දූරදර්ශ්‍රී දේශපාලන නායකත්වය විසින් 2007 වසරේදී ආරම්භ කර ක්‍රමයෙන් ඉදිකෙරෙමින් පැවැති මොරගහකන්ද කළු ගඟ ව්‍යාපාරයට අයත් මොරගහකන්ද ජලාශයේ ජලය මේ වන විට දැඩි නියගයෙන් පෙලෙන පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලට අයත් වැව් වලට මුදාහැරෙමින් පවතී. > Link එම මොරගහකන්ද ජලාශයට ජල මූලාශ්‍ර වන අඹන් සහ කළු ගංගා ද්‍රෝණි ආශ්‍රිත පුරාණ ජනාවාස පැතිරිම් සහ වාරිමාර්ග පද්ධතිය පිළිබඳව විස්තර විමසා බැලෙන ලිපි දෙකක් මීට ඉහතදි ඉදිරිපත් කලෙමු. මේ එම ලිපි පෙලේ තුන්වැන්නයි. පෙර ලිපියකින් අප විමසා බැලූ අඹන් ගඟ දෑලේ වූ අම්බවන සහ එයට උතුරින් වූ සූර -අම්බවන යන රටවල් වලට උතුරු සහ නැගෙනහිර දෙසින් වූ ජනපද සහ ආළිසාර යන ප්‍රදේශ හෙවත් රටවල් පිළිබඳව මෙම ලිපියෙන් සාකච්චා වේ.
පෙර ලිපි -
ආළිසාර රට
ආළිසාර යන නම මහාවංශයේ පලමුවෙන්ම හමුවනුයේ වසභ රජු (ක්‍රි.ව. 67 -111) විසින් තිස්සවඩ්ඪමානකයෙහි මුචේල විහාරය කරවා ආළිසාර ඇලේ දිය භාගය එම විහාරයට පිදූ බව පැවසෙන අවස්ථාවේදීය. ඉන්පසු තුන් සිංහලය සොළි බලයෙන් මුදාගෙන රට එක්සේසත් කල මහා විජයබාහු රජතුමා (ක්‍රි.ව. 1055-1110) සම්පූර්ණ ආළිසාර රටම සංඝයාගේ දන් වැටුප් පිණිස එහි වාසි වූ ප්‍රධානින්ද සමග පිදූ බව පැවසෙන අවස්ථාවේදී "ආළිසාර රට්ඨ" යන්න පළමු වරට වංශ කතාවේ හමුවේ.
පරාක්‍රමබාහු කුමාරයගේ ලංකාධිනාථ සෙනෙවියා දෙවන ගජබාහු (ක්‍රි.ව. 1111 -1132) රජුගේ සේනාව සමග සිදු කල සංග්‍රාමයේදී විජයබාහු රජු සංඝයාට පිදූ මේ බිම ලේ හලන යුද පිටියක් වූ බව මහාවංශයේ පරාක්‍රමබාහු කුමාරය සහ ගජබාහු රජු අතර සිදු වු සිවිල් යුද්ධය හා සම්බන්ධව එන විස්තරයෙන් පැහැදිලි වේ. මින් පෙර ලිපියකදි අප කතා කල සූර-අම්බවන ප්‍රදේශයේ සිට සේනා යවා යාබද ජනපද රට යටත් කරගැනීමෙන් පසු එහි කඳවුරු බැඳගත් පරාක්‍රමබාහුගේ සේනාව මැඩීමට ගජබාහු රජු සේනාව යැවූ මුත් පරාක්‍රමබාහුගේ සෙනෙවියා ඔවුන් පරදා බොහෝ විට ජනපද රටටම අයත්ව තිබෙන්නට ඇතැයි සිතිය හැකි යගාල්ල නම් පෙදෙසද යටත් කරගනී. මේ අවස්ථාවේ ගජබාහු රජු ආළිසාර රටට සේනාව යවා පරාක්‍රමබාහුගේ සේනාවට දරුණු පහර එල්ල කරයි. එහෙත් ඔවුන් පරදා ඉදිරියට ගමන් කරන ලංකාධිනාථගේ සේනා තලාත්තල නම් ප්‍රදේශයද යටත් කරගනී. ඉන්පසු ඔහු තලාත්තල බලකොටුවෙන් නික්ම ගඟ අසල පිහිටි ආළිගාම නම් බලකොටුවේ කඳවුරු බැඳගනී. කොඩ්රිංටන් මහතාගේ හඳුනාගැනීම අනුව තලාත්තල යනු වර්තමානයේ ඇලහැරට නිරිත දෙසින් ඇලහැර-නාඋල මාර්ගයේ හමුවන තලගොඩ වන අතර, ආළිගාම යන්න එයට මදක් බටහිර දෙසට වන්නට අඹන් ගඟේ දකුණු ඉවුරේ පිහිටි එලගමුව වේ.
ආළිසාර රටට අයත්ව තිබූ වර්තමානයේ හඳුනාගත හැකි ස්ථාන |
ආළිසාර දෙසින් ඇරඹුනු පරාක්‍රමබාහුගේ සටන් පෙරමුණ වෙනත් ප්‍රදේශ වල සටන් ඇවිලීමත් සමග මද කලකට නතර වූ බව පෙනේ. ඉන්පසු ආළිසාර පෙදෙස යටත් කරගැනීම උදෙසා පරාක්‍රමබාහු කුමරා මායාගෙහ නම් සෙනවියා යොදවයි. ඔහු කලලහල්ලික පෙදෙසේ සිට සටන් අරඹා නන්දාමූලකගාම පෙදෙසේ තිබූ බලකොටුව යටත් කරගැනීමෙන් පසු ආළිසාර දෙසට සේනාව මෙහෙයවා කද්දුරගාම බලකොටුව යටත් කරගැනීමෙන් පසු කිරාටි කොටුවද සිය පාලනයට ගනී. ගජබාහුගේ සේනාව මෙම පෙරමුණේ විලාන නම් ස්ථානයේ වූ බලකොටුවක සිටි බවත් පරාක්‍රමබාහු කුමරා ගෙවල් බිඳින හොරුන් දෙතුන් සියයක් යොදවා එම බලකොටුවට රාත්‍රී කාලයේ රහසේ ඇතුළු වි එය යටත් කරගත් බවත් පැවසේ. ඉක්බිති මට්ටිකාවාපී, උද්දකුරම්ගාම සහ අධෝකුරම්ගාම යන ස්ථාන වල තිබූ බලකොටු සහ අවසානයේ නාසින්න ගමෙහි වූ බලකොටුව යටත් කරගැනීමත් සමග ආළිසාර රටේ සම්පූර්ණ බලය පරාක්‍රමබාහු කුමරා යටතට පත්විය.
මෙම ස්ථාන අතුරින් මට්ටිකවාපි යනු එලගමුවට දකුණින් පිහිටි කිරිමැටිය ලෙසත් ආළිසාර රටට පහරදීම සඳහා සේනා මෙහෙයවූ කලලහල්ලික පෙදෙස බොහෝ විට වර්තමානයේ කුරුණෑගල- දඹුල්ල මාර්ගයට සැතපුම් 5 පමණ උතුරින් පිහිටි මඩහපොල පෙදෙස විය හැකි බවත් C.W. නිකලස් මහතා පවසයි. කිරාටි යන නම වර්තමානයේ ඇලහැරට උතුරින් ගලා යන හිරටි ඔය සහ හිරටි ඔය ඇලහැර - බකමූණ මාර්ගය හරහා යන ස්ථානයට දකුණින් පැරණි අඟලේ සිතියම් වල ලකුණු කර ඇති හිරටිය යන්නෙහි ශේෂව පවති. එසේම පෙළ බසින් ආළිසාර රට්ඨ ලෙස එදා හැඳින්වූ විශාල ප්‍රදේශයේ නම අද ඇලහැර ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයට පමණක් සීමා වී තවමත් පවතී.
ජනපද රට පිළිබඳව සඳහනක් පළමුව වංශ කතාවේ හමුවන්නේ තුන්වන මොග්ගල්ලාන (ක්‍රි.ව. 614 -619) රාජ්‍ය කාලයේය. රජු කිසියම් හේතුවක් නිසා මලය දේශයේ රජු හා උරණ වි ඔහුගේ අත් පා කපා දැමූ විට ඔහු පුත් අසිග්‍රාහක තෙමේ රුහුණට පලා ගොස් එහි බලය අල්ලාගෙන බල සෙන් සමග පැමිණ ජනපද රටද අල්ලාගත් බවත් ඉන්පසු දොහලපබ්බතයට පැමිණ එහි කඳවුරු බැඳ ගත් බවත් පැවසේ. උණ රෝගය වැලදීමෙන් රජුගේ සේනාව දුර්වල වීමත් සමග සටන් මෙහෙයවූ අසිග්‍රාහක, පැරද පලායන රජු ඇතුළු පිරිස සිහගිරි අසලදී මරා සිලාමේඝවන්න (ක්‍රි.ව. 619 - 628) නමින් රජවිය. මේ විස්තරයට අනුව ජනපද රට රුහුණු රට සහ සිහගිරි (සීගිරිය) අතර පෙදෙසක විය යුතු බව පෙනේ. එසේම දොහලපබ්බතයද බොහෝ දුරට ජනපද රට තුලම තිබූ යුදමය වශයෙන් වැදගත් පර්වත පෙදෙසක් වූවා විය හැක.
පරාක්‍රමබාහු කුමරු සිය පිය රජුට අයත් දක්ෂිණ දේශයේ සිට ගජබා රජුට අයත් රජරට පෙදෙසට පැමිණි අවස්ථාවක් පිළිබඳව එන විස්තරයකදී නැවතත් ජනපද රට පිළිබඳව සඳහනක් වංශ කතාවේ හමුවේ. දක්ෂිණ දේශය හා රජරට සීමාව පසුකර කුමරා ගජබාහු රජුට අයත් ජනපද නම් පෙදෙසට පැමිණ කෙලි සෙල්ලම් කරමින් විශේෂයෙන් එම ජනපද රටට ආවේනික ක්‍රිඩා කරමින් දින කිහිපයක් විසූ බව එම විස්තරයේ පැවසේ. ගජබා රජුගේ බල ප්‍රදේශයේ සිට පෙරලා දක්ෂිණ දේශයට යාමට පෙරද පරාක්‍රමබාහු කුමරා ඔහු සමග පැමිණි මිනිසුන්ට ජනපද නම් ප්‍රදේශයේදි හමුවන ලෙස නියෝග කරවා ඔවුන් පළමුකොට යවා තමුන් ආපසු යන බව ගජබා රජුට දැන්වීම සඳහා ගජබා රජු කරා ගිය බව වංශ කතාව පවසයි. ඉක්බිති තනිවම පෙරළා එන පරාක්‍රමබාහු කුමරා ජනපද රටට කලින් පැමිණ සිටි සිය සෙනග මංගලබේගමදි පළමුවරට දුටු බව එහි සඳහන් වේ. ඉන්පසු සිය පිරිස සමග කුමරා දඩ කෙළි ආදී නොයෙකුත් ක්‍රීඩා කරමින් කිහිප දවසක් එම ප්‍රදේශයේ වෙසේ.
ජනපද රටට අයත්ව තිබූ වර්තමානයේ හඳුනාගත හැකි ස්ථාන |
ඇලහැරට උතුරින් පුවක්ගහ-උල්පත සහ කෝඳුරුවාව අතර පිහිටා ඇති මකුල්-ඇබේ නම් ප්‍රදේශය ඉහත සඳහන් මංගලබේගම විය හැකි බව කොඩ්රිංටන් මහතා පවසයි (කෙසේ වුවද මකුල්ඇබේ ලෙසින් හැඳින්වෙන ගමක් මේ වන විට මෙම ප්‍රදේශයේ පවතීද යන්න අවිනිශ්චිතය. පැරණි අඟලේ සිතියම් වල හෝ මෙට්‍රික් සිතියම් වල එවන් ස්ථානයක් දැකිය නොහැකි අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාසයට අයත් ගමක් ලෙස එවැන්නක් සොයාගත නොහැක. ). පරණවිතාන මහතාට අනුව සීගිරි ගීයක එන මාගලම්බ් යන ග්‍රාන නාමය මහාවංශයේ මංගලබේගම ලෙස හැඳින්වෙන ස්ථානයවේ. පොළොන්නරුව පෙදෙසේ සිට එන පරාක්‍රමබාහු කුමරාට එම පෙදෙසේදි ජනපද රටේ සිටි සිය පිරිවර මුලින්ම දුටු බව සඳහන් වන බැවින් මංගලබේගම ජනපද රටේ නැගෙනහිර සීමාව වූවා විය හැක. එසේම අප මීට ඉහතදි හඳුනාගත් සූර-අම්බවන රටට යාබදව එයට උතුරු දෙසින් ජනපද රට වූ බව පෙනේ.
ජනපද, ආළිසාර සහ අම්බවන රට වලට අයත්ව තිබූ ප්‍රදේශ |
පැරණි රජ දරුවන් අඹන් ගඟේ ජලය මින්නෙරිය, කවුඩුල්ල හරහා කන්තලේ වැවට ගෙන ගිය ආකාරය ඉදිරි ලිපියකින් විමසා බලමු.
මූලාශ්‍ර
- Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
- Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
- University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
- මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
- Archaeological survey of Ceylon Sigiri Graffiti, S. paranavitana Vol 1 & Vol.
- Notes on Ceylon Topography in the Twelfth Century, H.W. Codrington, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXIX, No 75, 1922
- Notes on Ceylon Topography in the Twelfth Century II, H.W. Codrington, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXX, No 78, 1925
- LIFe Location Code Navigator
No comments:
Post a Comment