..මෙසේ තුන් රජය නොයෙක් පරිද්දෙන් (බලා වදාහරන කලැ ගො)වුද නියත කොටැ (නිශ්ශංකගො)වුයයි
(ටැම් හිඳුවා) අකුරු කොටවා....
නිශ්ශංකමල්ල රජුගේ පොළොන්නරුවේ හැටදාගේ ලිපියෙන් ඒ අයුරින් ඔහු පවසන්නේ තුන් රජයේ (
රුහුණු, මායා, පිහිටි) මාවත් වල ගව් දුරවල් නියම කොට ඒවා '
නිශ්ශංක ගව්' ලෙස හඳුන්වා අකුරු කෙටූ ගල් ගව්වෙන් ගව්වට පිහිටවූ බවය (ගව්වක් යනු ආසන්න වශයෙන් සැතපුම් 4 කට ආසන්න දුරකි). මෙරට සෙල්ලිපි ගවේශනයේ පුරෝගාමියෙකු වන
Edward Muller මුල් වරට මෙවන් ගව් කණු කිහිපයක්
වැලිගත්ත, කටුගහගල්ගේ, ඉලුක්පුදම, පොතුබන්ධන විහාරය වැනි ස්ථාන කිහිපයකින් සොයාගත් මුත් ඒවායේ අන්තර්ගතය බොහෝදුරට එකම බව සහ ඒවා
නිශ්ශංකමල්ල රජුගේ බව විනා අන් යමක් සිය ග්‍රන්ථයේ හෙලිකර නැත.
පසුව
සෙනරත් පරණවිතාන මහතා 1927 දී මෙවන් ලිපි දෙකක් හමුවන
කටුගහගල්ගේ සහ
යුදගනාව යන ස්ථාන වලට ගොස් ඒවා කියවා පසුව එහි අන්තර්ගතය පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබිය. එම කාලයේම පාහේ
ඌව පළාතේ ආණ්ඩුවේ ඒජන්ත තැන්පත්
H.W. කොඩ්රිංටන් මහතාද
යුදගනාව ලිපිය කියවා එහි වැදගත් කම පිළිබඳව පුරාවිද්‍යා කොමසාරිස්වරයාව දැනුවත් කර ඇත.
කටුගහගල්ගේ ප්‍රදේශයේද එම ලිපියේම පිටපතක් ඇති බව දැනගැනීමෙන් පසු ඒ මහතා ගම්මුලාදෑනින්ගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ ගොස් තවත් එවන් ලිපි හයක්
තිඹිරිගස් ආර, අතාලේ, බකිණිගහවෙලවිදීය, තිඹිරිය විහාරය, පොතුබන්දන විහාරය, ඉලුක්පුදම යන ස්ථාන වලින් සොයා ගනු ලැබිය. ඒවා පිහිටි දුරවල් විමසා බැලීමෙන් පැරණි ගව්ව සහ යොදුන යන දුර මැනීමේ ඒකක පිළිබඳව ලිපියක් ඒ මහතා Ceylon Journal of Science (Section G) සඟරාවට සැපයූ මුත් සෙල්ලිපි වල අන්තර්ගතය සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකලහ.
පසු කාලීනව
බඩල්කුඹුර, කනිච්චිගල, වේරගොඩගල, මැඩිල්ල, අග්බෝපුර, මුල්ලිපොතාන යන ස්ථාන වලින්ද මේ ආකාරයේ ගව් කණු හමු විය. මේ වන විට එවන් ස්ථාන 18 පමණ හඳුනාගෙන ඇත.
මෙම ඇතැම් ලිපි මේ වන විට ඒවා හමුවූ මුල් ස්ථාන වල නොමැති අතර එම ලිපි මුලින්ම හමුවූ ස්ථාන සම්බන්ධයෙන්ද තොරතුරු නොමැත.
වැලිගත්ත ලිපිය මේ වන විට ඇත්තේ
කොළඹ කෞතුකාගාරයේය. එසේම
යුදගනාව ලිපිය යුදගනාව පන්සල් භූමියට 1924 වසරේදී අසල වනයක තිබී එවකට විහාරාධිපති හිමියන් විසින් රැගෙනවිත් ඇත.
කටුගහගල්ගේ ලිපියද 1880 දශකයේ පමණ
අතුරුගිරි විහාරය හෙවත්
කටුගහගල්ගේ විහාරය නමින් හැඳින්වෙන විහාරය වෙත අසල හේනක තිබී රැගෙන විත් ඇත.
මෙම ලිපි අතරින් පැරණි
රජරට කලාපයට අයත්
අග්බෝපුර සහ
මුල්ලිපොතාන ලිපි වල 'ශ්‍රී කාලිංග චක්‍රවර්තීන් වහන්සෙ නියත කල නිශ්ශංක ගවුවයි' යන්න විනා වෙනත් තොරතුරු කිසිවක් සඳහන් කර නැත. එහෙත්
මහවැලි ගඟට දකුණින් පිහිටා තිබූ පැරණි
රුහුණු රටට අයත් ප්‍රදේශයෙන් හමුවන ලිපි වල රජුගේ
පාඩි රටට දෙවරක් ගොස් ලබාගත් බිසෝවරුන්, ඇතුන් අසුන් ආදිය සහ සොළී රටට ගොස් ලබාගත් පඬුරු පිළිබඳ විස්තරයක් සමග මෙරට තුන් රජයේම සංචාර කල බවත්
සමනොළ ආදී වූ දුර්ගද බලා ගත් බවත් පවසා එම නිශ්ශංක ගව්ව පිහිටවූ බව පවසයි. ලිපියේ මුලින්ම ඔහු
රූණු රජයේ ඇත්තවුන් කෙරෙහි කරුණාවෙන් පවසන්නේ ධන ධාන්‍ය, දාසි දාසයන් ඇතිව,
මායා රජයෙහි සහ
පිහිටි රජයෙහි ඇත්තන්ගෙන් නින්දා පරිභව නොඅසා, ලෝභීව අනුන්ගේ දේ කෙරෙහි ආසා නොකොට,
රුණු රට ඇත්තන් ද්‍රෝහීන් නොවන බව සහ සිය ස්වාමින්ට පක්ෂපාත බව ඔවුන් ලවා කියවන ලෙසට ජිවත් වන ලෙසය.
පරාක්‍රමබාහු සමයේ
රුහුණු රටින් පැන නැගි විරෝධය
නිශ්ශංක මල්ල යුගය දක්වාද අලු යට ගිනි පුපුරු ලෙසින් තිබෙන්නට ඇති බව මෙයින් පැහැදිලි වේ. (ඒ පිළිබඳව වැඩි විස්තර සඳහා කියවන්න -
උදුන්දොර සුගලා දේවිය සොයා ගලබැද්දට....)
|
නිශ්ශංක ගව් කනු හමුවී ඇති ස්ථාන |
මෙම ගව් කණු පිහිටි ස්ථාන පිළිබඳව වැඩිදුර විමසීම වැදගත් වනුයේ ඒ මගින් එවකට
රුහුණු රටට අයත්
දොළොස්දහස් රටේ අගනුවර වූ
මහානාගහුල සිට හෝ රුහුණේ පැරණි අගනුවර වූ
මාගම සිට
රජරට දක්වා නැතහොත්
ගෝකණ්ණ තිත්ථය හෙවත් වර්තමාන
ත්‍රිකුණාමලය ආසන්නය දක්වා තිබූ පැරණි මාර්ගයක තොරතුරු විද්‍යාමාන වන බැවිනි (සිතියම බලන්න). ගවු කණු සහ වෙනත් තොරතුරු ඇසුරින් පැරණි
රජරට- රුහුණු රට යා කල මහා මාර්ගය පිළිබඳව පසුව විමසා බලමු.
* ඡායාරූප-
යුදගනාව විහාර භූමියේ තිබෙන සෙල් ලිපියෙහිය.
|
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නිශ්ශංක ගව් කනු හමුවන ස්ථාන |
|
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිශ්ශංක ගව් කනු හමුවන ස්ථාන |
|
මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල අවට නිශ්ශංක ගව් කනු හමුවන ස්ථාන |
|
මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල අවට නිශ්ශංක ගව් කනු හමුවන ස්ථාන |
|
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිශ්ශංක ගව් කනු හමුවන ස්ථාන |
මූලාශ්‍ර
- Settlement Patterns of the Malvatu Oya and Kala Oya Basins, A Study in the Historical, Geography of Sri Lanka, P. Vidanapatirana, 2010
- මාර්ග පුරාණය, පී විදානපතිරණ, 2016
- Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume VI, G.S. Ranawella, 2007
- Ancient Ceylon, Journal of the Department of Archaeology, Sri Lanka, No 18, 2005
- Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume III (1928 - 1933), 1933
- Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
- Ancient Inscriptions in Ceylon, Edward Muller, 1883
- Essays in Archaeology, Sirinimal Lakdusinghe Felicitation Volume, 2010
සාමාන්‍ය පාඨකයන් දැනුවත් කරන ඉතාම වටිනා තෙරතුරු විග්‍රහයක්
ReplyDeleteඉතිහාසය....
ReplyDelete