පසුගිය සතියේ හලාබ පාලම නිරීක්ෂණය කිරීමට ගිය ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා එහි ලෑල්ලක් ගැලවීමෙන් එය මත ඇද වැටෙන වීඩියෝ දර්ශන ගොසිප් සයිට් කිහිපයක පලවීමෙන් පසු එහි කොමන්ට් දැමූ "3% නෙගටිව් කොමන්ට් කාරයන්ගේ" අදහස් දැකීමෙන් පසු තැනූ අවදිය හෝ එහි අරමුණ පිළිබඳව ස්ථිර නිගමනයකට ඒමට කරුණු ප්‍රමාණවත් නොවීම නිසා කිහිප වරක්ම කල් දමමින් සිටි හලාබ පාලම පිළිබඳව යමක් ලිවීමට සිත්විය.
සුපුරුදු පරිදි 225 න් එකෙක් නැතිවෙන්න ගිය අවස්ථාව අහිමිවීම පිළිබඳව වැලපීම් වලට (මේ නෙගටිව් කොමන්ට් කාරයන් සිතන්නේ රටේ සියළුම ගැටළු වලට මුල මේ 225 බැවින් ඔවුන් නැතිවූ පසු සියල්ල හරියන බවය.) අමතරව ඒවායේ තිබුනේ ගම් වල වෙසෙන ජනතාව සිය අවශ්‍යතා සඳහා ගමන් කරන මෙවැනි පාලම් ඇති බව නගර වලට වී සුර සැප විදින පාලකයන් මේ සිද්දියෙන්වත් තේරුම් ගත යුතු බවය (හැබැයි ගමක පාරක්, පාලමක් හදන්න යන විට පට්ටපල් බොරු සමාජ ගත කරමින් ඒවාට එරෙහි වන්නේද සමාජයේ වෙසෙන මේ 3% මය. හොඳම උදාහරණය ලංකාගමට යෑමට දශක ගණනාවක්ම එහි ගැමියන් සහ සංචාරකයන් භාවිතා කල මාර්ගයම පිලිසකර කිරීමට උත්සාහ කල අවස්ථාවේ සිංහරාජ වනාන්තරය මැද්දෙන් පාරක් කපනවායැයි පට්ටපල් බොරු කියමින් එය ජාතික ප්‍රශ්නයක් කිරීමය. සිද්දිය තවත් හිට් කරන්නට සිතූ එක් පරිසර ප්‍රශ්න විකුණා ගතමනාව සොයාගන්නා NGO කාරයෙකු පැවසුවේ ඒ පාර කපන්නේ සිංහරාජය මැද තිබෙන නාමල්ගේ හෝටලයට යන්න බවය. අද වෙනකොට පාර පිළිසකර කර අවසානය. සිංහාරජ වනාන්තරයේ එක් ගසක් හෝ බිම හෙලා නැත. නාමල්ගේ හෝටලය ඇති තැන ඔහුවත් දන්නා බවක් නොපෙනේ. නෙගටිව් කොමන්ට් කාරයන් සහ ඔවුන් කඩේ යන පජාත දේශපාලනය එවැනිය.)
කෙසේ නමුත් මන්ත්‍රීවරයා ඇදන් වැටුන හලාබ පාලම අපට මෙහිදී වැදගත් වන්නේ එය මේ 3% සෙට් එක කියන ආකාරයේ ජනතාව භාවිතා කරන පාලමක් නොවීම නිසාය. පාලමේ දෙකෙලවර හා සම්බන්ධ වන පාරක් කිසිදා තිබී නැති බව පැවසේ. එසේම අදද මේ පාලම බැලීමට යෑම උදෙසා ඇති අඩි පාර විනා අවම වශයෙන් යතුරිපැදියකටවත් පහසුවෙන් යා හැකි පාරක් එහි දෙපසින් නොමැත.
| හලාබ පාලමේ එක් පසක සිට ඇති කුඩා අඩි පාර |
නමුත් පාලම දෙපසින් අඩි 10 ක් පළල්වද මැද කොටස අඩි 8 ක් පළලටද තනා ඇති බව පැවසේ. දිග අඩි 372 ක්ය. බදුල්ල දිස්ත්‍රික්කයේ හලාබ ග්‍රාමයේදී උමා ඔය හරහා ඉදිකර ඇති මෙම පාලම උමා ඔයේ පලල්ම ස්ථානයක් හරහාද ඉදිකර තිබීම විශේෂත්වයකි (මෙම ස්ථානයේදී ගඟේ පලල අඩි 300 ක් පමණද ගැඹුර අඩි 25-40 ක් පමණද වන බව පැවසේ.) පාලම තනා අත්තේ උමා ඔයේ සිට අඩි 100 පමණ උසින්ය. පාලමේ ඉහල ඇති පුවරුවක එය 1919 දී තැනූ බව සටහන් කර ඇති බව පැවසේ. [සැ.යු. ඉහත දත්ත සියල්ල අන්තර්ජාලයෙන් (Link >> )ලබාගත් ඒවා වන අතර කිසිදු පිළිගත් මූලාශ්‍රයකින් තහවුරු කරගත් ඒවා නොවේ. එහෙත් තැනූ වර්ෂය ගැන දැක්වෙන පුවරුව හැර අනෙක් මිණුම් අඩු වැඩි වශයෙන් නිවැරදි බව එම පාලමේ කල නිරීක්ෂණ වලින් තහවුරු විය. වර්ෂය සඳහන් පුවරුව අප හට සොයාගැනීමට නොහැකිවිය. එය ඇත්තේ පාලමේ උඩින් නම් එයට ලගාවීම පහසු නොවේ.]
මෙවැනි හේතූන් නිසා කිසියම් අභිරහස් පාලමක් ලෙසට මෙය දකින ගැමියා ඒ වටා විවිධ කතන්දර ගෙතීමද ස්වභාවිකය. එවන් එක් කතාවකින් කියැවෙනුයේ මෙය හලාවත කිසියම් ගඟක් හරහා තැනීමට සැලසුම් කල එකක් බවත්, හලාබ, හලාවත සමග පටලා ගත් සුද්දන් මෙය හලාබ ගමේ උමා ඔය හරහා ඉදි කල බවත්ය.
මේ පාලමේ පිහිටීම පිළිබඳව තවත් එක් වැදගත් කරුණක් වන්නේ එය පිහිටා ඇත්තේ සුප්‍රසිද්ද බෝගෝඩ ලී පාලම ආසන්නයේ වීමය. බෝගොඩ ලී පාලම තනා ඇත්තේ පැරණි මහනුවර - බදුල්ල මාර්ගයේ ගල්ලන්දා ඔය හරහාය (ගල්ලන්දා ඔය ආසන්න ස්ථානයකදී උමා ඔය හා එක්වන එහි අතු ගංගාවකි.) මෙයට පෙර අවස්ථාවකදී ලිපි කිහිපයක් මගින් මා එම පැරණි මහනුවර- බදුල්ල මාර්ගය පිළිබඳව කරුණු ඉදිරිපත් කර එහි ගමන් මාර්ගය පිළිබඳව අනුමාන කිරීමක් සිදු කර ඇත. එම ලිපි කියවීමට >>
- මග සලකුණ ඔස්සේ බදුලු පුරයේ සිට සෙන්කඩගලට
- මග සලකුණ පාර කියන බදුලු මගියාගේ සෙන්කඩගල වන්දනාව
- Mcdonald සිට මතුරටට, ඩේවි ගිය මග ඔස්සේ..
- දියතිලකපුර හරහා මතුරට සිට සිරිවද්දන පුරවරට...
මග සලකුණ නම් පැරණි කවි පොතට අනුව එම අනුමාන මාර්ගය බෝගොඩ පාලමෙන් එතෙර වීමෙන් පසු යොමු වන්නේ උමා ඔයෙන් එතෙර වීමටය. එම එතෙරවන ස්ථානය සලාතොට ලෙසින් එහි සඳහන් වේ. එය පැහැදිලිවම තොටුපලකි.
![]() |
| බෝගොඩ පැරණි දැව පාලම, හලාබ යකඩ පාලම සහ උපකල්පිත පැරණි බදුල්ල-මහනුවර මාර්ගය වැටී තිබූ ආකාරය |
කලාවටින් පිරිසිඳ වත යුගැස පෙටින්
පිලාසැටින් රනහස දෙතන බැඳ පටින්
කලාවිටින් විට දිය කෙළිනෑවිත් වටින්
සලාතොටින් යා කර සබඳ සිත තුටින්
| උමා ඔය මැද පිහිටි ගල් පරයක් මත තනා ඇති පාලමේ අධාරක කණුව |
වැදගත්ම කරුණ වන්නේ සලාතොට ලෙසින් සිතියම් ආශ්‍රයෙන් ඉහත දෙවන ලිපියෙන් මා අනුමාන කල ස්ථානය මේ හලාබ පාලමට ඉතාම ආසන්නයේ එයට තරමක් ගඟ පහලට වන්නට පිහිටා තිබීමය. ඒ අනුව සලාතොට වර්තමාන හලාබ පාලම පිහිටි ස්ථානයම ලෙසින් හෝ ඒ ආසන්න ස්ථානයක් ලෙසින් වුව සැලකීම නිවැරදි බව පෙනේ. මේ කරුණු අනුව හලාවතට ගෙන යෑමට තිබූ පාලම හලාබට නොහොත් සලාතොටට ගෙනා බවට වූ ජනප්‍රවාදයේද යමක් ඇති බව පෙනේ. හලාබ යන්නද සලාතොට යන්නේ විකාශනයක් බව පෙනේ. එහෙත් මා සැක කරන්නේ මේ පාලම ඉංග්‍රීසින් සැබවින්ම මේ සලාතොට සවි කිරීමටම ගෙනාවක් බවත්, එය කිසිසේත්ම ඔවුන්ට සිදුවූ වැරදීමක් නොවන බවත්ය. එසේ නම් ඒ කුමන හේතුවක් නිසාද? හලාබ පාලම මේ ස්ථානයේ සවි කිරීමෙන් ඔවුන් උනන්දු වූවේ පැරණි මහනුවර - බදුල්ල මාර්ගය පලල් කර ඒ වන විට බදුල්ල ආශ්‍රිත වතු වල නිෂ්පාදන ප්‍රවාහනය උදෙසා පහසු ගමන් මාර්ගයක් සකසා ගැනීමද? පසුව එම අදහස කිසියම් හේතුවක් නිසා අතහැර දැමුවාද?
