Showing posts with label Ravana. Show all posts
Showing posts with label Ravana. Show all posts

Monday, November 2, 2015

රාවණ කතා 2 - රාවණාගේ ලංකාගමණය

රාමායනයේ එන ලංකාපුරය පිළිබඳ විස්තර සඳහා කියවන්න - රාවණ කතා 1 - රාමායනයේ එන ලංකාපුරය

පැරණි වංශකතා සාහිත්‍යයේ පලමු වරට රාමායනයේ එන චරිත පිළිබද සදහනක් හමුවන්නේ මහාවංශයේ දෙවන භාගයේ මහා පැරකුම්බා රජු පිළිබද සදහන් කිරීමේදිය. 12-13 සියවස් වලදි පමණ රචනා කරන ලද මහාවංශයේ මෙම කොටසේ පරාක්‍රමබාහු කුමරුවා කුඩා කල ඇසූ වීර කතා අතර රාමායන මහා භාරත ආදී කතාද වූ බව මෙසේ සදහන් වේ.

"....රාමායන භාරතාදී ලෞකික කථාහීත් රාවණා මැරූ ඒ රාමකුමරුහු වික්‍රමය ද......" (මහාවංශය 64 පරිච්ඡේදය)

නැවතත් මහවංශයේ 68 වන පරිච්ඡේදයේ මහා පරාක්‍රමබාහු රජු හට ඔහුගේ ඇමතියන් විසින් දැදුරු ඔය හරහා පාලමක් (මහහෙයක්)  බැදිය නොහැකි බව පැවසූ කල්හි පැරකුම්බා රජු මෙසේ පවසයි.

"ලෙව්හී උත්සාහයවත් වූ දනන් විසින් කුමක් සිදු කළ නොහැක්කේද? රාම තෙමේ සයුරෙහි ද වඳුරු සමූහයන් ලවා මහා හෙයක් බැන්ද වීය....."

නැවත වරක් මහාවංශ කතෘ පැරකුම් රජුගේ සේනාව කිසියම් ගඟක් තරණය කල අයුරු මෙසේ විස්තර කරයි. "...රාම රාවණ සංග්‍රාමයෙහි  තරණය කරණ ලද මුහුදු ඇති වඳුරන් සෙයින්..."  (මහාවංශය 75 පරිච්ඡේදය)

පරාක්‍රමබාහු රජුගේ බිසවක් වූ රූපවතී දේවිය සම්බන්ධ වර්ණනාවකදීද මහාවංශ කතෘ රාමායනයේ චරිත යොදාගනී. .."ඒ මිහිපල් මුඳුන් මල් හු සීතා දේවිය  රාමා සෙයින්  සිත් අලවන්නා වූ...."(මහාවංශය 73 පරිච්ඡේදය)

මහා පරාක්‍රමබාහු පිළිබද විස්තරයෙන් පසු නැවතත් රාමායනය මහාවංශ කතෘ හට විෂය වන්නේ දඹදෙනිය සිය රාජධානය බවට පත් කරගනිමින් රාජ්‍යය විචාල දෙවෙනි පැරකුම්බා රජ සමයේ රජුගේ බෑන වූ වීරබාහු කුමරු ආක්‍රමනික ජාවක රජෙකු වූ චන්ද්‍රභානු ගේ සේනාවේ සතුරන් නැසූ අයුරු කීමේදීය. "වීරබා මිහිපති තෙමේ යුධයට ගොස් රාම රජහු සෙයින්  බොහෝ වූ ජාවක යෝධයන් ....භස්ම කලේය" .(මහාවංශය 83 පරිච්ඡේදය)

චන්ද්‍රභානුගේ දෙවෙනි ආක්‍රමණය සිදුවන අවස්ථාවේ රාජ්‍යය විචාල 4 වන විජයබාහු සමග එක්ව එම වීරබාහුම චන්ද්‍රභානු සමග සිදු කල සටන් පිළිබද සදහන් කිරීමේදීද මෙවන් සදහනක් නැවතත් එයි." ....චන්ද්‍රභාණු මහසෙන් හාත්පසින් වටලා රාම යුද්ධය සෙයින් දරුණු වූ මහයුධ කළහ."  (මහාවංශය 88 පරිච්ඡේදය)

මේ සෑම අවස්ථාවකදීම රාමායනයේ සිදුවීම් සහ චරිත උපයෝගි කරගනුවේ කිසියම් සිදුවීමකට හෝ පුද්ගලයෙකුට එය උපමා කරගැනීමකට විනා කිසිදු තැනක රාමායනයේ එන රාවණ මෙරට විසූ බවක් හෝ රාක්ෂයන්ගේ ලංකාපුරය යනු ලංකාව හෙවත් සිහල ද්විපය ලෙස අවම වශයෙන් 12-13 සියවස් හි හෝ සැලකූ බවට හෝ සාධක නොමැත. මහාවංශයේ මුල් පරිච්ඡේද වල මෙරට සිටි යක්ෂ වංශිකයන් ගැන සදහන් වනමුත් රාමායනයේ එන රාවණගේ ලංකාපුරයේ විසූ 'රාක්ෂයන්' හා  මහාවංශයේ 'යක්ෂ වංශිකයක්' කිසිම ආකාරයකින් එක ජන කොට්ඨාශයක් ලෙස සැලකිය නොහැක.

12-13 සියවස් හිදි පලමුවරට රාමායනයේ එන සිදුවීම් පැරණි වංශකතා වල හමුවීමෙන් පැහැදිලි වන්නේ කුමක්ද? මේ කාලය වනාහි අඩ සියවසකට ආසන්න කාලයක් පුරා විහිදුනු චෝල යටත්විජිත පාලනයකින් (ක්‍රි.ව. 1029 - 1070) පසු නිදහස ලබා, දකුණු ඉන්දීය ද්‍රවිඩ බලපෑම් දැඩි ලෙස සිංහල සමාජය වෙලාගත් යුගයක් වූ බවට සාධක වංශකතා වල මෙන්ම පැරණි නටබුන් වලින්ද හමුවේ. හින්දු භක්තික ද්‍රවිඩ ජනයාගේ සංස්කෘතික, ආගමික සහ සමාජීය බලපෑම් සැලකිය යුතු මට්ටමින් සිංහල බෞද්ධ සංස්කෘතිය තුලට අවශෝෂනය වීම එවන් තත්වයක් යටතේ වැලැක්විය නොහැක. එය කෙතෙක්ද යත් මහාවිහාරික හික්ෂුන් විසින් රචනා කල මහාවංශය වැනි වංශ කතා තුලට පවා එම බලපෑම ඇතුල්වීමෙන් පෙනීයයි. එසේම පොළොන්නරු යුගයේ සිංහල රාජ වංශය සමග පාණ්ඩ්‍ය සහ චෝල වංශවතුන් අවාහ විවාහ ආදියෙන් එක්වීමෙන් මෙය තවත් වේගවත් වන්නට ඇත.

කෙසේ නමුත් මජ්ඣිම නිකාය සදහා 5 වන සියවසේ පමණ අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමියන් විසින් පාලියෙන් සම්පාදනය කල පපඤ්ච සුදනී නම් වූ අට්ඨ කතාවේ සම්ම දිට්ඨි සූත්‍ර වර්ණනාවේ පිසුනා වාචා විස්තර කිරීමේදී 'භාරත, සීතාහරණ ආදි නිරර්ථක කතා.. ' පිළිබද උදාහරණයක් එයි. බුද්ධගයා හී බ්‍රාහ්මනයෙක් ලෙස සිට සතර වේදය මැනවින් හදාරා පසුව බුදු සසුන වැලඳ ගත් එසේම දකුණු ඉන්දියාවේ කාංචි පුරයෙහි දිගු කලක් සිටි බව පැවසෙන ඒ හිමියන්ගේ ඉන්දිය සාහිත්‍යය පිළිබඳ දැනුම සිය කෘතිය තුලට මුසු කල අවස්ථාවක් ලෙස එය සැලකිය හැක.

මෙම සංස්කෘතික ආක්‍රමණය නවතාලිය යුතු බවට බෞද්ධ භික්ෂුන් මුල් කාලයේදීම පාහේ අවබෝධ කරගත් බවට ධර්මසේන හිමියන් විසින් සද්ධර්මරත්නාවලියේ (ක්‍රි.ව. 1220-1293 පමණ රචිත) රාම සීතා කතා ආදිය දෙවිලොව සම්පත් ලබාගැනීමට බාධකයක් වන බවට සදහන් කිරීමෙන් පැහැදිලි වේ. නමුත් මෙම කාලයෙන් පසු විශේෂයෙන්ම කෝට්ටේ යුගය පමණ වන විට බොහෝ සාහිත්‍ය නිර්මාණ තුල රාමායනයේ සහ මහාභාරතය වැනි වෙනත් ඉන්දිය ප්‍රබන්ධ වල ආභාෂය දක්නට ලැබේ. එසේම එය මෙරට දේව ඇදහිල්ල සහ අභිචාර විධීන්  තුලටද ඇතුලු වූ බවට සාධක හමුවේ. ඒ පිළිබද පසුව විමසා බලමු.

මූලාශ්‍ර
  • Ramayana in Sri Lanka and Lanka of the Ramayana by C.E. Godakumbura IN Journal of Royal Asiatic Society of Sri Lanka New Series, Volume 59 Part 2, 2014.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • පපඤ්ච සුදනී නම් වූ මජ්ඣිම නිකායට්ඨ කතා (සිංහල පරිවර්තනය ) ආඳාවල දේවසිරි මහ ස්ථවිර., බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2008
  • සද්ධර්මරත්නාවලිය - සංස්කරනය කිරිඇල්ලේ ඥාණවිමල ස්වාමිපාදයන් වහන්සේ
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994


Sunday, October 25, 2015

රාවණ කතා 1 - රාමායනයේ එන ලංකාපුරය

වාල්මිකී නම් මුනිවරයා විසින් රචිත ඉන්දියානු සංස්කෘත මිත්‍යා කාව්‍යයක් වන රාමායනය කිනම් කලක ලියවිනිදැයි යන්න විවාද සම්පන්නය. එය බුද්ධ කාලයට පෙර ලියවුන බව ඇතමුන් පවසන මුත් අවම වශයෙන් අවස්ථා දෙකකදීවත් එහි බෞද්ධයන් ගැන සදහන් වීමෙන් එය බුද්ධ කාලයට පසුව ලියවුන බව සිතිය හැක. කෙසේ නමුත් මුල් මතය දරන වියතුන් එය පැහැදිලි කරන්නේ එවන් කොටස් මුල් රාමායනයට පසුව එකතු වූ කොටස් විය හැකි බවය. විශේෂයෙන්ම රාමායනයේ අවසාන කාණ්ඩය වන උත්තරකණ්ඩය (Uttarakanda) සම්පූර්නයෙන්ම මෙසේ පසුව එකතු වූ කොටසක් බවට සාධක තිබේ. නමුත් එහි පලමු කාණ්ඩයේම එනම් අයෝධ්‍යයකණ්ඩයෙහිද (Ayodhyakanda) බෞද්ධයන් ගැන සදහනක් ඇති බැවින් ඒ මතය එතරම් සරලව බැහැර කල නොහැක. දෙවෙනි අවස්ථාව දැක්වෙන්නේ කිශ්කින්ද්යකන්ඩ (Kishkindhyakanda) යෙහිය. මෙම අවස්ථා දෙකේම අපහාසාත්මක අර්ථයෙන් බෞද්ධයන් ගැන සදහන් වේ.

රාමායනයේ එන රාවණගේ ලංකාපුරය යනු වර්තමාන ශ්‍රී ලංකාව බවත් රාවණ යනු රටවල් බොහෝ ගනනක සිය අනසක පැතිරවූ හෙළ රජෙකු බවත් පවසමින් ඔහු වටා විවිධ ඇදහිය නොහැකි එසේම කිසිදු පදනමක් නොමැති හිතළු ගොතමින් දිනෙන් දින වර්ධනය වන රාවණ ඇදහිල්ලක් (Ravana Cult) මෑතක සිට ඉස්මතු වී ඇති බවක් පෙනේ. ඇතැම් 'ආචාර්ය, මහාචාර්ය පදවි ඇතැයි' පවසන උදවිය පවා මෙම මත සමාජගත කිරීමට ප්‍රබල කාර්යභාරයක් ඉටු කරන බව පෙනේ. සිය පුවත්පත් විකුනාගැනීම සදහා ජනප්‍රිය ඉතිහාසයක් නිර්මාණයේ යෙදී සිටින පත්‍රකලාවේදීන් අතරද උනු කැවුම් මෙන් විකිණිය හැකි බැවින් මෙවන් හුදු ප්‍රබන්ධ වලට ඉහල ඉල්ලුමක් ඇත. මේ ඔවුන් විසින් සමාජගත කර ඇති එවන් ප්‍රබන්ධ කතා පිළිගත හැකි ඓතිහාසික සාධක ඇසුරින් විමසා බැලෙන ලිපි පෙලක ඇරඹුමයි.

ලංකාවේ රාවණ හා සීතා සම්බන්ධ විවිධ ග්‍රාම නාම ඇති බැවින් එවන් ස්ථාන වලට එම නම් යෙදුනේ රාවණ රජු මෙරට රජ කල යුගයේ සිට බව රාවණ ඇදැහිල්ලේ පුරෝගාමින් වන ඇතමුන් පවසති. එතැකින් නොනැනවතී ඔවුන් ඇතැම්විට එම නම් හා බැඳි ජනප්‍රවාද රාමායනයේද ඇතැයි පවසති (ඇතැම් ජනප්‍රවාද එම අදාල ගම්බිම් වල සිටින පැරන්නන් අතරේ පවා පවතින ඒවා නොවන අතර මෙම රාවණ අදහන්නන්ගේ ඔලු ගෙඩි තුලම මෑතකදි පහලවූ නිර්මාණය )

'ලංකා' සහ 'ලංකාපුරය' යන නම් විනා මෙරටට අදාල කරගත හැකි කිසිදු ග්‍රාම නාමයක් රාමායනයේ නොයේ. 'ගෝකර්ණ' යනුවෙන් එක් අවස්ථාවක සදහන් වන මුත් එය ඉන්දියානු ගෝකර්ණ ප්‍රදේශය විනා මහාවංශයේ අවස්ථා කිහිපයකදීම 'ගෝකණ්න' නමින් හැදින්වූ වර්තමාන ත්‍රිකුණාමලය* නොවන  බවට එහි සන්දර්භය තුලම විද්‍යාමාන වේ. (The descent of the Ganges in Balakanda )

රාමායනයේ 'ලංකා' හෙවත් 'ලංකාපුරය' සම්බන්ධයෙන් සදහන් වෙන කොටස් කිහිපයක් එහි ඉංග්‍රීසි පරිවර්තනයකින් සිංහලට පරිවර්තනය කර පහතින් දක්වමු.
  • "දේව පුරයක් වූ අමරාවතිය බඳු වූ ලංකා නම් මාගේ අගනුවර සයුරින් එතෙර පිහිටයි. එය දරුණු රාක්ෂයන්ගෙන් ජනාවාස වී ඇති අතර ධවල ප්‍රාකාරයකින් වටවී ඇත. නුවර ද්වාරයන් දීප්තිමත් නිල් මැණික් වලින් නිර්මිතය. එහි කාමර රත්‍රන් වලින් සාදා ඇත........." (Throwing off the Mask in Chapter XIX of Aranyakanda)
  • ".....ලංකා නම් වූ කන්දට යෙදෙන තවත් නමක් වන්නේ ත්‍රිකූට යන්නය. එහි රාක්ෂයන්ගේ නගරය පිහිටයි..." (The City of Lanka in Chapter II of Sundarakanda)
  • "...ඔහුගේ නගරය කිසියම් ආධාරකයක් නොමැතිව තරනය කල නොහැකි කඳු මුදුන් වල පිහිටා ඇත. එය දෙවියන් තැනූ භයානක කොටුවක් වැනිය. නගරය මුහුදු වෙරලේ ඉදිකර ඇත. කිසිදු ඔරුවකට එම සුවිශාල මුහුදේ දිශාව පිලිබඳ අදහසක් නොමැති හෙයින් තරණය කල නොහැක....." (Hanuman's Narration in Chapter II of Yuddhakanda)
  • "උස් කඳු මුදුනේ අලංකාර ලංකා නම් නගරය පිහිටියේය. එය යොදුන් 20 ක් දිගින් හා යොදුන් 10 ක් පලලින් යුක්තය. එහි මහා ප්‍රාකාරයන් රත්තරනින් සහ රිදියෙන් නිමවා ඇති අතර එහි උස් ද්වාරයන් චමත්කාරජනකය..." (Sugirva's Daring in Chapter XXV of Yuddhakanda)
  • "දකුණු මුහුදු වෙරලේ ත්‍රිකූට කන්ද පිහිටා ඇති අතර ඒ මත විශ්වකර්ම නම් වූ දේව ගෘහ නිර්මාණ ශිල්පියා  රාක්ෂයන් සදහා නිර්මාණය කල ලංකා නම් වූ අලංකාර නගරය පිහිටා ඇත...." (Agastya's Revocations in Chapter 1 of Uttarakanda)
අතිශයෝක්තියට නැගූ නිර්මාණශීලි කාව්‍යයක පරස්පර විරෝධී නගර වර්ණනාවක ලක්ෂණ විනා මෙරටට ගැලපිය හැකි කිසියම් හෝ දෙයක් මෙම කොටස් තුල දිස්වේද?

රාවණ මිත්‍යාවට අදාලව සදහන් වන මෙරට වෙනත් ස්ථාන එම නම් ලත් ආකාරය අපි රාවණ කතා 2 තුලින් විමසා බලමු.

මූලාශ්‍ර

The Ramayana of Valmiki, Translated into English by Makhan Lal Sen, 1970

* Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.