Showing posts with label Yudhagana Vehera. Show all posts
Showing posts with label Yudhagana Vehera. Show all posts

Monday, August 28, 2017

ගව්වෙන් ගව්වට කණු සිටුවා රූණු ඇත්තන්ට පාර්ට් දැමූ කාලිංග චක්‍රවර්ති

..මෙසේ තුන් රජය නොයෙක් පරිද්දෙන් (බලා වදාහරන කලැ ගො)වුද නියත කොටැ (නිශ්ශංකගො)වුයයි
(ටැම් හිඳුවා) අකුරු කොටවා....

නිශ්ශංකමල්ල රජුගේ පොළොන්නරුවේ හැටදාගේ ලිපියෙන්  ඒ අයුරින් ඔහු පවසන්නේ තුන් රජයේ (රුහුණු, මායා, පිහිටි) මාවත් වල ගව් දුරවල් නියම කොට ඒවා 'නිශ්ශංක ගව්' ලෙස හඳුන්වා අකුරු කෙටූ ගල් ගව්වෙන් ගව්වට පිහිටවූ බවය (ගව්වක් යනු ආසන්න වශයෙන් සැතපුම් 4 කට ආසන්න දුරකි). මෙරට සෙල්ලිපි ගවේශනයේ පුරෝගාමියෙකු වන Edward Muller මුල් වරට මෙවන් ගව් කණු කිහිපයක්  වැලිගත්ත, කටුගහගල්ගේ, ඉලුක්පුදම, පොතුබන්ධන විහාරය වැනි ස්ථාන කිහිපයකින් සොයාගත් මුත් ඒවායේ අන්තර්ගතය බොහෝදුරට එකම බව සහ ඒවා නිශ්ශංකමල්ල රජුගේ බව විනා අන් යමක් සිය ග්‍රන්ථයේ හෙලිකර නැත.

පසුව සෙනරත් පරණවිතාන මහතා 1927 දී මෙවන් ලිපි දෙකක් හමුවන කටුගහගල්ගේ සහ යුදගනාව යන ස්ථාන වලට ගොස් ඒවා කියවා පසුව එහි අන්තර්ගතය පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබිය. එම කාලයේම පාහේ ඌව පළාතේ ආණ්ඩුවේ ඒජන්ත තැන්පත් H.W. කොඩ්රිංටන් මහතාද යුදගනාව ලිපිය කියවා එහි වැදගත් කම පිළිබඳව පුරාවිද්‍යා කොමසාරිස්වරයාව දැනුවත් කර ඇත. කටුගහගල්ගේ ප්‍රදේශයේද එම ලිපියේම පිටපතක් ඇති බව දැනගැනීමෙන් පසු ඒ මහතා ගම්මුලාදෑනින්ගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ ගොස් තවත් එවන් ලිපි හයක් තිඹිරිගස් ආර, අතාලේ, බකිණිගහවෙලවිදීය, තිඹිරිය විහාරය, පොතුබන්දන විහාරය, ඉලුක්පුදම යන ස්ථාන වලින් සොයා ගනු ලැබිය. ඒවා පිහිටි දුරවල් විමසා බැලීමෙන් පැරණි ගව්ව සහ යොදුන යන දුර මැනීමේ ඒකක පිළිබඳව ලිපියක් ඒ මහතා Ceylon Journal of Science (Section G) සඟරාවට සැපයූ මුත් සෙල්ලිපි වල අන්තර්ගතය සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකලහ.

පසු කාලීනව බඩල්කුඹුර, කනිච්චිගල, වේරගොඩගල, මැඩිල්ල, අග්බෝපුර, මුල්ලිපොතාන යන ස්ථාන වලින්ද මේ ආකාරයේ ගව් කණු හමු විය.  මේ වන විට එවන් ස්ථාන 18 පමණ හඳුනාගෙන ඇත.

මෙම ඇතැම් ලිපි මේ වන විට ඒවා හමුවූ මුල් ස්ථාන වල නොමැති අතර එම ලිපි මුලින්ම හමුවූ ස්ථාන සම්බන්ධයෙන්ද තොරතුරු නොමැත. වැලිගත්ත ලිපිය මේ වන විට ඇත්තේ කොළඹ කෞතුකාගාරයේය. එසේම යුදගනාව ලිපිය යුදගනාව පන්සල් භූමියට 1924 වසරේදී අසල වනයක තිබී එවකට විහාරාධිපති හිමියන් විසින් රැගෙනවිත් ඇත. කටුගහගල්ගේ ලිපියද 1880 දශකයේ පමණ අතුරුගිරි විහාරය හෙවත් කටුගහගල්ගේ විහාරය නමින් හැඳින්වෙන විහාරය වෙත අසල හේනක තිබී රැගෙන විත් ඇත.

මෙම ලිපි අතරින් පැරණි රජරට කලාපයට අයත් අග්බෝපුර සහ මුල්ලිපොතාන ලිපි වල 'ශ්‍රී කාලිංග චක්‍රවර්තීන් වහන්සෙ නියත කල නිශ්ශංක ගවුවයි' යන්න විනා වෙනත් තොරතුරු කිසිවක් සඳහන් කර නැත. එහෙත් මහවැලි ගඟට දකුණින් පිහිටා තිබූ පැරණි රුහුණු රටට අයත් ප්‍රදේශයෙන් හමුවන ලිපි වල රජුගේ පාඩි රටට දෙවරක් ගොස් ලබාගත් බිසෝවරුන්, ඇතුන් අසුන් ආදිය සහ සොළී රටට ගොස් ලබාගත් පඬුරු පිළිබඳ විස්තරයක් සමග මෙරට තුන් රජයේම සංචාර කල බවත් සමනොළ ආදී වූ දුර්ගද බලා ගත් බවත් පවසා එම නිශ්ශංක ගව්ව පිහිටවූ බව පවසයි. ලිපියේ මුලින්ම ඔහු රූණු රජයේ ඇත්තවුන් කෙරෙහි කරුණාවෙන් පවසන්නේ ධන ධාන්‍ය, දාසි දාසයන් ඇතිව, මායා රජයෙහි සහ පිහිටි රජයෙහි ඇත්තන්ගෙන් නින්දා පරිභව නොඅසා, ලෝභීව අනුන්ගේ දේ කෙරෙහි ආසා නොකොට, රුණු රට ඇත්තන් ද්‍රෝහීන් නොවන බව සහ සිය ස්වාමින්ට පක්ෂපාත බව ඔවුන් ලවා කියවන ලෙසට ජිවත් වන ලෙසය. පරාක්‍රමබාහු සමයේ රුහුණු රටින් පැන නැගි විරෝධය නිශ්ශංක මල්ල යුගය දක්වාද අලු යට ගිනි පුපුරු ලෙසින් තිබෙන්නට ඇති බව මෙයින් පැහැදිලි වේ. (ඒ පිළිබඳව වැඩි විස්තර සඳහා කියවන්න -  උදුන්දොර සුගලා දේවිය සොයා ගලබැද්දට....)

නිශ්ශංක ගව් කනු හමුවී ඇති ස්ථාන
මෙම ගව් කණු පිහිටි ස්ථාන පිළිබඳව වැඩිදුර විමසීම වැදගත් වනුයේ ඒ මගින් එවකට රුහුණු රටට අයත් දොළොස්දහස් රටේ අගනුවර වූ මහානාගහුල සිට හෝ රුහුණේ පැරණි අගනුවර වූ මාගම සිට රජරට දක්වා නැතහොත් ගෝකණ්ණ තිත්ථය හෙවත් වර්තමාන ත්‍රිකුණාමලය ආසන්නය දක්වා තිබූ පැරණි මාර්ගයක තොරතුරු විද්‍යාමාන වන බැවිනි (සිතියම බලන්න). ගවු කණු සහ වෙනත් තොරතුරු ඇසුරින් පැරණි රජරට- රුහුණු රට යා කල මහා මාර්ගය පිළිබඳව පසුව විමසා බලමු.

* ඡායාරූප- යුදගනාව විහාර භූමියේ තිබෙන සෙල් ලිපියෙහිය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නිශ්ශංක ගව් කනු හමුවන ස්ථාන
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිශ්ශංක ගව් කනු හමුවන ස්ථාන
මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල අවට නිශ්ශංක ගව් කනු හමුවන ස්ථාන 
මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල අවට නිශ්ශංක ගව් කනු හමුවන ස්ථාන 
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිශ්ශංක ගව් කනු හමුවන ස්ථාන 
මූලාශ්‍ර
  • Settlement Patterns of the Malvatu Oya and Kala Oya Basins, A Study in the Historical, Geography of Sri Lanka, P. Vidanapatirana, 2010
  • මාර්ග පුරාණය, පී විදානපතිරණ, 2016
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume VI, G.S. Ranawella, 2007
  • Ancient Ceylon, Journal of the Department of Archaeology, Sri Lanka, No 18, 2005
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume III (1928 - 1933), 1933
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • Ancient Inscriptions in Ceylon, Edward Muller, 1883
  • Essays in Archaeology, Sirinimal Lakdusinghe Felicitation Volume, 2010

Sunday, January 8, 2017

රුහුණේ පැරණි පුදබිම් 4 - යුද පිටියක ඉදිකල පබ්බත විහාරය - යුදඟනා පිටියේ චූලාංගණී වෙහෙර

1815 මහා පාවාදීමෙන් වසර 200 කට පසු සිංහල ජාතිය නැවතත් එවන් පාවාදීමකට සිය කැමැත්තෙන්ම ලක්වී අදට වසර දෙකක් ගත වී ඇත. එම 2015 පාවාදීමට සිය අමන කම නිසාම හවුල් වූ ඇතමුන්ට අද වන විට යමක් වැටහී ඇතිමුත් තමුන් රට පාවා දුන්නේ මේ රටට කෙල හලන අල්ලපු රටේ සහ ඈත එපිට ඒරොප්පේ හොටබරින්ට බව ඔවුන්ගෙන් ඇතමෙකුට තබා, පාවා දීමට හවුල් නොවූ ලක්ෂ 58 න් බහුතරයකට වුවද වැටහී ඇත්ද යන්න සැක සහිතය. මෙරට ඉතිහාසයේ බොහෝ වර පර සතුරු උවදුරු වලට මෙරට ලක්වූවෙත් එම පර සතුරු උවදුරු වලින් මිදීමට බොහෝ කල් ගතවුවේත් මෙරට පාලකයන් පර සතුරු උවදුර වටහා නොගෙන නැතහොත් එය දෙවෙනියට තබා දිගින් දිගටම ඔවුනොවුන් අතර කුලල් කා ගැනීම් වලින් කල් යැවූ නිසාය. අදද එහි වෙනසක් නැත. (සිහසුන බේරාගැනීමට පරයන් සමග නිදි වදින උන්ට මෙය අදාල නැත්තේ ඔවුන් ද්‍රෝහින් ලෙස ඉතිහාස ගත වී ඇති බැවිනි) 
පිළිමගෙය
 අවජාතක පරපුරේ අඳබාලයන් නොවන මෙරට බොහෝ දෙනෙක් ශ්‍රේෂ්ඨ නරපතියෙක් ලෙස සලකන දුටුගැමුණු රජතුමා වුවද මෙම දුර්වලතාවයෙන් නොපෙලුනා නොවේ. එපමනක් නොව ඔහු රාජ්‍ය උදෙසා සටන් වැඳුනේ සිය සොහොයුරා සමග වීමද විශේෂිතය. ඔවුන් දෙදෙනා සටන් වැදුන යුද පිටිය මහාවංශයේ සඳහන් වන්නේ චූලාංගනීපිට්ඨි හෙවත් චූලාංගනී පිටිය ලෙසින්ය.  පසුකලක ලියවුන සිංහල ථූපවංශය මෙන්ම රාජාවලියද මෙම ස්ථානය යුදඟනා පිටිය ලෙස හඳුන්වයි. වර්තමානයේ යුදඟනා වෙහෙර ලෙස හඳුන්වන ස්ථූපය පිහිටි භූමිය මෙම ස්ථානය ලෙස විශ්වාස කෙරේ. යුදඟනා පිටිය හඳුනාගැනීම සහ යුදඟනා වෙහෙරේ විස්තර සඳහා කියවන්න.  >>  රුහුණේ පැරණි පුදබිම් 1 - යුදඟනා ස්තූපය, පැරකුම් රජු ඉදිකල රත්නාවලි චේතියද?
ස්තූපය
 මෙම යුදඟනා ස්ථූපයට නුදුරින් පිහිටි කුඩා ස්ථූපයක්, පිළිම ගෙයක් සහ වෙනත් නටබුන් ගොඩනැගිලි වලින් සමන්විත ස්ථානයක් චූලාංගනී වෙහෙර ලෙසින් වර්තමානයේ හඳුන්වන නමුත් කිනම් කලක පටන් එම ස්ථානය එසේ හැඳින්වෙන්නේද යන්න අවිනිශ්චිතය. 1992 බුත්තල පැවති ගම් උදාව සැනකෙලිය සහ වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව එම ස්ථානය කැනීම් කර සංරක්ෂණය කල බවට 1992,1993 සහ 1994 වසර වල පුරාවිද්‍යා පාලන වාර්තා විමසා බැලීමේදි පෙනියයි. චූලාංගනී දාගැබ සංකිර්ණය ලෙසින් එම පාලන වාර්තා වල ස්ථානය පිළිබඳව සඳහන් වෙයි.
 ප්‍රාකාරයකින් වටවුන සෘජුකෝනාශ්‍රාකාර පෙදෙසක් තුල පිහිටි කුඩා දාගැබ සහ නිදන් සොයන අමනයන් විසින් කිසියම් කලක හිස කඳින් වෙන් කර කකුල් කඩා දමා ඇති බුදු පිළිම තුනක පමණ අවශේෂ වලින් පිලිම ගෙයක් ලෙස හඳුනාගත හැකි ගොඩනැගිල්ලට අමතරව වෙනත් ගොඩනැගිලි තුනක පමණ නටබුන් මෙහි දක්නට ඇත. එම අනෙකුත් ගොඩනැගිලි උපෝසථඝරය, සභා ශාලාව සහ බෝධිඝරය ලෙස හඳුනාගත හැකි නම් පබ්බත විහාර ලෙසින් වර්තමානයේ විද්වතුන් විසින් හඳුනාගන්නා සංඝාරාමයක් මෙහි තිබූ බවට පිළිගත හැක.
 පබ්බත විහාර වල වාස්තු විද්‍යාත්මක සැලැස්ම මූලික වශයෙන් කොටස් දෙකකින් යුක්තය. එනම් ඉහත විස්තර කල ස්තූපය, බෝධිඝරය,පිළිමගෙය, උපෝස්ථඝරය සහ ඇතැම් අවස්ථා වල සභා ගොඩනැගිල්ලකින්ද සමන්විත ප්‍රාකාරයකින් සහ ඇතැම් විට දිය අගලකින්ද වටවූ ප්‍රධාන මළුව සහ එයට පිටතින් පිහිටි ප්‍රධාන නොවන මළුවයි. එම ප්‍රධාන නොවන මළුවේ භික්ෂුන්ගේ වාසය සඳහා ඉදිකල කුටි, සහ උන්වහන්සේලාගේ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය භෝජනශාලා, ජන්ථාඝර, කැසිකිලි,වැසිකිලි, සහ අනෙකුත් එවන් ගොඩනැගිලි දක්නට හැකිය. මෙම ස්ථානයේද ප්‍රධාන මලුවට පිටතින් වෙනත් ගොඩනැගිලි තිබූ බවට තැනින් තැන දැකිය හැකි මෙතෙක් කැනීම් කර තහවුරු නොකල ගල් කණු විසිරුණු ස්ථාන වලින් පෙනී යයි.
විනාශ කල බුදු පිළිම කොටස්

 මූලාශ්‍ර

  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • සිංහල ථූපවංසය හා ගැටපද විවරණය, මහාචාර්ය සුචරිත ගම්ලත් සංස්කරණය, 1994
  • රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
  • Sinhalese Monastic Architecture, The Viharas of Anuradhapura, Senake Bandaranayake, 2009
  • Administration Report of the Director-General of Archaeology for the year 1992, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1993, S.U. Deraniyagala
  • Administration Report of the Director-General of Archaeology for the year 1994, S.U. Deraniyagala
ආශ්‍රිත පෙර ලිපි

Saturday, September 24, 2016

රුහුණේ පැරණි පුදබිම් 1 - යුදඟනා ස්තූපය, පැරකුම් රජු ඉදිකල රත්නාවලි චේතියද?


රෝහණදේශ හෝ රෝහණ-මණ්ඩල ලෙස පාළි බසින් වංශ කතා වලද රුහුණු දනවු, රුහුණ් දනවු, රූණු රජය, රුහුණු රජය, රූණු රට ලෙසින් හෙල බසින් සෙල්ලිපි වලද හැඳින්වූ මහවැලි ගඟින් සහ බෙන්තර ගඟින් සීමා වූ රුහුණු රාජ්‍යය වනාහි පැරණි තුන්සිංහලේ සැදුම් ලත් රුහුණු, මායා, පිහිටි තුන් රටින් සුවිශේෂම වූ පෙදෙසකි. වර්තමාන දිස්ත්‍රික් බෙදීම් අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, මඩකලපුව  සහ මොණරාගල දිස්ත්‍රික්ක මුලුමනින්මද, බදුල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක වල වැඩිහරියක්ද, රත්නපුර, නුවර එළිය, මහනුවර සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්ක වලින් කොටසක්ද මෙම පැරණි රුහුණු රටට අයත් වූ ප්‍රදේශයේ පිහිටා ඇත.
රුහුණු, මායා, පිහිටි රටවල්- උපුටා ගැනීම Wikipedia
කලකදි රජරට පිහිටි ප්‍රධාන රාජ්‍යයට අයත් පෙදෙසක් ලෙසද ඇතැම් කාල වල අඩු වැඩි වශයෙන් ස්වාධීන රාජ්‍යයක් ලෙසද සියවස් ගණනාවක් පුරා විහිදුනු ඉතිහාසයක් ඇති රෝහණ රාජ්‍යය, විදෙස් ආක්‍රමණ වලට රට මුහුන දුන් සැමවිටම රජරට පාලකයන්ට පසුබැස සැඟවීමට ආරක්ෂිත ප්‍රදේශයක් ලෙසද, සතුරු බළමුලු පරදා සිංහල බලය නැවත පැතිරවීම සඳහා සේනා සංවිධානයට ක්ෂේම භූමියක් ලෙසද පැවතුනි. එබැවින් මෙම ප්‍රදේශය පුරා පැරණි රජදරුවන් විසින් නිමකල පැරණි බෞද්ධ පුදබිම් විශාල ප්‍රමාණයක් පැවතුන අතර සැලකිය යුතු එවන් ස්ථාන ප්‍රමාණයක් මේ වන විට හඳුනාගෙන ඇති මුත්  මෙතෙක් හඳුනානොගත් ස්ථාන තවමත් වන ප්‍රවාහයට යටත්ව, පුරාවිදු ගවේශකයන්ගේ ඇසට හසු නොවී, නිධන් හොරුන්ගේ ග්‍රහනයට ලක්වී විනාශ වෙමින් පවතිනවා විය හැක.
ස්තූපයේ ඉහල කොටස
රුහුණේ පැරණි බෞද්ධ පුදබිම් වැඩිම ප්‍රමාණයක් පිහිටි, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව යන දිස්ත්‍රික්ක තුල දෙමළ බෙදුම්වාදීන් අද දින හර්තාල් කරමින් උතුරෙන් සහ නැගෙනහිරෙන්  සිංහලයන් ඉවත් වන ලෙසත් එහි ඇති බෞද්ධ වෙහෙර විහාර ඉවත් කරන ලෙසත් පවසමින් "යහපාලන සංහිඳියාව" උපරිමයෙන් භුක්ති විඳින්නේ මුල් සිඳගත් නිවට සිංහලයන් මුල්වී 2015 ජනවාරි 8 සිදුකල, 1815 න් පසු දෙවන "මහා පාවාදීමට" පිංසිදුවන්නටය (සිංහල, බෞද්ධ උතුරට එපා.. නැගිටිනු දෙමළුනි… උතුරේ සහජීවන විරෝධතා හර්තාල්.. කඩ වසා දැමේ..).  පැරණි රුහුණේ පුදබිම් පිළිබඳ විමසා බැලීම වැදගත් වන්නේ රට තුල එවන් අවාසනාවන්ත පසුබිමක් පවතිද්දිය.

විහාරගෙය
මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ආසන්නයේ පිහිටා තිබෙන යුදඟනා වෙහෙර ලෙසින් වර්තමානයේ හඳුන්වන විශාල ස්තූපය කිනම් කලක කුමන රජකෙනෙකුන් විසින් සාදන ලද්දක්ද යන්න අවිනිශ්චිතය. පරණවිතාන මහතා මෙය පොළොන්නරුවේ රජකල පරාක්‍රමබාහු රජතුමා සිය මව වූ රත්නාවලි ආදාහනය කල ස්ථානයේ ඇය සිහිවීමට ඉදිකල ස්තූපය විය හැකි බවට මතයක් ඉදිරිපත් කරයි. කොටවෙහෙර ශෛලයේ ස්තූප ලෙස පොදුවේ හැඳින්වෙන දැදිගම පිහිටි පරාක්‍රමබාහු රජතුමන් උපන් ස්ථානයේ ඔහු ඉදි කල සූතිඝර ස්තූපය සහ පොළොන්නරුවේ දමිළ ස්තූපය අයත් වන සැලැස්මටම මෙයද ඉදි කර ඇත.  මහාවංශයට අනුව පරාක්‍රමබාහු රජතුමන් රෝහණයේ එකසිය විසි රියනක් උස රත්නාවලී චේතිය කරවන්නේ ඛිරගාම යෙහිය.
විහාරගෙය තුල ඇති මහනුවර සම්ප්‍රදායේ බිතුසිතුවම්
දුටුගැමුණු සහ සහ සද්ධාතිස්ස දෙසොහොයුරන් අතර යුද්ධය පැවැති ස්ථානය මහාවංශයේ සඳහන් වන්නේ චූලාංගනියපිට්ඨි හෙවත් චූලාංගනි පිටියේ බවය. සිංහල ථූපවංශයේ එම ස්ථානය ගැන සඳහන් වන්නේ යුදඟනාපිටිය වශයෙන්ය. එසේම සිංහල ථූපවංශයට අනුව දුටුගැමුණු රජතුමා එළාර සමග සංග්‍රාමයට මාගමින් පිටත්ව පිළිවෙලින් කළුවළ, ඒහල, ගීකිත්ත, ගුත්තල පසු කරමින් පැමින කිරිගම ලැගුම් ගත්හ. මෙහි සඳහන් වන ගුත්තල යනු වර්තමානයේ බුත්තල ලෙසින් හැඳින්වෙන ප්‍රදේශය ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව පරාක්‍රමබාහු රජතුමන් රෝහණයේ රත්නාවලි චේතිය ඉදිකරන ඛීරගම යන්න සිංහලෙන් කිරිගම ලෙස ගතහොත් සහ බුත්තලින් පසුව රජරටට යන මාර්ගයේ ඊලගට හමුවන ප්‍රධාන ස්ථානය කිරිගම වන බැවින් පරණවිතාන මහතා පවසන පරිදි පරාක්‍රමබාහු රජතුමන් ඉදිකල රත්නාවලි චේතිය යනු මෙකල යුදඟනාව ලෙසින් හඳුන්වන ස්තූපය වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. එසේම එය පිහිටියේ ගැමුණු කුමරු සමග තිස්ස කුමරුන් සටන් වැදුන යුදඟනා පිටියේ හෙයින් පසු කලක පොදු ජනතාව අතර එය යුදඟනා වෙහෙර ලෙස ප්‍රචලිත වූවා වන්නට ඇත.
විහාරගෙය තුල ඇති මහනුවර සම්ප්‍රදායේ බිතුසිතුවම්
මෙම ස්ථානයේ වර්තමානයේ දක්නට ඇති විහාර ගෙය මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ලක්ෂණ වලින් සමන්විත වන මුත් එය පැරණි පාදමක් මත ඉදි කර ඇති බව පෙනේ. එහි නුවර යුගයේ බිතුසිතුවම්ද දක්නට ඇත.

ආශ්‍රිත පෙර ලිපි
මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
  • කඩඉම්පොත් විමර්ශනය, H. A. P. අභයවර්ධන, 1996.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 1, 1959.
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • සිංහල ථූපවංසය හා ගැටපද විවරණය, මහාචාර්ය සුචරිත ගම්ලත් සංස්කරණය, 1994