකලාවල්ල රජුද මරණින් පසු ජනයා අතර දේවත්වයෙන් පුද ලැබීය. ඒ අස්වානේ දෙවි නමිනි. මේ ඔහුගේ කතාවයි. සකලකලාවල්ල රජු මිනුවන්ගොඩ ඔය හරස් කර වානක් බැඳ ප්‍රදේශයේ ජනතාවට කෘෂිකර්මය සඳහා අවශ්‍ය ජල සම්පාදනය කර දී ඇත. එය කළවානේ වැව ( වාන කළ >  කළවාන ) ලෙස හඳුන්වයි. එහෙත් ටික කලකදී වැව්බැම්ම කැඩී ගිය හෙයින් රජුගේ අනියම් බිසවක් වන රජක කාන්තාවක එයට බිලී දී ඇත. එයද අසාර්ථක වූ බැවින් රජුද වැවට පැන මිය ගියේය. රජු වෙනුවෙන් ගැමියන් ඒ ආසන්නයේ දෙවොලක් ඉදිකර පුද පූජා කිරීමට පටන් ගත්හ. වාන කැඩී ගිය හෙයින් අස් - වාන (වාන අස් වුනා) යයි ව්‍යවහාර වී දේවාලය, එය පිහිටි ගම සහ දෙවියන් අස්වානේ දේවාලය, අස්වාන සහ අස්වානේ දෙවියන් ලෙසින් හඳුන්වන්නට වීලු. අස්වානේ දෙවි ඇදහිල්ල මෑතක් වනතෙක්ම මේ ප්‍රදේශයේ තිබී ඇත (වර්තමාන තත්වය නොදනී.)
මාලිගාගොඩැල්ල හෙවත් උත්තරාරාම විහාරභූමියෙන් හමුවන නටබුන් (2007 වසරේදී ගත් ඡායාරූප)
උඩුගම්පොල පතහ සහ වෙනත් නටබුන්
උඩුගම්පොල පතහ ආසන්නයේ පිහිටි මාලිගා ගොඩැල්ල නම් ස්ථානයක මේ වනවිට උත්තරාරාම විහාරය නම් වූ විහාරයක් ඉදිකර ඇතත්, ජනප්‍රවාද ගත තොරතුරු වලට අනුව සහ එම ස්ථානයේ හමුවන ඇතැම් ශෛලමය අවශේෂ කොටස් වලට අනුව පැරණි රජ මාළිගය මෙම ස්ථානයේ තිබුණ බවට අපට අනුමාණ කල හැක. මෙම පතහ හා ඉහත කළුකුමාරයා සම්බන්ධ ජන කතාවට සාධකයක් විය හැකි ඔහුට හමුවූ උල් කල දැව කොටසක් පිළිබඳව නැසී ගිය කවියෙකු, නාට්‍යය රචකයකු සහ ශ්‍රේෂ්ඨ කලාකරුවෙකු වූ දයානන්ද ගුණවර්ධනයන් ලියූ "සකලකලාවල්ල උඩුගම්පොල රජතුමා" නම් ග්‍රන්ථයේ සඳහන් බව පැවසේ ( එම මූලාශ්‍රය නොමැති බැවින් එය පිරික්සා බැලීමට නොහැකි විය.) කෙසේ නමුත් මෑතකාලීන කැනීම් වලදි හමුවූ එවැනි දැව කොටසක් උඩුගම්පොල ප්‍රදේශීය සභා පරිශ්‍රයේ තබා ඇති බව පැවසේ (එහි ඡායාරූපයක් මෙම වෙබ් අඩවියේ පලකර ඇත >>) ඇතැම්විට වෙනත් කටයුත්තක් සඳහා යොදාගත් මෙවැනි දැව කොටස් මෙම ස්ථානයේ පැරණි යුගයේ බහුල ලෙස හමුවීම ඉහත ජන කතාව නිර්මාණයට ඉවහල් වූවාද විය හැක.
මාලිගාගොඩැල්ල හෙවත් උත්තරාරාම විහාරභූමියෙන් හමුවන නටබුන් (2007 වසරේදී ගත් ඡායාරූප)
මූලාශ්‍ර
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය
  • සිංහල දේව පුරාණය, කේ. එන්. ඕ ධර්මදාස, එච්. එම්. එස්. තුන්දෙනිය, 2015
  • සිංහල රණවිරු දෙවිවරු, විභාවි විජයශ්‍රීවර්ධන
  • University of Peradeniya, History of Sri Lanka, Volume II (c1500 to c1800), Editor K.M. de Silva  1995
  • The Rajavaliya, A Comprehensive Account of the Rulers of Sri lanka, And the first ever translation of the Alakesvara Yuddhaya, A.V. Suraweera, 2000
  • ශ්‍රී ලාංකේය ඉතිහාසය වෙළුම 3  සංස්කාරක ආචාර්ය W.M.K. විජේතුංග, 2012
  • Francois Valentijn's Description of Ceylon, Translated and Edited by Sinnappah Arasaratnam, 1978
  • The Temporal and Spiritual Conquest of Ceylon - Fernao de Queyros, Translated by S.G. Perera, 1930


Sunday, July 5, 2020

උඩුගම්පොල පැරණි පතහ (Video)


ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුගම්පොල නගරයේ වටරවුමේ සිට දිවුලපිටිය පාරේ මීටර් 50 පමණ ගිය විට පාරේ වම්පස හමුවන ශරීර සුවතා මංතීරුව ඔස්සේ මීටර 400 පමණ දුරක් ගියවිට 'පතහ' නමින් හැඳින්වෙන මෙම පැරණි පොකුණ වෙත පැමිණිය හැක. කෝට්ටේ යුගයට අයත් උප රාජධානියක් වන උඩුගම්පොල රාජධානියට අයත් නටබුන් වූ පතහක් හෙවත් පොකුණක් ලෙස මෙම ස්ථානය ජනප්‍රවාදගත තොරතුරු, පුරාවිද්‍යාත්මක කැනීම් සහ සාහිත්‍ය මූලාශ්‍ර අනුසාරයෙන් හඳුනාගත හැක. සකලකලාවල්ලභ නම් එම යුගයේ විසූ ප්‍රාදේශීය රජෙකු හා එම තොරතුරු බැඳී පවතී. 'මාලිගාගොඩැල්ල' නමින් හැඳිවෙන ස්ථානයක්ද මේ අසලම හඳුනාගත හැකි අතර එම ස්ථානයේ වර්තමානයේ උත්තරාරාමය නම් බෞද්ධ විහාරයක් ඉදිකර ඇත. මෑතක් වනතුරු මඩ වගුරක් සහ කැලෑවෙන් යටවූ ඉවුරු ලෙසින් පැවති මෙම පතහ වසර කිහිපයකට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැනීම් සිදු කර සංරක්ෂණය කර ඇත.
උඩුගම්පොල පැරණි පතහ (කැනීම් සිදුකිරීමට පෙර) -  Google Earth Pro ඇසුරින් ලබාගත් 2014 වසරේ ගුවන් ඡායාරූපයක්
 තවද ඉහත සඳහන් ශරීර සුවතා මංතීරුව පොකුණේ ඉවුරු වලට ඇතුලතින් පොකුණ වටා ඉදිකර ඇත (කැනීම් කිරීමට පොරොතුව වසර 2007 දී මෙම ස්ථානය තිබූ ආකාරයද මෙම කෙටි වීඩියෝවේ අන්තර්ගත වේ.) කැනීම් මගින් පතහේ දකුණු , නැගෙනහිර සහ උතුරු දිසා වලින් මතු කරගත් කබොක් ගලින් නිර්මිත ඉවුරු බිත්ති මේ වන විට දැක ගත හැක. නමුත් පතහේ බටහිර දෙසට වන්නට උතුරු - දකුණු දිශා ඔස්සේ වූ ඉවුරු වල කබොක් ගල් දැකිය නොහැක. ඉංග්‍රිසී L අකුරේ හැඩයට නිමවා ඇති මෙම පොකුණ වර්ග මීටර 25 805 ක ප්‍රදේශයක් පුරා පැතිරි ඇති අතර අස්වාන ඔය නම් අසලින් ගලා යන ඔයක සිට භූගත උමං මාර්ගයක් ඔස්සේ මෙම පතහ වෙත ජලය ගලා ඒ.
සිතියම 1
මෙම පතහ හා සම්බන්ධ ජනප්‍රවාද, උඩුගම්පොල උපරාජධානිය සහ සකලකලාවල්ලභ රජු පිළිබඳ ඓතිහාසික තොරතුරු ඉදිරියේදී විස්තරාමක ලිපියකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
උඩුගම්පොල පැරණි පතහ  - කැනීම් අවසන් කර සංරක්ෂණය කීරීමෙන් පසු ශරීර සුවතා මංතීරුවද ඉදිකල පසු Google Map ඇසුරින් ලබාගත් ඡායාරූපයක්

Saturday, May 30, 2020

රාවණා නොසිටි රාවණාගොඩ, ඩොයිලිට ඔත්තු සපයා ගම්වර ලත් නියඳවත්තේ සට්ටම්ඹි සහ එදා කොත්මලේ රට

කොත්මලේ රට
නැගෙනහිරෙන් හේවාහැට රටින් දකුණින් ඌව දිසාවෙන්, බටහිරෙන් උඩ බුලත්ගමින් (Link 1 >>,  Link 2 >> )  සහ උතුරින් උඩපලාතින් (Link 3 >>, Link 4 >>) සීමා වූ කොත්මලේ රට පැරණි සිංහලේ පලාත් වලට අයත් ප්‍රදේශ බෙදීමකි. මහනුවර යුගයේ සිට බ්‍රිතාන්‍යයන් කෝපි සහ තේ වගා ආරම්භ කල යුගය වනතෙක්ම කොත්මලේ  රටට අයත් භූමියෙන් විශාල ප්‍රදේශයක් කඳුකර වනාන්තර වලින් වැසී පැවතිණි. මේ සමග පෙන්වා ඇති සිතියමින්ද පැහැදිලි වන ලෙසට පැරණි සිංහල ජනාවාස පැවතියේ මහවැලි ගඟේ අතු ගංගාවක් වන කොත්මලේ ඔය සහ එම කොත්මලේ ඔයේ අතු ගංගා වන පැන්න ඔය, පූඩලු ඔය හෙවත් පුන්ඩළු ඔය, රම්බොඩ ඔය නිම්න වලට අයත් පහත් බිම් අවට පමණි. අද මේ ප්‍රදේශ සහ ඒවායේ තිබූ ගම් වැඩි ප්‍රමාණයක් විශේෂයෙන් වී වගා කල වෙල් යායවල් අඩු වැඩි වශයෙන් කොත්මලේ ඔය ජලාශයට යටවී ඇත.

දුටුගැමුණු කුමාරයා පියා සමග විරසක වී සැඟවී සිටි ප්‍රදේශය ලෙස මේ ප්‍රදේශයේ ජනයා විශ්වාස කරන කොත්මලේ රටේ ඔහු හා සම්බන්ධ ස්ථාන, ජනප්‍රවාද ආදිය බහුලව හමුවේ. කොටගේපිටිය ගමේ විසූ ඌරුපැලැල්ලේ ගමරාලගේ දියණිය සමග දුටුගැමුණු කුමාරයා විසූ බවට මෙහි පැරණි ගැමියන් විශ්වාස කල බව ලෝරිද සඳහන් කර ඇත. රයිතලාව හෙවත් රජතලාව ලෙසින් හැඳින්වෙන වෙල් යාය එතුමා අස්වැද්දුවේලු. මේ ආදි නොයෙකුත් ජනප්‍රවාද හුදෙක් අපේ පැරැන්නඟේ නිර්මාණශීලී කතන්දර වශයෙන් විනා කිසියම් හෝ ඓතිහාසික වටිනාකමක් තිබෙන ලෙස සැලකිය නොහැක. ඇතැම්විට එම කතා වල මූලය ඓතිහාසික සංසිද්ධියකින් ප්‍රභවය වූවා විය හැකි වුවද, පසුකාලීනව ඒ වටා නොයෙකුත් අභව්‍ය සිද්ධීන් සහ එකතු කිරීම් ගොනුවී ඇති බව විචාරශීලීව විමසා බැලූ විට පෙනේ. මහනුවර රාජධානි සමයේදී මෙන්ම ඉන්පසු කලක් යන තෙක්ම රටේ මහත්මයා කෙනෙකු යටතේ පාලනය වූ කොත්මලේ රට මෑත යුගයේ ( 19 සියවසේ අවසාන භාගයට පෙර) ප්‍රධාන වශයෙන් මාස්වෙල ප්‍රදේශයේ විසූ වෙලගෙදර පරම්පරාවට අයත් පුද්ගලයන් අතර පැවතී ඇත. රම්බොඩ ඔය, පූඩළු ඔය හෙවත් පුන්ඩලු ඔය, සහ දිඹුල සහ කොත්මලේ ඔයේ ඉහල නිම්න වල පැතිර තිබූ උඩපොනේ කෝරළය සහ එම සියළු ජලධාරා එක්වී සෑදෙන කොත්මලේ ඔයේ පහල ජලධාරා ප්‍රදේශයේ වූ පල්ලෙපොනේ කෝරළය ලෙසින් කොත්මලේ රට ප්‍රධාන කෝරළ දෙකකට බෙදේ. ආරච්චි වසම් 14 ක් සහ දුරයා ප්‍රධානීන් යටතේ පාලනය වූ ප්‍රදේශ 4 ක් යටතේ මෙම කෝරළ දෙකට අයත් ප්‍රදේශයේ ගම් 43 තිබූ බව ලෝරි පවසයි. එම ගම් වල වූ බහුතර ජනයා හීන කුල ලෙස සැලකූ කුල වලට අයත් සිංහලයන් බව පැවසේ.
යතුරුගැසූ ලියැද්ද විහාරයේ ඇති දේව රූපයක් 
කොත්මලේ රටේ ඉන්පසු කාලයට අයත් ජනප්‍රවාද ගෙතී ඇති ප්‍රධාන චරිතයක් වන්නේ හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියයි. පෙර පරිදිම ඇතැම් සිදුවිය නොහැකි අද්භූත සිද්දීන් ඈ වටාද ගෙතී ඇති මුත් ඇය ඓතිහාසික චරිතයක් විය හැක. අද වනවිට වයිරසයක් බවට පත්වී ඇති 'රාවණා ආගම' අදහන්නන්ට සතුටුවිය හැකි කාරණයක් වන්නේ 19 වන සියවස අවසාන භාගය වනවිටත් රාවණා නම සහිත ගමක් කොත්මලේ රටේ තිබීම විය හැකි වුවත් මෙම ලිපිපෙල සඳහා මූලිකවම පාදක වන ලෝරිගේ ගැසටියර් වෙලුම් දෙකේ සඳහන් එවකට මධ්‍යම පළාත (Central Province) ලෙසින් හැඳින්වූ මහනුවර රාජධානියට අයත්ව තිබූ විශාල ප්‍රදේශයක විසිර තිබූ ගම් අතරින් එවන් රාවණා නම සහිත එකම ගම මෙම ගම බව සඳහන් කල යුතුය. පොළොන්නරු යුගයෙන් පසුව සිදුවූ දකුණු ඉන්දීය සංක්‍රමණ සමග මෙරටට පැමිණි ජනයා අතර වූ රාමායන,මහාභාරත ආදී ඉන්දීය වීර කාව්‍යය වල වූ ඇතැම් දේ මෙරට සමාජය තුලටද ක්‍රමයෙන් අවශෝෂණය වූ අතර පහත රට මුහුදු බඩ ප්‍රදේශ තුල මෙන්ම රට ඇතුලත සමහර ප්‍රදේශ කරාද ඔවුන් පැතිරුණ බවට සාධක පවතී. ඔවුන් අලුතින් ඇතිකල ගම් වලට ඔවුන් ඇදහූ දේවකතා වල සඳහන් චරිත වල නම් ඈදීම ස්වභාවික සංසිද්ධියක් වන බැවින් මෙම ගමේ සිටි ජනයා එවකට විශ්වාස කල පරිද්දෙන් රාවණා මෙම ගමේ කලක් පදිංචි වී සිටි ලෙසට වූ පසුකාලීනව ඇතිවන ජනප්‍රවාදය පිළිගැනීම රාවණා ආගම පතුරන තක්කඩින්ට සහ ඔවුන් අදහන ඔලමොට්ටලයන්ටම පමණක් පිළිගැනීමට හැකි දෙයක් විනා අන්යමක් නොවේ. මෙම විශ්වාස පසුකාලීනව තවත් ශක්තිමත් වීමට තේ සහ කෝපි වතු සඳහා ඉංග්‍රීසීන් විසින් දකුණු ඉන්දීය සංක්‍රමණිකයන් ගෙන ඒමද ඉවහල් විය. කොත්මලේ රට තුලම හමුවන සීතාඑළිය පැහැදිලිවම මහඑළිය, හාවාඑළිය, නුවරඑළිය වැනිම වූ පැරණි සීතඑළිය (එනම් සීතල තැනිතලා බිම) යන්නෙහි නම එම ප්‍රදේශ වලට සංක්‍රමණය වූ දකුණු ඉන්දීය කම්කරුවන් අතර ව්‍යවහාරයේදී සිදුවූ විකෘති වීමකි. මේ බව එහි වූ සීතා කෝවිල දකුණු ඉන්දීය ද්‍රවිඩ නමක් සහිත කාන්තාවක විසින් ෆොර්බ්ස් එහි යනවිට පවත්වාගෙන ගිය බව පැවසෙන පහත විස්තර වන තොරතුරු වලින්ද සනාථ වේ. එයට ඔවුන් අතර වූ රාමායන ජනකතා අනුබලයක් වූ මුත් 'එළිය' හෙවත් 'තැනිතලාව' සමග විශේෂණයක් එකතු වී සෑදුණ ඉහත අනෙකුත් තැනිතලා ප්‍රදේශ මෙන්ම සීතඑළියද මහනුවර රාජධානි සමයේ පතන් බිමක් වූ තැනිතලා ප්‍රදේශයකි. එම පතන් බිම් හරහා ඌව වැනි ප්‍රදේශ වලට යොමුවූ පැරණි වනගත මාර්ග විනා ඓතිහාසික යුගයේ ජනාවාස තිබූ බවට සාධක නොමැත. මේ පිළිබඳව තත්කාලීන තොරතුරු ජෝන් ඩේවි ඉදිරිපත් කරන අතර ඒ පිළිබඳව පෙර ලිපියකින් අප විමසා බැලුවෙමු. එම ලිපිය කියවීමට Link >>
යතුරුගැසූලියැද්ද විහාරයේ ඇති බිතුසිතුවමක් 
මීට පෙර ලිපි වලින් විස්තර වූ ප්‍රදේශ සමග සසදා බැලීමේදී පෙනෙන තවත් වැදගත් කරුණක් වන්නේ කොත්මලේ රට ප්‍රදේශයේ විවිධ කුල වලට අයත් උඩරට සිංහල ජනයාට අමතරව පහත රටින් පැමිණි පහත රට සිංහලයන්, මුස්ලිම් ජනයා මෙන්ම ද්‍රවිඩයන්ද පදිංචි වී සිටීමය (මැදකන්ද  ගම තුල කාපිරි ජනයාද සිටි බව පැවසේ). වතු වගාවට සේවා සැපයීම සඳහා පහත රට සිංහලයන් මෙන්ම ද්‍රවිඩයන්ද පැමිණි බව සිතිය හැකි අතර මුස්ලිම් වරු මහනුවර රාජධානි යුගයේ සිටම සිටි බවට විවිධ සාධක ඉදිරිපත් කල හැකිය. (ඒ පිළිබඳව ඇතැම් තොරතුරු පෙර ලිපියෙන්ද ඉදිරිපත් විය. Link >>) මෙම ගම් වල වූ දමිල ජනයා වතු වගාව සඳහා රැගෙන ආ දකුණු ඉන්දීය දෙමළ ජනයා විය හැකි වුවද ඒ පිළිබඳව පැහැදිලි තොරතුරු ලෝරිගේ සටහන් වලින් හමු නොවේ. නමුත් ඔවුන් පදිංචිව සිටි බව එහි සඳහන් වන සෑම ගමක්ම පාහේ  එවකට තිබූ තේ වතු ආශ්‍රීතව වූ බැවින් ඒ පිළිබඳව සැක පල කල යුතු බවක් නොපෙනේ. නායක්කර්වරු සමග පැමිණි කිසිවෙකු මේ වන විට උඩරට ප්‍රදේශ වල නොසිටි අතර (උඩරට ගිවිසුමට අනුව ඔවුන් සියල්ල ඉන්දීයාවට පිටුවහල් කෙරේ.) ඊට පෙර කලින් කල මෙරටට සංක්‍රමණය වූ දකුණු ඉන්දීය දෙමළ භාෂා කතා කල ජනයා කුල ක්‍රමය යටතේ මෙරට තුල වූ සිංහල බෞද්ධ සංස්කෘතිය තුලට මේ වන විට සාර්ථකව අවශෝෂණය වී තිබිණ. නමුත් ඔවුන් රැගෙන ආ දේව ඇදහිලි ආදිය සිංහල බෞද්ධ ජන සමාජය තුල සිංහල බෞද්ධ දෙවිවරු ලෙසින් නැවත බෞතිස්ම ලැබූහ (පැරණි දේව ඇදහිලි ගැන මෙන්ම අලුතින් එකතු වූ දෙවිවරුන් පිළිබඳවද විවිධ තොරතුරු මෙම ලිපියේ ඉදිරියට ඉදිරිපත් වේ.). අඹතලාව ආදී ගම් වල චෙට්ටි හෙවත් හෙට්ටීන්ද (ඉන්දීය සම්භවයක් සහිත වෙළදාමේ යෙදුන ජන කොටසක්) සිට ඇති අතර ලෝරිගේ තොරතුරු වලින් පැහැදිලි වන ආකාරයට උඩරට සිංහලයන්ට අයත් ඉඩම් චෙට්ටීන්ට මෙන්ම පහත රට සිංහලයන්ට සහ මුස්ලිම්වරුන්ට ක්‍රමයෙන් ණය ගෙවාගැනීමට නොහැකි වීම නිසා සින්න වීම සහ ඔවුන් ඒවා මිලදී ගැනීම ආදී විවිධ ආකාරයෙන් අත්පත් වෙමින් තිබී ඇත.
මෙම සිතියමේ නිල් පැහැයෙන් කොත්මලේ රටට අයත් පල්ලෙපොනේ කෝරලයේ පැරණි ගම්ද, දම් පැහැයෙන් උඩපොනේ කෝරළයට අයත් පැරණි ගම්ද දක්වා ඇත. රතු පැහැයෙන් දැක්වෙන්නේ වතු ආර්ථිකයත් සමග පෙර කැලෑ තිබූ ප්‍රදේශ එලි වී අලුතින් ඇතිවූ නගර සහ කඩමණ්ඩි කිහිපයකි. 
පල්ලේපොනේ කෝරළය
  • වටද්දර -ගොවි සහ නවන්දන කුල ජනයා, පහත රට සිංහලයන් මෙන්ම දමිල ජනයාද වාසය කල ගමකි. වටද්දර ආරච්චි වසමටම අයත් ගමක් වන කළුගලපතන ප්‍රදේශයේ රොඩී ජනයාද සිට ඇත. පිරිමි පාසලක් මෙන්ම පිරිවෙනක්ද තිබී ඇති අතර වටද්දර විහාරය ලෝරි තොරතුරු ඉදිරිපත් කරන කාලයේදී ගම්වැසියන් විසින් ඉදිකල විහාරයක් ලෙස පැවසේ. කෙහෙල්ගමුවේ දෙවියන් උදෙසා වූ කෙහෙල්ගමුව දේවාලය මෙම ගම් වසමට අයත් දෝවිට ගමේ පිහිටා තිබී ඇත. අංගම්මන වලව්වට අයත්ව තිබූ මේ ගමේ තිබූ ඉඩම් පහත රට පුද්ගලයෙකුට විකුනා ඇති බව ලෝරි සඳහන් කරයි. වෙළඳගොඩ සහ  පොල්වතුරේගම්මැද්ද මෙම ගම තුල පිහිටි කුඩා ගම් ලෙස හඳුන්වා ඇත.  පුසුල්පිටිය විහාරයට සේවා සපයන ජනයාද මෙම ගමේ ජීවත් වී ඇත. 
  • බෙරවතලාව/බොරවාගම - වටද්දර ආරච්චි වසමට අයත් බෙරවා කුලයේ සිංහලයන් සහ මුස්ලිම් ජනවර්ගය වාසය කල ගම්මානයකි.
  • කුරන්පිටිය - වටද්දර ආරච්චි වසමයට අයත් ගමකි.
  • දෝවිට - කෙහෙල්ගමුවේ (කතරගම) දේවාලයට සේවා සැපයූ ජනයා විසූ ගමකි.
  • වෙලගමතැන්න - වටද්දර ආරච්චි වසමට අයත් නවන්දන සහ ගොවි කුල ජනයා විසූ ගම්මානයකි.
කොත්මලේ ඔය නිම්නයේ මාවෙල - රජපීල්ල ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය
  • මොරපේ - ගොවි, රදා, නවන්දන, බෙරවා (එක පවුලක්) කුල වලට අයත් උඩ රට සිංහලයන්, පහත රට සිංහලයන් මෙන්ම දෙමළ සහ මුස්ලිම් ජනයාද විසූ ගමකි. ලෝරි පරිවර්තනය කර ඉදිරිපත් කරන මෙම ගමේ සිටි පුද්ගලයකුට අයත් ඉඩම් හුවමාරුවක් සම්බන්ධ ලියවිල්ලක සඳහන් වන වගන්තියක් මෙම යුගයේ සිටි ජනයාගේ දේව ඇදහිලි සම්බන්ධ තොරතුරු හෙලි කරයි. වර්ෂ 1803 ට අයත් එම ලියවිල්ලේ සඳහන් වන්නේ එම ඉඩම් හුවමාරුව කිහිරැලි, උපුල්වන්, සමන්බොක්සැල්, විභීෂණ, කන්ද කුමාර, පත්තිනි යන දෙවිවරුන් ආරක්ෂා කල යුතු බවය. කිහිරැලි සහ උපුල්වන් දෙවිවරුන් දෙදෙනෙකු ලෙසින් සැලකීමද, සමන් දෙවියන් සමන්බොක්සැල් ලෙසින් හැඳින්වීමද, කතරගම දෙවියන් කන්ද කුමාර ලෙසින් හැඳින්වීමද මෙහිදී අවධානය යොමු කල යුතුය. මොරපේ කතරගම දේවාලය මෙම ගම තුල පිහිටා තිබෙන අතර, නටබුන්ව ගොස් තිබූ මොරපේ විහාරය 1877 දී නැවත ඉදිකර ඇත.
  • බෝරුවගම - බෙරවා සහ ගොවි කුල වලට අයත් උඩ රට සිංහලයන්, පහත රට සිංහලයන් මෙන්ම දමිල ජන වර්ගයද විසූ මොරපේ වසමට අයත් ගමකි.
  • කොටගේපිටිය - මොරපේ වසමට අයත් ගමකි. මොරපේ කතරගම දේවාලයට සේවා සිදු කල ජනයා මෙම ගම තුල සිට ඇත.
  • රන්නන්තලාව - මොරපේ වසමට අයත් ගොවිකුල උඩරට සිංහලයන් මෙන්ම පහත රට සිංහලයන්ද විසූ ගමකි. මොරපේ කතරගම දේවාලයට සේවා සැපයූ ජනයා මෙම ගම තුල සිට ඇත.
  • මයිප්පොල - ගොවි කුල සිංහලයන් සහ දමිල ජන වර්ගයට අයත් ජනයා විසූ මොරපේ ගම තුල වූ කුඩා ගමකි.
කොත්මලේ ඔය නිම්නයේ මාවෙල - රජපීල්ල ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයේ හෙල්මළු  ක්‍රමයට සැකසු කුඹුරු. ඈතින් දිස්වන්නේ දැන් කොත්මලේ ඔය ජලාශය බවට පත්වී ඇති කොත්මලේ ඔයයි
  • නවන්ගම - ප්‍රධාන වශයෙන් නවන්දන කුලයේ ජනයාද, පහත රට සිංහලයන්, දමිලයන් මෙන්ම මුස්ලිම් ජනයාද විසූ ගමකි.
  • දෙහින්තලාව - නවන්දන කුලයේ ජනයා, පහත රට සිංහලයන් සහ මුස්ලිම් ජනයා විසූ නවන්ගම ගම තුල වූ කුඩා ගමකි.
  • පුසුල්පිටිය - මැදගොඩ රදලගම්මැද්ද ලෙසින්ද හඳුන්වා ඇත. නවන්ගම ආරච්චි වසමට අයත්ය. නවනන්දන හා ගොවි කුල ජනයා, පහත රට සිංහලයන් මෙන්ම මුස්ලිම් ජනයාද විසූ කලකට පෙර හමුදා කඳවුරක්ද තිබී අතහැර දැමූ (1833 වන විටත්) ගමකි. පැරණි විහාරයක් වන පුසුල්පිටිය විහාරය මෙම ගම තුල කොත්මලේ ඔය ඉවුරේ පිහිටා ඇත. පුසුල්පිටිය  ගම තුල මෙන්ම කහටදෙණිය, කලපිටිය සහ මාවෙල ගම් තුලද පුසුල්පිටිය විහාරයට සේවා සැපයූ එම විහාරයට අයත් ඉඩම් වල පදිංචි වී සිටි ජනයා සිට ඇත. විහාරයේ ඉතිහාසය පිළිබඳව තොරතුරු ඇතුලත් එවකට එම විහාරයේ නායක හිමියන් සතුව තිබූ දීර්ඝ සන්නසක් ලෝරි පරිවර්තනය කර ඉදිරිපත් කර ඇත.
  • විහාරේගම නවන්ගම ගම තුල වූ කුඩා ගමකි.
  • කිරිවානාගොඩ -  මැද්දේගොඩ බඩල්ගම්මැද්ද (නවන්දන කුලයේ ජනයා වාසය කර ඇත), නවන්ගම සහ පුසුල්පිටිය ගම් අයත් වන ආරච්චි වසමටම අයත් ගමකි. මෙම සියළු ගම් නවන්දන කුලයේ ප්‍රධානියෙකු යටතේ පාලනය වී ඇත.
කොත්මලේ ඔය නිම්නයේ රජපීල්ල ලෙසින් හැඳින්වෙන ස්ථානය
  • හරංගල
  • දොරුවදෙණිය හරංගල ආරච්චි වසමට අයත් ගමකි.
  • ලප්පානෙගම හෙවත් ලත්පානේගම - පහත රට සිංහලයන් වාසය කල හරංගල  ගම තුල වූ කුඩා ගමකි.
  • කඩදොර - 1848 පමණ සෑදූ ලෙස සඳහන් කඩදොර විහාරය සහ එවකට නටබුන්ව තිබූ වීරමුන්ඩ දේවාලයක් මෙම ගම තුල තිබී ඇත.
  • නුගවෙල කඩදොර ආරච්චි වසමට අයත් ගොවි කුලයේ සිංහල ජනයා සහ දෙමළ ජනයා වාසය කල ගමකි.
  • වැලිමඩ - කඩදොර ආරච්චි වසමට අයත් ගොවි, නවන්දන සහ පහත රට සිංහල ජනයා විසූ ගම්මානයකි.
  • උඩ ගම්මැද්ද - ගොවි සහ වහුම්පුර කුල වල ජනයා විසූ කඩදොර ගම තුල පිහිටි කුඩා ගමකි. මෙම ගමේ පිහිටි උඩුගබ්බාලේ කෝවිල ඉතා පැරණි පූජනීය ස්ථානයක් ලෙස ලෝරි හඳුන්වයි.
  • පල්ලේ ගම්මැද්ද - කඩදොර ගම තුල පිහිටි කුඩා ගමකි. මුස්ලිම්වරු මෙන්ම නවන්දන සහ රදා කුල වල සිංහල ජනයා සිට ඇත. 
කොත්මලේ ඔය ජලාශය
  • පොල්වතුර - හපුගස්තලාවේ වසමට අයත් ගමකි. මුස්ලිම් පල්ලියක් සහ පාසලක්ද තිබූ මෙම ගමේ වාසය කර ඇත්තේ මුස්ලිම් ජන වර්ගයට අයත් ජනයාය.
  • මැදගහවතුර - හපුගස්තලාව ගම තුල වූ කුඩා ගමකි.
  • හපුගස්තලාව - මුස්ලිම් පල්ලියක් සහ පාසලක්ද තිබූ මුස්ලිම් ගම්මානයකි.
  • මාවෙල - දුරයා කෙනෙකු යටතේ පාලනය වූ මහනුවර යුගයේ ගබඩාගමකි. දුරා කුලයේ ජනයා සහ පහත රට සිංහලයන් වාසය කර ඇති අතර, ජනප්‍රවාද වලට අනුව දුටුගැමුණු රජතුමා මේ ගමේ දොඩමිටියාව, දියසමිතිය සහ යතුරුගහලියැද්ද යන වෙල් යායවල් අස්වද්දා කොටගේපිටිය යන ගමේ වාසය කර ඇත.  මාවෙල මුලින් නිලමක්කාරයන් වාසය කර ඇති මුත් ඔවුන් රජුට සේවය කිරීම ප්‍රතික්ශේප කිරීම හේතුවෙන් කිර්ති ශ්‍රී (රාජසිංහ) රජු ගම කුල හීන ජනයා හට දී ඇත. නමුත් 1815 මැයි මස ඉංග්‍රීසි ආණ්ඩුව මාවෙල ගම නියදවත්තේ සට්ටම්ඹි නම් ප්‍රදානියෙකු හට ලබාදී ඇත්තේ ඔහු විසින් ජෝන් ඩොයිලි හට සිංහලේ රාජධානිය පිළිබඳව ඔත්තු ලබාදීමෙන් කල සේවය වෙනුවෙන්ය. මෙහි තිබූ තෙල්ලබ්බේ විහාරය අර්ධ වශයෙන් නටබුන් වී තිබී ඇති අතර කිර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යුගයේදී එය ඉදිකල බව පැවසේ. එසේම වර්ෂ 1833 දී පමණ ගම්වාසීන් විසින් ඉදි කල පේරගහයට පන්සල නම් තවත් විහාරයක්ද මෙහි තිබී ඇත. එසේම හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය කලක් හිටි බව පැවසෙන හුණුබත් හාල් බෑමේ ගල්ලෙන ලෙස හැඳින්වූ ගල් ලෙනක් සහ දුටුගැමුණු රජු සෑදූ බව පැවසෙන නාගහ පිහිල්ල, රණමුනේ පිහිල්ල සහ අඹගහ පිහිල්ල නම් වූ පීලී 3 ක්ද මාවෙල ගමේ තිබූ බව පැවසේ.
  • කහටදෙණිය - හීන කුල ජනයා විසූ දුරයා කෙනෙකු යටතේ පාලනය වූ මාවෙල ආරච්චි වසමට අයත් ගමකි. මොරපිටිය දේවාලයට සහ පුසුල්පිටිය විහාරයට අයත් ඉඩම් වල පදිංචි වී සිට, එම ආයතන වලට සේවා සැපයූ ජනයා ජීවත් වී ඇත.
  • පන්නගම්මැද්ද - දුරා කුලයට අයත් ජනයා විසූ මාවෙල ගම තුල පිහිටි කුඩා ගමකි. තෙල්ලඹේ විහාරය නම් පැරණි විහාරයක් ගම තුල තිබී ඇත.
  • තම්මිටිය - මාවෙල වසමට අයත් දුරා සහ නවන්දන කුල වලට අයත් ජනයා විසූ ගමකි. මොරපේ කතරගම දේවාලයට අයත් ඉඩම් මෙම ගම තුල තිබී ඇත.
කොත්මලේ ඔය ජලාශය
  • තිස්පනේ අළුවෙල ගම්මැද්ද, කොඩිකාර ගම්මැද්ද, මැදගම්මැද්ද සහ උඩ ගම්මැද්ද ලෙසින් මෙම ගම කොටස් හතරකින් යුක්ත විය. ගොවි කුලයේ ජනයා, රදා කුලයේ ජනයා, මුස්ලිම් ජනයා මෙන්ම පහත රට සිංහලයන්ද වාසය කර ඇත. වර්ෂ 1868 පමණ ඉදි කල තිස්පොනේ විහාරය ඒ වනවිටද හොඳ තත්වයෙන් තිබී ඇත. තවද එම වර්ෂයේම සෑදූ බව පැවසෙන කුමාර දෙයියන්නේ කෝවිල නම් කෝවිලක්ද මෙහි තිබී ඇත. 
යතුරුගැසූලියැද්ද විහාරයේ විහාරගෙට පිවිසෙන ස්ථානයේ ඇති මකර තොරණ
  • මාස්වෙල - දුටුගැමුණු රජු දිය නෑ ස්ථානයක් ලෙස ජනප්‍රවාදයේ එන නාගහපිහිල්ල පල්ලේගම්මැද්ද ප්‍රදේශයේ පිහිටා ඇත. එතුමා අස්වැද්දු රයිතලාව නම් වූ කුඹුරු යායක්ද, වෙළගෙදර වලව්වද මෙම ගම තුල පිහිටා ඇත. මාස්වෙල පිහිටි යතුරුගැහූලියැද්ද විහාරය වර්ෂ 1843 දී පමණ වෙළගෙදර වලව්වේ අරමුදලේ කංකානම් නිලමේ විසින් ඉදි කර ඇත (දුටුගැමුණු රජු විසින් වී හුලං කිරීමට යොදාගත් කුල්ල (යතුර) විසි කල කමත තිබූ ස්ථානය යන ජනප්‍රවාදය හේතුවෙන් එම නම ලැබී ඇත.) මොරපේ කතරගම දේවාලයට  සේවා සපයන එම දේවාලයට අයත් ඉඩම් වගා කරන ජනයා මාස්වෙල ගම තුල සිට ඇත.
යතුරුගැසූලියැද්ද විහාරය - පැරණි විහාර ගෙය
උඩපොනේ කෝරළය
  • මැදකුඹුර - ගොවි, නවන්දන, බෙරවා, බඩහැල්, පදු කුල වලට අයත් උඩරට සිංහලයන්, පහත රට සිංහලයන් මෙන්ම මුස්ලිම් ජනයාද විසූ ගමකි.  ගල් ඔරුවේ වැව ලෙසින් හැඳින්වූ අතහැර දමා තිබූ වැවක් මැද්දේකුඹුර වතු යායේ තිබී ඇත. මෙම ගම තුල පිහිටි මාළිගා පැලැස්ස නම් ස්ථානයේ මහනුවර රාජධානියේ රජකෙනෙකු විසූ බවට ජනප්‍රවාද ගත තොරතුරු පවතී. ගම්වැසියන් විසින් ඉදිකල පැරණි විහාරයක්ද ඇත. දුණුකේදෙණිය සහ කරගහපතන-යාලේතැන්න මැදකුඹුර ගම තුල වූ කුඩා ගම් ලෙස සඳහන් වේ.
  • කඩදොරපිටිය මැදකුඹුර ආරච්චි වසමට අයත් ගමකි. ලෝරිගේ යුගයේ පමණ සෑදු පන්සලක් සහ කළුගහ උල්ලේ කෝවිල නම් කෝවිලක්ද මෙම ගම තුල තිබී ඇත.
  • පුණ්ඩළු ඔය - මැදකුඹුර වසමට අයත් දෙමළ, මුස්ලිම්, පහත රට සිංහලයන් සහ නවන්දන කුලයේ ජනයා වාසය කල ගමකි. 19 වන සියවස අවසාන කාලය වන විට තැපැල් කාර්යාලයක්,  පොලිස් ස්ථානයක්, මුස්ලිම් පල්ලියක්, පිරිවෙනක් සහ කඩ මණ්ඩියක්ද මෙහි තිබී ඇත. පුණ්ඩළු ඔය තේ දිස්ත්‍රික්කයට අයත් වූ තේ වතු 16 ක නම් ලෝරි ඉදිරිපත් කර ඇත.
  • හාල්පොල - ප්‍රධාන වශයෙන් පදු කුලයට අයත් ජනයා වාසය කල මැදකුඹුර වසමට අයත් ගම්මානයකි. පුණ්ඩලු ඔය හරහා හාල්වැල්තොට නම් වු තොටුපොලක්ද ඇත. ගබ්බෙල සහ මාඋස්සාව මෙම ගම තුල වූ කුඩා ගම්ය.
 තේ වතු වලින් සියළුම කඳු මුදුන් වසා ගත් ආගරපතන ප්‍රදේශය
  • දිඹුල - උඩගම සහ මෑතගම ලෙසින් කොටස් දෙකකි. උඩගම පිහිටි මැදබාගේ විහාරය පැරණි පන්සලකි. ඉංග්‍රීසීන් පැමිනීමෙන් පසුවද එනම් 1815 න් පසු වෙනත් විහාරයක් එහි ඉදි කර ඇත. උඩගම කොටසට රාවණාගොඩ, උඩගම, පල්ලේ ගම්මැද්ද, උඩගම්මැද්ද, විජේබාහුකන්ද සහ දිඹුල හෙවත් ඩෙවොන් කඩමණ්ඩිය (Bazaar) අයත්ය. මෑතගම කොටසේ පිහිටි මාකඳුර ඇල 1884 දී ප්‍රතිශංස්කරණය කිරීම අරඹා ඇත. මෑතගම, හින්නාරන්ගොල්ල, කටාරන්දෙණිය, කොස්හින්න, මල්දෙණිය, පල්ලේ ගම්මැද්ද සහ උඩ ගම්මැද්ද මෑතගම කොටසට අයත් ගම්ය. දිඹුල, ලිඳුල, අග්‍රාපතන, සහ කොටගල දිස්ත්‍රික්කද (Tea Districts එනම් තේ වැවූ ප්‍රදේශ) දිඹුල වසමට අයත්වේ.  එම තේ වතු දිස්ත්‍රික්ක වලට අයත් එවකට තිබූ තේ වතු 142 ක පමණ නම් ලෝරි ඉදිරිපත් කර ඇත. දැනට ඩයගම ලෙසින් හඳුන්වන  පෙදෙස එවකට දියගම වූ බව කඩ (Shops) තිබූ ස්ථාන අතර දියගම නම් වූ ස්ථානයක් පිළිබඳවද ලෝරි කරන සඳහනින් පැහැදිලි වේ. දියගම නමින් තේ වත්තක්ද තිබී ඇත. ලිඳුල රෝහලක් සහ දිඹුල සහ අග්‍රාපතන ප්‍රදේශ වල බෙහෙත්හල් (Dispensaries) තිබූ බවත්, කොටගල සහ ලිඳුල පල්ලි සහ, කොටගල, ලිඳුල, Middleton සහ St. George යන ස්ථාන වල පාසැල් තිබූ බවත් සඳහන් වේ. කොටගල, තලවකැලේ, සහ වටගොඩ දුම්රිය ස්ථාන තිබී ඇත.
ආගර ඔය හෙවත් අග්‍රා ඔය ලිඳුල ප්‍රදේශයේදී (ලිඳුල-ආගරපතන-ඩයගම B252 මාර්ගයේ සිට )
  • උඩගම (දිඹුල)- ගොවි කුලේ සිංහල ජනයා සහ පහත රට සිංහලයන් ජීවත් වූ ගමකි. ගම තුල වූ පට්ටිහෙල විහාරය ගම්මුන් විසින්කර ඇත. කළුබණ්ඩාර දෙවියන්නේ කෝවිල නම් වූ කෝවිලක් සහ අතහැර දැමූ ගුණමත් වැව නම් වැවක්ද තිබී ඇත. එඩරු තෙල් වැව සහ සූරිය වැව නම් වැව් දෙකක් ගැනද විස්තර ඇත. ඒවාද අතහැර දමා තිබී ඇති අතර සූරියවැව අසල සෙල් ලිපියක් ගැනද කියැවේ. සියළුම උස් බිම් වල තේ වගා කර තිබී ඇත. විජේපාහුකන්ද (විජේබාහුකන්ද?) මෙම ගම තුල වූ කුඩා ගමකි.
  • කලපිටිය - නුගතොට, හේදුණුවැව, සහ මැදගොඩ රටේ ගම්මැද්ද (මැද්දේගොඩ රටේ ගම්මැද්ද හෙවත් පත්තිනි ගම්මැද්ද ලෙසින්ද හඳුන්වා ඇත) යන ගම් අයත් වන වසමටම අයත් ගමකි. මෙම ගමේ පිහිටි මැද්දේගොඩ පත්තිනි දේවාලය 1886 දී ගිනි තබා ඇත. දඩුදඹුල්දෙණිය වැව නම් වූ අතහැර දමා තිබූ වැවක්ද තිබී ඇත. කලපිටිය ගම තුලම වූ පලදොර ඇල්ල නම් වූ කුඩා ගමක් ගැනද සඳහන් වේ.
  • මැද්දේගොඩ රටේ ගම්මැද්ද (පත්තිනි ගම්මැද්ද) - ගොවි කුලයට  අයත් ජනයා වාසය කර ඇත. ඒවාට යාතිකා කල විට ගව රෝග සුව කිරීමේ හැකියාව ඇති බව පැවසෙන දොළහ දෙවියන්ට අයත් ආයුධ (Weapons of the twelve gods) ඇති  කෝවිලක් රන්හාමි නැමැත්තෙක් මෙම ගමේ ඉදිකල බව Le Mesurier පවසයි. (දොළහ දෙවියන් ලෝරි පවසන ලෙසට පහත ආකාරයෙන් විය. වැදියකු දෙවියෝ, වලියකු දෙවියෝ, කොහොඹ දෙවියෝ, වීරමුණ්ඩ දෙවියෝ, වන්නියේ බණ්ඩාර දෙවියෝ, අලුත් දෙවියෝ, කීර්ති බණ්ඩාර දෙවියෝ, මැණික් බණ්ඩාර දෙවියෝ, දේවතා බණ්ඩාර දෙවියෝ, මංගර දෙවියෝ, කුමාර දෙවියෝ සහ ඉරුගල් බණ්ඩාර දෙවියෝ .)
  • Church Holbrook - Agarapatana
  • පල්ලේ ගම්මැද්ද, උඩගම්මැද්ද, පොකුණුවත්ත සහ තැඹිලිගම හෙවත් මරක්කල ගමද කලපිටිය ගම තුල වූ කුඩා ගම්ය.  නමින්ම හැඟෙන පරිදි තැඹිලිගම මුස්ලිම් ජනයා විසූ ගමක් වන අතර, වර්ෂ 1885 දී එම ගමේ නයින්කෙලිනතොට සිට දිඹුල දක්වා වැටී ඇති කුඩා පාරට ලන්ව මුස්ලිම් පල්ලියක් ඉදිකර ඇත. 1887 දී දුරා කුලයට අයත් පුද්ගලයන් 12 ක් පමණ සිටි යමනුන්නේ ගම නම් වූ ගමක්ද කලපිටිය ආරච්චි වසමට අයත් ගමක් ලෙස තිබී ඇත.
  • කුඹල්ඔළුව - දුරයා කෙනෙකු යටතේ වූ  දුරා කුලයට අයත් හීන කුල ජනයා විසූ ගමකි. රෝමානු කතෝලික පල්ලියක් මෙන්ම මුස්ලිම් පල්ලියක්ද තිබී ඇත.  රන්තිලකගේ ඩින්ගාව දුරයා සහ ඔහුගේ බිරිඳ මේ ගම තුල තිබූ බෝකොටුවේ විහාරය ප්‍රතිශංස්කරණය කර බෝකොටුවේ අත්ථදස්සී තෙරුන්නාන්සේට වර්ෂ 1883 මැයි 21 දින පූජා කර විහාරයට (සහ රටේ සිව් දෙසින් එහි පැමිනෙන භික්ෂුන්ට) ඉඩම්ද පිරිනමා ඇත.
  • මැදකන්ද - කුඹල් ඔළුව ගම තුල වූ කුඩා ගමකි. පහත රට සිංහලයන්, කාපිරි ජනයා මෙන්ම දමිල ජනයාද වාසය කල ගමකි. රෝමානු කතෝලික දේවස්ථානයක්ද මෙම ගම තුල තිබී ඇති අතර මේ ගම අසලම කුඹල්ඔළුව-එගොඩ වෙල  ගම තිබී ඇත. Le Mesurier පවසන ලෙසට පන්නදුරයෝ නම් දුරා කුලයේ උප කුලයකට අයත් මෙම ගම් වල විසූ ජනයාට පැවරුන රාජකාරිය වූයේ හකුරු,  හම්බ-හාල්, කහ, ඉඟුරු, බුලත්, පැණි සහ පොලු මස් (එනම් දඩ මස්) රජ වාසලට සැපයීමයි. මෙහි සඳහන් හම්බ හාල් බොහෝවිට හම්බන් නැමැති ඔරු වලින් විදේශ වල සිට ආ හාල් විය හැක. මුස්ලිම් ජනයා එම ව්‍යාපාර වල නිරතව සිට ඇත. හම්බ යන යෙදිම ඔවුන්ට අපහාස කිරීමේ අදහසින් වුවද ව්‍යවහාරයට එන්නේ එම හේතුව නිසා බව සැලකේ. දඩ මස් සඳහා පොලු මස් යන නම යෙදීම එම සතුන් දඩයම් කල ආකාරය පිළිබඳව ඉගියක් සපයයි. එය බල්ලන් සහ මිනිසුන් යොදා සතුන් කොටු කර පොලු වරින් පහරදීම විය හැක. මේ ආකාරයේන් හාවුන්, මීමින්නන්, ඉත්තෑවන් ආදී කුඩා ක්ෂීරපායීන් මෙන්ම විශාල මුව විශේෂ සහ ගෝනුන්ද දඩයම් කලා විය හැක. 
ආගරපතන ප්‍රදේශයේ වතු වල වැඩ කරන දකුණු ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනයා පදිංචි නිවාස
  • ඕතලාව - ගොවි කුලයට අයත් ජනයා විසූ ගමකි. එම නමින්ම යුත් ආරච්චි වසමට ඕතලාව, අඹතලාව, හඳපාන්ගම, ගන්කේවල,සංගිලිපාලම සහ කොස්ගොල්ල ගම් අයත්ය. පන්නල් ඔය (පැන්න ඔය) ගොවිතැන් කටයුතු කිරීම උදෙසා යොමු කල ගජබා රජුගේ (?) නුවර ලෙස ජනප්‍රවාදයේ එන දීඝ මහනුවර නම් නටබුන් වූ පැරණි නුවරක්  මෙම ගම තුල තිබූ බව පැවසේ. වර්ෂ 1843 දී ගම්වැසියන් විසින් ඇල්වත්තේ විහාරය ඉදි කර ඇත. නමුත් එය ලෝරි සඳහන් කරන යුගය වන විට අතහැර දමා තිබී ඇති අතර පන්සල පමණක් (ආවාස ගෙය) තිබී ඇත.
  • සංගිලිපාලම - ඕතලාව ගම තුල වූ කුඩා ගමකි. කඩ කිහිපයක්, බදු අයකරන ස්ථානයක් (Toll-station) සහ රම්බොඩ - පුසුල්පිටිය කුඩා පාරේ (Minor Road) වූ කොස්ගොල්ල තොටුපොල මෙම ගම තුල තිබී ඇත.
  • ගන්කේවල - ගොවිකුල ජනයා විසූ ගමකි.
  • අඹතලාව - ගොවි සහ රදා කුල වලට අයත් උඩරට සිංහලයන්, පහත රට සිංහලයන් මෙන්ම මුස්ලිම් ජනයා සහ චෙට්ටීන්ද විසූ ගමකි. ලෝරි පවසන ලෙසට පුසුල්පිටිය විහාරයේ ඇති මෙරටින් හමුවූ විශාලම ඇත් දල යුවල එම විහාරයට පූජා කර ඇත්තේ මෙම ගමේ විසූ අගලවත්තේ සට්ටම්ඹි විසිනි. පහත රට සිංහලයන්, මුස්ලිම් මිනිසුන් සහ චෙට්ටීන් මේ ගමේ බොහෝ ඉඩම් එම යුගය වන විට ඔවුන්ට ණය වූ උඩරට සිංහලයන්ගෙන් ලබාගෙන තිබූ බව පැවසේ.
  • හඳපාන්ගම - මැද්දේගොඩ පත්තිනි දේවාලය දේවාලයට සේවා සපයන ජනයා මෙම ගම තුල සිට ඇත.
Church of St. Margaret, Kotagala
  • පනන්ගම්මන - දුරා කුලයේ ජනයා වාසය කල ගමකි. වර්ෂ 1843 දී මුණසිංගෙදර කිරා විසින් ඉදිකල පුවක්මල්පිදුගොඩ විහාරය මෙම ගම තුල තිබී ඇත. තවද කතිරා (?) නම් හින්දු දෙවියන් උදෙසා එම යුගයේම ඉදිකල හින්දු දේවාලයක්ද පනන්ගම්මන ගම තුල තිබී ඇත. දුරයා කෙනෙකු යටතේ වූ ගම් වසමක් වන පනන්ගම්මන ගම් වසමට නවන්දන සහ දුරා කුල වල ජනයා වාසය කල දෙළුන්තලාමඩද අයත්ය. කරගස්තලාව සහ කටුකිතුල එම ගම් වසමටම අයත් අයත් කුඩා ගම් දෙකකි.
  • තවලන්තැන්න - පනන්ගම්මන ගම තුල පිහිටි කුඩා ගමකි. පහත රට සිංහලයන් සහ දමිලයන් වාසය කර ඇත. දෝන ක්‍රිස්ටියානා පෙරේරා හාමිනේ නම් තැනැත්තියක විසින් 1863 දී පමණ ඉදි කල රෝමානු කතෝලික දේවස්ථානයක් මෙන්ම හින්දු කෝවිලක්ද තිබී ඇත. 1870 දී මියගිය වෙලගෙදර රටේ මහත්මයාට අයත් වලව්වක්ද මෙහි තිබූ බව පැවසේ. මෙම ගමේ ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටි රජයට අයත් ඉඩම් කැබැලි උදෙසා පහත රට සිංහලයන් අතර නඩු හබ තිබූ බව ලෝරි පවසයි.
තලවකැලේ ප්‍රදේශයේ තේ වත්තක පිහිටි කුඩා ජලාශයක්
  •  රම්බොඩ - ගොවි කුලයට අයත් සිංහලයන්, පහත රට සිංහලයන් මෙන්ම මුස්ලිම් සහ දමිල ජනයාද වාසය කල ගම්මානයකි. තානායමක්, මුස්ලිම් පල්ලියක්, තැපැල් කාර්යාලයක්, පොලීසියක්, බදු අයකරන ස්ථානයක්, පිරිවෙනක් මෙන්ම මුස්ලිම් පාසැලක්ද පිහිටි කුඩා නගරයක් බවට 19 සියවසේ අවසාන භාගය වන විට රම්බොඩ පරිවර්තනය වී ඇත.  මල්හෑව , අඹහෙල , පලාගොල්ල ,  ගැරඩි ඇල්ල, කොණ්ඩගල, ලබුගොල්ල  සහ කුඩා ඔයද රම්බොඩ වසම තුල පිහිටා තිබූ ගම්ය. රම්බොඩ තේ දිස්ත්‍රික්කයට අයත් එවකට තිබූ තේ වතු 22 ක් ලෝරි නම් වශයෙන් සඳහන් කරයි.
  • මල්හෑව - රම්බොඩ වසමට අයත් ගොවි කුලයට අයත් සිංහල ජනයා සහ දමිල ජනයා විසූ ගමකි. දළදා කරඩුවේ විහාරය නම් වූ විහාරයක් මෙම ගම තුල තිබී ඇත. එම විහාරය වසර කිහිපයකට පෙර අර්ධ වශයෙන් ගිනිගත් බව ලෝරි පවසයි. රම්බොඩ වත්තේ ගලක් මත පිහිටි මල්හෑව කෝවිල දොළහ දෙවියන් උදෙසා ඉදිකර ඇති අතර, මිනිසුන්ගේ මෙන්ම ගවයන්ගේද ලෙඩ රෝග සුව කිරීමේ බලයක් ඇති ස්ථානයක් බව පෑවසේ. සර්පයකුගේ මෙන්වූ රුවක් සහ දොළහ දෙවියන්ට අයත් ලෙස පැවසෙන ආයුධ කෝවිල තුල තිබී ඇත.
  • ලබුගොල්ල - රම්බොඩ ගම තුල පිහිටි ගොවි කුලයේ සිංහල ජනයා, පහත රට සිංහලයන් මෙන්ම මුස්ලිම් සහ දමිල ජනයාද වාසය කල ගමකි. ලබුගොල්ලකැලේ රම්බොඩට ඉහලින් වූ විශාල ප්‍රදේශයක් පුරා පැතිරුන රජයට අයත් කැලෑවෙන් කොටසක් ලෙස සඳහන් වේ. ලබුකැලේ වත්ත මෙම ප්‍රදේශයේ පිහිටා  ඇත.
  • ගැරඩි ඇල්ල - රම්බොඩ වසමට අයත් ගමකි. නුවරඑළිය මාර්ගයේ හමුවන කඩමණ්ඩියකි.
  • අඹහෙල - රම්බොඩ ගම තුල පිහිටි කූඩා ගමකි.
  • පලාගොල්ල -  ගොවි කුලයට අයත් සිංහල ජනයා, මෙන්ම මුස්ලිම් සහ දමිල ජනයාද වාසය කල රම්බොඩ වසමට අයත් ගම්මානයකි, රෝමානු කතෝලික දේවස්ථානයක් සහ කඩ මණ්ඩියක්ද තිබී ඇත.
 St. Clair දිය ඇල්ල නිර්මාණය කරමින් ගලා බසින කොත්මලේ ඔය
  • කිරින්දේවෙල - නියංගන්දොර ආරච්චි වසමට අයත් ගමකි.
  • ලිඳුල - කඩ මණ්ඩියක්, පොලිස් ස්ථානයක්, පල්ලියක්, රෝහලක් සහ පාසැලක්ද තිබූ කුඩා නගරයකි.
  • නානු ඔය - නුවරඑළියට ආසන්නම දුම්රිය නැවතුම්පොල වූ නානු ඔය දක්වා නාවලපිටියේ සිට දුම්රිය ධාවනය 1885 මැයි 20 වන දින ආරම්භ විය. 19 සියවසේ අවසාන භාගය වනවිට රජයේ පාසලක්,  තැපැල් සහ ටෙලෙග්‍රාප් කාර්යාලයක්, තානායමක් සහ කඩ මණ්ඩියකින් යුක්ත විය.
  • සීතාඑළිය - 1871 වසරේ මෙන්ම 1881 වසරේද පුද්ගලයන් 40 පමණක් විසූ ගමකි. ෆොර්බ්ස් පවසන ආකාරයට (1840සාමි උම්මා නම් වූ වයසක ස්ත්‍රියක් මෙහි සීතා දේවිය උදෙසා කෝවිලක් ඉදිකර ඇත.
  • තලවකැලේ - තලවකැලේ කඩමණ්ඩියේ 1891 වසරේ ජනගහණය පුද්ගලයන් 446 කි.
  • වටගොඩ - 1891 දී පුද්ගලයන් 115 සිටි ගමකි.
  • වලපතන - 1881 වසරේදී පුද්ගලයන් 20 ක් පමණක් සිටි ගමකි.
මූලාශ්‍ර
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
  • A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898
  • Eleven years in Ceylon, Major Forbes, 1840