Showing posts with label Magama. Show all posts
Showing posts with label Magama. Show all posts

Friday, January 6, 2023

මාගම කඩොල් ඇතු බැඳි ගලේ අභිරහස


පැරණි මාගම නගරය පැවති ප්‍රදේශය ලෙස හඳුනාගෙන ඇති තිස්සමහාරාම ප්‍රදේශයේ ඇතුළු නුවර වටා පිහිටි ප්‍රධාන විහාරාරාම හතරට අයත් ස්තූප අතරින් කුඩාම ස්තූපය ලෙස සැලකෙන්නේ වර්තමානයේ මැණික් දාගැබ ලෙසින් හැඳින්වෙන ස්තූපයයි. එහෙත් එම ස්තූපය පිහිටි විහාරයේ පැරණි නාමය මැණික් වෙහෙරද නැතහොත් වෙනත් නමක්ද යන්න පිළිබඳව නිශ්චිතව කීමට සාධක මෙතෙක් හමු වී නැත. එහෙත් මීට පෙර ලිපියකින් කරුණු ඉදිරිපත් කල සඳගිරි පරිශ්‍රයේ හමුවන අටපට්ටම් හැඩැති ස්තම්භයක වූ සෙල්ලිපි වලින් එහි පැරණි නාමය සහ එයට වරින් වර විවිධ ප්‍රභූන් පිරිනැමූ ප්‍රදානයන් ගැන වාර්තා කර ඇති පරිදිම මෙම මැණික් ස්තූපය අයත් වෙහෙර හෝ ඒ ආසන්නයේ ඇති යටාල වෙහෙර සම්බන්ධයෙන් හෝ වූ ප්‍රදානයන් වාර්තා කර සෙල්ලිපියක් හෝ කිහිපයක් කොටා ඇති  ස්තම්භයක් මෙම මැණික් වෙහෙරට නුදුරින්ද හමුවේ. ජනප්‍රවාදයේ දැක්වෙන ලෙසට නම් එය දුටුගැමුණු රජුගේ කඩොල් ඇතා බැඳ තිබූ ස්තම්භය වේ.  
මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රකාශයට පත් කල හම්බන්තොට දිස්ත්‍රික්කය , සමාජ සංස්කෘතික උරුමය නම් වූ ලිපි සංග්‍රහයකට එම දිස්ත්‍රික්කයේ පැරණි ඓතිහාසික ස්ථාන සම්බන්ධ ලිපියක් සපයන හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පවසන්නේ මෙම අටපට්ටම් ලිපිය කියවාගැනීමට හැකි වුවහොත් මැණික් විහාරය නමින් අද හැඳින්වෙන විහාරය සම්බන්ධ කරුණු රැසක් හෙළිදරවු වනු ඇති බවත්, එහෙත් අවාසනාවකට මෙන් එම සෙල්ලිපිය මේ වනතුරු නිවැරදිව කියවීමට සමත් වී නොමැති බවත්ය. එහෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පලකල හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන නාමාවලියක සඳහන් වන්නේ පො.ව. 1 -2 සියවස් වලට අයත් වන අපර බ්‍රාහ්මි අක්ෂරයෙන් ලියැවී ඇති මෙම ලිපිය සහිත ටැඹ දුටුගැමුණු රජතුමාගේ කඩොල් ඇතා බැඳ තැබූ ස්තම්භය ලෙසට ජනප්‍රවාදයේ පැවසෙන බවත් එහි සඳහන් වන්නේ "දේවානම්පියතිස්ස මහ රජුගේ" මුණුපුරු  ගාමිණි අබයගේ පුත් රෝහණික ගාමිණි අභය විසින් බදු වර්ග දෙකක් සහිත ගම විහාරයට පූජා කිරීම පිළිබඳ තොරතුරු බවත්ය. එම තොරතුර ලබාගත්තේ Inscription of Ceylon, Vol II, Part I, 44-45 පිටු වලින් බවත් එහි සඳහන් මුත් එම පිටුවල ඇත්තේ මෙම සෙල්ලිපිය ගැන නොව මීට පෙර ලිපියෙන් කරුණු ඉදිරිපත් කල සඳගිරිය පරිශ්‍රයේ ඇති අටපට්ටම් ටැම් ලිපිය සම්බන්ධ තොරතුරුය (සඳගිරි පරිශ්‍රයේ ඇති අටපට්ටම් හැඩැති ස්තම්භයේ කොටා ඇති සෙල්ලිපි සම්බන්ධ නිවැරදි තොරතුරු සඳහා >>)
මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා 'ඇතාබැඳිගල' ලෙසින් හඳුන්වන මෙම ස්තම්භය ගැන එඩ්වඩ්  මියුලර් උපුටා දක්වමින් පවසන්නේ 7 වන සියවසට අයත් අක්ෂරයෙන් කොටා ඇති මෙම ලිපියෙන් දුටුගැමුණු රජුට අයත් ඇතා මෙහි ගැටගසා තිබූ බව කියැවෙන බව මියුලර් පවසන බවය. එහෙත් අප පහත පෙන්වාදෙන පරිදි මියුලර් එවන්නක් ලිපියේ ඇති බවක් නොපවසන අතර ඔහු පවසන්නේ ඔහුට එහි වචන සහ අකුරු කිහිපයක් පමණක් කියවීමට හැකි වූ බව පමණි.
මැණික් දාගැබ
මේජර් පොර්බ්ස් සිය සංචාරක ඇත්දැකීම් සහිත ඔහුගේ Eleven Years in Ceylon පොතේ  සටහන් කරන්නේ, හෙතෙම  1834 වර්ෂයේදී ඉතා කුඩා ගමක් වූ වීරවිල (Wirawelle) සිට පැරණි මාගම නගරයේ නටබුන් (Ruins of Magam) නැරඹීමට සැතපුම් දෙකක් පමණ පැරණි වැවක පත්ලේ [වීරවිල වැව විය යුතුය] ගැඹුරු ජලය සහ මඩ සහිත මාර්ගයක එරෙමින් ගමන් කර, එක්තරා ස්ථානයකදී කිරිඳි ඔයෙන් (Kerinde-oya) එතෙර වී, එහි වම් ඉවුර දිගේ වූ අවට වගුරෙන් මදක් උස් වූ වැටියක් (Ridge) ඔස්සේ තවත් සැතපුම් 3 ක් පමණ ගමන් කර, ඒ වන විට බිඳී තිබූ තිස්ස වැවේ බැම්ම දිගේ විත් මැණික් දාගැබ, එම වෙහෙර, ගල් කණු 85 ක් සහිත නටබුන් 'මාළිගය' සහ ගල් කණු 48 ක් සහිත නටබුන් වූ 'පෝයගෙය' [Poega (Assembly-hall for priests)] නැරඹූ බවය.  එම නටබුන් ගොඩනැගිලි අතර පරිධිය අඩි 8 ක් සහ උස අඩි 9 ක් වන රජුගේ ඇතා බැඳ තිබූ අටපට්ටම් කුළුණක් වූ බවත්, දම්වැල් නිසා ගැඹුරු ලෙස ගෙවී ගොස් තිබූ එහි වූ අකුරු එම හේතුව නිසාම මැකී ගොස් තිබූ මුත්, 'ශ්‍රී' යන කොටසක් පමණක් පැහැදිලිව කියවීමට හැකි වූ බවත් ඔහු සඳහන් කරයි. එයට 'කඩොල් (ඇතාගේ) කුළුන' [Pillar of Kadol] ලෙස පවසන බවත් පොර්බ්ස් වැඩිදුරටත් පවසයි.
මැණික් හෝ යටාල නමින් අද හැඳින්වෙන පැරණි විහාර දෙකට හෝ ඉන් එකකට අයත්ව තිබූ උපෝසථඝරයේ නටබුන්
 මෙරට සෙල් ලිපි අධ්‍යයනයේ පුරෝගාමියෙකු වන එඩ්වඩ් මියුලර් 'තිස්සමහාරාමයේ ඇතාබැන්දුව' ලෙසින් හඳුන්වන මෙම සෙල් ලිපිය ගැන පවසන්නේ රජුගේ සුදු ඇතා බැඳ තිබූ මෙම කුළුනේ උඩ කොටසේ කැටයම් කල කොටස බිඳී ඇති බවත් පහල තිබෙන අකුරු අර්ධ වශයෙන් පමණක් කියවිය හැකි බවත්ය. ටැම් ලිපියේ එක් පැත්තක 'සිධ' යන වචනය පළමු වචනය ලෙස ඇති බවත් එහි 'ස' අකුර නූතන හැඩය සහිත බවත් ඔහු වැඩි දුරටත් පවසයි. ලිපියේ ඡායාරූපයක් පමණක් ඉදිරිපත් කරන බව ඔහු පවසන මුත් ඔහුගේ සෙල් ලිපි පිළිබඳ ග්‍රන්ථයේ දෙවන වෙළුම ලෙසින් ඇති ඵලක එකතුවේ එවැන්නක් හමු නොවේ. ලිපියේ පිටපතක් හෝ පරිවර්තනයක් ඉදිරිපත් නොකරන බව ඔහු විශේෂයෙන් අවධාරනය කරයි. අක්ෂර රටා අනුව මියුලර් මෙම ලිපිය 5 - 9 සියවස් අතර කාලයට අයත් කරයි. හෙන්රි පාර්කර් මෙම ලිපියේ අකුරු 6 - 7 සියවස් වලට අයත් බව පවසන අතර C.W. නිකලස් සඳහන් කරන්නේ ඒවා 7 - 8 සියවස් වලට අයත් බවය.

මැණික් දාගැබ අසල දැකිය හැකි මුරගලක්

තිස්සමහාරාමයේ ඔහු සිදු කල පුරාවිද්‍යාත්මක ගවේෂණ පිළිබඳව වූ සිය පොතේ 'ඇතාබැන්දුව' ලෙසින්ම මෙම ටැම් ලිපිය හඳුන්වන එවකට වාරිමාර්ග නිලධාරියෙක් වූ හෙන්රි පාර්කර් පවසන්නේ සැලකිය යුතු කාලයක් ඔහු මෙම ලිපිය කියවීමට මිඩංගු කල මුත් එය සාර්ථක නොවූ බවය. එහෙත් එහි සන්දර්භය මෙවැනි සෙල්ලිපි වල සුපුරුදු ලෙස හමුවන කිසියම් ප්‍රදානයක් පිළිබඳව බව ඔහුට පසක් වූ බවත් පවසන හෙතෙම එහි ඔහුට කියවීමට හැකි වූ වචන ඉදිරිපත් කර එහි ඉංග්‍රීසි පරිවර්තනයක්ද සිය ග්‍රන්ථයේ ඇතුලත් කරයි. පැහැදිලි අර්ථයක් ගත නොහැකි එකම දේ පුනරුච්චාරනය කරන ලෙස හැඟෙන එහි පාර්කර් ඉදිරිපත් කරන ඉංග්‍රීසි පරිවර්තනය පහත පරිදිය.

Having permanently established and given over the alms for..

Having given and caused to be appointed the alms for..

having  permanently established and caused to be appointed the alms for

having given and caused to be appointed these (?) continual alms, having given the alms called Maha Ratana...

මෙම ලිපියේ විස්තර වන නටබුන් දැක්වෙන වීඩියෝව>> 

සඳගිරි විහාර පරිශ්‍රයේද දැකිය හැකි පරිදි මෙවන් විශාල ගල් ටැඹක විහාරයේ ආරම්භය සනිටුවන් කිරීමේ සම්ප්‍රදායක් අවම වශයෙන් රුහුණේ මාගම අවට හෝ තිබුණු බවත් කඩොල් ඇතා බැඳි ස්තම්භය ලෙසින් ජනප්‍රවාදයේ හඳුන්වන මෙම මැණික් වෙහෙර අසබඩ පිහිටි ස්තම්භයද දැනට යටාල හෝ මැණික් ලෙසින් හැඳින්වෙන විහාරාරාම දෙකින් එකකට හෝ ඒ දෙකටම හෝ අදාල ( ස්තූප දෙකක් පැවතියද මෙහි තිබී ඇත්තේ එක් විහාරයක් වීමටද ඉඩ නැතිවා නොවේ.) ප්‍රදානයන් සනිටුහන් කල ගල් ටැඹ විනා අන් යමක් නොවන බව පැහැදිලිය. සඳගිරි විහාරයේ සිදුවූවක් මෙන්ම පසු කාලීනව වෙනත් රජවරු සහ අනෙකුත් ප්‍රභූවරුන්ද එම විහාරයට සිදු කල ප්‍රදානයන් මෙහි සටහන් කරන්නට ඇත. එහෙත් ඒ බොහෝමයක් මේ වන විට මැකී ගොස් ඇති අතර ස්තම්භයේ ඇති අකුරු කිහිපයක් පමණක් කියවීමට හැකි මුත් එයින් පැහැදිලි අර්ථයක් ගත නොහැක. කෙසේ නමුත් ඇසින් බලා සෙල්ලිපි කියවනවාට (Eye copy) වඩා ඵලදායි Estampage ගැනීමක් මෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කිසියම් කලක හෝ සිදු කර ඇත්ද යන්න සොයාගැනීමට නොහැකි වූ අතර බොහෝදුරට පෙනී යන්නේ එවැන්නක් මෙතෙක් සිදු කර නොමැති බවය. 

මැණික් හෝ යටාල නමින් අද හැඳින්වෙන පැරණි විහාර දෙකට හෝ ඉන් එකකට අයත්ව තිබූ උපෝසථඝරයේ නටබුන්

මෙම සෙල්ලිපිය සහිත ටැඹ අසලම ගල් කණු විශාල ගණනකින් යුත් ගොඩනැගිල්ලක අවශේෂ හමුවේ. ඇතමුන් පවසන පරිදි මෙය මාළිගාවක නටබුන් නොවන බව මෙම ස්ථානයේ එවකට මැණික් සහ යටාල යන ස්තූප දෙකම අයත් විහාරයට අධිපතිව සිටි ජිනරතන තෙරුන්වහන්සේ තමන්ට පැවසූ බව පාර්කර් පවසයි. උන්වහන්සේට අනුව මෙය භික්ෂූන් එකතු වන දානශාලාවක් හෝ බණශාලාවක් බවත් 'ඇතාබැඳි කණුව' බොහෝවිට පන්සලට අයත් ඇතා බැඳ තිබූ ස්තම්භය බවත් පවසන පාර්කර් එය බොහෝදුරට පිළිගත හැකි කරුණක් බවද අවධාරනය කරයි. මැණික් ස්තූපයට වඩා ආසන්නව පවතින මුත් විශාලත්වය අතින් ගත් කල මෙය වඩා විශාල වපසරියක විසිරී තිබූ යටාල විහාරයට අයත් උපෝසථඝරය විය හැකි බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි. 

මැණික් දාගැබ අසල දැකිය හැකි කිසියම් කුඩා ගොඩනැගිල්ලක නටබුන් ( භික්ෂු කුටියක නටබුන් විය හැක )
ගල් කණු 70 -80 අතර ප්‍රමාණයක් මෙහි ඇති අතර ඉහත සඳහන් කල පරිදි පොර්බ්ස් ගල් කණු 80 ක් පමණ තිබූ 'මාළිගාව' ලෙසින් හඳුනාගන්නේ මෙම ගොඩනැගිල්ල විය හැක. පොර්බ්ස් ගල් කණු 48 කින් යුත් 'පෝයගෙය' ලෙසින් හඳුන්වන තවත් ගොඩනැගිල්ලක් ඒ හා සමගම මේ අසල තිබූ බව සඳහන් කරන මුත් එවන් විශාල ප්‍රමාණයක ගල් කණු සහිත නටබුන් ගොඩනැගිල්ලක් අද වන විට දකින්නට නොහැක. එහෙත් යටාල සහ මැණික් යන විහාර දෙකටම අයත් භික්ෂු කුටි විය හැකි කුඩා ගොඩනැගිලි කිහිපයකම නටබුන් වලට අයත් ගල් කණු මේ අවට පෞද්ගලික ඉඩම් වල පැවති හෝ පවතින බවට මෙම විහාර දෙක පිළිබඳව වූ පුරාවිද්‍යා ලේඛන වල සඳහන් වන අතර අවම වශයෙන් ඉන් කිහිපයක් හෝ මේ දක්වා පවතින බව නිරීක්ෂණය කල හැක. පොර්බ්ස් සඳහන් කරන ගල් කණු 48 කින් යුත් ගොඩනැගිල්ලක් මෙහි තිබී එය මේ වන විට විනාශ වී ඇත්නම් ඒ බොහෝ විට මැණික් වෙහෙරට අයත් උපෝසථඝරය විය හැක. මෙම ස්තූප දෙකම එකම විහාරයකට අයත් වීම මෙන්ම විහාර දෙකෙහිම භික්ෂූන් එක් උපෝසථඝරයක් භාවිතා කිරීමද විය නොහැක්කක් නොවේ.

මූලාශ්‍ර

  • Eleven years in Ceylon, Major Forbes, 1840
  • Ancient Inscriptions in Ceylon collected and published for the government by Dr. Edward Muller, 1883
  • Buddhist Monasteries Towards Urbanism in Southern Sri Lanka, Prishanta Gunawardhana, 2009
  • Archaeology of Tissamaharama, Henry Parker, 1884 ( Reprint 1998)
  • පුරාවිද්‍යා ස්ථාන නාමාවලිය, හම්බන්තොට දිස්ත්‍රික්කය, පළමු වෙළුම, 2019
  • හම්බන්තොට දිස්ත්‍රික්කය , සමාජ සංස්කෘතික උරුමය, මහාචාර්ය නිමල් ද සිල්වා, 2005
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 

Tuesday, January 3, 2023

රජ, බිසෝ, ඇමැතිවරු වැව්, කුඹුරු, ගම් පිදූ මාගම රජ වෙහෙර නොහොත් සඳගිරි විහාරය

 පෙර ලිපියකින් විස්තර ඉදිරිපත් කල හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම - අකුරුගොඩ ප්‍රදේශයේ පිහිටි පැරණි මාගම ඇතුළු නුවර (Citadel) පිහිටි ප්‍රදේශයට දකුණින් මෙන්ම බටහිරින්ද ප්‍රධාන දාගැබ් හතරක් පිහිටා ඇත. බටහිරින් පිහිටි වර්තමානයේ යටාල සහ මැණික් ලෙසින් හැඳින්වෙන ස්තූප සහ ඒ වටා පිහිටි විහාර වලට වඩා ප්‍රමාණයෙන් විශාල දාගැබක් වන්නේ දකුණින් පිහිටි වර්තමානයේ තිස්සමහාරාම දාගැබ ලෙසින් හැඳින්වෙන දාගැබයි. ඒ ආසන්නයේම වාගේ එයට නැගෙනහිරට වන්නට පිහිටා ඇති සඳගිරිය දාගැබ ලෙසින් හැඳින්වෙන පරිශ්‍රයේ ඉහත අනිත් ස්තූප අයත් වන විහාරාරාම වලට වඩා ස්තූපයට අමතරව පිළිමගෙය, බෝධිඝරය, උපෝසථඝරය මෙන්ම  ජන්ථාඝරය ආදී  පැරණි පබ්බත විහාරයක ප්‍රධාන අංග කිහිපයකම නටබුන් යම් තරමින් හෝ විනාශ නොවී මෙන්ම මෑතකාලීන ප්‍රතිශංස්කරණ වලට හසු නොවී ඉතිරි වී ඇත. මේ ලිපියෙන් එම සඳගිරිය ආරාම පරිශ්‍රයේ හමුවන පුරාවිද්‍යාත්මක සාධක අනුසාරයෙන් එහි ආරම්භය සහ පසුකාලීන වැඩිදියුණු කිරීම් පිළිවඳව මෙන්ම එම නටබුන් ස්ථාන සහ හමුවූ කෞතුක භාණ්ඩ සම්බන්ධයෙන් විවිධ විද්වතුන් ඉදිරිපත් කර ඇති අදහස් සම්පිණ්ඩනයක් ඉදිරිපත් කෙරේ. 

සඳගිරි විහාර සංකීර්ණයේ නටබුන් දැක්වෙන වීඩියෝව >>



සඳගිරි ස්තූපය - උතුරු දිග පිවිසුම

සඳගිරිය පරිශ්‍රයේ හමුවන සෙල්ලිපි
සඳගිරිය ආරාම සංකිර්ණයේ පිළිමගෙයට ඇතුළු වන ස්ථානයේ සිටුවා ඇති අටපට්ටම් හැඩැති කුළුනක අපර බ්‍රාහ්මී අක්ෂරයෙන් (Late Brahmi Scripts) රචිත සෙල් ලිපි හතරක් සටහන් කර ඇත. මින් එක් ලිපියකින් කියවෙන්නේ වහබ රජ උපෝසථඝරයේ පහන් දැල්වීමේ මිල සඳහා කරිසක් [එනම් අමුණු 4 ක් වැපිරිය හැකි ඉඩමක් හෙවත් අක්කර 8 - 10 ක් පමණ ] පමණ කුඹුරු ඉඩම් ප්‍රදානය කල බවය. තවත් ලිපියක් කොටා ඇත්තේ රජවිහාර යෙහි උපෝසථඝරය සඳහා මහගම බදබ ඇමැති ඔහු සතුව තිබූ මහ වැව (මහවවි), අබගමක වැව (අබගමක වවි) සහ නම මැකී ඇති තවත් වැවක් ප්‍රදානය කල බවය. මෙහි ඇති තවත් සෙල්ලිපියක සඳහන් වන්නේ ලිපියේ නම මැකී ඇති කිසියම් රැජිනක විසින් රජ විහාරයට සිදු කල ප්‍රදානයක් ගැනය. ලිපියේ වහබ රජ යන නම පැහැදිලිව දෙතැනක සඳහන් ව ඇති බැවින් සහ එහි සන්දර්භය අනුව එම රැජින වහබ රජුගේ බිසව ලෙස අනුමාණ කල හැක. සිදු කල ප්‍රදානයන් අතර දරතිස වවි (දුරතිසා වැව හෙවත් දූර තිස්ස වාපි*)  සහ කලගම කෙත (කලගම කුඹුර) යන නම් කියැවිය හැක.  කිසියම් ඇලක මතර මජිබක බද්දක්   පිළිබඳවද මෙහි සඳහන්ව ඇත. එයින් අදහස් වන්නේ ඇළ මාර්ගයේ මසුන් අල්ලන්නන් ඒ වෙනුවෙන් වැව සහ ඇළ මාර්ගය හිමි විහාරයට ගෙවිය යුතු බද්ද ලෙසින් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා හඳුනාගන්නා මුත් එම අදහස සම්බන්ධයෙන් විද්වතුන් අතර ඒකමතික භාවයක් නොමැත (ආචාර්ය බෙනිල් ප්‍රියංක මහතාට අනුව මතර මජිබක යනු වැව් සහ කුඹුරු අතර ජල සම්පාදනයට සම්බන්ධ වූ බද්දක් වේ.) ප්‍රදානයන් සිදු කරන්නේ රජ විහරෙ හි උපෝසථඝරය සඳහාය. සිව්  වන සෙල්ලිපියෙහි ගවිඩගමක වවි (ගවිඩගමක වැව) යන වචනය සඳහන්ය. ගවිඩගමක යන්න නූතන සිංහල ව්‍යවහාරය අනුව නම් දිවුල්ගමුව ලෙස ගත හැක. පාළි භාෂාවෙන් නම් එය කපිත්තගාමක වේ.  ඉහත ලිපි වල නම සඳහන් වහබ රජු පො. ව. 67 සිට 111 දක්වා රාජ්‍ය රාජ්‍ය පාලනය සිදු කල වසභ රජු ලෙස සෙනරත් පරණවිතාණ මහතා හඳුනාගනී.

* මහාවංශයට අනුව සද්ධාතිස්ස රජු (පො. ව. පූර්ව 137 - 119) දූරතිස්ස වැව කරවීය (දූරතිස්සකවාපි) ඉළනාග රජුද (පො. ව.  33 - 43) තිස්ස වාපි සහ දූර වාපි (දූරව්හවාපි) කරවූ බව මහාවංශයේ සඳහන් වේ. දූර වාපි ලෙසින් හැඳින්වූවේ දූර තිස්ස වැවම නම් සද්ධාතිස්ස රජු කරවූ දූරතිස්ස වැව ඉළනාග රජු නැවත ප්‍රතිශංස්කරනය කලා විය හැක. C.W. නිකොලස් මේ දූර හෝ දූරතිසා වැව වර්තමාන යෝධ වැව විය හැකි බව පවසයි.
සඳගිරි ස්තූපය - බටහිර පිවිසුම

ඉහත ලිපි වලට අමතරව මෙම පැති අටක් සහිත ගල් ටැඹේ එක් පැත්තක වැඩි ඉඩක් පුරා විහිදුනු සෙල්ලිපියක් ඇත, ඉහත විස්තර කල  වසභ රජුගේ සෙල්ලිපිය ඇත්තේද එම පැත්තේම පහලින් එතරම් ප්‍රමුඛ නොවන ස්ථානයකය. මේ හේතුව නිසා වසභ රජුගේ සෙල්ලිපියට පෙර කාලයක කල ලෙස සිතිය හැකි එම ලිපියේ සඳහන් වන්නේ දෙවනපිය තිස මහ රජුගේ මුණුබුරු සහ ගමිණි අබ (ගාමිණි අභය) රජුගේ පුතු වූ රොහිණික ගමිණි අබ (රෝහිණික ගාමිණි අභය) තැනූ රජ විහාරයට කිසියම් ගම් දෙකක ආදායම් ප්‍රදානය කල බවය. ලිපියේ ඇතැම් අකුරු පරණවිතාන මහතා 1929 දී Estampage එකක් ගන්නා අවස්ථාව වන විටද විනාශ වී තිබී ඇත (මීට පෙර ලිපියේද නම සඳහන් කල දකුණු පළාතේ සංචාරයක් අතර තුර අකාලයේ තිස්ස වැවේ ගිලී මිය ගිය E.R. අයර්ටන් මහතාද එම සංචාරය අතරතුරදී  1914 දී ගත් Estampage එකක්ද ඒ වන විට පරණවිතාන මහතාට පරිශීලනය කිරීමට තිබී ඇති අතර එහිද එම අකුරු පැහැදිලිව නොතිබෙන්නට ඇත.) එම නිසා ලිපියේ සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමට නොහැකි මුත් මෙම විහාරයේ ආරම්භක රජු පිළිබඳව මෙහි වැදගත් තොරතුරක් ගැබ්ව ඇත. මෙහි තවත් වැදගත් කමක් වන්නේ එහි ඇති 'දෝපති' යන වචනය ලිවීමේදී 'දෝ' එනම් දෙක යන්න අකුරින් නොලියා ඒ වෙනුවට දෙක යන ඉලක්කම ඇඟවීමට එකක් යට එකක් වන පරිදි තිරස් කෙටි ඉරි කැබලි දෙකක් යොදාගෙන තිබීමය. එම පරම්පරා විස්තර අනුව සෙනරත් පරණවිතාන මහතා මෙම රෝහණික ගාමිණි අබ රජුගේ පියා වන ගමිණි  අබ, භාතිකාභය රජු (පො. ව. පූර්ව 22 - පො. ව. 7) ලෙසත් ඔහුගේ සීයා වන දෙවනපිය තිස, කුටකණ්ණතිස්ස (පො. ව. පූර්ව 44 -22) ලෙසත් හඳුනාගනී. ඒ අනුව මෙම සෙල් ලිපිය භාතිකාබය රජුගෙන් පසුව රාජ්‍යත්වයට පත්වූ මහාදාඨිකමහානාග රජුගේ (පො. ව. 7 - 19) හෝ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ආමන්ඩගාමිණි අභය රජුගේ (පො. ව. 19 - 29) කාලයේදී කරන්නට ඇති බවත් ලිපියේ නම සඳහන් රෝහණික ගාමිණි අබ බොහෝවිට රෝහණයේ රජ කල ස්වාදීන පාලකයකු විය හැකි බවත් පරණවිතාන මහතා පවසයි (එවකට රට පාලනය කල මහරජු හෙවත් අනුරාධපුර පාලකයාගේ නම ලිපියේ සඳහන් නොවීම නිසා පරණවිතාන මහතා එලෙස සැක කරයි.) එය එසේ නම් ඒ සඳහා වැඩි ඉඩක් ඇත්තේ ආමණ්ඩගාමිණි අභය රජුගෙන් පසු ඇතිවූ රටේ අවුල් වියවුල් වලින් පිරීගිය කාලයේදී විය හැකි බවය පරණවිතාන මහතාගේ අදහස. පරණවිතාන මහතා ලිපියේ විහාරයේ නම සඳහන් නොවන බව පැවසුවත් ඉහත සඳහන් කල මේ කාලයට පසුව ලියැවුණු තවත් සෙල් ලිපි දෙකකම සඳහන් වන රජ වෙහෙර යන්න එතුමන් ඉදිරිපත් කරන එහි පෙල අනුව මෙම ලිපියේත් ඇති බව පෙනේ.  

සඳගිරිය පිළිමගෙය 

සඳගිරි ස්තූපය

සඳගිරි දාගැබේ කල කැනීම් වලදී දාගැබ අවම වශයෙන් අවස්ථා දෙකකදීවත් ඉදි කර ඇති බවටත්, එය පිහිටි මළුව අවස්ථා තුනකදීවත් ඉදි කර ඇති බවටත් සාධක හමුවී ඇත. ඒ අනුව මුල් ගොඩනැගීමෙන් පසු එය විශාල කර ඇති බව පෙනී යයි. දාගැබ් මළුවේ සහ ඒ ආසන්නව සිදු කල කැනීම් වලදී සමාධි හිඳි පිළිමයක්, තවත් හිඳි පිළිමයක යට කොටසක්, බුදු පිළිම හිසක් සහ කවන්ධ හිටි පිළිමයක්ද  හමුවී ඇත. දාගැබ් බඳේ තිබූ පැරණි කපරාරුවේ බදාම කොටස් මෙහි තවමත් තැන් තැන් වල ශේෂ වී ඇත. ස්තූප මළුවට පිවිසීමට සිව් දිශාවෙන්ම පඩිපේලි සහිත දොරටු හතරක් තිබී ඇති අතර නටබුන් වූ වාහල්කඩ හතරක්ද ඒවාට අනුරූපව දැකිය හැක. මෙහි තිබූ පැරණි යූප ස්ථම්භය සහ ජත්‍රය දැනට ස්තූප මලුවේ පසක තැන්පත් කර ඇත. සඳගිරිය ස්තූප මළුවේ ප්‍රතිමාගෘහ දෙකක නටබුන් හමුවන අතර මින් එක් ප්‍රතිමාගෘහයක් සංරක්ෂණය කර ඇත. එහෙත් කිසිදු පිළිමයක් එම පරිශ්‍රයෙන් හමුවී නැත.

අටපට්ටම් හැඩැති ටැම් ලිපිය

සඳගිරිය ස්තූපය අසලම බටහිර දෙසට වන්නට සඳගිරි ආරාම සංකිර්ණයට අයත්ව තිබූ බෝධිඝරයේ නටබුන් හමුවේ. සඳගිරිය පරිශ්‍රයේ මෙම බෝධිඝරය කැනීමේදී කවන්ද හිටි බුදු පිළිමයක්, එම පිළිමයේ නොවන ඩොලමයිට් පාෂාණයෙන් සෑදූ තවත් බුදු පිළිමයක හිසක් සහ ස්ඵටික හුණුගලින් (Crystalline Limestone) නිමවූ නෙළුම් මල් සහ කොළ වලින් අලංකාර කල පුන් කලසක්ද හමුවී ඇත. එමෙන්ම ස්තූපයට මද දුරක් දකුණට වන්නට එහි ජන්ථාඝරය ලෙස හඳුනාගත් ගොඩනැගිල්ලක අවශේෂ හඳුනාගෙන සංරක්ෂණය කර ඇත. තවද සඳගිරි ස්තූපයේ සිට තරමක දුරකින් එයට දකුණින් මෙම පරිශ්‍රයට අයත්ව තිබූ පිළිමගෙයි නටබුන් දැකිය හැක. ඉහත විස්තර කල සෙල්ලිපි සහිත අටපට්ටම් කුළුන පිහිටා ඇත්තේද ඒ අසලය. එම පිළිමගෙය ආසන්නයේම එයට බටහිරට වන්නට එම අටපට්ටම් හැඩැති කුළුනේ කොටා ඇති සෙල්ලිපි කිහිපයකම සඳහන් වන සඳගිරිය විහාරාරාම සංකීර්ණයට අයත්ව තිබූ උපෝසථඝරය ලෙස හඳුනාගත් ගොඩනැගිල්ලේ නටබුන් දැකිය හැක. වර්තමානය වන විට මේ ඉතිරිවී ඇති ගොඩනැගිලි කිහිපයේ නටබුන් වලට අමතරව මෙහි තිබූ වෙනත් ගොඩනැගිලි වල නටබුන් දැකිය නොහැක්කේ මේ වටා පිහිටි ඉඩම් වල පසුගිය සියවස් වල පදිංචි වූ ජනයාගේ නිවෙස් ඉදිකිරීම් ආදියෙන් ඒවා විනාශ වී යෑම නිසා විය යුතුය. 

ස්තූප මළුවේ ඇති සංරක්ෂිත පිළිමගෙය

සඳගිරිය පිළිමගෙය
මෙම පිළිම ගෙයට පිවිසෙන දෙවන පඩිපේලියේ වම් පස දැකිය හැකි මුරගල තරමක් විශේෂ එකක් ලෙස ඔස්මන්ඩ් බෝපේ ආරච්චි මහතා හඳුනාගනී. ඔහු පවසන ලෙසට බොහෝවිට මෙහි ප්‍රධාන රූපයෙන් අත් සතරක් සහිත කුබේර නිරූපනණය කර ඇත. අසාමාන්‍ය ලෙස උසින් යුත් හිස පළදනාව, අනර්ඝ සළු පිළි ආදිය මෙහි විශේෂ ලක්ෂණ ලෙස හඳුනාගත හැක. ත්‍රිභංග ඉරියව්වෙන් සිටින එම රූපයේ හිසට ඉහලින් නෙළුම් කොලයක හැඩය සහිත චත්‍රයක් ඇති අතර ඔහුගේ දෙපසින් විශාල කාසි මළු දෙකක් දරා සිටින නිධි රූප දෙකක් තිබීම සුවිශේෂ ලක්ෂණයක් ලෙස ඔහු පෙන්වාදෙයි.

පිළිම ගෙයට පිවිසෙන දෙවන පඩිපේලියේ වම් පස දැකිය හැකි මුරගල

සඳගිරි ආරාම සංකීර්ණයේ පිළිම ගෙයි තැන්පත් කර ඇති දෘඪ හුණුගලින් (Hard Limestone/ කිරිගරුඬ) කල අමරාවතී සහ නාගර්ජුනකොණ්ඩ ප්‍රතිමා සම්ප්‍රදායට අයත් හිටි පිළිමය වෙනත් කුඩා බෝධිසත්ව පිළිම දෙකක් සමගින් අහම්බයෙන් සඳගිරි දාගැබට නුදුරු ස්ථානයක වූ පෞද්ගලික ඉඩමක තිබී 2001 වසරේ දී හමුවී ඇත. එය ආන්ද්‍රා ප්‍රදේශයේදී නිමවා මෙරටට ගෙනා පිළිමයක් ලෙස ඔස්මන්ඩ් බෝපේ ආරච්චි මහතා පවසයි. ඒ සමග හමුවූ බෝධිසත්ව පිළිම මෙම සම්ප්‍රදායට අයත් නොවන 8 වන සියවසෙන් පසු මෙරට ජනප්‍රිය වූ මහායාන සම්ප්‍රදායට අයත් බවය ඒ මහතාගේ අදහස. ඒවා හමුවූ ආකාරයෙන් පෙනී යන්නේ කිසියම් නොදන්නා හේතුවක් නිසා ඒවා මුලින් තිබූ ස්ථානයෙන් රැගෙන ගොස් එම ස්ථානයේ සඟවා තබන්නට ඇති බවයැයි පවසන ඒ මහතා බොහෝදුරට එම මුල් ස්ථානය මෙම පිළිම ගෙය විය හැකි බව පවසයි. එහෙත් ආචාර්ය දනන්ජය ගමලත් මහතා පවසන්නේ මීටර 2.2 ක් උස මෙම පිළිමය එම ප්‍රතිමා ගෘහයේ ගල් කණු වල උසට  සමානුපාතික නොවන හෙයින් එය මෙම ස්ථානයට අයත් නොවන බවය. දැනට මෙම පිළිමය තැන්පත් කර ඇත්තේ මුල් පද්මාසනය පිහිටුවා තිබූ ගල් පුවරුව මත සංරක්ෂණ ක්‍රියාවලියේදී මෑතකදි තැනූ පද්මාසනයක් තබා එය මතය.  පිළිමයේ දකුණු අත වැළමිටට මදක් පහලින් විනාශ වී ඇති අතර එහි බොහෝවිට 'අභය මුද්‍රාව' දක්වා තිබෙන්නට ඇති අතර වමතින් චීවරය දරා සිටී. ආචාර්ය දනන්ජය ගමලත් මහතා පවසන්නේ මෙම ප්‍රතිමාගෘහය 5 - 7 සියවස් වලට අයත් විය යුතු බවය. 

සඳගිරිය පිළිමගෙය තුල තැන්පත් කර ඇති වෙනත් ස්ථානයකින් හමුවූ හිටි පිළිමය


සඳගිරිය බෝධිඝරය

සඳගිරි දාගැබ යන නාමය මෙම මෙම පරිශ්‍රයේ දැකිය හැකි ස්ථූපයට අවම වශයෙන් මේජර් ෆොර්බ්ස් මෙම ස්ථානයේ සංචාරය කල 1834 පමණ අවධියේ සිටවත් ව්‍යවහාර වූ බව ඔහු ඒ සම්බන්ධයෙන් සිය ගමන් විස්තරයේ කරන සඳහන අනුව පෙනී යයි. මහාවංශයේ මහා විජයබාහු රජු (පො. ව. 1055 - 1110) ප්‍රතිශංස්කරණය කල විහාර ගැන සඳහන් කිරීමේදී චන්දගිරි නම් විහාරයක් ගැනද පැවසේ. පාළි ධාතුවංශයේ (සන්ඳගිරි විහාර ලෙසින්) සහ සිංහල ධාතුවංශයේ (සඳගිරි විහාරය ලෙසින්) මහානාග රජු කරවූ විහාරයක් ලෙසින් සඳගිරි නම් විහාරයක් ගැන සඳහන් වේ. එහෙත් පූජාවලියේ සහ සද්ධර්මාලංකාරයේ සඳහන් වන්නේ සඳගිරි විහාරය කාවන්තිස්ස රජු විසින් කරවන ලද්දක් බවය.  කෙසේ නමුත් මේ කිසිදු සඳහනක් වර්තමානයේ සඳගිරි විහාරය හෝ දාගැබ ලෙසින් හඳුන්වන ස්ථානයට අදාල බවට නිශ්චිතව කීමට කිසිදු පිළිගත හැකි සාධකයක් මෙතෙක් හමුවී නැත. එහෙත් රජ විහාරය ලෙසින් මෙම ස්ථානය අවම වශයෙන් වසභ රජුගේ රාජ්‍ය සමය දක්වාවත් (පො. ව. 67 - 111) හැඳින්වූ බවත් එය මුලින්ම ඉදි කල ලෙස පැවසෙන වංශකතා වල හමු නොවන රුහුණේ පාලකයකු වූ රෝහණික ගාමිණි අභය රජු කල සිටම එය එලෙස  හැඳින්වූ බවටත් සෙල්ලිපි සාධක අනුව පැවසිය හැක. 
සඳගිරිය උපෝසථඝරය

මූලාශ්‍ර
  • Buddhist Monasteries Towards Urbanism in Southern Sri Lanka, Prishanta Gunawardhana, 2009
  • බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්), ආචාර්ය දනන්ජය ගමලත්, 2016
  • අපේ උරුමයන් මගේ ඇසින්, පුරාතන ලංකාවේ බුද්ධ සහ බෝධිසත්ත්ව ප්‍රතිමා, වෛද්‍ය රුවන් මාරසිංහ, 2021
  • Roots of Sri Lankan Art, Osmund Bopearachchi, 2020
  • රුහුණේ යටගියාව සහ සෙල්ලිපි, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, 2013
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • පුරාවිද්‍යා ස්ථාන නාමාවලිය, හම්බන්තොට දිස්ත්‍රික්කය, පළමු වෙළුම, 2019
  • Administration Report of the Archaeological commissioner for the years 1970 - 1977, R.H. de Silva
  • Ancient Inscriptions in Ceylon collected and published for the government by Dr. Edward Muller, 1883
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • සිංහල ධාතුවංශය (සේරුවාවිල තිස්ස මහා විහාරවංශය ) M.W. විමල් විජේරත්න සංස්කරණය, 2012
  • සද්ධර්මාලංකාරය
  • Eleven years in Ceylon, Major Forbes, 1840
  • ලක්දිව පැරණි සෙල්ලිපිවල බහුලව හමුවන මෙත්ක් නොවිසඳුණ වදන් දෙකක්: වහරල සහ මතෙර මජිබක නව සාධක ඇසුරෙන්, ආචාර්ය බෙනිල් ප්‍රියංක, 2012
  • Inscriptions of Ceylon Vol II, Part I. Late Brahmi Inscriptions, Containing rock and other inscriptions from the reign of Kutakanna Abhaya (41 B.C. - 19 B.C.) to Bhathiya II (140-164 A.D). Senarat Paranavitana, 1983


Tuesday, December 20, 2022

වැලි මළුව ජලයෙන් යටවූ දෙනා ඇත් වෙහෙරේ යටාල දාගැබ

යටාල විහාරය - වංශ කතා තොරතුරු

සිය පුතු හට රාජ්‍යත්වය ලබාගැනීම උදෙසා දේවානම්පිය තිස්ස රජුගේ දෙවන සහෝදරයා වූ උපරජ මහානාග මැරවීමට රජුගේ මෙහෙසිය අඹ ගෙඩියක විස යොදා ඔහුට යැවූ කල, උපරජු සමග ගොස් සිටි ඇයගේම පුතු අඹ අතර උඩින්ම තිබූ එම විස යෙදූ අඹ ගෙඩිය කා මියගිය පසු, මහානාග උපරජු සිය දේවිය සහ ධනයද ඇත් අස් , රිය හා බළසෙනගද ගෙන තමාගේ ආරක්ෂාව සඳහා රුහුණ බලා පලා යයි. එම ගමනේදී යටාල විහාරයට [යට්ඨාලයවිහාර] පැමිණි විට මහානාග උපරජුගේ දේවිය පුතෙකු ප්‍රසූත කල හෙයින් ඔහුට යටාලතිස්ස යයි නම් තැබූ බව මහාවංශයේ සඳහන් වේ. කෙසේ නමුත් සිංහල ධාතුවංශයේ (සේරුවාවිල තිස්ස මහා විහාරවංශය) සඳහන් වන්නේ යටාල විහාරය මාගම් නුවර විසූ ඉහත විස්තරය හා සම්බන්ධ මහානාග රජුගේ නිර්මාණයක් බවය. 14 වන සියවසේ ලියවුන සද්ධර්මාලංකාරය මහාවංශයේ පැවසෙන ආකාරයෙන්ම මුලින් මහානාග රජුගේ බිසවු අතරමගැ යටාල නම් විහාරයෙකැදී පුතණු කෙනෙකුන් වැදූ බව පවසා, පසු අවස්ථාවක සඳහන් කරන්නේ කාවන්තිස්ස රජු (ඉහත යටාලතිස්ස රජුගේ මුණුපුරු) තැනූ සූසැටක් රජමහ විහාර අතර යටාල වෙහෙරත් වූ බවය. සද්ධර්මාලංකාරයට පාදක වූ පාලි රසවාහිනියේද ඒ ආකාරයෙන්ම යටාල වෙහෙර කාවන්තිස්ස රජු කරවූ බව සඳහන්වේ. මහාවංශයේ එන පුවතට අනුව නම් මහානාග රජු රුහුණට පලායන අවස්ථාවේද එම මාර්ගයේ කිසියම් තැනක යටාල නමින් වෙහෙරක් තිබී ඇත. සිංහල ධාතුවංශයට අනුව එම මහානාග රජුම යටාල නමින් වෙහෙරක් ඉදි කර ඇත. ඒ වෙහෙර පෙර කී යටාල වෙහෙර නොව ඒ නමින්ම ඔහු කරවූ වෙනත් වෙහෙරක් වීමටද  ඉඩ ඇත. රසවාහිනිය සහ සද්ධර්මාලංකාරය අනුව කාවන්තිස්ස රජුද පෙර කී යටාල නමින් යුත් විහාරය හෝ ඒ නමින් යුත් විහාර දෙකින් එකක් හෝ අලුත් වැඩියා කිරීමක් හෝ නවතම වෙහෙරක් යටාල නමින් කරවා ඇත.  

වර්තමානයේ යටාල වෙහෙර නමින් හැඳින්වෙන වෙහෙර සහ ඒ ආශ්‍රිත මැණික් වෙහෙර ආදී වෙනත් නටබුන් දැක්වෙන වීඩියෝව >>


යටාල විහාරය - සෙල්ලිපි සාධක

යටාල දාගැබේ සලපතල මළුවේ තිබී හමුවූ සිධ අලගමික අල මහ විහරහි භිකු...ලෙසින් සඳහන් පො.ව. 2-3 සියවස් වලට අයත් අකුරින් ලියා ඇති පුවරු ලිපියක් 1995 වර්ෂයේදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පිටපත් කල බව එම දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.  යටාල ස්තූපයට නැගෙනහිර දෙසින් හමුවූ සෙල්ලිපි දෙකක් දැනට කියවා පළකර ඇත. 10 වෙනි ශතවර්ෂයට අයත් එම එක් ලිපියකට අනුව අභා සලමෙවන් නම් රජුගේ (මේ රජු හඳුනාගත නොහැක) රාජ්‍යත්වයෙන් තුන්වැන්නේ වෙසක් මස පුර පක්ෂයෙන් දහ වන දින දෙනා ඇත් වෙහෙර නියම්දෙට් [Chief Executive officer of the Dena At Vehera] නාදළ් ඔහු විසින් ඉදි කල නැටුම් මඩියෙහි [Dancing hall] සිටින නැට්ටුවන් උදෙසා සහ ගුළා දදගේ [Gula flag house] සයිසාකන පූජාව [මෙම පූජාව කුමක්දැයි පැහැදිලි නැත] නොකඩවා පවත්වාගෙන යෑම සඳහා රත්තරන් දස කළඳක් පිරිනමා ඇත. එම ශතවර්ෂයටම අයත් අක්ෂර වලින් ලියා ඇති එක් පැත්තක ඇති අකුරු පමණක් කියවීමට හැකි ටැම් ලිපි කැබැල්ලක් වන අනික් ලිපියෙහි දෙනා ඇත් වෙහෙරට නැගෙනහිරෙන් වූ කුඹුරක්ද ඇතුලත් පස් පයල පමණ වූ ඉඩමක් සම්බන්ද යමක් සඳහන් වේ. ලිපිය අභාසලමෙවන් නම් වූ හඳුනාගත නොහැකි රජ කෙනෙකුගේ රාජ්‍යත්වයෙන් තුන්වැන්නේ වෙසක් මස පුර පක්ෂයෙන් 10 වැනි දින එනම් ඉහත ලිපිය පිහිටවූ දිනම පිහිටුවා ඇත. 1999 දී කල ක්ෂේත්‍ර ගවේෂණයකදී යටාල වෙහෙරෙන් සොයාගත් පුවරු ලිපියක් මහාචාර්ය රාජ් සෝමදේව මහතා සිය ආචාර්ය උපාධි නිබන්දනයේ පල කර ඇත. ලිපියේ අවසානයට ඇති අකුරු 5 ක් හැර ඉතිරි කොටස කියැවිය හැකි එහි සඳහන් වන්නේ කිසියම් ඇලක ජල බද්ද මහා විහාරයේ භික්ෂුන්ට පිරිනැමූ බවකි. මීට අමතරව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගේ රුහුණේ සෙල්ලිපි සම්බන්ධ ග්‍රන්ථයක කියවා නැති සහ කියැවිය නොහැකි ලිපි අතර යටාල වෙහෙරෙන් හමුවූ ගල් කොටයක ගුතශ මණිය ලෙස කියාතිබෙන බව සඳහන් වේ. 

මෙහිදී ගයිගර් සිය මහාවංශ සංස්කරණයේ සඳහන් කරන කරුණක් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වන්නේ යටාල වෙහෙර යන නම ඒ අනුව ආල විහාර හෙවත් අල මහ විහර ලෙසින් නිරුක්ති ගැන්විය හැකි බැවිනි. ගයිගර් පවසන්නේ යට්ඨාලය යන්නෙහි අර්ථය කැපකරන්නාගේ නිවාසය හෙවත් ආරාමය (Dwelling or temple of the sacrificer) බවය. එය සංස්කෘත යස්ටාර්, පාලි යස්ථාර් සහ සංස්කෘත පාලියේ ආලය ලෙසින් ගත හැකි බව ඔහු පවසයි. මෙය තවදුරටත් අර්ථ දක්වන ආචාර්ය දනන්ජය ගමලත් ඉහත සෙල්ලිපියේ අල මහ විහර යන්නෙන් ඒ අනුව ආල විහාර යන්න කියැවෙන බවත් ඒ අනුව මහානාග රජු අනුරාධපුර රාජ්‍යත්වය හැර දමා මහාගාමයට පැමිණ සිදු කල කැපකිරීම සිහිවීමට සිය පුත්‍රයා උපන් ස්ථානයේ තිබූ විහාරයක් සංවර්ධනය කරවා එයට ආල විහාරය (එනම් යට්ඨාලය විහාර) යැයි නම් තැබුවා විය හැකි බවත් පවසයි. කෙසේ නමුත් පසු කලක එම නම වෙනස් වී 10 වන සියවස වන විට මෙම විහාරය දෙනා ඇත් වෙහෙර ලෙසින් හැඳින්වූ බව ඉහත විස්තර කල අනෙක් සෙල්ලිපි වලට අනුව පෙනේ. 

19 සියවසේ බ්‍රිතාන්‍ය වාර්තා සහ දැගැබ පිළිසකර කිරීමේ මුල් උත්සාහයන්

1834 වර්ෂයේ ජනවාරි මාසයේ මේජර් පෝබ්ස් "යටලතිස්ස දාගැබ" ගැන පවසන්නේ එය අඩි 70 ක් පමණ උස ගඩොල් ගොඩක් බවය. එහි මධ්‍යයෙන් පුපුරා තිබී ඇති අතර ගස් සහ අකුල් වලින් සම්පූර්ණයෙන්ම වැසී තිබී ඇත. මගපෙන්වන්නා විසින් පොර්බ්ස් හට පවසා තිබුනේ එවන් විශාල ගරාවැටීමකට හේතුව පෘතුගීසින් විසින් වෙඩි බෙහෙත් යොදා එය විනාශ  කිරිමට උත්සාහ කිරීම බවය. ගොඩවල් ලෙසින් අඩි 7 ක් පමණ උස ගල් කණු සිය ගානක් දාගැබ වටා විසිරී තිබූ බවත් ඒවා වෙනත් වෙනත් විහාර බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. 

යටාල දාගැබ ප්‍රතිසංස්කරණය සඳහා සැලසුම් පිළියෙල කිරීමට කැණීමක් 1962-63 වර්ෂ වලදී සිදු කර ඇති අතර මෙහිදි පළමුවරට ගල් ඇතුරූ සලපතල මළුවට යටින් ගඩොල් ඇතුරූ මලුවක් හමුවේ. ගඩොලින් කල මළුවේ මතුපිට අඟල් 3 ක් පමණ ඝනකම හුණු බදාමයක් තිබී ඇති බවටද සාධක මෙහිදී සොයාගෙන ඇත. දගැබේ උතුරු දිශාවෙන් සිදු කල කැනීමකදි දැනට පිහිටි පොළවේ සිට අඩි 3 ක් යටින් ප්‍රාකාරයක පාදම හමුවී ඇති අතර එම අඩිතාලමට බොරදම් සහිත ගඩොල් යොදා ඇති බව නිරීක්ෂණය වී ඇත. එම ප්‍රාකාරයට පිටින් තවත් ප්‍රාකාරයක් ඇති බවත් එහි ඇති අඩි 3 ක් පමණ උස කණු ඇත් පවුරක අවශේෂයන් විය හැකි බවත් එම කැනීම පිළිබඳව විස්තර ඉහත වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාවේ ඉදිරිපත් කරන C.E. ගොඩකුඹුර මහතා සඳහන් කරයි (එම ඇත් පවුර පසුව කරන කැනීම් වලදී සොයාගනී. මෙහි පහත විස්තරය බලන්න.) ඔහු එහි වැඩි දුරටත් සඳහන් කරන්නේ ඉහත සඳහන් ප්‍රාකාර බැමි සියල්ල වසා මෑත කාලයේදී දාගැබ සහ මළුව විශාල කර ඇති බව අවට ඇති ගල් කණු වලින් පෙනෙන බවය. 

යටාල දාගැබේ සංරක්ෂණය කල ඇත් පවුර සහ ජලයෙන් යටවූ පිට මළුව හෙවත් වැලි මළුව
ස්ථානයේ සිදු කරන මූලික කැනීමකින් අනතුරුව එය ප්‍රතිස්ථාපනය කිරීමේ සැලසුමක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 1972 දී පිලියෙල කරන අතර එහිදි හෙලිවූ කරුණු අනුව මුල් දාගැබ පො.ව. පූර්ව 1 වැනි සියවසට අයත් බවත් පො.ව. 4 වන සියවසේ හෝ පසුව සිදුවූ එහි විශාල කිරීමක් පිළිබඳවත් 1970-1977 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. 1975 වර්ෂයේදී ස්තූපයේ සංරක්ෂණය පිළිබඳව එකඟතාවයක් දෙපාර්තමේන්තුව සහ යටාල වෙහෙර ප්‍රතිස්ථාපන සමිතිය අතර අත්සන් කරන අතර ඉක්බිති මුල් කාර්යය ලෙස සිදු කර ඇත්තේ 1883 වර්ෂයේ එකල තිබූ ප්‍රතිස්ථාපන සමිතිය මගින් ස්තූපයට එකතුකල ගඩොල් කබොළ ගලවා ඉවත් කිරීමයි. එම ප්‍රතිස්ථාපන උත්සාහය අතරතුරදි මුලදී එක් පේසාවක් පමණක් තිබූ ස්ථූපයට පේසා තුනක් එකතු කර ඇත. 1975 පෙබරවාරි මස 26 දින සිදුවූ මුල්ගල් තැබීමේ උත්සවයෙන් අනතුරුව ස්තූපයේ ගිණිකොණ දිග සහ ඊසාන දිග කොටස් වල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඉහත කී සමිතිය මගින් එම කටයුතු ආරම්භ කර ඇත. ඇතුළු මළුවට පිටතින් මෙහි පැරණි ගඩොල් මුවා ඇත් රූප සහිත හස්තිප්‍රාකාරය එහි ඇතැම් තැන් වල  හුණු බදාමද සුළුවෙන් හෝ ඉතිරිව ආරක්ෂාවී තිබී ඇති අතර, ඒවා සංරක්ෂණය කිරීමද මෙහිදී සිදු කර ඇත. ඇත් රූප වල සැලකිය යුතු මට්ටමේ ප්‍රතිස්ථාපනයක් මෙහිදී සිදු කර ඇති බව සඳහන්ය. ස්තූපයේ පේසාවේ පාදමට ආසන්න ගැටි බැම්මේ වූ හුණුගල් වල වූ 5 වන ශතවර්ෂයට අයත් බ්‍රහ්මී අක්ෂර වලින් ලියා ඇති සෙල්ලිපි විශාල ප්‍රමාණයක් මෙහිදී හමුවූ බව පැවසේ. සමිතිය මගින් මෙම කාර්යන් සඳහා එකතු කල මුදල් අවසන් වෙමින් තිබූ හෙයින් ඒ සඳහා මූල්‍යමය ප්‍රතිපාදන සපයාගැනීම උදෙසා 1977 දෙපාර්තමේන්තු අයවැයට රුපියල් 70000 ක වැය ශ්‍රීර්ෂයක් හඳුන්වාදුන් බවද 1970-1977 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. 
යටාල විහාරයයේ සිටි භික්ෂූන් වහන්සේලා වැඩසිටි ආවාස කුටි ලෙස අනුමාන කරන මෙවැනි ගොඩනැගිලි කිහිපයකම අවශේෂ යටාල දාගැබ අවට දැකිය හැක.
19 වන ශතවර්ෂයේ අවසාන භාගයේ ආරම්භ වී සිදුකල පුද්ගලික සංරක්ෂණයකදි ස්තූපයේ බඳට එකතු කල ඝන ගඩොල් ස්ථරයේ බටහිර සහ වයඹදිග පැති වල ගඩොල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉවත් කල බව 1979 වර්ෂය සඳහා වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවක සඳහන්වේ. කෙසේ නමුත් කතරගම ගම් උදාව ව්‍යාපෘතියට සමගාමීව මෙම දාගැබේ සංරක්ෂණයක් 1994 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නැවතත් ආරම්භ කරයි. ඉහත සඳහන් කල පරිදි බෞද්ධ සමිතියක් මගින් මෙම දාගැබ සංරක්ෂණය කිරීමේ උත්සාහයක් එයට පෙර සිදු කර ඇති අතර මුලදී එක් පේසාවක් පමණක් තිබූ මෙහි එම සංරක්ෂණය සිදු කල පිරිස විසින් පේසා තුනක් එකතු කර අඩි 40 ක් පමණ උසක් දක්වා ඉදිකිරීම් සිදුකර නතර කර ඇත. මේ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නැවතත් මුල සිටම ස්තූපයේ සංරක්ෂණය ආරම්භ කර ඇත. එහිදි ප්‍රධාන දිශා සතරින්ම සඳකඩපහණ සහ පඩිපේලි සහිත පිවිසුම් හතරක් සහිත පිට මළුවේ කැනීමක් සිදු කරන අතර දැනට පිහිටි පොළොවේ සිට අඩි 5 ක් යටින් පිහිටි එම මළුව පාදාගැනීමත් සමග එය වතුරින් පිරී  ඇත. පුරාණයේ තිබූ මට්ටමේ සිට භූගත ජල මට්ටම අඩි 5 ක් පමණ මෙම ප්‍රදේශයේ ඉහල ගොස් තිබීම මෙයට හේතුව බව පැවසේ. එම භූගත ජල මට්ටම තිස්සමහරාම වැව දක්වාම එලෙස ඇති බව සඳහන්වේ. එම හේතුව නිසා මේ වන විටත් එම පිට මළුව ජලයෙන් යටවී ඇති අතර එම ජලය ඉවත් කිරීමට ගත් සියළු උත්සාහයන් ව්‍යවර්ථ වී ඇත.

ස්තූපයේ සංරක්ෂණයට පෙර යටාල වෙහෙරෙහි ගල් පතුරු ඇල්ලූ සලපතල මලුවෙහි 1998 වර්ෂයේ සිදු කල කැනීමකදී යටම පිහිටි ගල් පතුරු ස්ථරයට යටින් අවම වශයෙන් අවධි තුනකට අයත් ගඩොල් ස්ථර අතුරා ඇති බව නිරීක්ෂණය වී ඇත. පහලම පිහිටි ස්ථරයේ ගඩොල් ප්‍රමාණයෙන් විශාල ඒවා බවද සඳහන්ය. එම කැනීමෙන් ගෙවීගිය කෙටි පාද සතරක් සහිත ශෛලමය ඇඹරුම් ගල් වැනි භාණ්ඩ (Saddle querns) කිහිපයක්ම හමුවී ඇති අතර ඒවායේ මතුපිට පො.ව.  3 - 2 සියවස් වලට අයත් මුල් බ්‍රහ්මී අකුරු සහ විවිධ සෞභාග්‍යයේ සංකේත කොටා තිබී ඇත (මෙම ගල් කිහිපයක් දැනට යටාල කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.)   

පිළිම ගෙයක්

19 වන සියවසේ හෙන්රි පාර්කර් යටාල දාගැබේ සිදු කල නිරීක්ෂණ

යටාල දාගැබේ 19 වන සියවසේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන අවධියේ එහි තිබූ ගඩොල් විශාල ප්‍රමාණයක අක්ෂර කොටා තිබූ බව එවකට වාරිමාර්ග නිලධාරියෙක් වූ හෙන්රි පාර්කර් නිරීක්ෂණය කර ඇත. කිහිපයක් හැර සියළුම ගඩොල් වල පාහේ තිබී ඇත්තේ එක අක්ෂරයක් මුත් අකුරු දෙකකින් සැදි පුද්ගල නාම ලෙස ගිනිය හැකි කජ, තක, ජත වැනි ගඩොල්ද ඔහුට හමුවී ඇත. පාර්කර් අනුමාන කරන්නේ එම අක්ෂර ගඩොල් නිෂ්පාදනය කල පුද්ගලයන්ගේ මුලකුරු විය හැකි බවය. ගඩොල් පිලිස්සීමට පෙර එම අක්ෂර ලියන්නට ඇති බවය ඔහුගේ අදහස. බහුතරයක් ගඩොල් වල අකුරු ලියා ඇත්තේ ඇගිල්ලෙන් බවය පාර්කර් සඳහන් කරන්නේ. එහෙත් ගඩොල් කිහිපයක උල් කල කෝටුවකින් හෝ රිකිල්ලකින්ද තවත් ස්වල්පයක් පැහැදිලිවම තද ලී වර්ගයකින් කල අච්චුවකින් අලංකාර ලෙස ගැඹුරට මුද්‍රා තබා තිබූ බවත් හෙතෙම සඳහන් කරයි. පාර්කර් යටාල දාගැබ ඉදිකල කාලය පො.ව. පූර්ව 220 පමණ කාලය විය හැකි බවට අනුමාන කරයි. මීට අමතරව පාර්කර් හට කලින් ධාතු ගර්භය තුල තිබී පසුව එය හාරා විනාශ කල පසු පහලට වැටී ස්තූපයේ පහල කොටසේ සුන්බුන් අතර යටවී තිබී කරඩු හතරක්ද හමුවේ. මින් එකක් අඹතේස්ත [Amethyst] පාෂාණයෙන්ද, තවකෙක් ස්ඵටික පාෂාණයෙන්ද [Rock-crystal] (මෙහි පියනද ඒ සමග වෙනම තිබී හමුවී ඇත.) තනා තිබී ඇත. ක්‍රිසෝබෙරිල් [Chrysoberyl] පාෂාණයෙන් නිමවූ දාගැබක හැඩය සහිත තවත් කරඩුවක් සහ ස්ඵටික පාෂාණයෙන්ම නිමවූ මනාව ඔපදැමූ තවත් කරඩුවක් එහි පියනද සමගින් හමුවූ බව පාර්කර් විස්තර කරයි. එම සිව්වන කරඩුවේ කුහරය තුල ධාතු තැන්පත් කර තිබූ තුනී රත්තරන් පතුරු දෙකක්ද තිබී ඇත. තවද කාසි දෙකක් විය හැකි රිදියෙන් කල නමුත් කිසිදු සලකුණක් නොමැති සතරැස් කුඩා පැතලි කැබලි දෙකක්ද ඔහුට හමුවූ ද්‍රව්‍ය අතර තිබී ඇත. මෙහි තිබී පාර්කර් හට හමුවු සුවිශේෂම දෙය නම් රතු කාර්නේලියන් පාෂාණයෙන් තැනූ මුදුවකට අල්ලා තිබුනා විය හැකි මුද්‍රාවයි. එහි මුහුණතේ පුටුවක් වැනි ආසනයක ඉඳගෙන සිටින රජ කෙනෙකුගේ රුවක් කැටයම් කර තිබී ඇත. පාර්කර්ගෙ විස්තරයට අනුව එම රූපයේ ඉතා සියුම් ලෙස එම පුද්ගලයාගේ ශරීරයේ සහ ඔහු පැලද සිටි ආභරන සහ ඇඳුම් ආදියේ මෙන්ම ඔහු වාඩිවී සිටින ආසනයේද විස්තර මතු කර තිබී ඇත. (එම කාර්නේලියන් ගලේ ප්‍රමාණය අඟල් 0.78 කි.)  

හුණු ගලින් නිර්මිත බුදු පිළිම 2 සහිත පිළිම ගෙය

යටාල ස්තූප මළුවේ ප්‍රතිමාගෘහ සහ පිළිම

යටාල ස්තූප මළුවේ ප්‍රතිමාගෘහ 8 ක් ඉදි කර තිබී ඇත. එහෙත් දැනට එහි ආරක්ෂා වී ඇත්තේ 7 ක් පමණි. සෑ මළුවේ එක් කෙලවරක දෙක බැගින් ඉදි කර ඇති මෙම ප්‍රතිමාගෘහ අතරින් චතුරශ්‍ර සැලසුමකට ඉදි කර ඇති එක් ප්‍රතිමාගෘහයක පාදම සලපතල මළුවේ මට්ටමට වඩා පහලින් ඇති හෙයින් මුලින් ඉදි කරන්නට ඇති බවත් ඉතිරි ප්‍රතිමාගෘහ ඉන්පසු කාලයකදි එකවර ඉදි කරන්නට ඇති බවත් ආචාර්ය දනන්ජය ගමලත් මහතා පවසයි. ඔහු එම ප්‍රතිමාගෘහය හැර අනිත් ප්‍රතිමා ගෘහ 7 ඉදි කල කාලය පො. ව. 5-7 සියවස් වලට අයත් විය හැකි බව සඳහන් කරයි. පැරණි ප්‍රතිමාගෘහය ඔහුට අනුව පො.ව. 3 - 6 සියවස් අතර කාලයේ ඉදි කර ඇත.  මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාට අනුව මෙම ප්‍රතිමා ගෘහ පොළොන්නරු යුගයට අයත් ඒවා වේ. එහෙත් මෙම ප්‍රතිමාගෘහ එම යුගයට අයත් වන්නේ කුමන හේතූන් නිසාද යන්නට ඔහු කරුණු නොදක්වයි. පොළොන්නරු යුගයට නිසැකවම අයත් කල හැකි පබළු වෙහෙර වැනි පොළොන්නරුවේ තිබෙන දාගැබ් කිහිපයකම මේ ආකාරයේ ප්‍රතිමාගෘහ දාගැබ් මළුවේ දක්නට ලැබෙන හෙයින් ඔහු එම අදහස පල කලා විය හැක. එහෙත් එම අදහස ප්‍රතික්ශේප කරන ආචාර්ය දනන්ජය ගමලත් පොළොන්නරු යුගයේ ඉදිකල එම සියළුම පිළිම ගෙවල් දාගැබ් මළුවේ ස්ථූපයේ පේසා වලට බද්දව ස්තූපයට පිටුපා සිටින සේ පිළිම තැන්පත් කිරීමට ඉදි කල ඒවා බව ආදී වාස්තුවිද්‍යා ලක්ෂණ කිහිපයකම වෙනස්කම් මෙන්ම යටාල වෙහෙරේ තැන්පත් කර තිබූ පිළිම වල අංග ලක්ෂණ අනුව ඒවා පො.ව. 3 - 7 සියවස් අතර ප්‍රචලිතව තිබූ අමරාවතී සහ පශ්චාත් ආන්ද්‍ර අමරාවතී බුද්ධ ප්‍රතිමා වල මූලික ලක්ෂණ නියෝජනය කරන හෙයින් එම පිළිම හෝ ප්‍රතිමාගෘහ පොළොන්නරු යුගයට අයත් කල නොහැකි බව පෙන්වා දෙයි.  

බෝධිසත්ව රූපය
යටාල දාගැබ් මළුවේ පිළිමගෙයක් තුල හුණුගලින් කල බෝධිසත්ව රූපයක් ඇත. 7-8 සියවස් වල නිර්මාණය කරන්නට ඇති බව පැවසෙන මෙය රජ රුවක් විය හැකි බවට ෂ්රූඩර් සිදු කරන අනුමානය මෙම පිළිමය ප්‍රතිමාගෘහයක් තුල තැන්පත් කර ඇති බැවින් ආචාර්ය දනන්ජය ගමලත් ප්‍රතික්ෂේප කරයි. ඩොලමයිට් මාර්බල් පාෂාණයෙන් නිමකර ඇති මෙම බෝධිසත්ව රූපයේ මකූටයේ සලකුණු අපැහැදිලි බැවින් එයින් කිනම් බෝධිසත්වවරයෙකු නිරූපණය වන්නේදැයි ඉඳුරා පැවසිය නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මෙම දාගැබ් පරිශ්‍රයෙන් හමුවූ තවත් හුණුගලින් නිර්මාණය කර ඇති 6-7 සියවස් වලට අයත් බවට විශ්වාස කරන බෝධිසත්ව ශීර්ෂයක් සහ 7-8 සියවස් වලට අයත් යැයි පැවසෙන බොහෝවිට මෛත්‍රී බෝධිසත්ව පිළිමයක් ලෙසට හඳුනාගත හැකි දෑත් වලින් අහ්වන මුද්‍රාව දැක්වෙන පිළිමයක් යටාල කෞතුකාගාරය තුල ප්‍රදර්ශනයට තබා ඇත. ඉහත බෝධිසත්ව ශීර්ෂය හින්දූන්ගේ යෝගී ශිව ( යෝගේශ්වර) රූපය අනුකරණය කරමින් මහායාන බෞද්ධයන් නිර්මාණය කල යෝගී අවලෝකිතේශ්වර පිළිමයක හිසක් බවත් සමහර යෝගී අවලෝකිතේශ්වර පිළිම වල ජටාමකූටයේ ධ්‍යානි බුදුරුව නැති බවත් යටාල වෙහෙරින් ලැබී ඇත්තේ එවන් බෝධිසත්ව ශීර්ෂයක් බවත් මහාචාර්ය චන්ද්‍ර වික්‍රමගමගේ මහතා සඳහන් කරයි. මෙම පිළිම ගෙවල් 8 අතරින් එක් පිළිමගෙයක හුණු ගලින් නිර්මිත බුදු පිළිම 3 ක් හමුවී ඇති අතර ඉන් වඩාත් හොඳ මට්ටමේ තිබූ ස්ඵටික හුණුගලින් තැනූ දකුණතින් අභය මුද්‍රාව නිරූපිත පිළිමය දැනට යටාල කෞතුකාගාරය තුල තැන් පත් කර ඇති අතර, අනෙක් පිළිම දෙක එම පිළිම ගෙය තුලම දැකිය හැක. මින් එක් පිළිමයක හිස දැකිය නොහැකි අතර මෙම පිළිම සියල්ල 8 වන සියවසට අයත් විය හැකි බවට ෂ්රූඩර් අනුමාණ කරයි. යටාල පරිශ්‍රයෙන් හමුවූ හුණුගලින් නිර්මිත තවත් අඩි 1.5 පමණ උස බුදු පිළිමයක සිරසක් ෂ්රූඩර් 7-8 සියවස් වලට කාල නිර්ණය කර ඇතිමුත්  සෙනරත් පරණවිතාන මහතාට අනුව එය 3 වන ශතවර්ෂයට අයත්ය. යටාල කෞතුකාගාරය තුලම තවත් 5-6 සියවස් වලට අයත් ලෙස අනුමාණ කරන ශීර්ෂය රහිත හුණුගලින්ම නිර්මිත පීඨයක් මත නෙලා ඇති හුණුගල් හිඳි පිළිමයක් දැකිය හැකි අතර එහි පිටිපස වූ හුණුගලින්ම නිර්මිත ආසනයේ වම්පසින් කිසියම් රුවක් මතු කර ඇති බව පෙනේ. පොළොන්නරුව ගල් විහාර පිළිම අතර දැකිය හැකි බෙහෙවින් මතභේදයට ලක්වූ පිළිමයක් වන දෑත ලය මත බැඳ තබාගෙන සිටින ආකාරයේ මුද්‍රාවක් සහිත කවන්ද පිළිමයක් මෙම යටාල පරිශ්‍රයෙන්ද හමුවී ඇත (මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාට අනුව  යටාල කෞතුකාගාරයේම තබා ඇති ඉහත විස්තර කල බුදු පිළිම හිස මෙම පිළිමයේ හිස වේ.) හුණුගලින් නිර්මිත මෙම පිළිමයද 8-7 සියවස් වලට අයත් ලෙස සැලකෙන අතර දැනට යටාල කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. නමුත් පොදුවේ මෙම සියලු බුද්ධ ප්‍රතිමා පො.ව. 3 - 7 සියවස් අතර කාලයේ ප්‍රචලිතව තිබූ අමරාවතී සහ පශ්චාත් ආන්ද්‍ර අමරාවතී සම්ප්‍රදායට අනුව නෙලා ඇති හෙයින් ඒවා එම යුගයන්ට අයත් විය යුතු බවය ආචාර්ය දනන්ජය ගමලත් මහතාගේ මතය.

ස්තූපයේ පහල මට්ටමේ බොරදම් වල මහායාන සූත්‍රයක් වන ධාරණී සූත්‍රය කොටා ඇති බැවින් (ඉහත සඳහන් කල 70 දශකයේ සිදු කල කැනීම් වලදී ස්තූපයේ පේසාවේ පාදමට ආසන්න වූ ගැටි බැම්මේ තිබී හමුවූ බ්‍රාහ්මි අක්ෂර වලින් ලියා ඇති සෙල්ලිපි මෙම ධාරණී සූත්‍රය සහිත සෙල්ලිපි විය යුතුය.) මෙම යටාල ස්තූපය අයත් වන සංඝාරාමය මහායාන ඇදහීම් පිළිගත් භික්ෂූන් සිටි සංඝාරාමයක් බව මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි. එම අක්ෂර  4 වැනි හෝ 5 වැනි සියවස් වලට අයත් බවය ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. කෙසේ නමුත් මෙරට මහායානික ඇදහීම් පිළිබඳව මහාවංශයට අනුව මුලින්ම සඳහන් වනුයේ වෝහාරිකතිස්ස (පො.ව. 209-231) හා පසුව ගෝඨාභය හෙවත් මේඝවණ්ණ අභය ( පො.ව. 249-262 ) රජුගේ රාජ්‍ය කාල වලදීය. එසේම මෙරටින් හමුවී ඇති පැරණිම මහායාන ලේඛන පො.ව. 8 වන සියවසට වඩා පැරණි නොවේ. එහෙත් කිසියම් කලක මෙම විහාරය මහායාන ඇදහීම් සිදු කල ස්ථානයක් බවට පත්වූ බව එම සාධකය මෙන්ම බෝධිසත්ව වන්දනය උදෙසා පිළිමයක්ද සහිතව වෙනමම පිළිම ගෙයක් තිබීම ආදී වෙනත් පුරාවිද්‍යාත්මක අවශේෂ අනුව පැහැදිලිය. එය අනුරාධපුර යුගයේ මධ්‍යතන අවදිය විය හැක.  

යටාල වෙහෙර පරිශ්‍රයේ ඇති ආසනඝරය නොහොත් බෝධිඝරය පිළිබඳව වූ ලිපිය කියවීමට >>

මූලාශ්‍ර

  • Archaeological survey of Ceylon Inscriptions of Ceylon  Volume V Part III, Sirimal Ranawella, 2005
  • Administration Report of the Archaeological Commissioner for the years 1970-1977, R.H. de Silva
  • Administration Report of the Director-General of Archaeology for the year 1994, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1995, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1998, S.U. Deraniyagala
  • Administration Report of the Commissioner of Archaeology for the year 1979, R.H. de Silva, W.S. Karunaratne
  • බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්) - ආචාර්ය දනන්ජය ගමලත්, 2016
  • අපේ උරුමයන් මගේ ඇසින්, පුරාතන ලංකාවේ බුද්ධ සහ බෝධිසත්ත්ව ප්‍රතිමා, වෛද්‍ය රුවන් මාරසිංහ, 2021
  • ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිමා කලාව,  මහාචාර්ය චන්ද්‍ර වික්‍රමගමගේ, 2006
  • 1962-63 මුදල් වර්ෂය සඳහා පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ පාලන වාර්තාව, චාල්ස් ගොඩකුඹුරේ, 1964
  • Eleven years in Ceylon, Major Forbes, 1840
  • Studies in Global Archaeology 5,  Raj Somadeva, Urban Origins in Southern Sri Lanka, 2006
  • රුහුණේ යටගියාව සහ සෙල්ලිපි, පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, 2013
  • Buddhist Monasteries Towards Urbanism in Southern Sri Lanka, Prishanta Gunawardhana, 2009
  • Archaeology of Tissamaharama, Henry Parker, 1884 ( Reprint 1998)
  • මහාවංස 1 වෙළුම, මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • සිංහල ධාතුවංශය (සේරුවාවිල තිස්ස මහා විහාරවංශය ) M.W. විමල් විජේරත්න සංස්කරණය, 2012
  • සද්ධර්මාලංකාරය



Wednesday, January 2, 2019

වලා හොය වම් ඉවුරේ මාගම සහ දාපුලු රජු කරවූ පාඩික්කුලම වෙහෙර

 මහගම වැව හෙවත් පන්ඩික්කුලම හෙවත් ඌරුසිටා වැව 
අප රට තුල රට අභ්‍යන්තරයේ සිට ඉන්දියන් සාගරයට ගලාබසින 103 පමණ වූ ගංගාවන් අතරින් වළවේ ගඟ සැලකිය යුතු ජල සම්පතක් සාපෙක්ෂව වියලි භූමි භාගයක් ඔස්සේ මහ සයුර කරා ගෙන යන ගංගාවක් ලෙස හඳුනාගෙන ඇත. පැරණි අඟලේ සිතියමක් ගෙන බැලුවහොත් වළවේ ගංගා ද්‍රෝණියේ, විශේෂයෙන්ම එහි වම් ඉවුරේ, මෙයට පෙර ලිපියකින් අප විස්තර ඉදිරිපත් කල කල්තොට මොහොරට (Link>>) පහලින් වූ ප්‍රදේශයේ, දැකිය හැකි විශාල ප්‍රමාණයක් වූ ලොකු, කුඩා වැව් අපේ පැරන්නන් මෙම ජල සම්පත රැස්කර තබා ගනිමින් සරුසාර ප්‍රදේශයක් බවට එම තැනිතලා භූමිය පරිවර්තනය කිරීමට ගත් වෙහෙස මැනවින් පෙන්වා දේ. එදා වන නදිය, වලා හොය ආදි නම් වලින් හැඳින්වූ වළවේ ගඟේ ජලයෙන් පෝෂණය වූ රුහුණේ පැරණි සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය පිළිබඳව අදටත් සාධක සපයන්නේ එම වාරිමාර්ග පද්ධති සහ ඒ අතර වූ බෞද්ධ වෙහෙර විහාර නටබුන් වේ. මෙම ලිපිය ප්‍රධාන වශයෙන් තවමත් පුරාවිද්‍යාඥයන්ගේ අවධානය එතරම් යොමු නොවූ එවන් පැරණි විහාරයක නටබුන් පිළිබඳව සහ රුහුණේ ඉතිහාසය පිළිබඳව විමසා බැලූ කිසිවකුගේ (අප දන්න පමණින්) අවධානය එතරම් යොමු නොවූ මහගමක් හෙවත් මාගමක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා වෙන් වේ.
ස්තූපයට දකුණින් පිහිටි ගල්කණු සහිත ගොඩනැගිල්ලක අවශේෂ
පාඩික්කුලම වෙහෙර/පණ්ඩු වැව පිළිබඳව වංශකතා තොරතුරු
පළමුවන පරාක්‍රමබාහු රජු  (ක්‍රි.ව. 1153-1186) රෝහණයේ (රුහුණු රටේ) සිදු කල නොයෙකුත් කර්මාන්ත පිළිබඳව වූ විස්තරයේදී ඔහු විසින් ප්‍රතිසංස්කරණය කල බිඳිගිය සඟසතු වැව් කිහිපයක නම්ද මහාවංශයේ හමුවේ. එහි උරුවෙල වැව, පණ්ඩු වැව සහ කොළම්බ වැව ආදි වැව් දාසයක් (ඇතැම් සංස්කරණ වල 216) ගැන කියවේ.(ගෛගර්ගේ මහාවංශ සංස්කරණයේ පණ්ඩු සහ කොළම්බ වැව් දෙකක් ලෙස නොව පණ්ඩුකොළම්බ නම් වූ එක් වැවක් ලෙස ගෙන ඇත.) තවද පරාක්‍රමබාහු රජු එම රුහුණු රටෙහිම දිරාගිය අමුණු 18 ක්ද, විනාශ වූ කුඩා වැව් 205 ක්ද බැන්දවීය. පූජාවලියේ සඳහන් වන ලෙසට දාපුලු නම් රජු (පළමුවන දප්පුල - ක්‍රි.ව. 659) රුහුණින් අවුදින් අනුරාධපුර නුවර හිඳ නැවත රුහුණෙහි ...සම්බෙගමු, පාඩික්කුලම, කසගලු... ආදී එකුන් විස්සක් පමණ රජමහා විහාර කරවා තුන් අවුරුදු තුන් මසක් රජය කෙළේය. මේ අදහසම අඩු වැඩි වශයෙන් ඉදිරිපත් කරන රාජාවලිය පවසන්නේ දාපුලු රජ රුහුණින් ගොඩනැගී අනුරාධපුර නුවරට ගොස් ...නැවත රුහුණට ගොස් රූණු වෙහෙර කරවා....මාගම පසික්කලම, කසාගුළුව...යන වෙහෙර කරවා ලෙසිනි. (රාජාවලි ඇතැම් පිටපත් වල මෙම වෙහෙර පඩික්කුලම, පාඩික්කුලම ආදි වශයෙන්ද සටහන් වී ඇත.)
තවමත් විදිමත් කැනීමක් සිදු නොවූ ගරාවැටුන දාගැබ
මව් ආරේ පැරණි ස්ථානය (1963)
මව් ආරේ පැරණි ස්ථානය ලෙසින් හඳුන්වා 1963-64 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ පාලන වාර්තාවේ වළවේ නිම්නයේ හමුවන නටබුන් ස්ථානයක් පිළිබඳව විස්තරයක් අපට හමුවේ. එහි සඳහන් වන ලෙසට වළවේ ගඟේ විශාලම ශාඛාවක් වන මව් ආරේ වම් ඉවුරේ මහගම වැව අසල අඩි 200 පමණ වට ප්‍රමාණය ඇති, අඩි 15 පමණ උස, ගරා වැටුණ දාගැබක් ඇත. එහි මුදුනේ තිබී කුහර 25 සහිත යන්ත්‍ර ගලක් මෙන්ම දාගැබ් මළුවෙන් බුදු පිළිමයක වැලමිටක කොටසක් සහ බ්‍රාහ්මි අක්ෂර කොටා ඇති ගඩොල් කැබලි ආදිය හමු වී ඇත. දාගැබට දකුණින් යාර 100 පමණ දුරින් එක් පසක 4 බැගින් ගල් කණු 16 ක ගොඩනැගිල්ලක අවශේෂ හමුවේ ( එහි ඒ වන විට පොළව මට්ටමේ සිට අඩි 3 පමණ උස ගල් කණු 7 පෙර තිබූ ලෙසින්ම තිබී ඇත.). එයට නුදුරින් බුදු පිළිමයක පාදමක්ද තිබී ඇති අතර. දාගැබ වටා අක්කර 20 ක පමණ ප්‍රදේශයේ ගල් කණු, ගඩොල්, ගල් කණු කැබලි, ගඩොල් බැමි ආදිය දක්නට ලැබී ඇත. නැවතත් 1964-65 සඳහා වූ පාලන වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය වසරේ එම ස්ථානයට යන විට කැලයෙන් වැසී තිබීම නිසා නොදුටු විශාල පොකුණක්ද හමුවූ බවය.
බොහෝ දුරට බුදු පිළිමය සහ බෝධිසත්ව පිළිමය තබා තිබූ පාදම් 

මහගම පැරණි ස්ථානය(1972)
1972 වර්ෂයේ නිකුත් කල පැරණි ස්මාරක නාමාවලියේ මහගම පැරණි ස්ථානය ලෙසින් හඳුන්වා ජරාවාස වූ දාගැබක් සහ වෙනත් ගොඩනැගිලි 3 ක අවශේෂ මෙහි ඇති බවටත්, එහි විශාල ප්‍රදේශයක පැරණි ගඩොල් බැමි වල අවශේෂයන් සහ ගල් කුළුණු කෑලි දක්නට හැකි බවටත් තොරතුරු ඉදිරිපත් කර ඇත.

මහගම මහානාග රජමහ විහාරය(1993)
 ඉන්පසු නැවතත් 1993 වසරේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ පාලන වාර්තාවේ මෙම නටබුන් ස්ථානය පිළිබඳව විස්තර හමුවේ. ඒ වන විට මෙම ස්ථානය හඳුන්වා ඇත්තේ මහගම මහානාග රජමහ විහාරය ලෙසිනි. 70 දශකයෙන් පසු කාලයේදි නැවතත් මෙම ස්ථානය භික්ෂූන් වසන විහාරයක් බවට පත් වී ඇත. විශ්කම්භය මීටර 20 පමණ වූ සහ මීටර 10 පමණ උස වූ නිධන් හොරුන් විසින් වැනසූ දාගැබ පිළිබඳව මෙන්ම එයට බටහිරට වන්නට හමුවූ හුණුගල් බෝධිසත්ව පිළිමයක දනහිසට ඉහලින් වූ කවන්ධ කොටසක් පිළිබඳවද, දාගැබට මීටර 80 පමණ දකුණින් වූ ගොඩනැගිල්ලක නටබුන් මෙන්ම, ඒ අසල වූ බොහෝ දුරට බුදු පිළිමයක යටකොටස විය හැකි කොටසක් පිළිබඳවද එම වාර්තාවේ විස්තර ඉදිරිපත් කර ඇත. නූතන විහාරයේ බණ මඩුවට මීටර 40 පමණ දකුණින් ගල් කණු 10 ක පමණ කොටස් හමුවන මීටර 4X4 විශාල වූ පාදමක් සහිත ගොඩනැගිල්ල පිළිබඳවද එහි විස්තර වේ. එම ගොඩනැගිල්ලට අමතරව තවත් ගොඩනැගිලි 12 ක අවශේෂ මෙම පරිශ්‍රයේ හමුවන බවත් එම ඇතැම් ගොඩනැගිලි වටා නටබුන් වූ බිත්ති කොටස්ද දැකිය හැකි බවත් 1993 වාර්තාවේ තවදුරටත් සඳහන් වේ. අක්කර 50 ක පමණ ප්‍රදේශයක් පුරා මෙම ගොඩනැගිලි විසිර ඇති බැවින් පුරාණ කාලයේ අතිශයෙන්ම සශ්‍රික වූ  විහාරයක් මෙහි තිබී ඇති බවට එහි අවසාන වශයෙන් සඳහන් වේ.
බෝධිසත්ව පිළිමයේ සහ හිටි බුදු පිළිමයේ කවන්ධ කොටස්
රුහුණේ අගනුවර ලෙස වංශකතා වල සඳහන් වන මාගම හෙවත් මහ ගම ( පාලියෙන් මහාගාම) වර්තමාන තිස්සමහාරාම ප්‍රදේශය තුල පිහිටි බව පොදුවේ පිළිගන්නා මතයයයි. එහෙත් මුල් කාලීන මාගම පිහිටි ස්ථානය පිළිබඳව විවිධ මත පවතින බව අප පෙර ලිපියකින්ද අවධානය යොමු කල අතර (>>Linkමහානාගකුල(රම්බා වෙහෙර) සහ උදුන්දොර (ගලබැද්ද) වැනි ස්ථාන වලද ඇතැම් යුග වලදී අගනුවරවල් පැවති බවට වංශ කතා මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක ඇත. එසේම තවමත් හඳුනා නොගත් නම් සහිත ස්ථාන වල ඇතැම් යුග වලදී විවිධ රජවරුන් සහ ප්‍රාදේශිය උප රජවරුන් සිය පාලන මධ්‍යස්ථාන පවත්වාගෙන ඇති බවට වංශ කතා තොරතුරු ඇත. තවද එකම යුගයකදී වුවද මහා ගාම ලෙසින් ස්ථාන එකකට වඩා පැවතිය හැකි බව අවිවාදිතය. මක් නිසාද යත් එහි වචානාර්ථයෙන්ම හැඟෙන පරිදි කිසියම් ප්‍රදේශයක වැඩි ජන ඝනත්වයක් පැවතීම, ප්‍රධාන වාරිමාර්ග පද්ධති සහ විහාර ආදිය ඉදිවී තිබීම ආදී කරුණු අනුව නිතැතින්ම එම ප්‍රදේශය 'මහා ගමක්' වන නිසාය.
වර්තමාන විහාරයේ බුදු පිළිමයක් තැබීමට උපයෝගි කරගෙන ඇති පැරණි ස්තූපයේ විය හැකි කැටයම් ගල් 
ඉහත පෙන්වා දුන් අන්දමට දාපුලු නම් රජු ඉදි කල බවට පූජාවලියේ දැක්වෙන වෙහෙර විහාර  ලේඛනයේ පාඩික්කුලම යන වෙහෙරට පෙර දැක්වෙන්නේ සම්බෙගමු වෙහෙර වන අතර ඉන්පසු දැක්වෙන්නේ කසගලු (රාජාවලියේ මෙය කසාගුළුව ලෙසින් දක්වා ඇත.) යන වෙහෙරය. හම්බේගමුව ලෙසින් හැඳින්වෙන වැවක් සහ ඒ අසල නටබුන් වෙහෙරක් වලවේ නිම්නයේම ඉහත මහගම වැවට ඉහලින් හමුවන අතර කසාගල ලෙසින් අදටද හැඳින්වෙන පැරණි වෙහෙරක නටබුන් මහගමට දකුණින් රන්න-වීරකැටිය පාරේ දැකිය හැක. (එම ස්ථානයේ තිබී හමුවූ දෙවන සියවසට අයත් සෙල්ලිපියකට අනුව එහි පැරණි නම කචාගලයි.) <පහත සිතියම බලන්න.>


ස්තූපය අසල තිබූ මල් ආසනයක් විය හැක
 තවද මෙම වලවේ නිම්නයේ පුරාණ වාරිමාර්ග පද්ධති පිළිබඳව R.L. බ්‍රොහියර් මහතා  ඉදිරිපත් කරන තොරතුරු වල මහගම වැව හැඳින්වෙන්නේ පන්ඩික්කුලම් යන නමිනි. මෙම සියළු සාධක එක්ව ගත් කල දාපුළු රජු කරවූ පාඩික්කුලම විහාරය එම නමින්ම මෑතක් වන තුරු හැඳින්වූ දැනට මහාගම වැව නොහොත් ඌරුසිටා වැව ලෙසින් හැඳින්වෙන වැව අසල අප ඉහත තොරතුරු ඉදිරිපත් කල පෞරාණික ස්ථානය බවට හඳුනාගැනීම බොහෝදුරට නිවැරදි බව පෙනේ. තවද වලවේ නිම්නයේ පැරණි වාරිමාර්ග පද්ධති අතරින් විශාලම වාරි කර්මාන්තය ලෙස පන්ඩික්කුලම දැක්විය හැකිය (බ්‍රොහියර් ඉදිරිපත් කරන තොරතුරු සහ පැරණි අඟලේ සිතියම් වලට අනුව. අද වන විට නව ජලාශ ඉදිවීම සහ පැරණි කුඩා වැව් විශාල කර නැවත ඉදිකිරිම නිසා මෙම තත්වය වෙනස් වී ඇත. මහගම වැවේ වාරි තාක්ෂණය සහ වලවේ ගඟේ අනිකුත් එල්ලංගා වැව් පද්ධති පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.). ඒ අනුව එය පිහිටි ග්‍රාමය මහගම ලෙසින් එවකට හඳුන්වා තිබීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිවැරදි වේ. පළමුවන පරාක්‍රමබාහු රජු ප්‍රතිසංස්කරණය කරවූ පණ්ඩු (හෝ පණ්ඩුකොළම්බ ) වැවද එම පන්ඩික්කුලම  වැව විය හැකි බවට C.W. නිකොලස් මහතා අනුමාන කරයි.
වර්තමාන විහාරයේ බුදු පිළිමයක් තැබීමට උපයෝගි කරගෙන ඇති පැරණි ස්තූපයේ විය හැකි කැටයම් ගල් 
මෙහිදි අපගේ අවධානය යොමුවන තවත් වැදගත් කරුණක් වන්නේ පූජාවලියේ 'පාඩික්කුලම වෙහෙර' යනුවෙන් පමණක් හඳුන්වන විහාරය රාජාවලිය දක්වන්නේ "මාගම පසික්කලම/පාඩික්කුලම" ලෙසින් වීමය. පැරණි පාඩික්කුලම විහාරය දැනටද මහගම ලෙසින් හඳුන්වන ගමෙහි පිහිටි නටබුන් ස්ථානය ලෙස අපගේ හඳුනාගැනීම නිවැරදි නම් මෙහි මාගම යනුවෙන් හඳුන්වන්නේ තිස්සමහාරාමයේ පිහිටි ප්‍රකට මාගම නොව මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික් මායිමේ මොණරාගල දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති අපගේ ලිපියට ප්‍රස්තුත වන මාගම හෙවත් මහගම බව පැහැදිලිය. මහාවංශයේ පටන් රාජාවලිය දක්වා වංශ කතා වල දැක්වෙන මාගම යනුවෙන් සඳහන් වන සියළු ස්ථාන පොදු පිළිගැනීම වන තිස්සමහාරාමයට අදාල කරගැනීම කොතරම් නිවැරදිදැයි නැවත සලකා බැලිය යුතු බව මේ අනුව අපට හැඟේ.
මූලාශ්‍ර
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1997
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Administration Report of the Archaeological Commissioner for the Financial Year 1963-64, 1965
  • Administration Report of the Archaeological Commissioner for the Financial Year 1964-65, 1967
  • Administration Report of the Director-General of Archaeology for the Year 1993, Deraniyagala S.U.
  • Water For People And Nature, Arumugam Commemoration Volume, Sri Lanka Water Heritage, History of Water Conservation Volume 2, Bhadra Kamaladasa & Mendis D.L.O. Ministry of Irrigation And Water Management, 2003
  • වැව, උදුල බණ්ඩාර අව්සදහාමි, 2015
  • Journal of the Sri Lanka Branch of the Royal Asiatic Society, Major Ancient Irrigation Works of Sri Lanka, New Series Volume XXII Special Number, by A.Denis .N. Fernando, 1980
  • Hundred Years of The Irrigation Department, Centenary Commemoration Volume, 1900-2000, Dharmasena et.al. 2000
  • The national Atlas of Sri Lanka, Survey Department, 2007