Showing posts with label Kehelgamuwa. Show all posts
Showing posts with label Kehelgamuwa. Show all posts

Saturday, June 2, 2018

ජෝන් ඩේවි සමග රුවන්වැල්ලෙන් නුවරඑළිය පතනට...

බදුල්ලේ සිට මහනුවරට තිබූ පැරණි මාර්ගයක් පිළිබඳව වූ පෙර ලිපියකදි ජෝන් ඩේවි පිළිබඳව සහ මැක්ඩොනල්ඩ් බලකොටුවේ සිට මහනුවර දක්වා ඔහු ගමන් කල මාර්ගය පිළිබඳව විස්තර ඉදිරිපත් කලෙමි. එම ලිපිය කියවීමට>> Mcdonald සිට මතුරටට, ඩේවි ගිය මග ඔස්සේ..
එහිදි ඩේවි මැක්ඩොනල්ඩ් බලකොටුවට කතරගම දෙස සිට සහ කොත්මලේ දෙස සිට අවස්ථා දෙකකදි පැමිණි බව සඳහන් විය. මේ ලිපිය ඔහු කොත්මලේ දෙස සිට මැක්ඩොනලඩ් බලකොටුවට පැමිණි මාර්ගය පිළිබඳවයි.

1819 අගෝස්තු 29 වන දින කොළඹින් පිටත් වන ඩේවි රුවන්වැල්ල (Ruwenwelle) දක්වා ආණ්ඩුකාර බ්‍රවුන්රිජ් සහ එම ආර්යාව සමග ගමන් කල අතර එම මාර්ගය පැරණි කොළඹ-මහනුවර මාර්ගයම වේ. තවද ඩේවි මෙම කොටසේදී එම මාර්ගය පිළිබඳව විස්තර ඉදිරිපත් නොකර රුවන්වැල්ලේ සිට මැක්ඩොනල්ඩ් කොටුව දක්වා ඔහුගේ ගමන් මග පිළිබඳව පමණක් තොරතුරු ඉදිරිපත් කරන බැවින් සහ පැරණි කොළඹ-මහනුවර මාර්ගය පිළිබඳව ඉදිරියේදි වෙනම ලිපියකින් කරුණු ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වන බැවින් අපද ඔහු අනුගමනය කරමින් රුවන්වැල්ලේ සිට ඉදිරියට මාර්ගය ගැන පමණක් විමසා බලමු.

අගෝස්තු 23 වන දින රුවන්වැල්ලෙන් පිටත් වන ඩේවි එම දිනය තුල සැතපුම් 10 ක පමණ දුර ගමන් කර පහල බුළත්ගම (Lower Boulatgamme) පලාතට අයත් ගනේපල්ලට (Ganepali) ලඟා වේ. එම මාර්ගය මද වශයෙන් කඳු සහිත දුෂ්කර මාර්ගයක් බවත්, එහි වගා කල ප්‍රදේශ එතරම් හමු නොවූ බවත්, රැවන්වැල්ල අසල ප්‍රදේශයෙ හැරුන විට ජනයා පදිංචි වි සිටි ස්ථාන ඉතාමත් අඩු බවත් ඩේවි පවසයි. මාර්ගයේ බොහෝ දුරක් ඝනව වැඩුන බඩවැටි සහ වනාන්තරය පමණක් වරින් වර හමු වූ අතර, අලි ඇතුන් බහුල වනාන්තරයේ ප්‍රධාන වශයෙන් වේවැල් විශේෂයක් බහුලව දක්නට ලැබුන බවත් ඔහු වැඩිදුරටත්  විස්තර කරයි.

කෙසේ නමුත් ඔහුට අලි සිටි බවට සලකුණු විනා එකදු අලියෙක්වත් හමු වී නොමැත. මෙහිදි මාර්ගයේ ගමන් කරන විට වල් අලි උවදුරින් බේරිම උදෙසා යොදා තිබූ සරල එහෙත් ඵලදායි උපක්‍රමයක් ඩේවි විස්තර කරයි. එනම් පටු අඩි පාරක් වූ මාර්ගයේ හරහට පොළවේ සිට අඩි 5 පමණ උසින්  තැනින් තැන කණුවක් හෝ දෙකක් බැඳ තැබීමයි. මිනිසුන් හෝ සතුන් තනාගත් මාර්ග වල පමනක් යා හැකි තරමට ඝන වූ මේ වනයේ එවන් පටු අඩි පාරක හරහට ඇති එවැනි කපොල්ලක් යටින් මිනිසෙකුට පහසුවෙන් පැන ගත හැකි මුත්, ඔහුව හඹා එන අලියෙකුට එය ලේසි පහසු කාර්යයක් නොවේ.

එම ගමන් මගේදී ඩේවි හට කුඩා දිය පාරවල් විශාල ගනනාවක් හමුවන මුත් ඒ අතරින් ගංවතුර කාලයේදී එගොඩ විය නොහැකි තරම් තරමක විශාල ඔය වල් දෙකක් ගැන ඩේවි විශේෂයෙන් සඳහන් කරයි. රැවන්වැල්ලේ සිට සැතපුම් හතරක් පමණ ගිය විට හමුවන වේ ඔය (Wahoya) සහ එතැන් සිට තවත් සැතපුම් දෙකක් පමණ දුරකදී හමුවන එක්හිඔය (Hicke oya) යන එම ඔය වල් දෙකම කැළණි ගඟේ (Kalany ganga) අතු ගංගා බව ඩේවි නිවැරදිව පවසයි. ඒ අතරින් තරමින් විශාල වේ ඔය ඔහු එක් වරක් පමණක් තරණය කල මුත් කරදරකාරී වූ එක්හීඔය අවම වශයෙන් දහසය වතාවක්වත් තරණය කිරීමට ඔහුට සිදුවූ අතර, ඇතැම් අවස්ථා වලදි මාර්ගය එහි පත්ල හරහාද ගමන් කල බව ඩේවි විස්තර කරයි. වේ ඔය තොටුපලේ සිට සැතපුමක් පමණ දුරකදි එහි වම් ඉවුර ඔස්සේ මාර්ගය මද දුරක් වැටි තිබූ බව පවසන ඩේවි Baliakudah ella ලෙසින් ඒ අසලදි එම ගඟ හැඳින්වූ මුත් එය වේ ඔයම විය හැකියැයි පවසයි.
සිතියම 1 - රුවන්වැල්ලේ සිට ගනේපල්ලට මාර්ගය (විශාලනය කිරීමට පින්තූරය මත ක්ලික් කරන්න )
රුවන්වැල්ලේ සිට ගනේපල්ලට මාර්ගය හඳුනාගැනීම
රුවන්වැල්ල මෙන්ම ගනේපල්ලද අද දක්වා එම නම් වලින්ම හඳුනාගත හැකි ස්ථාන වේ. එම මාර්ගයේ හමුවන වේ ඔය මෙන්ම හික්කේ ඔය ලෙසින් ඩේවි හඳුන්වන එක් හී ඔයද පැරණි අඟලේ සිතියම් වල ඒ ආකාරයෙන් ලකුණු කර ඇත. ඩේවි පවසන ලෙසට මේ ස්ථාන දෙක අතර මුළු දුර සැතපුම් 10 කි. වර්තමාන මාර්ග ඔස්සේද රුවන්වැල්ලේ සිට ගනේපල්ල දක්වා දුර අඩු වැඩි වශයෙන් සැතපුම් 10 කි. පැරණි මාර්ග බොහෝවිට ගංගා නිම්න ඔස්සේ විහිදී තිබූ බවට වන උපකල්පනය ඔස්සේ ගත් කල අඩු වැඩි වශයෙන් වර්තමාන මාර්ගය වැටී තිබෙන අයුරින් රුවන්වැල්ලේ සිට කරවනැල්ල හරහා යටියන්තොටට පැමිණ යටියන්තොටින් වේ ඔය තරණය කරන මාර්ගයම පැරණි මාර්ගය වීමට බොහෝ දුරට ඉඩ ඇත. වේ ඔය එතර විමෙන් අනතුරුව මාර්ගය එහි වම් ඉවුරු ඔස්සේ මද දුරක් වැටී තිබුන බව ඩේවි පවසන බැවින් එතැන් සිට මාර්ගය වර්තමාන A7 මාර්ගයට සමාන්තරව නොයා පරුස්සැල්ල දෙසට ගොස් ඉන්පසු නවට දෙසට යොමුව විහිදුන බව පෙනේ (සිතියම 1 බලන්න). ඩේවි සඳහන් කරන Baliakudah ella හඳුනාගත නොහැක. අනතුරුව නවට අසලදී එක් හී ඔයෙන් එතෙර වී මාර්ගය බොහෝදුරට ඔය ඔස්සේ විහිදී තිබුන බව පැහැදිලි වන්නේ ඩේවි සඳහන් කරන ලෙසට එය අවම වශයෙන් 16 වතාවක්වත් එක් හී ඔය හරහා යාමට නම් එලෙස යා යුතු බැවිනි (සිතියම 2 බලන්න). එම ස්ථානයේ සිට ගනේපල්ලට ඇති කෙටිම ගමන් මගද එයයි. රුවන්වැල්ලේ සිට වේ ඔයට ඩේවි පවසන සැතපුම් 4 ඉහත අනුමාණ කල මාර්ගය ඔස්සේද ආසන්න වශයෙන් සමාන වන අතර, එතැන් සිට එක් හී ඔයට ඇති සැතපුම් 2 දුරද නිවැරදිය. වේ ඔය තොටුපලේ සිට සැතපුමක දුරකින් මාර්ගය එහි ඉවුර ඔස්සේ වැටි තිබූ බවට වන සඳහනද මේ මාර්ගයේ පැහැදිලිවම සලකුණු වේ.
සිතියම 2 - වේ ඔය දෙසින් පැමිණ එක් හී ඔයෙන් එතෙර වූ ස්ථානයේ සිට ගනේපැල්ල දක්වා එක් හී ඔය ඔස්සේ වැටී තිබෙන්නට ඇති මාර්ගය.
වල් අලි ගහණ ඩේවි සඳහන් කරන ඉහත වනාන්තර සියල්ලම පාහේ පසු කලක ඩේවිගේ රටේ ඇත්තන් ප්‍රධාන වශයෙන් රබර් වගාව සඳහාත්, තේ වගාව සඳහා සුළු වශයෙනුත් හෙලි කර ඇත.

ගනේපල්ල
පළමු දින රාත්‍රිය ඩේවි ගත කරන්නේ වනාන්තර වැස්ම සහිත අඩි දෙතුන් දාහක් පමණ උසට විහිදුනු කඳු සහිත නිම්නයක තිබූ ගනේපල්ල අම්බලමේය. එහි වහලය දින කිහිපයකට පෙර වල් අලි විසින් ගලවා දමා තිබී ඇත. ගනේපල්ල ගම මිනිසුන් 20 කට නොවැඩි ප්‍රමාණයක් ඒ වන විට වාසය කල එක්හීඔයෙන් වටවූ වෙල් යායක කෙලවර නිවාස තනා තිබූ කුඩා ගමකි.
කඳු වලින් වටවූ ගනේපැල්ල ගම (මෙම කඳු වල වනාන්තර වෙනුවට අද ඇත්තේ රබර් වගාවන්ය)
දෙවෙනි දින තුල ඩේවි ඉහළ බුලත්ගම (Upper Boulatgamme) පළාතට අයත් අඹගමුව (Ambigammue) දක්වා ගමන් කරයි. එම ගමනේදී ඔහුට දැනගන්නට ලැබුන පරිදි ඔහු ගව් 2.5 (ඩේවි පවසන ලෙසට සැතපුම් 10 පමණ දුරක්) ගමන් කර ඇත. එහෙත් ඔහු සිතන පරිදි එම දුර එයට වඩා වැඩි විය යුතුය. ගනේපල්ලේ සිට සැතපුම් 2 පමණ දුරකදි ඔහු බිබිලි ඔය (Bibile Oya) තරණය කරයි. එතැන් සිට තවත් සැතපුමක් ගිය තැන ගිරන්කිත්තෙ ඔයෙන්ද (Gerankitty oya) එතර වි සැතපුම් 4ක පමණ දුරක් ගෙවා කිතුල්ගලට (Kitoolgulle) පැමිණේ. එම ගමන් මග මුල් කොටසේදී කඳු සහිත වනාන්තර පෙදෙසක් හරහාද, ඇතැම් අවස්ථා වලදි කැළණි ගඟ ඉවුර ආසන්නයෙන්ද ගමන් කර ඇත.
කිතුල්ගල තානායම අසලදී කැළණි ගඟ
ඩේවි උදෑසන ආහාරය සඳහා කිතුල්ගල ඒ වන විට අතහැර දමා තිබූ මුරපලක නවතින අතර එහි 1818 උඩරට කැරැල්ල අවධියේ ඉංග්‍රිසි හමුදාවේ සෙබලුන් රැදී සිට ඇත. එය වගා කල තැනිතලා බිමක පිහිටා තිබූ බවත්, එම ස්ථානයේ සිට සැතපුම් 2ක දුරකදි කැළණි ගඟ යාත්‍රා කල හැකි ආකාරයේ වූ බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි. කිතුල්ගල සිට මාර්ගය අතිශයෙන්ම දුෂ්කර කඳුකර මාර්ගයක් නමුත් දර්ශනීය පෙදෙසක් හරහා වැටී තිබූ බව ඩේවි පවසයි. එම දර්ශනය මෙන්ම කඳුකර සීත සුළං නිසා වනාන්තරය හරහා වැටි තිබූ සෙවණ සහිත මාර්ගය  ගමන් වෙහෙස දුරු කල බව ඔහු විස්තර කරයි. එක් පසකින් පහලින් පිහිටි කඳු වලින් වටවූ අඹගමුවේ වගා කල හරිත වර්ණ කුඹුරු යාය දිස්වන අතර අනෙක් පස වලාකුලින් වැසුන ශ්‍රිපාද කන්ද (Adam's Peak) සහ කේතු ආකාර කඳු මුදුන් වලින් සමන්විත එම කඳු වැටිය දිස්විය. එමෙන්ම මහවැලි ගඟට (Mahawelle river) සැතපුම් දෙකකටත් වඩා අඩු දුරක් තිබියදි, කෙහෙල්ගොමු ගඟ (Kalugammua ganga) සමග එක්වී අවසානයේ කැළැණි ගඟ බවට පත්වන මස්කෙළිය ඔයේ (Maskelli ganga) හඬ ඇසෙන, එය දකින මානයෙන් මාර්ගය වැටි තිබිණ.
ගනේපල්ලේ සිට කිතුල්ගල දක්වා මාර්ගය
ගනේපල්ලේ සිට අඹගමුව දක්වා මාර්ගය හඳුනාගැනීම
මාර්ගයේ මේ කොටසේදි ඩේවි සඳහන් කරන බිබිල ඔය, ගිරන්කිත්තේ ඔය, කිතුල්ගල, කෙහෙල්ගොමු ගඟ, මස්කෙලි ඔය මෙන්ම අඹගමුවද පැහැදිලිව හඳුනාගත හැක. ගනේපල්ලේ සිට මාර්ගය නැවතත් වර්තමාන A7 මාර්ගය දෙසට ගොස් එතැන් සිට ඒ ඔස්සේ විහිදී තිබූ බව ඩේවිගේ විස්තරය සහ ඔහු ඉදිරිපත් කරන ගනේපල්ලේ සිට බිබිලි ඔයට, එතැන් සිට  වර්තමාන කිතුල්ගල තානායම අසලින් කැළණි ගඟට වැටෙන ගිරන්කිත්තේ ඔයට සහ කිතුල්ගලට ඇති දුරවල් අඩු වැඩි වශයෙන් වර්තමාන A7 මාර්ගය ඔස්සේ ඇති දුරවල් වලට සමාන වීමෙන් වටහා ගත හැක. කෙසේ නමුත් ඩේවි සඳහන් කරන මුරපොල  පිහිටා තිබූ ස්ථානය මේ වන විට පැහැදිලි නැත.

කිතුල්ගල සිට අඹගමුවට මාර්ගයද බොහෝ දුරට වර්තමාන A7 මාර්ගය ඔස්සේ හෝ එයට සමාන්තරව තිබෙන්නට ඇති බව පෙනේ. ඩේවි පවසන අඹගමුව පෙදෙසේ කුඹුරු යාය වල් එක් පසකත් ශ්‍රි පාද කඳු වැටිය අනෙත් පසත් දිස්වන්නට ඇත්තේ ගිනිගත්හේන අසලදි වීමට ඉඩ ඇති බව පහත සිතියමේ දැක්වෙන භූ විෂමතාවය දෙස බැලූ විට පෙනේ.
කිතුල්ගල සිට අඹගමුවට මාර්ගය
ඩේවි පවසන ලෙසට කෙහෙල්ගමු ඔය සහ මස්කෙලි ඔය එක්වී සෑදෙන කැළණි ගඟ සහ මහවැලි ගඟ එකිනෙකට ආසන්නයෙන් පිහිටා ඇති අයුරු. ඔහු පවසන ලෙසට මාර්ගයේ මහවැලි ගඟට සැතපුම් 2 කටත් වඩා අඩු දුරක් තිබියදීත් මස්කෙලි ඔයේ හඬ ඇසේ
අඹගමුව 
සතර දෙසින්ම කඳු වලින් වටවූ අඹගමුව ගම්මානයට ඒ වන විට කැරැල්ල සමයේ වනයේ සැඟවි සිටි ගම්මු නැවතත් පැමිණ සිටි අතර, ඉංග්‍රිසින් විසින් විනාශ කල ඔවුන්ගේ පැරණි ගේදොර වෙනුවට වාසය කිරීම සඳහා කුඩා මඩු සාදා ගෙන සිටි බව ඩේවි හෙළි කරයි. ඉංග්‍රිසීන්ගේ මුරපොල ඒ වන විට අතහැර දමා තිබූ හෙයින් එය ගොවිපොලක් බවට පත්කරගෙන තිබී ඇත. පැරණි ගෙයක් හැර එහි තිබූ සොල්දාදුවන්ගේ නිවාස සියල්ල බිමට සමතලා වි තිබිණ. මේ ඉසව්වේදී එහි ආරම්භක කඳු මතින් පැනනැගි අලුතම පාහේ වූ මහවැලි ගඟ පැරණි මුරපොල අසලින් දනක් පමණ වතුර ඇතිව ගලා ගියේය.
සිතියම 3
පස්බාගේ
පසු දින එම මහවැලි ගඟ Kawataroo Oya සමග එක්වන ස්ථානයෙන් එතෙර වී ඩේවි සැතපුම් 8 ක් දුරින් වූ පස්බාගේ (Passbage) දක්වා ගමන් කරයි. ගඟ ගලා යන දෙසටම ඒ අසලින් වැටි තිබූ මාර්ගය වගා කර තිබූ විවෘත නිම්නය ඔස්සේ වැටි තිබිණ. කැරැල්ල සමයේ මෙහිද ගඟේ සිට මීටර් 50 පමණ ඉහල කඳු මුදුනක මහවැලි ගඟ සහ කොත්මලේ ඔය (Kotmale ganga) එක්වන ස්ථානයේ මුරපොලක් තිබී ඇත. මාස 12 කට පමණ පෙර ඩේවි රැයක් ගත කල එම ස්ථානයේ කිසිදු සලකුණක් ඒ වන විට ඉතිරි වී තිබී නැත. කැරැල්ල සමයේ සැඟව සිටි ඒ අසල පිහිටි ඉඩම් වල වගා කල ගම්මුන් ඒ වන විටත් නැවත පැමිණ සිට නැත. කිසිදු ගොඩනැගිල්ලක් නොතිබුන හෙයින් ඩේවි එදින විවෘත භූමියේ රැය ගත කරයි.
සිතියම 4 
අඹගමුවේ සිට පස්බාගේ දක්වා මාර්ගය හඳුනාගැනීම
ඩේවි අඹගමුවේ සිට මහවැලි ගඟට Kawataroo Oya නම් වූ ඔයක් එක්වන තැනකින් එතෙර වූ බව පවසයි. සිතියම් වල එම නම සොයාගත නොහැකි වුවද අඹගමුවේදි මහවැලි ගඟට එහි වම් ඉවුර දෙසින් එකතු වන ඔය, ඩේවි සඳහන් කරන ඔය බවට පහසුවෙන් හඳුනාගත හැක (සිතියම 3). තුන්වන දින ඩේවි අඹගමුවේ සිට සැතපුම් 8 ක දුරක් ගොස් ඊට පසු දින කොත්මලේ ඔය මහවැලි ගඟට එක්වන ස්ථානයෙන්  ඔරුවක ආධාරයෙන් එගොඩ වූ බව සහ මාර්ගය ගඟ ගලා යන දෙසටම ඒ අසලින් වැටී තිබූ බව පවසයි. මේ සියළු තොරතුරු වර්තමානයේ අඹගමුවේ සිට නාවලපිටිය හරහා කොත්මලේ ඔය, මහවැලි ගඟ හා එකතු වන පල්ලේගම ලෙසින් මේ වන විට හඳුන්වන ස්ථානයට නිම්නය ඔස්සේ ගමන් කරන B319 සහ ඉන්පසු AB13 යන මාර්ග වලට මැනවින් ගැලපේ. පස්බාගේ ලෙසින් ඩේවි හඳුන්වන කොත්මලේ ඔය මහවැලියට එකතු වන ස්ථානයට එම නම වර්තමානයේ ව්‍යවහාර වන බවක් නොපෙනේ. අද පස්බාගේ කෝරලය යනු මහනුවර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයකි. නාවලපිටිය මෙන්ම ඉහත සඳහන් කල පල්ලේගමද අයත් වනුයේ එම ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයටය. ඩේවි සඳහන් කරන කොත්මලේ ඔය මහවැලි ගඟට එක්වන ස්ථානයේ ගඟේ සිට මීටර 50 උස කඳු මුදුනක පිහිටා තිබූ  මුරපොල තිබූ කන්දද හඳුනාගැනීම එතරම් අපහසු නැත (සිතියම 4 බලන්න.)
අඹගමුවේ සිට පස්බාගේ දක්වා ගමන් මාර්ගය
පසුදින උදෑසනම ගමන් අරඹන ඩේවි ඔරුවක ආධාරයෙන් මහවැලි ගඟ තරණය කර  මගපෙන්වන්නෙකු නොමැතිවම පුසුල්පිටිය (Pouhalpittye) දක්වා ගමන් කරයි. කොත්මලේ ප්‍රදේශයේ ඉංග්‍රිසි මුරපොල පුසුල්පිටියේ තිබී ඇත. එම මුළු දුර සැතපුම් 7 පමණ වන බව ඩේවි පවසයි. ගඟ තරණය කල ස්ථානයේ සිට සැතපුම් 3 පමණ එක දිගට තිබූ නැග්මත් සමග සැලකිය යුතු උසකට ලගා වුන බවත්, එම ගමනේදි බොහෝ කුඩා දොළ පාරවල් තරණය කරමින් අතහැර දමා තිබූ කුඹුරු ඉඩම් විශාල ප්‍රමාණයක් පසු කරමින් ගමන් මග යෙදී තිබූ බවත් ඩේවි පවසයි. තවද කැරැල්ල සමයේ අතහැර දමන ලද නටබුන් වූ ගම්මාන කිහිපයක්ද ඔහුට මේ කොටසේදී හමුවී ඇත. එතැන් සිට බෙහෙවින් බෑවුම් සහිත මාර්ගයක කොත්මලේ ඔය නිම්නයට බැස නැවතත් මද දුරක් ඉහලට නැග පුසුල්පිටිය දක්වා ඔහු පැමිණේ. කඳු වටා වැටි තිබූ එම මාර්ගයේ ගම්මාන දෙක තුනක් පමණක් සහිත බාගෙට වගා කල කුඹුරු ඉඩම් කැරැල්ලේ දරුණු සලකුණු පෙන්වන බව ඩේවි පවසයි.

පස්බාගේ සිට පුසුල්පිටිය දක්වා ගමන් මග හඳුනාගැනීම
ඩේවිගේ විස්තරයට අනුව ඔහු මහවැලි ගඟින් එතර වී කොත්මලේ ඔයේ වම් ඉවුර ඔස්සේ ගමන් කල බව පැහැදිලි වේ. සැතපුම් 3 පමණ එක දිගට තිබූ නැග්ම හපුගස්තලාව කඳු මුදුනට විය යුතුය. ඉන් අනතුරුව එවැනිම ශ්‍රිඝ්‍ර බැස්මක් ඔස්සේ ඔහු කොත්මලේ ඔය නිම්නයට බැස ගමන් කරයි. පුසුල්පිටිය මුරපොල තිබූ ස්ථානයට ලඟා වීම සඳහා අනතුරුව ඔහු නැවතත් මද දුරක් ඉහලට ගමන් කරයි. අද වන විට පුසුල්පිටිය ගම්මානයේ කොටසක් මෙන්ම කොත්මලේ ඔය නිම්නයේ තිබූ බොහෝ කුඹුරු ඉඩම්, ගම්මාන කොත්මලේ ජලාශයට යටවී ඇත. ජලාශය සෑදිමට පෙර පැරණි අඟලේ සිතියම් වල පෙන්වන අඩි පාරවල් සහ ඩේවිගේ ගමන් විස්තරය අනුව අනුමාණ කල මාර්ගයක් පහත සිතියම් වල දක්වා ඇත.
සිතියම 5 - නිල්පාටින් පැරණි අඟලේ සිතියම් වල ලකුණු කර තිබූ අඩි පාරවල් දක්වා ඇත. දම්පාටින් දක්වා ඇත්තේ වෙනත් මාර්ගයන්ය. (විශාලනය කිරීමට පින්තූරය මත ක්ලික් කරන්න )

සිතියම 6 - පස්බාගේ සිට පුසුල්පිටිය දක්වා අනුමාණ කරන මාර්ගය  (විශාලනය කිරීමට පින්තූරය මත ක්ලික් කරන්න )

කොත්මලේ ඔය නිම්නයේ හෙල්මළු ක්‍රමයට වගා කල කුඹුරු 
පුසුල්පිටිය
ඩේවි එදින ගඟේ වම් ඉවුරේ කඳු මුදුනක වූ පුසුල්පිටිය මුරපොලේ රැය ගත කරයි. එම ස්ථානයට දක්නට ලබුනු චමත්කාර ජනක දර්ශනය පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන ඩේවි එහි සිට දකින්නට ලැබුණ තිස්පනේ (Tispane) ගම පිළිබඳවද පවසයි (සිතියම 5 බලන්න)
කොත්මලේ ඔය නිම්නයේ හෙල්මළු ක්‍රමයට වගා කල කුඹුරු ඈතින් දිස්වන්නේ කොත්මලේ ඔය ජලාශයයි
පසුදින උදෑසන ඩේවි ඒ වන තෙක් කිසිදු යුරෝපිය ජාතිකයකු ගමන් නොකල මාර්ගයක් ඔස්සේ ඌව (Ouva) දෙසට ගමන් අරඹයි. නිම්නය ඔස්සේ ඉහලට ගමන් කරන හෙතෙම එයට හරියටම සෘජුකෝනාකාරව පිහිටි වෙනත් නිම්නයකට පිවිසේ. ඒ සශ්‍රික කුඩා දිඹුල (Dimbola) පලාත  බව ඔහු පවසයි. එය පුසුල්පිටිය මුරපොලේ සිට සැතපුම් 2 පමණ දුරකින් පිහිටා ඇත. සැතපුම් 2-3 පමණ එක දිගට දිස්වන පුළුල්, ගැඹුරු මුළු නිම්නයේ දෙපස සැලකිය යුතු උසක් දක්වා හෙල්මළු ක්‍රමයට වගා කර තිබී ඇත. අතරින් පතර පළතුරු ගස් වලින් සුසැදි ගම්මුන්ගේ නිවාසද, කුඹුරු ඉඩම් වනසතුන්ගෙන් ආරක්ෂා කරගැනීම උදෙසා තනා තිබූ පැල්ද දක්නට ලැබිණ. කඳු මුදුන් වන වැස්මෙන් වැසී තිබි ඇත. ගම්වැසියන්ගේ අමුතු හොඳකමක් නිසා නොව එහි ඇති දුරස්ථ හුදකලා බව නිසා කැරැල්ල සමයේ මෙම ගම එහි විපාක වලින් බේරුන බව ඩේවි පවසයි.
 කොත්මලේ ඔය ජලාශය
සැතපුම් තුනක් පමණ දුරක් පුසුල්පිටිය කොටුවේ සිට ගමන් කල පසු ඩේවි Haleltotte නම් ස්ථානයකදි කිතුල් කඳකින් සෑදූ ඔරුවක ආධාරයෙන් කොත්මලේ ඔය තරණය කරයි. එම ඉසව්වේදි කොත්මලේ ඔය පටු වුවත් ගැඹුරු බැවින් බැස යා නොහැක. මේ ප්‍රදේශයේ ජනයා වෙසෙන වගාවන් සිදු කරන ප්‍රදේශය එම ස්ථානයේ සිට අවසාන වන බවත්, අනතුරුව උදෑසන 6 සිට හවස 4 පමණ වන තෙක් වනාන්තරය මැදින් ගමන් කල කොටස එතරම් ආකර්ෂනීය නොවන දුෂ්කර වූවක් බවත් ඩේවි සඳහන් කරයි.  සවස 1 ට පමණ ඔහු මද වෙලාවක් පුන්ඩලු ඔය ඇල්ල (Poondool Oya falls) ඉහල ගිමන් නිවයි. එම ස්ථානයේදී ගමන් මග එම ඇල්ල සෑදෙන තරමක විශාල දිය පහර හරහා වැටී තිබිණ. එම දිය පහර දිය ඇල්ල හරහා ගොස් කොත්මලේ ඔයට දිඹුලට මදක් පහලින් එකතු වේ.  මේ වන විට ඔහු සැතපුම් 7 පමණ එදින තුල ගමන් කර ඇති බව මගපෙන්වන්නා ඔහුට පවසයි. එතනින් පසුව මාර්ගය එලෙසින්ම දුෂ්කර මුත් තරමක වියලි ගතියකින් යුත් පෙදෙසක් හරහා වැටී තිබිණ. එදින රාත්‍රිය ඔහු උණපත්පැලැස්ස (Unapatpalasse) ලෙසින් ගම්මුන් හැඳින්වූ වනාන්තරය මැද තරමක විවෘත ස්ථානයක ගත කරයි.
සිතියම 7
පුසුල්පිටියේ සිට උණපත්පැලැස්ස දක්වා මාර්ගය හඳුනාගැනීම
කොත්මලේ ඔය නිම්නයේ තිබූ පුසුල්පිටිය මුරපොලේ සිට ඉහලට ගමන් කර සෘජුකෝණාශ්‍රාකාර දිඹුල නිම්නයට අවතිර්ණ වූ බව ඩේවි පවසයි. මේ වන විට කොත්මලේ ජලාශයට යටවී ඇති ඕතලාව ලෙස හැඳින්වෙන ස්ථානයේදි කොත්මලේ ඔය ආසන්න වශයෙන් සෘජුකෝණාශ්‍රාකාර ලෙස දකුණු දිශාවේ සිට පැමිණ බටහිර දෙසට ගමන් කරයි. ඩේවි සඳහන් කරන දිඹුල නිම්නය කොත්මලේ ඔයේම ඉහල ප්‍රදේශයයි. අද වන විට එම සෘජුකෝණාශ්‍රාකාර හැඩය එලෙසම තිබෙමින් කොත්මලේ ජලාශය මගින් එම නිම්න දෙකේම එහි පහල ප්‍රදේශ ජලයෙන් යටකරමින් ජල තලය පුළුල් වී ඇත (සිතියම 7). හලෙල් තොට (Haleltotte) වැනි නමකින් ඩේවි හඳුන්වන කොත්මලේ ඔය හරහා වැටී තිබූ තොටුපල හඳුනාගත නොහැකි මුත් එය පුණ්ඩලු ඔය කොත්මලේ ඔයට එක්වන ස්ථානයට ආසන්නව තිබෙන්නට ඇති බව සිතිය හැක්කේ, එතැන් සිට ඩේවිගේ ගමන් මග පුණ්ඩලු ඔය නිම්නය ඔස්සේ වැටී තිබූ හෙයිනි. වර්තමාන B148 මාර්ගයේ කොත්මලේ ඔය හරහා වැටී ඇති පාලමට මදක් පහලින් එය තිබෙන්නට ඇත. එම ප්‍රදේශයට යොමුවූ කරත්ත පාරක් පැරණි සිතියම් වල ලකුණු කර ඇත. එම තොටමුණ දක්වා ගමන් මාර්ගය අනුමාන වශයෙන් සිතියම 8 දක්වා ඇත. එතැන් සිට උණපත්පැලැස්ස දක්වා වනාන්තරය මැදින් තිබූ මාර්ගයේ ඩේවි සඳහන් කරන එකම වැදගත් ස්ථානය පුණ්ඩලු ඔය ඇල්ල සාදන දිය පහර හරහා එය ගමන් කල බව කරන සඳහන පමණි. අද මේ සියළු වනාන්තර ඩේවිලාගේ පසුකාලීනයන් තේ වගාව සඳහා හෙලි කර ඇත. පුණ්ඩලු ඔය ඇල්ල හෙවත් ඩන්සීනන් ඇල්ල ලෙසින් හඳුන්වන ඇල්ල හරහා තේ වතු මැදින් වැටී ඇති වර්තමාන මාර්ගය බොහෝ දුරට පැරණි මාර්ගයට අනුකූල බව පෙනේ (සිතියම 8) උණපත්පැලැස්ස හඳුනාගත නොහැකි මුත් පැලැස්ස යන්නෙන් කුඩා වන ලැහැබ් (ඝන වනාන්තර නොවේ) හඳුන්වන බැවින් ඒ ආකාරයේ වනාන්තර තිබෙන්නට ඉඩ තිබූ ස්ථානයක් ඉහත සිතියමේ (සිතියම 8) එලෙසින් ලකුණු කර ඇත. පුණ්ඩලු ඔය ඇල්ලේ සිට පැය 4 ක පමණ දුරක් ඔහු එම ස්ථානයට ලඟාවීම සඳහා ගත කර ඇත.
සිතියම 8 පුසුල්පිටියේ සිට උණපත්පැලැස්ස දක්වා මාර්ගය
පසුදින පෙරවරු 6 ට ගමන් අරඹන ඩේවි සවස 5 පමණ වනතුරු ගමන් කරන්නේ පෙර දින මෙන් ඒකාකාරි නොවූ මුත් එලෙසින්ම දුෂ්කර මගකය. ගමනේ පළමු වරට මාරත්මල් (Rhododendron) ගස් සහිත කුරු වනාන්තර ඔහුට එතැන් සිට හමුවේ.  ඉතාමත්ම පිරිසිදු ජලය සහිත දිය පාරවල් කිහිපයක්ද ගමන් මග හරහා වැටී තිබිණ. මග පෙන්වන්නන් පැවසූ පරිදි එම මගේ ඉහලම ස්ථානය වන දැඩි බෑවුමක් සහිත කන්දක් අසලට පැමිණි පසු (සිතියම 9 - X ලෙස සලකුණු කර ඇති ස්ථානය විය යුතුය) ඔවුන්ට මාර්ගය අයිනේ සම්පූර්ණයෙන්ම පාහේ ඇටසැකිල්ල දක්වා කුණු වූ මිනිසෙකුගේ මළසිරුරක් හමුවේ. එකල ඇතිවූ සාගතය නිසා ඌව රටේ සිට කොත්මලේ දෙසට බොහෝ මිනිසුන් පැමිණි බවත්, ඔවුන්ගෙන් කෙනෙකු නිරාහාරව මෙසේ මැරී වැටෙන්නට ඇති බවත් ඩේවි සඳහන් කරන මුත්, එම සාගතයට හේතුව කැරැල්ල මර්ධනය උදෙසා රටවැසියන්ගේ වගාවන් විනාශ කරමින් ඉංග්‍රීසීන් අනුගමනය කල කෲර ක්‍රියාදාමය බව පවසා නොසිටින්නට ඔහු ප්‍රවේශම් වේ. අද අප හට මානව හිමිකම් ගැන ටියුෂන් දෙන්නේ ඩේවිලාගේ රටේ එවැනි කෲර කම් කල පරපුරේ දරු මුනුබුරු පරම්පරාවය.
කුරු වනාන්තර මැදින් වැටුන නුවර එළිය පතන දක්වා එදා තිබූ මාර්ගයද එදා මේ ආකාරයෙන් දිස්වන්නට ඇත (තොටුපල කන්ද ගමන් මග )
ඉහත විස්තර කල කන්ද තරණය කිරීමේදී මාර්ගය විවෘත, වට පිට භූමි දර්ශණය මැනවින් දැකිය හැකි පෙදෙසක් හරහා වැටී තිබූ බව ඩේවි පවසයි. එහි එක් ස්ථානයකදි කොත්මලේ නිම්නයද දර්ශනය වේ (සිතියම 9 - X ලෙසින් ලකුණු කර ඇති ස්ථානයේ සිට ඉදිරියට යාමේදී). එම කන්ද බැස එහි අනිත් පස අක්කර කිහිපයක් පුරා විහිදුන, අඩු වැඩි වශයෙන් වලයාකාර කිකිලියමාන (Kicklemane) නම් විවෘත භූමියකට පෙරවරු 10 ට පමණ ඩේවි ඇතුළු පිරිස ලඟා වේ. එම ස්ථානය කොත්මලේ රට සහ ඌව රට අතර සීමාව වන අතර ඉන් අනතුරුව මාර්ගය නැවතත් වනාන්තරය තුලට යොමුවේ. අලි ඇතුන් සහිත එම වනාන්තරයේ ක්‍රමයෙන් පහලට යොමු වූ මාර්ගයක අවසානයේ ඔවුන් නුවරඑළිය පතන (Neuraellyia-pattan) ලෙසින් මග පෙන්වන්නන් ඔහුට හඳුන්වාදෙන සුවිශාල පතන් බිමකට ලඟාවේ. තැනින් තැන ඇති මාරත් මල් ගස් සහිත එම පතන කිසිදු මිනිස් වාසයක් නොමැති සම්පූර්ණයෙන්ම පාහේ වන සතුන්ට වෙන්වූ ප්‍රදේශයක් ලෙස ඩේවි විස්තර කරයි. පතන පුරා වැටී තිබූ අලි වසුරු අනුව මෙම ස්ථානයේ රටේ අන් කවර ප්‍රදේශයකටත් වඩා අලි ඇතුන් ප්‍රමාණයක් සිටින බවට ඔහු අනුමාණ කරයි.
සිතියම 9 - පුණ්ඩලු ඔය ඇල්ලේ සිට කිකිළියමාන දක්වා පැරණි මාර්ගයද මෙහි දැක්වෙන වර්තමාන මාර්ග වලට අනුකූල ලෙස වැටී තිබෙන්නට ඇත.
උණපත්පැලැස්සේ සිට නුවරඑළිය පතන දක්වා මාර්ගය හඳුනාගැනීම
මාර්ගයේ මෙම කොටසද එදා වනාන්තරයෙන් වැසී තිබුන මුත් අද වන විට තේ වගා බිම් ඔස්සේ වැටුන එම මාවතේ වනාන්තර ඉතිරි වී ඇත්තේ ග්‍රේට් වෙස්ටර්න් සහ කිකිළියමාන රක්ෂිතය මැදින් වැටී ඇති සුළු කොටසක පමණි. නුවරඑළිය පතන අද මුළු මනින්ම පාහේ නුවරඑළිය නගරය සහ තදාශ්‍රිත ප්‍රදේශය බවට පත්වී ඇත. කිකිළියමාන ලෙසින් ඩේවි හැඳුන්වූ අඩු වැඩි වශයෙන් වලයාකාර එළි මහන් පෙදෙස මේ වන විට තේ වතු සහ එම තේ වතු වල සේවය කරන උඩරට දෙමළ ජනයාගේ නිවාස පේලි වලින් සමන්විත වූ ස්වභාවික පතන් බිමක් නොවන භූමියකි (සිතියම 11) නුවරඑළිය පතනේ පමණක් නොව මුළුමහත් කඳුකරයේ සහ පහත රට තෙත් කලාපයේ සිටි සියළුම අලි ඇතුන් ඩේවිලාගේ රටේ ඇත්තන්ගේ එකල ජනප්‍රිය Sport එකක් වූ Elephant Shooting Excursions නිසා සදහටම වඳවී ගොස්ය.
සිතියම 10 - කිකිළියමාන සිට නුවරඑළිය පතනට මාර්ගය

සිතියම 11 (විශාලනය කිරීමට පින්තූරය මත ක්ලික් කරන්න )

වනාන්තරයෙන් වටවූ විවෘත භූමියක් වූ නුවරඑළිය පතනද එදා මේ ආකාරයෙන් දිස්වන්නට ඇත. (තොටුපල කන්දේ සිට දිස්වන මහඑළිය පතනේ [Horton plains] කොටසක් )
සැතපුම් 2-3 පමණ විහිදුණු පතන හරහා ගොස් ඩේවි නැවතත් කොත්මලේ ඔය අසලට පැමිණේ. එහි ආරම්භක පෙදෙසේ වූ කොත්මලේ ඔය දනක් පමණ වතුර සහිත කුඩා දියපහරක් විය. ගල් කුලක් මතින් දිය ඇල්ලක් සාදමින් ගලා බස්නා එය ඇසට පේන මානය දක්වා දකුණු දෙසට ගලා බසී. ඉන්පසු එයට නුදුරින් එවැනිම උසකින් ගලා බැස කොත්මලේ ඔය දෙසටම ගලා බසිනා කුඩා දිය පහරක් (සිතියම 12 - 1 සහ 2 ලෙසින් සලකුණු කර ඇති දිය පාරවල් විය යුතුය. ඒවා ග්‍රේගරි වැවට ඉහලින් පිදුරුතලාගල දෙසින් පැමිණ නානු ඔයට එක්වේ.) තරණය කරමින් ඩේවි මධ්‍යහ්නය වන විට නැවතත් පතන කෙලවරින් වනාන්තරයට ඇතුළු වේ. මගපෙන්වන්නන්ගෙන් ඩේවි අසා දැනගත් පරිදි මෙම පතන සියලු කල්හීම සම්පූර්ණයෙන්ම ජනාවාසයෙන් තොර වූ අතර, වියලි කාලයේදී යකඩ සෑදීම සඳහා පැමිණෙන කොත්මලේ ප්‍රදේශයේ කම්මල් කරුවන්, මැණික් ගැරීම සඳහා පැමිණෙන පුද්ගලයන් සහ කලාතුරකින් ඒ හරහා ගමන් කරන මගියන් හැරුන විට වෙනත් කිසිවෙකු මෙහි පැමිණෙන්නේ නැත.
සිතියම 12 - 1 සහ 2 ලෙසින් සලකුණු කර ඇති දිය පාරවල් ග්‍රේගරි වැවට ඉහලින් පිදුරුතලාගල දෙසින් පැමිණ නානු ඔයට එක්වේ.
එතැන් පටන් මාර්ගය වල් අලි ගැවසෙන වනාන්තරය මැදින් එහි බොහෝ දුරක් වැටි තිබිණ. එම වනාන්තරය හරහා ගමන් මග පල්ලම් බැසීමක් විය. එහි අවසානයේ එතරම් විශාල ප්‍රදේශයක් පුර පැතිරී නොතිබූ විවෘත පෙදෙසක් හමු වූ අතර ඒ හරහා තරමක ඔයක් වූ Hawelle Oya ඌව දෙසට ගලා බසී. එතැන් සිට යලිදු වනාන්තරය තුලින් වූ මාර්ගය ඔස්සේ ගොස් ඩේවි ඇතුළු පිරිස නැවතත් ඔය හරහා ගොස් (සිතියම 14 - A ලෙස ලකුණු කර ඇති ස්ථානය විය හැක.) සවස 3 පමණ වන විට, වනාන්තරය අවසාන වී නමුණුකුල කන්ද (Namina-cooli-kandy) ඇතුළු ඉහල ඌව ප්‍රදේශය දර්ශනීය ලෙසින් පෙනෙන කඳු මුදුනක් වෙතට ලගාවේ (සිතියම 14 - B ලෙස ලකුණු කර ඇති ස්ථානය විය හැක.)
සිතියම 13 - අඟලේ සිතියම් වල වනාන්තරය මැදින් ලකුණු කර තිබූ අඩි පාර කළු පාටින් පෙන්වා ඇත
එම කන්ද බැස යාමේදී ඩේවිට කැරැල්ල සමයේ තම ගම් බිම් අතහැර පැමිණි ජනයා තාවකාලිකව සැඟවී සිටීම සඳහා ඉදිකර තිබූ මේ වන විට නටබුන් වී ඇති කුඩා මඩු අතරින් පතර දැකගන්නට හැකිවේ. මාර්ගය එක් ස්ථානයකදී  Dugulle Oya කදිම දියඇල්ලක් ලෙසින් වැටෙන ස්ථානයක් අසලින්ද ඔහු ගමන් කරයි (සිතියම 14 - බොමුර ඇල්ල ලෙසින් ලකුණු කර ඇති ස්ථානයට පහලින්). සවස 5 පමණ වන විට එම කඳු පාමුල පිහිටි ජනයා වසන පෙදෙසකට ලගා වීමට ඩේවිට හැකිවේ. පේරවැල්ල (Perowelle) ලෙසින් හැඳින්වූ එම ස්ථානයේ ඩේවි එදින රැය ගත කරයි.
සිතියම 14 - හාවා එළියේ සිට පේරවැල්ලට
පසු දින උදෑසන ඩේවි එතැන් සිට සැතපුම් 4 පමණ දුරුන් පිහිටි මැක්ඩොනල්ඩ් බලකොටුව දක්වා පිටත් වේ. ඔහු ඉදිරිපත් කරන විස්තරයට අනුව එම මග කුඹුරු ඉඩම් සහිත ජනයා පදිංචි වී සිටි ගම්මාන මැදින් වැටී තිබූ බව පෙනේ.

නුවර එළිය පතනේ සිට මැක්ඩොනල්ඩ් කොටුව දක්වා මාර්ගය
නුවරඑළිය පතන ඔස්සේ සැතපුම් 2-3 පමණ ගමන් කර ඩේවි කොත්මලේ ඔයේ ආරම්භක ප්‍රදේශයට ලඟා වූ බව පවසයි. ඩේවි මේ විස්තර කරන්නේ නානු ඔය ලෙසින් හැඳින්වෙන කොත්මලේ ඔයට තළවකැලේදී එක්වන එහි ශාඛාවයි. නුවරඑළිය පතනේදී එයට එක්වන දියපාරවල් ඉහත සිතියම 12 දක්වා ඇත. ඩේවි පවසන අයුරින්ම කොත්මලේ ඔය (නානු ඔය) පතන ඔස්සේ දකුණු දෙසට විහිදේ.  ඩේවිගේ ගමන් මග හාවා එළිය ඔස්සේ විහිදුනු බව පෙනේ. ඔහු Hawelle Oya ලෙසින් හඳුන්වන්නේද හාවා එළිය ඔය විය හැකිය. ඒත් ඒ නමින් ඔයක් අද සොයාගත නොහැක. ඩේවි සඳහන් කරන විවෘත ප්‍රදේශයක් හරහා ගලා ගිය ඔය, හාවා එළිය හරහා ගලන සිතියම් වල බෝමුර ඇල්ල ඔය ලෙසින් හඳුන්වා තිබෙන උමා ඔයේ ඉහල ජලධාරා ප්‍රදේශයයි. පැරණි අඟලේ සිතියම් වල ලකුණු කර ඇති අඩි පාරක් මෙම හාවා එළිය ප්‍රදේශයේ සිට බෝමුර ඇල්ල ඔයේ දකුණු ඉවුරට ආසන්නයෙන් වනාන්තරය තුලින් ගොස් එක් ස්ථානයකදි බෝමුර ඇල්ල ඔය හරහා ගොස් පේරවැල්ල ලෙසින් දැනට ව්‍යවහාර වන පෙදෙසකට ලඟාවේ. ඩේවි සඳහන් කරන Perowelle මේ පේරවැල්ලයි. අතරමගදි ඔහු Dugulle ඔය දිය ඇල්ලක් ලෙසින් වැටෙන තැනකින්ද ගිය බව පවසයි. ඩේවි මෙහිදි දැනට බෝමුර ඇල්ල ඔය ලෙස හඳුන්වන ඔය අවස්ථා කිහිපයකදි විවිධ නම් වලින් හඳුනාගන්නා බව පෙනේ. ඔහු සඳහන් කරන දිය ඇල්ල බෝමුර ඇල්ල විය යුතුය. එම දිය ඇල්ල පැරණි අඟලේ සිතියම් වල හඳුන්වා ඇත්තේ පේරවැල්ල ඇල්ල ලෙසිනි.

 පේරවැල්ලේ සිට මැක්ඩොනල්ඩ් කොටුව දක්වා පහත සිතියමේ අඩි පාරවල් ලෙස ලකුණු කර ඇති කිසියම් මගක් ඔස්සේ පැරණි මාර්ගය වැටී තිබෙන්නට ඇත. ඩේවි පවසන ලෙසට එම ප්‍රදේශයේ කුඹුරු ඉඩම් සහ නිවාස බහුලව පැවතුන හෙයින් මාර්ග කිහිපයකක් එකලද තිබෙන්නට ඉඩ ඇත.
සිතියම 15 - පේරවැල්ලේ සිට මැක්ඩොනල්ඩ් කොටුව දක්වා මාර්ගය
මූලාශ්‍ර
  • An Account of the Interior of Ceylon and of its Inhabitants with Travels in that Island, John Davy, 1821

Sunday, September 10, 2017

මලය රට සොයා සමනොළගිරෙන් දුම්බරට

මලය යනුවෙන් ප්‍රදේශයක් වංශ කතාවේ මුල් වරට සඳහන් වනුයේ ලංකා ඉතිහාසයේ මුල්ම රජු ලෙස මහාවංශය හඳුන්වන විජය රජුගේ සමයේදීය. විජය රජුට දාව කුවේනි බිසවට උපන් දරු දෙදෙනා එම බිසවද සමගින් විජය රජු විසින් නෙරපූ කල්හී ඔවුන් ලංකාපුර නගරයට යන මුත් එහිදී එහි සිටි පුද්ගලයකු කුවේනිය මරා දැමූ බැවින් දරු දෙදෙනා සුමනකූටයට පලා යයි. ඉන්පසු රජුගේ අවසරය සහිතව ඔවුන් එම මලය පෙදෙසෙහි විසූ බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

සුමනකූටය
බුදුන්වහන්සේගේ පළමුවන ලංකාගමනයේදී සුමනකූඨ පර්වත වාසී මහාසුමන දෙවියන් සර්වඥයන් වහනසේගේ කේශ ධාතු තැන්පත් කර මහියංගනයේ ථූපයක් කල බව මහාවංශයේ සඳහන් වේ. එසේම උන්වහන්සේගේ තුන්වන ලංකාගමනයේදී සුමනකූඨය මතුයෙහි පා සටහන පිහිටවූ බවද පැවසේ. දුටුගැමුණු රජු සමයේ සුමනකූඨ පර්වතයේ භික්ෂූන් 900 වැඩහුන් බවත් දුටුගැමුණු රජතුමන් මලයමහාදේව තෙරණුවන්ට පිදූ ඇඹුල් සහිත තණ බත් දානය ඒ හිමියන් එම 900 භික්ෂූන් සමග වැලදූ බවත් වංශ කතාවේ පැවසේ.

පළමුවන විජයබාහු රජතුමන් සමන්තකූඨ පර්වතයේ පිහිටි මුනි රජුගේ පා සටහන වඳනා පිණිස යන මිනිසුන්ගේ දන් වැටුප් පිණිස හැල් කෙත් ආදියෙන් සමෘධ වූ ගිලීමලය යන ගම දුන් බවද, කදලිගම හරහා යන මාවතේ සහ හූව රටේ සිට එන මගේ ගිමන් හල් සාදා ඒවායේ නඩත්තුව උදෙසා ගම් දී, ඒ ගම් අනාගත කාලයේ එන රජවරුන් නොගණිත්වයි අකුරු කොටලා ටැම් පිහිටවූ බවද  මහාවංශයේ සඳහන් වේ.
ගිලීමලේට ශ්‍රිපාද කඳුවැටිය දිස්වන ආකාරය
කීර්ති නිශ්ශංක නම් රජු (නිශ්ශංකමල්ල) සිව්රඟ සෙනග සමග සමන්තකූඨ පර්වතයට ගොස් එය වැඳ පුදාගත් බව මහාවංශයේ සඳහන්ය. එමෙන්ම එතුමා විසින් පිහිටවූ සෙල්ලිපි කීපයකම ඔහු සමනොළ නැගි බව සඳහන්ය. >> Link  නැවත දඹදෙනි යුගයේදී දෙවන පරාක්‍රමබාහු රජතුමන්ද චතුරංග බලසේනා ඇතිව සමන්තකූඨ නැග ශාස්තෘන් වහන්සේගේ පද ලකුණු වැඳ ඒ ගිර හාත් පස දස ගව් පමණ තැන් වූ දනව්ව එම ශ්‍රි පාදයට පිදූ බවද මහාවංශයේ විස්තර වේ.

මේ ආදී වශයෙන් සමන්තකූඨ, සුමනකූඨ, සමනොළ ආදි විවිධ නම් වලින් හැඳින්වෙන මලය රටේ වූ ස්ථානය කිසිදු සැකයක් නොමැතිව වර්තමානයේ අප ශ්‍රී පාදය ලෙස හඳුන්වන බුදුන් වහන්සේගේ පා සලකුණ පිහිටියේයැයි වන්දනාමාන ලබන කඳු මුදුන ලෙස හඳුනාගත හැක.
කෙහෙල්ගමු ඔය නිම්නය
ඉහත ගිලීමලය ලෙස හැඳින්වෙන ප්‍රදේශය නොවෙනස්ව අද දක්වාද එම නමින්ම හඳුනාගත හැක. කදලිගම වර්තමාන කෙහෙල්ගමුව ලෙස හඳුනාගෙන ඇත. වංශ කතාවේ එන සඳහන තහවුරු කරමින් අඹගමුවෙන් සහ ගිලීමලෙන් හමුවී ඇති පළමුවන විජයබාහු රජු පිහිටවූ සෙල්ලි වල එතුමන් විසින් සමනොළ දක්වා එන රජරට මාර්ගයේ අවසන් ගව් පහ තුල ගව්වෙන් ගව්වට දානශාලා පිහිටුවා වන්දනාකරුවන්ට දන් දුන් බව සඳහන් වේ. මෙයින් අඹගමුව සෙල්ලිපිය කියවිය හැකි මුත් වචන කිහිපයක් හැර ගිලීමලය සෙල්ලිපිය කියවිය නොහැකි තරමට ගෙවී ගොස් ඇත (කෙසේ නමුත් එය අඩු වැඩි වශයෙන් අඹගමුව සෙල් ලිපියේම පිටපතක් බව හඳුනාගෙන ඇත.) අඹගමුව සෙල් ලිපියේ නොමැති ගිලීමලය, අගැවික වැව සහ වෙනත් වචන කිහිපයක් එහි හමුවේ.
පැරණි විල්බා ප්‍රදේශයේ ගම්
අඹගමුව සෙල් ලිපිය සහ ශ්‍රී පාදයට පිදු ගම්
පළමුවන විජයබාහු රජතුමා ශ්‍රීපාදයට විල්බායේ කෙලගමුව, තිනියගල්, සොරගොඩ, බදුලු වනය, ලියවළ, උඩුහෝ යන ගම් සහ කළඟවෙල පිහිටි මකුළුමුල්, අඹගමුව,වැලිගම්පොළ, උලපනා යන ගම් පිදූ බව අඹගමුව සෙල් ලිපියේ සඳහන් වේ. එම ස්ථාන කිහිපයක්ම වර්තමානයේ හඳුනා ගත හැක.

විල්බා යනු ගිණිගත්හේන ප්‍රදේශයෙන් දකුණු සහ ගිණිකොන දෙසට වන්නට පිහිටි වර්තමාන අඹගමුව කෝරළය බවත් කෙලගමුව වර්තමාන කෙහෙල්ගමුව බවත් (කෙහෙල්ගමුව යනුවෙන් ගමක් නොමැති මුත් කෙහෙල්ගමු ගල, කෙහෙල්ගමු ඔය සහ කෙහෙල්වරාව ගම ලෙසින් එය ශේෂ වි පවති.), තිනියගල් යනු වර්තමාන තිනියගල බවත්, සොරගොඩ වර්තමාන හොරකඩ බවත් නිකොලස් හඳුනාගනී. කළඟවෙල ප්‍රදේශය යනු වර්තමාන උලපනේ, නාවලපිටිය සහ අඹගමුව ප්‍රදේශය බවත් එහි පිහිටි ලෙස ඉහත සඳහන් වූ වැලිගම්පොළ, අඹගමුව යන ගම් අදද ඒ ආකාරයෙන්ම හමුවන අතර, උලපනා යන්න උලපනේ ලෙස වෙනස් වි ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.

වංශ කතාවේ එසේ සඳහන් නොවුනත් සමනල කන්ද අවට පිහිටි මේ සියළු ප්‍රදේශ සමනල කන්ද අයත් වූ පුරාණ මලය රටට අයත් ව තිබූ බව පැහැදිලිය.
පැරණි කළඟවෙල  ප්‍රදේශයේ ගම්
පොළොන්නරු යුගයේ මලය රට
දෙවෙනි ගජබාහු රජුට අයත් රජරට රාජධානියට පහරදීම අරඹන පරාක්‍රමබාහු සිය සටන අරඹන්නේ මහාමලය දේශය අයත් කරගනිමිනි. මහාමලය දේශය පිළිබඳව කදිම විස්තරයක් ඒ හා සම්බන්ධව මහාවංශයේ එයි. "නොයෙක් පර්වත දුර්ග ඇති බැවින්ද, චණ්ඩ සත්ව භයින්ද, දුකසේ බැස්ස යුතු වූ අන්‍ය මනුෂ්‍යයන්ගේ සංචාර රහිත වූ එක පදික මාර්ගයෙන් යායුතු වූ අතිශයින් බියකරු වූ මිනිසුන් භක්ෂණය කරන්නා වූ කිඹුලුන් ඇති ගැඹුරු ජලයෙන් ගැවසුනා වූ ..." ආදී ලෙසින් මහාවංශය මහාමලය දේශය හඳුන්වා දෙයි.

පරාක්‍රමබාහු කුමරා මහාමලයදේශයට අයත් යත්ථිකන්ද සහ දුම්බර ප්‍රදේශ අයත් කරගන්නේ එම පළාත් භාර ගජබාහුගේ දණ්ඩනායක රක්ඛ සෙනෙවියා ඔහු කෙරේ නම්මා ගැනීමෙනි. ඒ මගින් දුම්බර ප්‍රදේශය පහසුවෙන් යටත් කරගත් නමුත් යත්ථිකන්ද ප්‍රදේශය ගැනීම සඳහා රක්ඛ සෙනෙවියාට ගජබාහුගේ සේනා සමග පිළිවෙලින් තාලකෙත්ත, නාගපබ්බත, සුවණ්නදෝනි, රාමුච්චුවල්ලික, දෙමත්ථපාදත්තලි ආදි ගම් වලදි සටන් කිරීමට සිදුවිය. ඉන්පසු පරාක්‍රමබාහුගේ සේනා සයකෙත්ථක,රට්ඨබෙදුම සහ ධනුවිල්ලික යන ස්ථාන වල කරන සටන් වලින් අනතුරුව නිලගල්ලක ප්‍රදේශය යටත් කරගනිමින් ඉදිරියට යයි. ඉක්බිති  ධනුමණ්ඩල සහ නිස්සේනික්කෙත්තක යන ප්‍රදේශ යටත් කරගනිමින් රක්ඛ සෙනෙවියා මජ්ජිමවග්ග ප්‍රදේශය ගැනීම සඳහා සටන් මෙහෙයවයි. එහිදී නිලගිර පාදක කරගනිමින් සටන් මෙහෙයවන හෙතම වාපිවාටක ප්‍රදේශය සහ මජ්ජිමවග්ග ප්‍රදේශ අල්ලා ගනී. ඉන්පසු රේරුපල්ලික ප්‍රදේශයද අත් පත් කරගනිමින් ඔවුන් පිවිසෙන්නේ කොසවග්ග ප්‍රදේශය යටත් කරගැනීමටය. ඒ සඳහා වූ සටන් වලදි සිසචින්නාකබෝධි යන ස්ථානයේ සටන් ඇවිලේ.එම ප්‍රදේශය අල්ලා ගැනීමත් සමගින් මලයදේශය පරාක්‍රමබාහුගේ අණසක යටතට  පත්වූ බව වංශ කතාව පවසයි.
හුන්නස්ගිරියට උතුරින් පිහිටි කොර්බට් ගැප් ස්ථානයට දිස්වන දුම්බර කඳු වැටිය
දුම්බර රට
ත්‍රීසිංහලයේ කඩඉම්පොතට අනුව මැදමහනුවර කන්දය, දියතලානුවර කන්දය, හුන්නස්ගිරි කන්දය යන කඳු තුන දුම්බර මායිම් වේ. වර්තමානයේද එම නම් ම භාවිතා වන මෙම කඳු මුදුන් තුන සීමා කරගනිමින් සහ එම මුදුන් පිහිටන කඳු පන්ති වලින් වටවූ මහවැලි ද්‍රෝණියේ සාපෙක්ෂව තැනිතලා ප්‍රදේශය පහත සිතියමේ දක්වා ඇති ආකාරයට හඳුනාගත හැක. පොළොන්නරු යුගයේද දුම්බර රට අඩු වැඩි වශයෙන් මෙම සීමාව තුල පිහිටි ජනාවාස වලින් සමන්විත වන්නට ඇත. අද වන විට එම ප්‍රදේශයෙන් අඩක පමණ ප්‍රමාණයක් නැතහොත් මුළු තැනිතලා ප්‍රදේශයම පාහේ වික්ටෝරියා ජලාශයට යටවී ඇත.
කෙසේ නමුත් ඉහත සඳහන් දුම්බර රට  සහ යත්ථිකන්ද තුල තිබූ ස්ථාන කිහිපයක් වර්තමානයේද හඳුනාගත හැකිය. රාමුච්චුවල්ලික යනු තෙල්දෙණිය අසල පිහිටි රඹුක්වැල්ල ලෙසත් (රඹුක්වැල්ල නම් වූ ගමක් තෙල්දෙනියට නැගෙනහිර දෙසින්ද හමුවේ.), ධනුවිල්ලික යනු දුනුවිල ලෙසත් (හුනස්ගිරි කන්දට උතුරින්ද වෙනත් දුනුවිල නම් වූ ගමක් හමුවේ.) කොඩ්රිංටන් මහතා හඳුනාගෙන ඇත (සිතියම 2 බලන්න). සුවණ්නදෝනි යනු රන්දෙනිය විය හැකි මුත් වර්තමානයේ රන්දෙනිය නම් පෙදෙසක් මේ ප්‍රදේශයේ හමු නොවේ. නිල්ගල යන නම සහිත පෙදෙසක් තෙල්දෙනියට උතුරින් හමුවේ. නිලගිරි සහ/හෝ නිලගල්ලක යනු බොහෝවිට මෙම නිල්ගල විය හැක. පාතදුම්බරට අයත් උඩුගම්පහ කෝරලේ පිහිටි නාපාන, නාගපබ්බත බව කොඩ්රිංටන් මහතා හඳුනාගනී. එම නම අද එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාශයකට සීමා වී ඇත. මජ්ජිමවග්ගක යනු මැදිවක බවය කොඩ්රිංටන් මහතාගේ හඳුනාගැනීම (සිතියම 2). ක්‍රමයෙන් පරාක්‍රමබාහුගේ ආක්‍රමණ රජරට දෙසට යොමුවූ බව පෙනෙන බැවින් වාපිවාටක, රේරුපල්ලික සහ කොස්සවග්ග යන ප්‍රදේශ දුම්බරට උතුරින් මාතලේ ප්‍රදේශය දක්වා යොමු වූ නිම්න භූමියේ තිබූ ප්‍රදේශ ලෙසට අනුමාණ කල හැක.

මේ අනුව යත්ථිකන්ද වර්තමාන උඩු දුම්බර ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයේ දකුණු ප්‍රදේශය ලෙසත්, දුම්බර රට වර්තමාන පාත දුම්බර ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාසය ලෙසත්, නිලගල්ලක උඩු දුම්බර උතුරු ප්‍රදේශය ලෙසත්, උඩු දුම්බරට අයත් ගම්පහ කොරලේ පිහිටි මැදිවක අවට ප්‍රදේශය මජ්ජිමවග්ග ලෙසත් පරණවිතාන සහ නිකොලස් මහතුන් හඳුනාගනී.

සමාලෝචනය
මහාවංශයේ පරාක්‍රමබාහුගේ මලය රට අල්ලා ගැනීමේ සංග්‍රාමය පිළිබඳ වූ ඉහත විස්තරය ආරම්භයේදී 'මහාමලයදේශය' ලෙස එම ප්‍රදේශය හැඳින්වූවත් පසුව මුළු 'මලය දේශයම' අල්ලාගත් බව විනා මහාමලයදේශය අල්ලා ගත් බවක් නොකියවේ. මේ අනුව මහාමලය දේශය හා මලය දේශය එකම ප්‍රදේශයක් විනා ප්‍රදේශ දෙකක් නොවන බව පෙනේ. කෙසේ නමුත් පරාක්‍රමබාහුගේ සටන් පැවති ප්‍රදේශය මුලු මලය දේශයම නොව මලය දේශයේ ගජබාහු රජු යටතේ වූ කොටස පමණක් බව පෙනේ. දක්ෂිණ දේශයේ පාලකයා ලෙස පරාක්‍රමබාහු යටතේද එහි බටහිරට වන්නට වූ දක්ෂිණ දේශයට යාබද ප්‍රදේශය තිබුණා විය හැක. පොදුවේ පිළිගන්නා මතය වනුයේ මධ්‍යම කඳුකරය අයත් ප්‍රදේශය පුරාණයේ මලය දේශය ලෙස හැඳින්වූ බවය. කෙසේ නමුත් මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා පවසනුයේ මායා රට ලෙස පසුව හැඳින්වූ ප්‍රදේශය මුල් යුගයේ හැඳින්වූයේ මලය රට ලෙස සහ එහි ඉහල කඳු ප්‍රදේශය මහාමලය දේශය ලෙස බවය. එම මතය පිළිබඳව සහ මලය දේශය පිළිබඳව තව දුරටත් ඉදිරියේදි විමසා බලමු.
මලය දේශයට අයත් ලෙස ඉහත හඳුනා ගත් සියළු ප්‍රදේශ
මූලාශ්‍ර
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • The Polonnaruva Period, A Special issue of The Ceylon Historical Journal, Edited by S.D. Saparamadu
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume VI, G.S. Ranawella, 2007
  • The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • කඩඉම්පොත් විමර්ශනය, H. A. P. අභයවර්ධන, 1996.
  • සංක්ෂිප්ත ලංකා ඉතිහාසයක්, සී. ඩබ්ලිව්. නිකොලස්, ඇස්. පරණවිතාන, පරිවර්තන සංස්කාරක, ඇස්. බී. හෙට්ටිආරච්චි, 2005
  • මායා රට ඉතිහාසය, සිරිමල් රණවැල්ල, 2016
  • The national Atlas of Sri Lanka, Survey Department, 2007
  • Notes on Ceylon Topography in the Twelfth Century, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXIX, No 75, 1922
  • Notes on Ceylon Topography in the Twelfth Century II, H.W. Codrington,  Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXX, No 78, 1925
  • Village List